----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

Showing posts with label චිත්‍රපටිය. Show all posts
Showing posts with label චිත්‍රපටිය. Show all posts

මගේ හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට

Friday, April 18, 2014

මගේ හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට

සුපිරි අන්දරේ අධ්‍යක්ෂ මිචෙල් ෆොන්සේකා
සැඩ සුළං, නෙතු පියෙන තුරා, වල්මත වූවෝ වැනි ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කළ මිචෙල් ෆොන්සේකා අද සිට තිරගත වීම ඇරැඹෙන සුපිරි අන්දරේ සිනමා සිතුවම සමඟ සිනමා අධ්‍යක්ෂවරයකු බවට පත්විය. හාස්‍යෝත්පාදක සිනමාපටයක් වන එහි ටෙනිසන් කුරේ ද්විත්ව චරිත නිරූපණයක යෙදීම විශේෂත්වයකි. අධ්‍යක්ෂවරයකු වශයෙන් මෙතෙක් ආ ගමන් මඟ වෙනස් කොට සිනමාව භාවිතයට ගනිමින් නිර්මාණකරණයෙහි යෙදෙන්නට සූදානම් වන මිචෙල්ව අප සංවාදයකට කැඳ වූයේ සුපිරි අන්දරේ ප්‍රධාන නිමිත්ත බවට පත්කර ගනිමිනි.
* මිචෙල්, කොහොමද සුපිරි අන්දරේ නිර්මාණය කිරීම ඇරැඹුණේ?
මේ කතාව මුලින්ම මගේ හිතටයි ආවේ. මං ඒක මෙය රචනා කළ සරත්චන්ද්‍ර පත්තඬුවන සහ සෙනරත් පීරිස්ට කිව්වා. ඔවුන් ඉතාම රසවත් අන්දමින් මෙහි තිර පිටපත සකස් කළා. මට එතකොටත් නිෂ්පාදකවරුන් තිදෙනෙකු මෙය සඳහා වියදම් කරන්න හිටියා. ඒ අයටත් ඕනෑ වුණේ සෑම වයසකම ප්‍රේක්ෂකයන් ග්‍රහණය කරන්නට හැකි චිත්‍රපටයක් කිරීම.
* ඒත් සුපිරි අන්දරේ අන්තිම සරල චිත්‍රපටයක් නොවේද?
ඒ සරලකම ඇති කළේ කුමන තරාතිරමක සිනමාලෝලියකුට වුවත් චිත්‍රපටය තේරුම් ගන්න. පවුල් පිටින් සුපිරි අන්දරේ නරඹන්න එන විශ්වාසය මා සිතෙහි තදින්ම තිබුණා. අනික සරලකම සුන්දරයිනේ.
* හාස්‍යෝත්පාදක සිනමාපට ඉක්මනින් ප්‍රේක්ෂකයන් අතරට යනවා කියලා මතයක් තියෙනවා?
ඔව්. මං ඒක දන්නවා. ඉක්මනින් හිට් කරගන්න ඕනෑ නිසයි හාස්‍යෝත්පාදක චිත්‍රපටයක් කළේ. අනිවාර්යයෙන්ම සුපිරි අන්දරේ හිට් වෙනවාමයි.
* ටෙලිවිෂනයට ඔබ නිර්මාණය කරන්නේ උසස් රසයකින් යුතු මෙගා නොවන ටෙලි නාට්‍ය කිහිපයක්. ඒවා නරඹපු අය ඔබෙන් බලාපොරොත්තු වුණේ ඒ ආරෙන් යුතු සිනමාපටයක් විය හැකියි?
වෙන්න පුළුවන්. මම ඒ අයගේ බලාපොරොත්තුªª කඩ කළේ නැහැ. මේක මම සිනමා අධ්‍යක්ෂවරයකු වශයෙන් අලුත් පියවරක් තැබීම පමණයි. තව මා අතින් විවිධ රසාස්වාදයෙන් යුතු සිනමාපට බිහිවන්න තියෙනවා. හොඳ හොඳ සෙල්ලම එළිවෙන ජාමෙට තමා තියෙන්නේ.
* මට නම් දැනෙන්නේ ඔබ ටෙස්ට් කරලා බලන්න සුපිරි අන්දරේ නිර්මාණය කළා වගේ. ඔබ හරි යන්න හෝ වරදින්න තුරුම්පුවක් ගැහැව්වා?
නැහැ, නැහැ. මේ වන විට ප්‍රේක්ෂකයින්ගේ ඉල්ලුමක් තියෙන්නේ ළමා හෝ විකට චිත්‍රපටයකට. මං ඉතින් ඒ දෙවැන්න තෝරා ගත්තා.
* ඒ කියන්නේ ඔබ ඉල්ලුමට සැපයුම දුන්නා කියන එකනේ. බැරි වෙලාවත් වැඩිහිටියන්ට පමණයි සිනමාපට සඳහා ඉල්ලුමක් ආවොත් මිචෙල් ෆොන්සේකා එවැනි සිනමාපටයක් අධ්‍යක්ෂණය කරයිද?
එතෙන්දි මං ඉල්ලුමට සැපයුම න්‍යායට පටහැනිව කි‍්‍රයා කරනවා. හැම තිස්සේම ප්‍රේක්ෂකයන් ඉල්ලන එක දෙන්න හොද නැහැ.
* සුපිරි අන්දරේ නරඹපු ගොඩක් දෙනෙකු කිව්වේ චිත්‍රපටයෙහි කතාව හරියටම තේරුම් ගන්න පටන් ගත්තේ එහි මැද හරියට වන්නට කියලා?
ඉතින් ඒකනේ විය යුත්තෙත්. පටන් ගත්ත ගමන් ඔක්කොම තේරුම් කරලා දුන්නොත් ප්‍රේක්ෂකයින් හැරිලා යනවානෙ. හිතාමතාමයි එලෙස කළේ. මේ තත්ත්වය මත අවසානය වෙනකකම් ප්‍රේක්ෂකයා චිත්‍රපටය රස විඳිනවා.
* මෙහි ටෙනිසන් කුරේ ද්විත්ව චරිත මවනවා. බන්දු සමරසිංහවත් ගත්තා නම් චිත්‍රපටය තවත් සාර්ථක වන්නට ඉඩ තිබුණා නොවේද?
මාත් ඔය මතයේ හිටියා. ඔහුට දෙන්න චරිතයක් තිබුණෙම නැහැ සුපිරි අන්දරේ තුළ. ඉතිං මං හිතා ගත්තා මේ චිත්‍රපටයේ ටෙනිසන්, ඊළඟ චිත්‍රපටයට බන්දුව ගන්න. මට තව දෙයක් කියන්න ඕනෑ.
* කියන්න?
ටෙනිසන් කුරේගේ මං දැකපු හොඳම රංගනය තියෙන්නේ මේ චිත්‍රපටයේ.
* ඔබ කොහොමද ඒක හරියටම කියන්නේ?
මං ඔහු රඟපාපු චිත්‍රපට සියල්ලම වගේ බලලා තියෙනවා. ඒවා එක්ක සසඳද්දී ටෙනිසන් මෙහි කරන රඟපෑම අද්විතීයයි.
* කොතරම් හොඳට සුපිරි අන්දරේ සිනමාපටයේ නළු නිළියන් රඟපෑවත් අපේ රටේ සම්මාන උළෙලයන්හී හාස්‍යෝත්පාදක චිත්‍රපට ඇගැයීමකට ලක්වන්නේ නැහැනේද?
අන්න බලන්න කොතරම් අසාධාරණ ද කියලා. අපේ රටේ විතරයි මේ තත්ත්වය තියෙන්නේ. හාස්‍යෝත්පාදක සිනමා කෘතීන් සම්මාන උළෙලවල් නියෝජනය කරන්න ඕනෑ. මම කියන්නේ හොඳම විකට නළුවා, නිළිය හොයලා සම්මාන දෙන්න කියන එක නෙවෙයි. හොඳම සහාය නළුවා, හොඳම සංගීත අධ්‍යක්ෂ හාස්‍යෝත්පාදක චිත්‍රපට තුළින් බිහිවන්න පුළුවන්. මේ වගේ චිත්‍රපටයක නිර්මාණකරුවන්, හොඳ යැයි සමාජය විශ්වාස කරන චිත්‍රපටයක නිර්මාණකරුවන්ව අභිබවා යන්න පුළුවන්.
* සම්භාව්‍ය චිත්‍රපට ගැන ඔබ ද්වේශ යකින්ද ඉන්නේ?
අපෝ නැහැ. සම්භාව්‍ය හෝ වේවා වෙනත් අංශයක චිත්‍රපට හෝ වේවා ඒවා බලලා ප්‍රේක්ෂකයින් වල්මත් වෙනවට මං ආස නැහැ. මිනිස්සු සල්ලි දීලා සිනමා ශාලාවට එන්නේ ප්‍රහේලිකා විසඳන්න නෙවෙයිනේ.
* සරත් වික්‍රමව ඔබ පළමු වතාවට හාස්‍යෝත්පාදක චිත්‍රපටයක සංගීත නිර්මාණය සඳහා යොදා ගන්නවා. මොකක්ද ඉන් ඔබ බලාපොරොත්තුª වූයේ?
මගේ අවශ්‍යතාව ඔහුව මෙතෙක් කොටු වී තිබූ රාමුවෙන් ගලවා ගන්න. ඔහු ඉතා සාර්ථකව චිත්‍රපටයේ සංගීත නිමැවුම් කළා. මට ඕනෑ වුණා සරත් ලව්වා හැත්තෑව අසූව දශකවල ජෝති ගැයුවා වගේ ගීතයක් නිර්මාණය කර ඒක චිත්‍රපටයට යොදා ගන්න. ඒක තමයි චිත්‍රපටයේ අඩංගු නුවන් ගුණවර්ධන ගයන යායෙන් යාය ගීතය. මං හිතන්නේ ප්‍රේක්ෂකයින් හොඳට විඳීයි.
* සුපිරි අන්දරේ පෝලිමේ ඉන්නේ නැතුව ඉක්මනින් තිරගත වුණා. කොහොමද එහෙම වුණේ?
මං හිතන්නේ මම තමයි ලංකාවේ ඉන්න වාසනාවන්තම සිනමා අධ්‍යක්ෂවරයා. වැඩ කටයුතු නිම කොට මං අවශ්‍ය තැන්වලට චිත්‍රපටය බාර දුන්නා. එම්. පී. අයි. මණ්ඩලයෙන් මට තිරගත කරන්නට දින දුන්නා. මගෙන් හෝ නිෂ්පාදක කණ්ඩායම කිසිම බලපෑමක් කළේ නැහැ.
* චිත්‍රපටය කරන්න ගිහින් වැරැදුන තැන් මොනවාද?
එහෙම වැරැදුන තැන් තිබුණේ නැහැ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. නිර්මාණකරුවෙකු කියන්නේ තෘප්තිමත් වන කෙනෙක් නෙවෙයිනේ. ඒක නිසා ඊළඟට හදන චිත්‍රපටය මීට වඩා දස ගුණයක් හොඳට හදනවා.
* ඔබට දැන් ටෙලිවිෂනයට වඩා සිනමාවට හිත ගිහින් වගේ. ඇයි කලාවට ඇවිත් දශක දෙකක් ගත වෙනකම් හිටියේ චිත්‍රපටයක් හදන්න?
මං අධ්‍යයනය කළා. අධ්‍යයනය කළා කිව්වේ ඩිග්රි ගත්තා කියන එක නොවේ. මං හෙමින් හෙමින් වැඩ කිරීම තුළින්මයි ඉගෙන ගත්තේ. ටෙලි මාධ්‍ය තුළින් ලබාගත් ඒ අත්දැකීම් රැගෙනයි සිනමාවට ආවේ. ඔබ කිව්වා වගේ සිනමාවට මං දැන් ලොබ බැඳලා. ඉදිරියටත් සිනමා අධ්‍යක්ෂවරයකු වශයෙන් තමයි මගේ නම කියවනේනේ.
* අවසන් කොට මොනවද කියන්න තියෙන්නේ?
සුපිරි අන්දරේ නිෂ්පාදනය ක්‍රිෂාන් දිලීප පෙරේරා, ප්ලැසිඩස් අයි. ප්‍රනාන්දු සහ සම නිෂ්පාදක ලක්ෂ්මන් ප්‍රේමතිලක යන මහත්වරන්ව මතක් කරනවා. ඒ වගේම අප නිෂ්පාදක පිරිවරට තුති පුදන්නත් කැමැතියි.
READ MORE - මගේ හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට

මහනුවර ජනපති මැදුරේදී සෙංකඩගල රාජසිංහ වැඩ අරඹයි

මහනුවර ජනපති මැදුරේදී සෙංකඩගල රාජසිංහ වැඩ අරඹයි

ලක් ඉතිහාසයේ සහ ලක් රාජාවලියේ ඉතාම තීරණාත්මක අවදියක් වූ වර්ෂ 1798 – 1815 යන කාලවකවානුව තුළ ශ්‍රී ලංකාවේ රාජ්‍යත්වය සංකේතවත් කළ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ පාලන සමයේ සිදු වූ සුවිශේෂ සිදුවීම් අළලා සුදත් රෝහණ තිරයට ගෙන ඒමට නියමිත සෙංකඩගල රාජසිංහ සිනමා කෘතියෙහි මූලික වැඩ කටයුතු හෙට සවස මහනුවර ජනපති මැදුරේ පැවැත්වෙන මුහුරත් උළෙලකින් පසුව ආරම්භ වේ.
ආචාර්ය තිස්ස අබේසේකරයන් කලකට ඉහතදී තිර පිටපත සකස් කෙරූ මෙය සුදත්ගේ දෙවැනි සිනමා නිර්මාණයයි.
ප්‍රවීණ මෙන්ම නව පරපුරෙහි නළු නිළියන් රැසක් රංගනයේ යෙදෙන මෙහි සංගීත අධ්‍යක්ෂණය රෝහණ වීරසිංහගෙනි. අශෝක ආතවුදහෙට්ටි සහාය අධ්‍යක්ෂවරයාය.
චන්න දේශප්‍රිය කැමරාව මෙහෙයවයි.





www.Sarasaviya.lk
READ MORE - මහනුවර ජනපති මැදුරේදී සෙංකඩගල රාජසිංහ වැඩ අරඹයි

සමනළ සංධ්වනිය අති සාර්ථකයි රිංගිං ටෝන් අතිනුත් පෙරමුණේ

Friday, November 15, 2013

සමනළ සංධ්වනිය අති සාර්ථකයි රිංගිං ටෝන් අතිනුත් පෙරමුණේ

ජයන්ත චන්ද්‍රසිරිගේ සමනළ සංධ්වනිය සිනමාපටය මේ වන විට අති සාර්ථක ලෙස තිරගත වන බව ‘සරසවිය’ට දැනගන්නට ලැබෙයි. එය වඩාත් ජනප්‍රිය යොවුන් ප්‍රේක්ෂකයන් අතරේ යැයි අධ්‍යක්ෂවරයා අපට දැන්වීය.
සමනළ සංධ්වනියේ ගීතය ද රිංගිං ටෝන් ලෙස අසන්නන් රාශියක් යොදාගෙන ඇති බව ද වාර්තා වේ. උද්දික ප්‍රේමරත්න, යශෝධා විමලධර්ම ඇතුළු නළු නිළියන්ගේ රංගනය මේ වන විට විචාරක ඇගැයීමට ද ලක්ව ඇත.
ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමා ශාලාවන්හී ප්‍රදර්ශනය වන සමනළ සංධ්වනිය රුවන් ජයසිංහ සහ පාලිත ගුණවර්ධනගේ නිෂ්පාදනයකි.




