අනුලා කරුණාතිලක
කිරල – මැනල වෙන් කරන්න බැරි හුඟක් දේ ජීවිතයට අදාළයි.
හරියට, ඇතිවෙලා - නැතිවෙලා යන බොහෝ බැඳීම් අතරෙ ජීවිතේ කොහේ හරි තැනෙක ආදරේ නවතිනව වගේ.
සමහර විට, ජීවිතේ පුරාම රැඳිල ඉන්නෙත් එහෙම රැඳෙන එකම ආදරයක්. වියෝ වුණත් ඔවුන් හදවතින් ඈත් නොවෙන්නෙත් ඒ නිසා.
අනුලා කරුණාතිලක ප්‍රවීණ රංගවේදිනියගෙ ජීවිතේ හමු වූ ශ්‍රේෂ්ඨ සුවිශේෂී චරිතෙ වෙන්නෙත් එහෙම කෙනෙක්.
දයා රණවීර. ඇගේ පි‍්‍රය හිමි.
වියෝ වුණත් ඔහු තවම ඇගේ හිතේ ජීවත් වෙනව.
”ඒ හමුවීම මට අද වගේ මතකයි. මං තාත්තා එක්ක දවස පත්තර කන්තෝරුවට ගියේ රූප සුන්දරී තරගෙදි ගත්තු මගේ පින්තූරයක් ඉල්ලා ගන්න. ඒක මමම යවපු එකක්.
කර්තෘ ළඟට ගිහින් කතා කරනකොට, එවෙලෙම වගේ දයා එතැනට ආවා.
”ආ... මේ ඉන්නෙ ඔය පින්තූරවල අයිතිකාරයා. එයාගෙන්ම අහල දැනගන්න...” කියල කර්තෘ දයාව පෙන්නුව. මං දයාගෙන් පින්තූරෙ ගැන ඇහුවා.
”ඒ පින්තූරෙ හොඳ මදි. කැමැති නම් අපි කවරෙකට හොඳ පින්තූරයක් ගමු... දවසක තාත්තා එක්ක එන්න...”
”බොහොම නිවිච්ච කතා බහ. වැදගත් පෙනුම. ඇත්තටම එදා හිතුණ දයා හොඳ මහත්මයෙක් කියල.
අන්තිමේ අපි විවාහ වුණා. ඒ බැඳීම – ආදරේ මැරෙනකල්ම හිතේ තිබුණා. දයා මට හොඳ සැමියෙක් වගේම මගේ දරුවන්ට ආදරණීය තාත්තෙක්. ඒ හිස්තැන තාමත් දැනෙන්නෙ දයාගේ ශ්‍රේෂ්ඨ ගති ගුණ නිසා...
මාව නිළියක් කළේ එයා. ඒ ගෞරවයත් හිමි එයාට. මේ ජීවිත කාලෙදි මොන තරම් පිරිසක් මුණ ගැහුණත් දයා එක්ක බැඳුණු - ගෙවපු ජීවිතේ මට සදා අමරණීය වෙන්නෙ ඒ නිසා...”
දයා - අනුලා ආදර කතාවත් එක්ක ඈ නිළියක් වෙනව.
ඊට විවරණ දෙන්නෙ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ජ්‍යෙෂ්ඨ සිනමා අධ්‍යක්‍ෂවරයා.
”දවසක් ජී. ඩබ්ලිව් සුරේනුයි, සුගතපාල ද සිල්වයි අපේ ගෙදර ආවා. ඒ ගොල්ලො කිව්වා ගිහින් ලෙස්ටර් මහත්මයා මුණ ගැහෙන්න කියල. ඒ 1962 අවුරුද්දෙ දවසක. දවසක් ලෙස්ටර් මහත්මයා වාහනයක් එවල තිබුණා. තාත්තයි මායි එතුමගෙ දෙහිවල මහ ගෙදරට ගියා. එදා තමයි මම මුලින්ම ලෙස්ටර් ජේම්ස් පීරිස් සූරින් මුණගැහුණෙ.
”අපි රූප සුන්දරී තරගෙ බලන්න ගියෙත් ‘ගම්පෙරළියට’ නන්දා කෙනෙක් හොයන්න. ඔයා පුංචි වැඩියිනෙ. ඒත් දැන් මට ඔයාව අතාරින්නත් ලෝබයි. බලමු ඔයාට මොනවද කරන්න පුළුවන් කියලා..” එහෙම කියල මට ගම්පෙරළියෙ නන්දගෙයි – පියල්ගෙයි දෙබසක් දුන්නා.
එදා ඒ ගෙදර තව කෙනෙක් හිටියා. ගාමිණි ෆොන්සේකා. මට පුදුමයි.
අපි ඉස්කෝලෙ කෙල්ලො ටික එකතු වුණාම ඒ දවස්වල කතා කළේම ‘සංදේශය’ ගැන. ගාමිණිගෙ ‘සංදේශයෙ’ චරිතෙ නිසා මං එච්චර ආසා වුණේ නැහැ. ඒත් හැබෑවට දකිද්දි හරි සතුටක් දැනුණා.
ලෙස්ටර් මහත්මයා මට කියන්න කියපු දෙබසෙදි ගාමිණි ‘පියල්’ වෙන්න කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා. ඇත්තටම නන්දගෙ දෙබස් ටික මට කියන්න පුළුවන් වුණේ එයා ඒ උදව්ව කළ නිසා. එතකොට මට වයස 16 යි.
කොහොමටත් නන්දා වෙන්න මං පුංචි වැඩියි කියලා මටත් දැනුණා. ඒක මුළු චිත්‍රපටය පුරාම විහිදෙන ප්‍රධාන චරිතයක්. අන්තිමේ ලෙස්ටර් මහත්මයා මාව ‘ලැයිසා’ කියන ටිකක් දඟකාර චරිතෙට තෝරා ගත්තා.
