----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

රාවන් - Raavan Film - Article

Sunday, July 4, 2010

භාරතයේ සුපිරි මෙන්ම සුවිශේෂී සිනමාකරුවකු ද වන මනී රත්නම්, හින්දි, දෙමළ හා තෙළිඟු යන භාෂාවන්ගෙන් නිම වූ රාවන් චිත්‍රපටය සමඟ ලංකාවේ සිනමා රසිකයන් හමුවටද පැමිණ සිටී. මේ ඔහු තම නිර්මාණ කාර්ය පිළිබඳ වෙබ් අඩවියක් වෙනුවෙන් කළ සාකච්ඡාවක සිංහල පද පෙරළියකි.

Raajneeti නිර්මාණය කරන්න ප්‍රකාශ් ජාට මහ භාරතය උත්තේජනයක් වුණා වගේ, Raavan නිර්මාණය කරන්න ඔබට රාමායනය උත්තේජනයක් වුණාද?

රාවන් කියන්නේ රාමායනයෙන් ගත්තු එකක් නෙවෙයි. රාවන් කියන්නේ අද කාලය මත පදනම් වුණු කතාවක්. මෙහි බීරා නම් චරිතය අභිෂේක් කරන්නේ. ඒ චරිත ලක්ෂණ ඔබ තුළ වගේම මා තුළත් තියෙන්න පුළුවන්.

මේ චරිතය දිහා ඔබට ඕනෑම කෝණයකින් බලන්න පුළුවන්. එහෙත් ඒ තුළ අලුත් යමක් ඇති වග ඔබට වැටහේවි. ඒ තමයි දුෂ්ටයෙක් නිර්මාණය කරන ගුණාංග.

මගේ කථාවත් ඒ වගේ එකක්. ඇත්තම දේ මේ චිත්‍රපටයේ තෙළිඟු එකට අපි නම තිබ්බේ Villain කියලා. දෙමළ චිත්‍රපටය නම් කළේ ‘රාවනන්’ කියලා.

Yuva, Guru සහ දැන් Raavan කියන චිත්‍රපටවලින් නළුවෙක් හැටියට අභිෂේක්ගෙන් ගත හැකි හොඳම දේ ඔබ එළියට අරන් තියෙනවා. ඒ ගැන මොකද හිතෙන්නේ?

චිත්‍රපට හදන්නෙක් හැටියට මම ආත්මාර්ථකාමියෙක්. ඒ නිසා මගේ චිත්‍රපටයට සම්බන්ධ කර ගන්න නිසාම නළුවෙක් මට සුවිශේෂි වෙන්නේ නෑ.

මට හිතෙනවා නම් මගේ චිත්‍රපටයක චරිතයක් අභිෂේක් හොඳට කරාවිය කියලා, ඒ වගේම ඒ චරිතය කරන්න එයාගේ කැමැත්තක් තියෙනව නම් නිසැකයෙන්ම මම මගේ චිත්‍රපටයේ ඔහුව චරිතයක් කර ගන්නවා.

රාවන් චිත්‍රපටයේ මගේ කලින් චිත්‍රපටවල අභිෂේක් රඟ නොපෑ ආකාරයේ වෙනස්ම චරිතයකයි රඟපාන්නේ. අභිෂේක් කියන්නේ එයාගේ හැම චිත්‍රපටයක් එක්කම වැඩෙමින් එන නළුවෙක්.

* අභිෂේක්ගේ රාවන් රංගනය ඔබ තක්සේරු කරන්නේ මොන විදිහටද?

රාවන් චිත්‍රපටයේ ඔහු රඟපාන Beera ගේ චරිතය ගත්තොත් අභිෂේක් ඒ චරිතයේ සාරය හකුලා ගන්න සමත් වෙලා තියෙනවා. රාවන් චිත්‍රපටයේ ඔහු රඟන චරිතය සැබෑ ජීවිතයේ චරිතයකට වඩා විශාල චරිතයක්.

ඒ නිසා ඒ චරිතය නිරූපණය කරන්න එහෙමත් නැත්නම් ජීවමාන කරන්න ඒක අලංකාර කරන්න විශාල හැකියාවක් ජවයක් නළුවා ඇතුළෙ තියෙන්න ඕන.

* සාමාන්‍යයෙන් ඔබ දේශපාලාන චිත්‍රපට තනන්නෙක් වෙලත් රාවන් චිත්‍රපටයේ දේශපාලනය අතහැරලා දැම්මේ ඇයි?

ඒක වැරැදි අදහසක්. මම රෝජා, බොම්බේ, දිල් සේ, යුවා, වගේ චිත්‍රපට හදපු නිසාම මම හදන හැම චිත්‍රපටයක් ම දේශපාලන ස්වරයක් තියෙන එකක් කියලා හිතන්න අවශ්‍ය නෑ. මම චිත්‍රපටයක් කරන්නේ නිශ්චිත එක් අදහසක් ඇතුවයි.