READ MORE - සමනළ සංධ්වනිය අති සාර්ථකයි රිංගිං ටෝන් අතිනුත් පෙරමුණේ

ඇය සෙනාලි

Tuesday, June 18, 2013

එංගලන්තයේ හිටපු නිසා මගේ රංගනය ගැන සැකයක් සෝමේ අංකල්ට තිබුණා

'සිරි පැරකුම්' හි සිරිමල් එතනා සෙනාලි ෆොන්සේකා
කවුද මේ ‘සිරිමල් එතනා'? මේ දිනවල තිරගත වන “සිරිපැරකුම්” චිත්‍රපටය නරඹන ප්‍රේක්ෂකයන්ට නැ‍ඟෙන ප්‍රශ්නයකි ඒ. ඇය සෙනාලි ෆොන්සේකා. සෙනාලි ලංකාවේ ප්‍රසිද්ධ කලා පවුල් දෙකකට සම්බන්ධ කෙනෙක්. “රසඳුන” වෙනුවෙන් අප සෙනාලි හමුවුණේ ඇයගේ නවතම තොරතුරු විමසා සිටින්නට.
‘සිරි පැරකුම්’ චිත්‍රපටයේ ඔබේ රංගනය ගැන මොන වගේ ප්‍රතිචාරද ලැබෙන්නේ?
චිත්‍රපටය නරඹන ගොඩක් දෙනෙක් මගේ රංගනය අගය කරල කතා කරනවා. චිත්‍රපටය තිරගත වන්න කලින් පවා චිත්‍රපටයට සම්බන්ධ අයගෙන් හොඳ ප්‍රතිචාර මගේ රංගනයට ලැබුණා. හැමෝම මගේ රංගන ජීවිතයට සුබ පතනවා.
මේ ඔබේ කීවැනි චිත්‍රපටය ද?
ම‍ෙග් පළමු චිත්‍රපටය.
‘සිරිපැරකුම්’ වැනි ඓතිහාසික කතාවක් රැගත් චිත්‍රපටයකින් රංගන ජීවිතය ආරම්භ කරන්න ලැබීම ගැන මොනවද හිතෙන්නේ?
මේක අපේ ‍රටේ ඉතිහාසයට සම්බන්ධ සත්‍ය කතාවක්. මගේ චරිතය සිරිමල් එතනා. ඇය තමයි පරාක්‍රමබාහු කුමාරයා අප්‍රකටව සිටින කාලයේ ඔහුගේ පෙම්වතිය. මෙවැනි චිත්‍රපටයකින් රංගන ජීවිතය ආරම්භ කිරීමට ලැබීම ව‍ෙග් ම ආචාර්ය සෝමරත්න දිසානායක මහතා වැනි අධ්‍යක්ෂවරයකුගේ නිර්මාණයකින් චිත්‍රපට රංගනයට එන්න ලැබීමත් වාසනාවක්.
මේ චිත්‍රපටයේ වැඩකරගෙන යද්දී ප්‍රවීණ ශිල්පීන්ගෙන් ලැබුණු සහාය?
ප්‍රවීණ කලාකරුවන් විශාල පිරිසක් එක්ක වැඩ කිරීමේ අවස්ථාව මට මෙහිදී ලැබුණා. මම කලා පවුලකින් එන කෙනෙක් නිසා මේ ප්‍රවීණයින් මට නුහුරු නුපුරුදු අය නෙමෙයි. හැබැයි මීට කලකට පෙර මම ඔවුන් දෙස බැලුවේ ප්‍රේක්ෂකයෙක් විදියට. මේ චිත්‍රපටයේ වැඩ කරන විට ඔවුන් මට ගොඩක් සමීප වුණා.
ඒ වගේ ම විශාල සහයෝගයක් ලබා දුන්නා. රංගනය ගැන, මේ වෘත්තීය ගැන ගොඩක් ඒ උපදෙස් මට ගොඩක් වටිනවා.
කොහොමද ඔබ මේ චිත්‍රපටයට සම්බන්ධ වුණේ?
මාව මේ චිත්‍රපටයට තෝරා ගනිද්දි මම හිටියේ එංගලන්තයේ. දැනට අවුරුදු 10 ක ඉඳල මම පදිංචිය එංගලන්තයේ. මම එහේ ඉගෙන ගන්නවා. මේ චිත්‍රපටයට රංගන ශිල්පීන් ගන්නා බව පුවත්පතකින් දැනගන්න ලැබුණා.
ඊට පස්සෙ මම මගේ විස්තරයි ඡායා රූපයකුයි රේණුකා බාලසූරිය මහත්මියට එව්වා. ඒ අනුව මාව චිත්‍රපටයට තෝරා ගත්තත් සෝමරත්න දිසානායක මහතාට පුංචි සැකයක් තිබුණා අවුරුදු 10 ක් තිස්සේ එංගලන්තයේ ජීවත්වන මට, 13 වැනි ශතවර්ෂයේ ලංකාවේ ජීවත් වුණු චරිතයක් නිරූපණය කරන්න පුළුවන් වේවිද කියලා.
ලංකාවට ඇවිත් සෝමරත්න අංකල් ඉදිරියේ මම ඒ චරිතය නිරූපණය කළා. එවිට තමයි ඔහු මා ගැන නිවැරදි තීරණයකට ආවේ. ඒ විදියටයි මම “සිරිපැරකුම්” චිත්‍රපටයට සම්බන්ධ වුණේ.
ඔබ කොහොමද මේ චරිතයට සූදානම් වුණේ?
මූලික වශයෙන්ම මේ චරිතය ගැන හොඳ අවබෝධයක්, සෝමරත්න අංකල්ගෙන් මට ලැබුණා. ඊට අමතරව පරාක්‍රමබාහු කුමාරයා ගැනත් ඒ යුගය පිළිබඳවත් ලියවුණු පොත් මම කියෙව්වා.
ඒ වගේම මට හම්බ වුණා සිරිමල් එතනා ගැනම ලියවුණු පොතක්. ඒ පොතෙන් මට මේ චරිතය ගැන හොඳ අවබෝධයක් ආවා. ඒ විදියටයි මම මේ චරිතයට සූදානම් වුණේ.
ඔබ පුංචි කාලෙත් කලාවට සම්බන්ධ වෙලා සිටියද?
මීට අවුරුදු 10 කට ඉස්සර සිරස නාළිකාවේ “පුංචි පැංචි” වැඩසටහන ඉදිරිපත් කරන්න මම දායක වුණා. ඊට අමතරව ටෙලිනාට්‍ය කීපයකත් රඟපාල තියෙනවා.
ඔබ රංගනයට ආවේ ඔබේ පවුල් පසුබිම නිසාද?
මේ ක්ෂේත්‍රය මට අමුතු තැනක් නෙමෙයි. මගේ නැන්දා (මාලිනී ෆොන්සේකා) මගේ අනෙක් නැන්දලා අක්කල රඟපානව දැකල මටත් ආශා හිතුනා රංගනයට එන්න. ඉතින් අහම්බෙන් වගේ ඒ ආශාව ඉටුවුණා. මගේ අම්මගේ සහෝදරයෙක් වන අශෝක සෙනරත් මුදලිගේ මාමා මට ගොඩක් උදව් කළා.
ඔබ එංගලන්තයේ මොනවද කරන්නෙ?
මම මූලික අධ්‍යාපනය ලැබුවේ එංගලන්තයේ. ලබන අවුරුද්දේ මම විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනවා. Bio medical science ඉගෙන ගන්න. මම එංගලන්තයේ හිටියට ලංකාවට හරිම ආදරෙයි.
එතකොට ඔබ රංගනයට සම්බන්ධ වෙන්නේ විනෝදාංශයක් හැටියටද?
විනෝදාංශයක් හැටියට කලා කටයුතුවල යෙදෙන්න මම කැමැති නෑ. ඒ මොකද විනෝදාංශයක් ලෙස කරන දෙයකින් හොඳ දෙයක් කරන්න බැරි නිසා. රංගනය කියන්නෙ කැපවීමකින්, අභ්‍යාස කිරීමකින් ප්‍රගුණ කරන්න ඕන ‍ දෙයක්.
අනාගත යේදී මම ඉගෙන ගන්නා විෂයෙන් ඉදිරියට යන ගමන් කලා ක්ෂේත්‍රයේත් රැ‍ඳෙන්න උත්සාහ කරනවා. කරන දේ වෙනුවෙන් උපරිම කැප කිරීමක් කරන්න මම සැම විටම උත්සාහ කරනවා.
ඔබේ පවුලේ විස්තරත් කියන්න?
මගේ තාත්තා උපාලි ෆොන්සේකා. අම්මා සේනානි ෆොන්සේකා. නැන්දා මාලිනි ෆොන්සේකා. මම තමයි පවුලේ එකම දරුවා. අපි ඉන්නෙ එංගලන්තයේ. මගේ අම්ම එයාගෙ රැකියාවෙන් පවා අයින්වෙලා මගේ වැඩවලට උදව් වෙනවා. තාත්තත් මගේ ළඟින්ම ඉන්නවා.
අවුරුදු 10 ක් තිස්සේ එංගලන්තයේ ජීවත් වුණත් ඔබට හොදින් සිංගල කතා කරන්න පුවවන් නේද ?
ඔව් මට හොදට සිංගල කතා කරන්න පුලුවන්.
එංගලන්ත‍ෙය් ජීවත් වුණාට මට මගේ මව් බස අමතක නෑ.
READ MORE - ඇය සෙනාලි

සුබ මොහොතින් නිබ්බිදාව වැඩ ඇරැඹේ

Sunday, April 28, 2013


සුබ මොහොතින් නිබ්බිදාව වැඩ ඇරැඹේ

රංජන් ප්‍රසන්න විසින් අධ්‍යක්ෂණය කරනු ලබන නවතම ටෙලි සිතුවම නිබ්බිදාව හි මුහුරත් උළෙල අද ඇඹුල්දෙණිය මැක්වින් හෝටලයේදී පැවැත්වුණා.
වෙනස්ම කතා තේමාවක් ගත් නිබ්බිදාව ජගත් විජේවීරගේ තිර රචනයක්. නිමල් අබේවර්ධන නිෂ්පාදනයෙන් දායක වන මෙම ටෙලි නිර්මාණය සඳහා ශ්‍රීමාල් වෙඩිසිංහ, දුලීකා මාරපන, බුද්ධික ජයරත්න, වසන්ත ජයසිංහආරච්චි, නිශාන්ත ජයවික්‍රමආරච්චි, තුෂාරි වේහැල්ල, අංජුලා රාජපක්ෂ, රංජිත් රූබසිංහ, සරත් කරුණාතිලක, චංචලා වර්ණකුලසූරිය, රෙක්ස් හැමිල්ටන්, තාරුකා ජයතිලක රංගනයෙන් දායක වීමට නියමිතයි.
මේ ඒ සුබ මොහොත අපේ ඡයාරූප ශිල්පී ටෙනිසන් එදිරිසිංහගේ උප නෙතෙහි ඇදුණු අපූරුවයි.
READ MORE - සුබ මොහොතින් නිබ්බිදාව වැඩ ඇරැඹේ

නිසි වෙලාවට ඒක සිද්ධවේවි


නිසි වෙලාවට ඒක සිද්ධවේවි

තෙසාරා ජයවර්ධන
“තරුවක් සමඟ වරුවක්” විශේෂාංගයට අද එක්වන්නේ තෙසාරා ජයවර්ධන. ඇය ටෙලිනාට්‍යය චිත්‍රපට රංගන ශිල්පිනියකි. එසේ ම ඇය කළමනාකරණය පිළිබඳ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියකි. මේ වනවිට චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රැසකටම රංගනයෙන් දායක වී ඇති තෙසාරා දක්ෂතම ටෙලිනාට්‍ය නිළියට හිමි සම්මානය ද වරක් හිමිකර ගැනීමට සමත් වී ඇත.
මොන වගේ වැඩ කටයුතුත් එක්ක ද ඔබ මේ දවස්වල ඉන්නේ?
මේ දිනවල ‘සකි සඳ සුවාරිස්’ ටෙලිනාට්‍යය රූපගත කිරීම්වලට සහභාගි වෙනවා. මේ ටෙලිනාට්‍ය මේ දිනවල හිරු රූපවාහිනී නාළිකාවෙන් විකාශය වෙනවා. මම එහි නිරූපණය කරන්නේ සිමෝනා චරිතය.
මීට කලකට පෙර ඔබේ රංගනය සම්මානයට පාත්‍ර වුණා නේද?
ඔව් ඒ 2008 අවුරුද්දේදි. ඔව් ඒ; අශෝක හඳගම නිර්මාණය කළ “නැඟෙනහිර වෙරළෙන් ඇසෙන” ටෙලිනාට්‍යයේ රංගනය වෙනුවෙන්. මෙහිදී මට සම්මාන 2 ක් හිමි වුණා. ඒ, ඕ සී අයි සී සම්මාන උලෙළේ හොඳම නිළියට හිමි සම්මානයත්, රාජ්‍ය ටෙලිනාට්‍ය උලෙළේ හොඳම සහාය නිළියට හිමි සම්මානයත්.
ඔබ මෙතෙක් දායක වී ඇති නිර්මාණ...?
මම මුලින් ම රංගනයෙන් දායක වුණේ ‘සිහින දෙව්දුව’ චිත්‍රපටයට. ඉන්පසුව ලෙස්ටර් ජේම්ස් පීරිස් ශූරීන්ගේ “අම්මාවරුනේ” චිත්‍රපටයටත් සුමිත්‍රා පීරිස් මහත්මියගේ ‘යහළුවෝ’ සහ ‘වෛශ්නාවි’ චිත්‍රපට වලටත් එම රංගනයෙන් දායක වුණා. වෛශ්නාවි ළඟදීම තිරගත වේවි.
ඊට අමතරව ප්‍රියංකර විතානච්චිගේ ‘සැමීගේ කතාව’ චිත්‍රපටයේත් මගේ රංගනයක් ඇතුළත්. ඒ මම රංගනයෙන් දායක වී ඇති චිත්‍රපට. ඒ වගේ ම ‘සඳලි සහ තාරකා’, ‘රංගන විජිතය’, ‘සමනළියක් ඉකි බින්දා’, ‘හිම කඳුළු’ ටෙලිනාට්‍යවලටත් තවත් ටෙලිනාට්‍ය කීපයකටත් මම රංගනයෙන් දායක වෙලා තියෙනවා.
ඔබ හිතන විදියට ප්‍රේක්ෂකයින් ඔබට වඩාත් සමීප වුණේ කුමන චරිතයෙන් ද?
‘සඳලි සහ තාරකා’ ටෙලිනාට්‍යයේ රාධිකා ගේ චරිතයෙන් තමයි ප්‍රේක්ෂකයින් මාව හොඳින් හඳුනා ගත්තේ.
ඔබ කලාවට සම්බන්ධ වුණේ ඔබට කලාවට සම්බන්ධ පවුල් පසුබිමක් තිබෙන නිසා ද?
මම කලාවට සම්බන්ධ වුණේ කලාවට තිබුණු ආශාව නිසයි. නමුත් කලාවට සම්බන්ධ වෙන්න දෙමව්පියන්ගේ සහ කලාවට සම්බන්ධ මගේ පවුලට සමීප උදවියගෙන් මට විශාල සහයෝගයක් රුකුලක් ලැබුණා.
මගේ තාත්තා ආචාර්ය අමර ජයවර්ධන, මව ආචාර්ය ජයන්ති ජයවර්ධන. මගේ තාත්තා චිත්‍රපට කීපයක් ම නිෂ්පාදනය කළා. ඒ චිත්‍රපටවල රඟපෑමේ අවස්ථාව මට හිමිවුණා.
රංගනයට අමතරව ඔබ ලේඛනයෙත් යෙදෙනවද?
ඔව් මම ලියන්න කියවන්න හරි කැමැතියි. මගේ අම්ම ලේඛිකාවක්. ඇය සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් ග්‍රන්ථ කීපයක් ම රචනා කරල තියෙනවා. මම ලේඛනයට යොමු වුණේ අම්ම නිසා. මගේ පළමු නවකතාව ‘සඳ නොදුටු තාරකා’ එය සරසවි ප්‍රකාශනයක්. ඒක පුනරුත්පත්තිය ගැන කියවන කුතුහලයෙන් පිරුණු කතාවක්. මගේ දෙවැනි කෘතිය ‘හිරු නොදුටු දේදුනු’ එයත් කුතුහලය දනවන කතාවක්.
ලේඛනයේදී ඇයි ඔබ පුනරුත්පත්තිය වැනි තේමාවක් තෝරාගත්තේ?
පුද්ගලිකව මම කැමැතියි, කුතුහලය දනවන අභිරහස් නිර්මාණවලට. රඟපෑමේදී වුණත් මම කැමැති එවැනි නිර්මාණවලට දායක වෙන්නයි.
රංගනයට ලේඛනයට අමතරව ඔබ නිරත වී සිටින වෙනස් ක්ෂේත්‍ර මොනවාද?
මම නිවේදන කටයුතු වලටත් ගොඩක් කැමැතියි. මම පළමුවෙන් ම කළේ ජාතික රූපවාහිනියේ ‘ලංකා ව්‍යාපාරික පුවත්’ වැඩසටහන. ඉන්පසුව මම ස්වර්ණවාහිනි ආයතනයේ ස්ටොක් මාකට් වැඩසටහන ඉදිරිපත් කළා. මේ දිනවල සියත නාළිකාවේ යාන වාහන වැඩසටහන ඉදිරිපත් කරනවා. ඒ වගේ ම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අලෙවිකරණය විෂය පිළිබඳව කතිකාචාර්යවරියක් ලෙසින් සේවය කරනවා.
පසුගියදා ඔබට අධ්‍යාපනික ක්ෂේත්‍රයෙන් ජාත්‍යන්තර ජයග්‍රහණයකුත් හිමි වුණා නේද?
ඔව්, මහා බ්‍රිතාන්‍යයේ සී අයි එම් ආයතනය මගින් පැවැත්වූ වරලත් අලෙවිකරණය පිළිබඳ පශ්චාත් ඩිප්ලෝමා පාඨමාලාවේ ලොව විශිෂ්ටතම ශිෂ්‍යාවට හිමි සම්මානය මට හිමි වුණා.
කවුද ඔබේ පවුලේ ඉන්නේ?
මගේ පවුලේ අය ඉන්නේ නවසීලන්තයේ. අම්මයි තාත්තයි මල්ලි තමයි මට ඉන්නේ. පොඩි කාලේ ඉඳලම මම හැදුණේ වැඩුණේ නවසීලන්තයේ.
ඔබ දැන් විවාහ වන වයසේ පසුවන යුවතියක් නේද?
ඔව්. නිසි කාලයට නිසි වෙලාවට ඒ දේවල් සිදුවේවි.
මොනවගේ බලාපොරොත්තු ද අරමුණු ද ඔබට තියෙන්නේ?
හොඳ නිර්මාණවලට දායක වෙමින් දිගටම කලාව තුළ ඉන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේ ම මම ඉගෙන ගන්න දේවල් මේ රටේ දරුවන්ට කියා දීමෙන් මේ රටට සේවයක් කරන්නත් මගේ විශාල ආශාවක් තියෙනවා.
READ MORE - නිසි වෙලාවට ඒක සිද්ධවේවි

