----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

Lanka Art Chat Room - එන්න අපි කතා කරමු

හොඳ රස වින්දනයක් ලබා දීම අපේ අරමුණයි

Saturday, July 31, 2010

ප්‍රවීණ නාට්‍යවේදී රාජිත දිසානායක

ආපහු හැරෙන්න බැහැ, සිහින හොරු අරන්, වීරයා මැරිලා රාජ්‍ය සම්මාන දිනූ නාට්‍ය ත්‍රිත්වය ද රැගෙන අගෝස්තු 5, 6, 7 යන දිනයන් හි ලයනල් වෙන්ඩ්ට් හී දී රාජිත ඔබ හමු වෙනවා. මේ කතාබහ ඒ නිමිත්තෙනි.

මේ දක්වා ඔබේ නාට්‍යයත් එක්ක රට වටා ගිය ගමනේ අත්දැකීම් ගැන මතක් කළොත්?

විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන දේ තමයි කොළඹදීත් ඉන් පිටදීත් තරුණ ප්‍රේක්ෂක පිරිස වැඩි වැඩියෙන් වේදිකා නාට්‍ය වටා එක් රොක් වන බව පෙනෙන්න තියෙනවය කියන කාරණය.

මම මෙහෙම කියන්නේ විදේශයන් හි දී ලබපු අත්දැකීමත් එක්කයි. ජර්මනිය, ඇමරිකාව වගේ රටවලදී පරිණත එහෙමත් නැත්නම් මුහුකුරා ගිය අවුරුදු පනහෙ හැටේ වයස්වල පසුවන තරමක් වියපත් ප්‍රේක්ෂකාගාර තමයි දකින්න ලැබුණේ. ඒ රටවල තරුණ පිරිස නාට්‍ය වටා එකතු වෙලා හිටියෙ හරිම අඩුවෙන්.

ඒ රටවල නාට්‍යකරුවන් එක්ක අදහස් හුවමාරු කර ගනිද්දී අපට අමතන්න ලැබෙන තරුණ ප්‍රේක්ෂකාගාර ගැන ඔවුන් බෙහෙවින් සතුටු වුණා. හේතුව ඒ රටවල නාට්‍යකරුවන්ට තරුණ ප්‍රේක්ෂකයන් ආකර්ශනය කර ගැනීම තමයි ඔවුන්ට තියෙන ලොකුම අභියෝගය.

ඇතැම් නාට්‍යකරුවන් තමන්ගේ සම්භාව්‍ය නාට්‍ය නව විධි ක්‍රම අනුව ප්‍රතිනිර්මාණය කරමින් හෝ තරුණ ප්‍රෙක්ෂකයන් තමන් වටා ගොනු කර ගන්න දැඩි උත්සාහයක් ගන්න පසුබිමක අපේ රටේ තරුණ ප්‍රේක්ෂක සහභාගිත්වය අපි අත් වින්ඳ හොඳ අත්දැකීමක් සතුටුදායක ප්‍රවණතාවයක්. ඒ වගේම මගේ නාට්‍ය තේමා හා එය ඉදිරිපත් වන විදිහ පිළිබඳව අති බහුතරයකගෙන් ප්‍රසංශාත්මක දේවල් තමයි අහන්න ලැබුණෙ.

මේ නාට්‍ය චාරිකාවේදී මා ලබපු අනිත් අත්දැකීම තමයි නාට්‍ය ශාලාවකට එන්නේ ඇයි, නාට්‍යයක් නරඹන්නේ කොහොමද කියන ශික්ෂණයක් නොලබපු ප්‍රේක්ෂක පිරිසකුත් මුණ ගැසීම. සරලව කිව්වොත් ගෙදර ඉඳගෙන කන බොන කතා කරන ගමන් රූපවාහිනියත් බලලා පුරුදු ප්‍රේක්ෂකයා ඒ පුරුදු හා ඇබ්බැහිවීම් ටිකත් නාට්‍යාගාර ඇතුළටත් අරගෙන එනවා.

