----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

Showing posts with label අදහස. Show all posts
Showing posts with label අදහස. Show all posts

සෝමරත්න තරුණ රසඥතාව දන්නෙ නෑ

Sunday, April 28, 2013


ළමයින්ට චිත්‍රපට හදන සෝමරත්න තරුණ රසඥතාව දන්නෙ නෑ

සෝමරත්න දිසානායක මහතා සිනමාකරුවෙකු වශයෙන් අප විසින් ද අගය කරනු ලබන මෙරට ප්‍රවීණ කලාකරුවෙකි. ඔහුගේ සිනමා නිර්මාණ හෝ කලා භාවිතය පිළිබඳ අපට ගැටලුවක් නැත. ගැටලුව ඇත්තේ ඔහුගේ මතවාදය සම්බන්ධයෙන් පමණි.
ඔහු විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති අභූත චෝදනා පිළිබඳ අපගේ දැඩි කනගාටුව පළ කරමු.
සෝමරත්න මහතාගේ ලිපියේ ඇතුළත් බරපතළම ප්‍රකාශය වන්නේ, “දෙරණ මියුසික් වීඩියෝ සම්මාන උලෙළ සංස්කෘතික ඝාතනයක් ය” යන්නයි. ඔහු එය එසේ නිර්වචනය කරන්නේ කුමන අරමුණකින්දැයි නොතේරේ. එහෙත් ඒ සඳහා ඔහු යොදා ගන්නා පටු නිර්ණායක දෙස බැලූ විට, ඒවා හුදෙක් අනවබෝධය මත ඇති කර ගත් වැරැදි ආකල්ප බව පැහැදිලිව පෙනේ.
සෝමරත්න මහතාගේ ලිපියේ පුන පුනා දක්වන කරුණක් වන්නේ, “දෙරණ මියුසික් වීඩියෝ සම්මාන උලෙළ” මඟින් දේශීය සංස්කෘතියට විශාල හානියක් සිදු වන බවයි. මෙමඟින් මෙරට සම්භාව්‍ය සංගීතය හෝ ශාස්ත්‍රීය සංගීතය පිළිබඳ කිසිදු ඇගැයීමක් සිදු නොකරන බව ද ඔහු විශේෂයෙන් පවසයි. සෝමරත්න දිසානායක මහතාට දැඩි ලෙස වැරැදී ඇත්තේ එතැන ය.
මෙම සම්මාන උලෙළේ නාමය දෙස විමසිල්ලෙන් බලන ඕනෑම අයෙකුට එකී කාරණා හොඳින් වටහා ගත හැකිය. මෙය “දෙරණ මියුසික් වීඩියෝ අවොර්ඩ්ස්” මිස, දෙරණ මියුසික් අවෝර්ඩ්ස් නොවේ. “මියුසික් වීඩියෝ” යනු, ගීත සඳහා සිදු කරනු ලබන රූප රචනාමය දෘශ්‍ය නිර්මාණ ය. “දෙරණ” යනු ටෙලිවිෂන් නාළිකාවකි. දෘශ්‍ය නිර්මාණ යනු අපගේ විෂය පථයේම කොටසකි.
එබැවින් අපගේ අරමුණ වන්නේ, මෙරට ගීත සඳහා බිහිවන දෘශ්‍ය නිර්මාණ සහ ඒවායේ නිර්මාණකරුවන් දිරි ගැන්වීමය. ඒ හුදෙක් ක්ෂේත්‍රයේ පැවැත්ම උදෙසා ය. ගුවන් විදුලියට “ශ්‍රව්‍ය නිර්මාණ” අදාළ වන්නේ යම් සේද, රූපවාහිනියට “දෘශ්‍ය නිර්මාණ” (ශ්‍රව්‍ය දෘශ්‍ය) එපරිද්දෙන්ම වැදගත් වේ.
ටෙලිවිෂන් නාළිකාවක ගුවන් කාලයෙන් සැලකිය යුතු ඉඩක් “මියුසික් වීඩියෝ” මඟින් ආවරණය වේ. ටෙලිවිෂන් නාළිකාවක පැවැත්ම උදෙසා මියුසික් වීඩියෝ මඟින් සුවිසල් මෙහෙවරක් ඉටු කරනු ලබයි. එකී මෙහෙවර අගයා කෘතගුණ දැක්වීමක් ලෙස මියුසික් වීඩියෝ ක්ෂේත්‍රය වෙනුවෙන් සම්මාන උලෙළක් පවත්වන එකම නාළිකාව ද ටී. වී. දෙරණ යි. එසේ තිබියදී, කරුණු නිසි ලෙස නොදැන මෙසේ නිර්දය විවේචන නැඟීම කොතරම් අසාධාරණ ද?
මෙම සම්මාන උලෙළ තුළ “සංගීතය” පිළිබඳ කිසිදු ඇගැයීමක් කරන්නට අපට අයිතියක් නොමැත. “සංගීත සම්මාන” යනු වෙනමම විෂයයකි. හොඳම ගීතය, හොඳම පද රචකයා, හොඳම ගායකයා සහ ගායිකාව, හොඳම සංගීතඥයා යනා දී සංගීතයට සම්බන්ධ කිසිඳු සම්මානයක් මෙහිදී පිරි නොනැමේ. මෙය හුදෙක් “මියුසික් වීඩියෝ” සඳහාම වෙන් වූවකි.
සෝමරත්න මහතා සඳහන් කරන ආකාරයට, මෙරට දේශීය සම්භාව්‍ය සංගීතය, ශාස්ත්‍රීය සංගීතය හෝ සරල සංගීතය ඇගැයීම අපගේ විෂය ක්ෂේත්‍රයට අයත් නොවන අතර, අපට හැකියාව ඇත්තේ විවිධ සංගීත ශෛලී ආශ්‍රයෙන් බිහි වී ඇති “සංගීත වීඩියෝ නිර්මාණ” ඇගැයීමටය.
ඔහු පවසන පරිදි, දේශීය සම්භාව්‍ය සංගීතය හෝ සරල සංගීතය සම්බන්ධයෙන් අපේ අවධානය යොමු කළ හැක්කේ, ඒ ආශ්‍රයෙන් බිහි වූ සංගීත වීඩියෝ ඇත්නම් පමණි. නමුත් කනගාටුදායක කරුණ නම් ඔහු සඳහන් කරන ආකාරයේ සම්භාව්‍ය සංගීතය නියෝජනය කරන කිසිඳු සංගීත වීඩියෝවක් තරගය තුළදී අපට මුණ නොගැසීමයි. එසේ තිබුණා නම් නිසැකවම එයට ඉහළ ඇගැයීමක් හිමි වන්නට ඉඩ තිබිණ.
අනෙක් වැදගත් කරුණ නම්, මෙය අයදුම්පත් කැඳවා ඒ අනුව ලැබෙන නිර්මාණ අගයනු ලැබීමක් මිස, අප සොයා ගොස් කිසිවකුට සම්මාන පිරිනැමීමක් නොවේ. මෙරට ශ්‍රව්‍ය දෘශ්‍ය නිර්මාණ ක්ෂේත්‍රයේ නිරත ප්‍රවීණයන් පස් දෙනෙකු ගෙන් සමන්විත විශේෂ ජූරියක් මඟින් ලබා දෙනු ලබන විනිශ්චය අනුව සම්මාන ප්‍රදානය සිදු කෙරෙන අතර ඊට අපගෙන් කිසිදු ආකාරයක බලපෑමක් ඇති නොවේ.
අප විසින් දක්වනු ලබන වසරක කාල සීමාව තුළ නිර්මාණය වූ සංගීත වීඩියෝ පමණක් තරගය සඳහා භාර ගැනෙන අතර, ඊට කිසිදු භේදයකින් තොරව අදාළ සුදුසුකම් සපුරා ඇති ඕනෑම නිර්මාණකරුවෙකුට ඉදිරිපත් වීමේ හැකියාව ද පවතී. එසේ තිබියදී “සම්භාව්‍ය ගණයේ සංගීත වීඩියෝ නිර්මාණ බිහි නොවන්නේ හෝ එවැනි නිර්මාණ තරගය සඳහා ඉදිරිපත් නොවන්නේ අපගේ වරදින් ද? යන වග අපි සෝමරත්න මහතාගෙන් අසමු.
සෝමරත්න මහතාගේ අදහසට අනුව ඔහුට ඇත්තේ මෙරට භාවිත නූතන සංගීතය පිළිබඳ ගැටලුවකි. ඔහුට ඇත්තේ ජාත්‍යන්තරයේ ඉතා ප්‍රචලිත රෙගේ, රොක්, පොප් වැනි ජනප්‍රිය සංගීත ශෛලීන් මෙරට ව්‍යාප්ත වීම පිළිබඳ හිතේ අමාරුවකි. එහි තේරුම් බේරුම් කර ගත යුතු කරුණු දෙකක් ඇත.
එකක් නම් ආර්ථිකයේ සියලු දොරගුළු ලෝක වෙළෙඳපොළ සඳහා විවෘත කර ඇති රටක, සමාජයීය වශයෙන් මහා පරිමාණ වෙනස්කම් සිදුවෙමින් පැවැතියදී, සංගීතය පමණක් එකී ගෝලීය ප්‍රවාහයන් ගෙන් මුදවා ගත හැකි ද යන්නයි. සෝමරත්න දිසානායක මහතා මුළා වී ඇත්තේ එතැනය. ඔහු පදනම් විරහිත අස්ථාන චෝදනා නඟමින් “දෙරණ” හෙළා දකින්නට වැර දරන්නේ ඒ නිසාය.
පසුගියදා පැවැති “ස්ලිම් ජනතා සම්මාන උලෙළ” ගැන ද ඔහු යමක් සඳහන් කරයි. මෙම සම්මාන උලෙළේ දී ජනතා ගායකයා ලෙස පණ්ඩිත් අමරදේවයන් සම්මානයට පාත්‍ර වූ බවත්, ජනතා ගායිකාව ලෙස විශාරද නන්දා මාලනිය සම්මානයෙන් පිදුම් ලැබූ බවත් සඳහන් කරන සෝමරත්න මහතා, සිතාමතාම එක් කරුණක් අමතක කරයි.
එනම්, මෙවර ජනතා ගීතය ලෙස සම්මාන ලැබුවේ, මේ දිනවල ඉතා ජනප්‍රිය (දෙරණ මියුසික් වීඩියෝ සම්මාන උලෙළේ ජනප්‍රියම මියුසික් වීඩියෝවට හිමි රිදී සම්මානය හිමි කරගත්) රොෂාන් ප්‍රනාන්දුගේ “ඔයා නිසා හඬලා” යන ගීතය යන්නයි. එසේ කරන්නට ඇත්තේ, එම ගීතය ද ඔහුගේ ගර්හාවට ලක්වන ජනප්‍රිය රැල්ලේ ගීතයක් වන නිසා විය යුතුය.
ළමයින් වෙනුවෙන් චිත්‍රපට තනන සෝමරත්න දිසානායක මහතාට නූතන තරුණ රසඥතාව පිළිබඳ නිසි වැටහීමක් නොමැති වීම ගැන අපි කනගාටු වෙමු. ඉහතින් සඳහන් කළ ආකාරයට, මෙරට නූතන තාරුණ්‍යයේ රස වින්දන පරාසය සාම්ප්‍රදායික සීමාවන් ගෙන් ඔබ්බට විහිදී ඇත.
වර්තමානයේ කලා ක්ෂේත්‍රයේ සහ මාධ්‍ය ක්ෂේත්‍රයේ පෙරට වඩා ජාත්‍යන්තර සම්බන්ධතා හා ජාත්‍යන්තර වෙළෙඳපොළ අනුව මෙහෙයවන තත්ත්වයකට පත්ව ඇත. එසේ නොවුවහොත් ඒවායේ පැවැත්ම පිළිබඳ විවිධාකාර අර්බුද මතු වනු ඇත. සෝමරත්න මහතා චෝදනා නඟන රෙගේ, රොක්, රැප්, පොප් යනාදී බටහිර සංගීත ශෛලී යොදා ගනිමින් ජාත්‍යන්තරය ජය ගත් මෙරට නූතන පරපුරේ අති දක්ෂ තරුණ සංගීතඥයන් ද හමුවේ.
“භාතිය සන්තුෂ් සහ ඉරාජ්” යනු එවැනි තිදෙනෙකි. නිදසුනක් ලෙස, පසුගිය කාලයේ බංග්ලාදේශය තුළ රිංගින් ටෝන් මඟින් වැඩිම ආදායමක් උපයන ලද “මුන් ජානි” නමැති ගීතය පෙන්වා දිය හැකිය. රට ජනප්‍රියතම ගායිකාවක් වන “කෝනා” ගායනා කරන එම ගීතය, ඉරාජ් විසින් නිර්මාණය කරන ලද්දකි. එමෙන්ම, ඉන්දියාවේ මේ දිනවල අතිශයින් ජනපි‍්‍රය “කඩල්” චිත්‍රපටයේ තේමා ගීතය, මෙරට නූතන පරපුරේ දක්ෂ ගායකයෙකු වන “දිනේශ් කනගරත්නම්” ගායනා කරන්නකි. එහි අධ්‍යක්ෂවරයා පෙරළිකාර සිනමාවේදී මනිරත්නම්ය.
සංගීතය ඔස්කාර් සම්මානලාභී ඒ. ආර්. රහමන්ගේ ය. ඉන්දියාවේ මෑතකදී ජනපි‍්‍රය වූ “වේට්ටෙයිකාරන්” චිත්‍රපටයේ ඉතාමත් ජනප්‍රිය වූ “චින්නතාමරෙයි” ගීතය ඉරාජ්ගේ නිර්මාණයකි. එය 2011 වර්ෂයේ දී එරට විජේ ටී වී සම්මාන උලෙළේ ජනප්‍රියම ගීතය බවට පත්විය. ශ්‍රී ලංකාවේ නූතන සංගීත ක්ෂේත්‍රයේ දිසාව කොයිබට ද යන්න පෙන්වා දෙන සරල නිදසුන් කිහිපයකි ඒ. අවශ්‍ය නම් මෙවැනි අවස්ථා රැසක් පෙන්වා දිය හැකිය.
සෝමරත්න මහතා පෙන්වා දෙන තවත් බොළඳ කරුණක් නම්, මියුසික් වීඩියෝ සම්මාන උලෙළ සඳහා සහභාගි වූ ඇතැම් “ලලනාවන් කොට ගවුම් ඇඳීම” නිසා. ඔවුන් ගෙන් වෙනදා දුටු නාරි ලාලිත්‍යය මෙදින දක්නට නොලැබුණු බවයි. සිනමාකරුවෙකු ලෙස ඔහු එවැන්නක් පැවසීම විහිළුවට කරුණකි. 60 දශකයේ සිට මෙරට සිනමාව තුළ පවා ජනපි‍්‍රය කොට ගවුම (මිනී ගවුම) සෝමරත්න මහතා ඇත්තෙන්ම මීට පෙර දැක නැති ද යන්න මහත් ප්‍රහේලිකාවකි. අනෙක් අතට මෙරට කාන්තාවන්ට තමා කැමැති ඇඳුමක් ඇඳීමේ නිදහස ඇත. ඊට තහංචි පැනවීමට අපට නොහැකිය.
“ටී. වී. දෙරණ” තේමා පාඨය වන්නේ අපේ දේ රැකගෙන අලුත් දේ අරගෙන යන්න ය. අප සැම විටම මෙරට සංස්කෘතික වටිනාකම් රැක ගැනීමට කටයුතු කරනු මිස, එය වැනසීමට කටයුතු නොකරන බව ද මෙහි දී අවධාරණයෙන් සඳහන් කිරීමට කැමැත්තෙමු.
“දෙරණ මියුසික් වීඩියෝ සම්මාන උලෙළ” සංවිධාන කරනු ලැබුවේ, දේශීය සංගීත වීඩියෝ ක්ෂේත්‍රයේ නිර්මාණකරණයේ යෙදී සිටින තරුණ නිර්මාණකරුවන්ට අත දීමක් වශයෙනි. ඒ හැර දේශීය සංගීත ක්ෂේත්‍රයේ ගමන් මඟ වෙනස් කිරීමට අපට හැකියාවක් නොමැත.
READ MORE - සෝමරත්න තරුණ රසඥතාව දන්නෙ නෑ

ත්‍රස්‌ත වූවෝ භ්‍රාන්ත වීම

Monday, February 4, 2013

ත්‍රස්‌ත වූවෝ භ්‍රාන්ත වීම 
හඳගමගේ විකල්ප සිනමා ප්‍රකාශනය
"ඉනියවන්" තුළින් ඉච්ඡාභංගයට හසුවීද?


අජිත් ගලප්පත්ති

අශෝක හඳගම සිය සිනමා චර්යාව අවුල් කරගෙනද? ඔහුගේ ගමන් මග අක්‍රමවත්ද? "ඉනිඅවන්" මෙතරම් ඉක්‌මනින් සිනමා ශාලාවලින් ගැලවුණේ ඇයි? සිනමා කෘතිය යටපත් කොට සිනමාකරුවා මතු වූයේ ඇයි? සිය "ඉනියවන්" කෘතිය නොවිමසා මේ දිනවල අප විමසන ගැටලු එයාකාරයි.

චර්යාව අවුල් නොකරගෙන, එනම් අක්‍රමවත් නොකරගෙන යම් ඉච්ඡාභංග අවස්‌ථාවක්‌ පිළිගැනීමේ හැකියාවක්‌ යමකු තුළ තිබිය යුතුයෑයි මතයක්‌ ඇත. frustrstration tolerance යනුවෙන් විග්‍රහ කෙරෙන්නේ එම චිත්ත ස්‌වභාවයයි. විශේෂයෙන්ම හඳගම වැනි දේශපාලන සිනමාකරුවකු තුළ එම චිත්ත ශක්‌තිය තිබීම අත්‍යාවශ්‍ය වනු ඇත. සංස්‌කෘතිය පමණටම දේශපාලන සංස්‌කෘතිය ද වරින් වර, කලින් කල මුහුදු රැල්ලක්‌ මෙන් උස්‌පහත්වීම නිරායාස ස්‌වභාවික තත්ත්වයකි. අනපේක්‌ෂිත ලෙස උදම් රළ ප්‍රහාරයක්‌ වනුයේ වුවද මෙම සැඩ සොඳුරු රළ පෙරළීම ය. දේශපාලන සංස්‌කෘතිය ඉහල පහල යමින් අඩුවැඩි වන නියාමයකි. දේශපාලන සංස්‌කෘතිය උඩුයටිකුරු වන ස්‌වභාවයට කීකරුව දේශපාලන සිනමාකරුවකු එසේ උච්ඡාවචනය (fluctuation) විය යුතුද. ඒ කෙසේද යන අවධාරණය අප හමුවෙහි නැගෙයි. සිනමාකරුවකුගේ එබඳු උච්චාවචනයක්‌ තුළින් අන් ආකාරව විද්‍යාමාන විය හැක්‌කේ සිය දෘෂ්ටිමය ඒකග්‍රතාවය පිළිබඳ අර්බුදයක්‌ ද විය හැකිය. එවිට පොදු සමාජය එම නිර්මාණකරුවාව සැමදා එකසේ වැළඳ නොගැනීමට ද ඉඩ තිබේ. "ඉනියවන්" තුළින් අප දකින අද්‍යතන අශෝක හඳගමානුකූල ඉරණම පිළිබඳ ව තීරණ ගැනීමට අප ඉක්‌මන් විය යුතු නැත.