පතිරාජ: අපේ සිනමාවේ සොලනාස්

Monday, April 1, 2013

පතිරාජ: අපේ සිනමාවේ සොලනාස්

ධර්මසේන පතිරාජ සිනමාවට සම්බන්ධ වන්නේ චිත්‍රපට විචාරකයකු ලෙසිනි. ‘සිංහල සිනමාවේ නව යුගයක් බිහිවී ඇද්ද’ යනුවෙන් ඔහු ලියු ලිපිය ඔහුගේ මුල්ම සිනමා ලිපිය නොවන්නේ නම් මුල්ම සිනමා ලිපිවලින් එකක් විය යුතු යැයි මම සිතමි.
එය ‘රන්මුතු දූව, සිකුරු තරුව සහ ගම්පෙරළිය’ යන චිත්‍රපට තුන අළලා කෙරුණු සමෝධානික විචාරයකි. පතිරාජ ඉහත ලිපිය ලියන අවදියේ පේරාදෙණි විශ්ව විද්‍යාලයයේ සිසුවකුව සිටියේය. එම ලිපිය පළවූ ‘පියවර’ සඟරාව එකී විශ්ව විද්‍යාලයයේ ප්‍රකාශනයකි.
ඊට පසු පතිරාජ ‘තේමාව, දෘශ්‍ය රූප හා මිනිසා සහ කපුටා’ (සමකාලීන සිනමාව 1970) ‘තුංමංහංදිය’ (සරසවිය 1970 නොවැම්බර් 12) ‘මෙහෙයවීම’ (‘කෙටි චිත්‍රපට’ සඟරාව) යනාදි වශයෙන් සිනමාව අළලා ලිපි කීපයක්ම ලියා ඇත. ඉන් ලිපි දෙකක් ‘මිනිසා සහ කපුටා’ කෙටි චිත්‍රපටයත් ‘තුංමංහංදිය’ චිත්‍රපටයත් පිළිබඳ විචාර වන අතර අනිත් ලිපිය කෙටි චිත්‍රපට කලාව ගැන ලියැවුණකි.
පතිරාජ සිනමාකරණයට ප්‍රවිෂ්ට වන්නේ ‘සතුරෝ’ (1970) නම් වූ කෙටි චිත්‍රපටය නිර්මාණය කිරීමෙනි. ඒ වන විට ලෝක සිනමාවේ නොයෙක් ප්‍රවණතා සිදුව තිබිණි. 1958 - 59 කාලයේ ඇරැඹුණු ප්‍රංශ නවරැල්ල (NEW WAVE) ඒ වන විට නිම වී තිබුණු අතර බ්‍රෙසීලයේ ‘සිනමා නෝවෝ’ (CINEMA NOVO) නම් වූ සිනමා ව්‍යාපාරය ආරම්භව එහි වර්ධිත අවස්ථාවක පැවතුණේය.
ඉන්දියාවේ සමාන්තර සිනමාවක් (PARALLEL CINEMA)  බිහිවෙමින් තිබිණි. මේ සිනමා ව්‍යාපාරවලට අයත් ඇතැම් චිත්‍රපට පතිරාජට දක්නට ලැබුණු අතර අවම වශයෙන් එකී චිත්‍රපට ගැන පළවූ විචාරාත්මක ලිපි ඔහුට කියවන්ට ලැබුණේය.
ප්‍රංශ නවරැල්ල පතිරාජගේ සිනමා භාවිතය කෙරෙහි නොමඳ බලපෑමක් ඇතිකළ සිනමා ප්‍රවේගයකි. ‘ශ්‍රී ලංකන් සිනමා’ යන නමින් ජෙෆ් බර්ටන් ඕස්ට්‍රේලියාවේ පළවන ‘සිනමා පේපර්ස්’ නම්වූ සඟරාවට ලියු ලිපියේදී පතිරාජ තමන්ට දකින්නට ලැබුණු ප්‍රංශ නවරැල්ලට අයත් ඇලන් රෙනේ ගේ ‘ලාස්ට් ඉයර් ඉන් මාරියන්බාද්’ නමැති චිත්‍රපටය තම සිතේ සන්ත්‍රාසයක් ඇතිකළ බව කියා ඇත. (ඉහත ලිපිය 1978 පළවූ ‘සිනමානුරූප’ නම් වූ සඟරාවේ පරිවර්තනය කොට පළකර ඇත)
ශොන් ලූක් ගොඩාඩ්ගේ ‘බ්‍රෙත්ලස්’ වැනි චිත්‍රපටයකත් පතිරාජගේ ‘අහස් ගව්ව‘ වැනි චිත්‍රපටයකත් කිසියම් සමානකමක් දැක්ක හැකිය. ‘බ්‍රෙත්ලස්’ චිත්‍රපටයට වස්තු විෂයය වූයේ ප්‍රංශ සමාජයේ නන්නත්තාර තාරුණ්‍යයයි. මෙහි ශොන් පෝල් බෙල්මොන්ඩෝ රඟපාන මිෂෙල්ගේ චරිතයත් ‘අහස් ගව්වේ’ අමරසිරි කලංසූරිය රඟපාන විජේගේ චරිතයත් අපට සංසන්දනය කළ හැකිය.
කලංසූරියගේ රංගනයත් ඔහුගේ බාහිර හැඩරුවත් බොහෝ දුරට බෙල්මොන්ඩෝ ගේ රංගනයට හා බාහිර හැඩරුවට සමරූපී වූයේය. එහෙත් වරක් කලංසූරිය මා සමඟ ඉතාම අවංකව කියා සිටියේ තමා බෙල්මොන්ඩෝගේ රඟපෑම් කිසිවක් දැක නැති බවයි.
ආසියා, අප්‍රිකා හා ලතින් අමෙරිකානු වැනි තුන්වැනි ලෝකයේ රටවල විශේෂයෙන් ලතින් ඇමෙරිකානු රටවල දේශපාලන සිනමා ව්‍යාපාරය ආරම්භ වූයේ හැටේ දශකයේදීය. එහි පුරෝගාමි අවස්ථාවක් බ්‍රෙසීලයේ ‘සිනමා නෝවෝ’ නම් වූ ව්‍යාපාරය සනිටුහන් කරයි. නෙල්සන් පෙරෙයිරා ඩොස් සන්ටොස්ගේ ’VIDAS SECAS’ (1962) රුයි ගුඒරාගේ ‘OS FUZIS’  (1963) ග්ලෝබර් රෝෂාගේ ‘BLACK GOD, WHITE DEVIL’ (1964) යන චිත්‍රපට මෙම සිනමා ව්‍යාපාරයේ පැහැදිලි නියෝජනයන්ය.
ඉහත සඳහන් චිත්‍රපට පතිරාජට අපේ රටේ දී දක්නට නොලැබුණා යැයි සිතිය හැකි වුවත් ඔහු සතු ඉංගිරිසි දැනුම මත එක් සිනමාකරුවන් හා ඔවුන්ගේ චිත්‍රපට ගැන රචිත ලිපි කියවීමට අවස්ථාවක් ලැබුණේ යැයි උපකල්පනය කළ හැකිය. 1970 පමණ වන විට බ්‍රෙසීල සිනමාව ගැන විශේෂයෙන් ග්ලෝබර් රෝෂා ගැන සිංහලෙන් පවා ලිපි පළ වූයේය.
පියසිරි නාගහවත්ත ලියු ‘සිනමා සටහන්’ නම් වූ ග්‍රන්ථයේ බ්‍රෙසීල සිනමාව ගැනත් රෝෂා ගැනත් සඳහන් වෙයි. එසේම 1971 දී පළවූ ‘සමකාලීන සිනමාව‘ නම් වූ සඟරාවේ ‘ග්ලෝබ් රෝකාගේ ‘ඔළු හතේ සිංහයා කල්ලන්ගේ විප්ලවයේ ප්‍රතිමූර්තියකි’ නමින් පරිවර්තන ලිපියක් පළවී තිබේ.
ආර්ජෙන්ටිනාවේ ෆර්නැන්ඩු සොලනාස්, ඔක්ටාවියෝ ගෙටීනෝ, බොලිවියාවේ ජෝර්ජ් සන්ජින්ස්, චිලියේ මැනුවෙල් ලීටින්, කියුබාවේ ජුලියා ගාර්ෂියා එස්පිනෝසා, මැනුවෙල් ඔක්ටාවියෝ ගෝමස්, තෝමස් ගුතිරෙස් අලියා, හම්බර්ටෝ සොලාස්, සන්තියාගෝ අල්වා රේස්, ඇල්ෆ‍්‍රඩ් ගුඒරා වැනි සිනමාකරුවන් ගැන ද පතිරාජ නොදැනුවත්ව සිටියා යැයි සිතිය හැකි ද?
විශේෂයෙන් සොලනාස්ගේ සුප්‍රකට උද්ධෘතයක් වූ “ප්‍රක්ෂේපණ යන්ත්‍රය වූ කලී තත්පරයකට රූප රාමු 24 කින් වෙඩි තැබිය හැකි තුවක්කුව කි” යන්න පතිරාජ දැන සිටි අයුරු සාක්ෂාත් වන්නේ හැත්තෑව දශකයේ දී පමණ පළවූ ‘සිනමාව විප්ලවීය කලා මාධ්‍යයකි’ යන පොත් පිංචෙනි. එය පතිරාජ සමඟ කෙරුණු සම්මුඛ සාකච්ඡාවක් අනුව සකස් කරන ලද්දකි.
එකී සාකච්ඡාවේදී පතිරාජ සොලනාස්ගේ ඉහත උද්ධෘතය ගෙනහැර පායි. ස්පාඤ්ඤයේ ලුවිස් බුනුයෙල්ගේ සිනමාව ද හැත්තෑව දශකයේ දී මෙරට සිනමා ලේඛකයන්ගේ අවධානය දිනාගත්තකි. ඔහුගේ ‘ලොස් ඔල්විදාදෝස්’ (LOS OLVIDADOS) වැනි චිත්‍රපටයක් අපට සිහිපත් කරවන්නේ පතිරාජගේ ‘අහස් ගව්වයි.’ ඊටත් වඩා ඔහුගේ ‘මතුයම් දවස’ චිත්‍රපටයයි. රැකියා විරහිත නන්නත්තාර ගැටවරයන් ප්‍රචණ්ඩත්ව ගොදුරු වන ආකාරය ‘ලොස් ඔලිවිදාදෝස්’ චිත්‍රපටයෙන් මනාව නිරූපණය වෙයි.
තුන්වැනි ලෝකයේ රටවලින් අප්‍රිකාව ගැන කතා කරද්දි අපට විශේෂයෙන් සිහිපත් වන්නේ සෙම්බෙනේ උස්මාන්ගේ සිනමාවය. සෙම්බේනේ අප්‍රිකානු සිනමාවේ (විශේෂයෙන් සෙනගාල් සිනමාවේ) පියා ලෙස සැලකෙන්නෙකි. ඔහු සිනමාකරණයට එළැඹෙන්නේ හැටේ දශකය මැද භාගයේදී පමණය. එසේ වුවත් සෙම්බේනේ ගේ චිත්‍රපට පතිරාජ කෙරෙහි බලපෑ බවක් පෙනී නොයයි.
ඉන්දීය සමාන්තර සිනමාවක ආරම්භය සිදුවන්නේ 1969 දීය. විශේෂයෙන් ඉන්දීය චිත්‍රපට මූල්‍ය සංස්ථාවේ ආයෝජනයෙන් එම වසරේ බිහිවූ චිත්‍රපට තුනක් සමඟය. ඒ චිත්‍රපට තුන නම් ම්‍රිනාල් සෙන්ගේ ‘BHUVAN SHOME’  (බූවාන් ශෝමේ), මනි කවුල්ගේ ‘USKI ROTI’  (උස්කි රොටී) හා බාසු චැටර්ජිගේ ‘SARA AKASH’ (සාරා ආකාශ්) ය. මෙයින් ම්‍රිනාල් සෙන් ඉන්දිය මහා සිනමාකරු වූ සත්‍යජිත් රායිට විකල්ප වූ සිනමා මඟක් අනුගමනය කළ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් විය.
ඔහුගේ කල්කටා ත්‍රිත්වය INTERVIEW, (ඉන්ටවීව්) CULCATTA 71’ (කල්කටා 71’) සහ PADATIK (පදතික්) සමඟ පතිරාජගේ චිත්‍රපට සැසඳීම වැදගත්ය. එයිනුත් ‘ඉන්ටර්වීව්’ චිත්‍රපටයේත් පතිරාජගේ ‘සතුරෝ’ නම් වූ කෙටි චිත්‍රපටයේත් අත්දැකීම එක හා සමානය. (‘ඉන්ටර්වීව්’ චිත්‍රපටය හැත්තෑව දශකය මුලදී පමණ මෙරට චිත්‍රපට විචාරක සංගමය සංවිධානය කළ අන්තර්ජාතික චිත්‍රපට උළෙලකදී තිරගත විය.)
රිත්වික් ඝටක් ගේ චිත්‍රපට පතිරාජ සිනමාකරණයට ප්‍රවිෂ්ට වූ මුල් අවදියේ දැක තිබුණා ද යන්න සැක සහිතය. එහෙත් ඝටක්ගේ ‘නාගරික්’(NAGARIK) වැනි චිත්‍රපටයක වස්තු විෂයයත් පතිරාජගේ ‘අහස් ගව්ව‘ චිත්‍රපටයේ වස්තු විෂයයත් අතර යම් යම් සම ලක්ෂණ දක්නා ලැබේ. ‘නාගරික් චිත්‍රපටයේ කතා නායකයා ද රැකියා විරහිත තරුණයෙකි. සිනමාව හා දේශපාලනය’ හා සම්බන්ධයෙන් රිත්වික් ඝටක් සතු චින්තනයත් පතිරාජ සතු චින්තනයත් අතර ඇත්තේ ද දෘඪ සමීපත්වයකි. ඝටක් මෙසේ කියා ඇත.
“සටන් පාඨ කීම හෝ විසඳුම් ඉදිරිපත් කිරීම මගේ කාර්ය නොවේ. ප්‍රශ්නයේ යථා තත්ත්වය ඉදිරිපත් කිරීමත් ඒ ගැන සිතීමට සැලැස්වීමත් මම සිතන්නේ වැදගත්.” පහත එන්නේ ඊට ම සමාන වූ පතිරාජගේ කියුමකි. “මිනිසුන්ගේ සිත්සතන් වෙනස් කිරීමට මගේ අභිලාෂයක් නැහැ. මට මිනිසුන්ට දෙන්න පණිවුඩයක් නැහැ. දැනට පවතින නොයෙක් නොයෙක් ප්‍රශ්න, තත්ත්ව ගැන සාකච්ඡා පමණයි මට අවශ්‍ය.” (‘සිනමා පේපර්ස්’ සඟරාව)
පතිරාජ පසු කලෙක ඉන්දීය සිනමාව කෙරෙහි කෙතරම් විෂයාශක්ත වී ද කිවහොත් ඔහු තම ආචාර්ය උපාධි නිබන්ධය සඳහා මාතෘකා කොට ගත්තේ බෙංගාලි සිනමාවය. විශේෂයෙන් එම සිනමාව නියෝජනය කරන සත්‍යජිත් රායි, රිත්වික් ඝටක් හා ම්‍රිනාල් සෙන්ගේ සිනමාවය. පතිරාජ මෑතදී මහාචාර්ය ආරිය රාජකරුණා අභිනන්දන ග්‍රන්ථයට ලියු දීර්ඝ ලිපිය ද ඉන්දීය සිනමාව පාදක කර ගත්තකි. එම ලිපියේ මාතෘකාව මෙපරිදිය. ‘INDIANITY AND MODES OF REALISM AND MELO DRAMA IN INDIAN FILMS’.
හැත්තෑව දශකය වන විට තවත් ආසියාතික රටක් වන පිලිපීනයේ ද නව සිනමාවක් මතුවී ආවේය. ලිෆෝ බ්‍රෝකා හා ඉස්මයිල් බර්නාල් යන දෙදෙනා නියෝජනය කළේ එකී නව සිනමාවයි. එහෙත් ඔවුන්ගේ චිත්‍රපට මෙරටදී දක්නට අවස්ථා නොලැබිණි. හොලිවුඩ් සිනමාවේ ස්වාධීන මඟක් ගත් චිත්‍රපට අධ්‍යක්ෂවරුන් කීප දෙනාගෙන් කෙනකු වන ජෝන් ෂෙල්සිංගර් නිර්මාණය කළ ‘මිඩ් නයිට් කව්බෝයි’ (MID NIGHT COWBOY) නමැති චිත්‍රපටයේත් පතිරාජගේ ‘අහස් ගව්වෙත්’ යම් යම් සමානතා කිසියම් විචාරකයකුට දැක්ක හැකිය.
එහි ඩස්ටින් හොෆ්මාන් හා ජෝන් වොයිට් රඟපාන චරිත දෙකත් ‘අහස් ගව්වේ’ අමරසිරි කලංසූරිය හා විමල් කුමාර ද කොස්තා රඟපාන චරිත දෙකත් අතර කිසියම් සාම්‍යයක් පවතී.  එම චරිත දෙකම විරක්ෂාභාවයට පත් චරිතය. ඔවුන් මුහුණ දෙන්නේ ද එකබඳු අත්දැකීම් වලියකටය. ඉහත සාධක ඔස්සේ මා පෙන්වා දීමට උත්සාහ දැරුවේ ධර්මසේන පතිරාජ එකී විදේශීය චිත්‍රපට අනුකරණය කළ බව නොව ඇතැම් විට නිර්මාණ ආභාසයක් ලත් බවය. ඔහු එබඳු චිත්‍රපට දැක නොතිබුණත් එම චිත්‍රපට ගැන පළවු විචාර ලිපි ඔස්සේ ඒවායින් පෝෂණයක් ලද බවය.
තමා නරඹන හෝ කියවන හැම චිත්‍රපටයක්ම අධ්‍යක්ෂවරයකුගේ විඥානයේ රැඳී පවතී. ඔහු නිර්මාණයක් කරන විට දැනුවත්ව හෝ නොදැනුවත්ව එම චිත්‍රපට ඔහු කෙරෙහි සෘජුව හෝ වක්‍රව බලපායි. මතැන සිදුව ඇත්තේද එවැන්නකි.
READ MORE - පතිරාජ: අපේ සිනමාවේ සොලනාස්

