----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

Lanka Art Chat Room - එන්න අපි කතා කරමු

හොඳ රස වින්දනයක් ලබා දීම අපේ අරමුණයි

Saturday, July 31, 2010

ප්‍රවීණ නාට්‍යවේදී රාජිත දිසානායක

ආපහු හැරෙන්න බැහැ, සිහින හොරු අරන්, වීරයා මැරිලා රාජ්‍ය සම්මාන දිනූ නාට්‍ය ත්‍රිත්වය ද රැගෙන අගෝස්තු 5, 6, 7 යන දිනයන් හි ලයනල් වෙන්ඩ්ට් හී දී රාජිත ඔබ හමු වෙනවා. මේ කතාබහ ඒ නිමිත්තෙනි.

මේ දක්වා ඔබේ නාට්‍යයත් එක්ක රට වටා ගිය ගමනේ අත්දැකීම් ගැන මතක් කළොත්?

විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන දේ තමයි කොළඹදීත් ඉන් පිටදීත් තරුණ ප්‍රේක්ෂක පිරිස වැඩි වැඩියෙන් වේදිකා නාට්‍ය වටා එක් රොක් වන බව පෙනෙන්න තියෙනවය කියන කාරණය.

මම මෙහෙම කියන්නේ විදේශයන් හි දී ලබපු අත්දැකීමත් එක්කයි. ජර්මනිය, ඇමරිකාව වගේ රටවලදී පරිණත එහෙමත් නැත්නම් මුහුකුරා ගිය අවුරුදු පනහෙ හැටේ වයස්වල පසුවන තරමක් වියපත් ප්‍රේක්ෂකාගාර තමයි දකින්න ලැබුණේ. ඒ රටවල තරුණ පිරිස නාට්‍ය වටා එකතු වෙලා හිටියෙ හරිම අඩුවෙන්.

ඒ රටවල නාට්‍යකරුවන් එක්ක අදහස් හුවමාරු කර ගනිද්දී අපට අමතන්න ලැබෙන තරුණ ප්‍රේක්ෂකාගාර ගැන ඔවුන් බෙහෙවින් සතුටු වුණා. හේතුව ඒ රටවල නාට්‍යකරුවන්ට තරුණ ප්‍රේක්ෂකයන් ආකර්ශනය කර ගැනීම තමයි ඔවුන්ට තියෙන ලොකුම අභියෝගය.

ඇතැම් නාට්‍යකරුවන් තමන්ගේ සම්භාව්‍ය නාට්‍ය නව විධි ක්‍රම අනුව ප්‍රතිනිර්මාණය කරමින් හෝ තරුණ ප්‍රෙක්ෂකයන් තමන් වටා ගොනු කර ගන්න දැඩි උත්සාහයක් ගන්න පසුබිමක අපේ රටේ තරුණ ප්‍රේක්ෂක සහභාගිත්වය අපි අත් වින්ඳ හොඳ අත්දැකීමක් සතුටුදායක ප්‍රවණතාවයක්. ඒ වගේම මගේ නාට්‍ය තේමා හා එය ඉදිරිපත් වන විදිහ පිළිබඳව අති බහුතරයකගෙන් ප්‍රසංශාත්මක දේවල් තමයි අහන්න ලැබුණෙ.

මේ නාට්‍ය චාරිකාවේදී මා ලබපු අනිත් අත්දැකීම තමයි නාට්‍ය ශාලාවකට එන්නේ ඇයි, නාට්‍යයක් නරඹන්නේ කොහොමද කියන ශික්ෂණයක් නොලබපු ප්‍රේක්ෂක පිරිසකුත් මුණ ගැසීම. සරලව කිව්වොත් ගෙදර ඉඳගෙන කන බොන කතා කරන ගමන් රූපවාහිනියත් බලලා පුරුදු ප්‍රේක්ෂකයා ඒ පුරුදු හා ඇබ්බැහිවීම් ටිකත් නාට්‍යාගාර ඇතුළටත් අරගෙන එනවා.

මට දැනෙන විදිහට නම් කලා කෘතියක් රස වින්දනය කරන්නට අවශ්‍ය හැදියාව ඔවුන්ට අධ්‍යාපනයෙන් ලැබිලා නෑ. වෙනත් කිසිදු කලා මාධ්‍යයකින් ලබා ගත නොහැකි විශේෂිත වූ වින්දනයක් ලබා දෙන වේදිකා නාට්‍ය හෙවත් සජීවී රංගය වෙත හරි පාරෙන් මේ රසික පිරිස කැඳව ගන්නේ කොහොම කියන එකත්.

රඟහලේ සිටින ප්‍රේක්ෂකයත් ඒ රංගනයේ කොටස් කරුවෙක් කියන එකත් මේ කිව්ව අසංවිධිත ප්‍රේක්ෂකයාට තේරුම් කරවන්නේ කොහොමද කියන එක ගැන මම හිතන්න පෙළඹිලා ඉන්නේ රට වටා මගේ නාට්‍යයත් එක්ක ගිය ගමනෙන් ලද අත්දැකීම් නිසයි.

මොකද නාට්‍යයක පරිපූර්ණත්වයට රංග කාර්ය වගේම ඒ රංගනය මැනවින් විඳ ගන්නා ප්‍රේක්ෂකාගාරය කියන එකත් ඉතාම වැදගත්ය කියන එකයි මගේ හැඟීම. නාට්‍ය ශාලාවකට එන පේ‍්‍රක්ෂකයාට රංගනයට බාධා වන සේ හැසිරෙන්න එපා.

ජංගම දුරකතන අක්‍රිය කර ගන්න. කෑම බීම රඟහලට ගෙන ඒමෙන් වළකින්න කියලා නිවේදනය කරන්න සිද්ධ වෙන එක වගේම එකී නිවේදන නොතකා ක්‍රියා කරන ප්‍රේක්ෂකයන් හමු වීම කියන කාරනා නාට්‍යකරුවකු හැටියට අවාසනාවන්ත තත්ත්වයක් හැටියටයි මට හැඟෙන්නේ.

අපි මේ කතා කළ කාරණාවලින් පේන එක දෙයක් තමයි අපි අනෙකා ගැන තකන්නේ නෑ කියන එක. ඒ වගේම, මේ සමාජයත් තමන්ට සිද්ධ වෙන ඕනෑම හිරිහැරයක් කිසිදු ප්‍රතිවිරෝධයකින් තොරව නිහඬව විඳ ගන්න සූදානම්ය කියන එක. මේක සමාජයක් හැටියට ඒතරම් හොඳ දෙයක් නෙවෙයි කියන එකත් අපි තේරුම් ගත යුතුව තියෙනවා. මේ කිව්ව අත්දැකීම් දෙක තමයි මට පහුගිය කාලයේ විශේෂයෙන්ම දැනුණු අත්දැකීම් බවට පත් වුණේ.

* ඔබම සංවිධානය කරන මේ නාට්‍ය උළෙලේ දී මේ දෙවනුව කිව්ව කාරණයට ඔබ මුහුණ දෙන්න යන්නේ මොන විදිහට ද?

පසුගිය නාට්‍ය උළෙලෙදි මම කියන මේ දේ ඔබත් අත් විඳින්න ඇති. ප්‍රේක්ෂකාගාරයට එන ප්‍රේක්ෂකයාව සුහදව පිළිගන්නව වගේම අපි අපේ නාට්‍ය බලන්න එන රසිකයාගෙන් ඉල්ලා හිටිනවා දුරකතන ක්‍රියාත්මක කිරීමෙන් වළකින්න, අඬන දරුවන් සෙසු ප්‍රේක්ෂකයන්ට බාධාවක් නොවන විදිහට තියා ගන්න කියලා.

ඒ වගේම රඟහල තුළට එන ප්‍රෙ‍්‍ර්ක්ෂකයාට සහාය වෙන්න හැම දොරටුවකම ඒ සඳහා විශේෂිත පුද්ගලයන් රඳවා තබනවා අවශ්‍ය අවස්ථාවක මැදිහත් වෙන්න. මේ හුරු කිරීම අපි කරන්නේ ඕපපාතිකව නෙවෙයි.

දියුණු රටවල නාට්‍ය ශාලාවක් කියන්නේ අතිශය විනය ගරුක තැනක්. අපිම සංවිධානය කරන නාට්‍ය උළෙලේ රසිකයන් අසුන් ගැන්වීමේ සිට දියුණු රටවල ක්‍රියාත්මක ශිෂ්ට සම්පන්න ක්‍රමවේදයන් අපේ ප්‍රේක්ෂකාගාර සමඟත් අපි අත්හදා බලනවා. ප්‍රේක්ෂකයන්ගෙනුත් ඉතා අතලොස්සක් හැර අති බහුතරය අපේ අත්හදා බැලීම්වලට ඉතා යහපත් ප්‍රතිචාර පසුගිය වසරේදීත් අප වෙත ලබා දුන්නු වගත් සිහි කරන්න ඕන.

* ප්‍රේක්ෂකාගාරය ගැන ඔබ ඔය තරම් වද වෙන්නේ ඇයි?

ප්‍රේක්ෂකාගාරයකින් ලැබෙන ප්‍රතිචාරවලින් නාට්‍යයේ අරුත් තීව්‍ර කරනවා වගේම රංගන ශිල්පීන්ගේ හඬ, විරාමය, අභිනය ආදියෙන් මතු කරන අරුත් ඔප වැටෙන්නේ නාට්‍යයත් සමඟ ආත්මීය බැඳීමක පසු වන ;ප්‍ර්ක්ෂකාගාරයකිනුයි.

නාට්‍යයක් කියන්නේ සමාධි ගත වෙලා නරඹන අජීවී දෙයක් නෙවෙයි. සහභාගිත්ව ප්‍රතිචාරය නාට්‍යයක රස මතු කරන්න අතිශය තීරණාත්මක ලෙස බලපානවා. තමන්ට ලැබෙමින් තිබෙන ප්‍රතිචාර අදාළ රංගන ශිල්පියා තුළට ජීවයක් ලබාදෙනවා. ප්‍රේක්ෂකාගාර ප්‍රතිචාරත් එක්ක නළුවා තුළ සියුම් සැකසීම් සිද්ධ වෙනවා.

මම මේකෙන් කියන්නේ ප්‍රේක්ෂකාගාරයෙන් ලැගෙන සිනහවට නළුවා අනුගත වෙනව කියන එක නෙවෙයි. ප්‍රේක්ෂක ප්‍රතිචාරයෙන් තමයි නාට්‍යයක අරුත් තීව්‍ර වීම, උත්ප්‍රාසය සහ යටි පෙළ මතුවීම වගේ කාරණාත් වඩා කුළු ගැන්වෙන්නේ. ප්‍රේක්ෂකයාගේ හිනාව, හීල්ලිල්ල ඇතුළු හැඟීම් ප්‍රකාශනය නාට්‍යයකට ජීවය කවනවා.

සංගීතය වැනි අතිරේක වෑයමකින් නාට්‍යයක අරුත් අප විසින් තීව්‍ර කරන්නවාට වඩා සජීවී ප්‍රෙක්ෂක ප්‍රතිචාරයන් නිසා එය වඩාත් හොඳින් සිද්ධ වෙන බව අත්දැකීමෙන් දන්න නිසාත්, එබඳු සජීවී ප්‍රේක්ෂකාගාරයක රඟන රංගන ශිල්පියා එක මොහොතකවත් තමන්ගේ භූමිකාව ගිලිහී යා නොදී මැනවින් රඟ දක්වන නිසාත් තමයි මම ප්‍රේක්ෂකාගාරය ගැන වැඩි සැලකිල්ලක් දක්වන්නේ.

* නාට්‍ය පිළිබඳ ඇගැයීම් හා විවේචන ගැන තියෙන්නේ මොන වගේ අදහසක්ද?

මේ ගැන කතා කරද්දී අපට අහන්න දකින්න ලැබෙන්නේ එක්කෝ ඇගයීමක් එහෙමත් නැත්නම් බරපතළ ප්‍රතික්ෂේප කිරීම්. ඔය දෙක අතර කෙරෙන විචාරයන් හා විවේචනාත්මක අගය කිරීම් අපේ රටේ හරිම අඩුයි. මගේ නාට්‍යවල සාධනීය අංග ඉහළින්ම අගය කරන කොටසක් ඉන්නවා වගේම මේ නාට්‍ය භාවිතාවන් ප්‍රතික්ෂේප කරන කොටසකුත් ඉන්නවා.

රස වින්දනයේදී විතරක් නෙවෙයි, දේශපාලනය ඇතුළු බොහෝ දේවල් සම්බන්ධයෙන් අපේ රටේ තියෙන පොදු තත්ත්වයයි මේක. මේක අඩුවක් හැටියටයි මට පේන්නේ. එක් පිරිසක් මගේ මේ නාට්‍ය යළි යළිත් රස විඳිමින් ඉන්න අතරේ තව පිරිසක් මගේ නාට්‍ය වෙත අර විදිහට සමීප වෙන්නේ නැත්තේ ඇයි කියන කාරණය ගැන මම හිතන්න පෙළඹිලා තියෙනවා.

එතෙන්දි මගේ පැත්තෙන් වෙන්න ඕන මොනවද, මගේ නාට්‍ය භාවිතාවේ සිදු විය යුතු වෙනස්කම් මොනවද වගේ කාරණා මගේ අලුත් නිෂ්පාදනයේදී අත්හදා බලන්න උත්සාහ ගනිමින් ඉන්නවා. මොකද නිර්මාණකරුවෙක් හැටියට මට අවශ්‍ය මගේ නිර්මාණ වැඩි ප්‍රේක්ෂක පිරිසක් අතරට ගෙනි යන්නයි.

ඒ සඳහා සුදුසු විධි ක්‍රමයන් සොයා බලමින් ඉන්නවා. හේතුව මට නම් සමාජ දේශපාලන කාරණාවලින් වියුක්තව කලා ප්‍රකාශනවල යෙදෙන්න වෙහෙසෙන එක තේරුමක් නෑ. නිර්මාණකරුවෙක් හැටියට මට මේ සමාජයත් එක්ක බෙදා හදා ගන්න තියෙන හැඟීම් සිතීම්, වේදනාවන් පළ කරන්න මට අවශ්‍ය වෙනවා. ඒ එක්කම මිනිස් හැසිරීම් තුළ තිබෙන සුවිශේෂ තත්ත්වයන් ගැඹුරින් විවරණය කරන්නත් මට අවශ්‍ය වෙනවා.

රචකයෙක් හැටියට එය කිරීම විශාල අභියෝගයක්. විවිධ රුචිකත්වයන්ගෙන් යුත් රසිකයන් හැකි පමණ සමබරව ප්‍රේක්ෂකාගාරයට ගොනු කර ගන්න ඕනය, ඒ සඳහා ලැබෙන ඇගයීම් හා විවේචන ඉතා වැදගත්ය කියන එකයි මගේ් තේරුම් ගැනීම.

* වේදිකාව නළුවාගේ මාධ්‍යය කියන කාරණය දෙස අධ්‍යක්ෂවරයකු හැටියට ඔබ බලන්නෙ කොහොමද?

අපේ රටේදී කොච්චර අත්දැකීම් බහුල නළුවෙක් වුණත් ඔහුට මුහුණ දෙන්න සිද්ධ වෙන සමාජ ජීවිතය ඇතුළෙ තමයි නළු කාර්ය සඳහා අවශ්‍ය ඉඩකඩක් හොයා ගන්න වෙන්නේ.

මේ වගේ තත්ත්වයක් යටතේ තෝරා ගත් නළුවෙකුගේ නිර්මාණයකට අදාළ රංගනය අඛණ්ඩව පවත්වාගෙන යාම අධ්‍යක්ෂවරයකුට මුහුණ දෙන්න සිද්ධ වෙන විශාල අභියෝගයක්.

නළුවන් සමඟ දිගින් දිගටම සංවාද කරමින් පුහුණුවීම් කරමින් තමයි නළුවාගේ රංගන අඛණ්ඩතාව පවත්වා ගන්න වෙන්නේ. එහෙම නොවුණොත් සමස්ත නාට්‍යයේ මුල් ස්වභාවය ක්‍රමිකව ගිළිහෙනවා. යම් නාට්‍ය පෙළක් ඒ සඳහා වන නළු නිළියන් තෝරා ගෙන පුහුණු කළායින් පසුව එය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාමයි සාමාන්‍යයෙන් සිද්ධ විය යුත්තේ.

එය ඒ ආකාරයට සිද්ධ වෙනවා නම් නාට්‍ය පළමුවර රඟ දැක්වීමෙන් පසුව අධ්‍යක්ෂවරයාගේ කාර්ය බොහෝ දුරට නිම වෙනවා. අපි දන්න විදිහට ලෝකයේ වෙනත් රටවල නම් සිද්ධ වෙන්නේ ඒකයි. නමුත් ලංකාවේදී නම් අධ්‍යක්ෂවරයාගේ කාර්ය එසේ නිම වෙන්නේ නෑ. හැම රංගනයක් වෙනුවෙන්ම නළුවන් සමඟ කටයුතු කරමින් චරිතය තුළ අදාළ නළුවාව ජීවත් කරවන්න අධ්‍යක්ෂවරයාට සිද්ධ වෙනවා.

එහෙම නොවුණොත් නළුවාගෙන් අදාළ චරිතය ගිලිහෙන්න තියෙන ඉඩකඩ වැඩියි. මේ නිසා නිරන්තර වෙනස්වීම් හා හැල හැප්පීම්වලට භාජනය වෙමින් සිටින නළුවා යළි සූදානම් කොට සකස් කොට තමන්ගේ නාට්‍ය සඳහා යොදා ගැනීම, යොමු කිරීම හා මෙහෙය වීම අඛණ්ඩව අධ්‍යක්ෂවරයාට සිද්ධ කරන්න වෙලා තියෙනවා. වේදිකාව නළුවාගේ මාධ්‍ය කියන අදහසට අධ්‍යක්ෂවරයෙක් හැටියට මමත් කැමැතියි.

හේතුව පළමු රංගනයෙන් පසු එතැනින් මනස නිදහස් කර ගන්න වෙනත් නිර්මාණයකට යන්න ඉඩ හසර සැලසෙන නිසා. නමුත් ප්‍රයෝගිකව අපේ රටේ දී නම් නාට්‍යයක් හොඳ ගුණාත්මක තත්ත්වයකින් ප්‍රේක්ෂකයාට සමීප කරන්න නම් අධ්‍යක්ෂවරයකුට නිරන්තරයෙන්ම මැදිහත් වෙන්න සිද්ධ වෙනවා.

නළුවා මතම පමණක් පූර්ණ විශ්වාසය තබමින් අධ්‍යක්ෂවරයාට නිදහස් වෙන්න පුළුවන් කමක් නෑ. නළුවාගේ කාර්යය ඉතාම සුවිශේෂය කියන එක පිළිබඳ තර්කයක් නෑ. නමුත් නළු කාර්ය පරිපූර්ණ විදිහට සිද්ධ කරන්න අපේ රටේ දී නම් අධ්‍යක්ෂවරයාට නිරන්තරයෙන්ම නාට්‍යයත් සමඟ රැෙඳන්න වෙනවා. එහෙම නෙවෙයි නම් ඕනෑම දක්ෂ නළුවෙකු අතින් මේ සජීවී රංග කාර්යයේදී ගිලිහීම් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා.

* සමාජයේ සෙස්සන් අතරින් නළුවෙකු මතු කර ගැනීම කියන කාරණය සිද්ධ වෙන්නේ මොන විදිහටද?

මම මගේ් නාට්‍යවලට නළුවන් තෝර ගෙන තියෙන්නේ ඒ ඒ අවස්ථාවේ හැටියටයි. වෙනත් නාට්‍යවල රඟපානවා දැකලා තෝර ගත්තු පිරිසක් ඉන්නව වගේම සෞම්‍ය වගේ කෙනෙක්ව මම තෝර ගන්නේ වෙනත් රිහසල් එකකදී දැක්ක දවසෙමයි. මම ලියමින් හිටිය ‘හංසයන්ටත් මං ආසයි’ නාට්‍යයේ චරිතය ඔහුට කරන්න පුළුවන් වෙයි කියන හැඟීමෙන් තමයි ඒ තේරීම කළේ.