ව්‍යර්ථනය නොහොත් frustration යනු කුමක්‌ද? එය සිනමා ප්‍රකාශකයකු සතු දෘෂ්ටිමය ඒකග්‍රතාව සමග බඳවා විග්‍රහයට ගතයුතු තරම් බරපතල අර්ථයක්‌ ගනී. මෑත කාලයේ අප අත්වින්ඳා වූ ජනප්‍රිය දේශපාලනමය හැලහැප්පීම්වල බරපතලභාවයට සාපේක්‌ෂව සිනමා ප්‍රකාශකයකුගේ දෘෂ්ටිමය ඒකග්‍රතාව දුබල කරන්නට තරම් ප්‍රබල වූවක්‌ ලෙස ව්‍යර්ථනය යන්න විමසිය හැකිය. "ඉනියවන්" ට වස්‌තු විෂය වනුයේ ප්‍රභාකරන් මරා දැමුවාට පසු එම මුදාගත් භූමියෙහිම හිස ඔසවන අන් ප්‍රභාකරන්ලාගේ ත්‍රස්‌තවාදයයි.

ප්‍රභාකරන්ට එසේ වෙතැයි අප විශ්වාස නොකළ කාලයක්‌ ද විය. අප බහුලව ගෙවා දමා ඇත්තේ එවන් කාලයක්‌ නොවේද? ජනප්‍රිය යුද ස්‌මරණ දේශපාලනයේ සක්‍රීය ක්‍රියාකාරිකයින් මෙතරමින් වෙනස්‌ වෙතැයි අප එදා සිතුවාද? මේ බලගතු ජනප්‍රිය දේශපාලකයින් යුද සමයේ කොහි වීද? සිය ගරිල්ලා වස්‌ත්‍රාභරණ උනා දමා රාජ්‍යාරක්‌ෂාව මැද එම ගරිල්ලා ත්‍රස්‌තවාදින් මෙබඳු ෆුල් සූට්‌ දේශපාලනයකට පිවිසෙතැයි සිහිනෙන්වත් අප සිතුවේද? විරුද්ධ පාක්‌ෂිකයාගේ වේදිකාවෙන් දේශපාලන ගමන් අරඹා බලගතු වූ තොරම්බල් තාරකාවන් පාලකයින්ගේ දෑත් ශක්‌තිමත් කරන විසිතුරු ජවනිකා මෙගා ටෙලි සංස්‌කෘතියේවත් තිබේද? මෙයාකාරව සංස්‌කෘතියටත් වඩා අධිවේගයෙන් දේශපාලන සංස්‌කෘතිය වෙනස්‌ වන විට සමාජයීය ක්‍රියාකාරී ත්‍රස්‌තවාදීහු බියගුල්ලන් බවට පත්වෙති. එසේම සමාජීය බියගුල්ලෝ ත්‍රස්‌ත වෙති. -අක්‌ෂරය, තනිතටුව" වැනි ප්‍රබල දේශපාලනමය මිසයිල තැනූ අශෝක හඳගම "විදූ" වැනි චිත්‍රපටයක්‌ (ළමා චිත්‍රපටයක්‌) තනාවි යෑයි කිසිසේත්ම නොසිතූ අය වික්‌ෂිප්ත වූහ. "ඉනියවන්" උභතෝකෝටික වන්නේ මෙවන් වික්‌ෂිප්ත වූවන්ට ය. හඳගම මෙම තත්ත්වය විස්‌තර කරන්නේ 'කරකවා අතහැරි' ස්‌වභාවයක්‌ ලෙසය.

මෙම සිනමා විප්ලවකරුවාට එසේ පැවසීමට සිදුවන්නේ ඇයි? සිය සිනමා චර්යාව වෙනස්‌ කරගන්නේ නම් ඒ ඇයි දැයි සොයමු.

ව්‍යර්ථනය (රෙමිඑර්එසදබ) යනු බලාපොරොත්තු සුන්වීම නිසා ඇතිවන චිත්ත තත්ත්වයකි. තමා අපේක්‌ෂා කළා වූ ආධාර, අනුබල නොලැබීම හා අධෛර්යය කරනු ලැබීම, අසහනය, අතෘප්තිය නිසා ඇතිවන සිත් ස්‌වභාවය වනුයේ ව්‍යර්ථනය නොහොත් ඉච්ඡාභංගයයි. න්‍යෂ්ටාපේක්‌ෂාව යනුවෙන් දැක්‌වෙන්නේද එයයි. ව්‍යර්ථනයට පත් තැනැත්තා ආක්‍රමණකාරී විය හැක. එසේම කලකිරීමෙන් යුතු අක්‍රීයව, අකර්මන්‍ය වීමටද ඉඩ ඇත. ඉච්ඡාභංගයට පත් තැනැත්තා ආක්‍රමණකාරී හෝ පසුගාමී වන්නේ පරාජිතයකු වූ විටය. ත්‍රස්‌තවාදියකු හෝ බියගුල්ලකු වන්නේ තම අභිප්‍රායයන් කඩවීමෙන් ලද සිත් තැවුල නිසාය. තවෙකකු ඝාතනය කිරීම සඳහා අධි බලැති කාල බෝම්බ සවිකළ ඇඳුම් කට්‌ටලයක්‌ ඇඟලා ගන්නට තරම් ආත්ම ශක්‌තියක්‌ ලැබෙන්නේ එවන් පරාජිතයකුට පමණි. ඔවුහු මේ වෙද්දී අතුරුදහන් ව ඇත. එවන් බෝම්බකරුවන්ට අද පැවැත්මක්‌ නැත. එහි අදහස යුද වාතාවරණයක්‌ නැති බව නොවේ. යුද්ධයේ ස්‌වරූපය වෙනස්‌ වී ඇත. හඳගම "ඉනියවන්" තුළින් පවසන්නේ එයයි. ත්‍රස්‌තවාදියකු නිර්මාණය කරන්නේද බියගුල්ලකු නිර්මාණය කරන්නේද මෙම නෂ්ටාපේක්‌ෂිත සමාජ දේශපාලන ස්‌වරූපයයි. ත්‍රස්‌තවාදියා බියගුල්ලන් භ්‍රාන්තකොට ස්‌ව පැවැත්ම සා¹ ගන්නේත්, ආත්මාශයෙන් (ego instinct) යුක්‌තව බියගුල්ලන් වහා ත්‍රස්‌ත වී තමා පාගාගෙන සිටින අධි බලැති බෝම්බකරුවන්ව නිෂ්ක්‍රිය කොට දමන්නේද මෙම සමාජ ස්‌වරූපය මයි."ඉනියවන්" බිහි වන සමාජය මෙපරිදිය.

"භ්‍රාන්ත" යනු භ්‍රමයට පත් හා වැරදි අවබෝධය ඇති යන අර්ථ ගනී. වේගයෙන් කැරකෙන හෝ සැලෙන යන අර්ථයෙන් (whirled) අවුල් ජාලය ලෙස ද මෙය විග්‍රහ කෙරෙයි. භ්‍රමනය, සිතෙහි හටගත් කරකැවිල්ල, හැරීම වෙස්‌ වීම ඇඹරිල්ල (revolved or turned) යන අර්ථද මෙයට අදාළ වෙයි. වැරැද්ද, දෝෂය, ප්‍රමාද දෝෂය, වරදවා වටහා ගැනීම, වරද්දා ගැනීම (mistaken) යනුවෙන් හැඳින්වෙන්නේද මෙයයි. මුළාවීම, රැවටීම, (deluded) මංමුළාවී, අයාලේ යන, අපැහැදිලිව දොඩවන, අවුල්ව සිතන, අවධානයෙන් තොරව හිත තැන්තැන්වල යැම මාර්ගයෙන් පිට පැනීම හා නිදැල්ලේ යන වැනි අර්ථ ගන්නා wandering යන විග්‍රහයද "භ්‍රාන්ත" යන්නට ගැනේ. "ඉනියවන්" තුළ අප දකින්නේ "භ්‍රාන්ත" වූවන් ය. පුනරුත්තාපනය කෙරෙන ත්‍රස්‌තවාදීයා යනු මෙහි "භ්‍රාන්ත" වූවෙකි. සමාජයීය ත්‍රස්‌තවාදියාගේ හදිසි භ්‍රාන්තවීම කෙබඳු අර්ථ ගන්නේදැයි මෙම විවිධ අර්ථ මතින් අපට නිර්ණය කළ හැකිය. ව්‍යර්ජිකෘත (frastrated) සමාජ දේශපාලන රාමුවක්‌ තුළ චිත්‍රපටයක හා සිනමාකරුවකුගේ වලංගුභාවය පිළිබඳ තත්ත්වය වටහා ගැනීම සඳහා ද එය ඉවහල් කොට ගත හැකිය.

සමාජය සමග යම් විරෝධයකින් පසුවන පීඩිතයකු එනම්, බියගුල්ලකු එවන් විරෝධයකට හේතු වූ කාරණාවන්ට එරෙහිව ත්‍රස්‌ත වන කවර නම් හෝ ක්‍රියාකාරියකු තම එකම ගැලවුම්කාර වීරයා ලෙස තකයි. පීඩිතයාද වීරයාද වසනුයේ එකම බල රාමුවකය. මෙවිට පීඩිතයාත්, වීරයාත් අනොන්‍ය ව එකිනෙක මත යෑපෙයි. යම් මොහොතක වීරයාද පීඩිතයෙක්‌. තම විරෝධය ප්‍රකාශ කරන්නට හෝ තමා අපේක්‌ෂා කරන සමාජය නිර්මාණය කරගැනීමට හෝ නොහැකි වීම මෙම පීඩිතයා හුදෙකලා කොට අසරණ කරයි. සමස්‌ත බහුතරය ම තමා හැර තමා විරෝධය පාන්නා වූ සමාජය අනුමත කරන විට ඔහු අසරණව නිහඬ වෙයි. මෙකී අසරණකම නිහඬකම බියගුළු ස්‌වභාවයක්‌ දක්‌වා වර්ධනය වන්නේ බහුතරයකගේ පිළිගැනීම අඛණ්‌ඩව පෙරට වර්ධනය වන අතරවාරයේය. මෙම බියගුල්ලා එකවරම ත්‍රස්‌තවාදියකු බවට පත් වීමට ඉඩ තිබේ. එසේම ත්‍රස්‌ත වීම යනු බියගුළු වීමේ පෙරමග සළකුණක්‌ ද විය හැකිය.

දේශපාලනික සිනමාකරුවකුගේ ප්‍රබල දේශපාලනමය ප්‍රකාශනයක්‌ හමුවෙහි වහා ත්‍රස්‌ත වන බියගුල්ලකුගේa මානසික තත්ත්වය කෙබඳුද? තමා හමුවෙහි සැණෙකින් මතු වූ මෙම ක්‌ෂණික ත්‍රස්‌තවාදියා පිළිබඳව ත්‍රස්‌ත වන බියගුල්ලා විසින් යම් අහංකාරමය හැඟීම් ඇතිකර ගනී. මෙකී තත්ත්වය සහ අහංකාරය තුළ ඔහුගේ සමාජ සම්බන්ධතා පාලනය වෙයි. පීඩිතයාට වීරයා ආක්‍රමණිකයෙකි. එකී ආක්‍රමණශීලීභාවය පීඩිතයාගේ බියගුළු බවත්, පීඩාකාරී බවත්, මුලුගැන්වුණු බවත් මොහොතකට පලවා හැර පීඩිත බවම ක්‌ෂණික ත්‍රස්‌ත බවකට පෙරළෙයි. මෙතැන් සිට ස්‌වල්ප කාලයක්‌ පුරා පීඩිතයා ත්‍රස්‌තවාදියෙකි. නන් විධ ආක්‍රමණිකයෝ සමාජය ද, එහි වසන්නන්ද තැති ගන්වති. ආක්‍රමණිකයකුගේ ස්‌වභාවය ඔහු බලහත්කාරයෙන් කඩා වදින්නෙකි. ඔහු අනෙකාව යටත් කර ගැනීම සඳහා සටන් කරන්නෙකි.

ඔහු භීතිය උපදවන්නෙකි. ඔහු බියගුල්ලන් තැති ගන්වන්නෙකි. ''අනුන් තැතිගන්වා කටයුතු කරවාගත යුතුය" යන ඇදහීම ත්‍රස්‌තවාදයයි. ත්‍රස්‌තවාදියා රාජ්‍යවිරෝධී කැරලිකරුවෙකි. එනම් ජනතාව විසින් පිළිගත් සංවිධිත දේශපාලන ඒකකයට එරෙහි වූවෙකි. නිරායුධ අබල දුබල පීඩිත ජනතාව සන්නද්ධ ත්‍රස්‌තවාදියකු ව නිර්මාණය කරන පසුබිම මෙබඳුය. බියගුල්ලන් ත්‍රස්‌ත කොට සිය ආක්‍රමණශීලී විප්ලවය සම්මත සංවිධිත ව්‍යqහයන්ට එරෙහිව අඛණ්‌ඩව පවත්වා ගැනීම අද "ඉනියවන්" තුළින් සිය සිනමා චර්යාව පෙන්වන හඳගමගේ සිනමා ව්‍යායාමය විය. ඔහුගේ චිත්‍රපටය විරෝධාකල්පයකි.

අශෝක හඳගමගේ සිනමා ප්‍රකාශන විධිය හා ඉන් සමාජය තුළ සිදු කෙරෙන බලපෑම විග්‍රහ කරන්නෝ ඒකමතික ව ගන්නා පොදු විනිශ්චය වනුයේ ඔහු විප්ලවකරුවෙක්‌ ය යන්නයි. එනම් ඔහුගේ සිනමා කාර්යය විප්ලවීය කර්තව්‍යයක්‌ වන බවය.

විප්ලවීය ආක්‍රමණිකයා බියගුල්ලන් ත්‍රස්‌ත කරනුයේ පවතින ක්‍රමය කනපිට හැරවීම අභිප්‍රායෙනි. සිනමා ප්‍රක්‌ෂේපන යන්ත්‍රය යනු රූපවලින් වෙඩි තැබිය හැකි තුවක්‌කුවකැයි අදහන සිනමාකරුවන් අතර අතීතයේ හඳගමද සිටියේය. ඔහු තමා ඉදිරියෙහි දෑස්‌ අයා සිටින මෙරට පොදු ජනතාව හමුවෙහි තබන රූපාවලිය මෙම ජනතාව තුළ විරෝධයක්‌ ඇති කළේය. බියගුල්ලා තුළ ඇතිවන විරෝධය හා තැති ගැන්ම ආක්‍රමණික සිනමා-කරුවකුගේ අභිලාශයයි. මෙකී විරෝධය සමාජ බලවේගයක්‌ ලෙස ප්‍රබලව ඉස්‌මතු විය යුතුය. ජීවිතය වෙනස්‌ කළ හැකි බලයක්‌ චිත්‍රපටය තුළ තිබිය යුතුය. ජනතාවගෙන් ඈත්වූ කලාවක්‌ තිබිය හැකි නොවේය යන්න ජනතාව සඳහා කලාව හසුරුවන්නන්ගේ ඇදහිල්ලයි. නිර්ධන පන්තිය තුළ විවිධ පීඩන හට ගනී. හඳගම මෙම පීඩනය නිමිත්ත ලෙස නිතර තම ප්‍රකාශනයට උපයෝගී කර ගත්තේය. පීඩිතයා හෙවත් නිර්ධන පන්තිකයා මුදා ගැනීම ජනතා කලාකරුවාගේ ආක්‍රමණිකත්වයට පසුබිම් අභිලාශය සකස්‌ කරයි. විප්ලවීය ප්‍රකාශකයකුගේ විප්ලවීය ප්‍රකාශනයක්‌ යනු බියගුල්ලන් අභිමුව නැගෙන අභියෝගයකි. මෙම අභියෝගයට බියගුල්ලන් දක්‌වන ප්‍රතිචාරයේ ස්‌වභාවය මත එම විප්ලවීය ප්‍රකාශනයේ පැවැත්ම තීරණය වෙයි. බියගුල්ලකුට ත්‍රස්‌තවාදියා වීරයකු වන්නේ සිය බියගුළුකම යටපත් කොට ත්‍රස්‌ත වීම සඳහාය. "ඉනියවන්" තුළින් අපට මෙම බියගුල්ලා මෙන්ම ත්‍රස්‌තවාදියාද මුණගැසෙයි. මෙවේලෙහි එම බියගුල්ලා හෝ ත්‍රස්‌තවාදියා සැකකරුවකු ලෙස පමණක්‌ ගැනීම සෑහෙයි.

මුල්ම චලන චිත්‍රාවලිය දුටු ආදි කාලීන පොදු ජනයා ත්‍රස්‌ත වී එදෙස බලා සිටි වග අප අසා ඇත. ත්‍රස්‌ත කිරීම යනු "ත්‍රස්‌තවාදියා" යන ප්‍රචලිත ප්‍රතිරූප සීමාවෙන් ඔබ්බෙහි තිබෙන පුළුල් අරුත් සහිතය. මෙම පුළුල් සිත්හි කොනක තබාගත් විට අපට හඳගම හෝ පතිරාජ හෝ විමුක්‌ති හෝ ලෙස්‌ටර් හෝ අන් කවරාකාර විප්ලවීය සිනමාකරුවකු වුවද ත්‍රස්‌ත වීම හා අනෙකාව ත්‍රස්‌ත කිරීම නිර්භයව පුළුල් විග්‍රහයකට ගත හැකිය.

"ත්‍රස්‌ත" යනු මහත්සේ පුදුමයට පත්වීමකි. මවිතයෙන් විස්‌මිතව ගල් ගැසුනාක්‌ මෙන් වීමයි. චිත්‍රපට වෙසින් සපැමිණි දැවැන්ත අභියෝග වලට මුහුණ දී තම බියගුළු ස්‌වභාවයට එරෙහි වී සක්‍රිය වන්නට හා ත්‍රස්‌ත වන්නට අප කැමතිය. මෙවිට එම චිත්‍රපටය යනු අපට නිර්දය ආක්‍රමණයකි. බියගුල්ලන් ත්‍රස්‌තවාදීන් බවට පෙරළුE සිනමාකරුවා වීරයකු බවට අගැයීම නිරායාසයව සිදුවන්නකි. "ඉනියවන්" නරඹද්දී හඳගම කොතැන සිටින්නේදැයි සොයා බලන්නට අප යොමු වන්නේ එම නිසා නොවේද?

ඇතැම් විටෙක යම් විප්ලවීය චිත්‍රපටයක්‌ යම් බියගුල්ලකුට තම බියගුළුකමින් අත් මිදිය නොහැකි තරම් වූ බලවත් අභියෝගයක්‌ විය හැකිය. මෙවිට ත්‍රස්‌ත වූ වීරයාගේ අනුගාමිකයින් වී සක්‍රීය වූ බියගුල්ලන් එනම්, ත්‍රස්‌තවාදීන් වූ බියගුල්ලන් නොවෙනස්‌ වූ බියගුල්ලාව දකින්නේ කොදෙව් චිත්තධාරියකු, දුබලයකු හෝ යථාර්ථය සාවද්‍ය ලෙස අර්ථකථනය කොටගෙන එහිම මුලාවූවකු ලෙසය. මෙබඳු වූ බියගුල්ලන් හමුවෙහි ඇතැම්විට වීරයා පරාත්ම විකාරයෙන් පසුවන්නෙකි. ඔහු තම හැඟීම් සහ ආවේගයන් අන්‍යයන්ට ප්‍රක්‌ෂේපනය කරයි. "විදූ" ට පෙර හඳගමගේ චිත්‍රපට විලාසය තුළින් අප ඔහුව හඳුනා ගත්තේ ආක්‍රමණශීලීව හැසිරෙන්නෙකු (aggressive behavior) වශයෙනි. බෙබඳු ආක්‍රමණිකයකුගේ අසංඥතාවට එකම හේතුව විය හැක්‌කේ සමාජ විෂමතාවයම නොවිය හැක. සමාජ විෂමතාවය "තනිතටුව" හා අක්‌ෂරය බිහිවූ යුගයේ මෙන්ම "ඉනි අවන්" බිහිවෙන යුගයේද පෙරටත් වඩා ප්‍රබලව මතුව ඇති බව ත්‍රස්‌තවූවන්ද බියගුළුව මුළුගැන්වූවන්ද දනී. 





