----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

‘මකරාක්ෂයා’ වේදිකා නාට්‍යයේ ‘මකරා’

Sunday, July 11, 2010

රංගනය හරහා විශිෂ්ටත්වයට පත් ලක්ෂ්මන් මෙන්ඩිස් කියයි

‘ජනප්‍රිය’ හා ‘විශිෂ්ට’ යන විශේෂණයන් සෑම රංගන ශිල්පියකුගේම නම ඉදිරියේ සඳහන් කළ නොහැකිය. ඇතැමුන් කෙතරම් විශිෂ්ටයන් වුවද ජනප්‍රියත්වයෙන් දුරස්ය. එමෙන්ම ජනප්‍රියත්වයට හිමිකම් කියූ පමණින් කෙනෙකු විශිෂ්ටයකු වන්නේ ද නැත.

එහෙත් අද අප සමගින් කතාබහට එක්වන ලක්ෂ්මන් මෙන්ඩිස් ජනප්‍රියත්වයෙන් මෙන්ම විශිෂ්ටත්වයෙන් ද පිරිපුන් රංගන ශිල්පියෙකි. ඔහුගේ දැවැන්ත රංග පෞරුෂයේ අපූර්වත්වය වේදිකාව, පුංචි තිරය හා සිනමාව ඔස්සේ ප්‍රේක්ෂක මතකයේ සෙනෙහසින් ලැගුම් ගෙන ඇත්තේ එබැවිනි.

මේ දිනවල ලක්ෂ්මන් ප්‍රේක්ෂකයන් අතර වඩාත් කතාබහට ලක්ව හිඳින්නේ ‘වහින්න මුතු වැස්සක්’ ටෙලි නාට්‍ය හරහාය. ඔහුගේ විශිෂ්ට රංග ප්‍රතිභාවේ තවත් සුවිශේෂී පැතිකඩක් ‘මකරාක්ෂයා’ වේදිකා නාට්‍යයේ මකරාගේ චරිතය තුළින් ද අපට දැක බලා ගත හැකිය.

අද මෙසේ අප හා සංලාපයට එක්වන්නේ ඒ ජනප්‍රිය හා විශිෂ්ට රංගන ශිල්පියායි.

මෑතකදී ඔබ ටෙලි නාට්‍යය කිහිපයකටම රංගනයෙන් දායක වුණා. ඒ පිළිබඳ කතා කළොත්?

පසුගිය මාස හයක විතර කාලයක් මම සම්බන්ධ වෙලා හිටියේ ෂර්ලි පී. දෙලංකාවලගේ ‘රන්ගිර’ ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලට. කොටස් අසූ පහක් පමණ දීර්ඝ මේ ටෙලි නාට්‍යයට පාදක වුණේ සෝමා ජයකොඩි මහත්මිය ගේ ‘රන්ගිර’ නවකතා පොත් තුන. මෙහි රූගත කිරීම් සිදු කළේ නුවර ප්‍රදේශයේ.

ඔබ රඟපාන්නේ කොයි වගේ චරිතයක්ද?

එක්තරා ධනපති පවුලක පියකු විදිහටයි මම මේ ටෙලි නාට්‍යයේ රඟපාන්නේ. රන්ගිර ට පසුබිම් වෙලා තියෙන්නේ ඉහළ මධ්‍යම පාන්තික පවුලක ජීවන රටාව, ඔවුන්ගේ සිතුම් පැතුම් ආදියයි. 1989 භීෂණ සමයේ එවැනි පවුල්වල දරුවන් ඒ ව්‍යාපාරයට සම්බන්ධ වීම වැළැක්වීම සඳහා මවුපියන් කටයුතු කරපු ආකාරය මේ ටෙලි නාට්‍යයේ දිග හැරෙනවා. මිනිස් ජීවිතයේ සංකීර්ණ බව විදහා දැක්වෙන අපූර්වතම ටෙලි නාට්‍යයක්.

රූගත කිරීම් සිදු කළේ නුවර ප්‍රදේශයේ කිව්වා?