චිත්‍රපට සංස්ථා සභාපතිකමට අසෝක සේරසිංහ සුදුසු නැහැ

චිත්‍රපට සංස්ථා සභාපතිකමට අසෝක සේරසිංහ සුදුසු නැහැ

ආචාර්ය සෝමරත්න දිසානායක
* සංස්ථාව තීරණය කළ පිටපත් 35 නිකුත් කිරීමේ ක්‍රමවේදයට ඔබ විරුද්ධ වුණේ ඇයි?
දැන් මගේ චිත්‍රපට ගත්තොත් ‘සරෝජා’ සිට ‘කුසපබා’ දක්වා ගත්තොත් හැම චිත්‍රපටයකටම විශාල ප්‍රේක්ෂක ඉල්ලීමක් තිබුණා. ඒ කාලේ පිටපත්වල සීමාසහිත බවක් තිබුණේ නෑ. අපි සිනමාවේ සම්ප්‍රදායක් හැටියට පුරුදුවෙලා හිටියා පිටපත් 15, 20, 25 ක් ගහන්න. නිෂ්පාදකයා වැය කරන ප්‍රමාණය අනුව.
නමුත් අපි හිතුවා අපේ චිත්‍රපටවලට තිබෙන ඉල්ලුම නිසා අපි එකවර ලංකාව පුරාම ආවරණය වන විදියට, ලංකාවේ දුර බැහැර සිටින ප්‍රේක්ෂකයාටත් සාධාරණයක් වන විදියට අපේ පිටපත් දුර බැහැර ප්‍රදේශවලටත් මුදා හැරිය යුතුයි කියලා.
ඒක අපි ගන්න අවදානමක්. අපි වැඩිපුර පිටපත් ගහනවා කියන්නේ වැඩිපුර වියදම් කිරීමක්. එක පිටපතකට ලක්ෂ දෙකහමාරක් විතර අපි වැඩිපුර වියදම් කරනවා. එහෙම ගහල පිටපත් වැඩිපුර දුන්නම ලංකාව පුරාම ප්‍රේක්ෂකයෝ ඒක බලනවා.
ඒ වගේම තමයි සිනමාව අර්බුදයකට මුහුණ දීලා තිබුණා 90 දශකයේ සහ 2000 මුල හරියෙදි. සිනමා ශාලා වැහෙන්න ගත්තා. සිනමා ශාලාවලට මිනිස්සු ආවේ නෑ. සිනමාව ප්‍රතික්ෂේප වෙමින් පැවතුණා.
ඔවුන්ට රසවිඳින්න පුළුවන් චිත්‍රපට ප්‍රමාණවත් ලෙසින් නිෂ්පාදනය නොවුණු නිසයි එහෙම වුණේ. නමුත් මගේ චිත්‍රපට රැල්ල ආවට පස්සේ මම තනිකරලා කතා කරනවා නෙමෙයි.
මගේ චිත්‍රපට සමඟ තවත් ආකර්ෂණීය චිත්‍රපට හදපු නිර්මාණ කරුවෝ පිරිසක් හිටියා. අන්න ඔවුන්ගේ චිත්‍රපට බලන්න ප්‍රේකෂකයෝ ආපසු සිනමා ශාලාවලට එන්න පටන් ගත්තා. එතකොට අර වහල තිබුණ චිත්‍රපට ශාලා ඇරියා. අලුතින් සිනමා ශාලා පටන් ගත්තා.
සිනමාවේ ප්‍රබෝධයක් ඇතිවුණා. අපේ චිත්‍රපටවලට සෙනඟ ආකර්ෂණය වෙනකොට, බෙදා හැරීමේ සිනමා මණ්ඩල අපේ චිත්‍රපට ඉල්ලනකොට ආකර්ෂණයක් නොමැති චිත්‍රපට හදන අයට පොඩි මදි පාඩුවක් වෙනවා.
ඒකට අපිට කරන්න දෙයක් නෑ. ඔවුන්ගේ ඊර්ෂ්‍යාවට අපි ලක්වෙනවා. ඒ නිසා ඔවුන් තමයි එකතුවෙලා නීතියක් ගේන්නේ ජනපි‍්‍රය චිත්‍රපටවල පිටපත් ගාණ සීමා කළ යුතුයි කියලා.
ඔවුන් චිත්‍රපට සංස්ථාවේ සභාපති සහ අනෙකුත් බලධාරින් කැමැති කරවාගෙන තීරණයකට ආවා. මුලින් සභාපති අපෙන් විමසා සිටියා මේ ගැන. අපි ඒකට කොහෙත්ම කැමැති වුණේ නෑ. නමුත් සභාපති ඒකපාර්ශ්වීයව කන්දීමෙන් ඒ තීන්දුව ගත්තා. දැන් අපි කියා සිටින්නේ මේ පිටපත් 35 සීමාව කියන්නේ අර ප්‍රබෝධයෙන් නැඟී සිටි සිනමාව යළි පරිහානිය කරා යොමු කිරීමක් කියලයි. මම කියනව විතරක් නොවෙයි මට ඒක සනාථ කරන්නත් පුළුවන් ඒක එහෙම වෙනවයි කියලා.
* නමුත් ඔබට ප්‍රතිවිරුද්ධ අදහස් දරන බහුතරයක් කියා සිටින්නේ පිටපත් 50 සීමාවට ගියොත් මෙය කිහිපදෙනෙකුට පමණක් සීමාවෙනවා. චිත්‍රපට ප්‍රදර්ශන පෝලිම දික්වෙනවා. එවැනි විශාල පිටපත් ප්‍රමාණයක් නිකුත් කරන්නට ප්‍රමාණවත් සිනමා ශාලා අපට නැති නිසා බහුතරයක් සිනමා නිර්මාණකරුවන්ට ඉන් අසාධාරණයක් සිදුවන බවයි.
පෝලිම දික්වෙනවා කියන්නේ දැනට අවුරුදු ගණනාවකට පෙර හදපු චිත්‍රපට තවමත් ප්‍රදර්ශනය නොවීම නිසානේ. අපි පොඩ්ඩක් විමසලා බලන්න ඕන ඇයි එහෙම වෙන්නේ කියලා. මම චිත්‍රපටයක් හදලා සිනමා ශාලාවකට හෝ මණ්ඩලයට දෙන්නත් ඔවුන් ඒක ගන්නත්, අර අනෙක් කෙනාගේ චිත්‍රපටය නොගන්නත් හේතුව මොකක් ද? ඒ චිත්‍රපටයේ අන්තර්ගතයේ තිබෙන කුමක් හෝ අඩුපාඩුවක් වෙන්න පුළුවන්.
දුර්වල, අවර ගණයේ, මහජන ඉල්ලුමක් නැති නිර්මාණ හදපුවම කාගේද වැරැද්ද? ඒක විකිණෙන්නේ නැතිකොට අර විකිණෙන බඩුහදපු නිර්මාණකරුවද වැරදි? අපි කියලා නෑනේ කාටවත් හොඳ චිත්‍රපට හදන්න එපා. ජනපි‍්‍රය චිත්‍රපට හදන්න එපා කියලා. ඕන කෙනෙකුට විවෘතයි. මේක තරගයක්.
මෙතන තියෙන්නේ ඊර්ෂ්‍යාවක්. අපි කියන්නේ නෑ අහවල් අයගේ චිත්‍රපටවලට වැඩි සැලකිලි දෙන්න කියලා. අපි කියන්නේ සමස්තයක් හැටියට විවෘතව තියන්න. කැමැති කෙනෙක් ආකර්ෂණීය චිත්‍රපට හදන්න. තමන්ගේ චිත්‍රපටයට ආකර්ෂණයක් තිබෙනවා නම් ඒක යනවා. දුවන්නේ නැතිනම් ඒකට වෙන කරන්න දෙයක්නෑ. ඒක ඒ අයගේ අසාර්ථකත්වය.
* එතකොට මේ ප්‍රශ්නය නිසා වසරකට ප්‍රදර්ශනය වන චිත්‍රපට ප්‍රමාණය සීමා සහිත වීම සහ පෝලිම දිග්ගැසීම ගැන ඔබ මොනවද කියන්නේ?
පෝලිම දිග්ගැස්සවීමේ ප්‍රශ්නයක් තාම වෙලා නෑ. අපි 2000 දශකය ගත්තොත් මේ ටිකට ජනපි‍්‍රයයි කියන බැඳගෙන දුවන, දින සියය ඉක්මවන, පිටපත් 35 ට වැඩිය මුද්‍රණය කරන මෙවැනි චිත්‍රපට අවුරුද්දට එකක් නැතිනම් දෙකක් හැදෙන්නේ. දවස් 365 ක් අවුරුද්දට තිබෙනවා. අපිට සිනමා ශාලා එකසිය පනස් ගණනක් තිබෙනවා. එකසිය පනස් ගණනේම දවස් තුන්සිය හැටපහේම ඔය කියන ජනපි‍්‍රය චිත්‍රපට දුවන්නේ නෑ. ඒ අතරතුර ඉඩ තිබෙනවා. ඒ ඉඩතියෙන තැන්වලට ඔවුන්ට යන්න පුළුවන්.
* ඔය කියන අර්බුදයට තමයි චිත්‍රපට සංස්ථාව සහ ඔබ අතර ප්‍රතිවිරුද්ධ අදහස් ඇති වුණේ?
ඔව්. ඔය චක්‍රලේඛය පිට කරන්නේ සභාපතිගේ අස්සනින්. අපි දන්නේ නෑ ඒක කාගේ යෝජනාවක් ද කොහෙන් පටන් ගත්තද කියලා. සභාපතිගේ අස්සනින් චක්‍රලේඛයක් යවනකොට අපි ඇඟිල්ල දික් කරන්නේ සභාපතිට. අපි ඔහුට එහි ආදීනව පැහැදිලි කරලා මේක කරන්න එපා කියලා කිවුවා.
ඊට කලින් පහුගිය අගෝස්තු මාසේ එයා දැන්වීමක් දාලා පුවත්පත්වල තිබුණ මෙහෙම කරන්න අදහසක් තිබෙනවා. අදහස් දක්වන්න කියලා. අපි ඒකටත් අදහස් දැක්වූවා. මම සිනමා නිර්මාණ සංසදයේ සභාපති හැටියට අදහස් දැක්වුවා. සිනමා මණ්ඩල පහෙන් හතරක් ම අදහස් දක්වලා තිබුණා. මේක කරන්න එපා කියලා.
ඒ කිසි කෙනෙකුට කන්දීමක් කරලා නෑ. එයා කන්දීලා තියෙන්නේ ආකර්ෂණීය නොවන චිත්‍රපට හදන පිරිසකට පමණයි. මම කියන්නේ වර්තමාන සභාපතිතුමාගේ මේ චක්‍රලේඛය නිසා සිනමාවට සිදුවන්නේ අයහපතක් බවයි. අපේ රටේ ඈත දුෂ්කර ප්‍රදේශවල සිටින සිනමා ප්‍රේක්ෂකයින්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරනවා මේ නිසා.
* චිත්‍රපට සංස්ථා සභාපතිවරයා සහ ඔබ දැන් ඉන්නේ ප්‍රතිවිරුද්ධ මතවල. නමුත් ඔය සභාපතිවරයා පත්කරන්නටත් ඔබලාම නේද මහන්සි වුණේ?
අපේ දේශපාලන ජයග්‍රහණය පසුව එක එක්කෙනා තනතුරු ඉල්ලා සිටියා. නමුත් මගේ එහෙම ඉල්ලීමක් තිබුණේ නෑ. මම වැඩ කලේ රටේ පොදු යහපත තකා. මට දුන්න තනතුරුත් මම ප්‍රතික්ෂේප කළා. නමුත් සමහරු තනතුරු බලාපොරොත්තු වුණා. එහෙම බලාපොරොත්තු වන විට ඒවාට සුදුසුයැයි කියලා හිතෙන අය අපි නිර්දේශ කළා. අසෝක සේරසිංහ මහතාත් එවැනි නිර්දේශයක්.
ඔහු වෘත්තියෙන් නීතිඥයෙක්. සිනමාවට කෙසේ වෙතත් වේදිකා නාට්‍යවලට හා ටෙලිනාට්‍යවලට සම්බන්ධ වෙලා හිටියා. අපිට හිතුණා ඔහු නිර්දේශ කළ යුතුයි කියලා. ඒ නිසා අපි දුන්න ලැයිස්තුවේ චිත්‍රපට සංස්ථා සභාපති ධුරයට ඔහුගේ නම අපි නිර්දේශ කළා. නමුත් අද අපිට පේනවා ඔහු සිනමා ක්ෂේත්‍රයේ පරිහානියට වැඩ කරනවා. ඔහු ඒ තනතුරට, නායකත්වයට සුදුසු කෙනෙක් නොවෙයි කියලා.
* ඉදිරියට චිත්‍රපට ප්‍රදර්ශනය වෙන්නේ රැඟුම් පාලක මණ්ඩලයේ අනුමැතිය ලැබූ පිළිවෙළට නේද?
රැඟුම් පාලක මණ්ඩලයේ සහතිකයේ පිළිවෙළට පෙන්වන්න කියලා චිත්‍රපට සංස්ථාව නියෝගයක් කළාට සභාපතිවරයා දන්නම දෙයක් තමයි චිත්‍රපට බෙදාහැරීම පුද්ගලීකරණය වී තිබීම. ඒ නිසා රජයට බලපෑම් කරන්න බෑ පෞද්ගලික බෙදාහැරීම් මණ්ඩලවලට ඔබලා මේ ක්‍රමය අනුගමනය කළ යුතුයි කියලා.
* ඔබ පෝලිමෙන් පනිනවා කියලා තමයි බොහෝ දෙනෙක් චෝදනා කරන්නේ?
පෝලිමෙන් පනින්න පෝලිමක් තියෙන්න එපායැ. පෝලිමක් කියලා එකක් නෑ මේ ක්‍රමයට. චිත්‍රපට බෙදාහැරීම පෞද්ගලීකරණය කරලා නිසා අපි පෞද්ගලික මණ්ඩලයට ගිහින් අපි කතා කරලා අපේ චිත්‍රපටය ගැන කියලා මේ වකවානුවේ අපිට ප්‍රදර්ශනය කරන්න ඕන ඔබට පුළුවන්ද? කියලා අහලා බලලා තමයි අපි නිර්මාණය කරන්නේ.
ඒ අංශයේ අයිතියක් තමයි පුළුවන්ද බැරිද කියලා කියන්න. ඒක මට විතරක් සීමා වුණ දෙයක් නොවෙයි. ඕනම නිර්මාණකරුවකුට එසේ පෞද්ගලික මණ්ඩලයට ගිහින් කතා කරලා තමන්ගේ චිත්‍රපටය දාගන්න පුළුවන්. එතකොට ඒ ගොල්ල ඇවිත් චිත්‍රපටය බලනවා. බලලා තීරණය කරනවා ගන්නවද නැත්ද කියලා. සමහර ඒවා ප්‍රතික්ෂේප වුණාම කාගෙද වැරැද්ද?
* ඔවුන් කියන්නේ සියලු දෙනාටම පොදු ප්‍රතිපත්තියක් තිබිය යුතුයි කියලයි.
ඔව්. එහෙම තිබිය යුතුයි තමයි. එහෙම තියෙන්න නම් පළමුවෙන්ම කරන්න ඕන පෞද්ගලීකරණය අයින් කළ යුතුයි. එහෙම කරල සියලුම සිනමා ශාලා රජයේ පාලනයට ගත යුතුයි. දැන් එතකොට ආණ්ඩුවේ නීතිය මේකයි කියලා කිව හැකියි. එහෙම කමක් නෑ. රජයේ එවැනි නීතියක් තිබෙනවා නම් අපි ඒකට බැඳී සිටිය යුතුයි.
* මේ ප්‍රශ්නෙදි ඔබ වතාවක් පුවත්පත්වලට කියලා තිබුණ පිටපත් 35 ට සීමා කළොත් ඔබ සිනමාවෙන් අයින් වෙනවා කියලා. දැන් චිත්‍රපට සංස්ථාව එය ක්‍රියාත්මක කරනවා. කියූ පරිදිම ඔබ සිනමාවෙන් ඉවත් වෙනවද?
ඒක මගේ මේ චණ්ඩිකමකටවත් කාටවත් පාඩමක් උගන්වන්නවත් කරපු එකක් නෙමෙයි. මම අයින්වෙන්නේ මට මේ පිටපත් 35 සීමාව යටතේ මගේ රටාවේ චිත්‍රපට මට කරන්න බෑ. මම වියදම් කරන මුදල් මට උපයාගන්න බෑ. දැනට තිබෙන වියදම් බලපුවම පළමුවැනි වටයේ පිටපත් 35 මුදාහැරලා ආදායම් ලබාගන්න බෑ.
මේක මට විතරක් නෙවෙයි මෙවැනි ආකර්ෂණීය දැවැන්ත චිත්‍රපට කරන සියලු දෙනාටම කරන්න ලැබෙන්නේ නෑ. ඒ නිසා අකැමැත්තෙන් හරි ඔවුන්ට අයින් වෙන්න වෙනවා. මට හැමදාම පාඩු විඳ විඳ චිත්‍රපට කරන්න බෑනේ. මේක මහජන සේවයක් නොවෙයිනේ. ඒ නිසා මට අයින්වෙන්න වෙනවා.
* චිත්‍රපට සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ඔබේ බිරියත් ඉන්නවා නේද?
මගේ බිරිය ඉන්නවා. අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මොනවා වෙනවද කියලා මට වග කියන්න බෑ. ඒ ගැන තොරතුරු මම දන්නෙත් නෑ. මම එක දෙයක් දන්නවා අධ්‍යක්‍ෂ මණ්ඩලය වැරදි තීරණයක් අරන් ඒක ජන සම්මත කළොත් ඒක අපට දැනෙනවා. නමුත් මේ පිටපත් 35 සීමාව කවදාවත් අධ්‍යක්ෂ මණ්ඩලයේ කතා කරපු දෙයක් නොවෙයි. එහෙම එකක් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කතා කරලා නෑ. කොහෙවත් වාර්තාවෙලා නෑ. අපි නම් දකින්නේ මේ තීරණය අදූරදර්ශී, සාකච්ඡාවලින් තොරව එක්තරා පිරිසක් සතුටු කරන්න ගත්ත තීරණයක් විදියට.
* ඔබේ ‘සිරි පැරකුම්’ චිත්‍රපටයට මොකද වෙන්නේ. ඒක ඔබ සිතා සිටි නියමිත කාලයට තිරගත වෙනවද?
’සිරි පැරකුම්’ චිත්‍රපටයට මම හිතන්නේ නෑ සභාපතිගේ චක්‍රලේඛයට අදාළයි කියලා.
* එහි පිටපත් 50 ක් මුද්‍රණය කරනවද?
මම දන්නේ නෑ. මම හිතාගෙන ඉන්නේ මුද්‍රණය කරනවා කියලා. මට හිතෙනවා සභාපති ඒකට විරෝධය පායි කියලා. නමුත් මම කියා සිටිනවා මම තිරගත කරනවා. මට ඒකට අයිතියක් තියනවා කියලා. මොකද මම චිත්‍රපටය හදන්න ගන්නේ අවුරුදු දෙකකට කලින්.
ඒ කාලේ සැලසුම් කරනකොට මෙහෙම නියෝගයක් රටේ තිබුණේ නෑ. ඒ නිසා මම තිරගත කරන කාලය, මුදාහරින පිටපත් ගණන සහ මණ්ඩලය තීරණය කරලා තමයි මුදල් වැය කළේ. සභාපතිතුමා විරුද්ධ වුණොත් ඉන් එහාට ගොස් අධිකරණ බලයකින් හරි ඒ පිටපත් 50 මුදාහැරීමේ අයිතිය මට තියනවා කියලා මම හිතනවා.
READ MORE - චිත්‍රපට සංස්ථා සභාපතිකමට අසෝක සේරසිංහ සුදුසු නැහැ