READ MORE - ත්‍රස්‌ත වූවෝ භ්‍රාන්ත වීම

මහ සමයම මහා සම්ප්‍රදාය සොයා යන ගමනක ආරම්භයයි

මහ සමයම මහා සම්ප්‍රදාය සොයා යන ගමනක ආරම්භයයි
මහාචාර්ය ආරියරත්න ඇතුගල


දේශීය "යාතුකර්මයන්" තුළ විශ්වීය නාට්‍ය ධර්මතා පවතින බව නොරහසකි. ගී්‍රක නාට්‍යයන්ට රංග භූමියක්‌ තිබූ නමුදු යාතුකර්මයට රංග භූමියක්‌ නොතිබිණි ඒ හේතුවෙන්ම මෙරට යාතුකර්මය සිදු කරන භුමි ප්‍රදේශයම රංග භූමියක්‌ ලෙස සැලකිණි. එම රංගභූමිය විශ්ව ආකෘතියට පසු නොවුණු හෙයින්ම ගැමි යාතුකර්ම ලෙසින්ම පැවැතිණි.

"මහ සමයම" මේ ගැමි යාතුකර්ම, තුළින් ජනනය වූ ජන නාට්‍ය සාම්ප්‍රදායන්ට රංග භූමියක්‌ සදන්නට නිර්මාණය වූ ඔපෙරාවකි.

මහසොහොන් සමයමෙහි සමයම් යාම තුනකි. ඒ හැන්දෑ සමයම, මහ සමයම හා අලුයම් සමයම යනුවෙනි. "මහ සමයම" නටන්නේ මධ්‍යම රාත්‍රියේය .

පුරාණොක්‌තිය හා යාතුකර්ම ගැන වෙසෙස්‌ හැදැරීමකින් පසු "මහ සමයම ඔපෙරාව" නිමැවෙන්නේ මහාචාර්ය ආරියරත්න ඇතුගල අතිනි. පෙබරවාරි 01, 02, 03 දිනවල, මහසමයම නෙලුම් පොකුණ රංග පීඨයේදී වේදිකාගත කිරීමට නියමිතය.

ශ්‍රී ලාංකීය වේදිකාවේ නවතම ඔපෙරා අත්දැකීම පිළිබඳ මේ සංවාදගත වන්නේ එහි නිර්මාණකරු මහාචාර්ය ආරියරත්න ඇතුගලය.

සංවාදය - උදේශ සංජීව ගමගේ

මහ සමයම ශ්‍රී ලාංකීය වේදිකාවට අලුත් කියෑවීමක්‌ වන්නේ කොහොමද?

මෙහි අන්තර්ගතය අපේම ඉතිහාසයෙ තිබුණු පුරාවෘත්තයක්‌. ඒ වගේම මේ වනවිට වේදිකාවට භාවිත නොකළ සහ වේදිකාව ප්‍රතික්‍ෂේප කරන ලද යාතුකර්මවල එකතුවෙන් තමයි මහ සමයම ගොඩනැඟෙන්නේ. සරලව කිව්වොත් පුරාණෝක්‌තිය හා යාතුකර්මවල එකතුවක්‌. අපේ පැරැණි කතාවක්‌ තිබෙනවා. ඊශ්වර සහ අසුර අතර සටනේදී අසුරගේ මියගිය සිරුරේ අලුගොඩින් තමයි "මහසෝනා" උපදින්නේ කියලා. මෙතැනින් තමයි මේ නාට්‍යයට වස්‌තු බීජය ඉපැදෙන්නේ.

අපි අපේ කලාවන් නිරීක්‍ෂණය කරද්දී පැහැදිලිව දකින්න තිබෙන දෙයක්‌ තමයි මහ සාම්ප්‍රදායයන් අමතක කර දැමීම. මූලිකවම ටෙලිනාට්‍යකරුවකු ලෙස මම ඒ තුළත් දැක්‌කේ යම් නොදියුණුකමක්‌. මහ සමයම බිහිවෙන්නේ එවැනි පසුබිමකයි.

පැරැණි යාතුකර්ම, නූතන නාට්‍ය කලාවට වැදගත් වන බව "වික්‌ටර් ටර්නර්" නමැති මානව විද්‍යාඥයා පවසනවා. මෙය මහ සමයම හරහා යථාර්ථයක්‌ බවට ගන්නා වෑයමක්‌ ද මේ...?

අපි මේක ඊටත් වඩා පුළුල් අර්ථයකින් ගන්න ඕන. පූජාකර්ම තුළ රංගනය හා ප්‍රසාංගිකත්වය කොහොමත් ගැබ්වෙලා තිබෙනවා. වික්‌ටර් ටර්නර් ඇතුළු බටහිර මානව විද්‍යාඥයන් පූජාකර්ම නූතන නාට්‍ය කලාවට වැදගත් බව කියන්නේ ඒ නිසයි. මේ පූජාකර්මවල තිබෙන පරා රෝපණ මූලාශ්‍ර නාට්‍ය රස විඳීම සඳහා වැදගත් බවත් ඔවුන් පෙන්වා දෙනවා. ඔබ කිව්වා වගේ "වික්‌ටර් ටර්නර්" සංස්‌කෘතික නාට්‍ය (cultural
tweature) හා පූජාකර්ම නාට්‍ය (Rituals Drama) ගැන අධ්‍යයනයකින් පසුවයි මේ අදහස්‌ පළ කරන්නේ.

මහසමයම සමගම ඔබ "එටික්‌" (etic) නාට්‍යවේදය ගැන සංකල්පය ගැන හඳුන්වා දෙනවා. මෙය මහසමයම සමග ගලපා ගත යුත්තේ කොහොමද?

අපි පුරාණෝක්‌තියට, මිත්‍යාවට, පුරාණ ඉතිහාසයට පිටස්‌තරයෝ හැටියටයි සැළකිය යුත්තේ. මේ සියල්ල අපි අපේ දේ හැටියට සැලකුවත්, ඇත්තටම අපි ඉන්නේ මේ සියල්ලටම පිටින්. නමුත් අපි පුරුදු පුහුණුවෙලා ඉන්නේ, අපිව පුරුදු කර තිබෙන්නේ දේශීය උරුමකම් සමග බැඳුණු තණ්‌හාවකින් මේවා දිහා විශාල සංස්‌කෘතිමය බැඳීමකින් බලන්නත්, රකින්නත් පමණයි. ඒ නිසාම අපි ඒවා කෙරෙහි බාහිර නිරීක්‍ෂකයන් වන්නේ නෑ. එහෙම නොවෙන තාක්‌ අපිට මේවා වටහාගන්නත් බෑ. එහෙම නැත්නම් ඒවායෙහි ඇති බොහෝ දේවල්වලට අපි වහල් වෙනවා. ඒ අර්ථයෙන් ගත්තම පොදු මානයන්a ඔස්‌සේ සංසන්දනාත්මක අධ්‍යයනවලට ප්‍රවේශය ගන්න "එටික්‌වේදය" අපට උදව් වෙනවා.

වාග් විද්‍යාඥ "කෙනෙත් පික්‌" භාෂාවත් සංස්‌කෘතියත් ගැන අධ්‍යයනයක යෙදෙමින් එමික්‌ (Emic) සහ එටික්‌ (Etic) කියන සංකල්ප හඳුන්වලා දෙනවා. එමික්‌ කියන වචනය බිඳිලා එන්නේ Phonemic (ශබ්දාණුමය) කියන වචනයෙන්, "එටික්‌" කියන වචනය බිඳිලා එන්නේ Phonetic ශාබ්දික එහෙමත් නැත්නම් ශබ්දය පිළිබඳව වන වචනයෙන්. කිසියම් සංස්‌කෘතික හැසිරීම් හෝ විශ්වාස පිටතින් සිට පර්යාවලෝකනය කිරීම etic යන වචනයේ සරල අර්ථයයි. මෙය අද භාෂාව, සංස්‌කෘතිය ආදිය පර්යේෂණය කරන්න යොදා ගන්නා නව ක්‍රමවේදයක්‌.

නමුත් ඔබ කියනවා බර්ටෝල් බ්‍රෙෂ්ට්‌ගේ දුරස්‌ථිකරණ ස්‌වභාවයක්‌ මහසමයමේ තිබෙන බවක්‌.

ඔව්, එවැන්නක්‌ මේ නාට්‍යය තුළ තිබෙනවා. එයින් මතු කරන්නේ බ්‍රෙෂ්ට්‌ සඳහන් කරන දුරස්‌ථිකරණය (alienation) යන්නෙහි නියම අර්ථයෙනුයි. ඒ කියන්නේ එහි නියම අර්ථය "සුවිශේෂීකරණය" කියන එකයි. ජර්මන් භාෂාවේ .Verfremdungseffekt. කියන නාට්‍යවේදය ඉංගී්‍රසි භාෂාවට පරිවර්තනය වන්නේ alienation - දුරස්‌ථිකරණය නමිනුයි. ඒක නිවැරැදි පරිවර්තනයක්‌ නෙවෙයි. එවිට ජර්මන් භාෂාවෙන් අර්ථගන්වන දේ සිංහල භාෂාවට එන්නේ සුලබ වූත්, පොදු වූත් දේ ප්‍රේක්‍ෂකයා හමුවේ නුහුරු, අපූර්ව බවට පත් කිරීමේ නාට්‍ය තාක්‍ෂණය ලෙසිනුයි. මේ මූලධර්මය මහ සමයමටත් අදාළයි.

ඒ අර්ථයෙන් ගත්තොත් එහි තිබෙන්නේ ආගන්තුක බවක්‌...?

ඔව්, ඒ නිසාම මම මෙය දුරස්‌ථිකරණය කියන වචනයට වඩා "ආගන්තුකකරණය" ලෙස හඳුන්වන්න කැමැතියි. බ්‍රෙෂ්ට්‌ කරන්නේ අප දන්නා දේට විශාල ආගන්තුක බවක්‌ දීමයි. මේ වචනය ගැන සංවාදයක්‌ ලෝකයේ තිබෙනවා. මම යමක්‌ දන්නව නම් මට ඒක තේරෙන්නේ නෑ. නමුත් සියුම්ව හැදෑරුවොත් එය අවබෝධ කරගන්න පුළුවන්. කිසියම් කලා කෘතියක තිබෙන පඨිතයන් ඉතා සියුම් කැබැලිවලට කඩා හඳුනාගන්නා වූ දේ තමයි වැදගත්. ඒ කියන්නේ සමස්‌තය නෙවෙයි. අපි කලා කෘතියක කුඩා කොටස්‌ තමයි රස විඳින්නේ. මේ කුඩා කොටස්‌වලට යම්කිසි ආගන්තුක බවක්‌ ලබාදීමයි කරන්නේ. "හුණුවටයේ කතාව" කවුරුත් නොදන්න කතාවක්‌ නොවෙයි. ඒත් බ්‍රෙෂ්ට්‌ ඒකට අලංකරණයක්‌ දෙනවා. ආගන්තුකකරණය මගින්.

"මහසමයම" ඔපෙරාවක්‌, ඔබ ඔය සඳහන් කරන පූජාකර්ම ආදිය ඔපෙරාවක්‌ සමඟ බද්ධ කිරීම සංකීර්ණ කටයුත්තක්‌. මේක අභියෝගයක්‌ නොවෙයිද?

ඔව් අභියෝගයක්‌. නමුත් මම විශ්වාස කරනවා අපි ඒ අභියෝගය ජයගත යුතු කාලයක්‌ ඇවිත් තිබෙන්නේ කියලා. අපි ගත්තොත් ලෝකයේ නාට්‍ය කලාව ඉතා වේගයෙන් දියුණු වේගෙන යනවා. ඒතA අපි තවමත් දිළිඳු තත්ත්වයකයි ඉන්නෙ. ඉන් පැහැදිලිවන්නේ අපි නිර්මාණකරණය අතින් කොයිතරම් පොහොසත් වුණත් අපි ගමන් කරන්නේ බොහොම පටු සීමාවක බවයි. ලෝකය පුරාම තාක්‍ෂණික වශයෙන් දියුණුවූ වේදිකා නිර්මාණයවී තිබෙනවා. මේවා සමග අපි ගනුදෙනු කරන්නේම නැති තරම්. ලෝකයේ නාට්‍ය කලාව ගත්තොත් ඔපෙරා හා බැලේ තමයි ප්‍රධානම භූමිකාව කරන්නේ. සම්භාව්‍ය කියන ලක්‍ෂණ දකින්න ලැබෙන්නේ ඒවායේ. අපිට ඒවා ඒ හැටියෙන්ම ගන්න ඕන නෑ. අපිට බැරිද මහා සම්ප්‍රදායක්‌ හොයාගෙන යන්න. "මහ සමයම" ඔපෙරාවක්‌ විදියට ගොඩනැගෙන්නේ එහෙමයි. මම පූජාකර්ම, ශාන්තිකර්ම මේ හැම එකකම භාවිත වන වෙස්‌ මුහුණ, ගොක්‌කොළ මේ ආදී දේවල් නව අර්ථයකින් හා නව මානයකින් "මහ සමයම" ඔපෙරාවේදී භාවිත කරනවා. මෙහෙමයි මම මහා සම්ප්‍රදාය හොයාගෙන යන්නේ.

ඔබ හොයා ගෙන යන මහා සම්ප්‍රදාය එදිරිවීර සරත්චන්ද්‍රයන් ශෛලීගත නාට්‍යයෙන් හඳුන්වා දුන් මහා සම්ප්‍රදායට වෙනස්‌ වෙන්නේ කොහොමද?

එදිරිවීර සරත්චන්ද්‍රයන් ඒ සම්ප්‍රදාය ගෙනාවා. ඒත් ඔහුට ඒ සඳහා වේදිකාවක්‌ තිබුණේ නෑ. ගී්‍රසිය ගත්තොත් ආරම්භයේ සිටම රංග භූමිය අතිශය විශාලයි. ඒවා තුළ තමයි මහා නිර්මාණ බිහිවෙන්නේ. මම සොයාගෙන ගියේ සහ මට තිබුණු අභියෝගය තමයි මේ මහා සම්ප්‍රදාය හොයාගෙන යන එක සහ නූතන වේදිකාව ජයගන්නේ කොහොමද කියන එක.

ඔබ එදිරිවීර සරත්චන්ද්‍රයන්ට ස්‌පර්ශ කළ නොහැකි තැනක්‌ සොයාගෙන යන්නේ නූතන තාක්‍ෂණය හා සම්ප්‍රදාය ගලපාගන්නට උත්සාහ දරණ අතරවාරයේමයි. මේ අභියෝගය ජයගන්නේ කොහොමද?

මම මේ අද්දැකීම ගන්නේත් එදිරිවීර සරත්චන්ද්‍රයන්ගෙන්මයි. ලයනල් වෙන්ඩ්ට්‌ රඟහල එක්‌තරා සමාජ පැලැන්තියක්‌ හා ඉංගී්‍රසි පංතිය නියෝජනය කළ වකවානුවක ඔහු ඒ වේදිකාවට ගේන්නේ ගැමි නාඩගමක්‌ වගේම අනිත් පැත්තෙන් ඔපෙරාවක්‌. ඔහු අත්හදා බලා තිබෙනවා අපේ සම්ප්‍රදාය ලෝකයට ගෙන යන ආකාරය. මූලිකවම අපේ වේදිකා නාට්‍ය කලාව යාතුකර්ම ආදිය පිළිගන්නේ නෑ. බලි තොවිල්වල සංවාද වේදිකාවට ආවේ නෑ. ඒ ආවේ නැත්තේ ඇයි? ඒවායේ කාව්‍යමය ගුණය නෑ කියලා අපිට බටහිරින් උගන්වා තිබුණා. නමුත් අපේ බලියක, සොකරියක, නාඩගමක තිබෙන නාට්‍යමය ගුණය විශ්වීයයි. ඒ නිසයි මා කල්පනා කළේ මෙය නූතන වේදිකාව සමග ගලපාගන්න ඕන කියලා. මා උත්සාහ කළේ අපේම මානයකින් මේක වේදිකාවට ගෙන එන්නයි. ඒ නිසාම මට සරත්චන්ද්‍රයන්ගේ අතීතයත් නූතන වේදිකාවත් අතර ගනුදෙනුව සක්‍රීය එකක්‌ කරන්නයි ඕන වුණේ. ඒ නිසා මම හිතන්නේ සරත්චන්ද්‍රයන්ට ස්‌පර්ශ කරන්නට නොහැකි වූ තැනකට ගියා කියනවට වඩා ඔහු ඉදිරියට ගෙන යන්න හිටිය තැනකට අපි යා යුතුයි කියන එකයි ඉස්‌මතු විය යුතු කියලා.

අපේ රටේ ඉතාම සුළුතරයක්‌ පමණයි ඔපෙරාවක්‌ කැන්ටාටාවක්‌, මුද්‍ර නාට්‍යයක්‌ නැරැඹීමට යොමුව සිටින්නේ. මහසමයම අපේ ප්‍රේක්‍ෂකාගාරය මඟහැර යන බවක්‌ හිතෙන්නේ නැද්ද?

රටකට සම්භාව්‍ය ගුණය තිබෙන කලාවන් පෝෂණය කිරීම කියන එක ඉතාම අවශ්‍ය දෙයක්‌. බටහිර රටක ඔපෙරාවක්‌ බලන්න ඕනෑම සමාජ ස්‌ථරයකට මැදිහත් වෙන්නට පුළුවන්. අපේ රටේ ඇති නැති පරතරය වැඩියි. බටහිර රටවල ඕනෑම කෙනකුට රසවිඳීමේ ඕනෑකම තිබෙනවා. අපි රසවිඳීමේ වුවමනාව මිනිසුන් තුළ ඇති කළ යුතුයි. එය පංති භේදයෙන් මැනිය යුත්තක්‌ නොවේ. මහාචාර්ය සරත්චන්ද්‍රයන්ගේ නාට්‍ය ඔපෙරාවක්‌ හැටියට පිළිනොගන්තේ ඇයි කියන එකයි මගේ තර්කය. ඒවා නාට්‍යයන් නොවෙයි. ලෝකයේ තිබෙන ඔපෙරා සම්ප්‍රදායෙන් තමයි ගෙනාවේ. සිංහයා, සිංහබා කියන්නේ ඔපෙරාවේ හඬ. සිංහයා නටන්නේ අපේ නැටුම් සම්ප්‍රදායක්‌ නෙවෙයි. එයා නටන්නේ ජපානයේ නෝ කබුකි. නමුත් ඒවා අපේ නාඩගම් සාම්ප්‍රදාය සමග ගලපලයි ගෙනාවේ. සරත්චන්ද්‍රයන් ඒක කිව්වේ නෑ. ලංකාවේ මහා සම්ප්‍රදායේ ඔපෙරාවක්‌ ඇතිවුණු මුල්ම අවස්‌ථාව තමයි මනමේ, සිංහබාහු, කියන්නේ. ඔහු එය පේරාදෙණියේ "වලට" සීමා නොකර ලයනල් වෙන්ඩ්ට්‌ රඟහලට ගේනවා. එතැනදී තමයි මේ සංවාදය මතුවන්නේ. සමහර අය තර්ක කරනවා අපේකම මේ නිසා නැතිවෙනවා කියලා. නමුත් ඇත්තටම සිද්ධ වෙන්නේ අපේ දේවල්වලට වැඩි ආරක්‍ෂාවක්‌ ලැබීමයි.