මට රාවන් හදන්න ඕන වුණේ ඒ අදහසත් එක්ක අවුරුදු තුන හතරක් ජීවත් වුණු නිසයි. ඒ කථාව ඔබව ඒකට අදාළ ගමනේ අරගෙන යාවී, ඒක අනායාසයෙන් ගලා ගෙනත් යාවි.

* රාවන් දෙමළ චිත්‍රපටයේ දැන් ප්‍රීතිවිරාජ් රඟපාන චරිතයටත් අභිෂේක් යොදා ගන්නයි ඔබට ඕන වුණේ?

ඔව් ඒක ඇත්ත. රාවන් දෙමළ චිත්‍රපටයේ දේව් ගේ චරිතය මට කරවන්න ඕන වුණේ හින්දි චිත්‍රපටයේ රාවන් චරිතය කරන අභිෂේක් ලවා. නමුත් අවසානයේ ප්‍රීතිවිරාජ් යොදා ගත්තා.

නමුත් දැන් මට හිතෙනවා අභිෂේක් දෙමළ රාවන් වෙනුවෙන් අර චරිතයට යොදා නොගත්ත එක බුද්ධිමත් තීරණයක්ය කියලා. හේතුව ඒ තරම් කෙටි කාලයකින් ඔහුට ඒ සඳහා අවශ්‍ය දෙමළ ඉගෙන ගන්න බෑ වගේම, ඒ චරිතෙට සුදානම් වෙන්නත් කල් මදි.

ඔහුව ඒ චරිතයට යොදා ගත්තා නම් එහෙම තවමත් චිත්‍රපටය හදලා ඉවර නොවෙන්නත් තිබුණා.

* රාවන් දෙමළ හින්දි දෙකේම රාගිනි චරිතය රඟපාන්නේ ඓශ්වර්යා. ඇයත් දෙමළ ඉගෙන ගත්තද?

ඇගේ දෙමළ වගේම මගේ හින්දි දැනුමත් හොඳයි. මට මතකයි මගේ ‘ඉරුවර්’ දෙමළ චිත්‍රපටය . නිළියක හැටියට ඇය රඟපෑ පළමු චිත්‍රපටයත් ඒකයි. ඒකෙදි ඇය දෙමළ බසින් දීර්ඝ සංවාද එක වරම රූගත කළ හැකි මට්ටමෙන් ඉදිරිපත් කළ ආකාරය.

දැන් ඇයට දෙමළ බසින් ඕනෑම දෙයක් කළ හැකියි. ඔබ එය විශ්වාස කරනවා ද? ඔබ දෙමළෙන් නීංග එප්පුඩි ඉරුක්කිරීංග (ඔබට කොහොමද?) කියලා ඇහුවොත් ඇය දෙමළෙන් ඔබට උත්තර දේවි ‘නාන් නල්ලා ඉරුක්කේන්’ (මම හොඳීන් ඉන්නවා) කියලා.

රාවන් හා රාවනන් වෙනුවෙන් වික්‍රම්ව ඔබ වෙනස් චරිත සඳහා යොදා ගන්නේ ඇයි?

රාවන් එකට මම වික්‍රම යොදා ගන්නේ අලුත් නළුවෙකුට කරන්න යමක් එතන තිබුණු නිසා. චිත්‍රපටයකට අලුත් දේ එකතු කරන එක හොඳ දෙයක්.

වික්‍රම් හින්දි ප්‍රේක්ෂකයාට අලුත් විය හැකියි. නමුත් දකුණු ඉන්දියාවේ ඔහු තරුවක් වගේම ඉතා හොඳ නළුවෙක්. ඒ වගේම ඒ චරිත දෙකේ අභියෝගය ඔහුට භාර ගන්න පුළුවන් වුණා.

* එකිනෙකට වෙනස් භාෂාවන්ගෙන් නිර්මාණය කරන එක මොන වගේ අත්දැකීමක් ද?

මම කලින් සැලසුම් කරලා චිත්‍රපට හදන චිත්‍රපටකරුවෙක් නොවන හන්දා භාෂා දෙකකින් එකවර වැඩ කිරීම තරමක ලොකු වැඩක්. මම කරන්නේ අවශ්‍ය තැනට නළු නිළියන් ගෙන්වලා චිත්‍රපටය ගොඩ නගන එකයි.

එකවර වෙනස් භාෂා දෙකක් එක්ක එකට වැඩ කරද්දී එකම හැඟීමකින් ඒක කරගෙන යන්න බැරි වෙනවා. හේතුව ඒවායේ රිද්මයන් එකිනෙකට වෙනස් වෙනවා. ඒ නිසා භාෂා දෙකට අවශ්‍ය විදිහට රූපය සහ රංගන රිද්මය ප්‍රති නිර්මාණය කර ගන්න සිද්ධ වෙනවා.

අන්තර් ජාලයෙනි පරිවර්තනය

0 comments:

Post a Comment