ඔව්. මේ කතාවට ගැළපෙන විදියට සුඛෝපබෝගී, අලංකාර නිවාස කිහිපයකයි මේ රූගත කිරීම් සිදු කළේ. නුවර මාළිගාවේ හිටපු දියවඩන නිළමේ නෙරංජන් විජේරත්න මහතාගේ නිවසේත් අපි රූගත කිරීම් සිදු කළා. ඔහු කොළඹ රාජකීය විදුහලේ මාත් එක්ක එකට ඉගෙන ගත්ත මිත්‍රයෙක්.

ෆිම්රෝස් කන්ද මුදුනේ තමයි ඒ අලංකාර නිවස පිහිටලා තියෙන්නේ. මාස තුනක් විතර එහෙ රූගත කිරීම් තිබුණා. ඩබ්ලිව්. ජයසිරි මෙහි ඇමතිවරයකුගේ චරිතයක් රඟපානවා.

ඔහුගේ නිවස හැටියට යොදා ගත්තේ් එස්. බී. දිසානායක ඇමැතිතුමාගේ හඟුරන්කෙත පිහිටි නිවස. හරි ලස්සන ගෙයක් ඒකත්.

ප්‍රවීණයන් සමඟ වගේම නව පරපුර සමඟත් ඔබට මේ ටෙලි නාට්‍යයේ රඟපාන්න ලැබුණා?

මගේ බිරිඳ හැටියට රඟපාන්නේ ශ්‍රියානි අමරසේන. නව පරපුරේ සුරාජ් මාපා, ධනංජය සිරිවර්ධන, තුමිඳු දොඩන්තැන්න වගේ දක්ෂ පිරිසකුත් රංගනයෙන් දායක වෙනවා.

ක්‍රිස් හැරිස් කියලා බටහිර ජාතිකයෙකුත්, ජපන් ජාතිකයෙකුත් මේ ටෙලි නාට්‍යයට රංගනයෙන් දායක වුණා. ඒ දෙන්නටම සිංහල කතා කරන්න පුළුවන්.

ඒ වගේම දෙන්නම හරිම දක්ෂයෝ. ළඟදීම මේ ටෙලි නාට්‍යය ඔයාලට බලන්න පුළුවන වේවි. වසන්ති චතුරානිගේ අලුත් ටෙලි නාට්‍යයටත් මම සම්බන්ධ වුණා.

ඒ ගැනත් කතා කරමු?

‘කවි කඳුර’ කියන මේ ටෙලි නාට්‍යයේ පිටපත සුනේත්‍රා රාජකරුණාගේ. ලංකාවේ අවසන් රජතුමා අල්ලා ගැනීම සඳහා ජෝන් ඩොයිලි ලංකාවට ආ කාල වකවනුවේ අපේ රටේ සිංහල හා මුස්ලිම් ජනතාවගේ හැසිරීම්, ඔවුන්ගේ ජීවන රටාවන් ඔස්සේ තමයි මේ ටෙලි නාට්‍යය දිග හැරෙන්නේ.

ජෝන් ඩොයිලිගේ දින පොතේ මේ කරුණු සවිස්තරාත්මක ලියැ වී තිබෙනවා. මම රන්ගිරට සම්බන්ධව සිටි කාලයේ නෙරන්ජන් විජේරත්න මහතා ළඟ තිබී ඩොයිලිගේ දින පොත කියවන්න ලැබුණා. එහි සිංහල පරිවර්තනයකුත් තිබුණා.

මම මේ ටෙලි නාට්‍යයේ රඟපාන්නේ නිලමේ කෙනෙකුගේ් චරිතයක්. ක්‍රිස් හැරිස් ඩොයිලිගේ චරිතය රඟපානවා. මිනිහා මගේ හොඳ මිත්‍රයා. මම හිතන්නේ ලංකාවේ වැඩ වැඩිම නළුවද මන්දා.

මෙවැනි ඓතිහාසික පසුබිමකින් යුත් ටෙලි නාට්‍යයකට රංනයෙන් දායකවීමට ලැබීම ගැන මොකද හිතෙන්නේ?