ගී්‍රක නාට්‍ය මූලධර්මයන් අභිබවන්නට හැකි නාට්‍යමය දෘෂ්ටිවාදයක්‌ අපේ පූජාකර්මවල තිබෙනවා. මහසමයම ඔපෙරාව මෙය යථාර්ථයක්‌ බවට පත් කරන්න කොයිතරම් දුරට හේතු වේවිද?

අපේම කියන දේවල් අපේ කියන පදනමට වඩා විශ්වීය පදනමින් නාට්‍යවල භාවිත කරන්න ඕන. අපට ජාත්‍යන්තරය සමග මීටත් වඩා පුළුල් විදිහට ගනුදෙනු කිරීමේ හැකියාව තිබිය යුතුයි. අද ශ්‍රී ලාංකීය වේදිකාවටත් අවශ්‍ය වන්නේ එවැන්නක්‌. අපේ නාට්‍ය කලාව විවෘත ආර්ථිකයට බිහිවීමේ සිට අද දක්‌වාම රැඳෙන්නේ චූල සම්ප්‍රදායකයි. නිර්මාණකරුවන්ට මහා නිර්මාණයකට එන්න තිබෙන බාධා වැඩියි. දේශීය වේදිකාවට නව මං පෙත් හොයාගෙන යන්න මෙය හැරවුම් ලක්‍ෂයක්‌ වේවි කියන විශ්වාසය මා තුළ තිබෙනවා. අප මේ හරහා සංවාදයක්‌ ගොඩනඟා ගත යුතුයි. වඩා හොඳ නිර්මාණයක්‌ කිරීමේ අභිලාශයයි මා සතුව තිබුණේ. විශාල පිරිවැයක්‌ ගියා. රාජ්‍යය මෙන්ම පෞද්ගලික ව්‍යවසායකයන් ගණනාවක්‌ මීට මැදිහත් වුණා. මෙහි පිටපත සමග අවුරුද්දක්‌ විතර පර්යේෂණ කරන්න මට සිද්ධ වුණා.

මෙය නූතන වේදිකාවට ගැලපෙන නාට්‍යයක්‌. නෙලුම් පොකුණ වැනි දැවැන්ත වේදිකාවක්‌ සමඟ කරන ගනුදෙනුව අපේ දුප්පත් වේදිකාව සමඟ කරන්න බෑ. අපේ ප්‍රේක්‍ෂකයන්ට මේක අසාධාරණයක්‌ නෙවෙයිද?

ජාත්‍යන්තරයේ තිබෙනවා, කොතරම් දුර වුණත් රඟහලේ තිබෙන පහසුකම් බලා නාට්‍ය නරඹන්නට එන පුරුද්දක්‌. වසර පුරාම ඒ රඟහල්වල එකම නාට්‍යයක්‌ රඟ දැක්‌වෙනවා. එවිට ඒ සඳහා සූදානම් වුණු රසික කණ්‌ඩායම් ගොඩනැගෙනවා. රසවින්දනය වෙනුවෙන් ඒක හොඳ ශික්‍ෂණයක්‌. රසවිඳීම වෙනුවෙන් ඒක වැරැදි දෙයක්‌ නෙවෙයි. අපිට තැනින් තැනට යන්න ලංකාවේ දියුණු වේදිකා නෑ. නමුත් මම කියන්නේ තැනින් තැනට යන නාට්‍ය විතරක්‌ම තිබිලා මදි. නෙලුම් පොකුණ වැදගත් වෙන්නේ මේ අර්ථයෙන් මිස පටු තැනක ඉඳලා බලනකොට නෙවෙයි. අපි මේ පවතින තත්ත්වය අතික්‍රමණය කරන්න ඕන. නෙලුම් පොකුණේ තිබෙන සංගීත ප්‍රසංග නරඹන්නට ප්‍රේක්‍ෂකයන් එන්නේ බොහෝ දුර ඉඳලා විශාල මුදලක්‌ ගෙවා ගෙන. අපිට වේදිකා නාට්‍ය සඳහා ඒ වගේ තත්ත්වයක්‌ ගොඩනගන්න බැරි ඇයි? මම හිතන්නේ මගෙන් පස්‌සේ එහෙම ප්‍රවණතාවක්‌ ගොඩනැගෙයි.


Divayina
READ MORE - මහ සමයම මහා සම්ප්‍රදාය සොයා යන ගමනක ආරම්භයයි

සමාජය තුළ "මහ සමයම" සාකච්ඡා වුණොත් ඇති

සමාජය තුළ "මහ සමයම" සාකච්ඡා වුණොත් ඇති
13624_fgtch.jpg "මහ සමයම" නාට්‍යයේ තේමාව මොකක්ද?
"මහ සමයම" නාට්‍ය හරහා මම සමාජගත කරන්නේ මහසෝනාගේ උත්පත්ති කතාව. ඊශ්වර ළඟ බැලමෙහෙවර කම් කරපු අසුර නමැති පුද්ගලයා ඊශ්වර දැහැනෙන් මිය යනවා. ඊශ්වරගේ අග්නි ජාලාවකින් තමයි ඔහු මිය යන්නේ. ඒ ඔහු දැවී ගිය අළුවලින් මහසොහොන් සමයම උත්පත්තිය ලබනවා. මගේ "මහ සමයම" නාට්‍ය තුළ ගැබ්වෙලා තියෙන්නේ එම ප්‍රස්තුතයයි.


"මහ සමයම" තුළ වත්මන් දේශපාලන චරිත ඉන්නවාද?
විවිධ ආකාරයට දකින්න පුළුවන් කෘතියක් මේක. සමාජමය දෘෂ්ටියකින් වගේම දේශපාලන දෘෂ්ටියකිනුත් මෙම නාට්‍ය දකින්න පුළුවන්. මතුපිටින් නොපෙනෙන ගැඹුරු ප්‍රවේශයක් මෙහි අන්තර්ගතයි.


දේශපාලනමය දෘෂ්ටියෙන් බැලුවොත් "මහ සමයම" කවුද?
දේශපාලනමය පැත්තටම මෙය සීමා කරන්නට බැහැ. අපි හැමෝ තුළම මහසෝනා කියන චරිතය ඉන්නවා. විටින් විට එම චරිතයන් මතු වෙන අවස්ථා තියෙනවා. දේශපාලන නෙතින් බැලුවත් විවිධ දේශපාලනඥයන් තුළින් මෙම චරිතය ඉස්මතු වන අවස්ථා තියෙනවා.


අදෘශ්‍යමාන පැතිකඩක් නාට්‍යකරණයට යොදාගන්න හිතුවෙ ඇයි?
අද සමාජෙ වෙසෙන බොහෝ දෙනෙක් අපේ ගැමි කලාව සහ යාතුකර්මවල අන්තර්ගත දේවල් හාස්‍යයට ලක්කරමින් වලංගු නැති ගණේට දාලා තිබෙනවා. බටහිර ක්‍රමයට නතුවෙලා අපේම දේ ප්‍රතික්ෂේප කරන තත්ත්වයට පත්වෙලා. අපේ වෙස් මුහුණු අපි අගය නොකොට සුද්දන්ට විකුණනවා. නමුත් ඒ වෙස්මූණු තුළ ගැබ්වෙලා තියෙන මනෝවිද්‍යාත්මක සහ කලාත්මක ගුණයන් බොහෝ දෙනෙක් දකින්නේ නෑ. නිර්මාණකරුවන් හැටියට අපිට වගකීමක් තිබෙනවා වියැකී යන ඒ ගැමි කලාවට නැවතත් පුනර්ජීවනයක් දෙන්න. මගේ මේ වෑයමත් ඒකයි.


වර්තමානය වන විට විවිධාකාරයෙන් යුතු නාට්‍ය කරළියට එනවා. ඒවා තුළ සහ මෙ නාට්‍යය අතර තිබෙන වෙනස මොකක්ද?

වේදිකා නාට්‍ය ගොඩක් එනවා. නමුත් ප්‍රබල කතිකාවතක් ගොඩනඟන්න තරම් නිර්මාණ බිහිවෙන්නෙ නෑ. සීමිත පිරිසක් ඉන්නවා හොඳ නිර්මාණකරණයට යොමු වුණ මම ජනසන්නිවේදන විෂය උගන්වන ගුරුවරයකු හැටියට අපේ සම්ප්‍රදායික දේවල ඇති ගුණ අගුණ විශ්ලේෂණය කරනවා. එසේ විශ්ලේෂණය කරන කොට තමයි මට මෙම ප්‍රස්තුතය හමු වුණේ. අපි නාට්‍යකරණයේ නියැළෙන්න ඕනේ ජාත්‍යන්තර නාට්‍ය කලාව සහ ශ්‍රී ලාංකේය මුල්නාට්‍ය කලාව හරි හැටි හැඳිනගෙනයි. සමාජය තුළ කතිකාවතක් ගොඩනැඟෙන තරමෙ නාට්‍යයක් කරනවා නම් එහි සාර්ථකත්වයක් තිබෙනවා. මම මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍ය කලාව දුටුවෙක් හැටියට මෙවන් වෙනසක් කළ යුතුයි කියලා හිතුවා.


"මහ සමයම" නාට්‍යයේ නළුවරණය කොහොමද කළේ?
"මහ සමයම" නාට්‍ය තුළ පරම්පරා 9ක් නළු නිළියො රඟපානවා. ප්‍රවීණයන්, නවකයන් දෙපිරිසම මේ තුළ සිටිනවා.
ඊශ්වර චරිතය චන්න විජේවර්ධනත් උමාගේ චරිතය ඉන්දිකා උපමාලිත් රඟ දක්වනවා. ජැක්සන් ඇන්තනී, ශි්‍රයන්ත මෙන්ඩිස්. නිස්සංක දිද්දෙණිය, සඳුන් විජේසිරි, චතුරිකා පීරිස්, මාධනී මල්වත්ත ආදී ප්‍රමුඛ පෙළේ රංගන ශිල්පීන් ශිල්පිනියන් රැසක් "මහ සමයම" නාට්‍ය තුළ රංගනයෙහි නියැළෙනවා.


"මහ සමයම" නාටය සඳහා නෙලුම් පොකුණ රඟහලම තෝරා ගත්තේ ඇයි?
මෑත කාලයක් වෙනකල්ම ලංකාවේ වේදිකාව පිළිබඳ ගැටලු තිබුණා. නමුත් නෙලුම් පොකුණ රඟහල තුළ ඇති නූතන තාක්ෂණය උපයෝගි කොට ගනිමින් දැවැන්ත නිර්මාණ කරන්න පුළුවන්. ඔපෙරාව වගේ ලොව සම්භාව්‍යය කෘති මෙරට තුළත් නිර්මාණය කරන්න ඕනේ. නෙලුම් පොකුණ රඟහල ඒ සෑම නිර්මාණයක් සඳහාම විශාල තෝතැන්නක්.


මෙම නාට්‍ය තුළින් ඔබ අවසානයේ බලපොරොත්තු වෙන්නේ මොකක්ද?
මෙය සමාජය තුළ සාකච්ඡාවට බඳුන්වන කෘතියක් වුණොත් එය නූතන නාට්‍ය ක්‍ෂේත්‍රයේ වර්ධනයට ඵලදායී වේවි. මම බලාපොරොත්තු වෙන්නේ එයයි.

Mawbima
READ MORE - සමාජය තුළ "මහ සමයම" සාකච්ඡා වුණොත් ඇති

‘මහ සමයම’ කලාවත් ප්‍රේක්ෂකයනුත් බේරා ගැනීමේ උත්සාහයක්


‘මහ සමයම’ කලාවත් ප්‍රේක්ෂකයනුත් බේරා ගැනීමේ උත්සාහයක්

මහාචාර්ය ආරියරත්න ඇතුගල
මහාචාර්ය ආරියරත්න ඇතුගලයන් මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයේත්, කලා ක්ෂේත්‍රයේත් විවිධ භූමිකා රාශියකින් අපට හමුවන ප්‍රතිභාපූර්ණ කලාකරුවෙක්. ප්‍රවීණයෙක්.
විශ්ව විද්‍යාල මහාචාර්යවරයකු, ටෙලිනාට්‍ය පිටපත් රචකයකු, ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයකු මෙන්ම මෙරට ජාතික රූපවාහිනී සභාපතිවරයා ලෙස කටයුතු කර, වත්මන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් වරයා ලෙසින් කටයුතු කරයි.
ශ්‍රී ලාංකේය යාතුකර්ම වල එන මහසෝන් සමයම ඇසුරෙන් ඔහු ‘මහ සමයම’ නම් අති දැවැන්ත නිර්මාණය හරහා වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයකු ලෙසින් දොරට වඩින්නට සූදානමින් සිටී. ලබන ..... වැනිදා කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී කලඑළි දක්වන ‘මහ සමයම’ පිළිබඳ එතුමන් සමඟ කළ සංවාදයයි මේ.
මෙය ඔබගේ පළමු වේදිකා නාට්‍ය ප්‍රයත්නය නේද?
සැබැවින්ම. අපේ බොහෝ ප්‍රවීණ කලාකරුවන්, නිර්මාණ කරුවන් වේදිකාවෙන් ආරම්භ කරල අනෙකුත් අංශවලට යොමු වීමක් තමයි කරල තියෙන්නෙ. මගෙ පැත්තෙන් ගත්තම මම ඊට ප්‍රතිවිරුද්ධ පැත්තට ගමන් කරනවා.
නමුත් මගේ කලාවේ ආරම්භය ගත්තම පාසල් වේදිකාව මගෙත් ආරම්භය කියන්න පුළුවන්. ඒ වගේම විශ්ව විද්‍යාලයේ වේදිකා නාට්‍ය සම්බන්ධ යම් යම් දේවල්, ලංකාවේ ප්‍රවීණයන්ගේ වැඩ කටයුතුවලට, සාකච්ඡාවලට මම සම්බන්ධ වෙලා තියෙනවා.
වෙනස තියෙන්නේ මම නාට්‍යයක් නොකරපු එකයි.
ඇයි මෙවැනි දෙයකින්ම ආරම්භ කරන්නට හිතුවේ.
ශක්තිමත්ම කලා මාධ්‍යය වන්නේ වේදිකාව. මේ මොහොතේ මේ රටේ වේදිකාවේ නව ප්‍රබෝධයක් තිබිය යුතුයි කියන අදහසින් මම ඉන්නෙ.
ඒ වගේම මගේ ප්‍රස්තුතය වඩාත් වේදිකාවට ගැළපෙනවා. ඒ කියන්නෙ අභිචාර, යාතු කර්ම වේදිකාවට සම්බන්ධ කාරණාවක් නිසා ප්‍රස්තුතය වේදිකාවට ගැළපීම, දියුණු වේදිකාවක් අපට හිමිවීම යන කාරණා මේ තුළ තිබෙනවා. අනෙත් කරුණ අපේ පැරැණි යාතුකර්මවල විශ්වීය ලක්ෂණ තිබෙනවා. මේවා අවතක්සේරු කරන එක ප්‍රතික්ෂේප කිරීමක් තමයි මම කරන්නෙ.
මෙය වර්තමාන කාලයට ගැළපෙන්නේ කොහොම ද?
මහසෝන් සමයමට පාවිච්චි කරන පසුතල, නිර්මාණ, රංග විලාසය වෙස් මුහුණු ආදිය ඉතාම නවීනයි. පශ්චාත් නූතන ගැමි කලාවේ කිසියම් අවදියක තමයි මහසෝනා වැනි චරිත, වෙස් මුහුණු වැනි නිෂ්පාදන ඇතිවන්නෙ.
ඒවා නවීනයි කියන එකේ තේරුම තමයි මහසෝනා යකෙක් වුණත් තියෙන්නෙ වලස් ඔළුවක්. ඒකත් තියෙන්නෙ කෙළින් නෙමෙයි කැරකිලා. අද අප අතරත් තියෙන්නෙ ඔහොමම තමයි. අනෙක් පැත්තට යන අසම්මත දේවල්. මහසෝනා ඉන්නෙ ඌරෙක්ගෙ පිටේ නැගල අලියෙක් අතේ තියාගෙන. මෙය කොයි තරම් නවීන ද? අපි මේවා ගැමි දේවල් කියල ප්‍රතික්ෂේප කිරීම එතරම් හොඳ දෙයක් නෙමෙයි.
මෙය නිර්මාණය වන්නේ නෙළුම් පොකුණ වේදිකාවට ගැළපෙන්නට ද?
මේ ලෝකයේ මහා සම්ප්‍රදාය හැදිලා තියෙන්නෙ දියුණු වේදිකා අංගත් එක්ක. රංග කාර්යයේ දී වේදිකාව වෙන් කරන්න බෑ. ඒ කියන්නෙ අන්තර්ගතයෙන් ආකෘතිය වෙන් කරන්න බෑ. මේ සමස්තයම එකක්. අනිත් කාරණය තමයි අපි පුරුදු වෙලා තිබෙන නාට්‍යවල ප්‍රමිතීන් නිවැරැදියි කියන්නත් බැහැ. ‘මහ සමයම’ දැවැන්ත නිෂ්පාදනයක් වන නිසාත්, බැලේ, ඔපෙරා වල අභාසය සමඟ ලාංකේය රංග සම්ප්‍රදායන්ගේ අභාසය ලබන නිසා නෙළුම් පොකුණ වේදිකාව වැදගත් වනවා.
ලොකු නිර්මාණාත්මක කැන්වස් එකක් හදන්න ඊට ප්‍රමාණවත් වේදිකාවක් තිබිය යුතුයි.
මෙවැනි නිර්මාණයකින් ඔබ බලාපොරොත්තු වන්නේ කුමන අරමුණක් ද?
අරමුණු කීපයක්ම තිබෙනවා. අපේ ජන සංස්කෘතියේ ඇති මෙවැනි දුර්ලභ දෑ මතු පරපුර වෙනුවෙන් සංරක්ෂණය කිරීම ඉන් එකක්. මේ නිර්මාණය මට දිගින් දිගටම කරගෙන යන්න බැරි වේවි. ඒත් මම ගත්ත මේ පියවර ඊට හොඳ ආරම්භයක් වේවි. උදාහරණයකට ගත්තොත් සරච්චන්ද්‍රයන්ගෙ ‘මනමෙ’ නාට්‍යයේ පවා මුල් කෘතිය නෙමෙයි අද දකින්න තියෙන්නෙ. එය කාලීනව වෙනස් වෙලා. ‘මහ සමයම’ නිර්මාණයත් එහෙමයි. නෙළුම් පොකුණ වගේ තැනක සංවිධාන ව්‍යුහයක් හැදුණොත් පවත්වාගෙන යන්න පුළුවන් වේවි. මේ කාර්යය මට පෞද්ගලිකවම නැතිනම් තනිවම කරන්න බෑ. ඊට විවිධ අයගේ සහාය අවශ්‍යයි. වෙනත් නිර්මාණ පාර්ශවයන්ගේ මැදහත් වීම අවශ්‍යයි.
‘මහ සමයම’ නිර්මාණයේ ඇති දැවැන්ත බව ගැන සඳහන් කළොත්.
එදා අපේ ගම් ප්‍රදේශවල එළිවෙනතුරු මහසෝන් සමයම නැටුවේ ගමම එකතු වෙලා. එය හරි විශාල පිරිසක් දායකත්වය දුන්නු රැයක් පහන් වෙන තුරා කළ දෙයක්. දැන් සමාජයේ මේ දැවැන්ත බව නෑ.
මම කළේ අපේ සංස්කෘතියේ තිබුණු මේ දේවල් උකහා ගෙන ජාත්‍යන්තර ප්‍රමිතිය හඳුනාගෙන, පවතින නාට්‍ය කලාව හඳුනාගෙන ඉදිරි ගමනක් පිළිබඳව හිතීමයි. කෙනෙක් මෙය වැරැදි විදිහට හිතන්නත් පුළුවන්. ඒත් මම කරල තියෙන්නෙ කලාව සහ පේ‍්‍රක්ෂාගාරය බේරා ගන්න උත්සාහයක්.
මෙහි ප්‍රවීණ නළු නිළියන් විශාල ගණනක් ඉන්නවා. පසුතල අති විශාලයි. රංගන පිරිස 150 ක් පමණ වනවා. මාස 6 ක පමණ පුහුණු කාලයක් සහ විශාල වියදමක් දරලා කරන නිසා නිර්මාණය දැවැන්තයි.
ඒ වගේම මෙය විශාල අභියෝගයක් ද වනවා. රටකට මෙවැනි නිර්මාණ කාර්යයන් තිබිය යුතුයි. මොකද ලෝකය ගමන් කරන්නේ වේදිකාවේ දැවැන්ත නිෂ්පාදන සමඟ නිසා.
මීට දායක වන නිර්මාණ ශිල්පීන් ගැනත් සඳහන් කළොත්.
ඇත්තෙන්ම මීට දායක වෙලා ඉන්නෙ නිර්මාණ පිපාසාවෙන් ඉන්න පිරිසක්. සෑම දෙනෙක්ම පාහේ ඉතාමත් කැමැත්තෙන් මීට දායක වෙනවා අපේ දේවල් තාක්ෂණය සමඟ මුසු කරල ලෝකයේ ඉදිරියට යා යුතුයි කියන මතය සමඟ.
ජැක්සන් ඇන්තනී, ශි‍්‍රයන්ත මෙන්ඩිස් නිශ්ශංක දිද්දෙණිය වැන්නන් නිර්මාණ පිපාසාවෙන් ඉන්න ප්‍රවීණයන්. ඔවුන් ඔවුන්ගේ අත්දැකීම් තුළින් මීට මැදිහත් වෙනවා. චන්න විජේවර්ධන සහ ඔහුගේ නර්තන කණ්ඩායම නර්තන අංශයෙන් දායකත්වය දෙනවා. රවිබන්දු විද්‍යාපති කියන්නෙ පරම්පරා ගත දැනුම තිබෙන ශිල්පියෙක්. ඔහුත් මීට දායකත්වය දෙනවා. ඒ වගේම ත්‍රිවිධ හමුදාවේ සංස්කෘතික අංශ, සංස්කෘතික අමාත්‍යාංශය, තරුණ සේවා සභාව වැනි ආයතනත් මීට සහාය දෙනවා.
මේ සෑම කලාකරුවකුගේම අදහස තමයි ඔවුන්ට අතපසු වුණු නිර්මාණ කාර්යයක් මා කරනවා කියන එක. එය මට විශාල ධෛර්යයක්.
එහිත් රංගවේදය ගැනත් සඳහන් කරමු.
එහි තේරුම අපි ප්‍රතික්ෂේප කරන දේට වටිනාකමක් දෙනවා කියන එකයි. මෙරට දේ කෙරෙහි විශ්වීය මානයකින් බැලීම ලෙසත් හඳුන්වන්න පුළුවන්. අපේ රටේ තිබෙන බොහෝ වටිනා, බොහෝ දේ මේ වන විට හුදෙකලා කරල විනාශ කරල තිබෙනවා. තවමත් විනාශ වෙමින් පවතිනවා. උඩරට, සබරගමු, පහතරට නර්තන අංග, චිත්‍ර ඇඳීම, ඇඹීම මේ හැම කලාවක්ම පාහේ එලෙස විනාශ වෙමින් යනවා.
මම මෙයින් කරන්නේ මේවා විශ්වීය ගුණයක් එකතු කරල විශ්වීය තලයකට ගෙන ඒම. මේ නිර්මාණ ප්‍රතිභාවන්ට ලොල් වන්නේ නැතුව, තදින් බැඳිල අපේ දෙයක් පමණයි කියල බැදෙන්නෙ නැතුව විශ්වීය ගනුදෙනුවක් කිරීම. විශේෂයෙන් නාට්‍ය ව්‍යවහාරයේ තිබෙන අන්තර් සංස්කෘතික වශයෙන් වැදගත් සංකල්පයක්.
ඔබ මුලින්ම නිර්මාණයක් කරන්නෙ පුංචි තිරයට. ඒත් මේ වන විට ඔබ ඒ පැත්තෙන් නිහඬයි.
මේ වන විට ටෙලි නාට්‍ය නිර්මාණ ක්ෂේත්‍රය දූෂිත වෙලා. එය නිශ්චල හොඳ නිර්මාණ නොවන කර්මාන්තයක් බවට පත් වෙලා. මේවා සමඟ පොර බදන්න මට වුවමනාවක් නෑ. මම දන්නා තරමින් මෙය ප්‍රධාන පෙළේ නිර්මාණ බිහිකළ සියලුම දෙනාට පාහේ ඇතිවෙලා තියෙන තත්ත්වයක්.
එහෙම කලකිරෙන ඔබ නාට්‍ය ක්ෂේත්‍රයේ අලුත් ගමනක් අරඹනවා.
මම රාජකාරිමය වශයෙන් මාධ්‍යයට සම්බන්ධ නිලධාරියෙක්. ඒ තුළ මට මෙය අදාළ නොවන්න පුළුවන්. ඒත් පුරවැසියෙක් ලෙස විශාල මානසික ව්‍යාකූලත්වයක් මට තිබෙනවා. නූතන මාධ්‍ය කලාවේත්, සමස්ත කලාවේත් ගමන්මඟ පිළිබඳව. ඒ සමඟම මේ සමාජය ලොකු සංස්කෘතික සහනයක් ලොකු පරිවර්තනයක් ඉල්ලා සිටින බව මට පෙනුණා. ඒ නිසා බලා ඉන්නෙ නැතුව කාටවත් ඇඟිල්ල දිගු කරන්නෙ නැතුව මමම පටන් ගන්න ඕනෙ කියල මම හිතුවා. එහි ප්‍රතිඵලය තමයි මේ.
READ MORE - ‘මහ සමයම’ කලාවත් ප්‍රේක්ෂකයනුත් බේරා ගැනීමේ උත්සාහයක්

