----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

Showing posts with label මතක සැමරැම්. Show all posts
Showing posts with label මතක සැමරැම්. Show all posts

සැමුවෙල් රුද්‍රිගු මාවත නම ඉවත් කිරීම පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා

Tuesday, June 18, 2013

සැමුවෙල් රුද්‍රිගු මාවත නම ඉවත් කිරීම පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා

කැලණිය ප්‍රදේශීය සභාව මඟින් අභාවප්‍රාප්ත විශිෂ්ට කලාකරුවකු වූ සැමුවෙල් රුද්‍රිගු මහතා නමින් නම් කළ මාවත වෙනස් කරලීම මෙරට සංස්කෘතියට කළ මහත් නිගාවකැයි සබරගමු විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය අග්‍ර මහා පණ්ඩික කුඹුරුගමුවේ වජිර හිමිපාණන් සරසවිය පුවත්පතට පැවසුවේය.
මෙරට ජීවත් වූ කලාකරුවකු වූ සැමුවෙල් රුද්‍රිගු මහතාගේ නමින් කැලණිය ගල්බොරැල්ල ඒ මහාත ජීවත් වූ පෙදෙස නම් කොට තිබූ අතර පසුගියදා කැලණිය ප්‍රාදේශීය සභාව මඟින් අත්තනෝමතිකව එම පුවරුව ඉවත් කර තිබිණි. මේ පිළිබඳව සරසවිය පුවත්පතට හිමිපාණන් අදහස් දැක්වූයේ මෙපරිද්දෙනි.
සැමුවෙල් රුද්‍රිගු මතතා ජීවත්ව සිටියදී අගනා කලාකරුවෙක් ලෙස නමක් දිනා සිටි කෙනෙක්. එමෙන්ම දේශය අලංකාර කළ, මිනිසුන්ට නිර්ව්‍යාජ ක්‍රමවේදයකින් හාස්‍ය ඉස්මතු කරලා, විශාල සේවාවාක් කළ තැනැත්තෙක්. සැමුවෙල් රුද්‍රිගු මහත්මාගේ විනෝද සමය බිහි වුණෙත්, පුහුණු වුණෙත් විද්‍යාලංකාර පිරිවෙන් බණ මඩුවේ.
ඒ වගේම කෙතරම් හාස්‍ය මතුªකළත් ඉතාම අවංකව ආගමික කටයුතුවල යෙදුනු ගරු කටයුතු මහත්මයෙක්. කැලණිය රජ මහා විහාරයේ බණ අසන්නට යන එතුමන් මතුවන ධර්ම ගැටළු නිරන්තරයෙන් මා සමඟ සාකච්ඡා කළා.
ගල්බොරැල්ලේ බෝධිරුක්ඛාරාම විහාරස්ථානයට ඉඩකඩම් පූජා කර තිබුණේ ඒ මහත්මයාගේ පවුලේ ඥාතීන්. කාලයක් ජරාජීර්නව තිබුණු මේ විහාරස්ථානය මට බාර දෙන්නට කටයුතු කළෙත් එතුමන්. අද එය බෞද්ධ මධ්‍යස්ථානයක් දක්වා දියුණු කරන්නට ලැබුණේ එතුමන් නිසයි.
2005 වසරේදී එතුමන්ගේ නමින් මේ මාවත නම් කරන්නට කටයුතු යෙදුණේත් ඒ අනුවයි. ඇත්ත වශයෙන්ම මිය ගිය තැනැත්තන්ට ගෞරව කිරීමයි අපේ සිරිත. එහෙත් එය නොසලකා කටයුතු කිරීම අපේ සංස්කෘතියට නිගා කළ තීන්දුවක්.
බුදුරජාණන් වහන්සේ ගේ පාද ස්පර්ශය ලබපු කැලණිය, කැලණි විහාරයට මෙන්ම විද්‍යාලංකාර පිරිවෙණට දායකත්වය දරපු මේ නිර්ව්‍යාජ කලාකරුවන්ට කළ අපහාසය මේ රටටම කළ අපහාසයක් හැටියටයි මට හැඟෙන්නේ. විශේෂයෙන් මේ මාවතේ නම වෙනස් කිරීම මිය ගිය කෙනෙකුට ගෞරව දක්වන්නට පුරුදු වුණු ජාතියක් වන අප අතින් සිද්ධ නොවිය යුතු දෙයක්. මා එය දැඩි සේ පිළිකුල් කොට හෙළා දකිනවා’.

සබරගමු විශ්වවිද්‍යාලයයේ කුලපති,
මහාචාර්ය අග්‍ර මහා පණ්ඩිත
කුඹුරුගමුවේ වජිර හිමි  

READ MORE - සැමුවෙල් රුද්‍රිගු මාවත නම ඉවත් කිරීම පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා

ඇත්තටම ඒ කාලේ කරු ගැන මට තිබුණේ පිස්සුවක්!

Sunday, April 28, 2013


ඇත්තටම ඒ කාලේ කරු ගැන මට තිබුණේ පිස්සුවක්!

ඉරාණි අබේසේකර
ආදරයේ සුන්දරත්වය මෙන්ම විරහ සංතාපය ද වඩාත් සංවේදීම සමීප කළේ ඔහුය. චිත්‍රපට ගී කලාවට එදා ඔහුගේ දායකත්වයක් නොලැබුණේ නම් ඒ ඉතා කලාතුරකිනි. ජනප්‍රිය සිනමාවට මෙන්ම කලාත්මක සිනමාවට ද ඔහු සිය නිසඟ හැකියාවෙන් අපූර්ව වදන් සිතුවම් බිහි කර දුන්හ. ගුවන් විදුලි සරල ගී, ළමා ගී වැඩිම සංඛ්‍යාවක් නිමැ වී ඇත්තේ ඔහුගේ සුරතිනි.
ගුවන් විදුලි ක්ෂේත්‍රයේ අද සිටින බොහෝ ප්‍රවීණයන්ගේ ගුරුවරයා වූයේ ද ඔහුයි. ඔහු ප්‍රවීණ ගුවන් විදුලි නිවේදකයකු, ජනප්‍රිය ගීත රචකයකුª ව සිටි කරුණාරත්න අබේසේකරයන්ය. හෙතෙම අප අතරින් වියෝ වී ලබන අප්‍රේල් 20 වැනිදාට 30 වසරක් සපිරේ. මේ මොහොතේ ඒ සොඳුරු කලාකරුවාගේ ප්‍රිය බිරිය ඉරාණි අබේසේකර සිය මතකය අවදි කළේ මේ අයුරිනි.
‘කරුගේ හඬ ගුවන් විදුලිියෙන් ඇහෙන කොට මගේ හිත ඒ දෙසට ඇදිල ගියා. පුළුවන් හැම වෙලාවටම ඔහුගේ හැම වැඩසටහනක්ම ඇහුවා. ඒ කාලේ සිංහල නිවැරදි උච්චාරණය ඉගෙන ගන්න අනිවාර්යයෙන් සිංහල ප්‍රවෘත්ති ඇහුවා. ඒ නිසා ඔහු නිවේදනය කළ ප්‍රවෘත්ති විකාශයන් නම් මග හැරුණේ නැහැ. කරු පුවත්පත් සඟරාවලට ලියූ හැම කවියක්ම බලන්නත් මම අමතක කළේ නැහැ. ඔහු අතින් ලියවුණු ගීත මම රස වින්දේ හරිම ආදරයෙන්. ඇත්තටම මට ඔහු ගැන තිබුණේ පිස්සුවක්.
ඔහුගේ හඬ විතරක් ඇසූ ඔබට ඔහු මුණ ගැසෙන්නේ?
ඒ 1952 වසරේදී. එතකොටත් මම පාසල් ශිෂ්‍යාවක්. මගේ යෙහෙළියෝ මේ පිස්සුව ගැන හොඳටම දැනගෙන හිටියා. අපේ කට්ටිය ලකී සෙවන්. ඉතිං මෙයාලට ඕනෑ වුණා මාවයි කරුවයි මුණ ගස්වන්න. ඒකට අපි හොඳ වැඩක් කළා. මගේ කැමැත්ත දැනගත්ත මගේ යෙහෙළියෝ හය දෙනා මාවත් එක්කර ගෙන ගියා පී. එල්. ඒ. සෝමපාල හා චිත්‍රාගේ විවාහ මංගල උත්සවයට. ඇත්තටම අපි එහි ගියේ කිසිම ආරාධනාවක් නැතුවයි. අපි හිතුවා කරුත් අනිවාර්යයෙන් එතැනට එයි කියලා. අපි හිතුවා වගේම ඔහුත් පැමිණියා. මගේ යෙහෙළියන් ඔහුට මා හඳුන්වා දුන්නා. එදා අපි හැමෝම කතාබහ කරමින් විහිළු තහළු කරමින් කාලය ගත කළා. මගේ යෙහෙළියන් ඔහුගෙයි මගෙයි අයිස් ක්‍රීම් කප් දෙකත් මාරු කළා. ඊට පස්සේ දවසෙත් මගේ යෙහෙළියක් වූ අයිරාංගනී අපට දුරකථනයෙන් කතා කරන්න අවස්ථාව හදලා දුන්නා. මේ විදියට දිගටම මට කරු සමඟ කතා කරන්න අවස්ථාව ලැබුණා.
ඒ වෙනකොට ඔබ දෙපොළ පෙම්වතුන්. ඔබ වෙනුවෙන් ඔහු ගීත එහෙමත් රචනා කරන්න ඇති?
ඔව්. අපි ගෙවල්වලට හොරෙන් තමයි කතා කළේ. අපේ සම්බන්ධය දැනගත්තම ගෙවල් දෙකෙන්ම අපට විරුද්ධ වුණා. අපේ ගෙදරින් දැනගත්ත වෙලාවේ තමයි මම ගෙදර හිරකාරියක් වුණේ. කරුට කතා කරන්න කිසිම ඉඩක් ලැබුණේ නැහැ. ටෙලිෆෝන් එක අල්ලන්න තියා මට මගේ යෙහෙළියන් ඇසුරු කරන්නත් තහනම් වුණා. එහෙම ඉන්න කොට දවසක් මට ගුවන් විදුලියෙන් ගීතයක් අහන්න ලැබුණා.
‘එන්න මදනලේ . . .
ගොස් පවසන්න දුක මගේ
යන්නට හැකි ඔබට පමණි
සිරගෙයට ඇගේ . . .
දිවා රැයේ වැලපිලා - දෑස ඈගේ රතු වෙලා
කියන්නකෝ මගෙ දුක ඇගෙ කනට ළං වෙලා . .
සංදේශයකින් යවන්න මේ දුක උන් අතේ
හංස ගිරා ලිහිණි කොවුල් කුරුල්ලන් නැතේ
සුළඟේ මා අසරණයි – මට ඇති වස්තුව ඇයයි
කීවොත් මගෙ දුක සදහට ඔබට මා ණයයි
ශෝක පණිවිඩය යවන්න ආදරිය බලා
කාලිදාස කිවිඳු මේඝ දූතයක් කළා
මට කොයින්ද එම වලා ආමි සුළඟෙ ඔබ සොයා
කියන්නකෝ මගෙ දුක ඇගෙ කනට ළං වෙලා . .
තිලකසිරි ප්‍රනාන්දු තමයි එය ගායනා කළේ. මං හිතුවා මේ ගීතයේ මොකක් හරි සුවිශේෂත්වයක් ඇති කියලා. ඒක හරියටම හරි. අවසානයේදී නිවේදකයා කිව්වා ඒ ගීය කරුණාරත්න අබේසේකර විසින් රචනා කළා කියලා. කරු එදා ඔහුගේ දුක මට කිව්වේ ඒ ගීතයෙන්. ඇත්තටම ඔහු කාරුණික උණු වෙන හදවතක් තියෙන මහත්මයෙක්. ඒ වගේමයි ඔහුගේ පවුලේ අයත් මට තමන්ගෙම පවුලේ කෙනෙකුට වගේම සෙනෙහසක් දැක්වූවා. අපේ ගෙදරින් විරුද්ධ වුණත් 1959 නොවැම්බර් 30 වැනිදා කොළඹ ගාලුමුවදොර හෝටලයේදී අපි විවාහ දිවියට එළැඹුණ.
නිවේදකයෙක්, ගීත රචකයෙක් යන චරිතවලින් බැහැරව ආදරණීය සැමියෙක්, පියෙක් ලෙස ඔබ ඔහු දකින්නේ?
අපි විවාහ වෙලා ගොඩක් කල් ගත වෙන තෙක් අපට දරු සුරතල් බලන්න බැරි වුණා. අපි දෙන්නම ඒ ගැන හරිම දුකෙන් හිටියේ. අවුරුදු 10 කට පස්සේ තමයි දිලීප පුතා අප අතරට ආවේ. ඒක හරිම සුවිශේෂ වෙන්නේ ඔහු ඉපදුණෙත් කරු ඉපදුන ජූනි 03 වැනිදාම තමයි. ඒ සතුටට තමයි ‘දිලීප පොඩි පුතු සමීපයට . . .’ කියන ගීතය ඔහුගෙන් ලියැවුණේ. ඇත්තටම කරු කියන්නේ හරිම සංවේදී නිතරම සතුටින් කාලය ගත කරන්න කැමැති කෙනෙක්.
පොඩි ළමයින්ට හරිම ආදරෙයි. එයා වැඩ ඇරිල එනකොට අහල පහළ ඉන්න පොඩි ළමයින්ට රස කැවිලි ගෙනත් දෙනවා. මට මතකයි ඒ දවස්වල කරු ඇවිත් වාහනේ නවත්වන කොට පොඩි ළමයි ඇවිත් කාර් එක වටකර ගන්නවා. වැඩ කරන තැනදි නම් අඩුපාඩු වුණොත් හරියට කේන්ති යනවලු. ගෙදරදි නම් අපි ඔහුට කේන්ති යන වැඩ කරන්නේ නැහැ. ගෙදර ඉන්න වෙලාවට පුතා දිලීප එක්කම තමයි කාලය ගත කළේ. ඔහුගේ පාසල් වැඩ සියල්ල හොයල බලන්නේ කරු විසින්මයි. කරු කෘත්‍රිම මල්වලට කැමතිම නැහැ. ගෙදර ලස්සනට තියන්න ස්වභාවික මල් නිතරම අරගෙන එනවා. ඇත්තටම ඔහු පොඩි ළමයෙක් වගේ. පැණිරස කෑම කන්න පුදුම ආසාවක් තිබුණේ. හැමදාම තේ වෙලාවට මම මොනවා හරි පැණිරස කෑමක් හදනවා.
එතකොට කරුණාරත්න අබේසේකර නමැති ගී පද රචකයා?
ඔහු ගීත රචනා කරන්න කාලයක් වෙන් කරලා තිබුණේ නැහැ. ගෙදරදි නම් බොහෝ වේලාවට හිතට එන අදහස් කිව්වම ලියන්නේ මම. මම නැති තැන්වලදී ඔහුම එය ලියනවා. සමහර දවසට පාන්දරම නැගිටල සිංදු ලියනවා. රෙකෝඩරයක් තියාගෙන සිංදු අහල ඒවට ගැළපෙන විදියට සිංහල පද ගළපලා මට කියනවා ලියන්න. චිත්‍රපට ගීත නම් බොහොමයක් ලිය වුණේ ගෙදරදි. එච්. ආර්. ජෝතිපාල, මිල්ටන් පෙරේරා, මොහිදින් බෙග්, මිල්ටන් මල්ලවාරච්චි ගීත ලියවා ගන්න නිතරම කරු හමු වෙන්න ආවා.
කරුණාරත්න අබේසේකර අතින් රචනා වූ බොහෝ ගීත අපට රිගින් ටෝන් හරහා අසන්නට ලැබෙනවා. දැන් කොපමණ ගීත සංඛ්‍යාවක් ඔහුගේ අතින් ලියැවෙන්න ඇති ද?
සංඛ්‍යාත්මකව නම් කියන්න අමාරුයි. පසුගිය කාලයේදී නම් විවිධ පුද්ගලයන් රිගින් ටෝන්වලට කියලා අපෙන් අවසර අරගෙන ගිහින් තියෙනවා. නමුත් එහි ගිවිසුම්වල සඳහන් වුණත් අදටත් අපට ගෙවීම් නම් කරලා නැහැ. අපිට සල්ලි වුවමනා නැහැ. නමුත් වංචා කරන්න හොඳ නැහැ. සමහරු ගීතවල අයිතිය පවා ඉල්ලාගෙන එන අවස්ථාත් තියෙනවා. කොපමණ සල්ලි දුන්නත් කරුගෙ ගීතවල අයිතිය නම් කවදාවත් විකුණන්නේ නැහැ.
අද වන විට ඔබ කාලය ගත කරන්නේ?
පින්දහම් කරමින් කාලය ගත කරනවා. කරු අපෙන් වෙන් වෙලා අවුරුදු තිහක් ගත වුණා කියලා හිතා ගන්නවත් බැහැ. ඔහු අකමැති දේ කිසිවක් අදටත් මම කරන්නේ නැහැ. අපේ පුතා දිලීප මේ වනවිට දැන්වීම් ප්‍රචාරණ ක්ෂේත්‍රයේ හරිම කාර්යබහුලයි. ඔහුත් තාත්තා වගේමයි. ගොඩක්ම නොවුණත් වෙලාව ලැබෙන ආකාරයට ගීත ලියනවා. ඒ වගේම කරුණාරත්න අබේසේකර පදනම හරහා අපි නොයෙකුත් පුණ්‍ය ක්‍රියා සිදු කරනවා. මේ සියලු දේ සමඟින් විවේකීව කාලය ගත කරනවා.
කරුණාරත්න අබේසේකර සූරින් අප අතරින් වියෝ වී 20 වැනිදාට තිස් වසරක් සපිරෙනවා. මේ නිමිත්තෙන් විශේෂ වූ පුණ්‍ය වැඩසටහන් එහෙම සංවිධානය කරලා ඇති?
කරු සිහිපත් කරලා අපි පින්කම මීට දින කිහිපයකට කලින් පැවැත්වූවා. ඔහු අපෙන් සමුගත් 20 වැනිදාට ඔහුට දෙවැනි සෙවණක් බඳු වූ ගුවන් විදුලියෙන් ධර්ම දේශනාවක් විකාශය කරන්නට සූදානම් කර තිබෙනවා. ඒ සියලුම පින් ඔහුට අත්වේවා කියා ප්‍රාර්ථනා කරනවා
READ MORE - ඇත්තටම ඒ කාලේ කරු ගැන මට තිබුණේ පිස්සුවක්!

ගැලරියේ පේ‍්‍රක්ෂකයෝ මට හූ කිව්වා

Tuesday, March 26, 2013


ගැලරියේ පේ‍්‍රක්ෂකයෝ මට හූ කිව්වා
2013 මාර්තු මස 11 14:52:45 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
‘‘ආදරයයි කරුණාවයි’’ චිත‍්‍රපටයේ මං රඟපෑවේ ප‍්‍රධාන චරිතය,  දෙවැනි චරිතය රඟපෑවේ ගාමිණී ෆොන්සේකා ඒ චිත‍්‍රපටයේ මගේ රඟපෑම කොච්චර  දුර්වලද කිව්වොත් ගැලරියේ පේ‍්‍රක්ෂකයෝ මගේ රඟපෑමට හූ  කිව්වා. මෙහි වරද  අධ්‍යක්ෂවරයා. ඔහු මාව හරියට මෙයෙවූවේ නැහැ. ඒක තමයි ඇත්ත කතාව. 

