----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

Lanka Art Chat Room - එන්න අපි කතා කරමු

අම්මයි දුවයි විදියට ශලිනියි මමයි ඇත්තට ම රඟපෑවා

Saturday, October 20, 2012


අම්මයි දුවයි විදියට ශලිනියි මමයි ඇත්තට ම රඟපෑවා

නිර්මා සුරාජි

නිර්මා සුරාජි දක්ෂ රූපලාවණ්‍ය ශිල්පිනියකි. එසේම ඇය දක්ෂ රංගන ශිල්පිනියකි. මේ දිනවල විකාශය වන ටෙලිනාට්‍ය කීපයකම සුරාජිගේ රංගන දැකගත හැකිය. පසුගිය දිනෙක අප ‘රසඳුන’ වෙනුවෙන් සුරාජි හමුවූයේ ඇයගේ කලා දිවිය පිළිබඳව තොරතුරු විමසා බැලීමටය.
ඔබ කලා ක්‍ෂේත්‍රයට පිවිසුණේ අහම්බෙන්ද?
මම මුලින්ම රූපලාවණ්‍ය ශිල්පිනියක්. දැනට වසර 15කට අධික කාලයක ඉඳල මම රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ ඉන්නවා. එසේම රූපලාවණ්‍යාගාරයක් ආරම්භ කළේ 2004 අවුරුද්දෙදි.
රූපවාහිනී නාළිකා කීපයකම උදෑසන වැඩසටහන්වලට මනාලියන් හැඩගැන්වීම පිළිබඳව මගේ දැනුම ලබාදෙන්න මට හැකිවුණා. ස්වර්ණවාහිනී නාළිකාවේ ‘අරුණෝදය’ වැඩසටහනින් මනාලියන් හැඩගැන්වීම පිළිබඳව අවස්ථා කීපයකදීම මගේ හැකියාව ඉදිරිපත් කරන්න මට අවස්ථාව ලැබුණා. එහිදී මනාලියන් ලෙස ඉදිරිපත් වුණු තරුණියන් අතර මගේ දුව ශලිනි තාරකාත් සිටියා. ඒ වන විට ඇය පාසල් යනවා. කලක් ඒ විදිහට රූපවාහිනී වැඩසටහන්වලට දායක වන විට ටෙලිනාට්‍යකට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා.
ඒ; කොණ්ඩා මෝස්තර නිරූපණ ශිල්පිනියකගේ චරිතයක් නිරූපණය කිරීමට. ඒ ‘සුරංජලී’ ටෙලිනාට්‍ය. ඒ තමයි මගේ පළමු රංගනය. ඉන්පසුව මම ටෙලිනාට්‍ය ගණනාවකටම විවිධ චරිත ඔස්සේ රංගනයෙන් දායක වුණා. ඒ අතරින් සංජය ගුණවර්ධනගේ ‘මතක මංපෙත’ වගේම ‘හිම කවුළුව‘, නිල් අහස, කිඳුරංගනා, අලුත් ගෙදර, සමනලී, හිරුමලී, සිහින සිතුවම් වැනි ටෙලිනාට්‍ය විශේෂයි. එයින් ‘මතක මංපෙත’ ටෙලිනාට්‍යයේ මම රඟපෑ ලේෂාගේ චරිතයට ප්‍රේක්ෂක ප්‍රතිචාර බොහොමයක් ලැබුණා. ඒ වගේම මේ දිනවල විකාශය වන ‘ආදරේ අහස තරම්’, සිරි වාසල කියන ටෙලිනාට්‍ය වලත් මගේ රංගනයන් ඇතුළත් වුණා.
ඉදිරියේ දී විකාශය වීමට නියමිත ඔබ රඟපෑ ටෙලිනාට්‍ය පිළිබඳවත් සඳහන් කරන්න.
මියැසි අසපුව, ඉරට උඩින්, තරු අහස, අරුන්දතී, නාමල් අරණ වැනි ටෙලිනාට්‍ය ගණනාවකම මගේ රංගන ඇතුළත් වෙනවා.
පාසල් යන කාලයෙත් ඔබ කලා කටයුතුවලට සම්බන්ධ වුණාද?
මගේ උපන් ගම මීගමුව. අම්මා රජයේ ගුරුවරියක්. තාත්තා පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කළා. අම්මත් තාත්තත් රජයේ සේවකයින් නිසා පාසල් කීපයකටම යන්න මට සිදුවුණා. අවසන් වරට මම ඉගෙනගත්තේ බලන්ගොඩ ශාන්ත ඇග්නස් විද්‍යාලයෙන්. පාසලේදීත් මම විවිධ කලා කටයුතුවලට සම්බන්ධ වී සිටියා. ඒ ආභාසය තමයි කලාවේ කිසියම් දුරක් එන්න මට අවස්ථාව ලැබුණේ.
මීගමුව කලාකරුවන් රැසක්ම බිහි කළ බිමක් නේද?
මම දැන් පදිංචි වෙලා ඉන්නෙ මගේ ගම වන මීගමුවේ. රුක්මණී දේවිය, එඩී ජයමාන්න වැනි කලා ක්‍ෂේත්‍රයේ දැවැන්තයින් උපන් බිමක් තමයි මීගමුව. මීගමුවේ උපන් කෙනෙක් වීම ගැන මට හරිම ආඩම්බරයි.
ඔබේ දියණිය රටම ආදරය කරන දක්ෂ රංගන ශිල්පිනියක්?
ඔව්. ඇය ශලිනි තාරකා. පළමු සිරස කුමරිය තරගයෙන් ජයග්‍රහණය කළේ මගේ දුව. ඉන්පසුව ඇය රංගන ක්‍ෂේත්‍රයට එක්වුණා. මේ කෙටි කාලය තුළ මගේ දුව ශලිනි රංගන ක්‍ෂේත්‍රයේ හොඳ ගමනක් ඇවිත් තියෙනවා. ඒ ගැන මේ ලෝකයේ වැඩියෙන්ම සතුටුවෙන්නෙ මම. ඒ මම ඇයගේ අම්මා නිසා. මට විශ්වාසයි මගේ දුවට මේ රටේ රංගන ක්‍ෂේත්‍රයේ ඉතා දිගු ගමනක් යා හැකි බව.
දැන් ඔබට රඟපාන්න අවස්ථාවක් ලැබෙන්නේ දුව ශලිනි නිසාද?
නැහැ. එහෙම දෙයක් නෑ. මම රංගනයට එක්වුණේ දුව පුංචි කාලෙදි. මට ගැළපෙන චරිතවලට අධ්‍යක්ෂවරු මට කතාකරනවා.

මේ වන විට ඔබට දුවත් සමඟ රඟපාන්න අවස්ථාව ලැබී තිබෙනවාද?
ඔව්. නාමල් අරණ ටෙලිනාට්‍යයේත්, ‘සිහිනයකි ජීවිතේ’ ටෙලි නාට්‍යයේත් මගේ දුව ශලිනි එක්ක මම අම්මයි දුවයි විදිහට රඟපෑවා. ඒක මට අමතක නොවන අත්දැකීමක්.
දුවක් හැටියට ශලිනි ඔබට ගොඩක් සමීපද?
ඇත්තෙන්ම ඔව්. දුවක් හැටියට ශලිනි මං කියන දේට හොඳින් ඇහුම්කන් දෙනවා. එයාට මට වසන් කරන්න දෙයක් නෑ. එයාගේ හිතේ තියෙන දේවල් සේරම මාත් එක්ක කියනවා. ඒත් ශලිනි රඟපෑම නිසා කාර්යබහුල වෙලා ඉන්න විට දුව මගෙ ළඟ නැති පාළුව මට තදින් දැනෙනවා.
කලා ක්‍ෂේත්‍රයේ මොනවගේ බලාපොරොත්තු ද ඔබට තියෙන්නේ?
එක දිගටම ටෙලිනාට්‍යවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණු නිසා රඟපෑම දැන් මගේ වෘත්තිය වෙලා ඉවරයි. සිනමාවේ හොඳ චරිතයක් නිරූපණය කරන්න මම ආශාවෙන් ඉන්නවා. ඒ වගේම දිගටම මගේ රංගන හැකියාවන් පෙන්වමින් රංගන ක්‍ෂේත්‍රයේ ඉදිරියට යාමයි බලාපොරොත්තුව.
READ MORE - අම්මයි දුවයි විදියට ශලිනියි මමයි ඇත්තට ම රඟපෑවා

චිත්‍රපට සංස්ථාවෙන් කෙටි චිත්‍රපට තරගයක්

නිර්මාණශීලී හැකියාව ඇති යොවුන් පරපුර සිනමාව කෙරෙහි යොමු කිරීමේ අරමුණින් ජාතික චිත්‍රපට සංස්ථාව කෙටි චිත්‍රපට තරගයක් ආරම්භ කර ඇත. වැඩි විස්තර – අංශ ප්‍රධානී, සිනමා සංස්කෘතික කාර්යාංශය, ජාතික චිත්‍රපට සංස්ථාව, අංක 224, බෞද්ධාලෝක මාවත, කොළඹ 7. දුරකථන අංකය – 0112585721 යන ලිපිනයෙන් ලබාගත හැකිය.
Silumina
READ MORE - චිත්‍රපට සංස්ථාවෙන් කෙටි චිත්‍රපට තරගයක්

උපනෙත ප්‍රතිබිම්බ කලා උලෙළ ලයනල් වෙන්ට්ඩ් කලාගාරයේදී

කැලණිය විශ්වවිද්‍යාලයීය ප්‍රතිබිම්බ කලා විශේෂවේදී උපාධිය හදාරන අවසන් වසර විද්‍යාර්ථීන්ගේ නිර්මාණ එළිදක්වන ‘උපනෙත ප්‍රතිබිම්බ කලා උලෙළ’ මේ මස 22, 23, 24 දිනයන්හි කොළඹ ලයනල් වෙන්ට්ඩ් කලාගාරයේදී පැවැත්වේ. ප්‍රවීණ සිනමාවේදී සුමිත්‍රා පීරිස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ‘උපනෙත ඡායාරූප ප්‍රදර්ශනයේදී මෙවර ඡායාරූප මෙන් ම වීඩියෝ මාධ්‍ය ප්‍රදර්ශනයන් ද සිදු කෙරේ. උපනෙත ඡායාරූප ප්‍රදර්ශනයක් විශ්වවිද්‍යාල භූමියෙන් බැහැරව සිදුකරන ප්‍රථම අවස්ථාව ද මෙය වේ.
READ MORE - උපනෙත ප්‍රතිබිම්බ කලා උලෙළ ලයනල් වෙන්ට්ඩ් කලාගාරයේදී