පළිඟු මැණිකේ සිට සුජාත දියණිය දක්‌වා

Sunday, February 3, 2013


මඤ්ඤං කොළම

පළිඟු මැණිකේ සිට සුජාත දියණිය දක්‌වා

හවස හය වෙන කොට ගෙදර එනවා කියල හිතාගෙන ආවත් පාරෙ වාහන තදබදයත් එක්‌ක පිච්චර පිස්‌සට හිතපු වෙලාවට ගෙදර ඒගන්න බැරිවුණා. හන්දියෙන් බහිනකොටත් හත පහුවෙලා.......· පිච්චර් පිස්‌සා හිතේ දුකෙන් පාර දිගේ ඇවිදගෙන ආවා. ''සුජාත දියණි'' කියන්නෙ මේ දවස්‌වල ලංකාවේ ජනප්‍රියම ටෙලි නාට්‍යය· ලංකාවෙ හුඟදෙනෙක්‌ දැන් හවස හයයි තිහ වෙන කොට ගෙදර යනවා කියලා අතුල රන්සිරිලාල් මහත්තයා ළඟදි පත්තරේක කියලා තිබුණා. එක අතකට එහෙම වෙන එක හොඳයි· මොකද බඩවැල් නාට්‌ටි බල බල නිකං කාලෙ කන පෙA්‍රක්‌ෂකයන්ට රසවිඳින්න පුළුවන් නාට්‌ටියක්‌ තියෙන එක.

''සුජාත දියණි'' කියන්නෙ අපේ රටේ නිර්මාණය වෙච්ච නාට්‌ටියක්‌ නොවුණත් මේ වෙන කොට විශාල ප්‍රේක්‌ෂක පිරිසක්‌ ඒක වටා රොක්‌වෙලා ඉන්නවා. පිච්චර් පිස්‌සා පුංචිකාලෙ ඔෂින් බලන්න කොච්චර ආසද කියල එකපාරටම හිතුනා. ඒ වගේ තමයි මේකත්· ඒ දවස්‌වල ඔෂින් කී සැරයක්‌ නං රූපපෙට්‌ටියෙ පෙන්නුවද? ඒත් අපේ කිසිම කෙනෙකුට ඒක බලලා ඇති වුණේ නෑ. සුජාත දියණිත් එහෙම එකක්‌ බව දැනටමත් ඔප්පු කරල ඉවරයි. මේ නාට්‌ටිවලට මේ තරම් අපේ කට්‌ටිය කැමැති ඇයි කියලා පිච්චර පිස්‌සා කල්පනා කරා· මිනිස්‌සුන්ගෙ අව්‍යාජ බව සිරිත් විරිත්, ගති පැවතුම්, වගේ දේවල් නිසියාකාරව තේරුං අරගෙන මිනිස්‌සුන්ගෙ ජීවිත විනිවිද දකින නිසා ඒවට අපේ කට්‌ටිය කැමැති වෙනවා ඇති. හැබැයි එක කාලයක්‌ තිබුණා අපේ කට්‌ටිය අර ඉන්දියානු බඩවැල් නාට්‌ටි ටික මෙලෝ සිහියක්‌ නැතුව බලපු· හැබැයි ඒ කට්‌ටියයි මේ කට්‌ටියයි වෙනස්‌ කියල නං පිච්චර පිස්‌සා දන්නවා.
සුජාත දියණි ටෙලි නාට්‌ටියෙන් පෙන්නන්නේ කොරියානු සමාජයේ ආහාර සංස්‌කෘතියයි. වෛද්‍ය වෘත්තියයි. ඒක හරිම නිර්මාණශීලී විදියට ඉදිරිපත් කරන්න ඒ අධ්‍යක්‍ෂතුමා උත්සාහ අරගෙන තියෙනවා. අපේ රටේ හඬකැවීම් ශිල්පීන්ගෙ දක්‍ෂකම නිසා ඒ ටෙලිනාට්‌ටිය අපිට හුඟාක්‌ ළංවෙලා තියෙනවා කියලා තමයි පිච්චර් පිස්‌සට හිතුනෙ. සුජාත දියණිය වගේ නාට්‌ටියක්‌ ගැන එහෙම ඉහළින් කතා කරන්න ලැබෙන එක හොඳ වුණත් අපේ රටේ නිර්මාණකරුවන්ගේ හුඟාක්‌ නිර්මාණ ගැන එහෙම කතා කරන්න බැරි එක ගැන පිච්චර් පිස්‌සට දුකයි. හැබැයි මේ දවස්‌වල රූප පෙට්‌ටියෙ පෙන්න අප්පච්චි බොරළුපාර වගේ නිර්මාණ හුඟාක්‌ ඉහළ මට්‌ටමක තියෙනව කියලා පිච්චර් පිස්‌සා වගකීමෙන් කියනවා. ටිකක්‌ හිතලා බැලුවොත් ඒ නිර්මාණවලිනුත් මිනිසුන්ගෙ ජීවිත විනිවිද බලන එක නේද කරලා තියෙන්නේ කියලා පේනවා. හැබැයි ඉතිං හන්දියක්‌ හන්දියක්‌ ගානෙ පත සයිස්‌ කටු මැටි ගහලා ප්‍රචාරය කරන ටෙලි බඩවැල් වලින් නං මිනිස්‌සුන්ගෙ ජීවිත විනිවිද දකින්නෙ නැහැ කියලා ඉතිං පිච්චර් පිස්‌සා අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ.


මීට අවුරුදු ගාණකට ඉස්‌සෙල්ලා පෙන්නපු ''පළිඟු මැණිකේ'' ටෙලිනාට්‌ටිය පිච්චර් පිස්‌සට එක පාරටම මතක්‌ වුණා. ඒ නාට්‌ටියෙන් අපේ කලා ශිල්ප ජන ඇදහිලි ශාන්තිකර්ම වෙදකම් ගැන මොනතරම් අපූරුවට විග්‍රහ කෙරුවද? ඇයි අපේ ජයන්ත චන්ද්‍රසිරි මහත්තයගෙ වෙදහාමිනේ ටෙලිනාට්‌ටියෙන් දේශීය වෙදකම ගැන ''අඬුබස්‌නාමානය ටෙලිනාට්‌ටියෙන් අපේ ඉපැරණි සටන් කලාව ගැන මොනතරං විග්‍රහ කෙරුවද? ඒ හැම නාට්‌ටියක්‌ම ප්‍රේක්‍ෂක ජනතාව තදින්ම වැළඳ ගත්තෙ අපේ ජීවන සුවඳ ඒවායෙන් දැනුන හින්දා. දඬුබස්‌නාමානය ටෙලිනාට්‍ය විකාශය වුණාට පස්‌සේ කීදෙනෙක්‌ ''අංගම්පොර'' උගන්නන පන්ති දැම්මද? අදටත් කීදෙනෙක්‌ ඒ සටන් ක්‍රමය උගන්නලා ජීවත් වෙනවද? ඒක තමයි කලා නිර්මාණයකින් සිදුවිය යුතු සේවය. හැබැයි මත්කුඩු ගැන කරපු ටෙලිනාට්‌ටියකට පස්‌සෙ කට්‌ටිය මත්කුඩු උරන්න ඕන කියලා නොවෙයි පිච්චර පිස්‌සා කියන්නෙ සමාජයට දැනෙන නිර්මාණ නිර්මාණකරුවෝ බිහි කළ යුතුයි කියලා.... මුලින් පිච්චර පිස්‌සා කිව්ව ''සුජාත දියණි'' වගේ නාට්‌ටි බලලා ඒවායෙන් යම් උද්දීපනයක්‌ අරගෙන අපි නිර්මාණ බිහිකළ යුතුයි කියලයි පිච්චර පිස්‌සගෙ කල්පනාව. ඒවගේම ගස්‌ නැති රටේ තුත්තිරි ගහත් ගහක්‌ කියල හිතන නිසාවෙන් සුජාත දියණි දිහා බලන්න එපා කියලත් පිච්චර් පිස්‌සා කියනවා. සුජාත දියණි ටෙලි නාට්‌ටියෙ හොඳ කියන බොහෝ පිරිසක්‌ හිටියත් ඒකට දොස්‌ කියන අපේ වැඩබැරි ටාසන්ලත් ඉන්නවා. අපි අපේ කමත් එක්‌ක ශක්‌තිමත්වෙලා අපේ අනන්‍යතාව අපිට දැනෙන අපිවම අපිට විනිවිද පෙනෙන නිර්මාණ බිහි කරන්න පෙළඹෙනවා හැරෙන්න ''සුජාත දියණි'' ට සාප කරන එක නෙවෙයි කරන්න ඕන.

