----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

ප්‍රියංකර රත්නායකගෙන් - අද වගේ දවසක ඇන්ටිගනී

Thursday, July 22, 2010

මම මේ නාට්‍ය ක්ෂේත්‍රයට එනකොට, නාට්‍ය ඉගෙන ගන්න පුළුවන් ක්‍රම දෙකයි තිබුණේ. එකක් නාට්‍ය බලන එක. අනික නාට්‍ය කියවන එක. ඒ කියවීම් අතර ආරියවංශ රණවීරගේ ‘ඇන්ටිගනී’ මුල් පරිවර්තනය කියවන්න ලැබෙනවා. නාට්‍ය පෙළක් හැටියට රස විඳපු මුල් අවස්ථාවේ ඒක මට එතරම් බරපතල විදිහට දැනුනෙ නෑ.

නමුත් මම ඊඩිපස් නාට්‍ය කරන්න ගත්තට පස්සෙ තමයි මේ ගැන උනන්දුව වැඩි වෙන්නෙ. ඒකට ප්‍රධාන හේතුව තමයි ඊඩිපස්වලින් පටන් ගන්න නාට්‍ය ත්‍රිත්වය ඇන්ටිගනීවලින් අවසන් වීම.

මේ නාට්‍ය ත්‍රිත්වයේ චරිත හා කතා එක හා සමාන වෙනවා වගේම ඊඩිපස් කරන අවස්ථාවේ ඒකේ යම් යම් දේවල් තේරුම් ගන්න අනිවාර්යයෙන්ම ඒකට ඈඳුණු ඇන්ටිගනී කියවන්න වෙනවා.

මෙන්න මේ හේතු නිසා ‘ඇන්ටිගනී’ නාට්‍ය පෙළක් හැටියට රස විඳින අතරේ, මේ නාට්‍යයේ සමහර දේවල්වල මතකය අලුත් කරන්න අසූ අට අසූ නවය කාලය හා සිද්ධි හේතු වෙනවා.

ඒ කාලේ අති විශාල තරුණ ජීවිත ප්‍රමාණයක් අකාලයේ මිය යනවා. හැත්තෑ එකේ කැරැල්ල ගැන අසා තිබුණු අපට 88 – 89 දී එයම අත් විඳින්න අපට සිද්ධ වෙනවා. පාරවල් ගාණේ මිනී පිච්චෙන, මිනී කඳු ගොඩ ගැහෙන අතරේ මේක නරඹන්නත් මිනිස්සු යනවා.

තමන්ගේම කෙනෙක් මරල දාලා තියෙන බව දැන ගත්තත් පවතින වාතාවරණය තුළ ඒ මිනිය හඳුන ගන්න හෝ ඊට තමන්ගේ තියෙන සම්බන්ධය හෙළි කරන්න හම්බ වෙන්නෙත් නෑ.

හේතුව එහෙම කළොත් ඊළඟ දවසේ එයාටත් අතුරුදහන් වීම හිමි වෙන නිසා. මේ නිසා මරණයකට හිමි විය යුතු ගෞරවයවත් හිමි නොවන තත්ත්වයක් ඇති වෙනවා.

පෙරදිග අපරදිග හැම සමාජයකම මරණයෙන් මතු ජීවිතය පිළිබඳ යම් බලාපොරොත්තුවක් තියෙනවා. මේ නිසාම ජීවත් වෙන අයගේ යුතුකම හා වගකීම තමයි මිය ගිය අයට නිසි අවසන් ගෞරවයක් ලබා දීම.

නමුත් මේකත් අපේ සමාජයට අහිමි වෙනවනෙ. මෙන්න මේ දේවල් දැකීමෙන් අපේ හෘද සාක්ෂියට ඇති වන කම්පනය පීඩාව සෑහෙන කාලයක් අපේ ජීවිත ඇතුළෙ රැඳෙනවා.

මෙන්න මේ අත්දැකීමත් එක්ක තමයි මට ඇන්ටිගනී වැදගත් වෙන්නේ. ඇන්ටිගනී නාට්‍යයේ තියෙන්නේ මෙන්න මේ කිව්ව දේවල්වලට එරෙහිව තරුණියක් තමන්ගේ සහෝදරයාට අවසන් ගෞරව දක්වන්න කරන අරගලයක්.

