----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

‘‘මම අපේ සමාජයේ සැඩොල් කියලා අවමන් කරන ගාඩි ගෝත‍්‍රයේ කෙල්ලක්’’

Saturday, May 4, 2013



කුඩා කල සිටම කලා අංශයේ හැකියාවන් බොහොමයකට ඇය දක්‍ෂ වූවාය. එමෙන්ම ක‍්‍රීඩා ඉසව්වලට මෙන්ම කථික විවාද ආදී අංශවලටද දක්‍ෂ වූවාය. ඒ සියල්ල අතරේ ඇයට අවශ්‍යව තිබුණේ වෛද්‍යවරියක වීමටය. ඒ වෙනුවෙන් උසස් පෙළ හැදෑරුවේ ජීව විද්‍යා අංශයෙනි.
 අනෙකුත් සියල්ලට දක්‍ෂ වුවද, ඇයට වෛද්‍යවරියක වීමේ අරමුණ සඵල කර ගැනීමට නොහැකි විය. ඉන්පසුව තව දුරටත් උසස් අධ්‍යාපනයේ නියැලී සිටි ඇය ජනසන්නිවේදනය හා පෞරුෂ වර්ධනය සම්බන්ධව ද තොරතුරු තාක්‍ෂණය සම්බන්ධව ද උපාධි ලබා ගත්තාය. මේ කාලය වන විට සංගීතය මෙන්ම ගායනය ගැන ඇයට තිබුණේ ලොකු උනන්දුවකි. ගෙදර පරිසරයේදී සංගීතයේ වින්දනීය වූ බොහෝ දේ අසන්නට ලැබීම ඊට හේතුව විය. කේමදාස මාස්ටර්ගේ සංගීතයට වෙසෙසින්ම ඇළුම් කරන්නට ඇය පටන් ගත්තේ මෙකී සමයේදීය. ඒ ඇළුම් කිරීම මෙන්ම කේමදාස මාස්ටර් යටතේ සංගීතය උගෙන ගැනීම යථාර්ථයක් කර ගත්තාය. අනතුරුව මාස්ටර්ගේ ‘අග්නි’ ඔපෙරාව හරහා කරළියට පිවිසියාය. එලෙසින් පිවිසි ගමනේ අද ඇය ‘‘රතු හැට්ටකාරිය’’ වී සිටින්නීය. සුබුද්ධි ලක්මාලි ඇයගේ නමය. සහතිකෙන්ම ගැයුමට හා රැඟුමට ඇය අපූරු කුසලතාවයක් දක්වන්නීය.

දී කිරි දී කිරි
දී කිරි දී කිරි
ගෙනාවා දී කිරි
මිහිපිට කාටත් ගුණ දෙන දී කිරි.....
එදා ප‍්‍රවීන රංගවේදිනිය අනුලා බුලත්සිංහල රතුහැට්ටකාරියට ගැයූ ඒ ගීතය ගයමින් අද රතුහැට්ටකාරිය වූ සුබුද්ධි සමග අද අපි කතා කරමු.


 කලා ක්‍ෂේත‍්‍රයේ බොහෝ දෙනා ඔබ ගැන කතා කරන්න පටන් ගත්තෙ ‘‘අග්නි’’ ඔපෙරාව නිසා? එහෙම නේද?
කේමදාස ශුරීන්ගෙ ඒ ඔපෙරාව සමග ගායන මෙන්ම රංගන හැකියාව පෙන්නුම් කරන්න මට පුළුවන් වුණා. එහිදී ප‍්‍රවීණ රංගවේදී කමල් අද්දරආරච්චි මෙන්ම ඉන්දිකා උපමාලි ප‍්‍රවීන ශිල්පිනිය සමගත් තවත් ප‍්‍රවීනයින් එක්කත් කටයුතු කරන්න ලැබුණා. ඒ සියල්ල ජීවිතයට පන්නරයක් වුණා. ඉන්පසුව කමල් අද්දරආරච්චි මහතා මගින් මහේන්ද්‍ර පෙරේරා රංග වේදියානන් හඳුනාගන්න ලැබුණා. ඔහුගේ ස්ටාර් ශ්‍රී ලංකා හිස්තැනක් ටෙලිනාට්‍යයට තෝරා ගත්තෙ ඉන්පසුවයි.


 ඉන්පසුව රඟපෑ නාට්‍ය සහ වෙනත් නිර්මාණ මොනවද?
බොහෝ දේ ලැබුණා. ඒත් දොඩංගොඩ බාර ගත්තා වගේ, ඒ ඔක්කොම බාර ගත්තෙ නැහැ. මට කළ හැකි යැයි හැෙඟන චරිත තෝරා ගත්තා. සුදත් රෝහණගේ ‘‘ගිරිකුල’’, උපාලි ගම්ලත්ගෙ ගුරුගීතය නාට්‍යවලට සම්බන්ධ වුණා. ඊට අමතරව අපේ හිත මිතුරන්ගේ ආරාධනා අනුව කමල් අද්දරආරච්චි සහ අපි පැදුරුසාජ්ජ්වලට ගී ගයන්න ගියා. පෞරුෂ වර්ධනය සහ දිරි ගැන්වීම් වැඩ සටහන් සඳහා ඇඟළුම් ක්‍ෂේත‍්‍රයේ සොයුරු සොයුරියන් දිරි ගැන්වීමේ වැඩ සටහන් පෙළක් කළා. මේ අතර වාරයේදී තමයි වේදිකා නාට්‍ය සඳහා ආරාධනා ලැබුණෙ.


 රතුහැට්ටකාරී නාට්‍යයද?
උදයසිරි වික‍්‍රමරත්නගෙ ‘‘රඟපෑම් ඉවරයි’’ නාට්‍යයෙ පිටපත තමයි මුලින්ම ලැබුණෙ. රතුහැට්ටකාරි ලැබුණේ ඒ අතරවාරයේදීයි.


 රතුහැට්ටකාරී නාටය ඊට පෙර ඔබ නරඹලා තිබුණද?
ඇත්තටම නරඹලා තිබුණෙ නැහැ. ඒත් යම් යම් කොටස් රූපවාහිනියෙන් නරඹලා තිබුණා.


 ඔබ හිතනවාද ඔබට මේ නාට්‍යයට සාධාරණය ඉටු කරන්න හැකිවූ බව?
යම්තාක් දුරකට හිතෙනවා. ඒත් ප‍්‍රවීන රංගවේදිනී අනුලා බුලත්සිංහල වැනි විශිෂ්ට ශිල්පිනියක කළ දේ ප‍්‍රතිනිර්මාණය කිරීම අසීරුයි. ඒත් ලූෂන් බුලත්සිංහල මහතා කිව්වෙ ඔයාලට පුළුවන් දේ කරන්න කියලයි. මම හිතන්නෙ අපේ ඇතුළාන්තයේ තියෙන දේ එතුමා උකහා ගත්තා.