මට දැනෙන විදිහට නම් කලා කෘතියක් රස වින්දනය කරන්නට අවශ්‍ය හැදියාව ඔවුන්ට අධ්‍යාපනයෙන් ලැබිලා නෑ. වෙනත් කිසිදු කලා මාධ්‍යයකින් ලබා ගත නොහැකි විශේෂිත වූ වින්දනයක් ලබා දෙන වේදිකා නාට්‍ය හෙවත් සජීවී රංගය වෙත හරි පාරෙන් මේ රසික පිරිස කැඳව ගන්නේ කොහොම කියන එකත්.

රඟහලේ සිටින ප්‍රේක්ෂකයත් ඒ රංගනයේ කොටස් කරුවෙක් කියන එකත් මේ කිව්ව අසංවිධිත ප්‍රේක්ෂකයාට තේරුම් කරවන්නේ කොහොමද කියන එක ගැන මම හිතන්න පෙළඹිලා ඉන්නේ රට වටා මගේ නාට්‍යයත් එක්ක ගිය ගමනෙන් ලද අත්දැකීම් නිසයි.

මොකද නාට්‍යයක පරිපූර්ණත්වයට රංග කාර්ය වගේම ඒ රංගනය මැනවින් විඳ ගන්නා ප්‍රේක්ෂකාගාරය කියන එකත් ඉතාම වැදගත්ය කියන එකයි මගේ හැඟීම. නාට්‍ය ශාලාවකට එන පේ‍්‍රක්ෂකයාට රංගනයට බාධා වන සේ හැසිරෙන්න එපා.

ජංගම දුරකතන අක්‍රිය කර ගන්න. කෑම බීම රඟහලට ගෙන ඒමෙන් වළකින්න කියලා නිවේදනය කරන්න සිද්ධ වෙන එක වගේම එකී නිවේදන නොතකා ක්‍රියා කරන ප්‍රේක්ෂකයන් හමු වීම කියන කාරනා නාට්‍යකරුවකු හැටියට අවාසනාවන්ත තත්ත්වයක් හැටියටයි මට හැඟෙන්නේ.

අපි මේ කතා කළ කාරණාවලින් පේන එක දෙයක් තමයි අපි අනෙකා ගැන තකන්නේ නෑ කියන එක. ඒ වගේම, මේ සමාජයත් තමන්ට සිද්ධ වෙන ඕනෑම හිරිහැරයක් කිසිදු ප්‍රතිවිරෝධයකින් තොරව නිහඬව විඳ ගන්න සූදානම්ය කියන එක. මේක සමාජයක් හැටියට ඒතරම් හොඳ දෙයක් නෙවෙයි කියන එකත් අපි තේරුම් ගත යුතුව තියෙනවා. මේ කිව්ව අත්දැකීම් දෙක තමයි මට පහුගිය කාලයේ විශේෂයෙන්ම දැනුණු අත්දැකීම් බවට පත් වුණේ.

* ඔබම සංවිධානය කරන මේ නාට්‍ය උළෙලේ දී මේ දෙවනුව කිව්ව කාරණයට ඔබ මුහුණ දෙන්න යන්නේ මොන විදිහට ද?

පසුගිය නාට්‍ය උළෙලෙදි මම කියන මේ දේ ඔබත් අත් විඳින්න ඇති. ප්‍රේක්ෂකාගාරයට එන ප්‍රේක්ෂකයාව සුහදව පිළිගන්නව වගේම අපි අපේ නාට්‍ය බලන්න එන රසිකයාගෙන් ඉල්ලා හිටිනවා දුරකතන ක්‍රියාත්මක කිරීමෙන් වළකින්න, අඬන දරුවන් සෙසු ප්‍රේක්ෂකයන්ට බාධාවක් නොවන විදිහට තියා ගන්න කියලා.

ඒ වගේම රඟහල තුළට එන ප්‍රෙ‍්‍ර්ක්ෂකයාට සහාය වෙන්න හැම දොරටුවකම ඒ සඳහා විශේෂිත පුද්ගලයන් රඳවා තබනවා අවශ්‍ය අවස්ථාවක මැදිහත් වෙන්න. මේ හුරු කිරීම අපි කරන්නේ ඕපපාතිකව නෙවෙයි.

