----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

Showing posts with label ගායකයෝ. Show all posts
Showing posts with label ගායකයෝ. Show all posts

මට මගේ නොවන මගේම ආදරයක්

Tuesday, November 26, 2013


මට මගේ නොවන මගේම ආදරයක්

ඉකි ගසා හඬන අතීතයක
කඳුළු එක්ක ගනුදෙනු කරනා
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුණා
හීනෙන් හිනැහී තුන්යම මා රවටා
මැදියම් මහ රෑ
අදටත් හිත ඉගිළෙනවා
නින්දෙන් ඇහැරී
කළු‍වරේම යළි සොයනා
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුණා
රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා
සුසුමින් විතරක්
නිරතුරුවම පිරි මදිනා
උහුලනු බැරි තැන
උණු කඳුළුම වගුරුවනා
මට මගේම නොවන
මගේම ආදරයක් තිබුණා
 
* පද රචනය - අමිල තේනුවර
* සංගීතය - දර්ශන රුවන් දිසානායක
* ගායනය - විශාරද අමරසිරි පීරිස්
“මේ ගීතය ජයන්ත අයියා (ජයන්ත චන්ද්‍රසිරි) ගේ ‘සමනල සංධ්වනිය’ චිත්‍රපටයේ තේමා ගීතය. මේ චිත්‍රපටයෙන් වගේම ගීතයෙනුත් කියැවෙන්නේ තමන්ගේ නොවන තමන්ගේම ආදරයක් පිළිබඳවයි. අපි කාගේත් ජීවිත තුළ එවැනි ආදර අත්දැකීම් තියෙනවා. ජීවත් වෙන හැම මනුස්සයෙකුටම ඒක පොදුයි. මටත් එහෙම වුණා. මටත් මගේ නොවන මගේම ආදරයක් තිබුණා. ඒත් මේ සමාජ සංස්කෘතික රටාව තුළ මම වගේම පරිසමාප්තව කිසිම කෙනෙකු ඒ ආදරය විඳලා නැහැ. වින්ඳා නම් කවදාවත් මෙහෙම ලියන්න බැහැ. සමහර මිනිස්සු ඒ ආදරය හංගාගෙන තියාගෙන ජීවිත කාලයම විඳවලා මියැදෙනවා. මට ඕනෑ වුණේ ඒ ආදරය පිළිබඳ අත්දැකීමත් එක්ක මගේ තිබුණු ගනුදෙනුව අත්හැර දමා ඉන් මිදෙන්නයි.”
ගී පද රචක අමිල තේනුවර මෙවර “ගී මිහිර” ගෙනෙන්නට අප සමඟ එක්වෙමින් එලෙස හෙළිදරව් කළේ මේ දිනවල තිරගත වන “සමනල සංධ්වනිය” චිත්‍රපටයේ ඇතුළත් ගීත ශ්‍රාවකයින්ගේ සිත් ගත් “ඉකි ගසා හඬන අතීතයක” ගීතය නිර්මාණය වූ ඔහුගේ සිතුවිලි සමුදායේ පසුබිම් පිළිබඳවයි. තරුණ ගී පද රචක පරම්පරාවේ පළපුරුදු නිර්මාණකරුවෙකු වී සිටින අමිලට තවදුරටත් මෙම ගීතය නිර්මාණය වූ පසුබිම් කතාව පවසන්නට දැන් අපි ඉඩ දෙමු.
“මට වයස අවුරුදු 17 හෝ 18 පමණ සාමාන්‍ය පෙළ කරලා උන්න සංක්‍රාන්ති කාලයේ එක්තරා ගැහැනු ළමයෙක් මුණ ගැහුණා අහම්බෙන් වගේ. මට ඕනෑ වුණා ඇයට ආදරය කරන්න. ඒත් කවදාවත්ම මට බැරි වුණා මගේ ආදරය ඇයට ප්‍රකාශ කරන්න. ඇත්තම කියනවා නම් අමරසිරි පීරිස් ගයන ‘අතින් වත් අත ඇල්ලුවේ නෑ’ ගීතයේ සංකල්පනාවටත් මුල් වුණෙත් ඒ අත්දැකීමම තමයි. ඒ කාලයේ මමම ලියා කවියකින් හෝ ගීතයකින් මගේ අදහස් ප්‍රකාශ කරන්න වත් මට පුළුවන් වුණේ නැහැ. ඉතින් මම කළේ මහගමසේකර, රත්න ශ්‍රී විජේසිංහ වැනි කවියන්ගේ කවි පොත් ඇයට දෙන එකයි.”
“තාමත් මට මතකයි, සේකරගේ ‘නොකියන ආදරේ’ කවි පන්තියේ තියෙනවා ‘නොකී මුත් වචනයෙන් - දරා ඉන්න නමුත් හිත යට - දරා ගන්න බැරිය එය මට - දෙනෙත දෙනෙතින් ගැටී ගිය විට’ යනුවෙන්. ඒ වගේ තැන්වල යටින් ඉරි ගහලා තමයි මම ඇයට ඒ කවි පොත් දුන්නේ. හැබැයි ඉරි ගැහැව්වේ කවකටුවකින්. අති සියුම් ඇහැක් තියෙන්න ඕනේ එය පෙනෙන්න නම්. ඇයට මා බලාපොරොත්තු වූ ඒ සියුම් ඇහැ තිබුණේ නැති හින්දා ප්‍රකාශයට පත් වුණේ නැහැ මගේ ආදරේ. ඉන්පසු ආදරණීය ප්‍රේම ගී ඇතුළත් කැසට් පට දුන්නා ඇයට අහන්න. ඒත් මගේ ආදරේ ප්‍රකාශයට පත් වුණේ නැහැ.”
“අවුරුදු දහයක් පමණ කාලයක් ඔය අත්දැකීම මගේ හදවතේ නිද්‍රාවට පත්වෙලා තිබුණා. මම කොහොමත් කවියක් ගීතයක් නිර්මාණය කරන්න ඉක්මන් වෙන්නේ නැහැ. විලිරුදාව හැදිලා නිර්මාණය බිහිවෙන තුරු ඉඳීම තමයි මගේ පුරුද්ද. සීසර් සැත්කම් වලින් නිර්මාණ බිහි කරන්න මං කැමැති නැහැ. මං හිතනවා තමන් විඳවලා කරන නිර්මාණ තමයි සාර්ථක වෙන්නේ කියලා. අවුරුදු දහයකට විතර පස්සේ ‘සමනල සංධ්වනිය’ චිත්‍රපටය වෙනුවෙන් මේ ගී සංකල්පනාව අපූරුවට ගැලපුණේ ඒ නිසයි. මගේ හැම නිර්මාණයක් වගේම මම බෞද්ධ දර්ශනය තුළ ඉඳගෙන තමයි මේ නිර්මාණයත් කළේ. විශේ‍ෂයෙන් ‘අත් ඇරීම’ කියන සංකල්පය මත සිට තමයි මම මේ ගීතයේ පද බැන්දේ.
‘මට මගේ නොවන ආදරයක් තිබුණා’ යන මතුපිට අර්ථය (භෞතික අර්ථය) හැමෝම අල්ලා ගත්තත් ඊට එහා ආධ්‍යාත්මික වූ දෙයක් මට කියන්න ඕන වුණා. මම මගේම ආදරයයි, මගේම නොවන ආදරයයි දෙක එකට තියලා දිය කර හැරියාම ඉතිරි කිසිවක් නැහැ. ශුන්‍යයි. ආධ්‍යාත්මික අර්ථය එයයි. ‘සමනල සංධ්වනිය’ චිත්‍රපටයේ කථා නායකයාත් කුඩා කල අතහැරුණු ප්‍රේමය නිසා තමයි ශුන්‍යත්වයේ ඇරියස් එකකින් කෘතහස්ත කලාකරුවෙකු වෙන්නේ. නැති දේ තමයි අපිට වටින්නේ. ඒ නිසා තමයි මේ ගීතය මිනිස්සුන්ට මේ තරම්ම දැනුණේ.”
READ MORE - මට මගේ නොවන මගේම ආදරයක්

අතේ තිබුණු කෝටි ගාණක් නැත්තටම නැති වුණා

Friday, November 15, 2013

අතේ තිබුණු කෝටි ගාණක් නැත්තටම නැති වුණා

කීර්ති පැස්කුවල්
කීර්තිගේ ගී ප්‍රසංගය සමඟ 'තව දවසක්' ගී තැටිය 24 වැනිදා එළිදකී
තව දවසක් හමු වී ඉමු
මේ භවේ
එක සැරයක් දුටුවත් ඇති
දෑස් ඔබේ...!
(පද - සජිත් වී. චතුරංග)
වසන්තයේ දී මෙන්ම ගිම්හානයේදී ද ගීතලෝලී සිත් ආකර්ෂණය කරගන්නා අපේ සංගීත ක්ෂේත්‍රයේ “ළයාන්විතයා” වන කීර්ති පැස්කුවල් ගයන නවතම ගීතයක් ගුවනේ පාවී එයි. වසරේ සෑම සෘතුවකටම ගැළපෙන හඬක් (voice for all season) හිමි ගායන ශිල්පියෙකු වන කීර්ති මේ වසර මුලදී එනම් ජනවාරි 27 වැනිදා “රසඳුන” සමඟ කළ කතාබහකදී “මේ අවුරුද්ද අවසානයට පෙර මගේ ගීත ප්‍රසංගයක් පවත්වනවා. එදාට මගේ අලුත්ම ගීත තැටියත් එළිදක්වනවා” යයි කී අයුරුම එය ඉටු කරන්නට මේ දිනවල සූදානම් වේ.
ඒ, ලබන 24 වැනිදා සවස 6.45 ට නවිකෘත කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර නව සම්මන්ත්‍රණ ශාලාවේදී ය. එහිදී කීර්තිගේ සජිවි ඒක පුද්ගල ගීත ප්‍රසංගය වන Keerthi Acoustica Unplugged Live Concert පැවැත්වීමටත් ඒ හා සමගාමීව ඔහුගේ නවතම ගීත ඇල්බමය වන “තව දවසක්” එළිදැක්වීමටත් නියමිත ය. ඒ නිමිත්තෙන් මෙවර “ස්වර වර්ණ” සිය සිතුවිලි වලින් වර්ණ ගන්වන්නට අපි කීර්තිට ආරාධනා කරමු.
“මගේ ඒක පුද්ගල ගීත ප්‍රසංගයක් මේ පැවැත්වෙන්නේ අවුරුදු පහළොවකට පස්සේ. මගේ ප්‍රසංගයට මේ නම යොදලා තියෙන්නේ මෙහිදී පාවිච්චි කරන එකෝස්ටික් සංගීත භාණ්ඩ නිසායි. ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ යොදා ගන්නේම නැහැ. වාදකයින් 25 දෙනෙක් මෙහි වාදනයේ යෙදෙනවා. මෙය සංගීතවත් කරන්න සංගීත අධ්‍යක්ෂවරු හතර දෙනෙකුට මං ආරාධනා කර තියෙනවා. සංගීතයේ වෙනස් ම වූ රසමුසු අත්දැකීමක් ගීත රසිකයින්ට ලබා දීමේ හැඟීමෙන් තමයි මෙහෙම සංගීත භාණ්ඩ වල සහ සංගීත ශිල්පීන්ගේ වෙනසක් ඇති කළේ. විශේෂයෙන් සංගීත භාණ්ඩ සංකලනයෙන් උත්පාදනය කළ හැකි උපරීම රසය ප්‍රේක්ෂකයින්ට ලබා දීමට මම මෙහිදී උත්සාහ කරනවා.”
. සංගීත භාණ්ඩ වෙනස් කර වැඩි සංගීත ශිල්පීන් පිරිසක් යොදා ගත් පමණින් ප්‍රේක්ෂකයින්ට නැවුම් රසයක් ලබා දීමට හැකිවේ ද...?
“සංගීත භාණ්ඩ සහ ශිල්පීන්ගෙන් පමණක් නෙමේ මේ ප්‍රසංගයට නැවුම් රසයක් එක් කරන්නේ. රසිකයින් අසා පුරුදු මගේ ජනප්‍රිය ගී තනු වෙනස් නොකර නව නිර්මාණ ලෙස සංගීතවත් කෙරෙනවා. මා මෙහිදී ගයන ගීත විසි හයෙන් දහයකට වැඩි ප්‍රමාණයක් එලෙස ගයනවා. මගේ අලුත්ම ගීත කිහිපයකුත් ගායනා කරනවා. භාවනායෝගීව මෙන් ගීතය විඳින්න මගේ ප්‍රේක්ෂකයාට අවස්ථාව සලසා දීම තමයි මගේ අරමුණ.
. ගීත ප්‍රසංගයට සමගාමීව එළිදක්වන ඔබේ අලුත්ම ගීත ඇතුළත් ‘තව දවසක්’ සංයුක්ත තැටියේ නිර්මාණ දායකත්වය කාගෙන් ද...?
“මගේ ‘තව දවසක්’ ගීත ඇල්බමයට ගී පද රචනයෙන් සහ තනු නිර්මාණයෙන් අලුත් නිර්මාණකරුවන් වැඩි පිරිසකගේ නිර්මාණ මම දායක කර ගත්තා. නිර්මාණය හොඳ නම් නවකයෙකුගේ වුණත් මම ගායනා කරනවා. ඒකට උදාහරණයක් තමයි මගේ ‘කඳුළ’ ගීතය. ඒ නිර්මාණයට දායක වූ දෙදෙනාම නවකයින්. ඒ ගීතයට තවමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම කිසිම විටෙක ප්‍රවීණයින්ගේම ගීත භාවිත කළ යුතුයි කියන මතයේ නැහැ. නිර්මාණය හොඳ නම් මම සතුටෙන් එය බාර ගන්නවා. ගීත 16 ක් මේ තැටියට ඇතුළත් කරනවා. තවමත් ගීත තැටිගත කිරීම් කරගෙන යනවා. ප්‍රසංගය දා වන විට සියලු කටයුතු අවසන් කරගන්න පුළුවන් වෙයි කියා මං හිතනවා. ඒ වගේම එදාට මගේ තොරතුරු සහ ගීත ඇතුළත් නිර්මාණාත්මක සමරු කලාපයකුත් මගේ සෑම රසික රසිකාවියකටම ලබා දෙන්නත් මම අදහස් කරගෙන ඉන්නවා.”
. ඔබ මේ ගීත ප්‍රසංගය පවත්වන්නේ කිසියම් සුවිශේෂ සද්කාරයක් උදෙසා දායක වීමේ අරමුණින් නේද...?
“විශේෂයෙන්ම මම දැන් අවුරුදු 15 ක පමණ කාලයක් පුරා කෝට්ටේ ශ්‍රී වජිර ළමා නිවාසය සමඟ කටයුතු කරනවා. සුනාමි ව්‍යසනයෙන් පසුව එහි ළමයි 380 ක් පමණ උන්නා. දැන් ළමයි 190 ක් පමණ එහි ඉන්නවා. පසුගිය කාලය පුරාවටම මම ඔවුන් සමඟ දානමාන, තෑගිබෝග, ගීත ප්‍රසංග වැනි විවිධ ක්‍රියාකාරකම් කළා. මෙවැනි දරුවන් වෙනුවෙන් මගේ සංකල්පයකට අනුව ‘The Child සුබ සාධක පදනම’ නමින් පදනමක් ද පිහිටුවා තිබෙනවා. පසුගිය මගේ උපන් දිනය දාත් (ජනවාරි 29 වැනිදාත්) මම ‘නිල් ආකාසේ’ නමින් ළමා ගීත තැටියක් එළි දැක්වූවා. 2005 දී බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී මා දරුවන් වෙනුවෙන් පැවැත් වූ ගීත ප්‍රසංගයේ දීත් මේ ළමා නිවාසයේ ළමයින් වැඩි දෙනෙකු සහභාගි කරවා ගෙන ගීතයක් ගායනා කළා. මේ දරුවන්ට පාසලක් පැවැත්වෙන්නෙත් මේ ළමා නිවාසය ඇතුළේමයි.
එම පාසල අහවර වෙලා හවස් වරුවේ දරුවන්ට සංගීත පාසලක් පවත්වන්න මං කටයුතු කරගෙන යනවා. ඒ සඳහා සුදුසු සංගීත ආචාර්යවරයකු පත් කරලා වැටුප් ගෙවන්න, සියලුම සංගීත භාණ්ඩ සහ උපකරණ ලබා ගන්න වගේම ඉදිරි නඩත්තු කටයුතු කරගෙන යාමට මේ ප්‍රසංගයෙන් ලැබෙන ආදායමෙන් යම්කිසි කොටසක් යොදවන්න මං අරමුණු කරනවා. ඒ තුළින් අධ්‍යාපනයට අමතරව සිහින එහෙම නැත්නම් කලාත්මක සිතුවිලි මේ දරුවන්ගේ සිත්වලට ඇතුළු කරලා ඔවුන් හොඳ පුරවැසියන් බවට පත් කිරීමට හැකිවෙයි කියා මං බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ දෙමවුපියන්, ඥාතින් අහිමි වී ඉන්න දරුවන්ට මානසික වින්දනය සහ සුවය ලැබෙන විට ඒ අයට යම්කිසි සෞන්දර්යාත්මක චින්තනයක් පහළ වේවි කියා මං විශ්වාස කරනවා.”
. ඔබ සංගීත චිකිත්සාව හා සම්බන්ධ සද්කාරයකටත් සූදානම් වෙන බව ආරංචියි.
“ඔව්. දැනට ලෝකය පුරාම ප්‍රචලිත වෙමින් පවතිනවා වෛද්‍ය විද්‍යාවේ බේත්හේත් වලට අමතරව 40% ක පමණ රෝග සුවයක් සංගීතයෙන් කරන්න පුළුවන් කියන මතය. ඊට අදාළව සංගීත චිකිත්සාව (music therapy) නමින් වැඩමුළු පැවැත්වෙන අතර හෘදයාබාධ, අධි රුධිර පීඩන, දියවැඩියා, පිළිකා සහ මානසික රෝගීන් එම වැඩමුළුවලදී සුවය අත්දකින ප්‍රවණතාව වැඩි වී තිබෙනවා. 1952 සිට තමයි මෙම සංගීත චිකිත්සාව ඇරඹුණේ. දැන් ලංකාවෙත් සිදු කෙරෙනවා. ඉතින් මමත් තව සංගීත ශිල්පීන් හතර දෙනෙකුත් වෛද්‍යවරයෙකුත් එකතු වෙලා මේ කටයුත්ත ආරම්භ කරන්න කටයුතු සූදානම් කරගෙන යනවා. අපි විවිධ ආරෝග්‍ය ශාලා, වැඩිහිටි සහ ළමා නිවාස, අධ්‍යාපන ආයතනවලට ගොස් සංගීත චිකිත්සාවෙන් යම් යම් රෝගාබාධවලට ලක් වී ඉන්න රෝගීන්ට සේවයක් සලසන්න අදහස් කරනවා.”
. මෙතෙක් ගායන සහ වාදන ශිල්පියෙකු ලෙස අප හඳුනා ගෙන සිටි “කීර්ති පැස්කුවල්” ඉදිරි දවසකදී “සංගීත වෛද්‍යවරයෙකු” ලෙසින් අපට හමුවේවි ද...?
“යම්කිසි විදිහක සංගීත වෛද්‍යවරයෙකු හැටියට තමයි සංගීතය තුළින් මෙම කටයුත්තේ නියැළෙන විට ඔබට මා හමු වෙන්නේ. ‘කොහොමද සංගීත චිකිත්සාවෙන් රෝග සුව කරන්නේ’ කියලා සංගීත ශිල්පියෙකු ලෙස මමත් අධ්‍යයනය කරනවා. සංගීත ශිල්පියෙකු ලෙස මා ලද අත්දැකීම් මම මෙහිදී යොදවන්න බලාපොරොත්තු වෙනවා. මගේ සංගීත ශෛලිය කිසියම් මානසික සුවයක් ලබා දීම පිණිස ගැළපෙන බව මම විශ්වාස කරනවා. මා ලබා ගත් දැනුමෙන් සමාජයට යම්කිසි දෙයක් දිය යුතුයි කියා මම හිතනවා. අපි අද කලාකරුවන් බවට පත්වෙලා යම් ස්ථාවර ජීවන තත්ත්වයක ඉන්නේ සමාජය අපිව පිළිගත් නිසයි. ඉතින් ආපසු සමාජයට වටිනා වැදගත් දෙයක් දීමේ අරමුණින් තමයි මම මේ සංගීත චිකිත්සාවට දායක වෙන්නේ.”
. “සංගීත චිකිත්සාව” අපේ සංගීත ක්ෂේත්‍රයේ නව ප්‍රවණතාවක් වේද...?
“එය එසේ වුවහොත් එය ඉතාම යහපත් ප්‍රවණතාවක් වේවි. හැබැයි නිවැරදිව මේ කරුණු කාරණා තෝරා බේරාගෙන සුදුස්සන් පමණක්ම ඉතාම වගකීමෙන් යුතුව මේ කටයුත්තේ නියැළෙන්න ඕනේ. අපේ වැඩමුළු හා සමඟ බොහෝ දුරට මෙය අපේ රටේ ව්‍යාප්ත වෙලා යාවි. ඒ සේවය මේ රටේ ඉන්න විවිධ රෝගාබාධ වලට ලක්වෙලා ඉන්න රෝගීන්ට ලොකු සේවාවක් වේවි.
. මෙහිදී සංගීතයෙන් හා ගීත ගායනයෙන් මෙහෙවරක් වෙන්නේ කුමන අරුතෙන් ද...?
“අනිවාර්යෙන්ම රෝග සුව කිරීමට යම් තරමක (40% පමණ) දායකත්වයක් සැපයීමෙන් එය පැහැදිලි වෙනවානේ. හෘද රෝග විශේෂඥ රුවන් ඒකනායක මහතාත් මෙම සංගීත චිකිත්සාව එතුමන්ගේ රෝගීන් සඳහා යොදා ගන්නවා. එතුමාත් කියනවා - ‘බේත් හේත් කොච්චර දුන්නත් සංගීතයෙන් කෙරෙන බලපෑම් තුළින් ලැබෙන මානසික සුවයෙන් රෝගීන්ව 40% ක් සුව කරන්න පුළුවන්’ කියලා. මෙහිදී මට මතක් වෙන්නේ වජිර ළමා නිවාසයේ ස්වාමින් වහන්සේ වරක් මට පැවසූ මේ කරුණයි.
‘අපිට කෑම බීම, ඇඳුම්, ගොඩනැඟිලි, තෑගි බෝග, වෙනත් පහසුකම් හැමදේම ලැබෙනවා. ඒත් අවුරුදු පහළොවක්ම සංගීතයෙන් දානේ දුන්නේ මහත්මයා තමයි.’ ඉතින් එයින් දරුවන්ට ලැබෙන වින්දනය හා සතුට නිසා ඔවුන්ගේ ජීවිත වලට නව පණක් දෙනවා වගේ ඔවුන් ප්‍රබෝධයක් ලබා අධ්‍යාපනයට ඕනෑ කරන මානසික මට්ටමට එනවා. මේ සියල්ලක්ම හරහා මං හිතන්නේ සංගීතයේ පුදුම බලයක් තියෙනවා කියලයි.”
. අවුරුදු කිහිපයකට පෙර නවසීලන්තයේ දී ඔබත් කිසියම් මානසික පීඩනයකට ගොදුරු වී සිටියා. එම තත්ත්වයට මුහුණ දීමේ දී සංගීතයෙන් ඔබට වාසියක් වීද...?
“සැබැවින්ම ඔව්. මේ සංගීත ක්ෂේත්‍රයේ මං වගේ කවුරුත්ම නැතුව ඇති නැඟීම්, ගැටීම්, තැලීම්, වැටීම් හා ආපසු නැඟිටීම් වැනි ජීවිතයේ විවිධාකාර වූ අත්දැකීම් සහ පීඩනයන්ට මුහුණ දුන්. මගේ අතේ කෝටි ගණන් සල්ලි තිබුණා. ඒවා නැත්තටම නැතිවෙලා මම යාචකයෙකු හා සමාන තත්ත්වයට පත්වුණා. ඒත් මම නැවත ඔළුව ඉස්සුවා. සියල්ලට මුහුණ දෙන්න මට මානසික ශක්තිය, ආත්ම විශ්වාසය සහ ආත්ම ශක්තිය ලැබුණු පසුබිම සංගීතයයි. කවදාවත් මම සැලෙන්නේ නැහැ.
මං අඬන්නේ නැහැ. වේදනාවෙන් ඔළුව ගහගෙන හෝ ඔළුව කැක්කුම් හැදිලා විඳව විඳවා ඉදලා නැහැ. මම නිවුණු මනුස්සයෙක්. මට කේන්ති යන්නේ නැහැ. මම ආවේගශීලී වෙන්නේ නැහැ. කවුරුන් හෝ සමඟවත් දබරයට යන්නේ නැහැ. මම කවුරුන් ගැන හෝ ඊර්ෂ්‍යාවෙන් කතා කරන්නේ නැහැ. ද්වේශයක් නැහැ කා කෙරෙහිවත්. ඒ නිසාම මට තරහාකාරයෝ නැහැ. මේ සියල්ලක්ම සංගීතයෙන් මට ලැබුණු දායාද ලෙස මං විශ්වාස කරනවා. දරා ගැනීමේ ශක්තිය මට තියෙනවා. ඒ සංගීතය හරහා මට ලැබුණු හික්මීම නිසා. ශ්‍රී ලාංකිකයෙක් හැටියට ඕනෑම තැනක මාව පිළිගන්නවා. මිනිස්සුන්ගේ හදවත් තුළ මං ජීවත් වෙනවා. මට යම්කිසි දෙයක් මේ සමාජයට කරන්න පුළුවන්කම ලැබී තියෙනවා. ඒ දේ මම මගේ සංගීත කලාවෙන් කරනවා.”
READ MORE - අතේ තිබුණු කෝටි ගාණක් නැත්තටම නැති වුණා