රතුහැට්ටකාරී නාට්‍යයේ ඔබගෙ සිත්ගත් දෙබසක කොටසක් සඳහන් කළොත්?
‘‘මම අපේ සමාජයේ සැඩොල් කියලා අවමන් කරන ගාඩි ගෝත‍්‍රයේ කෙල්ලක්’’


‘‘රඟපෑම් ඉවරයි’’ නාට්‍යයේ රඟපාන චරිතය ගැන යමක් කිව්වොත්?
එහි චරිත තුනක් විතරයි තියෙන්නෙ. මම නියෝජනය කරන්නෙ ‘‘සිහිනය’’ කියන චරිතයයි. ‘‘අපට සිහිනයක් අයිති කරගන්න බැහැ...... ඒත් සිහිනයකට අපිව අයිති කරගන්න පුළුවනි’’


 ඒ සිහින අතරේ අද වන විට ඔබගේ සැබෑ ජීවිතයේ තිබෙන සිහින මොනවද?
අවංකවම කිව්වොත් සැබෑ ජීවිතයේ මගේ සිහිනය ‘‘නිවස’’ සාදා ගැනීමයි. ඒ සිහින නිවසේ අම්මා තාත්තා සතුටින් තැබීම ලොකුම සිහිනයයි.


ජීවිතය සහ කලාව ඔබ දකින්නේ කොහොමද?
එක්තරා විදියකට ගත්තොත් ජීවිතය කියන්නෙ කලාවක්. එහි රිද්මය හඳුනාගෙන ජීවත් වුනොත් එය වින්දනය කළ හැකි වේවි. කලාව ගැන කතා කළොත් මට නම් කලාව කියන්නෙ ජීවිතයයි.


READ MORE - ‘‘මම අපේ සමාජයේ සැඩොල් කියලා අවමන් කරන ගාඩි ගෝත‍්‍රයේ කෙල්ලක්’’