ඇත්තෙන්ම සතුටු වෙනවා. මේ ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කරන්නේ තුසිත ද සිල්වා කියන දක්ෂ අධෂ්‍යක්ෂවරයා. ග්‍රේස් ආරියවිමල් ප්‍රථම වතාවට මගේ් බිරිඳ හැටියට රඟපානවා. මේ ටෙලි නාට්‍යයටත් ඉතාම දක්ෂ නළු නිළියන් පිරිසක් සම්බන්ධ වෙනවා. තාම රූගත කිරීම් ඉවර නැහැ.

ධර්මසිරි බණ්ඩාරනායකගේ ‘මකරාක්ෂයා’ වේදිකා නාට්‍යයේ ‘මකරා’ විදිහටත් ඔබ ප්‍රේක්ෂකයා අතරට එනවා . . . .?

මේක සර්වකාලීන නාට්‍යයක්. මේ නාට්‍යය එක්දාස් නවසිය හතළිස් ගණන්වල රුසියාවේ බිහි වුණ නිර්මාණයක්. හැම සමාජ තලයකටම ගැළපෙන, ඕනෑම කාලෙකට ඔබින අපූර්ව නිර්මාණයක් විදිහටයි මම ‘මකරාක්ෂයා’ දකින්නේ.

තමන් ගැන තමන්ට හිතන්න බල කරන ස්වභාවයක් මතුවෙනවා ඒ නාට්‍යයේ පිටපතෙන්. ඒක සුරංගනා කතාවකුත් එක්ක බද්ධ වෙලයි යන්නේ. දැනට මම දර්ශන පහයි රඟපාලා තියෙන්නේ මකරා හැටියට. 23 වැනිදා තව දර්ශන දෙකක් ලුම්බිණි රඟහලේ වේදිකාගත වෙනවා. අගෝස්තු මාසයේත් තියෙනවා.

‘මකරා’ වීමට පෙරාතුවත් ඔබ මේ නාට්‍යයට අසීමිතව ඇළුම් කළ රසිකයෙක්?

මේ නාට්‍යය මුලින්ම මම නැරඹුවේ එක්දාස් නවසිය අසූ ගණන්වල. මම කහවත්තේ මැණික් වෙළෙන්දෙක් වෙලා හිටපු අවධියේ. ඒ කාලේ මම ඒක බැලුවේ අර අපූර්ව සුරංගනා කතාවත් එක්ක බද්ධ වෙලා.

ඊට වඩා යමක් නාට්‍යයේ තිබුණා කියලා හැගුණට මම ඒ ගැන වැඩිය කල්පනා කරන්න ගියේ නැහැ. පස්සේ ධර්මසිරි මේ චරිතය මට බාර දුන්නට පස්සේ දේශපාලනමය වශයෙන් මෙහි තිබෙන බැරෑරුම්කම මම මතු කරන්න පටන් ගත්තා.

කොහොමද ‘මකරා’ ට ලැබුණ ප්‍රේක්ෂක ප්‍රතිචාර?

හුඟාක් හොඳයි. ලයනල් වෙන්ට්ඩ් එකේ තිබුණ දර්ශන දෙක ඉතාම සාර්ථකයි. අපි සුමාන හයක් විතර අඩු කාලයක් තමයි මේ පුහුණුවීම් කළේ. හැබැයි උදේ 9.00 ඉඳන් රෑ 9.00 වෙනකල්ම කළා.

එවැනි කැප කිරීමක් කරන එක මම හිතන්නේ ඕනැම නළු නිළියකට අමාරුයි අද තියෙන තත්ත්වයක් එක්ක. ඒවටත් අපිට හැඩ ගැහෙන්න වුණා.

‘මකරා’ මුලින්ම මම දැක්කේ වින්ස්ටන් සේරසිංහ කියන ශූර නළුවා රඟපෑ ආකාරය. නමුත් පසු කලෙක ඔහු ඉවත්වීම නිසා තමයි මට ‘මකරා’ වෙන්න ලැබුණේ. වික්ටර් රාමනායක කියන මගේ මිත්‍රයා තමයි ධර්මසිරි බණ්ඩාරනායක ළඟට මාව එක් කර ගෙන ගියේ.

