----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

Showing posts with label බූන්දිගෙන්. Show all posts
Showing posts with label බූන්දිගෙන්. Show all posts

ඔබට තරුවන් සරණ සමග නිහොන් සැප ලැබේවා! | හඩ නළුවට නව එළියක්

Thursday, August 23, 2012


  රංග බූන්දි  
ඔබට තරුවන් සරණ සමග නිහොන් සැප ලැබේවා! | හඩ නළුවට නව එළියක්


මාලක දේවප්‍රියගේ "නිහොන් සැප ලැබේවා" රේඩියෝ කතා සංග්‍රහය දොරට වැඩීම, 2012 සැප්තැම්බර් 14 වන සිකුරාදා ප. ව. 3:00ට මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී. ආරාධිත දේශන- ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, ඩබ්ලිව්. එස්. විජේසිංහ සහ තිලිණ සමරසූරි
මාලක දේවප්‍රියගේ ගුවන් විදුලි නාට්‍ය රචනා කියවන්නට මට ලැබුණේ ඔහුගේ 'උගෙ හිස ඉවරයි' කෘතිය පළ කළ කාලයේය. ඒ නාට්‍ය එකතුවේ සිටම මෙරට මෙකල දැකිය හැකි සංස්කෘතික හා විනෝද කර්මාන්තයේ විප්‍රකාර, විචාරාත්මකව උපහාසයට ලක් කරන්නට තැත් කිරීම දකින්නට තිබිණ. 'නිහොන් සැප ලැබේවා' නම් මේ නාට්‍ය එකතුවෙහිත් ඒ ලක්ෂණ තවත් හොඳින් වර්ධනය වී තිබෙනු පෙනෙයි.

මෙම කෘතියෙහි එන 'තරුවන් සරණයි' නාට්‍යය මෙකල ලංකාවේ දැකිය හැකි නිස්සාර මාධ්‍ය සන්දර්ශනයේ හා තරු සංස්කෘතියේ ස්වභාවය ගැන දරුණු උපහාසයකි. වර්තමාන ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය කර්මාන්තයේ අරමුණ මොන මොන විසූක දස්සනයෙන් හෝ ලාභ ඉපයීම බව නොරහසකි. තරු වැඩසටහන් මගින් ඇතැම් විට යම් යම් දක්ෂතා මතු වුවද එමගින් ඇති කෙරෙන නොගැඹුරු විනෝද සංස්කෘතිය දීර්ඝ කාලීන වශයෙන් හරවත් කලාවේ අවකාශය හා අවස්ථාව විනාශ කරන බව පෙනේ. අවුරුදු තුනේ දරුවාගේ සිට වැඩිමහල්ලන් දක්වා බොහෝදෙනෙක් අද "ඩාන්සින් ස්ටාර්" තරගවලට ඉදිරිපත් වෙති. ඒවාට තම දරුවන් මුණුබුරන් ඉදිරිපත් කර සතුටු වෙති. එමගින් නැටුම පිළිබඳ අති සරල අදහසක් සමාජගත වේ. නැටුම යනු සිංදුවකට නැටීම නොවේ. නැටුම නම් කලාව මානව සංස්කෘතිය තුළ පහළ වූයේ හුදු විනෝදාංගයක් ලෙස නොවේ. නැටුම යනු විමුක්තිකාමයේ ප්‍රකාශනයකි. ආදි කාලීන මානවයා සොබාදහම සමග ගැටෙමින් දුෂ්කර ලෙස සිය පැවැත්ම සාදා ගන්නා අවදියේ ඒ යථාර්ථ කාර්යයෙන් මොහොතක් වෙන්වී නැටුම වැනි නිෂ්පාදනයට සෘජුව සම්බන්ධ නැති කාර්යයන්හි යෙදීමෙන් ප්‍රකාශ කළේ එක්තරා නිදහස් කාමයකි. තමන්ගේ යථාර්ථය පිළිබඳ අමනාපයකි. දැන් පැවැත්වෙන නැටුම් තරු වැඩසටහන් යනු මාධ්‍ය කර්මාන්තයේ ලාභ වෙනුවෙන් ජනයා නැටවීමකි. එසේම අති සරල කලාවක මහජනයා සිරකර තැබීමකි. මාලකගේ 'තරුවන් සරණයි'නාට්‍යයේ උත්ප්‍රාසාත්මකව කියවෙන පරිදි මේ තරු වැඩසටහන් දේශපාලන බලය විසින්ම නැටවෙන රූකඩ නැටුමකි. අවසන් වශයෙන් ගත් කල මේ තරු වැඩසටහන් සේවය කරන්නේ මහජනයා අති සරල විනෝදයක ගිල්වා තබා පවතින දේශපාලන බලය වෙනුවෙන් ජනයා මෙල්ල කර තැබීමක් වැනි කාර්යකි.

මේ නාට්‍ය එකතුවේත්, මාලකගේ අනික් රචනාවලත් ඇති විශේෂත්වයක් වන්නේ වර්තමාන පරම්පරාවේ තරුණ තරුණියන්ගේ ලෝකය ඔවුන්ගේ ගැටලු, ප්‍රමුඛතා ආදිය ගැන ලිවීමයි. ඒ නිසා ඔහුගේ නාට්‍යවලින් සමකාලීන සිංහල ජීවිතය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට හැකි වෙයි. 'නිහොන් සැප ලැබේවා' යන නාට්‍යයේදී අප දකින්නේ ජපානයට නීති විරෝධීව සංක්‍රමණය වූ තරුණ පිරිසකගේ ජීවිතයයි. ජපානයේදී රැකියාවක් කිරීමට වීසා ලබා ගැනීමේ අරගලයක යෙදෙන සිංහල තරුණයන්ට තම සංස්කෘතියෙන් උරුම කරගත් පුරුෂෝත්තමවාදී දෘෂ්ටිවාදයන්ද සමග මුහුණට මුහුණ ගැටෙන්නට සිදුවේ. කාන්තාවන්ට සුදුසු හැසිරීම්, රැකියාවල් හා පුරුදු ආදිය පිළිබඳ මව් රටෙන් ගෙනා උරුමය පුද්ගල නිදහස පිළිබඳ ලංකාවට වඩා වෙනස් ආකල්ප පද්ධතියක් ඇති ජපානයේදී ඉරිතැලෙන්නට පටන් ගනී. මේ තරුණයන්ගේ අභ්‍යන්තරික ඉරිතැලීම් වීසා නොමැතිව සිටීමටත් වඩා වේදනාකාරීය. මෙවැනි අත්දැකීම් වූකලී අලුත් ලේඛක පිරිසක් මතුව සාහිත්‍ය කලා වෙත ගෙන ආ යුතු දේය.

මෙවන් අලුත්ම ලේඛක පිරිසකට පමණක් සාහිත්‍ය වෙත ගෙන ආ හැකි අත්දැකීම්වලට අමතරව ගුවන් විදුලි නාට්‍යයේ ව්‍යූහය පිළිබඳ අත්හදා බැලීම් කරන අවස්ථාද මෙහි එයි."භෂ්මාන්තර" එවැනි නාට්‍යයකි. එහි පිටපතින් ඇඟවෙන විදියට නම් එය අපූරු "හඬ නළුවක්" ලෙස නිෂ්පාදනය වන්නට ඉඩ තිබෙන රචනයකි. මෙහි එන "මන විදමන"නාට්‍යයත් එවැනි ව්‍යූහමය නව්‍යයත්වය ඇත්තකි.

සාමාන්‍යයෙන් ගුවන්විදුලියෙන් අසන්නට ලැබෙන අන්දමේ නාට්‍යවලට වඩා ආකෘතියෙන්ද අන්තර්ගතයෙන්ද වෙනස් අලුත් ශ්‍රී ලාංකිකයන් පිරිසකගේ අත්දැකීම් නාට්‍යයට නගන මේ නාට්‍ය එකතුව මාලක දේවප්‍රිය මීට කලින් පළ කළ 'උගෙ හිස ඉවරයි' නාට්‍ය එකතුවෙහි එන නිර්මාණ ඉක්මවා යන පරිණතකමක් පළ කරයි. එසේම මෙම නාට්‍ය රචනා වර්තමාන සිංහලයාගේ අමනකම් හා කුහකකම්වලට අනුකම්පා විරහිතව පහර ද දෙයි. එහෙත් ඒ පහරදීම පිටතින් සිට පහරදීමක් නොවේ. රචකයා කරන්නේ ඒ ඒ චරිතවල අභ්‍යන්තරයට ගොස් යට කී අමනකම් හා කුහකකම් පවතින විඥානයේ අභ්‍යන්තර සැකැස්මම අවුල් කිරීමයි. ඒ නිසා මෙම නාට්‍යවල නාට්‍යමය අවස්ථාවලදී සිංහලයන් වන අප කාගේත් විඥානගත විශ්වාස අපේ අභ්‍යන්තරයෙන්ම කොනිත්තන්නාක් මෙන් අපට දැනේ. ඒ වූකලි විශිෂ්ට රචකයන්ට පමණක් කළ හැකි කාර්යයකි. 

 Liyanage Amarakirthi | ලියනගේ අමරකීර්ති


BOoNDI
READ MORE - ඔබට තරුවන් සරණ සමග නිහොන් සැප ලැබේවා! | හඩ නළුවට නව එළියක්

'භාව විරේක'|ජුලි 29 සවස 7 ට | සුදර්ශි ශාලාවේ දී

Thursday, July 19, 2012

බූන්දිගෙන්, 



ජගත් ජයසේකරගේ සහ නදීකා බණ්ඩාරගේ සම නිෂ්පාදනයක් ලෙස දොරට වඩින 'භාව විරේක' වේදිකා නාට්‍යය ජුලි 29 වැනිදා සවස 7 ට කොළඹ සුදර්ශි ශාලවේ දී (BMICH ඉදිරිපිට) රඟ දැක්වේ. 'භාව විරේක' නුතන නාට්‍යමය ලක්ෂණ හා ශ්‍රී ලංකාවේ තොවිල් සම්ප‍්‍රදාය ඇසුරු කොටගෙන නිර්මාණය කරන ලද්දකි. වේදිකා රංග ආලෝකය පෙනුම පන්දම් මිශ‍්‍ර කරමින් ආලෝක නිර්මාණ සිදු කර ඇති මෙය එළිමහන් තියටර් අත්දැකීමක් ලෙස හැඳින්විය හැක



READ MORE - 'භාව විරේක'|ජුලි 29 සවස 7 ට | සුදර්ශි ශාලාවේ දී

Cine බූන්දි | වළ දැමුණු කුණු වමාරා කෑම හෙවත් මහාවංශය ද තලගොයා කරගැනීම නොහොත් විජය කුවේණි - [ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර]

Tuesday, June 19, 2012

පරපුරක් තනනු වස්
පරපුරක් බිම හෙළා
මුලින් උදුරාලූවෙ ‘ලු’
කුවණ්ණා..

හිරු සඳු ම පමණක් ම
දෙස් දිදී වළදැමුව
අතීතය කිසිවෙකුත් නො දන්නා
ඒ රහස ගුගුරපන් කුවණ්ණා


(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ කාව්‍ය සංකල්පනාවකින්)

ඉතිහාසයේ අන් කවරදාටත් වැඩියෙන් මේ දිනවල දිනපතා පුවත්පත් හා පුවත් වෙබ් අඩවි කෙරෙහි අවධානය යොමු කළ විට ‘ඉතිහාසය සොරකම් කිරීමේ’ සිදුවීම් වලට අදාළව බොහෝ උණුසුම් පුවත් දිග හැරෙනු දැකිය හැකිය. රට වටා නිධන් සොරකම්, කිසිවෙකුගේ හෝ ඕනෑ එපාකම් මත ආරක්ෂක අංශ නිධන් හාරන බවට සාධාරණ සැක සංකා සහිත සිදුවීම්, ජාතික කෞතුකාගාරයෙන් ඓතිහාසික වටිනාකමකින් යුතු කඩු සොරාගැනීම, ආණ්ඩුව විසින් නිධන් හෑරීම කළ යුතු බවට ආණ්ඩුව නියෝජනය කරන ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් ප්‍රද්ධියේ පිළිගැනීම, පුරාවස්තු කොල්ලකන්නන් අත්අඩංගුවට ගැනීමට නොහැකි ආණ්ඩුවක ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යංශය විසින් ‘පුරා වස්තු පිළිබඳ නීති’ සංශෝධනය කිරීම, නීති සංශෝධනය වුවත් දඬුවම් ලබන්නට කිසිවෙකුත් නැති නිසා බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා ගෙන්වන ලද යන්ත්‍ර නිධන් හෑරීම සඳහා යොදාගැනීම දක්වාම මෙම මෙම වැඩපිළිවෙළ කූටප්‍රාප්තියට පත්ව තිබේ.

බලය ඇති පිරිස් පවත්නා බලය තවදුරටත් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් මිථ්‍යාදෘෂ්ටික ඇදහීම් ඓතිහාසික වටිනාකම් සමග ඈඳාගැනීම නිසාත්, බලය නැති පිරිස් එකී බලය අත්පත් කර ගැනීම උදෙසා දිගින් දිගටම සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍රවල එල්බගෙන කටයුතු කිරීම නිසාත්, මේ දෙපාර්ශවය ද ඇතුළත්ව අඩු වැඩි වශයෙන් අතරමැදියන් හුදු ආර්ථික වාසි අරභයාද ඉතිහාසය සොරකම් කිරීමේ නිරතව සිටිති. බැලූ බැල්මට නීති විරෝධී ලෙස පෙනෙන හා ඒ බව නීති පොත්වල ලියා ඇති මුත් මෙම ක්‍රියාවලිය අඛණ්ඩව සිදුවෙයි. මෙම නීති විරෝධී කටයුත්තේ නො යෙදන උදවිය පවා පවත්නා දැවෙන ආර්ථික ප්‍රශ්න හමුවේ කොහේ කොතනකින් හෝ නිධානයක් හෝ මතුවී තමාට වාසනාව ගෙන එනු ඇතැයි යටි සිතින් ආශාකරමින් සිටිති. මෙම ක්‍රියාවලියට සංස්කෘතික සමපාතිත්වය මේ මොහොතේ ප්‍රධාන ධාරාවේ සිනමාව විසින් නොපැකිළිව සපුරාලමින් තිබේ.