තරු මිහිරට පැමිණි සුන්දර නිල්මිණි


තරු මිහිරට පැමිණි සුන්දර නිල්මිණි

පිච්ච මලක තියෙන පිවිතුරු සුන්දරත්වය කොතරම් නම් අපූරුද? ඒ පිච්ච මලේ සුවඳ තවත් එමලේ ආකර්ෂණය වැඩි කරනවා. මෙතරම් පිවිතුරු පිච්ච මල්වලට තම ජීවිතය පුරාවටම ආදරය කරන ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනියකගේ ආගමනය සිදුවන තුරු වෙනදා මෙන්ම සරසවිය ඡායාරූපාගාරයට වී අම්බලන්ගොඩ ශ්‍යාංගා භාෂිනී, කුලියාපිටිය කපිල ජයවිලාල්, කෙරමිණිය චන්ද්‍රසිරි මානවඩු හා කරන්දෙණියේ සඳමාලි ඇඟිලි ගනිමින් සිටියි.
හදිසියේ අපේ ඡායාරූප ශිල්පි ටෙනිසන් එදිරිසිංහගේ දුරකතනය නාද වෙයි.
‘අනේ ටෙනි අයියා, මම බොරැල්ලේ ඉන්නේ. විනාඩි විස්සක් විතර පරක්කු වෙයි’ යනුවෙන් එහා කෙළවරෙන් ඇමතුම ලබා දුන්නේ තරු මිහිරේ තරුව බව නම් මේ පාඨක පිරිස නොදනී.
මොහොතින් මෙහොත ඔවුන්ගේ හද ගැස්ම වැඩි වෙයි. එකිනෙකා ආ ගිය තොරතුරු විමසුව ද සැමගේ නෙත රැඳී ඇත්තේ ප්‍රධාන දොර වෙතයි.
‘හානේ මම පොඩ්ඩක් පරක්කු වුණා. මරදාන පැත්තෙන් ආපු නිසයි එහෙම වුණේ’ එසේ කියමින් සියල්ලන්ගේම ආදරය දිනාගත් අද තරු මිහිර රස ගන්වන ලබැඳි රංගන ශිල්පිනිය සරසවියට පැමිණියා.
නිල්මිණි තෙන්නකෝන්.
දහසක් පාඨකයින්ගේ ආදරය හමුවේ තම හැඟීම්බර වදන් තෙපලන්නට ඕ සරසවියට පැමිණ සිටින්නීය.
මට හඳුන්වලා දෙන්නකෝ ඔයාලාව. කපිල ඉදිරිපත් වෙමින් ඔවුන්ව හඳුන්වා දුන්නා.
කෝ තව එක්කෙනෙක් අඩුයිනේ? නිල්මිණි විමසිලිමත්ව විමසුවා.
‘ආ එයා කංචක, විනෝදාංශයට තැපැල්පත් යොමුකළාට අද මේ වැඩසටහනට එයා අසනීපෙන් නිසා එන්න බැරිලු’ කියා පැනපු ගමන් කපිල පිළිතුරු බැන්දා.
‘අක්කේ ඔයා රංගනය හදාරලද රඟපෑමට ආවේ’ වඩාත් උනන්දුවෙන් සඳමාලි ඇසුවා.
ඔව්. ආචාර්ය ඩී. බී. නිහාල්සිංහ සූරීන්ගේ මඟ පෙන්වීම යටතේ රංගනය විතරක් නෙමේ, කැමරාකරණය, සංස්කරණය, තව රංගන ක්ෂේත්‍රයට අදාල බොහෝ දේවල් ඉගෙන ගත්තා.
රඟපෑමට අවතීර්ණ වුණේ කොහොමද? කපිලගෙන් පැනයක්.
මගේ ඥාති සොහොයුරියක් සිටිනවා රෝයි ද සිල්වා හා සුමනා අමරසිංහ යන ප්‍රවීණ රංගන ශිල්පීන්ගේ ගෙවල් ළඟ. දවසක් මාව දැකලා රෝයි අයියයි සුමනා අක්කයි මගේ අක්කගෙන් අහලා තියෙනවා අර ළමයා රඟපාන්න කැමැති නැති ද කියලා. ඒක මගෙන් අහපුවම මම එක පයින් කැමැතියි කිව්වා. එතකොට මගේ දණ හිසටත් පහළ දිගට කොණ්ඩය තිබුණා. හිත හොඳ චණ්ඩියා චිත්‍රපටයට එවකට මිස් ශ්‍රී ලංකා වුණ කෙනයි මායි රංගනයෙන් පොඩි චරිතයකට පෙනී සිටියා. එදා තමයි මම සිනමා කැමරාවක් ජීවිතේ පළමු වතාවට දැක්කේ.
‘දූ දරුවෝ දීප්ති නේද ඔබට වාසනාව ගෙනාවේ?’ චන්ද්‍රසිරි මෙතෙක් වේලා නිහඬව සිට එය බිඳිමින් විමසුවා.
ඇත්තටම නාලන් මෙන්ඩිස් මහත්මයාගේ ‘දූ දරුවෝ’ ටෙලි නාට්‍යයේ දීප්තිගේ චරිතය නිසා මම මහත් ජනප්‍රියතාවක් ලැබුවා. අදටත් මට එහි බලපෑම තියෙනවා. අනික ඒ දවස්වල අද වගේ හුඟාක් ටී. වී නාලිකත් නැහැ. ඒ වගේම ටෙලි නාට්‍යත් නැහැ. හැදෙන ටෙලි නාට්‍ය හරිම අර්ථාන්විතයි වගේම නිර්මාණශීලීයි.
‘ඔයා අනතුරකට ලක් වුණා නෙද්? කපිල නැවත විමසුවා.