සේරසිංහ ‘මකරා’ගෙන් ඉවත්වීම තුළ අපේ නළු නිළියන්ට ගත හැකි විශාල පාඩමක් තියෙනවා?

සර් ලෝරන්ස් ඔලිවියර් කියන මහා නළුවා කියා තිබෙනවා ‘කවද හරි දවසක ඔබට ඔබේ දෙබසක් අමතක වුණෝතින් ඔබ එදාට වේදිකාවෙන් සමුගන්න ඕනෑ’ කියලා. ඉතින් සේරසිංහයන්ටත් ඒ දේ සිද්ධ වෙලා තමයි ඔහු වේදිකාවෙන් සමු අරගෙන තියෙන්නේ.

ඔහු බොහොම කැපවීමෙන් ඉංග්‍රීසි වේදිකාවේ රඟපෑ නළුවෙක්. අපි දෙන්නම රාජකීය විදුහලේ නිසා මම ඒ බව හොඳින් දන්නවා. අහම්බෙන් තමයි ඔහු සිංහල වේදිකාවට යොමුවෙලා තියෙන්නේ.

වත්මන් රාජකීය සිසු දරුවන්ට මෙවැනි විශිෂ්ට නාට්‍යය නිර්මාණයක් නරඹන්නට අවස්ථාවක් උදා වුණොත් එය ඔබටත් අභිමානයක් වේවි?

රාජකීය විද්‍යාලයට වසර එකසිය හැත්තෑ පහක් සපිරෙනවා මේ වසරේ. ඒ නිමිත්තෙන් විශේෂ කලා සහ සාහිත්‍ය උළෙලක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

ඒ කමිටුවේ සභාපතිවරයා විදිහට පත් කර තිබෙන්නේ මාව. මට දැන් හිතෙනවා ‘මකරාක්ෂයා’ නාට්‍යයත් මේ උළෙලේදී වේදිකාවට ගෙන එන්න. මොකද අපි මේ නාට්‍යය රඟ දැක් වූ දින පහේදීම අපට වැඩිම ප්‍රතිචාර ලැබුණේ කුඩා ළමයින්ගෙන්.

ආරම්භයේ පටන් අවසානය දක්වා ඔවුන් විනාඩි පහෙන් පහට හිනා වුණා. සුරංගනා කතාවක් විදිහට තමයි ඔවුන් එය රස වින්දේ. මම හිතනවා මෙවැනි දේවලට ළමයි හුරු කළොත් එය ඔවුන්ගේ රසඥතාවය මතු කර ගැනීමට අවස්ථාවක් වෙයි කියලා.

ඒ වගේම රාජකීය විදුහලේ නාට්‍ය හා රංග කලාව පිළිබඳ ආචාරිනී රත්නා ලාලනී ජයකොඩි රඟන ජයලත් මනෝරත්නගේ ‘ගුරු තරුව’ත් මේ කලා උළෙලට ගෙන එන්න අපි බලාපොරොත්තු වෙනවා.

මෙගා ටෙලි නාට්‍යය ගැන ඔබේ මතය දැන ගන්න මම කැමැතියි?

බොහෝ දෙනෙක් මෙගා ටෙලි නාට්‍ය විවේචනය කරනවා. ඒත් මොනවද මේ මෙගා කියලා බලන්න හරි ඒවායේ රඟපාන්න ඕනෑ.

දැන් ‘රන්ගිර’ වගේ ටෙලි නාට්‍යයක් එතකොට ‘මෙගා’ ගණයට වැටෙන්නේ නැතිද?

කෙනෙකුට එහෙමත් තර්ක කරන්න පුළුවන්. ඒ මෙහි කොටස් ප්‍රමාණය තරමක් වැඩි නිසා. නමුත්’රන්ගිර’ බොහොම සංයමයකින් රූගත කළ ටෙලි නාට්‍යයක්.