පිච්චර් පිස්‌සා

Divayina
READ MORE - පළිඟු මැණිකේ සිට සුජාත දියණිය දක්‌වා

මම විශාල සමාජ පෙරළියක් කළා


මහා සිංහලේ වංස කතාවෙන් මම විශාල සමාජ පෙරළියක් කළා

ජැක්සන් ඇන්තනී
අදින් වසර හතළිස් දහසකටත් එහා අතීතයට අපේකම සොයා ගිය ඔහු බලංගොඩ මානවයාගේ සිට කුවේර රාජධානිය, මහා සම්මත මනු රාජධානිය, රාවණා රාජධානි පසුකරමින් මහා කාලසේනගෙන් පසු විජය රජු ලංකාවට පැමිණීමෙන් පසු ලංකාවේ ඉතිහාසය කියවීම අතිශය තර්කානුකූලවත්, රමණීයවත් ඉදිරිපත් කරමින් අපේ රටේ යටපත්ව පැවති, ඉවතට විසිකරමින් නොසලකා හැරි ඉතිහාස විෂයට අපූර්වත්වයක් එක්කළේය.
‘මහා වංශයට විද්‍යුත් ටීකාවක්’ යනුවෙන් මහා සිංහලේ වංස කතාව අපට රැගෙන ආ ඔහු ප්‍රවීණ මාධ්‍යවේදියකු, රංගන ශිල්පියෙකු, නාට්‍යකරුවකු, සිනමා අධ්‍යක්ෂවරයෙකු වන ජැක්සන් ඇන්තනී ය.
2007 වසරේදී කාගේත් ප්‍රශංසා මැද විකාශය අවසන් වූ ‘මහා සිංහලේ වංස කතාව‘ නැවතූ තැන් සිට යළි ආරම්භ කිරීමේ සුබ පණිවුඩය පෙරදා ඔහු අපට රැගෙන ආවේය.
මේ සඳහා නිමිත්ත මෙම 4 වැනිදාට යෙදෙන 65 වැනි නිදහස් දින දා සිට සෑම සඳුදා දිනකම රාත්‍රි 10 සිට යළිත් මහා සිංහලේ වංස කතාව දිග හැරෙන ඒ සුබ පණිවුඩයයි.
ඔබ මහා සිංහලේ වංස කතාව වැනි වැඩසටහන් ආරම්භ කිරීමට හේතුව වූයේ කුමක්ද?
ලංකාව සහශ්‍රයකට ගොඩ නැඟෙත්දි අපේ මුළු ජන ප්‍රජාවගේ ම අරමුණ වෙලා තිබුණේ ජාත්‍යන්තරය. ජාත්‍යන්තරයට ප්‍රවිෂ්ට වුණාම අපේ සියලු අඩුපාඩුකම් මැකේවි, අපි සමෘද්ධිමත් වේවි කියන ෆැන්ටසි එකකයි අපි හිටියේ.
ජාත්‍යන්තරය හමුවේ ජාතිකත්වය පිළිබඳ අපිට කිසිම විශ්වාසයක් තිබුණේ නෑ. ඒක අපට ඇති කරන්න කවුරුත් උත්සාහ කළෙත් නෑ. ඒ පිළිබඳ විලම්භීතයෙන් තමයි මම හිටියේ. සහශ්‍රකයට ගොඩ නැඟෙත්දි මේ තිබුණ අනවශ්‍ය ජාත්‍යන්තර උණ අපට ජාතික වශයෙන් අවාසි සහගතයි කියන විශ්වාසය මගේ අභ්‍යන්තරයේ කෑකෝ ගසමින් තිබුණා.
ඒ ගැන සිතා බලද්දි මගේ හිතට එනවා 1972 දි තමයි මේ ව්‍යසනය අපට කරන්නේ කියන එක. 1972 දී ලංකාවේ අධ්‍යාපන විෂයමාලා සංවර්ධනයේදී ඉතිහාස විෂය අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් අයින් කළා. ඒකට බලපෑවේ 1971 කැරැල්ල යළි කියවීමය.
කැරැල්ලට සම්බන්ධ වුණේ ඔක්කොම කලා උපාධිධාරීන් නිසා කලා විෂය මාලාවේ, රැකියා උත්පාදන විෂයයන් නැහැයි කියලා, රැකියා උත්පාදන නොවන සියලු විෂයයන් ඉවත් කළ යුතුයි කියන අමනෝඥ තීරණය තමයි සහශ්‍රකය වන විට ජාතිතක්වය පිළිබඳ හැඟීම අපේ රටේ නැතිවීමට එකම හේතුව කියලා මම තදින්ම විශ්වාස කළා.
ලෝකයේ වෙන කිසිම රටකට මේ දේ වුණේ නෑ. ඇමරිකාවේ සිට ඉන්දියාව දක්වා ගත්තත්, සිංගප්පූරුව, කොරියාව, බුරුමය, ජපානය, චීනය වගේ ගත්තත් මේ කිසිම රටක් ජාත්‍යන්තරය විශ්වාස කළේ ජාතිකත්වය අවිශ්වාස කරලා නොවෙයි.
ජාතිකත්වයම ජාත්‍යන්තරය බවට පත්කරන්න තමයි ඔවුන් උත්සාහ කළේ. අපිට එහෙම උත්සාහයක් නොතිබුණේ, අපිට ජාතිකත්වය පිළිබඳ ගෞරවනීය හැඟීමක් නොතිබුණේ ඉතිහාසය විෂය අපේ රටේ සාමාන්‍ය සිවිල් පුරවැසියාගේ දැනුම් පථයෙන් ඉවත් කරපු නිසයි.
ඉතිහාසය ඉගෙන ගන්න ඕන ඉතිහාසඥයෙක් වෙන්න නොවෙයිනේ. වෛද්‍යවරයෙක් වුණා වෙන්න පුළුවන්. රටකජුකාරයෙක් වුණා වෙන්න පුළුවන්. නමුත් ඉතිහාසය තුළ වන සාමාන්‍ය දැනුම විසින් ඔහුට මාතෘ භූමියට ඇල්ම ඇති කරනවා.
මෙන්න මේ විස්සෝපය මම හරියට භුක්ති වින්දා. ඒ නිසා මම ඊට අදාළ වැඩසටහන් කීපයක් කළා. ජාත්‍යන්තරය විසින් ළමා ලෝකය සංකර කරන්න උත්සාහ කරත්දි මම ‘හපන් පැදුර’ වැඩසටහන කරලා දේශීය සංගීතයට විලාසයට ඇති කැමැත්ත දරුවන් තුළ යළිත් ඇති කළා.
ඒ අතරම තමයි ඉතිහාස විෂය අළලා කිසියම් මාධ්‍ය කටයුත්තක් කළ යුතුය කියන හැඟීම මට ඇතිවුණේ. ඒ අනුව තමයි ‘මහා සිංහලේ වංස කතාව‘ පිළිබඳ යෝජනාව ස්වර්ණවාහිනි ආයතනයට ඉදිරිපත් කරලා ඒ සඳහා අනුමැතිය ලබාගන්න පුළුවන් වුණේ.
මේ වැඩසටහනත් එක්ක ඉතිහාස විෂය පිළිබඳ හා එහි අධ්‍යයනය පිළිබඳ මහා විශාල ප්‍රබෝධයක්, උනන්දුවක් ඇතිකරන්න ඔබට පුළුවන් වුණාද?
ඔව්. ඉතිහාස විෂය ඒ වන විට මගේ අධ්‍යයන පථයෙනුත් බැහැරවයි තිබුණේ. 1972 දි මම ඉතිහාස විෂය තහනම් කරපු දරුවෙක්. මමත් සා.පෙළ, උසස් පෙළ, විශ්වවිද්‍යාලයේවත් ඉතිහාසය ඉගෙන ගෙන තිබුණේ නෑ.
නමුත් මේ වැඩසටහන නිසා 2000 සිටම මම ඉතිහාස විෂය අධ්‍යයනය කළා. 2002 තමයි මම ‘මහා සිංහලේ වංස කතාව‘ ආරම්භ කරන්නේ. මේ වැඩසටහන ලංකා මාධ්‍ය ඉතිහාසයේ සිද්ධවෙච්ච ලොකු වික්‍රමයක්.
වෙළෙඳ ආයතනයක මෙවැනි අධ්‍යාපනික වැඩසටහන් සඳහා පිරිනැමෙන කාලය හරි අඩුයි. ස්වර්ණවාහිනි අධිකාරිය මගේ අදහසට එකඟ වුණාට වෙළෙඳ අංශය මේකට දක්වන්නේ වෙනත් ප්‍රතිචාරයක්. මේ විෂය ජනපි‍්‍රය කරන්න පුළුවන් වෙයිද කියන තැන තමයි ඔවුන් ඉන්නේ.
ඒ මොකද? ඒ වන විට ඉතිහාස විෂය කියන එක ජනපි‍්‍රය නැති, අලස විෂයක් කියල සම්මත වෙලා ඉවරයි. ඒ සම්මතය තමයි වෙළෙඳ අංශය අරගන්නේ. ඒ නිසා මම ඉල්ලීමක් කළා අව ප්‍රතිචාර කලාපයක් මේ වැඩසටහන සඳහා දෙන්න කියලා.
ඒ අනුව 2002 පෙබරවාරි 04 වැනිදා මම වැඩසටහන පටන් ගත්තා. මාසයක් දෙකක් ඇතුළත ආයතනයට සිද්ධ වුණා අධි ප්‍රතිචාර කලාපය වන සෙනසුරාදා රාත්‍රි 9.30 ට මේ වැඩසටහන ගේන්න. මේකට ස්වර්ණවාහිනියට වගේ ම මගේ රටේ ජන ප්‍රජාවටත් මම ගෞරව කරන්න ඕන.
මගේ විශ්වාසය සඵල වුණා. මේ රටේ අලස විෂයයක් යැයි ප්‍රතික්ෂේප කර තිබූ ඉතිහාස විෂය ජනකාන්ත විෂයයක් බවට පත්වුණා. 2005 වසර උදාවීමත් සමඟ මේ වැඩසටහනින් කියූ දේ ඉතා ඉහළින් අගයන අධිකාරිත්වයක් මේ රටේ පහළ වෙනවා. 2005 වනාහි මේ රටේ දේශපාලන සමාජීය, හැරවුම් ලක්ෂය කියලා මම ප්‍රකාශ කළේ ඒ නිසා.
මේ හැරවුම් ලක්ෂය හේතුකොට ගෙන ජාතිකත්වයට ඇලුම් කරන, ඉතිහාස විෂය පි‍්‍රයකරන, ගම හඳුනන නායකත්වයක් බිහිවීම හේතුවෙන්, මගේ වැඩසටහන පුරා කතා කරමින්, බැන අඬගසමින්, සාකච්ඡා කරමින් ආපු විෂයට ලොකු දීප්තියක් ලැබෙනවා.
2006 වසරේ මේ රටේ අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරනවා ඉතිහාස විෂය අනිවාර්ය විෂය පද්ධතියට ගේන්න ඕන කියලා. වැඩ සටහනේ නිර්මාතෘවරයා වශයෙන් මට විශාල සතුටක් ලැබෙනවා මේ වැඩසටහන මේ රටේ සමාජීය වශයෙන් ලොකු යෙදවුමක් කළා කියලා.
මාධ්‍යකරුවෙක් කොයිතරම් බලවන්තද? මාධ්‍යකරුවා හරියට ආණ්ඩුවක් වගෙයි. අමාත්‍යාංශයක් වගෙයි. නිවැරදි මාධ්‍යකරුවාට දේශපාලන බලයක්, පාර්ලිමේන්තුවක් අවශ්‍ය නෑ. ඒ නිසා මම නිවැරදිව මාධ්‍ය භාවිතා කරමින් මේ රටේ විශාල සමාජ පෙරළියක් ඇති කළා.
ඓතිහාසික ගණයේ චිත්‍රපට නිර්මාණය වන්නටත් මේ ප්‍රබෝධය බලපෑවා කියල ඔබ විශ්වාස කරනවාද?
ඔව්. 2008 දි මම ම මේ වැඩසටහනින් ප්‍රයෝජන ගන්නවා. මම ‘අබා’ චිත්‍රපටය නිර්මාණය කරනවා. මේ රටේ මෙතෙක් වැඩිම ආදායමක් ලබපු චිත්‍රපටය ලෙස අදටත් වාර්තාගත වෙන්නේ ‘අබා’. ඒ සඳහා වැල නොකැඩී සෙනඟ එන්නට මම ‘මහා සිංහලේ වංස කතාවෙන්’ ලබපු විශ්වාසය බලපෑවා.
මේ වන වි ඉතිහාස විෂය හැම තැනම උගන්වන්න පටන් අරන් තිබෙනවා. මම ‘මහා සිංහලේ වංස කතාව‘ වැඩ සටහනට යොදාගත්ත ‘මහා වංශයට විද්‍යුත් ටීකාවක්’ කියන වචනය අද ඉතිහාසයට ටියුෂන් දෙන ගුරුවරු ‘ඉතිහාසයට ටියුෂන් ටීකාවක්’ කියලා යොදාගෙන තිබෙනවා මම දැකලා තිබෙනවා. මේක දකිනකොට මට හරි සතුටුයි.
මහා සිංහලේ වංස කතාව ඉතිහාසය පිළිබඳ නව සමාජ රැල්ලක් ඇති කරන්න උල්පත පෑදුවා. මේ නිසා ඇතිවුණ ප්‍රබෝධයේ අතුරු ඵල තමයි චිත්‍රපට, නවකතා, නාට්‍ය වැනි දේවල්. බොහෝ දෙනා කියනවා මම ඉතිහාස රැල්ලක් හැදුවා කියලා.
මම ඒක විශ්වාස කරනවා. ඉතිහාස රැල්ල ඇතිවුණේ ‘අබා’ චිත්‍රපටයෙන්. ඒක මම කළේ ප්‍රායෝගික යෙදවුමක් විදියට. ‘අබා’ හදද්දි මම කිවුවා මම මේ විවර කරන්නේ සංස්කෘතික ගේට්ටුවක්. මේකෙන් තව බොහෝ දෙනාට එළියට එන්න පුළුවන් කියලා.
ඒ කියපු දේ අද ඉෂ්ට වෙලා තිබෙනවා. මම තවම මගේ දෙවැනි චිත්‍රපටය කළේ නෑ. නමුත් ඉතිහාසය පදනම් කරගත්තු නිර්මාණ රැසක් අද බිහිවෙලා තිබෙනවා. මේක බිහිවෙන්නේ මහා සිංහලේ වංස කතාවෙන් බිහිකරපු සංස්කෘතික ගේට්ටුවෙන්.
මහා සිංහලේ වංස කතාව ආරම්භ වූ මුල් කාලයේ මේ වැඩසටහනින් ජාතිකත්වය අවුස්සනවා වැනි චෝදනා ඔබට පැමිණියා නේද?
ඔව්. විශේෂයෙන් ම ‘මහා සිංහලේ’ කියන වචනය නිසා. නමුත් සිනමා වචනයෙන් කිවුවොත් මම ජීවිතේ දිහා බලන්නේ දුර රූපයකින්. ඒ නිසා එදා නැඟුණු මතවාදයට ම සාමකාමී පිළිතුරක් දුන්නා. ප්‍රධාන වශයෙන් ම මේ සඳහා විකල්ප මතවාද ගොඩ නැගුණා මේක සිංහල ජාතිවාදී වැඩසටහනක් කියලා.
ඒකට ප්‍රධාන හේතුව වුණේ මේකේ නම ‘මහා සිංහලේ වංස කතාව‘ වීම. මගෙන් ප්‍රශ්න කළා දෙමළ ජාතිය මුස්ලිම් ජාතිය ගැන මේකේ නැත්ද කියලා. මේකට මම උත්තර දුන්නා මේ සැකයට පිළිතුරු මේ වැඩසටහනින්ම ලැබේවි කියලා.
‘සිංහලේ’ කියන්නේ රූපකයක්. අද සිංහල කියලා ජාතියක් නෑ. භාෂාවක් විතරයි තිබෙන්නේ. මාර්ටින් වික්‍රමසිංහගේ ‘ගම්පෙරළිය’ කෘතියේ කරෝලිස් යන්නේ ‘සිංහලේ’. ඉස්සර මට මතකයි අපේ ගම් පැත්තේ අය හරක් ගේන්න ‘සිංහලේ’ යනවා.
ඒ කාලේ සිංහලේ කිව්වේ රජරටට. සිංහල කියන වචනය දෙමළෙන් ලියන්නේ ‘ඊලම්’ කියලා. ඒ ලංකාවෙන් ගිය නාග රජ්ජුරුවන්ට ඉන්දියාවේ කිව්වේ ‘ඉලනාග‘ කියලා. ‘ඉල’ කියලා කියන්නේ හෙළ, හෙළයා කියන එකටයි.
ඒ නිසා මම හිතුවා මේ රටේ ඉතිහාසය හඳුන්වන්න තිබෙන හොඳම වචනය ‘සිංහලේ’ කියන එක. සිංහලේ කියන වචනය මගේ මාතෘ භූමියේ නාමයෙන් ‘මහා සිංහලේ’ කියලා මම ගෞරවනීය කරනවා. මහා බ්‍රිතාන්‍යය කියනවා නම් ‘මහා භාරතය’ කියනවා නම් ඇයි මට මගේ රට ‘මහා සිංහලේ’ කියන්න බැරි.
මේ වැඩසටහන ලංකාවේ දෙමළ ඉතිහාසය, යාපනයේ ඉතිහාසය, ආර්ය චක්‍රවර්තී ගැන, වීර පාණ්ඩ්‍යලා ගැන කතා කරනවා. යාල්පාන වෛපෙන්මාෙලෙ ගැන කතා කරනවා. එතැනින්ම ඔප්පු වෙනවා මේක ජාතිකත්වය අවුස්සන වැඩ සටහනක් නොවෙයි කියලා.
මේ සඳහා ඔබේ ප්‍රධාන මූලාශ්‍ර වෙන්නේ මහා වංශයද?
මහා වංශය මූලික කරගෙන ඊට අමතරව වංශත්තන් ප්‍රකාශනය, නමැති මහා වංශ ටීකාව, පූජාවලිය, රාජාවලිය, ධාතු වංශය, සද්ධර්මාලංකාරය, සද්ධර්ම රත්නාවලියේ සිට අස්ගිරි තල්පත දක්වා ම පිරික්සනවා. පසුකාලීනව පුරාවිද්‍යාත්මක වශයෙන් සොයා ගත් සෙල් ලිපි ආදිය ආශ්‍රය කරගන්නවා. ඉතිහාස විෂයට අදාළ ප්‍රාමාණික බුද්ධිමතුන් සමඟින් සාකච්ඡා කරමින් තමයි අපි මේ ගමන ආවේ.
ඔබ නැවතුණේ කොතැනද?
2007 දි අපි නැවතුණේ 1815 දී මේ රට ගිවිසුමකින් අස්සන් කර සුද්දන්ට පැවරූ තැනින්.
ඔබ 2013 නැවත පටන් ගන්නේ?
මේ පාර මම මහා සිංහලේ වංස කතාව අලුත් තේමාවකින් පටන් ගන්නේ. ඒකට කියන්නේ ‘මහා සිංහලේ යටත් විජිත වංස කතාව‘ කියලයි. නියදිය වශයෙන් මම වසර 500 ක් තෝරා ගත්තා. 1505 තමයි ආරම්භ වෙන්නේ.
අවසන් වෙන්නේ 2005 න්. 2005 සහ 1505 කියන්නේ ලංකාවේ නිශ්චිත කේන්ද්‍රීය ලක්ෂ දෙකක්. 1505 කියන්නේ ලංකාවේ විනාශය ආරම්භ වූ වර්ෂය. 2005 කරන්නේ ලංකාවේ ජයග්‍රහණය ආරම්භ වූ වර්ෂය. පරාජය ආරම්භ වූ වසරේ සිට ජයග්‍රහණය ආරම්භ වූ වසර දක්වා ‘යටත් විජිත යනු කුමක්ද? යන්න ගැන තමයි මෙවර සාකච්ඡා කරන්නේ.
ඇයි මෙවරත් ඔබ ස්වර්ණවාහිනි නාළිකාවම තෝරා ගත්තේ?
මම 2010 වසරේදි ස්වර්ණවාහිනියෙන් ඉවත් වී නිදහස් මාධ්‍යවේදියෙක් වුණා. එහෙම වෙලා මම මගේ විෂය ඉතිහාස විෂය යැයි කෑකෝ ගසමින් ඒ පිළිබඳ යමක් කරන්න කැමැති යැයි කියමින් බොහෝ කලක් හිටියා. නමුත් මේ රටේ එක මාධ්‍යයක්වත් මා දිහා ඇහැරලා බැලුවේ නෑ.
මට කතා කළේ නෑ. මේක ජාතික වශයෙන් වැදගත්කමක් ඇති දෙයක් යැයි කියමින් මේ රටේ ජාතික මාධ්‍යවලට මගේ යෝජනා ඉදිරිපත් කරපු අවස්ථාත් තිබුණා. නමුත් ඒ කිසි කෙනෙක් මා දිහා හැරිලාවත් බැලුවේ නෑ.
නමුත් ස්වර්ණවාහිනි අධිපතිත්වය බුද්ධික කුලසේකර නමැති වැඩසටහන් අධ්‍යක්‍ෂවරයා ඔස්සේ මට මේ ආරාධනාව කළා. ඒ නිසා ස්වර්ණවාහිනියට ගෞරව කරමින් මේ වැඩසටහන කරන්න මම තීරණය කළා.

silumina
READ MORE - මම විශාල සමාජ පෙරළියක් කළා

‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ බුදුන්ට අගෞරව කරන චිත්‍රපටයක්


‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ බුදුන්ට අගෞරව කරන චිත්‍රපටයක්