නාමෙල්-මාලිනි රඟහලේ 9 වැනි සංවත්සරයට නාට්‍ය උලෙළක්


නාමෙල්-මාලිනි රඟහලේ 9 වැනි සංවත්සරයට නාට්‍ය උලෙළක්

නාමෙල් මාලනී පුංචි රඟහලට වසර 9 ක් පිරීම නිමිත්තෙන් ඉදිරිපත් කෙරෙන නාට්‍ය මාලාවේ අද (21) දින පසිඳු කලායතනයේ ‘අපේකමට පුංචි අපෙන්’ නාට්‍යය වේදිකාගත වෙයි.
හෙට (22) තරිඳු තාරක ආතාවුද ගේ මුහුණු තුනක් (කෙටි නාට්‍යය) ද 23 දා නාමෙල් වීරමුනිගේ ‘මාධ්‍යවේදියෙකුගේ අසිපත’ ද 24 දා කේ.බී. හේරත් ගේ ‘කලු කුමාරි’ ද 25 දා බුද්ධික දමයන්තගේ ‘සිංදු කිරිල්ලි’ ද 26 දා ධර්මසිරි බණ්ඩාරනායක ගේ ‘ඒකාධිපති’ ද 27 දා ජී.ඩී.එල්. පෙරේරාගේ ‘රට ගිය ඇත්තෝ’ (ටෙලි චිත්‍රපටය) ද 28 දා නාමෙල් වීරමුනිගේ ‘නැට්ටුක්කාරි’ ද 30 දා නාමෙල් වීරමුනිගේ ‘දීගෙක ඇවිත්’/ ‘කන්දෝස්කිරියාව‘ ද 31 දා නාමෙල් වීරමුනි ගේ ‘පණ්ඩිත පිල්ලි’/ ‘හෙයියම්මාරුව‘ ද වේදිකාගත වෙයි.
Silumina
READ MORE - නාමෙල්-මාලිනි රඟහලේ 9 වැනි සංවත්සරයට නාට්‍ය උලෙළක්

‘මිරර්’ 17 කලාපය එළිදකී


‘මිරර්’ 17 කලාපය එළිදකී

ප්‍රියන්ත ජයරත්නගේ ප්‍රධාන සංස්කාරකත්වයෙන් සහ තුසිත ජයසුන්දරගේ සම සංස්කාරකත්වයෙන් පළවන ‘මිරර්’ සඟරාවේ 17 කලාපය (ඔක්තෝබර්) පසුගියදා එළිදුටුවේය.
ප්‍රියන්ත ජයරත්න, චතුරිකා සඳමාලි, චලනි ප්‍රසංගිකා මෙවර කලාපයට ලිපි සපයා ඇති අතර ආචාර්ය තිස්ස අබේසේකර සහ චන්දන සිල්වාගේ ලිපි දෙකක් මෙහිලා නැවත පළකර ඇත.

Silumina
READ MORE - ‘මිරර්’ 17 කලාපය එළිදකී

අඩදබර නැතිවුණාට හිත් රිදීම් තිබුණා


අඩදබර නැතිවුණාට හිත් රිදීම් තිබුණා

රසාංගනී සන්නස්ගල
උපුල් ශාන්ත සන්නස්ගලගේ ආදරණීය බිරිය
මෙවර ‘දෘෂ්ටිකෝණය’ විශේෂාංගය වෙන් වනුයේ අපේ රටේ අතිශය ජනප්‍රිය පුද්ගලයෙකුගේ ජීවිතය බෙදා හදාගන්නා ආදරණීය බිරියක් වෙනුවෙනි. ඔහු මේ රටේ උපකාරක පන්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛතමයා යැයි කිව්වත් නිවැරදියි. එපමණක් නොවෙයි අපේ රටේ නවකතා කලාවේ, ගීත රචනා ක්ෂේත්‍රයේ මෙන් ම සිනමාවේ ද කිසියම් වූ විප්ලවීය වෙනසක් සිදු කළ අයෙක්. ඔහු උපුල් ශාන්ත සන්නස්ගල. මෙවර ‘දෘෂ්ටිකෝණය’ ට එක්වන්නේ ඔහුගේ ප්‍රිය බිරිය වන රසාංගනී ප්‍රදීපිකා සන්නස්ගලයි.
ඔබ උපුල් ශාන්ත සන්නස්ගලගේ බිරිය වන්නට කලින් ඔබ ගැන හැඳින්වීමක් කළොත්?
මම රසාංගනී ප්‍රදීපිකා කොඩිකාර. මගේ ගම ගාල්ල කොටුව. ඉගෙන ගත්තේ ගාල්ලේ සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලයේ. හත් දෙනෙකුගෙන් යුතු පවුලක බාලයා මමයි. මගේ අම්මයි තාත්තයි දෙන්නම දැන් ජීවතුන් අතර නැහැ.
ඔබත් සන්නස්ගලත් අතර මුල් ම හමුවීම සිදුවුණේ කොහොමද?
මට මුලින් ම ඔහු හමුවුණේ විශ්ව විද්‍යාලයේදී. අපි දෙන්නම ඒ කාලේ කොළඹ විශ්ව විද්‍යාලයේ එකම වසරේ සිසුන්. මගේ යාළුවෙක් හිටියා ප්‍රියන්ති කියලා. එයා දවසක් මට උපුල්ව හඳුන්වලා දුන්නා. මෙයා තමයි උපුල් මෙයා පත්තරේට එහෙම ලිපි ලියන කෙනෙක් කියලා.
ඊට පස්සෙ ඔබ දෙදෙනා ප්‍රේමවන්තයින් වුණා ද?
ටික කාලයක් අපි යාළුවෝ විදියට ආශ්‍රය කළා. ඔහොම ඉන්න අතරේ දවසක් උපුල් මට එයාගේ ප්‍රේමය ප්‍රකාශ කළා. උපුල් සමඟ කරපු ආශ්‍රයේදී ඒ වෙනකොටත් මට දැනිලා තිබුණා අපි දෙන්නටම එකවගේ සිතුවිලි තිබෙන, එකවගේ හිතන ස්වරූපයක් තිබුණා කියලා. ඒ නිසා ඔහු මට ප්‍රිය මනාප පුද්ගලයෙක්
වෙලා තිබුණේ. මට හිතුණා ඔහු මට ගැළපෙනව කියලා. ඒ නිසා මමත් ඔහුට කැමැති වුණා.
ඔබ දෙදෙනා විවාහ වුණේ කවදාද?
1991 දී.
විවාහයෙන් පස්සෙ පදිංචි වුණේ කොහේද?
විවාහයෙන් පස්සෙ පන්නිපිටියේ කුලී ගෙදරක තමයි අපි දෙන්නා පදිංචි වුණේ. මම රැකියාවක් කළේ නෑ. උපුල් විශ්ව විද්‍යාලෙ ඉන්න කාලේ ඉඳන් ම ටියුෂන් කළානේ.
විවාහ ජීවිතය ගත කරද්දී සන්නස්ගලගේ ගති ස්වභාව වෙනස් වුණා ද?
නෑ. එදා හිටිය උපුල්ම තමයි. හැබැයි ඔහු වගකීම් වැඩියෙන් දැරුවා. විවාහ වන තුරු ම මමත් ඒ තරම්ම සමාජයේ තැලී පොඩි වුණු අත්දැකීම් ඇති ජීවිතයක් ගත කළේ නෑ. ඒ නිසා ගෙදර බොහෝ වගකීම් එයා ගත්තා. ගෙදරට බඩු මුට්ටු ගෙන ඒම පවා. නමුත් දැන්නම් එයා ඒ සියල්ලම මගේ පිට පටවලා තිබෙනවා. අපේ ආදරයේ වෙනසක් නෑ. නමුත් එයා ගත කරන අතිශය කාර්ය බහුල ජීවිතය නිසා නිවාඩු පාඩුව අපි සියලු දෙනාටම එකට ඉන්න තිබෙන අවස්ථාව අඩුයි. නමුත් අපි සැහැල්ලුවෙන් නිදහසේ ජීවත්වෙනවා.
සැමියෙක් විදියට ඔහුගේ ඔබ දකින සුවිශේෂතා මොනවාද?
තමන්ගේ බිරිය කියලා ඔහු මට ඉතාම ඉහළින් ගෞරව කරනවා. ඒකට මම ගොඩක් ආසයි. මම දන්න බොහෝ සැමියන් ඉන්නවා තමන්ගේ බිරියට ගෞරව නොකරන. එවැනි ගෞරවයක් ඔහු මට පිරිනැමුවේ නැතිනම් මෙච්චර කල් මම ඔහුත් එක්ක ඉන්න එකකුත් නෑ.
ඔබලාගේ විවාහ ජීවිතයට දැන් වසර 21 කුත් ගතවෙලා. මේ ගෙවුණු කාලය ඇතුළත අඩදබර - ආරවුල් හිත් අමනාපකම් ඇතිවෙලා තිබෙනවාද?
අඩ - දබර නම් කවදාවත් ඇතිවෙලා නෑ. ඒත් හිත් රිදීම් අමනාපකම් නම් ඇතිවෙලා තිබෙනවා. බොහෝ විට එවැනි දේ ඇතිවෙන්නෙත් ඔහුගේ කාර්ය බහුල කම නිසාවෙන්. මට මතකයි අපි විවාහ වුණු මුල් කාලේ මගේ අක්කාගේ වෙඩින් එකට මට යන්න වුණේ තනියම. දැන් අවුරුදු තුනකට විතර උඩදි මගේ අම්මා නැති වුණා. මළ ගෙදරට ආවට හත් දවසෙ දානෙට එයාට එන්න බැරි වුණා. ඒ වගේ වෙලාවට එයා හිටියා නම් හොඳයි නේද? කියලා මට හිත් රිදීම් ඇතිවෙනවා. ඒ මොනව වුණත් ඉතින් ඔහුගේ කාර්ය බහුලකමත් මම අවබෝධ කරගෙන ඉන්නේ.
තාත්ත කෙනෙක් විදියට ඔහු දරුවන්ගේ යුතුකම් ඉටු කරන්නේ කොහොමද?
මම හිතන්නේ ඔහු ඒත් මටත් වැඩිය හොඳට ඉටු කරනවා කියලයි.
ඔහු හිතුවක්කාරයෙක්ද? කේන්තිකාරයෙක් ද?
කේන්ති යනවා නම් හරි අඩුයි. ඒත් දැන් මට හිතෙනවා බයිපාස් එකෙන් පස්සෙ ටිකක් කේන්ති යනවද කියලත්. හැබැයි ඔහු හිතුවක්කාරයෙක් තමයි.
READ MORE - අඩදබර නැතිවුණාට හිත් රිදීම් තිබුණා

ජපානයේ ‘ඔෂින්’ ට පසු කොරියාවෙන් ‘සුජාත දියණියක්’


ජපානයේ ‘ඔෂින්’ ට පසු කොරියාවෙන් ‘සුජාත දියණියක්’

