----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

Lanka Art Chat Room - එන්න අපි කතා කරමු

මාලක දේවප‍්‍රියගේ ”නිහොන් සැප ලැබේවා”

Thursday, August 23, 2012



රේඩියෝ නාට්‍යයක කථා වස්තුව තර්කානුකූල සිහි බුද්ධියට අනුව ශ‍්‍රාවකයා විසින් පසක් කර ගනු ලැබෙනවා. කිසියම් සංඛ්‍යාතයක් හා ස්ථානීය පරිසරයක්ද ඊට ඇතුළත්. තේමාව, චරිත, කථා වස්තුව හා පරිසරය, ගැටලූව විසඳීමට ගන්නා පියවරවල්ද, ඒ නිසා මතුවන ගැටුම්කාරී ස්වභාවයද අවසානයේ දී ගැටලූව නිරාකරණය වන ආකාරයද රේඩියෝ නාට්‍ය කලාව තුළ දැකිය හැකියි. එහෙත් මෙකී රාමුවලට හසු නොවන ආකෘතිද රේඩියෝ නාට්‍ය හදන අය විසින් නිර්මාණය කෙරෙනවා. මෙවැනි කථා වලින් රේඩියෝ නාට්‍යයක දැකිය හැකි සුලභ ආකෘතිය මග හැරීයාම සුවිශේෂ දෙයක්. විවිධ චරිත වේදිකාව මත සිටින නළුවන් සේ නොපෙනුණත් රේඩියෝ නාට්‍ය සන්දර්භය තුළ සවන් දීම පාදක වන බැවින් චරිත දෘශ්‍යමානව පෙනී සිටීමට සැලැස්වීමේ අභියෝගය ජය ගැනීමට නාට්‍ය රචකයාට ඉඩ කඩ ඇති වෙනවා.
රේඩියෝ නාට්‍යයක්  ඕනෑම ශෛලියකින් ඉදිරිපත් කරන්න හැකියාව තිබුණත් කතාවෙන් ඉදිරිපත් කරන අර්ථයට හානියක් නොවන පරිදි නාට්‍යය නිපදවන එක තමයි අභියෝගය. රේඩියෝ නාට්‍යයක දක්නට ලැබෙන වින්දනාත්මක පරිසරය ඇතුළේ විවිධාකාර රස මතුවෙනවා. හාස්‍ය රසය ඉන් ප‍්‍රධාන එකක්. මෙම ‘නිහොන් සැප ලැබේවා’ කෘතියේ එන ‘භෂ්මාන්තර’ නාට්‍යය ප‍්‍රධාන චරිතය පමණක් ඉස්මතු කරන ආකාරයේ නාට්‍යයක්. හේතුව එහි කතා නායකයාමයි නාට්‍යයේ ඉදිරියේ සිදුවෙන දේවල් හෙළි කරන්නේ. ප‍්‍රධාන තේමාව ගැන පවා අදහස් මතුවන්නේ ඔහු දකින ආකාරයටයි. අසන්නාගේ ආකර්ෂණය ඔහුට තිබෙන හින්දා ඔහුට සිදුවෙනවා ශ‍්‍රාවකයාගේ   හැ`ගීම් උද්දීපනය කරන්නත්, කල්පනා ලෝකය පළල් කරන්නත්. මේ නිසා තනි චරිතයක් වටා කතාව ගලා යන ‘භෂ්මාන්තර’ වැනි නාටයයක් නිර්මාණය කිරීම සැහැල්ලූ කාර්යයක් වෙන්න බැහැ.
”සුවදෙන අග්නි” නාට්‍යයට ගිනිකන්දක් පිපිරීමක් නිසා තමන්ගේ දේශය අතහැර යනවාද? නැද්ද යන ගැටලූව  පාදක වෙනවා. ඇත්තටම එවැන්නකට කෙනෙක් මුහුණ දීමෙන් ලබන අත්දැකීම කලාකෘතියකට ඇතුළත් කිරීම වඩා අසීරු කාරණයක්. ඒ හරහා සාහිත්‍යමය වටිනාකමක් ඇතිවෙන්නේ නාට්‍යකරු අත්විඳින සමාජ විකෘතීන් මනාව විවිධ චරිත ඔස්සේ පිිළිබිඹු කිරීමයි. මෙහිදී කර්කෂ සමාජ විවරණයක් දක්නට ලැබෙනවා. සමාජය පිළිබඳ ඇත්ත වසන් කිරීමට එරෙහිව අර්ථකථනයක් ගෙන දෙන නාට්‍යානුරූපී කලා කෘතියක් ලෙස සුවදෙන අග්නි මෙහිදී වඩා සැලකිල්ලට භාජනය වෙනවා. මේ වගේ කෘති ඛේදනීය ප‍්‍රහසනයක් ලෙසයි ටොම් ස්ටොපාඞ් නමැති විකාර රූපී නාට්‍යකරුවා පවසන්නේ. කථාවස්තුවේ දක්නට ලැබෙන ගිනිකන්ද පිපිරීම ඛේදනීය සිද්ධියක්. ඒ එක්කම සමාජ අර්බුදයන් කුඩා තේමාවන් හැටියට ඉදිරිපත් කිරීමෙන් ප‍්‍රධාන සිද්ධිය හා උද්ගතවන සමාජ අර්බූදයන් සමාජ සංඝටනය ආකාරයෙන් අසන්නාට හිතන්න උනන්දු කිරීම හාස්‍යොත්පාදක බවක් දනවනවා. ඇතැම් ප‍්‍රතිවිරෝධතාවන් ඉදිරිපත් වෙන්නේ හැංගි හැංගි සතුරාට පහර දෙන ගරිල්ලා භටයෙක් ආකාරයටයි.
”තරුවන් සරණයි” නාට්‍ය රචනය වර්තමාන සමාජයේ සුපිරි තාරකාවන් රැුල්ල කෙරෙහි සමාජ විවරණයක් ඉදිරිපත් කරනවා. විශේෂයෙන්ම ඔද්දල් වූ තරුණ ජවය සිවිල් බලධාරින් අතරට ගැනීම හා ඒ නිසා ඉලෙක්ට්‍රෝනික මාධ්‍ය මුදලාලිලාගේ ආශාවන් පිනවීම කෙරෙහි රසික ජනයාගේ අවධානය යොමුකිරීම මෙහි ඉලක්කය වෙන්න පුළුවන්. අසන්නාට පහසුවෙන් තේරුම් ගන්න හා විඳින්න පුළුවන් විධියට සමකාලීන භාෂා ප‍්‍රයෝගද සත්‍ය නම් ගම්ද භාවිතා කොට තිබෙනවා. කිසියම් අවස්ථාවක් තෝරා ගෙන නරුම දේශපාලන වුවමනාවන් හා හරසුන් මාධ්‍ය හසුරුවන්නන් අතර පවත්නා බලූපොරය හාස්‍යජනක අයුරින් ඉදිරිපත් කිරීමක් තමයි මතු වෙනවා. ”තරුවන් සරණයි” නාට්‍යයේ එන ඇතැම් චරිත යුනිෆෝම් (Uniform Characters)   ඒවායි. ඒඞ්ස් රෝගය, ඩෙංගු රෝගය වැනි අභෞතික වස්තූන් (Abstract objects)  අපි එදිනෙදා දකින කරන චරිත විධියට හඳුන්වා දීම, එම නාට්‍යයේ සුවිශේෂත්වයට බෙහෙවින්ම උදව් කරනවා.

”නිහොන් සැප ලැබේවා” නාට්‍යය තුළ රේඩියෝ නාට්‍යයක පොදු මූලධර්ම බොහෝ දුරට භාවිතා වී තිබෙනවා. නාට්‍ය පෙළෙහි ආරම්භය කිසියම් කථාන්තරයක කුළුගැන්වෙන තැනක් සනිටුහන් කරනවා. කතාවේ බොහෝ දේවල් නාට්‍යය ආරම්භ කරන්නට පෙර සිදුවී තිබෙන බවත්, ඊළඟට කතාන්තරය නාට්‍යයක් විධියට දිග හරින්න  ඕන කොතනින්ද යන්නත්, මනාව පැහැදිළියි. ජපානයේ දුම්රියක ගමන් කරන ලාංකිකයන් දෙදෙනා මුහුණපාන ගැටලූව හා බැඳුණු සියලූ සමාජ දේශපාලනික හා සංස්කෘතික කාරණාවල් ඒ ඔස්සේ නිදහස් කිරීමට හොඳ මාවතක් එතැනදී උදා වෙන අතර රේඩියෝ නාට්‍යකරුට කතාවේ හේතු ඵල සම්බන්ධය ගොඩ නැගීමට පදනම් වටපිටාවන් ද මතු වෙනවා. අප අවට ලෝකය කොතරම් තාක්ෂණික ජයග‍්‍රහණවලින් හා දර්ශන ශාස්ත‍්‍රවලින් මෙන්ම ආගම් ධර්මවලින් දියුණුවී ඇතැයි කොතෙක් පුරසාරම් දෙඩුවත් ”රාජ්‍යය” යන සංකල්පය ඇතුළේ තවමත් මිනිසා වහලෙක් විලසින් කොටුවී සිටිනවාද යන්න ”නිහොන් සැප ලැබේවා” නාට්‍යයෙන් අපට හිතන්න බල කරනවා. අද සිවිල් වැසියන් ලංකාව හැර ජපානය, ඉතාලිය හා මැද පෙරදිග වැනි රටවලට නීත්‍යානුකූලව හා නීතිවිරෝධීව ගමන් කරනවා. එතැනදී ඔවුන්ගේ අනන්‍යතාව නිශ්චය කෙරෙන්නේ කෙලෙසදැයි යන්න තවම නො විසඳුණු දේවල්.
ඇන්ටන් චෙකොව් කියන්නේ ‘‘ජීවිතය තේමා කරගත් කිසිම කථාවකට මුලක් නෑ’’ කියලා. ඔහුගේ හැම කතා වස්තුවක්ම ජීවිතයෙන් කපා ගත්ත පෙත්තක්. ඒක හරියට කිසිම විසඳුමකින් තොර ගැටලූවක තීරණාත්මක අවස්ථාවක් හැටියටයි ඔහු දකින්නේ. මාලක දේවප‍්‍රියගේ මේ රේඩියෝ නාට්‍යයේ සංග‍්‍රහයේ ”ආලයක දමනය”ද එවැනි නාට්‍ය සේයාවක් පිළිබිඹු කරනවා. වරෙක මනමේ කතාවේ වැද්දා සහ මනමේ කුමරිය අතර සංවාදයේ දී ස්ත‍්‍රිය චපලද නැද්ද කියන කථාවද සිහිගන්වන ඇතැම් දෙබස් පාඨවලින් භාවමය වටපිටාවක් මේ නාට්‍යයේදී දක්නට ලැබෙනවා. අහිංසක හා සුජාතා අතර සර්පිලාකාරව ගොඩ නැගෙන සංවාදය සානුකම්පිත හාස්‍යය හා රොමැන්ටික් සල්ලාපයකින් උද්දීපනය වන්නාවූ උද්වේගකාර නාට්‍යමය පරිසරයක්. දෙදෙනාම වැරදි නිගමනයන් තුළ හිරවී ඉන් ගොඩ ඒමට බැරිව ජීවිතය බදා ගැනීමටත්, වරෙක ඉන් පලා යාමටත් තැත් දරනවා. මිනිසා ශාරීරිකව මෙන් මනසින්ද රමණයේ යෙදෙන අතරේ ඒ නිසා පඹ ගාලක පැටලිලා පැටලූම් ලිහන්න මාන බැලීම කොයි තරම් හාස්‍යජනකද? රති කෙළිය ගැන ප‍්‍රශ්න කිරීමට තරම් ලෝකය තවම සූදානම් වන්නේ තිරිසනුන්ටත් වඩා පහත් මට්ටමකට මිනිසා ඇද වැටී ඇති නිසාද? ස්ත‍්‍රිය සමග නිදාගත් පුරුෂයන් ගණන ගැන ප‍්‍රශ්න කරන අහිංසක වැනි චරිත, එමෙන්ම මිනිසුන් දහස් ගණන් හිත් පිත් නැතිව මරා දමාපු මිනිසෙකුට අනුකම්පා කරන ස්ත‍්‍රිය විකාර රූපී රංග කලාවේ නාට්‍ය දර්ශනයන් මෙනෙහි කරවන්නක්. දෙදෙනාම අසන්නා ගේ නාට්‍යමය අනුකම්පාව උදුරා ගැනීමට වෙර දරනවා. සිවිල් සමාජයේ නීති රීති ආගම් දර්ශනවලින් කොටුවී සිටින අසන්නාට මේක මහ සීරියස් දෙයක් වුණාට නගරයේ හුදකලා තැනක ලැප්ටොප් එකක් උකුළේ් හොවාගෙන රති කෙළියක යෙදෙන දර්ශන දැක දැක මනසින් රති සැප විඳින බහුතරයක් මෙම රසිකයන් අතරේ නැද්ද? ආගම් දර්ශන හා සංස්කෘතික සීමාවලින් හිරවී හිරබත් කන අය කියන ඊනියා ශිලාචාර ගුණ දහම් දෙසාබාන සත්පුරුෂයෝ, කුහකයෝ නොවේ යයි කියන්න පුළුවන් කාටද?
ප‍්‍රබන්ධකරණය නමැති ගෙට හුඟාක් ජනේල තියෙනවා. ඒ උනත් ඒකට තියෙන්නේ දොරවල් නම් දෙකයි. එහෙම නැත්නම් දොරවල් තුනයි. කතාන්තරයක් කියන්නට කෙනෙක් උත්සාහ කරන්නේ එක්කෝ උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් හෝ එසේත් නැත්තම් අන්‍ය පුරුෂ දෘෂ්ටි කෝණය භාවිතයට ගන්නවා. ”මනවිදමන” නාට්‍යයේ පෙළ කියවන විට ප‍්‍රධාන චරිතය මෙම දෘෂ්ටි කෝණ දෙක එකිනෙකට හුවමාරු කරගෙන චරිතය, කතාවේ තේමාව, කතා වස්තුව හා වස්තු පරිසරයට එළිදරව් කිරීමට ඉමහත් පරිශ‍්‍රමයක යෙදෙනවා. මෙවන් ආකාරයේ කථනයන් හරිම දුර්ලභයි. ඒත් සියලූ සාහිත්‍යමය මූලධර්ම හඳුනා ගෙන සිටින සාහිත්‍යකාරයෙකුට මෙවැනි ආඛ්‍යාන රීතින් මැනවින් මෙල්ල කරගැනීමට හැකියාව තිබෙනවා. ”කැල්” නමැති තරුණයා අධිවේගී දුම්රියක් ඇතුළේ තම පුරුෂාධිපති බලය ”ඩාමේ” නම්වූ කාන්තාව ඉදිරියේ මුදා හරින්නේ ඉහත කී සාහිත්‍ය මෙවලම් මනාව පාලනය  කරගෙනයි. කතාන්තරයක් දිගට හරහට දිග ඇරියත් එකේ යම් යම් සීමාවන් ස්වයංවාරණයන් ඔස්සේ කිරීමයි නුවණට හුරුවන්නේ. ස්ත‍්‍රීය ඝාතනය කිරීමට පවා පෙළඹෙන පුරුෂයා කොතරම් ආක‍්‍රමණශීලී වුවත් ගැරඬියෙක් වගේ ආපස්සට හැකිලෙන බොළඳයෙක් බවට පත්වෙන්නේ සිග්මන් ෆ්‍රොයිඞ්ගේ මනෝ විශ්ලේෂණයන්හි ගැතිව තිබෙන ලිංගිකත්වයේ උත්කර්ෂණය විවිධාකාර හැකියාවන්ට පරිවර්තනය වන සිද්ධාන්තය පවා සිහිගන්වමින්. ලිංගික කාර්යයෙහි නියැළෙන්නෙකුට බොහෝ දුරට තම රාගික දැහැන තුළ ඔටුනු පළඳින්ට පුළුවන්කමක් නැහැ. තෘප්තිය සිඳී යද්දී ඔහු කොන්ද නැති කෝඳුරු මිනිසෙක් බවට පරිවර්තනය වෙනවා. ඩාමේ සමග නිදාගන්න පතන හේ ජාත්‍යන්තරවාදියෙක් වෙන්නට තරම් භාෂාන්තර දැනීමක් ඇති අයකු මෙන්ම උපාධිය දක්වා ඉහළින් සිප් සතර හදාරා ඇති අයෙක් වුවද ”ඩාමේ” වැළඳ ගැනීමට ඒ කිසිම විෂය දැනුමක් ඔහුටු අනුබලයක් හෝ සහයෝගයක් දක්වන්නේ නැහැ. තට්ටෙයි, බඩයි තිබෙන විධායක ශ්‍රේණියේ ඇතැම් පරිපාලන නිලධාරීන් පවා තම බිරිඳ ගෙදර සිටියදී අන්‍ය අ`ගනුත් සොයා කාර්යාලයීය වෙලාවෙන් පසු වැඩට බසින්නේ ඇයි?  ඇන්ටන් චෙකොෆ්ගේ න්‍යාය අනුව බලන විට විසඳුමකින් තොරව අවසන් වෙන ගැටුම්කාරී නාට්‍යමය අවස්ථාවකින් කතාන්තරයේ පෙළද නතර වෙනවා. තාත්වික හා අතාත්වික සම්ප‍්‍රදායන් අතරමැද කැපීපෙනෙන වෙනස පමණයි අසන්නා ග‍්‍රහණය කරගන්නේ. කලාකෘතියක් වඩා සාර්ථකයි කියලා හිතෙන්නේ සාහිත්‍යකාරයාගේ පුද්ගලික ආකල්ප සොයා ගන්නට බැරි තරමට හැංගිලා තිබුණොත් පමණයි. එංගල්ස් 1888 දී ඉංග‍්‍රීසි නවකථාකාරි මාග‍්‍රට් හාර්ක්නස්ට සමාජවාදී සමාජයක් ගැන කිසිදු වචනයක් සඳහන් නොකිරීම ඇගේ වරදක් හැටියට ඔහු දකින්නේ නෑ. කලාව සහ ප‍්‍රචාරකවාදය අතර වෙනස මාර්ක්ස් මෙන්ම එංගල්ස්ද දැඩිව අවධාරණය කරනවා. ලේඛකයා ඇතුළත්ව සිටින සමාජ පංතිය සහ ඔවුන් ඇලූම් කරන දේශපාලන ධර්ම කෙරෙහි දැඩි විමසිල්ලෙන් පසුවීම මාක්ස්වාදී සාහිත්‍ය විචාරයේ අනිවාර්ය ලක්ෂණයක්.