‘ක්ලැරන්ස්ගේ ගී රජිව් ට තහනම් ද?’

Tuesday, June 18, 2013

‘ක්ලැරන්ස්ගේ ගී රජිව් ට තහනම් ද?’

සංවාදය
 
සිරි හෙට්ටිආරච්චිගෙන් රජිව් සෙබස්තියන්ට පිළිතුරු
මුදල් ගෙවා ලබාගත් සින්දු මිසක් ක්ලැරන්ස්ගේ වෙන සින්දු කිව්වොත් අපි සෙබස්තියන්ට නඩු පවරනවා
ක්ලැරන්ස් විජේවර්ධන පාර්ශවයෙන් රජිව් සෙබස්තියන්ට කැලැරන්ස්ගේ ගීත තහනම් බැව් පවසන නමුත් රජිව් පවසන්නේ තමන් දිගටම ක්ලැරන්ස්ගේ ගී ගායනා කරන බවයි. ඒ සම්බන්ධයෙන් පසුගිය දෙවැනිදා ‘රසඳුන’ සමඟ රජිව් විශේෂ හෙළිදරව්වක් කළ අතර ඊට එරෙහිවූ සිරි හෙට්ටිආරච්චි ‘ක්ලැරන්ස්ගේ ගී රජිව්ට තහනම් ද’ සංවාදයට එක් වෙමින් කළ කතා බහයි මේ.
“මම මුලින්ම ත්‍යාගරාජා රජිව් ජෝශප් සෙබස්තියන් එහෙම නැත්නම් රජිව් සෙබස්තියන් ශීලා විජේවර්ධන මහත්මියටත් මටත් දොස් පවරමින් ජුනි දෙවැනිදා “රසඳුන” මඟින් කළ සියලුම ප්‍රකාශ අමූලික බොරු බව සහතික කොට පවසනවා. සෙබස්තින් කියලා තියෙන්නේ පට්ටපල් බොරු. (“රජිව් කියා ලියන්න එපා” යයි ඉල්ලමින්...) කටට ආපු බොරු ඇද බාලා මිනිස්සු රවට්ටලා. ඒ වගේම වැදගතුන්ට නිග්‍රහ කරලා. කාට ද ඔහු මේ අපහාස කරලා තියෙන්නේ. රත්නපුර බටුගෙදර හොඳ වලව්වකින් පැමිණි කුල කාන්තාවක් වන, ක්ලැරන්ස් විජේවර්ධන මහත්මයාගේ ආදරණීය බිරියටයි.
 ශීලා විජේවර්ධන මහත්මියගේ මියගිය ස්වාමි පුරුෂයාගේ ගීත ගායනා කරමින් ජීවත් වෙමින් මොහු කරන දේ හරිද. මියගිය ක්ලැරන්ස්ගේ නමට කොච්චර අගෞරවයක් ද ඔහුගේ ඇටකටු මතක් කර ප්‍රකාශ කරද්දී. මේ වැදගත් මිනිස්සු කරන ප්‍රකාශ නෙමේ, මුඩුක්කු වලින් ආපු මිනිස්සු කියන දේවල්. අද මුඩුක්කු වල මිනිස්සුවත් ඔය වගේ ජරා කතා කියන්නේ නැහැ. කිසිම වැදගත්කමකට නැති මොහු කියපු දේවල් වලට රසඳුනේ ඉඩ දුන්නා නම් මේ අපි කියන දේවලුත් කෙළින්ම පළකර දෙන්න කියා මං ඉල්ලා සිටිනවා. එසේ නැත්නම් ක්ලැරන්ස්ගේ පාර්ශවයෙන් අපිට ලොකු අසාධාරණක් සිද්ධ වෙනවා.”
“මම නැවතත් කියනවා, සෙබස්තියන් කියා තිබුණු සියලුම කාරණා පට්ටපල් බොරු කියලා. මම ඔහුට අභියෝග කරනවා - මං මේ කියන එක කරුණක් හෝ බොරු නම් මට විරුද්ධව නඩු පවරන්න කියා. ඔය සෙබස්තියන් කියන කරන තරමක් කියන්නේ කරන්නේ බොරුමයි.”
ඔබ එලෙස පැවසුවත් ක්ලැරන්ස් ජීවත්ව සිටියදී තමන් සමඟ කළ කී බොහෝ දේවල් පිළිබඳ රජිව් සාක්ෂි ඇතුව පවසා තිබුණා නේද..?
“මම ඒ සියල්ල ගැන ශීලා විජේවර්ධන මහත්මියගෙන් විමසා බැලුවා. ඇය පැවසුවේත් ඔය සෙබස්තියන් පවසා තියෙන්නේ අමූලික බොරු බවයි. (“ඔය සේරම හෙළිදරව් කරලා ඇත්ත පෙන්නලා දෙන්න ඉක්මනින්ම ආයෙමත් විජේවර්ධන මහත්මිය ලංකාවට එනවා කියලත් කිව්වා” යයි සිහිපත් කරමින්...) මම දන්නා අයුරින් මම පවසන්නේත් එයමයි. ක්ලැරන්ස් මහත්මයා ජීවත්ව සිටිද්දී කිසි දවසක සෙබස්තියන් ඔහුගේ නිවෙසට පැමිණ නැති බව අපි තවදුරටත් පැහැදිලිවම පවසනවා. හැබැයි ගේට්ටුව ගාවට ඇවිල්ලා හිටගෙන ඉඳලා හැරිලා ගියා කියලා නම් ආරංචියක් තියෙනවා.
ක්ලැරන්ස් මහත්මයාගේ තලපත්පිටියේ ගෙදරට මුලින්ම ඔය සෙබස්තියන්ව එක්කන් ගියේ මමයි. ඒ අපි පවරා තිබුණු නඩුව සමථයකට පත් කර ගන්න කතාබහ කිරීමටයි. එතකොට ක්ලැරන්ස් ජීවතුන් අතර නැහැ. විජේවර්ධන මහත්මිය උන්නේ ඕස්ට්‍රේලියාවේ. මට තාම මතකයි, සෙබස්තින් එදා සරමක් ඇඳගෙන ආවේ. හර්නියා ඔපරේෂන් එකක් කරලයි ඉන්නේ කිව්වා. මම දන්නේ නැහැ ඇත්තද බොරුද කියලා. එතැන ඉඳලා සෙබස්තියන් පවසා ඇති හැමදේම බොරු. ඒ නිසා මම හැමදේම මුල ඉඳලා කියන්නම්.”
“සෙබස්තින් කියනවානේ ඔහුගේ සංගීත ක්ෂේත්‍රයේ වීරයා ක්ලැරන්ස් කියලා. එසේ නම් ඔහු සරත් කොතලාවල සමඟ එකතු වී අනවසරයෙන් ක්ලැරන්ස්ගේ ගී ගයා CD වලට ඇතුළත් කළේ ඇයි..? එම නිසා තමයි 2005 දෙසැම්බර් මාසයේ දී ශීලා විජේවර්ධන මැතිනිය සෙබස්තියන්ටයි, සරත් කොතලාවලටයි විරුද්ධව කොළඹ මහාධිකරණයේ නඩුවක් (අංක ඩ්ඛ්/සිවිල්/26-2005 නඩුව) පැවරුවේ. නඩුව විභාගයට ගැනීමට සූදානම් වනවිට සෙබස්තියන් මා සමඟ සාකච්ඡා කර එය සමථයකට පත් කර ගත්තා.
 ඒත් විජේවර්ධන මහත්මිය එයට තරයේ විරුද්ධ වුණා. මගේ තනි කැමැත්තට අපි සමථයකට ආවා, අවුරුද්දක් ඇතුළත ලක්ෂ 20 ක් ගෙවීමට මහාධිකරණයේ දී පොරොන්දු වෙලා. ඒ අනුව එම නඩුව තාවකාලිකව ඇණ හිටියා. හැබැයි අධිකරණය සෙබස්තියන්ට නියම කළා අනවසරයෙන් ක්ලැරන්ස්ගේ ගී ගායනා කිරීම සපුරා තහනම් බවටත්, එසේ ගායනා කිරීමට අවශ්‍ය නම් ශීලා විජේවර්ධන මහත්මියගෙන් දින 14 කට කලින් ලිඛිතව අවසර ගත යුතු බවටත් ගායනා කරන ගීත වලට 30% ක මුදලක් ගෙවිය යුතු බවටත්. මේවා සියල්ලම නඩු වාර්තාවේ සදහන් වී තිබෙනවා. ‘සෙබස්තියන්ට ඒවා දැන් මතක නැද්ද’ කියා මට හිතෙන හින්දයි මෙහෙම නැවත මතක් කර දෙන්න හිතුවේ.”
“මම කියන්නේ සාක්ෂි තියෙන කාරණායි. මියගිය පුද්ගලයින්ගේ නම් සදහන් වෙන කාරණා මං ඉදිරිපත් කරන්නේ නැහැ. අවුරුද්දක් ඇතුළත පොරොන්දු වූ මුදල සෙබස්තියන්ට ගෙවන්න බැරි වුණාම නැවත නඩු දිනේකදී ඔහු ඇස්වල කඳුළු පුරෝගෙන මහාධිකරණ භූමියේ දී මා ළඟට ඇවිත් ‘තව අවුරුද්දක් කල් දෙන්න’ කියා බැගෑපත් වුණා. මම අනුකම්පා කර සෙබස්තියන්ට මුදල් ගෙවීම සඳහා තව අවුරුද්දක් ලබා දෙන ලෙස නීතිඥයන්ට උපදෙස් දුන්නා. දැන් එම කාල සීමාවත් ඉවරයි. තවම ඔහු ගෙවා තිබෙන්නේ රුපියල් ලක්ෂ 7 1/2 ක් (හත හමාරක්) පමණයි.
තව රුපිල් ලක්ෂ 12 1/2 ක් ඔහුගෙන් අපට අයකර ගැනීමට තියෙනවා. මීට අමතරව ලක්ෂ 2 1/2 ක (දෙකහමාරක) අගරු චෙක් පතක් සෙබස්තියන් මා හට දී වංචාවක් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අප මහරගම පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් කළා. මේවා බොරු නෙමේ. පොලිස් පොතේ මේ විස්තර සියල්ලම සටහන් වී තියෙනවා. ඒ වගේම අගරු වූ චෙක්පත ඉදිරිපත් කරන්නත් පුළුවන්. නඩු අංකය ඉදිරිපත් කරන්නත් පුළුවන්.
සෙබස්තියන් මාව පමණක් නෙමේ කාලයකට ඉහත දමයන්ත කුරුප්පු සහ සරත් කොතලාවල ඇතුළු කිහිප දෙනෙකුවම රවටා තියෙනවා. සෙබස්තියන් කාඩ්බෝඩ් ක්ලැරන්ස් වි?ජේවර්ධන කෙනෙක් වෙන්න ගිහින් ‘සුසීමා’ ටෙලි නාට්‍යයේ ක්ලැරන්ස්ගේ සින්දු පොඩ්ඩක් එහා මෙහා කරලා හදලා දුන්නු ‘සුසීමා’ චිත්‍රප?ටයේ සින්දු අසාර්ථක වීම නිසා එහි නිෂ්පාදකයින්ට බරපතළ පාඩුවකුත් සිදු වුණා. ඒ ගැන ‘සුසීමා’ චිත්‍රපටයේ නිෂ්පාදක සහ අධ්‍යක්ෂ මහතුන්ගෙන් අසා දැන ගන්නත් පුළුවන්.”
2001 නොවැම්බර් මාසයේ දිනයකදී ක්ලැරන්ස් උපහාර ප්‍රසංගයක් පවත්වා ශීලා විජේවර්ධනට මුදල් පරිත්‍යාගයක් කළ බවත් රජිව් සෙබස්තියන් පැවසුවා නේද..?
“එයත් අමූලික බොරුවක්. ආනන්ද විදුහලේ ආදි ශිෂ්‍ය සංගමයට ආධාර පිණිස පැවැත්වූ ක්ලැරන්ස්ගේ ගී ගායනා කළ සංගීත ප්‍රසංගයකදී එම සංගමයේ භාණ්ඩාගාරිකවරයා අත්සන් කළ මුදල් චෙක් පතක් නම් දමයන්ත කුරුප්පු මහත්මයා විජේවර්ධන මහත්මියට බාර දුන්නා. එම ප්‍රසංගය සෙබස්තියන් පැවැත් වූ ප්‍රසංගක් නොවේ. ඉතින් ඒ මුදල සෙබස්තියන් දුන්නු මුදලක් වෙන්නේ කොහොමද. ඔය වගේ පට්ටපල් බොරු තමයි ඔහු ඇද බාන්නේ.”
රජිව් සාක්ෂි ලෙස ඉදිරිපත් කරන ඔහුට ක්ලැරන්ස් එවූ ලිපිය සහ ගුවන් විදුලියේ ගීත අනුමැතිය ලද බව සනාථ කරන ලිපිය ඔබ පිළිගන්නවා ද..?
“නැහැ. මම කොහොමත්ම ඒවා පිළිගන්නේ නැහැ. සෙබස්තියන්ට ගොඩාක් බොරු කියන්න, කරන්න පුළුවන්. ක්ලැරන්ස්ගේ අස්සන හොරට ගහලා ඉදිරිපත් කළා ද දන්නේ නැහැනේ. මං හිතනවා ක්ලැරන්ස් එව්වා කියන ලිපිය ව්‍යාජ අස්සනක් යොදා ගත් ලිපියක් කියලා. ගුවන් විදුලියේ ගීත අනුමත වූ ලිපිය ගැන මං දන්නේ නැහැ. විජේවර්ධන මහත්මිය එය විශ්වාස කරන්නෙත් නැහැ. ඒ නිසා එම ලිපි අපි තරයේම ප්‍රතික්ෂේප කරනවා.”
එසේ නම් රජිව් ඉදිරිපත් කර ඇති ජීවමාන පුද්ගල සාක්ෂි පිළිබඳ ඔබ පවසන්නේ කුමක්ද..?
“මම ‘රසඳුන’ ඉල්ලා සිටිනවා - සෙබස්තින් ඉදිරිපත් කරන එම ජීවමාන සාක්ෂිකරුවන් වන දයානන්ද පෙරේරා, සරත් කොතලාවල, විජය රාමනායක, කුලරත්න ආරියවංශ වැනි මහත්මයින්ගෙන් විමසා බලන්න කියා. ඒ වගේම දමයන්ත කුරුප්පු මහත්මයාගෙනුත් හුඟාක් කාරණා දැන ගන්න පුළුවන්. කුරුප්පු මහත්මයා ළඟ ඉඳලා යම් යම් දේවල් ඉගෙන ගෙන අන්තිමේ දැන් ඒ මහත්යාට දොස් කියන සෙබස්තියන් ගැන දැන ගන්න ඉන්න හොඳම ජීවමාන පුද්ගල සාක්ෂිය කුරුප්පු මහත්මයාමයි, සෙබස්තින් වගේ නෙමෙයි ඒ මහත්මයා. මම වගේ එංගලන්තයේ අධ්‍යාපනය ලබපු උසස් අධ්‍යාපන සුදුසුකම් තියෙන මහත්මයෙක් තමයි කුරුප්පු මහත්මයාත්.”
ක්ලැරන්ස්ගේ මළගමට ඔබ උන්නා නම් එය ඔප්පු කරන ලෙස රජිව් අභියෝග කරනවා නේද..?
“එයාගේ මොන අභියෝගයක් ද ඕක. එදා සෙබස්තියන් අස්සක මුල්ලකවත් ඉන්නවා නම් මම දැක්කේ නැහැ. මළගමේ ඍඩ්ඉ පටය මා ගාව තාම තියෙනවා. ඕනෑම වෙලාවක මට එය ඉදිරිපත් කරන්න පුළුවන්. ඔය ඔක්කොම පසුපස ඉන්නවා ක්ලැරන්ස් හින්දා යන්තම් නමක් හදා ගත්ත ෂෙල්ටන් වීරරත්න කියලා පුද්ගලයෙක්. ඒ පුද්ගලයා දෙන වැරදි උපදෙස් අනුව තමයි සෙබස්තියන් ඔය කියවන්නේ. ෂෙල්ටන් වීරරත්නත් දැන ගත්තොත් හොදයි, මම ශීලා විජේවර්ධන මහත්මියගේ පමණක් නොවේ අමිලා විජේවර්ධන මෙනවියගේත් ඇටෝර්නි බලකරු බව.”
ඔබ ශීලා විජේවර්ධනගේ ඥාතියෙකු නොවන බවත් රජිව් පවසනවා..?
“මගේ නෑදෑකම හොයන්න සෙබස්තියන්ට තියෙන අයිතිය මොකක්ද. ඔය නෑදෑකම සහෝදරකම් ඔක්කොටම වඩා වටින්නේ ‘ඇටෝර්නි බලකරු’ කියන එකයි. එය හරිහැටි නොදන්න අය එක්ක වාද කරලා තවදුරටත් කාලය නාස්ති කරන්න මං බලාපොරොත්තු වෙන්නේ නැැ. ‘එම්’ එන්ටටේන්මන්ට්ස් එකෙන් මුදල් ගෙවා අරගෙන කියන සින්දු ඇරෙන්න ක්ලැරන්ස්ට අයිති වෙනත් සින්දු කොතැනකදී හෝ සෙබස්තියන් කිව්වොත් ගන්න පුළුවන් ඉහළම නීති මාර්ග ගැනීමට පියවර ගන්නා බව අවසාන වශයෙන් මම සහතික කොට කියනවා.”
READ MORE - ‘ක්ලැරන්ස්ගේ ගී රජිව් ට තහනම් ද?’