ගැලරියේ පේ‍්‍රක්ෂකයෝ මට හූ කිව්වා

Tuesday, March 26, 2013


ගැලරියේ පේ‍්‍රක්ෂකයෝ මට හූ කිව්වා
2013 මාර්තු මස 11 14:52:45 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
‘‘ආදරයයි කරුණාවයි’’ චිත‍්‍රපටයේ මං රඟපෑවේ ප‍්‍රධාන චරිතය,  දෙවැනි චරිතය රඟපෑවේ ගාමිණී ෆොන්සේකා ඒ චිත‍්‍රපටයේ මගේ රඟපෑම කොච්චර  දුර්වලද කිව්වොත් ගැලරියේ පේ‍්‍රක්ෂකයෝ මගේ රඟපෑමට හූ  කිව්වා. මෙහි වරද  අධ්‍යක්ෂවරයා. ඔහු මාව හරියට මෙයෙවූවේ නැහැ. ඒක තමයි ඇත්ත කතාව. 

මෙහෙම කියන්නේ ‘‘ආදරයයි කරුණාවයි’’ චිත‍්‍රපටයේ  ප‍්‍රධාන චරිතය රඟපෑ  විජේරත්න වරකාගොඩ  නම්  සම්මානනීය රංගන ශිල්පියායි. 
දෙස් විදෙස් පදිංචි ශ්‍රී ලාංකිකයන් හොඳින් හඳුනන මුවන්පැලැස්සේ ‘‘කෝරලේ මහත්මයා’’ හෙවත් විජේරත්න  
වරකාගොඩ  ‘‘ආදරයයි කරුණාවයි’’ චිත‍්‍රපටය  පිළිබඳ  තොරතුරු  ‘‘මතක පොතට’’  කියන්නට  සිය මතකය අවදිකළේ මෙහෙමයි. 
මේ චිත‍්‍රපටය  තිරගත කෙරුණේ  1965 වසරේ අගෝස්තු  මාසේ 06 වැනිදා අධ්‍යක්ෂණය කළේ ප‍්‍රවීණ  චිත‍්‍රපට  නළුවෙකුව සිටි ආනන්ද  ජයරත්න කතාව  හා දෙබස් ජයතුංග ෆොන්සේකා, කැමරාව දයා  විමලවීර, සංගීතය ආචාර්ය ඩබ්ලිව්. ඞී. අමරදේව, ගීත  ගායනය කළා අමිතා  වැදිසිංහ, නිෂ්පාදනය කළේ පී.ඞී.එස්. ප‍්‍රනාන්දු. 
මා  සමඟ රඟපෑවා ගාමිණී ෆොන්සේකා, ක්ලැරිස් ද සිල්වා,  ආනන්ද  ජයරත්න, ජී.ටී. වික‍්‍රමසිංහ,  වික‍්‍රම  බෝ්ගොඩ, සීතා කුමාරි, අයිරාංගනී  පෙරේරා යන ශිල්පීන්.
මං රඟපෑවේ නීතිඥවරයෙකුගේ චරිතයක්, මගේ බිරිඳ හැටියට ක්ලැරිස් ද  සිල්වා රඟපෑවා. ඇය පාසල් ගුරුවරියක්. අපේ දියණියගේ චරිතය රඟපෑවේ අයිරාංගනී පෙරේරා. ගාමිණී  ෆොන්සේකා රඟපෑවේ අපේ පවුලේ හිතවතෙක් විදියට. ඔහු හමුදාවේ මේජර් කෙනෙක්. 
නීතිඥවරයා  ඉතාම කාර්යබහුලයි. මේ නිසා ගෙදර දොර අවශ්‍යතාවලට මේජර්වරයාගෙන් උදව්ගන්න සිදුවුණා. බිරිඳට  ගමන් බිමන් යන්න සිදුවුණෙත් ඔහු සමග. මේ හිතවත්කම  පසුකාලීනව නීතිඥවරයාගේ සැකයට තුඩුදෙනවා. මේ සැකය උග‍්‍ර අතට  හැරුණාම නීතිඥයා සිය බිරිඳ ගෙදරින් පන්නා ගන්නවා. අන්තිමට  දරුපවුලම නන්නත්තාරවෙලා  යනවා. කාලයක් ගතවෙනකොට  අහම්බෙන්  වගේ  නීතිඥයාට සිය  බිරිඳ  මුණගැහෙනවා. එම අවස්ථාවේදී  ඔහුගේ සැකය දුරුවී ගිහින් නැවතත්  ඒ පවුල  එක සෙවණකට එක්වෙනවා. මේ තමයි කතා  සාරාංශය. 
මේ  චිත‍්‍රපටයේ ප‍්‍රධාන  චරිතයට මාව තෝරාගන්නා විට රොබින් තම්පෝගේ  ‘‘සුහද දිවි පිදුම’’ චිත‍්‍රපටයේ නීතිඥයෙකුගේ චරිතයක් රඟපාලා තිබුණා. එතැනදී මට තිබුණේ විත්තිකරුවෙක්  වෙනුවෙන් උසාවියේ දේශනයක් කරන්න. ඒ හැරුණාම තම්පෝගේ ‘‘සුදු සඳේ කලූවලා’’  ‘‘සමාජේ අපි  ඔක්කොම සමානයි’’ ‘‘ගම්පෙරළිය’’ යන චිත‍්‍රපටවල  සුළු සුළු චරිත කරලා තිබුණා. අවංකව නිහතමානීව කියනවා නම් ආදරයයි කරුණාවයි  චිත‍්‍රපටයේ රඟපානකොට මං ආධුනික නළුවෙක්. 
 
රූපගතකිරීම් කළේ කොළඹ නගරයේමයි. ‘‘ආදරයයි කරුණාවයි’’ චිත‍්‍රපටය  ආනන්ද ජයරත්නගේ ප‍්‍රථම අධ්‍යක්ෂණය. මෙය දුර්වල නිර්මාණයක් වූ නිසාම එය ඔහුගේ අවසාන අධ්‍යක්ෂණයත් වුණා. 
ආනන්ද ජයරත්න ඉතාම දක්ෂ නළුවෙක්. ඒ වගේ නළුවෙක් ආයෙත් බිහිවන්නේත් නැහැ. එහි තර්කයක් නැහැ. නමුත් මේ චිත‍්‍රපටය ගැන ඇත්ත කතා කරනවා නම් ඔහුගේ අධ්‍යක්ෂණය අන්තිම දුර්වලයි. මට සමාවෙන්න ඔහුට අපහාස  කිරීමේ චේතනාවෙන්  නම් නෙවෙයි මං මෙහෙම කියන්නේ. ඔහු චිත‍්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමේ බැරෑරුම්කම දැනගෙන හිටියේ නැහැ.  සෙල්ලක්කාරයෙක් වගෙයි ඔහු අපිව මෙහෙයවූවේ.
එක උදාහරණයක් පෙන්වන්නේනම්, මිස්ටර් විජේරත්න අතන හිටගන්න. ඔන්න මං හිටගත්තා. බිත්තිය අල්ලගන්න. ඔන්න මං බිත්තිය අල්ල ගත්තා. එක පාරටම ආපහු  හැරෙන්න. දැන් අඩි තුනක් විතර  ඉස්සරහට  එන්න.  දැන් දොරෙන්  එළිය බලන්න. දැන් ක්ලැරිස් මිස්ටර්  විජේරත්න වරකාගොඩගේ ඉස්සරහට එන්න.  ඔන්න  ක්ලැරිස්  ආවා කියමුකෝ දැන් ක්ලැරිස්ගෙ බෙල්ලෙන්  අල්ලලා එළියට  තල්ලූ කරන්න. මෙන්න  මේ විදියට තමයි  අපිව මෙහෙයවුවේ. ඉතින් කොහොමද හැඟීමක්  එන්නේ.  ඒ දර්ශනයට අවශ්‍ය ‘‘මූඞ්’’  එක  ගන්නේ කොහොමද. මිස්ටර් ආනන්ද තව එකපාරක් ගනිමුද ඒ සීන් එක කියලා කිව්වම ඉංග‍්‍රීසියෙන් උත්තර දෙනවා නෝ....නෝ....  දැටිස්  ඕකේ කියලා. 
අවස්ථා කිහිපයකදීම මට තේරුණා මං නම් ඉවරෙටම ඉවරයි කියලා. ඉතින් දාලා යන්නත් බැහැ. ඒකත් මහා අපරාධයක් නිශ්පාදකයා අමාරුවේ.
හැබැයි රඟපෑමේ අත්දැකීම් තියෙන  ක්ලැරිස් සහ ගාමිණී  චරිත  හරියට කළා. මං ආධුනික බව ඇත්ත. ඒත් යම් විශ්වාසයක් ඇතුවනේ මාව ප‍්‍රධාන චරිතයට ගත්තේ. එහෙමනම් අධ්‍යක්ෂවරයා දැනගන්න  ඕනෑ  උවමනා  රංගනය මගෙන් හූරලා ගන්න. එහෙම උත්සාහයක් ආනන්ද ළඟ තිබුණේ නැහැ. මං  වාද කරන්න ගියෙත් නැහැ. කටපියාගෙනම හිටියා. මට මතකයි විජය කුමාරතුංග  ‘‘මරුවා සමග  වාසේ’’ චිත‍්‍රපටයේ රඟපාන කාලේ පත්තරයකට ප‍්‍රකාශයක් කරලා  තිබුණා අධ්‍යක්ෂ ටයිටස්  තොටවත්ත මහත්මයා තමන්ගෙ රඟපෑම හූරලා ගත්තා කියලා. අන්න ඒ වගේ මගේ  ශරීරය තුළ තිබුණු රඟපෑමේ කුසලතාව හූරලා ගන්න ආනන්ද සමත් වුණේ නැහැ කියන එකයි මං  කියන්නේ.  
 
චිත‍්‍රපටය තිරගතවුණාම මං බලන්න ගියා. මගේ රඟපෑම් දැකලා මටම මාව එපා වුණා. අනේ අපොයි කියලා හිතුණා. හොඳම   පේ‍්‍රක්‍ෂ්කයෝ ඉන්නේ ගැලරියේ. කියලා වැඩක් නැහැ. මං  පෙනීසිටිය හැම රූප රාමුවකටම ගැලරියෙන් ‘‘හූ’’ කිව්වා. හැබැයි මං වෘත්තීය නළුවෙක් වුණා නම් ඉවරෙටම ඉවරයි. එහෙනම් ජීවත්වෙන්න  විදියක් නැතුව නන්නත්තාර වෙනවා සිකුරුයි. හොඳ  වෙලාවට මං රස්සාවක් කළේ.  මුලදී  පොලිස්  පරීක්ෂකවරයෙක්ව ඉඳලා පස්සෙ ලංකා වානේ සංස්ථාවේ ප‍්‍රධාන ආරක්ෂක නිලධාරී විදියට රැකියාව කළේ. 
‘‘ආදරයයි කරුණාවයි’’  චිත‍්‍රපටයට මාව ගත්තේ ගිවිසුමක් අනුව නෙවෙයි. මට කිසිම ගෙවීමක් කළේ නැහැ. මං ඉල්ලූවෙත් නැහැ. එච්චරයි. 