දියුණු රටවල නාට්‍ය ශාලාවක් කියන්නේ අතිශය විනය ගරුක තැනක්. අපිම සංවිධානය කරන නාට්‍ය උළෙලේ රසිකයන් අසුන් ගැන්වීමේ සිට දියුණු රටවල ක්‍රියාත්මක ශිෂ්ට සම්පන්න ක්‍රමවේදයන් අපේ ප්‍රේක්ෂකාගාර සමඟත් අපි අත්හදා බලනවා. ප්‍රේක්ෂකයන්ගෙනුත් ඉතා අතලොස්සක් හැර අති බහුතරය අපේ අත්හදා බැලීම්වලට ඉතා යහපත් ප්‍රතිචාර පසුගිය වසරේදීත් අප වෙත ලබා දුන්නු වගත් සිහි කරන්න ඕන.

* ප්‍රේක්ෂකාගාරය ගැන ඔබ ඔය තරම් වද වෙන්නේ ඇයි?

ප්‍රේක්ෂකාගාරයකින් ලැබෙන ප්‍රතිචාරවලින් නාට්‍යයේ අරුත් තීව්‍ර කරනවා වගේම රංගන ශිල්පීන්ගේ හඬ, විරාමය, අභිනය ආදියෙන් මතු කරන අරුත් ඔප වැටෙන්නේ නාට්‍යයත් සමඟ ආත්මීය බැඳීමක පසු වන ;ප්‍ර්ක්ෂකාගාරයකිනුයි.

නාට්‍යයක් කියන්නේ සමාධි ගත වෙලා නරඹන අජීවී දෙයක් නෙවෙයි. සහභාගිත්ව ප්‍රතිචාරය නාට්‍යයක රස මතු කරන්න අතිශය තීරණාත්මක ලෙස බලපානවා. තමන්ට ලැබෙමින් තිබෙන ප්‍රතිචාර අදාළ රංගන ශිල්පියා තුළට ජීවයක් ලබාදෙනවා. ප්‍රේක්ෂකාගාර ප්‍රතිචාරත් එක්ක නළුවා තුළ සියුම් සැකසීම් සිද්ධ වෙනවා.

මම මේකෙන් කියන්නේ ප්‍රේක්ෂකාගාරයෙන් ලැගෙන සිනහවට නළුවා අනුගත වෙනව කියන එක නෙවෙයි. ප්‍රේක්ෂක ප්‍රතිචාරයෙන් තමයි නාට්‍යයක අරුත් තීව්‍ර වීම, උත්ප්‍රාසය සහ යටි පෙළ මතුවීම වගේ කාරණාත් වඩා කුළු ගැන්වෙන්නේ. ප්‍රේක්ෂකයාගේ හිනාව, හීල්ලිල්ල ඇතුළු හැඟීම් ප්‍රකාශනය නාට්‍යයකට ජීවය කවනවා.

සංගීතය වැනි අතිරේක වෑයමකින් නාට්‍යයක අරුත් අප විසින් තීව්‍ර කරන්නවාට වඩා සජීවී ප්‍රෙක්ෂක ප්‍රතිචාරයන් නිසා එය වඩාත් හොඳින් සිද්ධ වෙන බව අත්දැකීමෙන් දන්න නිසාත්, එබඳු සජීවී ප්‍රේක්ෂකාගාරයක රඟන රංගන ශිල්පියා එක මොහොතකවත් තමන්ගේ භූමිකාව ගිලිහී යා නොදී මැනවින් රඟ දක්වන නිසාත් තමයි මම ප්‍රේක්ෂකාගාරය ගැන වැඩි සැලකිල්ලක් දක්වන්නේ.

* නාට්‍ය පිළිබඳ ඇගැයීම් හා විවේචන ගැන තියෙන්නේ මොන වගේ අදහසක්ද?

මේ ගැන කතා කරද්දී අපට අහන්න දකින්න ලැබෙන්නේ එක්කෝ ඇගයීමක් එහෙමත් නැත්නම් බරපතළ ප්‍රතික්ෂේප කිරීම්. ඔය දෙක අතර කෙරෙන විචාරයන් හා විවේචනාත්මක අගය කිරීම් අපේ රටේ හරිම අඩුයි. මගේ නාට්‍යවල සාධනීය අංග ඉහළින්ම අගය කරන කොටසක් ඉන්නවා වගේම මේ නාට්‍ය භාවිතාවන් ප්‍රතික්ෂේප කරන කොටසකුත් ඉන්නවා.

