----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

Lanka Art Chat Room - එන්න අපි කතා කරමු

ඇන්ඩෘ ජයමාන්න පිළිබඳ ධර්මසිරි බණ්ඩාරනායකයන් ලියා එවන ලද්දකි

Saturday, September 6, 2014

විතය නැවත පටන් ගනිමු

ඇන්ඩෘ ජයමාන්න පිළිබඳ ධර්මසිරි බණ්ඩාරනායකයන් ලියා එවන ලද්දකි
ඇ න්ඩෘ ජයමාන්නයන් ගැන මා අසා තිබුණේ හැත්තෑවේ දශකයේ මුල් භාගයේදී. ටයිටස් තොටවත්තයන්ගේ ‘හාරලක්ෂය’ සහ ‘තෙවත’ කෙටි චිත්‍රපට තුන නිසා ඇන්ඩෘ ජයමාන්නයන්ගේ කැමරා අධ්‍යක්ෂණය ගැන අපි පාසල් යද්දී කතා කරන්නට පෙළඹුණා. අපි ඊට කලින් කැමරා අධ්‍යක්ෂණය කියලා සිනමාවේ විශේෂිත ක්ෂේත්‍රයක් ගැන කතා කරන්නට පෙළඹිලා හිටියේ නැහැ. හාරලක්ෂයේ වාහන දෙකක් ලුහු බැඳීමේ ජවනිකාවත්, එක් වාහනයක් රික්ෂෝ රථයක ගැටීමත් පිළිඹිබු කෙරෙන ජවනිකාව මේ චිත්‍රපටය නැරඹූ හැම සිනමා රසිකයෙක්ගේම මතක සටහන් අතර අදත් රැඳී පවතිනවා. සිනමා අධ්‍යක්ෂවරයාගේ අදහස කැමරා ශිල්පියාගේ රූප සටහනෙන් අර්ථ ගැන්වූ ප්‍රබල සිහිවටනයක් ලෙසින් එම ජවනිකාව විචාරක ප්‍රසාදයට පාත්‍ර වුණා. ටයිටස් තොටවත්තයන්ගේ නිර්මාණශීලිත්වයේ ආනුභාවයෙන් කළ එලි බැස්ස අති දක්ෂ චිත්‍රපට කැමරා ශිල්පියෙක් ලෙසින් ඇන්ඩෘ සම්මානයට පාත්‍ර වුණා. ඊට පස්සෙ ටයි මහත්තයගේ ‘හඳයා’ දක්වාම චිත්‍රපට හැම එකකම පාහේ කැමරා ශිල්පියා බවට පත් වුණේ ඇන්ඩෘ ජයමාන්නයන්.
චිත්‍රපටයක් බලන කොට ඒකෙ කැමරාව මෙහෙයවන්නේ කවුද කියන එකත් රසිකයන් දැන ගන්න උනන්දු වුණේ හැටේ සහ හැත්තෑවේ දශකයේදි. චිත්‍රපටය ගැන ප්‍රචාරණයෙදි ඒ නමත් පෝස්ටරයට ඇතුල් කරන්න චිත්‍රපටකරුවන් පෙළඹෙන කාරණාවක් බවට ඒ ක්ෂේත්‍රය පත් වුණා.
‘බක්මහ දීගේ’ මගේ සිනමා රංගන ජීවිතයේ අමරණීය පළමු චිත්‍රපටයයි. එදා මගේ රංගනය සිනමා කැමරාවෙන් සටහන් තැබුවේ ගම්පෙරළියේ කැමරා ශිල්පි විලී බ්ලේක් වීම මට අමරණීය මතකයක්. ඒ මතකයට නො දෙවෙනි මතකයක් ‘පළගැටියෝ’ වසන්ත ඔබේසේකරයන් වසර දහයකට පසුව මාව යළිත් සිනමා රංගනයට යොමු කළා. ‘පළගැටියෝ’ කැමරාකරණයට වසන්ත තෝරා ගෙන තිබුණේ ඇන්ඩෘ ජයමාන්න වීම නිසා එයත් මට ලොකු සතුටක් වුණා. මොකද හාරලක්ෂයත්, ඉන් පසු තවත් චිත්‍රපට ගණනාවකත් ඔහුගේ සිනමා ඡායාරූපකරණය මම ප්‍රිය කළ නිසා. බක්මහ දීගෙන් පස්සේ කැමරා ඇහෙන් මා දෙස බැලුවේ ඇන්ඩෘ ජයමාන්නයි.
ඒ තමයි මට ඇන්ඩෘ හමුවුණු පළමු දවස වසන්තගේ ගෙදරදී 1978 දී. චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට මට ගැලපෙන නවක රංග ශිල්පිනියක් සොයා ගන්න වසන්තට පිහිට වුණෙත් ඇන්ඩෘ. සමහරවිට ඇන්ඩෘ වසන්තට දම්මි මුණ නොගැස්සුවා නම්, පළගැටියෝ චරිතය මට අහිමි වෙන්නත් ඉඩ තිබුණා. පළගැටියෝ කරද්දි අධ්‍යක්ෂක වසන්ත තම රූපමය භාවිත අවශ්‍යතාවය ඇන්ඩෘට පවසද්දී, එම ජවනිකාව කැමරා ගත කිරීම උදෙසා ඔහු දක්වන උද්යෝගය, රංගන ශිල්පියෙක් ලෙසින් මට ලොකු අධ්‍යාපනයක් වුණා. එක් අවස්ථාවක මාත්, දම්මිත් බෑග් කරපින්නාගෙන ලෑලි ගැසූ තරප්පු පේලියක් දිගේ උඩට නගින ජවනිකාව ඇන්ඩෘ රූප ගත කළේ ගෝණියක් මත හිඳගෙන කඹයකින් එය ඉදිරියට ඇද ගෙන යන්නට කිහිප දෙනෙක් යොදවමින්. ඒ ජවනිකාව දකින ඕනෑම කෙනෙක් සිතන්නේ එය කැමරා ඩොලියක් යොදා ගෙන සිදු කළ රූප ගත කිරීමක් ලෙසිනුයි. කෘතහස්ත කැමරා භාවිතයක් පළගැටියෝ චිත්‍රපටයේ බොහෝ තැන්වලදි පෙනුණා.