”නව නළු දහම” මිනිස් සංහතිය පුරාම දක්නට ලැබන සූරාකෑමට එරෙහිව සටන් පාඨයක් වගෙයි පේන්නේ. එක් මානව කොට්ඨාසයක් තවත් මානව කොට්ඨාසයක් වෙත බලය යොදා අනුන්ගේ අයිතියට අත පෙවීමත්  නොවිසඳුණු ගැටුම අතීරණාත්මක අවස්ථාවක් කරා පැමිණීම හා නො විසඳුණ ගැටලූවක් ලෙස අවසාන කිරීම කතුවරයාගේ ජීවන දැක්ම මැනවින් පිළිිබිඹු කරන්නක්. කූට ජාවාරම්කාරයන්ගේ තත්ත්වයට අද මාධ්‍ය බලවතුන් ගොදුරු වීම හා ඔවුන්ට අත්වන ඉරණම කියා පාන මෙම නාට්‍යය සමාජ ප‍්‍රගතිය අපේක්ෂා කරන්නන්ගේ් ආශිර්වාදය හිමිවන නිර්මාණයක් හැටියට පෙන්වන්න පුළුවන්. පාරම්පරික කලා සම්ප‍්‍රදායයන් නවීන මාර්කටින් වියරුව විසින් ගිල ගැනීම කිසිසේත්ම සමාජ ප‍්‍රගතිශීලීන් අනුමත කරන දෙයක් නෙවෙයි. රූකඩ කලාව මත යැපෙන අහිංසක ශ‍්‍රමය තම ධනවාදී ආශාවන් මුදුන් පත් කරගන්න මාන බලන පිරිස් කෙරෙහි අවධානය යොමු කරවීම හා ඒ වෙනුවෙන් ජනතාව වීදි බැස්සවීමට තරම් ප‍්‍රබල තේමාවක් වෙනවා.
”රෝම රූපන” නාට්‍යය ප‍්‍රහසන (farce)  වර්ගයට ඇතුළත් රේඩියෝ නාට්‍යයක් හැටියට සලකන්න පුළුවන්. රංග සම්ප‍්‍රදායයන් තුළ ප‍්‍රහසන යනු සිදුවෙන්න බැරි දේවල් හා  ඕනෑවට වඩා අතිශයෝක්ති බහුල පේ‍්‍රක්ෂකයා හෝ අසන්නා සිනා රසයේ ගිල්වන නාට්‍ය විශේෂයක්. වැරදි වැටහීම් සහ වසන් කෙරෙන උපක‍්‍රම, වචන හරඹ, ඉල ඇදෙන විහිළු තහළු මෙම නාට්‍ය අංගයට ඇතුළත් වෙනවා. හනි හනික පියවර තැබීමේ රිද්මය ඇතිව සිද්ධියෙන් සිද්ධිය ඉදිරියට තල්ලූ වෙනවා. පසු පස හඹා යන්නා සේ ගමන් කරන සිද්ධි පෙළ කූටප‍්‍රාප්තිය කරා එළඹෙන්නේ විස්මය උපදවන නිමාවක් ඇති කරමින්. කිසියම් අර්බුදකාරී වටපිටාවක් ඇතුළේ ක්ෂණික සිනා උපදවන හාස්‍ය කෑලි (Twist)   බොහෝමයක් පටලවා ගෙනයි ප‍්‍රහසනය ගලා යන්නේ. රසිකයා පොළඹවන්නේ කථා රසය පස්සෙන් යාමටම නොවේ. එක පිට එක තොරතුරු වැඩි වීමෙන් වළක්වා ගැනීමටද ප‍්‍රහසන රචකයා වගබලා ගතයුතු වෙනවා. බාහිර විනෝදය ඉලක්ක කර ගැනීම නිසා ගැඹුරු රස වින්දනය මේ කලාංගය තුළ දකින්න බැහැ. හිතාමතාම භාවිත කරන විකාර රූප රංග ලක්ෂණ මෙම නාට්‍යවල කැපී පේන දෙයක්. ”රෝම රූපන” නාට්‍යයේ මෙකී නියමයන් අඩු වැඩි වශයෙන් දක්නට ලැබෙනවා. එහෙත් වේදිකාවේදී නළුවෙකුගෙන් ප‍්‍රක්ෂේපණය නොවන දේවල් රේඩියෝ නාට්‍ය ශිල්පියෙකුගෙන් ඉෂ්ට වන්නට ඇති ඉඩකඩ වැඩි බැවින් අසන්නන්ට තම වින්දනය පෝෂණය කරගැනීමට (Sustaining) ඇති තරම් ඉඩ කඩ තිබීම එක්තරා සුවිශේෂි ගුණයක්.
මෙම රේඩියෝ නාට්‍ය සංග‍්‍රහයේ දැක්වෙන ”නිරාභිෂේකන”, වර්තමාන සමාජයේ දක්නට ලැබන තම වෘත්තීය වැදගත්කම වෙනුවෙන් පෙනී සිටින ගෞරව නාමයන් පිළිබඳ පවතින ආන්දෝලනාත්මක සමාජ ප‍්‍රපංචයක් කෙරෙහි අවධානය යොමු කරනවා. අසාධාරණය වෙනුවෙන් නැගී සිටින අය පවා ප‍්‍රතිවිප්ලවීය කොටස් බවට පත් වීම නිසා තත්වය පාලකයාටම වාසිදායි විධියට සකස්වීම හාස්‍ය ජනකයි. මෙවැනි සමාජ අර්බුදයන් අසන්නන් සඳහා රේඩියෝ නාට්‍ය ලෙස හඳුන්වාදීම අලූත් දෙයක්. එහෙත් යථාර්තය නම් ”කලාවට ආණ්ඩු පෙරළන්න බැහැ” කියන සැබෑ අත්දැකීමයි. ප‍්‍රීතිමත් සහ ගෞරවාන්විත ජීවිතයක් ගත කිරීමේ අරමුණින් මිනිසුන් එකට එකතු වී පිහිටුවා ගත් සංවිධානය රාජ්‍යය වේ යන්න ඇරිස්ටෝටල් දැක්වූ පරමාදර්ශි මතය අද සමාජයේ ප‍්‍රශ්න කිරීමට ලක්වී තිබෙනවා. නූගතා උගතා හඳුනාගන්න බැරි තරමට සමාජය ඔද්දල් වෙලා. ඒ නිසා සමාජය විකෘති අර්ථ දැක්වීම්වලට ගොදුරු වෙලා. පරමාදර්ශි සමාජ රටාවකට පෙරගමන් කරුවන් වන උදවියට අද සමාජය පෙරළා පහර දීමට තරම් උරණ වෙලා. හිට්ලර්ගේ නාසි හමුදාවට හසු වූ ප‍්‍රංශ කවියකුවන රෙබෙර් දෙස්තේ යුදෙව්වකු යයි සැක කොට 1945 ජූනි 8 දින වධකාගාරයට සිරකර තබා ගෑස් යොදවා මරා දමනු ලැබුවා. ඔහු විසින් තම බිරියට ලියූ අවසාන කවිය මෙහෙමයි.