ඓතිහාසික සිදුවීම්, පුරාණෝක්ති, සාම්ප්‍රදායික කතන්දර දැවැන්ත සිනමා නිර්මාණයන් ලෙස කරළියට නැගෙමින් ඇත. එමගින් බරපතළ සමාජ- දේශපාලනික විරෝධයක් මතු නොකෙරෙන නිසාත්, පාලකයින්ගේ ප්‍රතිපත්ති හා වැඩපිළිවෙළට ඓතිහාසික යුක්තියුක්ත භාවයක් ලබාදීම නිසාත් බලය ඇති පිරිස් මෙම සිනමාවට කැමතිය. පවත්නා තත්ත්වය අර්ථ දක්වා ගන්නට දැනුමක් හෝ තත්ත්වය වෙනස් කිරීමට වැඩපිළිවෙළක් හෝ නැති , සාම්ප්‍රදායික, වැඩවසම් හා මිථ්‍යාදෘෂ්ටික ඇදහීම්, විශ්වාසයන් තවදුරටත් කරපින්නාගෙන වේලාව එනතුරු බලා සිටීමේ කාංසාව මෙමගින් තාවකාලිකව සමනය කරන නිසාම බලය නැති පිරිස් ද මම සිනමාවට කැමතිය. මෙම දෙපාර්ශවම ඇතුළත් විය හැකි හා ඇතැම්විට සෘජු සබඳතාවක් නොදක්වන සිනමාකරුවන් යයි කියා ගන්නා අතරමැදි වෙළෙඳුන් හුදු ආර්ථික ලාභය පමණක් පෙරදැරිකරගෙන දිගින් දිගටම සිය වැඩපිළිවෙළ ක්‍රියාවට නංවමින් සිටිති.

මින් පළමු ගණයේ පිරිස් තමන් කරන්නේ නීති විරෝධී හා සදාචාර විරෝධී කටයුත්තක් බව දැන දැන තමන් කෙරෙහි වූ වරදකාරී හැඟීමෙන් යුතු වූවන් වන අතර ඒ නිසාම ඇතැම්විට රාජ්‍ය බලයද තවත් විටෙක දේශපාලන බලයද උපයෝගී කරගනිමින් නීතියෙන්ද, තමන් කෙරෙහි එල්ලවිය හැකි චෝදනා වලින්ද ඇඟ බේරා ගැනීම සඳහා උත්සාහයක් ගනිමින් සිටිති. එකී උත්සාහයන් අතැම්විට වඩ වඩාත් තමාව ම හෙළිදරව් කරමින් හත්පොළේ ගාගන්නා සිදුවීම්ද විය හැකිය. ඒවා බොහෝවිට කිසියම් කෙනකු විසින් මහවිලච්චියේ විශේෂ කාර්ය බලකා සෙබළුන් යොදා නිධන් හෑරීමෙන් පසු විටෙක පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාද, තවත් විටෙක පොලිස්පතිවරයාද විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදන වලට සමාන විය හැකි අවස්ථා වැඩිය.

එහෙත් දෙවෙනි ඝණයේ ඊනියා සිනමාකරුවන්ට හෘද සාක්ෂියක් නොමැති නිසා වරදකාරී හැඟීමක් දැනවීමක් සිදුනොවන අතර තමන් තවදුරටත් ජාතියේ දේශයේ යුග මෙහෙවරක් ඉටුකරනු ලබන දේශප්‍රේමීන් ලෙස පෙනීසිටීමට හැකියාව ලැබෙනු ඇත.

වත්ත බද්දට දී ඇස්සට දත නියවන්නා සේ තමාට කළ කී හැකි දෙයක් නැතිවා වුවද ඊනියා පොදු ජනයාට පළමු ගණයේ පිරිස් අපරාධකරුවන් යයි කියනු හැකි මුත්(එල්ලාවල මේධානන්ද හිමි හැරුණු විට) දෙවෙනි ගණයේ පිරිස් විසින් සිදුකරනු ලබන මංකොල්ලය කිසිසේත්ම වටහාගනු නොහැකිය. ඒ නිසාම මොවුන්ට ජාතක කතා පොත, පුරාණෝක්ති, බුදු දහම, ඇදහිලි හා විශ්වාස, පත එකට සිඳ මිලි. මීටර් 35 පටල පටයේ අතුරා රිසි සේ අනුභව කළ හැකිය. එය කෙතරම් ලාභදායි කළු කඩ ව්‍යාපාරයක් වී ඇත්ද යත් එක් චිත්‍රපටයක් ප්‍රදර්ශනය ආරම්භ කිරීමට හෝ මත්තෙන් ඊළඟ කෘතිය ආරම්භ කළ හැකිය. සුගත් සමරකෝන්ගේ ‘විජය කුවේණි’ තිරගත වන්නට පෙර ‘රාවණා පුවත’වෙනුවෙන් අත දිගහැර මුදල් වියදම් කරන්නට නිෂ්පාදකයා ඉදිරිපත්වීම එක් නිදසුනක් පමණි. සිනමා කර්මාන්තය කඩාවැටී ඇති බවට අවලාද නැගෙන රටක එය සැනසිලිදායක පුවතක් වනු ඇති වුවත් එය විසින් පසක් කරනු ලබන කෲර යථාර්ථය වැඩියෙන් භයානක බැව් බොහෝ දෙනකුට නොවැටහෙයි.

විජය කුවේණි පුරාවෘත්තය

ඇතැමුන් අභූත චෝදනා එල්ල කළද සුගත් සමරකෝන් විසින් ලාංකේය ඉතිහාසය විකෘති කර ඇතැයි අපි නොකියමු. මන්දයත් ලාංකේය ඉතිහාසය යනුම විකෘතියක් බැවින් එහි කිසිවෙකුටත් අමුතුවෙන් විකෘති කිරීමට තරම් දෙයක් ඉතිරිව නොමැති බැවිනි.

වසර 2500 ටත් වැඩි නිර්මල සංස්කෘතියක්, ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් ඇතැයි කියන දේශප්‍රේමීන් විසින් නිතර දෙවේලේ කරතබාගෙන යන ‘මහාවංශයට’ අනුව විජය යනු විෂමාචාර ගති ගුණවලින් හෙබි විකෘති අදහස් ඇති අයෙකි.

‘විජයෝ විසමාචරෝ ආසි තම්පරිසා පිච
සහසාකි අනෙකාසි දුස්සහානි කාරිම සුතේ’


මෙම පාලි යෙදුමට අනුව විසමාචරෝ ආසි යනු ‘විකෘති අදහස් ඇත්තෝ’ යන්නයි. තම්පරිසාපිච යනු ‘ඔහුගේ පිරිසද විකෘති අදහස් ඇත්තෝය ’ යන්නයි. සහසාර්කි යනු ‘ස්ත්‍රී දූෂණ, මං පැහැරීම, ගම්පැහැරීම වැනි සැහැසිකම් කරන්නෝය’ යන්නයි. විජය තම්බපණ්ණියට ගොඩබසින විට මෙහි ‘නසන්ති මනුජා ඵත්ථ’(මෙහි මිනිසුන් නැත) යි මහාවංශ කතුවරයා ලියා ඇත. මෙහි වාසය කර ඇත්තේ යක්ෂණියන්ය. වලාහස්ස ජාතකයට අනුව තම්බපණ්ණි දිවයිනේ විසූ යකින්නන් නැව් බිඳ විපතට පත්වූ වෙළෙන්දන් මරා ඔවුන්ගේ මස් අනුභව කොට ඇත. (ජාතකට්ඨ කතා පිටු-92-93). සිංහලයේ ආරම්භය ගැන කියන බෞද්ධ සංස්කෘත කෘතියක් වන ‘දිව්‍යදානය’ යෙහි සිංහ කේශරී නම් රජුට හමුවන්නේ රාක්ෂියකි. රටේ ඉපැරණිම වංශ කතාව වන දීපවංශයට අනුව විජය ලක්දිවට ගොඩබැසීමේ කතා පුවත සඳහන් වුවද එහි යක්ෂණියන් හමුවූ බවක සඳහන් නොවේ.


ඒ අනුව විජයට කුවේණිය හමුවීමේ කතාව හෝ ඔහු පඩු රජ දූ කුමරියක් විවාහ කර ගැනීමක් පිළිබඳ දීපවංශයේ නැත. තතු මෙසේ තිබියදී ආචාර්ය ශිරාන් දැරණියගල පෙන්වා දුන් පරිදි විජයාගමනයට වසර 300 ට පෙර මෙරට දියුණු ගම්මානයක්, ශිෂ්ටාචාරයක් පැවතී ඇත. එහෙත් ආචාර්ය ජී. සී මෙන්ඩිස්ට අනුව විජයාගමනය හා බැඳුණු ඓතිහාසික පුවත් හුදු කථාන්දරයක් පමණි. හෙතෙම මෙසේ ලියයි.

‘විජය පුරාවෘත්තයෙන් සැබෑ සිද්ධීන් කිසිවක් ගැන සාක්ෂි නො ලැබෙන බවත්, එය එක් කෙනකු හෝ ඊට වැඩිදෙනකු හෝ විසින් රචනා කරන ලද මනඃකල්පිත කථාන්දරයක් බවත්, එහි රචකයන් තත්කාලීන ඉන්දියාවත් ලංකාවත් ගැන දැන සිටි කරුණු අනුව ගලපා ඒ කතා පුවත සකස්කර ඇති බවත්, මිනිස් ගති හා මිනිස් කටයුතු ගැන ඔවුන් පිළිගෙන සිටි අදහස් හා විශ්වාසයන් ඒ කථාන්දර කෙරෙහි බලපා ඇති බවත් අපට නිගමනය කළ හැකිය. ’
(ලංකා ඉතිහාසයේ ගැටලු/පිටුව.58)

මේ අනුව ලාංකේය ඉතිහාසය තුළ විජය සෙවීමේදී අප විශ්වාසය තැබිය යුත්තේ දීපවංශ කතුවරයා කෙරෙහිද, මහාවංශ කතුවරයා කෙරෙහිද, ජාතක කතාකරුවා කෙරෙහිද, දිව්‍යදාන කතුවරයා කෙරෙහිද, ශිරාන් දැරණියගල කෙරෙහිද, ජී. සී මෙන්ඩිස් කෙරෙහිද යන්න පැහැදිලි නොවේ. එහෙත් එක් දෙයක් පැහැදිලිය. මේ මොහොතේ අප පය ගසා සිටින නිශ්චිත දේශපාලන, සමාජීය කාරණාවන්ට අදාළව අප විසින් අතීතය දෙස ප්‍රිස්මයකින් බලනා බවය. වෙනත් අයුරකින් සඳහන් කරතොත් අපේ අතීතය අපට රිසි අයුරින් කපා කොටා කිරා මැන ආඛ්‍යානයක් ලෙස ගොඩනගන බවය. සැබවින්ම එය ඓතිහාසික ක්‍රියාවලියක් නොව කාලීන අවශ්‍යතාව මත සිදුකරනු ලබන තක්කඩි ක්‍රියාවකි.