තරිඳි මගේ නාට්‍යයකට කලින් රඟපාලා තිබුණෙ නෑ. ශ්‍යාම් ප්‍රනාන්දු වැඩමුළු නාට්‍යවල විතරක් අත්දැකීම් තිබුණු කෙනෙක්. ගිහාන් චිකේරා ඉන් පෙර සිංහල නාට්‍යවල රඟපාලා නෑ. සමහර අයව දැක්කම ඔවුන් තුළ තිබෙන රංග ප්‍රසන්නභාවය මට දැනෙනවා. යම් යම් පුද්ගලයන්ගේ ස්වභාවයන් විසින් අපට හඟවනවා ඔවුන් තුළ තිබෙන ස්වභාවයන් කිසියම් විදිහකට උත්සාහ ගත්තොත් මෙහෙයව ගන්න පුළුවන් වේවිය කියලා.

එහෙම උත්සාහ කරපු අවස්ථා බොහොමයක් සාර්ථක වෙලත් තියෙනවා. නළුවා කියන කෙනා සාමාන්‍ය කෙනකුට වඩා සුවිශේෂ වෙන්නේ ඔහුගේ ශරීරය සහ කටහඬ නළු කාර්යය සඳහාම පුහුණු කරගෙන තියෙන නිසයි. මේ නිසා නළුවකු බිහි වෙන්න නම් අපි හඳුනා ගන්න කෙනා ඒ සඳහා පුහුණු වෙන්නට කැමැති වීම අවශ්‍ය වෙනවා. ඕනෑම කෙනෙකුට නළුවෙක් වෙන්න පුළුවන්.

නමුත් එහෙම වෙන්න නම් අර පුහුණු ක්‍රියාවලියට ඔහු හෝ ඇය එකඟ වෙන්න ඕන. ඒත් ඒ පුහුණු ක්‍රියාවලිය එක්තරා ආකාරයක වෙහෙස කර තෘප්තියක්. වේදනාත්මක ආශ්වාදයක් තමයි නළු කාර්යයකින් ලැබෙන්නේ. නළු කාර්යයේ චමත්කාරය විඳීන්න නම් ඒ සඳහා වන කැප කිරිම් කළ යුතු වෙනවා. ඒ වගේම මනසින් බොහෝ නිදහස් කෙනෙක් වෙන්න ඕන.

නොයෙක් අදහස් මති මතාන්තර කර පින්නා ගත්තු කෙනෙකුට හොඳ නළුවෙක් වෙන්න බෑ. ඒ වගේම ඒ තෝරා ගන්න කෙනාට නළු කාර්යය සඳහා හැකියාවක් හා නිරීක්ෂණ ශක්තියක් තියෙන්න ඕනෑ. එහෙම කෙනෙකුට තමයි නළුවෙක් හැටියට සාර්ථක වෙන්න පුළුවන් වෙන්නේ. මාත් එක්ක වැඩ කරන නළුවන් නම් තම නළු කාර්ය සඳහා තව තවත් වෙහෙසෙන්න සූදානම් පිරිසක්.

මේ සජීවී මාධ්‍යයක් නිසා තම රංගනය ස්ථාවරව පවත්වාගෙන යාම ඉතාමත්ම වැදගත්. ඒ නිසා රංගනය සඳහා වැඩි කැමැත්තක් තියෙන පිරිසක් තෝරා ගත්තහම ඔවුන්ව නිර්මාණ කාර්යයට අවශ්‍ය විදිහට හසුරුවා ගැනීම පහසුයි.

* මෙවර ඔබේ නාට්‍ය උළෙල ගැන?

අපේ ජීවිත වගේනෙ නාට්‍යයත්. යම් මොහොතකට පස්සේ නැහැනෙ. අපේ ජීවිත හැමදාකම නෑ වගේ මේ නාට්‍යත් හැමදාම නෑ. මේ නාට්‍ය තව තවත් රසික පිරිස අතරට ගෙනයාමේ උත්සාහයක් තමයි මේ උළෙල.

අලුත් හුස්මක් අරගෙන අලුත් නිර්මාණයකට යන්න පෙරතුව වැඩි දෙනෙකුට හොඳ රඟහලක් තුළ හොඳ නාට්‍ය රස වින්දනයක් ලබා දී මේ අරමුණින් තමයි අපි මෙය සංවිධානය කරන්නේ.

READ MORE - හොඳ රස වින්දනයක් ලබා දීම අපේ අරමුණයි

නිවේදකයකුට හොඳ හඬක් සහ චතුර බවක් තිබිය යුතුයි

ප්‍රවීණ නිවේදක වසන්ත රෝහණ කියයි

අපේ රවේ නිවේදකයෝ බොහෝ වෙති. එහෙත් දේශීය සංස්කෘතික හරපද්ධතීන් හා ජාතික අනන්‍යතාවය රැක ගනිමින් එම වෘත්තියේ නියැළෙන සැබෑ නිවේදකයන් විරලය.

ඔහු නිවේදකයකු වන්නේ හුදු වචන හරඹයන් නිසා නොව සුදුසු වචන සුදුසු තැනට යොදා වියත් බස් වහරකින් අප ආමන්ත්‍රණය කරනා බැවිනි. එසේම ඔහු එකම තැනකට කොටු වූ නිවේදකයකු ද නොවේ. ගුවන් විදුලිය, රූපවාහිනිය, ප්‍රසංග වේදිකාව මේ කොයිකත් ඔහුට එක සේ හුරු පුරුදුය. වසන්ත රෝහණ යැයි කියූ විට අපේ රටේ බොහෝ දෙනා ඔහු හඳුනන්නේ එබැවිනි.

පසුගිය දිනෙක ඔහු ශ්‍රී ලංකා ගුවන් විදුලියේ විශේෂ ශ්‍රේණියේ නිවේදක තනතුරට පත් කරනු ලැබීය. එය ගුවන් විදුලි නිවේදකයකු හට ලැබිය හැකි ඉහළම තනතුර ද වේ.

‘සරසවියේ’ උණුසුම් ශුභාශිංසනය අපේ ළෙන්ගතු මිතුරා වෙත පුද කරමින් අප මෙසේ ඔහු හා පිළිසඳරකට එක් වුණෙමු.

ගුවන් විදුලි නිවේදකයකුට ලබා ගත හැකි ඉහළම ගෞරවය පසුගිය දා ඔබට හිමි වුණා?

ගුවන් විදුලි නිවේදකයකුට ලැබෙන ඉහලම තැන තමයි මේ සුපිරි ශ්‍රේණිය, නැතිනම් විශේෂ ශ්‍රේණිය. ඉතින් ඒක මට ලැබුණා. ඇත්තටම ඉතින් මම හරි සතුටු වෙනවා ඒ ගැන. මොකද අතීතයේ සිටි තිස්ස ජයවර්ධන වැනි දැවැන්තයන්ටත් ඔය තනතුර හිමි වුණා. එහෙම කීප දෙනෙක් හිටියා. තව අවුරුදු දහයක් මට සංස්ථාවේ වැඩ කරන්න පුළුවන්. ඒ කාලය ඉතිරිව තිබියදී මට මේක ලැබීම සතුටක්. බොහෝ අයට මේ තනතුර ලැබෙන්නේ විශ්‍රාම යන්න කිට්ටුව.

කවදාද ඔබ ගුවන් විදුලියට ආවේ?

1990 පෙබරවාරි 08 වැනිදා. වසර විස්සක්. මම පාසල් කාලේ ඉඳන්ම ගුවන් විදුලි මාධ්‍යයට උනන්දුවක් දැක්කුවා. මම ඉගෙන ගත්තේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ. ඒ කාලේ මගේ ප්‍රියතම විෂය වෙලා තිබුණේ ගණිතය. ඒ වුණාට පාසලේ කලා සමිතියේ නිවේදන කටයුතු කරන්නේ මම. විවාද තරගයක් නම් බලෙන් හරි මම යනවා. කොහොම හරි පාසලේ ජනප්‍රියම නිවේදකයා වුණා. එතකොට ගම්පහ තරුණ සේවා සභාවේ, ජේසිස් එකේ නිවේදන කටයුතු කළා.

මම හිතන්නේ ඔබ ඒ කාලේම ප්‍රසංග නිවේදන කලාවටත් එක් වුණා?

ඔව්, විශේෂයෙන්ම එළිමහන් ප්‍රසංගවල නිවේදන කටයුතුª කළා. ඔය කාලේම වගේ මාව කොළඹ විශ්ව විද්‍යාලයට තේරුණා. නමුත් යම් යම් හේතූ®න් මත ඒ අධ්‍යාපන කටයුතු සම්පර්්ණ කර ගන්න බැරි වුණා. පස්සේ මම ගණිතය පංති කරන්න පටන් ගත්තා. දහස් ගණන් ළමයි ආවා ඒ පංතිවලට. නමුත් 89 ජූලි කලබලත් එක්ක ඒ පංති නැවතුණා. ඒ කාලේ මම නැවතිලා හිටියේ මහනුවර. හදිසියේම ගුවන් විදුලියට නිවේදකයන් බඳවා ගන්නවා කියලා දැනගන්න ලැබුණා. මමත් ගියා.

ගුවන් විදුලි නිවේදකයන් අමු අමුවේ මරා දැමූ ඔවුන් බිය වැද්දූ යුගයක් ඒක?

ඔව්, සමහර නිවේදකයන් ඝාතනයට ලක් වුණා. සමහරු බිය නිසා ගුවන් විදුලිය හැර දමා ගොස් තිබුණා. ඒ කාලේත් එහි සභාපතිවරයා වුණේ හඩ්සන් සමරසිංහ මහතා. මම එතුමාව දැන හඳුනාගෙන හිටියා ‘ගම් උදාව’ සහ ‘මහපොළ’ හරහා.

‘මහපොළ’ මට දක්ෂතම කථිකයා හැටියට සම්මානෙකුත් හම්බ වුණා. ඉතින් හඩ්සන් සමරසිංහ මහත්මයා හමුවෙලා මම කිව්වා නිවේදකයකු විදියට ගුවන් විදුලියට බැඳෙන්න කැමැතියි කියලා. ඔහු පුදුම වුණා. ඒ වගේ කාලෙක එහෙම දේකට කැමැති වුණ එක ගැන. ඉතින් නැවත වරක් මගේ හැකියාවන් ගැන බලලා මාව නිවේදන කටයුතු සඳහා යොදා ගත්තා.

ඒ කියන්නේ සහන නිවේදකයෙක් හැටියට?

මොන තනතුරක්වත් නෑ. ඒ දවස්වල ප්‍රවෘත්ති එහෙම කිව්වේ එස්. ටී. එෆ් එකෙන්. ප්‍රවීණ නිවේදකයෝ කීප දෙනයි ගුවන් විදුලියට ආවේ, ගියේ. තිලකා රණසිංහ මහත්මිය මේ වෙලාවේ මතක් කරන්න ඕනෑ. එතුමිය තමයි ඉස්සර වෙලාම ගිහින් මාව ඒ සීට් එකේ ඉන්දුවේ. ඒ එක්කම සේන වික්‍රමආරච්චි මහත්මයා. ඉතින් ඔහොම ඉන්න කොට කලබල අඩු වුණා. ආයේ අර නිවේදකයෝ ආවා. අපිට යන්න වුණා.

ඊට පස්සේ?

ඊට පස්සේ හැබැයි ආයේ ඔන්න නිවේදකයෝ බඳවා ගන්නවා කියලා අපට දැනගන්න ලැබුණා. සීලරත්න සෙනරත් මහත්මයා තමයි ඒ බව කිව්වේ. අපි ඉල්ලුම් කළා. එතකොටත් හඩ්සන් සමරසිංහ මහත්තයා තමයි සභාපතිතුමා.

පරික්ෂණ එකොළහක් විතර තියලා අපව තෝර ගත්තා. හැබැයි එතුමාට මතකයක් තිබුණා බැරි අවස්ථාවේ මේ මනුස්සයෝ අපට උදවු කළා කියලා. ඒකෙනුත් මම හිතන්නේ ලකුණක්, දෙකක් වැටෙන්න ඇති. ඊට පස්සේ තමයි මට 1990 පෙබරවාරි 08 වැනිදා කොන්ත්‍රාත් පත්වීමක් ලැබුණේ.

මම ශ්‍රී ලංකා එෆ්. එම්., කඳුරට එෆ්. එම්, සිටි එෆ්. එම්., ඔය වගේ ස්ථානවල වැඩ කළා. යාපනේ ගියා ආවා. දුෂ්කර, අභියෝගාත්මක ඕනෑම අවස්ථාවක නොපැකිපලව මට දෙන රාජකාරිය අකුරට ඉටු කළා. 1994 මට නිවේදකයකු හැටියට දෙවැනි සේවයේ ස්ථිර පත්වීමක් ලැබුණා මහනුවර සේවයට. මම කඳුරට සේවයේ හුඟක් වැඩ කළා. ඒ ඔස්සේ අපි නමක් හදා ගත්තා. වැඩක් කරන හැටිත් ඉගෙන ගත්තා.

නැවතත් ඔබ කොළඹට එනවා?

අවුරුදු දෙකකට පස්සේ. ඒ ඇවිත් සිටි එෆ්. එම්. සේවයේ වැඩ කළා. කේ ඩී. කේ. ධර්මවර්ධන, ජයන්ත පීරිස්, තිස්ස ජයවර්ධන වගේ ප්‍රවීණයන් සමඟ තමයි වැඩ කරන්න ලැබුණේ. ඔය අතරේ කේ. ඩී. කේ. ධර්මවර්ධන මහතා මැද පෙරදිග සේවයට ගියා.

ඔහුගේ අභාවයෙන් පස්සේ මැද පෙරදිග සේවයෙන් මට ඉල්ලීමක් ආවා, විශේෂයෙන්ම ට්‍රයිකෝ ආයතනය මගෙන් ඉල්ලීමක් කළා ඒ තනතුරේ වැඩ බාර ගන්න කියලා. ඉතින් වැටුප් රහිත නිවාඩු දමා අවුරුදු තුනක් ඩුබායිවල ඉන්නවා. නැවත ලංකාවට ඇවිත් සිටි එෆ්. එම්. සේවයේ වැඩ කරනවා.

ප්‍රවීණ ගායක, ගායිකාවන් රැසකගේම ප්‍රසංගවල නිවේදකයා වන්නට ඔබට භාග්‍යය ලැබුණා. ඒ මතකය අවධි කළොත්?

මුලින්ම මට ඒ අවස්ථාව ලැබුණේ මගේ කල්‍යාණ මිත්‍ර ජගත් වික්‍රමසිංහ නිසා. ඔහුගේ ‘සරසවිසර’ ඒක පුද්ගල ගී ප්‍රසංගයේ නිත්‍ය නිවේදකයා වුණේ මම. ඊට පස්සේ වික්ටර් රත්නායකගේ ‘ස’ ප්‍රසංගයේ නිවේදන කටයුතු මට බාර වුණා. කේ. ඩී. කේ. ධර්මවර්ධන, බණ්ඩාර කේ. විජේතුංග, ප්‍රේමකීර්ති ද අල්විස් වැනි දැවැන්තයින්ගෙන් පසුව ‘ස’ නිත්‍ය නිවේදකයා වුණේ මම.

අදටත් මම එහි නිවේදකයා. ඒ හැරුණාම සුනිල් එදිරිසිංහ, විශාරද අමරසිරි පීරිස්, සනත්, මල්කාන්ති, දයාරත්න, අමරා, එඩ්වඩ් – චරිතා, සෝමතිලක ජයමහ වැනි ගායක, ගායිකාවන්ගේ ප්‍රසංගවලටත් මම වරින් වර කථනයෙන් දායක වුණා.

බොහෝ ගුවන් විදුලි නිවේදකයන්ට රූපවාහිනිය කියන්නේ ආගන්තකු තැනක්. නමුත් ඔබ රූපවාහිනී මාධ්‍යයේ පවා ජනප්‍රිය නිවේදකයෙක්?

ඇත්තටම ගුවන් විදුලි නිවේදකයෝ බොහෝ වෙලාවට රූපවාහිනියට ගන්නේ නෑ. ඒක කියන්න එපායැ. රූපවාහිනී මාධ්‍යයට ගන්නේ බොහොම ලස්සන පෙනුමක් තියෙන, කඩවසම් ටෙලි නාට්‍ය හෝ වෙළෙද දැන්වීම්වල ඉන්න කට්ටිය. ස්වාධීන හා ජාතික රූපවාහිනියෙනේ අපි ගොඩක් වෙලාවට වැඩ කරන්නේ. ඒ දෙන දේ මම හොඳීන් ඉටු කළා. ඒ තුළ මට නම් කිසිම බාධාවක් වුණේ නැහැ.

අනෙක ඔබ එක රාමුවක කොටු වුණෙත් නැහැ?

ඔබ එහෙම කියනවා නම් මට ඒක සතුටක්. සංගීත වැඩ සටහන් වේවා, දේශපාලන වැඩ සටහන් වේවා ඇතැම් විට රාජ්‍යතන්ත්‍රයට සම්බන්ධ වැඩ සටහන් වේවා මම කරනවා. බෞද්ධාගමික වැඩ සටහන් පවා. ඒවා ගොඩක් සාර්ථක වුණ බවක් පෙනෙන්නට තිබෙනවා. එතනින් මම අවබෝධ කර ගත්තා රූපය හෝ වෙනත් බාහිර බාධක නෙවෙයි නිවේදකයාට බලපාන්නේ හඬ සහ ඉදිරිපත් කිරීමේ ශෛලිය.

මේ වන විට ඔබ රූපවාහිනියෙන් ඉදිරිපත් කරන වැඩ සටහන් මොනවාද?

දැන් ‘එකොළොස් වැනි හෝරාව’ මම කරගෙන යනවා. එය විවිධ දේශපානඥයන් සමඟ කරන හරවත් දේශපාලන සංවාදයක්. ඒ වගේම රූපවාහිනියේ හොඳ ප්‍රසංග සඳහාත් මට ආරාධනා ලැබෙනවා.

රාජ්‍ය මාධ්‍යක් තුළ දේශපාලන වැඩ සටහනක් මෙහෙයවීම මම හිතන්නේ විශාල අභියෝගයක්?

මම පවතින දේශපාලන පක්ෂයටම ආවඩන්න යන්නේ නැහැ. හොඳ තුලනාත්ක විග්‍රහයකුයි මට අවශ්‍යය. පැහැදිලිවම මම කියන්න ඕනෑ ජාතික ගුවන් විදුලියේ හා රූපවාහිනියේ අපක්ෂපාතී සහ නිර්මාණශීලී වැඩ සටහන් ඉදිරිපත් කිරීම සඳහා පූර්ණ නිදහස තියෙනවන. අතිගරු ජනාධිපතිතුමා වුණත් කියන්නේ ආණ්ඩුවේ වගේම විපක්ෂයේ හඬටත් ඉඩ දෙන්න කියලා.

ඔබ ජනප්‍රිය, දක්ෂ නිවේදකයකු වගේම ප්‍රතිභා සම්පන්න ගීත රචකයෙක්. ඒ බව අපට අමතක නැහැ?

මම ගීත කීපයක් ලියලා තියෙනවා. ජගත් වික්‍රමසිංහගේ ‘ඉසුරු කෙදෙව්වේ’ ගීතය හුඟක් ජනප්‍රිය වුණා. එතකොට ප්‍රවීණ ගායක, ගායිකාවන් රැසකට ගී ලිව්වා. සනත් නන්දසිරි, වික්ටර් රත්නායක, අමරසිරි පීරිස්, ජානක වික්‍රමසිංහ ඉන් කීප දෛනෙක්. සිංදු එකසිය විස්සක් විතර ලියලා තියෙනවා. ඒකෙන් විස්සක් විතර ජනප්‍රියයි ඉතින්.