ඒ සා ශක්තියකින්
මම දුටුවෙමි ඔබ සිහිනෙන්
මම බොහෝ ඇවිද්දෙමි
බොහෝ කතා කළෙමි
ඔබ සෙවණැල්ලට තරම්, ආදරේ
නමුත්
ඔබ හෝ ඔබ කිසිවක් මා සතු නැත.
ඉතිරිව ඇත සෙවණැලි අතරේ සෙවණැල්ලක්
සිය ගුණයක අඳුරේ අඳුරක් වීමට
නැවත නැවත එන ඔබ ජීවිත හිරු එළියේ
අඳුරේ අඳුරක් වීමට
මෙසේ අති දුක්ඛදායක ඉරණමකට ගොදුරුවූ ලොවට වැඩදායක බුද්ධිමතුන්ගේ පිරිස සුළුපටු නොවීය. පරිත්‍යාගශීලීන් පවතින සමාජයට හතුරෙක් කිරීමට තරම් රාජ්‍ය යන්ත‍්‍රය අද ශක්තිමත් යැයි හැෙඟන්නේ              ”නිරාභිෂේකන” නාට්‍යයේ  ”මනුම්‍ය” මරණාසන්න මොහොතේ කරන ප‍්‍රකාශයට සවන් දෙන අසන්නා තුළයි.
මනුම්‍ය- මට හරිම සංතෝෂයි. මට හොඳට ඇහෙනවා උඹලගේ මනස. මාව බලන්න පැමිණීම සම්බන්ධයෙන් බොහෝම ස්තූතියි. කොහොමද ආචාර්ය ඉන්ද්‍රජාත සෙනෙවිරත්න. මට හරිම සන්තෝෂයි කාලෙකට පස්සේ හැමෝම එකම තැනකදි මුණ ගැහෙන්න ලැබිච්ච එක. ඔව් ඊළඟට මගේ හිස අහිමි වුණත්, මං මගේ සටන අතහරින්නෙ නැහැ. මොකද හැමෝම නිහඬ. මට ඇහෙන්නේ සේලයින් බිංදු වැටෙන හඬ විතරයි. ම්  මොකද මේ මං දිහා ගල් පිළිම වගේ බලාගෙන ඉන්නේ? දැන්වත් මට සහයෝගය දීපල්ලා, දැන්වත් මට සහයෝගය දීපල්ලා....
මෙතැන දි අසන්නාට දැනෙන්නේ අසාධාරණයට එරෙහිව සටන් වදින්නාට අත්වන ඉරණමයි. බෞද්ධාගමික පරිසරයක් තුළ ස්ථාපිතව පවතින සමාජයක ”මේ තමයි සංසාරෙ හැටි” යන අර්ථකථනය තුළ හිරවෙනවා. ඊළඟට ජීවිත පරිත්‍යාග කළ පුද්ගලයාගේ වීරත්වය ගැන ටික කලක් මෙනෙහි කරලා වැඬේ අතැරල දානවා. ඇල්බෙයා කැමු නැමැති ප‍්‍රංස සාන්දෘෂ්ටිකවාදී ලේඛකයා වැඬේ අතට ගන්නේ පෙරදිග ලොව විඥානවාදී අර්ථකථනයෙන් අතරහැර දැමූ තැනින්. කැමූගේ වචනවලින් කියනවා නම් ආත්ම ඝාතකයාගේ විරුද්ධාර්ථය මරණයට කැප කරන ලද පුද්ගලයායි. දවසක අරුණලූ නැගෙ--න්නට මොහොතකට පෙර තමා වෙනුවෙන් තමා සිටින සිරගෙදර යකඩ දොරටු විවෘත වන විට මරණයට කැපවූ මිනිසා තුළ ජීවමාන දෙවියන්ගේ මෙන්වූ ආදේශක ලක්ෂණද ඔහු තුළ පවතින ජීවන ගිනි සිළුව හැර ඇදහිය නොහැකි තරම් වූ උපේක්ෂාවද සැලකිල්ලට ගත්කල එකම තර්කානුකූල නිදහස ගතින් හා සිතින් විඳිය හැකි නිදහස දනවන මූලධර්මයන් වන්නේ මරණය හා අසම්මතය පමණක් බව මට හොඳටම විශ්වාසයි යනුවෙන්.
මට අවසාන ලෙස කිවහැක්කේ සමස්තයක් වශයෙන් ගත්විට මාලක දේවප‍්‍රියගේ මෙම ගුවන් විදුලි නාට්‍ය පෙළෙහි දක්නට ලැබෙන අරුත් කෙරෙහි පවතින ගතානුගතික සම්ප‍්‍රදායික සමාජ චර්යාවන් හා මිථ්‍යාවන් හිසේ ටොන් ගණන් පටවා ගෙන සිටින බහුතර ලාංකික රසික සමාජය කෝපයට පත්වීම ස්වාභාවික බවයි. මේවාට  මොන ආකාරයේ ප‍්‍රතිචාරයක් දක්වයිද  යන්න කලාකාරයකු ගණන් ගත යුත්තක් නොවෙයි. මාර්ටින් වික‍්‍රමසිංහ පනස් හයේ දේශපාලන පිබිදීම දුටුවේ බමුණු කුලයේ බිඳවැටීමක් හැටියටයි. හැත්තෑ එකේ නැගිටපු කැරලිකාරයන් පුළුස්සලා දැම්මේ ඒ බමුණු කුලයේ බිඳවැටීම තුළින් මතුවූ ඒ ඊනියා ප‍්‍රගතිශීලි බලාධිකාරය මගින්.  සමාජ යථාර්ථයන් හඳුනානොගත් ඒ සමාජ පැළැන්තිය විසින්ම අසූහත අට වකවානුවේද යළි අවධි වූ සමාජ ස්ථරය සමුල ඝාතනය කළා. ඉන්පසු වර්ගවාදය ලෙස හංවඩු ගසා උතුරේ සන්නද්ධ අරගලය කුඩු පට්ටම් කිරීමට තරම් පනස් ගණන්වල මතුවූ මහලූ ස්ථාපිත සමාජය කරපින්නා ගත් අයට ජව බලය ලබා දුන්නේද අර ඊනියා ජාතිවාදය, කුලවාදය, ආගම්වාදය හා ගෝත‍්‍රික ආකල්පවලින් ඔද්දල් වූ දිරාපත් නොවන යකඩ මෙන් ස්ථාපිත සමාජ ව්‍යුහය විසින්. මීට සමාන්තරව අවි අතට නොගත්තද සාහිත්‍ය මෙවලම්වලින් සන්නද්ධ වන කලා කෘතිවලට කෙබඳු ඉරණමක් අත්වේද යන්න කුමන කතාද? සංස්කෘතික හා සාහිත්‍ය සේනාංකයන්හි පදක්කම් පැළඳ සිටින නාට්‍ය සේනාංකයේ බි‍්‍රගේඩියර්ලාට, පද්‍ය හා ගීත සේනාංකයේ මේජර්ලාට, ටෙලිවිෂන් හා රේඩියෝ සේනාංක භාර සේනාධිනායකයන්ට මෙන්ම මාධ්‍ය සේනාංකයේ ආඥාපතිවරුන්ට, සංස්කෘතික කටයුතු භාර පොලිස්පතිලාට සැලියුට් නොගහන  සාහිත්‍ය කරුවන්ට අත්වන ඛේදනීය ඉරණම කෙරෙහි අවධියෙන් සිටීම බුද්ධිමත් පාඨකයා සතු කාර්යයක්.

ඩබ්ලිව්. එස්. විජේසිංහ

READ MORE - මාලක දේවප‍්‍රියගේ ”නිහොන් සැප ලැබේවා”

ඔබට තරුවන් සරණ සමග නිහොන් සැප ලැබේවා! | හඩ නළුවට නව එළියක්


  රංග බූන්දි  
ඔබට තරුවන් සරණ සමග නිහොන් සැප ලැබේවා! | හඩ නළුවට නව එළියක්


මාලක දේවප්‍රියගේ "නිහොන් සැප ලැබේවා" රේඩියෝ කතා සංග්‍රහය දොරට වැඩීම, 2012 සැප්තැම්බර් 14 වන සිකුරාදා ප. ව. 3:00ට මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී. ආරාධිත දේශන- ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, ඩබ්ලිව්. එස්. විජේසිංහ සහ තිලිණ සමරසූරි
මාලක දේවප්‍රියගේ ගුවන් විදුලි නාට්‍ය රචනා කියවන්නට මට ලැබුණේ ඔහුගේ 'උගෙ හිස ඉවරයි' කෘතිය පළ කළ කාලයේය. ඒ නාට්‍ය එකතුවේ සිටම මෙරට මෙකල දැකිය හැකි සංස්කෘතික හා විනෝද කර්මාන්තයේ විප්‍රකාර, විචාරාත්මකව උපහාසයට ලක් කරන්නට තැත් කිරීම දකින්නට තිබිණ. 'නිහොන් සැප ලැබේවා' නම් මේ නාට්‍ය එකතුවෙහිත් ඒ ලක්ෂණ තවත් හොඳින් වර්ධනය වී තිබෙනු පෙනෙයි.

මෙම කෘතියෙහි එන 'තරුවන් සරණයි' නාට්‍යය මෙකල ලංකාවේ දැකිය හැකි නිස්සාර මාධ්‍ය සන්දර්ශනයේ හා තරු සංස්කෘතියේ ස්වභාවය ගැන දරුණු උපහාසයකි. වර්තමාන ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය කර්මාන්තයේ අරමුණ මොන මොන විසූක දස්සනයෙන් හෝ ලාභ ඉපයීම බව නොරහසකි. තරු වැඩසටහන් මගින් ඇතැම් විට යම් යම් දක්ෂතා මතු වුවද එමගින් ඇති කෙරෙන නොගැඹුරු විනෝද සංස්කෘතිය දීර්ඝ කාලීන වශයෙන් හරවත් කලාවේ අවකාශය හා අවස්ථාව විනාශ කරන බව පෙනේ. අවුරුදු තුනේ දරුවාගේ සිට වැඩිමහල්ලන් දක්වා බොහෝදෙනෙක් අද "ඩාන්සින් ස්ටාර්" තරගවලට ඉදිරිපත් වෙති. ඒවාට තම දරුවන් මුණුබුරන් ඉදිරිපත් කර සතුටු වෙති. එමගින් නැටුම පිළිබඳ අති සරල අදහසක් සමාජගත වේ. නැටුම යනු සිංදුවකට නැටීම නොවේ. නැටුම නම් කලාව මානව සංස්කෘතිය තුළ පහළ වූයේ හුදු විනෝදාංගයක් ලෙස නොවේ. නැටුම යනු විමුක්තිකාමයේ ප්‍රකාශනයකි. ආදි කාලීන මානවයා සොබාදහම සමග ගැටෙමින් දුෂ්කර ලෙස සිය පැවැත්ම සාදා ගන්නා අවදියේ ඒ යථාර්ථ කාර්යයෙන් මොහොතක් වෙන්වී නැටුම වැනි නිෂ්පාදනයට සෘජුව සම්බන්ධ නැති කාර්යයන්හි යෙදීමෙන් ප්‍රකාශ කළේ එක්තරා නිදහස් කාමයකි. තමන්ගේ යථාර්ථය පිළිබඳ අමනාපයකි. දැන් පැවැත්වෙන නැටුම් තරු වැඩසටහන් යනු මාධ්‍ය කර්මාන්තයේ ලාභ වෙනුවෙන් ජනයා නැටවීමකි. එසේම අති සරල කලාවක මහජනයා සිරකර තැබීමකි. මාලකගේ 'තරුවන් සරණයි'නාට්‍යයේ උත්ප්‍රාසාත්මකව කියවෙන පරිදි මේ තරු වැඩසටහන් දේශපාලන බලය විසින්ම නැටවෙන රූකඩ නැටුමකි. අවසන් වශයෙන් ගත් කල මේ තරු වැඩසටහන් සේවය කරන්නේ මහජනයා අති සරල විනෝදයක ගිල්වා තබා පවතින දේශපාලන බලය වෙනුවෙන් ජනයා මෙල්ල කර තැබීමක් වැනි කාර්යකි.

මේ නාට්‍ය එකතුවේත්, මාලකගේ අනික් රචනාවලත් ඇති විශේෂත්වයක් වන්නේ වර්තමාන පරම්පරාවේ තරුණ තරුණියන්ගේ ලෝකය ඔවුන්ගේ ගැටලු, ප්‍රමුඛතා ආදිය ගැන ලිවීමයි. ඒ නිසා ඔහුගේ නාට්‍යවලින් සමකාලීන සිංහල ජීවිතය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට හැකි වෙයි. 'නිහොන් සැප ලැබේවා' යන නාට්‍යයේදී අප දකින්නේ ජපානයට නීති විරෝධීව සංක්‍රමණය වූ තරුණ පිරිසකගේ ජීවිතයයි. ජපානයේදී රැකියාවක් කිරීමට වීසා ලබා ගැනීමේ අරගලයක යෙදෙන සිංහල තරුණයන්ට තම සංස්කෘතියෙන් උරුම කරගත් පුරුෂෝත්තමවාදී දෘෂ්ටිවාදයන්ද සමග මුහුණට මුහුණ ගැටෙන්නට සිදුවේ. කාන්තාවන්ට සුදුසු හැසිරීම්, රැකියාවල් හා පුරුදු ආදිය පිළිබඳ මව් රටෙන් ගෙනා උරුමය පුද්ගල නිදහස පිළිබඳ ලංකාවට වඩා වෙනස් ආකල්ප පද්ධතියක් ඇති ජපානයේදී ඉරිතැලෙන්නට පටන් ගනී. මේ තරුණයන්ගේ අභ්‍යන්තරික ඉරිතැලීම් වීසා නොමැතිව සිටීමටත් වඩා වේදනාකාරීය. මෙවැනි අත්දැකීම් වූකලී අලුත් ලේඛක පිරිසක් මතුව සාහිත්‍ය කලා වෙත ගෙන ආ යුතු දේය.

මෙවන් අලුත්ම ලේඛක පිරිසකට පමණක් සාහිත්‍ය වෙත ගෙන ආ හැකි අත්දැකීම්වලට අමතරව ගුවන් විදුලි නාට්‍යයේ ව්‍යූහය පිළිබඳ අත්හදා බැලීම් කරන අවස්ථාද මෙහි එයි."භෂ්මාන්තර" එවැනි නාට්‍යයකි. එහි පිටපතින් ඇඟවෙන විදියට නම් එය අපූරු "හඬ නළුවක්" ලෙස නිෂ්පාදනය වන්නට ඉඩ තිබෙන රචනයකි. මෙහි එන "මන විදමන"නාට්‍යයත් එවැනි ව්‍යූහමය නව්‍යයත්වය ඇත්තකි.

සාමාන්‍යයෙන් ගුවන්විදුලියෙන් අසන්නට ලැබෙන අන්දමේ නාට්‍යවලට වඩා ආකෘතියෙන්ද අන්තර්ගතයෙන්ද වෙනස් අලුත් ශ්‍රී ලාංකිකයන් පිරිසකගේ අත්දැකීම් නාට්‍යයට නගන මේ නාට්‍ය එකතුව මාලක දේවප්‍රිය මීට කලින් පළ කළ 'උගෙ හිස ඉවරයි' නාට්‍ය එකතුවෙහි එන නිර්මාණ ඉක්මවා යන පරිණතකමක් පළ කරයි. එසේම මෙම නාට්‍ය රචනා වර්තමාන සිංහලයාගේ අමනකම් හා කුහකකම්වලට අනුකම්පා විරහිතව පහර ද දෙයි. එහෙත් ඒ පහරදීම පිටතින් සිට පහරදීමක් නොවේ. රචකයා කරන්නේ ඒ ඒ චරිතවල අභ්‍යන්තරයට ගොස් යට කී අමනකම් හා කුහකකම් පවතින විඥානයේ අභ්‍යන්තර සැකැස්මම අවුල් කිරීමයි. ඒ නිසා මෙම නාට්‍යවල නාට්‍යමය අවස්ථාවලදී සිංහලයන් වන අප කාගේත් විඥානගත විශ්වාස අපේ අභ්‍යන්තරයෙන්ම කොනිත්තන්නාක් මෙන් අපට දැනේ. ඒ වූකලි විශිෂ්ට රචකයන්ට පමණක් කළ හැකි කාර්යයකි. 

 Liyanage Amarakirthi | ලියනගේ අමරකීර්ති


BOoNDI
READ MORE - ඔබට තරුවන් සරණ සමග නිහොන් සැප ලැබේවා! | හඩ නළුවට නව එළියක්

අලුත් අලුත් දේ අත්හදා බැලීමෙන් නාට්‍යකරුවා විශාල ආශ්වාදයක්‌ ලබනවා


අලුත් අලුත් දේ අත්හදා බැලීමෙන්
නාට්‍යකරුවා විශාල ආශ්වාදයක්‌ ලබනවා

- "සුද්දෙක්‌ ඔබ අමතයි" ගැන ප්‍රවීණ නළු
ජයලත් මනෝරත්න කතා කරයි

නිහඬ සමාජය සංවාදයකට යොමු කරනවා
- අධ්‍යක්‌ෂ උදයසිරි වික්‍රමරත්න


 

නලීන්- "සුද්දෙක්‌ ඔබ අමතයි"

මාදිනී - "සුද්දෙක්‌ ඔබ අමතයි"
සුද්දෙක්‌ ඔබ අමතයි අධ්‍යක්‍ෂවරයා උදයසිරි වික්‍රමරත්නය අලුත්ම ආකෘතියක්‌ ඔස්‌සේ ප්‍රේක්‍ෂකයාට නැවුම් අත්දැකීමක්‌ ලබා දෙන "සුද්දෙක්‌ ඔබ අමතයි" අන්තර්ගතය පිළිබඳ උදයසිරි වික්‍රමරත්න සමඟ කළ සාකච්ඡාවක සටහන් මතු දැක්‌වේ.

සුද්දෙක්‌ ඔබ අමතයි අවුරුදු දෙකකට වැඩියි. මෙතරම් කාලයක්‌ මේ නාට්‍යය ගෙන එන්න තරම් එහි ඇති වැදගත්කම මොකක්‌ද?