මෙහෙම කියන්නේ ‘‘ආදරයයි කරුණාවයි’’ චිත‍්‍රපටයේ  ප‍්‍රධාන චරිතය රඟපෑ  විජේරත්න වරකාගොඩ  නම්  සම්මානනීය රංගන ශිල්පියායි. 
දෙස් විදෙස් පදිංචි ශ්‍රී ලාංකිකයන් හොඳින් හඳුනන මුවන්පැලැස්සේ ‘‘කෝරලේ මහත්මයා’’ හෙවත් විජේරත්න  
වරකාගොඩ  ‘‘ආදරයයි කරුණාවයි’’ චිත‍්‍රපටය  පිළිබඳ  තොරතුරු  ‘‘මතක පොතට’’  කියන්නට  සිය මතකය අවදිකළේ මෙහෙමයි. 
මේ චිත‍්‍රපටය  තිරගත කෙරුණේ  1965 වසරේ අගෝස්තු  මාසේ 06 වැනිදා අධ්‍යක්ෂණය කළේ ප‍්‍රවීණ  චිත‍්‍රපට  නළුවෙකුව සිටි ආනන්ද  ජයරත්න කතාව  හා දෙබස් ජයතුංග ෆොන්සේකා, කැමරාව දයා  විමලවීර, සංගීතය ආචාර්ය ඩබ්ලිව්. ඞී. අමරදේව, ගීත  ගායනය කළා අමිතා  වැදිසිංහ, නිෂ්පාදනය කළේ පී.ඞී.එස්. ප‍්‍රනාන්දු. 
මා  සමඟ රඟපෑවා ගාමිණී ෆොන්සේකා, ක්ලැරිස් ද සිල්වා,  ආනන්ද  ජයරත්න, ජී.ටී. වික‍්‍රමසිංහ,  වික‍්‍රම  බෝ්ගොඩ, සීතා කුමාරි, අයිරාංගනී  පෙරේරා යන ශිල්පීන්.
මං රඟපෑවේ නීතිඥවරයෙකුගේ චරිතයක්, මගේ බිරිඳ හැටියට ක්ලැරිස් ද  සිල්වා රඟපෑවා. ඇය පාසල් ගුරුවරියක්. අපේ දියණියගේ චරිතය රඟපෑවේ අයිරාංගනී පෙරේරා. ගාමිණී  ෆොන්සේකා රඟපෑවේ අපේ පවුලේ හිතවතෙක් විදියට. ඔහු හමුදාවේ මේජර් කෙනෙක්. 
නීතිඥවරයා  ඉතාම කාර්යබහුලයි. මේ නිසා ගෙදර දොර අවශ්‍යතාවලට මේජර්වරයාගෙන් උදව්ගන්න සිදුවුණා. බිරිඳට  ගමන් බිමන් යන්න සිදුවුණෙත් ඔහු සමග. මේ හිතවත්කම  පසුකාලීනව නීතිඥවරයාගේ සැකයට තුඩුදෙනවා. මේ සැකය උග‍්‍ර අතට  හැරුණාම නීතිඥයා සිය බිරිඳ ගෙදරින් පන්නා ගන්නවා. අන්තිමට  දරුපවුලම නන්නත්තාරවෙලා  යනවා. කාලයක් ගතවෙනකොට  අහම්බෙන්  වගේ  නීතිඥයාට සිය  බිරිඳ  මුණගැහෙනවා. එම අවස්ථාවේදී  ඔහුගේ සැකය දුරුවී ගිහින් නැවතත්  ඒ පවුල  එක සෙවණකට එක්වෙනවා. මේ තමයි කතා  සාරාංශය. 
මේ  චිත‍්‍රපටයේ ප‍්‍රධාන  චරිතයට මාව තෝරාගන්නා විට රොබින් තම්පෝගේ  ‘‘සුහද දිවි පිදුම’’ චිත‍්‍රපටයේ නීතිඥයෙකුගේ චරිතයක් රඟපාලා තිබුණා. එතැනදී මට තිබුණේ විත්තිකරුවෙක්  වෙනුවෙන් උසාවියේ දේශනයක් කරන්න. ඒ හැරුණාම තම්පෝගේ ‘‘සුදු සඳේ කලූවලා’’  ‘‘සමාජේ අපි  ඔක්කොම සමානයි’’ ‘‘ගම්පෙරළිය’’ යන චිත‍්‍රපටවල  සුළු සුළු චරිත කරලා තිබුණා. අවංකව නිහතමානීව කියනවා නම් ආදරයයි කරුණාවයි  චිත‍්‍රපටයේ රඟපානකොට මං ආධුනික නළුවෙක්. 
 
රූපගතකිරීම් කළේ කොළඹ නගරයේමයි. ‘‘ආදරයයි කරුණාවයි’’ චිත‍්‍රපටය  ආනන්ද ජයරත්නගේ ප‍්‍රථම අධ්‍යක්ෂණය. මෙය දුර්වල නිර්මාණයක් වූ නිසාම එය ඔහුගේ අවසාන අධ්‍යක්ෂණයත් වුණා. 
ආනන්ද ජයරත්න ඉතාම දක්ෂ නළුවෙක්. ඒ වගේ නළුවෙක් ආයෙත් බිහිවන්නේත් නැහැ. එහි තර්කයක් නැහැ. නමුත් මේ චිත‍්‍රපටය ගැන ඇත්ත කතා කරනවා නම් ඔහුගේ අධ්‍යක්ෂණය අන්තිම දුර්වලයි. මට සමාවෙන්න ඔහුට අපහාස  කිරීමේ චේතනාවෙන්  නම් නෙවෙයි මං මෙහෙම කියන්නේ. ඔහු චිත‍්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමේ බැරෑරුම්කම දැනගෙන හිටියේ නැහැ.  සෙල්ලක්කාරයෙක් වගෙයි ඔහු අපිව මෙහෙයවූවේ.
එක උදාහරණයක් පෙන්වන්නේනම්, මිස්ටර් විජේරත්න අතන හිටගන්න. ඔන්න මං හිටගත්තා. බිත්තිය අල්ලගන්න. ඔන්න මං බිත්තිය අල්ල ගත්තා. එක පාරටම ආපහු  හැරෙන්න. දැන් අඩි තුනක් විතර  ඉස්සරහට  එන්න.  දැන් දොරෙන්  එළිය බලන්න. දැන් ක්ලැරිස් මිස්ටර්  විජේරත්න වරකාගොඩගේ ඉස්සරහට එන්න.  ඔන්න  ක්ලැරිස්  ආවා කියමුකෝ දැන් ක්ලැරිස්ගෙ බෙල්ලෙන්  අල්ලලා එළියට  තල්ලූ කරන්න. මෙන්න  මේ විදියට තමයි  අපිව මෙහෙයවුවේ. ඉතින් කොහොමද හැඟීමක්  එන්නේ.  ඒ දර්ශනයට අවශ්‍ය ‘‘මූඞ්’’  එක  ගන්නේ කොහොමද. මිස්ටර් ආනන්ද තව එකපාරක් ගනිමුද ඒ සීන් එක කියලා කිව්වම ඉංග‍්‍රීසියෙන් උත්තර දෙනවා නෝ....නෝ....  දැටිස්  ඕකේ කියලා. 
අවස්ථා කිහිපයකදීම මට තේරුණා මං නම් ඉවරෙටම ඉවරයි කියලා. ඉතින් දාලා යන්නත් බැහැ. ඒකත් මහා අපරාධයක් නිශ්පාදකයා අමාරුවේ.
හැබැයි රඟපෑමේ අත්දැකීම් තියෙන  ක්ලැරිස් සහ ගාමිණී  චරිත  හරියට කළා. මං ආධුනික බව ඇත්ත. ඒත් යම් විශ්වාසයක් ඇතුවනේ මාව ප‍්‍රධාන චරිතයට ගත්තේ. එහෙමනම් අධ්‍යක්ෂවරයා දැනගන්න  ඕනෑ  උවමනා  රංගනය මගෙන් හූරලා ගන්න. එහෙම උත්සාහයක් ආනන්ද ළඟ තිබුණේ නැහැ. මං  වාද කරන්න ගියෙත් නැහැ. කටපියාගෙනම හිටියා. මට මතකයි විජය කුමාරතුංග  ‘‘මරුවා සමග  වාසේ’’ චිත‍්‍රපටයේ රඟපාන කාලේ පත්තරයකට ප‍්‍රකාශයක් කරලා  තිබුණා අධ්‍යක්ෂ ටයිටස්  තොටවත්ත මහත්මයා තමන්ගෙ රඟපෑම හූරලා ගත්තා කියලා. අන්න ඒ වගේ මගේ  ශරීරය තුළ තිබුණු රඟපෑමේ කුසලතාව හූරලා ගන්න ආනන්ද සමත් වුණේ නැහැ කියන එකයි මං  කියන්නේ.  
 
චිත‍්‍රපටය තිරගතවුණාම මං බලන්න ගියා. මගේ රඟපෑම් දැකලා මටම මාව එපා වුණා. අනේ අපොයි කියලා හිතුණා. හොඳම   පේ‍්‍රක්‍ෂ්කයෝ ඉන්නේ ගැලරියේ. කියලා වැඩක් නැහැ. මං  පෙනීසිටිය හැම රූප රාමුවකටම ගැලරියෙන් ‘‘හූ’’ කිව්වා. හැබැයි මං වෘත්තීය නළුවෙක් වුණා නම් ඉවරෙටම ඉවරයි. එහෙනම් ජීවත්වෙන්න  විදියක් නැතුව නන්නත්තාර වෙනවා සිකුරුයි. හොඳ  වෙලාවට මං රස්සාවක් කළේ.  මුලදී  පොලිස්  පරීක්ෂකවරයෙක්ව ඉඳලා පස්සෙ ලංකා වානේ සංස්ථාවේ ප‍්‍රධාන ආරක්ෂක නිලධාරී විදියට රැකියාව කළේ. 
‘‘ආදරයයි කරුණාවයි’’  චිත‍්‍රපටයට මාව ගත්තේ ගිවිසුමක් අනුව නෙවෙයි. මට කිසිම ගෙවීමක් කළේ නැහැ. මං ඉල්ලූවෙත් නැහැ. එච්චරයි. 

ගුවන් විදුලි නාට්‍ය ශිල්පියෙක් විදියට හපන්කම් පෙන්නපු මට රඟපාන්නත් පුළුවන් කියලා පෙන්වන්න ලොකු උවමනාවක් ඇති වුණා. ඊට  පස්සෙ ඒ බලාපොරොත්තුව හරියට හරි ගියා. හොඳ වෙලාවට ලෙස්ටර් මහත්මයාගේ ‘‘ගම්පෙරළිය’’ චිත‍්‍රපටයේ අවස්ථාවක් ලැබුණා. එක  දෙබසක්වත් තිබුණේ නැහැ. ඊට පස්සෙ එතුමාගේ ‘‘ගොළු හදවත’’ චිත‍්‍රපටයේ මතක හිටින චරිතයක් කළා. ශ‍්‍රියානි අමරසේන සහ වික‍්‍රම බෝගොඩ සමග ඊට පස්සේ ‘‘දෙලොවක් අතර’’  සහ ‘‘නිධානය’’.
මෙන්න මේ ටිකත් කියන්න  ඕනෑ. ‘‘ආදරයයි කරුණාවයි’’  චිත‍්‍රපටයෙන් පසුව මං අමරනාත්  ජයතිලකගේ ‘‘අරුණට පෙර’’ චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය රඟපෑවා. ඒ වසරේ හොඳම නළුවාට  පිදෙන  ජනාධිපති සම්මානයත්   ඕ.සී.අයි.සී සම්මානයත් ලබාගන්න  මට හැකියාව ලැබුණා. 

අමරදාස සිල්වා




READ MORE - ගැලරියේ පේ‍්‍රක්ෂකයෝ මට හූ කිව්වා

සුජාතා අත්තනායක නූර්ති ගීයට පෙම්බඳී


සුජාතා අත්තනායක නූර්ති ගීයට පෙම්බඳී
2013 මාර්තු මස 11 15:48:09 | ලංකාදීප කර්තෘ මණ්ඩලය


මරදාන ටවර් රඟහලෙහි වෙස්සන්තර නාටකය වේදිකා ගත වෙමින් තිබිණි. එක් ජවනිකාවක් අවසන්ව තවත් ජවනිකාවක් සඳහා වෙනත් නළු නිළියන් වේදිකාවට පිවිසි අතරවාරයේ විමලා නම් නිළිය වහාම වේදිකාවේ පසුපසට දිව ගියාය. එතැන කුඩා බිළිඳියක දෝතින් ගත් කාන්තාවක පුටුවක වාඩි වී ඒ බිළිඳිය නලවමින් සිටියාය. එහෙත් ඒ පුංචි එකී සිටියේ බඩගින්නේය. පුංචි කට අරිමින් ඈනුම් පිටකරමිනි.

මගේ දෝනිට බඩගිනිද පුතේ...”
නිළිය වහාම අර බිළිඳිය දෝතින් ගෙන ඇයට කිරි පොවන්නට පටන් ගත්තාය. විනාඩි පහක් පමණ තිස්සෙ බිළිඳිය මවගේ ලැමදෙන් කිරි උරා බිව්වාය. ඇයට තවත් බඩගිනිය. තවත් කිරි අවශ්‍යය. අම්මා අනෙක් පියවුර බිළිඳියගේ දෙතොල් අතර තබන්නට සැරසුනා පමණි.
”ඊළඟ සීන් එකට වෙලාව හරි...”
නිළිය වෙත ආ නාට්‍යයේ නිෂ්පාදක කීවේය.
මං ගිහින් එන්නන් දෝණි. කී විමලා බිළිඳිය කාන්තාව අත තබා ආපසු වේදිකාවට ගියාය.
විමලා සමග රඟපෑවේ රොම්ලස්ද සිල්වා නම් නළුවෙකි. ඔහුට සහෝදර නිළියගේ හැට්ටයේ බොත්තම ගැලවී ඇති බව පෙනිණි.
හැට්ටෙ බොත්තම... හැට්ටෙ බොත්තම
ඔහු රහසින් මෙන් නිළියට කීවේය. එහෙත් චරිතයට සම වැදී සිටි නිළියට රොම්ලස් රහසින් සහ අභිනයෙන් කී දේ තේරුණේ නැත.

 
සුජාතා හා රංජනී..
ඇය තවමත් රඟපාන්නේ හැට්ටෙ උඩ බොත්තම නැතිවය.
හැට්ටෙ ඇරිලා.
රොම්ලස් එවර ටිකක් සද්දයට කීවේය.
විමලා වහාම පසෙකට හැරී හැට්ටයේ බොත්තම පියවා ගත්තාය.
ඒ විමලා කාන්තා වූ කලී එවකට ටවර් නාට්‍ය කණ්ඩායමේ සිටි ප‍්‍රවීණ ශිල්පිණියකි. රැඟුමට මෙන්ම ගැයුමට ද හපනියකි. එදා ටවර් රඟහලේ පසු පස දොරකඩට වී ඇනුම් ඇර ඇර සිටි බිළිඳිය සුජාතාය. එදා සුජාතා පෙරේරා වූවත් පසු කලෙක සුජාතා අත්තනායක ලෙසින් ජනප‍්‍රිය ශිල්පිනියක බවට පත් වූ ගායිකාවය.
දැන් ඒ සුජාතා අත්තනායක මා ඉදිරිපිටය. නුගේගොඩ විමලවත්ත පාරේ පිහිටි ඇගේ සොඳුරු කැදැල්ලේ විසිත්ත කාමරයෙහි මම වාඩිවී සිටිමි.
ඇයට ලැබුණු විවිධ සම්මාන රාශියක් පසෙක ඇති මේසයක් මතය.”
”ඒ සියල්ල නිහඬව කියා පාන්නේ සුජාතාවගේ දක්ෂකමය.”
”මේ තියෙන්නේ සුජාතා කළ පොත”
සුජාතාගේ ආදරණීය සැමියා නවරත්න මාහට පොතක් ගෙනවිත් දෙයි. ටවර්හෝල් නූර්ති ගී නම් වූ එම පොත මම අතට ගතිමි. එහි කතුවරිය සුජාතා අත්තනායකය.
සුජාතා අත්තනායක ගැන අප දැන සිටියේ දිවයිනේ අග‍්‍රගණ්‍ය ගායන ශිල්පිණියක ලෙසිනි. ඇගේ මාධූර්යවත් හඬ තවමත් අපේ මතකයෙන් ගිලිහී ගොස් නැත. ”පුතුනේ මේ අහගන්න පුතුනේ, සඳ බැස නෑ වෙසක් සඳ, සාධු දන්ත දා, මල් සරාට පේ‍්‍රම ලෝකෙ මාළිගා තනා, ඇතුළු ගීත සිය දහස් ගණනක් පිළිබඳ මියුරු මතකය හිතේ අවදිවෙයි.
එහෙත් ඒ ගැන නොඅසමි.
ඔය දවස්වල කොහෙද පදිංචි වෙලා හිටියෙ.
මම සුජාතාගේ බාල කාලය ගැනම අසමි.
‘‘කැලණියෙ වෙදමුල්ලෙ
ඔය කාලෙ ටවර් රඟහලේ නාට්‍ය තිබුණෙ සති අන්තයෙද?
”නෑ සතියෙ දවස්ලත් තිබුණ. ටවර් රඟහලේ විතරක් නෙමේ. ටවර් හෝල් නාට්‍ය අරගෙන අම්මලා රට වටේමත් ගියා...”
මේ වනවිට සුජාතාගේ අක්කා ප්ලොරිදේවි ද ටවර් හෝල් කණ්ඩායමේ නාට්‍ය ශිල්පිනියකි. මේ නිසා පුංචි සුජාතාටද රංගනය ගායනය සහ නර්තනය යනු අමුතු දේවල් නොවේ. ටවර් රඟහලේ දකින නාට්‍යය ගෙදර ඇවිත් රඟපාන්නටත් හින්දි චිත‍්‍රපටියක් බලා ඇවිත් එහි ගීතය ගයමින් නටන්නටත් සුජාතාට උපන් හපන්කම් තිබිණි.
”ප්ලෝරිදේවි අක්කා මට වැඩියෙ අවුරුදු දොළහකින් වැඩිමල්.” සුජාතා කියයි.
අක්කටත් හොඳට නටන්න පුළුවනි. ඒ ආභාෂය මටත් තිබුණා. ඒ හින්ද පුංචි කාලෙදිම මමත් නැටුම් පන්තියකට ගියා. ශාන්ති කුමාර් තමා මගේ ගුරුවරයා. එයාගෙ පංතියෙ මගෙත් එක් ඒ කාලේ ඉගෙන ගත්තු හුඟාක් අය පස්සේ කාලෙදි හුඟාක් ජනප‍්‍රිය වුණු ශිල්පීන් බවට පත් වුණා. ශ්‍රීමතී රසාදරී, කාන්ති ලංකා, ගීත බාලි වගේ අය ඒ පංතියෙ ඉගෙන ගත්තා
ඉතින් අම්මයි අක්කයි වගේ ඔබත් ටවර්හෝල් නාට්‍යවල රඟපෑවද!
මම සුජාතාට තවමත් ටවර් ශාලාව තුළම රඳවා තබාගනිමින් ඇසුවෙමි.
ඔව්, මං ටවර් හෝල් නාට්‍යයක රඟපානකොට මගේ වයස අවුරුදු නමයයි.
‘මතකද ඒ නාට්‍යයෙ නම?
විදුර නාඩගම, මම කළේ ඒකෙ ළමා චරිතයක්.
වයස අවුරුදු නමයේදී නාට්‍යයක රඟපෑ පුංචි සුජාතා ඊට වසර දෙකකට පසුව ගීතයක් ගායනා කරමින් ගායිකාවක බවටද පත් වූවාය. ඇය මුලින්ම ගැයූ ගීතය සාධු දන්ත දා නම් වූ බොදු බැති ගීතයකි.
 