මේ මොහොතේ අප ගෙවාදමමින් සිටින්නේ 21 වන සියවසයි. ලාංකේය භූ දේශපාලන සිතියම තුළ කප්කෙළක් ගැටලු හා අර්බුදවලට හේතුව ලෙස දකුණේ ජන සමාජයට පිළිගන්නට බලකරනු ලැබූ උතුරේ ප්‍රභාකරන් හා ඔහුගේ අනුගාමිකයින්ගේ ක්‍රමවිරෝධී දේශපාලනය නන්දිකඩාල් කළපුවෙන් හමුවූ ප්‍රභාකරන්ගේ හිස් කබලත් සමගින් අවසාන වූ යුගයක ය. යුද්ධය නිමාවී තෙවසරක් ඉක්ම ගොස් ඇතත් ලාංකේය සමාජයේ ඔඩුදුවා ඇති අර්බුද විසඳීමට තබා හඳුනාගන්නට හෝ සමත්භාවයක් නොදක්වන පාලකයින් මෙන්ම අනුගාමිකයින් ප්‍රභාකරන් නොමැති කාංසාවෙන් පෙලෙමින් සියලු අර්බුදවලට හේතු ආරෝපණය කිරීම සඳහා මහා සතුරෙක් සොයමින් සිටින යුගයකය. එකී සතුරා විටෙක අල්ලපු වැටේ අන්‍යාගමිකයා විය හැකිය. මුන්නේශ්වරම කාලි කෝවිලට එරෙහි හඬ, දඹුල්ල පුද බිමේ ඉස්ලාමීය ඉදිකිරීම් වලට එරෙහි හඬ එහි දෘෂ්ටිවාදී ප්‍රකාශනයන්වලට මෑත කාලීන නිදසුන්ය. එසේම අමෙරිකාව ප්‍රමුඛ බටහිර අධිරාජ්‍යවාදයද මේ මොහොතේ වඩා ඔසවා තැබිය හැකි හොඳම ගණයේ සතුරෙකි. මෙම සතුරන්ට මුහුණදීම හෙවත් තමාගේ බාධාව හෝ නොහැකියාව අනුන්ට ආරෝපණය කොට පාලනයේ ඒකමිතිකභාවය තවදුරටත් ආරක්ෂා කරගැනීම සඳහා අනාගත දැක්මක් නොමැති පාලකයින්ටත් ජාතියකටත් කළ හැක්කේ පැරණි හමස් පෙට්ටිවල බහා ඇති පුරාණෝක්ති, මිථ්‍යා ඇදහීම්, විඤ්ඤාණවාදී භාවිතාවන් කෙරෙහි පසුබැසීමය. ඒවා මහාර්ඝ වස්තුන් හා ජාතික උරුමයන් සේ උලුප්පා දැක්වීමය. එහෙත් එහිදී ඒවා තවදුරටත් පැරණි සංදර්භයන්හි පැරණිම අර්ථයෙන් , පැරණි මාධ්‍යයක ඔස්සේම ගෙනහැර පෑ නොහැකිය. මන්දයත් අප 21 වන සියවසේ පුරවැසියන්ය. එබැවින් කළ යුත්තේ පුස්කොල පොත්වල පන්හි‍ඳෙන් කුරුටු ගා කළුමැද කියවූ කතන්දර අලංකාර පිටකවර සහිත මුද්‍රිත අකුරු බවට පත්කිරීමය. අන්තර්ජාල ගත කිරීමය. අතීතයේ පිරිසක් මැද මහ හඬින් කියවූ , රඟ දැක්වූ ජාතක කතා හෝ පුරාණෝක්ති මි. මි 35 සෙලියුලොයිඞ් පටලපට ඔස්සේ සිනමාශාලාවකට ගෙන ඒමය. එහිදී ඇතැම් පුරාණෝක්ති, කතන්දරවල අන්තර්ගයෙන් මේ මොහොතට අවාසිදායක කොටස් හළා වාසිදායක කොටස් එකතුකර ගැනීමත්, ඒවාට නව අර්ථකථන දීමත් නිතැතින් සිදුවෙයි. එවිට අතීතයේ කෙඳිරිගෑම් වර්මානයේ මහා හඬක් බවට පත් කළ හැකිය. මේ මොහොතේ සිදුවෙමින් පවත්නේ එයයි. සුගත් සමරකෝන් ට ‘විජය කුවේණි’ගෙන ඒමේදී ‘මහාවංශය නොකී අපේ වංශයේ රැජිනකගේ කතාව’ යනුවෙන් එහි තේමා පාඨය සටහන් කරන්නට සිදුවීමේ රහස එයයි. ‘මුන්නේශ්වරම් කාලි කොවිලේ වාර්ෂික පුද පූජා සඳහා රැගෙන ගිය එළුවන් කුකුළන් දේවාල භූමියේ මරාදැමීම බලාසිටීම සිංහල- බෞද්ධ අපට තරම් නොවේ’ යයි කියා එකී සතුන් මස් කඩයට දැක්කීම සඳහා තම හිතවතුන්ට ලබාදුන් ආචාර්ය මර්වින් සිල්වා අමාත්‍යවරයා ‘විජය කුවේණි’ චිත්‍රපටයට නොමිලේම රංගන දායකත්වය ලබාදීමේ අරුමය එයයි. එබැවින් වඩා වැදගත් වනු ඇත්තේ මහාවංශය කරතියාගෙන ගියවුන්ම එය බිමින් තැබූ තැන කොතනද යන්න පිරික්සීමයි.

විජය කුවේණි සිනමා සිත්තම හා කාලීන අවශ්‍යතාව

වසර 2500 ටත් වඩා ඉපැරණි ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් හා සංස්කෘතියක් ඇතැයි කියනා සිංහල ජාතිය විජය නමැති දාමරිකයෙකුගෙන් පැවත එන්නේයයි විශ්වාස කිරීම දැන් දැන් හිතට මදිය.

විජය යනු එසේ මෙසේ දාමරිකයෙකු නොව කළ සැහැසිකම් ඉවසනු නොහැකිව මහජනයා විසින් කරන ලද උද්ඝෝෂණයක ප්‍රතිඵලයක් ලෙස පිය රජු විසින් එළවා දැමූ එකෙකු බව පිළිගැනීම බොහෝ වේදනාකාරිය. අනෙක් අතට විජයගේ පියා වන සිංහබාහු තිරිසනෙකුට(සිංහයෙකුට) දාව උපන් විකෘතියකි. (ප්‍රකෘතිය තිරිසනෙකු ම විය හැකිව තිබිණි.) එසේම සිංහබාහු සහේට ගනු ලැබුවේ තමාගේම සොහොයුරිය වූ සිංහ සීවලී කුමරියයි. කුවේණි ආච්චිය ද තමන්ට මදන කුලප්පුව සෑදීම නිසා සනුහරේම කඩුගෑම සඳහා විජය වෙනුවෙන් මහන්සි වී ඔහුටම හාන්සි වූවාය. එබැවින් එකී ලිඛිත ඉතිහාසය ආරම්භ වන්නේ ම අශිෂ්ට හා පාවාදීමේ ක්‍රියාදාමයකිනි. අපරාධ වැලකිනි. රජමාළිගයෙන් එළවාදැමූ දරු දෙදෙනා වන ජීවහත්ථ හා දිසාලා යන අයිය නගෝද එකට පවුල් කෑමෙන් වැදි ජනයා පැවත එන බව කියැවෙයි. මෙකී කතන්දර සියල්ල මේ මොහොතේ සිංහල- බෞද්ධ අභිමානයට කැළලකි. අල්ලපු වැටේ අන්‍යාගමිකයා සමග රණ්ඩු අල්ලද්දී එය අවාසියකි. අධිරාජ්‍යවාදීන්ට එරෙහිව සටන් පාඨ කියද්දී ශිෂ්ටත්වයට තරම් නොවන සිදුවීම් නිසා වචන ගොත ගැසෙන්නට ඉඩතිබේ. ඉදින් මෙම පුරාණෝක්ති, ලියැවිලි වහ වහා වෙනස් කළ යුතුය.


ජැක්සන් ඇන්තනීගේ ‘අබා’ගෙන් ඇරඹි ‘මහින්දාගමනය’ , ‘කුසපබා’ ආදී රැල්ල පිළිබඳ ඔදවැඞී සිටින අප පරපුරේ සිනමා විචාරකයෙකු වන නුවන් නයනජිත් ‘විජය කුවේණි’ සලරුවේ වැදගත්කම හා නිර්මාණශීලිත්වය පිළිබඳ කදිම අටුවාවක් ලියයි. එහි තැනක මෙසේ සඳහන් ය.

‘තරුණ පෙළත්, මතු පරම්පරාවත් මේ ව්‍යසනයෙන් රැකගනු පිණිස සියලූ ප්‍රඥාවන්තයන් ඒකරාශීව ධර්ම- විනය සංඝායනාවක්, භාෂා සංඝායනාවක් හා ඉතිහාස සංඝායනාවක් සිදුකිරීම කාලීන වශයෙන් අතිශයින් ඖචිත්‍ය වේ. මන්ද යත් අපේ සැබෑ ඉතිහාසය භාරතීයයන්ගෙන් මතුනොව විවිධ බටහිර ජාතීන්ගෙන් හා නව යටත් විජිතවාදය වපුරන්නන්ගෙන් විකෘති වී ඇති බැවිනි. ’
(සිළුමිණ/පුන්කලස/27-05-2012 )

නුවන් පෙන්වාදෙන පරිදි භාරතීයයන් හා නව යටත්විජිතවාදය වපුරන්නන් නිසා විකෘතිවී ඇති ඉතිහාසය පරවන කෘති කිරීම උදෙසා සුගත් සමරකෝන් දක්වා ඇති උත්සාහය කෙටියෙන් හෝ විමසා බැලිය යුතුය.

‘ විජය කුවේණි’ කතාව චිත්‍රපටය ආරම්භයේ කුවේණිය විජය සමග ද්වන්ධ සටනක් කරයි. වෙනත් අයුරකින් කිවහොත් ඉපැරණි ඉතිහාසයේ ලාංකේය ස්ත්‍රිය පිරිමියාට අභියෝග කරයි. ඔහු සමග කරට කර සටනක් දෙයි. බටහිර ස්ත්‍රීවාදි කතිකාව ගොඩනැගෙන්නටත් මත්තෙන් අපේ රටේ ස්ත්‍රිය පිරිමියා සමග කරට කරට සිටි බව එයින් ගම්‍ය කෙරෙයි. එය සුද්දන්ට චණ්ඩි පාට් එකක් දැමිය හැකි තරමේ ආඩම්බර විය හැකි කරුණකි. එහෙත් හිටි අඩියේම ඇඳට ගොඩවෙන්නට මත්තෙන් පිරිමියාට වැඳ නමස්කාර කරයි. රැජිනක් වුවද රජෙකුට යටත්ව සිටිය යුතු බව සුගත්ගේ වැඩවසම් පිරිමි මනස ආඛ්‍යානයට කරදර කරයි.

‘තිගේ නම කුමක්ද.. ? ’

‘ක්වේණි’

‘ක්වීන් ’කියන්නේ රැජිනක් කියන අර්ථය. ඒ කියන්නේ ඔබ රැජිනක්’

විජය රජු නොපැකිළිව කියා සිටියි.

බටහිර අධිරාජ්‍යවාදීන් පෙරදිගට කඩාවදින්නට ප්‍රථම විජය රජු ඉංග්‍රීසි දැන සිටි බව එයින් පසක්වෙයි. ඒ නිසාම මෙම සිනමා ප්‍රවණතාව තවත් ඉදිරියට යද්දී ‘සුද්දන්ට ඉංග්‍රීසි උගන්වා ඇත්තේ ද අපිම ය’ යන්න පෙන්වා දෙන්නට හැකි වුවහොත් එය පුදුමයට කරුණක් නොවේ.

දිව්‍යදානයට අනුව ලක්දිව රාක්ෂයින් සිටි බව පැවසීම, මහාවංශයට අනුව යක්ෂයින් සිටි බව පැවසීම, රටේ ආදිතමයන් රාවණ යුගයේ මිනී මස් වැළඳූ බව රාමායණයේ සටහන්ව තිබීම, සිංහලයින් විජය නම් දාමරික පිටස්තරයාගෙන් පැවත ඒම මේ යුගයේ දේශප්‍රේමයට මරුපහරක් නිසාම සුගත් ඒ පිළිබඳ සවිඥානික වෙයි.

ඒ අනුව විජය පැමිණෙන විට තම්බපණ්ණියේ පාලකයෙකුගේ විවාහ මංගල්‍යයකි. එය යක්ෂද්වීපයද, හෙළදීපයද යනුවෙන් විටෙන් විට හඳුන්වාදෙන භූමියේ පාලක පක්ෂයේ ප්‍රධානියෙකු(මර්වින් සිල්වා) නව යුවළට ආශිර්වාද කොට අවසානයේ පවසන්නේද මෙවැන්නකි.

‘මේ යක්ෂද්වීපයේ හෙළ භූමියේ හෙළදරුවන් දහස් ගණන් බිහිවේවා.. ’

ඒ අනුව විජය පැමිණෙන විටත් මේ රටේ සිටියේ සිංහලයින් යයි පැවසීම මේ මොහොතේ වඩා වැදගත්ය. ඔවුන් ව්‍යවවහාර කරන්නේද පැහැදිලි සිංහලය. ‘සිංහල සාහිත්‍යයේ නැගීම’ කෘතියේ හෙළයේ මහා ගත්කතුවරයා වූ මාර්ටින් වික්‍රමසිංහ ‘විජය කුමාරයාට පෙර ලක්දිව විසූවන්ගේ භාෂාව හෝ විජය කුමාරයාගේ ඔහුගේ පිරිසගේ භාෂාව හෝ කුමක්විය හැකිදැයි නිශ්චය කළ හැකි නොවේ. ’ යයි පැවසීම වැරදිය. සිංහලයාට මදි පුංචි කමකි. ඒ නිසාම මහා ගත් කතුවරයාට වැරදුණු තැන නිවරදි කරමින් සුගත් සමරකෝන් හෙළදිව සිටියවුන් ද, මෙරටට ගොඩ බසිනවුන් ද පිරිසිදු සිංහල කතා කළ බව ‘විජය කුවේණි’ සිනමා කෘතියෙන් පෙන්වාදෙයි.

අනෙක් අතට මහා වංශයද, රාමායණයද දක්වන පරිදි මෙරට ආදිතමයන් ම්ලේච්ඡ මිනී මස් බුදින්නන් බවට ගෙනහැර පාන තොරතුරු වෙනුවට නිරන්තරයෙන් පලතුරු අනුභව කරන පිරිසක් අපට මුණගැස්වීමට තරම් චිත්‍රපටය පැරණි පුරාණෝක්තීන්වලට වඩා ඉදිරිගාමීවෙයි. පලතුරු ආහාරයට ගන්නා උදවිය මස් මාංශ ආහාරයට ගන්නා උදවියට වඩා අහිංසකය. තම ස්වාමිදුවට ආහාරපාන ගෙන එන කුවේණියගේ සහායිකාව හෙවත් සිස්සපටිකාගේ පලතුරු කූඩයේ තිබී අවසාන මොහොතේ මිනිස් අතක කොටසක් බිම වැටුණද එය කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් විනා සැබවින්ම ඔවුන් මිනී මස් බුදින්නන් නොවන බව සිනමාකරුවා අපට ඒ වන විටත් ඒත්තු ගන්වා අවසන් ය. ඒ නිසාම ඇය ප්‍රේක්ෂකයාගේ අනුකම්පාවට පාත්‍ර වෙනවා මිසක වෛරයට පාත්‍ර නොවේ.

‘අපේ හෙළ භූමිය ආක්‍රමණය කළ පාහරයෝ’ විජයගේ සේනාවේ ග්‍රහණයට නතුවූ පුරාණ හෙළයෝ කෑ ගසා කියති.

‘මා අසා තියෙනවා තා සතෙකුගේ පුතෙකු බව’ විජයට එරෙහිව අවසන් සටනට නායකත්වය දුන්නු හෙළයා සමුරායි වරයෙකු සේ සිය අතින් පිහියෙන් ඇණ ගෙන මිය යන්නට මොහොතකට පෙර විජයට කියා සිටියි. එය කිව යුතුව තිබුණේ විජයගේ පියාට වුවද, පුතු විසින් එකී පණිවිඩය පිය රජු කරා ගෙනයාවි යයි සිතූ නිසා හෝ පිය පුතු මාරුවීම නිසා හෝ එසේ කියවනු ලබයි.

