චිත්‍රපටයක් හෝ චිත්‍රපට කලාවේ අපූර්වත්වය හෝ එහි සිනමාත්මක, කලාත්මක වටිනාකම හඳුනා ගන්නේ චිත්‍රපට කලාවේ හා කර්මාන්තයේ දිගින් දිගටම යෙදී සිටින සිනමා ශිල්පීන් පමණක් නොවේ.
ඊට ඈතින් සිට සිනමාව වින්දනය කරන එහි හැඩතල හා චලනයන් හඳුනා ගන්නා, රස වින්දන ශක්තියක් ඇති රසිකයින් ද සිනමාවේ අපූර්වත්වය හා ප්‍රකාශන මාධ්‍යයක් ලෙස එහි වටිනාකම අවබෝධ කර ගනී. ඇතැම් විට චිත්‍රපටයක නියමාකාර වින්දනය ලබන්නේ හා එය නිදහසේ කියවා ගන්නේ චිත්‍රපට කර්මාන්තය හෝ සංස්කෘතිය තුළ පිහිටන සිනමා ශිල්පීන් නොව, ඊට පිටින් සිටින රසිකයාය.
එවන් සිනමා රසිකයින්ගේ චිත්‍රපට රස වින්දනය සිනමාව පිළිබඳ ආකල්ප සොයා යමින් එහි වෙනස් රටාවන් පාඨක ඔබට ඉදිරිපත් කරන ලිපි මාලාවක් අද සිට ඇරඹෙයි.
අද මේ විශේෂාංගය සමඟ අප මුලින්ම හමු වන්නේ අනූව දශකයේ දී ලාංකික වේදිකාවේ අලුත් වෙනසක්, ප්‍රවණතාවක් සටහන් කළ තරුණ නාට්‍යකරුවකු හා නාට්‍ය රචකයකු ලෙස පැහැදිලිව හැඳින්විය හැකි ‘රාජිත දිසානායක’ය. ‘සක්වාදාවල’ නාට්‍යයෙන් වේදිකාවේ නව ගමනක් ඇරඹූ ඔහු ‘හංසයින්ටත් මං ආසයි’, ‘මට වෙඩි තියන් නැද්ද’, ‘වීරයා මැරිලා’, ‘සිහින හොරු අරන්’ සහ ‘ආපසු හැරෙන්න බෑ’ නම් වේදිකා නාට්‍ය සමඟ රට පුරා නාට්‍ය රසිකයින් සමඟ වර්තමාන සමාජය ගැන සංවාදයක නියැලුණේය.
ඔහු තම බොහෝ නාට්‍යවලදී සිනමාවේ ඇතැම් ලක්ෂණ ද මනාව උපයෝගී කොට ගත් බවක් පැහැදිලිය. රාජිත දිසානායක අද අප ඉදිරියේ විවර කරන්නේ් තම සිනමා රස වින්දනයේ ඇරැඹුම හා ගමන් මඟයි.
රාජිත, තම කුඩාම අවදියේ සිනමාව පිළිබඳ මතකය අවදි කරමින් මුලින්ම කියා සිටියේ ඒ යුගයේ ඔහු කිසි දිනෙක සිනමා ශාලාවකට ගොඩ නොවී, නිවසේම චිත්‍රපට නැරඹූ බවයි. එය සාමාන්‍ය කුඩා ළමයකු ලද අවස්ථාවක් නොව කිසියම් විශේෂත්වයකි.
‘කුඩාම අවදියේ අප කිසි දිනක සිනමා ශාලාවකට ගිය බවක් මගේ මතකයේ නැහැ. ඒ කාලේ අප නිවසේ අපේ තාත්තට මි. මී. 16 ප්‍රොජෙක්ටරයක් තිබුණා. අප එයින් චිත්‍රපට බැලුවා. එහෙත් ඒවා දිගු වෘත්තාන්ත චිත්‍රපට නෙවෙයි. කතෝලික දහම ආශ්‍රිත වර්තාමය චිත්‍රපට. ඒ අතර කව්බෝයි වර්ගයේ චිත්‍රපට බැලූ බවත් මට යන්තමින් මතකයේ තියෙනවා.