කැමරා ශිල්පියාට අතිරේකව වෙනත් වෘත්තියකුත් ඇන්ඩෘ ‘පළගැටියෝ’ කරද්දි සිදු කළා. ඒ චිත්‍රපටයේ නිෂ්පාදන කළමනාකරුගේ වැඩ කොටසයි. ඔහු ඒ අතිරේක කටයුත්ත නිෂ්පාදකගේ අවශ්‍යතා මත මැනවින් ඉටු කළා. වාර්ෂික සිනමා උත්සව කිහිපයකින් සුදුකළු ඡායාරූපකරණයට හිමි හොඳම කැමරාකරණය උදෙසා ඇන්ඩෘ සම්මානයෙන් පිදුම් ලැබුවා.
1979 ‘හංස විලක්’ චිත්‍රපටය හදන්නට නිෂ්පාදකයෙක් මට මුණ ගැහෙන කොට ඇන්ඩෘ ජයමාන්න කැමරාකරණය සඳහා එක්කර ගන්නට මට සිදුවුණා. ‘පළගැටියෝ’ කරද්දි අප අතර ඇතිවුණු හැඳුනුම්කම හා අවබෝධය මට හංසවිලක් කරද්දි වඩ වඩාත් ප්‍රයෝජනවත් වුණා. ඔහුගේ තාක්ෂණික දැනුම තුළින් පරිනතවීමේ අභ්‍යාසයක් ඒ තුළදි සිදුවුණා. ඒ වන විටත් ඇන්ඩෘ, කොළඹ මල්වත්ත පාරේ, ශාන්ත පාවුළු මධ්‍යස්ථානයේ පිහිටි කතෝලික සිනමා පර්ෂදයේ සිනමා අභ්‍යාස පාඨමාලාව මාසිකව පවත්වාගෙන ගියා අර්නස්ට් පෝරුතොට පියනමගෙ සහ සුසන්ත තිසේරාගේ මෙහෙයවීම යටතේ. එම සිනමා පාඨමාලාවට මම සහභාගි නොවුණත් වසන්ත සමග ඇන්ඩෘ පළගැටියෝ කරපු කාල පරිච්ඡේදම මට පාඨමාලාවක් වුණා. පසුකලෙක ඇන්ඩෘ පැවැත්වූ මෙම පාඨමාලාවට වීඩියෝ කැමරාකරණය හා තාක්ෂණයද එකතු වුණා.
ලංකාවේ එවැනි පාඨමාලාවක පුරෝගාමියා ලෙසින් ඇන්ඩෘ හැඳින්වීම ඔහුට කරන ගෞරවයක් කියා මම හිතනවා, අද හතලිස් විය පසු කරන බොහෝ රූපවාහිනි මාධ්‍යවේදීන් වැඩි දෙනෙක් ඔහුගේ ගෝලයේ කියා කීවාට හිත් රිදෙන එක්ක නැහැ. විවිධ අමාත්‍යංශයන්හි මාධ්‍ය ඒකකයන් ඇන්ඩෘගෙන් දැනුම ලබා ගන්නට ඔහුට ආරාධනා කළා. ශ්‍රී ලංකාවේ පොලීසිය, යුද හා නාවික හමුදාව, රහස් පොලිසිය වැනි ආයතන ගත මාධ්‍ය ඒකකයන්ද ඇන්ඩෘගෙන් දැනුම ලැබුවා. ඔහු ඉන්දියාව, ජපානය, ස්විස්ටර්ලන්තය, ජර්මනිය, සිංගප්පූරුව සහ එංගලන්තය වැනි රටවලට ගොස් සිනමා හා රූපවාහිනි මාධ්‍යයේ නව දැනුම සොයා ගත්තා. ලංකාවට පැමිණ තමා දන්නා දේ කෙලෙස හෝ තම සිසුවෙකුට අවබෝධ කර දීමට ඔහු දැරූ වෙහෙස බොහෝ ගුරුවරුන් තුළ දකින්නට නැහැ. ඇන්ඩෘ යටතේ ඉගෙන ගත්ත හැම කෙනෙක්ම පාහේ ඔහුට ගෞරවය පුදන අයුරු මා හැම තැනකදිම දැක තිබෙනවා. ලංකාව පුරා හැම වාර්ගිකත්වයකම ශිෂ්‍යයන් ඔහුගෙන් ඉගෙන ගත්තා. එමෙන්ම විදේශිය මාධ්‍යකරුවන් අප්‍රමාණ පිරිසක් ඔහුගේ සහායෙන් විවිධ වාර්ථාකරණ නිර්මාණය කළා. බීබීසී මාධ්‍යකරුවන් පවා ඒ අතර සිටියා.
‘හංසවිලක්’ චිත්‍රපටය 1979 දී බටහිර ජර්මනියේ මෑන්හයිම් සිනමා උළෙල නියෝජනය කරන්නට අයදුම් පත් යැවුවේ අර්නස්ට් පෝරුතොට පියනම විසින්. ඇන්ඩෘ ඒ සඳහා සිදුකළ මෙහෙවර කියා නිම කළ නොහැකියි. ‘හංසවිලක්’ කැමරාකරණය තම සිසුන්ට අත් පොතක් ලෙස කියා පහදා දෙන්නට ඇන්ඩෘ දැරූ උත්සාහය අප්‍රමාණයි. අර්නස්ට් පෝරුතොට පියනම, නීල් අයි පෙරේරා, සිරිල් බී පෙරේරා, ලෙස්ලි බෝතේජු, විමල් රංජිත් ප්‍රනාන්දු, විජය අබේදේව, රැලෙක්ස් රණසිංහ, බෙනඩික්ට් ජෝශප් පියනම ඇතුළු විද්වතුන් විශාල පිරිසක් මා හඳුනා ගත්තේ ඇන්ඩෘ නිසයි.
ඉන් පසුව මා තැනූ ‘කාන්තාරයේ සිහිනය’ කෙටි චිත්‍රපටයේ කැමරා ශිල්පියාත් ඇන්ඩෘ ජයමාන්නයි. මෙය සිනමාස්කොප් කැමරා භාවිතයෙන් පටිගත කළ චිත්‍රපටයක්. පොයින්ට් පේදුරුවලින් සැතපුම් 18 ක් පමණ ඈතින් පිහිටි මනල්කාඩු නම් වැලි කතරක් සහිත ප්‍රදේශයක අපි මේ චිත්‍රපටය පටිගත කළා. අවාසනාවකට වගේ අද ඒ චිත්‍රපටය ආගිය අතක් නැහැ. ඒක තිබුණා නම් ඔහුගේ පුළුල් තිර කැමරා කෝණ නිර්මාණකරණය ගැන ඔහුගේ සිසුන් දැනුවත් කරන්නට යොදා ගන්නට ඔහුට ඉඩ තිබුණා. ඒ කෙටි චිත්‍රපටයේ නිර්මාණකරණ අත්දැකීම අදත් මෙනෙහි කර බලන විට ඒක මහා දුෂ්කරක්‍රියාවක්.