ගුවන් විදුලි නාට්‍ය ශිල්පියෙක් විදියට හපන්කම් පෙන්නපු මට රඟපාන්නත් පුළුවන් කියලා පෙන්වන්න ලොකු උවමනාවක් ඇති වුණා. ඊට  පස්සෙ ඒ බලාපොරොත්තුව හරියට හරි ගියා. හොඳ වෙලාවට ලෙස්ටර් මහත්මයාගේ ‘‘ගම්පෙරළිය’’ චිත‍්‍රපටයේ අවස්ථාවක් ලැබුණා. එක  දෙබසක්වත් තිබුණේ නැහැ. ඊට පස්සෙ එතුමාගේ ‘‘ගොළු හදවත’’ චිත‍්‍රපටයේ මතක හිටින චරිතයක් කළා. ශ‍්‍රියානි අමරසේන සහ වික‍්‍රම බෝගොඩ සමග ඊට පස්සේ ‘‘දෙලොවක් අතර’’  සහ ‘‘නිධානය’’.
මෙන්න මේ ටිකත් කියන්න  ඕනෑ. ‘‘ආදරයයි කරුණාවයි’’  චිත‍්‍රපටයෙන් පසුව මං අමරනාත්  ජයතිලකගේ ‘‘අරුණට පෙර’’ චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය රඟපෑවා. ඒ වසරේ හොඳම නළුවාට  පිදෙන  ජනාධිපති සම්මානයත්   ඕ.සී.අයි.සී සම්මානයත් ලබාගන්න  මට හැකියාව ලැබුණා. 

අමරදාස සිල්වා




READ MORE - ගැලරියේ පේ‍්‍රක්ෂකයෝ මට හූ කිව්වා

'නිහාල්සිංහ : පුරෝගාමී තෙවැනි ඇස්'

Tuesday, February 5, 2013


'නිහාල්සිංහ : පුරෝගාමී තෙවැනි ඇස්'
2013 පෙබරවාරි 12 වැනිදා ජනගත වේ


කලා විචාරක නුවන් නයනජිත් කුමාර විසින් විරචිත අභිනව ග්‍රන්ථය 'නිහාල්සිංහ පුරෝගාමී තෙවැනි ඇස්' 2013 පෙබරවාරි 12 වැනිදා පස්‌වරු 3.00 ට ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ අනුග්‍රහයෙන් කොළඹ, බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඒ කමිටු ශාලාවේ දී ජනගත වේ.

මෙය ආචාර්ය ඩී. බී. නිහාල්සිංහගේ අපදානය සේම, ඔහුගේ කලා මෙහෙවර පර්යේෂණාත්මක හා විචාරාත්මක ප්‍රවේශයකින් අධ්‍යයනයට ලක්‌ කිරීමකි. ලාංකේය සිනමාවේ බිහි වූ ප්‍රශස්‌ත සිනමාකරුවන් අල්පයෙන් එක්‌ අයකු ලෙස ද මෙරට බිහි වූ අග්‍රගණ්‍ය සිනමා කැමරා ශිල්පියා ලෙස ද, අග්‍රගණ්‍ය සිනමා පරිපාලකවරයා ලෙස ද, ලාංකේය ටෙලි නළු කලාවේත්, සිනමා, රූපවාහිනිය හා සබැඳුණු නව්‍ය තාක්‍ෂණය හඳුන්වා දුන් පුරෝගාමියා ලෙස ද, සිනමාව හා රූපවාහිනිය අරභයා දෙස්‌ විදෙස්‌ හි නව විද්‍යාර්ථින් පරපුරක්‌ බිහි කළ ඇදුරුතුමකු ලෙස ද හමුවන, නිහාල් සිංහයන්ගේ පංචවිධ භූමිකා මෙහිදී නුවන් නයනජිත් කුමාරගේ විචාරාක්‍ෂියට හා පර්යේෂණාක්‍ෂියට හසුවේ.

එපමණකුදු නොව සිනමාස්‌කෝප් ක්‍රමවේදය ආසියාවට හඳුන්වා දුන් පුරෝගාමියා ලෙස ද හස්‌තගත කැමරා ශෛලිය ආසියානු කලාපයේ භාවිත කළ දෙවැන්නා ලෙසද, දකුණු ආසියාවේ හා ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට වර්ණ රූපවාහිනි නිෂ්පාදන ප්‍රාසාංගික වර්ණ ටෙලි නාට්‍ය බිහි කළ නිර්මාණකරුවා ලෙස ද, නිහාල්සිංහ හා සබැඳුණු සියලු පුරෝගාමී කර්තව්‍යයන් මේ ග්‍රන්ථයෙන් පර්යේෂණාත්මකව තහවුරු කෙරේ.

නිහාල්සිංහගේ දෙමව්පියන් වූ මෙරට අග්‍රගණ්‍ය, අදීන පත්‍රකලාවේදියාණන්, මහා ගුරුවරයාණන් වූ ඩී. බී. ධනපාලයන්ගේ ද, සුප්‍රකට චිත්‍ර හා මූර්ති ශිල්පිනියක වූ රතී ධනපාලයන්ගේ ද, නිහාල්සිංහගේ සොහොයුරා නිසල රූ කලාවේ නව මං සෙවූ ඩී. බී. සුරනිමලයන්ගේ ද, අපදාන හා විචාරාත්මක අධ්‍යයන මේ ග්‍රන්ථයට ඇතුළත් වේ. මහාචාර්ය ෙ-. බී. දිසානායක, මහාචාර්ය සුනිල් ආරියරත්න, ප්‍රවීණ කැමරා ශිල්පී එච්. ඩී. මහින්දපාල, ප්‍රවීණ නළු ජැක්‌සන් ඇන්තනී මෙහිදී ග්‍රන්ථයට අදාළ කෙටි දෙසුම් පවත්වති. මේ හැරුණු විට ප්‍රවීණ කලාකරුවන් හා විද්වතුන් රාශියක්‌ ද මෙහි දී සන්දර්ශිත ලකුණු තැබීමට එක්‌වෙති. පූරක දායකත්වය වජිර ජයවර්ධන, සඳමාලි හේවානායක හා දිලිනි සංදීපිකා ගෙනි. උළෙලේ පිටපත උපුල් ගුරුගේ ගෙනි. Fast පබ්ලිෂින් (සුරස) ප්‍රකාශනයක්‌ වන මෙහි A 4 ප්‍රමාණයේ පිටු 630 කි. දුර්ලභ ගණයේ ඡායාරූප 1000 කට අධිකය.
- සචිත්‍ර ඇල්වලගේ
 

READ MORE - 'නිහාල්සිංහ : පුරෝගාමී තෙවැනි ඇස්'

ත්‍රස්‌ත වූවෝ භ්‍රාන්ත වීම

Monday, February 4, 2013

ත්‍රස්‌ත වූවෝ භ්‍රාන්ත වීම 
හඳගමගේ විකල්ප සිනමා ප්‍රකාශනය
"ඉනියවන්" තුළින් ඉච්ඡාභංගයට හසුවීද?


අජිත් ගලප්පත්ති

අශෝක හඳගම සිය සිනමා චර්යාව අවුල් කරගෙනද? ඔහුගේ ගමන් මග අක්‍රමවත්ද? "ඉනිඅවන්" මෙතරම් ඉක්‌මනින් සිනමා ශාලාවලින් ගැලවුණේ ඇයි? සිනමා කෘතිය යටපත් කොට සිනමාකරුවා මතු වූයේ ඇයි? සිය "ඉනියවන්" කෘතිය නොවිමසා මේ දිනවල අප විමසන ගැටලු එයාකාරයි.

චර්යාව අවුල් නොකරගෙන, එනම් අක්‍රමවත් නොකරගෙන යම් ඉච්ඡාභංග අවස්‌ථාවක්‌ පිළිගැනීමේ හැකියාවක්‌ යමකු තුළ තිබිය යුතුයෑයි මතයක්‌ ඇත. frustrstration tolerance යනුවෙන් විග්‍රහ කෙරෙන්නේ එම චිත්ත ස්‌වභාවයයි. විශේෂයෙන්ම හඳගම වැනි දේශපාලන සිනමාකරුවකු තුළ එම චිත්ත ශක්‌තිය තිබීම අත්‍යාවශ්‍ය වනු ඇත. සංස්‌කෘතිය පමණටම දේශපාලන සංස්‌කෘතිය ද වරින් වර, කලින් කල මුහුදු රැල්ලක්‌ මෙන් උස්‌පහත්වීම නිරායාස ස්‌වභාවික තත්ත්වයකි. අනපේක්‌ෂිත ලෙස උදම් රළ ප්‍රහාරයක්‌ වනුයේ වුවද මෙම සැඩ සොඳුරු රළ පෙරළීම ය. දේශපාලන සංස්‌කෘතිය ඉහල පහල යමින් අඩුවැඩි වන නියාමයකි. දේශපාලන සංස්‌කෘතිය උඩුයටිකුරු වන ස්‌වභාවයට කීකරුව දේශපාලන සිනමාකරුවකු එසේ උච්ඡාවචනය (fluctuation) විය යුතුද. ඒ කෙසේද යන අවධාරණය අප හමුවෙහි නැගෙයි. සිනමාකරුවකුගේ එබඳු උච්චාවචනයක්‌ තුළින් අන් ආකාරව විද්‍යාමාන විය හැක්‌කේ සිය දෘෂ්ටිමය ඒකග්‍රතාවය පිළිබඳ අර්බුදයක්‌ ද විය හැකිය. එවිට පොදු සමාජය එම නිර්මාණකරුවාව සැමදා එකසේ වැළඳ නොගැනීමට ද ඉඩ තිබේ. "ඉනියවන්" තුළින් අප දකින අද්‍යතන අශෝක හඳගමානුකූල ඉරණම පිළිබඳ ව තීරණ ගැනීමට අප ඉක්‌මන් විය යුතු නැත.

ව්‍යර්ථනය නොහොත් frustration යනු කුමක්‌ද? එය සිනමා ප්‍රකාශකයකු සතු දෘෂ්ටිමය ඒකග්‍රතාව සමග බඳවා විග්‍රහයට ගතයුතු තරම් බරපතල අර්ථයක්‌ ගනී. මෑත කාලයේ අප අත්වින්ඳා වූ ජනප්‍රිය දේශපාලනමය හැලහැප්පීම්වල බරපතලභාවයට සාපේක්‌ෂව සිනමා ප්‍රකාශකයකුගේ දෘෂ්ටිමය ඒකග්‍රතාව දුබල කරන්නට තරම් ප්‍රබල වූවක්‌ ලෙස ව්‍යර්ථනය යන්න විමසිය හැකිය. "ඉනියවන්" ට වස්‌තු විෂය වනුයේ ප්‍රභාකරන් මරා දැමුවාට පසු එම මුදාගත් භූමියෙහිම හිස ඔසවන අන් ප්‍රභාකරන්ලාගේ ත්‍රස්‌තවාදයයි.

ප්‍රභාකරන්ට එසේ වෙතැයි අප විශ්වාස නොකළ කාලයක්‌ ද විය. අප බහුලව ගෙවා දමා ඇත්තේ එවන් කාලයක්‌ නොවේද? ජනප්‍රිය යුද ස්‌මරණ දේශපාලනයේ සක්‍රීය ක්‍රියාකාරිකයින් මෙතරමින් වෙනස්‌ වෙතැයි අප එදා සිතුවාද? මේ බලගතු ජනප්‍රිය දේශපාලකයින් යුද සමයේ කොහි වීද? සිය ගරිල්ලා වස්‌ත්‍රාභරණ උනා දමා රාජ්‍යාරක්‌ෂාව මැද එම ගරිල්ලා ත්‍රස්‌තවාදින් මෙබඳු ෆුල් සූට්‌ දේශපාලනයකට පිවිසෙතැයි සිහිනෙන්වත් අප සිතුවේද? විරුද්ධ පාක්‌ෂිකයාගේ වේදිකාවෙන් දේශපාලන ගමන් අරඹා බලගතු වූ තොරම්බල් තාරකාවන් පාලකයින්ගේ දෑත් ශක්‌තිමත් කරන විසිතුරු ජවනිකා මෙගා ටෙලි සංස්‌කෘතියේවත් තිබේද? මෙයාකාරව සංස්‌කෘතියටත් වඩා අධිවේගයෙන් දේශපාලන සංස්‌කෘතිය වෙනස්‌ වන විට සමාජයීය ක්‍රියාකාරී ත්‍රස්‌තවාදීහු බියගුල්ලන් බවට පත්වෙති. එසේම සමාජීය බියගුල්ලෝ ත්‍රස්‌ත වෙති. -අක්‌ෂරය, තනිතටුව" වැනි ප්‍රබල දේශපාලනමය මිසයිල තැනූ අශෝක හඳගම "විදූ" වැනි චිත්‍රපටයක්‌ (ළමා චිත්‍රපටයක්‌) තනාවි යෑයි කිසිසේත්ම නොසිතූ අය වික්‌ෂිප්ත වූහ. "ඉනියවන්" උභතෝකෝටික වන්නේ මෙවන් වික්‌ෂිප්ත වූවන්ට ය. හඳගම මෙම තත්ත්වය විස්‌තර කරන්නේ 'කරකවා අතහැරි' ස්‌වභාවයක්‌ ලෙසය.

මෙම සිනමා විප්ලවකරුවාට එසේ පැවසීමට සිදුවන්නේ ඇයි? සිය සිනමා චර්යාව වෙනස්‌ කරගන්නේ නම් ඒ ඇයි දැයි සොයමු.

ව්‍යර්ථනය (රෙමිඑර්එසදබ) යනු බලාපොරොත්තු සුන්වීම නිසා ඇතිවන චිත්ත තත්ත්වයකි. තමා අපේක්‌ෂා කළා වූ ආධාර, අනුබල නොලැබීම හා අධෛර්යය කරනු ලැබීම, අසහනය, අතෘප්තිය නිසා ඇතිවන සිත් ස්‌වභාවය වනුයේ ව්‍යර්ථනය නොහොත් ඉච්ඡාභංගයයි. න්‍යෂ්ටාපේක්‌ෂාව යනුවෙන් දැක්‌වෙන්නේද එයයි. ව්‍යර්ථනයට පත් තැනැත්තා ආක්‍රමණකාරී විය හැක. එසේම කලකිරීමෙන් යුතු අක්‍රීයව, අකර්මන්‍ය වීමටද ඉඩ ඇත. ඉච්ඡාභංගයට පත් තැනැත්තා ආක්‍රමණකාරී හෝ පසුගාමී වන්නේ පරාජිතයකු වූ විටය. ත්‍රස්‌තවාදියකු හෝ බියගුල්ලකු වන්නේ තම අභිප්‍රායයන් කඩවීමෙන් ලද සිත් තැවුල නිසාය. තවෙකකු ඝාතනය කිරීම සඳහා අධි බලැති කාල බෝම්බ සවිකළ ඇඳුම් කට්‌ටලයක්‌ ඇඟලා ගන්නට තරම් ආත්ම ශක්‌තියක්‌ ලැබෙන්නේ එවන් පරාජිතයකුට පමණි. ඔවුහු මේ වෙද්දී අතුරුදහන් ව ඇත. එවන් බෝම්බකරුවන්ට අද පැවැත්මක්‌ නැත. එහි අදහස යුද වාතාවරණයක්‌ නැති බව නොවේ. යුද්ධයේ ස්‌වරූපය වෙනස්‌ වී ඇත. හඳගම "ඉනියවන්" තුළින් පවසන්නේ එයයි. ත්‍රස්‌තවාදියකු නිර්මාණය කරන්නේද බියගුල්ලකු නිර්මාණය කරන්නේද මෙම නෂ්ටාපේක්‌ෂිත සමාජ දේශපාලන ස්‌වරූපයයි. ත්‍රස්‌තවාදියා බියගුල්ලන් භ්‍රාන්තකොට ස්‌ව පැවැත්ම සා¹ ගන්නේත්, ආත්මාශයෙන් (ego instinct) යුක්‌තව බියගුල්ලන් වහා ත්‍රස්‌ත වී තමා පාගාගෙන සිටින අධි බලැති බෝම්බකරුවන්ව නිෂ්ක්‍රිය කොට දමන්නේද මෙම සමාජ ස්‌වරූපය මයි."ඉනියවන්" බිහි වන සමාජය මෙපරිදිය.

"භ්‍රාන්ත" යනු භ්‍රමයට පත් හා වැරදි අවබෝධය ඇති යන අර්ථ ගනී. වේගයෙන් කැරකෙන හෝ සැලෙන යන අර්ථයෙන් (whirled) අවුල් ජාලය ලෙස ද මෙය විග්‍රහ කෙරෙයි. භ්‍රමනය, සිතෙහි හටගත් කරකැවිල්ල, හැරීම වෙස්‌ වීම ඇඹරිල්ල (revolved or turned) යන අර්ථද මෙයට අදාළ වෙයි. වැරැද්ද, දෝෂය, ප්‍රමාද දෝෂය, වරදවා වටහා ගැනීම, වරද්දා ගැනීම (mistaken) යනුවෙන් හැඳින්වෙන්නේද මෙයයි. මුළාවීම, රැවටීම, (deluded) මංමුළාවී, අයාලේ යන, අපැහැදිලිව දොඩවන, අවුල්ව සිතන, අවධානයෙන් තොරව හිත තැන්තැන්වල යැම මාර්ගයෙන් පිට පැනීම හා නිදැල්ලේ යන වැනි අර්ථ ගන්නා wandering යන විග්‍රහයද "භ්‍රාන්ත" යන්නට ගැනේ. "ඉනියවන්" තුළ අප දකින්නේ "භ්‍රාන්ත" වූවන් ය. පුනරුත්තාපනය කෙරෙන ත්‍රස්‌තවාදීයා යනු මෙහි "භ්‍රාන්ත" වූවෙකි. සමාජයීය ත්‍රස්‌තවාදියාගේ හදිසි භ්‍රාන්තවීම කෙබඳු අර්ථ ගන්නේදැයි මෙම විවිධ අර්ථ මතින් අපට නිර්ණය කළ හැකිය. ව්‍යර්ජිකෘත (frastrated) සමාජ දේශපාලන රාමුවක්‌ තුළ චිත්‍රපටයක හා සිනමාකරුවකුගේ වලංගුභාවය පිළිබඳ තත්ත්වය වටහා ගැනීම සඳහා ද එය ඉවහල් කොට ගත හැකිය.