අපි නැවතත් නිවේදන කාලව දෙසට හැරෙමු. බෙහෝ දෙනෙකු චෝදනා කරනවා, අද තියෙන්නේ ‘ගිරා පෝතක’ නිවේදන කලාවක් කියලා. ප්‍රවීණ නිවේදකයකු විදිහට ඔබ මේ තත්ත්වය විග්‍රහ කරන්නේ කොහොමද?

ඒකේ ඇත්තක් තියෙනවා. නමුත් මගේ අදහස නම් මේකයි. සැබෑ නිවේදකයන්ගෙන් එහෙම දෙයක් වෙන්නේ නැහැ. නිවේදකයන් වෙසින් ඉන්න අය තුළින් ඒක වෙන්න පුළුවන්. ටෙලි නාට්‍ය හෝ සිනමාව තුළ ඉන්න ජනප්‍රිය අය අද නිවේන කලාවට එනවා.

නමුත් සමහර අය මේ ටෙලි නාට්‍යයක පෙනී සිටි පමණින්, දැන්වීමක පෙනී සිටි පමණින් සම්මාන උළෙල පවා එනවුන්ස් කරන්න යනවා. ගිහින් වැඩේ අනා ගන්නවා. ඒවා නම් අපට අනුමත කරන්න බෑ. නිවේදකයකුට හොඳ හඬක් සහ ව්‍යක්ත චතුර බවක් තිබිය යුතුමයි.

වසන්ත, ඔබේ පෞද්ගලික තොරතුරු බිඳකුත් අපි කතා කරමු?

මගේ බිරිඳ පිළියන්දල රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂකතුමිය. ඇය රූබි ජයසිංහ. දියණියක් ඉන්නවා කාව්‍යා දෙව්දිනී කියලා. මගේ වෘත්තීය කටයුතුවලට බිරිදගෙන් ලොකු සහයක් ලැබෙනවා. ඒ තමයි ඉතින් පෞද්ගලික තොරතුරු.

READ MORE - නිවේදකයකුට හොඳ හඬක් සහ චතුර බවක් තිබිය යුතුයි

Three ‘Best Play’ winners come alive at the Wendt


A festival of three award winning plays written and directed by renowned dramatist Rajitha Dissanayake will come alive at the Lionel Wendt theatre on August 5, 6 and 7, at 7.00 pm.

The festival begins with ‘Apahu Herenna Behe’(No Return) on 5 August, followed by ‘Sihina Horu Arang’(Dreams Robbed) (6) and wraps up with ‘Weeraya Merila’(The Hero is Dead) on the final day (7).


The most notable aspect about this festival is that all three featured plays have won the most prestigious ‘Best Play’ award at respective National Drama festivals in the past.
‘Apahu herenna Behe’ won awards for Best Play, Best Director, Best Actor, Best Supporting Actress and Best Stage Management at the 2009 National Drama festival.

‘Weeraya Merila’ won five National Drama Festival Awards in 2002, including Best Play, Best Script and Best Director.

In 2006 ‘Sihina Horu Arang’ won National Drama Festival awards for Best Original Play, Best Script and Best Actress.


The plays have toured extensively in Sri Lanka and overseas.
Over the years, these three plays have been critically acclaimed for both their social and entertainment value.

The dramas, which are essentially based on current socio-political themes, will feature several renowned cinema, tele-drama and stage actors.


Box plan will open at the Wendt from 26 July onwards.

Tickets priced at Rs 750, Rs 500, Rs 300 and Rs 200 (Balcony).

A three day pass for the festival priced at Rs 1000 can be purchased before opening night.
Pass holders would be given seating in the Rs 500 section.
READ MORE - Three ‘Best Play’ winners come alive at the Wendt

රාජගිරියේ බ්ලැක් බොක්ස් නාට්‍ය උළෙල 28 වැනිදා සිට

Sunday, July 25, 2010

රාජගිරියේ බ්ලැක් බොක්ස් නාට්‍ය උළෙල 28 වැනිදා සිට

ඉන්ටර් ඇක්ට් ආර්ට් රංග කලා ආයතනය මගින් පවත්වනු ලබන බ්ලැක් බොක්ස් රංග කලා උළෙල 2010, මෙම මස 28 වැනිදා සිට අගෝස්තු 03 වැනිදා දක්වා රාජගිරියේ පිහිටි ඉන්ටර් ඇක්ට් ආයතන රඟහලේ දී පැවැත්වේ.

බ්ලැක් බොක්ස් තියෙටර් නොහොත් කුඩා රඟහල් සංකල්පය යටතේ පැවැත්වෙන මෙම උළෙලෙහි දින 8 පුරා සවස 4 ට සහ 6 ට දර්ශන වාර 2 බැගින් පැවැත්වේ.

ජූලි 27 ඈන් ගෞරි මාලේවනගේ රිදම් ඔෆ් ඩාන්ස් සහ සුදේෂ් මන්තිලකගේ අපේ වයලීනය.

ජූලි 28 වාසනා බණ්ඩාරගේ මද්දහනක සඳ සහ තාරුක පුෂ්පකුමාරගේ සකිසද සහ සරා සඳ.

ජූලි 29 නිමල් වීරසිංහගේ දෝවනා සහ සුනීතා තුඩුවගේ ගේ ඇවිදින කුරුල්ලා.

ජූලි 30 රාජ් වීරසිංහගේ ඉතින් සර් සහ පියතිලක රණවීරගේ් මිහිකත කාගෙද.

ජූලි 31 ප්‍රකාශ ගල්ගේවලගේ චලන රිද්ම සහ සමන්ත පී. ලියනගේ ගේ මං විතරයි.

අගෝස්තු 01 මොහොමඩ් ඉල්මිගේ ප්‍රෙමෝෂන් සහ මනෝජ් ප්‍රියදර්ශනගේ ඇය – ඔහු.

අගොස්තු 02 දිනේෂ් ලසන්ත සහ කුමුදුනී වික්‍රමතන්ත්‍රිගේ අන්තිම කෑල්ල චේ සහ එස්. දයාලන්ගේ ඇයත් තරුවක්.

අගෝස්තු 03 නදීකා තරංගනීගේ පොම්පීනියා.

READ MORE - රාජගිරියේ බ්ලැක් බොක්ස් නාට්‍ය උළෙල 28 වැනිදා සිට

හම්බන්තොට ජාතික පාසලට ‘හරි අපූරු දවසක්’ එයි

2008 වසරේ හොඳම නාට්‍ය ඇතුළු රාජ්‍ය සම්මාන හතක් දිනූ, 2009 කයිරෝ අන්තර් ජාතික පර්යේෂණ නාට්‍ය උළෙල නියෝජනය කළ චාමික හත්ලාවත්තගේ හරි අපූරු දවසක් වේදිකා නාට්‍ය අගෝස්තු 22 සහ 23 හම්බන්තොට ජාතික පාසලේදී සවස 2.30 ට සහ 6.30 ට වේදිකා ගත වේ.මෙහි ධර්මප්‍රිය ඩයස්, නදී කම්මැල්ලවීර, සංජීව දිසානායක, ඉන්දික ඩොනල්ඩ්, කෞෂල්‍යා මෙන්ඩිස්, එස්. අයි. සමරක්කොඩි, මධුෂාන් හත්ලාවත්ත, හර්ෂණී වික්‍රමසිංහ, සචිත්‍ර නුවන් ඇතුළු නළු නිළියන් රැසක් මෙහි රංගනයෙන් එක් වේ.

READ MORE - හම්බන්තොට ජාතික පාසලට ‘හරි අපූරු දවසක්’ එයි

Black Box Theater Festival [ II ]

Thursday, July 22, 2010

READ MORE - Black Box Theater Festival [ II ]

Black Box Theater Festival [ I ]

READ MORE - Black Box Theater Festival [ I ]

ප්‍රවීණ නාට්‍ය ශිල්පි රාජිත දිසානායක

චිත්‍රපටයක් හෝ චිත්‍රපට කලාවේ අපූර්වත්වය හෝ එහි සිනමාත්මක, කලාත්මක වටිනාකම හඳුනා ගන්නේ චිත්‍රපට කලාවේ හා කර්මාන්තයේ දිගින් දිගටම යෙදී සිටින සිනමා ශිල්පීන් පමණක් නොවේ.

ඊට ඈතින් සිට සිනමාව වින්දනය කරන එහි හැඩතල හා චලනයන් හඳුනා ගන්නා, රස වින්දන ශක්තියක් ඇති රසිකයින් ද සිනමාවේ අපූර්වත්වය හා ප්‍රකාශන මාධ්‍යයක් ලෙස එහි වටිනාකම අවබෝධ කර ගනී. ඇතැම් විට චිත්‍රපටයක නියමාකාර වින්දනය ලබන්නේ හා එය නිදහසේ කියවා ගන්නේ චිත්‍රපට කර්මාන්තය හෝ සංස්කෘතිය තුළ පිහිටන සිනමා ශිල්පීන් නොව, ඊට පිටින් සිටින රසිකයාය.

එවන් සිනමා රසිකයින්ගේ චිත්‍රපට රස වින්දනය සිනමාව පිළිබඳ ආකල්ප සොයා යමින් එහි වෙනස් රටාවන් පාඨක ඔබට ඉදිරිපත් කරන ලිපි මාලාවක් අද සිට ඇරඹෙයි.

අද මේ විශේෂාංගය සමඟ අප මුලින්ම හමු වන්නේ අනූව දශකයේ දී ලාංකික වේදිකාවේ අලුත් වෙනසක්, ප්‍රවණතාවක් සටහන් කළ තරුණ නාට්‍යකරුවකු හා නාට්‍ය රචකයකු ලෙස පැහැදිලිව හැඳින්විය හැකි ‘රාජිත දිසානායක’ය. ‘සක්වාදාවල’ නාට්‍යයෙන් වේදිකාවේ නව ගමනක් ඇරඹූ ඔහු ‘හංසයින්ටත් මං ආසයි’, ‘මට වෙඩි තියන් නැද්ද’, ‘වීරයා මැරිලා’, ‘සිහින හොරු අරන්’ සහ ‘ආපසු හැරෙන්න බෑ’ නම් වේදිකා නාට්‍ය සමඟ රට පුරා නාට්‍ය රසිකයින් සමඟ වර්තමාන සමාජය ගැන සංවාදයක නියැලුණේය.

ඔහු තම බොහෝ නාට්‍යවලදී සිනමාවේ ඇතැම් ලක්ෂණ ද මනාව උපයෝගී කොට ගත් බවක් පැහැදිලිය. රාජිත දිසානායක අද අප ඉදිරියේ විවර කරන්නේ් තම සිනමා රස වින්දනයේ ඇරැඹුම හා ගමන් මඟයි.

රාජිත, තම කුඩාම අවදියේ සිනමාව පිළිබඳ මතකය අවදි කරමින් මුලින්ම කියා සිටියේ ඒ යුගයේ ඔහු කිසි දිනෙක සිනමා ශාලාවකට ගොඩ නොවී, නිවසේම චිත්‍රපට නැරඹූ බවයි. එය සාමාන්‍ය කුඩා ළමයකු ලද අවස්ථාවක් නොව කිසියම් විශේෂත්වයකි.

‘කුඩාම අවදියේ අප කිසි දිනක සිනමා ශාලාවකට ගිය බවක් මගේ මතකයේ නැහැ. ඒ කාලේ අප නිවසේ අපේ තාත්තට මි. මී. 16 ප්‍රොජෙක්ටරයක් තිබුණා. අප එයින් චිත්‍රපට බැලුවා. එහෙත් ඒවා දිගු වෘත්තාන්ත චිත්‍රපට නෙවෙයි. කතෝලික දහම ආශ්‍රිත වර්තාමය චිත්‍රපට. ඒ අතර කව්බෝයි වර්ගයේ චිත්‍රපට බැලූ බවත් මට යන්තමින් මතකයේ තියෙනවා.

මා චිත්‍රපට ශාලාවක මුලින්ම නැරඹූ චිත්‍රපටය ‘හඳයා’ බව හොඳීන් මතකයි. එහි ළමා නළු නිළියන් ගේ් ක්‍රියාකාරකම් හා ගීත නිසා චිත්‍රපටය මට අපූරු අත්දැකීමක්. ඉන් පසුව මගේ මතකයට දැනෙන චිත්‍රපට අත්දැකීම් වූයේ පරාක්‍රම සිල්වාගේ ‘හෙවනැලි ඇද මිනිස්සු’ සහ ‘බිත්ති හතර’ යි. (ඒවා අප පවුලේ අය විසින් විශේෂයෙන් නැරඹුවේ පරාක්‍රම සිල්වා අප පවුලේ ළඟම ඥාතියෙක් වූ නිසායි).

ඒ අතරින් ‘බිත්ති හතර’ චිත්‍රපටය මට විශාල රූප ශබ්ද අත්දැකීමක් ලෙස සමීප වුණා. පසුකාලීනවත් ‘බිත්ති හතර’ චිත්‍රපටය නරඹද්දී එහි තිබූ ශ්‍රව්‍ය දෘශ්‍ය සංයෝජනයට මට ඇල්මක් තිබුණා’.

ඕනෑම දරුවකුට චිත්‍රපට නැරඹීමේ උනන්දුව සහ අවධිය ඇති වන්නේ පවුලේ පරිසරය හෝ පාසල් සමයේ හිත මිතුරන්ගේ සංවාද තුළයි. රාජිතගේ ද චිත්‍රපට ආස්වාදනය පිළිබඳ අලුත් අත්දැකීම් ලැබුවේ මේ සමයේදීයි.

‘සාමාන්‍ය පෙළ හදාරා අවසන් කරන තුරුම පවුලේ පරිසරය තුළ මා බලවත් ලෙස අධ්‍යාපනය වෙතටයි යොමු කර තිබුණේ. පවුලේ සියල්ලෝ නිතර චිත්‍රපට නරඹන ස්වරූපයක් මට ඒ යුගයේ අත්දකින්නට ලැබුණේ නැහැ. උසස් පෙළට ආවාට පසු මම කලා විෂයයන් හදාරන්නටත්, ඒ සමඟ සිනමාව, නාට්‍යය ගැන උනන්දු වන්නටත් මට නිවසින් හොඳ නිදහසක් විවෘත බවක් ලැබුණා. එහෙත් ඊට පෙර හොරෙන් චිත්‍රපටයක් දෙකක් නරඹන පරිසරයක්, අපේ පාසල් මිතුරන් අතර තදින් තිබුණා.

එසේ නැරඹූ චිත්‍රපට අතර ‘ලේඩි චැටර්ලිස් ලවර්’ චිත්‍රපටය මට තදින් මතකයේ රැඳුණු චිත්‍රපටයක්. අප ඒ චිත්‍රපටය නැරඹීමට ගියේ ගැටවරයින් හැටියට, එහි වූ ලිංගික දර්ශන පිළිබඳ ශිෂ්‍යයින් අතර වූ විවිධ ආකල්පත්, ඒ පිළිබඳ කුතුහලයත් නිසායි. එහෙත් චිත්‍රපටය නරඹද්දී මා ඒ තුළ ඊට එහා දෙයක් දුටුවා. චිත්‍රපටයේ සිනමා රූපමය හා මාධ්‍යමය සත්කාරය නිසා එහි චරිත හා සිද්ධීන් පිළිබඳ යම් අවබෝධයක්, වින්දනයක් ලැබුණා කියා මා සිතනවා. එය හුදු ලිංගික දර්ශන නැරඹීමේ වින්දනයට එහා ගිය රසයක්’.

අනූව දශකය මුල වන විට රාජිත විශ්ව විද්‍යාලයට ඇතුළත් වන්නේ් නාට්‍ය කලාව, සාහිත්‍ය හා සිනමාව පිළිබඳ ප්‍රබල උනන්දුවකුත්, එවකට කලාව සාහිත්‍යය පිළිබඳ සමාජයේ තිබු කතිකාව වෙත ඇතිකර ගත් සංවේදී බවකුත් සහිතවය. කොළඹ විශ්ව විද්‍යාලයේ තිබූ කලා සංස්කෘතික ක්‍රියාකාරකම් පිරි පරිසරය ඒ උනන්දුව හා සොයා යාමට රුකුල් දුන්නේය.

‘විශ්ව විද්‍යාලයේ මුල් වසරේදීම මට ලැබුණු වැදගත් අවස්ථාවක් වුණේ ධර්මසේන පතිරාජ චිත්‍රපට උළෙලයි. අහස් ගව්ව සිට ඔහුගේ මුල්කාලීන සියලු චිත්‍රපට එකට නැරඹීම මගින් සිනමා මාධ්‍යයේ බලවත්කම වගේම ඔහුගේ සිනමාවේ ප්‍රකාශනය හා දේශපාලනික නැඹුරුව ගැනත් ආස්වාදනීය අවබෝධයක් ලැබුවා.

ඒ වගේම මා ඒ යුගයේම දුටු ආස්වාදනීය ප්‍රබල චිත්‍රපට අත්දැකීමක් වුණේ් ‘සිසිල ගිනි ගනී’ ට්ත්‍රපටයයි. එහි සිනමාරූපී ප්‍රකාශනයටත්, එහි විශිෂ්ට නිමාවටත් මා වඩාත් ඇලුම් කළා.

අනූව දශකයේ නිතර දක්නට තිබූ විදෙස් චිත්‍රපට උළෙල ඒ වන විට නාට්‍ය කලාවටත් පිවිසි සිටි රාජිතට අලුත් චිත්‍රපට ලෝකයක් හා අත්දැකීම් රැසක් විවර කර දුන් බව ඔහු මතකයට නංවයි.

ඒ දිනවල පැවති ප්‍රංශ, ස්වීඩන්, ඉන්දියානු චිත්‍රපට උළෙල ගණනාවක් අපට සිනමා මාධ්‍යයේ හා ප්‍රකාශනයේ විශාලත්වය හා ශක්තිය කියා දුන්නා.

විභවි සංස්කෘතික මධ්‍යස්ථානයේ පැවති චිත්‍රපට එකතුව නිසා සිනමාවේ විවිධ ශෛලීන් හඳුනා ගන්නට ලැබුණා. ඒ වගේම මහින්දපාල මහතාගේ මග පෙන්වීම යටතේ ඉංග්මාර් බර්ග්මාන්, තර්කොව්ස්කි චිත්‍රපට මනාව හඳුනා ගන්නට ලැබීම පුදුම භාග්‍යයක්. ඒ දිනවල මා නැරඹූ විදෙස් චිත්‍රපට අතර ‘සොලානාස්ගේ ‘South’, අන්තෝනියෝනිගේ ‘Beyond the Clouds’, බර්මාන්ගේ ‘Winter Light’, තර්කොවිස්කිගේ’Nostalgia’ වැනි චිත්‍රපට ඉතාම කම්පනීය සිනමා අත්දැකීම්.

සිනමා කෘතීන් අතර පවත්නා විවිධත්වය හා විවිධ චිත්‍රපට ශෛලීන් වර්ග පිළිබඳ රාජිත වඩා විස්තරාත්මකව කතා කළේ වඩාත් උනන්දු සහගතවයි.

‘එදා අප එක් එක් චිත්‍රපට වර්ගවලට පෙම් බැන්ඳා. ඒවායින් අපට අප ජීවත් වන සමාජ වටපිටාව ගැන ප්‍රබල වින්දනීය අවබෝධයක් ලැබෙනවා. මේ පාරිභෝජනවාදී සමාජයේ මිනිස් සම්බන්ධතාවල සිදුවන සියුම් බිඳ වැටීම්, වෙනස්කම් හා ඒ හැසිරීම් හා ප්‍රතිචාර පිළිබඳ චිත්‍රපට වගේම මහජනයා සමූහයක් ලෙස මුහුණ දුන් අරගල, විප්ලවීය ව්‍යාපාර හා විපර්යාස පිළිබඳවත් ලෝකයේ බොහෝ චිත්‍රපට බිහි වී තිබෙනවා. මේ චිත්‍රපට දෙවර්ගයම අපට පුළුල් රස වින්දනයක් හා ප්‍රඥවක් ලබා දෙනවා. ඇතැම් මෙවැනි චිත්‍රපට මිනිස් ජීවිතයේ සංකීර්ණ ස්වභාවය ගැන ඉගැන්වීමේදී ‘බයිබලය’ හෝ ‘ධම්ම පදය’ ඉක්මවා යනවා විය හැකියි.