ඒ අනුව අප විජය නමැති පිටස්තර ආක්‍රමණිකයාගෙන් පැවත එන්නන් නොවේ. මෙරට සිංහලයාගේ ඉතිහාසය විජයාගමනයට පෙර සිටන් පැවත එන බව අධ්‍යක්ෂවරයා අපට එයින් ගම්‍ය කරවයි. අනෙක් අතට චිත්‍රපටය තුළ අවසන් වතාවටත් විජයගේ මාළිගාවට ස්වදේශිකයන් විසින් එල්ල කරනු ලබන ප්‍රහාරයට මත්තෙන් ඊට නායකත්වය දුන් ජුතින්දර විසින් බලා කියා ගත් දරුවන්ට කියන්නේ ‘හෙට දවසේ ඉර බැසගෙන යන්නට මත්තෙන් අප යළි නො පැමිණියහොත් උඹලා අර ඈත පෙනෙන සිරිපාද අඩවිය දෙසට ගිහින් ජීවත් වෙයල්ලා’ කියාය. ඒ නිසාම ‘විජය කුවේණි’ චිත්‍රපටය තුළ මෙරට ස්වදේශීය ජාතිකයන් සියල්ල සමූල ඝාතනය නොවී කුඩා දරුවන් පිරිසක් ඉතිරිවන බව පසක් කරවයි. එනම් ‘පුලින්දයන්’ බවට පත්වූ ජීවහත්ථ- දිසාලාට අමතරව පැරණි සිංහල පරපුර අඛණ්ඩව පවතින බව සුගත් සමරකෝන් අපට උගන්වයි. එබැවින් විජයගෙන් පැවත එන්නේ යයි කියනු ලබන නිසා මේ මොහොතේ කිසිවෙකුට යම් අවනම්බුවක් වීනම් විජය කුවේණි චිත්‍රපටය තුළින් එකී වරදකාරී හැඟීම සමනය කරගන්නට අවස්ථාව උදාවේ.

විජය කුමරු ලංකාවට ගොඩ බසින විට කුවේණිය කපු කටිමින් සිටි බවට මහා වංශයේ සඳහන් වුවද, චිත්‍රපටය තුළ කුවේණියගේ ඇඳුම් සිල්ක් රෙද්දෙන් නිමවා තිබීමෙන් හා ඇයගේ රෝස පැහැති යට ඇඳුම පවා පැහැදිලිව පෙන්වීමෙන් රෙදි කර්මාන්තයෙන් හා සංස්කෘතිමය වශයෙන් අප මහා වංශයට වඩා ඉදිරියෙන් සිටි බව පෙන්වා දෙයි. එබැවින් මෙම චිත්‍රපටය සැබවින්ම අපට පෙර නොවූ විරූ අභිමානයක් දනවයි.

දැරූ වියදම සලරුවේ පිළිබිඹු වේද.. ?

විජය කුවේණි චිත්‍රපටයේ නිෂ්පාදක ගයාන් රණධීර පවසන පරිදි චිත්‍රපටය සඳහා වැය වී ඇති මුදල මිලියන 50 කි. (සරසවිය/03-05-2012) එහෙත් චිත්‍රපටයේ රූප රාමු දෙස බැලීමෙන් එවැනි පිරිවැයක් දරා ඇති බවක් නොපෙනෙයි. එබැවින් නිෂ්පාදකවරයාට කොකා පෙන්වා සැබෑ අයවැයට පිටින් මිලියන ගණනින් තමාගේ සාක්කුවට දා ගන්නට සුගත් සමරකෝන්ට හැකිවීදැයි සැක සිතෙයි. ජනප්‍රවාදයේ පැවත එන මනස්ගාතයක් වුවද වඩා නිර්මාණාත්මකව කාලය හා අවකාශය පිළිබඳ නිවරදි තක්සේරුවකින් යුතුව මේ සා මුදලක් ආයෝජනය කොට ඉදිරිපත් කළේ නම් ස්වදේශිකයන්ගේ ආගමික ප්‍රතිමා හා ඉන්දියානු ආක්‍රමණිකයන්ගේ ආගමික ප්‍රතිමා සමාන ලක්ෂණ පෙන්නුම් නොකරනු ඇත. ඔවුනොවුන් එකම භාෂාවක් කතා නො කරනු ඇත. ලී පතුරු ගසා සාදා තිබුණු කුවේණියගේ මාලිගාවට නවීන ලී බඩු නොපැමිණෙනු ඇත. කුවේණිය, විජය සමග නිදිවැදුණු දාට පහුවෙනිදා සිට ලී පතුරු මාලිගය වෙනුවට නවීන මාලිගාවක් ඉදිවන්නේ නැත. (ඉදිවුණු අයුරක්- ඒ සඳහා කාලයක් ප්‍රේක්ෂකයාට නොපෙන්වයි) කුවේණියගේ ඇඳුම් සිල්ක් වනු නැත. කුවේණිය සහ දරු දෙදෙනාගේ රාජාභරණ සියල්ල රුපියල් 1000 ටත් අඩු මුදලකට පිටකොටුව පදික වේදිකාවෙන් ලබා නොගනු ඇත. මෑත කාලයේ වෙළඳ පොළට පැමිණි සුළං සීනු(Wind Chimes) මාළිගාවේ එල්ලෙන්නේ ද නැත. කෙසේ හෝ අවාසනාවකට ඒ සියල්ලත් තවත් බොහෝ විහිළු සහගත අඩුම කුඩුම ද සමගින් විජය කුවේණි නිමවා ඇත.

ජනප්‍රවාදයේද, වංශකතාකරුවන් විසින් ලිවීමෙන්ද නිර්මිත විජය- කුවේණි ප්‍රබන්ධය පිළිබඳ පසුකාලීනව පැවත ආ කාංසාවන්ට හේතු භූත වූ කරුණු දෙකක් තිබුණි. පළමුවැන්න නම් විජය, කිසිදු කෙලෙහිගුණයක් නොදක්වා තමාට රටේ නායකත්වය අරන් දුන්නු කුවේණිය එළවා දැමීමයි. දෙවැන්න නම් මදන කුලප්පුව හේතුවෙන් තම වර්ගයා පාවා දුන් බවට කුවේණියට එල්ලවන චෝදනාවයි. චිත්‍රපටය තුළ මෙම කාරණාවන් දෙකට ද පැහැදිලි පිළිතුරක් ගොනු කිරීමට අධ්‍යක්ෂවරයා උත්සාහ දරා තිබේ.

‘කුවේණිය හෝ මාගේ දරු දෙදෙනා මේ මාළිගයෙන් පිටමං කරනා කිසිදු තීරණයකට මං ඉඩතියන්නේ නෑ. තොපි කැමති වෙන්නත් එපා .. ’
විජය රජු වරෙක රාජ සභාවේදී කියා සිටියි.

‘මාගේ අතින්ම මාගේ වර්ගයා වූ තොපි නසන්නට මට කඩුව දෙන්නට ඉඩසැලැස්සුවේ තොපි’
කුවේණිය තම වරදකාරී හැඟීම එසේ සමනය කරගනියි.

චිත්‍රපටය තුළ කුවේණිය එළවාදැමීමේත්, මදුරාපුරයෙන් කුමාරියක් කැන්දාගෙන ඒමේත් කුමන්ත්‍රණය දියත් කරනු ලබන්නේ උපතිස්ස මහ පඬි පුමුඛ අමාත්‍යවරුන් ය. තමාට එරෙහිව කුමන්ත්‍රණයක් දියත්වන බව දන්නා කුවේණිය පිටුපා යන උපතිස්ස පඬිට කෙළගසයි. අවසාන මොහොතේ තමා මාළිගයෙන් පිටවෙන මොහොතේද ඇය වැළපෙන්නේද, ශාප කරන්නේද විජය රජුට නොව තමා හා විජය බිඳ වූ අමාත්‍යවරුන්ටය. උපදේශකවරුන්ටය. කුවේණිය එළවාදැමූ පසු ඇය ඈතින් ඈතට යනු දකින විජය බෙහෙවින් කැළඹීමට පත්වෙයි. මේ අනුව ‘පාලකයා වැරදි නැත. වැරදිවලට පොළඹවන්නේ වටේ සිටින එවුන්ය’ යනුවෙන් අද දවසේ ඇසෙන කතාවට මෙම සිනමා කෘතිය සමපාතවෙයි.

‘ආයෙත් මේ රටට යුද්ධ ඕන නෑ.. මට ඕන සියලුම දෙනා සමග සාමදානයෙන් මේ රට ගොඩනගන්නටයි’ ඒකාධිපති රාජාණ්ඩු පාලකයෙකු වූ විජය රජු විටෙක කියයි. එහෙත් එය ක්‍රියාවට නංවන්නට සිදු නොවෙයි.

හෙන්රි ජයසේනයන්ගේ ‘කුවේණි’ නාටකයේ තිරය වැසී යන්නේ පොතේ ගුරුගේ පහත වාක්‍ය ඛණ්ඩයත් සමගිනි. එබැවින් තිරය වැසී ගියද ප්‍රේක්ෂකයාට සිතන්නට බොහෝ දේ ඉතිරි කර තබා යන්නට හෙන්රි කල්පනා කළේය.

'බොහෝ දේ සිදුවූ අතීතේ- වැළලිලා ඇත අන්ධකාරේ
පොළෝ පස් යට උනුන් කඳුළැලි
ලෙයත් දහඩිය එකට මුසුවී..'


මහා වංශය නොකී කතාවක් කියන බව පැවසූ සුගත් සමරකෝන් ‘විජය කුවේණි’ චිත්‍රපටය අවසන් කරනු ලබන්නේ ‘වසර 28 ක් රජ කළ විජය රජු දරුවන් නො ලබාම අවසානයේ ජීවිතක්ෂයට පත්විය’යනුවෙන් මහා වංශ කතුවරයා කියන කතා පුවත ම වාක්‍ය ඛණ්ඩයක් ලෙස තිරය මත ප්‍රක්ෂේපණය කිරීමෙනි. මිය යන්නට මොහොතකට පෙර ද විජය රජුට කුවේණිය සහ දරු දෙදෙනා සිහිපත්වීමෙන් තමා පසුතැවෙන බවක් ප්‍රේක්ෂකයාට ගම්‍ය කෙරෙයි. වටේ සිටින්නවුන්ගේ වැරදි උපදේශයන් හා නොමග යැවීම් නිසා හෝ වැරදි කළ පාලකයින් අවසාන මොහොතේ ද විඳවනු ඇතැයි උපකල්පනය කොට ‘එරෙහිවීම’ වෙනුවට ‘හිත හදාගැනීම’ සඳහා මෙම සිනමා කෘතිය බෙහෙවින්ම අගනේ ය.

‘කන්න ඕනෑ වුණු විට කබරගොයාද තලගොයා කරගන්නවා’ යනුවෙන් පුරාණ ගැමි කියමනක් ඇත. අතීතයේ වැරදි නිවරදි කිරීම මේ මොහොතේ යුග අවශ්‍යතාවක් බව වගකිවයුත්තන් පුන පුනා ප්‍රකාශ කරන බැවින් එකී කියමන මෙසේ නිවැරදි කළ හැකිය.

‘කන්න ඕනෑ වුණු විට මහා වංශයද තලගොයා කරගන්නවා’ යනුවෙනි.

ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර
READ MORE - Cine බූන්දි | වළ දැමුණු කුණු වමාරා කෑම හෙවත් මහාවංශය ද තලගොයා කරගැනීම නොහොත් විජය කුවේණි - [ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර]

"බොක්ස්" ගැන තව ටිකක්.........

Wednesday, June 13, 2012

http://www.boondi.lk/
“බොක්ස්" යනු සිනමා ශාලාවක් තුළ චිත‍්‍රපටයක් නැරඹීම සඳහා විශේෂයෙන්ම සකස් කළ ආසන දෙකක් හෝ තනි යුගලාසනයක් සහිතව තනන කුඩා කුටි විශේෂයයි. මෙය දියුණු කලාවන් සහිත යුරෝපීය සමාජාවකාශයක් තුළ නම් අතිශය පෞද්ගලික නැරඹීම් කුටියක් විය හැකි වුව ද ලාංකීය අර්ථයෙන් වෙනස් තැනෙක ස්ථාන ගත වන්නකි. අගනුවර හෝ වෙනත් නගර තුළ පොදුවේ මෙය සිරුරේ ශෘංගාර කලාප පිළිබඳ කුහුල් සිතැති අහිංසක පෙම්වතුන්ගේ සිට ගණිකාවකගේ පහස විඳීමට ලොල් ඕනෑම වයස් ප‍්‍රමාණයක පුද්ගලයෙකු පෙම්වතියක හෝ ලිංගික ශ‍්‍රමික ගැහැණියක හා වසංවන තැනෙකි. චාලකගේ නාට්‍ය පුරාම ඇත්තේ මේ අවකාශයට ගණිකාවක කැඳවාගෙන යනු ලබන රජයේ සේවකයෙකු මුහුණදෙන සිදුවීමකි. ඒ මොහොතේ ශාලාවේ තිරගත වන්නේ “පරසතු මල්" චිත‍්‍රපටයයි. නාට්‍යයේ අපූර්වත්වය වන්නේ චිත‍්‍රපටයේ හඬ පටය හා නාට්‍ය පාත‍්‍රයාගේ රංගය සම්මිශ‍්‍රණය කිරීම වන අතර, එය මෝස්තරකාරී කලවම්කිරීමකින් ඔබ්බට විහිදී යන්නේ නාට්‍ය හා බද්ධවීම මතිනි. මෙහිදී ගණිකාව කුඩා කල තම පියා හා මෙම චිත‍්‍රපටය නැරඹූ මතකය ඔස්සේ බොනී මහත්තයා ගේ චරිතයට අනන්‍ය වෙයි. ඒ අතර ඇය රැ‍ඟෙන ආ මැදි වයසේ කාර්යාල සේවකයා උත්සුක වන්නේ තමාගේ කායික අවශ්‍යතාවය දෘඪ ලෙස ඉටුකර ගැනීමටය. නාට්‍යය ගලා යන්නේ ගැහැණිය චිත‍්‍රපටය හා අනන්‍යවීම ඊට බාධාවක් බවට දිගින් දිගටම පත්වෙද්දි හටගන්නා ගැටුම ඔස්සේ යි. තමාට ජීවිතයේ දී භෞතිකව හමුනොවන බොනී මහත්තයා නැමැති චරිතය ගැහැණියගේ ෆැන්ටසි වස්තුව වන විට, ඈ අභියස සැබෑ ලෙස හිඳින ගනුදෙනුකාර පිරිමි ශරීරය ඇයට බාධාකාරී වේ. ඇගේ ෆැන්ටසිය ඔහුට බාධාකාරී වේ. සුළු මොහොතක, සුළු අවකාශයක හට ගැනෙන මේ ද්වන්ධ ගැටුම තුළ නිරූපනය වන්නේ අතිශයින් දේශපාලනික සිදුවීමක සිරස්කඩකි. නගර ශෝභිනිය අතීතයේ දැරියක ලෙස පරසතුමල් නැරඹීමට කැඳවාගෙන විත් ඇත්තේ පියාය. එය බෙහෙවින් සංකේතාත්මක, සංකීර්ණ අරුත් දනවන මතක සිහිගැන්වීමකි. පියා විසින් හඳුන්වා දෙන ලෝකයෙහි ද අවසන අත්විඳින්නට ලැබෙන ලෝකයෙහි ද පරස්පරය හෙවත් "ෆැන්ටසිමය පිරිමියා" සහ "මුණගැසෙන ඇත්ත පිරිමියා" අතර වෙනස, ඇගේ ජීවිතයට හැරවුම් ලක්ෂයක් වී ඇත්තේ සිතූ පැතූ අයුරින් නොවේ. මෙය පුරුෂ බල කේන්ද්‍රීය දෘෂ්ටිවාදයෙන් හුස්ම ගන්නා සමාජයක, "ආශාවේ වස්තුව" වන ගැහැණිය සතු ඉරණමයි.