ප්‍රධාන ලෙසම කිව්වොත් නාට්‍ය කණ්‌ඩායමට ආසා හිතෙනා හැමදාම නාට්‍යය සමඟ රැඳී ඉන්න තරම් වටිනාකමක්‌ මෙහි තිබිය යුතුයි. "සුද්දෙක්‌ ඔබ අමතයි" නාට්‍ය කණ්‌ඩායමේ හැම දෙනාම මේ නාට්‍යය සමඟ බැඳීමකින් ඉන්නේ.. ලැදියාවක්‌ දක්‌වනවා. එය දවසින් දවස වැඩි වෙනවා. නාට්‍ය බැලූ ප්‍රේක්‍ෂකයන්ගෙන් වැඩි පිරිසක්‌ තවත් අයට මේ නාට්‍ය බලන්න කියලා නිර්දේශ කරනවා. ඒ ප්‍රේක්‍ෂකයන් අතර තියෙන සන්නිවේදනය හරහා නාට්‍ය හා කණ්‌ඩායම අතර ඇති බැඳීම, නාට්‍ය හා ප්‍රේක්‍ෂකයා අතර ඇති බැඳීම මත තමයි එම නාට්‍යයේ පැවැත්ම සිද්ධවෙන්න.

එකම නළු නිළි පිරිසක්‌ අවුරුදු දෙකකට අධික කාලයක්‌ නාට්‍යය තුළ රඳවා ගැනීම ගැටළුවක්‌ නොවෙයිද?

සැළලිහිණිය කොයිතරම් කියෑවූවත් එපා වෙන්නේ නැහැනේ. සුද්දෙක්‌ ඔබ අමතයි සැළළිහිණියට සමාන කරන්න බැහැ. ඒත් වසර ගණනාවක්‌ යනතුරු එපා වෙන එකක්‌ නැහැ. නාට්‍යයට සංගීතය සපයන්නේ තරුණ ශිල්පීන්. ඔවුන්ට පවා හැමදාම මේ නාට්‍යය බලන්න සිද්ධවෙනවා. ඔවුන් පවා ආකෘතිය තුළ නාට්‍යයට එකතු විය යුතු යම් යම් දේ යෝජනා කරනවා. හැම ශිල්පියෙක්‌ම අප සමඟ සිටිනවා. නළු නිළියන්ට මේ නාට්‍යය එපා නොවන්නේ රසවිඳින්න තරම් අන්තර්ගතයක්‌ හිතල ඉවර කරන්න බැරි දෙයක්‌ මේ තුළ නිර්මාණය වී තිබීමයි. මේ පිටපත නළුවාට හෝ නිළියට බලහත්කාරයෙන් පැටවූ, නළුවා පිටපතට යටත් වී රංගනයක්‌ ඉදිරිපත් කළ යුතු නැහැ. රංගන ශිල්පියාගේ රංග කාර්යයට ඉහළම ඉඩක්‌ නිදහසක්‌ දී තිබෙනවා. නාට්‍යයේ පෙළ හඳුනාගත්තාම යම් යම් දේ නළුවා විසින් යොදා ගන්නවා.

ඒ කියන්නේ පිටපත දර්ශනයෙන් දර්ශනයට අලුත්වෙනවා කියන එකද?

නැහැ... පිටපත අලුත් වෙන්නේ නැහැ. මේ නාට්‍යයේ තියෙන්නේ සංවාදයක්‌.... ඇමතීමක්‌.... ඉතින් පිටපතේම ඇති දින වකවානු වෙනස්‌ වෙනවා. එය දර්ශනය රංගගත කරන අවස්‌ථාව වෙත ගෙන ඒම සිදු කෙරෙනවා. කාලීන සිද්ධියක්‌ සමඟ නාට්‍යය වර්තමානයට ගෙන ඒමයි සිදු කරන්නේ. එකම නාට්‍යයක්‌ දෙසැරයක්‌ බලන්න බැහැ කියා කියමනක්‌ තියෙනවා. හරියට ගලාගෙන යන ගඟක්‌ අලුත් වෙනවා වාගේ නාට්‍යයක්‌ පවා දර්ශනයෙන් දර්ශනය වෙනස්‌ වෙනවා. අපේ නාට්‍යයේ උපත තුළදීම එදා දවසට අනුකූලවීම සඳහා පිටපතෙන් ඉඩකඩ විවර වී තිබුණා. ඒ තුළ හැමදාම යම්කිසි අලුත්වීමක්‌ තියෙනවා. එය මේ නාට්‍ය ක්‍රමයේ ස්‌වභාවයක්‌.

ඔබ නිතර කියනවා නාට්‍ය ආකෘතිය ගැන.. නාට්‍ය ක්‍රමය ගැන.. මොකක්‌ද මේ නාට්‍ය ක්‍රමය?

දහඅටසන්නිය, කෝළම්, සොකරි ගත්තත් මුල මැද අග කතා පුවතක්‌ නැහැ. සංදර්ශනාත්මක සංවාදයක්‌ තියෙන්නේ. කතා පුවතක්‌ නැති වුණත් මේ සමාජයට දැඩි ලෙස ඒවා අදාළයි. දහඅට සන්නිය පවා මොහොතින් මොහොත වෙනස්‌ වෙනවානේ. මගෙත් මූලිකම දේ වුණේ පවතින නාට්‍ය ආකෘතීන් නිසා ගිලිහි තිබෙන සමාජ අදාළත්වය නාට්‍ය තුළට ගෙන ඒමයි. "සුද්දෙක්‌ ඔබ අමතයි" සමාජය සමඟ කෙලින්ම සංවාදයකට එනවා. ඒක දහඅට සන්නියේත් තියෙනවා.

ඒ කියන්නේ "සුද්දෙක්‌ ඔබ අමතයි" රංගන ශිල්පීන් කරන්නේ ප්‍රේක්‍ෂකයා සමග සංවාදයක්‌?

ඔව්. ලොකුම ප්‍රශ්නයක්‌නේ අද සංවාදයකට ඉඩ නැතිකම. හැම තැනකදීම අපිට එය දකින්න ලැබෙනවා. තිබෙන ආකෘතීන්වල අපි විසින්ම සංවාදයට ඇති ඉඩකඩ නැති කරගෙන ඉන්නේ. අද තියෙන්නේ ගල් වුණ සමාජයක්‌. නිහඬ සමාජයක්‌. "සුද්දෙක්‌ ඔබ අමතයි" නාට්‍යයෙන් කළේ කතා කරන්න පටන්ගන්නා එකයි. නාට්‍යයට තිබෙන ඉල්ලුමත් සංවාදයකට ජනතාව විවෘත කිරීම නිසායි. ජයලත් මනෝරත්නයන්ගේ, මාදනී මල්වත්තගේ, නලින් ප්‍රදීප් උඩවෙලගේ අනෙක්‌ නළුවා වන්නේ ප්‍රේක්‍ෂකයා. මෙය කෙළින්ම ප්‍රේක්‍ෂකයා සහ නළුවා අතර කෙරෙන සංවාදයක්‌.

විටින් විට නළු නිළියන් තුන්දෙනෙක්‌ ඇවිත් ඉදිරිපත් කරන ඇමතීම බලා සිටීම ප්‍රේක්‍ෂකයාට නීරසයක්‌ ගෙන දෙන්නේ නැද්ද?

අපේ නාට්‍යය හතර පස්‌ වතාවක්‌ බලන අයත් ඉන්නවා.

මම සලකන්නේ ඔවුන් පොදු සමාජය ලෙස නාට්‍ය බැලීමේ පුරුද්ද ඇති අය කියලා. අපිට මහා විශාල ප්‍රචාරක හයියක්‌ තිබුණේ නැතත් ප්‍රේක්‍ෂකයා දෙවැනි තුන්වැනි වතාවටත් "සුද්දෙක්‌ ඔබ අමතයි" නරඹනවාද නීරසනම්. සමහර සංවිධායකවරු පවා අපේ නාට්‍යය හතර පස්‌වතාවකත් සංවිධානය කරනවා. නීරසනම් එහෙම කරයිද? මේ රංගන ශිල්පීන් තිදෙනාගේ රංගනයක්‌ නිසා ප්‍රේක්‍ෂකයාට නීරසයක්‌ නොවේ. රසයක්‌ ආකර්ශනයක්‌ ලබා දෙනවා. අනෙක මේ ශෛලිය ප්‍රේක්‍ෂකයාට අමුතු දෙයක්‌ නොවේ. දේශපාලකයන්ගේ කතා පැය ගනන් අහගෙන ඉන්නේ. බණ අහන්නේ පැයගණන්.... මේවායේ කතා කරන්නේ තම තමන්ට අදාළ දේනේ. එනිසා කාලය ගතවෙනවා. තේරෙන්නේ නැහැ.

අජිත් අලහකෝන්

- Divayina
READ MORE - අලුත් අලුත් දේ අත්හදා බැලීමෙන් නාට්‍යකරුවා විශාල ආශ්වාදයක්‌ ලබනවා

සුද්දෙක් ඔබ අමතයි - SEP 01 - Tower Hall

නාට්‍ය පිළිබඳ ව භරත මුනිවරයාගේ ඉපැරණිම විග්‍රහයට අනුව නාට්‍ය ප්‍රධාන අවස්ථා පහකින් සමන්විත වේ. පේ‍්‍රක්ෂකයාට පෙන්වන නාට්‍යය රඟ දැක්වීමට අවසර ගන්නා නාට්‍ය කරුවා නාට්‍යයේ උච්චතම අවස්ථාවට පත් වීමෙන් පසුවත් තවත් අවස්ථාවකට ගමන් කරයි. ඒ පේ‍්‍රක්ෂකයාට පෙන්වන ඔහුගේ මනස සන්සුන් කොට පේ‍්‍රක්ෂකාගාරයෙන් පිටමන් කිරීමේ අවස්ථාවයි.
අපරදිග නාට්‍යයේ මේ තත්ත්වය ම නැත ද ක්‍රමික විකාශනයකින් යුතු නාට්‍ය ආකෘතිය පවතී. එහෙත් පශ්චාත් නූතන සංකල්පයන්ට අනුව නාට්‍යය සියලු සන්දර්භ රටාවන් ඇතුළු සියලු සම්මතයන්ගෙන් බැහැරව අවස්ථා නිරූපණයකට සීමා වී ඇත. ඒ අනුව ‘සුද්දෙක් කථා කරයි’ නාට්‍යයේ කථා පැවැත්වීම් තුනත් නාට්‍යයක් ලෙස සැලකීමේ වරදක් නැත.
නමට අනුවම සුද්දාගේ කථාව කරන්නට ප්‍රථමයෙන් වේදිකාවට පිවිසෙන්නේ නලින් ප්‍රදීප් උඩුවෙල රංග දරයාය. ඔහු කථාව පැවැත්වීය. එහෙත් කථාවෙන් කී දේ මෙහි සටහන් කිරීමට මතකයේ නැතත් ඔහු හොඳ පේ‍්‍රක්ෂක ප්‍රතිචාරයක් මධ්‍යයේ වරින් වර රංගනයෙන් ද යුතුව තම කථාව පවත්වා කෙළවර කළේය.
දෙවනුව ජයලත් මනෝරත්න රංග වේදියා පැමිණ තවත් කථාවක් කළේය. එම කථාවේ ද කී දේ නොකී දේ මතකයෙන් කිව නොහැකි ය. එහෙත් ඔහු හොඳ ප්‍රසිද්ධ කවි ගී කිහිපයක් ගයමින් රංගනයක් ද සහිතව සිය කථාව කළේය. සැළලිහිණි සන්දේශයේ දස පද සැහැල්ල රසවත් ගීතයක් ලෙසින් ගායනය කළ හැටි විශේෂයෙන් සඳහන් කළ යුතුය. තෙවනුව මාධනී මල්වත්ත සිය කථාව කළේය. ඒ කථාව ද ජනපි‍්‍රය ගීතයෙන් රංගනයෙන් සමන්විත විය. ඇය කථා කළේ සාධාරණත්ව වාදය ගැනය. ඇයට අනුව එය අලුත්ම වාදයකි.
එය අන්තිම කථාව වූ නිසා යම්තමින් මතකයේ ඇත. නාට්‍යය මෙසේ රඟ දක්වන අවස්ථාවේත් ඉන් පසුවත් මෙය නාට්‍යයක් ද යන ප්‍රශ්නය පේ‍්‍රක්ෂකයාට ඇති වූවාට කිසිදු සැකයක් නැත. පෙර කී ලෙස නාට්‍යයක් ආකෘතික වශයෙන් මෙසේ විය යුතු යැයි සම්මතයක් වර්තමානයේ නැත. ඒ අනුව ඕනෑම කෙනකුට, ඕනෑම ආකාරයේ රංගනයක් නීතියට එකඟ නම් නාට්‍යයක් වශයෙන් ඉදිරිපත් කිරීමේ තහනමක් නැත. ඒ අනුව මේ කතා තුනක් නාට්‍යයක් ලෙස එම නාට්‍යවේදියා ඉදිරිපත් කරන්නේ නම් එය භාර ගත යුතු වේ. එම කවි තුළ රංගනය, හාස්සෝත්පාදනය, සමාජ දුර්වලතාවන්ට පහර දීම පේ‍්‍රක්ෂකයාට මොකක් හෝ දෙයක් කීම පමණක් නොව පේ‍්‍රක්ෂකයාට යම් ආශ්වාදයක් ද ලබාදීමට සමත් විය.
රංගනයේ යෙදුණ ශිල්පීන් තිදෙනාම ප්‍රවීණයන් වීම මත පේ‍්‍රක්ෂක ප්‍රතිචාරය ලබාගැනීමට ඔවුන් සමත් විය.
පාරේ තෙල් බෙහෙත් විකුණන මිනිසුන් ද ඒ රැකියාව කරන්නේ ඔවුන් විසින් විකුණනු ලබන තෙල් බෙහෙත් ටික විකුණා ගැනීමට සුදුසු පරිදි කතාවක් කිරීමට ඔවුන් තුළ ඇති දක්ෂතාව නිසාය. එහෙත් මේ රංගධරයන් තිදෙනාම කථාව අවසානයේ පුද්ගලික ප්‍රකාශ තුනක් ද කළේය. එම පුද්ගලික ප්‍රකාශයන්ගෙන් පෙනී ගියේ ඔවුන් කළ දේ පිළිබඳ ව ඔවුන් තුළ ද විශ්වාසයක් නොමැති බව ය.
මේ කථා තුනටම ජනපි‍්‍රය ගීත, කවි, කතා, මාතෘකා, උපයෝගී කරගනු ලැබීය. ඒ නිසා කතා තුන නීරස වූයේත් නැත.
කලා නිර්මාණයකින් කෙරෙන්නේ විඳින්නා ආනන්දයෙන් ප්‍රඥාව කරා රැගෙන යාමකි. නාට්‍යයක තිබිය යුතු සම්මත ආකෘතික රටාව මෙහි නොතිබුණ ද පේ‍්‍රක්ෂකයා එවන් ආනන්දනීය ප්‍රඥාවක් කරා යොමු කිරීමක් හෝ මේ නාට්‍යයෙන් සිදු වුණි නම් මෙය නාට්‍යයක් වශයෙන් භාර ගැනීමේ වරදක් ද නැත.