දයාවංශ ජයකොඩි
ආසියා ආලෝක පදනම වෙනුවෙන් නවින් ගුණරත්න නිෂ්පාදනය කළ සමන් වීරමන් අධ්‍යක්ෂණය කළ ‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ චිත්‍රපටය පසුගිය 24 වැනිදා සිට ඊ.ඒ.පී. මණ්ඩලයේ සිනමා ශාලාවල ප්‍රදර්ශනය ආරම්භ කළා. ‘සිද්ධාර්ථ’ චිත්‍රපටය ප්‍රදර්ශනය ආරම්භවෙත් ම මෙරට පොත් ප්‍රකාශකයින් අතර ඉහළින්ම වැජඹෙන, විශේෂයෙන් ම බෞද්ධ පොත පත ප්‍රකාශයට පත් කරනු ලබන ප්‍රකාශකයෙකු වන දයාවංශ ජයකොඩි මහතා මෙම චිත්‍රපටය පිළිබඳ වෙනස්ම මතවාදයක සිටින බව දැනගන්නට ලැබුණා. මෙවර අපේ කතා බහ වෙන්වූයේ ඔහු ‘සිද්ධාර්ථ’ චිත්‍රපටය පිළිබඳ පළකළ අදහස් වෙනුවෙනි.
ඔබ ‘සිද්ධාර්ථ’ චිත්‍රපටය පිළිබඳ දැනගත්තේ කොහොමද?
මෙවැනි චිත්‍රපටයක් හැදෙනවා කියන හාහෝව පුවත්පත්වලින්, ජනමාධ්‍යවලින් දැනගත්තා.
මේ දැනගැනීමෙන් පසු ඔබ චිත්‍රපටය නරඹන්න ගියාද?
නෑ. මම චිත්‍රපටය නරඹන්න ගියේ නෑ. ඒ චිත්‍රපටය නැරඹීමට මගේ කිසිම අදහසකුත් නෑ.
එතකොට ඔබ මේ චිත්‍රපටය ගැන කතා කරන්නේ චිත්‍රපටය නරඹන්නේ නැතුවද?
ඔව්. නමුත් මේ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය (ට්‍රේලර් එක) මම නැරඹුවා. ඒකත් මට නරඹන්න සිද්ධවුණේ අහම්බෙන්. මම ඊයේ පෙරේදා දවසක ‘තලාෂ්’ කියන හින්දි චිත්‍රපටය නරඹන්න ගියා. ඒ චිත්‍රපටය නරඹන අතරතුර තමයි ‘සිද්ධාර්ථ’ චිත්‍රපටයේ ට්‍රේලර් එක මම දැක්කේ. ඒක දැකපු මොහොතේ සිට මගේ හිත කම්පාවට පත්වුණා.
ඇයි ඒ?
දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සමන්විත වූ අපේ බුදුරජාණන් වහන්සේගේ තරුණ අවධිය ඒ කියන්නේ සිද්ධාර්ථ කුමාරයා ගේ චරිතය නළුවෙක් රඟපානව දකිනකොට මගේ හිත වේදනාවට පත් වුණා.
බුදුරජාණන් වහන්සේගේ කුමාර අවදියට සමකළ හැකි, ඒ චරිතය රඟ පෑ හැකි කෙනෙක් මේ ලෝකයේ සිටිය හැකිද? බුදුරජාණන් වහන්සේට ගෞරව කරන, උදේ හවස බුදුන් වඳින මා වැනි හොඳ බෞද්ධයකුට එය වේදනාවට කාරණයක්.
මේක සම්පූර්ණයෙන් ම බුදුරජාණන් වහන්සේට කරන අගෞරවයක්. අපි නොයෙක් විට අහලා දැකලා තිබෙනවා බුදුන්වහන්සේගේ රුව ටී - ෂර්ට්වල ගහපු අවස්ථා, සපත්තු අඩිවල ගහපු අවස්ථා, කාන්තා යට ඇඳුම්වලට යොදාගන්නා අවස්ථා.
මේ සියලු දේට වඩා උන්වහන්සේගේ චරිතය මෙවැනි ගිහි නළුවෙකු ලවා රඟපෑම බුදු දහමට කරන ලොකුම අගෞරවයක් විදියට මම දකිනවා. අනිත් එක තමයි මේ චිත්‍රපටය හදපු අය තේරුම් අරන් තිබෙනවා මේ චරිතය ලංකාවේ කිසිම නළුවෙකුට රඟපාන්න බැරි බව.
ඒ නිසා තමයි මේ චරිත ආනයනය කරල තිබෙන්නේ. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සමන්විත බුදුරජාණන් වහන්සේගේ කුමාර අවධිය මේ කාටවත් රඟපාන්න බැරි බව මේක අනුමත කළ අය දන්නේ නැත්ද? මේ වෙලාවේ මට මතක් වෙන්නේ සුණක්ඛත්ත හාමුදුරුවන්ගේ කතාව.
උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ පසු පස්සේ නිරන්තරව සිටියත් කිසිදු දිනයක නිර්වාණ අවබෝධය ලබන්න බැරි වුණා. බුදුරජාණන් වහන්සේ පසුපස්සේ යන ගමන් නිරුවතින් භාවනා කරන කෙනෙක් දැක ‘ස්වාමිනි අන්න රහතන් වහන්සේ කෙනෙක්’ යැයි කීවා. එවැනි පුද්ගලයෝ මේ සමාජයෙත් ඇති.
ඒ විතරක් නෙමෙයි බුද්ධ චරිතයේ එන සිදුහත් කුමාරයාගේ පිය රජ්ජුරුවන් වන සුද්ධෝදන රජතුමා කියන්නේ පසු කලෙක රහත් භාවයට පත්වෙන රහතන් වහන්සේ නමක්. ඒ රහතන් වහන්සේගේ චරිතයට රන්ජන් රාමනායක වැනි නළුවෙකු යොදා ගැනීම කොහොම අනුමත කරන්නද?
ඒ වගේම තමයි යශෝදරා දේවියගේ චරිතයත්. යශෝදරා දේවිය සිදුහත් කුමාරයගේ පි‍්‍රයම්බිකාව වන්නට කල්ප ගණන් පෙරුම් පිරූ තැනැත්තියක්. අපි අහලා තියෙන්නේ ඇය ලේන කුලයේ සිටම උන්වහන්සේ පතමින් පසු පස ආව පින්වන්තියක් විදියට. ඒ විතරක් නොවෙයි එතුමිය පසු කලෙක රහත් භාවයට පත්වූ තැනැත්තියක්. ඒ උතුම් කාන්තා චරිතය කවුද මේ රඟපාන්නේ? මේ තරම් පාප කර්මයක් තවත් තියනවද කියලා මට හිතුණා.
ඔබ මෙවැනි ප්‍රකාශ කරන්නේ වගකීමෙන්ද?
මෙවැනි උතුම් චරිත පස්පවම කරන ගිහි නළුවන් සහ නිළියන් යොදාගෙන කරන එක ලොකුම අගෞරවයක්. බුදුරජාණන් වහන්සේට මේ තරම් අගෞරවයක් ලංකාවේ කවුරුත් කරල නෑ.
මේ චිත්‍රපටය නිර්මාණය කිරීමේදී ඒ සඳහා උපදේශකත්වයට ගිහි පැවිදි විද්වතුන් රැසක් සිටි බව සඳහන් වුණා. එසේම එහි මාධ්‍ය දර්ශනය නැරඹීමට භික්ෂූන් වහන්සේලා රැසකුත් පැමිණ සිටියා. නමුත් ඒ කිසිවෙකුත් තවම නම් මෙවැනි විරෝධයක් කිසිදු මාධ්‍යයකින් දක්වා නෑ.
ඒක තමයි මටත් තිබෙන ප්‍රශ්නේ. හොඳ බෞද්ධයකු විදියට මට ඇස් කන් පියාගෙන ඉන්න බෑ. මේ රටේ මහා නායක හාමුදුරුවරු ඉන්නවා, උපකුලපති හාමුදුරුවරු ඉන්නවා. විශිෂ්ට ධර්ම කථික හාමුදුරුවරු ඉන්නවා. බෞද්ධ මහා සම්මේලනයක් තිබෙනවා.
බොදු බල සේනාවක් ඉන්නවා. මේ අය මොකද නිහඬ කියලා මට හිතෙනවා. බුදුහාමුදුරුවෝ කොයිම වෙලාවකවත් මිත්‍යා දෘෂ්ටිකයින් සමඟ එකට ඉඳගෙන කොයිම මොහොතකවත් දානේ වළදලා නෑ. නමුත් අද බුද්ධ පුත්‍රයන් ලෙස පෙනී සිටින අය මිත්‍යා දෘෂ්ටික ආගමික ස්ථානවලට ගිහින් බත් කනවා. එහෙම කාපු අයට මේක ප්‍රශ්නයක් නොවන්න පුළුවන්.
චිත්‍රපටය නොදැක පූර්ව ප්‍රචාරක පටය පමණක් දැක මෙවැනි අදහස් පළකිරීම සාධාරණ නැතැයි කෙනෙකු ඔබට චෝදනා කළොත්?
මම මේ කතා කරන්නේ චිත්‍රපටය ගැන නොවෙයි. එහි සිනමාත්මක බව ගැනවත්, නළු නිළියන්ගේ රංගනය ගැනවත් නොවෙයි.  මම කතා කරන්නේ මේ චිත්‍රපටය නිෂ්පාදනය කිරීම ගැන පමණි. මීට ප්‍රථමත් මෙවැනි බෞද්ධ තේමා ආශි‍්‍රතව චිත්‍රපට කෙරුණා.
ඒත් එහි සිදුහත් චරිතය හෝ බුද්ධ චරිතය කිසිවකුත් නිරූපණය කළේ නෑ. ‘මහින්දාගමනය’ චිත්‍රපටයේ මිහිදු මහ රහතන් වහන්සේ පවා චරිතයක් හැටියට හඳුන්වා දුන්නේ නෑ.
කොහොම වුණත් මේවායේ මූලික පරමාර්ථය වුණේ මුදල් ඉපයීම. හොඳ දෙයක් සමාජයට තිළිණ කිරීම නොවෙයි. අද පන්සල්වල පවා මුල්තැන ලැබෙන්නේ මුදල් උපයන දේවල්වලට. බුදුහාමුදුරුවන්ගේ පාමුල ඉස්සරලම දකින්න තිබෙන්නේ පිංකැටේ. පිං කැටයක් නැති එකම බෞද්ධ සිද්ධස්ථානයයි මම දැකලා තියෙන්නේ. ඒ මහමෙවුනා අසපුව.
ක්‍රිස්තුස් වහන්සේගේ චරිතය නම් විවිධ අවස්ථාවල විවිධ නළුවන් රඟ පා තිබෙනවා නේද?
ඔව්. නමුත් ඒ චරිතය රඟපාපු නළුවන් කවුරුත් අද ජීවතුන් අතර නෑ.
ඔබ කියන්නේ ‘සිද්ධාර්ථ’ වැනි චිත්‍රපටයක් නිෂ්පාදනය නොවිය යුතුයි කියලද?
ඔව්. ඒකෙන් වෙන්නේ බුදුරජාණන් වහන්සේට අගෞරවයක්. අනෙක් පැත්තෙන් මේ චිත්‍රපටය නරඹන අපේ අනාගත පරපුර වැරැදි ආදර්ශ ගන්න පුළුවන්. සුද්ධෝදන රජ්ජුරුවෝ කවුද ඇහුවම ‘රන්ජන් රාමනායක’ කියලා උත්තර දෙන්නත් අනාගතයේ බැරිකමක් නෑ.
දෙතිස් මහා පුරුෂ ලක්ෂණවලින් සමන්විත ඒ අසම සම බුදුරජාණන් වහන්සේගේ සිදුහත් චරිතය මේ කොහෙවත් යන පැඟිරි නළුවෙකුට රඟපාන්න පුළුවන්ද? මම බෞද්ධයකු හැටියට කෙනෙකුට විපතක් වෙනව දකින්න කැමැති නෑ. නමුත් මෙවැනි අගෞරවනීය වැඩවලට එකතුවන හැමදෙනාටම දිට්ඨ ධම්මවේදනීය කර්මය පළ දෙන්න පුළුවන්.
ඔබ මීට ප්‍රථම මේ ආකාරයෙන් ම ‘සූරිය අරණ’ චිත්‍රපටයේ ට්‍රේලරය දැක චිත්‍රපටය ගැන යම් ප්‍රකාශ කළා නේද?
ඔව්. මම හිතනවා ‘සූරිය අරණ’ දුවන්න ඒකත් හේතුවක් වුණා කියලා.
බෞද්ධ පොත පත ප්‍රකාශයට පත් කරන ප්‍රකාශකයකු විදියට ඔබටත් කෙනෙක් චෝදනා කළොත් ඔබත් කරන්නේත් බුදු බණ විකිණීම කියලා?
ව්‍යාපාරිකයකු හැටියට මගේ මේ ප්‍රකාශ මට පාඩුවෙන්න පුළුවන්. කෙනෙකු මට එහෙම චෝදනා කරන්නත් පුළුවන්. ඒ වුණාට මම බෞද්ධ පොත් පත් පළ කරන්නේ මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් නෙවෙයි. ධර්ම පොත පතවලින් ලැබෙන ලාභයෙන් සම්පූර්ණයෙන් ම මම යොදවන්නේ බුද්ධ ශාසනයේ දියුණුවට. කොහොම නමුත් මේ ප්‍රශ්නය පිළිබඳ මේ රටේ විද්වත් ස්වාමීන් වහන්සේලාගේ තර්ක විතර්ක මම බලාපොරොත්තු වෙනවා. මම වැරදි නම් මට ඉගෙන ගන්න කියලා දෙන්න කියලා ඉල්ලා සිටිනවා.
(සංවාදයට විවෘතය)
READ MORE - ‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ බුදුන්ට අගෞරව කරන චිත්‍රපටයක්

‘චංගුමී’ විඳින දුක ඇයට දෙබස් කවද්දි මට දැනෙනවා

Saturday, January 26, 2013


‘චංගුමී’ විඳින දුක ඇයට දෙබස් කවද්දි මට දැනෙනවා

සිතාරා පවිත්‍රානී
ජාතික රූපවාහිනියෙන් විකාශය වන ‘සුජාත දියණිය’ ටෙලිවෘත්තාන්තය මෙතරම්ම ජනපි‍්‍රය වීමට බලපා ඇති හේතු අතර එක් ප්‍රධාන හේතුවකි; එය සිංහල බසින් හඬකවා තිබීම. මෙහි චංගුමී චරිතයට කටහඬින් පණදෙන ශිල්පිනිය හඳුනා ගැනීමට ඔබ කැමැති ඇතිවාට සැක නැත. කොරියානු චංගුමී සිංහල චංගුමී කෙනෙකු බවට පත්කළ ඒ කටහඬේ හිමිකාරිය සිතාරා පවිත්‍රානි ය. ඇය වසර 20 කට ආසන්න කාලයක් හඬ කැවීමේ ක්‍ෂේත්‍රයේ නියැළී ඇත. චංගුමී ගැන කියන්න සිතාරාට නම් බොහෝ දේ තිබුණි.
”චංගුමී වගේ චරිතයකට එක්වීමට මගේ හිතේ ලොකු හීනයක් තිබුණා. ඒ හීනය සැබෑවුණේ මම නොහිතූ මොහොතක. මම ජාතික රූපවාහිනියේ හඬකැවීම් අංශයේ නිර්මාණවලට දායක වීමට පටන් ගත්තේ 1994 දී. ඒ ‘රාමායනය’ කතාවේ සීතාගේ චරිතයට එක්වෙමින්. ඒ කාලේ ඉඳලාම මම මේ ක්ෂේත්‍රයේ ගොඩාක් අත්දැකීම් ලබාගත්තා.
මට මේ වැඩසටහනට දායක වෙන්න කතා කළේ දුරකතනයෙන්. මම මැදිරියට යනකන්ම දැනගන හිටියේ නෑ චරිතය මොකක්ද කියලවත්, දෙබස් කියනකොට අනිත් අය කිව්වා “ආ ඔයාද චංගුමී චරිතය කරන්නේ ඒක තමයි කතාවේ ප්‍රධාන චරිතය කියලා. ඒ වනවිට චංගුමීගේ ළමා කාලයේ දෙබස් පටිගත කරලත් ඉවරයි.”
’සුජාත දියණිය’ සාර්ථක වීමට ප්‍රධානම හේතුව ජාතික රූපවාහිනී හඬකැවීම් අංශයේ ඇති පසුබිමයි. ඒ අංශයේ නියමුවා ලෙස කටයුතු කරන අතුල රන්සිරිලාල්ගේ නායකත්වය මඟ පෙන්වීම මෙන්ම මෙහෙයවීම පිළිබඳ සිතාරා සිහිපත් කළේ හැඟීම්බරවය.
”අපි හඬකැවීම් සිදු කරන්නේ ඒ චරිතයේ ජීවත් වෙමින්. අප ඉදිරියේ ඇති තිරයේ නාට්‍යය දැක්වෙනවා. කොරියානු බසින් කියන දෙබස් යාන්තමට ඇසුණත් මගේ අවධානය මුළුමනින්ම යොමුවන්නේ පිටපතටයි. පිටපත දෙස බලමින් රූපය (ටෙලිනාට්‍ය) දෙස බලමින් මම දෙබස් කියනවා. ඒ වෙලාවට මට මාව මොහොතකට අමතක වෙනවා. මට දැනෙන්නේ ඒ තරම් දුක් කරදර වෙන්නේ මටමදැයි කියලා. දෙබස් නැති තැනකට වුණත් සුසුමක්, හැඬුමක් එකතු කරන්න ලැබෙන්නේ ඒ විදිහට රඟපෑමේ යෙදෙන විටයි.”
වෘත්තීය හඬකැවීම් ශිල්පිනියක ලෙස සිතාරා චරිත ගණනාවකටම සිය කටහ¼ඩින් පණදී තිබෙනවා. ඒ අතර කාටුන් චරිතත් තිබෙනවා. කූබිච්චී, ස්කුබිඩුහී වෙල්මා වැනි චරිත ඒ අතර වඩා ජනපි‍්‍රය වී තිබේ.
මෙතෙක් තමා රඟපා ඇති චරිත අතරින් වැඩිම ප්‍රතිචාර ලැබුණු චරිතය ‘චංගුමී’ බවයි සිතාරා පවසන්නේ.
”චංගුමී වගේ චරිතයකට දායකවීමට ලැබීම මට විශාල සතුටක්. හඬකැවීම් ශිල්පිනියක් විදිහට මම මෙයින් විශාල තෘප්තියක් ලැබුවා. ප්‍රේක්‍ෂකයන් බොහෝදෙනෙක් මගේ දුරකතන අංකය සොයාගෙන කතා කරනවා. කාලෙකින් හොඳ නිර්මාණයකට දායකවීමට ලැබීම පිළිබඳ මම හැබෑවටම සතුටු වෙනවා.”
READ MORE - ‘චංගුමී’ විඳින දුක ඇයට දෙබස් කවද්දි මට දැනෙනවා

විශිෂ්ටයි (ඔබ වන් පියෙකු ලද කැලණිය)

Wednesday, January 2, 2013


කැලණිය විශ්ව විද්‍යාලයේ  
දුරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන කේන්ද‍්‍රයේ 
ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී 
නලින්ද ධර්මරත්න මහතා 
එහි අධ්‍යයන සිසු සිසුවියන්ගේ විභාග ගැටලු වලට 
පියෙකු මෙන් දයාබරව කඩිනම් පිලියම් යොදමින් 
කටයුතු කරනු අහම්බෙන් දුටිමි.

අප ඇස් පින් කල බව හගිමි.
ඔබ වන් පියෙකු ලද කැලණිය රමණීය වන බව සපථ විනි.
බොහෝ දෙනාගේ දැනගැනුම් පිණිස ලියා තැබුවෙමි.

READ MORE - විශිෂ්ටයි (ඔබ වන් පියෙකු ලද කැලණිය)

ඔය දික්කසාද වෙන්නේ, ගණිකාමඩම්වල ඉන්නේ, නළු නිළියෝ නෙමෙයි මෙගා කෙල්ලෝ කොල්ලෝ


ඔය දික්කසාද වෙන්නේ, ගණිකාමඩම්වල ඉන්නේ, නළු නිළියෝ නෙමෙයි මෙගා කෙල්ලෝ කොල්ලෝ


  • jaya6මේවාට වගකිව යුතු වන්නේ කවුද?
  • ප්‍රවීණ රංගන ශිල්පී ජයලාල් රෝහණ කතා කරයි
කලා ක්‍ෂේත්‍රය තුළ සිදුවන දික්කසාද වීම් අද වන විට සුලබව අහන්න ලැබෙනවා. මේ ප්‍රවණතාවයට හේතුව කුමක් වුවත් එය ටෙලි නාට්‍ය නිර්මාණ කාර්යයට කෙසේ බලපාවිද? ප්‍රේක්ෂකයා ටෙලි නාට්‍ය කලාවෙන් ඈත් වේවිද? මාධ්‍ය මගින් මේවා උලුප්පා හාරා අවුස්සා කතා කිරීම සුදුසුද?
අප මේ පිළිබඳව කතා කළා. ඒ කලා ක්‍ෂේත්‍රය තුළ සුවිශේෂී නමක් දිනූ ප්‍රවීණයකු සමග. ඔහු ජයලාල් රෝහණ.
* කලා ක්‍ෂේත්‍රය තුළ සිදුවන මේ සිදුවීම් දිහා බලා සිටින ඔබට මොනවද හිතෙන්නේ...? මොනවද හිතෙන්නේ කියන කාරණය තුළ කියන්න බොහෝ දේ තිබෙනවා. නමුත් මම මෙහෙම කියන්නම්. මේ විදිහට සිදුවීම තුළින් ප්‍රේක්ෂකයාත් අනාථ වෙනවා. කලාවත් අනාථ වෙනවා. රටත් අනාථ වෙනවා.