අපේ අත්දැකීම හා ඇන්ටිගනී අත්දැකීම අතර තියෙන සමානකම, සම්බන්ධය නිසා මේ නාට්‍ය නිෂ්පාදනය කළ යුතුයි. එහෙමත් නැතිනම් මේක මගේ ආත්ම ප්‍රකාශනය කර ගත යුතුය කියන අදහස මගේ හිතට ආවා.

* ඔබ කියන විදිහට මේ අත්දැකීම් දෙක සමාන නම් ඒක සමාජ ගත කරන්න මේ තරම් කාලයක් ප්‍රමාද වුණේ?

නාට්‍යයක් කරන කොට ඒක නිර්මාණාත්මක වශයෙන් පොහොසත් විදිහට කරන්න ඕන. එතකොට තමයි ඒකේ ප්‍රතිඵලයත් පොහොසත් වෙන්නේ. අපි නාට්‍ය කරන්නෙ දුප්පත් විදිහට නම් ප්‍රතිඵලයත් දුප්පත් වෙන එක වළක්වන්න බැහැ. වේදිකාව මත අපි කරන්න බලාපොරොත්තු වෙන දේවල් ඒ විදිහටම කරන්න නම් ඒකට නිසි සම්පත් කළමනාකරණයක් අවශ්‍ය වෙනවා.

ඇන්ටිගනී පමාවට ප්‍රධාන හේතුව ඒකට අවශ්‍ය ප්‍රතිපාදන සොයා ගන්නතුරු ඉන්න වීම. ‘ෆ්ලික්ට්’ ආයතනයෙන් මෑතක ඒ ප්‍රතිපාදන ලැබීම නිසයි මේ නාට්‍ය මේ විදිහට වේදිකා ගත කරන්න පසුබිම සැකසෙන්නෙ.

* ඔබ කලින් කිව් අතීත මතකයට මිනිස්සු අදත් ඒ විදිහටම ප්‍රතිචාර දක්වාවිය කියලා ඔබ හිතනවාද?

88, 89 විතරක් නෙවෙයි, පහුගිය කාලය පුරාම අපි යුද්ධයත් එක්කයි ජීවත් වුණේ. ඒ තුළින් අර අත්දැකීම නැවත අපි අත් වින්ඳා. එතෙන්දි උතුර, දකුණ, සිංහල, දෙමළ, හමුදාව, එල්. ටී. ටී. ය කියන හැම පාර්ශ්වයකම අයට අර අපි කලින් කිව්ව අවසාන ගෞරවයක් නැතුව මිය ගිය බව අපි දන්න දෙයක්. මේක අපේ සමාජයේ පොදු අත්දැකීමක්. මේ නිසාත් මේක අදටත් අපට සමීප අත්දැකීමක්.

අනිත් පැත්තෙන් මේ නාට්‍යයේ කතා කරන්නෙ මනුෂ්‍යා ස්වභාව ධර්මය විසින් නිර්මාණය කළාය. එනිසා ඔහු පාලනය වෙන්නෙ ස්වභාවික නීතියට අනුවය, කියන කාරණය.

මේ විදිහට ස්වභාව ධර්මයේ නිර්මාණයක් වන මනුෂ්‍යයා ඔවුනොවුන් පාලනය කර ගැනීම සඳහා තවත් නීතියක් හදා ගන්නවා. රාජ්‍යයක් හදා ගන්නවා. මේ නාට්‍යයේදී ගැටෙන්නෙ මේ කිව්ව රාජ්‍ය නීතිය හා ස්වභාවික නීතිය කියන දෙක.

මේ දෙක මැද්දෙ ඉන්න මනුෂ්‍යයාට එක මොහොතක තීරණයක් ගන්න වෙනවා. තමන් ස්වභාව ධර්මයේ නීතියේ පැත්ත ගන්නවාද, එහෙම නැත්නම් රාජ්‍ය නීතියේ පැත්ත ගන්නවාද කියන එක ගැන. එතෙන්දි අපි ස්වභාව ධර්මයේ නීතිය පැත්ත ගත්තොත් රාජ්‍ය නීතිය කඩන්න සිද්ධ වෙනවා.