දවසකට රූගත කළේ දර්ශන හතරක්, නැතිනම් පහක් විතරයි. නමුත් මෙගා නාට්‍යයවල දවසකට දර්ශන දහය, පහළොව රූගත කරනවා. එතකොට නිර්මාණකරුවන්ට වඩා ටෙලි නාට්‍යය කම්කරුවෝ කිව්වොත් හරි.

තවම ඔබ ඒ තැනට වැටිලා නැහැ?

නෑ ඉතින් මමත් ඒ අත්දැකීම විඳිමින් ඉන්නවානේ. හැමෝටම වගේ මටත් එයින් අත් මිදෙන්න බැහැ.

මෙගා නාට්‍යයවලට අද වැඩිපුර යොමු වෙලා ඉන්නේ තරුණ පරපුර. නමුත් ඔබ වැනි අත්දැකීම් බහුල, ප්‍රවීණ රංගන ශිල්පියෙක් ඒ තැනට පත්වෙනවා කියන්නේ?

මෙගා නාට්‍යය කියන්නේ මොකක්ද කියලා මට නිකං විස්තර කරන්න බැහැ. එක අත්දැකීමක් හරි තියෙන්න ඕනෑ. ඒ නිසා තමයි මම මේ මෙගා නාට්‍යයට සම්බන්ධ වුණේ.

‘වහින්න මුතු වැස්සක්’ මේ දවස්වල විකාශය වෙනවා. ඒකෙ මම රඟපාන එඩ්වඩ් කියන චරිතය ප්‍රේක්ෂකයන් අතරේ බොහෝම ජනප්‍රියයි. මට නම් ඒ චරිතයේවත්, ටෙලි නාට්‍යයේවත් විශේෂත්වයක් පේන්නේ නෑ.

නමුත් ජනතාව පුදුම විදිහට ඒකට ආකර්ෂණය වෙලා තියෙනවා. සමහර විට අපි බොහෝම සුළුයි කියලා අතාරින දේ තුළ යම් යම් වටිනාකම් තියෙන්න පුළුවන්. මටත් පුදුමයි ඒක.

මම හිතන්නේ අවුරුදු විසි පහක් පුරා ඔබ ටෙලි නාට්‍යය සෑහෙන සංඛ්‍යාවකට රංගනයෙන් දායක වුණා. නමුත් ඇගයීමට ලක් වුණේම නැති තරම්?

1985 වසරේ ධර්මසේන පතිරාජගේ ‘ගඟුළෙන් එගොඩට’ ටෙලි නාට්‍යයේ තමයි මුලින්ම මම රඟපෑවේ. මේ වෙන කොට ටෙලි නාට්‍යය හැට නවයක මම රඟපා තියෙනවා. ඔබ කිව්වා ඇත්ත. මාව ඇගයීමට නම් ලක් වුණේ නැහැ.

මහාචාර්ය සෝමරත්න බාලසූරියගේ කෙටි කතාවක් ඇසුරෙන් නිර්මාණය වුණ ‘කරත්තය’ ඒකාංගික ටෙලි නාට්‍යයට මට රාජ්‍ය ටෙලි සම්මාන උළෙලේදී කුසලතා සම්මානයක් හිමි වුණා.

ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු තමයි ඒක අධ්‍යක්ෂණය කළේ. එච්චරයි මට ලැබුණ සම්මානය. ඒත් මගේ හිතේ ඒ ගැන කනස්සල්ලක් නැහැ. නළුවකු වශයෙන් මම තෘප්තිමත්.

නමුත් සිනමා නළුවකු හැටියට නම් ඔබ කුලුඳුල් චිත්‍රපටයෙන්ම සම්මානයට පාත්‍ර වුණා?

ඔව්. 1995 වසරේ ‘දෙමෝදර පාලම’ චිත්‍රපටයේ රඟපෑ චරිතය වෙනුවෙන් මට ඒ වසරේ හොඳම නවක නළුවාට හිමි සරසවිය සම්මානය ලැබුණා. ඊට පස්සේ 2006 වසරේදී ‘අංජලිකා’ චිත්‍රපටයේ පියදාසගේ චරිතය වෙනුවෙන් මට කුසලතා සම්මානයක් ලැබුණා. ජනාධිපති සම්මාන උළෙලේ ජූරියේ විශේෂ ඇගයීමට ලක් වුණා.

