----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

Lanka Art Chat Room - එන්න අපි කතා කරමු

ගැහැනු කයක්‌ සහිතව ඉපදී විවිධ අතවර විඳි අනෝමා

Tuesday, May 3, 2011

ගැහැනු කයක්‌ සහිතව ඉපදී
විවිධ අතවර විඳි අනෝමා



"අනෝමා ජනාදරී" ඔබට අලූතින් ම හඳුන්වා දිය යුතු තැනැත්තියක්‌ නොවේ. ඇයගේ රංගනයන් සිනමාවෙන්, පුංචි තිරයෙන්, වේදිකාවෙන් ඔබ ඕනෑ තරම් දැක තිබෙනවා. අපි මේ කියන්නට යන්නේ ඇයගේ රංගනය ගැන නම් නොවෙයි. අනෝමා, අලූත් වැඩකට අත ගහලා, ඒ ඇගේ ජීවිත කතාව පොතක්‌ ලෙසින් පළ කරන්නට. එහි පළවෙනි කොටස හෙට, මැයි මාසේ 03 දා ශ්‍රී ලංකා රූපවාහිනි අභ්‍යාස ආයතනයේදී දොරට වඩිනවා.

"කුඩා ගැහැනු දරුවෙකු විදියට මම, මගේ ජීවිතයට මුහුණදෙන්නට සිදු වුණ කටුක අත්දැකීම් මැද්දේ කකුල් දෙක බිම ගහගෙන, ඉදිරියට ආවේ කොහොමද කියලා මං මේ පොතේ ලියලා තියෙනවා."

අනෝමා කතා බහ පටන්ගත්තේ එහෙමයි.

පුංචි දැරිවියකව සිටි අවදියේ සිට විශ්වවිද්‍යාල ප්‍රවේශය තෙක්‌ වූ කාලසීමාව ඇය මෙම කෘතියට එකතු කරගෙන ඇත.

"මම මේ පොත නම් කරලා තියෙන්නේ "පුනරුක්‌ති" නමින්. මෙහි ඇතුළත් වෙන සියලූ දේ සත්‍යයයි. මගේ කුඩා කාලයේ සිටම මට දැනුන දෙයක්‌ තමයි ගැහැනු කයක්‌ සහිතව ඉපදීම නිසා මට විවිධ අතවරයන්ට මුහුණදීමට සිදු වූ බව. ශාරීරික පීඩාව ගැන විතරක්‌ නෙමෙයි මං මේ කියන්නේ. ශාරිරික පීඩාව අභිභවා යන දෙයක්‌ මානසික පීඩාව, ශාරීරික පීඩාව අමතක වෙනවා, ඉවරවෙනවා. ඒත් මානසික පීඩාව සදාකාලිකයි. ඉතිං කුඩා දරුවෙක්‌ විදියට මං මේවාට මුහුණ දුන්නේ කොහොමද කියලා මං මේ පොතේ ලියලා තියෙනවා. පොතේ එක තැනකත් මං ලියලා තියෙනවා, "අම්මයි, තාත්තයි මාව සමාජයට විසි කළේ හරියට කුණු ගොඩකට කුණු වීසි කරනවා වගේ. මට ලේසියෙන් කුණු වෙලා යන්න තිබුණා. ඒත් ඒ හැම වෙලාවෙම මං පැළ වුණා. "මෙන්න මේ අත්දැකීම් කවදා හෝ පොතක්‌ මගින් එළිදක්‌වන්න ඕන කියලා මං හිතාගන හිටියේ.

මගේ කුඩා කාලේ හරිම සුන්දරයි, නැවුම් ඒ දරුවාට සමාජයේ වැඩිහිටියන් සිද්ධ කරන දේ තමයි මං ලියලා තියෙන්නේ.

