----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

Lanka Art Chat Room - එන්න අපි කතා කරමු

නාට්‍ය ගී පෙම් බඳින්නන්ට "මනොරම්‍ය ගී"

Friday, July 2, 2010


අද අති විශිෂ්ට රංගනවේදියෙක්‌ව සිටින ජයලත් මනෝරත්න වේදිකාව නමැති තක්‌සලාවට ඇතුළු වූයේ නවසිය හැට හයේදී ය. ඒ "අස්‌ප ගුඩුං ගුඩුං" වේදිකා නාට්‍යය සමගිනි.......

"ජීවිතය විඳ දරා ගැනීම සඳහා අපට කලාව පිහිට වේ." බර්ටොල් බ්‍රෙෂ්ට්‌ නමැති ජර්මන් නාට්‍යකරුවාගේ මේ කියමන සමඟ අද අප ගොඩවන්නේ වේදිකාවටය. වේදිකාව යනුවෙන් අදහස්‌ කළේ වේදිකා නාට්‍ය යන්නය. චිත්‍රපටය, ටෙලි නාට්‍ය මෙන්ම වේදිකා නාට්‍යයක්‌ නරඹද්දී ද ප්‍රේක්‍ෂකයා සියුම් සහ පුළුල් ලෙස විඳ දරා ගැනීමේ කාර්යයට එක්‌ වේ. එය වේදිකාව සමඟ ඇති කර ගන්නා ඉතා සංවේදී සබඳතාවකි.

ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයක්‌ වන වේදිකාව සජීවී කලාවකි. ශ්‍රී ලංකාවේ පැරැණිම කලා මාධ්‍යයකි.

වේදිකාවෙන් බිහි වූ ශිල්පීහු විශාල පිරිසක්‌ පසු කාලයේදී සිංහල සිනමාවේ දස්‌කම් පෑහ. අදත් ප්‍රතිභාව දක්‌වති. රංගනය සඳහා අධ්‍යයන ආයතනයක්‌ නැති අපට වේදිකාව කවදත් තක්‌සලාවකි.

අද අති විශිෂ්ට රංගනවේදියෙක්‌ව සිටින ජයලත් මනෝරත්න වේදිකාව නමැති තක්‌සලාවට ඇතුළු වූයේ නවසිය හැට හයේදී ය. ඒ "අස්‌ප ගුඩුං ගුඩුං" වේදිකා නාට්‍යය සමගිනි. වේදිකාව නමැති තක්‌සලාවෙන් ඉගෙනුම ලැබූ හේ අද දරු දැරියන් රැසකටම රංගනය පිළිබඳ තක්‌සලාවක්‌ බඳුය.

සොබා සෞන්දර්යයෙන් පිරි නුවරඑළියේ දෙනිපේ මනෝගේ උපන් ගමය. සොයුරු සොයුරියන් හය දෙනකුගෙන් යුත් පවුලක බාලයා වන ඔහු දෙනිපේ ප්‍රාථමික විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබීය. පහේ ශිෂ්‍යත්වයද සමත්ව පොරමඩුල්ල විද්‍යාලයට ඇතුළු වී උසස්‌ පෙළ ද ඉහළින් සමත් වූ මනෝරත්න පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ප්‍රථම උපාධිය ද, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධිය ද ලබා ගත්තේය.

මහාචාර්ය එදිරිවීර සරච්චJද්‍රයන්ගේ නාට්‍ය

රැසක රඟපෑ හේ රංගන ජීවිතයට එය පන්නරයක්‌ කර ගත්තේය. "පේමතෝ ජායති සෝකෝ", "සිංහබාහු", "මනමේ", "මහාසාර" පමණක්‌ නොව "දුන්න දුනුගමුවේ". "රතු හැට්‌ටකාරී" ආදී නාට්‍යවල ද රඟපෑ ඔහු අසූව දශකය ආරම්භ වද්දී නාට්‍ය නිෂ්පාදනයට එක්‌වූයේය.

"මහගිරිදඹ", "පුත්‍ර සමාගම", "තලමල පිපිලා", "අන්දරේලා", "ගුරු තරුව", "සඳගිරි", "කණේරුමල්, "ලෝකය තනි යායක්‌", "මකරා", "මාළවළලු", "මායාදේවි", "සුදුරෙදි හොරු" ඒ නාට්‍ය අතර වේ.