පරසතු මල් හි "බොනී මහත්තයා" යනු පාරම්පරික දේපළක් හිමි, අප‍්‍රමාණ නුරාවකින් දැවෙන රදළ සල්ලාලයෙකි. නමුදු ඔහුලේ සළෙල බව තුළ කිසියම් ආචාරධාර්මික බවක් ඇත. තම වලව් ගෘහය ආශි‍්‍රත ගැමි අවකාශයේ ඇහැට කනට පෙනෙන සිත් ගත් සියලු ස්තී‍්‍රන් දැපනයේ දමා ගන්නා හෙතෙම සංගීතයට හා සිතුවමට ලොල් කලාකාමියෙකු ද වෙයි. අනෙක් අතට ඔහු ගැහැණුන් ග‍්‍රහණය කර ගනුයේ බලහත්කාරීත්වයෙන් ම ද නොව පොළොඹවා ගැනීම ද මතිනි. එසේම ඔහුගේ වසඟයට නතු වීම ට ගමේ තරුණියන් තුළ ද අවිඥ්ඥානික ආශාවක් ඇතුවා මෙනි. නමුදු බොනී ගේ වඩාත්ම සිත් ගත් ගැහැණිය ඔහුව මායිම් නොකරයි. අවසන ඔහු මධුවිතටම ලොල්ව පරාජිත පේ‍්‍රම විප්පයෝගයක ගිලේ. කෙසේ වුව ඔහු කය පහසට ගත් තරුණියන්ට සිය දේපළින් භෞතික සංග‍්‍රහයක් ද කළේය. මෙය ඉඩකඩමින් කැරෙන තිළිණයක් විය හැකි මුත් එම මානුෂික අර්ථ දැක්වීමේ දෘෂ්‍යමානීය මොහොත පසු කළ හොත් වැඩවසම් සමාජ ස්ථරයක ලිංගික ශ‍්‍රම සූරාකෑමක් මත උපන් වරදකාරීබවින් ගැලවීමේ මගක් ලෙසද කියවිය හැකිය. චිත‍්‍රපටය දෙස බලා සිටිනා කය විකුණන පහළ පාන්තික ගැහැණියට බොනී මහත්තයා ෆැන්ටසියක් වන්නේ එම දෘෂ්‍යමාන මානුෂීය අරුත තුළ නොතිත්ව ගිළෙන බැවිණි. "බොනී මහත්තයගෙ ඇස් වල කඳුළු.... බොනී මහත්තය කියන්නෙ අඬන මිනිහෙක් නෙවෙයි. අඬන්නෙ ආදරේ හින්දා... එයා මං ළඟ හිටියනං ඇස් දෙකෙන් එක කඳුලු බිංදුවක් බිමට වැටෙන්ඩ මං ඉඩ දෙන්නෙ නෑ..." මෙවැන්නක් නාට්‍යයේ නගර ශෝභිනියගේ මුවට නැගෙන්නේ, පරසතු මල් කතා කරුවා සිය අවසාන විග‍්‍රයේ දී බොනීව තබන, සිතෙහි නැගි පරමාදරයක් වෙනුවෙන් උමතුවූ ආස්ථානයේ බලවත්කම මතය.

සිහින පෙම්වතා තිරයේ දකිනු හැකි ශාලාවට තමා කැඳවාගෙන ආ මිනිසා කෙරෙහි ඈ ගනුදෙනුකාර කමකට වඩා බැඳෙනුයේ තුති පූර්වක හැඟීමකිනි. ඇය ගණුදෙනුකාර පිරිමියා විසින් කුලී කාමරයකට රැ‍ගෙන නොගොස් සිනමා ශාලාවට රැගෙන විත් ඇත්තේ ඇගේ ගාස්තුව ලෙස රුපියල් හාර සියයක් වෙන් කළ පසු කාමර කුලිය ගෙවීමට මුදල් නැති නිසාය. එබැවින් ඔහු හැකි ඉක්මණින් තම කාර්යය කරගත යුතුය. ඒ සඳහා වහාම ඇය චිත‍්‍රපටයෙන් ගලවා ගත යුතුය. “පිළිවෙතින් පෙළගැසෙමු" යැයි ඉහළින් එන විකාර සහගත අණට ඉලක්ක වූ සමාජය කෙතරම් ආතතිගත දැයි යන්න මේ උත්සාහය තුළ ගොඩනැගෙන සංවාදය ඔස්සේ මතුවේ. ගනුදෙනුකාර පිරිමියා වුවද ජීවිතය විඳීම නොව විඳවීම ඉරණම වූ අවාසනාවන්තයෙකි. සැබැවින්ම ඔහුට ජීවිතයක් නැත. ජීවත් විය යුතු වන්නේ එදිනෙදා බිල්පත් ගෙවීම සඳහා ශ‍්‍රමය වැගිරවීමට ය. අවසන නිවසට යන මිනිස් රොඞ්ඩට බිරිඳගෙන් ලැබෙනුයේ සුවදායක කය පහසක් නොව උදේ සිට සවස්වන තුරු දරුවන් කරපින්නාගෙන නැගුණු වෙහෙසින් පීඩිත පරොසය. ගැහැණිය එක දිගට දරුවන් වැදීමේ උපකරණයක් බවට පත්කරන්නේ ද පිරිමියා ම විසිනි. මේ ලාංකේය සමාජ නියැදියක ඇත්ත කතාවය. එහෙත් එය බොරු යැයි කියන්නේ මතට, දුරාචාරයට තිත තබා සුබ අනාගතයක් පතා මයාවක ගිලී හිඳින්නේ අපම ය. අප තුළ ඇති නරක ගැන කතා නොකරන අපි නොමසුරුව අනෙකාගේ වනචරකමට තර්ජනය කරන්නෙමු. තම අවශ්‍යතාවය සපුරා ගන්නට දඟළන අතරතුරේ යාබද කුටියේ සිදුවන ලිංගික හැසිරීමට මේ පිරිමියා දොස්නගමින්, "යකෝ අපි ආවෙ වැදගත් විදියට චිත‍්‍රපටියක් බලන්ඩ. තොපි අවලං වැඩ කරනවා" යැයි සිදුරකින් බලමින් බැන වදින්නේ සමස්ත සමාජයේ ම සිල්වතේ නිරුවත ප‍්‍රකාශ කරමිනි.

"පරවුණු මල් වල සුවඳ අතීතේ- පරසතු මල් ළඟ විසිර ගියාවේ" ගීතය තිරයේ දිගහැරෙන අතර තුර එය නාට්‍යය හා සමාන්තර වන්නේ අපූරු ලෙසය. ගීතයට ඇලූම් කරන ගැහැණිය එය අවසන්වීමට මත්තෙන් පිරිමියාගේ බෑගයේ තිබු කඩදාසියක් ඇද ඔහුගේ පෑන ඉල්ලා සටහන් කර ගැනීමට උත්සාහ දරන්නීය. මෙය නාට්‍යය තුළ ප‍්‍රබල සංකේතීය ප‍්‍රකාශනයකි. ඇයට සම්පූර්ණයෙන් ගීතය ලියා ගැනීමට නොලැබේ. ඇය ලියූ කොටස දෙස බලයි. පිරිමියාට තරු විසිවේ. “මොකද්ද යකෝ මේ කළේ. මේක මගෙ පොඩි එකාගෙ උප්පැන්න සහතිකේ." මෙසේ ප‍්‍රහසන අවස්ථා එකින් එක පසුවෙයි. ඇය අවසන ඔහුගේ ඉල්ලීමට ඉඩ දී අසුනෙහි ඇලවේ. ඔහු කලිසම බුරුල්කොට ඇගේ සිරුර මත නැග ගනී. සැබැවින්ම ඇය ඔහුට ඉඩ සලසන ආකාරය තුළ පේ‍්‍රක්ෂකයාට ඇතිවන්නේ නිරායාස අනුකම්පාවකි. එහෙත් ඔහු තම අවශ්‍යතාවය සපුරා ගන්නට සැරසෙන විටදී ම චිත‍්‍රපටය නිමාවී ශාලාවේ විදුලි බුබුළු දැල්වේ. එසේ තියුණු හාස්‍ය රසයෙන් අනුන මතුපිට සිදුවීම් යට ඇත්තේ කුමක් ද? ශෝකාන්තයකි. අනෙක් අතට සමකාලීන ජීවිතයයි. කෙසේ වුව මේ ලියවිල්ල අසම්පූර්ණ කියවීමකි. ඒ, පිරමිඩාකාර සාගර අයිස් කන්දක මෙන්, දෘශ්‍යමානයෙන් ඔබ්බෙහි බොක්ස් හි යටි තලය විශාල බැවිනි.


 ___________________________________________________________________________
 

බොක්ස් හි ඇති සිදුවීම කෙටියෙන් විස්තර කරනවා නම්, එහි ඇත්තේ ගණිකාවක් සමග සිනමාහලක බොක්ස් අසුනකට යන පිරිමියෙක් ගැන සිදුවීමක්. නාට්‍යයේ සිදුවීම් දිගහැරෙන විට මේ පුද්ගලයා රජයේ සේවකයෙක්, මධ්‍යම පාන්තිකයෙක්, මාස් පඩි කාරයෙක් ලෙස ඔහුගේ චරිතය අපට දැනෙන්න පටන් ගන්නවා. ''බොක්ස්'' වචනයේ (මේ මොහොත තුල) පරිසමාප්ත අර්ථයෙන්ම අපූරු කෙටි නාට්‍යයක්. එහි එන අත්දැකීම කෙටි නාට්‍යයකට ඉතාමත් උචිත අවස්ථාවක්. කොටින්ම නාට්‍යකරුවා විසින් තෝරාගෙන තිබෙන අවස්ථාවම නාට්‍ය රසය පිරී තිබෙන්නක්. ඔහු තම නාට්‍යයේ අකෘතිය සකස් කරගෙන තිබෙන්නේ අනුභූතියටම සරිලන පරිදි වීම විශේෂත්වයක්. නාට්‍යයේ අකෘතිය විසින් නාට්‍යකරුවා සන්නිවේදනය කිරීමට උත්සාහ ගන්නා අදහස් තීව්ර කරනවා. නාට්‍යයේ ඉදිරිපත් කිරීම තුල පසුබිමින් ගලා යන මහා සිදුවීම වන චිත්‍රපට දර්ශනයේ හඬ පටය, නාට්‍යකරුවා විසින් විටින් විට අපට ඇසීමට සළස්වනවා. එය සංකේතාත්මකව, නාට්‍යයේ යටිපෙල බිහි කිරීමට යොදාගෙන ඇති ආකාරය අතිවිශිෂ්ඨයි. එයම සිනමා තිරය මතින් ප්‍රක්ෂේපණය කෙරෙන ආලෝක කදම්භයන් දැක්වෙන දෘෂ්‍ය ප්‍රයෝගයක් ලෙස ද යොදාගෙන තමන් නොකියා කියූ දෙය තවතවත් ප්‍රබල කිරීමට ද චාලක අවස්ථාව තිබුණු බව මෙහිලා පැවසිය යුතුයි.

නාට්‍යයේ චරිතයන්ගේ දෙබස් අතරින් විටෙන් විට මතුවන චිත්‍රපටයේ දෙබස් අපට ඇසෙන්නේ, චිත්‍රපටයේ චරිත, නාට්‍යයේ චරිතයනට දක්වන ප්‍රතිචාර ලෙසයි. නාට්‍යයේ සිටින ගණිකාවගේ ආදරය හිමිකරගත් පරමාදර්ශී පෙම්වතා ඇයට හමුවන්නේ චිත්‍රපටය තුලදීයි. රිදී තිරයේ පෙම්වතාගේ හඬට, ඇය අප ඉදිරියේ හිඳිමින් ප්‍රතිචාර දක්වනවා. ''බොක්ස්'' තුල සිටින ගණිකාවට ප්‍රතිමුඛ වන සමාජයේ, බොනී මහත්තයා-හොඳ කෙනා හෙවත් මහා පොදු පුරුෂ ෆැන්ටසිය ඉදිරියේ දර්පණය තැබීමට චාලකට හැකිවී තිබෙනවා. ප්‍රචණ්ඩත්වය ෆැන්ටසිකරණය වීම සහ ෆැන්ටසියම නැවත පද්ධතිගත ප්‍රචණ්ඩත්වය බිහිකිරීමට දායක වීම දක්වා ගැඹුරක් දැනවීමට බොක්ස් සමත් වී ඇති බව මගේ නිගමනයයි.