අම්මා, තාත්තා, නෑදෑයෝ , වැඩිහිටියන් හැම දෙනාටම නිල නොලත් බලයක්‌ ලැබෙනවා. අර පුංචි දරුවාට අඩන්තේට්‌ටම් කරන්න. මේකට කියන්නේ හරියාකාරව සමාජගත කරනවා කියලා. නමුත් කරන්නේ මොකක්‌ද මානසිකව පීඩාවකට පත් කිරීමක්‌.

මට මතකයි මං වැඩිවියට පත්වෙලා ගේ ඇතුළේ ඉද්දී මට දුන් අවවාද. මං අහන්නේ මේ දේවල් ඒ ගොල්ලෝ පිළිපැද්ද ද? මං පොඩි කාලෙත් මේවා ප්‍රශ්න කළා. එයාලට කරන්න බැරි වුන දේ අනෙක්‌ අය ලවා කරවන්න උත්සාහ කරනවා. මට දෙයක්‌ එපා කිව්ව නම්, මං ඒ දේ කළා. මට කලිසමක්‌ අඳින්න දුන්නේ නෑ. බයිසිකලයක්‌ පදින්න දුන්නේ නෑ. ඒ ගෑනු ළමයෙක්‌ නිසා. මගේ අයියාට දීපු පහසුකම් මට දුන්නේ නෑ. එයාට පුළුවන් තරම් පහසුකම් සපයන අතරේ, මට ගෙදර වැඩ, රෙදි සෝදන්න, අනෙකුත් වැඩ. ඒ වුනත් අයියාට බලය තිබුණා මට ගහන්න. අඩන්තේට්‌ටම් කරන්න. ඒ පිරිමියෙක්‌ නිසා. මං අහන්නේ කොහොමද එහෙම බලයක්‌ දෙන්නේ. මටත් පුලූවන් එයාට ගහන්න. මං එයාගේ ඔළුව පැළුවා..

ළමයි කවුරුත් ළමයි. ගැහැනු පිරිමි කියලා බේදයක්‌ තියෙන්න බෑ. හැමෝම සමානයි. මෙන්න මේ ගෑනු පිරිමි වෙනස ගෙදරදීම හදන නිසා තමයි ළමයි සමාජගත වන විටත් වෙනස්‌කම් ඇතිව සමාජගත වෙන්නේ. ඊට පස්‌සේ ගෙදර ඉන්න කාන්තාවට සලකන්න ඕන කොහොමද කියලා පිරිමියා දන්නේ නෑ. සමාජයේ අනිත් කාන්තාවන්ට සලකන්න දන්නේ නෑ. මේ නිසා තමයි තමන්ගේ ශරීරය සංතෘප්ත කරගෙන ගෑනිට පිහියෙන් ඇනලා මරලා දාන්නේ. දරුවෝ අතවරයට පත් කරන්නේ.

ඉතිං, මට ඕන වුනේ කාන්තා පරපුරට විශේෂයෙන්, හෙට කාන්තා පරපුරට මෙන්න මේ දේ දැනුම් දෙන්නයි. දරුවෙක්‌ ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක්‌ , තාත්තා කෙනෙක්‌ මේ පොත කියවන්න කියලා මං ඉල්ලා සිටිනවා. තමන්ගේ ගැහැනු දරුවාට වෙනස්‌කම් නොකර මානසික, පීඩාවකට ලක්‌නොකර හදා ගන්න එය උදව්වක්‌ වේවි.

මම දන්නවා, මේ පොතේ තියෙන්නේ මගේ කතාව වුනත්, මේක බහුතරයකගේ කතාව. ඒත් ඔවුන් තමන් මුහුණ දුන් අසාධාරණය හෙළි කරන්නේ නෑ. නමුත් මම ඒ දේ කළා." අපි මේවා සඟවාගෙන සිටීමෙන් සිදුවන්නේ මේ අසාධාරණකම් දිගින් දිගටම සිදුවීම පමණයි.


චාමරි බණ්‌ඩාර
ඡායාරූප - සුජාතා ජයරත්න

Nawaliya

0 comments:

Post a Comment