මේ ටෙනි අයියා හින්දා තමයි එහෙම වුණේ (විහිළුවට). ඇත්තටම එදා සරසවිය සම්මාන උළෙලකට කුරුණෑගල ඉම්පීරියල් සිනමා ශාලාවේ ‘අංජලිකා’ චිත්‍රපය පෙන්නුවා. ඒ අවස්ථාවේ ප්‍රධාන ආරාධිත නිළිය වුණේ මම. ඉතින් වාහනේ පදවගෙන යද්දී මම ‘ඇක්සිඩන්ට්’ වුණා. ආයේ දවස් ගානකට පස්සේ සිහිය එනකොට මම හිටියේ රෝහලක. හැබැයි ඔය ගමන පිටත්වෙන්න කලින් මම අපේ නංගිට කියලා පිච්ච මල් ගොඩක් කඩා ගත්තා. ඇක්සිඩන්ට් එක වෙලා මාව රෝහලට ගෙනි යනවා. දොස්තරලා වට වෙලා බේත් කරනවා මට අහසේ ඉඳන් පෙනුණා. හැබැයි ඒ වෙලාවේ මගේ හිත අමුතුම ප්‍රබෝධයකින් තිබුණේ. මාව අහසේ ඉහළට ඇදිලා යනවා වගේ දැනුණා. නමුත් ටික දුරක් යනකොට කවුදෝ මට කිව්වා ආපසු හැරෙන්න, ඔයාගේ දුව ඔයා එනකන් බලන් ඉන්නවා කියලා. ඒ කාලය මට දැනුණේ අවුරුදු ගානක් වගේ. මට සිහිය ආවේ දවස් හතකට පස්සේ. ඒකයි මම කියන්නේ මම මරණය අත්විඳි ගැහැනියක් කියලා.
හැබැයි මාව අර හීනෙන් වගේ නැවත මගේ ශරීරයට ඇතුල් වෙනකොට මාව වැටුණේ පිච්ච මල් ගොඩක් උඩට. බුදු දහමේ කියන චුති සිත කියන එක කියන්නේ මේක වෙන්න ඇති නේද? මගේ මේ කතාව පොතකටත් ඇතුළත් වෙලා තියෙනවා මරණාසන්න අත්දැකීම ගැන.
නිල්මිණි එසේ විස්තර කරන විට සඳමාලිගේ නෙතේ මෙන්ම ශ්‍යාංගාගේ නෙත් කෙවෙනිවලට ද සිහින් කඳුළු බිංදු නැගුණා. සියල්ලන්ටම හොරෙන් ඔවුන් ඒවා පිස දැමුව ද අපේ ටෙනීගේ කැමරා කාචයට එය වසන් කිරීමට නොහැකි වූවා.
මඳ වේලාවක නිශ්ශබ්දතාවයකට පසු නැවත කපිල හඬ අවදි කළා.
දිය සුළිය ටෙලි නාට්‍යය රූගත කළේ කොහෙද?
දංකොටුව පැත්තේ. ඒකෙත් විශේෂ සිදුවීමක් තියෙනවා. ඒ දවස්වල ෂූටිං බලන්න දංකොටුව පැත්තට සෙනඟ විශාල වශයෙන් පැමිණුනා. උදය අයියා (උදයකාන්ත වර්ණසූරිය) සමහර වෙලාව උදේ පාන්දරම රූගත කිරීම් පටන් ගන්න කලින් වටේටම ලණුවක් අදිනවා, ඒ සීමාවෙන් මෙහාට සෙනඟට එන්න බැරි වෙන්න.
අර ශ්‍රියන්ත අයියා මගේ ඔළුව බිත්තියේ හප්පන දර්ශනය රූගත කරද්දී සෙනඟ බස් පිටින් ඇවිත් සිටියා. ඒ වුණාට ඒ සිදුවීම රූගත කළ ගෙදර සියලු දෙරවල් වහලා රූගත කළේ. මොකද මගේ ඔළුව බිත්තියේ හප්පනවා මිනිස්සු දැකලා කලබල වෙයි කියන බයට. ඒ දවස්වල ෂූටිංවලට මට පාරට බහින්න බැහැ මිනිස්සු වට කරගන්නවා. ඒ දූ දරුවෝ දීප්ති නිසා.
දීප්තිට විශේෂ අනතුරක් වෙලා තියෙනවාද?
දීප්තිට නම් නෙමේ. අර දීප්ති සොහොන ළඟ තනි වෙලා අඬන දර්ශනය දැකලා වත්තල පැත්තේ මුස්ලිම් මනුස්සයෙකුට දරාගන්න බැරි වෙලා මැරිලා. ඒ තරම් ඒ මනුස්සයා දීප්ති චරිතයට ආදරෙයිලු. මම මළ ගෙදර යන කොට එහි කටයුතු අවසන් කරලා. ඒ අය මුස්ලිම් නිසා පැය 24 නෙ තියාගන්නේ.
ඇයි දැන් වැඩිපුර ටෙලි නාට්‍යවල පේන්න නැත්තේ? ඒ නිහඬව සිටි ශ්‍යාංගාගේ එකම ප්‍රශ්නයයි.
කොටස් සියයට වැඩි ටෙලි නාට්‍යවල මම රඟපාන්නේ නැහැ. අනික හොඳ නිර්මාණත් අඩුයිනේ මේ කාලේ. ඉදිරියට මම රඟපාපු ටෙලි නාට්‍ය කිහිපයක් විකාශය වෙන්න තියෙනවා.
අනාගතයේදී මොකද කරන්නේ? සඳමාලි නැවත විමසුවා.
මගේ දුව ස්වේතා තමයි මගේ එකම අරමුණ. එයාට මේ ලෝකේ යහපත්ව ජීවත් වෙන්න පිටිවහලක් වෙන එක තමයි මගේ එකම අරමුණ. මගේ නුගේගොඩ සැලුන් එකත් එයා වෙනුවෙන්ම තමයි. සතුටු සිනා, දුක් කතා, ධෛර්මත් සිදුවීම් සමඟ ඉක්මනින් කාලය ගෙවී ගියා.
නිල්මිණි රැගෙන ආ ඇගේ අත්සන සහිත ඡායාරූප ඇය මේ පිරිසට බෙදා දන්නා. සරසවිය තරු මිහිරේ ත්‍යාග අනුග්‍රාහකයා වන ලක් සළුසල ත්‍යාග වවුචර් පත් ද නිල්මිණිගේ අතින් මේ පිරිසට ලබා දුන්නා.
නිල්මිණිගේ ආගමනයෙන් හැඩ වුණ තරු මිහිරට හෝරා දෙකක කාලයක් ගෙවුනද මේ පිරිස නිල්මිණි තනිකර යාමට නොසිතයි. කෙසේ හෝ හමුවීමක් ළඟ වෙන්වීමක් ඇත්තා සේම වෙන්වීම ළඟ හමුවීමක් ඇතැයි කියමින් පිරිස සතුටින් සරසවියෙන් නික්ම ගියා.
READ MORE - තරු මිහිරට පැමිණි සුන්දර නිල්මිණි