මේ ප්‍රසංගයට පුතා නෑ ---------------------------------------------------- ටී.එම්. ජයරත්න

Saturday, May 4, 2013


මගේ සින්දු කියන්න දෙදෙනකු ඕනැ නෑ

ඒ නිසා මේ ප්‍රසංගයට පුතා නෑ ටී.එම්. ජයරත්න
යථාර්ථවාදී ජීවිතාවබෝධයක් සහ අර්ථපූර්ණ පණිවිඩයක් ජන සමාජයට ලබා දෙමින් ඔහුගේ හඬින් ගීතවත් වූ රසබර ගීතාවලියේ සුවිශේෂ තැනක් හිමි කර ගන්නා “අඳුරු කුටිය තුළ දොරගුළු ලා ගෙන” ගීතය මුලින්ම ගයමින් ඔහු සිය ප්‍රථම ඒක පුද්ගල ගී ප්‍රසංගය වන “සොඳුරු අතීතය” අවදි (ආරම්භ) කරනු ඇත. ඉන්පසු “පාවී පාවී මේ එන්නේ” – “සැනසුම් සුසුමන්” – “ජීවිතේ අමධාරා” – “ඔබ හා මෙමා” – “රුවට රුවේ සකුරා ඉවුරේ” – “හඳුනා ගත්තොත් ඔබ මා” – “රත්තරන් නෙත් දෙකින්” – “අම්බරේ දිලි දිලී” – “අම්මා සඳකි” වැනි ගී ගයමින් ඔහු සිය ශ්‍රාවකයන් ආනන්දයෙන් ප්‍රඥාවට ගෙන යමින් ගීතයෙන් ජීවිතය උගන්වනු ඇත. උදාවන මෙම 11 වැනිදා සවස කොළඹ මියුසියස් විද්‍යාලයීය රංග ශාලාවේදී “රසඳුන” පාඨක ඔබටත් ඔහු ගීතයෙන් ජීවිතය කියා දෙන අයුරු රස විඳින්නට පැමිණිය හැකි ය. මෙම “ස්වර වර්ණ” සිය සිතුවිලි සමඟින් වර්ණ ගන්වන්නට ප්‍රවීණ ගායන ශිල්පී ටී.එම්. ජයරත්න මෙලෙස අප සමඟ එක් වන්නේ ඔබට ඒ සඳහා “එන්න” කියා ඇරයුම් කරමින් ය.
”එන්න, මා ගයන ගීත අහලා යන්න එන්න. මම මෙම ප්‍රසංගය කරන්නේ අයකිරීමකින් තොරවයි. සද්භාවයෙන් කෙරෙන මෙම ප්‍රසංගයෙන් ලැබෙන මුදලින් සියයට හැටක් (60%ක්) කිසියම් පුණ්‍යාතනයක් හෝ රෝහලක් හෝ අනාථ නිවාසයක් වෙනුවෙන් යොදවන්නයි සැලසුම් කරලා තියෙන්නේ. එන්න, ඇවිත් ඔබත් මා සමඟ මෙම පුණ්‍ය කටයුත්තට දායක වෙන්න. මගේ මේ ‘සොඳුරු අතීතය’ තුළින් ඔබට ගීතවත් සන්ධ්‍යාවක් උදාකර දෙන්න මම කැපවී ඉන්නවා.”
”මේ ප්‍රසංගයේ දී මම ගීත විසිපහක් පමණ ගයනවා. යුග ගී ගායනයට කලාශූරී ලතා වල්පොල, ඉන්දිකා උපමාලි සහ සන්ධ්‍යා බුලත්සිංහල එක්වෙනවා. සමහරවිට මගේ දියණිය නවීන්ද්‍රාත් එයට එක්වෙන්න ඉඩ තියෙනවා. ‘අවිරාම ගී වැලක්’ ගයන්නත් සූදානම් කර තියෙනවා. ‘සොඳුරු අතීතය’ වර්තමානය හරහා අනාගතයට යාමක් ලෙස හඳුන්වන්නත් පුළුවන්. හැබැයි මෙහි නැටුම් නැහැ. එමෙන්ම පසුබිමින් තිරයක දිස්වන රූප රාමු නැහැ. ගීත ශ්‍රවණය කර විඳින්න සලසා දෙනවා. වික්ටර් රත්නායකයන් ‘ස’ ප්‍රසංගය බොහොම අහිංසක විදිහට, චාම් අයුරින් පටන් ගත්තා වගේම තමයි මේ ‘සොඳුරු අතීතය’ ප්‍රසංගයත් බොහොම චාම් විදිහටයි පවත්වන්නේ. ශ්‍රාවකයන්ට හොඳට දැකලා, අහලා, වේදනාවක් නැතුව හීන්සැරේ ගී රසවිඳගන්න සලස්වා දෙනවා මෙයින්.”
මීට දශක තුනකට පමණ පෙර පටන් ඔබේ ඒක පුද්ගල ගී ප්‍රසංගයක් ඉදිරිපත් කරන්න ඔබට හැකියාව තිබිලත් ඒ සඳහා ඔබ මෙතෙක් ප්‍රමාද වූවේ ඇයි..?
”මම මෙයට පසුබා සිටි එක හේතුවක් තමයි මට පිරිසක් නැතිකම. ඇත්තටම පිරිස් බලයක් මා වටා ගොඩ නගා ගන්න ඕන කමක් මට තිබුණෙත් නැහැ. එය කෑමෙන් බීමෙන් නොවෙයි කෙරෙන්න ඕනේ. මගේ යහපත් ගති පැවතුම් තුළයි එය වෙන්න ඕනේ. ඉතාලියේ දී මම වීදුරු වලින් වසා තිබුණු යේසුස් වහන්සේගේ ප්‍රතිමා සිප ගනිමින් දණ ගාගෙන යනවා දුටු සමහර අය ‘ඇයි එහෙම කරන්නේ’ කියලා ඇහැව්වාම මම කිව්වා - ‘මම හොඳ බෞද්ධයෙක් නිසා’ කියලා. හොඳ බෞද්ධයාට කොයි ආගම දහමත් එකයි. එහෙම නේද වෙන්න ඕනි. ලෝකයේ තෙත් හදවත් තියෙන යහපත් පුද්ගලයින් ඇසුරට ලැබීම හරියට වටිනවා. ඒක හරියට ගිනියම් වෙච්ච වැල්ලක යනකොට මහ වැස්සක් ඇද හැලෙනවා වාගෙයි. ඒ නිසා එවැනි පුද්ගලයින් ඇසුරට අපි මතු මතුත් ප්‍රාර්ථනා කරනවා, කෙම් බිමකට සම්ප්‍රාප්ත වුණා වගේ.
ඒ වගේ තමයි ලාබ ලබන තෘෂ්ණාවලින් තොරව ආගම්, කුලමල, ජාති භේදවලින් තොරව කටයුතු කරන යහපත් මිනිස් යුවළක් ලෙස මේ සතීන්ද්‍ර විජේපුර පවුල මට හඳුනාගන්න ලැබීමත්. මීට ඉහත දී මොවුන් මට මුණ ගැසුණා නම් මේ ප්‍රසංගය මෙතරම් ප්‍රමාද නොවී පවත්වන්න තිබුණා. ඒත් ඉතින් දෙවියන් වහන්සේගේ කැමැත්ත තමයි මේ. දෙවියන් වහන්සේගේ අනුදැනුමෙන් තොරව අපිට කිසි දෙයක් කළ නොහැකියි කියා මා හිතනවා. මට පිරිසක් නැතිකම හැරුණු විට මේ ප්‍රසංගය ප්‍රමාද වෙන්න තවත් කරුණක් වුණේ ‘ප්‍රසංගයක් සඳහා අනුන්ගේ මුදල් වියදම් වෙනවාට මා තුළ පැවති අකැමැත්ත. ඇයි ඒවා මගේ නොවන හින්දා. මගේ නොවන අනුන්ගේ අබමල් රේණුවක තරමක දෙයක් මා කිසි දවසක මගේ ගෙදරට ගෙනල්ලා නැහැ. අනික් විශේෂ කරුණ තමයි මං ගෙදර දොර, දරු පවුල එක්ක හරියට බැඳිලා සිටීම. පැය විසි හතරෙම ගෙදර දොර බලාගෙන ඉන්න ඕනකමක් මගේ තියෙනවා. එමෙන්ම ප්‍රසංගයක් කරනවා කියන්නේ දුක් සහිත ක්‍රියාදාමයක්. ඒ දුක විඳින්නත් මගේ කැමැත්තක් තිබුණේ නැහැ.”
එසේ නම් “සොඳුරු අතීතය” ප්‍රසංගය එළි දකින්නේ ඔබේ අකැමැත්තෙන් ද..?
”දැන් එහෙම නැහැ. මුලදී මම මෙයට 99.9% ක්ම පසුබෑවා. මොකද මෙවැනි ප්‍රසංගයක් ඉදිරිපත් කිරීමේදී වේදිකාගත කිරීම දක්වා මොනතරම් දුක් කම්කටොලු රාශියකට මුහුණ දෙන්න වෙනවද කියන එක මම දැනගෙන උන්නු හින්දා. මම අනික් අයගේ ගීත අහලා සතුටු වෙනවා. මටත් තව දෙතුන් දෙනෙකු ගී ගයන ප්‍රසංගයක ගී ගයන්න ලැබුණාම ගිහිල්ලා ඔය කීයක් හරි ලැබෙන මුදලින් විදුලි බිල්, දුරකථන බිල් ආදිය ගෙවා ගෙන ඉන්න එක හොඳයි කියලයි මං හිතාගෙන උන්නේ. හැබැයි ඉතින් සත්‍ය ක්‍රියා කරමින් මගේ දයාබර බිරිය (මාලනී) මේ ප්‍රසංගය පසුපස උන්නානේ. එතැන තමයි මේ ගැටය තදම වුණු තැන. සතීන්ද්‍ර සහ ඩිලානි විජේපුර යුවළ සමඟ එකතු වෙලා මාලනී ප්‍රසංගය කරන්න වෙන තැනටම කටයුතු සැලැස්වුවා. දැන් ඉතින් මේ හැමදේකටම මුල් වෙන්නේ මමයි. මගේ ගී ගායනාවන්ට අතීතයක් තිබුණානේ. ඒ නිසා තමයි වර්තමානය හරහා අනාගතය කරා යන්නේ.”
ඔබේ “සොඳුරු අතීතය” ප්‍රසංගයට දායක වෙන අනිකුත් ශිල්පීන් කවුරුන් ද..?
”සංගීත අධ්‍යක්ෂණය සිදු කරනු ලබන්නේ රෝහණ වීරසිංහයන් විසිනුයි. පිටපත හා සම්බන්ධීකරණය සමුද්‍ර වෙත්තසිංහගෙන්. කථනය වසන්ත රෝහණ විසින් කරනු ලබනවා. ස්වාධීන රූපවාහිනිය විද්‍යුත් මාධ්‍ය නිල අනුග්‍රහය සපයනවා. විශේෂයෙන්ම මෙම ප්‍රසංගය සඳහා මුලින්ම මට කතා කරලා මෙයට අනුග්‍රහය ලබා දෙමින් මා සමඟ ඉන්නේ මගේ ගීත රසික දෙපොළක් වන සතීන්ද්‍ර සහ ඩිලානි විජේපුර යුවළයි. ඔවුන් සමඟ කතා බහ කර මෙයට මැදිහත්කාරකම් කළේ මගේ දයාබර බිරිය මාලනියි. ඇය හොඳ බිරියක්.”
මාලනී ඔබේ දයාබර බිරිය පමණක්ම නොවී ඔබේ සෞන්දර්ය චාරිකාව නැවුම් ඉසව්වකට හැරවීමටත් දායක වූවා නේද..?
ඔව්, මා ගැයූ ඇතැම් ගී අසා ‘ඔය බොළඳ ගී ගයන්නේ මොනවටද’ කියා විමසමින් කරුණු පහදා දෙමින් ‘සොඳුරු අතීතය’ සහ ‘අම්මා සඳකි’ වැනි ගී සංකල්පනා ලියා දීලා මාලනී මට අනගි දායකත්වයක් සපයා දී තියෙනවා. කලකට පෙර කැසට් ගීත මැජික් එකෙන් විසංඥ වෙලා මා ගීත ගය ගයා සිටිද්දීත් ගායනයට සුදුසු ගී පදමාලා තෝරා ගැනීමේදී මාලනීගෙන් ලැබුණු දායකත්වයත් අනගියි. මාලනී ලියන්නේ උත්තරීතර ප්‍රේමය පිළිබඳවයි. ගායන ශිල්පියෙකු පැවැත්මට නම් යහපත් පවතින ගී නිර්මාණ ගයන්න ඕනේ. මාලනී මගේ ගමන ඒ යහපත් ඉසව්ව කරා හැරෙව්වා.”
”යහපත් ගී නිර්මාණ” ලෙස ඔබ හඳුන්වන්නේ කුමන ගී නිර්මාණ ද..?
”මේ ලෝක වාසීන්ට වැඩදායක වන ගී නිර්මාණ තමයි යහපත් ගී නිර්මාණ වෙන්නේ. මා මීට ඉහතදීත් ඔබ සමඟ පවසා ඇති මේ කාරණා. පසුගිය කාලය පුරාම වැඩිපුර ගී නිර්මාණ බිහි වී ඇත්තේ ආනන්දය පිණිසම නොවේ. එය විශාල අඩුපාඩුවක්. ගීත ශ්‍රාවක මේ රටේ ජනතාවට ආනන්දයෙන් ප්‍රඥාවට යා හැකි යහපත් ගී නිර්මාණ බිහි කිරීමේ මෙහෙවරය ඉටු කිරීමට කලාකරුවන් ලෙස අප බැඳී සිටිනවා. අප රට වැනි සංවර්ධනය වෙමින් පවතින රටක කලාකරුවන් වශයෙන් ජන ජීවිතයට ප්‍රයෝජනවත් වන යහපත් කලා කෘති නිර්මාණය කිරීමේ වගකීම අපට පැවරී තිබෙනවා. මේ රටේ ජනතාව රට දැය, මිනිස් ජීවිතය, පරිසරය පිළිබඳ ආදරය මෙන්ම භේද බින්න නොවී එකමුතුව වැඩ කරන්න ආසාව උපදවන සාරගර්භ අර්ථ පූර්ණ ගී ගැළපෙන තනු සහ සුදුසු ගැයුම් සහිතව ඉදිරිපත් කිරීම කළ යුතුව තිබෙනවා. එවැනි සාරවත් ගී නිර්මාණ මඟින් හරියට දහමකින් කියා දෙනවා වගේ ජීවිතය උගන්වන්න පුළුවන් කියා මම විශ්වාස කරනවා.”
ඉසුරු පුතා ඔබේ මෙම ප්‍රසංගයේ ගී නොගයන්නේ ඇයි?
”ඉසුරු පුතා වෙනම එයාගේ අනන්‍යතාව ගොඩ නගා ගනිමින්නේ ඉන්නේ. අනික මං පුතා සමඟ ගැයූ ගීතත් නැහැනේ. මගේ ගීත ගයන්න දෙදෙනෙකු ඕනෙත් නැහැ. මමම ගයනවා.”
ඔබේ කලා දිවියේ ආරම්භය පිළිබඳව කෙටියෙන් පවසනා නම්..?
”වයලීන වාදකයෙකු ලෙස තමයි මතකය අවදි වෙන්නේ. සරත් දසනායකයන් යටතේ වේදිකා නාට්‍ය සඳහා මමත් වයලීන වාදකයකු ලෙස සහභාගී වී තිබෙනවා. පසුව සී.ද.ඇස්. කුලතිලකයන්ගේ ‘ස්වරංගා’ විවිධ ප්‍රසංගයට වයලීන වාදකයකු ලෙසින් සහභාගි වී දැන හඳුනා ගෙන තමයි 1970 දී පමණ ගුවන් විදුලියේ ජන සංගීත පර්යේෂණ වැඩසටහන් තුළින් ගායනයට එක්වුණේ. ‘ගාන තෙල් සඳුන් වරලස’ – ‘බැද්ද වටට සුදු මොරමල් පිපීලා’ සහ ‘දෑතට වළලු’ වැනි ගී තුළින් තමයි මගේ කටහඬ මුලින්ම ශ්‍රාවකයන්ට ඇහෙන්න ගත්තේ. එමෙන්ම ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ සිම්පනි හා චිත්‍රපට ආදියේත් මම වයලීන වාදකයකු ලෙස කටයුතු කළා මට මතකයි.”
වත්මන් සංගීත ක්ෂේත්‍රයේ නව පරපුර සහ ඔවුන්ගේ ගී නිර්මාණ පිළිබඳ ඔබට හැඟෙන්නේ කෙලෙසද..?
”අපි නම් ආවේ සංගීත විෂයට ගරු කරමින් එය හිස මුදුනේ තබාගෙනයි. අපේ ගුරුවරුන්ට අපි සැලකුවේ ගුරු දෙවිවරු ලෙසයි. එවිටයි අදාළ විෂය (ගායනය හෝ සංගීතය හෝ) නිවැරදිව පිහිටන්නේ. අද නව පරපුර එලෙස නැහැ. විෂය නොදන්නාකම නිසා වර්තමාන නව පරපුරේ ගීතවලට පැවැත්මක් නැහැ. නිසි පද රචනයක්, ගැළපෙන තනු නිර්මාණ නැහැ. අනික අපට ආවේණික වූ ගී කෙත ඔවුන් තෝරා බේරා ගෙන නැහැ.”
”දෙරණ මියුසික් වීඩියෝ” සම්මාන උලෙළට සහභාගි වීමෙන් වරදක් කළෙළ් යයි ඔබට නැඟෙන චෝදනාව ගැන ඔබ කියන්නේ කුමක්ද..?
”මමම කියා ගන්නවා අපි අහිංසකයි කියලා. අපි කාගේවත් හිත් රිදවන මිනිස්සු නෙමේ. හැබැයි අපිත් එම සම්මාන ප්‍රදානයට සහභාගි වුණාට අපි ගියේ (මමයි, මාලනියි, ප්‍රදීපා ධර්මදාසයි) සිංහලකම රැකෙන ඇඳුම් ඇඳගෙනයි. අර පිස්සොත් ආවානේ – හිසේ පැත්තක් ගාගෙන, තෝඩු දාගෙන, කලිසමේ එක කකුලක් දිගටයි අනික කොටටයි ඇඳගෙන, බෑග් කරේ දාගෙන එහෙම. ඒවා අපි අනුමත කළේ නැහැ. කොහොම හරි එවැනි සම්මාන ප්‍රදානයකට අපිට ආරාධනා කරලා ‘දෙරණ’ අපිව අමාරුවේ දැම්මා. ඉතින් මින්පසු දෙරණත් එක්ක මේ ටී.එම්. ජයරත්න නැහැ. දෙරණ වරද්දා ගත්තා. ඒක අපේ නාළිකාවක් වෙන්න බැහැ. ඒක කොහේවත් වෙන රටක නාලිකාවක්. මම පය ගහලා ඉන්න දෙරණ මට ඕනේ. ඒත් ඔය දෙරණ රූපවාහිනිය නම් ටී.එම්. ට එපා.”