සමාජය සමග යම් විරෝධයකින් පසුවන පීඩිතයකු එනම්, බියගුල්ලකු එවන් විරෝධයකට හේතු වූ කාරණාවන්ට එරෙහිව ත්‍රස්‌ත වන කවර නම් හෝ ක්‍රියාකාරියකු තම එකම ගැලවුම්කාර වීරයා ලෙස තකයි. පීඩිතයාද වීරයාද වසනුයේ එකම බල රාමුවකය. මෙවිට පීඩිතයාත්, වීරයාත් අනොන්‍ය ව එකිනෙක මත යෑපෙයි. යම් මොහොතක වීරයාද පීඩිතයෙක්‌. තම විරෝධය ප්‍රකාශ කරන්නට හෝ තමා අපේක්‌ෂා කරන සමාජය නිර්මාණය කරගැනීමට හෝ නොහැකි වීම මෙම පීඩිතයා හුදෙකලා කොට අසරණ කරයි. සමස්‌ත බහුතරය ම තමා හැර තමා විරෝධය පාන්නා වූ සමාජය අනුමත කරන විට ඔහු අසරණව නිහඬ වෙයි. මෙකී අසරණකම නිහඬකම බියගුළු ස්‌වභාවයක්‌ දක්‌වා වර්ධනය වන්නේ බහුතරයකගේ පිළිගැනීම අඛණ්‌ඩව පෙරට වර්ධනය වන අතරවාරයේය. මෙම බියගුල්ලා එකවරම ත්‍රස්‌තවාදියකු බවට පත් වීමට ඉඩ තිබේ. එසේම ත්‍රස්‌ත වීම යනු බියගුළු වීමේ පෙරමග සළකුණක්‌ ද විය හැකිය.

දේශපාලනික සිනමාකරුවකුගේ ප්‍රබල දේශපාලනමය ප්‍රකාශනයක්‌ හමුවෙහි වහා ත්‍රස්‌ත වන බියගුල්ලකුගේa මානසික තත්ත්වය කෙබඳුද? තමා හමුවෙහි සැණෙකින් මතු වූ මෙම ක්‌ෂණික ත්‍රස්‌තවාදියා පිළිබඳව ත්‍රස්‌ත වන බියගුල්ලා විසින් යම් අහංකාරමය හැඟීම් ඇතිකර ගනී. මෙකී තත්ත්වය සහ අහංකාරය තුළ ඔහුගේ සමාජ සම්බන්ධතා පාලනය වෙයි. පීඩිතයාට වීරයා ආක්‍රමණිකයෙකි. එකී ආක්‍රමණශීලීභාවය පීඩිතයාගේ බියගුළු බවත්, පීඩාකාරී බවත්, මුලුගැන්වුණු බවත් මොහොතකට පලවා හැර පීඩිත බවම ක්‌ෂණික ත්‍රස්‌ත බවකට පෙරළෙයි. මෙතැන් සිට ස්‌වල්ප කාලයක්‌ පුරා පීඩිතයා ත්‍රස්‌තවාදියෙකි. නන් විධ ආක්‍රමණිකයෝ සමාජය ද, එහි වසන්නන්ද තැති ගන්වති. ආක්‍රමණිකයකුගේ ස්‌වභාවය ඔහු බලහත්කාරයෙන් කඩා වදින්නෙකි. ඔහු අනෙකාව යටත් කර ගැනීම සඳහා සටන් කරන්නෙකි.

ඔහු භීතිය උපදවන්නෙකි. ඔහු බියගුල්ලන් තැති ගන්වන්නෙකි. ''අනුන් තැතිගන්වා කටයුතු කරවාගත යුතුය" යන ඇදහීම ත්‍රස්‌තවාදයයි. ත්‍රස්‌තවාදියා රාජ්‍යවිරෝධී කැරලිකරුවෙකි. එනම් ජනතාව විසින් පිළිගත් සංවිධිත දේශපාලන ඒකකයට එරෙහි වූවෙකි. නිරායුධ අබල දුබල පීඩිත ජනතාව සන්නද්ධ ත්‍රස්‌තවාදියකු ව නිර්මාණය කරන පසුබිම මෙබඳුය. බියගුල්ලන් ත්‍රස්‌ත කොට සිය ආක්‍රමණශීලී විප්ලවය සම්මත සංවිධිත ව්‍යqහයන්ට එරෙහිව අඛණ්‌ඩව පවත්වා ගැනීම අද "ඉනියවන්" තුළින් සිය සිනමා චර්යාව පෙන්වන හඳගමගේ සිනමා ව්‍යායාමය විය. ඔහුගේ චිත්‍රපටය විරෝධාකල්පයකි.

අශෝක හඳගමගේ සිනමා ප්‍රකාශන විධිය හා ඉන් සමාජය තුළ සිදු කෙරෙන බලපෑම විග්‍රහ කරන්නෝ ඒකමතික ව ගන්නා පොදු විනිශ්චය වනුයේ ඔහු විප්ලවකරුවෙක්‌ ය යන්නයි. එනම් ඔහුගේ සිනමා කාර්යය විප්ලවීය කර්තව්‍යයක්‌ වන බවය.

විප්ලවීය ආක්‍රමණිකයා බියගුල්ලන් ත්‍රස්‌ත කරනුයේ පවතින ක්‍රමය කනපිට හැරවීම අභිප්‍රායෙනි. සිනමා ප්‍රක්‌ෂේපන යන්ත්‍රය යනු රූපවලින් වෙඩි තැබිය හැකි තුවක්‌කුවකැයි අදහන සිනමාකරුවන් අතර අතීතයේ හඳගමද සිටියේය. ඔහු තමා ඉදිරියෙහි දෑස්‌ අයා සිටින මෙරට පොදු ජනතාව හමුවෙහි තබන රූපාවලිය මෙම ජනතාව තුළ විරෝධයක්‌ ඇති කළේය. බියගුල්ලා තුළ ඇතිවන විරෝධය හා තැති ගැන්ම ආක්‍රමණික සිනමා-කරුවකුගේ අභිලාශයයි. මෙකී විරෝධය සමාජ බලවේගයක්‌ ලෙස ප්‍රබලව ඉස්‌මතු විය යුතුය. ජීවිතය වෙනස්‌ කළ හැකි බලයක්‌ චිත්‍රපටය තුළ තිබිය යුතුය. ජනතාවගෙන් ඈත්වූ කලාවක්‌ තිබිය හැකි නොවේය යන්න ජනතාව සඳහා කලාව හසුරුවන්නන්ගේ ඇදහිල්ලයි. නිර්ධන පන්තිය තුළ විවිධ පීඩන හට ගනී. හඳගම මෙම පීඩනය නිමිත්ත ලෙස නිතර තම ප්‍රකාශනයට උපයෝගී කර ගත්තේය. පීඩිතයා හෙවත් නිර්ධන පන්තිකයා මුදා ගැනීම ජනතා කලාකරුවාගේ ආක්‍රමණිකත්වයට පසුබිම් අභිලාශය සකස්‌ කරයි. විප්ලවීය ප්‍රකාශකයකුගේ විප්ලවීය ප්‍රකාශනයක්‌ යනු බියගුල්ලන් අභිමුව නැගෙන අභියෝගයකි. මෙම අභියෝගයට බියගුල්ලන් දක්‌වන ප්‍රතිචාරයේ ස්‌වභාවය මත එම විප්ලවීය ප්‍රකාශනයේ පැවැත්ම තීරණය වෙයි. බියගුල්ලකුට ත්‍රස්‌තවාදියා වීරයකු වන්නේ සිය බියගුළුකම යටපත් කොට ත්‍රස්‌ත වීම සඳහාය. "ඉනියවන්" තුළින් අපට මෙම බියගුල්ලා මෙන්ම ත්‍රස්‌තවාදියාද මුණගැසෙයි. මෙවේලෙහි එම බියගුල්ලා හෝ ත්‍රස්‌තවාදියා සැකකරුවකු ලෙස පමණක්‌ ගැනීම සෑහෙයි.

මුල්ම චලන චිත්‍රාවලිය දුටු ආදි කාලීන පොදු ජනයා ත්‍රස්‌ත වී එදෙස බලා සිටි වග අප අසා ඇත. ත්‍රස්‌ත කිරීම යනු "ත්‍රස්‌තවාදියා" යන ප්‍රචලිත ප්‍රතිරූප සීමාවෙන් ඔබ්බෙහි තිබෙන පුළුල් අරුත් සහිතය. මෙම පුළුල් සිත්හි කොනක තබාගත් විට අපට හඳගම හෝ පතිරාජ හෝ විමුක්‌ති හෝ ලෙස්‌ටර් හෝ අන් කවරාකාර විප්ලවීය සිනමාකරුවකු වුවද ත්‍රස්‌ත වීම හා අනෙකාව ත්‍රස්‌ත කිරීම නිර්භයව පුළුල් විග්‍රහයකට ගත හැකිය.

"ත්‍රස්‌ත" යනු මහත්සේ පුදුමයට පත්වීමකි. මවිතයෙන් විස්‌මිතව ගල් ගැසුනාක්‌ මෙන් වීමයි. චිත්‍රපට වෙසින් සපැමිණි දැවැන්ත අභියෝග වලට මුහුණ දී තම බියගුළු ස්‌වභාවයට එරෙහි වී සක්‍රිය වන්නට හා ත්‍රස්‌ත වන්නට අප කැමතිය. මෙවිට එම චිත්‍රපටය යනු අපට නිර්දය ආක්‍රමණයකි. බියගුල්ලන් ත්‍රස්‌තවාදීන් බවට පෙරළුE සිනමාකරුවා වීරයකු බවට අගැයීම නිරායාසයව සිදුවන්නකි. "ඉනියවන්" නරඹද්දී හඳගම කොතැන සිටින්නේදැයි සොයා බලන්නට අප යොමු වන්නේ එම නිසා නොවේද?

ඇතැම් විටෙක යම් විප්ලවීය චිත්‍රපටයක්‌ යම් බියගුල්ලකුට තම බියගුළුකමින් අත් මිදිය නොහැකි තරම් වූ බලවත් අභියෝගයක්‌ විය හැකිය. මෙවිට ත්‍රස්‌ත වූ වීරයාගේ අනුගාමිකයින් වී සක්‍රීය වූ බියගුල්ලන් එනම්, ත්‍රස්‌තවාදීන් වූ බියගුල්ලන් නොවෙනස්‌ වූ බියගුල්ලාව දකින්නේ කොදෙව් චිත්තධාරියකු, දුබලයකු හෝ යථාර්ථය සාවද්‍ය ලෙස අර්ථකථනය කොටගෙන එහිම මුලාවූවකු ලෙසය. මෙබඳු වූ බියගුල්ලන් හමුවෙහි ඇතැම්විට වීරයා පරාත්ම විකාරයෙන් පසුවන්නෙකි. ඔහු තම හැඟීම් සහ ආවේගයන් අන්‍යයන්ට ප්‍රක්‌ෂේපනය කරයි. "විදූ" ට පෙර හඳගමගේ චිත්‍රපට විලාසය තුළින් අප ඔහුව හඳුනා ගත්තේ ආක්‍රමණශීලීව හැසිරෙන්නෙකු (aggressive behavior) වශයෙනි. බෙබඳු ආක්‍රමණිකයකුගේ අසංඥතාවට එකම හේතුව විය හැක්‌කේ සමාජ විෂමතාවයම නොවිය හැක. සමාජ විෂමතාවය "තනිතටුව" හා අක්‌ෂරය බිහිවූ යුගයේ මෙන්ම "ඉනි අවන්" බිහිවෙන යුගයේද පෙරටත් වඩා ප්‍රබලව මතුව ඇති බව ත්‍රස්‌තවූවන්ද බියගුළුව මුළුගැන්වූවන්ද දනී. 





READ MORE - ත්‍රස්‌ත වූවෝ භ්‍රාන්ත වීම

‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ බුදුන්ට අගෞරව කරන චිත්‍රපටයක්

Sunday, February 3, 2013


‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ බුදුන්ට අගෞරව කරන චිත්‍රපටයක්