නාට්‍යයේ පසුතලය නාට්‍යයේ අත්දැකීම සමග ගසට පොත්ත මෙන් බද්ධ වී තිබුණා මෙන්ම එය නවමු අත්දැකීමක් ද වුනා. එමෙන්ම ඔවුන් විසින්ම නිර්මාණය කරගත් වේදිකා තාක්ෂණයක් ද නාට්‍ය පුරාම දැකගන්නට ලැබුණා. නාට්‍යයේ රගපෑ සරත් කරුණාරත්න සහ සුදාරා රන්දිනී, විශිෂ්ඨ රංගනයන් සැහැල්ලුවෙන් ඉදිරිපත් කරමින් තම චරිත වෙත උපරිම සාධාරණය ඉටුකොට ඇති බව පැවසිය යුතුයි. තවත් වේදිකා නාට්‍ය කිහිපයකින් අප දැක ඇති සරත්, බොක්ස් හීදී අපට හමුවන්නේ වෙනස්ම කෙනෙකු ලෙසින්. ඔවුන් දෙදෙනාම තම චරිතයන්හි දිග පළල හඳුනාගෙන, හුදු හාස්‍යයට පිරිනැමෙන ගැලරියේ විසිල් අභිබවා නාට්‍ය වෙනත් සියුම් තැනකට රැගෙන යාමට සමත් වී තිබුණා.

''බොක්ස්'' තුලින් පිටතට එන හාස්‍යය මතුවන්නේ නාට්‍යයේ සන්දර්භය මත සිදුවන ගැටුමක් ලෙසයි. විටෙක එය සැබෑවටම සිදුවන්නක් ද යැයි ප්‍රේක්ෂකගාරයට සිතෙන තරමටම හාස්‍යජනක වෙනවා. එහෙත් එසැනින්ම අපට අප සමගම එකඟ වන්නට සිදුවෙනවා! මට සිතෙන පරිදි ''බොක්ස්''තුලදී සිදුවන්නේ සම්මුති සත්‍යය ඉදිරියෙන් ප්‍රේක්ෂකගාරයේ එකිනෙකා ගේ පෞද්ගලික සත්‍යය තැබීමයි. එවිට සිනහ සයුරක ගිලෙමින් නාට්‍ය නැරඹීම හැරෙන්නට වෙනත් විකල්පයක් ඉතිරි වන්නේ නැහැ. නාට්‍යයේ බොහෝ තැන් වලදී ප්‍රේක්ෂකාගාරය ''බොක්ස්'' රසවිඳින්නේ සාමූහිකවයි. නාට්‍යයට ප්‍රේක්ෂකයන් දක්වන ප්‍රතිචාර වල හැඩය තීරණය වීමට, ඔවුනොවුන් සජීවීව දක්වන පෞද්ගලික ප්‍රතිචාර තුලින් සිදුවන දිරිගැන්වීම් ද හේතුවෙනවා. ප්‍රතිඵලය වන්නේ සාමූහික සිනහවක්. එවිට නාට්‍යය අවසානයේ දී අපූරු දෙයක් සිදුවෙනවා නාට්‍යයේ සමස්ථය සඳහා තමන්ගේ ප්‍රතිචාරය විය යුත්තේ සිනහවක් ද සුසුමක් ද යන වග තීරණය කිරීමට ප්‍රේක්ෂකාගාරයට තමන්ගේ එහා පැත්තේ ඉන්න කෙනා දිහා බැලීමට සිදුවෙනවා. ඒ මොහොත වන විටත් ප්‍රේක්ෂකයන් වන අප සිටින්නේ අඩ අඳුරේ, තම තමන්ගේ බොක්ස් තුලට වී නිසා අප අසළ සිටින්නා අප දෙස හොරැහින් බැලූ බව අප දකින්නේ නැහැ. අප ද ඔහු දෙස බැලූ බව ඔහු දන්නේත් නැහැ.





READ MORE - "බොක්ස්" ගැන තව ටිකක්.........

ජනකරළිය නාට්‍ය මාලාව

Thursday, June 23, 2011

පුවත, බූන්දිගෙන්......
ජුනි මස 23 වන දා සිට ජුලි මස 13 දා දක්වා හෝමාගම දී, ජනකරළිය නාට්‍ය කණ්ඩායම මෙහෙයවන නාට්‍ය මාලාවේ, හෙන්රි ජයසේන ගේ හුණුවටයේ කතාව, සෝමලතා සුබසිංහ ගේ තොප්පි වෙළෙන්ඳා සහ පුංචි අපට දැන් තේරෙයි, පරාක්‍රම නිරිඇල්ලගේ සෙක්කුව, මැටි කරත්තය, අන්දර මල්, ඉන්දික ගේ කලම්බෝ.. කලම්බෝ, ප්‍රියන්ත සිරිකුමාරගේ බර්නාඩාගේ සිපිරි ගෙය ආදී නාට්‍ය ගණනාවක් වේදිකාගත වේ.


Janakaraliya Drama Festival

From 23rd June to 13th July in the Janakaraliya Mobile Theatre

Installed on the New Urban Project Grounds – Homagama


Charandas

Adapted & Directed by

Parakrama Niriella

(Awarded Best Drama at the State Drama Festival 2006Winner of

09 award Represented International Drama Festival New Delhi 2008)

23rd Thursday 9.30am /6.30pm


Sekkuwa

(Oil Press)

Written & Directed by

Parakrama Niriella

(Most Outstanding Drama in State Drama Festivals 1976 & 2010

Winning 11 Awards for Sinhala and Tamil productions)

24th Friday 9.30am /6.30pm


Andara mal

(Andara Flowers)

Directed by Parakrama Niriella

('Andara mal' is one of the most performed popular Janakaraliya dramas)


Short Plays

Samanthara

(Parallel)

Directed by

Rathna Pushpa Kumari

Thavama

Merila ne

(Not Yet Dead)

By the drama group of Jaffna State Security Headquarters

25th Saturday 6.30pm


Short Plays

Thaniyek Visishtai

(A Loner is Great)

Written & Directed By

Aloka Sampath

Kochchiya Enkan

(Awaiting the Train)

Written & Directed by

Lasantha Francis

Dinosaur Premaya

(Dinosaur Love)

Written & Directed By

Nuwan Dharshana

(Three of the Best Short Plays Winning number of awards

at State Drama Festivals and Youth Drama Festivals 2003 through 2010)

26th Sunday 2.30pm/6.30pm


Metikaraththaya

('The Little Clay Cart' of Shudraka)

Directed By

Parakrama Niriella

(Adjudicated the best non original drama in

the State Drama Festival, 2010 winning 06 awards)

27th Monday 9.30am/ 6.30pm


Soru Evilla

(Thieves are Here)

And

Devlova Gamana

(Journey to Heaven)

Children’s plays created by Janakaraliya Drama Group

('Soru Evilla' Awarded ‘Best Children’s Drama’

at State Children’s Drama Festival 2001

-Written by Sumith Samarasinghe)

28th Tuesday 9.30am/6.30pm


Seethambarapata

(Heavenly Clothes)

and

Andara Mal

(Andara Flowers)

Directed by

Parakrama Niriella

(Two of the most performed popular Janakaraliya plays

– Heavenly Clothes written by Mangala Senanayake)

29th Wednesday 9.30am/6.30pm


Sekkuwa

(Oil Press)

Written & Directed by

Parakrama Niriella

(Most Outstanding Drama in State Drama Festivals 1976 & 2010

Winning 11 Awards for Sinhala and Tamil productions)

30th Thursday 9.30am/6.30pm


Charandas

Adapted & Direct red by

Parakrama Niriella

July 1st Friday 9.30am -6.30pm


Hunuwataye Kathawa

(Caucasian Chalk Circle

of Bertolt Brecht)

Adapted & Directed by

Henry Jayasena

(Most performed drama throughout more than 40 years

and a land mark in the history of the Sri Lankan drama.)

2nd Saturday 6.30pm


Short plays of Janakaraliya

Siththarage Sihinaya

(Artist’s Dream)

Andura Saha Eliya

(Gloom and the Light)

Madhura Jame

(Sweet times)

Thaham

(Thirst)

(A series of experimental short dramas and performances by Janakaraliya team)

Ape Kalaye Weerayek

(Hero of Our Time)

(Best Short Play Winning 6 awards at Youth Drama Festivals in 2010)

3rd Sunday 6.30pm


Eheth Ehemai

(There’ too like ‘Here)

By Sunil Chandrasiri

(An Adaptation of Nikolai Gogol’s Drama ‘Government Inspector’)

4thMonday 9.30am – 6.30pm


Metikaraththaya

('The Little Clay Cart' of Shudraka)

Directed By

Parakrama Niriella

5th Tuesday 9.30am – 6.30pm


Thoppi Welenda

(Hat Seller)

And

Punchi Apata Den Therai

(Little Us Know that Now)

Directed By

Somalatha Subasinghe

(These children’s plays have made representation at International Children’s Drama Festivals

in France, Korea, Australia and India. Two very popular and precedential Children's drams performing

for over 20 years by the ‘Children's & youth Theatre Foundation.’)

6th Wednesday 9.30am – 6.30pm


Colombo Colombo

Directed By Indika Fernando

(Adjudicated Best Drama at the State Drama Festival 2010 Winning 10 awards

Represented New Delhi Drama Festival on Asian Women – 2009

and International Drama Festival – Kathmandu, Nepal – 2010)

7th Thursday 9.30 -6.30pm


Bernadage Sipiri Ge

(House Bernada Alba)

Directed By

Priyantha Sirikumara

(Adaptation of French playwright Fredrico Gartia Loca's play)

9th Saturday 6.30pm


Sekkuwa

(Oil Press)

Written & Directed by

Parakrama Niriella

10th Sunday 6.30pm


Metikaraththaya

('The Little Clay Cart' of Shudraka)

Directed By

Parakrama Niriella

11th Monday 9.30am/6.30pm


Soru Evilla

(Thieves are Here)

and

Devlova Gamana

(Journey to Heaven)

Children’s plays created by Janakaraliya Drama Group

12th Tuesday 9.30am/6.30pm


Charandas

Adapted & Direct red by

Parakrama Niriella

13th Wednesday 9.30am/6.30pm
READ MORE - ජනකරළිය නාට්‍ය මාලාව

විශ්වවිද්‍යාලයීය නා‍ට්‍ය උළෙල - 2011

Monday, March 21, 2011
























කොළඹ විශ්‍ව විද්‍යාලයේ, ශ්‍රී පාලි මණ්ඩපය මගින් ඉදිරිපත් කෙරෙන ප්‍රථම විශ්ව විද්‍යාලයීය නාට්‍ය උළෙල මාර්තු මස 28 සිට 31 දක්වා ශ්‍රී පාලි මණ්ඩපයේ, අරුන්දතී රංග ශාලාවේදී පැවැත්වේ.

මාර්තු 28 - ජනේලෙන් පනින්න ද? (කැළණිය විශ්ව විද්‍යාලය)

මාර්තු 29 - කෙටි නාට්‍ය දැක්ම : අත්තානං / එස්.එම්.එස්. / මගේ කාලයේ වීරයෙක්

මාර්තු 30 - පුටු (සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය)

මාර්තු 31 - අඳුර ඇඳි මිනිස්සු - (ශ්‍රී පාලි මණ්ඩපය, කොළඹ විශ්ව විද්‍යාලය)


උළෙල සමගාමීව චිත්‍ර හා සැලසුම්කරණ විද්‍යාර්ථීන්ගේ වාර්ෂික චිත්‍ර ප්‍රදර්ශනය, පොත් ප්‍රදර්ශන, ආරාධිත දේශන පැවැත්වීමට නියමිතය.

සංවිධානය: ප්‍රසංග කලා අධ්‍යයනාංශය සමග ශ්‍රී පාලි තරුණ නා‍ට්‍යකරුවෝ (SYD), ශ්‍රී පාලි මණ්ඩපය.

ඔත්තුව - බූන්දි ගෙන් සහ Priyantha Fonseka
READ MORE - විශ්වවිද්‍යාලයීය නා‍ට්‍ය උළෙල - 2011

දෙබස් නාට්‍යය දෙපයින් හිටවූ නාට්‍යවේදියා

Thursday, August 12, 2010


දෙබස් නාට්‍යය දෙපයින් හිටවූ නාට්‍යවේදියා
----ආර්. ආර්. සමරකෝන්----
*--අත්‍යාවශ්‍ය විමසුමක්--*



රණසිංහ රාජපක්ෂ සමරකෝන් හෙවත් කවුරුත් දන්නා ආර්. ආර්. සමරකෝන් හෙවත් කැළණි පාලම හැදු ආර්. ආර්. සිය 71 වෙනි උපන්දිනයට දින කිහිපයක් ඉතිරිව තිබිය දී දිවි රඟ මඩලින් බැස ගියේය. කෙතරම් බැලූවත් එපා නොවෙන අතළොස්සක් සිංහල නාට්‍ය අතරින් හුණුවටය හෝ සුභ සහ යස හැරුණු විට වැඩිම පේ‍්‍රක්ෂක සම්භාවනාවට පාත‍්‍ර වූ නාට්‍යය කැළණි පාලමයැයි සිතමි.