‘චංගුමී අනාථ දැරියක වූයේ කුඩා කාලයේ දී දෙමවුපියන් අහිමිවීම නිසා. කොරියානු රජ මාලිගයේ මුළුතැන්ගෙයි සේවිකාවක බවට පත්වන චංගුමි එහි චාරිත්‍ර වාරිත්‍ර අනුව හැඩ ගැසෙනුයේ මහත් අධිෂ්ඨානයකිනි. විවිධ හැලහැප්පීම් හමුවේ නොසැලී සිටින ඇය අවසානයේ රජ මාලිගයේ රාජකීය වෛද්‍යවරිය බවට ද පත්වන්නීය.
කොරියානු රජයෙන් මෙරටට ලැබෙන තිළිණයක් ලෙස එරට තානාපති කාර්යාලයෙන් ලබාදී ඇති ‘සුජාත දියණි’ මාලා නාටකය කොරියානු සංස්කෘතිය මෙන් ම කොරියානු ගැහැනිය පිළිබඳව කියැවෙන අපූරු කතාවකින් යුතු ය. කුමන සංස්කෘතියකදී වුව සාර්ථකත්වයට පත්වන ගැහැනිය සියල්ල අබිබවා යන අන්දමේ දිරියකින් යුතු තැනැත්තියකම බව මෙයින් ඉස්මතු වන තවත් අරුතකි.
‘සුජාත දියණී’ ඉදිරිපත් වීමට නියමිතව ඇත්තේ සිංහලෙන් හඬ කැවූ ටෙලිනාට්‍යයක් ලෙසිනි. මෙහිදී හමුවන චරිත ප්‍රමාණය විශාල නිසා ම හඬ කැවීම සඳහා ශිල්පීන් 200 ක පමණ පිරිසකගේ දායකත්වය ලබාගැනීමට සිදුවිණැයි ජාතික රූපවාහිනියේ හඬ කැවීම් ඒකකයේ ප්‍රධානී අතුල රන්සිරිලාල් සඳහන් කරයි.
‘සුජාත දියණි’ හඬ කැවීම සඳහා නිමැයුම් මෙහෙයුම උපදෙස් ලබාදී ඇත්තේ ද අතුල රන්සිරිලාල් ය. මෙහි දෙබස් පිටපත සකස්කර ඇත්තේ නන්දා ජයමාන්න, බන්දුල විතානගේ සහ බුද්ධිමා කරුණාරත්න ය.
මෙහි හඬ කැවීම් පිළිබඳ ප්‍රවීණ ශිල්පිනියක් වන කුසුම් පීරිස් තම අදහස් පළ කරන්නේ මෙසේයි.
මම ඉතා කැමැත්තෙන් මෙයට සහභාගි වුණා. මෙය කාන්තාවන් නැරඹිය යුතු ඉතා හොඳ ටෙලිනාට්‍යයක් බව මගේ හැඟීමයි.” “දීර්ඝ කාලයක් හඬ කැවීම් ක්ෂේත්‍රයේ රැඳී සිටින්නෙක් ලෙස මට මෙම ‘සුජාත දියණි’ ටෙලිනාට්‍යයේ ‘ඩුක්කු’ ගේ චරිතය විශේෂයි.
මෙය ප්‍රේක්ෂකයාගේ මතකයේ රැදෙන චරිතයක් වේවි යයි මා සිතනවා” යනුවෙන් පවසන්නේ ‘සුජාත දියණී’ හි ඩුක්කුගේ චරිතය සඳහා හඬ කැවීමට දායක වන ප්‍රවීණ හඬ රංගවේදී පරාක්‍රම පෙරේරායි.
මර්සි එදිරිසිංහ ‘සුජාත දියණි’ පිළිබඳ පවසන්නේ “මෙම ටෙලිනාට්‍යයේ තේමාව බවට පත්වී ඇත්තේ නොසැලෙන දිරිය දියණියන් පිළිබඳවයි. මෙය කාන්තා පරපුරටම ආදර්ශයක් වේ යැයි මා සිතනවා.”
‘සුජාත දියණි’ විකාශය වීමට නියමිතව ඇත්තේ සතියේ දිනවල සවස 6.30 සිට 7.30 දක්වා ය. දැනට විකාශය වන ‘ඔෂීන්’ ටෙලිනාට්‍යය නිමාවීමෙන් අනතුරුව මෙය විකශය වීමට නියමිත ය.
READ MORE - ජපානයේ ‘ඔෂින්’ ට පසු කොරියාවෙන් ‘සුජාත දියණියක්’

අනුත්තරා සම්බන්ධකම් පවත්වනවා.


විනෝදෙට රඟපාන්න මම කැමැති නෑ

- ශේෂාද්‍රි ප්‍රියසාද්
ඇය ශේෂාද්‍රි ප්‍රියසාද්. මේ දිනවල දිවයින පුරා තිරගතවන උදය කාන්ත වර්ණසූරියගේ ‘සෙනසුරු මාරුව‘ චිත්‍රපටයේ අනුත්තරාගේ චරිතය නිරූපණය කරන්නේ ශේෂාද්‍රිය. ඇය කලා පවුලක එක් සාමාජිකාවකි.
චිත්‍රපට අධ්‍යක්ෂ දිනේෂ් ප්‍රියසාද් ශේෂාද්‍රිගේ පියාණන් ය. ඇයගේ සොයුරියන් දෙදෙනා ද අද දක්ෂ රංගන ශිල්පිනියෝ ය. අද ‘තරුවක් සමඟ වරුවක්’ විශේෂාංගය වෙන්වෙන්නේ ශේෂාද්‍රි සමඟ කළ කතා බහ වෙනුවෙනි.
‘සෙනසුරු මාරුව’ ඔබේ කී වැනි චිත්‍රපටය ද?
මේ වනවිට මම චිත්‍රපට තුනක රඟපාල තියෙනව. ‘චැලෙන්ජර්’ ඇද්ද ලණුව දැම්ම කොඩිය’ සහ ‘සෙනසුරු මාරුව‘. සෙනසුරු මාරුව තිරගත වුණු මගේ දෙවැනි චිත්‍රපටය. ‘ඇද්ද ලණුව දැම්ම කොඩිය’ චිත්‍රපටය තවම තිරගත වෙලා නෑ.
‘සෙනසුරු මාරුව’ චිත්‍රපටයේ අනුත්තරා ගැන කතා කරමු...
අනුත්තරා ධනවත් පවුලක ගැහැනු ළමයෙක්. කොපමණ සැප සම්පත් තිබුණත් ඇය ජීවත්වෙන්නෙ හරිම මානසික පීඩනයකින්; කනස්සල්ලකින්. අනුත්තරා සමාජයේ වැරදි වැඩ කරන පුද්ගලයන්, පාතාලයේ සාමාජිකයින් සමඟ සම්බන්ධකම් පවත්වනවා.
තාත්තගෙ ක්‍රියා නිසා අනුත්තරා ආදරය කරන පෙම්වතා ඇයට අහිමි වෙනවා. ඇයට සිදුවෙන්නෙ ඇය අකැමැති කෙනෙක් එක්ක විවාහ වෙන්න. ඒ නිසා ඇය විශාල හිත්තැවුලකින් ඉන්නෙ. අවසානයේ දී තාත්තාට ඔහු කරන වැරදි වැඩ පිළිබඳවත් ජීවිතයේ යථාර්ථය පෙන්වා දෙන්න අනුත්තරාට හැකි වෙනවා. අනුත්තරා ඉතාම සංවේදී චරිතයක්.
උදය කාන්ත වර්ණසූරිය වැනි අධ්‍යක්ෂවරයකුගේ නිර්මාණවල රඟපාන්න ලැබීම ගැන ඔබ මොනවාද හිතන්නේ?
මාව සිනමාවට හඳුන්වා දුන්නේ උදයකාන්ත මහත්මය; ඒ ‘චැලෙන්ජර්’ චිත්‍රපටයෙන්. ඔහුගේ ඊළඟ චිත්‍රපටය වන ‘සෙනසුරු මාරුව‘ටත් මාව සම්බන්ධ කරගත්තා. ඔහුගේ අධ්‍යක්ෂණය යටතේ රඟපාන්න ලැබීම මා ලැබූ භාග්‍යයක්. මම සිනමාවට එන්න පෙර ඉඳලම උදයකාන්ත මහත්තයගෙ චිත්‍රපට වලට ආශා කළා.
චැලෙන්ජර් චිත්‍රපටයට හොඳ ප්‍රතිචාර ලැබුණ ද?
‘චැලෙන්ජර්’ මගේ පළමු චිත්‍රපටය. එහි මම නිරූපණය කළේ මගේ සාමාන්‍ය සරල ජීවිතය. ගොඩක් හොඳ ප්‍රතිචාර ‘චැලෙන්ජර්’ චිත්‍රපටයට ලැබුණා. ‘සෙනසුරු මාරුවේ’ මගේ චරිතය ගැඹුරු චරිතයක්. එහි කරන්න ගොඩක් දේවල් තිබුණා.
මේ දිනවල ඔබ මොනවද කරන්නෙ?
‘සෙනසුරු මාරුව‘ චිත්‍රපටය තිරගත වීම ඇරඹුණේ පසුගිය සතියේ. එහි යම් යම් වැඩ වලට මම සහභාගි වෙනවා. ඒ නිසා මේ දවස්වල තරමක් කාර්ය බහුලයි. ඊට අමතරව දෙසැම්බර් මාසයේ රූපගත කිරීම් ඇරඹෙන අලුත් චිත්‍රපටයකට මට ආරාධනා ලැබිල තියෙනව. ඒ සඳහාත් මේ දිනවල සූදානම් වෙනවා. ඊට අමතරව මගේ අධ්‍යාපන කටයුතුවලට වැඩි අවධානයක් යොමු කරනවා.
මොනවද ඔබ ඉගෙන ගන්නේ...?
මම විවෘත විශ්ව විද්‍යාලයේ කළමනාකරණය පිළිබඳ උපාධිය හදාරනවා. මගේ බලාපොරොත්තුව ඒ උපාධිය හොඳින් සම්පූර්ණ කිරීමටයි.
ශේෂාද්‍රි දැන් ඔබ වෘත්තීය නිළියක් ද?
වෘත්තීය නිළියක් වෙන්න ඕන කියන හැඟීම මට තිබුණේ නෑ. නමුත් රඟපෑම වෘත්තීය මට්ටමකින් කරන්න ඕන කියන අදහස මගේ හිතේ හැමදාම තිබුණා. රඟපෑම විනෝදාංශයක් ලෙස කරන්න මම කැමැති නෑ. රඟපෑමට ගියාම තමන්ගේ පවුලේ අයත් එක්ක ඉන්න තියෙන කාලය, වෙනත් වැඩවලට යොදන්න තියෙන කාලය අපට අහිමි වෙනවා. ඒ වගේ ම හොඳ කැපවීමකින් රඟපෑම කළ යුතුයි.
ඒනිසා රඟපෑම විනෝදාංශයක් විදියට මම හිතන්නේ නෑ. මේ වනවිට මම රඟපෑම වෘත්තීය මට්ටමෙන් කරගෙන යනවා. නමුත් මම ඉගෙන ගන්නා ව්‍යාපාර අධ්‍යයන ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්නයි මගේ එකම බලාපොරොත්තුව. ඉදිරියේ දී ව්‍යාපාර ක්ෂේත්‍රයේත් රංගන ක්ෂේත්‍රයේත් දෙකේම සමබරව යෙදෙන්න බලාපොරොත්තු වෙනවා.
ඔබ රූපවාහිනී වැඩසටහනක් ඉදිරිපත් කරන්නත් දායක වෙනවා නේද?
ඔව් මම දෙරණ නාළිකාවේ ‘100% Youth’ වැඩසටහන ඉදිරිපත් කරනවා. දැන් රඟපෑවට,
පුංචි කාලෙ ඉඳලම මම නිවේදන කටයුතු කළා. 2000 අවුරුද්දේ ‘පුංචි පැංචි’ වැඩසටහන ඉදිරිපත් කරන්න සම්බන්ධ වුණා. ඉන්පසුව Dialog - Tv එකේ චැනල් එකේ වැඩසටහන් ඉදිරිපත් කළා. දෙරණ නාළිකාවේ මම ඉදිරිපත් කරන වැඩසටහන තරුණ පරපුර වෙනුවෙන් ම වෙන්වූ වැඩසටහනක්. ඒ වැඩසටහස මට ගැළපෙන නිසයි එයට සහභාගි වුණේ.
ඔබේ රංගන චිත්‍රපටවලට පමණක් සීමා කිරීම ඔබට පාඩුවක් නෙමෙයි ද?
මුලින් ම කියන්න ඕන ටෙලිනාට්‍යවල රඟපෑම මම කොහෙත් ම අවතක්සේරු කරන්නේ නෑ. හොඳ ටෙලිනාට්‍ය මම ඉතාම ආශාවෙන් නරඹනවා. ටෙලිනාට්‍යවල රඟපෑමෙන් ජනප්‍රිය වෙන්න පුළුවනි. නමුත් ඒක නෙමෙයි මගේ අරමුණ. මම කැමැති සිනමාවෙන් ඉදිරියට යන්න. ඒ නිසයි මම සිනමාව තෝරාගත්තේ.
අක්කයි ඔබයි නංගියි තිදෙනාම රඟපෑම ගැන දෙමව්පියන්ගේ අදහස කුමක්ද?
අපි තුන් දෙනා රඟපෑ යුතුයි කියන අදහසත් අම්මටවත් තාත්තටවත් තිබුණේ නෑ. අපි ඉගෙන ගත්තෙ Holy family convent එකේ. පාසලේදී රඟපෑම්වල යෙදෙන්න ඉඩක් ලැබුණේ නෑ. අක්කත් මමත් නංගිත් රඟපෑමට එක්වීම ගැන දැන් අම්මයි තාත්තයි සතුටු වෙනවා.
ඔබ තිදෙනාට එකම නිර්මාණයක රඟපාන්න අවස්ථාව ලැබිලා නැතිද?
අක්කයි මමයි එක නිර්මාණයක රඟපෑවා. නංගියි මමත් එක නිර්මාණයක රඟපෑවා. අක්කත් නංගි එක්ක රඟපාල තියෙනව. නමුත් අපි තුන් දෙනාට තවම එක නිර්මාණයක රඟපාන්න අවස්ථාව ලැබිල නෑ. එහෙම ලැබුණොත් ඒක අපූරු අත්දැකීමක් වේවි.
ඔබ තෝරාගන්නා පෙම්වතාට ඔබේ මව්පියන් කැමැතිවේවිද?
ජීවිත කාලයම සතුටින්, සහයෝගයෙන් ඉන්න කෙනෙක් එක්කයි මම විවාහවෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඕනෑම දෙමව්පියකුගේ සතුටත් තමන්ගේ දරුවන් සතුටින් ඉන්නව දකින එකනේ. ඉතින් මට සුදුසු කෙනෙක් ලැබුනොත් ඒකට අම්මයි තාත්තයි අකැමැති වෙයි කියල මම හිතන්නේ නෑ. නමුත් තාම මට එහෙම කෙනෙක් නෑ.
READ MORE - අනුත්තරා සම්බන්ධකම් පවත්වනවා.