READ MORE - සුද්දෙක් ඔබ අමතයි - SEP 01 - Tower Hall

නිහොන් සැප ලැබේවා..!

Saturday, August 18, 2012

READ MORE - නිහොන් සැප ලැබේවා..!

බල්ලො මාරු වෙලා


බල්ලොත් එක්ක බෑ ඕස්ට්‍රේලියාවේ පෙන්වද්දී තිරිමාදුරට බල්ලො මාරු වෙලා


මම කලාවට ආදරය කරන්නේ පාසල් කාලයේදීමයි. සංගීතයට තිබුණ ලැදියාව නිසාම මම සංගීතයත් හැදෑරුවා. උසස් පෙළ විභාගයෙන් පසුව සරසවි වරම් ලැබෙන තෙක් ගත කළ සංක්‍රාන්ති සමයේ දී මගේ කලා ජීවිතයට පිවිසීමේ මූලික අඩිතාලම වැටුනේ.
මේ අයුරින් තම අතීතය ආවර්ජනය කළේ නාට්‍ය අධ්‍යක්ෂ රවීන්ද්‍ර ආරියරත්න. මේ දවස්වල ‘බල්ලොත් එක්ක බෑ’ නිසා රවීන්ද්‍ර ටිකක් කාර්යබහුල වෙලා.
මොනවද මේ දවස්වල අලුත්ම විස්තර?
පසුගිය කාලය ටිකක් කාර්යබහුල වුණා. ‘බල්ලොත් එක්ක බෑ’ වේදිකා නාට්‍යය රැගෙන විදේශ ගත වුණා. සාර්ථක සංචාරයක් නිමා කර පසුගිය සතියේ තමයි මව්බිමට පැමිණියේ.
ඒ ගැන තවත් විස්තර ටිකක් කියමු?
‘බල්ලොත් එක්ක බෑ’ වේදිකා නාට්‍යය සමඟින් මාසයක පමණ කාලයක් ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වුණා. එහිදී ෆර්ත්, කැන්බරා, මෙල්බන්, සිඩ්නි, බ්‍රිස්බෙන් නගරවල අපේ නාට්‍යය වේදිකා ගත කළා. ශ්‍රී ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ ආදි ශිෂ්‍ය සංගමය තමයි මෙය සංවිධානය කළේ.
කොහොමද ලැබුණු ප්‍රතිචාර?
ගොඩක් ඉහළ ප්‍රතිචාර ලැබුණා. සෑම දර්ශනයක් සඳහාම බොහෝ අවස්ථාවල මාසයකට පෙර සියලුම ප්‍රවේශ පත් විකිණී අවසන්ව තිබුණා. ඒ නිසා සමහර අවස්ථාවල දී වැඩිපුර දර්ශන වාර පවත්වන්නටත් සිදු වුණා.
ඔබ කියන්නේ ‘බල්ලොත් එක්ක බෑ’ වේදිකා නාට්‍යයට ලංකාවෙදි වඩා ඕස්ට්‍රේලියාවෙදි ඉහළ ප්‍රතිචාර ලැබුණු බවද?
එහෙම නෙවෙයි. ලංකාවෙදිත් හොඳ ප්‍රතිචාර ලැබුණා. මේ නාට්‍යය පටන් ගත්තේ 2009 වසරේ දී. මේ වන තෙක්ම වේදිකා ගත වෙන්නෙත් එහි ඇති සාර්ථකත්වය නිසානේ. මේ සමඟ ලාංකේය වේදිකා නාට්‍ය ප්‍රේක්ෂාගාරයේ පිබිදීමක් ඇති වුණා. ඊට වඩා එම රටවල ජනතාව විනෝදයට කැප කිරීමක් කරනවා. ඒවාට ඔවුන්ගේ ආර්ථික තත්ත්වයත් බලපානවා කියලා කියන්න පුළුවන්. ලංකාවේ මේ වනවිට සියයට අසූවක් පමණ ප්‍රදේශවල ‘බල්ලොත් එක්ක බෑ’ වේදිකා ගත කළා. ඒ අතර සමහර තැන්වල කිහිපවතාවක් වේදිකා ගත වූ අවස්ථා තියෙනවා. සමස්තයක් වශයෙන් ගත්පසු ‘බල්ලොත් එක්ක බෑ’ වේදිකා නාට්‍යයට හැම අතින්ම ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. ඒක සතුටක්.
ඕස්ට්‍රේලියාවෙදි කලාව පිළිබඳ ලද අලුත් අත්දැකීම් මොනවාද?
අපේ රටේ තාක්ෂණය සමඟ බලද්දි ඕස්ට්‍රේලියාව වැනි රටවල තියෙන්නෙ නවීනතම තාක්ෂණය. අපට ඒ පිළිබඳ අත්දැකීම් ලැබුණා. ඒ අතර සිඩ්නි ඔපෙරා හවුස් නරඹන්නට ගිය ගමන සුවිශේෂීි එකක්. අප එහි යනවිට වේදිකා ගත වෙලා තිබුණේ ලංකාවේ ඉතිහාසය ගැන සඳහන් වාර්තා චිත්‍රපටයක් වූ පර්ල් ෆිෂර්.
මේ ගමනේ දී රසවත් සිදුවීම් එහෙමත් සිදුවන්නට ඇති නේද?
අපි එහි දී උදේට ව්‍යායාම් සඳහා ඇවිදින්න ගියා. කුමාර තිරිමාදුර නම් උදේට ඇවිදින්න ටිකක් කම්මැලියි. ඒත් එක දවසක් අපටත් කලින් නැගිටලා සූදානම් වෙලා. අපි ඉතින් ඇවිදින්න ගියා. එහෙ හරිම ලස්සනයි. ඒවගේම හැම පාරක්ම එකවගේ. කුමාර බංකුවක් ළඟට ඇවිත් කිව්වා ඔයාලා ඇවිදලා එනකම් මම මෙතන ඉන්නම් කියලා. එයා ඇවිත් තියෙන්නේ ඇවිදින්න නෙවෙයි. සිගරට් එකක් බොන්න. අපි ඇවිදලා එනකොට කුමාර එතන නැහැ.
අපි හිතුවා යන්න ඇති කියලා. ඒත් ඉතිං පාර හොයාගෙන ගියාද කියලත් ප්‍රශ්නයක්. අපි නැවතිලා හිටපු ගෙදරට යනකොට කුමාර ඉන්නවා. හැබැයි පොඩි ප්‍රශ්නයක් වෙලා. අපි නැවතිලා ඉන්න ගෙදර බල්ලෙක් හිටියා. ඌ අපි එක්ක එකතුයි. එහේ ගෙවලුත් එකවගේ නිසා කුමාර ගෙවල් දිහා බලාගෙන එනකොට බල්ලා දැකලා මේක තමයි ගේ කියලා. එනකොටම බල්ලා බුරලා. කුමාර ගණන් ගන්නෙ නැතුව බල්ලා හුරතල් කරන්න හදනකොට ඉස්සරහා ගෙදර කාන්තාව ඇවිත් කිව්වලු ඔයාලා ඉන්න ගෙදර ඕක නෙවෙයි එහා පැත්තෙ ගෙදර කියලා. ප්‍රශ්නෙ තමයි ගෙවල් දෙකේ බල්ලොත් එක වගේ. ඒකයි කුමාරට ගේ මාරුවෙලා තියෙන්නේ.
ඕස්ට්‍රේලියානු සංචාරයේ නිමාවත් සමග තවත් සංචාර යෙදිලා තියෙනවද?
ඉදිරියේ දී අමෙරිකා එක්සත් ජනපදයේ දී ‘බල්ලොත් එක්ක බෑ’ වේදිකා ගත වේවි.
ඔබට දැනෙන පරිදි වේදිකා නාට්‍ය නිර්මාණය දුෂ්කර කාර්යයක් වෙලා තියෙනවද?
වේදිකා නාට්‍යයක් ලෙහෙසියෙන්ම නිර්මාණය කරන්න පුළුවන්. ඒත් පවත්වාගෙන යන්න අමාරුයි. ටෙලි නාට්‍ය වගේ නෙවෙයි.ටෙලි නාට්‍ය රූගත කරලා සංස්කරණයෙන් පසුව විකාශය කරන්න පුළුවන්. ඒත් වේදිකා නාට්‍ය එහෙම බෑ. ඒක හැම විටම සජීවියි. ඒ නිසා නළු නිළියන්, සංවිධායකයන් හැම දර්ශන වාරයකටම ඉන්න ඕන. වේදිකා නාට්‍යවලට සහභාගි වන ශිල්පීන් බොහොමයක් වෙනත් රැකියා සමඟින් තමයි මේ සඳහා දායක වන්නේ. ඒ නිසා වේදිකා නාට්‍ය කාලයක් තිස්සේ ඉදිරියට පවත්වාගෙන යාම අපහසුයි.
මෙවැනි හේතූන් මත වේදිකා නාට්‍ය කර්මාන්තය කඩාවැටිලා කියලා ඔබ හිතනවා ද?
වේදිකාවේ අය ලෙහෙසියෙන් කඩා වැටෙන අය නෙවෙයි. ඔවුන් හරිම ශක්තිමත්. ඒ නිසා වේදිකා නාට්‍ය කඩා වැටෙනවා කියලා මම හිතන්නේ නැහැ. මේ කාලෙ හොඳ නිර්මාණ බිහි වෙනවා වගේම වේදිකාවෙන් පැමිණි අය තමයි සිනමාවේ වගේම පුංචි තිරයෙත් පෙළහර පාන්නේ. වේදිකා නාට්‍ය තුළින් මිනිසකුට හොඳ පන්නරයක් ලැබෙනවා. ඒ මගින් ඕනම අභියෝගයක් ජය ගන්නට නාට්‍යකරු සමත්.
ඔබගේ වේදිකා නාට්‍යවලට වෙන් වූ විශේෂ දැක්මක් තියෙනවද?
පැහැදිලි දැක්මක් තියෙනවා. එය දේශපාලන හෝ සමාජ වැනි විවිධාකාර විය හැකියි. නමුත් මම ඒවා ආකෘතිගත කරන්නේ නැහැ. පිටපත ලියලා අවසානයේ දි තමයි ඒ ගැන බලන්නේ.
රවීන්ද්‍ර ඔබ රංගනයෙන් දායක වූ වේදිකා නාට්‍යවලින් ඉවත් වුණා ද?
ඉවත්වෙලා නැහැ. ගොඩක් නාට්‍ය දැන් වේදිකා ගත වෙන්නේ නැහැ. මම මුලින්ම රඟපෑවේ ‘පාදඩ අසපුව‘ වේදිකා නාට්‍යයේ. ඊට අමතරව ‘සුබ සහ යස, කපුටු බෝ, ආයෙත් එන්න, අහසින් වැටුණු මිනිස්සු, කපුවා කපෝති’ ඒ අතර විශේෂයි.ටෙලි නාට්‍ය හෝ චිත්‍රපට කෙරෙහි යොමු වෙන්න අදහසක් නැද්ද? මේ දෙකම පිළිබඳ හදාරණවා. දැන් තියෙන ක්‍රමවේදයට අනුව ටෙලි නාට්‍ය ගැන නම් පැහැදීමක් නැහැ. මම බලන්නෙත් නැහැ. චිත්‍රපට සම්බන්ධව නම් ඉදිරිය දැන්ම කියන්න බැහැ.