”ඒ ගීතය ගුවන් විදුලි තැටියකටත් නැගුණා. තැටිගත වුණු මගේ පළමුවැනි ගීතය ඒක”
මේ ගීතය ඇසූ චිත‍්‍රපට නිෂ්පාදකවරු සුජාතාගේ කටහඬෙහි අපූර්වත්වය දැනිණි.
ඔවුහු සුජාතා ලවා චිත‍්‍රපටවලට පසුබිම් ගීත ගායනා කරවා ගත්හ.
මම මුලින්ම ගීත ගයපු චිත‍්‍රපටිය සොහොයුරෝ. සුරතල් මගේ පොඩි මුව පැටියා කියන ගීතය. මේ ගීතයට රඟපෑවේ ලීනා ද සිල්වා.
පුංචි සුජාතා ඒ අයුරින් ඇරඹූ කලා ගමනේ ඉදිරිය බොහෝ අලංකාර විය. ඇය කථක් වැනි ශාස්ත‍්‍රීය නැටුම් සම්ප‍්‍රදායක්ද උගත්තාය. නර්තනය, ගායනය, වාදනය, යන සෑම අංගයක්ම සුජාතාට අතැඹුලක් වැනිය. සිංහල, හින්දි දෙමළ මෙන්ම බෙංගාලි ගී ද  ඕනෑම එකක් නිවැරැදි ශ‍්‍රැතියට ගැයීමේ දුර්ලභ හැකියාව මේ ශිල්පිනිය සතුය. ඇය ඉදිරිපත් කළ ඇසි මිහිර ප‍්‍රසංගත් ඉන්දියාවේ නාග්පූර් නුවර දී ඉදිරිපත් කළ සුජාතා ස්වර සංගීත් ප‍්‍රසංගවලදීත් ඇය විවිධ භාෂාවලින් ගී ගැයුවාය. මේ මොන බසකින් ගැයුවත් ඒ ගී වෙන කාගේවත් ගී නොවීමද විශේෂත්වයකි.
මේ තරම් හපන්කම් කළ සුජාතා අත්තනායක වෘත්තියෙන් අධ්‍යාපනයට සම්බන්ධය. ඇය අධ්‍යාපන අධ්‍යක්ෂිකාවක ලෙස මහඟු සේවයක් සංගීතය වෙනුවෙන් ඉටුකර තිබේ.
”ඔය කාලෙ මට තේරුණා පැරැණි නූර්ති ගී කිසිවක් නිවැරදි නැති බව. හුඟාක් දුර්ලභ නූර්ති ගීත් තිබුණා. මේවා වැළලී යාමට ළංවෙලයි තිබුණෙ. ඒ නිසා මේවා සංරක්ෂණය කිරීමේ වැදගත්කම මට තේරුණා. මම අසූගණන්වල අම්මත් එක්ක එකතුවෙලා මේ නූර්ති ගී  පිටපත් කරන්න පටන් ගත්තා. අම්මා ළඟට ගිහින් සර්පිනාවෙන් මේ නූර්ති ගී වාදනය කළා. අම්මා ඒවා ගායනා කළා. මම අදාළ ස්වර ලියාගෙන ස්වර ප‍්‍රස්තාර හැදුවා. ඔය විදිහට එක්රැස් කළ ගීත දෙසීයක් විතරම තියෙනවා. එයින් කොටසක් තමයි මේ විදියට පොතක් බවට පත් කෙරුණේ.” 
අසූ ගණන්වල ආරම්භ කළ කටයුත්තක් අවසන් කිරීමට මේ තරම් කාලයක් ගත වූයේ කෙසේදැයි මට ප‍්‍රශ්නයකි.
”මගේ අම්මා 1993 දී නැතිවුණා. ඔය අතරෙ අපි අවුරුදු විස්සක් විතරම හිටියෙ ඇමරිකාවෙ. මේ වෙද්දි හැම දෙයක්ම එපා වෙලා මං හිටියෙ. හේතුව වුණේ මගේ පුතාගෙ වියෝගය. මේනිසයි මේ පොත එළියට ඒම මේ තරම් ප‍්‍රමාද වුණේ.
කෙසේ හෝ වේවා සුජාතාගේ නූර්ති ගී පොත ඉකුත් ජනවාරි 28 වැනිදා ටවර්හෝල් පදනමේදී දොරට වැඩියේය. ටවර් හෝල් රඟහල පදනමේ සභාපති ප‍්‍රමුඛ කලාකරුවන් ඉදිරිපිට කෙරුණු මේ උළෙලේදී නූර්ති ගී ප‍්‍රසංගයක්ද පැවැත්විණි.
මේ ප‍්‍රසංගයේදී නූර්ති ගී ගායනා කළේ මගේ පවුලෙ අය. නංගි රංජනී, මල්ලි සුසිල්, හේලි අත්තනායක, සංදේශ් තිසෙත් ඉන්දික කියන මගේ මුණුබුරු බිරියන්. ඒ වගේම අනෝජා වීරසිංහයි ජගත් වික‍්‍රමසිංහයි එදා නූර්ති ගී ගායනා කළා.”
සුජාතා අත්තනායක මට එසේ කියා ගිටාරය වයන්නට පටන් ගත්තාය. තාමත් ඇගේ සංගීත වාදන අතිශයින් මිහිරිය.
”මම මගේ ප‍්‍රසංගවලදීත් සිතාරයත් පියානෝවත් වාදනය කරනවා.” ඇය කීවාය.
ඇගේ අතැඟිලි තුඩුවලින් පිරිමැදෙන සිතාරයේ තත් අතරින් මතු වූ මියුරු හඬ හැරදා නික්ම යන්නට අපහසු තරම්ය. එහෙත් යා යුතුය.


සටහන - ශාන්ත කුමාර විතාන 

ඡායාරූප හා ඡායාරූප පිටපත් කිරීම - පුෂ්පා වීරසේකර 


සුජාතා අම්මා සමග....

සුජාතා ප්ලෝරිදේවි සහ ලලිත්.

READ MORE - සුජාතා අත්තනායක නූර්ති ගීයට පෙම්බඳී

ක්ලැරන්ස්ගේ මරණයෙන් පස්සේ මං පෙට්ටගම් ඇවිස්සුවේ නැහැ

Sunday, March 24, 2013


ක්ලැරන්ස්ගේ මරණයෙන් පස්සේ මං පෙට්ටගම් ඇවිස්සුවේ නැහැ

රජීව් සෙබැස්ටියන් ගෙන් ක්ලැරන්ස් උපහාර ප්‍රසංගයක්
ශ්‍රීලාංකේය සංගීත ඉතිහාසයේ නොමැකෙන මතක සටහනක් ලෙස ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ නාමය හැඳින්විය හැකි ය. ඔහු අප අතරින් සදහටම සමුගෙන පුරා වසර ගණනාවක් ගත වුණත් තවමත් ඔහු අප අතර ජීවමාන වනුයේ නිර්මාණ ලෝකයට ඔහු විසින් දායාද කරන ලද අපූර්ව නිර්මාණ ගොන්න නිසාවෙනි. ගායකයෙකු වශයෙන් පමණක් නොව ගී තනු නිර්මාණ ශිල්පියකු වශයෙන් ද සිය නිර්මාණ භාවිතයේ අමුතු ඉසව් සොයා ගිය ඔහු වැන්නකු අදටත් අපට අමතක කළ නොහැකි ය.
ඔහු පිළිබඳ වූ මේ සටහන තබන්නට සුවිශේෂී වූ හේතුකාරණාව වන්නේ ඔහු වෙනුවෙන් පිදෙන උපහාර ප්‍රසංගයක් වෙනුවෙනි. ක්ලැරන්ස් විජේවර්ධනයන්ට ආදරය කරන, ගෞරව කරන ඔහුගේ ඇසුරින් සංගීත ලෝකයේ විසල් මංපෙත් විනිවිද දකින්නට ශක්තිය හිමිකර ගනිමින් සංගීත ලෝකයේ දිගු ගමනක නිරත වෙන රජීව් සෙබැස්ටියන් මේ ප්‍රසංගයේ මූලිකයා ය.
එළඹෙන 31 වැනි ඉරිදා රාත්‍රි 7.00 ට කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී දිගහැරෙන ‘The unforgetable story of sinhala pop’ (අමතක කළ නොහැකි සිංහල පොප් වංශ කතාව) නම් වූ අසිරිමත් ප්‍රසංගය ක්ලැරන්ස් වෙනුවෙන් පිදෙන අති ගෞරවනීය උපහාර ප්‍රසංගයකි.
“මීට අවුරුදු දොළහකට ඉස්සර කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ ‘tribute to clarence’ නමින් මම ක්ලැරන්ස් වෙනුවෙන් උපහාර ප්‍රසංගයක් පැවැත්වූවා. ඊට පස්සේ ඇනස්ලි මාලේවන ‘සුපර් ගෝල්ඩන් චයිම්ස් රී යුනියන්’ නමින් තවත් වටිනා ප්‍රසංගයක් කළා.
මේ හැම දේකදීම අපේ රටේ රසික ජනතාව ඉතාමත් ම ප්‍රබෝධයට පත්වුණා. නමුත් පසුකාලීනව ඇනස්ලිට, මට, ඉන්ද්‍රානිට, අනිල්ට, ප්‍රියාට මේවායින් ඈත් වෙන්න සිද්ධ වුණා.
කොටින්ම කිවුවොත් එයින් අපිව ඈත් කළා. ඒකට හේතුව වුණේ හැට පැනපු තට්ටේ පෑදිච්ච නාකින්ට තොප්පි දාගෙන ක්ලැරන්ස්ගේ ගීත ගායනා කරන්න ආසාවක් ඇතිවුණ නිසා. ඒ නිසා අවුරුදු දොළහකින් ක්ලැරන්ස්ට උපහාරයක් කරන්න අපට බැරිවුණා.
ඔය අතරෙදි තමයි මට දැනගන්න ලැබුණේ ක්ලැරන්ස් නිර්මාණය කරන ලද ගීත 30 ක් සම්පූර්ණ අයිතිය එම්. එන්ටර්ටේන්ට්මන්ට් ආයතනයට විකුණා තිබෙන බව. මේක කරලා තිබෙන්නේ ක්ලැරන්ස්ගේ බුද්ධිමය දේපළ පරිහරණය කරන අය. එම්. එන්ටර්ටේන්ට්මන්ට් ආයතනය කැමැත්ත පළ කළා ඒ ගීතවලින් ප්‍රසංගයක් පවත්වන්න.
ක්ලැරන්ස් ගේ ගීත ගායනා කරලා මගේ ප්‍රතිරූපය හදාගන්නවත්, ජනප්‍රිය වෙන්නවත් මට කොහෙත් ම උවමනාවක් නෑ. පොප් සංගීතය ව්‍යාප්ත කරලීම සඳහා දායක වුණු මුල් හඬවල් එකතු කරගෙනයි මේ ප්‍රසංගය කරන්නේ. ඇනස්ලි මාලේවන, ඉන්ද්‍රානි පෙරේරා, අනිල් භාරතී, ශ්‍යාමි ෆොන්සේකා, ටී.එම්. ජයරත්න, ප්‍රියා සූරියසේන, නීලා වික්‍රමසිංහ, ජැක්සන් ඇන්තනී, මරියසෙල් ගුණතිලක, නිහාල් නෙල්සන්, ලතා වල්පොල, දමයන්ති ජයසූරිය, ගීත ගායනයට එක් වෙනවා. ඒ වගේ ම මේ ප්‍රසංගය වෙනුවෙන් ඒ.ඊ. මනෝහරන් ඉන්දියාවේ සිට ලංකාවට පැමිණෙනවා.
මේ ප්‍රසංගයත් සමඟ  pop සංගීතය moonstone වල සිට super golden chimes  දක්වාත්, ඉන්පසු චිත්‍රපට සංගීතය දක්වාත් චිත්‍රකතා චරිත ඇසුරින් නිර්මාණය වූ ගීත දක්වාත් ටෙලිනාට්‍ය සඳහා නිර්මාණය වූ ගීත දක්වාත් ව්‍යාප්ත වූ සැටි පෙන්නුම් කෙරෙනවා. බොහෝ අය නොදන්නා සත්‍යය ලොවට හෙළි පෙහෙළි කරන පොප් නිර්මාණ මෙයට ඇතුළත් වෙනවා. මේ ප්‍රසංගයේ සංගීතය ‘රජීව් ඇන්ඩ් ද ක්ලෑන්’ සංගීත කණ්ඩායමෙන්, ගයනි කරුණාරත්න ප්‍රමුඛ ගයනි’ස් ඩාන්ස් ස්ටුඩියෝ නර්තන නිර්මාණයෙන් ද විජය කොරයා කථනයෙන් ද දායක වෙනවා. ගීත තිහකට අධික ප්‍රමාණයක් මෙහිදී ගැයෙනවා.
“පොප් සංගීතය සමඟ Box guitarසංස්කෘතිය තමයි මුලින් ශ්‍රී ලංකාවේ තිබුණේ. ඒකට සීමාවෙලා තිබුණු  pop සංගීතය  electric guitarසංස්කෘතියට රැගෙන ආවේ ක්ලැරන්ස්. නමුත් මේ වනවිට ඒ ඉතිහාසය විවිධාකාරයෙන් විකෘති වීමට සහ සත්‍ය වැළලී යන ආකාරයක් දකින්නට ලැබෙනවා.
ඊට හේතුව බොහෝ අය පෙට්ටගම් අවුස්සන්න ගත්තේ ක්ලැරන්ස් ගේ මරණයෙන් පස්සෙයි. නමුත් අපි නම් පුංචි කාලේ ඉඳලම ‘තැටි’ කැසට් පට, සංයුක්ත තැටි බොහෝ ම ආදරෙන් එකතු කළා. ඒ වගේ ම ඔහු ඇසුරු කරන්න ලැබීම මහත් වාසනාවක්. ගෞරවයක් ලෙසට සලකනවා.
මේ ප්‍රසංගයේ පරමාර්ථය මුදල් හම්බ කිරීම නම් නෙළුම් පොකුණ වගේ මිල අධික රංග ශාලාවක පවත්වන්නේ නෑනේ. මේ සා විශාල ශිල්පීන් පිරිසක් එකතු කරගන්නෙත් නෑ. මේ හැමෝම ක්ලැරන්ස් ගේ ගී තනු ගායනා කළ අය. එහෙමත් නැතිනම් ඔහුත් සමඟ යුග ගී ගැයූ අය. 70 දශකයට පෙම් බඳින අය අදටත් මේ මුල් නිර්මාණවලට දායක වුණු හඩවල්වලට ආදරෙයි. ඒ වෙනුවෙනුයි මේ ප්‍රසංගය කරන්නේ.

Silumina
READ MORE - ක්ලැරන්ස්ගේ මරණයෙන් පස්සේ මං පෙට්ටගම් ඇවිස්සුවේ නැහැ

අල්හාජ් මොහිදීන් බෙග්ට ‘සොමි සඳ එකමුතුවෙන්’ සම්මානයක්


අල්හාජ් මොහිදීන් බෙග්ට ‘සොමි සඳ එකමුතුවෙන්’ සම්මානයක්

- පුත් ඉල්ලියාස් බෙග්
තාත්තට කුවේට් රාජ්‍යයේදී සම්මානය දුන්නේ බුද්ධං සරණං ගච්ඡාමි සිංදුව ගැයුවටයි.
බුද්ධං සරණං ගච්ඡාමි
ධම්මං සරණං ගච්ඡාමි
සංඝං සරණං ගච්ඡාමි
ඔබෙ රාගී මන කැලඹේදෝ
ක්ලේෂය ඕගේ නෑවේදෝ
ඔබෙ රාගී මන කැලඹේදෝ
පිවිතුරු හදවත පෑරේදෝ
එවිටම පවසනු මුවින් ඔබේ
බුද්ධං සරණං ගච්ඡාමි . . .
අල්හාජ් මොහිදින් බෙග් ගායනා කළ මෙම ගීතය ඔබ අප කොයි කවුරු අතරත් අදටත් ජනප්‍රියයි. බෙග් මාස්ටර් අද අප අතර නැතත් මේ ගීතය ඒ අයුරින්ම අප සවනට ළං වෙනවා. ඒ එතුමාගේ පුතුන් දෙදෙනා වන ඉල්ලියාස් බෙග් සහ ඉෂාක් බෙග් ගේ හඬින්. මේ ගීතය බෞද්ධ ගීයක් වුණාට ගායනා කළ බෙග් මාස්ටර් ඉස්ලාම් භක්තිකයෙක්.
ඔහු විසින් ගායනා කළ ගීත බොහොමයක්ම බෞද්ධ ගීත. ඒ නිසාම මේ ගීය අනෙකුත් ගීත අතර සුවිශේෂ වීමට හේතු වෙන්නත් ඇති. බෙග් මාස්ටර් අප අතරින් සමු අරගෙන බොහෝ කල් ගත වුණත් පසුගිය දිනෙක මේ ගීය ගායනා කිරීම වෙනුවෙන් එතුමාගේ නම සම්මානයට පාත්‍ර වුණා.
ඒ කුවේට් රාජ්‍යයේදී. එදා තම ආදරණීය පියාණන් වෙනුවෙන් ඒ සම්මානය පිළිගත්තේ එතුමාගේ වැඩිමල් පුතු වූ ඉල්ලියාස් බෙග් සහ දියණිය මොහීනා බෙග් විසින්. සම්මානය රැගෙන මෙරටට පැමිණි ඉල්ලියාස් බෙග් එම සම්මානනීය අවස්ථාව පිළිබඳ සරසවියට සිය අදහස් දැක් වූවා.
‘මේ වසරේ ජනවාරි 26 වැනිදා කුවේට් රාජ්‍යයේ බෝයිස් ස්කවුට් රඟහලේදී තමයි මේ සම්මානය පිරිනැමුණේ. කුවේට්හි වෙසෙන සියලු ආගම් නියෝජනය කරන ශ්‍රී ලාංකික පිරිසකින් සැදි ‘සොමි සඳ එකමුතුව’ විසින් තමයි එය සංවිධානය කරලා තිබුණේ. අපේ තාත්තා විසින් ‘බුද්ධං සරණං ගච්ඡාමි’ ගීතය ගායනා කිරීම වෙනුවෙන් සම්මානය පිරිනැමීමට මට ආරාධනා ලැබුණා.
මමයි නංගියි තමයි ඒ අවස්ථාවට සහභාගි වුණේ. තාත්තා ජීවතුන් අතර සිටියදි මෙවැනි දෙයක් කිරීමට නොහැකි වීම පිළිබඳ ඔවුන් සිය කණගාටුව පළ කළා. එහිදී බෙග් මාස්ටර්ගේ ගීත ඇතුළත් සංගීත ප්‍රසංගයක් පැවැත්වුණා. ඇත්තටම මේ අවස්ථාව ගැන ගොඩක්ම සතුටුයි. මමත් හරිම ආසයි බෞද්ධ ගී ගායනයට. අපි අලුත් ගීත නිර්මාණය කළත් රසික ජනතාවගේ වැඩි මනාපය තියෙන්නේ බෙග් මාස්ටර්ගේ ගීතවලට. ඒ තරමටම ඔවුන් ඒ ගීතවලට ලෙංගතුයි.
READ MORE - අල්හාජ් මොහිදීන් බෙග්ට ‘සොමි සඳ එකමුතුවෙන්’ සම්මානයක්

නිහඬව නික්‌ම ගිය සුන්දර මිනිසා ඊබට්‌ විඡේසිංහ

Tuesday, February 5, 2013


නිහඬව නික්‌ම ගිය සුන්දර මිනිසා ඊබට්‌ විඡේසිංහ

සංජීව මතඟවීර - නෝනාගම


සුවහසක්‌ සහෘද කලාකරුවන්ගේ, සිනමා ලෝලීන්ගේ හා ඥති හිතවතුන්ගේ සෝ සුසුම් මැද ප්‍රවීණ හා සම්මානනීය වේෂ නිරූපණ ශිල්පී ඊබට්‌ විඡේසිංහයන් ඊයේ දැයෙන් සමුගත්තේය.