කම්මැලියා පැනලා ගියා

Thursday, October 18, 2012



පුංචි දුලාජ් හමුවෙමු

‘රංගනයටම උපන් හපන්කම් ඇති දරුවෙක්’ දුලාජ් පුතාගේ හපන්කම් දැක්ක බොහොම දෙනෙක් කිව්වා. ඒ කිව්ව කාරණය හැබෑ කරමින් දුලාජ් චාමර හසලංකට මෙවර රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේදී හොඳම සහාය නළුවාට හිමි සම්මානය හිමි වුණා.
ඒ ‘මමයි මමයි හරි යාළුයි’ කියන වේදිකා නාට්‍යයේ විහඟගේ සිත ලෙස රඟපාමින් කළ රංගනයටයි. ඒ විතරක් නෙමෙයි ඒ උළෙලේ විවෘත අංශයේ ඉංග්‍රීසි නාට්‍ය අංශයෙන් ඉදිරිපත් කළ ‘ලේසි වන් පීල්ඩ්’ කියන වේදිකා නාට්‍යයේ රඟපෑ පොතේ ගුරුගේ චරිතය සඳහාත් ඔහුටම හොඳම සහාය නළුවාට හිමි සම්මානය හිමි වුණා. රංගනයට අත්පොත් තබන්න ඉන්නා දුලාජ්ට මේ ලැබුණු සම්මාන මහ මෙරක් තරම්.
‘මගේ දක්ෂතා දැක්ක බොහොම දෙනෙක් මට සම්මානයක් ලැබෙන බව කිව්වා. සම්මාන දෙන වෙලාවේ මගේ හිතේ පුංචි තිගැස්මක් තිබුණා. සිතේ ඇතිවුණු සතුටට මම අම්මට තුරුලු වුණා. හැමෝගෙම ඔල්වරසන් හඬ මැද්දේ වේදිකාවට නැග්ග මගේ සිතට දැනුණේ පුදුම සතුටක්.’ දුලාජ්ගේ ජයග්‍රහණයෙන් ඔහු වගේම සතුටට පත්වෙන තවත් අයෙක් ඉන්නවා. ඒ ඔහු අධ්‍යාපනය ලබන හොරණ විද්‍යාරත්න විශ්ව විද්‍යා පීඨය පාසලයි.
‘මගේ දක්ෂතා මුලින්ම හඳුනා ගත්තේ පාසලයි. එතනදි පුබුදු සුභාෂණ කුරුගල ගුරුතුමාට විශේෂ ස්තුතියක් හිමි විය යුතුය. මගේ දක්ෂතා හඳුනා ගත්ත පුබුදු සර් ඔහු අධ්‍යක්ෂණය කළ ‘කම්මැලියා පැනලා ගියා’ පාසල් නාට්‍යයට තමයි මාව මුලින්ම තෝරා ගත්තේ. පාසල් නාට්‍ය උළෙලේදී හොඳම පාසල් නාට්‍යය විදියට අපට සම්මානයක් ලැබුණා. ඊළඟට සමස්ත ලංකා ගණිත නාට්‍ය තරගයට ඉදිරිපත් කළ ‘පුංචි එකා’ නාට්‍යයටත් ප්‍රථම ස්ථානය හිමි වුණා. මේ අතරෙදි 2011 වසරේ තිබුණු ජාතික ළමා නාට්‍ය උළෙලට පුබුදු සර් ‘චූටි බබා ලොකු ළමයෙක්’ නාට්‍යය ඉදිරිපත් කළා.
ඒ නාට්‍යයේ මම රඟපෑවේ ප්‍රධාන චරිතයයි. ඒ චරිතයට මට හොඳම නළුවාට හිමි සම්මානය ලැබුණා. මගේ ජීවිතයේදී මට මුලින්ම ලැබුණු මේ සම්මානය රංගනයට නැඹුරු කරන්න හේතුවක් වුණා. අදත් මගේ පාසල් විෂයයන් අතරින් මා වඩාත් කැමැති නාට්‍ය හා රංග කලා විෂයයට වගේම සෞඛයය විෂ්‍යයටයි. මගේ අනාගත බලාපොරොත්තුව හොඳින් ඉගෙන ගෙන දක්ෂ රංගන ශිල්පියෙක් වන්නයි.
හොරණ විද්‍යාරත්න විශ්ව විද්‍යා පීඨයේ 9 ශ්‍රේණියේ අකුරු කරනා දුලාජ් චාමර ඉගෙන ගන්නත් දක්ෂයා. අධ්‍යාපන කටයුතු අතරේ සවස් යාමය වෙන් කරන්නේ නාට්‍ය පුහුණුවීම් කටයුතුª වෙනුවෙන්. නැත්නම් සිරස නාලිකාවේ උදෑසන විකාශය වන පුංචි ළමයින් අතර ප්‍රසිද්ධ කාටුන් වැඩ සටහනක් වන ‘චණ්ඩි’ කාටුන් වැඩ සටහනින් චණ්ඩිට හඬ කවන්නයි.


‘පාසලේදී චණ්ඩිට ලැබෙන ප්‍රතිචාර නම් ගොඩක් හොඳයි. ඒ වගේම මේ වෙන කොට ඒකාංගික ටෙලි නාට්‍ය කිහිපයකටම මා රංගනයෙන් සහභාගි වුණා. බෞද්ධ නාලිකාවේ පෝයට විකාශය වුණු ‘ආශාව’ ඒකාංගික ටෙලි නාට්‍යයේ සුනෙත් කියන ළමයාගේ චරිතය මම බොහොම ආශාවෙන් රඟපෑවා. ස්වාධීන රූපවාහිනියේ විකාශය වුණු ‘අඳුර බිඳි සඳ’ කියන ඒකාංගික ටෙලි නාට්‍යයේ හාමුදුරුවන්ගේ චරිතයටත් මම ගොඩක් ආදරෙයි.’
දුලාජ්ගේ ජීවිතයේ ලබා ගන්නා ජයග්‍රහණයන් පසු පස්සේ ඉන්න සෙවනැල්ල ඔහුගේ අම්මා සුභානි දීපිකා. පිළියන්දල රජයේ රෝහලේ සෞඛ්‍ය සහායිකාවක් විදියට කටයුතු කරන ඈ සිය පුතුගේ දක්ෂතාවය හඳුනා ගත්ත දයාබර මවක්.
‘මම නිතරම උත්සාහ කරන්නේ පාසල් කටයුතුත්, නාට්‍යය කටයුතුත් සම බරව කරගෙන යන්නයි. මේ දක්වා රංගන කටයුතු දියුණු කර ගන්න උදව් කළ හැමෝටම මම ස්තුති කරනවා. අම්මා වගේම තාත්තා නිමල් ප්‍රේමසිරිත්, අයියා විශ්ව ප්‍රමෝද් ආදරයෙන් මතක් කරන්න ඕනෑ.’
දුලාජ් චාමරගේ සතුට ඉහවහා ගිහින්. ඔහු අම්මාට තුරුලු වුණා. ඒ ඇයත් සමඟ ඒ සතුට බෙදා හදා ගන්න වගේ.
READ MORE - කම්මැලියා පැනලා ගියා