අපේ සිනමාවේත් මෑතකාලීනව ප්‍රසන්න විතානගේ සහ අශෝක හඳගමගේ චිත්‍රපට මා කලින් කී සංකීර්ණ සිනමා අත්දැකීම්වලට සමීප වන තරම් දැනුමක්, සංවාදයක් හා වින්දන පථයක් විවෘත කළා. එය අපේ සිනමාවේ වර්ධනීය අවස්ථාවක්.

එවැනි ලෝක මට්ටමේ සිනමා සංවාද තලයකට ඒවා අපේ සිනමාව ඔසවා තැබුවා. එහෙත් මේ විදිහේ් සංකීර්ණ ආත්ම ප්‍රකාශනවාදී සිනමාවකට පවතින දේශපාලන සංස්කෘතික හා මතවාදී පරිසරය කෙතරම් ඉඩ දෙනවාද කියන එකයි ගැටලුව. මේ පරිසරයේ එවැනි දේ, එවැනි වින්දන කලාප සීමා කරන්නටයි බල කරන්නේ.

අපේ ප්‍රේක්ෂකාගාරයත් අද ලිහිල් ආකල්පයකයි සිටින්නේ. එදා අසූව දශකයේ අප චිත්‍රපට බලද්දී ඉතා ආදරණීය ප්‍රේක්ෂකාගාරයක් අප දැක්කා. ඔවුන් පෙර සූදානමක් ඇතුව චිත්‍රපට බැලුවේ හෘදය සංවේදී බවකින්.

පෙම්වතියක් දකින්න යන තරම් ආදරණීය හැඟීමකින්. ඒ චිත්‍රපට ඔවුන් තදින් වැළදගෙන මතකයට ඉතිරි කරගත්තා. අද ප්‍රේක්ෂකාගාරය තුළ ඒ ආදරණීය හැඟීම නැහැ. අද ප්‍රේක්ෂකයින් චිත්‍රපටවලට අභියෝග කරනවා (විශේෂයෙන් දේශීය චිත්‍රපටවලට). හැකි නම් අපට විඳින්නට දෙයක් ලබා දීපන් වැනි සමච්චල් සහගත ආකල්පයකින් ඔවුන් මේවා දෙස බලන්නේ. දැන් ප්‍රේක්ෂකාගාරය සිනමා ශාලවෙන් ඈතට යමින් තිබෙනවා.

මේ ප්‍රේක්ෂකාගාරයේ ගැටලුව ජය ගන්නටත්, සිනමාව දියුණු වන්නටත් ලංකාවට විවිධ ඇත්දැකීම්, තේමා සහ ශෛලීන් රැගත් විවිධ වර්ගවල චිත්‍රපට අවශ්‍යයි. එකම තේමාවක් හා ශෛලීන්ගෙන් යුතු චිත්‍රපට අපට ලබා දෙන්නේ නීරස අත්දැකීම්. සිනමා ප්‍රෙක්ෂකයගේ් රස වින්දනය දියුණු තියුණු වනවා කියන්නේ විවිධත්වය ඔස්සේ අප ලබන පුළුල් රස වින්දනය හා අවබෝධයයි. වැදගත්ම දේ ප්‍රේක්ෂකයාට විවිධත්වය හා නිදහස් අර්ථ කථනයක් ලබා ගැනීිමට ඉඩ හැරීමයි.

READ MORE - ප්‍රවීණ නාට්‍ය ශිල්පි රාජිත දිසානායක

කවුරු කොහොම කිව්වත් අදටත් ජනතාවට සමීප වේදිකාව සහ සිනමාවයි

කවුරු කොහොම කිව්වත් අදටත් ජනතාවට සමීප වේදාකව සහ සිනමාවයි

ප්‍රියංකර රත්නායක බොහෝ දෙනෙක්‌ හදුනාගෙන ඇත්තේ චිත්‍රපටි ටෙලි නාට්‍යය හා වේදිකා නාට්‍යය රංගන ශිල්පියකු ලෙසයි. මීට අමතරව හේ වේදිකා නාට්‍යය පිටපත් රචකයකු නිෂ්පාදක වරයකු පමණක්‌ නොව නාට්‍යය හා රංග කලාව පිළිබඳව විශ්වවිද්‍යාල කථිකාචාර්ය වරයකු ද වෙනවා. ප්‍රියංකර රත්නායකගේ නවතම නාට්‍ය නිර්මාණය යි. "අද වගේ දවසක ඇන්ටීගනී" පරිවර්තන වේදිකා නාට්‍යයක්‌ වන මෙහි දර්ශන

රැසක්‌ ඉදිරියේදී වේදිකා ගත වීමට නියමිත යි. ඔහුගේ එම නාට්‍යය නිර්මාණයත් කලා ජීවිතය පිළිබඳවත් අප කළ කතා බහකි මේ.

මොකක්‌ද අද වගේ දවසක ඇන්ටිගනී" නාට්‍යයට තේමා වන්නේ?

ග්‍රීක නාට්‍යයකරුවන් අතර ඉදිරියෙන් ම සිටි කෙනෙක්‌ තමයි සොෆොක්‌ලීස්‌ ඔහුගේ නාට්‍යය අතුරින් ඇන්ටිගනී නාට්‍යය තමයි පරිවර්තනය කරලා තියෙන්නේ. මෙහිදී කතා කරන්නේ. එකල රජ ගෙදරක ක්‍රියාත්මක වුණ සිද්ධි දාමයන් හා රටේ නීතිය ගැනත් මානුෂ්‍ය නීති ගැනත්. ඊට මැදිවන්නේ කාන්තාවන්. 1971, 1988 හා වසර තිහක යුද්ධය තුළ මේ නීති රිති මනුෂ්‍ය බැදීම් ගැන අපි අත්දැක්‌කා. අපේ කාන්තාවන් ඊට මුහුණ දුන්නා. එය එදා වගේම අදටත් ජාති භේදයකින් තොරව පොදුයි. ඒ නිසයි අපි මේ අත්දැකීම් බෙදා හදා ගන්න මේ වගේ උත්සහයක්‌ ගත්තේ.

කරලියට ඔබේ ආගමනය සිද්ධ වුණේ කොහොම ද?

පාසල් වියේ සිටම නාට්‍යය ක්‍ෂේත්‍රය කෙරෙහි මගේ ඇල්මක්‌ තිබුණා. ඒ ඇල්ම හුණුවටයේ කතාව, දුන්න දුනු ගමුව වැනි නාට්‍යය බැලීමෙන් වැඩි දියුණු වුණා. ඒ නිසාම නාට්‍යය චිත්‍රපටි බැලීමේ පුරුද්දක්‌ මට ඇති වුණා. සෝමලතා සුබසිංහ මහත්මියගේ ළමා හා යොවුන් රංග පීඨයෙන් මෙන්ම රාජ්‍ය නාට්‍ය පාසලෙන් මම බොහෝ දෑ ඉගෙන ගත්තා. ඊට පස්‌සේ කාලෙක රාජිත දිසානායකගේ නාට්‍යය කණ්‌ඩායමට එකතු වුණා. එහෙම තමයි මගේ ගමන ඇරැඹුණේ.

අද කලාවට ලැදි බොහෝ දෙනෙක්‌ කියන්නේ තමන්ට ඉගෙන ගන්න රාජ්‍ය ආයතනයක්‌ නැහැ කියලයි. ඔබ කියන රාජ්‍ය නාට්‍ය පාසල කුමක්‌ ද?

සංස්‌කෘතික අමාත්‍යාංශය යටතේ රජය විසින් නාට්‍ය පාසලක්‌ ආරම්භ කළා. මම එහි ඉගෙන ගත් සාමාජිකයෙක්‌. ඒ පාසල තිබුණේ වසර දෙකයි. ඊට පසු කාලීනව ටවර් හෝල් රංග පාසල යොවුන් නාට්‍ය පාසල ආදියට රාජ්‍ය නාට්‍ය පාසල පූර්වා දර්ශ වූ බවයි මගේ විශ්වාසය. ඉගෙන ගන්න කෙනෙකුට ඒවායෙන් යහපත් දෙයක්‌ ඉගෙන ගත හැකියි.

ඔබ චිත්‍රපටි හා ටෙලි නාට්‍යය වලටත් සම්බන්ධයි.

සංඛ්‍යාත්මක අඩු සංඛ්‍යාවක්‌ චිත්‍රපටි හා ටෙලි නාට්‍ය වලට සම්බන්ධ වුණා. මම හිතන්නේ වේදිකාවේ හා සිනමාවේදී කරන්න පුළුවන් දේවල් ටෙලි නාට්‍යවලදී කරන්න බැහැ. ටෙලි නාට්‍යවලට වඩා ජනතාවට සමීප වේදිකාව හා සිනමාවයි.

නමුත් ඒ ක්‍ෂේත්‍ර දෙකෙන්ම ජනතාව ඈත් වෙලා නේද?

මෙහෙමයි බැලූ බැල්මට එහෙම පේනවා තමයි. බලන්න හොද සිනමාවකට හොද වේදිකා නාට්‍යයක්‌ බලන්න රසිකයන් එන විදිහ. ටෙලි නාට්‍යය බලනවා නෙවෙයි රසිකයන්ට බලෙන් පෙන්වනවා. දැන් බලන්න, චිත්‍රපටියක්‌ බලන්න අපි ඒ සඳහාම සූදානම් වෙලා සිනමා ශාලාවකට යනවා. නාට්‍යයක්‌ බලන්න සතියකටවත් කලින් සූදානම් වෙනවා. එය රස විදින්න සූදානම් වෙනවා. ඒත් ටෙලි නාට්‍යයක්‌ එහෙම ද? අඩු ගානේ අද රෑට අපි අසවල් ටෙලිය බලනවා කියලා කතා වෙන කෙනෙක්‌ ඉන්නව ද? ඒකයි මම ටෙලිනාට්‍යයට වඩා වේදිකාව හා සිනමාව ජනතාවට සමීපයි කියලා කියන්නේ.

ඔබ මොනවා කිව්වත් අද ටෙලිනාට්‍යය නළු නිළියන් සිනමා හා වේදිකා නළු නිළියන්ට වඩා ජනප්‍රියයි.

අද රූපවාහිනි නාලිකාවල පෙන්වන්නේ මෙගා ටෙලි නාට්‍යය යි. මේවා කොටස්‌ සියය ඉක්‌මවනවා. දිනපතාම පෙන්වනවා. ඉතිං උදේ හවස දකින කොට ඒ රූපය කෙනෙකුගේ හිතේ ඇදෙන්න පුළුවන්. ඔබ හරි. එහෙම හිතන කොට. අද සියල්ල මුල්‍යකරණය වෙලා. ඒ මත සිද්ධ වෙන බොහෝ නිර්මාණ හා ඊට දායකවන්නන් ක්‌ෂණිකව ක්‍රියාකරන දේවල්. අද හැම තැනම නළු නිලිsයෝ ඒත් එදා එහෙම නැහැ. එදත් අමරසිsරි කලංසූරිය වැනි අපේ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පීන් බස්‌ වල ගමන් කරා. ඔවුන් නිහතමානීව මහජනතාව සමග කටයුතු කළා. ජෝතිපාල වැනි ගායකයන් මහජනයා එක්‌ක සමීපව කටයුතු කළා. එදා ඔවුන්ගේ ජනප්‍රියත්වය යි අද ඔබ කියන නළු නිලියන්ගේ ජනප්‍රියත්වය යි පැහැදිලිව දැකිය හැකියි. ඒ නිසා නියම ජනප්‍රියත්වය කියන්නේ මොකක්‌ද කියලා අපි වටහා ගත යුතුයි.

ඔබේ නවතම නාට්‍යය නිර්මාණයට දායක වූවන් ගැන කතා කළොත්.

අද වාගේ දවසක ඇන්ටිගනී, ආරියවංශ රණවීරගේ පරිවර්තනයක්‌. එහි රංගනය විශ්වජිත් ගුණසේකර , ප්‍රසාදිනි අතපත්තු ඖෂධී වික්‍රමසිංහ, ප්‍රියන්ත සිරි කුමාර , කෞෂල්‍යා මෙන්ඩිස්‌, තුමිඳු දොඩන්තැන්න, සමාධි ලක්‌සිරි, සමන් මලලසේකර, නලින් ලුසේනා , සංගීතය ප්‍රමිත් දහනායක, පසුතල නිර්මාණය වසන්ත වැලි අංග, ඇදුම් නිර්මාණය හර්ෂිකා රත්නායක, ආදීන් දායක වෙනවා.

සුගත් ශාන්ත මොරගහකුඹුර
ඡායා - සුජාතා ජයරත්න



READ MORE - කවුරු කොහොම කිව්වත් අදටත් ජනතාවට සමීප වේදිකාව සහ සිනමාවයි

විනිශ්චය ගැන කියන්න බැරි නම් විනිශ්චයකරුවන් කුමටද?

විනිශ්චය ගැන කියන්න බැරි නම්
විනිශ්චයකරුවන් කුමටද?

ආරියවංශ රණවීර

ජීවිතයේ අඩසියවසක්‌ ඉක්‌ම ගිය කල නිර්මාණකරණයට පිවිසි ආරියවංශ රණවීර කාව්‍ය කෘති දහතුනක්‌ කරමින් අද වනවිට මෙරට කවියකු ලෙස පෙනී සිටී. "කවි කිහිපයක්‌", "සම්මිශ්‍රණ", "ගේ කුරුල්ලෝ සහ වී කුරුල්ලෝ", "සඳ ඇබින්දක්‌", "ඉමක්‌ හා මලක්‌", "අතු ඉති", "ඔයබඩ වවුල්ලු", "තිත්", "ඉම් පෙදෙස්‌", "කතිකා", "එළිමහන් කවි හා ගුහා කවි", "දොළොස්‌ රළ", "දෝතක්‌ කවි" ඔහු ලියූ කාව්‍ය කෘති දහතුනයි. ඒ හැරුණු විට ඔහු දැන් "විසිරි මිණි" (ජපන් කාව්‍ය)", "ලිලැක්‌ මල් (රුසියන් කාව්‍ය)", "මිණි පැමිණි (ජපන් කාව්‍ය)", "මග දෙපස (චීන කාව්‍ය)" යන කාව්‍ය පරිවර්තනද, "ඊඩිපස්‌ රජ", "ඇන්ටිගනි", "ට්‍රොaජන් ගැහැනු", "තීබ නාට්‍ය ත්‍රිකය" "ඔරෙස්‌ටියා නාට්‍ය ත්‍රිකය" යන නාට්‍ය පරිවර්තන ද, "රන් රෝස", "වනපෙත අඬ ගසයි", "එක්‌දහස්‌ නවසිය අසූහතර", "රන්සුණු" යන ගද්‍ය පරිවර්තන ද, "ඇමෙරිකානු කවියට පෙරවදනක්‌", "සංස්‌කෘතිය හා ගොඩ්සිල්ලාකරණය" යන විචාර ග්‍රන්ථ ද කරමින් ක්‍ෂේත්‍ර ගණනකට පියවර තබා තිබේ. ඔහුගේ අලුත්ම විවරණාත්මක කෘතිය "කවිය සහ කවියා" යි. නුගේගොඩ සරසවි ප්‍රකාශනයක්‌ වන එය ඇමෙරිකානු කවීන් දහතුන් දෙනකුගේ කාව්‍ය රචනාවලින් සමන්විතය. මේ ඔහුගේ කවි මඟ පිළිබඳව අප කළ සංවාදයකි.

ප්‍රශ්නය - ඔබට අනුව "කවිය" යනු කුමක්‌ද?

පිළිතුර - කවිය යනු මට අනුව මනුෂ්‍ය හදවතේ භාෂාවයි. මනුෂ්‍යයාට හැඟීම් පහළවන්නේ බාහිර අරමුණු සමඟ ගැටීමෙනුයි. බාහිර අරමුණුවලින් අපට ලැබෙන හැඟීම් පිළිබඳව ඇතිවන ඉතාම ගැඹුරු ප්‍රකාශනය කවියයි.

ප්‍රශ්නය - ඔබගේ නවතම කෘතිය "කවිය සහ කවියා" යන්නයි. මෙම කෘතියෙන් ඔබ ඉංගී්‍රසි සහ ඇමෙරිකානු කවීන් 13 දෙනකු කවිය පිළිබඳව දැක්‌වූ විවිධ මානයක්‌ ගෙනහැර දක්‌වනවා.?

පිළිතුර - බටහිර කවිය පිළිබඳව තිබෙන සිංහල පොත්පත් හරි අඩුයි. විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ සිටි මහාචාර්ය එම්. ජී. සිරිමාන්න මහතා බටහිර කවිය ගැන පොතපත පළ කළා. ඔහුගෙන් පසු මේ අංශය පිළිබඳව සිංහල පොත් පළවුණේ නැහැ. මේ අඩුව යම් පමණකින් හෝ පිරිමහන්නයි මට වුවමනා වුණේ. කවිය පිළිබඳ දේශන කරද්දී මට අපේ පාඨකයන්ගේ දුර්මතයක්‌ පෙනුණා. ඔවුන් සිතනවා බටහිර කවිය, අපේ කාව්‍ය ක්‍රමයට ආගන්තුකයි කියලා. එය වැරැදි මතයක්‌ කියන්නයි මට ඕන වුණේ. කවිය යනු අපට පමණක්‌ වෙන්වුණු දෙයක්‌ කියලා පටු වැටවල් බැඳ ගැනීම වැරැදියි. කවිය ලෝක උරුමයක්‌.

ප්‍රශ්නය - ඔබට අනුව කවිය යනු හද බසයි. නමුත් ඔබගේ කාව්‍ය සහ අපේ සමකාලීන කවීන්ගේ කෘති දෙස බැලූ විට දැනෙන දෙයක්‌ තමයි කවිය පිළිබඳව ඔබේ අර්ථදැක්‌වීමට එතරම් සාධාරණත්වයක්‌ ඔබගෙන් හෝ අනෙක්‌ කවීන්ගෙන් ඉටු වී නොමැති බව. නිදසුනක්‌ ගනිමු. තිස්‌ වසරක යුද්ධයේ ෙ€දවාචක පසුගිය කාලයේදී අප ඇස්‌ දෙකෙන් දුටුවා. නමුත් මෙතෙක්‌ ඔබේ කවියෙන් යුද්ධයේ ෙ€දවාචකයන් ලියෑවී නැහැ.?

පිළිතුර - (මඳක්‌ නිහඬව සිට) යුද්ධය ගැන හොඳම කවි ලියවෙන්නෙත්, ලියවිලි තියෙන්නෙත් යුද්ධයේ නිරත වූ කවීන්ගෙන්, මම මේක කියන්නේ බටහිර කවීන් දෙස බලලයි. එංගලන්තයේ ෂීග් ප්‍රිඩ් සැසුන් , රූපට්‌ ගෲ වැනි කවීන් යුද්ධයේ අත්දැකීම් ගැන කවි ලියා තිබෙනවා. අපේ කවීන් යුද්ධය ගැන අසා තියෙනවා විතරයි. ඒ අයට යුද්ධය ගැන අත්දැකීම් නැහැ. යුද්ධය අත්වින්ද ද්‍රවිඩ කවීන් අතින් නිර්මාණ බිහිවී තිබෙනවා ද? කියා මා දන්නේ නැහැ.

ප්‍රශ්නය - යුද්ධය තිබුණේ උතුරේ විතරක්‌ නොවේ. කොළඹත් බෝම්බ පිපිරුණා. මිනිස්‌සු මැරුණා?