සැත්තෑ එක්‌ වසක තම ජීවන ගමනේ පනස්‌ එක්‌ වසක්‌ම ඊබට්‌ විඡේසිංහ සිනමාව හැඩ කිරීමට තම දායකත්වය ලබා දුන්නේය.


මහනුවර පාතදුම්බර කොස්‌ගම සුන්දර ගම් පියසෙහි විසූ අරුනෝලිස්‌ විඡේසිංහ හා ඇලන් ජයවර්ධන යුවළගේ දරුවන් නම දෙනා අතරින් සිව්වැන්නා ලෙස උපත ලැබූ ඊබට්‌ විඡේසිංහ, පාසල් දිවිය තුළම සිය කලා හැකියාවන් පෙන්නුම් කළේය. පාසල් වේදිකාවේ සිය රංගන හැකියාව විදහා දැක්‌වූ ඔහුගේ ඊළඟ අභිප්‍රාය වූයේ ලංකාවේ ප්‍රකට රංගන ශිල්පියකු වීමටය. ඒ සිහින සඵල කර ගන්නට ඔහු සිය සොහොයුරු වන රංගන ශිල්පී එඩ්මන් විඡේසිංහයන් සමඟින් කොළඹට ආවේය. නමුත් ඔහුගේ දෛවය වෙනස්‌ කරන්නට ඒ කොළඹ ගමන සමත් වූයේය.

ආතර් සී. ක්‌ලාක්‌, තිස්‌ස ලියනසූරිය, ශේෂා පලිහක්‌කාර වැනි ප්‍රවීණයන් අතර වන් ඊබට්‌ සෙරන්ඩිබ් සිනමා ආයතනයෙහි සහාය කලා අධ්‍යක්‍ෂවරයකු කාර්මික ශිල්පියකු, සහාය වේෂ නිරූපණ ශිල්පියකු ලෙස තම සිනමා ගමන ආරම්භ කළේය. එහෙත් විඡේසිංහයන්ගේ රංගන සිහිනය යටපත් කරන්නට ඔහුට නොහැකි විය.

"පුතා.... රංගනය නොව දැතේ රැකියාවක්‌ ඉගෙන ගැනීම ඔයාගේ අනාගතයට සුදුසුයි..." වේශ නිරූපණ ශිල්පී ශේෂා පලිහක්‌කාර මහතා දුන් ඔවදන පිළිගත් විඡේසිංහ ඔහු යටතේ සහාය වේෂ නිරූපණ ශිල්පියකු ලෙස චිත්‍රපට ගණනාවකම කටයුතු කළේය. තිස්‌ස ලියනසූරිය විසින් අධ්‍යක්‍ෂණය කරන ලද "සාරවිට" සිනමා කෘතියේ ප්‍රධාන වේෂ නිරූපණ ශිල්පියා ලෙස කටයුතු කිරීමට ලද වරම ප්‍රයෝජනයට ගත් ඊබට්‌ තම රංගන සිහිනය යටපත්කර ගනිමින් වේෂ නිරූපණ ශිල්පියකු ලෙස තම සිනමා ගමනට ප්‍රවිශ්ඨ විය.

ජෝ අබේවික්‍රමයන් වෙස්‌ ගන්වමින් ඇරැඹුණු එම ගමන හුලවාලි, දැස නිසා, සිරිබෝ අයියා, බඹරු ඇවිත්, අපේක්‍ෂා, අහසින් පොළවට, සිකුරුලියා, ගඟ අද්දර, බද්දේගම, සරුංගලේ, නොමියන මිනිසුන්, සිසිල ගිනිගනී, පවුරු වළලු, පුරහද කළුවර, කෙළිමඬල, ආදී එදා සිට අද දක්‌වා තිරගතවූ චිත්‍රපට විශාල සංඛ්‍යාවකට දායක වූ නළු නිළියන් රැසක්‌ වෙස්‌ ගන්වන්නට ඔහුට හැකිවිය. ඔහු අතින් වෙස්‌ ගැන්වුණු රංගන ශිල්පියකු නොමැත්තේනම් ඒ අතළොස්‌සක්‌ පමණකි. මේ අතරතුර ඇතැම් සිනමා හා ටෙලි නාට්‍ය හරහා තම සිහිනය වූ රංගනය සැබෑ කර ගන්නටද ඊබට්‌ ට හැකියාව ලැබිණි.

සාරවිටින් ඇරැඹුණු ඊබට්‌ගේ ගමන මෑතකදී නිර්මාණය කෙරුණු සුමිත්‍රා පීරිස්‌ අධ්‍යක්‍ෂණය කළ "වෛශ්‍යාමනී" චිත්‍රපටය දක්‌වා විහිදිනි.

තම අත්හදා බැලීම්, නව සොයා ගැනීම්, පොතපත හා සිය දක්‍ෂතාවය ඔස්‌සේ ශ්‍රී ලංකාවේ වේෂ නිරූපණ කලාව දිනෙන් දින නවමු මාවතකට ගෙන එන්නට ඊබට්‌ විඡේසිංහයන්ට හැකියාව ලැබුණේය.

වේෂ නිරූපණ වෘතAතීය ගරුත්වයෙන් යුතු වෘත්තියක්‌ බවට පත්කරන්නට ඔහු ඕනෑම අවස්‌ථාවක ඉදිරිපත් වූයේය. අසාධාරණය ඉදිරියේ හිස නොනැමූ ඊබට්‌ තම වෘත්තීය ගරුත්වය හා එහි අනාගතය රැකගන්නට නොපැකිලිව ඉදිරිපත් විය. විදේශ සිනමා නිෂ්පාදනයන් කිහිපයකට ප්‍රධාන වේෂ නිරූපණ ශිල්පියා ලෙස කටයුතු කළ ඔහු ඒ ඔස්‌සේ විදේශ සිනමාවේ වේෂ නිරූපණ ශිල්ප ක්‍රමද ලංකාවට හඳුන්වා දුන්නේය.

විඡේසිංහයන්ගේ නිබඳ අධිෂ්ඨානය වූයේ වේෂ නිරූපණය ඉගැන්වීමට ජාතික මට්‌ටමේ වැඩපිළිවෙළකට දායක වීමටයි. ඒ සඳහා ඔහු කීපවරක්‌ උත්සාහ දැරුවද බලධාරීන්ගේ උදාසීනත්වය හමුවේ එය සාර්ථක වූයේ නැත. එහෙත් ඔහුගේ ගුරු හරුකම් ලැබූ කිහිප දෙනකු අද ලංකාවේ දක්‍ෂ වේෂ නිරූපණ ශිල්පීන් බවට පත්ව ඇත. පසුගිය 26 වැනිදා ඊබට්‌ විඡේසිංහයන්ගේ ප්‍රිය බිරිඳ වන සරෝජනී විඡේසිංහගේ හැටවන උපන් දිනය යෙදී තිබුණේය. විඡේසිංහයන්ටත්, සරෝජනීටත් හොරා ප්‍රවීණ වේෂ නිරූපණ ශිල්පී රංජිත් මතඟවීරගේ නිවසේ ඒ වෙනුවෙන් උපන්දින සාදයක්‌ නිර්මාණය විය. සන්ධ්‍යාවෙහි සරෝජනීටත්, ඊබට්‌ටත් ඊට ආරාධනා ලැබිණි. සාදය සංවිධානය කර තිබුණේ සරෝජනීගේ සහෝදර සහෝදරියන් ඇතුළු ඥතීන් විසිනි. ඊට පනස්‌ දෙනෙකු පමණ එක්‌ව සිටියේය. එහිදී වඩාත් ප්‍රීති වූයේ විඡේසිංහයන්ය. කවදත් සොඳුරු මිනිසකු වූ ඔහුට සිය ඥතීන් ඉදිරියේ ගී ගැයීමට සිදුවිය. ඔහු එක දිගට ගීත 21 ක්‌ ගායනා කළේය. අවසන් වරට ඔහු ගැයුවේ "බුද්ධං සරණං ගච්ඡාමි" ගීතයයි. විදේශයන්හි සිටින ඥතීන්ද අන්තර් ජාලය ඔස්‌සේ සාදයට සම්බන්ධ විය. ඔවුන්ගේ ඉල්ලීම්වලට ගී ගයන්නටද ඊබට්‌ ට සිදුවිය. සාදය 27 වැනිදා අලුයම 3.30 දක්‌වා පැවැත්විණි. සාදය අවසානයේ ඊබට්‌ සැමට ස්‌තුති කර කතාවක්‌ද පවත්වා සිය නිවසට ගියේ සිය බිරිඳද සමගය. මඳ වේලාවක්‌ නින්දේ පසුවූ විඡේසිංහ ජලය පානය කිරීම සඳහා මුළුතැන්ගෙයට ගොස්‌ සිටියේය. එහෙත් ඒ වන විට ලතෙක්‌ ඇති මෙම සුන්දර මිනිසාගේ හදවත නතරවී තිබිණි. සුවහසක්‌ සිනමා ලෝලීන්ගේ ගෞරවය දිනාගත් සහෘද කලා ශිල්පීන්ගේ ආදරය දිනාගත් ඥති හිත මිතුරන්ගේ හදවත පැහැරගත් සුහද මිනිසා අද අවසන් ගමන් යන්නට සූදානමින් සිටී. එහෙත් ඔහුගේ අතින් හැඩ ගැන්වුණු සිනමා නිර්මාණ ඉදිරියේදී රසිකයන්ට රස විඳින්නට හැකියාව ලැබෙනු ඇත. ඔහුගේ නම සිනමා ඉතිහාසයේ රන් අකුරින් ලියෑවෙනු ඇත.

ප්‍රවීණ රංගන ශිල්පියකු වන ටෝනි රණසිංහයන් ඊබට්‌ගේ සේයාරුවක ලියා තිබූ වැකියක්‌ මා හට සිහිවෙයි.

"නන් වෙස්‌ මැවීම් කළ හැක්‌කේ දෙවියන්ට පමණි. නමුදු ඊබට්‌ගේ වෙස්‌ මැවීම් ඉදිරියේ දෙවියෝද මවිත වෙති."

සොඳුරු සහෘදයාණෙනි... අපි ඔබට නිවන්සුව පතමු.·

Divayina
READ MORE - නිහඬව නික්‌ම ගිය සුන්දර මිනිසා ඊබට්‌ විඡේසිංහ

අඥාන සූරසේනලා ඉසිවර නුවණින් දැකි දේශපාලන ටෙලි නාට්‍යකරුවා

Monday, February 4, 2013

අඥාන සූරසේනලා ඉසිවර නුවණින් දැකි දේශපාලන ටෙලි නාට්‍යකරුවා
13623_bjhuigui.jpg1941 ජනවාරි මස 28 වැනි දින දකුණු පළාතේ හික්කඩුව නම් ග්‍රාමයේ උපත ලබා ගාල්ල මහින්ද විදුහලෙන් සිප්සතර හැදෑරීමෙන් පසුව මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ රැකියාලාභියකු වී කොළඹ පැමිණෙන ධම්ම ජාගොඩ තරුණයා වසර 30කට පසුව, පරිණත වී කලා ක්‍ෂේත්‍රයේ දැවැන්තයකු ලෙසටත් සවිඥානික දේශපාලන සත්ත්වයකු ලෙසටත් නාට්‍ය අංශයේ ප්‍රධානියා වශයෙන් ආසනාරූඪවීම සඳහා ජාතික රූපවාහිනියට පියවර තබන්නේ රූපවාහිනී මාධ්‍යයේ ආගමනයත් සමඟය.


ධම්ම ජාගොඩයන් මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සේවය කරන සමයේදීම වේදිකා නාට්‍ය කිහිපයක් නිර්මාණය කළද ඔහු ප්‍රසිද්ධ වේදිකාවට අවතීර්ණ වන්නේ 1963 වර්ෂයේදී අමෙරිකන් ජාතික ටෙනිස් විලියම්ග්ගේ නාට්‍යයක් අනුවර්තනය කර අධ්‍යක්‍ෂණය කරමිනි. වෙස් මුහුණු නමින් නාට්‍ය ඉතිහාසයේ ලියැවී ඇති මෙම නාට්‍යය එවකට සිටි දැවැන්ත නිර්මාණකරුවන්ගේ නිර්මාණ අභිභවා සම්මානයට පාත්‍ර විය. ධම්ම ජාගොඩ සිංහල සහ ඉංගී්‍රසි භාෂාවන් ද්විත්වයෙන්ම එක හා සමානව මා වැඩ කිරීමේ සූරයෙක් විය. මෙය ඔහුගේ පසුකාලීන නිර්මාණයන් සඳහා මහෝපකාරී විය.


කෝලම් හා නාඩගම් නාට්‍ය සම්ප්‍රදාය, තාත්විකවාදී හා අධිතාත්විකවාදී රීතින් මෙන්ම යුරෝපයේ නව රැල්ලක් ලෙස හඹා ගිය කෘෘර නාට්‍ය සම්ප්‍රදාය මනා ලෙස අධ්‍යයනය කරමින් එම නාට්‍ය සම්ප්‍රදායන් අනුසාරයෙන් වේදිකා නාට්‍ය කිහිපයක් නිර්මාණය කිරීමට ධම්ම පෙලැඹුණේය. 1971 කැරැල්ලේ නැඟිටීම පිළිබඳ ඇතිවූ සංවේදී බව හේතුකොට ගෙන මළවුන් නැඟිටියි යනුවෙන් නාට්‍යයක් ඔහු විසින් නිර්මාණය කළද එය මහජන ප්‍රදර්ශනය සඳහා තහනම් කරන ලදී.

ධර්මසේන පතිරාජයන්ගේ පිටපතකට අනුව නිර්මාණය කරන ලද කොරා සහ අන්ධයා නාට්‍යයද, හොටබරි යුද්ධය, පරස්තාව, පෝරිසාදයා, සකලජන සහ මුහුදු පුත්තු නව නිර්මාණය යන වේදිකා නාට්‍යයන් ධම්ම ජාගොඩයන් අතින් නිර්මාණය වූ වේදිකා නාට්‍යයන් ලෙස නාට්‍ය ඉතිහාසයේ ලියැවී ඇත. ධම්ම ජාගොඩයන්ගේ පාංශු දේහධාරී ශරීරය සහ ඔහුගේ මුවපුරා රැඳුණු ලස්සන සිනහව මෙන්ම මනා ලෙස හඬ පාලනය කරගනිමින් ගායනා කිරීමේ හැකියාව ඔහුව ප්‍රාණජීව නළුවකු බවටද පත් කෙළේය.

වෙසෙසින්ම මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍යයෙහි වැදි රජු ලෙස ඔහු කරන ලද වේදිකා රංගනය සදානුස්මරණීය වේ. රංගන ශිල්පියකු වශයෙන් ඔහු සිනමා රංගනයට ද පසුකලකදී පිවිසුණේය. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්‍ෂණය කරන ලද මඩොල් දූව, ආචාර්ය තිස්ස අබේසේකර විසින් නිර්මාණය කරන ලද මහගෙදර සහ මංමුළාවැල් යන සිනමා පටයන් ධම්ම ජාගොඩයන් රංගනයෙන් දායක වූ සිනමා නිර්මාණ වේ. (මංමුළාවැල් සිනමා නිර්මාණය ප්‍රේක්‍ෂකයන් අතට පැමිණීමට පෙර 1983 ජාතිවාදී කලබල සමයේදී විනාශයට පත්වීම අවාසනාවන්ත සිද්ධියකි.


එමෙන්ම නාට්‍ය විෂය පිළිබඳ ධම්ම ජාගොඩයන්ගේ පරිචය අනාගතයේදී එම විෂය හදාරණ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තිරසර මාවතක් විවර කළේය. 70 සමගි පෙරමුණ රජය යටතේ අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා වූ ආචාර්ය ප්‍රේමදාස උඩගම මහතා සමඟ ධම්ම එක්වී දිවා රෑ වෙහෙස නොබලා කෙටුම්පත් කරන ලද නාට්‍ය හා රංග කලා විෂය අදටත් විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ටත් උසස් පෙළ හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත් එම විෂය අරබයා පරිපූර්ණව තිබෙන එකම විෂය නිර්දේශය වේ. එමෙන්ම නාට්‍ය හා රංග කලාවට අදාළ පාරිභාෂික ශබ්ද කෝෂයක් සම්පාදනය කිරීම නාට්‍ය කලාව වෙනුවෙන් ඔහු කරන ලද තවත් මෙහෙවරක් විය. එම අත්පොත අදත් විද්‍යාර්ථීන් අතරේ පරිහරණය වීම අති සුවිශේෂ වේ.