READ MORE - මේ ප්‍රසංගයට පුතා නෑ ---------------------------------------------------- ටී.එම්. ජයරත්න

ක්ලැරන්ස්ගේ ගීත රජිව්ට සපුරා තහනම්!


රජිව්ට ඕනෑ කරන්නේ උපහාර මුවාවෙන් සල්ලි හම්බු කරන්නයි

ක්ලැරන්ස්ගේ ගීත රජිව්ට සපුරා තහනම්!
ශීලා විජේවර්ධන
ක්ලැරන්ස් විජේවර්ධන විසින් නිර්මාණය කරන ලද “ගී” ඔහුගේ බුද්ධිමය දේපළ ය. එම දේපළ සඳහා වර්තමානයේ හිමිකරුවන් වී සිටින්නේ ක්ලැරන්ස්ගේ බිරිඳ ශීලා විජේවර්ධන සහ දියණිය අමිලාත් ය. දැනට ඔවුන් පදිංචි වී හිඳින්නේ ඕස්ට්‍රේලියාවේ වන හෙයින් එම දේපළ පිළිබඳ ඇටොර්නි බලකරු ලෙස සිරි හෙට්ටිආරච්චි කටයුතු කරයි.
ක්ලැරන්ස්ගේ ගී නිර්මාණ පමණක් නොව ක්ලැරන්ස්ගේ නම හෝ කිසියම් සංගීතමය කටයුත්තක් සඳහා යොදා ගන්නේ නම් ක්ලැරන්ස් පාර්ශ්වයේ අවසරය ඇතුව එය කළ යුතුව ඇති අතර පසුගිය මාර්තු 31 වැනිදා නෙළුම් පොකුණ රඟහලේ දී රජීව සෙබස්තියන් පැවැත්වීමට සූදානම් වූ ගීත ප්‍රසංගය අවලංගු කිරීමට සිදුවිය. නැවතත් එම ප්‍රසංගය අප්‍රේල් මස දිනෙක පැවැත්වීමට රජිව් වෑයම් කළත් එය ද අවලංගු කිරීමට ඔහුට සිදුවිය.
දැන් රජිව් එම ප්‍රසංගය වෙනස් මුහුණුවරකින් පැවැත්වීමට වෑයම් කරගෙන යන බවත් ඊට එරෙහිව ක්ලැරන්ස් පාර්ශවයෙන් ශිලා ද ලංකාවට පැමිණ කටයුතු කරගෙන යන බවත් “රසඳුන” ට දැන ගන්නට ලැබුණි. ඒ පිළිබඳ විමසීමේ දී ශීලා විජේවර්ධන සමඟ සිරි හෙට්ටිආරච්චි විසින්කරන ලද කරුණු එළිදරව්වකි මේ.
“අපි ක්ලැරන්ස් විජේවර්ධනගේ බුද්ධිමය දේපළ සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු කරනවා. කරුණු හරියාකාරව නොදන්නා ඇතැමුන් මේ ගැන වරදවා හිතනවා. අපට විරුද්ධව නොයෙකුත් අදහස් ප්‍රකාශ කරනවා. අපි කරන්නේ අපිට නීතිමය වශයෙන් ලැබී තිබෙන ආවරණය යටතේ ක්ලැරන්ස්ගේ බුද්ධිමය දේපළ රැක ගැනීමයි.
අනවසරයෙන් බලහත්කාරයෙන් හා අයුතු ලෙසත් සදාචාරාත්මක නොවන ලෙසත් ක්ලැරන්ස්ගේ ගී නිර්මාණ භාවිත කරන කා හට වුවද එරෙහිව සුදුසු නීතිමය පියවර ගැනීමට අපි පසුබට වෙන්නේ නැහැ. එහිදී රජිව් සෙබස්තියන් ක්ලැරන්ස්ට උපහාර පිණිස යයි පවසමින් කරනු ලබන ප්‍රසංග ආදිය පිළිබඳ විශේෂ අවධානයකින් යුතුව කටයුතු කරන්න අපට සිදු වී තිබෙනවා.
මන්ද රජිව් ක්ලැරන්ස්ගේ ගීත ඇතුළත් ප්‍රසංගයක් පවත්වන බව පවසමින් ගායක ගායිකාවන් මෙන්ම ප්‍රවේශපත් කලින් අලෙවි කර ගීත රසික රසිකාවියන්ව ද රවටනවා. ඔහුට එවැනි ගී ප්‍රසංගයක් කිරීමට බැහැ.”
රජිව් පැවැත්වීමට සූදානම් කළේ ක්ලැරන්ස් වෙනුවෙන් උපහාර ප්‍රසංගයක් නොවේ ද?
නැහැ. රජිව් කරන්නේ බොරුමයි. අපි ක්ලැරන්ස් වෙනුවෙන් උපහාර කොපමණ කරලා තියෙනව ද. රජිව් කවුද - ක්ලැරන්ස් වෙනුවෙන් උපහාර කරන්න. ඔහුට ක්ලැරන්ස්ගේ සින්දු කියන්න ඕනෑවට කියන කතා ඕවා.
ක්ලැරන්ස්
අපි ඉන්න කොට ක්ලැරන්ස්ට උපහාර කරන්න ඔය අහක ඉන්න අය මෙහෙම බලහත්කාරයෙන් ප්‍රසංග පවත්වන්න හදන්නේ ඇයි? රජිව් කියන්නේ ක්ලැරන්ස් ජිවත් වෙලා ඉන්න කොට ආශ්‍රය කරපු හෝ ගෙදරට වත් ඇවිත් ගිය පුද්ගලයෙක් නෙමේ. කවදාවත් ක්ලැරන්ස් රජිව්ට එකම එක සින්දුවක් වත් හදලා දීලත් නැහැ.
එහෙම පුද්ගලයා මොකටද ක්ලැරන්ස් වෙනුවෙන් උපහාර ප්‍රසංග කරන්නෙ? ඕනෑම කෙනෙකුට තේරෙනවානේ, රජිව්ට ඕනෑ කර තියෙන්නේ උපහාර ප්‍රසංගයක් කරන මුවාවෙන් හෝ ක්ලැරන්ස්ගේ ගී නිර්මාණත් ඔහුගේ නමත් විකුණා මුදල් උපයන්නයි.”
ටී. එම්. ජයරත්න, නිහාල් නෙල්සන් සහ ජැක්සන් ඇන්තනී වැනි ප්‍රවීණ ශිල්පීන් කිහිප දෙනෙකුත් රජිව්ගේ මෙම ප්‍රසංගයේ දී ගැයීමට නියමිතයි නේද?
රජිව්
එහෙම ඔවුන්ගේ නම් යොදා ගෙන තිබුණට අපි හිතන්නේ නැහැ ඒ කවුරුන්වත් ඔය ප්‍රසංගයේ ක්ලැරන්ස් ඔවුන්ට හදා දුන්න ගී ගයන්න යයි කියලා. ටී. එම්. ජයරත්න කවදාවත් කොච්චර සල්ලි දුන්නත් රජිව්ගේ ඔය ප්‍රසංගයේ ගී ගයන්න යන්නේ නැති බව අපිට විශ්වාසයි අපි ටී. එම්. ගෙන් ඇහැව්වාම ඔහු ඒ බව කිව්වා.
ජැක්සන් ගෙන් ඇහැව්වාම ඔහු කිව්වේ ‘අනේ ශිලා අක්කේ, මට කියලවත් නැහැ. මං දන්නෙත් නැහැ’ කියලයි. ඒ වගේමයි ශ්‍යාම් ෆොන්සේකා සහ ලාංකිකා පෙරේරාත් ‘යන් නෑ’ කිව්වා.
රජිව්ට වගේම රජිව්ගේ ඔය ප්‍රසංගය ඔහු කවදා පැවැත්වුවත් ක්ලැරන්ස්ට අයිති ගීත එහිදී ගායනා කිරිම ඕනෑම ගායකයෙකු හෝ ගායිකාවක හට සපුරා තහනම්. එහෙම ගායනා කළොත් ඊට විරුද්ධව නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට අපි පියවර ගන්නවා.”
රජිව් සිය සංගීත ජීවිතේ “වීරයා” ලෙස සලකන්නේ ක්ලැරන්ස්ව බව පවසනවා - නේ...?
ක්ලැරන්ස්ගේ නම විකුණා ගෙන ජීවත් වෙන්න ඕන හින්දා ඕවා කිව්වාට රජිව් සහ ක්ලැරන්ස් අතර කිසිම සම්බන්ධතාවයක් තිබුණේ නැහැ. මට දිවුරා ප්‍රකාශ කරන්න පුළුවන් ඒ බව. අඩුම වශයෙන් කවදාවත් රජිව් ක්ලැරන්ස්ව හම්බ වෙලාවත් නැහැ. ක්ලැරන්ස් ජීවත් වෙලා සිටිද්දී කියා තිබෙනවා - ‘මට පිරිමි දරුවෙකු උන්නා නම් මගේ සින්දු ඒ දරුවාට කියන්න දෙන්නෙ නැහැ.
මං කැමැති නැහැ මගේ සින්දු වෙන කවුරුවත් කියනවාට’ කියා. එහෙම කිව්ව ක්ලැරන්ස් උන්නා නම් ඔහුගේ සින්දු රජිව් කියනවාට කැමැති වෙයි ද? මම අභියෝග කරනවා හැකි නම් මේවා බොරුයි කියා ඔප්පු කරන්න කියලා. ක්ලැරන්ස් රජිව්ගේ සංගීත ජීවිතයේ වීරයා නම් ඒ වීරයාට සලකන හැටි ද මේ ඔහුගේ බුද්ධිමය දේපළ මංකොල්ලකමින් කරන්නේ කියලත් මං ඔහුගෙන් අහනවා.
මීට ඉහතදී රජිව්ට විරුද්ධව අපි පැවරූ නඩුව විභාගයට ගැනීමට ප්‍රථම වරද පිළිගෙන ලක්ෂ විස්සක් ගෙවන්න පොරොන්දු වෙලා එම මුදල අද වනතුරුත් නොගෙවා ඉන්නවා මදිවාට, ඒ මුදලින් කොටසක් ලෙස රුපියල් දෙලක්ෂ පනස්දාහකට මුදල් නොමැති චෙක් පතක් දී වංචා කොට ඉඳගෙන ද (අදාළ නඩු සහ පොලිස් පැමිණිලි අංක ද සඳහන් කරමින්...) රජිව් ඔහුගේ වීරයාට (ක්ලැරන්ස්ට) උපහාර කරන්න හදන්නෙ? මේ කරුණු එළිදරව්වෙන් පසුව වත් රජිව්ගේ බොරුවට රැවටෙන්න එපා කියලා ක්ලැරන්ස්ගේ ගී තනු, පදමාලා ගැයූ ගායක ගායිකාවන්ගෙන් ද, සංගීතලෝලී සියලු රසිකයන්ගෙන් ද අපි ඉල්ලා සිටිනවා. නැවතත් අපි පැහැදිලිව පවසන්නේ රජිව් සෙබස්තියන්ට ක්ලැරන්ස් විජේවර්ධනගේ ගී සපුරා තහනම් වගයි.”
READ MORE - ක්ලැරන්ස්ගේ ගීත රජිව්ට සපුරා තහනම්!

රජීව්ගෙන් සිංහල පොප් ගී

Tuesday, March 26, 2013


රජීව්ගෙන් සිංහල පොප් ගී
2013 මාර්තු මස 15 16:11:49 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
ක්ලැරන්ස් විජේවර්ධන නැමැති අසහාය තරුව නිවී ගිය පසු ඔහුගේ ගී ගැයීමට බොහෝ දෙනා කරළියට පිවිසියහ. නමුත් ඒ සියලූ දෙනා අතරින් ක්ලැරන්ස්ට වඩා සාධාරණයක් කළ ශිල්පියා රජීව් සෙබස්තියන් බව බොහෝ දෙනාගේ හැඟීමය. ක්ලැරන්ස් විජේවර්ධන නැමැති අපූරු සංගීතඥයාගේ නිර්මාණවලට බෙහෙවින් පෙම්බැඳි රජීව් තම ගායන අංශය පටන් ගත්තේ තරුපහේ හෝටල්වල ඉංගී‍්‍රසි ගී ගයන ශිල්පියකු ලෙසය. පසුව ක්ලැරන්ස් විජේවර්ධනයන් ගැයූ ”ලෝකේ ජීවත්වන්නට” ගීතය ගයමින් සිංහල රසිකයින් අතරට ආ රජිව්, ඉන්පසු ඔහුගේම නිර්මාණ සමග ප‍්‍රසංග වේදිකාවට අවතීර්ණ විය. තම පාසල් දිවියේ සිටම ක්ලැරන්ස්ගේ රසිකයකු වූ රජීව් එදා ක්ලැරන්ස් සමග එකම කණ්ඩායමක සිටි තරු රෑණක් ඒකරාශි කොට උපහාර පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ඇනස්ලි, ඉන්ද්‍රානි, ෂ්‍යාමි, අනිල් ඇතුළු ඒ පිරිස සමග ඉදිරිපත් කරන මෙම ප‍්‍රසංගයේ හැඩ සමග තවත් විස්තර කියන්නට අපි රජීව්ට ඉඩ ලබා දෙමු.


රජීව් පසුගිය කාලයේ ඔබ ගැන වැඩි දෙනා කතා කළේ ගායනයටත් වඩා රියැලිටි තරග විනිශ්චයකරුවකු ලෙස කටයුතු කළ නිසා නේද?
සහතිකෙන්ම ඔව්. මම එහිදී ලබාදුන් ඍජු තීරණ නිසා මම හිතන්නෙ වෙනම ආකෘතියක් ඇතිවුණා.