මා චිත්‍රපට ශාලාවක මුලින්ම නැරඹූ චිත්‍රපටය ‘හඳයා’ බව හොඳීන් මතකයි. එහි ළමා නළු නිළියන් ගේ් ක්‍රියාකාරකම් හා ගීත නිසා චිත්‍රපටය මට අපූරු අත්දැකීමක්. ඉන් පසුව මගේ මතකයට දැනෙන චිත්‍රපට අත්දැකීම් වූයේ පරාක්‍රම සිල්වාගේ ‘හෙවනැලි ඇද මිනිස්සු’ සහ ‘බිත්ති හතර’ යි. (ඒවා අප පවුලේ අය විසින් විශේෂයෙන් නැරඹුවේ පරාක්‍රම සිල්වා අප පවුලේ ළඟම ඥාතියෙක් වූ නිසායි).
ඒ අතරින් ‘බිත්ති හතර’ චිත්‍රපටය මට විශාල රූප ශබ්ද අත්දැකීමක් ලෙස සමීප වුණා. පසුකාලීනවත් ‘බිත්ති හතර’ චිත්‍රපටය නරඹද්දී එහි තිබූ ශ්‍රව්‍ය දෘශ්‍ය සංයෝජනයට මට ඇල්මක් තිබුණා’.
ඕනෑම දරුවකුට චිත්‍රපට නැරඹීමේ උනන්දුව සහ අවධිය ඇති වන්නේ පවුලේ පරිසරය හෝ පාසල් සමයේ හිත මිතුරන්ගේ සංවාද තුළයි. රාජිතගේ ද චිත්‍රපට ආස්වාදනය පිළිබඳ අලුත් අත්දැකීම් ලැබුවේ මේ සමයේදීයි.
‘සාමාන්‍ය පෙළ හදාරා අවසන් කරන තුරුම පවුලේ පරිසරය තුළ මා බලවත් ලෙස අධ්‍යාපනය වෙතටයි යොමු කර තිබුණේ. පවුලේ සියල්ලෝ නිතර චිත්‍රපට නරඹන ස්වරූපයක් මට ඒ යුගයේ අත්දකින්නට ලැබුණේ නැහැ. උසස් පෙළට ආවාට පසු මම කලා විෂයයන් හදාරන්නටත්, ඒ සමඟ සිනමාව, නාට්‍යය ගැන උනන්දු වන්නටත් මට නිවසින් හොඳ නිදහසක් විවෘත බවක් ලැබුණා. එහෙත් ඊට පෙර හොරෙන් චිත්‍රපටයක් දෙකක් නරඹන පරිසරයක්, අපේ පාසල් මිතුරන් අතර තදින් තිබුණා.
එසේ නැරඹූ චිත්‍රපට අතර ‘ලේඩි චැටර්ලිස් ලවර්’ චිත්‍රපටය මට තදින් මතකයේ රැඳුණු චිත්‍රපටයක්. අප ඒ චිත්‍රපටය නැරඹීමට ගියේ ගැටවරයින් හැටියට, එහි වූ ලිංගික දර්ශන පිළිබඳ ශිෂ්‍යයින් අතර වූ විවිධ ආකල්පත්, ඒ පිළිබඳ කුතුහලයත් නිසායි. එහෙත් චිත්‍රපටය නරඹද්දී මා ඒ තුළ ඊට එහා දෙයක් දුටුවා. චිත්‍රපටයේ සිනමා රූපමය හා මාධ්‍යමය සත්කාරය නිසා එහි චරිත හා සිද්ධීන් පිළිබඳ යම් අවබෝධයක්, වින්දනයක් ලැබුණා කියා මා සිතනවා. එය හුදු ලිංගික දර්ශන නැරඹීමේ වින්දනයට එහා ගිය රසයක්’.