ධම්ම ජාගොඩ සතු වූ නිවැරැදි සමාජ දැක්මට අත්වැල සපයන්නේ ඔහුගේ මාක්ස්වාදී දේශපාලන දෘෂ්ටියයි. මහාචාර්ය සුචරිත ගම්ලත්, ආචාර්ය පියසීලී විජේගුණසිංහ, විජය ඩයස් සහ ආනන්ද වක්කුඹුර වැනි සමකාලීනයන් සමඟ විප්ලවවාදී කොමියුස්ට් පක්‍ෂයේ සක්‍රිය සාමාජිකයකු වශයෙන් කටයුතු කිරීම ධම්ම සතු වූ දේශපාලන දෘෂ්ටිය පදම් කළේය. මෙම දේශපාලන අස්ථානය මඟින් සෑම විෂයක්ම විච්ඡේදනය කරමින් අධ්‍යයනය කිරීමට ඔහු සතු නිසඟ හැකියාව ඔපමට්ටම් කරන ලදී. 70 දශකයේ දී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යාපන සේවය යටතේ තිලක් ජයරත්නයන් විසින් නිෂ්පාදනය කරන ලද රූපණ මණ්ඩපයෙහි වැඩසටහන් මෙහෙවන්නා වූයේ ධම්ම ජාගොඩයන්ය. තත්කාලීනව නිර්මාණය වූ කලා නිර්මාණයන් පිළිබඳ මූලික වශයෙන් විමසා බැලීමක් මෙම වැඩසටහන් මාලාවට ප්‍රස්තුත වූ විෂය ක්‍ෂේත්‍රය වේ.


මැදිවියට පත්, පරිණත ධම්ම ජාගොඩගේ ජීවිතයෙහි ඊළඟ කඩඉම වන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ඉදිරියෙන් දිවෙන පාර මාරුවී ජාතික රූපවාහිනියට ගොඩවීම වේ. කලාවේ සියලු න්‍යායන් හා අත්දැකීම් පොදි බැඳගෙන එය ඔහුගේ දේශපාලන විඥානයෙන් ගැටගසාගෙන රූපවාහිනී මාධ්‍යයට සම්ප්‍රාප්ත වූ ධම්ම ජාගොඩයන් නව මාධ්‍යය ජාතියට හිතෛෂී ආකාරයෙන් මෙහෙයවීමේ යුග කාර්යභාරය ආරම්භ කෙළේය. මෙයට සමගාමීව ටෙලි නාට්‍යය යන නම රූපවාහිනී මාධ්‍යට හඳුන්වා දෙමින් ධම්ම ජාගොඩයෝ ටෙලි නාට්‍යකරණය ආරම්භ කළහ. ධම්ම ජාගොඩගේ පළමු ප්‍රාසාංගික ටෙලි නාට්‍යය පළිඟු මැණිකේ ටෙලි නාට්‍යය වේ.

තත්කාලීන සමාජ ගර්භය දේශපාලනිකව ප්‍රශ්න කිරීමට ආචාර්ය ධර්මසේන පතිරාජයන් තම කලා භාවිතය සිනමා මාධ්‍යයට යොදා ගත්තේ යම්සේද ඔහු හා එකම දේශපාලන අස්ථානයක හිඳිමින් කලා ක්‍ෂේත්‍රයේ අහුමුලුවල සැරීසැරූ ධම්ම ජාගොඩ ටෙලා නාට්‍ය මාධ්‍යය භාවිත කරමින් දේශපාලනිකව සමාජය ප්‍රශ්න කිරීමට සක්‍රිය විය. 1977 ජේ.ආර්. ජයවර්ධන රජය විසින් හඳුන්වා දුන් විවෘත ආර්ථිකයට යම්තම් වසර 10ක් සපිරෙන විට මෙම අර්ථ ක්‍රමයෙන් විනාශ වූ ජනතාවගේ ආධ්‍යාත්මික ගැඹුරෙන් ප්‍රශ්න කිරීමට ධම්ම ඉදිරිපත් වීම ටෙලි නාට්‍ය ක්‍ෂේත්‍රයේ නියැළී සිටින අප සැමට ඓතිහාසිකව පූර්වාදර්ශයක් ශේෂ කර ඇත. දශක 30 කට වඩා අප අත්විඳින වෙළෙඳපොළ ආර්ථික ක්‍රමය හේතුවෙන් වඩා වඩාත් තීවු ආකාරයෙන් ශුද්ධ වූ කලාව විනාශ කරමින් දිනෙන් දින එය බිළී බා ගන්නා අයුරු දෘශ්‍යමාන සත්‍යයක් වී ඇත.

වෙළෙඳපොළ ආර්ථිකයෙන් පෝෂණය වූ තැරැව්කාරයන්ගේ ප්‍රාග්ධනයට ග්‍රාමීය මෙන්ම නාගරික අහිංසක කලාකරුවන්ගේ ජීවිත බිලිවෙමින් පවතී. ඔවුන්ගේ නිර්මාණ කුණු කොල්ලයට විකිණෙන ප්‍රවණතාවක් සමාජ ගතවී ඇත. පට් පට් ගා සල්ලි හොයන සූරසේනලා විවෘත ආර්ථිකයේ බල මහිමයෙන් දසත බිහි වූහ. ඔවුහු වෙළෙඳපොළ ආර්ථිකයේ නිර්මිත වූ සංස්කෘති අංගෝපාංගවලින් ආඪ්‍ය වී ගමට ගියහ.

ගැමි කලාකරුකරුගේ කලා නිර්මාණවලට අඩු මුදලක් ලබා දෙමින් නගරයේදී වැඩි මුදලක් තම සාක්කුවට දමා ගැනීම පිණිස ඔවුහු සැමවිට පෙළගැසී සිටිති. අඥාන සූරසේන පන්තිය කලා ක්‍ෂේත්‍රයේ පමණක් නොව සියලු ක්‍ෂේත්‍රයන්හි තීන්දු තීරණ ගන්නා තීරක බලවේගය වශයෙන් ස්ථිතික වී ඇත. කාන්තාවන්ගේ රූසපුව වෙළෙඳ භාණ්ඩයක් ලෙසද ඔජවඩවමින් අහිංසක පවුල් කුටුම්බය දෙදරවීමට පවා සූරසේන ප්‍රාග්ධනය පොහොසත් වී ඇත.


එහෙයින් ධම්ම ජාගොඩ යනු රූපවාහිනි මාධ්‍ය ඉතිහාසයේ බිහිවුණු එකම දේශපාලන නාට්‍යකරුවා ලෙස සඳහන් කිරීමට මම දෙවරක් නොසිතමි. සෝමවීර සේනානායක නමැති සූර පිටපත් රචකයා මඟින් පළිඟු මැණිකේ ටෙලි නාට්‍යය ලියා ගනිමින්, එයට ඔහු සතු වූ දේශපාලන දෘෂ්ටිය මුසු කරමින් ධම්ම ජාගොඩයන් විසින් කරන ලද මෙම ඓතිහාසික කාර්යභාර්යය අමරණීය වේ.

එහෙත් එවකට පැවැති විජය රූපවාහිනී සම්මාන උළෙලේදී කලා සක්විත්තන්ගේ බලපුළුවන්කාරකමට ධම්ම ජාගොඩයන්ගේ නිසඟ කලා හැකියාව පරාජය විය. එදින ඔහුගේ දෑස කඳුළෙන් තෙත් විය. ඔහු මා හා ‍ෙදාඩමලු වූ සැන්දෑවන්හිදී අනාගතයේදී කලාවට සිදුවෙන්නා වූ ව්‍යසනකාරී තත්ත්වයන් පිළිබඳ පැහැදිලි කළ අවස්ථාවන් බොහෝ විය. කලාකරුවන්ගේ අනාගත ඛේදවාචකය තේමා කරගනිමින් මිහිකතගේ දරුවෝ ප්‍රාසාංගික ටෙලි නාට්‍යය ඔහු විසින් නිර්මාණය කරන ලදී. 1987 කළු ජූලිය හේතුවෙන් සිඳීබිඳී ගිය සිංහල - දෙමළ අනේ‍යාන්‍ය සහෝදරත්වය යළි ගොඩනැංවීමේ පරම අභිලාෂයෙන් හෙන්රි ජයසේනයන්ගේ තිර නාටකයක් පාදක කර ගනිමින් සඳක කතාවක් මැදිරි ටෙලි නාට්‍යය නිර්මාණය කරමින් ධම්ම ජාගොඩයන් විසින් තමන්ගේ දේශපාලන දැක්ම නැවත වතාවක් ජනතාව ඉදිරියට රැගෙන එන ලදී.


ටෙලි නාට්‍යකරණයෙන් පරිබාහිරව සිංහල ගැමි කලාව රූපවාහිනී මාධ්‍යයට ගෙන ඒමේ පරමාර්ථය පෙරදැරිව ගැමි රඟමඩල විචිත්‍රාංග වැඩසටහන් පෙළ ධම්ම ජාගොඩයන් විසින් නිර්මාණය කරන ලදී. මේ සඳහා ගැමි නාටකයන් සොයාගෙන එළිමහන් රූගත කිරීමේ බස්රථය නියරවල් දිගේ අෑත ගම්දනව් ඔස්සේ පිටත් කිරීමට කටයුතු කිරීම ඔහු විසින් ජන කලාව වෙනුවෙන් කරන ලද මහඟු වියමනක් ලෙසට ඓතිහාසිකව සනිටුහන් වී ඇත.

එමෙන්ම කැලණි පාලම, හුනුවටයේ කතාව, වෙස්සන්තර, දික්තල කාලගෝල, පරාස්ස, අහසින් වැටුණු මිනිස්සු වැනි නාට්‍ය ක්‍ෂේත්‍රයේ මතක සටහන් තබා ඇති නාට්‍ය නිර්මාණ රූපවාහිනි මාධ්‍යයට ගෙන ඒමෙන් ධම්ම ජාගොඩයන් නැවත වතාවක් වේදිකා ක්‍ෂේත්‍රයට කරන ලද සේවාව සදානුස්මරණීය වශයෙන් ලියැවී ඇත. ජාතික රූපවාහිනිය ස්ථාපිත වූ අවධියේම ධම්ම ජාගොඩ වැනි නිර්මාණකරුවන් රූපවාහිනී මාධ්‍යය හැසිරවීම නොරිස්සූ පිරිස් බෝවීමේ ප්‍රවණතාවක් ඇති විය. ධම්ම ජාගොඩයන්ගේ දේශපාලනය පිළිබඳ හේතුවෙන් රූපවාහිනිය අතහැර ගොස් නැවත වතාවක් රංග ශාලිකා පාසල ප්‍රතිෂ්ඨාපනය කිරීමට ධම්ම ජාගොඩයන්ට සිත් වූ අවස්ථාවන් බොහෝ විය.


මෙයට වසර 25කට පෙර වියෝ වූ ධම්ම ජාගොඩයන් විසින් නාට්‍ය ක්‍ෂේත්‍රයටත් වෙසසින්ම රූපවාහිනී මාධ්‍යයටත් කරන ලද මහඟු මෙහෙවරෙහි අල්පමය කරුණු කිහිපයක් මෙසේ ලියා තබන විට මතකයට නැඟෙන්නේ පළිඟු මැණිකේ ටෙලි නාට්‍යයෙහි ඔහුගේ රූපමය භාෂාවයි. සමීප රූප, මාධ්‍ය රූප, දුර රූප යන මේ රූප වර්ගීකරණයෙන් ඔහු කරන ලද වියමන රූපවාහිනී මාධ්‍යය හදාරන්නට පෙළපොතක් වී අවසානය.

සූරසේනලාගේ පට් පට් ගා උපද්දන ප්‍රාග්ධනය විසින් එය ගිලගන්නා වූ ධනේශ්වර පාලනය, සනාතන දහමක් ලෙස අප ජීවිත වටා භ්‍රමණය වන ආකාරය රූපවාහිනී මාධ්‍යයෙන් විචක්ෂණ අයුරින් අපට කියා දුන් ධම්ම ජාගොඩ කලාකරුවාණනි, ඔබ අමරණීයයි.

http://www.mawbima.lk 
READ MORE - අඥාන සූරසේනලා ඉසිවර නුවණින් දැකි දේශපාලන ටෙලි නාට්‍යකරුවා

හුදෙකලාව සමුගත් සොඳුරු මිතුරා

Saturday, January 26, 2013


හුදෙකලාව සමුගත් සොඳුරු මිතුරා

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ “ගොළු හදවත” සිනමා පටයේ සුගත් ගේ චරිතය රඟපෑමෙන් අතිශය ජනපි‍්‍රය වූ වික්‍රම බෝගොඩ පසුගියදා (14) සිය ජීවිතයෙන් ද සමුගත්තේය.
ඔහු ‘ගම්පෙරළිය’, ‘කලියුගය’, ‘යුගාන්තය’ යන තුන් ඈඳුතු චිත්‍රපටිවල තිස්ස කයිසාරුවත්ත නමැති චරිතයට බාල, තරුණ, මහලු යන අවස්ථාවලදී රංගනයෙන් දායකත්වය සැපයුවේය. ඊට අමතරව අහස් ගව්ව, ‘බිනරමලී’, කලණ මිතුරෝ ඇතුළු චිත්‍රපට 19 ක පමණ ද ‘නැට්ටුක්කාරී’, ‘තට්ටු ගෙවල්’, ‘හරිම බඩු හයක්’, ‘තුරග සන්නිය’, ‘වගුරු බිම’, ‘ජේලර් උන්නැහේ’, ‘කැලණි පාලම’ වැනි වේදිකා නාට්‍ය රාශියකට ද රංගනයෙන් දායකත්වය ලබා දුන්නේය.
’ගොළු හදවත’ චිත්‍රපටය ප්‍රදර්ශනය වෙද්දී තරුණ ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගත් සුගත් (වික්‍රම බෝගොඩ) පාරක තොටක තනිව ඇවිද යන්නට නොහැකි තරමේ ජනපි‍්‍රයත්වයකට හිමිකම් පෑවේය.
’ගොළු හදවත’ තිරගත වී වසරක් වත් ගෙවී නැති එක් දිනක මම ඔහුගේ නිවෙසට ගියෙමි. ඔහු සතුව වී කොටන මෝලක් විය. ගමේ මිනිසුන් විසින් රැගෙන ආ වී, මෝලට දමා කොටමින් සිටී. එදින සේවකයෝ නිවාඩු ගොස් සිටියහ.
මම ඔහුගෙන් මෙසේ අසමි. “පාරට බහින්නත් බැරිව ඉන්න ජනපි‍්‍රයත්වයේ හිණි පෙත්තටම ගිය සුගත් මොකද මේ වී කොටන්නේ” සුගත් මගෙන් මෙසේ ඇසීය. “ඇයි මං වී කෙටුවොත් කෙටෙන් නැද්ද? මේක මගේ. සේවකයෝ නැහැයි කියලා මං මේක නොකර හිටියොත් මේ වී අරන් ඇවිල්ලා ඉන්න මිනිස්සු අතරමං වෙනවා. අපි කවුරුත් මිනිස්සුනෙ.” ඒ වික්‍රම බෝගොඩගේ හැටිය. ගමේ මිනිසුන් සමඟ එකතු වී කෘෂිකර්මය දියුණු කරන්නට අප්‍රමාණ වෙහෙසක් දැරූ වික්‍රම බෝගොඩ ලංකා බැංකුවේ ඉහළ නිලධාරියෙක් ලෙස ද කටයුතු කළ අයෙකි.
1972 වර්ෂයේ මා නිර්මාණය කළ “අන්තිම දා” කෙටි චිත්‍රපටයේ දේවිකා කරුණාරත්න සමඟ ප්‍රධාන චරිත නිරූපණය කළ වික්‍රම බෝගොඩ රූපගත කළ දිනයේ පෙරවරු 10.30 ට පසු දර්ශන තලයේ දකින්නට නොසිටියේය. කටුනායක ගුවන් තොටුපළේ ලංකා බැංකු ශාඛාවේ ප්‍රධානියා වූ ඔහු මධ්‍යහ්න 12.00 ට පෙර එහි සිටිය යුතු බව මා සමඟ කලින් පවසා තිබුණි. ඒ ප්‍රථම වරට ජම්බෝ ජෙට් ගුවන් යානය කටුනායකට සම්ප්‍රාප්ත වීමත් එහි පැමිණෙන මගීන්ගේ මුදල් කටයුතු පිළිබඳ වගකිව යුතු නිලධාරියා ඔහු වූ බැවිනි.
ඔහුගේ රූපගත කිරීම් සියල්ල අවසන් වී තිබුණි. එහි යාම සඳහා වාහන පහසුකම් මා සලසන බවට පොරොන්දු වී සිටිය ද මගේ කෙටි චිත්‍රපටයේ නිෂ්පාදන වියදම් ඒ වෙනුවෙන් වැය වනවාට ඔහු අකැමැත්තෙන් සිටියෙන් ඔහු තම වියදමින් කුලී රථයක් ගෙන්වා ගෙන පන්නිපිටියේ සිට කටුනායක දක්වා පිටත්ව ගිය බව මෙම කෙටි චිත්‍රපටයේ රඟපෑ සිරිල් වික්‍රමගේගෙන් දැන ගන්නට ලැබිණි.
මෙම “අන්තිම දා” කෙටි චිත්‍රපටය සඳහා 1972 වර්ෂයේ චිත්‍රපට විචාරක හා ලේඛක සංගමයෙන් හොඳම කෙටි චිත්‍රපටය ලෙස සම්මාන ලැබීය. ඉන් පසු මා හමුවන්නට පැමිණි වික්‍රම බෝගොඩ “සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂකවරයාණෙනි, ඔබට මගේ උණුසුම් සුබ පැතුම්” කියමින් මා වැලඳ ගත්තේය. ඔහුගේ ගමන් වියදම් වෙනුවෙන් මුදල් ලබා දුන්නද ඔහු එය කාරුණිකව ප්‍රතික්ෂේප කළේය. ඒ වික්‍රම බෝගොඩගේ හැටිය.
මගේ “සුහද ප්‍රාර්ථනා” ටෙලි නිර්මාණයට සහභාගී කරවා ගැනීම සඳහා වරක් මම ඔහු වෙත ගියෙමි. මගේ බලවත් පෙරැත්තය මත එහි රංගනය සඳහා ඔහු දායක වූ අතර එය ඔහුගේ අවසාන රංගනය වන බව මම ද දැන නොසිටියෙමි.
මාධ්‍යවේදීහු ඔහු ගැන ලියන්නට සහ විද්‍යුත් මාධ්‍ය වැඩසටහන්වලට සහභාගි කරවාගන්ට ඔහුව සම්බන්ධ කර දෙන ලෙස වරින්වර මාගෙන් ඉල්ලීම් කරති. මම ඔහුගේ නිවෙසට ගොස් ඒවාට සහභාගී වී මෙම සුන්දර කලා කෙතට නැවත අවතීර්ණ වන මෙන් බැගෑපත් ලෙස ආයාචනය කරමි.
”ඕන නැහැ මචං මම මැරුණු දවසක මං ගැන ලියන්න කියපන්. මේ හුදකලාව මට හොඳයි.”
ආදරණීය බෝගොඩ! ඔබට නිවන් සැප ලැබේවායි දැන්ම ප්‍රාර්ථනය කළ නොහැකිය. මතු භවයේත් අප අතර ඉපිද රංගන ශිල්පියකු ලෙස පෙර මෙන්ම අප හා එක් වන ලෙස මම ප්‍රාර්ථනය කරමි.
READ MORE - හුදෙකලාව සමුගත් සොඳුරු මිතුරා

ළමා ගීත එකතුවක් කළේ සමාජ සද්කාරයක් ලෙසයි


ළමා ගීත එකතුවක් කළේ සමාජ සද්කාරයක් ලෙසයි

- කීර්ති පැස්කුවල්
අපේ සංගීත ක්ෂේත්‍රයේ ළයාන්විතයා වන කීර්ති පැස්කුවල් සිය උපන් දිනය යෙදෙන සෑම ජනවාරි 29 වැනිදාවකදී ම සංගීතයට සම්බන්ධ කිසියම් සමාජ සද්කාරයක නියැළෙයි. ලබන 29 වැනිදා ද සමාජ සද්කාරයක් ලෙස කීර්ති “නිල් ආකාසේ” නමින් ළමා ගීත ඇල්බමයක් එළිදැක්වීමට කටයුතු සූදානම් කර ඇති අතර ඒ නිමිත්තෙන් මෙවර “ස්වර වර්ණ” වර්ණ ගන්වන්නට අපි ඔහුට ආරාධනා කරමු.
නිල් ආකාසේ සඳ පායලා
රන් තැටියක් වාගෙ දිලෙනවා

දිදි දිලි නිවෙනවා
නිවි නිවි දිලෙනවා
රන්තරු රෑ අහසෙ බැබලෙනවා...!