මා අසා තිබෙනවා ඔබ බර්ට්‍රෝල්ට් බ්‍රෙෂ්ට් ගේ රංගන රීතියට ඉතා ප්‍රිය කරන නළුවෙක් කියා. රංගනය පිළිබඳ ඔබ කිසියම් විධිමත් හැදෑරීමක් කර තිබෙනවා ද?

කුඩා කාලේ ඉඳලම රංගනය පැත්තට මගේ නැඹුරුවක් තිබුණා. ඒ කාලේ සති අන්තයේ දවසක තාත්තා මට අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි චිත්‍රපටයක් පෙන්නනවා. සිංහල චිත්‍රපටත් පෙන්වනවා.

රීගල් සිනමාහල එක්දාස් නවසිය හැට ගණන්වල ඉඳලා මට හරි පුරුදු තැනක්. මගේ ළමා කාලේ අවුරුදු දහයක් විතර එක දිගට චිත්‍රපට බලන්න මට අවස්ථාව ලැබුණා.

ඒ නැරඹීම තමයි අධ්‍යයනයක් විදිහට වෙනම පැත්තකින් මතු වෙලා ආවේ. පාසල් වේදිකාවත් හොඳ තෝතැන්නක් වුණා. එදා තාත්තා ඒ පැත්තට මාව යොමු කළ නිසා තමයි මට රංගන ශිල්පියෙක් වෙන්න අවශ්‍ය පරිසරය සකස් වුණේ.

එතකොට ඔබ රංගනය පිළිබඳ විධිමත් හැදෑරීමක් කර නැහැ?

ඔය විදිහට තමයි මගේ නළුකම ඔප මට්ටම් වෙන්නේ. එතකොට මම රංගනය හා රංගන ශිල්පීන්, රංගන ශිල්පිනියන් ගැන ලියැවුණ පොත් රාශියක් කියවා තියෙනවා.

ඇත්තෙන්ම පොත පත පරිශීලනය තුළින් අපට පුළුවන් ගොඩක් දේවල් ඉගෙන ගන්න. බ්‍රෙෂ්ට් කියන්නේ මොකක්ද, ස්ටැනිස්ලොව්ස්කි කියන්නේ මොකක්ද මේ හැම දේ ගැනම අවබෝධයක් තියෙනවා නම් අපට ඒක කවදා හරි ප්‍රයෝජනවත් වෙනවා.

මට කියන්න බෑ වේදිකාවට ගිහින් අද මම රඟපාන්නේ බ්‍රෙෂ්ට් ගේ සම්ප්‍රදාය කියලා. දර්ශන තලයට ගිහින් කියන්න බෑ මේ කරන්නේ ස්ටැනිස්ලොව්සකිගේ රංගන විධි ක්‍රමය කියලා. නමුත් ඒවායින් සන්නද්ධ වෙලා එතනට යනකොට තමන් ලොකු විශ්වාසයක් ඇතුව ඒ වැඩේ කරන්න පුළුවන්.

එහෙම නොවන කෙනෙකුට හොඳ නළුවෙක් වෙන්න බැරිද?

අපි දැකලා තියෙනවා සමර නළුවෝ දර්ශන තලයට ආවාම ඒ අවශ්‍ය දෙබස හරියට කියා ගන්න බැහැ. අංග චලනයන් හරියට හසුරුව ගන්න බැහැ. ඒ අර සන්නද්ධ බව නොමැති නිසයි.

රංගනය කියන්නේ බොහෝ වටිනා, ගරු කළ යුතු කලාවක්. අපි මේ කරන්නේ රංගනය තුළින් සමාජයට වටිනා හරපද්ධතීන් එකතු කිරීම. මම හැමදැම උදේට නොවැරදීම පත්තරේ ගන්නවා. මේ ක්ෂේත්‍රයේ හැමෝම දන්න දෙයක් ඒක.