ඒ වගේම රාජ්‍ය නීතිය පැත්ත ගත්තොත් එතෙන්දි ස්වභාවික නීතිය උල්ලංඝණය කරන්න සිද්ධ වෙනවා. මෙන්න මේ ප්‍රශ්නය ප්‍රධාන කොටම ‘ඇන්ටිගනී’ තුළ සාකච්ඡා කෙරෙන නිසා මම මේ නාට්‍ය දකින්නෙ සර්වකාලීන හා සර්ව දේශීය නාට්‍යයන් හැටියටයි.

* ඔබට කලිනුත් අපේ රටේ ‘ඇන්ටිගනී’ හැදුනා.

ඔව්, සෝමලතා සුබසිංහ අතින් තමයි ඒක නිර්මාණය වුණේ. නාට්‍යයක් හැටියට ඒක රස වින්දට ඒකෙන් මට ලොකු බලපෑමක් නම් ඇති වුණේ නෑ. ඒ වගේම ඒ නාට්‍ය සම්භාව්‍ය තලයට නැඹුරු වෙලා තිබුණත් වැඩියි. ඒ නිසා ඒක සාමාන්‍ය පොදු ජනයාට ආමන්ත්‍රණය කිරීමේදී තරමක් දුරස් තත්ත්වයකයි තිබුණෙ.

* එතකොට ඔබ අතින් නිර්මාණය වෙන ‘ඇන්ටිගනී’ වැටෙන්නෙ මොන ගණයටද?

ඔය සම්භාව්‍ය කියන ලේබලය ශේක්ෂ්පියර් නාට්‍ය, ග්‍රීක නාට්‍යවලට පස්සෙ කාලෙක වැදුණු එකක්. ඇත්තටම ඒවා සම්භාව්‍ය නාට්‍ය තමයි නමුත් ඒ තැනට ඒක ලඝු කරන්න බැහැ.

අපි ඔය සම්භාව්‍ය කියන නාට්‍ය ඒ රටවල සාමාන්‍ය පොදු ප්‍රේක්ෂකයා රස වින්ඳ නාට්‍ය ගණයටයි වැටෙන්නෙ. ග්‍රීක නාට්‍යකරුවෝ නාට්‍ය ලිව්වෙ නාට්‍ය සඳහා නෙවෙයි. ඒක ඒ අය කළේ පූජා කර්මයක් හැටියට සලකලා. නාට්‍ය ලිවීම පූජා කර්මයේ එක කොටසක්.

එතෙන්දි ඒක බලන්න එන හැම ප්‍රේක්ෂකයාටම රස වින්දනයක් සමඟ ඥානයක් ලබා දීම තමයි ඔවුන්ගේ බලාපොරොත්තුව වුණේ. ශේක්ෂ්පියර් ගේ නාට්‍යයක රජවරුත් ඉන්නවා, හොරු මංකොල්ල කාරයො එහෙමත් ඉන්නවා.

ශේක්ෂ්පියර්ගේ නාට්‍ය බලන ප්‍රේක්ෂකාගාරයෙත් මේ වගේ් අය ඉන්නවා. ඒක බලන ප්‍රේක්ෂකයාට තමන්ගෙ නියෝජනයකුත් නාට්‍යයේ තියෙන වග අවබෝධ වෙනවා.

ශේක්ෂ්පියර් තමන්ගේ නාට්‍ය තුළට ඒ කාලෙ තිබුණු ජනප්‍රිය ගීත ඇතුළත් කළේ මේ තත්ත්වය තේරුම් අරගෙන තිබුණු නිසයි. එහෙම කළේ මේ නාට්‍ය සාමාන්‍ය මිනිස්සුන්ට ගෝචර වෙන්න ඕනය කියන අවබෝධය උඩයි.

එහෙම කළාම ගැඹුරු සංවාදයකට වගේම හුදු රස වින්දනය සඳහා නාට්‍ය බලන්න එන අයත් ඒ නාට්‍ය වැළඳ ගන්න ඉඩ සැලසෙනවා. අපේ රටේ මේක කණපිට හැරිලා. විශේෂයෙන් පනස් ගණන්වලින් පස්සේ ග්‍රික නාට්‍ය, ශෙක්ෂ්පියර් නාට්‍ය සම්භාව්‍ය ලේබලය ගහලා සාමාන්‍ය මිනිස්සුන්ගෙන් ඈත් කළා

. නමුත් නූර්ති නාට්‍ය හැටියට පවා අපේ රටේ ශේක්ෂ්පියර් නාට්‍ය නිෂ්පාදනය වුණු විත්තිය අපිට අමතකයි. විධග්ධ නාට්‍ය සම්ප්‍රදායක් හොයාගෙන ගිය අපට මේවා පෙනුනෙත් නෑ. මෑත කාලෙ අපට අපේ රටේ දියුණු මට්ටමක ශේක්ෂ්පියර් නාට්‍යයක් දැක ගන්න නොලැබුණෙත් මෙන්න මේ හේතුව නිසයි.