රස වින්දනයේදී විතරක් නෙවෙයි, දේශපාලනය ඇතුළු බොහෝ දේවල් සම්බන්ධයෙන් අපේ රටේ තියෙන පොදු තත්ත්වයයි මේක. මේක අඩුවක් හැටියටයි මට පේන්නේ. එක් පිරිසක් මගේ මේ නාට්‍ය යළි යළිත් රස විඳිමින් ඉන්න අතරේ තව පිරිසක් මගේ නාට්‍ය වෙත අර විදිහට සමීප වෙන්නේ නැත්තේ ඇයි කියන කාරණය ගැන මම හිතන්න පෙළඹිලා තියෙනවා.

එතෙන්දි මගේ පැත්තෙන් වෙන්න ඕන මොනවද, මගේ නාට්‍ය භාවිතාවේ සිදු විය යුතු වෙනස්කම් මොනවද වගේ කාරණා මගේ අලුත් නිෂ්පාදනයේදී අත්හදා බලන්න උත්සාහ ගනිමින් ඉන්නවා. මොකද නිර්මාණකරුවෙක් හැටියට මට අවශ්‍ය මගේ නිර්මාණ වැඩි ප්‍රේක්ෂක පිරිසක් අතරට ගෙනි යන්නයි.

ඒ සඳහා සුදුසු විධි ක්‍රමයන් සොයා බලමින් ඉන්නවා. හේතුව මට නම් සමාජ දේශපාලන කාරණාවලින් වියුක්තව කලා ප්‍රකාශනවල යෙදෙන්න වෙහෙසෙන එක තේරුමක් නෑ. නිර්මාණකරුවෙක් හැටියට මට මේ සමාජයත් එක්ක බෙදා හදා ගන්න තියෙන හැඟීම් සිතීම්, වේදනාවන් පළ කරන්න මට අවශ්‍ය වෙනවා. ඒ එක්කම මිනිස් හැසිරීම් තුළ තිබෙන සුවිශේෂ තත්ත්වයන් ගැඹුරින් විවරණය කරන්නත් මට අවශ්‍ය වෙනවා.

රචකයෙක් හැටියට එය කිරීම විශාල අභියෝගයක්. විවිධ රුචිකත්වයන්ගෙන් යුත් රසිකයන් හැකි පමණ සමබරව ප්‍රේක්ෂකාගාරයට ගොනු කර ගන්න ඕනය, ඒ සඳහා ලැබෙන ඇගයීම් හා විවේචන ඉතා වැදගත්ය කියන එකයි මගේ් තේරුම් ගැනීම.

* වේදිකාව නළුවාගේ මාධ්‍යය කියන කාරණය දෙස අධ්‍යක්ෂවරයකු හැටියට ඔබ බලන්නෙ කොහොමද?

අපේ රටේදී කොච්චර අත්දැකීම් බහුල නළුවෙක් වුණත් ඔහුට මුහුණ දෙන්න සිද්ධ වෙන සමාජ ජීවිතය ඇතුළෙ තමයි නළු කාර්ය සඳහා අවශ්‍ය ඉඩකඩක් හොයා ගන්න වෙන්නේ.

මේ වගේ තත්ත්වයක් යටතේ තෝරා ගත් නළුවෙකුගේ නිර්මාණයකට අදාළ රංගනය අඛණ්ඩව පවත්වාගෙන යාම අධ්‍යක්ෂවරයකුට මුහුණ දෙන්න සිද්ධ වෙන විශාල අභියෝගයක්.

නළුවන් සමඟ දිගින් දිගටම සංවාද කරමින් පුහුණුවීම් කරමින් තමයි නළුවාගේ රංගන අඛණ්ඩතාව පවත්වා ගන්න වෙන්නේ. එහෙම නොවුණොත් සමස්ත නාට්‍යයේ මුල් ස්වභාවය ක්‍රමිකව ගිළිහෙනවා. යම් නාට්‍ය පෙළක් ඒ සඳහා වන නළු නිළියන් තෝරා ගෙන පුහුණු කළායින් පසුව එය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාමයි සාමාන්‍යයෙන් සිද්ධ විය යුත්තේ.