කලාකරුවා ඔහුට අයිති නැහැ. අයිති රටටයි. ඔහු හෝ ඇය පෞද්ගලික ජීවිතය තුළ ගන්නා වූ තීරණ පිළිබඳව රටට වගකිව යුතුයි. බුද්ධිමත් ප්‍රේක්ෂකයා කලාකරුවන්ව පිළිගන්නේ ඔහුට හෝ ඇයට අවශ්‍ය ජනප්‍රියත්වය ලබාදෙන්නේ රටට යහපත් දේ ලැබේවි කියන විශ්වාසයෙන්. ඒ විශ්වාසය තුළ ඔවුන් ජීවත්විය යුතුයි.
නමුත් මට හිතෙනවා අද සිදුවන්නේ ඒ දේ නමෛයි කියලා. අද ජනප්‍රිය කලාකරුවන් දික් කසාදය සාමාන්‍ය දෙයක් කියන පණිවුඩය රටට දෙනවා. ගණිකා වෘත්තියේ  යෙදිලා තුට්ටු දෙකට රඟපාන ගමන් ආත්ම ගරුත්වය විනාශ කරගැනීම සාමාන්‍ය දෙයක් බව කියල තිබෙනවා. 
මම මේ කියන්නේ සමස්ත නළු නිළියන් ගැන නමෛයි. නළු නිළියන් මුවාවෙන් ඉන්න රුපියල් 500ට මූණ පෙන්නලා නිළියෝ කියලා නළුවෝ කියලා හිතාගෙන ඉන්න 'මෙගා කෙල්ලෝ කොල්ලන්ටයි'. ඒ අය නළු නිළියෝ නමෛයි. 'මෙගා කෙල්ලෝ, මෙගා කොල්ලෝ'
මේ පිරිසට මොළේ නැහැ. වැස්සකටවත් ඉස්කෝ‍ලේ ගිහින් නැහැ. මොළේ තිබුණත් පාවිච්චි කරන්න දන්නේ නැහැ. ඒ නිසි අධ්‍යාපනක් නැතිකම. ඕ ලෙවල්, ඒ ලෙවල් පාස් වුණාට මොළේ ලැබෙන්නේ නැහැ.
අද මේ නිසාම සැබෑ නළු නිළියන්ට තිබෙන ගෞරවය පවා ප්‍රේක්ෂකයා තුළින් ඉවත්වෙලා.
ගාමිණී ෆොන්සේකා මහත්තයා හැබෑ රංගන ශිල්පියෙක් හැටියට මේ ක්‍ෂේත්‍රයට, නළු නිළියන්ට අතිවිශාල ගෞරවයක්, ගාම්භීරත්වයක් ලබාදෙන විදිහට වැඩකළා. මහ පාරේ බැහැලා යද්දී මිනිස්සු ඒ ගාම්භීරත්වයට ගෞරව කළා. සැලකුවා. ඒත් මේ මෙගා කෙල්ලෝ කොල්ලෝ ටික මොනවද කළේ...? මූණ ජනප්‍රිය කරගන්න ටෙලි නාට්‍යයකට ඔළුව දාගන්න දහ ජරා වැඩ සේරම කළා. සේරම තවදුරටත් කරනවා. මාධ්‍ය තුළ නළු නිළියෝ හැටියට ඔවුන්ව නම් කරලා කරන කියන සියලු දුරාචාර නොහොඹිනා වැඩ ප්‍රසිද්ධ කරනවා. 'ගණිකා මඩම වටලයි. මෙගා නිළිය දැ‍ලේ' කියලා.
මේකට මම ජනමාධ්‍යයට දොස් කියන්නේ නැහැ. මාධ්‍ය තුළින් නිතරම උත්සාහගන්නේ සූක්ෂ්ම ලෙස යමක් ඉස්මතුකොට පෙන්වන්නයි. තමන්ගේ ප්‍රවෘත්තියට ආකර්ෂණයක් ලබා දෙන්නයි.
නමුත් 'නිළිය' කිව්වහම අපේ ගෞරවනීය නිළියක් වන අයිරාංගනී සේරසිංහ වැනි ශ්‍රේෂ්ඨ කාන්තාවන්ට සිදුවන්නේ කුමක්ද? ඔවුන් ගෞරවයෙන් ගොඩනගාගත් ක්‍ෂේත්‍රයට ඒ වෘත්තියට සිදුවන්නේ කුමක්ද?
* ඔබ කියන්නේ මේවා නිසා ප්‍රේක්ෂකයෝ ටෙලි නාට්‍ය කලාවෙන් ඈත් වෙනවා කියලද?
ජාතික රූපවාහිනිය අපේ රටට එන්න කලින්, අපේ රටේ ජනප්‍රිය වී තිබුණේ වේදිකා නාට්‍යයයි. මේ නාට්‍ය කලාව 1982 පසුව කඩා වැටුණා. ඒකට වක්‍රව බලපෑවේ ඒ නාට්‍ය කලාව තුළටත් අද මේ තියෙන රෝගය බෝවී තිබුණු නිසයි. අවසානයේදී ප්‍රේක්ෂකයා ඒ තුළින් ඈත් වුණා.
අද ඒ කාලයට වඩා මොළේ නැති මිනිස්සු, සල්ලි පස්සේ දුවන මිනිස්සු, හා ලිංගිකත්වයට බර මෙගා කෙල්ලෝ කොල්ලෝ එකතුවෙලා මේ අය ජනප්‍රියවෙන්න විවිධ දේ කරනවා.
මම පුංචි උදාහරණයක් කියන්නම්. ඇමෙරිකාවේ හොලිවුඩ්වල එක්තරා නළුවෙක් හිටියා. ඔහු ගැන පත්තරවල මාධ්‍යවල එතරම් ප්‍රවෘත්ති පළ වුණේjaya5නැහැ. අන්තිමට ඔහු ප්‍රසිද්ධ නගරයක දෙනෝ දාහක් බලා සිටියදී වතුර මලක් ළඟ මුත්‍රා කළා.
අන්තිමට ඔහු ගැන හැම මාධ්‍යයකම තොරතුරු පළ වුණා. එදා ‍පොලිස් අත්අඩංගුවට පත් වූ ඔහු මෙහෙම කිව්වා. මා ගැන කිසිදු මාධ්‍යයක තොරතුරු පළවුණේ නැහැ. මම මේ දේ කළේ ඒ නැති ජනප්‍රියත්වය ගන්නයි කියලා.
මෙන්න මෙහෙම අය තමයි අද අපේ කේෂ්ත්‍රයේ වැඩිපුර ඉන්නේ. ඇතැමුන් ප්‍රසිද්ධියේ වැරදි කරනවා. ඇහැව්වහම නෑ කියනවා. ඒකටත් ලොකු ප්‍රසිද්ධියක් ලැබෙනවා. මේවා බොහොම බාල, ජරා වැඩ. ක්‍ෂේත්‍රයට ආදරෙයි නම් ප්‍රේක්ෂකයාට ආදරෙයි නම් මෙහෙම කරන්නේ නැහැ.
මේ නිසා බුද්ධිමත් ප්‍රේක්ෂකයෝ ටෙලි නාට්‍ය කලාවෙන් අයින් වෙනවා. ඔවුන් සැටලයිට් ටෙලිවිෂන් ඔස්සේ වෙනත් දේවල් බලන්න පුරුදු වෙනවා. කවුද එතකොට වැරදි. සැටලයිට් ටී.වී. වලට බැණලා හරියන්නේ නැහැ නේද?
දැන් ටෙලි නාට්‍ය ක්‍ෂේත්‍රය ඉවරයි. 2013 අවුරුද්දෙන් පස්සේ ඉවරෙටම ඉවරයි. අද නිෂ්පාදක මහත්වරුන් යැයි කියා ගන්නා පිරිසක් ඉන්නවා. අධ්‍යක්ෂවරු යැයි කියා ගන්න පිරිසක් ඉන්නවා. ඔවුන් වැඩ කරන්න කැමති මෙගා කෙල්ලෝ කොල්ලෝ එක්ක. මොකද හැම පැත්තෙන්ම වාසියි. රුපියල් දවසට 500 විතර දීලා, මූණ පෙන්වන විදිහට චරිතයක් දුන්නහම කරනවා. ඒ අය මූණ පෙන්නලා වෙනත් මාර්ගවලින් සල්ලි හම්බ කර ගන්නවා. මොකද එතකොට මෙයාලා නිළියොනේ.
ඊට අමතරව අද කලා ක්‍ෂේත්‍රය තුළ ශීඝ්‍රයෙන් සමලිංගිකත්වයක් බිහිවෙලා ඉවරයි. අද වැඩ තියෙන්නේ ඒ අයටයි. එහෙම නම් මේ හැම දේකින්ම රටට දෙන පණිවුඩය මොකක්ද? විනාශය නේද?
අද තරුණ මෙගා කෙල්ලෝ කොල්ලෝ ලිංගිකත්වය පස්සේ දුවන්නේ පිස්සු හැදිලා වගේ. ක්‍ෂේත්‍රයට එන්නේ ඒවාට. මේක සුරංගනා ලෝකයක්නේ කියලා හිතලා. ඒ නිසාම අද ලොරි ගානට මෙගා කෙල්ලෝ කොල්ලෝ බිහිවෙලා. ඔවුන් කරන දහ ජරා වැඩ ඉවත් බවක් නැහැ. අන්තර් ජාලයට ගියාම ඒවා අපිට ලෙහෙසියෙන් පහසුවෙන් බලා ගන්න පුළුවන්. එදා  අපේ ප්‍රවීණ නළු නිළියන් කලා නිර්මාණය කුමක් හෝ වේවා කොන්දේසි ඇතිවයි වැඩ කරන්න ගියේ. අද එහෙම නැහැ. මෙගා කෙල්ලෝ කොල්ලන්ට වෙනත් අය කොන්දේසි දානවා. තත්ත්වය ඔහොමයි.
සමන් ප්‍රියංකර නම්මුනිගේ
Lakbima
READ MORE - ඔය දික්කසාද වෙන්නේ, ගණිකාමඩම්වල ඉන්නේ, නළු නිළියෝ නෙමෙයි මෙගා කෙල්ලෝ කොල්ලෝ

‘ප්‍රතිරූ’ චිත්‍රපටය බලද්දි කාටත් තමන්ගේ ‘අම්මා’ මතක් වෙනවා


‘ප්‍රතිරූ’ චිත්‍රපටය බලද්දි කාටත් තමන්ගේ ‘අම්මා’ මතක් වෙනවා

‘ප්‍රතිරූ’ නිෂ්පාදක වෛද්‍ය හරිශ්චන්ද්‍ර යකන්දාවල
නවක නිෂ්පාදකවරයකු ලෙස සිනමා ක්ෂේත්‍රයට පිවිසෙන වෛද්‍ය හරිශ්චන්ද්‍ර යකන්දාවල මේ දිනවල තිරගත වන ‘ප්‍රතිරූ’ චිත්‍රපටයේ සම නිෂ්පාදකවරයායි. ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙක්. තිරකතා රචකයෙක්, නිෂ්පාදකවරයෙක් ලෙස කලා ලොව නමක් දිනු වෛද්‍ය යකන්දාවල බොහෝ කාලයක සිට මාධ්‍ය, කලාව තුළ නියැළෙන්නෙකි. තිරගත වන ‘ප්‍රතිරූ’ චිත්‍රපටය පිළිබඳවත් වෛද්‍ය යකන්දාවල ගේ කලා නිර්මාණ දිවිය පිළිබඳවත් සැකසෙන මේ කතා බහ ඒ වෙනුවෙනි.
* ‘ප්‍රතිරූ’ වැනි චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්නට ඔබ අදහස් කළේ ඇයි?
මේ චිත්‍රපටයේ නිර්මාපකයා මගේ ඥාතියෙක්. ඥාතිත්වය ඉක්මවා ගිය මිත්‍රත්වයක් අප අතර තිබෙනවා. කාලයක් තිස්සේ ‘ප්‍රතිරූ’ චිත්‍රපටයේ අධ්‍යක්ෂ කපිල සූරියආරච්චිත් මමත් සාකච්ඡා කළා චිත්‍රපටයක් නිර්මාණය කරන්න.
ඒ අනුව අපි තිර රචනා කීපයක්ම බැලුවා. ඒත් එක්කම කපිලම ලියු ‘ප්‍රතිරූ’ චිත්‍රපටයේ තිර රචනාවත් අපි කියෙව්වා.
ඒ තිර රචනය බලන කොට මට හිතුණා මේ තුළ යම්කිසි වටිනාකමක් තිබෙනවා. ඒ නිසා එය නිර්මාණය කරන්න ඕන කියලා. ඒ අනුව තමයි ‘ප්‍රතිරූ’ නිෂ්පාදනයට මම දායක වන්නේ.
* ඔබ කලාව, මාධ්‍ය සමඟ ඉතාම කිට්ටුවන්තයි ඒ ගැන කතා කළොත්?
ඇත්තටම මම වෘත්තිය වෛද්‍යවරයෙක්. නමුත් මම මාධ්‍යයට හුඟාක් කිට්ටුයි. මොකද මම වසර 15 ක් පමණ වැඩ කළේ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ. ඒ ඔස්සේ විවිධ ලෙඩ රෝග ගැන ජනතාව දැනුම්වත් කරන්න මම විවිධ නිර්මාණ කළා.
ඒ නිර්මාණත් එක්ක මම මාධ්‍යයට සම්බන්ධ වුණා. ඒ ඇසුර නිසාම මම 2000 වසරේ දී ජනමාධ්‍ය පිළිබඳ ඩිප්ලෝමාව කළා. එය මගේ වෘත්තිය ජීවිතයට ඉතාම ප්‍රයෝජනවත් වුණා. ඒත් එක්කම මම මාධ්‍ය හරහා හුඟාක් දේ සමාජයට ලබා දෙන්න කටයුතු කළා.
තිර රචනා, සංස්කරණය වැනි දේ දැන සිටි නිසාම කලාවට යොමු වුණා. ටෙලි නාට්‍ය දෙකක් නිර්මාණය කළා. ‘සුන්දරයි පේ‍්‍රමය’ කියන ටෙලි නාට්‍යය කොටස් 86 කින් යුතුව සිරස ටී. වී. එකෙන් විකාශය වුණා. හුඟාක් හොඳ පේ‍්‍රක්ෂක ප්‍රතිචාර ලැබුණා. මා නිර්මාණය කළ දෙවන ටෙලි නාට්‍යයට ඉතාම අභාග්‍ය සම්පන්න සිදුවීමකට මුහුණ දෙන්න සිදුවෙලා තිබෙනවා.
* වර්තමානයේ නිෂ්පාදකවරයෙක් විදිහට කලා ක්ෂේත්‍රයට පිවිසීම අවදානම් බව ඔබට සිතුණේ නැද්ද?
චිත්‍රපටයකට හෝ ටෙලි නාට්‍යයකට වර්තමානයේ මුදල් යොදවන එක තමයි ලෝකෙ තිබෙන අවදානම්ම වැඩේ. විශේෂයෙන් ලංකාව වගේ රටක. මොකද අපි දන්නෙ නැහැ මෙයට සල්ලි යෙදෙව්වට පස්සේ ඒ වියදම් කළ මුදල නැවත ලැබෙයි ද කියලා.
අපි සල්ලිකාරයො නෙමෙයි. නමුත් අපි උපයපු දේවල් අපේ දරුවන් වෙනුවෙන් ඉතිරි කරල තිබුණු දේවල් තමයි මෙයට යෙදෙව්වේ. ඒ අවදානම ගත්තේ කලා නිර්මාණයක් කිරීමට තිබෙන කැමැත්ත, කලාවට තිබෙන ආදරය, ගෞරවය නිසා.
ඇත්තටම ඒ නිර්මාණය කරන කොට මම මුදල් යෙදෙව්වේ මුදල් ඉපැයීමේ චේතනාවෙන් නෙමෙයි. දැන් අවුරුදු පහකට වැඩිය නිර්මාණයක් කරලා පෝලිමේ තිබෙනවා. ඒ නිර්මාණයට යොදවපු මුදල මට කවදාවත් ඒ හරහා යළි උපයන්න ලැබෙන්නේ නැහැ.
හුඟාක් වේලාවට නිෂ්පාදකයා කියන කෙනා දිහා මිනිස්සු බලන්නේ මුදල් හම්බ කිරීමේ චේතනාවෙන් මුදල් යොදවන්නෙක් ලෙසයි. මම එයට විරුද්ධයි. මම හිතන්නේ නිෂ්පාදකවරයා කියන්නෙත් කලාකරුවෙක්.
දැන් බලන්න අපේ රටේ ඉන්න ලොකු ලොකු සල්ලි කාරයො චිත්‍රපට හදන්නෙ නැහැනෙ. කලාවට යම්කිසි කැමැත්තක් තිබෙන කෙනෙක් තමයි ටෙලි නාට්‍යයකට හෝ වෙනත් කලා නිර්මාණයකට මුදල් යොදවන්නේ. එහෙම නැතිනම් නිකම්ම පුද්ගලයෙක් කරන්නේ නැහැ. ඒ නිසා මම හිතනව නිෂ්පාදකයා කියන පුද්ගලයන් කලාකරුවන් ගොන්නට එක්කාසු විය යුතුයි කියලා.
* ‘ප්‍රතිරූ’ චිත්‍රපටයේ අන්තර්ගතය ගැන ඔබට හිතෙන්නේ කුමක් ද?
මේ චිත්‍රපටය නරඹපු ඕනැම කෙනෙකුට පෙනෙන දෙයක්තමයි තමන්ගේ මවට සහ මව්බිමට කොපමණ වටිනාකමක් මෙහි අන්තර්ගත කර තිබෙනවා ද කියන කරුණ. ඒ වගේම සොල්දාදුවා ගැන කවුරුත් කතා නොකරන වේලාවක මේ චිත්‍රපටය ඔස්සේ සොල්දාදුවා ඉතාම ඉහළ තැනකට රැගෙන තිබෙනවා.
මේ චිත්‍රපටය පවුලේ සැමට එකට නරඹන්න පුළුවන් චිත්‍රපටයක්. දරුවන්ට පෙන්විය යුතුම චිත්‍රපටයක්. තම පවුලේ වටිනාකම, මවගේ වටිනාකම ඒ අතර තිබෙන සම්බන්ධ මේ ඔස්සේ මනාව සියුම්ව විග්‍රහ කරනවා. මම දකින විදිහට මේ චිත්‍රපටය තුළ හැම කෙනෙකුගෙම අම්මා ඉන්නවා.
සමහර අවස්ථාවල චිත්‍රපටයේ අවසානය වෙන කොට අපිට පේ‍්‍රක්ෂකාගාරයෙන් ඇහෙන්නේ ඉකි ගහන හඬ. අඬන හඬ. ඒ අඬන්නේ වෙන මුකුත් නිසා නොවෙයි තමන්ගේ අම්මා මේ චිත්‍රපටයේ අන්තර්ගතයේ ඉන්න නිසා.
ඇය කොතන හරි තැනක ඉන්නවා. මං දකිනවා මගේ අම්මා ඒ චිත්‍රපටයේ බොහෝ තැන්වල ඉන්නවා. මගේ අම්මගේ තිබුණු ගතිගුණ. අම්මා මං වෙනුවෙන් මං එනකල් බලාගෙන ඉන්න හැටි ඒ විදිහටම මේ චිත්‍රපටය තුළ තිබෙනවා. මෙය මට විතරක් නෙමෙයි බලන හැම කෙනාටම තමන්ගේ මවගේ ගති පැවතුම් මතක් කර දෙන චිත්‍රපටයක්.
READ MORE - ‘ප්‍රතිරූ’ චිත්‍රපටය බලද්දි කාටත් තමන්ගේ ‘අම්මා’ මතක් වෙනවා