මෙන්න මේ කාරණා තේරුම් ගත්ත කෙනෙක් හැටියට ‘ඇන්ටිගනී’ නිෂ්පාදනයේදී මම උත්සාහ කළේ පොදු රසික ජනයාට ළඟා කරන්න පුළුවන් නාට්‍යයක් කරන්නයි. මොකද ග්‍රීක නාට්‍ය වේවා, සංස්කෘත නාට්‍ය වේවා වැදගත්ම පුද්ගලයා වෙන්නේ ප්‍රේක්ෂකයා.

ලෝකය හැම වෙලාවෙම විශ්වාස කළේ නාට්‍යාගාරයකට එන ප්‍රේක්ෂකයා නාට්‍ය රස විඳින්න තරම් බුද්ධිමතෙක්ය කියලයි. කිසිම වෙලාවක රසිකයා ලේබල් කරන්න ගියේ නෑ. මොකද නාට්‍ය රස වින්දනය කියන්නෙ අභ්‍යාසයක්.

ඒ අභ්‍යාසය ලබන්න නම් පොදු රසිකයාට වැඩි වැඩියෙන් නාට්‍ය රස විඳින්න අවස්ථාව ලැබෙන්න ඕන. මම මගේ ‘ඇන්ටිගනී’ ගොඩ නැඟුවේ ඒ ගැන හිතේ තියාගෙනයි.

* අද අපට දකින්න තියෙන්නෙ එක්කො අතිශය සරල මිනිස්සුන්ව බලෙන් හිනා ගස්සන නාට්‍ය, එහෙමත් නැත්නම් අතිශය සංකීර්ණ නාට්‍ය. ඔබ මෙතෙන්දි තෝර ගන්නෙ මොන මාවතද?

ඔය කියන ධාරා දෙක හැමදාමත් ලෝකේ දකින්න තියෙන දෙයක්. ඉතා සීමිත පිරිසක් එක්ක අතිශය ගැඹුරු කාරණා සාකච්ඡා කෙරෙනවා වගේම ටෝක් ෂෝ වගේ හුදු විනෝදය පමණක්ම ඉලක්ක කර ගත්තු නාට්‍යයත් තියෙනවා.

ඒ අතර මැද ගැඹුරු වින්දනයයි, විනෝදයයි කියන දෙකම එක විට පවත්වාගෙන යන නාට්‍යයත් තියෙනවා. මේ ධාරාවන් තුනම ඉතාමත් උසස් මට්ටමින් පවත්වාගෙන යනවා නම් ඒක නාට්‍ය කලාවෙ දියුණුවට හේතුවක් වෙනවා.

නමුත් අපේ රටේ ඒක එහෙම වෙන්නේ නැති එකයි ප්‍රශ්නෙ. ගැඹුරින් ප්‍රේක්ෂකයාට ආමන්ත්‍රණය කරන නාට්‍යයක් නිෂ්පාදනය කළාට ඒ සඳහා වන ප්‍රේක්ෂකාගාරයක් හදා ගන්න අපේ අයට වුවමනාවක් නෑ.

ඒ වගේම විනෝදාස්වාදයට යොමු වුණු නාට්‍ය විධග්ධ පැත්තට හරවා ගන්න වුවමනාවකුත් නෑ. මගේ අදහස නම් දෙකම තියෙන්න ඕන. නාට්‍යයක නාට්‍යමය ගුණය නැතිකමෙන් තමයි මෙහෙම වෙන්නේ. අනිත් අතට අපට ඉහළ මට්ටමේ පූර්වාදර්ශ නැතිකම නැත්නම් මඳකමත් මේ තත්ත්වය ඇති වෙන්න හේතු වෙනවා. ක්‍රමානුකූල හැදෑරීමකට ඉඩක් නෑ.