පිළිතුර - කොහොම නමුත් මට යුද්ධය දුරස්‌ථයි. මා අතින් කවි විශාල සංඛ්‍යාවක්‌ ලියෑවී තිබෙනවා. ඒ කවි අතර බොහෝ අය නොදන්න, ඔබ කියන යුද කවි දෙක තුනක්‌ ලියෑවී තිබෙනවා. එකක්‌ තමයි "යුද බිම පසු කර සරණාගත කඳවුරට පැමිණි පුතාගෙන් පියා ඇසූ ප්‍රශ්නය" නමින් මා ලියූ කවිය. ඒ වගේම "සින්දු කියන මාළු ගොළුවෝ", "පොලිස්‌ මෙනෙවියගේ තුවක්‌කු පාඩම", "මඩකලපුව රාත්‍රිය" යන නමින් යුද්ධය ගැන මට දැනුණු ප්‍රමාණයෙන් මම කවි ලියුවා.

ප්‍රශ්නය - කවි ලියන්න අත්දැකීම් ඕනමද?

පිළිතුර - ඔව්, නමුත් මම කියන්නේ නැහැ යුද්ධයේ ෙ€දවාචකයක්‌ ගැන කවි ලියන්න යුද්දෙට යන්න ඕනම කියලා. නමුත් මා මුලින් සඳහන් කළ බටහිර කවීන් යුද්ධය ගැන කවි ලිව්වේ යුද අගල්වල හිඳිමිනුයි.

ප්‍රශ්නය - ඔබ කවි පරිවර්තකයෙක්‌. කිසියම් බසකින් ලියෑවුණු කවියක්‌ වෙනත් බසකට පරිවර්තනය කළ හැකිද?

පිළිතුර - එකවරම ඔය ප්‍රශ්නයට දෙන්න පුළුවන් උත්තරය "බැහැ" කියලයි. කවියා භාවිත කරන රූපක සහ විශේෂණ ඒ ඒ භාෂාවට විශේෂයි. ඒ බස තවත් බසකට පෙරළන්න බැහැ. ෆේ‍රdස්‌ට්‌ කියන කවියා කියනවා "පරිවර්තනයේදී වාෂ්ප වෙන්නේ කවියා" කියලා. නමුත් මේ ගැන යම් කෙනකුට ප්‍රශ්න කරන්න පුළුවන්. කාලිදාස හෝ එලියට්‌ පරිවර්තනය කරන්න බැහැ කියල අඩුපාඩු සහිතව හෝ ඔවුන්ගේ කෘති පරිවර්තනය නොකළොත් අපි අපේ කවිය තුළම තනි වේවි. කවදාවත් මුල් කවිය ඒ ගුණයෙන්ම වෙනත් බසකට පරිවර්තනය කරන්න බැහැ. ඒක හරි. නමුත් පරිවර්තනයේදී හැකිතාක්‌ දුරට කවියේ සාරයවත් රැක ගැනීමට පරිවර්තකයා උත්සාහ කළ යුතුයි.

ප්‍රශ්නය - ඔබ ජපන් "හයිකු" කවි බොහොමයක්‌ සිංහලයට පරිවර්තනය කර තිබෙනවා. මේ හරහා ඔබ කෙටි කවිය අපට ගෙන ඒමට උත්සාහ දැරුවත් එය අසාර්ථක වෑයමක්‌ වූ බවට විචාරකයන්ගේ අදහස වුණා?

පිළිතුර - සංක්‍ෂිප්ත බව කවියක තිබිය යුතු සුවිශේෂ ගුණාංගයක්‌ ලෙසයි මා දකින්නෙ. හැබැයි සංක්‍ෂිප්ත බව කියන්නේ කවියේ වචන අඩු බව නොවේ. සුදුසු වචන පමණක්‌ ගෙන නුසුදුසු වචන හැළීමයි. උදාහරණයක්‌ විදියට හයිකු කවිය ගත්තොත්, ඒක මාත්‍රා 17කින් සැදි පෙAළි තුනක කවියක්‌. "හයිකු" කවිය යනු ලෝකයේම තිබෙන සංක්‍ෂිප්තම කවියයි. එය සිංහලයට පරිවර්තනය කරන්න මා උත්සාහ කළේ කවියේ සංක්‍ෂිප්ත බව රැකගෙන බොහෝ දේවල් ප්‍රකාශ කරන්න පුළුවන් කියන අදහස පෙන්වන්නයි. ඒ මිසක්‌ සිංහල භාෂාවෙන් හයිකු කවි ලියන්න පුළුවන් කියල පෙන්වන්න නොවේ. ඇත්තටම මේක ඇතැම් අය දැක්‌කේ වැරැදි විදියට. අද හයිකු කවි ලියෑවෙන්නේ ජපානයේ පමණක්‌ නොවේ. ඇමෙරිකාවේ, යුරෝපයේ අද හයිකු ආකෘතියෙන් කවි ලියෑවෙනවා.

ප්‍රශ්නය - අද කෙටි කවි කියා කවි ලියන අපේ බොහෝ දෙනෙක්‌ කරන්නේ එකිනෙකට නොගැලපෙන නිකන් වචන පේළි දෙක තුනක්‌ ලියන එක පමණයි?

පිළිතුර - ඒක මම පිළිගන්නවා. ඔවුන් ලියන්නේ සංක්‍ෂිප්ත කවි නොවේ. ඔවුන් කරන්නේ මොකක්‌දෝ ගැටලුවක්‌ විසඳනවා වගේ වැඩක්‌. මොවුන් ලියන කවි නිසා සංක්‍ෂිප්ත කවියට බරපතල හානියක්‌, සිදුවෙනවා.

ප්‍රශ්නය - පසුගිය මාසයේදී කොළඹ පැවැති "ගුණදාස අමරසේකර ප්‍රත්‍යාවලෝකන" කවි සැඳෑවකට සහභාගි වීමට අපට අවස්‌ථාව ලැබුණා. එහිදි අප දුටු දෙයක්‌ තමයි ශබ්ද නඟා කවි කියෑවීමෙන් කවියක්‌ හොඳින් රස විදිය හැකි බව. කවි සැඳෑවන් ඔබට අනුව යල් පැනගිය එකක්‌ද?

පිළිතුර - හොඳින් කවි රස විඳින්න නම් ශබ්ද නඟා කියෑවීම අවශ්‍යයි. නමුත් කවි ගායනා කිරීමට ලොකු පරිචයක්‌ අවශ්‍ය වෙනවා. කවි ගායනා කිරීම සින්දු ගායනා කරනවා වගේ ලේසි නැහැ.

අපේ පාඨකයන් අද වැඩිපුරම ආකර්ෂණය වෙලා තියෙන්නේ විද්යුත් මාධ්‍යයට. නමුත් විද්යුත් මාධ්‍යය කවියට තැනක්‌ දෙන්නේ නැහැ. රූපවාහිනිය ගීතවලට දෘශ්‍ය රූප (ඪසිම්ක) දමා ඒවා ප්‍රචාරය කරනවා. ඒවා ගැලපෙන නොගැලපෙන එක වෙනම කතාවක්‌. ඒත් කවියටත් ඒක ගන්න බැරිද? කවියෙන් නිතරම මැවෙන්නේ දෘශ්‍ය රූප. මේකට ඉංගී්‍රසියෙන් කියන්නේ .Reජසඑසබට එයෑ ඡදැප. කියලා .Resසඑසබට. යනවචනයට සිංහල භාෂාවේ වචනයක්‌ නැහැ. කවිය කියෑවීම කිව්වොත් එම අදහස එන්නේ නැහැ. කවිය ගායනා කිරීම කිව්වොත් එන්නේ වැරැදි අර්ථයක්‌. මේ දෙකටම අතරමැදි අදහස්‌ එන වචනයක්‌ .Reජසඑසබට එයෑ ඡදැප. එකට යොදා ගන්න ඕනෑ. මේ ආකාරයට කවිය දෘෂ්‍ය රූප යොදාගෙන රූපවාහිනි මාධ්‍යයෙන් ඉදිරිපත් කළොත් කවියට විශාල පාඨක පිsරිසක්‌ එකතු කරගන්න පුළුවන්.

ප්‍රශ්නය - ඔබ නාට්‍ය පරිවර්තන කිහිපයක්‌ කර තිබෙනවා. ඉන් පරිවර්තන තුනකට රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි වුණා. නාට්‍යකරුවකු නොවී නාට්‍ය කෘති පමණක්‌ පරිවර්තනය කිරීමේ අරමුණ කුමක්‌ද?

පිළිතුර - අපේ රටේ නාට්‍ය සාහිත්‍යය තිබෙන්නේ බොහොම නොදියුණු තත්ත්වයක. මට ඕන වුණේ මේ නාට්‍ය සාහිත්‍යය පෝෂණය කරන්නයි. පරිවර්තනය කළ නාට්‍ය කිහිපයක්‌ වේදිකා ගත වුණා. "ට්‍රොaජන් කාන්තාවෝ" නාට්‍යය ධර්මසිරි බණ්‌aඩාරනායකගෙනුත් "ඊඩිපස්‌" නාට්‍යය අතුල පීරිස්‌ ගෙනුත් වේදිකා ගත වුණා. අද විශ්වවිද්‍යාල පහක නාට්‍ය කලා උපාධියට ඉගැන්වීම් කෙරෙනවා. එම උපාධියට පෙනී සිටින සිසුන්ට මගේ නාට්‍ය පිටපත් බොහෝ ප්‍රයෝජනවත් වී තිබෙනවා. ඒ වගේම නාට්‍ය කලා උපාධි පාඨමාලාවේ නිර්දේශ කෘති හැටියට තියෙන්නේ මගේ නාට්‍ය කෘතියි.

ප්‍රශ්නය - සාහිත්‍ය සම්මාන සංකල්පයට ඔබ නම් කැමැති ඇති....?

පිළිතුරු - සාහිත්‍යකරුවන්ට සම්මාන දීම අවශ්‍යයි. අපේ රටේ සාහිත්‍යකරුවන්ට කරන එකම අගය කිරීම තමයි සම්මාන දීම. වෙනත් රටවලත් සාහිත්‍යකරුවන් ඇගයීමට විවිධ නම්වලින් බොහෝ සම්මාන පිරිනමනවා. නමුත් අපේ රටේ සිදුවන්නේ රජය මගින් කරන අගය කිරීම පමණයි.

සම්මාන දීමෙන් නිර්මාණකරුවන්ගේ කාර්යයට යම් දිරිගැන්වීමක්‌ හිමිවන බව කිව යුතුයි. සම්මාන දීමේ ක්‍රමවේදය ගැන විවිධ ප්‍රශ්න තිබෙන්න පුළුවන්. සම්මානයක්‌ දුන්නේ කොතැනද ඒ හැම තැනම ඔය ප්‍රශ්න තිබුණානෙ. නමුත් සම්මාන, විවේචනවලින් හැකිතාක්‌ දුරට අඩු කරගන්නවා නම් තමයි ගොඩක්‌ හොඳ.

මෙපමණ කාලයක්‌ සම්මාන දීමේදී මතුවුණු විවේචන දෙස බැලූ විට පෙනෙන දෙයක්‌ තමයි නිර්දෝෂී කළ යුතු බොහෝ තැන් තිබෙන බව. මගේ අදහස නම් මීට පෙර සම්මාන සඳහා තෝරාගත් කෘති පිළිබඳව නැවත සාකච්ඡාවක්‌ කළ යුතුයි.

සාහිත්‍ය කෘති විනිශ්චය කරන්නන්ට ඒ කෘති තේරූ විධි ක්‍රමය ගැන පාඨකයා ඉදිරියට ගිහින් කියන්න පුළුවන් වෙන්න ඕනෑ. නමුත් ඒක අපේ රටේ මේ වෙනතෙක්‌ වුණේ නැහැ.

ප්‍රශ්නය - රාජ්‍ය සාහිත්‍ය උළෙලේදී කෘති සඳහා සම්මාන පිරිනමන්නේ රජයේ සාහිත්‍ය මිනුම් දඬුවලට අනුවයි. මේ මිනුම් දඬු නිසා සාහිත්‍යකරුවන්ට සාධාරණත්වයක්‌ ඉටුවෙයි කියා ඔබ සිතනවාද?

පිළිතුර - නිර්මාණ තෝරා ගැනීම හැමවිටම සිදුවන්නේ පුද්ගල බද්ධවයි. මේ නිසා හැමෝම පිළිගන්න මිනුම් දඬු අපට හදන්න බැහැ. මෙහිදී කළ යුත්තේ හැකිතාක්‌ දුරට තත්ත්වය නිර්මල කිරීමයි. හැබැයි සාහිත්‍ය කෘති විනිශ්චය කළ පුද්ගලයන් නිර්භයව හෙළි කිරීමට සාහිත්‍ය අනුමණ්‌ඩලයට හැකියාව තිබිය යුතුයි.

ප්‍රශ්නය - ඔබත් සංස්‌කෘතික අමාත්‍යාංශයේ ලේකම් ධුරය හෙබවූවා. ඔබ සංස්‌කෘතික ලේකම් ලෙස කටයුතු කරද්දී අප රටේ සාහිත්‍යය නඟාසිටුවීමට කළේ මොනවාද?

පිළිතුර - (මඳක්‌ නිහඬව සිට) ඒක මෙතැනට කියන්න අවශ්‍ය ද?



ප්‍රශ්නය - සංස්‌කෘතික ලේකම් ධුරයේ කටයුතු කරමින් කළ කාර්යයන් පිළිබඳව ඔබට කීමට යමක්‌ තිබෙනවාද?

පිළිතුර - සංස්‌කෘතික ලේකම් ලෙස මා කළ කාර්යයන් ගැන කතා කරන්න මම කැමැති නැහැ. මම මේ කියන ටිකවත් පළ කරන්න අවශ්‍ය නැහැ කියලයි මට හිතෙන්නේ. මම අහවල් අහවල් දේ කළා. මේ මේ දේවල් කරන්න බැරිවුණා කිව්වොත් ඒක දැන් ඒ තනතුරේ ඉන්න අයටත් හොඳ නැති වෙන්න පුළුවන්. සාකච්ඡාවට ඒක නුසුදුසු වෙන්නත් පුළුවන්. ඒක මම කිව්වොත් ඒක මගේ පුරසාරමක්‌ විතරක්‌ වේවි.

ප්‍රශ්නය - ඒ කියන්නේ ඔබට කියන්න කිසිවක්‌ නැහැ...?

පිළිතුර - අපොයි කියන්න බොහෝ දේවල් තියෙනවා. මම ඒක ඔබට පෞද්ගලිකව කියන්නම්. ඒ කතා ප්‍රසිද්ධ කරන එක හරි නැහැ.

ප්‍රශ්නය - වසර 25 ක පමණ ඔබගේ නිර්මාණකරණයේ ගමන් මග දෙස ආපසු හැරී බැලුවොත් කුමක්‌ද ඔබට හිතෙන්නේ?

පිළිතුර - මගේ නිර්මාණ ආශාව කුළුගැන්වුණු කාලය තමයි ගෙවී ගිය අවුරුදු විසිපහක කාලය ඒ කාලය තුළ මා කළ නිර්මාණ ගැන මම, සෑහීමකට පත්වෙනවා. මගේ නිර්මාණවලින් අපේ සාහිත්‍යයට යම් වැදගත්කමක්‌ ඇති නිර්මාණ කෙරුණා කියල මට හිතෙනවා. ඒක ගැන මට නිහතමානී සතුටක්‌ දැනෙනවා.

ප්‍රශ්නය - ඔබට නිහතමානී සතුටක්‌ තිබෙන්නේ ඔබේ පොත්වලට සම්මාන ලැබුණු නිසාද?

පිළිතුර - අනේ· නැහැ. නමුත් මම මෙහෙම හිතනවා. යම් පුද්ගලයකුගේ ජීවිත කාලය බොහොම කෙටියිනේ. අපිට ක්‍රියාශීලිව කටයුතු කළ හැකි කාලය ජීවිත කාලයෙන් අඩකටත් වඩා අඩුයි. මේ කාලය තුළ ඔහුට තමන්ගේ නිර්මාණ කිරීමට ලැබෙන්නේ කුඩා කාලයක්‌. මේ කෙටි කාලය තුළ මා කළ නිර්මාණයන්ට යම්කිසි ඇගයීමක්‌ වෙනවා නම් එයයි මගේ සතුට. මම කළ නිර්මාණ පිළිබඳ ඇගයීම සම්මානයට වඩා මට වටිනවා.

ප්‍රශ්නය - සාහිත්‍ය සම්මාන ගැන කතා කරන විට ඒ පිළිබඳව ඔබට එල්ල වූ ප්‍රබල චෝදනාවක්‌ තිබෙනවා. ඔබ සංස්‌කෘතික ලේකම් ධුරයේ කටයුතු කරමින් ඔබ පරිවර්තනය කළ වනපෙත අඬ ගසයි" කෘතියට සම්මානයක්‌ ලබා ගන්නවා. එය සදාචාරාත්මක ද?

පිළිතුර - ඔය සම්මානය ලැබුණු දවස්‌වල මම සංස්‌කෘතික ලේකම්වරයා ලෙස කටයුතු කළා තමයි. නමුත් සාහිත්‍ය අනුමණ්‌ඩලය මගින් කරන කෘති තෝරා ගැනීම්වලට කිසිම අයුරකින් මම මැදිහත් වුණේ නැහැ. ඒ කතාව විශ්වාස කරන එක හෝ නොකරන එක වෙනම වැඩක්‌. මගේ පොතට සම්මාන ගන්න මම මැදිහත් වුණේ නැහැ කියලා නළලේ අතගහලා මට කියන්න පුළුවන්. මගේ පොතට සම්මානය ලැබිලා කියලා මම දැනගත්තේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ ප්‍රතිඵල මාධ්‍යයයට නිකුත් කළ දවසෙයි. සාහිත්‍ය අනු මණ්‌ඩලයේ සභාපතිතුමාත්, මමත් එදා එතන හිටියා. ප්‍රතිඵල මාධ්‍යයට නිකුත් කරද්දී මගේ පොතට සම්මානයක්‌ හිමිවෙලා කියලා දැනගත්ත ගමන් මම ඒ මොහෙතෙදීම මාධ්‍යයට ප්‍රකාශයක්‌ කරලා කිව්වා මගේ පොතට සම්මානයක්‌ ලැබීම මට සතුටක්‌, නමුත් සංස්‌කෘතික ලේකම් ධුරයේ සිටින තාක්‌ කල් මම මේ සම්මානයත්, ඊට හිමි මුදලත් භාර ගන්නේ නැහැ කියල.

අද වනවිට "වනපෙත අඬ ගසයි" කෘතිය හතරවැනි මුද්‍රණයත් පළවී තිබෙනවා. නමුත් පොතේ කිසිම තැනක මම අද වනතුරු සඳහනක්‌ කර නැහැ. අහවල් අවුරුද්දේ එම කෘතියට රාජ්‍ය සම්මාන හිමි වුණා කියලා.

ප්‍රශ්නය - නමුත් ඔබ සම්මානය ප්‍රතික්‍ෂේප කළා කියලා මාධ්‍යයට කිව්වාට මාධ්‍යයේ පළ වූයේ ඔබ සම්මානය ලබාගත්තා කියලයි ?

පිළිතුර - මා කියූ දේ නිවැරැදිව මාධ්‍යයේ පළ වුණේ නැහැ. සම්මානය ප්‍රතික්‍ෂේප කරමින් කළ කතාව පාඨකයකුට සැකයක්‌ උපදවන ආකාරයෙනුයි පත්තරවල පළ වුණේ. මේ කතාව අල්ලාගෙන ඇතැම් අය මාධ්‍යයට කියා තිබුණා ලේකම්වරයා කියන දේවල් වෙන්නේ නැහැ, ඔය මොන බොරු කතාද කියලා.

සාකච්ඡා කළේ රසී වීරසිංහ


READ MORE - විනිශ්චය ගැන කියන්න බැරි නම් විනිශ්චයකරුවන් කුමටද?