1980 දී නිෂ්පාදනය කළ ‘තුන්වෙනි යාමය’ රාජ්‍ය චිත්‍රපට සංස්ථාවේ සියයට සියය ණය සහනාධාරයට ශ්‍රේණිගත චිත්‍රපටයේ කැමරාකරණය සහ නිෂ්පාදන කළමනාකරණය මා පැවරුවේ ඇන්ඩෘට. චිත්‍රපටයේ ප්‍රථම රූපාවලියට අඩි 400 ක මැගසින් එකක් යොදා පටිගත කරන්නට සිදු වුණා. පුහුණුවීම් ගණනාවකින් පසු එක්වරින්ම එය පටිගත කරන්නට ඇන්ඩෘ සිනමා ඡායාරූපකරණයේ දැඩ්වූ පරිනත භාවය අදත් ඔබට ඒ චිත්‍රපටය හරහා අවබෝධ කර ගන්නට පිළිවන් වෙනවා. මුළු චිත්‍රපටය පුරාම අඳුර සහ අලෝකය චරිතයන්ගේ ආත්ම ගත ක්‍රියාවලිය හා සමපාත කරන්නට ඔහු දැරූ වෑයම සිනමා අභ්‍යාසකරණයේ යෙදෙන්නන්ට අත් පොතක් වනු නොඅනුමානයි. ආලෝක පාලනය සියුම් ඒකාග්‍රතාවයකින් යුතුව සමස්ත චිත්‍රපටය පුරාම පවත්වාගෙන යාමෙන් ‘තුන්වෙනි යාමය’ චිත්‍රපටයේ සිනමානුරූපී ආත්මය ඔහු දැහැන් ගත කළා.
1982 දී ‘සුද්දිලාගේ කතාව’ පටිගත කරද්දී මා කැමරාකරණය සඳහා පරාක්‍රම ද සිල්වා යොදා ගත්තද මට ඔහු සමග පටිගත කළ හැකි වුයේ චිත්‍රපටයේ අඩක් පමණයි. ඉතිරි අඩක කොටස පටිගත කරන්නට මට උපකාර කළේ ඇන්ඩෘ ජයමාන්නයි. සමහර විට එම චිත්‍රපටයට ඔහු යොදා නොගැනීම පිළිබඳව හිතේ අමාරුවක් ඔහු තුළ තිබෙන්නට පුළුවන් වුණත් ඔහු එම අවස්ථාවේ මා සමග එක් වුණේ මා අවබෝධ කර ගත් හිතෛෂී මිතුරෙකු ලෙසින් පමණයි. මා අධ්‍යක්ෂණය කල ‘හංසවිලක්’, ‘තුන්වෙනි යාමය’ කළු සුදු වර්ණ චිත්‍රපට දෙකක්. ඒ චිත්‍රපට දෙක සඳහාම ඇන්ඩෘ ජයමාන්නයන් නියමිත වර්ෂයන්හිදී හොඳම කැමරාකරණය උදෙසා පිදෙන සම්මානයෙන් පිදුම් ලැබුවා. අඩක් පටිගත කරමින් සහාය ලබා දුන් ‘සුද්දිලාගේ කතාව’ චිත්‍රපටයේදීත් ඇන්ඩෘ සමග පරාක්‍රමත් වසරේ හොඳම කැමරා ශිල්පීන් ලෙසින් සම්මානයට පාත්‍ර වුණා.
පසු කලෙක මම ඇන්ඩෘ සමග වීඩියෝ මාධ්‍යයෙන් වාර්තා චිත්‍රපට දහයකට ආසන්න ප්‍රමාණයක් නිර්මාණය කළා. ඉන් පසු නිර්මාණකරණයේදී අප හමු නොවුණත් අපගේ මිත්‍රත්වයේ සලකුණු මැකී ගියේ නැහැ.
2005 දී මම මාස තුනක පමණ කාලයක් රෝගීව රෝහල් ගතව හිටියා. එතැන් සිට පියෙකු මෙන් මා රැක බලා ගත් අය අතර සිටි මගේ එකම පියා ඇන්ඩෘ ජයමාන්නයි. ‘ජීවිතය නැවත පටන් ගම්මු ධර්මේ! ඔයාට අපි ඉන්නවා!’ ඒ ඇන්ඩෘගේ හඬයි.
විටින් විට මා දකින්නට, ඔහු මගේ ත්‍රිකෝණියට ගොඩ වැදුණා. තනියෙම ගතකරන ජීවිතයේ වේදනාවන් ඔහු මා හා බෙදා හදා ගත්තා. මා හා නතර වී හිඳින ලෙසින් මා ඔහුගෙන් ඉල්ලා සිටියත්, අන්තිමට ‘ධර්මෙ මම ගිහිං එන්නම්’ කියා ඔහු මීගමු ගියා. මීගමුවේ ඔහු නිතර දකින යාළු මිත්‍රයින්ගේ හා පියතුමන්ලාගේ ප්‍රිය ඇසුර ඔහුගෙ තනිව ගෙවුනු ජීවිතයට ආලෝකයක් ලබා දුන්නා කියා මා හිතනවා. විදෙස් ගතව සිටින දරුවන් හා අවසාන කාල පරිච්ඡේදය ප්‍රීතියෙන් ගෙවන ලෙස මා ඇන්ඩෘගෙන් ඉල්ලා සිටි වාර බොහෝයි. ඒත් වැඩ කරන්නට, නැවත පන්ති පවත්වන්නට ඔහු ආශා කළා. කවුරු හරි ඇවිත් ඔහුට එහෙම යෝජනා කරාවි කියලා ඔහු බලා සිටියා.
කියා ගන්නට බැරි තනිකමකින් හා කළකිරීමකින් ඔහු දවසක මා හමුවන්නට ආවා. ‘ධර්මේ මම ඉතාලියේ පුතාලා ළඟට ගිහින් නතර වෙන්න තීරණය කළා’ කියලා මට කිව්වා. මම එහෙම යෝජනා කළත් එහෙම කිව්වහම මට ඒක දරා ගන්නට බැරි වුණා. ‘ඒක කියල යන්නයි මම ආවෙ’. ටිකක් ඉඳලා කෑම ටිකක් කාලා යන්න කියල මම කිව්වත්, ඉක්මනින් බස් එකක් අල්ලගෙන මීගමු යන්න ඕනෑ කියලා මගෙන් සමු ගෙන ඇන්ඩෘ ඈතට ගමන් කරනවා පාරට බැහැලා මම බලා ගෙන හිටියා.