අනූව දශකය මුල වන විට රාජිත විශ්ව විද්‍යාලයට ඇතුළත් වන්නේ් නාට්‍ය කලාව, සාහිත්‍ය හා සිනමාව පිළිබඳ ප්‍රබල උනන්දුවකුත්, එවකට කලාව සාහිත්‍යය පිළිබඳ සමාජයේ තිබු කතිකාව වෙත ඇතිකර ගත් සංවේදී බවකුත් සහිතවය. කොළඹ විශ්ව විද්‍යාලයේ තිබූ කලා සංස්කෘතික ක්‍රියාකාරකම් පිරි පරිසරය ඒ උනන්දුව හා සොයා යාමට රුකුල් දුන්නේය.
‘විශ්ව විද්‍යාලයේ මුල් වසරේදීම මට ලැබුණු වැදගත් අවස්ථාවක් වුණේ ධර්මසේන පතිරාජ චිත්‍රපට උළෙලයි. අහස් ගව්ව සිට ඔහුගේ මුල්කාලීන සියලු චිත්‍රපට එකට නැරඹීම මගින් සිනමා මාධ්‍යයේ බලවත්කම වගේම ඔහුගේ සිනමාවේ ප්‍රකාශනය හා දේශපාලනික නැඹුරුව ගැනත් ආස්වාදනීය අවබෝධයක් ලැබුවා.
ඒ වගේම මා ඒ යුගයේම දුටු ආස්වාදනීය ප්‍රබල චිත්‍රපට අත්දැකීමක් වුණේ් ‘සිසිල ගිනි ගනී’ ට්ත්‍රපටයයි. එහි සිනමාරූපී ප්‍රකාශනයටත්, එහි විශිෂ්ට නිමාවටත් මා වඩාත් ඇලුම් කළා.
අනූව දශකයේ නිතර දක්නට තිබූ විදෙස් චිත්‍රපට උළෙල ඒ වන විට නාට්‍ය කලාවටත් පිවිසි සිටි රාජිතට අලුත් චිත්‍රපට ලෝකයක් හා අත්දැකීම් රැසක් විවර කර දුන් බව ඔහු මතකයට නංවයි.
ඒ දිනවල පැවති ප්‍රංශ, ස්වීඩන්, ඉන්දියානු චිත්‍රපට උළෙල ගණනාවක් අපට සිනමා මාධ්‍යයේ හා ප්‍රකාශනයේ විශාලත්වය හා ශක්තිය කියා දුන්නා.
විභවි සංස්කෘතික මධ්‍යස්ථානයේ පැවති චිත්‍රපට එකතුව නිසා සිනමාවේ විවිධ ශෛලීන් හඳුනා ගන්නට ලැබුණා. ඒ වගේම මහින්දපාල මහතාගේ මග පෙන්වීම යටතේ ඉංග්මාර් බර්ග්මාන්, තර්කොව්ස්කි චිත්‍රපට මනාව හඳුනා ගන්නට ලැබීම පුදුම භාග්‍යයක්. ඒ දිනවල මා නැරඹූ විදෙස් චිත්‍රපට අතර ‘සොලානාස්ගේ ‘South’, අන්තෝනියෝනිගේ ‘Beyond the Clouds’, බර්මාන්ගේ ‘Winter Light’, තර්කොවිස්කිගේ’Nostalgia’ වැනි චිත්‍රපට ඉතාම කම්පනීය සිනමා අත්දැකීම්.
සිනමා කෘතීන් අතර පවත්නා විවිධත්වය හා විවිධ චිත්‍රපට ශෛලීන් වර්ග පිළිබඳ රාජිත වඩා විස්තරාත්මකව කතා කළේ වඩාත් උනන්දු සහගතවයි.