දයාවංශ ජයකොඩි
ආසියා ආලෝක පදනම වෙනුවෙන් නවින් ගුණරත්න නිෂ්පාදනය කළ සමන් වීරමන් අධ්‍යක්ෂණය කළ ‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ චිත්‍රපටය පසුගිය 24 වැනිදා සිට ඊ.ඒ.පී. මණ්ඩලයේ සිනමා ශාලාවල ප්‍රදර්ශනය ආරම්භ කළා. ‘සිද්ධාර්ථ’ චිත්‍රපටය ප්‍රදර්ශනය ආරම්භවෙත් ම මෙරට පොත් ප්‍රකාශකයින් අතර ඉහළින්ම වැජඹෙන, විශේෂයෙන් ම බෞද්ධ පොත පත ප්‍රකාශයට පත් කරනු ලබන ප්‍රකාශකයෙකු වන දයාවංශ ජයකොඩි මහතා මෙම චිත්‍රපටය පිළිබඳ වෙනස්ම මතවාදයක සිටින බව දැනගන්නට ලැබුණා. මෙවර අපේ කතා බහ වෙන්වූයේ ඔහු ‘සිද්ධාර්ථ’ චිත්‍රපටය පිළිබඳ පළකළ අදහස් වෙනුවෙනි.
ඔබ ‘සිද්ධාර්ථ’ චිත්‍රපටය පිළිබඳ දැනගත්තේ කොහොමද?
මෙවැනි චිත්‍රපටයක් හැදෙනවා කියන හාහෝව පුවත්පත්වලින්, ජනමාධ්‍යවලින් දැනගත්තා.
මේ දැනගැනීමෙන් පසු ඔබ චිත්‍රපටය නරඹන්න ගියාද?
නෑ. මම චිත්‍රපටය නරඹන්න ගියේ නෑ. ඒ චිත්‍රපටය නැරඹීමට මගේ කිසිම අදහසකුත් නෑ.
එතකොට ඔබ මේ චිත්‍රපටය ගැන කතා කරන්නේ චිත්‍රපටය නරඹන්නේ නැතුවද?
ඔව්. නමුත් මේ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය (ට්‍රේලර් එක) මම නැරඹුවා. ඒකත් මට නරඹන්න සිද්ධවුණේ අහම්බෙන්. මම ඊයේ පෙරේදා දවසක ‘තලාෂ්’ කියන හින්දි චිත්‍රපටය නරඹන්න ගියා. ඒ චිත්‍රපටය නරඹන අතරතුර තමයි ‘සිද්ධාර්ථ’ චිත්‍රපටයේ ට්‍රේලර් එක මම දැක්කේ. ඒක දැකපු මොහොතේ සිට මගේ හිත කම්පාවට පත්වුණා.
ඇයි ඒ?
දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සමන්විත වූ අපේ බුදුරජාණන් වහන්සේගේ තරුණ අවධිය ඒ කියන්නේ සිද්ධාර්ථ කුමාරයා ගේ චරිතය නළුවෙක් රඟපානව දකිනකොට මගේ හිත වේදනාවට පත් වුණා.
බුදුරජාණන් වහන්සේගේ කුමාර අවදියට සමකළ හැකි, ඒ චරිතය රඟ පෑ හැකි කෙනෙක් මේ ලෝකයේ සිටිය හැකිද? බුදුරජාණන් වහන්සේට ගෞරව කරන, උදේ හවස බුදුන් වඳින මා වැනි හොඳ බෞද්ධයකුට එය වේදනාවට කාරණයක්.
මේක සම්පූර්ණයෙන් ම බුදුරජාණන් වහන්සේට කරන අගෞරවයක්. අපි නොයෙක් විට අහලා දැකලා තිබෙනවා බුදුන්වහන්සේගේ රුව ටී - ෂර්ට්වල ගහපු අවස්ථා, සපත්තු අඩිවල ගහපු අවස්ථා, කාන්තා යට ඇඳුම්වලට යොදාගන්නා අවස්ථා.
මේ සියලු දේට වඩා උන්වහන්සේගේ චරිතය මෙවැනි ගිහි නළුවෙකු ලවා රඟපෑම බුදු දහමට කරන ලොකුම අගෞරවයක් විදියට මම දකිනවා. අනිත් එක තමයි මේ චිත්‍රපටය හදපු අය තේරුම් අරන් තිබෙනවා මේ චරිතය ලංකාවේ කිසිම නළුවෙකුට රඟපාන්න බැරි බව.
ඒ නිසා තමයි මේ චරිත ආනයනය කරල තිබෙන්නේ. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සමන්විත බුදුරජාණන් වහන්සේගේ කුමාර අවධිය මේ කාටවත් රඟපාන්න බැරි බව මේක අනුමත කළ අය දන්නේ නැත්ද? මේ වෙලාවේ මට මතක් වෙන්නේ සුණක්ඛත්ත හාමුදුරුවන්ගේ කතාව.
උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ පසු පස්සේ නිරන්තරව සිටියත් කිසිදු දිනයක නිර්වාණ අවබෝධය ලබන්න බැරි වුණා. බුදුරජාණන් වහන්සේ පසුපස්සේ යන ගමන් නිරුවතින් භාවනා කරන කෙනෙක් දැක ‘ස්වාමිනි අන්න රහතන් වහන්සේ කෙනෙක්’ යැයි කීවා. එවැනි පුද්ගලයෝ මේ සමාජයෙත් ඇති.
ඒ විතරක් නෙමෙයි බුද්ධ චරිතයේ එන සිදුහත් කුමාරයාගේ පිය රජ්ජුරුවන් වන සුද්ධෝදන රජතුමා කියන්නේ පසු කලෙක රහත් භාවයට පත්වෙන රහතන් වහන්සේ නමක්. ඒ රහතන් වහන්සේගේ චරිතයට රන්ජන් රාමනායක වැනි නළුවෙකු යොදා ගැනීම කොහොම අනුමත කරන්නද?
ඒ වගේම තමයි යශෝදරා දේවියගේ චරිතයත්. යශෝදරා දේවිය සිදුහත් කුමාරයගේ පි‍්‍රයම්බිකාව වන්නට කල්ප ගණන් පෙරුම් පිරූ තැනැත්තියක්. අපි අහලා තියෙන්නේ ඇය ලේන කුලයේ සිටම උන්වහන්සේ පතමින් පසු පස ආව පින්වන්තියක් විදියට. ඒ විතරක් නොවෙයි එතුමිය පසු කලෙක රහත් භාවයට පත්වූ තැනැත්තියක්. ඒ උතුම් කාන්තා චරිතය කවුද මේ රඟපාන්නේ? මේ තරම් පාප කර්මයක් තවත් තියනවද කියලා මට හිතුණා.
ඔබ මෙවැනි ප්‍රකාශ කරන්නේ වගකීමෙන්ද?
මෙවැනි උතුම් චරිත පස්පවම කරන ගිහි නළුවන් සහ නිළියන් යොදාගෙන කරන එක ලොකුම අගෞරවයක්. බුදුරජාණන් වහන්සේට මේ තරම් අගෞරවයක් ලංකාවේ කවුරුත් කරල නෑ.
මේ චිත්‍රපටය නිර්මාණය කිරීමේදී ඒ සඳහා උපදේශකත්වයට ගිහි පැවිදි විද්වතුන් රැසක් සිටි බව සඳහන් වුණා. එසේම එහි මාධ්‍ය දර්ශනය නැරඹීමට භික්ෂූන් වහන්සේලා රැසකුත් පැමිණ සිටියා. නමුත් ඒ කිසිවෙකුත් තවම නම් මෙවැනි විරෝධයක් කිසිදු මාධ්‍යයකින් දක්වා නෑ.
ඒක තමයි මටත් තිබෙන ප්‍රශ්නේ. හොඳ බෞද්ධයකු විදියට මට ඇස් කන් පියාගෙන ඉන්න බෑ. මේ රටේ මහා නායක හාමුදුරුවරු ඉන්නවා, උපකුලපති හාමුදුරුවරු ඉන්නවා. විශිෂ්ට ධර්ම කථික හාමුදුරුවරු ඉන්නවා. බෞද්ධ මහා සම්මේලනයක් තිබෙනවා.
බොදු බල සේනාවක් ඉන්නවා. මේ අය මොකද නිහඬ කියලා මට හිතෙනවා. බුදුහාමුදුරුවෝ කොයිම වෙලාවකවත් මිත්‍යා දෘෂ්ටිකයින් සමඟ එකට ඉඳගෙන කොයිම මොහොතකවත් දානේ වළදලා නෑ. නමුත් අද බුද්ධ පුත්‍රයන් ලෙස පෙනී සිටින අය මිත්‍යා දෘෂ්ටික ආගමික ස්ථානවලට ගිහින් බත් කනවා. එහෙම කාපු අයට මේක ප්‍රශ්නයක් නොවන්න පුළුවන්.
චිත්‍රපටය නොදැක පූර්ව ප්‍රචාරක පටය පමණක් දැක මෙවැනි අදහස් පළකිරීම සාධාරණ නැතැයි කෙනෙකු ඔබට චෝදනා කළොත්?
මම මේ කතා කරන්නේ චිත්‍රපටය ගැන නොවෙයි. එහි සිනමාත්මක බව ගැනවත්, නළු නිළියන්ගේ රංගනය ගැනවත් නොවෙයි.  මම කතා කරන්නේ මේ චිත්‍රපටය නිෂ්පාදනය කිරීම ගැන පමණි. මීට ප්‍රථමත් මෙවැනි බෞද්ධ තේමා ආශි‍්‍රතව චිත්‍රපට කෙරුණා.
ඒත් එහි සිදුහත් චරිතය හෝ බුද්ධ චරිතය කිසිවකුත් නිරූපණය කළේ නෑ. ‘මහින්දාගමනය’ චිත්‍රපටයේ මිහිදු මහ රහතන් වහන්සේ පවා චරිතයක් හැටියට හඳුන්වා දුන්නේ නෑ.
කොහොම වුණත් මේවායේ මූලික පරමාර්ථය වුණේ මුදල් ඉපයීම. හොඳ දෙයක් සමාජයට තිළිණ කිරීම නොවෙයි. අද පන්සල්වල පවා මුල්තැන ලැබෙන්නේ මුදල් උපයන දේවල්වලට. බුදුහාමුදුරුවන්ගේ පාමුල ඉස්සරලම දකින්න තිබෙන්නේ පිංකැටේ. පිං කැටයක් නැති එකම බෞද්ධ සිද්ධස්ථානයයි මම දැකලා තියෙන්නේ. ඒ මහමෙවුනා අසපුව.
ක්‍රිස්තුස් වහන්සේගේ චරිතය නම් විවිධ අවස්ථාවල විවිධ නළුවන් රඟ පා තිබෙනවා නේද?
ඔව්. නමුත් ඒ චරිතය රඟපාපු නළුවන් කවුරුත් අද ජීවතුන් අතර නෑ.
ඔබ කියන්නේ ‘සිද්ධාර්ථ’ වැනි චිත්‍රපටයක් නිෂ්පාදනය නොවිය යුතුයි කියලද?
ඔව්. ඒකෙන් වෙන්නේ බුදුරජාණන් වහන්සේට අගෞරවයක්. අනෙක් පැත්තෙන් මේ චිත්‍රපටය නරඹන අපේ අනාගත පරපුර වැරැදි ආදර්ශ ගන්න පුළුවන්. සුද්ධෝදන රජ්ජුරුවෝ කවුද ඇහුවම ‘රන්ජන් රාමනායක’ කියලා උත්තර දෙන්නත් අනාගතයේ බැරිකමක් නෑ.
දෙතිස් මහා පුරුෂ ලක්ෂණවලින් සමන්විත ඒ අසම සම බුදුරජාණන් වහන්සේගේ සිදුහත් චරිතය මේ කොහෙවත් යන පැඟිරි නළුවෙකුට රඟපාන්න පුළුවන්ද? මම බෞද්ධයකු හැටියට කෙනෙකුට විපතක් වෙනව දකින්න කැමැති නෑ. නමුත් මෙවැනි අගෞරවනීය වැඩවලට එකතුවන හැමදෙනාටම දිට්ඨ ධම්මවේදනීය කර්මය පළ දෙන්න පුළුවන්.
ඔබ මීට ප්‍රථම මේ ආකාරයෙන් ම ‘සූරිය අරණ’ චිත්‍රපටයේ ට්‍රේලරය දැක චිත්‍රපටය ගැන යම් ප්‍රකාශ කළා නේද?
ඔව්. මම හිතනවා ‘සූරිය අරණ’ දුවන්න ඒකත් හේතුවක් වුණා කියලා.
බෞද්ධ පොත පත ප්‍රකාශයට පත් කරන ප්‍රකාශකයකු විදියට ඔබටත් කෙනෙක් චෝදනා කළොත් ඔබත් කරන්නේත් බුදු බණ විකිණීම කියලා?
ව්‍යාපාරිකයකු හැටියට මගේ මේ ප්‍රකාශ මට පාඩුවෙන්න පුළුවන්. කෙනෙකු මට එහෙම චෝදනා කරන්නත් පුළුවන්. ඒ වුණාට මම බෞද්ධ පොත් පත් පළ කරන්නේ මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් නෙවෙයි. ධර්ම පොත පතවලින් ලැබෙන ලාභයෙන් සම්පූර්ණයෙන් ම මම යොදවන්නේ බුද්ධ ශාසනයේ දියුණුවට. කොහොම නමුත් මේ ප්‍රශ්නය පිළිබඳ මේ රටේ විද්වත් ස්වාමීන් වහන්සේලාගේ තර්ක විතර්ක මම බලාපොරොත්තු වෙනවා. මම වැරදි නම් මට ඉගෙන ගන්න කියලා දෙන්න කියලා ඉල්ලා සිටිනවා.
(සංවාදයට විවෘතය)
READ MORE - ‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ බුදුන්ට අගෞරව කරන චිත්‍රපටයක්

හුදෙකලාව සමුගත් සොඳුරු මිතුරා

Saturday, January 26, 2013


හුදෙකලාව සමුගත් සොඳුරු මිතුරා

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ “ගොළු හදවත” සිනමා පටයේ සුගත් ගේ චරිතය රඟපෑමෙන් අතිශය ජනපි‍්‍රය වූ වික්‍රම බෝගොඩ පසුගියදා (14) සිය ජීවිතයෙන් ද සමුගත්තේය.
ඔහු ‘ගම්පෙරළිය’, ‘කලියුගය’, ‘යුගාන්තය’ යන තුන් ඈඳුතු චිත්‍රපටිවල තිස්ස කයිසාරුවත්ත නමැති චරිතයට බාල, තරුණ, මහලු යන අවස්ථාවලදී රංගනයෙන් දායකත්වය සැපයුවේය. ඊට අමතරව අහස් ගව්ව, ‘බිනරමලී’, කලණ මිතුරෝ ඇතුළු චිත්‍රපට 19 ක පමණ ද ‘නැට්ටුක්කාරී’, ‘තට්ටු ගෙවල්’, ‘හරිම බඩු හයක්’, ‘තුරග සන්නිය’, ‘වගුරු බිම’, ‘ජේලර් උන්නැහේ’, ‘කැලණි පාලම’ වැනි වේදිකා නාට්‍ය රාශියකට ද රංගනයෙන් දායකත්වය ලබා දුන්නේය.
’ගොළු හදවත’ චිත්‍රපටය ප්‍රදර්ශනය වෙද්දී තරුණ ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගත් සුගත් (වික්‍රම බෝගොඩ) පාරක තොටක තනිව ඇවිද යන්නට නොහැකි තරමේ ජනපි‍්‍රයත්වයකට හිමිකම් පෑවේය.
’ගොළු හදවත’ තිරගත වී වසරක් වත් ගෙවී නැති එක් දිනක මම ඔහුගේ නිවෙසට ගියෙමි. ඔහු සතුව වී කොටන මෝලක් විය. ගමේ මිනිසුන් විසින් රැගෙන ආ වී, මෝලට දමා කොටමින් සිටී. එදින සේවකයෝ නිවාඩු ගොස් සිටියහ.
මම ඔහුගෙන් මෙසේ අසමි. “පාරට බහින්නත් බැරිව ඉන්න ජනපි‍්‍රයත්වයේ හිණි පෙත්තටම ගිය සුගත් මොකද මේ වී කොටන්නේ” සුගත් මගෙන් මෙසේ ඇසීය. “ඇයි මං වී කෙටුවොත් කෙටෙන් නැද්ද? මේක මගේ. සේවකයෝ නැහැයි කියලා මං මේක නොකර හිටියොත් මේ වී අරන් ඇවිල්ලා ඉන්න මිනිස්සු අතරමං වෙනවා. අපි කවුරුත් මිනිස්සුනෙ.” ඒ වික්‍රම බෝගොඩගේ හැටිය. ගමේ මිනිසුන් සමඟ එකතු වී කෘෂිකර්මය දියුණු කරන්නට අප්‍රමාණ වෙහෙසක් දැරූ වික්‍රම බෝගොඩ ලංකා බැංකුවේ ඉහළ නිලධාරියෙක් ලෙස ද කටයුතු කළ අයෙකි.
1972 වර්ෂයේ මා නිර්මාණය කළ “අන්තිම දා” කෙටි චිත්‍රපටයේ දේවිකා කරුණාරත්න සමඟ ප්‍රධාන චරිත නිරූපණය කළ වික්‍රම බෝගොඩ රූපගත කළ දිනයේ පෙරවරු 10.30 ට පසු දර්ශන තලයේ දකින්නට නොසිටියේය. කටුනායක ගුවන් තොටුපළේ ලංකා බැංකු ශාඛාවේ ප්‍රධානියා වූ ඔහු මධ්‍යහ්න 12.00 ට පෙර එහි සිටිය යුතු බව මා සමඟ කලින් පවසා තිබුණි. ඒ ප්‍රථම වරට ජම්බෝ ජෙට් ගුවන් යානය කටුනායකට සම්ප්‍රාප්ත වීමත් එහි පැමිණෙන මගීන්ගේ මුදල් කටයුතු පිළිබඳ වගකිව යුතු නිලධාරියා ඔහු වූ බැවිනි.
ඔහුගේ රූපගත කිරීම් සියල්ල අවසන් වී තිබුණි. එහි යාම සඳහා වාහන පහසුකම් මා සලසන බවට පොරොන්දු වී සිටිය ද මගේ කෙටි චිත්‍රපටයේ නිෂ්පාදන වියදම් ඒ වෙනුවෙන් වැය වනවාට ඔහු අකැමැත්තෙන් සිටියෙන් ඔහු තම වියදමින් කුලී රථයක් ගෙන්වා ගෙන පන්නිපිටියේ සිට කටුනායක දක්වා පිටත්ව ගිය බව මෙම කෙටි චිත්‍රපටයේ රඟපෑ සිරිල් වික්‍රමගේගෙන් දැන ගන්නට ලැබිණි.
මෙම “අන්තිම දා” කෙටි චිත්‍රපටය සඳහා 1972 වර්ෂයේ චිත්‍රපට විචාරක හා ලේඛක සංගමයෙන් හොඳම කෙටි චිත්‍රපටය ලෙස සම්මාන ලැබීය. ඉන් පසු මා හමුවන්නට පැමිණි වික්‍රම බෝගොඩ “සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂකවරයාණෙනි, ඔබට මගේ උණුසුම් සුබ පැතුම්” කියමින් මා වැලඳ ගත්තේය. ඔහුගේ ගමන් වියදම් වෙනුවෙන් මුදල් ලබා දුන්නද ඔහු එය කාරුණිකව ප්‍රතික්ෂේප කළේය. ඒ වික්‍රම බෝගොඩගේ හැටිය.
මගේ “සුහද ප්‍රාර්ථනා” ටෙලි නිර්මාණයට සහභාගී කරවා ගැනීම සඳහා වරක් මම ඔහු වෙත ගියෙමි. මගේ බලවත් පෙරැත්තය මත එහි රංගනය සඳහා ඔහු දායක වූ අතර එය ඔහුගේ අවසාන රංගනය වන බව මම ද දැන නොසිටියෙමි.
මාධ්‍යවේදීහු ඔහු ගැන ලියන්නට සහ විද්‍යුත් මාධ්‍ය වැඩසටහන්වලට සහභාගි කරවාගන්ට ඔහුව සම්බන්ධ කර දෙන ලෙස වරින්වර මාගෙන් ඉල්ලීම් කරති. මම ඔහුගේ නිවෙසට ගොස් ඒවාට සහභාගී වී මෙම සුන්දර කලා කෙතට නැවත අවතීර්ණ වන මෙන් බැගෑපත් ලෙස ආයාචනය කරමි.
”ඕන නැහැ මචං මම මැරුණු දවසක මං ගැන ලියන්න කියපන්. මේ හුදකලාව මට හොඳයි.”
ආදරණීය බෝගොඩ! ඔබට නිවන් සැප ලැබේවායි දැන්ම ප්‍රාර්ථනය කළ නොහැකිය. මතු භවයේත් අප අතර ඉපිද රංගන ශිල්පියකු ලෙස පෙර මෙන්ම අප හා එක් වන ලෙස මම ප්‍රාර්ථනය කරමි.
READ MORE - හුදෙකලාව සමුගත් සොඳුරු මිතුරා