එදා මං පළමු වරට ලෙස්ටර් මහත්මයා දැක්ක වගේම පළමුවරට ගාමිණි මුණගැහුණෙත් එකම වහලක් යට.
අපේ ගෙදර හිටියෙ කෙල්ලොම විතරයි. තාත්තා තමයි එකම පිරිමියා. පිරිමි ළමයි එක්ක ඇසුරක් – කතා බහක් තිබුණෙම නැති තරම්. මේ දෙන්නම ඒ කාලෙත් සිනමාවෙ දැවැන්තයො. ඇත්තටම එදා හිතට පොඩි ලැජ්ජාවක් ආවා. ගාමිණි එක්ක දෙබස් කියන්න කිව්වම ඒ ලැජ්ජාව තවත් වැඩිවුණා.
නමුත් මට එතැනදි ගාමිණි උදව් කළේ හරියට ගුරුවරයෙක් වගේ.
ගාමිණි මගෙන් ඇහුවා ඔයා කැමැතිම නළුවා කවුද... කියල.
‘ඔයා නම් නෙවෙයි...’ මං ගත් කටටම කිව්වා. එයා මොකුත් නොකියා හිනා වුණා. එතකොට ගාමිණි හරි කඩවසම්. විවාහ වෙලත් නැහැ. ඇත්තටම ඒක වුණේ ‘සංදේශයෙ’ එයා කරපු සටන්කාමි චරිතෙ නිසා.
හර්බට් ඇම්. සෙනෙවිරත්න මගෙ කැමැතිම නළුවා. නමුත් මට කවදාවත් ඒක එයාට කියාගන්න බැරි වුණා. සිනමාවෙදි එයා බොහොම අහිංසක පෙම්වතෙක්. ගාමිණිට අරහෙම කියැවුණේ හර්බට් ඇම්. සෙනෙවිරත්නට තිබුණු ඒ කැමැත්ත නිසා මිස අහිතකින් නම් නෙවෙයි.
ගාමිණි සහ ලෙස්ටර් සූරින්, දයා ළඟට මට සුවිශේෂීම චරිත දෙක. මේ සියල්ල ඒ සුවිශේෂීකම එක්ක බැඳුණු දේවල්.
ගාමිණි එක්ක එදා බැඳුණු සමීපකම මැරෙනකල් තිබුණා. ‘චණ්ඩියා’ මං ගාමිණි එක්ක ප්‍රධාන චරිතෙ රැඟූ පළමු චිත්‍රපටය. මට හුඟක් වැරදුණා. ටයිටස් තොටවත්ත මහත්මයයි ගාමිණියි තමයි මට රංගනය ගැන කියා දුන්නෙ. ‘චණ්ඩියා’ කරද්දිමයි ‘පරසතුමල්’ සහ ‘සීතල වතුර’ චිත්‍රපට කළේ.
’පරසතුමල්වලට ගාමිණි මාව තෝරා ගනිද්දි මං ඒ තරම් කැමැති වුණෙත් නැහැ. ටෝනිගෙ පස්සෙන් යන පවුල් කඩන මහ අවුල් සහගත චරිතයක්. නමුත් ඊළඟට මගේ ජීවිතේට මුණ ගැහුණු සුවිශේෂී චරිතෙ මුණ ගැහෙන්නෙත් ‘පරසතුමල්’ නිසා.
ඒ ‘පරසතුමල්’ මංගල දර්ශනය දවස. ෆිල්ම් එක බලනකොටත් මගේ හිතේ චකිතයක්. ෆිල්ම් එක ඉවර වුණු ගමන් මගේ් ළඟට හිනාවෙවි කෙනෙක් එනවා. විලියම් ගොපල්ලව අග්‍රාණ්ඩුකාරවරයා.
”මට හරිම සන්තෝසයි. බොහොම අපූරුයි ඔයාගෙ රඟපෑම...” එහෙම කියල මගේ අත්දෙකම අල්ලගෙන හිටියා මොහොතක්. එයා එක්ක හිටපු අනෙක් ප්‍රභූන් පිරිසත් ඇවිත් මාව වටකර ගත්තා. එදා ඉඳල මොන උත්සවේදි මුණ ගැහුණත් එතුමා මගේ ළඟට ඇවිත් වචනයක් දෙකක් කතා
කරල මිස ගියේ නෑ.
මට අමතක නොවෙන්නෙ ඒ නිහතමානිකම. අපේ රටේ පළමු ජනාධිපතිතුමා. මේ හැම දෙයක්ම හිතද්දි ගොපල්ලව මැතිතුමාගේ හමුවීම මට සදා අමරණීයයි.
අනික් කෙනා ටෝනි. ටෝනි රණසිංහ. පටන් ගැන්මෙ පටන් අදටත් මගේ පරණ මිත්‍රයා. ඒ බැඳීමත් හැමදාම එක වගේ. සුමිත්‍රා පීරිස්, කරුණාසේන ජයලත්, වික්‍රම බෝගොඩ මේ අයත් මගේ මතකයේ රැඳුණු අමරණීය චරිත”
රංගන ජීවිතයේ සොඳුරු මතක අතර මේ හැමෝම අනුලගෙ හිතේ හැමදාමත් පෙළ ගැහිල.
ඒ හැමෝටම ඉදිරියෙන් අදත් හිනා පිරුණු මුවින් බලා ඉන්නව සේ දැනෙන්නෙ වියෝවූ පිය හිමි දයා රණවීර කියලයි අනුලා කියන්නෙ.
0 comments:
Post a Comment