 
READ MORE - බල්ලො මාරු වෙලා

තලේ තනියම අද පිලානේ


තලේ තනියම අද පිලානේ

දිමුතු මුතු රූ ගැන් වූ එම්. වී. හේමපාල රෝගී වෙයි
මිනිසා විසින් තාක්ෂණය හැසිර වූ යුගයක් විය. එකල විශිෂ්ට ගණයෙහි නිර්මාණකරුවන් අතින් නිර්මාණාත්මක කලා කෘති බිහි විය. සිංහල සිනමාවෙහි එක් යුගයක අතීත මතක සමරද්දී සිනමා ක්ෂේත්‍රයේ විශිෂ්ට මෙහෙයක් කැපවීමෙන් කළ කැමරා ශිල්පියකු හමුවේ.
ඒ මාවැල්ල විතානගේ හේමපාල හෙවත් තලේය. ගාල්ලේ පිලාන තක්ෂිලාවෙන් අකුරු කළ හේමපාල දෙහිවල මාමාගේ කඩයේ රැකියාවට ගියේය. එතැන බෝඩින්කාරයකු විය. ඒ සුගතපාල ද සිල්වා නම් අග්‍රගන්‍ය නාට්‍යකරුවාය. ඔහු හමුවීමට නිතර පැමිණි දේහධාරියාට නිතර පිළිවදන් දුන් හේමපාල කිසි දිනක ඔහු අතින් සිනමා කර්මාන්තය හෝ කැමරාකරණය හැදෑරීමට සිහිනෙකින්වත් සිතුවේ නැත. ඒත් නොසිතූ දෙයම සිදු වී හේමපාල කැමරා ශිල්පීන් අතර ජනප්‍රිය දක්ෂ පුද්ගලයෙක් විය. ඒ ඩී. බී. නිහාල්්සිංහයන්ගෙන් සිනමාව හැඳින ගැනීමෙනි.
‘මගේ ගුරුන්නාන්සේ ඩී. බී. නිහාල්සිංහ මහත්තයා’ යැයි පවසද්දී එම්. වී. හේමපාලගේ දෑසේ කඳුළු පටලයක් ඇඳී ගියේය. වයෝවෘද්ධව රෝගී සයනයේ සිටින හේමපාල හෙවත් තලේ අයියා සෙමෙන් කටහඬ අවදි කළේය.
‘මට නිහාල්සිංහ මහත්තයා හමු වුණේ සුගතපාල ද සිල්වා මහත්තයගේ බෝඩිංකාරයෝ, තට්ටු ගෙවල් නාට්‍ය පුහුණුවීම් බලන්න ගිහිල්ලායි. ඒ අතර ඩී. බී. නිහාල්සිංහ අධ්‍යක්ෂණය කළ හේමන්ත වර්ණකුල නිෂ්පාදනය කළ ටෝනි රණසිංහ, අනුලා කරුණාතිලක, වික්‍රම බෝගොඩ රඟපෑ සමනලයෝ චිත්‍රපටයේ රූගත කිරීම් නැරැඹීමට අවස්ථාව ලැබුණා.
ඒ ගමන හේමපාලගේ දිවි ගමන වෙනස් කළේය. නිහාල්සිංහයන්ගේ සිත් ගත් තරුණ හේමපාලට ‘සත් සමුදුර’ චිත්‍රපටයට සම්බන්ධ වීමට ඉන් පසු ඉඩ හසර ලැබිණි. ඒ 1962 වසරයි.
‘බෝඩ් ලෑලි හතරයි කැමරාවයි අරගෙන කේ. ඩී. දයානන්දයි හපුගොඩ මහත්තයයි මමයි මීගමු ගියා. කැමරාගත කරන්නේ මේ විදිහට, කැමරා කෝණ සකසා ගන්නේ මේ විදිහට කියලා මගේ ගුරුන්නාන්සේ මට කියලා දුන්නා.’
ඩී. බී. නිහාල්සිංහයන්ගේ ප්‍රායෝගික පාසලේ කැමරාකරණය හැදෑරූ තලේ අයියා හෙවත් හේමපාල තම බිඳුණු හඬින් අතීතය සිහි කරයි. වයෝවෘද්ධ බව කාටත් පොදු ධර්මතාවක් වුව ද රෝගී බව සමඟ හේමපාල මහතා අසරණව දුර්මුඛව සිටියි.
දිගු කලක් තිස්සේ ඩී. බී. නිහාල්සිංහයන් සමඟ කටයුතු කිරීම හේතුවෙන් සිනමාපට 150 ක පමණ සහාය කැමරා ශිල්පියා ලෙස කටයුතු කිරීමට එම්. වී. හේමපාල මහතාට ඉඩකඩ ලැබී ඇත. ටයිටස් තොටවත්ත, ඇන්ඩෘ ජයමාන්න, වාමදේවන්, ඩොනල්ඩ් කරුණාරත්න, ලෙනින් මොරායස්, සුමිත්ත අමරසිංහ වැනි ලංකාවේ ප්‍රවීණ කැමරා ශිල්පීන්ගේ සහය කැමරා ශිල්පියා වීමේ ප්‍රබල කාර්යභාරයට උර දීමට එම්. වී. හේමපාල සමත් වී ඇත.
එම්. වී. හේමපාල පළමුවරට ප්‍රධාන කැමරා ශිල්පියා ලෙස කටයුතු කළේ ජෝ මයිකල් අධ්‍යක්ෂණය කළ සිරිල් මල්ලී චිත්‍රපටයෙහිය. ගාමිණී ෆොන්සේකා, නීටා ප්‍රනාන්දු, එච්. ඩී. කුලතුංග, ශ්‍රියානි අමරසේන එහි රඟපෑ අතර ගාමිණී ෆොන්සේකාගේ නොමඳ සහාය සහ ගෞරවය එහිදී හේමපාලට ලැබිණි. එබැවින්ම සැණකෙළිය, චණ්ඩි පුතා, සාවිත්‍රිගේ රාත්‍රිය වැනි චිත්‍රපට රැසක කැමරා ශිල්පියා ලෙස කටයුතුª කිරීමේ අවස්ථාව හේමපාල ට හිමි විය.
ඔහුගේ පළමු වර්ණ චිත්‍රපටය වූ ගිම්හානේ ගී නාදේ (ධර්ම ශ්‍රී කල්දේරා අධ්‍යක්ෂණය) හොඳම වර්ණ කැමරා ශිල්පියා ලෙස එම්. වී හේමපාල 1986 වසර සඳහා ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබීය.
1991 දී නිහාල්සිංහයන් අධ්‍යක්ෂණය කළ කෙළිමඬල චිත්‍රපටය සඳහා හොඳම වර්ණ කැමරා ශිල්පියාට හිමි සම්මානය දිනා ගැනීමට ද ඔහු සමත් විය. කැමරා අධ්‍යක්ෂණයෙන් සිනමා ක්ෂේත්‍රයට දායක දැක්වූවන් අතර එම්. වී. හේමපාල නම ප්‍රකටය.
එම්. වී. හේමපාල 1971 දී නිහාල්සිංහයන් අධ්‍යක්ෂණය කළ වැලිකතර චිත්‍රපටයෙන් (පුළුල් තිරයේ) සහාය කැමරා ශිල්පියා ලෙස කටයුතු කළේය.
අනතුරුව ටෙලි සිනේ ආයතනය හා සම්බන්ධව ලංකාවේ ප්‍රථම ටෙලි නාට්‍ය වූ දිමුතු මුතු හි කැමරා ශිල්පියා ලෙස කටයුතු කළ අතර රූපවාහිනිය ඔස්සේ ප්‍රචාරය වූ වෙළඳ දැන්වීම් රාශියකට කැමරා ශිල්පියා ලෙස දායක විය.
පසුකාලීනව වැඩ සටහන් අධ්‍යක්ෂ එච්. ඩී. ප්‍රේමරත්නගේ ඉල්ලීම මත ස්වර්ණවාහිනී රූපවාහිනී ආයතනයේ පළමු කැමරා ශිල්පියා ලෙස සම්බන්ධ වූ හේමපාල මහතා එහි වසර 13 කට ආසන්න කාලයක් සේවය කළේය.
ශල්‍යකර්මයකට ද භාජනය වී ඉතා දුකසේ රෝගීව වෙසෙන හේමපාල මහතා ඔහුගේ දිගු අතීතය ආවර්ජනය කරමින් සතුටට පත් විය. ඒ අතර ඔහු අලුත් අදහසක් ඉදිරිපත් කළේය. සිනමාවේ දැවැන්තම කාර්ය කරන්නේ සහය කැමරා ශිල්පියා. රීල් එක ලෝඩ් කරන එක හැම දෙනාටම කරන්න බැහැ. ඒක සහය කැමරා ශිල්පියාගේ කාර්යභාරය.
ඉස්සර ඩාක්රූම් නැති කාලේ අපි ඉතා වගකීමෙන් ඒ කාර්ය කළා. ඒත් අද වනතුරුත් සිනමා සම්මාන උළෙලකදී සහාය කැමරා ශිල්පියාට සම්මානයක් හිමි නැහැ. ඒක කනගාටුවක්. ඉදිරි කාලයේදීවත් එහෙම සම්මානයක් පිරිනැමෙනවා නම් ඉතා හොඳයි.
සිංහල සිනමාවේ ද රූපවාහිනියේ ද කැමරා අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරමින් දහස් ගණනකගේ නෙත සිත සනසාලූ එම්. වී. හේමපාල පවසන්නේ ලෝකෙ ලස්සනටම පෙනෙන්නේ කැමරාවෙන් බවයි.
ඔහු කැමරා නෙතින් දුටුච ලෝකය ප්‍රේක්ෂකයා ඉදිරියේ මවාලුවේය. එදා ඔහුගේ ඇසින් අපි දුටිමු. ඉන් සැනසීමු. ඒත් අද ඔහු අසරණව ගාල්ල පිලානේ තලහිටියාව ගමේ කවුරුත් නොදන්නා ගැමියකුව ඉතා අසරණව ගිලන් යහනක වැතිර අතීතයේ රස ස්මරණය කරමින් සිටියි.
READ MORE - තලේ තනියම අද පිලානේ

‘කලර්’ චිත්‍රපටය 24 දා සිට සී. ඊ. එල්. මණ්ඩලයේ


‘කලර්’ චිත්‍රපටය 24 දා සිට සී. ඊ. එල්. මණ්ඩලයේ

යොවුන් අධ්‍යක්ෂවරයකු වන ඉසුරු වීරසිංහ මුදලි නිර්මාණය කළ කලර් සිනමාපටය මේ මස 24 වැනිදා සිට රීගල් ඇතුළු සී. ඊ. එල්. මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගතවීමට නියමිතය.
සිත්තරකු වටා ගෙතී ඇති කතා පුවතක් වන මෙය නෙත් සුඛ ෆිල්ම්ස් වෙනුවෙන් හිරාන්ති සමරසිංහ සහ පාලිත සමරසිංහ නිෂ්පාදනය කොට තිබේ.
කමල් අද්දරආරච්චි, ඇන්ජලා සෙනෙවිරත්න, සඳනි සුලක්නා, උදයන්ති කුලතුංග, ජයනි සේනානායක, ප්‍රියන්ත මංසිළු, ශ්‍රීමාල් වෙඩිසිංහ සමඟ දුෂාන් මෙන්ඩිස් කලර් රංගනයෙන් හැඩ කරති.
 

READ MORE - ‘කලර්’ චිත්‍රපටය 24 දා සිට සී. ඊ. එල්. මණ්ඩලයේ

හරි යන්න හරි යන්න හිතට බයලු



සුපිරි තරුවකගේ පැතුම් ඉහළ යන්නේ රඟන, රඟන සිනමාපටය සාර්ථක වන තරමටයි. එහෙත් සල්මන් ඛාන්ට නම් මේ නියමය කණපිට පෙරැළී ඇති හැඩයි.
ඔහු රැඟූ ‘දාබන්ග්’, ‘රෙඩි’ හා ‘බොඩිගාඩ්’ එක පිට එක ආදායම් වාර්තා බිඳ හෙළමින් තිරගතවෙද්දී තමන් භයානක අඩවියකට පිවිස ඇති වගක් ඔහුට හැෙඟයි.
‘චිත්‍රපටි සියල්ලම සාර්ථක වීම ගැන හිතට සතුටුයි. එත් ඒ නිසාම ඊළඟ චිත්‍රපටියේදී මොකක් ද කරන්නේ කියලා තේරෙන්නේ නැහැ. මං හිතන්නෙ මං ඉන්නෙ භයානක තත්ත්වයකයි කියලා.’ මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු එසේ පවසා තිබේ.
හතළිස් හත් හැවිරිදි සල්මන් ඛාන්ගේ විසිහතරක ආයු කාලයක් ඇති සිනමා ජීවිතයේ මේ ගෙවෙන්නේ සුවිශේෂී කාල පරිච්ඡේදයකි. ප්‍රථම වරට යාෂ් රාජ්ගේ සිනමාපටයකට දායක වන්නට ලැබීම නිසා ඔහුගේ සිත සතුටින් පිරී ඇත.
ඊයේ මුල්වරට තිරගත වූ ‘එක් තා ටයිගර්’ සිනමාපටයට ද හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතී. හිටපු පෙම්වතිය කත්‍රිනා කායිෆ් සමඟ සල්මන් ඛාන් තිරයේ පෙම්වතුන් ලෙස මේ සිනමා පටයෙන් දකින්න ලැබෙන්නේ සිව් වසරකට පසුවයි.
Sarasaviya
READ MORE - හරි යන්න හරි යන්න හිතට බයලු

නදීශා කේක් කපද්දී


නදීශාගේ වෙබ් අඩවිය මුදාහළ නදීශාගේ උපන්දින සාදය

ජනප්‍රිය නිළි, නිවේදිකා නදීශා හේමමාලි අන්තර් ජාලයට එක් වුණා. www.nadeeshahemamali.com වන ඇයගේ වෙබ් අඩවිය අන්තර් ජාලයට මුදා හරිනු ලැබුවේ කොළඹ රමාඩා හෝටලයේ ඉකුත් සිකුරාදාවේ පැවැති නදීශාගේ උපන් දින සාදයේදී.
රන්ජන්, ලකී, සේමිණී, චිලී ඇතුළු තරු පිරි රැසක් අන්තර් ජාලයට බැඳුණු නදීශාගේ සියලුම තොරතුරු මෙම වෙබ් අඩවිය ඔස්සේ ඔබට දැකබලා ගන්න පුළුවන්.
උපන් දින සාදයේ උණුසුමත් වෙබ් අඩවිය දියත් කෙරූ සොම්නසත් මධ්‍යයේ මැවුණු අපූරු සේයා රූ කිහිපයකි මේ.
* සියල් ආසිරි මැද නදීශා කේක් කපද්දී
* නදීශාගේ වෙබ් අඩවිය එස්. එල්. ටී. ටී. අයි. ආයතනයේ සභාපති දේවප්‍රිය අබේසිංහ විසින් අන්තර් ජාලයට මුදා හල මොහොත.
* නදීශාට සංගීතා සුබ පතන්න ඇවිත්.
* නදීශාගෙන් ලකී ඩයස්ට කේක් කැබැල්ලක්. රන්ජන් රාමනායක ද පසෙකින් වෙති.
READ MORE - නදීශා කේක් කපද්දී

‘රූකා-ලේඛා’ලංකාවට ඇවිත්....

Tuesday, August 14, 2012


2012 අගෝස්තු මස 05 14:57:22 | ලංකාදීප
රූකා, ලේඛා, රයිනි සහ වින්ඞ් ආයෙත් ලංකාවට ඇවිත්. රූකාගේ අලූත්ම ගීත එකතුව එළිදැක්වීම වෙනුවෙන් සංගීත ප‍්‍රසංගයක් පැවැත්වීමටයි. එය පැවැත්වෙන්නේ, මෙම 11 වෙනිදා රාත‍්‍රි 7 ට සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගනයේදීයි. ආදරණීය රූකා හෙවත් රූකාන්ත ඇතුළු රූ පවුලේ සියලූදෙනා එක්ව කරන ප‍්‍රසංගයක් නැරඹීමේ නොතිත් ආසාවෙන් සිටින සංගීත රසකාමීන්ට මෙය සතුටටම කරුණක් විය හැකිය. රූකාන්ත - චන්ද්‍රලේඛා, රයිනි සහ වින්ඩි වායස කරන්නේ ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවරය.

ගීත ප‍්‍රසංගය 11 වෙනිදා සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගනයේදී..



එහි සිට කරන කියන සියල්ල ගැන මුලින්ම විස්තර අප විමසුවේ චන්ද්‍රලේඛා ගෙනි.
අවුරුද්දකට ඉස්සෙල්ලා අපි ලංකාවට ආවා. නමුත් ප‍්‍රසංගයක් කරන්නෙ 2009 න් පස්සෙයි. එහිදීත් ප‍්‍රසංග සහ සංගීත කටයුතුවල තමයි නිරතවෙලා ඉන්නෙ.
පසුගිය කාලයේදී යුරෝපයේදී ප‍්‍රසංග කීපයක් කළා. ඊට පස්සෙ දෝහා කටාර්වලදීත් ප‍්‍රසංග කීපයක් කළා. ඒ විදියට අපේ සංගීත කටයුතුවලට අමතරව දියණියන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වෙහෙසෙනවා.

නිව්යෝර්ක් ගෙවන ජීවිතය මොන වගේද?
ගොඩක් සුවදායකයි. නමුත් ඉතින් අධික වියදම්. මොකද ඇමෙරිකාවේ වියදම් අතින් ඉහළම තැන නිව්යෝර්ක් නගරයයි. නමුත් අපි මුලින්ම ගිහින් අපට හුරුවුනේ එතැන. ඒ නිසා නිව්යෝර්ක් දාල යන්න අමාරුයි වගේ.