මොනාලිසාට සමවන අමන්දාගේ සිනහව


මොනාලිසාට සමවන අමන්දාගේ සිනහව

කර්ම

ප්‍රසන්න ජයකොඩිගේ කර්ම ගැන සුදත් දේවප්‍රියගේ අදහස්
සිනමා කෘතියක් පිළිබඳ තවත් සිනමාකරුවකු අදහස් පළ කරන්නේ බොහෝ කලාතුරකින්. මේ එබඳු දුර්ලභ අවස්ථාවක්. ‘අඹ යහළුවෝ’ ටෙලි නාට්‍යය නිර්මාණය කොට කීර්තියට පත් සුදත් දේවප්‍රිය තරණය, උඩු ගං යාමය චිත්‍රපට නිර්මාණය කොට සිනමාවේ නමක් තැබුවේය. උඩුගං යාමය, සරසවිය, ජනාධිපති සම්මාන රැසක් දිනා ගත්තේය. මේ දිනවල තිරගත වන ප්‍රසන්න ජයකොඩිගේ කර්ම නරඹා උදම් වූ සුදත් ඒ පිළිබඳ ලියා එවූ ලිපියකි මේ.
සුදත් දේවප්‍රිය
සිනමාව යනු යථාර්ථයම නොවේ.
එය හඹා යන කාලය අල්ලා හසුකර ගැනීමට දරන්නා වූ අති වෙහෙස කර ව්‍යායාමයකි. එසේම සිනමාව යනු අපට අභිමත ලෙස එකට අමුණා, බලෙන් ඔබවා, සකසනු ලබන රූප පද්ධතියක් ද නොවේ.
එය පොදු කාල රටාවක් විසින් නිසඟයෙන්ම ඉල්ලා සිටින රූප මාලාවකි. මෙකී ගුණ සමුදාය කලා ක්ෂේත්‍රය තුළ වැඩි වශයෙන් පවතින්නේ ද සිනමාවේ පමණකි. එහෙත් මෙම අනඟි ගුණය හරි හැටි වටහා නොගත් නිසා හුදු කතන්දර කලාවක් බවට පත් වූ සිනමාව, සිනමාවේ මූලික ගුණය වන කාලය හා අවකාශය නියම ලෙස ග්‍රහණය කර ගැනීමේ හැකියාවෙන් ද අද වියුක්තව සිටී.
ප්‍රසන්න ජයකොඩි සිනමාවේදියාගේ කර්ම චිත්‍රපටය අපට වැදගත් වන්නේ මෙම පසුබිම තුළ අප සිනමාව සතු විශේෂත්වයන් ගැන විමසිලිමත් වන විටය. ඒ අනුව බලන විට කර්ම යනු සැබැවින්ම හෙළ සිනමාවට දායාද වූ අනඟි තිළිණයකි. කර්ම හුදු කතන්දර කලාව මත යැපෙන අපේ සිනමා සම්ප්‍රදායයෙන් ඔබ්බට ගොස් සිනමාව සතු සත්‍යතාවයන් මනාව හසුකර ගැනීමකි.
කර්ම සරල රේඛීයව පෙනෙන කතන්දරයක් අපට නොකියයි. ත්‍රිකෝණගත චරිත ලෙසින් පියල් හා අමන්දාත්, නදීත් අපට හමුවන අතර මෙම චරිත එකිනෙකට වෙනස් වූ බවක් දක්වයි. එකකු අනිකාගේ ජීවිතයට ඉව අල්ලන්නේ තම ජීවිතයේ දුක්ඛ දෝමනස්සයන්ගෙන් හෙම්බත්ව හිස් වූ ඉම පුරවා ගන්නටය. පියල් එවැන්නෙකි.
අමන්දා නම් වූ යුවතියගේ හෘද ස්පන්දනය මිනිස් ශාරීරික අවශ්‍යතාවයක් වන්නා වූ රතීයට පමණක් සීමා වූවක් නොවේ. ඈ ඇගෙන් පලා යන ජීවිතය යළි තුරුලු කරගන්නට කිසිවකු සොයයි. අනිකාගේ ජීවිතයේ තමාට ද සැඟවිය හැකි හිඩසක් දුටු විට ඇගේ උකුළ නිරාවරණය වේ.
නදී වත්මන් වෙළෙඳ කුලය නියෝජනයෙන් පැන නැගුණු අතුරු ඵලයක් මෙනි. සෘජු දේශපාලන මිනුම් දඬුවලින් තොරව නිර්මාණ ගැන කතා නොකරන යුගයක කර්ම චිත්‍රපටය අපට සුවිශේෂී වේදිකාවක් තනා දෙයි. මෙහි චරිත තුළින් ගලා හැලෙන අධ්‍යාත්මික දේශපාලන රටාවේ සුවය අපි මෙහිදී විඳින්නෙමු.
මෙකී තුන් කොන් චරිත අතුරින් මා දුටු කර්ම හි කතා ප්‍රවෘත්තියේ සංසිද්ධීන් මෙසේ ලඝු කොට දක්වමි. සිය මවගේ වියෝව ගැන ස්වයං වරදකාරී හැඟීමක පසුවන අප තරුණයා, පියල්, සිය ජීවිතයේ රික්තකය පුරවාලනු වස් යාබද නිවසේ ජීවත් වන අමන්දාගේ ජීවිතයට එබී බලයි.
අමන්දා පියයුරු පිළිකාවකින් පෙළෙන බව දැනගත් ඇගේ පෙම්වතා නදී දමා පලා යයි. තමා සමීපව යහන් ගත වූ අමන්දා පිළිකාවකින් පෙළෙන මරණාසන්න වූ රෝගියකු බව දැනගන්නා පියල් එය තමා තම මව සමඟ යහන්ගතවීමක් හා සමාන යැයි සිතා වැලපේ. එකී වරදකාරී හැඟීමෙන් ගැළවෙන්නට මෙන් ඔහු අමන්දාව ඇගේ මරණය තෙක් රැක බලා ගනියි.
එනිනෙකට සරලව ගොතන ලද රූප සමෝධනයක් මෙහි දක්නට නොලැබෙන අතර කර්මවල මා දකින සුවිශේෂී ලක්ෂණය වන්නේ එහි චරිත චෛත්‍යසිකයන් හා හැඟුම්බරව අපට බැඳෙන්නට නොදී සමස්ත කෘතියම දෙස ප්‍රේක්ෂකයකු ලෙස ඉහළින් සිට සිදු වන්නේ කුමක්දැයි ඉව අල්ලන්ට සිනමාකරුවා විසින් අපට ලබා දී ඇති අවකාශයයි.
මෙම අවකාශය තුළ අපට හැගුම්බර වීමට ඉඩ නොදෙන ප්‍රසන්න ජයකොඩි අඳුරත්, රතීයත් අතර ඇති විශ්වීයව මානව සබඳකම පරදවාලමින් දුර සිට පියල්ට හා අමන්දාට පෙම් කරන්නට අපව පොලඹවා ගනී.
එහෙත් ඔවුන් හා එකතුව එකී දුක බෙදා හදාගන්නට තවමත් අපට අවසර නොමැත. සිනමාපටය පුරාම අපි කුහුලින් බලා සිටින්නෙමු. මෙහි එන චරිත කවුරුන්ද? ඔවුන් නියෝජනය නව සමාජ සංස්කෘතික හා දේශපාලන පසුබිම කවරේද? යන්න අප විසින්ම සොයා ගැනීමට ඉඩ තබා ප්‍රසන්න බලා සිටියි. අපි අපගේ බුද්ධිය සමඟ සටන් කරමින් මෙකී චරිතයන්හි අක්මුල් සොයන්නෙමු. එය සැබැවින්ම විශ්මජනක චාරිකාවකි.
ප්‍රේක්ෂක ඇසට ඇඟිල්ලෙන් ඇන මේ අසවල් චරිත යැයි අපට නොකියා නිර්මාණකරුවා සිනමාව සතු ශිල්පීය ගුණයක් අතැඹුලක් සේ භාවිත කරමින් මෙම චරිකාව පුරා අපව ගෙනි යයි. එහි ගමනාන්තය සැබවින්ම කාව්‍යාත්මකය. අති සුන්දරය. වරක් ලෝ ප්‍රකට රුසියානු සිනමාධර ඔන්ද්‍රේ තර්කොවුස්කි ‘සිනමාව ඇත්තේ කවිය හා සංගීතය අතර යැයි’ පැවසූ බවක් මෙහිදී මගේ මතකයට නැඟේ.
එක වහළක් යට බිත්තියෙන් එහා මෙහා වෙසෙන චරිත තුනක් සිය අධ්‍යාත්මයෙන් අඳුරු අහුමුළුවල ඔඩු දුවා ඇති කුණු කන්දල් වමාරමින් ස්වයං භාවවිරේචනකයක යෙදෙති. එහි විශේෂත්වය වන්නේ ඒවා හිතාමතා නොකරන අතර එකිනෙකා අතර ඇතිවන අධ්‍යාත්මික ඝට්ටනයක් නිසාම එකී සියල්ල නිසඟව මතු වී ගෙන ඒමයි.
එසේම කර්ම සැබවින්ම සිනමාලංකාරයෙන් පොහොසත් වූ අගනා සිතුවමක් ලෙස අපට ඒත්තු ගන්වන සංකේත රූපවලින් ද පිරිපුන් වූ කෘතියකි. චිත්‍රපටය ඇරැඹෙන්නේ ජල තටාකයක වකුªටු වී ඉන්නා පියල්ගේ රූපයකිනි. විවේක බුද්ධියෙන් යුතුව බලන විට එය මවකගේ කුස තුළ ඉන්නා කලල රූපයක් සේ අපට දැනේ. මෙහි මා දකින කතා නායකයා වන්නේ පියල්ය.
ඔහු සිනමාපටය පුරාම සිය මවගේ වියෝව තමාගේ වරදින් වී යැයි සිතා වියෝවන්නෙකි. හුදු කාමස්වාදය සඳහා අමන්දා වෙත එබී බලන පියල් පසුව ඈ තුළින් දකින්නේ තම මවගේ අහිමි වූ දාරක ප්‍රේමයේ ආස්වාදයකි. අමන්දා හා යහන්ගත වූ දින ඔහු කුඩා දරුවකු සේ හඬා වැලපෙන්නේ ද එබැවිනි.
ප්‍රසන්න ජයකොඩි
රූප රචනය අතින්ද කර්ම සුවිශේෂී චිත්‍රපටයක් ලෙස හුවා දැක්වීමට මම කැමැත්තෙමි. කිසියම් නිර්මාණයක් එළිබට වූ විට එහි පවතින දෑ පිළිබඳ කතා කිරීමට බොහෝ අය මැලි වෙති. ඊට හේතු වන්නේ අප සතුව තිබෙන්නා වූ කුහකත්වයයි. එසේම මුවින් නොබැන මිතුදම් රැක ගත යුතු බැවිනි.
මෙකී කාරණා පසක තබා මට නිදහස්ව ලියන්නට තරම් කර්ම නිර්මාණකරුවා පොහොසත්ව සිටී. රූප රචනයත්, ආලෝකයත්, රාමුව තුළ නළු නිළියන් පෙළ ගැස්වීමත්, කැමරා ධාවනයත්, නිශ්චිත සෘතියක තබා කරන සුසංයෝගය අපගේ බොහෝ චිත්‍රපටවල නොදකින තරම්ය. නළු නිළියන් මෙහෙයවීමේදී ද ප්‍රසන්න සියලු අභියෝගයන් ජය ගන්නේ ජීවිතය පිළිබඳ අපරිමිත අත්දැකීම්වලින් පරිපූර්ණ වූ නිර්මාණවේදියකු සේය.
රූප නිර්මාණයේදී ද අඳුර හා ආලෝකය හැසිරවීමේදී ද නිර්මාණකරුවාට අනඟි සහායක් ලබාදෙන කැමරා අධ්‍යක්ෂවරයා වන පාලිත පෙරේරා ද මගේ මතකයට නැෙඟන්නේ ඔහු තම සිනමාවේදියාට තම සම්මාදම නොඅඩුව සපයා ඇති නිසාමය. අධ්‍යක්ෂවරයකුගේ මනසේ මෝදු වන රූප ඡායා නිසඟ රූප බවට පත්කළ හැක්කේ ශූර කවීත්වයක් ඇති කැමරා ශිල්පියකුට පමණි. කර්මයෙහි කැමරාකරුවා ඒ අතින් පොහොසත් වීම අපගේ අමන්දානන්දයට හේතු වේ.
කර්ම චිත්‍රපටයේ සියලු සංසිද්ධීන් එකට හකුළුවා ගන්නේ චිත්‍රපටයේ අවසාන ජවනිකාවෙනි. එහි ඇත්තේ එකම එක් රූපයක් පමණි. එය සැබවින්ම විශ්මයජනකය. අමන්දා පියයුරක් අහිමි යුවතියක බව අප දකින්නේද එහිදීය. පියල් තම මවගෙන් නොලද ප්‍රේමය ද අමන්දාගෙන් ලබන බවක් එම රූපය තුළ ඔවුන් ස්ථානගත කර ඇති ආකාරයෙන් අපට පසක් වෙයි.
කර්ම චිත්‍රපටයේ මුඛ්‍යාර්ථය ඇත්තේද එතැනය. මෙතෙක් චිත්‍රපටය නැරැඹීමේදී ප්‍රසන්න ජයකොඩි විසින් අපගේ පපු කුහර මත තබා ඇති මහා ගිරිකුල හිම කිරමක් සේ දියව පහව යන්නේ මේ රූප දැකීමෙනි. ඉන් නොනවතින අපි අපගේ බුද්ධියට ආමන්ත්‍රණය කරන්නෙමු. අපගේ ජීවිත මෙහි තබා ඇත්තේ කොතැනද යැයි සොයන්නෙමු.
අපි හෘද සාක්ෂිය අපට කතා කරන්නට පටන් ගනී. අප සිත් අඳුර හා බැඳුණු හුදු රතිය පිළිබඳ පවතින ආකල්පවලින් ලිහී ගොස් කිසියම් අධ්‍යාත්මික සුවයකින් පියල්ට හා අමන්දාට ළං වන්නෙමු. මෙලොව සෑම මිනිසකුම තම පෙම්වතියකගෙන් සොයා බලන්නේ කුමක්ද? ඇය සිය පති භාර්යාව වූ පසු ඇගෙන් පතන්නේ කිනම් රසයක්ද? එය හුදු කාමස්වාදයක් ද නොවේ. ඉන් එහාට අප කැඳවාගෙන යන මහා කරුණා රසයෙන් පිරි මාතෘ ස්නේහයකි.
අවසන් රූප රාමුවේ අමන්දාගේ මුහුණ දෙස බලන විට මට ඇගේ මඳ සිනහව අමතක කළ නොහැක. චිත්‍ර කලාවට ඩාවින්චි මැවූ මොනාලිසාගේ සිනහව කෙසේ ද, ලාංකේය සිනමාවට අමන්දාගේ සිනහවත් එසේමය. ඉන් ධ්වනිත වන අරුත කිමැයි මට නම් කිව නොහැක. එය සිනමාවේ මෙතෙක් මා දුටු කාරුණිකම සිනහව යැයි මා සඳහන් කරන්නේ නිහතමානීවමය.
සිනමාවේ නව මං පෙත් හෙළි කරන
ප්‍රසන්න ජයකොඩි සොහායුර!
ඔබට මාගේ ප්‍රණාම.
READ MORE - මොනාලිසාට සමවන අමන්දාගේ සිනහව