ඒත් සමහරු පත්තරයක්, පොතක් බලන්නේ නැහැ. මට හිතෙනවා මේ අය මොනවද කරන්නේ කියලා. රඟපානවා කියන්නේ් මේ නිකං පිටපතක් අරගෙන කියවන එක නෙවෙයිනේ. රටේ, ලෝකේ මොනවද වෙන්නේ කියලා අපි දැනගන්න ඕනෑ.

පී. බී. ඉලංගසිංහ කියන සොඳුරු මිනිසා ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියා හමු නොවුණා නම් ඔබ මම හිතන්නේ සමහර විට නළුවෙක් නොවන්නත් තිබුණා?

ඔව්, අනේ් ඒක හරි වැදගත්. විජය කුමාරතුංග හිටියේ අපේ ගමේ තලකොටුවේ වත්තේ. අපි කොල්ලෝ ටික හැන්දෑවට ක්‍රිකට් ගහනවා. විජය කුමාරතුංග ඔතනින් පයින් ඇවිදගෙන යනවා කළු ටී ෂර්ට් එකයි, කළු කලිසමයි ඇඳගෙන පාර්ක් රෝඩ් එකට.

හරි ලස්සන ඉලන්දාරියෙක්. අපි ක්‍රිතට් ගහන එක නවත්වනවා එයා පාරේ යනකොට. අපේ කොල්ලෝ හතර පස් දෙනෙක් දුවනවා එයා පස්සෙන්. විජය තමා එතකොට ලංකාවේ ජනප්‍රියම නළුවා.

විජය වගෙ නළුවෙක් වෙන්න ඕනෑ කියලා එදා හිතුණේ නැද්ද?

නැහැ, නැහැ ඒ වෙන කොටත් මගේ එහෙම හිතක් තිබුණේ නැහැ. මම තව ටිකක් ලොකු වෙනකොට සරුංගල් අරින්න තලකොටුවට යනවා. ඔය පී. බී ඉලංගසිංහ, දයා තෙන්නකෝන්, කේ. ඩී. කේ. ධර්මවර්ධන, විජය කුමාරතුංග, වික්ටර් රත්නායක, ධර්මසේන පතිරාජ, සෝමසිරි දෙහිපිටිය, ලයනල් ප්‍රනාන්දු වගේ පුදුමාකාර රෑනක්. නම් කියන්න ගියෝතින් මාව අමාරුවේ වැටෙයි.

මේ සේරම එකතු වෙන්නේ පී. බී. ගේ කාමරේ. මට විජය මුණ ගැහෙන්නේ් එතනදී තමයි මිතුරෙක් විදිහට. ඔහු මහජන පක්ෂය පිහිටවපු වෙලාවේ නිවිතිගල ආසනයේ සම්බන්ධිකරණ නිලධාරියා වුණේත් මම.

ධර්මසේන පතිරාජගේ හමුවීම තමයි ඔබේ රංගන දිවියේ ආරම්භය?

පතිරාජගේ චිත්‍රපට රූගත කිරීම්වලට පවා මම යනවා ඒ කාලේ. කවදාවත් මම කියලා නෑ රඟපාන්න තැනක් දීපං කියලා. සොල්දාදු උන්නැහේ, පාර දිගේ, සිර කඳවුර රූගත කරනවා බලන්න මම ගියා.

සොල්දාදු උන්නැහේගෙන් පස්සේ පතිරාජ කාලයක් නිහඬව හිටියා. 1985 දී ඔහු පළමුවැනි ටෙලි නාට්‍යය ගඟුලෙන් එගොඩ නිර්මාණය කළා. නළු නිළියෝ ස්ථාන ගත කරද්දී පතීම එක පාරටම කිව්වා ‘අඩේ උඹ වරෙන් අර සිරිසේනගේ් චරිතයට කියලා. ඔහොම තමයි මම නළුවෙක් වුණේ.

0 comments:

Post a Comment