කැළණි පාලමයැයි කියූ විට බොහෝ දෙනෙකුට සිහියට එන්නේ් අර අපූරු ”මැම්බර් මහත්තයා”වය. අපේවේදිකාව නිපද වූ විශිෂ්ටතම රංගධරයෙකු වන ජේ. එච්. ජයවර්ධන විසින් නිරූපණය කරන ලද එකී චරිතය පමණක් නොව චුට්ටේ (නීල් අලස්), මැටිල්ඩා (රම්‍යා වනිගසේකර), රූපවතී (මැණිකේ අත්තනායක), සරණපාල (සිරිල් ධර්මවර්ධන), සුරංගනී (ගීතා කාන්ති ජයකොඩි) වැනි පාලම උඩ ලෝකයේ චරිත ද පේ‍්‍රක්ෂක සන්තානයේ සදා රැඳුණෝ වෙති. ඔවුන් එහි ලා ප‍්‍රකට කළ රංගන කෞශල්‍යයත් ඔවුන් කරළිය මත හසුරුවා ගන්නට ආර්.ආර්. දැක්වූ බුහුටි බවත් නොවන්නට කැළණි පාලම කෙතරම් අපූර්ව පෙළක් වුවද එ් සා සාර්ථකත්වයක් අත් කර නොගන්නට ඉඩ තිබිණි.
තිරය පිටුපස යෝධයෙකු වූ සමරකෝන් ඉන් බැහැර ජීවිතයේදී නිහඬ මිනිසෙකු විය. නාට්‍ය අරික්කාලක් කිරීමෙන් පසු ටෙලි නාට්‍ය උමතුවට ගොදුරු වීමෙන් කාලයත් හොඳ නිර්මාණයකට යොදවා ගත හැකි ශක්තියත් අපතේ් යවන අපේ කාලයේ තරුණ නාට්‍යකරුවන්ට වඩා වෙනස් ලෙස, ආර්. ආර්. ද ඇතුළත් හැටේ දශකයෙන් ගමන් ඇරඹූ නිර්මාණකරුවෝ අද පවා අපට කතා කළ හැකි බොහෝ හොඳ නිර්මාණ බිහි කළහ.

කැළණි පාලම යනු එබඳු එක් කඩ ඉමකි. විවිධ පර්යේ්ෂණ මැද අසාර්ථක දරු උපත් පෙරහැරකට පසුත්, හසරක් නැතිව මග සොයමින් සිටි සිංහල නාට්‍යය නිසි ලෙස ගැබ් ගැන්වෙන්නේසරච්චන්ද්‍ර අතිනි. එහි ඵලය 1956 දී ”මනමේ” බිහිවීමය. ඉනික්බිති, සිදු වූයේ හැමෝම සරච්චන්ද්‍රලා වීමට යෑමෙන් ”කට්ටියම හොඳටම නා ගැනීමය”. එසේ, මනමේ යෝධ සෙවණැල්ල යට අනුකාරකවාදීන් අතින් ගෙල සිර කරන ලදුව හුස්මක් සොයමින් සිටි සිංහල ස්වභාවික නාට්‍යයට නැවත ඔක්සිජන් දෙන්නේ් සුගතපාල ද සිල්වා ය. ඒ සුගත් 1962 දී ”බෝඩිංකාරයෝ” කරළියට ගෙන ඒමෙනි. ඉන් අනතුරුව එන යුගය පුරාවට මෙකී සම්ප‍්‍රදායන් ද්වයම බොහෝ දක්ෂයන් අතින් දැඩි ලෙස පරීක්ෂණයට බඳුන් වන අතර, 1978 දී සමරකෝන් විසින් කැළණි පාලම වේදිකාව මතට ගෙන එනු ලැබීමෙන්, ලාංකේය යථාර්ථවාදී රංග ව්‍යාපාරයේ තවත් එක් විශිෂ්ට කඩ ඉමක් සටහන් කරනු ලබයි.

සමරකෝන් ස්වතන්ත‍්‍ර රචකයෙකු විය. ලෙඩක් නැති ලෙඩෙක් (1965), චරිත දෙකක් (1967), අහසින් වැටුණු මිනිස්සු (1971), ඉඩම (1975), කැළණි පාලම (1978), ජේලර් උන්නැහේ් (1986), මිනිහෙක් (කෙටි නාට්‍යය- 1979), දුවිලි (1990), රජ කතාව (1991), කපුටු බෝ (2003), කකුල් හතරේ ඉලන්දාරියා (2009) යන ඔහුගේ සියළු නාට්‍ය නිර්මාණ ස්වතන්ත‍්‍ර රචනා ය. නාට්‍ය නිෂ්පාදකයෙකු තමන් විසින්ම ලියන ලද පිටපත් ඇසුරෙන්ම සිය නාට්‍ය චාරිකාවේ නියැලීම අපූර්වත්වයකි.

”හොඳ” නාට්‍ය පෙළක් තමන්ගේම අමු ද්‍රව්‍ය වලින් ගොඩ නගා ගැනීම ”හපන්කම”කි. හොඳ විදෙස් නාට්‍ය පරිවර්තනය කිරීම මෙන්ම හොඳ ස්වීය නිර්මාණ කිරීම ද රටක නාට්‍ය කලාවේ උන්නතියට හේතු වෙයි.

සමරකෝන් ”වේදිකාව” සිය පරම ප‍්‍රකාශන මාධ්‍යය බව ඇදහුවේය. තමා අතින් ලියැවෙන පෙළ තමා අතින් නිෂ්පාදනය වීමෙන් පමණක් සාර්ථකත්වයට එළැඹිය හැකි බව ඇදහුවේය. අපේ් පරම්පරාවේ (අනූව දශකයේ) නාට්‍යකරුවන්ගෙන් එමග ගත් අය අතුරින් වඩාත්ම අවධානයට ලක් වෙන නාට්‍යකරුවා රාජිත දිසානායකය. සක්වාදාවලේසිට සිහින හොරු අරං දක්වා රාජිත ලියා නිපැයූ නාට්‍යාවලිය විමසන කල අනූ හතරේ සිට අද දක්වාම රාජිත විසින් කරනු ලැබ ඇත්තේ ද සමරකෝන් මෙන්ම ”වේදිකාව” ස්වකීය ප‍්‍රකාශන මාධ්‍යය ලෙස භාවිතා කළ හැකි උපරිම සීමාව සොයා යාම බව පැහැදිලිය. ඉන්දික ෆර්ඩිනැන්ඩු ද එමග ගන්නා බවට පෙර ලකුණු පහළ ව ඇතත්, ඔහුගේ ඉදිරි මග කෙබඳු වේදැයි කියන්නට තවමත් කල් වැඩිය.

සමරකෝන් නාට්‍යාවලියෙහි තවත් සුවිශේ්ෂ ලක්ෂණයක් වන්නේ, ඔහු අන් නිෂ්පාදකයන් විසින් බහුල ලෙස යොදා ගන්නා බොහෝ ආනුශංගික අංග සම්බන්ධයෙන් දක්වන ”දැනුවත්” නොසැලකිල්ලයි. ඔහුගේ් කිසිම නාට්‍යයක ඔහු සංගීතය යොදා නොගනී. ගීත යොදා නොගනී. මෙකී අංග මගින් නාට්‍යයක ඉටු කරනු ලබන කාර්්‍යය වන්නේ පැහැදිලි ලෙසම රංගන ශිල්පීන්‍ෙභාව ප‍්‍රකාශන සෞන්දර්යාත්මකව පේ‍්‍රක්ෂකයාට සම්පේ‍්‍රෂණය කිරීමත්, එමගින් පෙළ විසින් ඉල්ලා සිටිනු ලබන නාට්‍යමය සන්දර්භයේ රිද්මය නඩත්තු කිරීමත්ය. සමාන්‍යයෙන් ලංකාව බඳු රටවල රසික සමූහයා වැළඳ ගන්නේ ගීත සහ සංගීතය ද අනුපාන ලෙස ගත් නාට්‍යයය. ඉතාම ජනප‍්‍රිය වූ සුභ සහ යස වැනි ව්‍යතිරේකයක් හැරුණු විට අන් සියල්ලෙහි අඩු වැඩි වශයෙන් සංගීතය සහ ගීත යොදා ගෙන තිබෙයි. එසේ් වී නම්, කිසිදු ගීයක් හෝ සංගීත ඛණ්ඩයක් යොදා නොගන්නා කැළණි පාලම, අර තරම් ”දිව්වේ” මන්ද යන්න සොයා බැලිය යුතුය. (එය දිවයින පුරා දර්ශන වාර 3000කට වඩා වැඩියෙන් රඟ දක්වා තිබේ.)

ඇත්තෙන්ම, ආර්.ආර්. එම”හපන්කම” පෑවේ ”දෙබස්” මගින් ය. (ඔහු අපේ වේදිකාවට මෙතෙක් පහළ වූ ශූරතම දෙබස් රචකයා වේ ය යන ඇස්තමේන්තුව සමග කැළණි පාලමේ දෙබස් අවධානයෙන් සලකා බැලූ කිසිවෙකු හෝ විරුද්ධ නොවෙනු ඇත.* ඔහු රිද්මයක් සහිත පේ‍්‍රක්ෂාවක් නිපයූවේ චරිත අතර හුවමාරු වන දෙබස් (වචන) වල අන්තර් සංඝටනාව මගිනි. එක දෙබසකින් පසු අනෙක් දෙබස පැන නගින්නේ්, සාමාන්‍ය ”නැරඹීමක” දී අවිෂයය වන්නා වූ එහෙත් සමීප නැරඹීමකින් පමණක් හෙළිදරවු වන එක්තරා රිද්මයානුකූල පිළිවෙළකටය.

සුගතපාල ද සිල්වා මෙසේ් කියා තිබෙයි. ”ආර්. ආර්. ගේ බස එදිනෙදා භාවිත බස ලෙස කණට ඇසුන ද නාට්‍යයට අවශ්‍ය කාව්‍යමය ගුණය එහි ගැබ් වෙයි. අපි බොහෝ දේ්වල් මතක තබා ගන්නේ කවියෙනි. අප්ත පද වලිනි. මතකයේ් රැඳෙන කියුම් මගිනි. ආර්. ආර්. මේ රහස අවබෝධ කර ගත් නාට්‍ය කරුවෙකි. ඔහු ටිකකින් හුඟක් කියන්නේ එහෙයිනි.”

මේ සම්බන්ධයෙන් යම් අදහසක් දීම පිණිස මැටිල්ඩා සහ සරණපාල අතර පහත එන දෙබස උපුටමි.

සරණපාල- (ඇතුල් වෙමින්) අම්මේ, දාන්ඩකෝ ප්ලේන් ටී පාරක්.

මැටිල්ඩා- (ඉදිරියට පැමිණ) මම දෙනව උඹට හොඳවැයින් කම්මුල් පාරක්. කොහෙද යකෝ එළිය වැටිච්ච වෙලේ ඉඳන් අර බල්ලගෙ පස්සෙයි - මේ බැල්ලිගෙ පස්සෙයි වීදියක් වීදියක් ගානෙ සවාරි ගහන්නෙ. හරියට වීදියෙ බණ්ඩාර වාගෙ. උඹ හිතනවද ඔය එකෙක්වත් උඹට නැති බැරි වෙච්ච කාලෙක ඇවිත් හුළැගිල්ලවත් දික් කරයි කියල. එහෙම නං ඉතිං කැළණි ගඟත් හිඳෙන්න ඕන. කොහෙන්ද උඹට ඔය කමිසෙ.

සරණපාල- යාළුවෙකුගෙන් ඉල්ල ගත්තා.

මැටිල්ඩා- ඇයි උඹ ඊයෙ රාත්තිරියෙ ගෙදර ආවෙ නැත්තෙ?

සරණපාල- මේ බිංගේ් ඇතුලෙ තුන්දෙනෙකුට නිදා ගන්න පුළුවන්ද?

මැටිල්ඩා- ආව් අම්ම. මදැයි උඩ ගිහින් තියෙන තරම. කියාපන්කො තාත්තට කිරි ගරුඬෙන් මාළිගාවක් හදල දෙන්ඩ කියල. පණුවො කාපු දතක් වාගෙ මුළු ගේම හෙල්ලූම් කනවා. ඊයෙ ? ගහපු හුළං පාරට තව පොඞ්ඩෙන් වහලෙත් නෑ. රෙද්දක් ඇඳගෙන දොට්ට බහින්න බෑ ඉහේ කෙස් ගානට ණය වෙලා. එ්වා ඔන්නෑ උඹ පලයං රෝන්දෙ. ඇයි ඉතිං මම හිඟා කාල හරි තුන් වේලම බොක්ක පුරවනවනෙ. අර බෙළෙක්කෙ ඇති තේ කහට ටිකක් ගිහිං වක්කර ගෙන බීපන්. ඇයි පාවඩ එලනකල්ද බලාගෙන ඉන්නෙ? ගිහින් වක්කරගෙන බීපන්.

සරණපාල- මට ඕන්නෑ.

මැටිල්ඩා- උඹට මං සුද්ද සිංහලෙන් කියන්නෙ. ඔය පිප්ප්ලි ගෙරවිලි වලට එන්ඩ එපා මාත් එක්ක ඕං ඇහුනද? උඹලට රාජ බෝජන දෙන්ඩ අපට හයිය නෑ.


මේ දෙබසෙහි කිසිදු උච්චාරණ පලූද්දක් නැත. එනම්, දෙබස රංගනයේදී සුඛනම්‍ය ලෙස හසුරවා ගත හැක. වෙනත් නාට්‍යයක සෘජු ලෙස දෘශ්‍යමාන වන ආනුශංගික අංගවලින් කුළු ගැන්වෙන සෞන්දර්යය, මේ නාට්‍යය තුළ උත්පාදනය වන්නේ් චරිත වල හැසිරීම් මගිනි. හැම චරිතයක්ම සියුම් ලෙස විග‍්‍රහ කෙරේ. රූපවතීගේ ශරීර මාංශය පතමින් ප‍්‍රයෝග යොදන මැම්බර් ඇයගේ කතාව ඇසූ පසු තමන් ගැනම කලකිරෙන අන්දමත්, ගනුදෙනුව පිණිස ගෙන ආ මුදල් විසි කර යන අන්දමත් විමසන්න. වර්ග චරිතයක් බවට පත් වී ඝාතනය වන්නට ඉඩ තිබූ මැම්බර්ගේ් චරිතය යට සැඟවුනු සුන්දරකම සමරකෝන් පෙන්වන්නේ් එක දෙබස් ඛණ්ඩයකිනි.

