----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

දිල්හානි හිමාලි සහ නිරෝෂාත් සඳළියෙන් සමුගනී

Sunday, July 11, 2010

මීට පෙර කාංචනාත් ඉවත් වුණා

* දුක් විඳින කාන්තාවන්ට පිහිට වෙන්න බැරි නම් රැඳී සිටීම තේරුමක් නෑ - දිල්හානි

* අපෙන් දෙයක් හරියට නැත්නම් වැඩක් නෑ - නිරෝෂා

* නමට පමණක් රැඳී සිටීම අනවශ්‍යයි – හිමාලි සයුරංගි

2009 වසරේ මාර්තු මස ‘සඳලිය’ පදනම ආරම්භ වූයේ අප රටේ කාන්තාවන් මුහුණ පානා සාමාජීය ආර්ථික මෙන්ම විවිධ ගැටලු සඳහා සහන සලසන, උපදෙස් ලබා දෙන ස්වේච්ඡා සංවිධානයක් ලෙසනි. එදා එය එලෙස ආරම්භ වූයේ විශේෂ මාධ්‍ය හමුවක් පවා පවත්වමින්ය.

මෙම පදනම මගින් කාන්තා සුබ සිද්ධිය උදෙසා ක්‍රමවත් වැඩ පිළිවෙළක් දියත් වෙතැයි එදා බොහෝ දෙනෙකු විශ්වාසය පළ කළහ. ජනප්‍රිය සිනමා නිළියන් වන දිල්හානි ඒකනායක, කාංචනා මෙන්ඩිස්, හිමාලි සයුරංගි ,ඕෂදී හේවාමද්දුම මෙන්ම ගායිකා නිරෝෂා විරාජිනී ද සඳලිය පදනමේ අධක්ෂිකාවන් ලෙස ඊට සම්බන්ධ වූයේ මෙරට පීඩිත කාන්තාවන්ට පිළිසරණක් වීමේ උතුම් අරමුණ පෙරටු කොට ගනිමිනි.

එහෙත් පෞද්ගලික හේතූන් මත තමන් එම පදනමෙන් ඉවත් වන බව කාංචනා මෙන්ඩිස් ටික කලකට පසුව ප්‍රකාශ කර සිටියාය. ඇය එසේ ‘සඳලිය’ට සමු දුන්නද සෙසු කලා ශිල්පිනියන් තවදුරටත් එහි අධ්‍යක්ෂිකාවන් ලෙස රැඳී සිටියහ.

පසුගිය දිනෙක ඕෂදී හැර සෙසු අය සඳලිය පදනමෙන් ඉවත් වූ බව අපට දැනගන්නට ලැබිණ. ඒ පිළිබඳ විමසූ විට ඔවුන් ‘සරසවිය’ ට තම අදහස් ප්‍රකාශ කළේ මෙසේය. මුලින්ම අප සමඟින් එක් වූයේ දිල්හානිය.

‘සඳලිය’ පදනමේ අධ්‍යක්ෂක මණ්ඩලයෙන් පසුගියදා මමත්, නිරෝෂාත්, හිමාලිත් ඉවත් වුණා. අපේ රටේ අසරණ, දුක් විඳින කාන්තාවන් වෙනුවෙන් යම්කිසි මෙහෙවරක් කිරීමේ අරමුණ ඇතිවයි මා මේ පදනමට සම්බන්ධ වුණේ.

නමුත් ඊට පටහැනිවයි පසු කාලෙක මේ පදනමේ වැඩ කටයුතු සිදු කෙරුණේ. මේ පදනමට මම සම්බන්ධ වුණේ මුදල් බලාගෙන නෙවෙයි. නමට විතරක් ඉඳලා වැඩක් නැහැ. එතකොට රසිකයන් පවා වැරදි ආකල්පයක් ඇති කර ගන්න පුළුවන් අපි ගැන.

හැබැයි මේ රටේ අසරණ කාන්තාවන්ට යම් සහනයක් සලසන්න, ඔවුන් වෙනුවෙන් හඬක් නගන්න මම කවදාවත් පසුබට වෙන්නේ නැහැ. ඒ වගකීම හැකි පමණින් ඉටු කරන්න මම ඉදිරියේදීත් කැප වෙනවා.

ජනප්‍රිය ගායිකා නිරෝෂා විරාජිනී තම සමු ගැන්ම පිළිබඳ කළේ මෙවැනි ප්‍රකාශයකි.

මම ‘සඳලිය’ ට එක්වුණේ පුළුල් පරමාර්ථ ඇතිව. නමුත් පසු කලකදී මට වැටහුණා අපෙන් දෙයක් හරි විදිහට සමාජයට සිදු නොවන බව. මෑතකදී මේ පදනමෙන් මාසික සඟරාවක් නිකුත් කළා. අපට ඒවායේ කරන්න දෙයක් නැහැ.

අසරණ වෙච්ච කාන්තාවන්ට උදවු වෙන්න හිතාගෙනයි මම මේකට සම්බන්ධ වුණේ. ඇතැම් කාන්තාවන්ට රැකියා පවා සොයා දෙන්න අපට පුළුවන් වුණා.

ඒත් සමහර අවස්ථාවල සමහරු අපට කරන්න බැරි දේවල් පවා කියනවා.

මේවා ඉෂ්ට කරන්න බැරි වුණාම අපි බොරුකාරයෝ වෙනවා.

අනෙක මම පසුගිය කාලේ විභාග කිහිපයක්ම කළා. ඒකට යොමු වුණ නිසා විවේකයත් ගොඩක් අඩු වුණා. ගීත කිහිපයකුත් පටිගත කළා. මේ අවිවේකී බවත් එක්ක තවදුරටත් ‘සඳලිය’ පදනම සමඟ රැඳී සිටීම අසීරු කරුණක් බව මට වැටහුණා. ඔය සේරම කරුණු සලකා බලලයි මම එයින් ඉවත් වුණේ.

අනතුරුව අප ජනප්‍රිය නිළියක හා නිවේදිකාවක ද වන හිමාලි සයුරංගි ගේ අදහස් වෙත සවන් යොමු කළෙමු.

අපි බලාපොරොත්තු වුණ අරමුණු, ඉලක්කවලට යන්න බැරි නිසා ‘සඳලියෙන්’ ඉවත් වුණා. මූලිකව අපේ අරමුණ වුණේ සමාජයේ නොයෙක් ප්‍රශ්න ගැටලුවලට මැදි වුණ කාන්තාවන්ට යම් පිළිසරණක් වෙන්න.

ඇත්තෙන්ම මෙවැනි ආයතනයකින් කරන්නට බැරි බොහෝ දේවල් තිබෙනවා. ඒ නිසා නමට පමණක් එහි රැඳී සිටීම අනවශ්‍ය දෙයක් කියා සිතුණා. ඒ නිසා මම ඉවත් වුණා.

එම අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකාවන්ගෙන් මේ වනවිට ඉතිරිව ඇත්තේ ඕෂදී හේවාමද්දුම පමණකි.

0 comments:

Post a Comment