ත්‍රිකෝණියේ තාප්පය විටින් විට අල්ලමින් පාරට යන තෙක් තිබුණු හැම තාප්පයකටම වාරුවෙමින් ඇන්ඩෘ පාර්ලිමේන්තු පාරට ගිහින් නොපෙනී ගියා.
ලංකාවෙන් යන්න කලින් මේ උතුම් මනුස්සයාට උපහාරයක් දක්වමු. ඇන්ඩෘගේ ගෝලයින් හා මිතුරන් කිහිප දෙනෙක් මගේ මේ යෝජනාවට සහාය දැක්වූවා. ඇන්ඩෘට නොදන්වා අපි මේ උපහාර උළෙල සංවිධානය කළා. 2012 මාර්තු මාසේ 12 වෙනිදා රුසියානු සංස්කෘතික කේන්ද්‍රයේ අපි උත්සවය පැවැත්වූවා. දෙසුම් කිහිපයක් අවසානයේ අපි ‘හාරලක්ෂය’ තිරගත කළා. එදා ඇන්ඩෘට අපේ මිත්‍රත්වයේ සෙනෙහස හොඳින් දැනුනා. දරුවන් අතට සතුටෙන් පිය නගන පියෙක් අපි ගොඩ නැගුවා කියලා අපිත් සතුටු වුණා. ඇන්ඩෘ එදා රැයේ හුඟක් සතුටු වුණා.
ලංකාවෙන් පිටව යන පැයේ කටුනායක ඉඳන් මට එවූ අවසාන එස්. එම්. එස්. එකේ ලියා තිබුණේ ‘ධර්මේ තනියෙම ඉන්න එපා කියලයි’. ජීවිතය ගැන කෝටියක් දේවල් ඒ එස්. එම්. එස්. එක ඇතුළේ ලියැවී තිබුණා.
ඉතාලියේ ඉඳන් එවපු හැම ඊමේල් පණිවිඩයකම වගේ අපි නොදුටු ඡායාරූප, විහිළු තහළු, චිත්‍රපට විස්තර, අපිට දකින්නට ලැබුණා. මා වටා සිටි බොහෝ පි‍්‍රයයන් පසු ගිය වසරේ සිට පිළිකා රෝගයෙන් පෙළෙන බව මා ඇන්ඩෘට දන්වා යැව්වා. ඇතැම් අය ජීවිතයෙන් සමු ගත් විටත් ඒ බව ඔහුට දන්වා යැව්වා. ස්වර්ණාගේ අසනීප තත්ත්වය ගැනත් ඔහු නිතර විපරම් කළා. ඇය නැවත චිත්‍රපටයක් කරනවා කියා ඇසූ විට ඇන්ඩෘ අතිශයින් සතුටු වුණා. සුනිලා මිය ගිය බව අසා ඔහු මගෙන් ඇසුවේ ඇයි මෙහෙම වෙන්නේ කියලයි. සුනිලාගේ පුතා සංජයගේ මරණය ගැන අහලත් ඔහු කම්පා වුණා.
මේ වසරේ ජූලි මාසයේ දිනෙක දුරකථනයෙන් මා ඇමතූ ඇන්ඩෘගේ බාල පුතා ‘අන්කල් අපේ තාත්තාට කැන්සර් එකක්. කාටවත් කියන්න එපා’ කියලා ඉකි ගසා හැඬුවා. ඒ පණිවිඩය තවත් කිහිප දෙනෙකුට මට කියන්නට සිදු වුණේ මටත් එය දරා ගැනීමට නොහැකි වූ නිසයි.
ඔහුගේ හිත හැදෙන්නට මම ලිපි කිහිපයක්ම ලිව්වා. ‘ඔබ බැරි දේවල් කරන්න ගිය මිනිහෙක් නෙමෙයි ඇන්ඩෘ. දන්න දේ හොඳින් කරපු මිනිහෙක්. ඒ ටික හොඳටම ඇති ඇන්ඩෘ. කොයි තරම් අපි නොදන්නා දේවල් ජීවිත ඇතුළේ සඟවගෙන අපි මැරිලා යනවද?’
2014 ජූලි මාසයේ 19 වෙනිදා ඇන්ඩෘ ඔහුගේ අවසාන ඊමේල් පණිවිඩය මට එවා තිබුණෙත් එය කාටවත් පෙන්වන්න එපා කියලයි. දරුවන් අතර ඔහු සතුටෙන් ඉන්න බවත් ඉතාලියෙ වෛද්‍ය පහසුකම් ගැනත්, තමා බලන්න එන වෛද්‍යවරයා සහ සාත්තු සේවිකාවගේ උතුම් මනුස්සකම ගැනත්, ප්‍රතිකාර ලබා මාස හයක් තව ජීවත් වෙන්න පුළුවන් වුණත්, ප්‍රතිකාර නොලබා මාස තුනක් පමණක් ජීවත් වීමට තීරණය කළ බවත් ඇන්ඩෘ අවසාන ලිපියේ ලියා තිබුණා. ඔහු මියගිය පුවත ඇසූ සැණෙන් මට හිතුණා ඔහු මට එවාපු ඒ ඊමේල් පණිවිඩය ජීවිතය ගැන කියවන්නට නොදන්නා මිනිසුන් වෙනුවෙන් මුදා හරින්නට. මම මේ වෙනකොට බොහෝ අය වෙත එය මුදා හැරියා For your eyes only  ලෙසින්ම.
හැම දෙනාගේම ජීවිත දෙස, ඉරියව් දෙස කැමරා කාචයෙන් එබී බැලූ ඇන්ඩෘ, ඔබ බලා සිටියා නේද යහපත් මිනිසුන් ඔබ හමුවට ඇවිත් ඇන්ඩෘ සර් අපි අලුතෙන් පන්තියක් පටන් ගම්මු කියලා කියනකන්? හමු වුණේ නැහැ නේද අපට එවන් මිනිසුන්?
මට තනියෙන් ඉන්න එපා කියලා කියපු ඇන්ඩෘ, ඔබත් දැන් හිටියේ නැහැ නේද, ඔබත් අපව අතහැරලා යන කොට එතනදි සිදුවෙන මේ තනිවීම කාටවත් කොහොමවත් නවත්වන්න පුළුවන් එකක් නෙවෙයි කියලා.