 
(පද - උපුල් පෙරේරා)
“මම මගේ හැම උපන් දිනයකදී ම සංගීතය හා සම්බන්ධව සමාජයට සද්කාරයක් කරනවා. උදාහරණයකට සුනාමිය සිදු වූ අවස්ථාවේ දී අවතැන් වූවන් වෙනුවෙන් ගීත ප්‍රසංගයක් පැවැත්වූවා හා සමානව. මෙවර අපේ ළමා පරපුර වෙනුවෙන් ළමා ගීත එකතුවක් කරන්න ඕනෑ කියා හිතුණා. ‘නිල් ආකාසේ’ නමින් ලබන වැනිදා සවස මගේ මේ ළමා ගීත ඇල්බමය කෝට්ටේ පාගොඩ පාරේ ආනන්ද බාලිකා මාවතේ පිහිටි ශ්‍රී වජිර ළමා නිවාසයේ දී මවුපියන් අහිමි දරුවන් එකසිය විස්සක් ඉදිරියේ දී එළිදක්වනවා.”
ඔබේ ළමා ගීත එකතුව සමාජ සද්කාරයක් වෙන්නේ කෙසේ ද...?
වර්තමාන ළමා පරපුරට අහන්න ගයන්න ඔවුන්ට දැනෙන සුදුසු ළමා ගීත නැහැ. අද ළමයින් අහන්නේ ගයන්නේ වැඩිහිටියන්ගේ ගීත. ඒ නිසා ළමා මනසට උචිත ගී සංකල්පනා මෙන්ම ඔවුන්ට ගයන්න පුළුවන් තනු නිර්මාණ සහිත ළමා ගීත ඔවුන් වෙනුවෙන් නිර්මාණය කර ඉදිරිපත් කිරීම සමාජ සද්කාරයක් කියා මං විශ්වාස කරනවා. මෙවැනි ළමා ගීත ඇල්බමයකින් ආර්ථික වාසි බලාපොරොත්තු වෙන්න බැහැ. එහෙත් අපේ ළමා පරපුර වෙනුවෙන් මෙවැනි නිර්මාණ කර දීම වැඩිහිටි අපගේ වගකීමයි. මා මගේ පළමු ගීත කැසට් පටයේත් ළමා ගීතයක් ඇතුළත් කළා. ඉන්පසු සමබරතාව රැක ගනිමින් මගේ හැම ගීත කැසට් පටයකදී ම ළමා ගීතයක් බැගින් ඇතුළත් කළා. අද ළමයින් වෙනුවෙන් ළමා ගී නිර්මාණ වීම අවම මට්ටමක පවතින නිසා ම මට හිතුණා මෙවැනි ගීත තැටියක් ම කළ යුතුයි කියලා. මෙහි මගෙන් ගායනය හා වාදනය හදාරන ළමා ගායක ගායිකාවන් සමඟ මා ගැයූ ළමා ගී දාහතක් ඇතුළත් වෙනවා.”
ඔබේ දියණියන් දෙදෙනා සමඟ ගයන ගීතයකුත් මේ ගීත එකතුවේ ඇතුළත් වෙනවා නේද...?
ඔව්. මගේ නටාලියා සහ චාරුණි දියණියන් සමඟ මා ගයන ‘දුවේ බලන්නකෝ’ ගීතයත් මෙහි ඇතුළත් වෙනවා. තරු මල් ඇතුළු පරිසරය, සෞන්දර්ය, මවුපිය සෙනෙහස තේමා කරගෙන ආදර්ශයක් පණිවිඩයක් ගෙන දීමට හැකි ලෙස තමයි සියලුම ගී නිර්මාණය කර තියෙන්නේ. බහ තෝරන වයස අවුරුදු තුනේ සිට නවය, දහය අතර ළමයින්ගේ රසවින්දනය පිණිස මෙම ගීත යොමු කිරීම වැදගත් සද්කාරයක් වේවි. ඉදිරියේදී මෙම ගීත සඳහා රූප රචනා කර ඩී වී ඩී එළිදැක්වීමටත් මම බලාපොරොත්තු වෙනවා. මොකද කලකට ඉහත මා කාටූන් සහිතව ඉදිරිපත් කළ පැරැණි ළමා ගී එකතුව සාර්ථක වූ නිසා මෙම ගීතත් රූප රචනා සමඟ ඉදිරිපත් කළොත් ළමයින් අතර වැඩි භාවිතයක් වෙයි.
ඔබේ උපන් දිනය දා තවත් සමාජ සද්කාරයක් සිදු කෙරෙනවා නේද...?
හැම වසරකම මා නිකුත් කරන ‘ඉධදඪජ දුරකථන නාමාවලිය’ ඇතුළත් දිනපොතත් එදින ශ්‍රී වජිර ළමා නිවෙසේදී ම එළිදක්වනවා. අපේ සංගීත ක්ෂේත්‍රයේ සංගීත අධ්‍යක්ෂ, වාදන, ගායන, ගී පද රචක, ශබ්ද පරිපාලන, නිවේදන, ගුවන් විදුලි, රූපවාහිනී වැනි විද්‍යුත් මාධ්‍ය ආදි සියලුම අංශ නියෝජනය වන පරිදි සහෘද කලාකරුවන් සහ කලාකාරිනියන්ගේ දුරකථන අංක මෙම පොතට ඇතුළත් කර තිබෙන හෙයින් බොහෝ පිරිසකට මෙය ප්‍රයෝජනවත් වී ඇති බව අහන්න ලැබෙනවා. ඒ පිළිබඳ මා නිහතමානීව සතුටු වෙනවා. මා පෝෂණය කරන කලා ක්ෂේත්‍රයට මගෙන් සිදු කෙරෙන ඉතාම සුළු මෙහෙවරක් ලෙස මෙම දුරකථන නාමාවලිය හා දිනපොත නිකුත් කිරීම මම ඉතා කැමැත්තෙන් හා කැපවීමෙන් දිගට ම කරගෙන යනවා.
ඔබ අවුරුදු හතරක් ම විනිසුරුවරයකු ලෙස කටයුතු කළ ‘ඩ්‍රීම් ස්ටාර්’ වැඩ සටහන ගැනත් කතා කරමු.
අවුරුදු හතරක් ම එක දිගට ම ලංකාවේ මෙවැනි රියැලිටි වැඩ සටහනක විනිසුරුවරයකු ලෙස කටයුතු කර ඇත්තේ මා පමණක් ම විය යුතුයි. ‘ඩ්‍රීම් ස්ටාර්ස්’ වැඩ සටහන ඊට සහභාගි වූ නවක ගායක ගායිකාවන් සමඟ ඔවුන්ගේ සිනා කඳුළු අතරමැද සංවේදී වූත් ආස්වාදනීය වූත් වැඩ සටහනක් වූ බවයි මගේ හැඟීම. ඒ වගේ ම මෙමඟින් නව පරපුරට තමන්ගේ හැකියාව උරගා බලන්න අවස්ථා ලැබීම මම අගය කරනවා.
වත්මන් සංගීත ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා ඔබ දකින්නේ කොහොම ද?
අද නව ආරක ගීත රැල්ලක් මාධ්‍ය හරහා ප්‍රචාරය වෙනවා. එමෙන්ම ආදායම අධික නිසා ඇතැම් පිරිස් එවැනි ගී නිර්මාණය කරනවා. විශේෂයෙන් මෙම රැල්ලේ ගීත ‘රිංගින් ටෝන්ස්’ සමඟ සීමා සහිත කාලයක් පවතිනවා. ඉන්පසු නෑසී යනවා. හොර ගී තැටි වෙළෙදුන් නිසා නිෂ්පාදකයින් ගී තැටි නිෂ්පාදන නවත්තලා. නිසි ක්‍රමවේදයක් නැති නිසා හොර ගී තැටි වෙළෙඳුන් මෙල්ල කරන්න බැරිවෙලා තියෙනවා තවමත්. ඒත් කලාකරුවෙකු ලෙස මා යම් තාක් දුරට කරගෙන යනවා මගේ ගී නිර්මාණ කටයුතු දිගට ම. රස තියෙන දේ රසික රසිකාවියන් කොහේ තිබුණත් සොයා තෝරා බේරා ගන්නවා කියා මම විශ්වාස කරනවා. ඒ නිසා මොන බාධක ආවත් මගේ නිර්මාණ කටයුතු නොකඩවා ම කරගෙන යන්න මං තීරණය කරගෙන ඉන්නවා.
ඔබේ ඒක පුද්ගල ගීත ප්‍රසංගයට මොකද වුණේ...?
දැන් දෙවරක්ම මගේ ප්‍රසංගය කල් දාන්න වුණා. එයට විශේෂ හේතුවකුත් තියෙනවා. ඒ - මගේ රුචිකත්වය පිළිබඳ හේතුවක්. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ මගේ ප්‍රසංගය පවත්වන්න තමයි මගේ වැඩි රුචිකත්වය තියෙන්නේ. මට හුරු පුරුදු බවක් දැනෙනවා එහි ප්‍රසංගයක් පවත්වද්දී. ඉතින් එහි අලුත්වැඩියා කටයුතු කරගෙන යාම නිසා තමයි මගේ ප්‍රසංගය කල් දාන්න වුණේ. ඒත් මේ අවුරුද්දේ අවසානයට පෙර මගේ ගීත ප්‍රසංගය මම පවත්වනවා. එදාට මගේ අලුත්ම ගීත තැටියක් එළිදක්වනවා. දැනට එහි ගීත අටක නිර්මාණ කටයුතු කරගෙන යනවා. ඉන් ‘රෑ අහස පුරා’ (පාතිමා) සහ ‘පිබිදෙන්න වෙර දරන තාරකා’ යන ගීත දෙක මේ දිනවල විද්‍යුත් මාධ්‍යවලට ප්‍රචාරක කටයුතු කිරීම පිණිස බාර දී තිබෙනවා.
READ MORE - ළමා ගීත එකතුවක් කළේ සමාජ සද්කාරයක් ලෙසයි

පැට්රික් කෝ?

Wednesday, January 2, 2013


පැට්රික් කෝ?

“පුළුන් වගේ සුදු රැවුල දිගයි”, ‘සිසිල් සුළං පාවී...’ වැනි ජනප්‍රිය නත්තල් ගීත ඇතුළු ජනප්‍රිය ගීත රැසක තනු නිර්මාණය කරමින් සංගීතවත් කළ ප්‍රතිභා පූර්ණ සංගීතඥයකු තමයි පැට්රික් දෙනිපිටිය කලාකරුවා.
ඔහු පිළිබඳව සංගීත ක්ෂේත්‍රයේ කතාබහට ලක් වෙන හැමවිටකදීම ඔහු දැන් කෝ? පැට්රික්ට මොකද වුණේ? යනුවෙන් විමසනු ලබයි. පැට්රික් ගේ පුතෙකු වන මහේෂ් දෙනිපිටිය තම පියා ගැන පසුගිය දා අපිත් එක්ක කතා බහ කළා.
“මගේ පියා දැන් පදිංචිව ඉන්නේ මගේ අම්මයි නංගියි සමඟ කැනඩාවේ. තාත්තා දැඩි ලෙස රෝගීව සිටි නිසා කැනඩාවේ දීර්ඝ කාලීන වෛද්‍ය සුරැකුම් මධ්‍යස්ථානයක නේවාසිකව ප්‍රතිකාර ලබනවා. තාත්තා මේ රටේ නැති නිසා ඔහුගේ නිර්මාණ බුද්ධිමය දේපළ අයිතීන් සමහරුන් කොල්ල කෑමේ නිරත වෙනවා.
දැනට ලංකාවේ ජීවත් වන මගේ වැඩිමහල් සහෝදරයා සමඟ මම පියාගේ බුද්ධිමය දේපළ, නිර්මාණ ආරක්ෂා කිරීම උදෙසා ඉදිරියේදී යම් පියවරක් ගැනීමට අපේක්ෂා කරනවා. ඒ ඔස්සේ පියාගේ අයිතිය සුරක්ෂිත කරනවා. එය මගේ යුතුකමක්”.

READ MORE - පැට්රික් කෝ?

අමුඩෙ ඇන්ද මාව වැටුණෙ බොරලු ගොඩකට

Saturday, December 8, 2012

අමුඩෙ ඇන්ද මාව වැටුණෙ බොරලු ගොඩකට
 

පුංචි තිරේ කීරා සරසවියට කියයි
මං ගහපු ගොම පාර හරියටම ඔහුට වැදුණා. එවලේ ටිකක් බය වුණා.
මලහත්ඉලව්වක් වෙලෝ ...
නියදවිල ගම්මානය දෙවනත් වෙන්න ඔහු මොර දෙන්නේ අන්න එහෙම. ගමේ හැමෝම මන්ද මානසික ඔහුට කතා කරන්නේ ‘කීරා’ කියලා. සේපාළිකා ටෙලි සිතුවම නරඹන බොහෝ දෙනෙක් පුල පුලා බලා සිටින්නේ ඔහුගේ දර්ශනයක් විකාශය වනතුරු. ඒ කීරාගේ ක්‍රියාකාරකම්, තෙපළන වචන විඳලා හොඳට හිනා වෙන්න.
කවුද මේ කීරා?
ඔහුගේ ඇත්ත නම ලක්ෂ්මන් අමරසේකර. ලක්ෂ්මන් මීට ප්‍රථම අපට හමු වූයේ වැස්ස නුඹ වගේ ටෙලි සිතුවමේ අලිඩොං හැටයට.
එදා අලිඩොං, අද කීරා? එහෙම නේද?
පුංචි තිරයේ මං මේ වන විට මං හිටි නාට්‍ය දෙකයි විකාශය වූයේ. ඒ වැස්ස නුඹ වගේ සහ සේපාළිකා. ඒ දෙකම මාව හිතුවටත් වඩා රසිකයන් අතරට ගෙනිච්චා. අලිඩොංට වඩා කීරාගෙ ස්වරූපය වෙනස්. කල් ක්‍රියාව ද වෙනස්. හැබැයි දෙකම හාස්‍යට බරයි.
ඇයි මිනිස්සු හිනස්සවන්න පුළුවන් චරිත ඔබට ලැබෙන්නේ?
මගේ ස්වරූපය නිසා වෙන්න ඇති. මොහාන් නියාස් මහත්මාගේ අලුත්ම ටෙලි නාට්‍ය වන ඉසුරු විමානෙත් මං රඟපාන්නේ එවැනි චරිතයක්. හැබැයි මේවා විවිධ ශෛලීන් යටතේයි මං රඟපෑවේ.
කොහොමද ඔබට කීරාව හිමි වුණේ?
අලිඩොංව ලබා දුන් අපේ නිෂ්පාදක රංජිත් ප්‍රේමලාල් මහත්තයම තමයි කීරගෙ චරිතයට මට ඇරැයුම් කළේ. ඔහු මට කීරගේ ස්වරූපය කිව්වා. ඊට පසුව මං කොණ්ඩෙ කපලා රැවුල වවලා වෙනස් වුණා. සේපාළිකා අධ්‍යක්ෂ ජනක චමින්ද මහත්මා චරිතය දියුණු කළා. විශ්වනාත් විජේසූරිය වේශ නිරූපණය කොට කීරාව තවත් අපූර්වත්වයක් එක් කළා. සේපාළිකා පටන් ගත් දින සිට මේ දක්වා කීරා ඉන්නවා. ඉහත මහත්වරුන්ටත් අපේ ඇඳුම් නිර්මාණ ශිල්පී චාමින්ද වාස් සොයුරාටත් තුති පුදනවා කීරාව මේ තත්ත්වයට ගේන්න උදවු කළාට.
කීරාව නිරූපණය කරද්දී හරි අපූරු සිදුවීම් රැසකට මුහුණ දුන්නා කියලා ආරංචියි?
එක සීන් එකක් තිබුණා මාව ගැටගහලා කපිල සිගේරා ගිනි පෙළෙල්ලක් අරගෙන මගෙ මුණට ළං කර කර මාව බය කරන. කුස්සියේ මාව ගැට ගැහැව්වා. සීන් එක පටන් ගත්තා. ඔය අතරවාරයේ ගිණි පෙළෙල්ලේ පුංචි අඟුරු කෑල්ලක් මගේ සරමට වැටුණා. කවුරුවත් ඒක දැක්කේ නැහැ. දැන් මට තේරෙනවා ශරීරයේ යට කොටසින් දුම් දානවා. බොලේ සරම ඇවිලෙනවා. දඩි බිඩි දාලා කට්ටියට කියලා මං ලිහාගෙන වතුර වලකට පැන්නා. නැතිනම් මගේ ශරීරයේ භාගයයි ඉතුරු වෙන්නේ.
තව දවසක් මුදලාලි හැටියට රඟන දයාසිරි හෙට්ටිආරච්චිට ගොමවලින් ගහන්න තිබුණා. මං ගහපු ගොම පාර හරියටම ඔහුට වැදුණා. එවලේ ටිකක් බය වුණා.
අනුලා කරුණාතිලක මහත්මිය හැඳී මිටකින් ගහන සීන් එක මතකද? එදා මම ඇයගෙන් ඇතිවෙන්න ගුටි කෑවා.
හොඳම කතන්දරේ ඒක නෙවෙයි. මෙන්න මේක. මට අමුඩයක් ඇඳගෙන මඩ නාගෙන දුව ගොස් සුරාජ් මාපව බදාගන්න සීන් එකක් කරන්න වුණා. එදා මුලු ගමම එතැන. මට හරි ලැජ්ජයි. ජනක කිව්වා බය නැතුව සීන් එක කරමු කියලා. මුලින්ම තිබ්බේ මඩ නාගන්න. හොඳටම මඩ නාල වැව් බැම්ම දිගේ දුවලා දුවලා ගිහින් සුරාජ්ව බදා ගත්තා. පිටපතට අනුව ඔහු මාව තල්ලු කරන්න ඕනේ. මාව වැටුණේ බොරළු ගොඩකට. නිකමට හිතලා බලන්නකෝ අමුඩෙකුත් ඇඳගෙන බොරළු ගොඩකට වැටුණම කොච්චර ශෝක්ද කියලා.
සැබෑ ජීවිතයේදී අපහසුතාවයන්ට ලක්වෙලා නැතිද?
තියනවා තියනවා. මං ඉස්සර ඉඳලා ‘අතුල මාමා’ නමින් පෙර පාසල් ආශ්‍රිතව ප්‍රසංගයක් පවත්වනවා. දිනක් ඒ වගේ ප්‍රසංගයක් කරන්න ගිය වෙලාවක පිස්සෙක් පිස්සෙක් කියලා මාව ඇතුළට ගත්තේ නැහැ. වෙලාවට එතැන හඳුනන කෙනෙකු ඉඳලා කතා කළා. මගේ ගම කෑගල්ලේ. උදේ හවස යන්නෙ එන්නෙ කෝච්චියේ. කීරා වගේ නෙවෙයි මං ඩෙනිමයි ටී ෂර්ට් එකයි අඳින්නේ. එතකොට කෝච්චියේ මං දන්න අයවත් මාව දන්නෙ නැහැ වගේ ඉන්නවා.
දිගටම රඟපාන්නද හිතාගෙන ඉන්නේ?
ඔව්. දැන් මගේ ක්ෂේත්‍රය මේක. හැකි පරිදි ලැබෙන චරිතයකට සාධාරණයක් ඉටු කරමින් රඟපානවා.
මේවාට අමතරව ඔබේ අලුත් වැඩ කටයුතු මොනවාද?
ටෙලි චිත්‍රපට තුනක රඟපෑවා. මට ගැයීමේ හැකියාවකුත් තියනවා. ඒක ගැන දැනගෙන රන්සිළු ආයතනයේ අප නිෂ්පාදක රංජිත් ප්‍රේමලාල් මහතාගේ මැදිහත් වීමෙන් කැසට් එකක් නිකුත් කළා. ඒකෙ නම ‘කළු කූඹියෝ තෙල් කූඹියෝ’.
READ MORE - අමුඩෙ ඇන්ද මාව වැටුණෙ බොරලු ගොඩකට