එය ඒ ආකාරයට සිද්ධ වෙනවා නම් නාට්‍ය පළමුවර රඟ දැක්වීමෙන් පසුව අධ්‍යක්ෂවරයාගේ කාර්ය බොහෝ දුරට නිම වෙනවා. අපි දන්න විදිහට ලෝකයේ වෙනත් රටවල නම් සිද්ධ වෙන්නේ ඒකයි. නමුත් ලංකාවේදී නම් අධ්‍යක්ෂවරයාගේ කාර්ය එසේ නිම වෙන්නේ නෑ. හැම රංගනයක් වෙනුවෙන්ම නළුවන් සමඟ කටයුතු කරමින් චරිතය තුළ අදාළ නළුවාව ජීවත් කරවන්න අධ්‍යක්ෂවරයාට සිද්ධ වෙනවා.

එහෙම නොවුණොත් නළුවාගෙන් අදාළ චරිතය ගිලිහෙන්න තියෙන ඉඩකඩ වැඩියි. මේ නිසා නිරන්තර වෙනස්වීම් හා හැල හැප්පීම්වලට භාජනය වෙමින් සිටින නළුවා යළි සූදානම් කොට සකස් කොට තමන්ගේ නාට්‍ය සඳහා යොදා ගැනීම, යොමු කිරීම හා මෙහෙය වීම අඛණ්ඩව අධ්‍යක්ෂවරයාට සිද්ධ කරන්න වෙලා තියෙනවා. වේදිකාව නළුවාගේ මාධ්‍ය කියන අදහසට අධ්‍යක්ෂවරයෙක් හැටියට මමත් කැමැතියි.

හේතුව පළමු රංගනයෙන් පසු එතැනින් මනස නිදහස් කර ගන්න වෙනත් නිර්මාණයකට යන්න ඉඩ හසර සැලසෙන නිසා. නමුත් ප්‍රයෝගිකව අපේ රටේ දී නම් නාට්‍යයක් හොඳ ගුණාත්මක තත්ත්වයකින් ප්‍රේක්ෂකයාට සමීප කරන්න නම් අධ්‍යක්ෂවරයකුට නිරන්තරයෙන්ම මැදිහත් වෙන්න සිද්ධ වෙනවා.

නළුවා මතම පමණක් පූර්ණ විශ්වාසය තබමින් අධ්‍යක්ෂවරයාට නිදහස් වෙන්න පුළුවන් කමක් නෑ. නළුවාගේ කාර්යය ඉතාම සුවිශේෂය කියන එක පිළිබඳ තර්කයක් නෑ. නමුත් නළු කාර්ය පරිපූර්ණ විදිහට සිද්ධ කරන්න අපේ රටේ දී නම් අධ්‍යක්ෂවරයාට නිරන්තරයෙන්ම නාට්‍යයත් සමඟ රැෙඳන්න වෙනවා. එහෙම නෙවෙයි නම් ඕනෑම දක්ෂ නළුවෙකු අතින් මේ සජීවී රංග කාර්යයේදී ගිලිහීම් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා.

* සමාජයේ සෙස්සන් අතරින් නළුවෙකු මතු කර ගැනීම කියන කාරණය සිද්ධ වෙන්නේ මොන විදිහටද?

මම මගේ් නාට්‍යවලට නළුවන් තෝර ගෙන තියෙන්නේ ඒ ඒ අවස්ථාවේ හැටියටයි. වෙනත් නාට්‍යවල රඟපානවා දැකලා තෝර ගත්තු පිරිසක් ඉන්නව වගේම සෞම්‍ය වගේ කෙනෙක්ව මම තෝර ගන්නේ වෙනත් රිහසල් එකකදී දැක්ක දවසෙමයි. මම ලියමින් හිටිය ‘හංසයන්ටත් මං ආසයි’ නාට්‍යයේ චරිතය ඔහුට කරන්න පුළුවන් වෙයි කියන හැඟීමෙන් තමයි ඒ තේරීම කළේ.