http://sarasaviya.lk/2014/09/04/?fn=sa14090447
READ MORE - ඇන්ඩෘ ජයමාන්න පිළිබඳ ධර්මසිරි බණ්ඩාරනායකයන් ලියා එවන ලද්දකි

මකුළු දැල්

මුද්‍රා පුහුණුවීම්

මහාචාර්ය ආරියරත්න කළුආරච්චි
මේ දවස්වල අලුත් කෘති දෙකක් එළිදක්වන කටයුතු සූදානම් කරමින් සිටිනවා. සරච්චන්ද්‍ර පදනම සමඟ ලබන මාසයේ පවත්වන නාට්‍ය උළෙල වෙනුවෙන් සූදානම් වෙනවා. මම එහි නාට්‍ය දෙකකට රංගනයෙනුත් දායක වෙන්න තියෙනවා. ඒ වගේම මම නිර්මාණය කළ මුද්‍රා නාට්‍යයේ පුහුණුවීම් කටයුතුª මේ දවස්වල යොදා ගෙන තියෙනවා.
මගේ අලුත්ම ගීත දෙක වෙනුවෙන් රූප රචනා කර එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා. ඒ හැරුණාම මම රංගනයෙන් දායක වූ මකුළු දැල් ටෙලි නාට්‍යත් මේ දවස්වල විකාශය වෙනවා. එයටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