ලෝක සාහිත්‍යය අපේ බසට හැරෙන වේගයෙන් ලෝක නාට්‍ය අපේ බසට පරිවර්තනය වෙන්නෙ නෑනෙ. මේ නිසා දියුණු නාට්‍ය සංස්කෘතියක් ගොඩ නැගෙන්න අවශ්‍ය වටපිටාවක් තවමත් අප වටා ගොඩ නැගිලත් නෑ. නාට්‍ය සාහිත්‍ය සම්ප්‍රදායක් නැති රටක මේ වගේ දේවල් වෙන එක අරුමයකුත් නෙවෙයි.

* ඔය කියපු කාරණාත් එක්ක ඔබේ ‘ඇන්ටිගනී’ ප්‍රේක්ෂකකයාට සමීප කරන්න ඔබ යම් උපායක් අනුගමනය කරනවාද?

ලාංකීීය ප්‍රේක්ෂකයා තමන්ගෙ වින්දනය දියුණු කර ගත්ත එක්තරා රටාවක් තියෙනවා. අපට ගීතය සහ නර්තනය බෙහෙවින් සමීපයි. බොහෝ දුරට හැම මනුෂ්‍යයෙකුගෙම ප්‍රියතම කලාව වෙන්නෙත් ගීතය කියලයි මට හිතෙන්නෙ. නැටුමත් මිනිස්සුන්ට බෙහෙවින් ආකර්ශනීය දෙයක්. ග්‍රීක නාට්‍යකත් ගායනයට වැදගත් තැනක් හිමි වෙනවා.

ඒ නිසා ‘ඇන්ටිගනී’ සංගීතමය නාට්‍යයක් හැටියට ගෙඩ නගන්න මම උත්සාහ කළා. වර්තමාන ප්‍රේක්ෂකාගාරය ආකර්ෂණය කර ගන්න පුළුවන් විදිහේ ගැඹුරක් එක්ක බැඳිච්ච සංගීත හා නර්තන භාවිතයක් මේ සඳහා මම යොදා ගත්තා.

මම එහෙම කළේ අපි මේ නාට්‍යයෙන් කියන දේ මිනිස්සු අතරට ගෙනියන්න ඕන නිසයි. නාට්‍යයක හරය රසිකයා වටහා ගන්න ඕනය කියන එකයි මගේ බලාපොරොත්තුව.

ඒ නිසා ඒ වෙත ප්‍රේක්ෂකයා ගෙන යන්න මම උත්සාහ කළා. ඒ වගේ්ම ඒ සඳහා අවැසි සංවේදී බව ගීතය සහ නර්තනය ඇසුරෙන් මම ගොඩ නැගුවා. ඒ නිසා මගේ මේ නාට්‍යයේදී පෙළ වගේම සංගීතය සහ නර්තනයත් වැදගත් මෙහෙයක් ඉටු කරනවා.

* ඔය කියන කාරනා ඉටු කර ගන්න සුවිශේෂි මැදිහත්වීමක් මේ නාට්‍ය සඳහා කෙරෙනවාද?

ඇත්තෙන්ම ඔව්, එක උදාහරණයක් තමයි මේ සඳහා සංගීතයෙන් දායක වන ප්‍රමිත් දහනායක. ඔහු හොඳ සංගීතඥයෙක් වගේම දර්ශනය විෂය පිළිබඳ උපාධිධාරියෙක්. මේ නිසා සංගීත දැනුම වගේම දැක්මත් ඔහුට තියෙනවා.

පෙරදිග, අපරදිග සංගීත භාවිතාව පිළිබඳ හොඳ අවබෝධයක් ඔහුට තියෙනවා. අපි අතර නිර්මාණ කාර්යය හා රස වින්දනය සම්බන්ධයෙන් තියෙන අවබෝධය මෙතනදී ප්‍රයෝජනවත් වුණා.

ලාංකීය සංගීතය හා පෙරදිග අපරදිග සංගීත මූලාශ්‍රයන් මේ සඳහා යොදා ගත්තා. නර්තනයත් මෙතනදි වැදගත් නිසා හොරණ ශ්‍රීපාලියේ උපාධිධාරිනියක් වන හර්ෂිකා රත්නායකගේ දායකත්වය ලබා ගත්තා.

* ඔබ මේ නාට්‍ය නම් කරන්නේ අද වගේ දවසක සොපොක්ලිස් ගේ ඇනිටිගනී කියලා?