ටීවී වල ඉන්න අය බස්වල යන්නෙ නෑනේ


ටීවී වල ඉන්න අය බස්වල යන්නෙ නෑනේ

පොඩි මල්ලියි, චූටි මල්ලියි එක්ක
හිනා යන කතා පෙළක් සුනෙත් චිත්‍රානන්ද ගාමින්ද ප්‍රියවිරාජ් ඔබ මේ නම් දෙක අසා තිබෙනවාද? පොඩ්ඩක් කල්පනා කරලා බලන්න . . .
වැඩි මතකයක් නැහැ නේද?
එහෙනම් මං මෙහෙම කිව්වොත් . . .
චූටි මල්ලි
පොඩි මල්ලි . . .
ඒ දෙන්නව නම් ඔබ හොඳටම දන්නවා.
සුනෙත්ගෙයි ගාමින්දගෙයි ඇත්ත නම් දැන් නම් හැමෝටම අමතකයි. චූටි මල්ලි, පොඩි මල්ලි කිව්වොත් තමා හැමෝටම මතක. සුනෙත් තමයි චූටි මල්ලි, පොඩි මල්ලි ගාමින්ද. මේ දෙන්නා ඒ නම් දෙක ආරූඪ කර ගනිමින් හාස්‍ය භාවිතයෙන් අපේ මාධ්‍ය තුළ පෙන්නපු හැකියාව අනන්තයි, අප්‍රමාණයි. සතියේ දිනවල සවස 4 – 6 දක්වා දෙරණ ගුවන් විදුලියට සවන් දුන්නොත් චූටි මල්ලිගෙයි, පොඩි මල්ලිගෙයි කතා අහලා හොඳට හිනා වෙන්න පුළුවන්.
චූටි මල්ලිටයි පොඩි මල්ලිටයි අප සරසවියට ගොඩ වෙලා යන්න ආරාධනා කළා. ඒ ඔවුනට සිදු වූ රසවත් අකරතැබ්බයන් කිහිපයක් අසා දැනගන්න. ඒවා කියන්න කලින් ඔවුන් දෙපොළ අප සමඟ මෙන්න මෙහෙම පුංචි සංවාදයක නියැලුණා.
ඔන්න අපි කියපු වෙලාවටම ආවා . . .
ගාමින්ද රැල් බුරුල් ඇරලා කතාව පටන් ගත්තා.
මං මෙතැනින් වාඩි වෙන්නම්.
සුනෙත් අපේ ඡායාරූපාගාරයේ ඇති පුටුවෙහි ඉහල ඇන්දේ ඉඳගත්තා.
මේක හරියට ෆොටෝ ගන්න ස්ටුඩියෝ එකක් වගෙයි නේද?
ගාමින්ද වටපිට බලලා කිව්වා.
මේක තමයි හලෝ සරසවිය පත්තරරේ ස්ටුඩියෝ එක. ඔයා ඒකවත් දන්නේ නෑ.
සුනෙත්, ගාමින්ද කියපු දේට පිළිතුරු බැන්දේ හිනාව මැඬ පවත්වා ගනිමින්.
කොහොමද ඔයාලා හැමදාම වැඩසටහන් කරන්න විහිළු හොයා ගන්නේ? හැමදාමත් එකම විහිළුව කරන්නත් බැහැනේ?
දෙන්නා තවත් දේවල් කියන්න කලින් මං ගාමින්ද දෙස බලා පැනයක් යොමු කළා.
අපි තැනකට ගියාම එතැන වෙන දේවල් බොහොම අවධානයෙන් බලාගෙන ඉන්නවා. පාරට බැස්සත් එහෙමයි. එම අවස්ථාවන්වලදී ඕනෑ තරම් හාස්‍යෝත්පාදක දේවල් වෙන්න, දකින්න පුළුවන්.
ඒවා තමයි වැඩ සටහන් හරහා අපි ඉදිරිපත් කරන්නේ. එහෙම නැතුව කවදාවත් අපි පැය ගණන් කල්පනා කරකර පිටපත් ලියලා වැඩ සටහන් කරලා නැහැ. අපේ ක්‍රමය දිනපතා අලුත් වෙන එකක්. ඒක නිසා හැමදාම අපිට අලුත් විහිළු තියනවා.
විහිළු කරන අතරතුරදී දෙන්නට කවදාවත් වැඩ සටහන අතරතුරදී හිනා ගිහිල්ලා නැද්ද?
ඒ ප්‍රශ්නය සුනෙත්ට.
කවදාවත් හිනා ගිහිල්ලා නැහැ. එහෙම වෙන්නෙත් නැහැ. අනික ගාමින්දගේ පොලොස් මූණ දකින කොට මට නම් කොහෙත්ම හිනා යන්නෙ නැහැ අනේ.
මේ මේ මේ . . . ඔහේටත් තියෙන්නේ පොලොස් මූණක් තමයි. ඒක නිසා මටත් හිනා යන්නේ නෑ.
සුනෙත්ගේ කතාවට ගාමින්දට එහෙම කියවුණේ ඉබේමයි.
ඔය දෙන්නා සෑහෙන්න කාලයක ඉඳලා එකට වැඩ කරනවා. නොහොඳ නෝක්කාඩු සිත් අමනාපකම් ඇතිවෙලා නැතිද?
අපි දෙන්නා මොකට තරහා වෙනවද? අනික අපිට ඕනෑම වැඩ සටහනකට ආරාධනා කරන්නේ එකට. චූටි මල්ලි ඉන්න තැන පොඩි මල්ලි ඉන්නවා.
පොඩි මල්ලි ඉන්න තැන චුටි මල්ලි ඉන්නවා. දෙන්නා තරහ වුණොත් දෙන්නටම පැවැත්මක් නැහැ කියලා අපිි දන්නවා. ඒක නිසා ප්‍රායෝගිකව ඒ ගැන හිතලා තර්කයක් ආවත් බුද්ධිමත්ව විසඳ ගන්නවා.
ගාමින්ද එහෙම කිව්වේ සුනෙත්ගේ කරට අතක් දා ගන්න ගමං.
ඒ වුණාට සුනෙත් විතරක් තනිවම සුපර් සික්ස් ෆිල්ම් එකේ රඟපෑවනේ?
ඒකටත් අපි දෙන්නටමයි ආරාධනා කළේ.
මට විතරයි යන්න හම්බ වුණේ. ගාමින්දට වෙලාව පිළිබඳ ප්‍රශ්නයක් ඇති වුණා.
බුදු අම්මෝ ආයෙ නම් තනියම රඟපාන්නේ නැහැ නෑමයි. සුපර් සික්ස් තමයි එහෙම මං විතරක් තනියම රඟපාපු පළමු සහ අන්තිම ෆිල්ම් එක.
ඇත්තටම ඔය දෙන්නා මිනිස්සුන්ව හිනස්ස හිනස්ස ඉන්නවා. රැකියාවක් කරන්න බලාපොරොත්තුවක් නැති හැඩයි?
ඉතිං මේක තමයි අපේ රස්සාව. ආයතනවලට කොටු වෙලා මක් කරන්නද? එහෙම අපිට ආස නැහැ. මේ විදිහට ජනතාවගේ මනස සැහැල්ලු කරමින් ජීවිතේ ගෙවනවා. අපි තමයි කට හඬවල් වෙනස් කරලා ගුවන් විදුලි වැඩසටහන් කරන එක දෙවැනි පරම්පරාව ඇතුළේ පටන් ගත්තේ. ඒක ගැන සතුටුයි.
ඒ ගාමින්දගේ වදන්.
දැන් තමයි අපේ කතාබහේ රසවත්ම කොටස. චූටි මල්ලිටයි පොඩි මල්ලිටයි වුණු අපූරු අත්දැකීම් ගැන කියන්නට වෙලාව?
ඔයාට අර මරදානෙදි වෙච්ච සීන් එක කියන්නකෝ මුලින්ම.
සුනෙත්ගෙන් ගාමින්දට ඇරැයුමක්.
අහන්නකෝ වැඩේ. අපි අතරේ ඉන්නවා කතාබහ කරද්දී ඇඟිල්ලෙන් ඇන ඇන කතා කරන මිනිස්සු. මටත් එහෙම කෙනෙක් හම්බ වුණා මරදානෙදි.
ආ මේ අපේ පොඩි මල්ලිනේ . . .
එයා මාව අඳුන ගත්තා.
මේ ඔයාලා කරන විහිළුවල යටි අර්ථයක් තියනවා නේද?
ඇඟිල්ලෙන් මගේ බඩට හයියෙන් අනින ගමන් ඒ මනුස්සයා එහෙම ඇහැව්වේ.
මං නැහැ කිව්වා.