READ MORE - මකුළු දැල්

මල් වඩම් අනවශ්‍යයි බලන්න ආ රසිකාවට සිහිය නැතිවුණා


පි‍්‍රයන්ත රංජන්
පි‍්‍රයන්ත රංජන්ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවන ‘මල්වඩම් අනවශ්‍යයි‘ වේදිකා නාට්‍යය මේ මස 04 වැනිදා බදුල්ල නගර ශාලාවේදී වේදිකා ගතවෙයි. කාලයක පටන් වේදිකා නාට්‍ය සංවිධායකවරයෙක් හා නිෂ්පාදකවරයෙක් ලෙස ප්‍රේක්ෂක හමුවට පැමිණි ප්‍රියන්ත රංජන්ගේ කලා ආගමනයත්, ‘මල් වඩම් අනවශ්‍යයි‘ වේදිකා නාට්‍යය පිළිබඳත් ඔහු ‘සරසවිය‘ට මෙසේ සඳහනක යෙදුණේය.
වේදිකා නාට්‍ය සංවිධායක කටයුතු හා නිෂ්පාදක කටයුතු අමතක කරල ද ඔබ අධ්‍යක්ෂණයට පිවිසෙන්නේ
හැමදාම එකම භූමිකාවක සිටිය යුතුයි කියලා මා අදහස් කරන්නේ නැහැ. ඒ නිසා මා සංවිධායක කටයුතු වගේම නිෂ්පාදන කටයුතුවල නියැළෙන අතරතුරදිම අධ්‍යක්ෂණයටත් අත්පොත් තිබ්බා. කාලයක පටන් පුරුදු පුහුණු කරගෙන පැමිණි අධ්‍යක්ෂණය කියන අංශයට යොමුවීමේ හොඳම කාලය ලෙස මා දැක්කේ මේ කාලයයි. මේ නිසා මා ඊට පිවිසුණා. ඊට පෙරත් ‘රූකඩ රාජ්ජේ ’, ‘කෝළම් පුරේ’ වගේ වේදිකා නාට්‍ය සඳහා පූර්ණ වශයෙන් අධ්‍යක්ෂණයෙන් දායක නොවුණත් එහි බොහෝ වෙනස්කම් සිදු කිරීමට මට හැකිවුණා. කොහොම නමුත් මට ලැබුණු පිටපත් කිහිපයක් අතරෙන් මා මේ පිටපත තෝරා ගත්තා.
“මල්වඩම් අනවශ්‍යයි” වේදිකා නාට්‍යයෙහි පිටපතෙහි තිබෙන විශේෂත්වය කුමක්ද?
ක්ලයිව් මාට්ස් කියන පිටපත් රචකයා මට මුණ ගැසෙන්නේ මීට කාලයකට පෙරයි. ඔහු මීට වසරකට පෙර ගෙනත් දෙන ඒ පිටපතයි මා මෙලෙස වේදිකා නාට්‍යයකට රැගෙන එන්නේ. ඔහු මේ වනවිට ජීවතුන් අතර නැති වුණත් එය බොහොම අපූරු පිටපතක් ලෙස මා දුටුවා. නවීකරණය වුණු මිනීපෙට්ටි සාප්පුවක් මූලික කර ගනිමින් ජීවිතයේ ස්වභාවය ගැනයි මේ කතාවේ කියන්නේ. යටි පෙළෙන් දිවෙන හාස්‍ය මුසු කර ගනිමින් නාට්‍යය වේදිකා ගත වෙනවා. ඒ සඳහා ලැබෙන ප්‍රතිචාරත් බොහොම හොඳ මට්ටමක තිබෙන්නේ.
දිගින් දිගටම හාස්‍යෝත්පාදක වේදිකා නාට්‍ය රැසක් වේදිකා ගතවන සමයක ඇයි ඔබත් එවැනි නාට්‍යයකට සිත යොමු කළේ නැත්තේ?
අනෙක් අය හාස්‍ය මුසු වේදිකා නාට්‍ය කළ නිසා ඒ වගේම නාට්‍යයක් කළ යුතුය කියන මතයේ ඉන්න මට උවමනා වුණේ නැහැ. මා කළේ මට ලැබුණු පිටපත්වලින් තිබුණු හොඳම පිටපත තෝරා ගැනීම පමණයි. ඒ ඔස්සේ වෙනස්ම නිර්මාණයක් ප්‍රේක්ෂකයාට ලබාදෙන්න මට උවමනා වුණා. මේ වේදිකා නාට්‍ය බලලා ජීවිතයේ අනිත්‍ය වගේම මේ කියන්නේ අපි ගැන නේද කියලා හිනාවෙන්නත් ප්‍රේක්ෂකයන්ට පුළුවන්.
ප්‍රවීණ රංගන ශිල්පීන් සහභාගි කර ගැනීම නිසා නාට්‍යය වේදිකාගත කිරීමට යම් ගැටලුවක් නිර්මාණය නොවුණාද?
විජය නන්දසිරි, සරත් කුලාංග, කුමාර තිරිමාදුර, සුරංගි, වසන්ත විට්ටච්චි ආදී රංගන ශිල්පීන් රැසක් මෙහි රඟපාන බව ඇත්තයි. ඔවුන්ගෙන් සමහරු දැනට වේදිකා ගතවන වේදිකා නාට්‍යවල වගේම ටෙලි නාට්‍යවලත් රඟපානවා. නමුත් ඒ සියලු දෙනාම කොයිතරම් කාර්යබහුල ශිල්පීන් වුණත් එකිනෙක නිර්මාණ පටලවා ගන්නේ නැතිව සහයෝගය දැක්වීම නිසා මෙතෙක් කිසිදු ප්‍රශ්නයක් පැන නැඟී නැහැ. ඒත් සමඟම ඔවුන්ගේ රංගනය පිළිබඳ දෙවරක් සිතන්නත් අවශ්‍ය වන්නේ නැහැ.
ඒ චරිතය පිළිබඳ ඔවුන් සතු අවබෝධයත් ඒවගේමයි. ඒ වගේම ඔවුන්ට ඕනෑම කට්ටක් කන්නත් පුළුවන් කියන මේ සියලු කාරණා සම්පූර්ණ වීම නිසා මට ඔවුන් සමඟ කටයුතු කිරීම පහසුයි.
අද නාට්‍ය සංවිධායකරුවන්ට විවිධ චෝදනා නැගෙනවා. ඔබටත් මේක පොදු කාරණයක්.
චෝදනා නැත්තේ කාටද? වැඩක් කරන මිනිස්සුන්ටයි නිතරම චෝදනා නැගෙන්නේ. අපිටත් ඒ වගේයි. ඒ චෝදනාවලට බයවෙලා වැඩ නොකර සිටියොත් අපියි මෝඩයෝ වෙන්නේ. ඒ වගේම නාට්‍ය සංවිධාකයෙක් වීමට කලිනුයි මා රඟපෑවේ.
ඒ කියන්නේ කලාවට පිවිසිමේ මූලාරම්භය සිදුවන්නේ නාට්‍ය සංවිධායකවරයෙක් වීමට පෙරද?
මම රංගන කටයුතුවලට සහභාගි වෙන්නේ කුඩා කාලයේ පටන්මයි. කොළඹ ආනන්ද විද්‍යාලයට ගිය මගේ ගුරුතුමා වෙන්නේ ලයනල් රන්වලයන්. ඔහුගේ මාර්ගයෙන් තමයි මා රඟපෑමට යොමු වෙන්නේ. ඒ කාලයේ පාසලේ තිබුණු සාහිත්‍ය සංගම්, නාට්‍ය සංගම්වල ක්‍රියාකාරී සාමාජිකයෙක් විදියට මම ගොඩක් දේවල් කළා. එදා සිටිය ගුරුවරු “කාලගෝල” කතාව පුරුදු කරලා එය පාසල්වලට අරගෙන ගිහින් පෙන්නුවා. මෙහිදී මම කාලගෝලටත් රඟපාලා තියෙනවා. ඊට අමතරව බහු භූතයන්ටත් රඟපෑවා. එහි රඟ පෑ කිසිම නළුවෙක්ට ස්ථිර චරිතයක් තිබුණේ නැහැ. ඒ නිසා අපි සියලුදෙනාම සෑම චරිතයක් කළ යුතු වුණා.
ඊට පස්සේ අපි කිහිපදෙනෙක් ජී.ඩී.එල් පෙරේරාත් සමඟ චිත්‍රපටයක් කළා. එහිදී ලයිට් අල්ලන කටයුත්තේ පටන් සියල්ලම කරන්න වුණේ අපටමයි. චිත්‍රපටයේ නම වුණේ ‘හොරා පොළිස්’. ඊට පස්සේ ඒක ඊ.ඒ.පී. එකෙන් අරගෙන ‘චක්‍රායුධ’ කියලා තිරගත කළා. එකේ පළමුව කැමරා අධ්‍යක්ෂණය කළේ ඩොනල් කරුණාරත්න. පසුව ඔහු චිත්‍රපටය අතහැරලා ගියාට පස්සේ අපේ කණ්ඩායමේ සිටිය කෙනෙක් තමයි කැමරා අධ්‍යක්ෂණය කළේ. ඒ චිත්‍රපටයේ සනත් ගුණතිලක අශෝක පීරිස්, දෙනවක හාමිනේ, කාන්ති ලංකා, නෙල්සන් දිවිතුරුගම, සඳුන් විජේසිරිත් රඟපෑවා බව මට මතකයි. ඒත් එක්කම අපේ කණ්ඩායමේ සිටිය අයගෙන් කලාව පැත්තට යොමු වුණේ මා පමණයි.”
‘මල්වඩම් අනවශ්‍යයි‘ වේදිකා නාට්‍යය සම්බන්ධයෙන් සිදුවුණු විශේෂ සිදුවීම් තිබෙනවාද?
අපි නුවර කළ ෂෝ එකකදී අපූරු සිදුවීමක් වුණා. විජේ අයියාගේ රසිකාවක් විජය අයියාව සොයා ගෙන නේපත්‍යාගාරයට ආවා. ඒ එනකොට මිනී පෙට්ටි දෙක උඩ මිනී වගේ ඩමි තියලයි තිබුණේ. එක දැක්ක අර රසිකාව සිහිය නැතිව වැටුණා.
මේ වනවිට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර මොනවගේද?
මේ වනවිට වේදිකා ගත කරලා තියෙන්නේ සීමිත දර්ශන කිහිපයක් වුණත් ලැබෙන පේ‍්‍රක්ෂක ප්‍රතිචාර නම් හොඳයි. අවසාන වශයෙන් මට ප්‍රේක්ෂකයන්ට කියන්න තිබෙන්නේ ‘මල්වඩම් අනවශ්‍යයි’ කියන්නේ සර්ව කාලයමට ඔබින නාට්‍යයක් කියලා. ඒ සර්ව කාලයටම ඔබින ඔබ පිළිබඳ කියැවෙන මේ නාට්‍යය බලන්න එන්න කියලා මා ප්‍රේක්ෂකයන්ට අවසාන වශයෙන් ආරාධනා කරනවා.
READ MORE - මල් වඩම් අනවශ්‍යයි බලන්න ආ රසිකාවට සිහිය නැතිවුණා