කොහොමද අද දවසේ ඔබගේ කටයුතු?
සුපුරුදු පරිදි මගේ සංගීත කණ්ඩායමේ කටයුතු කරගෙන යනවා. රජීව් ඇන්ඞ් ද ක්ලැන් පටන් අරගෙන වසර 23 ක් ගෙවිලා ඉවරයි. මම නිෂ්පාදනය කරන ගීත සහ ලෙජන්ඞ්ස් ඔෆ් ශ්‍රී ලංකන් පොප්, ඩෙස්මන් ඇන්ඞ් ඩෙස්මන්, ටි‍්‍ර බියුට් ටු මිල්ටන්, ටි‍්‍රබියුට් ටු ක්ලැරන්ස් ඇතුළු දැවැන්ත ප‍්‍රසංග 15 ක් විතර අප කර තිබෙනවා. ඊට අමතරව අපේම ගීත කළා. කැළණි විහාරය, වීදුරුමල් සහ ඩෙස්මන්ට සහ මනෝහරන්ට කළ රුහුණ-යාපනය, කොරීන්ට කළ ”කොණ්ඩෙ නැතත් ඉණගාවට” ගීතය ඇතුළු ගීත රසිකයින් අතරට ගිය ඒවා. ටෙලිනාට්‍යයකට සංගීතය නිර්මාණය කරමින් සිටිනවා. සංකල්ප පුනාවර්ධනගේ.

ක්ලැරන්ස් උපහාර ප‍්‍රසංගයක් නැවතත්. මේ සැරේ මොනවද කරන්න හදන්නේ?
වසර 12 කට විතර උඩදී මම ටි‍්‍රබියුට්ටු ක්ලැරන්ස් නමින් ප‍්‍රසංගයක් කළා. මම යමක් කළොත් ආයෙ එය දෙවන වතාවට කරන්නෙ නැහැ. මගේ කලාව එහෙමයි. නමුත් 
පසුගිය වසර දොළහ මම නිහඬව බලා සිටියා. මේ ක්ෂේත‍්‍රයේ මොකද වෙන්නෙ කියලා? මම විතරක් නෙවෙයි. ක්ලැරන්ස්ගේ සමීපතම සගයින් වූ ඇනස්ලි, ඉන්ද්‍රානි, අනිල්, පි‍්‍රයා වගේ බොහෝ දෙනා ක්ලැරන්ස් වෙනුවෙන් කළ ප‍්‍රසංගවලින් ඈත්වන බවක් දකින්න ලැබුණා. නීතිමය වාතාවරණ සහ විවිධ හැල හැප්පීම් මැද්දෙ එම ප‍්‍රසංග කෙරෙන හැටි බලා සිටියා. මේ සියල්ල  අතරේ එම් එන්ටර්ටේන්මන්ට් වෙත ක්ලැරන්ස් විජේවර්ධන ගීත තිහක් පමණ ලබාදී ඇති බව දැන ගන්න ලැබුණා. අපිට එම ආයතනයෙන්ම ආරාධනාවක් ලැබීම මත යමක් කරන්න හිතුවා. ඒ අනුව නැවත වතාවක් සියලූ ශිල්පීන් ඒකරාශී කරවලා මෙවැනි ප‍්‍රසංගයක් කරන්න කටයුතු සම්පාදනය කළා.

මේ දක්වා පැවැත්වූ ක්ලැරන්ස් උපහාර ප‍්‍රසංග සහ මේ ඉදිරිපත් කිරීමට සූදානම් වන ප‍්‍රසංගයේ වෙනස මොන වගේද?
බොහෝ දේ වුණා. නමුත් ක්ලැරන්ස් විජේවර්ධන ප‍්‍රතිරූපයට වටිනාකමක් ලැබුණු ප‍්‍රසංග නොලැබුණු බව මගේ හැඟීමයි. ඒ නිසා ඔහුගේ ප‍්‍රතිරූපයට වඩා සාධාරණයක් කළ හැකි ප‍්‍රසංගයක් කිරීම හොඳ බව තේරුම් ගියා. මෙය මුදල් හම්බ කිරීමට වඩා ඒ ප‍්‍රතිරූපය රකින ප‍්‍රසංගයක් වේවි. මොකද නෙළුම් පොකුණ වැනි රඟහලක ප‍්‍රසංගයක් කිරීමෙන් ලාබ ලබන්න බැහැ. නමුත් ඉහළ ප‍්‍රාසාංගික අත්දැකීමක් ලබාදිය හැකියි. මෙම ප‍්‍රසංගයට ශිල්පීන් 13 දෙනෙක් පමණ දායක වෙනවා. ඉන්දියාවේ සිට ඒ.ඊ. මනෝහරන් පවා එනවා. අපේ නිහාල් නෙල්සන් පවා ගී ගයනවා. ක්ලැරන්ස් නිහාල් නෙල්සන්ටත් ගී තනු නිර්මාණය කර දී තිබෙනවා. ඉන්ද්‍රානි, ඇනස්ලි, අනිල්, නීලා, කලාශූරී ලතා වල්පොල, මරියසෙල්, ටී.එම්., ජැක්සන් ඇන්තනී, ශ්‍යාමි, දමයන්ති ජයසූරිය, පි‍්‍රයා සූරියසේන වැනි බොහෝ ශිල්පීන් එකතු කරගෙන මම මෙම ප‍්‍රසංගය කරන්නෙ. මේ හැමෝම ඔහුගෙ සංගීතයට ජීවතුන් අතර සිටියදී ගී ගැයූ අයයි. එහෙමත් නැත්නම් යුග ගී ගැයූ අයයි. එතුමා මට පවා දිනුම පරාදය නමින් ගීතයක් නිර්මාණය කළා. මට  ඕනෑ වුණේ ඔහු කළ සංගීතය ඒ ආකාරයෙන්ම බොහොම සියුම් වෙනස්කම් සහිතව ප‍්‍රචලිත කිරීමටයි.

කවද ද කොහොමද මෙය පැවැත්වෙන්නේ? මොනවද තියෙන විශේෂාංග?
ද ස්ටෝර් ඔෆ් සිංහල පොප් නමැති මෙම ප‍්‍රසංගයේදී ඇතැම් විට වැඩිය අහලා නැති ගීත අහන්න ලැබේවි. ක්ලැරන්ස් සමග නිහාල් නෙල්සන් පවා එකට ගී ගයා තිබෙනවා. ඇත්තටම බොහෝ සැඟවුණු දේ ගැන සමහරු දන්නේ නැහැ. ඒ සියල්ල සමග ගයනි කරුණාරත්න ඩාන්ස් ඇකඩමිය නර්තනයෙන් ප‍්‍රසංගය හැඩ කරාවි. විජය කොරයා ප‍්‍රසංගය මෙහෙයවන අතර මෙය පැවැත්වෙන්නෙ මාර්තු (31) සවස 7.00 ට නෙළුම් පොකුණ රඟහලේදීයි. සංගීතය රජීව් ඇන් ද ක්ලෑන්. අමතරව වී. හේමපාල පෙරේරා, වැනි ශිල්පීන් ද දායක වෙනවා.

ඇත්තටම ක්ලැරන්ස් හා ඔබ අතර මිත‍්‍රත්වයක් ඇතිවුණේ කොහොමද?
පාසල් යන කාලයේ සිටම මම ඔහුගේ රසිකයෙක්. දුරකථනයෙන් පවා කතා කළා. එදා වගේම අදත් හෙටත් මම ඔහුගේ රසිකයෙක්. අලූත් නිර්මාණ ගැන මේ දිනවල ඔහු එක්ක කතා කළ සැටි මතකයි. ඔහු තේරුණා මම හොඳ රසිකයෙක් කියලා. පසුව බොහෝ සමීප මිතුරන් වගේ වුණා. මගේ ගායන ක්ෂේත‍්‍රයේ නිර්මාණ කරු ලෙස වීරයා ඔහුයි. ඩෙස්මන් සිල්වා 
ප‍්‍රසාංගික වීරයායි.

රජීව් අද වන විට ඔබගේ ජීවිතය මොන වගේද?
සංගීතය අංශයෙන් ගත්තොත් ගීත රචනා කළා. තනු නිර්මාණය කළා. ගායනය කළා. කණ්ඩායමට වසර 23 ක් පුරා නායකත්වය දුන්නා. පුද්ගලිකත්වය ගැන කතා කරනවාට වඩා මට වටින්නේ සහ මාව සමාජයට වටින්නේ ඉහත කී සියල්ල නිසයි.

පසුතලය-  park Street mews


READ MORE - රජීව්ගෙන් සිංහල පොප් ගී

ළමා ගීත එකතුවක් කළේ සමාජ සද්කාරයක් ලෙසයි

Saturday, January 26, 2013


ළමා ගීත එකතුවක් කළේ සමාජ සද්කාරයක් ලෙසයි

- කීර්ති පැස්කුවල්
අපේ සංගීත ක්ෂේත්‍රයේ ළයාන්විතයා වන කීර්ති පැස්කුවල් සිය උපන් දිනය යෙදෙන සෑම ජනවාරි 29 වැනිදාවකදී ම සංගීතයට සම්බන්ධ කිසියම් සමාජ සද්කාරයක නියැළෙයි. ලබන 29 වැනිදා ද සමාජ සද්කාරයක් ලෙස කීර්ති “නිල් ආකාසේ” නමින් ළමා ගීත ඇල්බමයක් එළිදැක්වීමට කටයුතු සූදානම් කර ඇති අතර ඒ නිමිත්තෙන් මෙවර “ස්වර වර්ණ” වර්ණ ගන්වන්නට අපි ඔහුට ආරාධනා කරමු.
නිල් ආකාසේ සඳ පායලා
රන් තැටියක් වාගෙ දිලෙනවා

දිදි දිලි නිවෙනවා
නිවි නිවි දිලෙනවා
රන්තරු රෑ අහසෙ බැබලෙනවා...!

 
(පද - උපුල් පෙරේරා)
“මම මගේ හැම උපන් දිනයකදී ම සංගීතය හා සම්බන්ධව සමාජයට සද්කාරයක් කරනවා. උදාහරණයකට සුනාමිය සිදු වූ අවස්ථාවේ දී අවතැන් වූවන් වෙනුවෙන් ගීත ප්‍රසංගයක් පැවැත්වූවා හා සමානව. මෙවර අපේ ළමා පරපුර වෙනුවෙන් ළමා ගීත එකතුවක් කරන්න ඕනෑ කියා හිතුණා. ‘නිල් ආකාසේ’ නමින් ලබන වැනිදා සවස මගේ මේ ළමා ගීත ඇල්බමය කෝට්ටේ පාගොඩ පාරේ ආනන්ද බාලිකා මාවතේ පිහිටි ශ්‍රී වජිර ළමා නිවාසයේ දී මවුපියන් අහිමි දරුවන් එකසිය විස්සක් ඉදිරියේ දී එළිදක්වනවා.”
ඔබේ ළමා ගීත එකතුව සමාජ සද්කාරයක් වෙන්නේ කෙසේ ද...?
වර්තමාන ළමා පරපුරට අහන්න ගයන්න ඔවුන්ට දැනෙන සුදුසු ළමා ගීත නැහැ. අද ළමයින් අහන්නේ ගයන්නේ වැඩිහිටියන්ගේ ගීත. ඒ නිසා ළමා මනසට උචිත ගී සංකල්පනා මෙන්ම ඔවුන්ට ගයන්න පුළුවන් තනු නිර්මාණ සහිත ළමා ගීත ඔවුන් වෙනුවෙන් නිර්මාණය කර ඉදිරිපත් කිරීම සමාජ සද්කාරයක් කියා මං විශ්වාස කරනවා. මෙවැනි ළමා ගීත ඇල්බමයකින් ආර්ථික වාසි බලාපොරොත්තු වෙන්න බැහැ. එහෙත් අපේ ළමා පරපුර වෙනුවෙන් මෙවැනි නිර්මාණ කර දීම වැඩිහිටි අපගේ වගකීමයි. මා මගේ පළමු ගීත කැසට් පටයේත් ළමා ගීතයක් ඇතුළත් කළා. ඉන්පසු සමබරතාව රැක ගනිමින් මගේ හැම ගීත කැසට් පටයකදී ම ළමා ගීතයක් බැගින් ඇතුළත් කළා. අද ළමයින් වෙනුවෙන් ළමා ගී නිර්මාණ වීම අවම මට්ටමක පවතින නිසා ම මට හිතුණා මෙවැනි ගීත තැටියක් ම කළ යුතුයි කියලා. මෙහි මගෙන් ගායනය හා වාදනය හදාරන ළමා ගායක ගායිකාවන් සමඟ මා ගැයූ ළමා ගී දාහතක් ඇතුළත් වෙනවා.”
ඔබේ දියණියන් දෙදෙනා සමඟ ගයන ගීතයකුත් මේ ගීත එකතුවේ ඇතුළත් වෙනවා නේද...?
ඔව්. මගේ නටාලියා සහ චාරුණි දියණියන් සමඟ මා ගයන ‘දුවේ බලන්නකෝ’ ගීතයත් මෙහි ඇතුළත් වෙනවා. තරු මල් ඇතුළු පරිසරය, සෞන්දර්ය, මවුපිය සෙනෙහස තේමා කරගෙන ආදර්ශයක් පණිවිඩයක් ගෙන දීමට හැකි ලෙස තමයි සියලුම ගී නිර්මාණය කර තියෙන්නේ. බහ තෝරන වයස අවුරුදු තුනේ සිට නවය, දහය අතර ළමයින්ගේ රසවින්දනය පිණිස මෙම ගීත යොමු කිරීම වැදගත් සද්කාරයක් වේවි. ඉදිරියේදී මෙම ගීත සඳහා රූප රචනා කර ඩී වී ඩී එළිදැක්වීමටත් මම බලාපොරොත්තු වෙනවා. මොකද කලකට ඉහත මා කාටූන් සහිතව ඉදිරිපත් කළ පැරැණි ළමා ගී එකතුව සාර්ථක වූ නිසා මෙම ගීතත් රූප රචනා සමඟ ඉදිරිපත් කළොත් ළමයින් අතර වැඩි භාවිතයක් වෙයි.
ඔබේ උපන් දිනය දා තවත් සමාජ සද්කාරයක් සිදු කෙරෙනවා නේද...?
හැම වසරකම මා නිකුත් කරන ‘ඉධදඪජ දුරකථන නාමාවලිය’ ඇතුළත් දිනපොතත් එදින ශ්‍රී වජිර ළමා නිවෙසේදී ම එළිදක්වනවා. අපේ සංගීත ක්ෂේත්‍රයේ සංගීත අධ්‍යක්ෂ, වාදන, ගායන, ගී පද රචක, ශබ්ද පරිපාලන, නිවේදන, ගුවන් විදුලි, රූපවාහිනී වැනි විද්‍යුත් මාධ්‍ය ආදි සියලුම අංශ නියෝජනය වන පරිදි සහෘද කලාකරුවන් සහ කලාකාරිනියන්ගේ දුරකථන අංක මෙම පොතට ඇතුළත් කර තිබෙන හෙයින් බොහෝ පිරිසකට මෙය ප්‍රයෝජනවත් වී ඇති බව අහන්න ලැබෙනවා. ඒ පිළිබඳ මා නිහතමානීව සතුටු වෙනවා. මා පෝෂණය කරන කලා ක්ෂේත්‍රයට මගෙන් සිදු කෙරෙන ඉතාම සුළු මෙහෙවරක් ලෙස මෙම දුරකථන නාමාවලිය හා දිනපොත නිකුත් කිරීම මම ඉතා කැමැත්තෙන් හා කැපවීමෙන් දිගට ම කරගෙන යනවා.
ඔබ අවුරුදු හතරක් ම විනිසුරුවරයකු ලෙස කටයුතු කළ ‘ඩ්‍රීම් ස්ටාර්’ වැඩ සටහන ගැනත් කතා කරමු.
අවුරුදු හතරක් ම එක දිගට ම ලංකාවේ මෙවැනි රියැලිටි වැඩ සටහනක විනිසුරුවරයකු ලෙස කටයුතු කර ඇත්තේ මා පමණක් ම විය යුතුයි. ‘ඩ්‍රීම් ස්ටාර්ස්’ වැඩ සටහන ඊට සහභාගි වූ නවක ගායක ගායිකාවන් සමඟ ඔවුන්ගේ සිනා කඳුළු අතරමැද සංවේදී වූත් ආස්වාදනීය වූත් වැඩ සටහනක් වූ බවයි මගේ හැඟීම. ඒ වගේ ම මෙමඟින් නව පරපුරට තමන්ගේ හැකියාව උරගා බලන්න අවස්ථා ලැබීම මම අගය කරනවා.
වත්මන් සංගීත ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා ඔබ දකින්නේ කොහොම ද?
අද නව ආරක ගීත රැල්ලක් මාධ්‍ය හරහා ප්‍රචාරය වෙනවා. එමෙන්ම ආදායම අධික නිසා ඇතැම් පිරිස් එවැනි ගී නිර්මාණය කරනවා. විශේෂයෙන් මෙම රැල්ලේ ගීත ‘රිංගින් ටෝන්ස්’ සමඟ සීමා සහිත කාලයක් පවතිනවා. ඉන්පසු නෑසී යනවා. හොර ගී තැටි වෙළෙදුන් නිසා නිෂ්පාදකයින් ගී තැටි නිෂ්පාදන නවත්තලා. නිසි ක්‍රමවේදයක් නැති නිසා හොර ගී තැටි වෙළෙඳුන් මෙල්ල කරන්න බැරිවෙලා තියෙනවා තවමත්. ඒත් කලාකරුවෙකු ලෙස මා යම් තාක් දුරට කරගෙන යනවා මගේ ගී නිර්මාණ කටයුතු දිගට ම. රස තියෙන දේ රසික රසිකාවියන් කොහේ තිබුණත් සොයා තෝරා බේරා ගන්නවා කියා මම විශ්වාස කරනවා. ඒ නිසා මොන බාධක ආවත් මගේ නිර්මාණ කටයුතු නොකඩවා ම කරගෙන යන්න මං තීරණය කරගෙන ඉන්නවා.
ඔබේ ඒක පුද්ගල ගීත ප්‍රසංගයට මොකද වුණේ...?
දැන් දෙවරක්ම මගේ ප්‍රසංගය කල් දාන්න වුණා. එයට විශේෂ හේතුවකුත් තියෙනවා. ඒ - මගේ රුචිකත්වය පිළිබඳ හේතුවක්. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ මගේ ප්‍රසංගය පවත්වන්න තමයි මගේ වැඩි රුචිකත්වය තියෙන්නේ. මට හුරු පුරුදු බවක් දැනෙනවා එහි ප්‍රසංගයක් පවත්වද්දී. ඉතින් එහි අලුත්වැඩියා කටයුතු කරගෙන යාම නිසා තමයි මගේ ප්‍රසංගය කල් දාන්න වුණේ. ඒත් මේ අවුරුද්දේ අවසානයට පෙර මගේ ගීත ප්‍රසංගය මම පවත්වනවා. එදාට මගේ අලුත්ම ගීත තැටියක් එළිදක්වනවා. දැනට එහි ගීත අටක නිර්මාණ කටයුතු කරගෙන යනවා. ඉන් ‘රෑ අහස පුරා’ (පාතිමා) සහ ‘පිබිදෙන්න වෙර දරන තාරකා’ යන ගීත දෙක මේ දිනවල විද්‍යුත් මාධ්‍යවලට ප්‍රචාරක කටයුතු කිරීම පිණිස බාර දී තිබෙනවා.
READ MORE - ළමා ගීත එකතුවක් කළේ සමාජ සද්කාරයක් ලෙසයි