මං රියැලිටිවලට නොඑන්නයි හිටියේ


මං රියැලිටිවලට නොඑන්නයි හිටියේ

සුපිරි තරු ගොන්නෙන් සමුගත් නිරෝෂ්
මියුසික්වලින් ජීවිතයේ ඉදිරිය දකින්න තීරණය කළත් සුපර් ස්ටාර් වගේ තරගයකින් ජනප්‍රිය වන්නට මං එතරම් කැමැත්තක් දැක් වූයේ නැහැ. එබැවින් එවන් වූ රියැලිටි තරගවලට සහභාගී නොවන ප්‍රතිපත්තියකයි මං හිටියේ.
එහෙම කතාව පටන් ගත්තේ සුපර් ස්ටාර් පස් වැනි අදියරෙන් හයවැනියාට පසුගියදා ඉවත් වූ පිළියන්දල නිරෝෂ් චානකයි. ඔහු සුපර් ස්ටාර් සඳහා ඉදිරිපත් නොවුණ ප්‍රතිපත්තියේ හිටියත් නිරෝෂ්ව අප හඳුනා ගත්තේ එම තරගය නිසා.
කවුද ඔබේ ප්‍රතිපත්තිය වෙනස් කළේ?
ගෙදර අය. අම්මා තමයි ඇප්ලිකේෂන් එක දාලා තියෙන්නේ. පළමු වටයට සහභාගී වෙන්න ගෙදරට ලියුම එනකම් මම දන්නේවත් නැහැ. ඒක දැකලා මං ප්‍රතික්ෂේප කළා ඊට සහභාගි වෙන්න. ගෙදර අය මට බොහෝ වේලාවක් කරුණු පැහැදිලි කරලා දුන්නා. ඊට පසුව මම ප්‍රතිපත්ති වෙනස් කරගෙන තරගයට ඉදිරිපත් වුණා.
තරග වැදුණ පළමු දින ප්‍රසාදයකින් නෙවෙයි ද ඔබ සහභාගි වුණේ?
නැහැ එහෙම එකක් නැහැ. මට හිතුණා ආපු එකේ හොඳටම මගේ හැකියාව එළියට දාන්න ඕන කියලා. බොහොම සතුටින් එදා සිංදුව කිව්වා.
ඔබ අවසන් 12 දෙනා අතරට ආවා. මෙතරම් දුරක් ඇවිත් ආපසු හැරී බලන කොට ඔබට මොනවද දැනුණේ?
අම්මා ඇප්ලිකේෂන් දැම්මේ නැතිනම් මම අද මෙතැන නැහැ. අනික ගෙදර අයගේ උනන්දුව ඒ සඳහා බෙහෙවින් බලපෑවා. හැබැයි එදා මං ඒව තැකීමක් නොකළා නම් මෙච්චර දුරක් එන්න නොලැබෙනවා. එදා හිතුවක්කාර නොවීම සතුටක්.
ඔබේ ගායනා ගැන ඔබට විශ්වාසද?
කොහොමත් පළමුව වේදිකාවකට නගිද්දී අප වැනි අයට කොහොමත් පොඩි තිගැස්මක් තියනවා. පොදුවේ ගත්තොත් මගේ ගායනා ගැන මට හොඳටම විශ්වාසයි.
එහෙම හොඳම විශ්වාසයකින් ගැයූ ගීතය මොකක්ද?
භාතිය - සන්තුෂ්ලගේ සරා සිහින රහසේ ගීතය.
සාමාන්‍යයෙන් රියැලිටි තරගයක එස්. එම්. එස්. භාවිතය ගැන ඔබට ඇති අදහස මොකක්ද?
ජනතාවගේ අදහස් තියෙන්න ඕන. ඒත් සම්පූර්ණයෙන්ම ඔවුන්ගේ තීරණ මත ක්‍රියා කරන්න හොඳ නැහැ. 50% ක් විනිශ්චය මණ්ඩලයට දිය යුතුයි. මන්ද යත් කෙනෙකුට ජනතාව එස්. එම්. එස්. යවන්නේ ගායන හැකියාවටම පමණක් නොවන නිසා.
මෙහි අවසානය තෙක් එස් එම්. එස්. නොතිබුණා නම් ඔබ ඉවත් නොවී තියෙයිද?
ඇතැම් විට. මං ඉවත් වුණේ සිංහල අවුරුද්ද දිනවල. ඒ කාලයේ මිනිස්සුන්ට එස්. එම් එස්. යවන්න සිහියක් නැහැ. මං හිතනවා එස්. එම්. එස්. නොතිබුණා නම් මං තවමත් ඇතුළේ.
මෙවර තරගාවලියේ සිටි දක්ෂයන් හැටියට ඔබ දකින්නේ කවුද?
එක් කෙනෙක් කියන්න බැහැ. දොළොස් දෙනාම දක්ෂයි.
මෙවන් වූ තරගවලට එනවා ජනප්‍රිය වන්නට ගායන හැකියාව නොමැති අය. ඒ ගැන මොකද කියන්න තියෙන්නේ?
මෙහිදීත් එවන් අයව දැක්කා. මං ඇතැම් තරගකරුවන් අවසාන සියයට පවා ආවා. එයින් වෙන්නේ හැබෑ දක්ෂයින්ට ඉඩක් නොලැබෙන එක.
ඔබ වැඩිපුරම ප්‍රිය කරන්නේ සිංහල ගීත ගයන්න නෙවෙයි නේද?
මට හොඳට බටහිර ගීත ගයන්න පුළුවන්. බ්‍රයන් ඇඩමස් තමයි ප්‍රියතම ගායකයා. මට විශ්වාස තියන ගීත ගයන එක මටත් හොඳයිනෙ.
මේ තරගය අතරතුරදී ඔබට සිදු වූ අමතක නොවන අත්දකීම මං ඇහැව්වොත්?
එක්තරා සිද්ධියක් තියනවා මාව සංවේගයට පත් කළා. ඒක මං කියන්නම්. අවසාන සියයට තේරුණු පසු අපිට පොඩි වර්ක් ෂොප් එකක් තිබුණා. ඒකට කලින් දවසේ මාව මෝටර් බයික් එකෙන් වැටුණා. අතකුත් බැන්ඩේජ් කරගෙනයි මං වර්ක් ෂොප් එකට ගියේ. එතැන හිටපු සමහර අය කිව්වා මං බොරුවට එහෙම ආවා කියලා. මට හරියට දුක හිතුණා.
READ MORE - මං රියැලිටිවලට නොඑන්නයි හිටියේ

මේ ප්‍රසංගයට පුතා නෑ ---------------------------------------------------- ටී.එම්. ජයරත්න