කරලිය තුළ මනෝරත්න නමැති සළකුණ තැබූ හේ "මැණික්‌ නදිය ගලා බසී, ගංගා සහ නිශ්ශංක, දූ දරුවෝ, කන්දේ ගෙදර, සඳ අමාවකයි, මං නැතිදා, ගල් පිළිමය සහ බොල් පිළිමය, සකිසඳ එළියස්‌, රම්‍ය සුරම්‍ය, වර්ණ, සිංදු බිංදු, ගජමන් පුවත, තුන්පත් රෑන, රාත්‍රිය මනරම්, හංස දඩයම, අරුංගල් ඇතුළු ටෙලි නාට්‍ය රැසකට ද රංගන දායකත්වය ලබා දුන්නේය.

"මගේ කවිය මට දෙන්න, තුන්පත් රෑන, රංසිරිගේ සංග්‍රාමය, පුරපස අඩසඳ, රාත්‍රිය මනරම්, ජයලත් මනෝරත්න අධ්‍යක්‍ෂණය කළේය. ඔහු සිනමාවට පිවිසියේ "තිලක හා තිලකා" සමගිනි. පසුව "හඳයා" "සිරිබෝ අයියා", "මංගල තෑග්ග", "සූරිය අරණ", "ගිනි කිරිල්ලී", "සුදු කලු සහ අලු", "සුදු කළුවර", "සිසිල ගිනි ගනී", "ස්‌ත්‍රී", "සප්ත කන්‍යා", "භේරුණ්‌ඩ පක්‍ෂියා" යන චිත්‍රපටවලට ද එක්‌විය.

ඕනෑම චරිතයකට අති විශිෂ්ට ලෙස ප්‍රවේශ වන ජයලත් මනෝරත්න නමැති ප්‍රතිභාසම්පන්න රංගනවේදියා වසරේ විශිෂ්ටතම නළුවා ලෙස ද පසුගියදා රයිගම් ටෙලි සම්මානයෙන් පුද ලැබුවේය. ඒ "අරුංගල්" ටෙලි නාට්‍යයේ රංගනය උදෙසා ය. ප්‍රසන්න විතානගේ ගේ ද්විත්ව නාට්‍යයේ ද්විත්ව චරිතයක්‌ කළ ඔහු "දෙබිඩ්ඩෝ" නමින් වර්තමානයේ රංගගත වන ද්විත්ව නව නිෂ්පාදනයේ ද පෙරකී චරිතම රඟයි.

මනෝරත්න වේදිකාවෙන් බිහි වූ වේදිකාවටම අයිති ශිල්පියෙකි. වේදිකාවෙන් බිහි වූ බොහෝ අය පසුව වේදිකාවෙන් ඉවත්ව ගිය ද ජයලත් මනෝරත්න කිසිදු මොහොතක වේදිකාවට සමුදුන්නේ නැත. වේදිකාවට අතිමහත් ආදරයක්‌, ගෞරවයක්‌ සෙනෙහසක්‌ දක්‌වන මනෝ නිරන්තරයෙන් වෙහෙස දරන්නේ අලුත් දෙයක්‌ කරළියට ගෙන ඒමටය.

"මනෝරම්‍ය ගී" නමින් අපූර්වත්වයෙන් යුත් සංගීතමය රසාස්‌වාදයකට ප්‍රේක්‍ෂකයා ගෙන යැමට දැන් ඔහු සූදානම් ය. දශක තුනක්‌ පුරා දේශීය නාට්‍ය වේදිකාවේ පිපී සුවඳ විහිදූ ගී මල් යායෙන් නෙළාගත් ගී මල්මිටකි "මනොරම්‍ය ගී"

හෙළ රංගනයට නැවුම් අත්දැකීමක්‌ වන "මනොරම්‍ය ගී" නිමිත්ත කර ගනිමින් අපි දැන් රංග ප්‍රතිභාවේ ප්‍රභාව ලෙස සැලකෙන ජයලත් මනෝරත්නයන්ට සවන් දෙමු.