අපටත් ප්‍රශ්නයක්

Wednesday, January 2, 2013


අංජනට මේ හැකියාව ආවේ කොහොමද කියන එක අපටත් ප්‍රශ්නයක්

PDFPrintE-mail
a3-1පොඩ්ඩන්ට පුළුවන් වැඩ සටහනේදී දක්ෂතා දැක්වූ දරුවෙක් යන හැකියාවන්ගෙන් යුක්ත දරුවන් අතරේ සිරස ‍පොඩ්ඩන්ට පුළුවන් වැඩසටහනේ කාගෙත් අවධානය දිනාගැනීමට සමත් වූ පුංචි තරුවක් වූයේ අංජන යසීරු ජයවර්ධන පුතයි. අංජනට බෙග් මාස්ටර්ගේ වගේම අමරදේව මහත්මයගේ ගීතත් ඉතාමත් ලස්සනට ගායනා කරන්න පුළුවන් වුණ නිසා හැමෝගෙම අවධානය ඔහුට ලැබුණා. විනිසුරු මඩුල්ල පවා අංජනගේ දක්ෂතාවයන් ගැන පසුගිය කා‍ලේ බොහොම ඉහළින් වර්ණනා කළේ සංගීතය පිළිබඳ ගැඹුරින් හදාරන්නේ නැතිව කුඩා වයසේ දී ගීත ගායනා කරන්නට හැකිවුණ නිසයි. අංජන දැනට ඉගෙන ගන්නේ හොරණ අශෝක විද්‍යාලයේ පහේ පන්තියේ. එයාගෙ ගම හොරණ ‍පෝරුවදණ්ඩ. හැබැයි අංජන තාමත් සංගීතය විෂයක් හැටියට හදාරන දරුවෙක් නමෛයි. පුතාට සංගීතය පිළිබඳ තිබුණ දැනුම ගැන අපට ඇත්තටම පුදුමයි. මම රූපවාහිනී යන්ත්‍ර අලුත්වැඩියා කරන කෙනෙක්. එයාගේ අම්මා ගේ දොර වැඩ කටයුතු කරන අතරේ දරුවන්ට උගන්වන්න වෙහෙසෙනවා. අපේ පවු‍ලේ දරුවෝ දෙන්නයි ඉන්නේ. අංජන කියන්නෙ බාල පුතා. එයාට වැඩිමල් තව එක පුතෙක් ඉන්නවා. පවුල් පසුබිම දිහා බැලුවොත් අපේ පවු‍ලේ අංජනට ඇර කාටවත් ගීත ගායනා කිරීමේ හැකියාව නැහැ. අංජන ගේ තාත්තා අපට කිව්වා. අංජන මුලින්ම කැමැත්තක් දක්වලා තියෙන්නේ ගී ගායනාවට නමෛයි. වාදනයටයි. ඒ ගැන අංජනගේ තාත්තා කිව්වේ මේ විදියටයි. ලොකු පුතා පුංචි කා‍ලේ අපි බොහොම ‍පොඩි ගාණකට ඕගන් එකක් අරගෙන දුන්නා. අපි හිතුවා එයා ඕගන් වාදනය ඉගෙන ගනීවි කියලා. ඒත් එයා මාසයක් විතර ඕගන් වාදනය කරන්න පුරුදු වෙලා ඒක පැත්තකටම දැම්මා. ඉන් පස්සේ ඕගන් එක තිබුණේ පැත්තක. ‍පොඩි පුතාට අවුරුදු තුන හමාරක් විතර වෙද්දී එයා ඕගන් එක අතපත ගාන්න පටන් ගත්තා. වැඩි දවසක් යන්නෙ නැතිව ටී.වී. එකේ යන සිංදු අහගෙන ඉඳලා ඒ ගීත වාදනය කරන්න පටන් ගත්තා. ඒක දැක්කහම අපටත් පුදුම හිතුණා. කිසිම හුරුවක් නැතිව කොහොමද ඕගන් එක වාදනය කරන්නේ කියලා. ඇත්තටම ගිය ආත්මෙ තිබුණ දක්ෂතාවක් නිසා මෙහෙම වෙනවා ඇති කියලයි අංජනගේ අම්මත් මාත් හිතුවේ. මොකද සංගීත භාණ්ඩයක් වාදනය කරන්න ස්වර ප්‍රස්ථාර තිබුණත් බොහෝ දෙනෙකුට අමාරුයි. ඒත් පුතා ඒ කිසිම දෙයක් නැතිව කනට ඇහෙන ගීත බොහොම හොඳට වාදනය කළා. ගායනය පැත්ත කෙසේ වෙතත් එයා කවදා හරි දවසක වාදනයෙන් තැනකට යාවි කියන විශ්වාසය අපට තිබුණා.a3-2ඒ එයා වාදනයට වගේම ගායනයටත් පස්සෙ කාලෙක දක්ෂතා දැක්වූ නිසා. අංජන දෙකේ පන්තියේ ඉඳිද්දී පාසලෙන් ගුවන් විදුලි සංස්ථාවට එක්කරගෙන ගිහින් තියෙනවා. ඒ අවස්ථාවේදී අංජන ගීත දෙකක් බොහොම හොඳට ගායනා කරලා තියෙනවා. ගුවන් විදුලි සංස්ථාවේ ඉන්න මාමලා, නැන්දලා පවා අංජනගේ දක්ෂතාවයන් අගය කළා විතරක් නෙවේ ඒ ගීත ගුවන් විදුලියේ විකාශනය කරලත් තියෙනවා. ඊට අමතරව සිරස ගුවන් විදුලි නාලිකාවේ විකාශනය වන සමනල සිරස වැඩසටහනටත් අංජන පුංචි කා‍ලේ ඉඳලා සහභාගිවෙලා තියෙනවා. අංජනගේ මේ දක්ෂතාවයන් දැකලා තමයි අංජනගේ අම්මා සිරස නාලිකාවේ විකාශනය වෙන්න තියෙන ‍පොඩ්ඩන්ට පුළුවන් වැඩසටහනට අයැදුම්පත් යොමු කරලා තියෙන්නේ. අජනට ‍පොඩ්ඩන්ට පුළුවන් වැඩසටහනේ දී පළවැනි හෝ දෙවැනි ස්ථානය දිනා ගැනීමට නොහැකි වුණා. ඒ ගැන මොනවද හිතෙන්නේ? අපි අංජනගෙ තාත්තගෙන් ඇහුවා. 'පුතා තරගයේ දී එයාට පුළුවන් උපරිමයෙන් ගීත ගායනා කළා. ඒ වගේම එයාට ගොඩක් එස්.එම්.එස්. ලැබෙන්න ඇති කියලා හිතෙනවා. මඟ තොටේ දී හමුවෙන අපි නොදන්න අය පවා කියනවා අපේ පුතාට එස්.එම්.එස්. එව්වා කියලා. ඒ වගේම අපි දන්න හැම කෙනෙක්ම වගේ පුතාට එස්.එම්. එස්. එව්වා කිව්වා. ‍පොඩ්ඩන්ට පුළුවන් වැඩසටහනේ දී අංජන ගීත ගායනා කරන්න පුරුදුවෙලා තියෙන්නේ රේඩියෝවෙන් ගීත අහලා. දෙමළ මාධ්‍යයේ ගීත ගායනා කරන්න එයාට වෙනත් සර් කෙනෙක් ඇවිත් පුරුදු කරලා තියෙනවා. එහෙම නැතිවුණා නම් තරගකාරිත්වයට මුහුණ දෙන්න අමාරුයි කියලා තමයි එයා හිතාගෙන ඉන්නෙ. ඉදිරියේ දී අංජනගේ ගීත කිහිපයක් කරන්න එයාගෙ දෙමාපියෝ බලා‍පොරොත්තු වෙනවා. මේ වෙද්දී එයාට චිත්‍රපටයකට ගීත ගායනා කරන්නත් අවස්ථාව ලැබිලා තියෙනවා. දිනේෂ් ප්‍රියශාද්ගෙ චිත්‍රපටයේ ගීත දෙකක්ම ගායනා කරලා තියෙන්නෙ අංජන, ඉදිරියේ දී මේ පුංචි පුතාගේ ගීත ඔබටත් අහන්න ලැබේවි.
දීපිකා නැන්දා 
Lakbima
READ MORE - අපටත් ප්‍රශ්නයක්

සුගීතා’ ස්වර දැහැන ජන: 05 වැනිදා


සුගීතා’ ස්වර දැහැන ජන: 05 වැනිදා

ආචාර්ය වික්ටර් රත්නායක,විශාරද අමරසිරි පීරිස්, විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස්, ගී ගයන ‘සුගීතා’ ස්වර දැහැන ජනවාරි මස 05 වැනිදා සවස 6.30 ට කොළඹ බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
කැලණිය විශ්ව විද්‍යාලයීය 78 – 82 වාණිජවේදී ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය මෙය සංවිධානය කරයි.
 Silumina
READ MORE - සුගීතා’ ස්වර දැහැන ජන: 05 වැනිදා

‘අංජන රංජන’

Saturday, December 8, 2012

මොන දේ විඳ දරාගන්නත් මට ශක්තිය තියෙනවා

නාලක අංජන කුමාර
නාලක අංජන කුමාර ඉදිරිපත් කරන ‘අංජන රංජන’ ගී ප්‍රසංගය මෙම 14 වැනි සිකුරාදා පස්වරු 6.30ට කොළඹ බිෂොප් විද්‍යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ. නාලක අංජන කුමාරගේ සුමියුරු නාද රටාවන්ගෙන් ඔපවත් වූ ගීත මෙහිදී ආචාර්ය පණ්ඩිත් අමරදේව, ආචාර්ය වික්ටර් රත්නායක, කරුණාරත්න දිවුල්ගනේ, නන්දා මාලිනී, දීපිකා ප්‍රියදර්ශනී පීරිස්, ජගත් වික්‍රමසිංහ, නිරෝෂා විරාජිනී, කසුන් කල්හාර, ප්‍රදීපා ධර්මදාස, ඉන්දිකා උපමාලි, යමුනා විනෝදනී, ක්‍රිශාන්ත එරන්දක, අමල් පෙරේරා වැනි ජනප්‍රිය ගායක ගායිකාවන් රැසක් විසින් ගායනා කරනු ලබයි. නාලක අංජන කුමාර හා මහින්ද බණ්ඩාර ඉදිරිපත් කරන ගිටාර් වාදනයකින් ප්‍රසංගය නිමා වෙයි.
ඔබට වරම් නැති මට ද වරම් නැති සෙනෙහස කොතැන ද සැඟව ගියේ ඉවත ගලා ගිය කඳුළක දිය වී ප්‍රථම පේ‍්‍රමයයි බොඳව ගියේ...!
(ගායනය - කරුණාරත්න දිවුල්ගනේ)
(පද - රංජිත් රූපසිංහ)
(සංගීතය - නාලක අංජන කුමාර)

සොඳුරු රිද්ම රටා මවන්නට ඔහු සතුව ඇති ප්‍රතිභාව ඒ එකම ගීතයෙන් වුවද අපට හඳුනා ගත හැකි ය. අපේ සංගීත ක්ෂේත්‍රයේ අභියෝගාත්මක ගිටාර් වාදන ශිල්පියා ද වන ඔහු දක්ෂ සංගීතඥයෙකු මෙන්ම “ඒ” ශ්‍රේණියේ ගායන ශිල්පියෙක් ද වේ. වෘත්තියෙන් ඔහු ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සංගීත පාලකවරයා ය. මෙම උඳුවප් මහේ සිසිලසට සිය නාද වියමනෙන් එනම් “අංජන රංජන” ගී මියැසියෙන් මිහිර මුසු කරන්නට සැරසෙන ඔහු නාලක අංජන කුමාරය.
මේ නාලකගේ හෘද්‍යාංගම සිතුවිලිය.
“මේ දවස් වල උදේ ඉඳලා රෑ වනතුරු මගේ වැඩේ දුවන එක තමයි. ‘අංජන රංජන’ ප්‍රසංගයේ කටයුතු වගේම එහිදී එළිදක්වන මගේ ගිටාර් වාදන ඇතුළත්ධ්ඵධතචබඥඤ ජ්ඪදඨඥපඵ සංයුක්ත තැටියේ කටයුතුත් අතරමැද කාර්ය බහුලයි. හැබැයි ඒ සේරමත් හරි, මට දරාගන්න අමාරු මගේ ප්‍රසංගයට මේ රටේ කිසිම අනුග්‍රාහකයෙකු මට තවම සොයා ගන්න බැරි වීම හින්දායි. (වේදනාත්මක ස්වරයෙන්) ඇත්තටම ‘මම මේ රටේ කලාකරුවෙක් ද’ කියලා දැන් මට හිතන්න වෙලා. ඒත් පටන් ගත්ත වැඩේ මං කොහොම හරි කරන්න ඕනේ. පොලියකට ණයක් වෙලා හරි මං මේ ප්‍රසංගය කරනවා.”
අප රටේ ප්‍රසිද්ධ ආයතන රැසක්ම නිතර කලාකරුවන්ගේ ප්‍රසංග සඳහා අනුග්‍රහ ලබා දෙනවානේ. ඔබ එම ආයතනවලට ගියේ නැද්ද...?
“ඔව්, මම ගියා. ඒ හැමෝම කිව්වේ ‘මේ වර්ෂය සඳහා වෙන් කළ මුදල් ඉවරයි’ කියලා පමණයි. ඉතින් තවත් එතැනින් එහාට මොන අනුග්‍රහයක් ද.
ඒ ගැන මට දුකයි. මම විශ්වාස කරගෙන උන්නු ආයතන සහ පුද්ගලයින් උන්නා මම වැඩක් කරද්දි මට අනුග්‍රහය ලබා දෙයි කියා. ඒත් ඒ සියල්ල මායාවක් පමණයි. මං මේ ක්ෂේත්‍රයේ යථාර්ථය තේරුම් ගත්තා. ඒ වගේම ‘මම මේ රටේ කලාකරුවෙක් ද’ යන වග නැවත නැවතත් සිතා බලන්න ඔවුන් මාව පෙලඹුවා. මොන දේ වුණත් මට ශක්තිය තියෙනවා විඳ දරා ගන්න. මගේ අම්මා මට කිව්වේ ‘පුතේ හොඳ මිනිහෙක් වෙයන්’ කියලයි. අම්මාගේ ඒ වචන මම මේ වෙලාවේ මට ශක්තියක් කරගන්නවා.
ඇත්තමයි, මං හොඳ මිනිහෙක් තමයි. අව්‍යාජ පෞරුෂයක් නැති මිනිහෙකුට සැබෑ කලාකරුවෙකු වෙන්න බැහැ. අපේ සංගීත ක්ෂේත්‍රයේ එවැනි අව්‍යාජ පෞරුෂයෙන් හෙබි අමරදේවයන් වැනි සැබෑ කලාකරුවන්ගේ ඇසුර මා හට ලැබී තිබීම පිළිබඳව මේ අවස්ථාවේ දී මං සතුටු වෙනවා.
ඔබ සේවය කරන ආයතනයෙන් හෝ සහෝදර මාධ්‍ය ආයතනවලින් වත් ඔබගේ ප්‍රසංගයට මාධ්‍ය අනුග්‍රහයක් නොලැබේ ද...?
“මා සේවය කරන ගුවන් විදුලි සංස්ථාවේ සිටි එෆ්. එම්. සේවයෙන් සහ මෑතදී බිහි වූ හිරු ටී. වී. ආයතනයෙන් මාධ්‍ය ආවරණය ලැබෙනවා. ඔවුන්ට ඒ ගැන මා ස්තුතිවන්ත වෙනවා. මට හිතාගන්න බැරි මා කැපවීම් කළ ජාතික රූපවාහිනියෙන් මගේ ප්‍රසංගයට කිසිදු දායකත්වයක් නොලැබීම පිළිබඳවයි. කමක් නැහැ, කෙසේ හෝ මම මේ ප්‍රසංගය කරනවා.
මම මේ ගමන ආවේ සෝමදාස ඇල්විටිගල, පේ‍්‍රමසිරි කේමදාස, පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන් වැනි ප්‍රතිභාපූර්ණ නිර්මාණකරුවන්ගේ නිර්මාණ විඳලා. රජරටින් ස්වාධීනව තනිව ගමනක් මං ආවේ. ක්ෂේත්‍රයේ අකටයුතුවලින් සසල වී ඒවාට එරෙහිව සටන් කරන්න යනවා වෙනුවට ඉවසීමෙන් හා හික්මීමෙන් මීළඟ පරම්පරාවට මා ලද දැනුම බෙදා දෙමින් මේ ගමන බාධා පීඩා අතරමැදින් වුවද යන්න මං වෑයම් කරනවා. ඒ සඳහා අමරදේවයන් වැනි ප්‍රවීණයන්ගෙන් මා හොඳ ආදර්ශ ලබාගෙන තිබෙනවා.”
ඔබේ කලා දිවියේ සුවිශේෂ වූ කටයුතු කිහිපයක් මතකයට නඟමු ද...?
“ඕනෑම ගීතයක ස්වර මාලාව කිසදු සංගීත භාණ්ඩයක් නොමැතිව ක්ෂණිකව අධි වේගයෙන් පවසන්න පුළුවන් සුවිශේෂ හැකියාවක් මට තියෙනවා. (නාලක ක්ෂණිකවම “කුරුටු ගෑ ගී පොතේ” ගීතයේ ස්වර මාලාව ගයමින් ඔහුගේ දක්ෂතාවයේ අපූර්වත්වය විඳගන්නට අපට අවස්ථාව සලසා දෙමින්...) මම විතරයි ඔය හැකියාව ඇති ශිල්පියෙකුට මේ රටේ ඉන්නේ. එහෙව් මම තමයි අද මෙහෙම විඳ වන්නේ. ජාතික රූපවාහිනියෙන් විකාශය කළ ගිටාර් හතකින් සංගීතවත් කළ අභියෝගාත්මක සම්භාව්‍ය ගීත වැඩ සටහනේ සංගීත අධ්‍යක්ෂණය කළේ මමයි. ‘රජ්ජුමාලා’ චිත්‍රපටයේ මෙන්ම ‘ජීවිතය සුන්දරයි’ රූපවාහිනී නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂණයත් මගෙයි.
‘බව දුක සහ බව කර්ම’ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණයේ දී ගුණදාස කපුගේ ශූරින්ගේ සහාය අධ්‍යක්ෂවරයා වූවේ මම. එසේම ‘කම්පන’ ප්‍රසංගයේ ගිටාර් වාදනයත්, සංගීත අධ්‍යක්ෂණයත් මා කළ සුවිශේෂ කටයුත්තක්. එමෙන්ම අමරදේව ගාන්ධර්වයාණන්ගේ ප්‍රසංගයන් වලදී මම ගිටාර් වාදනයෙන්, සංගීත අධ්‍යක්ෂණයෙන් සහ සමූහ ගී ගායනයෙන් දායක වී තිබෙනවා. ශ්‍රාවකයින්ගේ රස වින්දනය පිණිස ගී තනු නිර්මාණය කර තිබෙනවා. මගේම හඬින් ගීත ගායනා කර තිබෙනවා.
ඔබ ගැයූගී තවම ජනපි‍්‍රය නොවුණේ ඇයි...?
“ජනපි‍්‍රය වෙන්න නම් විද්‍යුත් මාධ්‍ය වලින් ප්‍රචාරය වී අපේ ගීත ජනතාවට ඇහෙන්න ඕනේ. මොකද ගීත ජනපි‍්‍රය වෙන්න ඕනෙත් ජනයාට පි‍්‍රය වීමෙන්නේ. ඔවුන්ට නෑසෙනවා නම් එම ගීත ජනපි‍්‍රය වෙන්නේ කොහොම ද? මා ගැයූ ගීත ප්‍රචාරය නොවන හින්දා ඒවා ජනපි‍්‍රය වීම කෙසේ වෙතත් මා ගීත ගයා තිබෙන බවවත් ගීත ශ්‍රාවකයින් දන්නේ නැතුව ඇති.”
ජෝජ් රොබ්සන් ද සිල්වා