තරිඳි මගේ නාට්‍යයකට කලින් රඟපාලා තිබුණෙ නෑ. ශ්‍යාම් ප්‍රනාන්දු වැඩමුළු නාට්‍යවල විතරක් අත්දැකීම් තිබුණු කෙනෙක්. ගිහාන් චිකේරා ඉන් පෙර සිංහල නාට්‍යවල රඟපාලා නෑ. සමහර අයව දැක්කම ඔවුන් තුළ තිබෙන රංග ප්‍රසන්නභාවය මට දැනෙනවා. යම් යම් පුද්ගලයන්ගේ ස්වභාවයන් විසින් අපට හඟවනවා ඔවුන් තුළ තිබෙන ස්වභාවයන් කිසියම් විදිහකට උත්සාහ ගත්තොත් මෙහෙයව ගන්න පුළුවන් වේවිය කියලා.

එහෙම උත්සාහ කරපු අවස්ථා බොහොමයක් සාර්ථක වෙලත් තියෙනවා. නළුවා කියන කෙනා සාමාන්‍ය කෙනකුට වඩා සුවිශේෂ වෙන්නේ ඔහුගේ ශරීරය සහ කටහඬ නළු කාර්යය සඳහාම පුහුණු කරගෙන තියෙන නිසයි. මේ නිසා නළුවකු බිහි වෙන්න නම් අපි හඳුනා ගන්න කෙනා ඒ සඳහා පුහුණු වෙන්නට කැමැති වීම අවශ්‍ය වෙනවා. ඕනෑම කෙනෙකුට නළුවෙක් වෙන්න පුළුවන්.

නමුත් එහෙම වෙන්න නම් අර පුහුණු ක්‍රියාවලියට ඔහු හෝ ඇය එකඟ වෙන්න ඕන. ඒත් ඒ පුහුණු ක්‍රියාවලිය එක්තරා ආකාරයක වෙහෙස කර තෘප්තියක්. වේදනාත්මක ආශ්වාදයක් තමයි නළු කාර්යයකින් ලැබෙන්නේ. නළු කාර්යයේ චමත්කාරය විඳීන්න නම් ඒ සඳහා වන කැප කිරිම් කළ යුතු වෙනවා. ඒ වගේම මනසින් බොහෝ නිදහස් කෙනෙක් වෙන්න ඕන.

නොයෙක් අදහස් මති මතාන්තර කර පින්නා ගත්තු කෙනෙකුට හොඳ නළුවෙක් වෙන්න බෑ. ඒ වගේම ඒ තෝරා ගන්න කෙනාට නළු කාර්යය සඳහා හැකියාවක් හා නිරීක්ෂණ ශක්තියක් තියෙන්න ඕනෑ. එහෙම කෙනෙකුට තමයි නළුවෙක් හැටියට සාර්ථක වෙන්න පුළුවන් වෙන්නේ. මාත් එක්ක වැඩ කරන නළුවන් නම් තම නළු කාර්ය සඳහා තව තවත් වෙහෙසෙන්න සූදානම් පිරිසක්.

මේ සජීවී මාධ්‍යයක් නිසා තම රංගනය ස්ථාවරව පවත්වාගෙන යාම ඉතාමත්ම වැදගත්. ඒ නිසා රංගනය සඳහා වැඩි කැමැත්තක් තියෙන පිරිසක් තෝරා ගත්තහම ඔවුන්ව නිර්මාණ කාර්යයට අවශ්‍ය විදිහට හසුරුවා ගැනීම පහසුයි.

* මෙවර ඔබේ නාට්‍ය උළෙල ගැන?

අපේ ජීවිත වගේනෙ නාට්‍යයත්. යම් මොහොතකට පස්සේ නැහැනෙ. අපේ ජීවිත හැමදාකම නෑ වගේ මේ නාට්‍යත් හැමදාම නෑ. මේ නාට්‍ය තව තවත් රසික පිරිස අතරට ගෙනයාමේ උත්සාහයක් තමයි මේ උළෙල.

අලුත් හුස්මක් අරගෙන අලුත් නිර්මාණයකට යන්න පෙරතුව වැඩි දෙනෙකුට හොඳ රඟහලක් තුළ හොඳ නාට්‍ය රස වින්දනයක් ලබා දී මේ අරමුණින් තමයි අපි මෙය සංවිධානය කරන්නේ.

0 comments:

Post a Comment