ප්‍රවෘත්ති කියනකල් ලොක්කා මේසය ළඟ දණ ගහගෙන

 ප්‍රවෘත්ති කියනකල් ලොක්කා මේසය ළඟ දණ ගහගෙන

ප්‍රවෘත්ති නිවේදිකා චේතනා ලියනගේ
වාසනාව කියන දේ කොයි ආකාරයකින් උදා වේ දැයි කාටවත් කියන්න අපහසුයි. එවැනි අනපේක්ෂිත මොහොතක තම වාසනාව දෝත පුරාම හිමි වූ පුංචි කෙළි පැංචියන් හිටියේ නුගේගොඩ අනුලා විද්‍යලෙයේ. කෙල්ල උපතින්ම කටකාරයි. ඒ වගේම හැඩකාරයි. මේ දෙකටම වඩා ඇය ඉගෙනුමටත් දක්ෂයි. මේ කෙලි පොඩිත්තිට එකවරම අවස්ථා තුනක් හිමි වෙනවා. එයින් එක් අවස්ථාවක් තමයි ඇය උසස් පෙළ සමත්ව සරසවි වරම් ලැබීම. ඒ සමඟම ඇයට බැංකුවක රැකියාවකුත් හිමි වෙනවා. මේ දෙකටම වඩා ඇය ආසාම කරන නිවේදන ක්ෂේත්‍රයේ MTV  ආයතනයෙන් ස්ථිර නිවේදක තනතුර සඳහා ආරාධනයකුත් ලැබෙන්නෙත් මේ අතරතුරදිමයි. මේ අවස්ථා තුනෙන්ම තෝරා ගැනීම කුමක්ද? ඇයට ඒ ගැන ගැඹුරින් සිතන්න සිදුවෙනවා... ඇගේ නිවේදක සිහිනය දෙපා ළඟටම ඇවිත්... බැංකුවේ රස්සාවක් කියන්නේ හොඳ වැටුපක්. මේ දෙකටම වඩා උගතමනා ශිල්පයමයි කියන සරසවි වරමත් වටිනවා.
ඇය ජීවිතයේ බුද්ධිමත්ම තීරණයක් ගන්නවා. ඇය තීරණය කරනවා තම උපාධියේ කටයුතු සමඟම නිවේදික ක්ෂේත්‍රයට එක් වීමට. මේ සඳහා ඇයට MTV  ආයතනයෙන් අවස්ථාව හිමි වෙනවා. මෙසේ තෝරා ගත් ඉරණම් සමඟ ඇය ඇවිත් දැන් වසර 18 ක්. ඇය ඒ ගමන් මඟ දෙස ආපසු හැරී බලනවා.
චේතනා මනෝරම්‍යා ලියනගේ... අද ඇය නිවේදිකාවක්ම පමණක් නොවෙයි. කැපිටල් මහරාජ, සමාගමේ පුහුණු හා සංවර්ධන කළමනාකාරිනියක්.
ඉතිං චේතනා මොකද හිතෙන්නේ ඔබ ආපු දිගු ගමන ගැන...
ඇත්තටම එදා මම ගත්තු තීරණය නිවැරැදියි කියලා මට අද හිතෙනවා. ඒත් කවුරුවත් හිතාන්න නැතුව ඇති ප්‍රවෘත්ති කියවීමත් සමඟ උපාධියත් කර ගන්න තරම් මට හැකියාවක් තිබෙයි කියලා. ඒ සියලු දේ මට හිමිවුණේ මට උපතින්ම ලැබුණු හැකියාව හා පවුල් පසුබිමයි. මෙවැනි සාර්ථක ගමනක් එන්නට මට මගේ ආයතනයෙන් ලැබුණු සහයෝගත් බෙහෙවින්ම බලපෑවා.
ඔබ සඳහන් කළා ඔබේ මේ දිගු ගමනට පවුල් පසුබිම බලපෑවා කියලා. ඒ කතාව මොකක්ද?
මම උපතින්ම මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ පවුලකයි උපත ලැබුවේ. ගුණදාස ලියනගේ කියන ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියාගේ දියණිය වීමේ වාසනාව මට හිමිවුණා. හැබැයි මම නිවේදිකාවක් වුණේ කවදාවත්ම තාත්තා නිසා නම් නෙවෙයි. මම මුලින්ම පාසල් ගියේ කොළඹ සංඝමිත්තා විද්‍යාලයට. ඊට පසුව ගෝතමී විද්‍යාලයය ආවා. වැඩි කාලයක් හිටියේ අනුලා විද්‍යාලයේ. මුලින්ම මම අනුලා විද්‍යාලයේ වානිජ දිනවල, උත්සවවල නිවේදන කටයුතු කළා. පසුව ආනන්ද, නාලන්ද, රාජකීය විද්‍යාලවලත් වානිජ දිනවල ප්‍රවෘත්ති කටයුතු සඳහා මට ආරාධනා ලැබුණා. නිවේදන කටයුතුවලට තිබුණු ආසාවට මම මුලින්ම උසස් පෙළ කරලා ඊව්ඹ්ආයතනයට නිවේදන කටයුතු සඳහා ඉල්ලුම් කළා. ශාන් වික්‍රමසිංහ මහතා තමයි මුලින්ම මාව තෝරා ගත්තේ. පළමු දවසේ ඉජපඥඥද ඊඥයබ එකක් තිබුණා. ඔයාට නිවේදන හැකියාවක් තියෙනවනේ. ඒ නිසා පහුවදා වැඩට එන්න කිව්වා. පසුදාම මාව සජීවි ප්‍රවෘත්ති නිවේදනයට දැම්මා. අපේ අයියා ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ ඒ කාලේ නිවේදන කටයුතු කරනවා. ඒ නිසා ප්‍රවෘත්ති කීම ඒ තරම් මට අභියෝගයක් වුණේ නැහැ.
මෙහෙම ඉන්න අතරේ තමයි මට MTV  එකේ ආරාධනයක් ලැබුණේ. ඊට පස්සේ සම්පුර්ණයෙන්ම එම ආයතනයේ වැඩ කරන්න සිද්ධ වුණා. ඒ කාලේ මට සතියේ දවස් පහේම ප්‍රවෘත්ති කියන්න තිබුණා. ඊට අමතරව ප්‍රවෘත්ති සාකච්ඡා, කැබනට් සාකච්ඡා ආවරණය කරන්නත් යන්න තිබුණා. මම ප්‍රවෘත්ති මැදිරියේම අවුරුදු 10 ක කාලයක් වැඩ කළා. දවස් පහම එක දිගට ප්‍රධාන ප්‍රවෘත්ති කියන්න සිදු වුණේ මට නැත්නම් යසරත්ට. එය මම හිතන්නේ වාර්තාවක්.
ඔය වගේ දිගු කාලයක් ප්‍රවෘත්ති කියන විට ලැබුණු අමතක නොවන අත්දැකීම් ඇති නේද?
ගහමරා ගන්න, ළමයි දාලා යන, මිනීමැරුම් වැනි සිදුවීම්වලට මම හරිම සංවේදීයි. ඇත්තටම ඒ වගේ දර්ශනයක් දැක්කොත් මගේ දෑස්වලට කඳුළු එනවා. ඊළඟ දර්ශනයට මම යන්නේ පුදුම අසීරුවෙන්. මට ඉතාම සංවේදී සිද්ධියක් මතකයි. පුංචි දරුවෝ දෙන්නෙක් අම්මයි, තාත්තයි මේ දරුවෝ පාරේ දාලා ගිහින් පොලීසියට ගෙනත් තිබුණා. ළමයි දෙන්නගේ දර්ශන පෙන්නනවා. මේ ළමයි දෙන්නා පොලීසියේ මිදුලේ කොටු ගහගෙන බට්ටෝ පනිනවා. මට ඊළඟ ප්‍රවෘත්තියට යන්න විඳිහක් නැහැ ඇඩෙනවා. පුංචි දරුවෝ දෙන්නෙක්. අවුරුදු තුනක, පහක ළමයි. ප්‍රවෘත්ති නිවේදිකාවක් විඳිහට අඩමින් ඒ විදිහට අපට ඒ වෙලාවේ සංවේදී වෙන්න බැහැනේ... නමුත් මම ඊළඟ ප්‍රවෘත්තියට එනවිට ඇඩෙනවා. ඒත් මොනවා කරන්නද විශාල ආයසයක් ඇරගෙන ප්‍රවෘත්තිය කියනවා. සමහර විට ඒවගේ සිදුවීම් දර්ශන තලයේ යනවිට මම බලන්නේ නැතුව කට හඬට විතරක් සවන්දීගෙන ප්‍රවෘත්ති කියන අවස්ථා තියෙනවා.