Silumina
READ MORE - ‘අංජන රංජන’

මලට බඹරෙකු සේ සිතට එන ක්ලැරන්ස්

මලට බඹරෙකු සේ සිතට එන

ක්ලැරන්ස්
සුමියුරු සත්සර රාවයට මුසුව ඔහුගේ ගී හඬ ගුවන් තලයේ පාවී ඇවිත් අදත් ගීතලෝලී සිත් ස්පර්ශ කොට අමන්දානන්දයට පත් කරන අයුරු අපූර්ව ය. වියෝ වී වසර දාසයකට පසුව අද ද ඔහු සිය සහෘද සිත් සමීපයේ හිඳිමින් ගී ගයනු වැනිය.
ගායන ශිල්පියෙකු, ගී පද රචකයෙකු, තනු නිර්මාණකරුවෙකු, වාදකයෙකු සහ සංගීතඥයෙකු ලෙස සිය ප්‍රතිභාවෙන් ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයට අමිල මෙහෙයක් ඉටු කළ ඔහු ක්ලැරන්ස් ආතර් සෝමසිංහ විජේවර්ධනය. කවුරුත් දන්නා නමින් නම් ක්ලැරන්ස් විජේවර්ධනය.
1943 අගෝස්තු තුන්වැනිදා හපුතලේ දී මෙලොව එළිය දුටු ක්ලැරන්ස් සහෝදර සහෝදරියන් සිවු දෙනෙකුගේ පවුලේ වැඩිමලා වූවේ ය. පාසල් වියේ දී සංගීතයට මෙන්ම පාපන්දු ක්‍රීඩාවටත් විනෝද ගමන් යාමටත් බෙහෙවින් පි‍්‍රය කළ ක්ලැරන්ස් ගිටාරයක් දකින්න සිත තුළ පැවති ආසාවට මිතුරෙකුගේ ඇඳුම් සෝදා දුන් අයුරු 1980 වසරේ දී ඔහු වෙනුවෙන් පළ කළ “මල්පියලි” සඟරාවේ විශේෂ කලාපයට අප සමඟ පැවසුවේ නිහතමානී හසරැල්ලකින් මුව සරසා ගෙනය.
සැබැවින්ම ඔහු නිහතමානි, සරල මිනිසෙකු වූවේ යයි අපි සිතමු. වයස අවුරුදු එකොළහේ දී පළමු වරට ගිටාරයක් වාදනය කළ ක්ලැරන්ස් 1996 දෙසැම්බර් 13 වැනිදා ජීවිතයෙන් සමුගෙන යනතුරු ගිටාරයට පෙම් කළේය. සුමියුරු ගී තනු දහස් ගණනක් මවන්න ගිටාරය ඔහු සහාය කර ගත්තේය.
අද මේ වන විට ක්ලැරන්ස් පරිහරණය කළ ගිටාරය මේ රටේ නැතත් (එය ඕස්ට්‍රේලියාවේ වෙසෙන ක්ලැරන්ස්ගේ බිරිඳ ශීලා සහ දියණිය අමිලා ළඟ ය.) ඔහු නිර්මාණය කළ තුන්දහසක් පමණ වූ රසබර ගීතාවලියෙන් ගීත දහසකට වඩා ප්‍රමාණයක් අපගේ රස වින්දනය පිණිස ඉතිරිව ඇත. “සංගීත කණ්ඩායම්” කුලයේ පුරෝගාමියා වූ නෙවිල් ප්‍රනාන්දුගෙන් ඇරඹි බවට සැලකිය හැකි බටහිර ජනපි‍්‍රය සංගීත කලාවට දේශීයත්වය මුසු කිරීමේ දී ක්ලැරන්ස්ගේ නිර්මාණ දායකත්වය සුවිශේෂය.
සංගීත කණ්ඩායම්, චිත්‍රපට රූපවාහිනී නාට්‍ය, පටි සහ තැටි සඳහා ක්ලැරන්ස් ගී පද රචනය, තනු නිර්මාණය සහ ගායනය යන ත්‍රිවිධාකාරයෙන් කර ඇති දායකත්වය පිළිබඳව තොරතුරු බිඳක් මෙම සමරු සටහනේ මෙලෙස අකුරු කිරීම වටී යයි සිතමු.
හැටේ දශකයෙන් ඇරඹෙන ඔහුගේ ප්‍රසිද්ධ සංගීත චාරිකාවේ මුලින්ම “මුන්ස්ටෝන්” කණ්ඩායම සමඟ කළ නිර්මාණ ද ඉන්පසු “ගෝල්ඩන් චයිම්ස්” - “සුපර් ගෝල්ඩන් චයිම්ස්” සහ “මදාරා” කණ්ඩායම් සමඟ කළ නිර්මාණ ද ගීතලෝලීන් අතර ජනපි‍්‍රයත්වයට පත්විය. එම ගී අතර “වන දෙව් ලිය තුරුලේ” - “කාගෙද ගොන් වස්සා” - “මම එදා ගොසින්” - “දිල්හානි දුවනී” - මංගෝ කළු නැන්දේ” - “රුවන්පුරය” - කිම ද නාවේ” - “ගමෙන් ලියුමක් ඇවිල්ලා” - “උඩරට නිළිය හැඩ වගේ” - “මා ආදරෙයි නංගියේ” වැනි ගී මුතු සිය ගණනකි.
ක්ලැරන්ස්ගේ කණ්ඩායම් සංගීත දිවියේ ස්වර්ණමය යුගය වූ හැත්තෑව දශකයේ දී ඔහුගේ විවාහය ද (1972 මැයි 15 වැනි දා ශීලා රම්‍යදාස සමඟ) සිදු වූ අතර චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණයට එක් වීම ද සිදු විය. ඒ 1975 දී “සිකුරුලියා” චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂවරයා වෙමින්ය. එම චිත්‍රපටයට ජේ. ඒ. මිල්ටන් පෙරේරා “කොමල ලියා සිකුරුලියා” ගීතය අද ද ගීතලෝලීන් අතර ජනපි‍්‍රය ගීතයක් වන අතර “අපේක්ෂා” (1978) - “හලෝ ශ්‍යාමා” (1982) - “චලිත රංගාලි” (1985) වැනි චිත්‍රපට සඳහා ද ඔහු සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වූවේය. ඔහුගේ සිතැඟි සත්සරින් රිද්ම ගත වූ ක්ලැරන්ස්ම ගැයූ “සැණකෙළියේ සඳ එළියේ දිමුතු ලතාවයි” ගීතය මෙන්ම “සඳ තනිවෙලා” සහ “කලක් ඇවෑමෙන් පෙරුම් පුරා” (මිල්ටන් මල්ලවආරච්චි සමඟ ඇන්ජලින් ද ලැනරෝල් ගුණතිලක) - “ඔකඳ වෙලා සිත” (ඇන්ජලින්) - “සොඳුරු ලොවට මල් වැහැලා” (එච්. ආර්. ජෝතිපාල සමඟ සුජාතා අත්තනායක) - “වසන්තයේ මල් කැකුළයි” (ඉන්ද්‍රානි පෙරේරා) වැනි ගීත ද තවමත් රසික ආදරය දිනාගෙන ඇති සුමියුරු චිත්‍රපට ගීත වේ.
කරුණාරත්න අබේසේකරයන් විසින් රචිත “දිලීප පොඩි පුතු” ගීතය ගයමින් ඒකල (තනි) ගීත ගායනයට එක් වූ ක්ලැරන්ස් “මලට බඹරෙකු සේ” - “මුව හසරැලි සාගරේ” - “හද විලේ ඔබ පිපුණා” - “සිහින ලොවක් දුටුවා මතකයි” - “රන් දුනුකේ මල” - “රන් සමනලයින් ඉගිලෙනු දැක මට” - “දුව මා වගේදෝ” - “හිරු පිබිදෙන විට” (මාලිනියේ) - “හින්දි වදන් මියුරු සරින්” - “දිනෙක මේ නදී තීරේ” වැනි රසබර ගීතාවලියක් සිය හඬින් ගීතවත් කළේ ය. ඔහු ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාසයන්ගේ සංගීතය “ජනක හා මංජු” චිත්‍රපටය සඳහා ලතා වල්පොල සමඟ ගැයූ “ලෝකේ ජීවත් වෙන්නට ලස්සන ඕනෑ වේ” ගීතය සහ තනිව ගැයූ “සුවඳක් දැනේවි හදේහි ආදර ලෝකේ හා හා” ගීතය ද ගීතලෝලීන්ගේ සිත්ගත් ගීතය.
“සුසීමා” සහ “නිදිකුම්බා මල්” ටෙලි නාට්‍ය සඳහා ද සංගීත නිර්මාණයෙන් දායක වූවේ ක්ලැරන්ස් ය. මෙම ටෙලි නාට්‍යයේ ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන් සිය ගීතය ගැයීමෙන් පසුව වැනි ප්‍රතිභාසම්පන්නයෙකුගේ තනුවකට ගීතයක් ගයන්න ලැබීම පිළිබඳව මහත් සතුටින් කළ ඇගයීම තමාට චිත්ත පී‍්‍රතියක් වූ වග එකල ක්ලැරන්ස් අප සමඟ නිහතමානීව ප්‍රකාශ කළේ ය. “සුසීමා” ටෙලි නාට්‍ය සඳහා ක්ලැරන්ස් නිර්මාණය කළ “දේවතාවන් සිතන දේවල්” (ක්ලැරන්ස්) - “සිතේ සුසුම් නිවනා ගායනා” (ක්ලැරන්ස් සමඟ ජැක්සන් ඇන්තනී) - “රෑ තාරකාවෝ මුමුණා කියයි” (ජැක්සන් සමඟ ජෝර්ජ් සේනානායක) සහ “දෑස පියා ගත් කල මැවෙන්නෙ ඔබෙ රුව“ (ජැක්සන් සහ ජෝර්ජ්) ටෙලි නාට්‍ය ගීත ක්ෂේත්‍රයේ අමතක කළ නොහැකි රසබර ගී නිර්මාණය.
ගුවන් විදුලිය, කැසට් පට සහ තැටි සඳහා ද ක්ලැරන්ස් කළ නිර්මාණ දහස් ගණනකි. ;මහි දී සිය සහෝදර ගායක ගායිකාවන් වෙනුවෙන් ගී පද රචනයෙන් මෙන්ම ස්වර (තනු) රචනයෙන් ද නොමසුරුව දායකත්වය සපයා ඇති ක්ලැරන්ස් සිය නිර්මාණ ප්‍රතිභාව මෙන්ම සිය අනන්‍යතාව ද එම නිර්මාණවලින් පෙන්වා තිබීම විශේෂය. “විකසිත වත කමලේ” (මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි) - “සීත රෑ වසන්තේ” (සනත් සමඟ මල්කාන්ති) - “සීගිරි ළඳුනේ” - “රුවට රුවේ සකුරා ඉවුරේ” (ටී. එම්. ජයරත්න) -”රටකින් එහා ඉගිලී” - “ඈත රන් විමන්” - “පැතුම් පිරීලා” - “හිරු ද මුවා වී” (පි‍්‍රයා සූරියසේන) - “මල් පිබිදෙන එක වසන්ත සමයක” - “උමයංගනියෝ” (එච්. ආර්. ජෝතිපාල) - “තනි වී සිටින්නයි” - “අවසර නැත මට” - “සුළඟේ පාවී” - “කෙසේ කියන්න ද” - “මට මෙන් ඔහුට ද” (මිල්ටන් මල්ලවආරච්චි) - “පුංචි පුතා මගෙ ඉස්කෝලේ ගිය” - “මා පෙර සසරේ” (ඇන්ජලින්) - “මතකය ඇසුරින්” - “එදා තරම් මගේ සිතේ” - “එක දවසක් මා දුටුවා” (ඉන්ද්‍රානි පෙරේරා) - “කඩුපුල් මලක් පිපිලා” - “රූ සිරිය ඈගේ දෙව්ලියක වාගේ” (වර්නන් පෙරේරා) - “උතුමාණෙනි” සහ “කැලේ සිංහයා” (නිහාල් නෙල්සන්) - “බෙත්ලෙහෙම් පුරේ” (අනිල් භාරතී) - “යොවුන් සිහින ලෝකේ” (මරියසෙල් ගුණතිලක) - “වේදිකාව ජීවිතේ අපේ” (අතුල අධිකාරි) - “මී විත පුරවා” (මර්වින් මිහිඳුකුල) වැනි ජනපි‍්‍රය ගීත දහස් ගණනක් එම නිර්මාණ අතර වේ.
වර්තමානයේ දී ක්ලැරන්ස් නිර්මාණය කළ ගීත සම්බන්ධව පැන නැඟී ඇති සිද්ධි කිහිපයක් ද වේ. ගායන ශිල්පී ඇනස්ලි මාලේවන අධිකරණ නඩුවේ නඩු විභාගයකට මුහුණ දී සිටින අතර ගායන ශිල්පී රජිව් සෙබස්තියන් අධිකරණ නියෝගයක් අනුව ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ බුද්ධිමය දේපළ වෙනුවෙන් විජේවර්ධන පාර්ශ්වයට වන්දි මුදලක් ගෙවමින් සිටියි. එමෙන්ම “ටොරානා” ආයතනයට එරෙහිව කෝටියක වන්දි මුදලක් අය කර ගැනීම පිණිස ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කිරීමට ද ක්ලැරන්ස් විජේවර්ධන පාර්ශ්වය කටයුතු යොදා ඇත. මේ අතර ලාංකිකා පෙරේරා, අනිල් භාරතී, පි‍්‍රයා සූරියසේන සහ “මේරියන්ස්” නලීන් පෙරේරාට ද ක්ලැරන්ස්ගේ බුද්ධිමය දේපළ භාවිතය පිළිබඳව එන්තරවාසි යවා තිබේ.
මෙහි දී සඳහන් කළ යුතු විශේෂ කරුණක් ද ඇත. එනම් වර්තමානයේ ක්‍රියාත්මක වන “බුද්ධිමය දේපළ පනත” පණ ගැන්වීමට අතීතයේ දී ක්ලැරන්ස් ද දායක වූ වගයි. එහෙත් තවමත් අප රටේ සංගීත ක්ෂේත්‍රයේ නියැළෙන ගායක ගායිකාවන්, ගී පද රචකයින් සහ සංගීතඥයින් බුද්ධිමය දේපළ පනත පිළිබඳ නිසියාකාර හැදෑරීමක් කර හෝ වැටහීමක් ලබා නොමැති හෙයින් එදා ක්ලැරන්ස් කළ එම යහපත් දායකත්වය පිළිබඳ ඇගැයීමක් මෙතෙක් කෙරී නොමැත. එහෙයින් අවම වශයෙන් 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනතින් සලසා ඇති ප්‍රතිපාදන පිළිබඳ පමණක්වත් දැන සිටීම සංගීත ක්ෂේත්‍රයේ නියුතු සැමට යහපත් වේ යැයි අපි යෝජනා කරමු.
ක්ලැරන්ස්ගේ නිර්මාණ සම්බන්ධයෙන් පැන නැගී ඇති තවත් ප්‍රධාන සිද්ධියක් වී ඇත්තේ ඔහුගේ නිර්මාණ නව පරපුරේ ගායක ගායිකාවන් ගායනය කිරීම ය. මේ වන විට “කඳු පාර ඈත අයිනේ” (සංඛ දිනෙත්) - “තනි වී සිටින්නයි” (සුරේන්ද්‍ර පෙරේරා) - “මතකය ඇසුරින්” (අමිලා නදීෂානි) වැනි ගීත විද්‍යුත් මාධ්‍ය මෙන්ම දුරකථන රිංගින් ටෝන්ස් මඟින් ද නිතර ශ්‍රවණය කළ හැකිව තිබේ. එමෙන්ම මෙම 15 වැනි දා පැවැත්වෙන “ක්ලැරන්ස් ගීතෝපහාර” ප්‍රසංගයේ දී එළිදැක්වීමට නියමිත “ක්ලැරන්ස් නිර්මාණ” (අංක - 1) ගීත ඇල්බමයෙන් ද ක්ලැරන්ස් නිර්මාණය කළ “මැණිකේ සුදු මැණිකේ” (සමන් ද සිල්වා) - “ඔබෙන් පමණි මා දුටුවේ” (අතුල අධිකාරි) - “සිහිල් නුවන් තුළ” (ඉසුරු ජයරත්න) - “විකසිත වත කමලේ” (උදේශ් ඉන්දුල) - “නිරංජලා කාටදෝ” (සුරේන්ද්‍ර සමඟ අමිලා) - “එක දවසක් මා දුටුවා” (ගයනි මධුෂානි) - “සුළඟේ පාවී” සහ “මී විත පුරවා” (උදේශ් නිලංග) - “මා ආදරෙයි නංගියෙ” (සන්තුෂ් සමඟ උමාරියා) - “පැතුම් පිරීලා” (අජිත් බණ්ඩාර) - “තනි වී සිටින්නයි” (සුරේන්ද්‍ර පෙරේරා) - “මතකය ඇසුරින්” (අමිලා නදීෂානි) වැනි ජනපි‍්‍රය ගීත 14 ක් ඉදිරිපත් කෙරුනු ඇත.
ක්ලැරන්ස්
ගීතෝපහාර ප්‍රසංගය
15 වැනිදා
මියුසියස් විද්‍යාලයීය
ශ්‍රවණාගාරයේ දී!
මෙම ගීත ඇල්බමයේ ඇතුළත් සියලුම ගී තනු නිර්මාණ සහ ඇතැම් පද රචනා ක්ලැරන්ස්ගේම වන අතර ඔහු පද රචනය නොකළ ගීත කිහිපයට අදාළ ගී පද රචකයින්ගේ අවසරය ලබා ගෙන මෙම ගීත ඇල්බමය නිෂ්පාදනය කර ඇත. මෙම “ක්ලැරන්ස් නිර්මාණ” ගී ඇල්බමය සංගීතවත් කර ඇත්තේ නව පරපුරේ සංගීතඥයෙකු වන නඳුන් රත්නායකය.
විජේවර්ධන පවුලේ සාඩම්බර ඉදිරිපත් කිරීමක් ලෙසින් මෙම 15 වැනිදා සවස 7 ට මියුසියස් විද්‍යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙන “ක්ලැරන්ස් ගීතෝපහාර” ප්‍රසංගයේ දී ක්ලැරන්ස්ගේ නිර්මාණ ගායනයට ඇන්ජලින් ද ලැනරෝල් ගුණතිලක, ටී. එම්. ජයරත්න, සමන් ද සිල්වා, වර්නන් පෙරේරා, රනිල් මල්ලවආරච්චි, චාන්දනී හෙට්ටිආරච්චි, අතුල අධිකාරී, ශ්‍යාම් ෆොන්සේකා, වින්ස්ලෝ සික්ස්, සමන් රත්නවීර සහ දමයන්ත කුරුප්පු ඇතුළු නව පරපුරේ ජනපි‍්‍රය ගායක ගායිකාවන් කිහිප දෙනෙකු ද එක්වන අතර ප්‍රසංගය සංගීතවත් කරනු ලබන්නේ “විෂන්” විසින් ය. කථනය කැළුම් ශ්‍රීමාල් විසින් කරනු ලබන මෙම ප්‍රසංගය සංවිධානය කර ඇත්තේ ක්ලැරන්ස් විජේවර්ධන බුද්ධිමය දේපළ පිළිබඳ ඇටොර්නි බලකරු ලෙස කටයුතු කරන සිරි හෙට්ටිආරච්චි විසින්ය.