ඒකෙන් අදහස් කළේ එදා සහ අද අතර යම් කිසි පාලමක් හදන්නයි. මේකෙන් ප්‍රේක්ෂකයාට අද වගේම, එදා දවසත් මතක් වෙනවා. මේක අතීතය සහ අද එක විට සිහියට නැගෙන නාට්‍යයක්.

* ඔබ වේදිකාවට ගේන්නේ පරිවර්ථනයක්. පරිවර්ථනවලට වඩා රටකට අවශ්‍ය ස්වතන්ත්‍ර නාට්‍යය කියන අදහසක් අපේ රටේ මුල් බැසගෙන තියෙනවා. මේ ගැන ඔබ බලන්නේ කොහොමද?

ස්වතන්ත්‍ර නාට්‍ය පිළිබඳ අපේ අයට පොඩි පිස්සු අදහසක් තියෙනවා. හැමෝම ස්වතන්ත්‍ර නාට්‍ය කරන රටක් ලෝකයේ කොහේවත් නෑ. අනිත් අතට ස්වතන්ත්‍ර නාට්‍යකරුවො කියන්නේ පඳුරකට පයිං ගැහුවම විසි වෙන විදිහේ අය නෙවෙයි. ස්වතන්ත්‍ර නාට්‍යකරුවො බිහි වෙන්නේ විශාල වැර වෑයමක ප්‍රතිඵලයක් විදිහට. ඒකට උචිත පරිසරයක් රටක තියෙන්නත් ඕන.

නිර්මාණකරුවාට හා රසිකයාට නාට්‍යයක්ද කියන එක මිසක් ඒක ස්වතන්ත්‍ර ද, පරිවර්තනයක් ද කියන එක වැදගත් නෑ. අනිත් අතට අපි විවිධ රටවල විවිධ ශෛලීන්වල නාට්‍ය හදාරන්නේ නැතිව ඕපපාතිකව කොහොමද ස්වතන්ත්‍ර නාට්‍යක් නිර්මාණය කරන්නෙ.

මට නම් වැදගත් වෙන්නේ මම කරන්නේ පරිවර්තනයක් ද, ස්වතන්ත්‍ර නාට්‍යයක් ද කියන එකට වඩා මම කරන්නේ හොඳ නාට්‍යයක් ද නැද්ද කියන එකයි. අනිත් කාරණය පරිවර්තන නිර්මාණයක් කියන්නේ වෙනත් භාෂාවකින් ලිය වෙච්ච දෙයක් වචන ටික සිංහල කරන එක නෙවෙයි.

අනිත් අතට මම මොන දේ කළත් මම කරන දේ මේ මොහොතේ මේ පොළවේ මිනිසුන්ගේ හැඟීම් දැනීම් එක්ක ගනුදෙනු කරන්නේ නැත්නම් ඒ නාට්‍ය මේ සමාජයේ මුල් අදින්නේ නෑ.

අපේ රටේ මෙතෙක් බිහි වුණු ස්වතන්ත්‍ර නාට්‍යවලින් අතලොස්සක් පමණක් ඉතිරි වෙන්න ප්‍රධාන හේතුවත් ඒකයි. යම් නිර්මාණයකින් වෙනස්ම වූ දැක්මක්, තමන්ගේම ආත්ම ප්‍රකාශනයක් එළියට දාන්න පුළුවන් නම් අන්න ඒකයි වැදගත් වෙන්නේ.

ශිල්පීය දායකත්වය ගැන සඳහන් කළොත්?

අධ්‍යක්ෂණය හා රංග වින්‍යාසය කියන කාර්යට මම සම්බන්ධ වෙනවා. හර්ෂිකා රත්නායකගේ දායකත්වයත් රංගනයට එකතු වෙනවා.

පරිවර්තනය ආරියවංශ රණවීර. සංගීතය ප්‍රමිත් දහනායකගෙන්. රංගනයට විශ්වජිත් ගුණසේකර, කෞශල්‍යා මෙන්ඩිස්, ප්‍රසාදිනී අතපත්තු, ෙඖපදි වික්‍රමසිංහ, ප්‍රියන්ත සිරි කුමාර, සමන් මලලසේකර, තුමිදු දොඩන්තැන්න, තුසිත ලක්නාත්, සමාධි ලක්සිරි, නලීන් ලුවේතා එකතු වෙනවා.

0 comments:

Post a Comment