මොකක්‌ද මේ මනොරම්‍ය ගී...?

මගේ නාට්‍යවල ගීත

රැසක්‌ තිබෙනවා. ඒ ගීත අතුරින් තෝරාගත් කිහිපයක්‌ අඩංගු ප්‍රසංගයක්‌, "තලමල පිපිලා," "අන්දරේලා", "ගුරු තරුව", "මහගිරිදඹ", "ලෝකය තනි යායක්‌", "කණේරු මල්", "සුදු රෙදි හොරු" යන නාට්‍යවල ගැයුණු ගීත කීපයක්‌ තමයි මේ ප්‍රසංගයට ඇතුළත් කළේ.

මෙවැන්නක්‌ කිරීමේ අරමුණ..?

අප ගම්බද ප්‍රදේශවලට ගියත්, විදේශ රටකට ගියත්, ඕනෑම සාදයකදී, පැදුරකදී ගයන්නේ පැරැණි නාට්‍ය ගී. රසිකයන් විශාල පිරිසක්‌ නාට්‍ය ගීත වලට කැමැතියි. මට ඕනෑ වුණා හොඳ නාට්‍ය ගී රස විඳිය හැකි සැන්දැවක අත්දැකීම ප්‍රේක්‍ෂකයාට ලබා දෙන්න. එනිසා මම හිතුවා දශක තුනක්‌ විතර නැරඹු මගේ නාට්‍යවල ගීත එකතු කරලා "මනෝරම්‍ය ගී" නමින් මේ ප්‍රසංගය කරන්න.

එදා අප දුටු මේ ගීතවල නාට්‍යමය ගුණය "මනෝරම්‍ය ගී" තුළිනුත් විඳගත හැකි වේවිද?

ඇත්තටම, භාව පූර්ණ, අර්ථ පූර්ණ, නද පූර්ණ ගී රස මිහිරක්‌ නාටකීය ප්‍රහර්ශයෙන් විඳ ගැනීමේ අවස්‌ථාව ප්‍රේක්‍ෂකයාට හිමිවෙනවා. නාට්‍ය ගතිය ඇතිව ගීත රසාස්‌වාදනයට ඉඩ ලබා දෙනවා. සමහර ගීතවලට රවිබන්දු විද්‍යාපතිගේ නර්තනයන් ද, ඇතුළත්. තාක්‍ෂණයත් මුසුකර තිබෙනවා. පැය දෙකක සෞන්දර්යාත්මක වින්දනයක්‌ ප්‍රේක්‍ෂකයාට ලබා දෙනවා. සියලුම ගීත සජීවීව ගයනවා. ප්‍රසංගය මෙම 20 වැනිදා සවස 6.45 ට බිෂොප් විද්‍යාලයීය ශාලාවේදී පැවැත්වෙනවා. ඉන් පසු විවිධ පළාත්වලට මේ ප්‍රසංගය සඳහා දැනටමත් ඉල්ලීම් ලැබී තිබෙනවා. නමුත් වේදිකා නාට්‍යයක වගේ නොවේ මේ ප්‍රසංගයට විශාල වියදමක්‌ යනවා. මෙවැනි ප්‍රසංගවලට අනුග්‍රාහකයන් සොයා ගැනීමත් අපහසුයිනේ. එවැනි අනුග්‍රහයක්‌ ලැබෙනවා නම් අපට රට වටා "මනෝරම්‍ය ගී" ගෙන යන්න පුළුවන්.

මා මේ කතා කරන්නේ වසරේ විශිෂ්ටතම රූපවාහිනි නළුවා සමඟ. නළුවකු වීම ඔබ දකින්නේ කෙසේද?

එකක්‌ තමයි කුඩා කල සිට රඟපෑමට තිබූ ආශාව. පසුව වයසින් සහ අත්දැකීම් වලින් මුහුකුරා යද්දී සමාජමය අත්දැකීම් මත වගකීම්, යුතුකම් සහ කාර්යභාරය පිළිබඳ වැටහීමක්‌ ඇති වෙනවා. එතැනදී අප සමාජයට දිය යුතු දේ තෝරාගත යුතුයි. සත්‍යය සහ රමණීයත්වය ගැන මම නිතර කතා කරනවා. අපගේ ක්‍ෂේත්‍රය හරහා සත්‍ය විග්‍රහ කළ යුතුයි. ඉන් පසු මේ සත්‍යය අප ශිල්පියෙකු වශයෙන් විචිත්‍රවත් ලෙස ඉදිරිපත් කළ යුතුයි.