රජරට වැසියන්ගේ කතාව "සඳගිරපව්ව"


අප බොහෝ දෙනා අද දවස වන විට ආලින්දයට ආ රූපවාහිනියට ළං වන්නට පටන්ගෙන තිබේ. එහි ඇති නාලිකාවන්ගෙන් විකාශනය වන ටෙලි නාට්‍යය ද මතකයේ තබා ගැනීමට නොහැකි තරම්ය. එම ටෙලි නාට්‍ය වලින් වැඩි හරියක්‌ම විකාශනය වන්නේ මෙගා නමින් හැඳින්වෙන දීර්ඝ ටෙලි නාට්‍යවලිනි. මේවායේ බොහෝ දුරට ගොඩනැගෙන්නේ ආදර කතාවන්ය. සත්‍ය සිදුවීම් අලලා ප්‍රමිතියකින් හෙබි තේමාවන්ගෙන් යුත් ටෙලි නිර්මාණ බිහිනොවන්නෙ නොවේ. සඳගිරපව්ව නමින් මේ දිනවල ස්‌වර්ණවාහිනියේ රාත්‍රි 8.30 කණිසමට සෑම ඉරිදා දිනකම අප දකින්නේ එවන් නැවුම් ආකාරයේ ටෙලිනාට්‍ය මාලාවකි. මෙය කොටස්‌ පනහකින් යුතු ටෙලි චිත්‍රපට මාලාවකින් සමන්විතය.

"සඳගිරපව්ව" සමන් කුමාර ලියනගේ අධ්‍යක්‍ෂණයක්‌. මෙය ඔහුගේ දෙවැනි ප්‍රාසාංගික නිර්මාණයකි. 2007 දී රයිගම් හා සුමති ටෙලි සම්මානවලට පාත්‍ර වුණු "සඳගලතැන්න" ඔහුගේ පළමු නිර්මාණයයි. ජාතික තරුණ සේවා සභාවේ රූපවාහිනි වැඩසටහන් නිෂ්පාදනය සහ තාක්‍ෂණ පාඨමාලාව හැදෑරීමෙන් ගමන් මග ඇරඹූ ඔහු ජාතික රූපවාහිනියේ වැඩසටහන් නිෂ්පාදකවරයකු ලෙස වසර 16 ක සේවා දිගුවකට හිමිකම් කියයි. 2000 වසරේදී නාට්‍ය කරළියට සම්බන්ධ වුණු සමන් අද වන විට ස්‌වර්ණවාහිනි ආයතනයේ ජ්‍යෙෂ්ඨ විධායක නිෂ්පාදකවරයෙක්‌ වශයෙන් කටයුතු කරයි. "සඳගිරපව්ව" අධ්‍යක්‍ෂගේ තොරතුරු බිඳකි ඒ.

"සඳගලතැන්න" නිර්මාණයේ ගුණාත්මක බව දුටු ස්‌වර්ණවාහිනි ආයතනය ඔහුට ආරාධනාවක්‌ කර තිබෙනවා හොඳ නිර්මාණයක්‌ කරන්න. ඒ අනුවයි සඳගිරපව්ව ටෙලි සිත්තම ඔබේ ආලින්දයට එන්නේ.

සුමනසිරි දසනායකයන්ගේ මිහිතලය නව කතාව ඇසුරෙන් සඳගිරපව්ව ටෙලිය නිර්මාණය වෙයි. මෙය නියඟයෙන්, වැස්‌සෙන් මෙන්ම අලි උවදුරෙන් බැටකන රජරට වැසියන්ගේ ජීවිත පිළිබඳ සත්‍ය කතාවක සිදුවීමක්‌ අලලා රූපරාමුවට ගොඩනැගෙයි. මෙයි රූගත කිරීම් ගල්ගමුව හා ඇහැටුවැව ප්‍රදේශවල සිදුකර ඇත.

ලංකාවේ ටෙලි නාට්‍ය කලාවේ දැන් තිබෙන්නේ ෙ€දවාචකයක්‌. ඇත්තටම දැන් දකින්න ලැබෙන්නේ පැරණි ගුවන් විදුලි නාටක. එක රාමුවක සිට දෙබස්‌ කියනවා. දෙබස්‌වල ගුණය විතරයි දකින්න ලැබෙන්නෙ. ශිල්පීන්ගේ රංගන පරාසයන් දකින්න නැහැ. ඒ වගේ කාලෙක සඳගිරපව්ව නාට්‍ය ගැන කාටහරි හිතෙන්න පුළුවන් අභියෝගයක්‌ කියලා. මෙයට හොඳ ප්‍රතිචාර තිබෙනවා. මෙය නරඹන්න වෙනමම පිරිසක්‌ සිටිනවා යෑයි අධ්‍යක්‍ෂ සමන් කුමාර පැවැසීය.

සංජීව උපේන්ද්‍ර, මොරින් චාරුණී, හංසමාලා ජානකී, හිමාලී සිරිවර්ධන, සම්පත් තෙන්නකෝන්, ගේ්‍රස්‌ ආරියවිමල්, කුමාර තිරිමාදුර, නුවන්ගි ලියනගේ, ගිහාන් ප්‍රනාන්දු, සරත් චන්ද්‍රසිරි, මනෝහාරී විමලතුංග, නනූජා දිල්හානි, දයා තෙන්නකෝන්, දයා අල්විස්‌, මැණිකේ අත්තනායක, බන්දුල විතාන, රිචඩ් මානමුදලි, ජනක්‌ ප්‍රේමලාල්, මාලී ජයවීර, සුමිත් රත්නායක, නිමාලී මාකුඹුර සඳගිරපව්ව ටෙලි චිත්‍රපටයට රංගනයෙන් දායකවෙති.

සමන් කුමාරගේ අධ්‍යක්‍ෂණයට නවරත්න ගමගේ සහ රංජිත් ප්‍රේමවීර සංගීතයෙන්ද, දීපාල් ගුණසේකර සංස්‌කරණයෙන්ද, නාරද තොටගමුව අංග රචනයෙන්ද, උපුල් මංජුල නිෂ්පාදන කළමනාකරණයෙන්ද බුද්ධික ඉන්ද්‍රජිත් කැමරාකරණයෙන්ද එකතුවෙති.


දිනේෂ් විතාන


READ MORE - රජරට වැසියන්ගේ කතාව "සඳගිරපව්ව"

බොඳ මීදුම් රූ ගැන්වේ

යුගයේ ජනප්‍රියතම නවකතාකරුවකු වන සුජීව ප්‍රසන්න ආරච්චි විසින් රචිත බොඳ මීදුම් නවකතාව ඇසුරෙන් නිපදවෙන බොඳ මීදුම් ටෙලිනාට්‍යයේ මුහුරත් උළෙල පසුගිය දා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. බොඳ මීදුම් ටෙලිනාට්‍යය නිෂ්පාදනය කරනු ලබන්නේ නිල්වලා වීඩියෝ ටීම් වෙනුවෙන් දේශමාන්‍ය ආචාර්ය උපුල් ජයසිංහ සමග ස්‌වධීන රූපවාහිනිය විසිනි.

"කෙමෙන් කාලය යත්ම සංසලාගේ කෙළිලොල් භාවයට හා ඇගේ රූ සපුවට ඇලුම් කරන ධනුක සිත යටින් ඇයට ආදරය කරන්නට පටන් ගනී. සංසලාගේ ගමන් බිමන් යාමට රියදුරෙකු නොමැති අවස්‌ථාවල මාලියද්ද මහතා සංසලා සමග ධනුක පිටත් කිරීම තුළින් දෙදෙනා අතර ඇතිවන සිදුවීම් හා කතා බස්‌ තුළ එය තවත් වර්ධනය වෙයි. එමෙන්ම විවිධ සිදුවීම් ඔස්‌සේ සංසලාගේ සිත යටද ධනුක කෙරෙහි ඇල්මක්‌ ඇතිවේ."

මෙලෙසින් සංසලා හා ධනුක යන ප්‍රධාන චරිත වටා ගෙතුණු බොඳ මීදුම් ටෙලිනාට්‍යයේ නළු නිළියන් ලෙසට සාරංග දිසාසේකර, උදාරි වර්ණකුලසූරිය, බුද්ධදාස විතානආරච්චි, ජනක්‌ ප්‍රේමලාල්, ආනන්ද වික්‍රමගේ, මීනා කුමාරි, ගිහාන් ප්‍රනාන්දු, ගයාන් වික්‍රමතිලක, චන්දික නානායක්‌කාර, ගයනා සුදර්ශනී, මාධනී මල්වත්ත ඇතුළු රංගන ශිල්පීන් සහ ශිල්පිණියන් රැසක්‌ සම්බන්ධ වී සිටී. චන්දික විඡේසේනගේ අධ්‍යක්‌ෂණයෙන් චන්දන හේවාපතිරණගේ රූපවාහිනි රචනයක්‌ ලෙසට නුදුරු දිනකදී ප්‍රේක්ෂකයා හමුවට පැමිණෙන බොඳ මීදුම් ටෙලිනාට්‍යයට නිර්මාණ කාර්යය දායකත්වයෙන් ලලිත් වසන්ත, චන්න ජයනාත්, නීල් රුක්‌මන්, සඳුන් රාජකරුණා, ශාන්ත ජයලත් තිසේරා, චන්න ජයනාත් ඇතුළු ශිල්පීන් රැසක්‌ එකතු වී සිටී.


ලක්‌මිණි


READ MORE - බොඳ මීදුම් රූ ගැන්වේ

දයාත් එක්ක ගෙවපු ජීවිතය මට සදා අමරණීයයි

අනුලා කරුණාතිලක

කිරල – මැනල වෙන් කරන්න බැරි හුඟක් දේ ජීවිතයට අදාළයි.

හරියට, ඇතිවෙලා - නැතිවෙලා යන බොහෝ බැඳීම් අතරෙ ජීවිතේ කොහේ හරි තැනෙක ආදරේ නවතිනව වගේ.

සමහර විට, ජීවිතේ පුරාම රැඳිල ඉන්නෙත් එහෙම රැඳෙන එකම ආදරයක්. වියෝ වුණත් ඔවුන් හදවතින් ඈත් නොවෙන්නෙත් ඒ නිසා.

අනුලා කරුණාතිලක ප්‍රවීණ රංගවේදිනියගෙ ජීවිතේ හමු වූ ශ්‍රේෂ්ඨ සුවිශේෂී චරිතෙ වෙන්නෙත් එහෙම කෙනෙක්.

දයා රණවීර. ඇගේ පි‍්‍රය හිමි.

දයා රණවීර

වියෝ වුණත් ඔහු තවම ඇගේ හිතේ ජීවත් වෙනව.

”ඒ හමුවීම මට අද වගේ මතකයි. මං තාත්තා එක්ක දවස පත්තර කන්තෝරුවට ගියේ රූප සුන්දරී තරගෙදි ගත්තු මගේ පින්තූරයක් ඉල්ලා ගන්න. ඒක මමම යවපු එකක්.

කර්තෘ ළඟට ගිහින් කතා කරනකොට, එවෙලෙම වගේ දයා එතැනට ආවා.

”ආ... මේ ඉන්නෙ ඔය පින්තූරවල අයිතිකාරයා. එයාගෙන්ම අහල දැනගන්න...” කියල කර්තෘ දයාව පෙන්නුව. මං දයාගෙන් පින්තූරෙ ගැන ඇහුවා.

”ඒ පින්තූරෙ හොඳ මදි. කැමැති නම් අපි කවරෙකට හොඳ පින්තූරයක් ගමු... දවසක තාත්තා එක්ක එන්න...”

”බොහොම නිවිච්ච කතා බහ. වැදගත් පෙනුම. ඇත්තටම එදා හිතුණ දයා හොඳ මහත්මයෙක් කියල.

අන්තිමේ අපි විවාහ වුණා. ඒ බැඳීම – ආදරේ මැරෙනකල්ම හිතේ තිබුණා. දයා මට හොඳ සැමියෙක් වගේම මගේ දරුවන්ට ආදරණීය තාත්තෙක්. ඒ හිස්තැන තාමත් දැනෙන්නෙ දයාගේ ශ්‍රේෂ්ඨ ගති ගුණ නිසා...

මාව නිළියක් කළේ එයා. ඒ ගෞරවයත් හිමි එයාට. මේ ජීවිත කාලෙදි මොන තරම් පිරිසක් මුණ ගැහුණත් දයා එක්ක බැඳුණු - ගෙවපු ජීවිතේ මට සදා අමරණීය වෙන්නෙ ඒ නිසා...”

දයා - අනුලා ආදර කතාවත් එක්ක ඈ නිළියක් වෙනව.

ඊට විවරණ දෙන්නෙ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ජ්‍යෙෂ්ඨ සිනමා අධ්‍යක්‍ෂවරයා.

”දවසක් ජී. ඩබ්ලිව් සුරේනුයි, සුගතපාල ද සිල්වයි අපේ ගෙදර ආවා. ඒ ගොල්ලො කිව්වා ගිහින් ලෙස්ටර් මහත්මයා මුණ ගැහෙන්න කියල. ඒ 1962 අවුරුද්දෙ දවසක. දවසක් ලෙස්ටර් මහත්මයා වාහනයක් එවල තිබුණා. තාත්තයි මායි එතුමගෙ දෙහිවල මහ ගෙදරට ගියා. එදා තමයි මම මුලින්ම ලෙස්ටර් ජේම්ස් පීරිස් සූරින් මුණගැහුණෙ.

”අපි රූප සුන්දරී තරගෙ බලන්න ගියෙත් ‘ගම්පෙරළියට’ නන්දා කෙනෙක් හොයන්න. ඔයා පුංචි වැඩියිනෙ. ඒත් දැන් මට ඔයාව අතාරින්නත් ලෝබයි. බලමු ඔයාට මොනවද කරන්න පුළුවන් කියලා..” එහෙම කියල මට ගම්පෙරළියෙ නන්දගෙයි – පියල්ගෙයි දෙබසක් දුන්නා.

එදා ඒ ගෙදර තව කෙනෙක් හිටියා. ගාමිණි ෆොන්සේකා. මට පුදුමයි.

අපි ඉස්කෝලෙ කෙල්ලො ටික එකතු වුණාම ඒ දවස්වල කතා කළේම ‘සංදේශය’ ගැන. ගාමිණිගෙ ‘සංදේශයෙ’ චරිතෙ නිසා මං එච්චර ආසා වුණේ නැහැ. ඒත් හැබෑවට දකිද්දි හරි සතුටක් දැනුණා.

ලෙස්ටර් මහත්මයා මට කියන්න කියපු දෙබසෙදි ගාමිණි ‘පියල්’ වෙන්න කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා. ඇත්තටම නන්දගෙ දෙබස් ටික මට කියන්න පුළුවන් වුණේ එයා ඒ උදව්ව කළ නිසා. එතකොට මට වයස 16 යි.

කොහොමටත් නන්දා වෙන්න මං පුංචි වැඩියි කියලා මටත් දැනුණා. ඒක මුළු චිත්‍රපටය පුරාම විහිදෙන ප්‍රධාන චරිතයක්. අන්තිමේ ලෙස්ටර් මහත්මයා මාව ‘ලැයිසා’ කියන ටිකක් දඟකාර චරිතෙට තෝරා ගත්තා.

එදා මං පළමු වරට ලෙස්ටර් මහත්මයා දැක්ක වගේම පළමුවරට ගාමිණි මුණගැහුණෙත් එකම වහලක් යට.

විලියම් ගොපල්ලව අග්‍රාණ්ඩුකාරවරයා සමඟ

ලෙස්ටර්-සුමිත්‍රා යුවළ සමඟ
අනුලා සහ පවුලේ අය

අපේ ගෙදර හිටියෙ කෙල්ලොම විතරයි. තාත්තා තමයි එකම පිරිමියා. පිරිමි ළමයි එක්ක ඇසුරක් – කතා බහක් තිබුණෙම නැති තරම්. මේ දෙන්නම ඒ කාලෙත් සිනමාවෙ දැවැන්තයො. ඇත්තටම එදා හිතට පොඩි ලැජ්ජාවක් ආවා. ගාමිණි එක්ක දෙබස් කියන්න කිව්වම ඒ ලැජ්ජාව තවත් වැඩිවුණා.

නමුත් මට එතැනදි ගාමිණි උදව් කළේ හරියට ගුරුවරයෙක් වගේ.

ගාමිණි මගෙන් ඇහුවා ඔයා කැමැතිම නළුවා කවුද... කියල.

‘ඔයා නම් නෙවෙයි...’ මං ගත් කටටම කිව්වා. එයා මොකුත් නොකියා හිනා වුණා. එතකොට ගාමිණි හරි කඩවසම්. විවාහ වෙලත් නැහැ. ඇත්තටම ඒක වුණේ ‘සංදේශයෙ’ එයා කරපු සටන්කාමි චරිතෙ නිසා.

හර්බට් ඇම්. සෙනෙවිරත්න මගෙ කැමැතිම නළුවා. නමුත් මට කවදාවත් ඒක එයාට කියාගන්න බැරි වුණා. සිනමාවෙදි එයා බොහොම අහිංසක පෙම්වතෙක්. ගාමිණිට අරහෙම කියැවුණේ හර්බට් ඇම්. සෙනෙවිරත්නට තිබුණු ඒ කැමැත්ත නිසා මිස අහිතකින් නම් නෙවෙයි.

ගාමිණි සහ ලෙස්ටර් සූරින්, දයා ළඟට මට සුවිශේෂීම චරිත දෙක. මේ සියල්ල ඒ සුවිශේෂීකම එක්ක බැඳුණු දේවල්.

ගාමිණි එක්ක එදා බැඳුණු සමීපකම මැරෙනකල් තිබුණා. ‘චණ්ඩියා’ මං ගාමිණි එක්ක ප්‍රධාන චරිතෙ රැඟූ පළමු චිත්‍රපටය. මට හුඟක් වැරදුණා. ටයිටස් තොටවත්ත මහත්මයයි ගාමිණියි තමයි මට රංගනය ගැන කියා දුන්නෙ. ‘චණ්ඩියා’ කරද්දිමයි ‘පරසතුමල්’ සහ ‘සීතල වතුර’ චිත්‍රපට කළේ.

’පරසතුමල්වලට ගාමිණි මාව තෝරා ගනිද්දි මං ඒ තරම් කැමැති වුණෙත් නැහැ. ටෝනිගෙ පස්සෙන් යන පවුල් කඩන මහ අවුල් සහගත චරිතයක්. නමුත් ඊළඟට මගේ ජීවිතේට මුණ ගැහුණු සුවිශේෂී චරිතෙ මුණ ගැහෙන්නෙත් ‘පරසතුමල්’ නිසා.

ඒ ‘පරසතුමල්’ මංගල දර්ශනය දවස. ෆිල්ම් එක බලනකොටත් මගේ හිතේ චකිතයක්. ෆිල්ම් එක ඉවර වුණු ගමන් මගේ් ළඟට හිනාවෙවි කෙනෙක් එනවා. විලියම් ගොපල්ලව අග්‍රාණ්ඩුකාරවරයා.

ගාමිණි ෆොන්සේකා

”මට හරිම සන්තෝසයි. බොහොම අපූරුයි ඔයාගෙ රඟපෑම...” එහෙම කියල මගේ අත්දෙකම අල්ලගෙන හිටියා මොහොතක්. එයා එක්ක හිටපු අනෙක් ප්‍රභූන් පිරිසත් ඇවිත් මාව වටකර ගත්තා. එදා ඉඳල මොන උත්සවේදි මුණ ගැහුණත් එතුමා මගේ ළඟට ඇවිත් වචනයක් දෙකක් කතා

කරල මිස ගියේ නෑ.

මට අමතක නොවෙන්නෙ ඒ නිහතමානිකම. අපේ රටේ පළමු ජනාධිපතිතුමා. මේ හැම දෙයක්ම හිතද්දි ගොපල්ලව මැතිතුමාගේ හමුවීම මට සදා අමරණීයයි.