කොහොමද දවස ගෙවෙන්නෙ?
උදේ අවදිවුනාම වින්ඩි පාසල් යවන්න ලෑස්ති කරවනවා. රූකාන්ත තමයි එයා එක්කගෙන යන්නෙ. රයිනිට එයාගේ උසස් අධ්‍යාපනය සඳහා වෙනත් ප‍්‍රාන්තයකට යන්න වෙනවා. ඒ නිසා එයා එහේ නේවාසිකව නතර වෙලා ඉන්නෙ. සති අන්තයේ එයා නිව්යෝර්ක් එනවා. උදේ වැඩ කටයුතු හමාර කළාට පස්සෙ මම ඉතිං ගෙදර වැඩ කරනවා. මෙහේ තියෙන සැම දෙයක්ම ඒෂියන් ෆුඞ් මාකට් එකෙන් ගන්න පුළුවනි. කරවිල, මඤ්ඤොක්කා පවා ඒ මාකට් එකේ තියෙනවා. ඉතින් ලංකාවේ විදියටම අපි කෑම පිළියෙළ කර ගන්නවා. ලංකාවේ ආධ්‍යාත්මය එක්ක මානසික හා ශාරීරිකව සුවයෙන් එහි සිට කාලය ගත කරමින් සිටිනවා. අපි හිටපු ගමන් නිව්යෝර්ක් නගරයේ හැඩ බලන්න යනවා. එය එක දවසකින් ගිහින් නිම කරන්න බැහැ.

දුවලා දෙන්නගෙ විස්තර මොනවද?
ලොකු දුව රයිනි ඩෙලවෙයාර් ස්ටේට් යුනිවර්සිටි එකේ උසස් අධ්‍යාපනය හදාරනවා. ගුවන් නියමුවරියක වීම ඇයගේ අපේක්ෂාව නිසා ඒ අංශයෙන් ඉගෙන ගන්නෙ. වින්ඩි නිව්යෝර්ක් සැට්න් අයිලන්ඞ්වල සුසෑන වැග්නර් උසස් පාසලේ ඉගෙනුම ලබන සිසුවියක්. වින්ඩිගෙ අරමුණ චර්ම රෝග අංශයේ විශේෂඥ වෛද්‍යවරියක වීමයි.

ලේඛා සිය පවුල ගැන ඒ විස්තර කියාගෙන යද්දී ඊළඟට අප යොමුවුණේ රූකා දෙසටයි. ලංකාවෙන් ඈත්වෙලා එහි ගෙවන ජීවිතය ගැන මුලින්ම ඔහු සඳහන් කළේ මේ විදියටයි.
”අවංකවම ඉතිං මම කැමති ලංකාවේ ජීවිතේ ගත කරන්න. ඒත් ඉතිං දෙමාපියන් ලෙස අපට වගකීමක් තියෙනවා. දරුවන්ගෙ අධ්‍යාපනය ගැන බලන්න. ඒ වගේම පවුලක් හැටියට අපි එකට සිටිය යුතු කාලයේදී ඊට අවංක වෙන්න  ඕනෑ. නැත්නම් අප කරන දේවල් අර්ථවත් වෙන්නෙ නැහැ.”

ඇයි ඔබ දෙදෙනා වගේ දුලා දෙන්නත් කලා ලෝකයේ තරු දෙකක් වෙනවට අකමැතිද?
”අපෝ මම හරිම ආසයි. අවංකවම කැමතියි. තරු නොවෙන්න අරමුණක් ඔවුනට නැහැ. ඔවුන් කැමතියි. ඒත් ශ්‍රී ලංකාවේ විතරක් නොවෙයි, මුළු ලෝකයේම අද ප‍්‍රවනතාවය වෙලා තියෙන්නෙ අධ්‍යාපනය සමග වෙනත් වෘත්තියක නියැලෙන අතරේ කලාව කිරීමයි. ලෝක ප‍්‍රකට තරු පවා තමුනට පෑහෙන ව්‍යාපාර හෝ කරගෙන යනවා.”

රූකා කොහොම වුනත් ඇමරිකාව කියන්නෙ හරි වේගවත් සමාජ වපසරියක් ඇති රටක්. ලංකාව වගේ සංස්කෘතික බැඳීම් සමග ජීවත්වූ ඔබගේ දියණියන්ට ඒ ඇමරිකානු පරිසරය ගැලපෙනවද?
”ඒක එච්චර ප‍්‍රශ්නයක් වුනේ නෑ. කුඩා කාලයේ ඉඳලාම, පවුලට ලැදිව, සමාජයට ලැදිව සිටින විදිය දරුවන්ට පුරුදු කළොත් එය ප‍්‍රශ්නයක් වෙන්නෙ නැහැ. නමුත් සීමාව ගැන වටහාදීම වැදගත්. මම හිතන්නෙ මේ දෙන්නා ඒ සියල්ල වටහාගෙන තමයි කටයුතු කරන්නෙ. කුඩ කල සිටම දරුවන් දැනුවත් කිරීම දෙමාපියන් සතු ප‍්‍රධාන වගකීමයි. එවිට එයාලා සීමාව වටහා ගන්නවා.

ඇයි මේ දෙන්නට රයිනි සහ වින්ඩි කියන නම් යෙදුවේ? ඒකට විශේෂත්වයක් තියෙනවද කියලත් කියන්න.
”රයිනි කියලා ලොකු දුවට නම දැම්මෙ ”වැස්ස” කියන අරුත හඟවන්නයි. රේන් කියන අදහසට රේනි කියනවාට වඩා නව තාලයට ගැලපෙන විදියට යොදාගත්තා. ඔන්න ඉතිං ඊළඟටත් දුවෙක් ඒවි කියලා ලේඛායි මමයි හිතුවෙ නැහැ. ඊළඟටත් දුවෙක් ආව නිසා වින්ඩි කියලා නම දැම්මා. වින්ඞ් කියන්නෙ සුළඟටනෙ. ඉතිං ඒක මොඩර්න් කරලා වින්ඩි කියලා නම දැම්මා. දැන් ඉතින් ”වැස්සයි x සුළඟයි” අතරට අපි දෙන්නා මැදිවෙලා.”
”රූකා තම දියණියන් දෙස බලමින් හිනාවෙවි එහෙම කිව්වා. රූකා මනකාන්ත රුකක් නම් ඒ රුක එළිය කරන චන්ද්‍රලෝකය වන්නේ චන්ද්‍රලේඛායි. ඒ දෙන්නට සිසිල දෙන්නෙ මේ වැස්සයි සුළඟයි තමයි. දුවලා දෙන්නෙක් වුනාට පුතාලා දෙන්නෙක් හදනවට වඩා අමාරු බව රූකා කිව්වා. මව් කුස සිටියදීම ප‍්‍රසංගවලට එයාලත් දායකවීම මේ දැඟලිල්ලට හේතුව හැටියට රූකා සඳහන් කළා. කොහොම වුනත් මේ දෙන්නගෙන් රයිනි වැස්ස වගේම ඉක්මනට කඳුළු පුරවා ගත්තත්, වින්ඩි සුළඟ වගේම එඩිතරව සියල්ලට පසුනොබා ජීවත්වන චරිතයක් බවත් රූකා තම දියණියන්ගෙ ස්වභාවය ගැන සඳහන් කරමින් කිව්වා.
මේ සියල්ල අතරේ ඇමරිකාවෙදි පසුගියදා මුහුණදුන් අනතුර ගැනත් රූකා අපට විස්තර කළා.
” ඇත්තටම එය අපේ වරදින් වෙච්ච අනතුරක් නොවෙයි. අපි දෙන්නා පදවාගෙන ගියේ සුරේෂ් කියන යාළුවට අයත් රථයක්. පිටුපසින් ආ රථය අපේ රථයේ ගැටී, අපේ රථය ඉදිරිපස රථයේ ගැටුණා. වා බැලූන ක්ෂණිකව ක‍්‍රියාත්මක වුණා. වාසනාවකට අපට ලොකු තුවාල නැතත්, අභ්‍යන්තර පරීක්ෂා කිරීම් සඳහා රෝහල් යන්න වුණා.
මේ විදියට රූකා ලේඛා රයිනි සහ වින්ඩිගේ හමුවට සමුදෙන්න කාලය ඇවිත්, මොකද 11 වෙනිදා සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගනයේදී පැවැත්වෙන මේ ප‍්‍රසංගයේදී නව ගී සමග ගීත 30 ක් විතර ගයාවි. ඒ වගේම හතරදෙනාම තනි තනි වශයෙන් ගීතත් ගයාවි. සුරේෂ් මාලියද්ද ප‍්‍රමුඛ පිරිස සංගීතය සපයාවි. ඒ ප‍්‍රසංගය නැරඹීමට සූදානම් වන්න කියන ආරාධනය සමග මනරම් රූකා සහ සඳලේඛා මෙන්ම වැස්ස සහ සුළඟ වෙතින් නික්මෙන්නට අවසරයි.

සටහන/ඡායාරූප - සඳුන් ගමගේ



READ MORE - ‘රූකා-ලේඛා’ලංකාවට ඇවිත්....

ශ්‍රී වික්‍රම රාජසිංහ කාලේ කොහෙද දයාන් හිටියේ.