මලට බඹරෙකු සේ සිතට එන ක්ලැරන්ස්

මලට බඹරෙකු සේ සිතට එන

ක්ලැරන්ස්
සුමියුරු සත්සර රාවයට මුසුව ඔහුගේ ගී හඬ ගුවන් තලයේ පාවී ඇවිත් අදත් ගීතලෝලී සිත් ස්පර්ශ කොට අමන්දානන්දයට පත් කරන අයුරු අපූර්ව ය. වියෝ වී වසර දාසයකට පසුව අද ද ඔහු සිය සහෘද සිත් සමීපයේ හිඳිමින් ගී ගයනු වැනිය.
ගායන ශිල්පියෙකු, ගී පද රචකයෙකු, තනු නිර්මාණකරුවෙකු, වාදකයෙකු සහ සංගීතඥයෙකු ලෙස සිය ප්‍රතිභාවෙන් ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයට අමිල මෙහෙයක් ඉටු කළ ඔහු ක්ලැරන්ස් ආතර් සෝමසිංහ විජේවර්ධනය. කවුරුත් දන්නා නමින් නම් ක්ලැරන්ස් විජේවර්ධනය.
1943 අගෝස්තු තුන්වැනිදා හපුතලේ දී මෙලොව එළිය දුටු ක්ලැරන්ස් සහෝදර සහෝදරියන් සිවු දෙනෙකුගේ පවුලේ වැඩිමලා වූවේ ය. පාසල් වියේ දී සංගීතයට මෙන්ම පාපන්දු ක්‍රීඩාවටත් විනෝද ගමන් යාමටත් බෙහෙවින් පි‍්‍රය කළ ක්ලැරන්ස් ගිටාරයක් දකින්න සිත තුළ පැවති ආසාවට මිතුරෙකුගේ ඇඳුම් සෝදා දුන් අයුරු 1980 වසරේ දී ඔහු වෙනුවෙන් පළ කළ “මල්පියලි” සඟරාවේ විශේෂ කලාපයට අප සමඟ පැවසුවේ නිහතමානී හසරැල්ලකින් මුව සරසා ගෙනය.
සැබැවින්ම ඔහු නිහතමානි, සරල මිනිසෙකු වූවේ යයි අපි සිතමු. වයස අවුරුදු එකොළහේ දී පළමු වරට ගිටාරයක් වාදනය කළ ක්ලැරන්ස් 1996 දෙසැම්බර් 13 වැනිදා ජීවිතයෙන් සමුගෙන යනතුරු ගිටාරයට පෙම් කළේය. සුමියුරු ගී තනු දහස් ගණනක් මවන්න ගිටාරය ඔහු සහාය කර ගත්තේය.
අද මේ වන විට ක්ලැරන්ස් පරිහරණය කළ ගිටාරය මේ රටේ නැතත් (එය ඕස්ට්‍රේලියාවේ වෙසෙන ක්ලැරන්ස්ගේ බිරිඳ ශීලා සහ දියණිය අමිලා ළඟ ය.) ඔහු නිර්මාණය කළ තුන්දහසක් පමණ වූ රසබර ගීතාවලියෙන් ගීත දහසකට වඩා ප්‍රමාණයක් අපගේ රස වින්දනය පිණිස ඉතිරිව ඇත. “සංගීත කණ්ඩායම්” කුලයේ පුරෝගාමියා වූ නෙවිල් ප්‍රනාන්දුගෙන් ඇරඹි බවට සැලකිය හැකි බටහිර ජනපි‍්‍රය සංගීත කලාවට දේශීයත්වය මුසු කිරීමේ දී ක්ලැරන්ස්ගේ නිර්මාණ දායකත්වය සුවිශේෂය.
සංගීත කණ්ඩායම්, චිත්‍රපට රූපවාහිනී නාට්‍ය, පටි සහ තැටි සඳහා ක්ලැරන්ස් ගී පද රචනය, තනු නිර්මාණය සහ ගායනය යන ත්‍රිවිධාකාරයෙන් කර ඇති දායකත්වය පිළිබඳව තොරතුරු බිඳක් මෙම සමරු සටහනේ මෙලෙස අකුරු කිරීම වටී යයි සිතමු.
හැටේ දශකයෙන් ඇරඹෙන ඔහුගේ ප්‍රසිද්ධ සංගීත චාරිකාවේ මුලින්ම “මුන්ස්ටෝන්” කණ්ඩායම සමඟ කළ නිර්මාණ ද ඉන්පසු “ගෝල්ඩන් චයිම්ස්” - “සුපර් ගෝල්ඩන් චයිම්ස්” සහ “මදාරා” කණ්ඩායම් සමඟ කළ නිර්මාණ ද ගීතලෝලීන් අතර ජනපි‍්‍රයත්වයට පත්විය. එම ගී අතර “වන දෙව් ලිය තුරුලේ” - “කාගෙද ගොන් වස්සා” - “මම එදා ගොසින්” - “දිල්හානි දුවනී” - මංගෝ කළු නැන්දේ” - “රුවන්පුරය” - කිම ද නාවේ” - “ගමෙන් ලියුමක් ඇවිල්ලා” - “උඩරට නිළිය හැඩ වගේ” - “මා ආදරෙයි නංගියේ” වැනි ගී මුතු සිය ගණනකි.
ක්ලැරන්ස්ගේ කණ්ඩායම් සංගීත දිවියේ ස්වර්ණමය යුගය වූ හැත්තෑව දශකයේ දී ඔහුගේ විවාහය ද (1972 මැයි 15 වැනි දා ශීලා රම්‍යදාස සමඟ) සිදු වූ අතර චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණයට එක් වීම ද සිදු විය. ඒ 1975 දී “සිකුරුලියා” චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂවරයා වෙමින්ය. එම චිත්‍රපටයට ජේ. ඒ. මිල්ටන් පෙරේරා “කොමල ලියා සිකුරුලියා” ගීතය අද ද ගීතලෝලීන් අතර ජනපි‍්‍රය ගීතයක් වන අතර “අපේක්ෂා” (1978) - “හලෝ ශ්‍යාමා” (1982) - “චලිත රංගාලි” (1985) වැනි චිත්‍රපට සඳහා ද ඔහු සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වූවේය. ඔහුගේ සිතැඟි සත්සරින් රිද්ම ගත වූ ක්ලැරන්ස්ම ගැයූ “සැණකෙළියේ සඳ එළියේ දිමුතු ලතාවයි” ගීතය මෙන්ම “සඳ තනිවෙලා” සහ “කලක් ඇවෑමෙන් පෙරුම් පුරා” (මිල්ටන් මල්ලවආරච්චි සමඟ ඇන්ජලින් ද ලැනරෝල් ගුණතිලක) - “ඔකඳ වෙලා සිත” (ඇන්ජලින්) - “සොඳුරු ලොවට මල් වැහැලා” (එච්. ආර්. ජෝතිපාල සමඟ සුජාතා අත්තනායක) - “වසන්තයේ මල් කැකුළයි” (ඉන්ද්‍රානි පෙරේරා) වැනි ගීත ද තවමත් රසික ආදරය දිනාගෙන ඇති සුමියුරු චිත්‍රපට ගීත වේ.
කරුණාරත්න අබේසේකරයන් විසින් රචිත “දිලීප පොඩි පුතු” ගීතය ගයමින් ඒකල (තනි) ගීත ගායනයට එක් වූ ක්ලැරන්ස් “මලට බඹරෙකු සේ” - “මුව හසරැලි සාගරේ” - “හද විලේ ඔබ පිපුණා” - “සිහින ලොවක් දුටුවා මතකයි” - “රන් දුනුකේ මල” - “රන් සමනලයින් ඉගිලෙනු දැක මට” - “දුව මා වගේදෝ” - “හිරු පිබිදෙන විට” (මාලිනියේ) - “හින්දි වදන් මියුරු සරින්” - “දිනෙක මේ නදී තීරේ” වැනි රසබර ගීතාවලියක් සිය හඬින් ගීතවත් කළේ ය. ඔහු ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාසයන්ගේ සංගීතය “ජනක හා මංජු” චිත්‍රපටය සඳහා ලතා වල්පොල සමඟ ගැයූ “ලෝකේ ජීවත් වෙන්නට ලස්සන ඕනෑ වේ” ගීතය සහ තනිව ගැයූ “සුවඳක් දැනේවි හදේහි ආදර ලෝකේ හා හා” ගීතය ද ගීතලෝලීන්ගේ සිත්ගත් ගීතය.
“සුසීමා” සහ “නිදිකුම්බා මල්” ටෙලි නාට්‍ය සඳහා ද සංගීත නිර්මාණයෙන් දායක වූවේ ක්ලැරන්ස් ය. මෙම ටෙලි නාට්‍යයේ ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන් සිය ගීතය ගැයීමෙන් පසුව වැනි ප්‍රතිභාසම්පන්නයෙකුගේ තනුවකට ගීතයක් ගයන්න ලැබීම පිළිබඳව මහත් සතුටින් කළ ඇගයීම තමාට චිත්ත පී‍්‍රතියක් වූ වග එකල ක්ලැරන්ස් අප සමඟ නිහතමානීව ප්‍රකාශ කළේ ය. “සුසීමා” ටෙලි නාට්‍ය සඳහා ක්ලැරන්ස් නිර්මාණය කළ “දේවතාවන් සිතන දේවල්” (ක්ලැරන්ස්) - “සිතේ සුසුම් නිවනා ගායනා” (ක්ලැරන්ස් සමඟ ජැක්සන් ඇන්තනී) - “රෑ තාරකාවෝ මුමුණා කියයි” (ජැක්සන් සමඟ ජෝර්ජ් සේනානායක) සහ “දෑස පියා ගත් කල මැවෙන්නෙ ඔබෙ රුව“ (ජැක්සන් සහ ජෝර්ජ්) ටෙලි නාට්‍ය ගීත ක්ෂේත්‍රයේ අමතක කළ නොහැකි රසබර ගී නිර්මාණය.
ගුවන් විදුලිය, කැසට් පට සහ තැටි සඳහා ද ක්ලැරන්ස් කළ නිර්මාණ දහස් ගණනකි. ;මහි දී සිය සහෝදර ගායක ගායිකාවන් වෙනුවෙන් ගී පද රචනයෙන් මෙන්ම ස්වර (තනු) රචනයෙන් ද නොමසුරුව දායකත්වය සපයා ඇති ක්ලැරන්ස් සිය නිර්මාණ ප්‍රතිභාව මෙන්ම සිය අනන්‍යතාව ද එම නිර්මාණවලින් පෙන්වා තිබීම විශේෂය. “විකසිත වත කමලේ” (මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි) - “සීත රෑ වසන්තේ” (සනත් සමඟ මල්කාන්ති) - “සීගිරි ළඳුනේ” - “රුවට රුවේ සකුරා ඉවුරේ” (ටී. එම්. ජයරත්න) -”රටකින් එහා ඉගිලී” - “ඈත රන් විමන්” - “පැතුම් පිරීලා” - “හිරු ද මුවා වී” (පි‍්‍රයා සූරියසේන) - “මල් පිබිදෙන එක වසන්ත සමයක” - “උමයංගනියෝ” (එච්. ආර්. ජෝතිපාල) - “තනි වී සිටින්නයි” - “අවසර නැත මට” - “සුළඟේ පාවී” - “කෙසේ කියන්න ද” - “මට මෙන් ඔහුට ද” (මිල්ටන් මල්ලවආරච්චි) - “පුංචි පුතා මගෙ ඉස්කෝලේ ගිය” - “මා පෙර සසරේ” (ඇන්ජලින්) - “මතකය ඇසුරින්” - “එදා තරම් මගේ සිතේ” - “එක දවසක් මා දුටුවා” (ඉන්ද්‍රානි පෙරේරා) - “කඩුපුල් මලක් පිපිලා” - “රූ සිරිය ඈගේ දෙව්ලියක වාගේ” (වර්නන් පෙරේරා) - “උතුමාණෙනි” සහ “කැලේ සිංහයා” (නිහාල් නෙල්සන්) - “බෙත්ලෙහෙම් පුරේ” (අනිල් භාරතී) - “යොවුන් සිහින ලෝකේ” (මරියසෙල් ගුණතිලක) - “වේදිකාව ජීවිතේ අපේ” (අතුල අධිකාරි) - “මී විත පුරවා” (මර්වින් මිහිඳුකුල) වැනි ජනපි‍්‍රය ගීත දහස් ගණනක් එම නිර්මාණ අතර වේ.
වර්තමානයේ දී ක්ලැරන්ස් නිර්මාණය කළ ගීත සම්බන්ධව පැන නැඟී ඇති සිද්ධි කිහිපයක් ද වේ. ගායන ශිල්පී ඇනස්ලි මාලේවන අධිකරණ නඩුවේ නඩු විභාගයකට මුහුණ දී සිටින අතර ගායන ශිල්පී රජිව් සෙබස්තියන් අධිකරණ නියෝගයක් අනුව ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ බුද්ධිමය දේපළ වෙනුවෙන් විජේවර්ධන පාර්ශ්වයට වන්දි මුදලක් ගෙවමින් සිටියි. එමෙන්ම “ටොරානා” ආයතනයට එරෙහිව කෝටියක වන්දි මුදලක් අය කර ගැනීම පිණිස ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කිරීමට ද ක්ලැරන්ස් විජේවර්ධන පාර්ශ්වය කටයුතු යොදා ඇත. මේ අතර ලාංකිකා පෙරේරා, අනිල් භාරතී, පි‍්‍රයා සූරියසේන සහ “මේරියන්ස්” නලීන් පෙරේරාට ද ක්ලැරන්ස්ගේ බුද්ධිමය දේපළ භාවිතය පිළිබඳව එන්තරවාසි යවා තිබේ.
මෙහි දී සඳහන් කළ යුතු විශේෂ කරුණක් ද ඇත. එනම් වර්තමානයේ ක්‍රියාත්මක වන “බුද්ධිමය දේපළ පනත” පණ ගැන්වීමට අතීතයේ දී ක්ලැරන්ස් ද දායක වූ වගයි. එහෙත් තවමත් අප රටේ සංගීත ක්ෂේත්‍රයේ නියැළෙන ගායක ගායිකාවන්, ගී පද රචකයින් සහ සංගීතඥයින් බුද්ධිමය දේපළ පනත පිළිබඳ නිසියාකාර හැදෑරීමක් කර හෝ වැටහීමක් ලබා නොමැති හෙයින් එදා ක්ලැරන්ස් කළ එම යහපත් දායකත්වය පිළිබඳ ඇගැයීමක් මෙතෙක් කෙරී නොමැත. එහෙයින් අවම වශයෙන් 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනතින් සලසා ඇති ප්‍රතිපාදන පිළිබඳ පමණක්වත් දැන සිටීම සංගීත ක්ෂේත්‍රයේ නියුතු සැමට යහපත් වේ යැයි අපි යෝජනා කරමු.
ක්ලැරන්ස්ගේ නිර්මාණ සම්බන්ධයෙන් පැන නැගී ඇති තවත් ප්‍රධාන සිද්ධියක් වී ඇත්තේ ඔහුගේ නිර්මාණ නව පරපුරේ ගායක ගායිකාවන් ගායනය කිරීම ය. මේ වන විට “කඳු පාර ඈත අයිනේ” (සංඛ දිනෙත්) - “තනි වී සිටින්නයි” (සුරේන්ද්‍ර පෙරේරා) - “මතකය ඇසුරින්” (අමිලා නදීෂානි) වැනි ගීත විද්‍යුත් මාධ්‍ය මෙන්ම දුරකථන රිංගින් ටෝන්ස් මඟින් ද නිතර ශ්‍රවණය කළ හැකිව තිබේ. එමෙන්ම මෙම 15 වැනි දා පැවැත්වෙන “ක්ලැරන්ස් ගීතෝපහාර” ප්‍රසංගයේ දී එළිදැක්වීමට නියමිත “ක්ලැරන්ස් නිර්මාණ” (අංක - 1) ගීත ඇල්බමයෙන් ද ක්ලැරන්ස් නිර්මාණය කළ “මැණිකේ සුදු මැණිකේ” (සමන් ද සිල්වා) - “ඔබෙන් පමණි මා දුටුවේ” (අතුල අධිකාරි) - “සිහිල් නුවන් තුළ” (ඉසුරු ජයරත්න) - “විකසිත වත කමලේ” (උදේශ් ඉන්දුල) - “නිරංජලා කාටදෝ” (සුරේන්ද්‍ර සමඟ අමිලා) - “එක දවසක් මා දුටුවා” (ගයනි මධුෂානි) - “සුළඟේ පාවී” සහ “මී විත පුරවා” (උදේශ් නිලංග) - “මා ආදරෙයි නංගියෙ” (සන්තුෂ් සමඟ උමාරියා) - “පැතුම් පිරීලා” (අජිත් බණ්ඩාර) - “තනි වී සිටින්නයි” (සුරේන්ද්‍ර පෙරේරා) - “මතකය ඇසුරින්” (අමිලා නදීෂානි) වැනි ජනපි‍්‍රය ගීත 14 ක් ඉදිරිපත් කෙරුනු ඇත.
ක්ලැරන්ස්
ගීතෝපහාර ප්‍රසංගය
15 වැනිදා
මියුසියස් විද්‍යාලයීය
ශ්‍රවණාගාරයේ දී!
මෙම ගීත ඇල්බමයේ ඇතුළත් සියලුම ගී තනු නිර්මාණ සහ ඇතැම් පද රචනා ක්ලැරන්ස්ගේම වන අතර ඔහු පද රචනය නොකළ ගීත කිහිපයට අදාළ ගී පද රචකයින්ගේ අවසරය ලබා ගෙන මෙම ගීත ඇල්බමය නිෂ්පාදනය කර ඇත. මෙම “ක්ලැරන්ස් නිර්මාණ” ගී ඇල්බමය සංගීතවත් කර ඇත්තේ නව පරපුරේ සංගීතඥයෙකු වන නඳුන් රත්නායකය.
විජේවර්ධන පවුලේ සාඩම්බර ඉදිරිපත් කිරීමක් ලෙසින් මෙම 15 වැනිදා සවස 7 ට මියුසියස් විද්‍යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙන “ක්ලැරන්ස් ගීතෝපහාර” ප්‍රසංගයේ දී ක්ලැරන්ස්ගේ නිර්මාණ ගායනයට ඇන්ජලින් ද ලැනරෝල් ගුණතිලක, ටී. එම්. ජයරත්න, සමන් ද සිල්වා, වර්නන් පෙරේරා, රනිල් මල්ලවආරච්චි, චාන්දනී හෙට්ටිආරච්චි, අතුල අධිකාරී, ශ්‍යාම් ෆොන්සේකා, වින්ස්ලෝ සික්ස්, සමන් රත්නවීර සහ දමයන්ත කුරුප්පු ඇතුළු නව පරපුරේ ජනපි‍්‍රය ගායක ගායිකාවන් කිහිප දෙනෙකු ද එක්වන අතර ප්‍රසංගය සංගීතවත් කරනු ලබන්නේ “විෂන්” විසින් ය. කථනය කැළුම් ශ්‍රීමාල් විසින් කරනු ලබන මෙම ප්‍රසංගය සංවිධානය කර ඇත්තේ ක්ලැරන්ස් විජේවර්ධන බුද්ධිමය දේපළ පිළිබඳ ඇටොර්නි බලකරු ලෙස කටයුතු කරන සිරි හෙට්ටිආරච්චි විසින්ය.