අනික් කෙනා ටෝනි. ටෝනි රණසිංහ. පටන් ගැන්මෙ පටන් අදටත් මගේ පරණ මිත්‍රයා. ඒ බැඳීමත් හැමදාම එක වගේ. සුමිත්‍රා පීරිස්, කරුණාසේන ජයලත්, වික්‍රම බෝගොඩ මේ අයත් මගේ මතකයේ රැඳුණු අමරණීය චරිත”

රංගන ජීවිතයේ සොඳුරු මතක අතර මේ හැමෝම අනුලගෙ හිතේ හැමදාමත් පෙළ ගැහිල.

ඒ හැමෝටම ඉදිරියෙන් අදත් හිනා පිරුණු මුවින් බලා ඉන්නව සේ දැනෙන්නෙ වියෝවූ පිය හිමි දයා රණවීර කියලයි අනුලා කියන්නෙ.

READ MORE - දයාත් එක්ක ගෙවපු ජීවිතය මට සදා අමරණීයයි

රූකාන්තගේ දුව චිත්‍රපට රංගනයට

ප්‍රවීණ ගායක ගායිකා යුවළක් වන රූකාන්ත ගුණතිලක හා චන්ද්‍රලේඛා පෙරේරාගේ වැඩිමල් දියණිය රයිනි චාරුකා ගුණතිලක සිනමා රංගනයට පිවිසේ.

ඒ සුනෙත් මාලිංග ලොකුහේවා අධ්‍යක්ෂණය කරන ‘සිංහාවලෝකනය’ නම් චිත්‍රපටයේය. සනත් ගුණතිලක, ක්ලීටස් මෙන්ඩිස්, ජයලාල් රෝහණ, පාලිත සිල්වා, ජී. ආර්. පෙරේරා, ගාමිණී හෙට්ටිආරච්චි, අයිරාංගනී සේරසිංහ, දිල්හානි අශෝකමාලා, දමිතා අබේරත්න, කුසුම් රේණු, මොරින් චාරුනි, පුබුදු චතුරංග, අශේන් මංජුල ඇතුළු ජනපි‍්‍රය, ප්‍රවීණ නළු නිළියෝ රැසක් මේ සඳහා රංගනයෙන් එක්වෙති. රයිනි චාරුකා සමඟ මෙම චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතය සඳහා ඩිලෝන් ජයසිංහ නම් නවක නළුවකු එක්වේ.

‘සිංහාවලෝකනය’ චිත්‍රපටයේ රූගත කිරීම් මෙම මස 22 වැනිදා සිට මහනුවර හන්තාන ප්‍රදේශයෙන් ඇරැඹේ.

‘සිංහාවලෝකනය’ පේ‍්‍රමරත්න වැටකේපොත, තුෂිර රදැල්ල, ප්‍රභාත් ද සිල්වා සහ පසන් චන්ද්‍රසේකර ගේ නිෂ්පාදනයකි.


READ MORE - රූකාන්තගේ දුව චිත්‍රපට රංගනයට

මගෝ ඩිගො ඩයි නැවත

අති සාර්ථකව තිරගත වන ලාල් ප්‍රියදේවගේ මගෝ ඩිගො ඩයි චිත්‍රපටය තිරගත කළ සිනමා ශාලා ගණනාවක් නැවත දෙවැනි වරටත් එම චිත්‍රපටයම තිරගත කිරීම අරඹා තිබේ.

කුඩා දරුවන් මේ කෙරෙහි දක්වන ආකර්ෂණය ඉහළ මට්ටමක පැවතීම මීට හේතු වී ඇතැයි එහි නිෂ්පාදක ජනිත මාරසිංහ පවසා සිටී.

ඒ අනුව නැෂනල් - මහරගම, හිමාලි - කිරිබත්ගොඩ, ගැමුණු - වත්තල, දයා සෙවණ – පිළියන්දල, චිත්‍රා - කළුතර, සහ අලුත්ගම පිහිටි ලිබර්ටි යන සිනමා ශාලාවලදී දැන් මගෝ ඩිගො ඩයි නැරඹිය හැකියි.

මෙහි විජය නන්දසිරි, සනත් ගුණතිලක, ගාමිණී සුසිරිවර්ධන, අනර්කලී ආකර්ෂා, සරත් චන්ද්‍රසිරි, ඇන්ටන් ජූඩ්, ටෙඩී විද්‍යාලංකාර, සුනිල් හෙට්ටිආරච්චි, රොනී ලීච්, අනුර බණ්ඩාර රාජගුරු, වාසල සෙනරත්, දිල්ෂාණි පෙරේරා, ශෂීරංග වික්‍රමසේකර, සුජානි ප්‍රනාන්දු, සරත් දික්කුඹුර, රන්ජිත් ද සිල්වා, ඩැනී සමරවීර, අර්ඩ්ලි වෙදමුනි, සමන් අල්මේදා, ටෙනිසන් එදිරිසිංහ, රමේෂ් උවයිස්, මාලන් කරුණාරත්න, ශාන් රූපස්සර ආදීහු රංගනයේ යෙදෙති.

ඩොනල්ඩ් ජයන්ත සහාය අධ්‍යක්ෂණය කළ මෙහි කතාව හා දෙබස් ගාමිණී මෙන්ඩිස්ගෙනි.

අතිශය ජනප්‍රිය සන්ෆ්ලවර් සංගීත කණ්ඩායම මෙහි සංගීත අධ්‍යක්ෂණ කටයුතු සිදු කර තිබේ. සංජය නිපුනආරච්චිගේ අංග රචනයකි.

කැමරාව යාපා විජේබණ්ඩාරගෙනි. රංජිත් ද සිල්වාගේ කලා අධ්‍යක්ෂණයකි. ශාන් පෙරේරාගේ නැටුම් අධ්‍යක්ෂණයකි.

සුනිල් විමලවීර සහ චන්ද්‍රදාස ප්‍රනාන්දු යන ප්‍රවීණ ගීත රචකයින් රචිත ගී, ගායනයෙන් ග්‍රේෂන් ආනන්ද, උරේෂා රවිහාරි, නීල් වර්ණකුලසූරිය හා ගාමිණී සුසිරිවර්ධන මගෝ ඩිගො ඩයි හා එක්ව සිටිති.


READ MORE - මගෝ ඩිගො ඩයි නැවත

මෙරංගා කලා ආයතනයේ නර්තන පාඨමාලාවට අයැදුම්පත් භාරගැනේ

මෙරංගා කලා ආයතනය මගින් මෙහෙයවනු ලබන නර්තන පාඨමාලා සඳහා නවක සිසුන් බඳවා ගැනීම මේ දිනවල සිදුවේ.

වයස අවුරුදු පහේ සිට සියලු වයස් කාණ්ඩවල සිසු සිසුවියන්ට උඩරට නර්තනය මුල සිට හැදෑරීමට මෙන්ම, පාසල් විෂය නිර්දේශයට අනුකූ®ල පාඨමාලා හැදෑරීමට මෙම රංග ආයතනයේදී පහසුකම් සලසා තිබේ.

නර්තනයෙහි දක්ෂතා ඇති අඩු ආදායම්ලාභී පවුල්වල සිසු සිසුවියන්ට නොමිලේ මෙම පාඨමාලාවන් හැදෑරීමට අවස්ථාව සලසා තිබීම ද විශේෂත්වයකි.

මේ පිළිබඳ වැඩි විස්තර පහත ලිපිනයෙන් විමසිය හැක.

මෙරංගා නර්තන ආයතනය,
136,
ජයන්ති මාවත,
දකුණුබටගම,
කඳාන

READ MORE - මෙරංගා කලා ආයතනයේ නර්තන පාඨමාලාවට අයැදුම්පත් භාරගැනේ

අරකාවිල නර්තන පදනමේ පාඨමාලාවන්ට අයැදුම්පත් කැඳවේ

අරකාවිල නර්තන සහ නාට්‍ය පදනම මගින් නොමිලයේ පවත්වන පහතරට නර්තන පාඨමාලාව සඳහා අයැදුම්පත් මේ දිනවල භාරගනු ලැබේ.

දිවයිනේ සුප්‍රකට ආචාර්ය මණ්ඩලයක් විසින් මෙහෙයවනු ලබන මෙම පාඨමාලාව නර්තනය, ගායනය, බෙර වාදනය වැනි අංශ යටතේ පවත්වනු ලබයි.

මෙයට සමගාමීව එංගලන්තයේ සුප්‍රකට නර්තන ශිල්පිනී කැසී ක්ලෙයාර් යටතේ නර්තන සහ සංස්කෘතික හුවමාරු වැඩමුළුවක් සංවිධානය කිරීමට අරකාවිල පදනම බලාපොරොත්තුවේ.

අරකාවිල නර්තන සහ නාට්‍ය පදනම, අරකාවිල, හඳපාන්ගොඩ යන ලිපිනයට අයැදුම්පතක් එවීමෙන් මේ පාඨමාලාවන් හා සම්බන්ධ විය හැකියි.

2009 වසරේ එඩිම්බරෝ කලා උළෙලෙහි ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට අවස්ථාව හිමිකර ගත්තේ ද අරකාවිල නාට්‍ය පදනමයි.

READ MORE - අරකාවිල නර්තන පදනමේ පාඨමාලාවන්ට අයැදුම්පත් කැඳවේ

ශේක්ස්පියර් කේන්ද්‍රයේ නාට්‍ය වැඩමුළුවක්

ශේක්ස්පියර් කේන්ද්‍රය මගින් පවත්වනු ලබන නාට්‍යකරණ පාඨමාලාවට මේ දිනවල අයැදුම්පත් කැඳවනු ලැබේ.

මහනුවර කේන්ද්‍ර කරගනිමින් පවත්වනු ලබන මෙම පාඨමාලාව සඳහා ශේක්ස්පියර්ගේ නාට්‍ය කලාව, අධ්‍යාපනික නාට්‍යකරණය නාට්‍ය සහ රංග කලාව යන විෂයන් අඩංගු වේ.

මෙය සාර්ථකව අවසන් කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට ඔතෙලෝ ( සිංහල/ ඉංගී‍්‍රසි ) හැමිලට් සිංහල/ඉංග්‍රීසි/දෙමළ ) යන නාට්‍යවල මෙන්ම ශේක්ස්පියර් කේන්ද්‍රය මගින් නිෂ්පාදනය කිරීමට නියමිත හැමිලට් සිනමා වෘතාන්තයේ රංගනයට අවස්ථාව ලබාදීමට ශේක්ස්පියර් කේන්ද්‍රය බලාපොරොත්තු වේ.

අසංගි ජයසිංහ, උප සභාපති, ශේක්ස්පියර් කේන්ද්‍රය ශ්‍රී ලංකා, 327, ඩාර්ලි පාර කොළඹ 10 යන ලිපිනයට රු. 15ක මුද්දර ඇල වූ ලියුම් කවරයක් සමඟ අයැදුම්පතක් ඉදිරිපත් කර මෙම පාඨමාලාවට සම්බන්ධ විය හැක.

READ MORE - ශේක්ස්පියර් කේන්ද්‍රයේ නාට්‍ය වැඩමුළුවක්

ප්‍රියංකර රත්නායකගෙන් - අද වගේ දවසක ඇන්ටිගනී

මම මේ නාට්‍ය ක්ෂේත්‍රයට එනකොට, නාට්‍ය ඉගෙන ගන්න පුළුවන් ක්‍රම දෙකයි තිබුණේ. එකක් නාට්‍ය බලන එක. අනික නාට්‍ය කියවන එක. ඒ කියවීම් අතර ආරියවංශ රණවීරගේ ‘ඇන්ටිගනී’ මුල් පරිවර්තනය කියවන්න ලැබෙනවා. නාට්‍ය පෙළක් හැටියට රස විඳපු මුල් අවස්ථාවේ ඒක මට එතරම් බරපතල විදිහට දැනුනෙ නෑ.

නමුත් මම ඊඩිපස් නාට්‍ය කරන්න ගත්තට පස්සෙ තමයි මේ ගැන උනන්දුව වැඩි වෙන්නෙ. ඒකට ප්‍රධාන හේතුව තමයි ඊඩිපස්වලින් පටන් ගන්න නාට්‍ය ත්‍රිත්වය ඇන්ටිගනීවලින් අවසන් වීම.

මේ නාට්‍ය ත්‍රිත්වයේ චරිත හා කතා එක හා සමාන වෙනවා වගේම ඊඩිපස් කරන අවස්ථාවේ ඒකේ යම් යම් දේවල් තේරුම් ගන්න අනිවාර්යයෙන්ම ඒකට ඈඳුණු ඇන්ටිගනී කියවන්න වෙනවා.

මෙන්න මේ හේතු නිසා ‘ඇන්ටිගනී’ නාට්‍ය පෙළක් හැටියට රස විඳින අතරේ, මේ නාට්‍යයේ සමහර දේවල්වල මතකය අලුත් කරන්න අසූ අට අසූ නවය කාලය හා සිද්ධි හේතු වෙනවා.

ඒ කාලේ අති විශාල තරුණ ජීවිත ප්‍රමාණයක් අකාලයේ මිය යනවා. හැත්තෑ එකේ කැරැල්ල ගැන අසා තිබුණු අපට 88 – 89 දී එයම අත් විඳින්න අපට සිද්ධ වෙනවා. පාරවල් ගාණේ මිනී පිච්චෙන, මිනී කඳු ගොඩ ගැහෙන අතරේ මේක නරඹන්නත් මිනිස්සු යනවා.

තමන්ගේම කෙනෙක් මරල දාලා තියෙන බව දැන ගත්තත් පවතින වාතාවරණය තුළ ඒ මිනිය හඳුන ගන්න හෝ ඊට තමන්ගේ තියෙන සම්බන්ධය හෙළි කරන්න හම්බ වෙන්නෙත් නෑ.

හේතුව එහෙම කළොත් ඊළඟ දවසේ එයාටත් අතුරුදහන් වීම හිමි වෙන නිසා. මේ නිසා මරණයකට හිමි විය යුතු ගෞරවයවත් හිමි නොවන තත්ත්වයක් ඇති වෙනවා.

පෙරදිග අපරදිග හැම සමාජයකම මරණයෙන් මතු ජීවිතය පිළිබඳ යම් බලාපොරොත්තුවක් තියෙනවා. මේ නිසාම ජීවත් වෙන අයගේ යුතුකම හා වගකීම තමයි මිය ගිය අයට නිසි අවසන් ගෞරවයක් ලබා දීම.

නමුත් මේකත් අපේ සමාජයට අහිමි වෙනවනෙ. මෙන්න මේ දේවල් දැකීමෙන් අපේ හෘද සාක්ෂියට ඇති වන කම්පනය පීඩාව සෑහෙන කාලයක් අපේ ජීවිත ඇතුළෙ රැඳෙනවා.

මෙන්න මේ අත්දැකීමත් එක්ක තමයි මට ඇන්ටිගනී වැදගත් වෙන්නේ. ඇන්ටිගනී නාට්‍යයේ තියෙන්නේ මෙන්න මේ කිව්ව දේවල්වලට එරෙහිව තරුණියක් තමන්ගේ සහෝදරයාට අවසන් ගෞරව දක්වන්න කරන අරගලයක්.

අපේ අත්දැකීම හා ඇන්ටිගනී අත්දැකීම අතර තියෙන සමානකම, සම්බන්ධය නිසා මේ නාට්‍ය නිෂ්පාදනය කළ යුතුයි. එහෙමත් නැතිනම් මේක මගේ ආත්ම ප්‍රකාශනය කර ගත යුතුය කියන අදහස මගේ හිතට ආවා.

* ඔබ කියන විදිහට මේ අත්දැකීම් දෙක සමාන නම් ඒක සමාජ ගත කරන්න මේ තරම් කාලයක් ප්‍රමාද වුණේ?

නාට්‍යයක් කරන කොට ඒක නිර්මාණාත්මක වශයෙන් පොහොසත් විදිහට කරන්න ඕන. එතකොට තමයි ඒකේ ප්‍රතිඵලයත් පොහොසත් වෙන්නේ. අපි නාට්‍ය කරන්නෙ දුප්පත් විදිහට නම් ප්‍රතිඵලයත් දුප්පත් වෙන එක වළක්වන්න බැහැ. වේදිකාව මත අපි කරන්න බලාපොරොත්තු වෙන දේවල් ඒ විදිහටම කරන්න නම් ඒකට නිසි සම්පත් කළමනාකරණයක් අවශ්‍ය වෙනවා.

ඇන්ටිගනී පමාවට ප්‍රධාන හේතුව ඒකට අවශ්‍ය ප්‍රතිපාදන සොයා ගන්නතුරු ඉන්න වීම. ‘ෆ්ලික්ට්’ ආයතනයෙන් මෑතක ඒ ප්‍රතිපාදන ලැබීම නිසයි මේ නාට්‍ය මේ විදිහට වේදිකා ගත කරන්න පසුබිම සැකසෙන්නෙ.

* ඔබ කලින් කිව් අතීත මතකයට මිනිස්සු අදත් ඒ විදිහටම ප්‍රතිචාර දක්වාවිය කියලා ඔබ හිතනවාද?

88, 89 විතරක් නෙවෙයි, පහුගිය කාලය පුරාම අපි යුද්ධයත් එක්කයි ජීවත් වුණේ. ඒ තුළින් අර අත්දැකීම නැවත අපි අත් වින්ඳා. එතෙන්දි උතුර, දකුණ, සිංහල, දෙමළ, හමුදාව, එල්. ටී. ටී. ය කියන හැම පාර්ශ්වයකම අයට අර අපි කලින් කිව්ව අවසාන ගෞරවයක් නැතුව මිය ගිය බව අපි දන්න දෙයක්. මේක අපේ සමාජයේ පොදු අත්දැකීමක්. මේ නිසාත් මේක අදටත් අපට සමීප අත්දැකීමක්.

අනිත් පැත්තෙන් මේ නාට්‍යයේ කතා කරන්නෙ මනුෂ්‍යා ස්වභාව ධර්මය විසින් නිර්මාණය කළාය. එනිසා ඔහු පාලනය වෙන්නෙ ස්වභාවික නීතියට අනුවය, කියන කාරණය.

මේ විදිහට ස්වභාව ධර්මයේ නිර්මාණයක් වන මනුෂ්‍යයා ඔවුනොවුන් පාලනය කර ගැනීම සඳහා තවත් නීතියක් හදා ගන්නවා. රාජ්‍යයක් හදා ගන්නවා. මේ නාට්‍යයේදී ගැටෙන්නෙ මේ කිව්ව රාජ්‍ය නීතිය හා ස්වභාවික නීතිය කියන දෙක.

මේ දෙක මැද්දෙ ඉන්න මනුෂ්‍යයාට එක මොහොතක තීරණයක් ගන්න වෙනවා. තමන් ස්වභාව ධර්මයේ නීතියේ පැත්ත ගන්නවාද, එහෙම නැත්නම් රාජ්‍ය නීතියේ පැත්ත ගන්නවාද කියන එක ගැන. එතෙන්දි අපි ස්වභාව ධර්මයේ නීතිය පැත්ත ගත්තොත් රාජ්‍ය නීතිය කඩන්න සිද්ධ වෙනවා.

ඒ වගේම රාජ්‍ය නීතිය පැත්ත ගත්තොත් එතෙන්දි ස්වභාවික නීතිය උල්ලංඝණය කරන්න සිද්ධ වෙනවා. මෙන්න මේ ප්‍රශ්නය ප්‍රධාන කොටම ‘ඇන්ටිගනී’ තුළ සාකච්ඡා කෙරෙන නිසා මම මේ නාට්‍ය දකින්නෙ සර්වකාලීන හා සර්ව දේශීය නාට්‍යයන් හැටියටයි.

* ඔබට කලිනුත් අපේ රටේ ‘ඇන්ටිගනී’ හැදුනා.