කොවුලෙක් ... කෑරලෙක් සහ බල්ලෙක් සතුරු මිතුරුට සතුරු වෙයි

ඔයා කොහෙද ඉන්නේ?
ඡායාරූප ශිල්පී අමිත් එස්. සේනාරත්නගෙන් මට ඇමතුමකි. ඔහුගේ හඬ නොසන්සුන්ය.
කිරුළපන. ඇයි?
මං දැන් මාර සීන් එකක් දැක්කා.
මොකක්ද?
කමල් දේශප්‍රියව දන්නවා නේද?
ඔව් . . .
අන්න එයාව රෝද පුටුවක තියාගෙන තල්ලු කරගෙන ගියානෙ ප්‍රියා රණසිංහ.
මොකක්?
ඔව්. ඔව්. කමල් අයියට මුකුත් කරදරයක්ද දන්නේ නැහැ. ඒත් එහෙම නරක ආරංචියක් ලැබුණේ නැහැ නේද?
හ්ම්ම් . . . ඔයා දැන් කොහෙද ඉන්නේ?
අමිත් නුගේගොඩ සුප්‍රසිද්ධ හෝටලයක නමක් කීය. මම ක්ෂණිකව එතැනට ගියෙමි.
අන්න අතනින් තමයි දෙන්නා ඇතුළට ගියේ.
මම ටිකක් විපරම් කළෙමි. එතැන වීදුරු දොරක් බැවින් මට එහා පැත්ත පැහැදිලිව පෙනේ.
මේං මේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ පින්තූරය මෙතැනින් අයින් කරමු. අපේ කැමරාවට කෙළින්ම මේක වදිනවා.
කවුදෝ උපදෙස් දෙයි. නාට්‍ය කණ්ඩායමක් යුහුසුළුව වැඩය.
අයියේ මේක මං හිතන්නේ දයාන් විතාරන ගත්තු ෆොටෝ එකක්.
කටකාරයකු කීවේ මෙහි ප්‍රධානියා යැයි සිතිය හැකි තැනැත්තාටය.
පිස්සුද අයිසේ, ශ්‍රී වික්‍රම රාජසිංහ කාලේ කොහෙද දයාන් හිටියේ. හා හා විහිළු නොකර මේක අයින් කරමු.
කණ්ඩායමෙහි ප්‍රධානියා මට බෙහෙවින් හුරුපුරුදුය. ඔහු දූ දරුවෝ, සත්පුරවැසියෝ, නෑදෑයෝ, සෙනෙහෙවන්තයෝ පුංචි තිරයට ගෙන ආ නාලන් මෙන්ඩිස්ය.
අමිත් අයියේ මෙතැන නාට්‍යයක් ෂූට් කරනවා. මං හිතන්නේ කමල් අයියා රෝද පුටුවක ගියේ මේක හින්දා වෙන්න ඇති.
මුකුත් නොදන්නවා සේ ගොස් අපි දෙපොළ නාලන් මහතා සමඟ කතාබහක නියැලියෙමු.
මගේ නාට්‍ය දිවියේ මේ වගේ නාට්‍යයක් හදන්නේ මං මුල් වතාවට. විශ්‍රාම ලත් රේසිං කාර් ධාවකයන් දෙදෙනකුගේ පවුල් වටායි මෙහි කතාව ලියවිලා තියෙන්නේ. එක් ධාවකයෙක් කමල් දේශප්‍රිය අනෙක් කෙනා ලකී ඩයස් . ටෙලි නාට්‍යයේ නම සතුරු මිතුරු.
කට්ටිය රෙඩිද? එහෙනම් අපි සීන් එක ගනිමු.
ලකී, කමල් සමඟ මොරින් චාරුනී, බිමල් ජයකොඩි, විශ්ව ලංකා, හර්ෂ තෙන්නකෝන්, යශෝධා සහ ප්‍රියා දර්ශනයේ වෙති. පිටපතට අනුව කමල් ඇතුළු පවුලේ අය හෝටලයට පැමිණීමත් සමඟ ලකී මොරීන්ව රැගෙන එතැනින් ඉවත්ව යයි.
ඇක්ෂන්.
ලකී මොරීන්ගේ අතින් අල්ලා ඇයව ඇදගෙන ගියේය. එය කෙතරම් වේගවත්දැයි කිවහොත් මොරීන්ව පෙනුනේ පාවී ගියාක් මෙනි.
ෂා . . . මරේ මරු ලකී . . .
නාලන් උපැස් යුවළ නළලට ගනිමින් සතුටින් ඉපිළ ගියහ.
මරු . . . තව පොඩ්ඩෙන් මගේ අත ලකී ගාව.
මොරීන් තවමත් අත පිරිමදින ගමන්ය.
එක සැරයටම පැමිණි යම් කිසි හඬක් නිසා පිරිස කලබල වූහ. එය හරියට ෆැක්ටරියක යන්ත්‍රයක් ක්‍රියා කරනවා වැනිය.
මොකක්ද බොල ඒ සද්දේ? හෝටල්වලින් මෙහෙම සද්දත් එනවද?
කලා අධ්‍යක්ෂ ජනක අකුරම්බොඩ සුළැඟිල්ල මුවෙහි රුවාගෙන කල්පනා කරයි.
ඒ ෆ්රුට්ජූස් හදන මැෂිමනේ. අපි දවසටම එක පාර ජූස් හදනවා. තව ටිකකින් ඉවර වෙයි.
හෝටලයේ සේවකයකු කීය.
කණ්ඩායම තැන තැන වාඩි වී ටිකක් ගිමන් හැරියහ.
එන්න ළමායි, අපි වැඩ පටන් ගනිමු.
පළතුරු යුෂ සාදා නිම වී ඇති බව දැනගත් සහාය අධ්‍යක්ෂවරයා කණ්ඩායම දිරිමත් කළහ. කොහේදෝ සිට පැමිණි කොවුලකු අසල අත්තකට ඇවිත්ය.
කොහෝ . . . කොහෝ . . .
එදා පාර කොහෙක් ඇවිල්ලා. මට පේන්නේ මෙයාගෙ කැලැන්ඩරේ නැති වෙලා ද කොහෙද? ඉන්න මං එලවලා එන්නම්.
කොහා පැන්නීමේ රාජකාරිය නිතරගයෙන්ම භාර ගත්තේ විශ්ව ලංකාය. කොහාද ආගිය අතක් නැත. නමුත් මෙවර ද නාලන්ට ඇක්ෂන් කියන්නට බැරි විය. කෑරලකුගේ කඨෝර ශබ්දය හාත්පස වෙලාගෙන තිබිණ. මට පේන්නේ කවුරු හරි ප්ලෑන් කරලා මෙතනට කුරුල්ලෝ එවනව වගේ සහාය අධ්‍යක්ෂ කනිෂ්ක හිස කසමින් කියු දේට මට ද සිනහ පහළ විය.
විනාඩියකට පමණ පසු කෑරලාගේ හඬ මැකී ගියේය. ඇක්ෂන්. . .
බව් වව් බව් වව් . . .
සුනඛයකු උඩු බිරුවේය.
හාපෝ . . . එදා පාර බල්ලෙක් කෑ ගහනවා. සත්තුන්ගෙන් වෙන කිසිම නාට්‍යයකට මෙච්චර කරදර නම් වෙලා නැතුව ඇති.
හෝටලයේ සේවක මහතකුගේ පිහිට ඇතුව එම සත්ත්ව හඬ ද නවත්වා ගත්තේය. අම්මෝ . . . ඇති යාන්තම් ටක් ගාලා සීන් එක ගමු. ඊළඟ පාර සිංහයෙක් එන්න බැරිකමක් නැහැ.
නිෂ්පාදන කළමනාකරු ටෝනි පිරිවර කැඳවා දර්ශනයට ලැහැස්ති කළේය.
කට් කට් කට් . . .
ඇති යාන්තම්. මට මේකේ ඉදන් ඉඳලම එපා වුණා. කමල් රෝද පුටුවෙන් නැගිට්ටේ අතපය දිගු කොට හිරි අරින ගමන්ය.
හරි . . . මෙතන ෂොට්ස් ටික ඉවරයි. අපි යමු වත්සලාගේ ගෙදර තියන ලොකේෂන් එකට.
සීරුවට කැමරා උපකරණ අඩුක් කොට නාලන් ඇතුළු කණ්ඩායම වාහන දෙකක නැගී මෙතැනින් ඉවත්ව ගියහ.
කෝ නාලන් අයියලා? ගියාද?
වටපිට බලමින් නිදිගැට කඩ කඩා මා ළඟට ආවේ කාවිංග පෙරේරායි.
ඔව්, මේ දැන් ගියේ.
මලා . . . මට ටිකක් නින්ද ගියානේ. යමුකෝ මාත් එක්ක.
පාරට පැන අත දමා කුලී රථයක් නතර කරගත් කාවිංග අප දෙදෙනාව ද රැගෙන සතුරු මිතුරු හි අනෙක් දර්ශන තලයට ආවේය.
මේ හාදයාව තමයි අපි හෙව්වේ. අද තියෙන්නේ වත්සලා ඔයාට කොච්චි ලුණු මිරිස් එක්ක රොටී කවන සීන් එක. හැබැයි රිහසල් එකේදී එහෙම කන්න එපා. දැවිල්ලට මූඩ් වෙනස් වෙයි.
නාලන්ගේ කීම නොඅසා කාවිංග ලුණු මිරිසට ඇති ගිජුකමට පෙර පුහුණුවීමේදී ද ඉන් ටිකක් කෑවේය.
අප්පොච්චියේ මේකේ සැර කෝ වතුර . . . වතුර ගෙන්නකෝ . . .
මුහුණ රතු වී කවිංගගෙ සූ . . . සූ හඬ නගමින් වත්ත පුරා දුවනු අපි බලා සිටියේ කොක් හඬලා සිනාසෙමිනි.
සතුරු මිතුරුහී අනෙකුත් නළු නිළියන්.
ගාමිණී හෙට්ටිආරච්චි, ලියෝනි කොතලාවල, රුවන්ගි රත්නායක, වත්සලා දියලගොඩ, සුජීව ප්‍රියලාල්, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, රෙබෙකා නිර්මලී, චින්තක වාස්.
කතාව - උදය ශාන්ත කුමාරසිංහ
කැමරාව - කුලරුවන් ගමගේ
සංගීතය - රෝහණ වීරසිංහ
අංග රචනය – සංජීව රත්නායක
නිෂ්පාදන කළමනාකරණය - චන්දන ශ්‍රී සුදාරක (ටෝනි)
කලා අධ්‍යක්ෂණය – ජනක අකුරම්බොඩ
සංස්කරණය – දුමින්ද ප්‍රේමතිලක
සහාය අධ්‍යක්ෂණය – කනිෂ්ක බණ්ඩාරමේඝසූරිය
READ MORE - ශ්‍රී වික්‍රම රාජසිංහ කාලේ කොහෙද දයාන් හිටියේ.

ම් ම් ම් . . . මන්දා . . . එහෙමත් කියන්න බැහැ.

Monday, August 13, 2012


තව අවුරුදු 2 ක් මං එහෙ ඉන්නේ.

මාව ඒ චරිතයට තෝරා ගත්තේ දෙන්නෙක් ඉවත් කරලා

ජපානයේ අපේ හඬ නැංවූ උමාලි තිලකරත්න
උමාලි තිලකරත්න.
මීට වසර දෙක තුනකට උඩදී පුංචි තිරයටත් , රිදී තිරයටත් මේ නාමය නෑදෑකම් දැක් වූ අයුරු අපට මතකය. ඒ දිනවල සිරිලක පුරා ජනප්‍රිය චරිතයක් වූ ඇය පිළිබඳ කිසිදු තොරතුරක් කාලෙකින්අප වෙත දැනගන්නට නොලැබිණ.
ඒ ඇය සිය අධ්‍යාපන කටයුතු උදෙසා ජපානයට ගිය බැවිනි. ඇගේ වාසනා මහිමය දෙගුණ තෙගුණ වූයේ එහිදීය. සකුරා මල් පිපෙන ජපානයේ තැනූ දැවැන්ත චිත්‍රපටයක රංගනයට ඇයට අවස්ථාව හිමි විණ. ෆයිනල් ජජ්මන්ට් නම් වූ එය එරට ප්‍රමුඛ පෙළෙහි අධ්‍යක්ෂවරයකු වන මසකි හමාමොතෝගේ අධ්‍යක්ෂණයකි.
එම සිනමා සිතුවමෙහි ප්‍රධාන චරිතය වූ ලින්ට පණ පෙවීමට තරම් උමාලි භාග්‍යවන්ත වූවාය.
මේ වන විට ඇය ජපානයේ ද ජනප්‍රිය තරුවක් වී හමාරය.
ඒ ගැන කතාබහ කොට උමාලි ගැන උණුසුම් තොරතුරු රැසක් ඔබ වෙත ගෙන ඒමේ අටියෙන් අපි මුණ ගැසීමට කතිකා කර ගත්තෙමු.
ඇය එන්නට කීවේ රාජගිරියේ පිහිටි ඇයගේ පියාගේ කාර්යාලයටය. ඇය ලබා දුන් වේලාවට මම එතැනට ගියෙමි.
ඔහයෝ ගෙසයිමසු , කොච්රා ඒ දොසෝ . . .
නුපුරුදු ජපන් බසින් ඇය මොනවාදෝ පවසයි. සුබ උදෑසනක්. එන්න ඇතුළට කියලා මං ඒ කිව්වේ. මා තුෂ්නිම්භූත වූ බව දැනගත් ඇය දන්න සිංහලෙන්ම කතාවට වැටුණි.
උමාලි දැන් ජපානයේ තරුවක්?
ම් ම් ම් . . . මන්දා . . . එහෙමත් කියන්න බැහැ. මාව නොදන්න අයත් ඒ රටේ ඉන්නවා.
අධ්‍යාපන කටයුතුවලට නේද විදෙස් ගත වුණේ?
ඔව්. නිහෝන් විශ්ව විද්‍යාලයේ රංගනය ගැන හදාරනවා. තව අවුරුදු 2 ක් මං එහෙ ඉන්නේ.
එතකොට ‘ෆයිනල් ජජ්මන්ට්’ සමඟ එකතු වන්නේ?
ජපානයේ අයි. එම්. ඕ. නමින් නළු නිළියන් බඳවා ගන්නා ආයතනයක් තියනවා. මගේ මිත්‍රයකු මඟින් එහි ප්‍රධානියාව හඳුනා ගන්නට ලැබුණා. ඒ හරහා තමයි මට චිත්‍රපටයේ ලින් චරිතයට නිළියන් තෝරා ගැනීමේ මූලික සම්මුඛ පරීක්ෂණයට සහභාගි වෙන්නට ලැබුණේ.
මොන වගේ සුදුසුකම් ද ඔවුන් ඔබෙන් බැලුවේ?
මූලිකව බැලුවේ රඟපාන්න පුළුවන්ද කියන එක. ඊට පස්සේ මගේ හමේ පාට.
ඒ මොකද?
ලින් කියන්නේ තරමක් කළු ජාතික ගැහැනු ළමයෙක්. ජපානයේ කළු ජාතිකයන් නැහැනෙ. ඒ වන විටත් එම චරිතයට වෙනත් දෙදෙනකුවම තෝරා ගෙන තිබුණා. ඒත් මම දුටුවාම ඒ අයව ඉවත් කරලා මාව ගත්තා. ඒ මගේ පෙනුමට.
ඔබේ පළමු දර්ශන පෙළ රූ ගැන් වූ අයුරු දැන් ආවර්ජනය කරමුද?
පුදුම චකිතයකින් මං එදා උන්නේ. යහළුවන්ට බීම වගයක් අරන් එන දර්ශනයක් තමයි මට මුලින්ම කරන්න තිබුණේ. අධ්‍යක්ෂවරයා අපි එකිනෙකාව මුලින් හඳුන්වා දුන්නා.
ක්‍රමයෙන් දර්ශන තලයේ අය මට මිතුරු වුණා. ඊට පස්සෙයි මං රඟපෑවේ.
කවුද ඔබත් සමඟ රඟපෑ ප්‍රධාන නළුවා?
මියුරා කෝතා. ඔහු මීට ප්‍රථම චිත්‍රපට කිහිපයකම රඟපාලා තියනවා.
චිත්‍රපටයේදී ඔබ වඩාත් සංවේදී වූ මොහොත මා දැනගන්නට ප්‍රියයි?
ලින් කුඩා කාලයේ ඇයගේ මවුපියන් අහිමි වෙනවා. ඇයට ඔවුන්ව මතකයට එන අවස්ථාවකදී තදින් ඇඬෙනවා. මම ඒ මොහොතේ ඇත්තටම ඇඬුවා නවත්ව ගන්න බැරි තරමට.
චිත්‍රපටය තිරගත වෙද්දී ජපන් රසික රසිකාවන්ගෙන් ලැබුණු ප්‍රතිචාරයන් කෙබඳුද?
හිතා ගන්නවත් බැහැ. චිත්‍රපටයේ විශේෂ උත්සවයක් තිබුණා. එහිදී මාව බලන්නට ආව පිරිස අති විශාලයි. ඔවුන් මගේ අතින් අල්ලගෙන බොහෝම හැඟුම්බරව කතා කළා.
ලින්ට සම්මානයක් ලැබෙයිද?
කියන්න බැහැ.
උමාලි දැන් වඩාත් ළෙංගතු ජපානයට වගේ?
අනේ නැහැ. ඉගෙන ගන්නට විතරයි ජපානයට ගියේ.
දිගටම රංගනයේ යෙදෙමින් ජපානයේ නවතින්න යැයි කවුරුන් හෝ කිව්වොත්?
ඒ ඉල්ලීම කුණු කූඩයට දානවා.
ඇත්තමද කිව්වේ?
අනිවාර්යයෙන්ම.
ප්‍රේක්ෂකයකු විදිහට ඔබ ඔබේ රංගනය ගැන සෑහීමකට පත් වෙනවාද?
තව ටිකක් දියුණු කරගන්න ඕනේ.
ඔබ ලබාගත් විරළ අවස්ථාව ගැන ජනප්‍රිය නළුවකු වූ ඔබේ පෙම්වතා කියුවේ මොනවාද?
ඔහු මගේ කටයුතුවලට කවදත් සහාය දෙනවා. මෙවරත් ඔහු මං ගැන සතුටු වුණා. ඉදිරියට යන්න මාව දිරිමත් කරන දේවල් තමා ඔහු කිව්වේ.
පෙම්වතාගේ නම කියන්න පුළුවන්ද?
බැහැ.
ඇයි ඒ?
ඒක අපේ පෞද්ගලිකත්වය.
ඒත් ඔහු හා ඔබේ සම්බන්ධය දැන් රහසක් නෙවෙයි?
මාධ්‍ය අතරෙනේ රහසක් නොවන්නේ.
ඔහු අකැමැත්තක් දක්වන්නේම නැද්ද ඔබේ රංගන කටයුතුවලට?
කොහෙත්ම නැහැ.
උමාලි කලින් ගායනයේද යෙදුනා කියා මට මතකයි.
දැන් මං ගායන කටයුතුවලින් තරමක් දුරස් වෙලා.
ඒ ඇයි?
රංගනයට වැඩිදුර පෙම් බැඳි නිසා.
ජපානයේම තවත් මාලා නාට්‍යයක උමාලි රඟනවා නේද?
ඔව්. එකේ නම සොකෝවා නන්තෝකා.
මොනවද අනාගත බලාපොරොත්තු?
කලාවෙන්ම ඉදිරියට යෑම.
අපි කතාබහ මෙතැනින් නවත්වමු?
හොඳයි, ඔත්සු කරෙසමා දේශ්තා.
මොකක්ද ඒ කිව්වේ?
සාමාන්‍යයෙන් ජපානයේ වැඩ කටයුත්තක් හමාර කරන්නේ එහෙමයි.
READ MORE - ම් ම් ම් . . . මන්දා . . . එහෙමත් කියන්න බැහැ.