එයාට ලෝකෙන්ම වටින්නේ දුව තමයි!

- ක්ලැරන්ස් බිරිඳ ශීලා විජේවර්ධන
”ක්ලැරන්ස්ගේ දාසය වැනි අනුස්මරණය නිමිත්තෙන් පවත්වන ‘ක්ලැරන්ස් ගීතෝපහාර’ ප්‍රසංගය හා එයාගේ ගීත සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග කිහිපයක් ගැනීමට සිදු වී ඇති නිසයි මං මෙවර ලංකාවට ආවේ. අමාලි දුවත් එක්ක මම දැන් පදිංචි වෙලා ඉන්නේ ඕස්ට්‍රේලියාවෙයි. ක්ලැරන්ස්ගේ ගිටාරය වගේම එයා ගී ලියූ පොත්පත්, පින්තුර හැමදේම දැන් දුව ළඟයි තියෙන්නේ. කොහේ හිටියත් අපිට ක්ලැරන්ස්ව නිතරම මතක් වෙනවා. එතකොට ගොඩක් දුකයි.”
”ක්ලැරන්ස් මුලින්ම සින්දු ලියන්න ගත්තේ මටයි. ඒ කාලේ එයා පදිංචි වෙලා උන්නේ අපේම ගෙදරකයි. අපි දෙන්නා අතරේ ආදරයක් ඇතිවුණා. ‘කිමද නාවේ’, ‘සිහින් සිනාවයි’, ‘සුදු මැණිකේ’ වගේ ගීත එයා මට ලියූ ගීතවලින් සමහරක්. මා වෙනුවෙන් එයා අන්තිමට ලියූ ගීතය ‘මගෙ සිරියාවතී’ ගීතය යි. ‘ක්ලැරන්ස් සිහිවටන’ (2) ඇල්බමයට එයා ඒ ගීතය ගායනා කළා වගේ මට මතකයි. ඒ වගේම අමාලි දුව වෙනුවෙන් ක්ලැරන්ස් ‘දුවනී’ – ‘අමිලා දුවේ’ – ‘ඔබ පරදා’ වැනි ගීත කිහිපයක්ම ලියා ගායනා කළා. ඔය එක සින්දුවකදී ක්ලැරන්ස් දුවට තිබුණු එයාගේ ආදරය හෙළි කරනවා. “ලෝකෙන්ම වටින්නේ දුව තමයි” කියලා.
”ක්ලැරන්ස් ගේ බුද්ධිමය දේපළ පිළිබඳව පැන නඟින ගැටලුවලට මුහුණ දීමට මමත් අමාලි දුවත් මේ රටේ නැති නිසා අපි දෙදෙනා වෙනුවෙන් ක්ලැරන්ස්ගේ නිර්මාණ සම්බන්ධයෙන් කටයුතු කිරීමට අපි සිරි හෙට්ටිආරච්චි ඇටෝර්නි බලකරු ලෙස පත්කර තිබෙනවා. ඔහු ඉතා හොඳීන් එම කටයුතු කරගෙන යමින් ක්ලැරන්ස්ගේ අයිතිවාසිකම් සුරකිනවා.”

ක්ලැරන්ස්ගේ නිර්මාණ නව පරපුරට දායාද කිරීමක්

-ක්ලැරන්ස් ගේ නිර්මාණ පිළිබඳව ඇටෝර්නි බලකරු සහ ” ක්ලැරන්ස් ගීතෝපහාර”
ප්‍රසංගයේ සංවිධායක
සිරි හෙට්ටිආරච්චි
” ක්ලැරන්ස්ගේ නිර්මාණ යුගයෙන් යුගයට පැවතිය යුතුයි. ඒ නිසයි ඔහුගේ ගී නිර්මාණ නව පරපුරේ දක්ෂ ගායක ගායිකාවන් ලවා ගායනය කරවන්නේ. සමහරු මෙය ක්ලැරන්ස්ගේ හඬ නැති කිරීමක්, ක්ලැරන්ස්ගේ සින්දු කා දැමීමක් හෝ ක්ලැරන්ස්ට අවමන් කිරීමක් ආදී වශයෙන් අර්ථ දක්වනවා විය හැකියි.
එහෙත් එම අදහස් නිවැරැදි නැහැ. නව පරපුරේ දක්ෂයින් ලවා ක්ලැරන්ස්ගේ නිර්මාණ ගායනය කරවීම හේතුවෙන් ඔහුගේ නිර්මාණ නව පරපුරට දායාද කිරීමක් සිදු වෙනවා. එම නිසා ක්ලැරන්ස් ගේ නිර්මාණයන්ට සාර්ථක පැවැත්මක් තිබෙනවා.”
”බුද්ධිමය දේපළ පනතෙන් සලසා දී තිබෙන ප්‍රතිපාදන යටතේ ක්ලැරන්ස් ගේ නිර්මාණ නිසි අවසරයකින් තොරව ගායනා කිරීමේ දී සහ විකෘති කිරීම් සිදුවන අයුරු නැවත පටිගත කිරීම් ආදිය කර භාවිත කිරීමේ දී සියලුම ගායක ගායිකාවන්ට සහ ව්‍යාපාරිකයින්ට එරෙහිව නීතිමය පියවර ගෙන තිබෙනවා.
දැනට ‘ටොරානා’ ආයතනයට එරෙහිව පැවරූ නඩුව අප ජයග්‍රහණය කර තිබෙනවා. අප කළ ඉල්ලීම් දාහතෙන් දාසයක්ම අපට ලබාදීමට මහාධිකරණය නියෝග කර ඇති අතර ළඟදීම ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කිරීමට ද කටයුතු යොදා තිබෙනවා.
එමෙන්ම රජීව් සෙබස්තියන් හට ක්ලැරන්ස් ගේ ගී නොගයන ලෙස අධිකරණය මඟින් නියෝග කර ඇති අතර ඇනස්ලි මාලේවන, ඉන්ද්‍රානි පෙරේරා, ප්‍රියා සූරියසේන, අනිල් භාරතී, ලංකිකා පෙරේරා, නලින් පෙරේරා වැනි ගායක ගායිකාවන්ටත් නීතිඥයින් මඟින් දැනුම් දී තිබෙනවා ක්ලැරන්ස් ගේ ගී ගායනා නොකරන ලෙස, මේ සියලුම කටයුතු අප කරගෙන යන්නේ ක්ලැරන්ස් ගේ නිර්මාණ අයිතීන් ඔහුගේ හිමිකරුවන්ට ලබා දීම උදෙසා සහ එම ගීත මතු පරම්පරාවට දායාද කර දීමේ යහපත් චේතනාවෙනුයි.”

ක්ලැරන්ස් ගී තනු හැදුවේ රසවත් ශෛලියකටයි!

ඇන්ජලින්ද ලැනරෝල් ගුණතිලක
“ක්ලැරන්ස් පළමුවෙන්ම නිහතමානී ගුණ යහපත් පුද්ගලයෙක්. ඒ වගේම හොඳ ගායකයෙක්. අමුතුම රසවත් ශෛලියකින් තනු නිර්මාණය කළ සංගීතඥයෙක්. ගී පද රචනයටත් ක්ලැරන්ස්ට හොඳ හැකියාවක් තිබුණා.
ක්ෂණිකව ස්වර මාරු වීම ක්ලැරන්ස්ගේ තනුවල මා දුටු සුවිශේෂ ලක්ෂණයක්. එම නිසා ඔහුගේ තනු එකවර වටහාගන්න අමාරුයි.”
“ක්ලැරන්ස්ගේ සංගීතයට ‘අපේක්ෂා’ චිත්‍රපටයේ ‘සඳ තනිවෙලා’ - ‘කලක් ඇවෑමෙන්’ සහ ‘රෑ සීතලයි’ වැනි ගී ගැයීමට ලැබීම නිසා එදා මම හරි සතුටට පත්වුණා.
ක්ලැරන්ස් මට ගයන්න නිර්මාණය කර දුන්නු ‘පුංචි පුතා මගෙ ඉස්කෝලේ’ - ‘මාලී මනමාලී’ - ‘මා පෙර සසරේ’ - ‘ඔකඳ වෙලා සිත’ සහ ‘ඉමල් පුතා’ ඇතුළු හැම ගීතයකටමත් මම ආසයි.”

අංක එක ක්ලැරන්ස්

සමන් ද සිල්වා
“ක්ලැරන්ස් කණ්ඩායම් සංගීතයේ පුරෝගාමී නිර්මාණකරුවෙකු වගේම පොප් සංගීතයේ පීතෘවරයා යි. තවත් අයුරකින් කියනවා නම් මේ රටේ සංගීත ක්ෂේත්‍රයේ පෙරළිකාරයා ක්ලැරන්ස්.
ගී පද රචනය, තනු නිර්මාණය, ගායනය, සංගීත අධ්‍යක්ෂණය මෙන්ම ගිටාර් වාදනයටත් ක්ලැරන්ස් සතුව තිබුණු දක්ෂතාව සම කරන්න වෙන කවුද ඉන්නෙ...? ක්ලැරන්ස් විතරමයි. ක්ලැරන්ස් නොම්මර එක. ඉන්පසු අංකයක් තමයි වෙනින් කාට වුණත් හිමි වෙන්නේ.”
“මගේ ගායන ජීවිතයට සම්පූර්ණ අතහිත ලැබුණේ ක්ලැරන්ස්ගෙනුයි. මගේ සමහර ගීත පටිගත කරද්දී ක්ලැරන්ස් ආවේ එතුමාගේ වියදමිනුයි.
එතුමා නැති වීම ලොකු පාඩුවක්. එම පාඩුව පෞද්ගලිකව මට දැනෙනවා වගේම අද අපේ සංගීත ක්ෂේත්‍රයටත් දැනිලා තිබෙන බව පැහැදිලිව හැඟෙනවා.”

සුවිශේෂ අනන්‍යතාවක් ක්ලැරන්ස්ට තිබුණා!

ටී.එම්.ජයරත්න
“ක්ලැරන්ස් ආශ්‍රය කරන්න හොඳ අපේ සංගීත ක්ෂේත්‍රයේ උන්නු සහෘදයෙක්. එතුමා මට ගීත හතලිස් එකක් නිර්මාණ කර දී තිබෙනවා. එතුමාටම ආවේණික වූ, සහෘද හදවත් වලට සමීප නිර්මාණ ශෛලියක් තිබුණු නිර්මාණ ශිල්පියෙකු ලෙස මා එතුමාව සලකන්නේ. සරල, හිස උදුම්මා නොගත් නිහතමානි පුද්ගලයෙකු ලෙස එතුමා මගේ මතකයේ රැඳී සිටිනවා.
එවැනි මා පි‍්‍රය කළ තවත් දෙදෙනෙකු තමයි ස්ටැන්ලි පීරිස් සහ සරත් දසනායක. ක්ලැරන්ස්, ස්ටැන්ලි සහ සරත් යන තිදෙනා එක මල් කිනිත්තක් කියලයි මට හැඟෙන්නේ.”
“පේ‍්‍රමසිරි කේමදාස, රෝහණ වීරසිංහ, ස්ටැන්ලි පීරිස්, සරත් දසනායක වැනි අපේ ප්‍රතිභාපූර්ණ සංගීතඥයින් සැමටම වෙන වෙනම අනන්‍යතා තිබුණා. නිර්මාණයක් ඇහෙද්දීම අපට කියන්න පුළුවන් එම නිර්මාණය ඔවුන් අතරින් කා විසින් නිර්මාණය කරන ලද්දක් ද කියන වග. ක්ලැරන්ස් විජේවර්ධනයනුත් සිය අනන්‍යතාව නිර්මාණය තුළ සලකුණු කර තබන්නට සමර්ථ වුණා.
මොනතරම් ප්‍රතිභාවක් තිබුණත් තමන්ට අවිනිශ්චිත හෝ නොදන්නා යමක් වේ නම් දන්නා අයෙකුගෙන් විමසා දැනගන්න තරම් නිරහංකාර මහත්මා ගතිගුණ එතුමාගේ පැවති බව මා පෞද්ගලිකව අත්දැක තිබෙනවා.
එතුමා මට නිර්මාණය කර දුන් හැම නිර්මාණයකටම මං කැමැතියි. එතුමා ගැයූ ගී අතරින් ‘ගමෙන් ලියුමක් ඇවිල්ලා’ ගීතය මං ආසාම ගීතයක්. මමත් එතුමා වෙනුවෙන් පැවැත්වෙන ‘ක්ලැරන්ස් ගීතෝපහාර’ ප්‍රසංගයට සහභාගි වෙනවා.”

‘සන්ෆ්ලවර්’ නම දුන්නේ ක්ලැරන්ස්

අතුල අධිකාරි
“ක්ලැරන්ස් අයියාව මට මුලින්ම හමුවුණේ මගේ වයස අවුරුදු පහළොවේදීයි. ඒ මමයි නීලූයි (නීල් වර්ණකුලසූරිය) සංගීත ප්‍රසංගයක් සඳහා ගායක ගායිකාවන් ගෙන්වා ගැනීමට ක්ලැරන්ස් අයියාව හමුවීමට ගිය දවසකදීයි. එදා සිට සංගීත ක්ෂේත්‍රයේ මං ගොඩක් පි‍්‍රය කරපු පුද්ගලයෙකු වුණා ක්ලැරන්ස් අයියා.
ඊට පෙර මා ඔහුට පි‍්‍රය කළේ කලාකරුවෙකු ලෙස පමණයිනේ. මුණ ගැහිලා කතාබහ කළාට පස්සේ ඔහු මගේ පි‍්‍රයතම පුද්ගලයෙකු ද වුණා. ක්ලැරන්ස් අයියා තමයි අපේ සංගීත කණ්ඩායමට ‘සන්ෆ්ලවර්’ නම දුන්නෙත්.
කාලයක් අපි ක්ලැරන්ස් අයියා සමඟ එකට වැඩ කළා. ඒ අපේ කණ්ඩායමට වැඩ නොතිබුණු අවස්ථාවල දී. ඉන්පසු අපේ දැන හැඳුනුම්කම දිගටම තිබුණත් මට ක්ලැරන්ස් අයියාගෙන් කරගන්න ලැබුණේ එකම එක ගීතයක් (වේදිකාව ජීවිතේ අපේ”) විතරමයි.”
“ක්ලැරන්ස් අයියා අපේ සංගීත ක්ෂේත්‍රයට එතෙක් නොපැවති නැවුම් සංගීත ශෛලියක් ගෙන ආවා. ඔහු කරපු හැම නිර්මාණයක්ම වාගේ ජනපි‍්‍රය වීම සුවිශේෂයි.
ක්ලැරන්ස් අයියා ඔහුට නිර්මාණය කර ගත් ගීත පමණක් නෙමේ වෙනත් ගායක ගායිකාවන්ට නිර්මාණය කළ ගීතත් ඉහළම ජනපි‍්‍රයත්වයකට පත් වුණා. මේ තරම් ජනපි‍්‍රය ගීත ප්‍රමාණයක් නිර්මාණය කළ ක්ලැරන්ස් අයියා වගේ වෙන කෙනෙකු නැහැ කියලා තමයි මට නම් හිතෙන්නේ.”

ක්ලැරන්ස්ගේ නිර්මාණයන්ට නව සංගීතයෙන් දායක වීමට ලැබීම භාග්‍යයක්!

සංගීත අධ්‍යක්ෂ නඳුන් රත්නායක
“ක්ලැරන්ස් විජේවර්ධන අපට උන්නු ප්‍රතිභාපූර්ණ සංගීතඥයෙක්. ඔහු නිර්මාණය කළ ගීතවල සදාකාලික වටිනාකමක් තියෙනවා.
එවැනි නිර්මාණ එකතුවක (“ක්ලැරන්ස් නිර්මාණ” අංක - 1 ගීත ඇල්බමයේ) සංගීතය සපයන්න මා හට අවස්ථාව ලැබීම විශාල භාග්‍යයක් ;ලස මා සලකනවා.
මුලින්ම මට මේ භාග්‍ය උදාකර දුන් ශීලා විජේවර්ධනටත්සිරි හෙට්ටිආරච්චිටත් මං ස්තූතිවන්ත වෙනවා. ඔවුන් මට කීවේ මුල් නිර්මාණ විකෘති නොකර නව සංගීතය සපයන්නයි. මම ඉතාම පරිස්සමින් මුල් නිර්මාණවල රසය රැකගෙන වර්තමාන පරම්පරාවට ගැළපෙන අයුරින් මේ ඇල්බමයේ ගීත සංගීතවත් කළා.
පරම්පරාවෙන් පරම්පරාවට පැවතීමට සුදුසු සර්වකාලීන වටිනාකමක් ක්ලැරන්ස්ගේ නිර්මාණවල ඇති බවයි මගේ හැඟීම.”
READ MORE - මලට බඹරෙකු සේ සිතට එන ක්ලැරන්ස්