සමහර අවස්ථාවලදී අපට මැදදී ප්‍රවෘත්ති ගෙනත් දෙනවා. මම දවසක් සජීවි මැදිරියේ ඉන්නකොට තමයි දෙහිවල බෝම්බය ගැන ගෙනත් දුන්නේ. කොලේ මේසේ යටින් ගෙනත් දුන්නා. දෙහිවලට අපේ ගේ ආසන්නයිනේ. අක්කලා, අයියලා කොහෙ හිඟින් ද කියලා දන්නේ නැහැ. මෙච්චර මැරලා, මෙච්චර තුවාලයි කියලා මම මුළු රටටම කිව්වත්. ඒ වගේ වෙලාවකට අපේ ගෙදරට මොකද වෙලා තියෙන්නේ කියලා කාටවත් කියන්න බැහැනේ.
මට මතකයි ඒ කාලේම අපි නන්දා මාලනී මහත්මියගේ සාකච්ජාවකට ගියා. ඒ යන වෙලාවේ තමයි මහ බැංකු බෝම්බය ගැන දැන ගත්තේ. මම ගියේ සම්පුර්ණ ර්චඬඥ - උන එකක් දාලා. කෝට් එකක් ඇඳලා. අපිව හරවලා යැව්වේ ජාතික රෝහලට. මගේ ඇඳුම එතනට ගැළපෙන්නේ නැහැ. එතනට මීනි ගේනවා. ඉවරයක් නැහැ. ඒ අතර මගේ ඇඳුම හරිම අපහසුයි. මම ක්ෂේත්‍රයට ආපු අලුත.පුරුදුත් නැහැ. හරි බයෙන් හිටියේ. ඒ නිසාම මිනී ගෙන්නේ නැහැ කියලා හිතන තැනකට වෙලා හිටියේ. එක පාරටම එතනට පොලීසියයි, වෛද්‍යවරුයි ඇවිත් එතන තිබුණු ඉටි රෙදි ටික ඉවත් කළා. මට හිතාගන්න බැහැ මගේ කකුල් දෙක ළඟ ඉඳින් මීටර් ගානක් අතපය නැති මිනිසුන්ගේ මිනී. මාව කැරකෙන්න ගත්තා... හිතාගන්න මේ ලේ දැක්කහම මට දරා ගන්න බැරි වුණා.
ඔබගේ පවුල මාධ්‍ය ක්ෂේත්‍රයේ කවුරුත් දන්නවා. ගෙදර පසුබිම කොහොමද?
අපි පුංචිම කාලේ හරි රසවත් දෙයක් සිද්ධ වුණා. අපේ ගෙදර තිබුණා අකුරු අමුණන Press එකක්. තාත්තාගේ  Press එක මෙහා පැත්තේ තමයි මම සෙල්ලම් බත් උයන්නේ. මම උයන්න දෙයක් නැති වුණාම කරන්නේ අර  Press එකේ තියන පෙට්ටිවල පුංචි ඊයම් බරු ගෙනත් මුට්ටියට දානවා. ඒ කාලේ මම දන්නේ නෑ මේ අකුරු බව. දවසක් මම මේ කෑලී දාලා සෙල්ලම් බත් උයනවා. මට Press එක ඇතුළේ ඇහෙනවා අකුරු නැහැ. සමහර අකුරු අඩුයි... කියලා මිනිස්සු කෑ ගහනවා. ඔය අතරේ අපේ තාත්තා ඔතනින් යන ගමන් වළං ටික අරින්න කිව්වා. ඇරලා බැලුවාම මගේ මුට්ටිවල තියෙන්නේ අකුරු. තාත්තා කෑ ගැහැව්වා ඔහේ කොහේ අකුරු අමුණන්ද මෙයා ඔක්කොම අකුරු ටික උයනවා කියලා. මැල්ලුන් උයන්න, බත් උයන්න ඔක්කොටම මම ඇරගෙන තියෙන්නේ තාත්තාගේ  Press එකේ අකුරු.
අපේ තාත්තාගේ ගම බුලත්සිංහල ගමට යද්දී තාත්තා වෙලාවට වැඩ. ගෙදරින් හතට යනවා. කිව්වොත් හතට ලැහැස්ති අය දාගෙන යනවා. නැත්නම් නැහැ. අම්මා වුණත් වෙලාවට නැත්නම් තාත්තා යනවා. ඒ වෙලාවට ලැහැස්ති නැතත් බ්‍රෂ් එක, ටුවුත් පේස්ට් එක බෑග් එකේ දාගෙන ඇවිත් වෙලාවට කාර් එකට නඟින්නේ මම විතරයි. හුඟක් වේලාවට තාත්තා එක්ක යන්න ඉතුරු වෙන්නේ මම විතරයි.
අපේ අම්මත් ඒ කාලේ පොත් ලියනවා. තාත්තාත් ජනපි‍්‍රයයි. ගුරුවරු පවා අම්මාගේ ගොලයෝ. ඒ නිසා පොඩි කාලේ ඒක තරමක වදයක් වුණා. අපි අම්මාගේ තාත්තාගේ තත්ත්වය තියාන්නත් ඕනේ. දවසක් ගුරුවරියක් කවියක තේරුමක් මගෙන් අහලා මට බැරි වුණා. ඊට පස්සේ අහවල් මාධ්‍යවේදියාගේ... අම්මා ගැන කියලා ඕක දන්නේ නැද්ද කියලා ඇහුව්වා. මම කිව්වා අපේ ගෙදර කතා කරන්නේ සංස්කෘත නෙමෙයි සිංහල කියලා. ඒ තරමට ඒක වදයක් වුණා.
මම ක්ෂේත්‍රයට ආපුම කාලේ තාත්තා දවසක් කඩේට ගිහින් තියනවා. ඒ කාලේ තාත්තාත් ටීවී වැඩසටහනක් කරනවා. කවුද ඇවිත් එක පාරටම අහලා තියනවා චේතනා ලියනගේගේ තාත්තා නේද ඔයා කියලා. ඒකට තාත්තාට කේන්ති ගිහින් එයා කියලා තියනවා නැහැ මම ගුණදාස ලියනගේ කියලා. පස්සේ තාත්තා ගෙදර ඇවිත් කියනවා දැන් ළමයින්ගේ නම්වලින් තමයි මිනිස්සු අපට කතා කරන්නේ කියලා. නමුත් ඔහුට සතුටුයි.
චේතනාගේ මාධ්‍ය ජීවිතයේ රසවත් සිදුවීම් එහෙමත් ඇතිනේ...
එක් වතාවක් අපේ ස්ටුඩියෝ එක ගිනි ගත්තු කාලේ තාවකාලික තැනක අටවාගෙන වාගේ ප්‍රවෘත්ති කිව්වා. ඒ වෙලාවේ හරි විදියකට ප්‍රවෘත්තියක් නිවේදකයාගේ අතට දෙන්න ක්‍රමයක් එහෙම තිබුණේ නැහැ. මම එතන ප්‍රවෘත්කි කියපු පළමු දවසේ මම හිටපු මෙසේ ළඟට දණ ගහගෙන බඩගාගෙන අපේ ආයතනයේ ප්‍රවෘත්ති අංශයේ ලොක්කෙක් ආවා. ඇවිත් කොළයක් දික් කරගෙන මම ළඟ දණ ගහගෙන ඉන්නවා. මට මේක දැකලා හරිම හිනාත් යනවා. පස්සේ තමයි දැක්කේ කොළයක් දෙන්න තමයි ඇවිත් කියෙන්නේ. ඒක දීලා යන්නටත් ඉස්සුනොත් තීරයට පෙනවා. ප්‍රවෘත්ති ඉවරවෙනකම්ම ලොක්කා මා ගාව දණ ගහගෙන හිටියා.
ඔයාගේ පවුල් ජීවිතේ කොහොමද?
මට දැන් දුවලා දෙන්නෙක් ඉන්නවා. සැමියා පීපල්ස් ලීසින් ආයතනයේ සේවය කරනවා. ලොකු දුව මියුසියස් විද්‍යාලයේ තුන්වැනි ශ්‍රේණියේ, පොඩි දුව ළදරු පාසලට යනවා. මගේ සැමියාගෙන් මගේ ක්ෂේත්‍රයට විශාල සහයෝගයක් ලැබෙනවා. කොයි තරම් ජීවිතේ කාර්යය බහුල වුණත් පවුල් ජීවිතේ සමබරව ගිනියන්න සෑහෙන වෙහෙසක් ගන්නවා. රෑට නිදියන කාලය තමයි ඒකට කැප කරන්නේ. පාන්දර ප්‍රවෘත්ති කියන්න සමහර විට උදේ පහට විතර එන්න වෙන්නේ. ඒ එනකොට සැමියාගේ කෑම දරුවන්ගේ කෑම ඒ හැමදේම සකස් කරලා තමයි ගෙදරින් එන්නේ. රෑට දරුවන්ගේ ගෙදර වැඩ ටික කරනවා. විවේක කාලය සම්පුර්ණයෙන්ම පවුල වෙනුවෙන් කැප කරලා මම ඉගෙන ගන්න තියන කාලය දරුවගේ අධ්‍යාපනය වෙනුවෙන් කැප කරලා දැන් ති;යන්නේ.
චේතනා ඔබේ Email ලිපිනය අපේ පාඨකයන්ට මතක් කළොත්
READ MORE - ප්‍රවෘත්ති කියනකල් ලොක්කා මේසය ළඟ දණ ගහගෙන