මගේ සින්දු කියන්න දෙදෙනකු ඕනැ නෑ

ඒ නිසා මේ ප්‍රසංගයට පුතා නෑ ටී.එම්. ජයරත්න
යථාර්ථවාදී ජීවිතාවබෝධයක් සහ අර්ථපූර්ණ පණිවිඩයක් ජන සමාජයට ලබා දෙමින් ඔහුගේ හඬින් ගීතවත් වූ රසබර ගීතාවලියේ සුවිශේෂ තැනක් හිමි කර ගන්නා “අඳුරු කුටිය තුළ දොරගුළු ලා ගෙන” ගීතය මුලින්ම ගයමින් ඔහු සිය ප්‍රථම ඒක පුද්ගල ගී ප්‍රසංගය වන “සොඳුරු අතීතය” අවදි (ආරම්භ) කරනු ඇත. ඉන්පසු “පාවී පාවී මේ එන්නේ” – “සැනසුම් සුසුමන්” – “ජීවිතේ අමධාරා” – “ඔබ හා මෙමා” – “රුවට රුවේ සකුරා ඉවුරේ” – “හඳුනා ගත්තොත් ඔබ මා” – “රත්තරන් නෙත් දෙකින්” – “අම්බරේ දිලි දිලී” – “අම්මා සඳකි” වැනි ගී ගයමින් ඔහු සිය ශ්‍රාවකයන් ආනන්දයෙන් ප්‍රඥාවට ගෙන යමින් ගීතයෙන් ජීවිතය උගන්වනු ඇත. උදාවන මෙම 11 වැනිදා සවස කොළඹ මියුසියස් විද්‍යාලයීය රංග ශාලාවේදී “රසඳුන” පාඨක ඔබටත් ඔහු ගීතයෙන් ජීවිතය කියා දෙන අයුරු රස විඳින්නට පැමිණිය හැකි ය. මෙම “ස්වර වර්ණ” සිය සිතුවිලි සමඟින් වර්ණ ගන්වන්නට ප්‍රවීණ ගායන ශිල්පී ටී.එම්. ජයරත්න මෙලෙස අප සමඟ එක් වන්නේ ඔබට ඒ සඳහා “එන්න” කියා ඇරයුම් කරමින් ය.
”එන්න, මා ගයන ගීත අහලා යන්න එන්න. මම මෙම ප්‍රසංගය කරන්නේ අයකිරීමකින් තොරවයි. සද්භාවයෙන් කෙරෙන මෙම ප්‍රසංගයෙන් ලැබෙන මුදලින් සියයට හැටක් (60%ක්) කිසියම් පුණ්‍යාතනයක් හෝ රෝහලක් හෝ අනාථ නිවාසයක් වෙනුවෙන් යොදවන්නයි සැලසුම් කරලා තියෙන්නේ. එන්න, ඇවිත් ඔබත් මා සමඟ මෙම පුණ්‍ය කටයුත්තට දායක වෙන්න. මගේ මේ ‘සොඳුරු අතීතය’ තුළින් ඔබට ගීතවත් සන්ධ්‍යාවක් උදාකර දෙන්න මම කැපවී ඉන්නවා.”
”මේ ප්‍රසංගයේ දී මම ගීත විසිපහක් පමණ ගයනවා. යුග ගී ගායනයට කලාශූරී ලතා වල්පොල, ඉන්දිකා උපමාලි සහ සන්ධ්‍යා බුලත්සිංහල එක්වෙනවා. සමහරවිට මගේ දියණිය නවීන්ද්‍රාත් එයට එක්වෙන්න ඉඩ තියෙනවා. ‘අවිරාම ගී වැලක්’ ගයන්නත් සූදානම් කර තියෙනවා. ‘සොඳුරු අතීතය’ වර්තමානය හරහා අනාගතයට යාමක් ලෙස හඳුන්වන්නත් පුළුවන්. හැබැයි මෙහි නැටුම් නැහැ. එමෙන්ම පසුබිමින් තිරයක දිස්වන රූප රාමු නැහැ. ගීත ශ්‍රවණය කර විඳින්න සලසා දෙනවා. වික්ටර් රත්නායකයන් ‘ස’ ප්‍රසංගය බොහොම අහිංසක විදිහට, චාම් අයුරින් පටන් ගත්තා වගේම තමයි මේ ‘සොඳුරු අතීතය’ ප්‍රසංගයත් බොහොම චාම් විදිහටයි පවත්වන්නේ. ශ්‍රාවකයන්ට හොඳට දැකලා, අහලා, වේදනාවක් නැතුව හීන්සැරේ ගී රසවිඳගන්න සලස්වා දෙනවා මෙයින්.”
මීට දශක තුනකට පමණ පෙර පටන් ඔබේ ඒක පුද්ගල ගී ප්‍රසංගයක් ඉදිරිපත් කරන්න ඔබට හැකියාව තිබිලත් ඒ සඳහා ඔබ මෙතෙක් ප්‍රමාද වූවේ ඇයි..?
”මම මෙයට පසුබා සිටි එක හේතුවක් තමයි මට පිරිසක් නැතිකම. ඇත්තටම පිරිස් බලයක් මා වටා ගොඩ නගා ගන්න ඕන කමක් මට තිබුණෙත් නැහැ. එය කෑමෙන් බීමෙන් නොවෙයි කෙරෙන්න ඕනේ. මගේ යහපත් ගති පැවතුම් තුළයි එය වෙන්න ඕනේ. ඉතාලියේ දී මම වීදුරු වලින් වසා තිබුණු යේසුස් වහන්සේගේ ප්‍රතිමා සිප ගනිමින් දණ ගාගෙන යනවා දුටු සමහර අය ‘ඇයි එහෙම කරන්නේ’ කියලා ඇහැව්වාම මම කිව්වා - ‘මම හොඳ බෞද්ධයෙක් නිසා’ කියලා. හොඳ බෞද්ධයාට කොයි ආගම දහමත් එකයි. එහෙම නේද වෙන්න ඕනි. ලෝකයේ තෙත් හදවත් තියෙන යහපත් පුද්ගලයින් ඇසුරට ලැබීම හරියට වටිනවා. ඒක හරියට ගිනියම් වෙච්ච වැල්ලක යනකොට මහ වැස්සක් ඇද හැලෙනවා වාගෙයි. ඒ නිසා එවැනි පුද්ගලයින් ඇසුරට අපි මතු මතුත් ප්‍රාර්ථනා කරනවා, කෙම් බිමකට සම්ප්‍රාප්ත වුණා වගේ.
ඒ වගේ තමයි ලාබ ලබන තෘෂ්ණාවලින් තොරව ආගම්, කුලමල, ජාති භේදවලින් තොරව කටයුතු කරන යහපත් මිනිස් යුවළක් ලෙස මේ සතීන්ද්‍ර විජේපුර පවුල මට හඳුනාගන්න ලැබීමත්. මීට ඉහත දී මොවුන් මට මුණ ගැසුණා නම් මේ ප්‍රසංගය මෙතරම් ප්‍රමාද නොවී පවත්වන්න තිබුණා. ඒත් ඉතින් දෙවියන් වහන්සේගේ කැමැත්ත තමයි මේ. දෙවියන් වහන්සේගේ අනුදැනුමෙන් තොරව අපිට කිසි දෙයක් කළ නොහැකියි කියා මා හිතනවා. මට පිරිසක් නැතිකම හැරුණු විට මේ ප්‍රසංගය ප්‍රමාද වෙන්න තවත් කරුණක් වුණේ ‘ප්‍රසංගයක් සඳහා අනුන්ගේ මුදල් වියදම් වෙනවාට මා තුළ පැවති අකැමැත්ත. ඇයි ඒවා මගේ නොවන හින්දා. මගේ නොවන අනුන්ගේ අබමල් රේණුවක තරමක දෙයක් මා කිසි දවසක මගේ ගෙදරට ගෙනල්ලා නැහැ. අනික් විශේෂ කරුණ තමයි මං ගෙදර දොර, දරු පවුල එක්ක හරියට බැඳිලා සිටීම. පැය විසි හතරෙම ගෙදර දොර බලාගෙන ඉන්න ඕනකමක් මගේ තියෙනවා. එමෙන්ම ප්‍රසංගයක් කරනවා කියන්නේ දුක් සහිත ක්‍රියාදාමයක්. ඒ දුක විඳින්නත් මගේ කැමැත්තක් තිබුණේ නැහැ.”
එසේ නම් “සොඳුරු අතීතය” ප්‍රසංගය එළි දකින්නේ ඔබේ අකැමැත්තෙන් ද..?
”දැන් එහෙම නැහැ. මුලදී මම මෙයට 99.9% ක්ම පසුබෑවා. මොකද මෙවැනි ප්‍රසංගයක් ඉදිරිපත් කිරීමේදී වේදිකාගත කිරීම දක්වා මොනතරම් දුක් කම්කටොලු රාශියකට මුහුණ දෙන්න වෙනවද කියන එක මම දැනගෙන උන්නු හින්දා. මම අනික් අයගේ ගීත අහලා සතුටු වෙනවා. මටත් තව දෙතුන් දෙනෙකු ගී ගයන ප්‍රසංගයක ගී ගයන්න ලැබුණාම ගිහිල්ලා ඔය කීයක් හරි ලැබෙන මුදලින් විදුලි බිල්, දුරකථන බිල් ආදිය ගෙවා ගෙන ඉන්න එක හොඳයි කියලයි මං හිතාගෙන උන්නේ. හැබැයි ඉතින් සත්‍ය ක්‍රියා කරමින් මගේ දයාබර බිරිය (මාලනී) මේ ප්‍රසංගය පසුපස උන්නානේ. එතැන තමයි මේ ගැටය තදම වුණු තැන. සතීන්ද්‍ර සහ ඩිලානි විජේපුර යුවළ සමඟ එකතු වෙලා මාලනී ප්‍රසංගය කරන්න වෙන තැනටම කටයුතු සැලැස්වුවා. දැන් ඉතින් මේ හැමදේකටම මුල් වෙන්නේ මමයි. මගේ ගී ගායනාවන්ට අතීතයක් තිබුණානේ. ඒ නිසා තමයි වර්තමානය හරහා අනාගතය කරා යන්නේ.”