වේදිකාවට පය නොතබා කෙළින්ම රූපවාහිනි නළුවකු වුණා නම් ඔබගේ තත්ත්වය කෙබදු වේවිද?

ඔව්. එහෙම වුණානම් අසූවේදී රූපවාහිනය අලුත් මාධ්‍යයක්‌ වුණා. වේදිකාවේ එදා නොසිටියා නම් රූපවාහිනි මාධ්‍යය ගැන අධ්‍යයනය කළ යුතුයි. පෙර පුහුණු පිරිසක්‌ සිටීම එදා රූපවාහිනියට සම්පතක්‌ වුණා. වේදිකාව නොතිබුණා නම් එවන් පිරිසක්‌ නැහැ. වේදිකාව නොතිබුණා නම් අපට ආධුනික මට්‌ටමින් රූපවාහිනිය ගැන හැදෑරීමක්‌ කළ යුතු වෙනවා. ඒත් ඉතිං ලංකාවේ එවන් වපසරියක්‌ තියෙනවාද කියන එක ප්‍රශ්නයක්‌. වේදිකාවෙන් ලද පුහුණුව රූපවාහිනියේදී මෙන්ම සිනමාවේදීත් ඉහළින්ම බලපානවා.

ඔබ වැනි සාර්ථක නළුවෙකුගෙන් අපේ සිනමාව ප්‍රයෝජනයක්‌ ගෙන නැතැයි මා කීවොත් එය පිළිගන්නවාද?

ඔව්...... ඔබ කියනවා නම් මම එහෙම තත්ත්වයක ඉන්නවා කියා... සාපේක්‍ෂව මම එක්‌තරා තැනක අද ඉන්නවා කියා. මම ඊට එකඟයි. අවුරුදු හතළිහක කාලය තුළ මා ප්‍රධාන චරිතයක්‌ රඟපෑවේ "සූවිසි විවරණ කියන සරත් ධර්මසිරිගේ චිත්‍රපටයේ පමණයි. ඉන්ම තේරෙනවා නේද අපට සිනමාවේ ලැබෙන අවස්‌ථාව කොතරම් අල්පද කියලා. නමුත් මම අල්ප වශයෙන් රඟපෑ චිත්‍රපටවලත් ප්‍රමිතියක්‌ තිබුණා. සම්මාන උළෙලවලදී හොඳම සහාය නළුවා ලෙස සම්මාන ලැබුණා. නමුත් ඔබ පවසන පරිදි සිනමාව මගෙන් වැඩ අරන් නැහැ කියන එක මම පිළිගන්නවා. ටෙලි නාට්‍ය හා සාපේක්‍ෂව බලද්දී ගැඹුරින් කළ හැකි භූමිකා සිනමාව තුළ ලැබී තිබෙන්නේ අඩු වශයෙන්. ඒකට හේතු අපි වෙනම කතා කළ යුතුයි.

ඔබේ රංගන ශෛලිය අහවල් ශෛලිය යෑයි නම් කර හැඳින්විය හැකි එකක්‌ද?

නැහැ. අපි නාට්‍ය ධර්මී සහ ලෝක ධර්මී කියන සම්ප්‍රදායන් දෙකේම වැඩ කළා. මහාචාර්ය සරච්චJද්‍රයන්ගේ නාට්‍ය ධර්මී ශෛලය, සුගතපාල සිල්වා, රංජිත් ධර්මකීර්ති වැන්නවුන්ගේ ලෝක ධර්මී ශෛලීය යන දෙකේම මා වසර හතළිහක්‌ වැඩ කළා. පෙරදිග, අපරදිග සම්මිශ්‍රිත ශෛලීන් රැසක වැඩ කළා. එහෙම තාත්වික සහ ශෛලිගත සම්ප්‍රදායන් දෙකේම ශක්‍යතාව තිබෙන බව කියන්න පුළුවන්.