රූපවති- කන බොන දේවල් සල්ලිය බාගෙ පයට පෑගෙන්ඩ වීසි කරන එක පව් දෙය්යනේ

මැම්බර්- එ්ක තමා යකෝ ඇහිඳගන්ඩ කිව්වෙ. මං යනවා මාටින්කාරය ආවොත් කියාපන් මං ගියා කියල. කියාපං මං කෑවට බිව්වට රෝන් සයිඞ් එකෙ යන මිනිහෙක් නොවෙයි කියල.

ආර්.ආර්.ගේ් නාට්‍ය වලින් කැළණි පාලම හැරුණු විට පේ‍්‍ර්ක්ෂකයන් විසින් දැඩිව වැළඳ ගත් අනෙක් නාට්‍ය වූයේ් ”අහසින් වැටුනු මිනිස්සු” (1971) සහ ”ඉඩම” (1975) යි. ආර්. ආර්. සිය නාට්‍ය ව්‍යාපාරයෙහි ලා වඩාත්ම රුචි කළේ සමාජයේ පීඩිත මිනිසුන්ගේ් ජීවිත ඉරණම විමසීමය. ඔහුගේ් මුල්ම සාර්ථක නිර්මාණය සේ සැලකෙන අහසින් වැටුණු මිනිස්සු සිංහල වේදිකාව මත එබඳු සෘජු දේ්ශපාලනික මැදිහත්වීමක් සහිත පළමු කෘතිය ලෙස සැලකිය හැක.

ඔහු ස්වකීය නාට්‍ය සඳහා යථෝක්ත තේ්මාව විවිධ ලෙස භාවිතා කොට ඇති අයුරු, ඔහුගේ් එක් එක් නාට්‍යයේ් තේ්මා ඇසුරින් වටහා ගත හැක.

අහසින් වැටුණු මිනිස්සු-
නාගරික මුඩුක්කු පවුලක් වටා ගෙතුනු නාට්‍යයකි. දරීද්‍රතාවය විසින් මිනිසුන් තමන් තුළ ඇති මිනිස් වටිනාකම් කෙරෙන් පිරිහෙලනු ලැබ ඇති අන්දම විෂයය කර ගනියි.

ඉඩම-
නිර්ධනීන් ගේ් ඉඩම් ප‍්‍රශ්ණය සාකච්ඡා කරයි. පසු වැඩවසම් ලක්ෂණ සහිත සමාජයන්හී දක්නට ලැබෙන ඉඩම් අයිතිය පිළිබඳ ගැටළුව සලකා බැලෙයි.

කැළණි පාලම-
නිවාස අහිමි, කීර කොටු ආශ‍්‍රිත නිර්ධනීන් ගේ් ජීවිත විෂයය කර ගනියි. පාලක පංතිය එකී ගැටළු විසඳීම වෙනුවට කැරට් අල පෙන්වා රැවටීමේ සදාතනික ගැටළුව සාකච්ඡා වෙයි.

ජේ්ලර් උන්නැහේ්-
අපරාධකරුවන් මුර කරන බන්ධනාගාර නිලධාරියෙකු ගැන කතාවකි. අපරාධකරුවන් ද ඔවුන් බලා ගැනීමට යොදවා සිටින මුරපල්ලන් ද යන මේ සියල්ලෝ එකම පංතියකට අයත් පීඩිතයෝ ය යන්න සාකච්ඡුා වෙයි.

සමාජ දේශපාලනික ගැටළු ස්පර්ශ කළ ද ආර්. ආර්. ස්වකීය නිර්මාණකරණයේ දී සෘජු දේශපාලන ප‍්‍රචාරකවාදයකට යට නොවෙයි. සමාජ යථාර්ථයේ සැබෑව නිර්දය ලෙස වේදිකාව මත විවර කොට දී එතැනින් එහාට සිතිය යුතු දේ ඔහු පේ‍්‍ර්ක්ෂකාගාරයට භාර දෙයි. ආර්.ආර්. ස්ථානගතව හිටියේ අමරසේකර විසින් 1976 නාට්‍ය උළෙල අවසානයේ දී පපඩම් නාට්‍ය ලෙස ගර්හාවට ලක් කරන ලද නාට්‍ය ව්‍යාපාරය තුළ නොවේ. (එම අමරසේකරම මේ වන විට ජාතික චින්තන පපඩම තුළ කරවටක් ගිලී ඇති අන්දම වෙනම කතා කළ යුතු දෙයකි!) ගුණදාස අමරසේ්කරම කැළණි පාලම මංගල දැක්ම බැලීමෙන් පසු තමන්ව පසෙකට කැඳවා බෙහෙවින් ප‍්‍රශංසා කළ අන්දම ආර්.ආර්. කැළණි පාලම පිටපතේ පෙරවදනේ සඳහන් කරයි. නාට්‍යය පිළිබඳ පළමු විචාරය ඬේලි නිවුස් පත‍්‍රයට ලියා යවා ඇත්තේ ද අමරසේ්කර ය. පසුකාලීනව 1981 දී අමරසේ්කර ”කැළණි පාලම සිංහල නාට්‍ය ඉතිහාසයෙහි සන්ධිස්ථානයක් බව මම තවමත් පිළි ගනිමි”යැයි සඳහන් කෙරුවේය.

කැළණි පාලම ගැන විමසුමක් කළ ධර්මසේ්න පතිරාජ සමරකෝන්ට පමණක් නොව වෙනත් ඕනෑම නාට්‍ය නිෂ්පදකයෙකුට දෙබස් නාට්‍යයේ ආකෘතිය මින් එහාට වර්ධනය කළ හැකි වේයැයි නොසිතන බව කියයි. ඇත්තවශයෙන්ම සිදු වූයේද එයයි. සමරකෝන්ටම පවා තමන් නිපැයූ කැළණි පාලමෙන් එහාට යා ගත නොහැකි විය!

අවසාන වශයෙන්, සමරකෝන් ගොඩ නැගූ නාට්‍ය සම්ප‍්‍රදාය ලාංකේය නාට්‍ය කලාව තුළ ස්ථානගත වන්නේ කවර තැනක ද යන්නත් එමගින් මතු පරපුරට ලබා ගත හැකි යහපත් අගෝංපාග කවරේ ද යන්නත් පිළිබඳ පුළුල් පර්යේෂණයක් සිදු විය යුතු බව අවධාරණය කරනු කැමැත්තෙමි. එමෙන්ම මෙතෙක් පළ නොවූ සමරකෝන්ගේ පිටපත් මුද්‍රණද්වාරයෙන් එළි දැක්වීමට යම් වැඩ පිළිවෙළක් දියත් වන්නේ නම් එය ද ඔහුගේ නාට්‍ය මග හදාරන සිසුන්ට ද නාට්‍ය ලැදි පොදු පාඨක ප‍්‍රජාවට ද මහත් පිටිවහලක් වනු නියතය.

මාෂා ජයසේන
2010.08.09



ඇමිණුම-1
ආර්. ආර්. සමරකෝන් පිළිබඳ තොරතුරු කිහිපයක්-

උපන් දිනය- 1939 අගෝස්තු 14
උපන් ගම- නාවලපිටිය, දෙකිඳ
නියැලූනු වෘත්තිය- සතොස ආයතනයේ ලිපිකරුවෙක් ලෙස භාෂා පරිවර්තකයෙක් ලෙස සහ පසුව කළමනාකරුවෙක් ලෙස.
බිරිඳ- රම්‍යා වනිගසේකර

එළි දැක්වූ පොත්- දෙහදක් අතර, ගැහැණියකගේචරිතයක්, ගේකුරුල්ලෝ, එක කුසේ උපන් එවුන් යන නවකතා

ගුවන් විදුලි නාට්‍ය- සුදු වළාකුළු

ලැබූ සම්මාන-
අහසින් වැටුණු මිනිස්සු සඳහා-
1971 රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නව නිර්මාණ පිටපත, හොඳම (නව නිර්මාණ) නිෂ්පාදනය, හොඳම නළුවා (රංජිත් යායින්න) හොඳම සහාය නිළිය (චන්ද්‍රා කළුආරච්චි).
ඉඩම සඳහා-
1975 උළෙලේ් හොඳම ස්වතන්ත‍්‍ර රචනය, හොඳම නිළිය (චන්ද්‍රා කළුආරච්චි*.
”ගේ කුරුල්ලෝ” ප‍්‍රබන්ධය සඳහා-
රාජ්‍ය සාහිත්‍ය සම්මානය.


ඇමිණුම-2
කැළණි පාලම ලියූ හැටි
කැළණි පාලම” මුද්‍රිත පිටපත- ආර්. ආර්. සමරකෝන්ගේ පෙරවදනෙන්

අහස නොකඩවාම දින දහයක් දොළහක් හඬා වැටිණ. වැහි වතුර පාර තොට පුරා දෝරේ යන්නට විය. වැස්සේ් හැඩ රුව අනුව එය කොළඹට පමණක් නොව මුළු රටටම ඇද හැලෙන්නක් බව මට තේ්රුම් ගියේ්ය. එක් සෙනසුරාදාවක හවස් වරුවේ තවත් වගුරුවන්නට කඳුළු නැති බැවින්දෝ හිටි හැටියේම වැස්ස තුරල් වී කහ පැහැති අව් රැල්ලක් ද එබිකම් පාන්නට විය. මම කලින් නියම කරගත් ගමනකට සැරසී එළියට බැස්සෙමි. ගල්කිස්සෙන් කිරිබත්ගොඩට යන බසයකට ගොඩ වූ මට දෙමටගොඩට යාගත නොහැකි විය. අහස ගුගුරා යළි මහ වැස්සක් ඇද හැළිණ. කුඩ කබලක්වත් රැගෙන ඒමට අමතක වූ බැවින් මම හිත යටින් වෙව්ලා ගියෙමි. කැළණි පාලම පසු කරත් දී අන් කවරදාකවත් නොදුටු දසුනින් මම අන්ද මන්ද වීමි.

පාලම දෙපැත්තේ තැනින් තැන පොල් අතු කූඩාරම් කීපයක් අටවා තිබිණ.

මම යන්නට ගිය ගමන අමතක කොට ඊළග බස් නැවතුම්පොළෙන් බැස මහ වැස්සේ්ම තෙමි තෙමි යළි පාලම පැත්තට ආවෙමි. පොල් අතු කූඩාරම් තුළ ගැහැණු පිරිමි ගුලි ගැසී සිටියහ. එක් කූඩාරමක් එක පවුලකට අයත් බව මට පසක් විය. ඔවුන් කමින් බොමින් අල්ලාප සල්ලාපයෙහි යෙදෙමින් කෙළිදෙළෙන් කල් ගෙවන බව තේ්රුම් ගන්නට මට අපහසු නොවීය. කිසිවෙකු තුළ කණස්සල්ලක් පීඩාකාරී හැඟීමක් නොවූ බව ඔවුන්ගේ් මුහුණේ ඉරියව් වලින් පැහැදිලි විය. ඇෙඟ් නූල් පොටක්වත් නැති අවුරුදු දෙකේ තුනේ කුඩා ළමුන් මහ වැස්සේ පදික වේදිකාව උඩ එහෙ මෙහෙ දුව පනිමින් කොක් හඬලා සිනා සෙමින් කෙළි සෙල්ලම් කළහ. අපි යාන්තම් සිරි පොදක් පින්නක් වැටෙන විටක වුවද අපේ් දරුවන් එළිමහනට නොයවා ගෙය තුළ සිර කර ගෙන සිටිමු. මොවුනට මේ තරම් රළු පරිසරයකට ඔරොත්තු දිය හැකි ශක්තියක් ලැබුනේ කවර වරමකින් දැයි සිතත්ම මගේ සිත සසලව ඉරි තලා ගියේ්ය.

”මහත්තයා කාවද හොයන්නේ” එක් මහළු මිනිසෙක් වැස්සේ තෙමී ගෙන මා අසලට විත් ඇසීය.

”කවුද මේ මිනිස්සු?” මම ඇසීමි.

”අපි කීර කොටුවල පදිංචි උදවිය. ගංවතුර හින්ද පාලම උඩට ආව. හැම අවුරුද්දෙම මෙහෙම තමයි.” ඔහු කීයේ බාගෙට සිනා සෙමිනි.

මේ සිද්ධිය මාස කීපයක් මුළුල්ලේ මගේ සිත තුළ හොල්මන් කරන්නට විය. ඉන් මිදෙන්නට බැරිම තැන මම ”කැළණි පාලම” නාට්‍යය ලියන්නට පෙළඹුනෙමි. ”කැළණි පාලම” සම්පූර්ණයෙන්ම ලියා අවසන් කරන්නට මට මාස හයක තරම් කාලයක් ගත විය. මා දැනට නාට්‍ය අටක් පමණ ලියා නිෂ්පාදනය කර ඇත. ඒවා අතුරින් වඩාත්ම රසික ප‍්‍රසාදයට ලක් වූයේ ”කැළණි පාලම”යි.


ඡායාරූප සහ ආශ‍්‍රිත මූලාශ‍්‍ර-

1. රාජ්‍ය නාට්‍ය උළෙල සමරු කලාප
2. රාජ්‍ය නාට්‍ය උළෙල රජත ජයන්ති සමරු කලාපය
3. අභිනය 7 කලාපය- 60 දශකයේ නාට්‍යකරුවෝ
4. කැළණි පාලම මුද්‍රිත පිටපත (රන්ජන ප‍්‍රකාශන)
5. කැළණි පාලම (රූපවාහිනී) පටිගත කිරීම (මුල් නිෂ්පාදනය)
6. කැළණි පාලම සමරු කලාප



READ MORE - දෙබස් නාට්‍යය දෙපයින් හිටවූ නාට්‍යවේදියා