නැහැ කොහෙද? ඔයාලගෙ විහිළුවල යටි අර්ථයක් තියනවා.
ආයෙත් මට ඇඟිල්ලෙන් ඇන්නා.
ඒක නම් මට හොඳටම රිදුනා.
අනේ නැහැ එහෙම යටි අර්ථ මොකටද අපේ විහිළුවලට.
නැහැ යටි අර්ථයක් තියනවාමයි.
තවත් පාරක් හයියෙන් ඇඟිල්ලෙන් ඇන්නා. ඒක නම් මට හොඳටම රිදුනා.
ඔව්. ඔව්, යටි අර්ථයක් තියනවා. ඒක මං හොයාගෙන එන්නම්.
මං බොරු කෙන්තියක් මවාගෙන ඔහුව මග හැරියා.
තව දවසක් මට මරු වැඩක් වුණා.
මගේ වයිෆ්ට කෝල් එකක් ආවා පොඩි මල්ලි තවත් ගෑනු ළමයෙක් එක්ක ඇවිදිනවා කියලා. බැලින්නම් සුනෙතුයි එයාගේ නෝනවයි මේ පුද්ගලයා දැකලා ඔහු හිතලා පොඩි මල්ලි කියන්නේ එයයි කියලා. වෙලාවට එදා මං ගෙදර හිටියේ. නැතිනම් හරිම අකරතැබ්බයක් තමයි වෙන්නේ.
ඔන්න තව දවසක් මට කෝල් එකක් ආවා.
මගෙන් කවුද කින්ද මන්ද මුකුත්ම අහන්නේ නැතුව අනිත් අන්තයෙන් මෙහෙම කියනවා.
මහත්තයෝ ලොරිය කොටයි. කොට දිගයි මොකද කරන්නේ?
මට මුකුත්ම හිතා ගන්න බැහැ. මං ටිකක් පැහැදිලි කරන්න කිව්වා.
මේකයි ප්‍රශ්නේ මහත්තයා එවපු ලොරියට ඊයේ කපපු තේක්ක කොට පටවන්න බැහැ. ඒවා දිගයි. කොට දෙකට කපලා ලොරියට දාන්නද?
මට තේරුණා ඒක මට ආපු කෝල් එකක් නෙවෙයි කියලා. ඉතින් මං ඒ වගක් අගවන්නේ නැතුව ‘හා හා ඔයා දෙකට බැරි නම් තුනට කපලා කොට පටවන්න’ කිව්වා.
ඔය වගේ වැඩක් මටත් උණානේ. සුනෙත් තවත් කතාවකට මුල පිරුවා.
මටත් ආවා කෝල් එකක්.
මහත්තයෝ හෙට ආවොත් අරක ගන්න පුළුවන් නේද?
මොකක්ද?
අර මහත්තයා දෙන්න බැහැ කියපු මුදල?
පුළුවන්, පුළුවන්. එන්න එන්න. මං තවත් කීයක් හරි එකතු කරලා දෙන්නම්.
ඊට පස්සේ මොකද වුණේ කියලා නම් මම දන්නේ නැහැ.
ඔන්න මං දවසක් බස් එකකට නැග්ගා ගමනක් යන්න.
සුනෙත්ගෙන් ආයෙත් කතාවක්.
කොන්දොස්තර එක පාරක් මගේ ගාවට ආව. ටිකට් ගත්තේ නැහැ. තව පාරක් ආවා.
ඒත් සල්ලි ඉල්ලුවෙ නැහැ. මගෙ දිහා හොඳට බලලා යන්න ගියා. තුන්වෙනි පාරත් ආවා. එතකොට මං සල්ලි දුන්නෙ නැහැ. එයා මගෙන් බලෙන් සල්ලි ඉල්ලුවා. මං ඉතින් ආයෙත් සාක්කුවට දාගත්තු සල්ලි අදින ගමන් මං ඇහැව්වා මුලදි සල්ලි ඉල්ලුවෙ නැත්තෙ ඇයි කියලා. එතකොට මේකා කියපි මෙන්න මෙහෙම.
මහත්තයා වගේම කෙනෙක් ටී. වී. එකේ වැඩ සටහනක් කරනවා. මං දෙපාරක්ම රැවටුණා එයා කියලා. ඒකයි සල්ලි නොගත්තේ. මට පස්සේ තමයි කල්පනා වුණේ ටී. වී. එකේ ඉන්න අය බස්වල යන්නේ නැහැ කියලා. ඒකයි සල්ලි ඉල්ලුවේ.
ඒක අහලා ගාමින්දටත් හිනා.
අපට දැන් යන්නත් තියනවා. ඊට කලින් අපි නොදන්න ලයිව් කරන කාලේ වෙච්ච නියම සිද්ධියක් කියන්නම්.
ගාමින්ද සිනහව මැඬ පවත්වා ගනිමින් වාඩි වී සිටි තැනින් නැගිට්ටා.
අපි ටිකක් කැලෑබද ප්‍රදේශයක ගෙදරක රූගත කිරීමක් සිදු කළා. ඒ හරියෙ වන සතුන් ගැවසෙනවා කියලා අපි අසා තිබුණා.
මං නිකමට ඒ ගෙදර අයිතිකාරයාගෙන් ඇහැව්වා සත්තු එහෙම හිටියේ නැද්ද? උන්ව බලන්න බැරිද කියලා.
ගේ හිමියා මරු උත්තරයක් දුන්නේ.
අයියෝ . . . මොකද මහත්තයෝ සත්තු නැත්තේ.
මේ දැනුත් මං පොඩි නයි පැටියෛක් අල්ලගෙන ඇවිත් සාලෙන් අත ඇරියා. ඌ කොහෙට ගියාද දන්නේ නැහැ.
ඒ කතාව අහපු අපිට කැමරා වයර් පෙනුනෙත් නයි පැටව් වගේ. සීතලට කකුලට යමක් ගෑවුණත් බය වුණා. පස්සෙයි දැනගත්තේ ඒ අය සත්තුන්ට කිසිම බයක් නැහැ කියලා.
එහෙනම් අපි ගිහින් එන්නම්.
ආයුබෝවන්!
මං චුටි මල්ලි.
මං පොඩි මල්ලි.
ආයේ දවසක හමුවෙමු ජයවේවා.
මග හමුවන අයට සිනහවක් ද පාමින් ලේක්හවුසියේ කොරිඩෝව දිගේ ඔවුන් දෙපොළ නොපෙනී ගියා.
READ MORE - ටීවී වල ඉන්න අය බස්වල යන්නෙ නෑනේ

ඉතාලි කෙටි සහ වෘතාන්ත චිත්‍රපට උළෙල


තෙදිනක් සිනෙසිටි සිනමා ශාලාවේ ඉතාලි තානාපති කාර්යාලය මෙරට සහ ඉතාලි සිනමා සහයෝගීත්වය අරමුණු කර ගනිමින් පළමුවරට සංවිධානය කරනු ලබන ඉතාලි කෙටි සහ වෘතාන්ත චිත්‍රපට උළෙල මෙම මස 19, 20, 21 යන තෙදින තුළ මරදාන සිනෙසිටි සිනමා ශාලාවේදී පැවැත්වේ.
එයට සමගාමීව චිත්‍රපටකරණය පිළිබඳ වැඩමුළුවක් ද පැවැත්වෙනු ඇත.
උළෙලෙහි තෙදින වැඩසටහන් දිගහැරුම මෙසේය. 19 වැනිදා උදෑසන මයිකල් අන්ජලෝ අන්තෝනිගේ බිලෝව් අප් චිත්‍රපටය තිරගත වේ. සන්ධ්‍යාවේ ඉතාලි ජාතික චිත්‍රපට අධ්‍යක්ෂ පෝලා රැන්ඩිවිඩින් මෙහෙය වන වැඩමුළුව පැවැත්වේ. 20 වැනිදා උදෑසන බූඩි කීර්තිසේනගේ මිල්ලෙ සොයා චිත්‍රපටය සහ එය පිළිබඳ හඳුන්වා දීම.
සවස ඉතාලි ජාතික කෙටි චිත්‍රපට අධ්‍යක්ෂ කුරාටෝ ස්ටෙෆානෝ මාටිනාගේ ඉෆ්ටෝ පැරඩිස්කෝ කෙටි චිත්‍රපටය තිරගත වේ.
21 වැනිදා උදෑසන ඉහත ඉතාලි අධ්‍යක්ෂවරුන් දෙදෙනා මෙහෙයවන වැඩමුළුව. එදින සවස කොළඹ කොටියාඩ් හෝටලයේදී උළෙලෙහි සම්මාන ප්‍රදානය සිදු කෙරේ.