ඔබේ “සොඳුරු අතීතය” ප්‍රසංගයට දායක වෙන අනිකුත් ශිල්පීන් කවුරුන් ද..?
”සංගීත අධ්‍යක්ෂණය සිදු කරනු ලබන්නේ රෝහණ වීරසිංහයන් විසිනුයි. පිටපත හා සම්බන්ධීකරණය සමුද්‍ර වෙත්තසිංහගෙන්. කථනය වසන්ත රෝහණ විසින් කරනු ලබනවා. ස්වාධීන රූපවාහිනිය විද්‍යුත් මාධ්‍ය නිල අනුග්‍රහය සපයනවා. විශේෂයෙන්ම මෙම ප්‍රසංගය සඳහා මුලින්ම මට කතා කරලා මෙයට අනුග්‍රහය ලබා දෙමින් මා සමඟ ඉන්නේ මගේ ගීත රසික දෙපොළක් වන සතීන්ද්‍ර සහ ඩිලානි විජේපුර යුවළයි. ඔවුන් සමඟ කතා බහ කර මෙයට මැදිහත්කාරකම් කළේ මගේ දයාබර බිරිය මාලනියි. ඇය හොඳ බිරියක්.”
මාලනී ඔබේ දයාබර බිරිය පමණක්ම නොවී ඔබේ සෞන්දර්ය චාරිකාව නැවුම් ඉසව්වකට හැරවීමටත් දායක වූවා නේද..?
ඔව්, මා ගැයූ ඇතැම් ගී අසා ‘ඔය බොළඳ ගී ගයන්නේ මොනවටද’ කියා විමසමින් කරුණු පහදා දෙමින් ‘සොඳුරු අතීතය’ සහ ‘අම්මා සඳකි’ වැනි ගී සංකල්පනා ලියා දීලා මාලනී මට අනගි දායකත්වයක් සපයා දී තියෙනවා. කලකට පෙර කැසට් ගීත මැජික් එකෙන් විසංඥ වෙලා මා ගීත ගය ගයා සිටිද්දීත් ගායනයට සුදුසු ගී පදමාලා තෝරා ගැනීමේදී මාලනීගෙන් ලැබුණු දායකත්වයත් අනගියි. මාලනී ලියන්නේ උත්තරීතර ප්‍රේමය පිළිබඳවයි. ගායන ශිල්පියෙකු පැවැත්මට නම් යහපත් පවතින ගී නිර්මාණ ගයන්න ඕනේ. මාලනී මගේ ගමන ඒ යහපත් ඉසව්ව කරා හැරෙව්වා.”
”යහපත් ගී නිර්මාණ” ලෙස ඔබ හඳුන්වන්නේ කුමන ගී නිර්මාණ ද..?
”මේ ලෝක වාසීන්ට වැඩදායක වන ගී නිර්මාණ තමයි යහපත් ගී නිර්මාණ වෙන්නේ. මා මීට ඉහතදීත් ඔබ සමඟ පවසා ඇති මේ කාරණා. පසුගිය කාලය පුරාම වැඩිපුර ගී නිර්මාණ බිහි වී ඇත්තේ ආනන්දය පිණිසම නොවේ. එය විශාල අඩුපාඩුවක්. ගීත ශ්‍රාවක මේ රටේ ජනතාවට ආනන්දයෙන් ප්‍රඥාවට යා හැකි යහපත් ගී නිර්මාණ බිහි කිරීමේ මෙහෙවරය ඉටු කිරීමට කලාකරුවන් ලෙස අප බැඳී සිටිනවා. අප රට වැනි සංවර්ධනය වෙමින් පවතින රටක කලාකරුවන් වශයෙන් ජන ජීවිතයට ප්‍රයෝජනවත් වන යහපත් කලා කෘති නිර්මාණය කිරීමේ වගකීම අපට පැවරී තිබෙනවා. මේ රටේ ජනතාව රට දැය, මිනිස් ජීවිතය, පරිසරය පිළිබඳ ආදරය මෙන්ම භේද බින්න නොවී එකමුතුව වැඩ කරන්න ආසාව උපදවන සාරගර්භ අර්ථ පූර්ණ ගී ගැළපෙන තනු සහ සුදුසු ගැයුම් සහිතව ඉදිරිපත් කිරීම කළ යුතුව තිබෙනවා. එවැනි සාරවත් ගී නිර්මාණ මඟින් හරියට දහමකින් කියා දෙනවා වගේ ජීවිතය උගන්වන්න පුළුවන් කියා මම විශ්වාස කරනවා.”
ඉසුරු පුතා ඔබේ මෙම ප්‍රසංගයේ ගී නොගයන්නේ ඇයි?
”ඉසුරු පුතා වෙනම එයාගේ අනන්‍යතාව ගොඩ නගා ගනිමින්නේ ඉන්නේ. අනික මං පුතා සමඟ ගැයූ ගීතත් නැහැනේ. මගේ ගීත ගයන්න දෙදෙනෙකු ඕනෙත් නැහැ. මමම ගයනවා.”
ඔබේ කලා දිවියේ ආරම්භය පිළිබඳව කෙටියෙන් පවසනා නම්..?
”වයලීන වාදකයෙකු ලෙස තමයි මතකය අවදි වෙන්නේ. සරත් දසනායකයන් යටතේ වේදිකා නාට්‍ය සඳහා මමත් වයලීන වාදකයකු ලෙස සහභාගී වී තිබෙනවා. පසුව සී.ද.ඇස්. කුලතිලකයන්ගේ ‘ස්වරංගා’ විවිධ ප්‍රසංගයට වයලීන වාදකයකු ලෙසින් සහභාගි වී දැන හඳුනා ගෙන තමයි 1970 දී පමණ ගුවන් විදුලියේ ජන සංගීත පර්යේෂණ වැඩසටහන් තුළින් ගායනයට එක්වුණේ. ‘ගාන තෙල් සඳුන් වරලස’ – ‘බැද්ද වටට සුදු මොරමල් පිපීලා’ සහ ‘දෑතට වළලු’ වැනි ගී තුළින් තමයි මගේ කටහඬ මුලින්ම ශ්‍රාවකයන්ට ඇහෙන්න ගත්තේ. එමෙන්ම ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ සිම්පනි හා චිත්‍රපට ආදියේත් මම වයලීන වාදකයකු ලෙස කටයුතු කළා මට මතකයි.”
වත්මන් සංගීත ක්ෂේත්‍රයේ නව පරපුර සහ ඔවුන්ගේ ගී නිර්මාණ පිළිබඳ ඔබට හැඟෙන්නේ කෙලෙසද..?
”අපි නම් ආවේ සංගීත විෂයට ගරු කරමින් එය හිස මුදුනේ තබාගෙනයි. අපේ ගුරුවරුන්ට අපි සැලකුවේ ගුරු දෙවිවරු ලෙසයි. එවිටයි අදාළ විෂය (ගායනය හෝ සංගීතය හෝ) නිවැරදිව පිහිටන්නේ. අද නව පරපුර එලෙස නැහැ. විෂය නොදන්නාකම නිසා වර්තමාන නව පරපුරේ ගීතවලට පැවැත්මක් නැහැ. නිසි පද රචනයක්, ගැළපෙන තනු නිර්මාණ නැහැ. අනික අපට ආවේණික වූ ගී කෙත ඔවුන් තෝරා බේරා ගෙන නැහැ.”
”දෙරණ මියුසික් වීඩියෝ” සම්මාන උලෙළට සහභාගි වීමෙන් වරදක් කළෙළ් යයි ඔබට නැඟෙන චෝදනාව ගැන ඔබ කියන්නේ කුමක්ද..?
”මමම කියා ගන්නවා අපි අහිංසකයි කියලා. අපි කාගේවත් හිත් රිදවන මිනිස්සු නෙමේ. හැබැයි අපිත් එම සම්මාන ප්‍රදානයට සහභාගි වුණාට අපි ගියේ (මමයි, මාලනියි, ප්‍රදීපා ධර්මදාසයි) සිංහලකම රැකෙන ඇඳුම් ඇඳගෙනයි. අර පිස්සොත් ආවානේ – හිසේ පැත්තක් ගාගෙන, තෝඩු දාගෙන, කලිසමේ එක කකුලක් දිගටයි අනික කොටටයි ඇඳගෙන, බෑග් කරේ දාගෙන එහෙම. ඒවා අපි අනුමත කළේ නැහැ. කොහොම හරි එවැනි සම්මාන ප්‍රදානයකට අපිට ආරාධනා කරලා ‘දෙරණ’ අපිව අමාරුවේ දැම්මා. ඉතින් මින්පසු දෙරණත් එක්ක මේ ටී.එම්. ජයරත්න නැහැ. දෙරණ වරද්දා ගත්තා. ඒක අපේ නාළිකාවක් වෙන්න බැහැ. ඒක කොහේවත් වෙන රටක නාලිකාවක්. මම පය ගහලා ඉන්න දෙරණ මට ඕනේ. ඒත් ඔය දෙරණ රූපවාහිනිය නම් ටී.එම්. ට එපා.”