ඔව්, සෝමලතා සුබසිංහ අතින් තමයි ඒක නිර්මාණය වුණේ. නාට්‍යයක් හැටියට ඒක රස වින්දට ඒකෙන් මට ලොකු බලපෑමක් නම් ඇති වුණේ නෑ. ඒ වගේම ඒ නාට්‍ය සම්භාව්‍ය තලයට නැඹුරු වෙලා තිබුණත් වැඩියි. ඒ නිසා ඒක සාමාන්‍ය පොදු ජනයාට ආමන්ත්‍රණය කිරීමේදී තරමක් දුරස් තත්ත්වයකයි තිබුණෙ.

* එතකොට ඔබ අතින් නිර්මාණය වෙන ‘ඇන්ටිගනී’ වැටෙන්නෙ මොන ගණයටද?

ඔය සම්භාව්‍ය කියන ලේබලය ශේක්ෂ්පියර් නාට්‍ය, ග්‍රීක නාට්‍යවලට පස්සෙ කාලෙක වැදුණු එකක්. ඇත්තටම ඒවා සම්භාව්‍ය නාට්‍ය තමයි නමුත් ඒ තැනට ඒක ලඝු කරන්න බැහැ.

අපි ඔය සම්භාව්‍ය කියන නාට්‍ය ඒ රටවල සාමාන්‍ය පොදු ප්‍රේක්ෂකයා රස වින්ඳ නාට්‍ය ගණයටයි වැටෙන්නෙ. ග්‍රීක නාට්‍යකරුවෝ නාට්‍ය ලිව්වෙ නාට්‍ය සඳහා නෙවෙයි. ඒක ඒ අය කළේ පූජා කර්මයක් හැටියට සලකලා. නාට්‍ය ලිවීම පූජා කර්මයේ එක කොටසක්.

එතෙන්දි ඒක බලන්න එන හැම ප්‍රේක්ෂකයාටම රස වින්දනයක් සමඟ ඥානයක් ලබා දීම තමයි ඔවුන්ගේ බලාපොරොත්තුව වුණේ. ශේක්ෂ්පියර් ගේ නාට්‍යයක රජවරුත් ඉන්නවා, හොරු මංකොල්ල කාරයො එහෙමත් ඉන්නවා.

ශේක්ෂ්පියර්ගේ නාට්‍ය බලන ප්‍රේක්ෂකාගාරයෙත් මේ වගේ් අය ඉන්නවා. ඒක බලන ප්‍රේක්ෂකයාට තමන්ගෙ නියෝජනයකුත් නාට්‍යයේ තියෙන වග අවබෝධ වෙනවා.

ශේක්ෂ්පියර් තමන්ගේ නාට්‍ය තුළට ඒ කාලෙ තිබුණු ජනප්‍රිය ගීත ඇතුළත් කළේ මේ තත්ත්වය තේරුම් අරගෙන තිබුණු නිසයි. එහෙම කළේ මේ නාට්‍ය සාමාන්‍ය මිනිස්සුන්ට ගෝචර වෙන්න ඕනය කියන අවබෝධය උඩයි.

එහෙම කළාම ගැඹුරු සංවාදයකට වගේම හුදු රස වින්දනය සඳහා නාට්‍ය බලන්න එන අයත් ඒ නාට්‍ය වැළඳ ගන්න ඉඩ සැලසෙනවා. අපේ රටේ මේක කණපිට හැරිලා. විශේෂයෙන් පනස් ගණන්වලින් පස්සේ ග්‍රික නාට්‍ය, ශෙක්ෂ්පියර් නාට්‍ය සම්භාව්‍ය ලේබලය ගහලා සාමාන්‍ය මිනිස්සුන්ගෙන් ඈත් කළා

. නමුත් නූර්ති නාට්‍ය හැටියට පවා අපේ රටේ ශේක්ෂ්පියර් නාට්‍ය නිෂ්පාදනය වුණු විත්තිය අපිට අමතකයි. විධග්ධ නාට්‍ය සම්ප්‍රදායක් හොයාගෙන ගිය අපට මේවා පෙනුනෙත් නෑ. මෑත කාලෙ අපට අපේ රටේ දියුණු මට්ටමක ශේක්ෂ්පියර් නාට්‍යයක් දැක ගන්න නොලැබුණෙත් මෙන්න මේ හේතුව නිසයි.

මෙන්න මේ කාරණා තේරුම් ගත්ත කෙනෙක් හැටියට ‘ඇන්ටිගනී’ නිෂ්පාදනයේදී මම උත්සාහ කළේ පොදු රසික ජනයාට ළඟා කරන්න පුළුවන් නාට්‍යයක් කරන්නයි. මොකද ග්‍රීක නාට්‍ය වේවා, සංස්කෘත නාට්‍ය වේවා වැදගත්ම පුද්ගලයා වෙන්නේ ප්‍රේක්ෂකයා.

ලෝකය හැම වෙලාවෙම විශ්වාස කළේ නාට්‍යාගාරයකට එන ප්‍රේක්ෂකයා නාට්‍ය රස විඳින්න තරම් බුද්ධිමතෙක්ය කියලයි. කිසිම වෙලාවක රසිකයා ලේබල් කරන්න ගියේ නෑ. මොකද නාට්‍ය රස වින්දනය කියන්නෙ අභ්‍යාසයක්.

ඒ අභ්‍යාසය ලබන්න නම් පොදු රසිකයාට වැඩි වැඩියෙන් නාට්‍ය රස විඳින්න අවස්ථාව ලැබෙන්න ඕන. මම මගේ ‘ඇන්ටිගනී’ ගොඩ නැඟුවේ ඒ ගැන හිතේ තියාගෙනයි.

* අද අපට දකින්න තියෙන්නෙ එක්කො අතිශය සරල මිනිස්සුන්ව බලෙන් හිනා ගස්සන නාට්‍ය, එහෙමත් නැත්නම් අතිශය සංකීර්ණ නාට්‍ය. ඔබ මෙතෙන්දි තෝර ගන්නෙ මොන මාවතද?

ඔය කියන ධාරා දෙක හැමදාමත් ලෝකේ දකින්න තියෙන දෙයක්. ඉතා සීමිත පිරිසක් එක්ක අතිශය ගැඹුරු කාරණා සාකච්ඡා කෙරෙනවා වගේම ටෝක් ෂෝ වගේ හුදු විනෝදය පමණක්ම ඉලක්ක කර ගත්තු නාට්‍යයත් තියෙනවා.

ඒ අතර මැද ගැඹුරු වින්දනයයි, විනෝදයයි කියන දෙකම එක විට පවත්වාගෙන යන නාට්‍යයත් තියෙනවා. මේ ධාරාවන් තුනම ඉතාමත් උසස් මට්ටමින් පවත්වාගෙන යනවා නම් ඒක නාට්‍ය කලාවෙ දියුණුවට හේතුවක් වෙනවා.

නමුත් අපේ රටේ ඒක එහෙම වෙන්නේ නැති එකයි ප්‍රශ්නෙ. ගැඹුරින් ප්‍රේක්ෂකයාට ආමන්ත්‍රණය කරන නාට්‍යයක් නිෂ්පාදනය කළාට ඒ සඳහා වන ප්‍රේක්ෂකාගාරයක් හදා ගන්න අපේ අයට වුවමනාවක් නෑ.

ඒ වගේම විනෝදාස්වාදයට යොමු වුණු නාට්‍ය විධග්ධ පැත්තට හරවා ගන්න වුවමනාවකුත් නෑ. මගේ අදහස නම් දෙකම තියෙන්න ඕන. නාට්‍යයක නාට්‍යමය ගුණය නැතිකමෙන් තමයි මෙහෙම වෙන්නේ. අනිත් අතට අපට ඉහළ මට්ටමේ පූර්වාදර්ශ නැතිකම නැත්නම් මඳකමත් මේ තත්ත්වය ඇති වෙන්න හේතු වෙනවා. ක්‍රමානුකූල හැදෑරීමකට ඉඩක් නෑ.

ලෝක සාහිත්‍යය අපේ බසට හැරෙන වේගයෙන් ලෝක නාට්‍ය අපේ බසට පරිවර්තනය වෙන්නෙ නෑනෙ. මේ නිසා දියුණු නාට්‍ය සංස්කෘතියක් ගොඩ නැගෙන්න අවශ්‍ය වටපිටාවක් තවමත් අප වටා ගොඩ නැගිලත් නෑ. නාට්‍ය සාහිත්‍ය සම්ප්‍රදායක් නැති රටක මේ වගේ දේවල් වෙන එක අරුමයකුත් නෙවෙයි.

* ඔය කියපු කාරණාත් එක්ක ඔබේ ‘ඇන්ටිගනී’ ප්‍රේක්ෂකකයාට සමීප කරන්න ඔබ යම් උපායක් අනුගමනය කරනවාද?

ලාංකීීය ප්‍රේක්ෂකයා තමන්ගෙ වින්දනය දියුණු කර ගත්ත එක්තරා රටාවක් තියෙනවා. අපට ගීතය සහ නර්තනය බෙහෙවින් සමීපයි. බොහෝ දුරට හැම මනුෂ්‍යයෙකුගෙම ප්‍රියතම කලාව වෙන්නෙත් ගීතය කියලයි මට හිතෙන්නෙ. නැටුමත් මිනිස්සුන්ට බෙහෙවින් ආකර්ශනීය දෙයක්. ග්‍රීක නාට්‍යකත් ගායනයට වැදගත් තැනක් හිමි වෙනවා.

ඒ නිසා ‘ඇන්ටිගනී’ සංගීතමය නාට්‍යයක් හැටියට ගෙඩ නගන්න මම උත්සාහ කළා. වර්තමාන ප්‍රේක්ෂකාගාරය ආකර්ෂණය කර ගන්න පුළුවන් විදිහේ ගැඹුරක් එක්ක බැඳිච්ච සංගීත හා නර්තන භාවිතයක් මේ සඳහා මම යොදා ගත්තා.

මම එහෙම කළේ අපි මේ නාට්‍යයෙන් කියන දේ මිනිස්සු අතරට ගෙනියන්න ඕන නිසයි. නාට්‍යයක හරය රසිකයා වටහා ගන්න ඕනය කියන එකයි මගේ බලාපොරොත්තුව.

ඒ නිසා ඒ වෙත ප්‍රේක්ෂකයා ගෙන යන්න මම උත්සාහ කළා. ඒ වගේ්ම ඒ සඳහා අවැසි සංවේදී බව ගීතය සහ නර්තනය ඇසුරෙන් මම ගොඩ නැගුවා. ඒ නිසා මගේ මේ නාට්‍යයේදී පෙළ වගේම සංගීතය සහ නර්තනයත් වැදගත් මෙහෙයක් ඉටු කරනවා.

* ඔය කියන කාරනා ඉටු කර ගන්න සුවිශේෂි මැදිහත්වීමක් මේ නාට්‍ය සඳහා කෙරෙනවාද?

ඇත්තෙන්ම ඔව්, එක උදාහරණයක් තමයි මේ සඳහා සංගීතයෙන් දායක වන ප්‍රමිත් දහනායක. ඔහු හොඳ සංගීතඥයෙක් වගේම දර්ශනය විෂය පිළිබඳ උපාධිධාරියෙක්. මේ නිසා සංගීත දැනුම වගේම දැක්මත් ඔහුට තියෙනවා.

පෙරදිග, අපරදිග සංගීත භාවිතාව පිළිබඳ හොඳ අවබෝධයක් ඔහුට තියෙනවා. අපි අතර නිර්මාණ කාර්යය හා රස වින්දනය සම්බන්ධයෙන් තියෙන අවබෝධය මෙතනදී ප්‍රයෝජනවත් වුණා.

ලාංකීය සංගීතය හා පෙරදිග අපරදිග සංගීත මූලාශ්‍රයන් මේ සඳහා යොදා ගත්තා. නර්තනයත් මෙතනදි වැදගත් නිසා හොරණ ශ්‍රීපාලියේ උපාධිධාරිනියක් වන හර්ෂිකා රත්නායකගේ දායකත්වය ලබා ගත්තා.

* ඔබ මේ නාට්‍ය නම් කරන්නේ අද වගේ දවසක සොපොක්ලිස් ගේ ඇනිටිගනී කියලා?

ඒකෙන් අදහස් කළේ එදා සහ අද අතර යම් කිසි පාලමක් හදන්නයි. මේකෙන් ප්‍රේක්ෂකයාට අද වගේම, එදා දවසත් මතක් වෙනවා. මේක අතීතය සහ අද එක විට සිහියට නැගෙන නාට්‍යයක්.

* ඔබ වේදිකාවට ගේන්නේ පරිවර්ථනයක්. පරිවර්ථනවලට වඩා රටකට අවශ්‍ය ස්වතන්ත්‍ර නාට්‍යය කියන අදහසක් අපේ රටේ මුල් බැසගෙන තියෙනවා. මේ ගැන ඔබ බලන්නේ කොහොමද?

ස්වතන්ත්‍ර නාට්‍ය පිළිබඳ අපේ අයට පොඩි පිස්සු අදහසක් තියෙනවා. හැමෝම ස්වතන්ත්‍ර නාට්‍ය කරන රටක් ලෝකයේ කොහේවත් නෑ. අනිත් අතට ස්වතන්ත්‍ර නාට්‍යකරුවො කියන්නේ පඳුරකට පයිං ගැහුවම විසි වෙන විදිහේ අය නෙවෙයි. ස්වතන්ත්‍ර නාට්‍යකරුවො බිහි වෙන්නේ විශාල වැර වෑයමක ප්‍රතිඵලයක් විදිහට. ඒකට උචිත පරිසරයක් රටක තියෙන්නත් ඕන.

නිර්මාණකරුවාට හා රසිකයාට නාට්‍යයක්ද කියන එක මිසක් ඒක ස්වතන්ත්‍ර ද, පරිවර්තනයක් ද කියන එක වැදගත් නෑ. අනිත් අතට අපි විවිධ රටවල විවිධ ශෛලීන්වල නාට්‍ය හදාරන්නේ නැතිව ඕපපාතිකව කොහොමද ස්වතන්ත්‍ර නාට්‍යක් නිර්මාණය කරන්නෙ.

මට නම් වැදගත් වෙන්නේ මම කරන්නේ පරිවර්තනයක් ද, ස්වතන්ත්‍ර නාට්‍යයක් ද කියන එකට වඩා මම කරන්නේ හොඳ නාට්‍යයක් ද නැද්ද කියන එකයි. අනිත් කාරණය පරිවර්තන නිර්මාණයක් කියන්නේ වෙනත් භාෂාවකින් ලිය වෙච්ච දෙයක් වචන ටික සිංහල කරන එක නෙවෙයි.

අනිත් අතට මම මොන දේ කළත් මම කරන දේ මේ මොහොතේ මේ පොළවේ මිනිසුන්ගේ හැඟීම් දැනීම් එක්ක ගනුදෙනු කරන්නේ නැත්නම් ඒ නාට්‍ය මේ සමාජයේ මුල් අදින්නේ නෑ.

අපේ රටේ මෙතෙක් බිහි වුණු ස්වතන්ත්‍ර නාට්‍යවලින් අතලොස්සක් පමණක් ඉතිරි වෙන්න ප්‍රධාන හේතුවත් ඒකයි. යම් නිර්මාණයකින් වෙනස්ම වූ දැක්මක්, තමන්ගේම ආත්ම ප්‍රකාශනයක් එළියට දාන්න පුළුවන් නම් අන්න ඒකයි වැදගත් වෙන්නේ.

ශිල්පීය දායකත්වය ගැන සඳහන් කළොත්?

අධ්‍යක්ෂණය හා රංග වින්‍යාසය කියන කාර්යට මම සම්බන්ධ වෙනවා. හර්ෂිකා රත්නායකගේ දායකත්වයත් රංගනයට එකතු වෙනවා.

පරිවර්තනය ආරියවංශ රණවීර. සංගීතය ප්‍රමිත් දහනායකගෙන්. රංගනයට විශ්වජිත් ගුණසේකර, කෞශල්‍යා මෙන්ඩිස්, ප්‍රසාදිනී අතපත්තු, ෙඖපදි වික්‍රමසිංහ, ප්‍රියන්ත සිරි කුමාර, සමන් මලලසේකර, තුමිදු දොඩන්තැන්න, තුසිත ලක්නාත්, සමාධි ලක්සිරි, නලීන් ලුවේතා එකතු වෙනවා.

READ MORE - ප්‍රියංකර රත්නායකගෙන් - අද වගේ දවසක ඇන්ටිගනී

ඇන්ටිගනී........ලගයි බලන්න එන්න හැමෝම

Sunday, July 11, 2010

පශ්චාත් යුද සමයක
දේව නීතිය හා යුගයේ නීතිය අතර ගැටුම ගැන සාකච්ඡා කෙරෙන,

අද වගේ දවසක ඇන්ටිගනී,

ජූලි 16 සහ 17 හවස 7ට ලයනල් වෙන්ඩ්ට් හිදී


කැලණිය සරසවියේ නාට්‍ය හා රංග කලා ගුරුවරයකු,
රංගන ශිල්පියකු මෙන්ම
ලාංකේය වේදිකාවට එදා ‘ඊඩිපස්’ ගෙනා,
මෙදා ‘ඇන්ටිගනී’ ගෙන එන්නට සූදානම් වන
ප්‍රියංකර රත්නායක
ඇදුරුතුමනි,

ඔබ අපට, රටට, මහගු මිණි කැටයකි
READ MORE - ඇන්ටිගනී........ලගයි බලන්න එන්න හැමෝම

ශේෂා පලිහක්කාර

ශේෂා පලිහක්කාර 1928 - 2009

සිංහල සිනමාවේ නොමැකෙන මතකයන් තැබූ රංගවේදියකු, නර්ථන අධ්‍යක්ෂකවරයකු, චිත්‍රපට අධ්‍යක්ෂවරයකු, නිෂ්පාදකවරයකු සේම වේශ නිරූපණ ශිල්පියකු ද වේ.

1928 ජූනි 05 වැනිදා කඩවත දී උපත ලැබූ ඩේවිඩ් සිඩ්නි ලොකු පලිහක්කාර (ශේෂා) අහංකාර ස්ත්‍රිය චිත්‍රපටයේ නැටුම් අධ්‍යක්ෂණය කරමින් සිනමාවට පිවිස ඉන් පසු ලෝක පූජිත බ්‍රිතාන්‍ය ජාතික අධ්‍යක්ෂවරයකු වූ ඩේවිඩ් ලීන් අධ්‍යක්ෂණය කළ Bridge on the River Kwai චිත්‍රපටයේ සහාය වේශ නිරූපණ ශිල්පියකු ද විය.

ඔහු රංගන ශිල්පියකු ලෙස වඩාත් ජනප්‍රිය වූයේ මාතලන් චිත්‍රපටයේ කළ ද්විත්ව රංගනයෙනි. ඉන් පසු රේඛාව චිත්‍රපටයේද අපූර්ව රංගනයක් කළ ඔහු නිෂ්පාදකවරයකු ලෙස මයික් විල්සන් සමඟ එක්ව පළමු වර්ණ චිත්‍රපටය වූ රන්මුතු දූව චිත්‍රපටය නිෂ්පාදනය කළේය.

ඉන් පසු මයික් විල්සන් සමඟින් සෙරන්ඩිබ් චිත්‍රපට සමාගම ආරම්භ කළ ඔහු එයින් සාරවිට, ගැටවරයෝ නිෂ්පාදනය කළේය. ලක්ෂෙට කොඩිය නිෂ්පාදනය කරමින් අධ්‍යක්ෂණයට ද පිවිසි ශේෂා, මායා, සාගරයක් මැද, විරාගය, ක්‍රිස්තු චරිතය වැනි චිත්‍රපටවල වේශ නිරූපණ ශිල්පියා ලෙස ද කටයුතු කළේය.

සාගරයක් මැද වේශ නිරූපණය වෙනුවෙන් සරසවිය සම්මානයෙන් ද පිදුම් ලැබූ ඔහු ජීවිතයේ එක් වරක් පමණක් ලැබිය හැකි රණ තිසර සම්මානයෙන් ද පිදුම් ලබා පසුගිය වසරේ (2009) ජූලි 12 වැනිදා මෙලොවින් නික්ම ගියේය.


READ MORE - ශේෂා පලිහක්කාර