එයාට ලෝකෙන්ම වටින්නේ දුව තමයි!

- ක්ලැරන්ස් බිරිඳ ශීලා විජේවර්ධන
”ක්ලැරන්ස්ගේ දාසය වැනි අනුස්මරණය නිමිත්තෙන් පවත්වන ‘ක්ලැරන්ස් ගීතෝපහාර’ ප්‍රසංගය හා එයාගේ ගීත සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග කිහිපයක් ගැනීමට සිදු වී ඇති නිසයි මං මෙවර ලංකාවට ආවේ. අමාලි දුවත් එක්ක මම දැන් පදිංචි වෙලා ඉන්නේ ඕස්ට්‍රේලියාවෙයි. ක්ලැරන්ස්ගේ ගිටාරය වගේම එයා ගී ලියූ පොත්පත්, පින්තුර හැමදේම දැන් දුව ළඟයි තියෙන්නේ. කොහේ හිටියත් අපිට ක්ලැරන්ස්ව නිතරම මතක් වෙනවා. එතකොට ගොඩක් දුකයි.”
”ක්ලැරන්ස් මුලින්ම සින්දු ලියන්න ගත්තේ මටයි. ඒ කාලේ එයා පදිංචි වෙලා උන්නේ අපේම ගෙදරකයි. අපි දෙන්නා අතරේ ආදරයක් ඇතිවුණා. ‘කිමද නාවේ’, ‘සිහින් සිනාවයි’, ‘සුදු මැණිකේ’ වගේ ගීත එයා මට ලියූ ගීතවලින් සමහරක්. මා වෙනුවෙන් එයා අන්තිමට ලියූ ගීතය ‘මගෙ සිරියාවතී’ ගීතය යි. ‘ක්ලැරන්ස් සිහිවටන’ (2) ඇල්බමයට එයා ඒ ගීතය ගායනා කළා වගේ මට මතකයි. ඒ වගේම අමාලි දුව වෙනුවෙන් ක්ලැරන්ස් ‘දුවනී’ – ‘අමිලා දුවේ’ – ‘ඔබ පරදා’ වැනි ගීත කිහිපයක්ම ලියා ගායනා කළා. ඔය එක සින්දුවකදී ක්ලැරන්ස් දුවට තිබුණු එයාගේ ආදරය හෙළි කරනවා. “ලෝකෙන්ම වටින්නේ දුව තමයි” කියලා.
”ක්ලැරන්ස් ගේ බුද්ධිමය දේපළ පිළිබඳව පැන නඟින ගැටලුවලට මුහුණ දීමට මමත් අමාලි දුවත් මේ රටේ නැති නිසා අපි දෙදෙනා වෙනුවෙන් ක්ලැරන්ස්ගේ නිර්මාණ සම්බන්ධයෙන් කටයුතු කිරීමට අපි සිරි හෙට්ටිආරච්චි ඇටෝර්නි බලකරු ලෙස පත්කර තිබෙනවා. ඔහු ඉතා හොඳීන් එම කටයුතු කරගෙන යමින් ක්ලැරන්ස්ගේ අයිතිවාසිකම් සුරකිනවා.”

ක්ලැරන්ස්ගේ නිර්මාණ නව පරපුරට දායාද කිරීමක්

-ක්ලැරන්ස් ගේ නිර්මාණ පිළිබඳව ඇටෝර්නි බලකරු සහ ” ක්ලැරන්ස් ගීතෝපහාර”
ප්‍රසංගයේ සංවිධායක
සිරි හෙට්ටිආරච්චි
” ක්ලැරන්ස්ගේ නිර්මාණ යුගයෙන් යුගයට පැවතිය යුතුයි. ඒ නිසයි ඔහුගේ ගී නිර්මාණ නව පරපුරේ දක්ෂ ගායක ගායිකාවන් ලවා ගායනය කරවන්නේ. සමහරු මෙය ක්ලැරන්ස්ගේ හඬ නැති කිරීමක්, ක්ලැරන්ස්ගේ සින්දු කා දැමීමක් හෝ ක්ලැරන්ස්ට අවමන් කිරීමක් ආදී වශයෙන් අර්ථ දක්වනවා විය හැකියි.
එහෙත් එම අදහස් නිවැරැදි නැහැ. නව පරපුරේ දක්ෂයින් ලවා ක්ලැරන්ස්ගේ නිර්මාණ ගායනය කරවීම හේතුවෙන් ඔහුගේ නිර්මාණ නව පරපුරට දායාද කිරීමක් සිදු වෙනවා. එම නිසා ක්ලැරන්ස් ගේ නිර්මාණයන්ට සාර්ථක පැවැත්මක් තිබෙනවා.”
”බුද්ධිමය දේපළ පනතෙන් සලසා දී තිබෙන ප්‍රතිපාදන යටතේ ක්ලැරන්ස් ගේ නිර්මාණ නිසි අවසරයකින් තොරව ගායනා කිරීමේ දී සහ විකෘති කිරීම් සිදුවන අයුරු නැවත පටිගත කිරීම් ආදිය කර භාවිත කිරීමේ දී සියලුම ගායක ගායිකාවන්ට සහ ව්‍යාපාරිකයින්ට එරෙහිව නීතිමය පියවර ගෙන තිබෙනවා.
දැනට ‘ටොරානා’ ආයතනයට එරෙහිව පැවරූ නඩුව අප ජයග්‍රහණය කර තිබෙනවා. අප කළ ඉල්ලීම් දාහතෙන් දාසයක්ම අපට ලබාදීමට මහාධිකරණය නියෝග කර ඇති අතර ළඟදීම ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කිරීමට ද කටයුතු යොදා තිබෙනවා.
එමෙන්ම රජීව් සෙබස්තියන් හට ක්ලැරන්ස් ගේ ගී නොගයන ලෙස අධිකරණය මඟින් නියෝග කර ඇති අතර ඇනස්ලි මාලේවන, ඉන්ද්‍රානි පෙරේරා, ප්‍රියා සූරියසේන, අනිල් භාරතී, ලංකිකා පෙරේරා, නලින් පෙරේරා වැනි ගායක ගායිකාවන්ටත් නීතිඥයින් මඟින් දැනුම් දී තිබෙනවා ක්ලැරන්ස් ගේ ගී ගායනා නොකරන ලෙස, මේ සියලුම කටයුතු අප කරගෙන යන්නේ ක්ලැරන්ස් ගේ නිර්මාණ අයිතීන් ඔහුගේ හිමිකරුවන්ට ලබා දීම උදෙසා සහ එම ගීත මතු පරම්පරාවට දායාද කර දීමේ යහපත් චේතනාවෙනුයි.”

ක්ලැරන්ස් ගී තනු හැදුවේ රසවත් ශෛලියකටයි!

ඇන්ජලින්ද ලැනරෝල් ගුණතිලක
“ක්ලැරන්ස් පළමුවෙන්ම නිහතමානී ගුණ යහපත් පුද්ගලයෙක්. ඒ වගේම හොඳ ගායකයෙක්. අමුතුම රසවත් ශෛලියකින් තනු නිර්මාණය කළ සංගීතඥයෙක්. ගී පද රචනයටත් ක්ලැරන්ස්ට හොඳ හැකියාවක් තිබුණා.
ක්ෂණිකව ස්වර මාරු වීම ක්ලැරන්ස්ගේ තනුවල මා දුටු සුවිශේෂ ලක්ෂණයක්. එම නිසා ඔහුගේ තනු එකවර වටහාගන්න අමාරුයි.”
“ක්ලැරන්ස්ගේ සංගීතයට ‘අපේක්ෂා’ චිත්‍රපටයේ ‘සඳ තනිවෙලා’ - ‘කලක් ඇවෑමෙන්’ සහ ‘රෑ සීතලයි’ වැනි ගී ගැයීමට ලැබීම නිසා එදා මම හරි සතුටට පත්වුණා.
ක්ලැරන්ස් මට ගයන්න නිර්මාණය කර දුන්නු ‘පුංචි පුතා මගෙ ඉස්කෝලේ’ - ‘මාලී මනමාලී’ - ‘මා පෙර සසරේ’ - ‘ඔකඳ වෙලා සිත’ සහ ‘ඉමල් පුතා’ ඇතුළු හැම ගීතයකටමත් මම ආසයි.”

අංක එක ක්ලැරන්ස්

සමන් ද සිල්වා
“ක්ලැරන්ස් කණ්ඩායම් සංගීතයේ පුරෝගාමී නිර්මාණකරුවෙකු වගේම පොප් සංගීතයේ පීතෘවරයා යි. තවත් අයුරකින් කියනවා නම් මේ රටේ සංගීත ක්ෂේත්‍රයේ පෙරළිකාරයා ක්ලැරන්ස්.
ගී පද රචනය, තනු නිර්මාණය, ගායනය, සංගීත අධ්‍යක්ෂණය මෙන්ම ගිටාර් වාදනයටත් ක්ලැරන්ස් සතුව තිබුණු දක්ෂතාව සම කරන්න වෙන කවුද ඉන්නෙ...? ක්ලැරන්ස් විතරමයි. ක්ලැරන්ස් නොම්මර එක. ඉන්පසු අංකයක් තමයි වෙනින් කාට වුණත් හිමි වෙන්නේ.”
“මගේ ගායන ජීවිතයට සම්පූර්ණ අතහිත ලැබුණේ ක්ලැරන්ස්ගෙනුයි. මගේ සමහර ගීත පටිගත කරද්දී ක්ලැරන්ස් ආවේ එතුමාගේ වියදමිනුයි.
එතුමා නැති වීම ලොකු පාඩුවක්. එම පාඩුව පෞද්ගලිකව මට දැනෙනවා වගේම අද අපේ සංගීත ක්ෂේත්‍රයටත් දැනිලා තිබෙන බව පැහැදිලිව හැඟෙනවා.”

සුවිශේෂ අනන්‍යතාවක් ක්ලැරන්ස්ට තිබුණා!

ටී.එම්.ජයරත්න
“ක්ලැරන්ස් ආශ්‍රය කරන්න හොඳ අපේ සංගීත ක්ෂේත්‍රයේ උන්නු සහෘදයෙක්. එතුමා මට ගීත හතලිස් එකක් නිර්මාණ කර දී තිබෙනවා. එතුමාටම ආවේණික වූ, සහෘද හදවත් වලට සමීප නිර්මාණ ශෛලියක් තිබුණු නිර්මාණ ශිල්පියෙකු ලෙස මා එතුමාව සලකන්නේ. සරල, හිස උදුම්මා නොගත් නිහතමානි පුද්ගලයෙකු ලෙස එතුමා මගේ මතකයේ රැඳී සිටිනවා.
එවැනි මා පි‍්‍රය කළ තවත් දෙදෙනෙකු තමයි ස්ටැන්ලි පීරිස් සහ සරත් දසනායක. ක්ලැරන්ස්, ස්ටැන්ලි සහ සරත් යන තිදෙනා එක මල් කිනිත්තක් කියලයි මට හැඟෙන්නේ.”
“පේ‍්‍රමසිරි කේමදාස, රෝහණ වීරසිංහ, ස්ටැන්ලි පීරිස්, සරත් දසනායක වැනි අපේ ප්‍රතිභාපූර්ණ සංගීතඥයින් සැමටම වෙන වෙනම අනන්‍යතා තිබුණා. නිර්මාණයක් ඇහෙද්දීම අපට කියන්න පුළුවන් එම නිර්මාණය ඔවුන් අතරින් කා විසින් නිර්මාණය කරන ලද්දක් ද කියන වග. ක්ලැරන්ස් විජේවර්ධනයනුත් සිය අනන්‍යතාව නිර්මාණය තුළ සලකුණු කර තබන්නට සමර්ථ වුණා.
මොනතරම් ප්‍රතිභාවක් තිබුණත් තමන්ට අවිනිශ්චිත හෝ නොදන්නා යමක් වේ නම් දන්නා අයෙකුගෙන් විමසා දැනගන්න තරම් නිරහංකාර මහත්මා ගතිගුණ එතුමාගේ පැවති බව මා පෞද්ගලිකව අත්දැක තිබෙනවා.
එතුමා මට නිර්මාණය කර දුන් හැම නිර්මාණයකටම මං කැමැතියි. එතුමා ගැයූ ගී අතරින් ‘ගමෙන් ලියුමක් ඇවිල්ලා’ ගීතය මං ආසාම ගීතයක්. මමත් එතුමා වෙනුවෙන් පැවැත්වෙන ‘ක්ලැරන්ස් ගීතෝපහාර’ ප්‍රසංගයට සහභාගි වෙනවා.”

‘සන්ෆ්ලවර්’ නම දුන්නේ ක්ලැරන්ස්

අතුල අධිකාරි
“ක්ලැරන්ස් අයියාව මට මුලින්ම හමුවුණේ මගේ වයස අවුරුදු පහළොවේදීයි. ඒ මමයි නීලූයි (නීල් වර්ණකුලසූරිය) සංගීත ප්‍රසංගයක් සඳහා ගායක ගායිකාවන් ගෙන්වා ගැනීමට ක්ලැරන්ස් අයියාව හමුවීමට ගිය දවසකදීයි. එදා සිට සංගීත ක්ෂේත්‍රයේ මං ගොඩක් පි‍්‍රය කරපු පුද්ගලයෙකු වුණා ක්ලැරන්ස් අයියා.
ඊට පෙර මා ඔහුට පි‍්‍රය කළේ කලාකරුවෙකු ලෙස පමණයිනේ. මුණ ගැහිලා කතාබහ කළාට පස්සේ ඔහු මගේ පි‍්‍රයතම පුද්ගලයෙකු ද වුණා. ක්ලැරන්ස් අයියා තමයි අපේ සංගීත කණ්ඩායමට ‘සන්ෆ්ලවර්’ නම දුන්නෙත්.
කාලයක් අපි ක්ලැරන්ස් අයියා සමඟ එකට වැඩ කළා. ඒ අපේ කණ්ඩායමට වැඩ නොතිබුණු අවස්ථාවල දී. ඉන්පසු අපේ දැන හැඳුනුම්කම දිගටම තිබුණත් මට ක්ලැරන්ස් අයියාගෙන් කරගන්න ලැබුණේ එකම එක ගීතයක් (වේදිකාව ජීවිතේ අපේ”) විතරමයි.”
“ක්ලැරන්ස් අයියා අපේ සංගීත ක්ෂේත්‍රයට එතෙක් නොපැවති නැවුම් සංගීත ශෛලියක් ගෙන ආවා. ඔහු කරපු හැම නිර්මාණයක්ම වාගේ ජනපි‍්‍රය වීම සුවිශේෂයි.
ක්ලැරන්ස් අයියා ඔහුට නිර්මාණය කර ගත් ගීත පමණක් නෙමේ වෙනත් ගායක ගායිකාවන්ට නිර්මාණය කළ ගීතත් ඉහළම ජනපි‍්‍රයත්වයකට පත් වුණා. මේ තරම් ජනපි‍්‍රය ගීත ප්‍රමාණයක් නිර්මාණය කළ ක්ලැරන්ස් අයියා වගේ වෙන කෙනෙකු නැහැ කියලා තමයි මට නම් හිතෙන්නේ.”

ක්ලැරන්ස්ගේ නිර්මාණයන්ට නව සංගීතයෙන් දායක වීමට ලැබීම භාග්‍යයක්!

සංගීත අධ්‍යක්ෂ නඳුන් රත්නායක
“ක්ලැරන්ස් විජේවර්ධන අපට උන්නු ප්‍රතිභාපූර්ණ සංගීතඥයෙක්. ඔහු නිර්මාණය කළ ගීතවල සදාකාලික වටිනාකමක් තියෙනවා.
එවැනි නිර්මාණ එකතුවක (“ක්ලැරන්ස් නිර්මාණ” අංක - 1 ගීත ඇල්බමයේ) සංගීතය සපයන්න මා හට අවස්ථාව ලැබීම විශාල භාග්‍යයක් ;ලස මා සලකනවා.
මුලින්ම මට මේ භාග්‍ය උදාකර දුන් ශීලා විජේවර්ධනටත්සිරි හෙට්ටිආරච්චිටත් මං ස්තූතිවන්ත වෙනවා. ඔවුන් මට කීවේ මුල් නිර්මාණ විකෘති නොකර නව සංගීතය සපයන්නයි. මම ඉතාම පරිස්සමින් මුල් නිර්මාණවල රසය රැකගෙන වර්තමාන පරම්පරාවට ගැළපෙන අයුරින් මේ ඇල්බමයේ ගීත සංගීතවත් කළා.
පරම්පරාවෙන් පරම්පරාවට පැවතීමට සුදුසු සර්වකාලීන වටිනාකමක් ක්ලැරන්ස්ගේ නිර්මාණවල ඇති බවයි මගේ හැඟීම.”
READ MORE - මලට බඹරෙකු සේ සිතට එන ක්ලැරන්ස්