READ MORE - මේ ප්‍රසංගයට පුතා නෑ ---------------------------------------------------- ටී.එම්. ජයරත්න

ක්ලැරන්ස්ගේ ගීත රජිව්ට සපුරා තහනම්!


රජිව්ට ඕනෑ කරන්නේ උපහාර මුවාවෙන් සල්ලි හම්බු කරන්නයි

ක්ලැරන්ස්ගේ ගීත රජිව්ට සපුරා තහනම්!
ශීලා විජේවර්ධන
ක්ලැරන්ස් විජේවර්ධන විසින් නිර්මාණය කරන ලද “ගී” ඔහුගේ බුද්ධිමය දේපළ ය. එම දේපළ සඳහා වර්තමානයේ හිමිකරුවන් වී සිටින්නේ ක්ලැරන්ස්ගේ බිරිඳ ශීලා විජේවර්ධන සහ දියණිය අමිලාත් ය. දැනට ඔවුන් පදිංචි වී හිඳින්නේ ඕස්ට්‍රේලියාවේ වන හෙයින් එම දේපළ පිළිබඳ ඇටොර්නි බලකරු ලෙස සිරි හෙට්ටිආරච්චි කටයුතු කරයි.
ක්ලැරන්ස්ගේ ගී නිර්මාණ පමණක් නොව ක්ලැරන්ස්ගේ නම හෝ කිසියම් සංගීතමය කටයුත්තක් සඳහා යොදා ගන්නේ නම් ක්ලැරන්ස් පාර්ශ්වයේ අවසරය ඇතුව එය කළ යුතුව ඇති අතර පසුගිය මාර්තු 31 වැනිදා නෙළුම් පොකුණ රඟහලේ දී රජීව සෙබස්තියන් පැවැත්වීමට සූදානම් වූ ගීත ප්‍රසංගය අවලංගු කිරීමට සිදුවිය. නැවතත් එම ප්‍රසංගය අප්‍රේල් මස දිනෙක පැවැත්වීමට රජිව් වෑයම් කළත් එය ද අවලංගු කිරීමට ඔහුට සිදුවිය.
දැන් රජිව් එම ප්‍රසංගය වෙනස් මුහුණුවරකින් පැවැත්වීමට වෑයම් කරගෙන යන බවත් ඊට එරෙහිව ක්ලැරන්ස් පාර්ශවයෙන් ශිලා ද ලංකාවට පැමිණ කටයුතු කරගෙන යන බවත් “රසඳුන” ට දැන ගන්නට ලැබුණි. ඒ පිළිබඳ විමසීමේ දී ශීලා විජේවර්ධන සමඟ සිරි හෙට්ටිආරච්චි විසින්කරන ලද කරුණු එළිදරව්වකි මේ.
“අපි ක්ලැරන්ස් විජේවර්ධනගේ බුද්ධිමය දේපළ සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු කරනවා. කරුණු හරියාකාරව නොදන්නා ඇතැමුන් මේ ගැන වරදවා හිතනවා. අපට විරුද්ධව නොයෙකුත් අදහස් ප්‍රකාශ කරනවා. අපි කරන්නේ අපිට නීතිමය වශයෙන් ලැබී තිබෙන ආවරණය යටතේ ක්ලැරන්ස්ගේ බුද්ධිමය දේපළ රැක ගැනීමයි.
අනවසරයෙන් බලහත්කාරයෙන් හා අයුතු ලෙසත් සදාචාරාත්මක නොවන ලෙසත් ක්ලැරන්ස්ගේ ගී නිර්මාණ භාවිත කරන කා හට වුවද එරෙහිව සුදුසු නීතිමය පියවර ගැනීමට අපි පසුබට වෙන්නේ නැහැ. එහිදී රජිව් සෙබස්තියන් ක්ලැරන්ස්ට උපහාර පිණිස යයි පවසමින් කරනු ලබන ප්‍රසංග ආදිය පිළිබඳ විශේෂ අවධානයකින් යුතුව කටයුතු කරන්න අපට සිදු වී තිබෙනවා.
මන්ද රජිව් ක්ලැරන්ස්ගේ ගීත ඇතුළත් ප්‍රසංගයක් පවත්වන බව පවසමින් ගායක ගායිකාවන් මෙන්ම ප්‍රවේශපත් කලින් අලෙවි කර ගීත රසික රසිකාවියන්ව ද රවටනවා. ඔහුට එවැනි ගී ප්‍රසංගයක් කිරීමට බැහැ.”
රජිව් පැවැත්වීමට සූදානම් කළේ ක්ලැරන්ස් වෙනුවෙන් උපහාර ප්‍රසංගයක් නොවේ ද?
නැහැ. රජිව් කරන්නේ බොරුමයි. අපි ක්ලැරන්ස් වෙනුවෙන් උපහාර කොපමණ කරලා තියෙනව ද. රජිව් කවුද - ක්ලැරන්ස් වෙනුවෙන් උපහාර කරන්න. ඔහුට ක්ලැරන්ස්ගේ සින්දු කියන්න ඕනෑවට කියන කතා ඕවා.
ක්ලැරන්ස්
අපි ඉන්න කොට ක්ලැරන්ස්ට උපහාර කරන්න ඔය අහක ඉන්න අය මෙහෙම බලහත්කාරයෙන් ප්‍රසංග පවත්වන්න හදන්නේ ඇයි? රජිව් කියන්නේ ක්ලැරන්ස් ජිවත් වෙලා ඉන්න කොට ආශ්‍රය කරපු හෝ ගෙදරට වත් ඇවිත් ගිය පුද්ගලයෙක් නෙමේ. කවදාවත් ක්ලැරන්ස් රජිව්ට එකම එක සින්දුවක් වත් හදලා දීලත් නැහැ.
එහෙම පුද්ගලයා මොකටද ක්ලැරන්ස් වෙනුවෙන් උපහාර ප්‍රසංග කරන්නෙ? ඕනෑම කෙනෙකුට තේරෙනවානේ, රජිව්ට ඕනෑ කර තියෙන්නේ උපහාර ප්‍රසංගයක් කරන මුවාවෙන් හෝ ක්ලැරන්ස්ගේ ගී නිර්මාණත් ඔහුගේ නමත් විකුණා මුදල් උපයන්නයි.”
ටී. එම්. ජයරත්න, නිහාල් නෙල්සන් සහ ජැක්සන් ඇන්තනී වැනි ප්‍රවීණ ශිල්පීන් කිහිප දෙනෙකුත් රජිව්ගේ මෙම ප්‍රසංගයේ දී ගැයීමට නියමිතයි නේද?
රජිව්
එහෙම ඔවුන්ගේ නම් යොදා ගෙන තිබුණට අපි හිතන්නේ නැහැ ඒ කවුරුන්වත් ඔය ප්‍රසංගයේ ක්ලැරන්ස් ඔවුන්ට හදා දුන්න ගී ගයන්න යයි කියලා. ටී. එම්. ජයරත්න කවදාවත් කොච්චර සල්ලි දුන්නත් රජිව්ගේ ඔය ප්‍රසංගයේ ගී ගයන්න යන්නේ නැති බව අපිට විශ්වාසයි අපි ටී. එම්. ගෙන් ඇහැව්වාම ඔහු ඒ බව කිව්වා.
ජැක්සන් ගෙන් ඇහැව්වාම ඔහු කිව්වේ ‘අනේ ශිලා අක්කේ, මට කියලවත් නැහැ. මං දන්නෙත් නැහැ’ කියලයි. ඒ වගේමයි ශ්‍යාම් ෆොන්සේකා සහ ලාංකිකා පෙරේරාත් ‘යන් නෑ’ කිව්වා.
රජිව්ට වගේම රජිව්ගේ ඔය ප්‍රසංගය ඔහු කවදා පැවැත්වුවත් ක්ලැරන්ස්ට අයිති ගීත එහිදී ගායනා කිරිම ඕනෑම ගායකයෙකු හෝ ගායිකාවක හට සපුරා තහනම්. එහෙම ගායනා කළොත් ඊට විරුද්ධව නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට අපි පියවර ගන්නවා.”
රජිව් සිය සංගීත ජීවිතේ “වීරයා” ලෙස සලකන්නේ ක්ලැරන්ස්ව බව පවසනවා - නේ...?
ක්ලැරන්ස්ගේ නම විකුණා ගෙන ජීවත් වෙන්න ඕන හින්දා ඕවා කිව්වාට රජිව් සහ ක්ලැරන්ස් අතර කිසිම සම්බන්ධතාවයක් තිබුණේ නැහැ. මට දිවුරා ප්‍රකාශ කරන්න පුළුවන් ඒ බව. අඩුම වශයෙන් කවදාවත් රජිව් ක්ලැරන්ස්ව හම්බ වෙලාවත් නැහැ. ක්ලැරන්ස් ජීවත් වෙලා සිටිද්දී කියා තිබෙනවා - ‘මට පිරිමි දරුවෙකු උන්නා නම් මගේ සින්දු ඒ දරුවාට කියන්න දෙන්නෙ නැහැ.
මං කැමැති නැහැ මගේ සින්දු වෙන කවුරුවත් කියනවාට’ කියා. එහෙම කිව්ව ක්ලැරන්ස් උන්නා නම් ඔහුගේ සින්දු රජිව් කියනවාට කැමැති වෙයි ද? මම අභියෝග කරනවා හැකි නම් මේවා බොරුයි කියා ඔප්පු කරන්න කියලා. ක්ලැරන්ස් රජිව්ගේ සංගීත ජීවිතයේ වීරයා නම් ඒ වීරයාට සලකන හැටි ද මේ ඔහුගේ බුද්ධිමය දේපළ මංකොල්ලකමින් කරන්නේ කියලත් මං ඔහුගෙන් අහනවා.
මීට ඉහතදී රජිව්ට විරුද්ධව අපි පැවරූ නඩුව විභාගයට ගැනීමට ප්‍රථම වරද පිළිගෙන ලක්ෂ විස්සක් ගෙවන්න පොරොන්දු වෙලා එම මුදල අද වනතුරුත් නොගෙවා ඉන්නවා මදිවාට, ඒ මුදලින් කොටසක් ලෙස රුපියල් දෙලක්ෂ පනස්දාහකට මුදල් නොමැති චෙක් පතක් දී වංචා කොට ඉඳගෙන ද (අදාළ නඩු සහ පොලිස් පැමිණිලි අංක ද සඳහන් කරමින්...) රජිව් ඔහුගේ වීරයාට (ක්ලැරන්ස්ට) උපහාර කරන්න හදන්නෙ? මේ කරුණු එළිදරව්වෙන් පසුව වත් රජිව්ගේ බොරුවට රැවටෙන්න එපා කියලා ක්ලැරන්ස්ගේ ගී තනු, පදමාලා ගැයූ ගායක ගායිකාවන්ගෙන් ද, සංගීතලෝලී සියලු රසිකයන්ගෙන් ද අපි ඉල්ලා සිටිනවා. නැවතත් අපි පැහැදිලිව පවසන්නේ රජිව් සෙබස්තියන්ට ක්ලැරන්ස් විජේවර්ධනගේ ගී සපුරා තහනම් වගයි.”
READ MORE - ක්ලැරන්ස්ගේ ගීත රජිව්ට සපුරා තහනම්!