‘එදා අප එක් එක් චිත්‍රපට වර්ගවලට පෙම් බැන්ඳා. ඒවායින් අපට අප ජීවත් වන සමාජ වටපිටාව ගැන ප්‍රබල වින්දනීය අවබෝධයක් ලැබෙනවා. මේ පාරිභෝජනවාදී සමාජයේ මිනිස් සම්බන්ධතාවල සිදුවන සියුම් බිඳ වැටීම්, වෙනස්කම් හා ඒ හැසිරීම් හා ප්‍රතිචාර පිළිබඳ චිත්‍රපට වගේම මහජනයා සමූහයක් ලෙස මුහුණ දුන් අරගල, විප්ලවීය ව්‍යාපාර හා විපර්යාස පිළිබඳවත් ලෝකයේ බොහෝ චිත්‍රපට බිහි වී තිබෙනවා. මේ චිත්‍රපට දෙවර්ගයම අපට පුළුල් රස වින්දනයක් හා ප්‍රඥවක් ලබා දෙනවා. ඇතැම් මෙවැනි චිත්‍රපට මිනිස් ජීවිතයේ සංකීර්ණ ස්වභාවය ගැන ඉගැන්වීමේදී ‘බයිබලය’ හෝ ‘ධම්ම පදය’ ඉක්මවා යනවා විය හැකියි.
අපේ සිනමාවේත් මෑතකාලීනව ප්‍රසන්න විතානගේ සහ අශෝක හඳගමගේ චිත්‍රපට මා කලින් කී සංකීර්ණ සිනමා අත්දැකීම්වලට සමීප වන තරම් දැනුමක්, සංවාදයක් හා වින්දන පථයක් විවෘත කළා. එය අපේ සිනමාවේ වර්ධනීය අවස්ථාවක්.
එවැනි ලෝක මට්ටමේ සිනමා සංවාද තලයකට ඒවා අපේ සිනමාව ඔසවා තැබුවා. එහෙත් මේ විදිහේ් සංකීර්ණ ආත්ම ප්‍රකාශනවාදී සිනමාවකට පවතින දේශපාලන සංස්කෘතික හා මතවාදී පරිසරය කෙතරම් ඉඩ දෙනවාද කියන එකයි ගැටලුව. මේ පරිසරයේ එවැනි දේ, එවැනි වින්දන කලාප සීමා කරන්නටයි බල කරන්නේ.
අපේ ප්‍රේක්ෂකාගාරයත් අද ලිහිල් ආකල්පයකයි සිටින්නේ. එදා අසූව දශකයේ අප චිත්‍රපට බලද්දී ඉතා ආදරණීය ප්‍රේක්ෂකාගාරයක් අප දැක්කා. ඔවුන් පෙර සූදානමක් ඇතුව චිත්‍රපට බැලුවේ හෘදය සංවේදී බවකින්.
පෙම්වතියක් දකින්න යන තරම් ආදරණීය හැඟීමකින්. ඒ චිත්‍රපට ඔවුන් තදින් වැළදගෙන මතකයට ඉතිරි කරගත්තා. අද ප්‍රේක්ෂකාගාරය තුළ ඒ ආදරණීය හැඟීම නැහැ. අද ප්‍රේක්ෂකයින් චිත්‍රපටවලට අභියෝග කරනවා (විශේෂයෙන් දේශීය චිත්‍රපටවලට). හැකි නම් අපට විඳින්නට දෙයක් ලබා දීපන් වැනි සමච්චල් සහගත ආකල්පයකින් ඔවුන් මේවා දෙස බලන්නේ. දැන් ප්‍රේක්ෂකාගාරය සිනමා ශාලවෙන් ඈතට යමින් තිබෙනවා.
මේ ප්‍රේක්ෂකාගාරයේ ගැටලුව ජය ගන්නටත්, සිනමාව දියුණු වන්නටත් ලංකාවට විවිධ ඇත්දැකීම්, තේමා සහ ශෛලීන් රැගත් විවිධ වර්ගවල චිත්‍රපට අවශ්‍යයි. එකම තේමාවක් හා ශෛලීන්ගෙන් යුතු චිත්‍රපට අපට ලබා දෙන්නේ නීරස අත්දැකීම්. සිනමා ප්‍රෙක්ෂකයගේ් රස වින්දනය දියුණු තියුණු වනවා කියන්නේ විවිධත්වය ඔස්සේ අප ලබන පුළුල් රස වින්දනය හා අවබෝධයයි. වැදගත්ම දේ ප්‍රේක්ෂකයාට විවිධත්වය හා නිදහස් අර්ථ කථනයක් ලබා ගැනීිමට ඉඩ හැරීමයි.
0 comments:
Post a Comment