Sarasaviya
READ MORE - ඉතාලි කෙටි සහ වෘතාන්ත චිත්‍රපට උළෙල

කෙල්ලො අපිට පිස්සු වැටෙනවා


මේ දිනවල නිතර අසන, පෙනෙන ගීතයක්

චරුද් ගුණරත්න
තවමත් පාසල් සිසුවෙක් මේ දිනවල නිතර දෙවේලේ අසන්නට ලැබෙන බයිලා ආරට නිර්මාණය වූ හරි අපූරුගීතයකි. එහි රූප රචනයේද සිටින්නේ දාංගලයෙන් පිරි යෞවන යෞවනියන් රැසකි.
‘කෙල්ලො අපිට පිස්සු වැටෙනවා’ ඒ ගීතයේ නමය. අන්තර් ජාලයේ ද මෙම ගීතයේ ඩවුන්ලෝඩ් සංඛ්‍යානය වාර්තාගත අගයක් ගෙන ඇත. ඒ එය ඉතා ජනප්‍රිය බවට සාක්ෂියක්ය.
අපි ඒ ගීයෙහි හිමිකරුවා සොයා ගියෙමු.
‘කෙල්ලො අපිට පිස්සු වැටෙනවා’ ගීතයේ හිමිකරුවා අද අපේ කතානායකයාය. ඔහු නමින් චරුද් ගුණරත්නය. මේ ඔහුගේ වතගොතය.
චරුද් ඔබ ඔබවම තවදුරටත් හඳුන්වා දෙන ගමන්ම මේ කතාව අරඹමු?
මගේ ගම මොරටුව. තවමත් මං කොළඹ රාජකීය විද්‍යාලයේ ශිෂ්‍යයෙක්. ලබන අවුරුද්දේ තමයි අ.පො.ස. උසස් පෙළට මුහුණ දෙන්නේ. සංගීතයට පුදුම විදිහට ආසයි. කෙටියෙන්ම කිව්වොත් මං සංගීත උණකාරයෙක්. ඒක නිසාමයි, මෙහෙම ගීතයක් කළේ. ඇතැමෙක් කිව්වා පාසල් යන කාලයේ ගීත ගායනයට යොමු නොවී අධ්‍යාපන කටයුතුවලින් පසු සංගීතය කරන්නැයි කියලා. ඒත් මං ටිකක් හිතුවක්කාරයි. මට තවත් කාලය ගතවෙනකම් ඉන්න බැහැ. නියම කාලේ මං සිංදුව රිලීස් කළේ.
සංගීතය අධ්‍යාපනයට බාධාවක් වුණේ නැතිද?
කොහෙත්ම නැහැ. මං ගීත කිව්වයි කියලා කිසිම වෙලාවක පාඩම් වැඩ අතපසුකර ගත්තේ නැහැ. හැකි සෑම විටකම ගීත නිර්මාණකරණයෙහි යෙදෙනවා. දැනටමත් මං මගේ ඊළඟ ගීතයේ වැඩ කටයුතුත් පටන් අරන් ඉවරයි.
ඔබේ පළමු ගීතය බයිලා ආරට නිර්මාණය වූවක්?
ඔව් මං විශ්වාස කරනවා බයිලා බීට් එකක් මිනිසුන් අතරට යෑමේ ප්‍රවණාතවය වැඩියි කියලා. උදාහරණයක් විදිහට මෑත කාලයේ නිර්මාණය වූ ලහිරු පෙරේරාගේ ‘රම්බරි’ මේ වන විට විනෝද චාරිකාවලදී ගැයෙන ගීතයක් වෙලා. මටත් ඕනෑ අන්න එහෙම නිර්මාණයක් කරන්න. බයිලා රිදම් එකට මිනිසුන් ආස නිසයි එම රිද්මයේ ගීත ජනප්‍රිය වන්නෙත්, මිනිස්සුන්ට මතක හිටින්නෙත්.
ඔබේ ඒ උත්සාහය සාර්ථක ද?
සත්තකින්ම. දැනට මං සිංදුව රිලීස් කරලා සති හතරයි. මේ වන විට එය තිස් දහසක් පමණ දෙනා ඩවුන්ලෝඩ් කරලා. පළමු සති දෙකට පමණක් දහතුන් දාහකට අධික ප්‍රමාණයක් රසිකයෝ ඒක අහලා තියනවා. එයම ප්‍රමාණවත් නේද. හොයලා බැලුවොත් ඒක වාර්තාවක් ද දන්නෙ නැහැ.
මොකද මාව නොදැන එහෙම සිංදුව ඩවුන්ලෝඩ් වුණ නිසා. මේ වන විට ගීතය ගුවන් විදුලි රූපවාහිනී නාලිකාවල දකින්නට අසන්නට ලැබෙනවා සැලකිය යුතු මට්ටමක. ඉතින් මට ඒ හොඳටම ඇති.
කෙල්ලො අපට ගීතයේ අර්ථය අතාත්ත්විකයි?
මෙහෙමයි, එක අතකින් බැලුවොත් ඔබට එහෙම කියන්න පුළුවන්. නමුත් ලංකාවේ අනාගත දිනක ඇතිවන්නට ඉඩ තිබෙන තත්ත්වයත් ඒක.
ගැහැනු ළමයි කොල්ලන්ගෙ පසුපස යන එක?
ඔව්.
හරි, ඒ ඔබේ මතයනේ. දැන් මට කියන්නකෝ මෙහි වීඩියෝව ගැන? එය නරඹපු මට නම් හිතුණේ පාසල් යන ළමයකුට එවැනි වීඩියෝවක් සැර වැඩියිදෝ කියලා?
මට ඒක පිළිගන්න අමාරුයි. වීඩියෝව බලපු අය ගොඩක් හොඳ කිව්වා. එක අතකින් හිතෙනවා වෙනත් අයකු රඟපෑවා නම් හොඳයි කියලත්. ඒ රංගනය හොඳ නැති නිසා නෙවෙයි. ගායකයකු විදිහට වීඩියෝව තුළ ඉන්න තිබුණු හින්දා.
ගීතය ජනප්‍රිය කර ගන්න හින්දමද වීඩියෝව කළේ?
වර්තමානයේ මා දැක්ක දෙයක් තමයි වීඩියෝවක් නැති ගීත අඩු ජනප්‍රියත්වයක් ලැබීම. වීඩියෝවක් අත්‍යශ්‍යයයි ගීතයක් ජනප්‍රිය වන්න අද දවසේ.
කවුද ඔබේ ගමනට ශක්තියක් වුණු කණ්ඩායම?
මගේ පවුලේ සැම. ඒ වගේම මගේ ඉස්කෝලේ විදුහල්පතිතුමා ඇතුළු ගුරු භවතුන්, යාළුවෝ, මේ අය තමයි මගේ ශක්තිය.
සංගීතය හදාරනවාද?
පාසලෙහි විෂයක් විදිහට හදාරනවා.
චරුද්ගේ පෞද්ගලික අත්දැකීමක් නෙවෙයිනේ ගීතයට පදනම් වුණේ?
අපොයි නැහැ. ඉඳලා ඉඳලා මාර ප්‍රශ්නයක් තමයි ඔයත් ඇහැව්වේ.
ඇත්තටම ගැහැනු ළමයෙක් තවමත් පස්සෙන් ඇවිත් නැතිද?
තවම නැහැ. අනාගතයේදී එහෙම තත්ත්වයකට මං මුහුණ දේවි.
READ MORE - කෙල්ලො අපිට පිස්සු වැටෙනවා

"උපනෙත" ඔක්තෝබර් 22 සිට 24 ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ දී

Sunday, October 14, 2012



"කැලණිය විශ්වවිද්‍යාලයේ 
ප්‍රතිබිම්බ කලා අධ්‍යයන ඒකකයේ අවසන් වසර සිසුන් විසින් ඉදිරිපත් කරන
"උපනෙත" ඡායාරූප හා චිත්‍රපට ප්‍රදර්ශනය 
මෙවර ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ දී 
2012 ඔක්තොබර් 22 දින සිට 24 වන  දින දක්වා පැවැත්වේ. 

සමාරම්භක උත්සවය 
සිනමාවේදිනී සුමිත්‍රා පීරිස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් 
22වන දින සවස 5ට ආරම්භ වේ. 

චිත්‍රපටවල මංගල දර්ශන 
එදිනම සවස 6.00 
උඩුමහලේ හැරල්ඩි පීරිස් කලාගාරයේ දී පැවැත්වේ. 

උත්සවය හා ප්‍රදර්ශනය සඳහා 
ඡායාරූප හා සිනමා ක්ෂේත්‍රයේ 
ප්‍රවීණ විද්වත් රසික පිරිස් බොහොමයත් සහභාගී වෙතැයි අපේක්ෂා කෙරේ. 
වාර්ෂිකව ප්‍රතිබිම්බ කලා අවසන් වසර සිසුන් විසින් සංවිධානය කරන 
උපනෙත ප්‍රතිබිම්බ කලා උළෙල 
විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් පිටත පැවැත්වෙන්නේ පළමු වතාවටය. 
මෙවර එය සංවිධානය කරන විද්‍යාර්ථීහු 
පසුගිය වසරේ අටවක නමින් ද ඡායාරූප ප්‍රදර්ශනයක් සාර්ථක ලෙස සංවිධානය කළහ

උපනෙත ප්‍රදර්ශනය සඳහා 
හය දෙනෙක් ඡායාරූපයෙන් ද 
දෙදෙනෙක් චිත්‍රපට නිර්මාණ වලින් ද දායක වෙති. 

ඡායාරූප දැක්ම තේමා හයක් ඔස්සේ ඉදිරිපත් කෙරෙන 
ඡායාරූප 90කින් සමන්විත අතර 
චිත්‍රපට ලෙස වාර්තා චිත්‍රපටයකුත් කෙටි චිත්‍රපටයකුත් ප්‍රදර්ශනය වේ.

මෙවර උපනෙත 
අරවින්ද චන්ද්‍රපද්ම
අමන්දා ජයවර්ධන
පබසරා රණසිංහ
ප්‍රෞඩ බුවනෙක
ප්‍රසාද් අලුත්වත්ත
සම්පත් දර්ශණ
නාලක සංජීව  
යන පිරිසගේ සාමූහික ප්‍රදර්ශනයකි

කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලා හා ප්‍රතිබිම්බ කලා අධ්‍යයන අංශය ඡායාරූප සිනමා හා රූපවාහිනී යන අංශත්‍රය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල මට්ටමින් අධ්‍යයන පාඨමාලා මෙහෙයවන එකම අධ්‍යයන අංශයයි. සෑම වසරකම අවසන් වසර අධ්‍යයන කාර්යයක් ලෙස ඡායාරූප හා චිත්‍රපට ප්‍රදර්ශනයක් උපනෙත නමින් අවසන් වසර සිසුන් අතින් සංවිධානය වේ. මෙවර පැවැත්වෙන්නේ 14වන උපනෙත ප්‍රදර්ශණයයි. මෙතෙක් කල් විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළම පැවැත්වුණු උපනෙත මෙවර බාහිර සමාජයට විවර වීම විශේෂ කරුණකි.

Reported by අරවින්ද චන්ද්‍රපද්ම 
READ MORE - "උපනෙත" ඔක්තෝබර් 22 සිට 24 ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ දී