"දක්‍ෂ නළුවෙක්‌, ජනප්‍රිය නළුවෙක්‌" නළුවන් මෙසේ වර්ග කිරීම ඔබ දකින්නේ කෙලෙසකද?

මේවා බොහෝ විට සිද්ධවන්නේ මාධ්‍ය වලින්නේ. මම ජනප්‍රියයි. යම් යම් විදේශ සංචාරවලදී මඟ තොටේදී ශ්‍රී ලාංකීය රසිකයෝ කතා කරන ආකාරය හිතුවාම මිනිසුන් අපට ප්‍රියයි කියා හිතෙනවා. ශාස්‌ත්‍රීය, ජනප්‍රිය සහ ජන ආකෘතිය කියන අංශ තුනේම අප සැරිසරනවා. ගැමි රඟමඬල වැනි පාරම්පරික ප්‍රවාහයේ අතු ඉති වලත් විශ්ව කීර්තිය ලත් නාට්‍ය වලත් අප රඟපානවා.

ඔබ ආදර්ශයට ගත් යම්කිසි චරිතයක්‌ තිබේද?

ඔව්........ ඔබට මට අපි ඕනෑම කෙනෙකුට වීරයෙක්‌ සිටින්නට පුළුවන්. ටෝනි රණසිංහ කියන විශිෂ්ට නළුවාව මම අනුකරණය කිරීම පවා කළා. ඒ කාලේ ටෝනි කට්‌, ටෝනි වෝක්‌ කියා ඔහු හිස පීරන විදිහ, ඇවිදින විදිහ අනුකරණය කළා. පසුව "දෙලොවක්‌ අතර", "රන්සළු" වැනි චිත්‍රපටවල ඔහුගේ රඟපෑම් බලද්දී රඟපෑම අතින් ටෝනි රණසිංහ මට බලපෑවා. මම ඔහුගේ රංගන රීතීන් අනුගමනය කළා. ටෝනි රණසිංහ මගේ පරමාදර්ශී නළුවා වුණා.

අපි සේරම එක අවන්හලක නැවතී

අපේ සිතුම් මල් සිහින පැතුම් මල්

මිරිකාගෙන මදු බඳුනේ

තොලගාමින් අඬ අඳුරේ

ගහ බැන ගෙන රොස පරුසෙන

තලා පෙලා පාගාගෙන

ආදරයෙන් සිත සෙනේහයෙන් යළි

අපි සේරම

ජීවිතයේ මහගිරි දඹේ නගිනවා

මනෝරම්‍ය ගී ප්‍රසංගයේ ගැයෙන "මහගිරිදඹ" නාට්‍යයට මනෝරත්නම රචනා කළ ඒ ගීයත් සමගින් අප මෙම සටහන නිමා කරන්නේ රොඩ්නි වර්ණකුල, ප්‍රියන්ත සෙනෙවිරත්න, චJද්‍රසෝම බිංදුහේවා, ෆර්නි රෝෂනී නිල්මිනි බුවනෙක, මාධනි මල්වත්තගේ, මාලි ජයවීරගේ, සුසිල් වික්‍රමසිංහ, අජිත් ලොකුගේ, නවරත්න ගමගේ ඇතුළුව මනෝගේ "මනෝරම්‍ය ගී" ප්‍රසංගයට ශක්‌තිය ලබා දෙන සියල්ලන්ව ද සිහිපත් කරමිනි.

තලමල පිපිලා, අන්දරේලා, ගුරු තරුව, මහගිරිදඹ, ලෝකය තනි යායක්‌, කණේරු මල්, සුදු රෙදි හොරු යන නාට්‍යවල ගැයුණු ගීත කීපයක්‌ තමයි මේ ප්‍රසංගයට ඇතුළත් කළේ. පැය දෙකක සෞන්දර්යාත්මක වින්දනයක්‌ ප්‍රේක්‍ෂකයාට ලබා දෙනවා. සියලුම ගීත සජීවීව ගයනවා.

අජිත් අලහකෝන්


0 comments:

Post a Comment