වීරයා මැරිලා, සිහින හොරු අරං, අසිනිමාලි නාට්‍ය ඔස්සේ ඔබ හමුවට එන කැලණිය සරසවියේ නාට්‍ය හා රංග කලා ගුරුවරයකු, රංගන ශිල්පියකු මෙන්ම ලාංකේය වේදිකාවට එදා ‘ඊඩිපස්’ ගෙනා, මෙදා ‘ඇන්ටිගනී’ ගෙන එන්නට සූදානම් වන ප්‍රියංකර රත්නායක තරුණ නිර්මාණකරුවා සමඟ කළ සාකච්ඡාවකි.
කලා රසිකයෙක් කියන තැනෙන් පටන් ගත්තොත්?
මම මගේ වයස අවුරුදු පහේ විතර ඉඳලම සිනමා රසිකයෙක්. ඒකට හේතුව තාත්තා සිලෝන් තියටර්ස් කම්පනියේ සේවකයකු වීම. අද අපි නැහැයි කියන සිනමා සංස්කෘතිය එදා අපේ ගෙදර තිබුණා. තාත්තට චිත්‍රපට බලන්න පාස් ලැබීම මේකට රුකුලක් වෙන්නත් ඇති. අපි ඒ කාලේ 2.30 බලන්න යන්නේ කෑම බීමත් හදාගෙන. එහෙම ගිහිල්ලා ඒ ෂෝ එක හවුස් ෆුල් වුණාම අපි 6.30 බලලා තමයි එන්නේ. ගාමිණීගේ චිත්‍රපට ජෝතිපාලගේ ගීත තමයි ඒ කාලේ හැම තැනම තිබුණේ. ඊළඟට අම්මා පොතපත කියවන්න අපිව යොමු කළා.
ඊළඟට හුණුවටය, දුන්න දුනුගමුවෙ වගේ නිර්මාණ සාමාන්‍ය ප්‍රේක්ෂකයෙක් වන මාව උමතු රසිකයෙක් බවට පත් කළා. මේක වඩාත් තීව්‍ර කරන්න ‘අහස් ගව්ව’ වගේ නිර්මාණත් හේතු වුණා.
මේ අත්දැකීම් ඔබ නිර්මාණකරුවෙක් බවට පත් කරන්න හේතු වුණා?
පැහැදිලිවම ඔව්. අප වටා එදා තිබුණු නිර්මාණ රස විඳීමේ පසුබිම තමයි පසුකාලීනව නිර්මාණයක් කරන තැනට අපව පොළඹවන්න හේතු වුණේ. උත්තේජනයක් වුණේ.
ඔබ රංගන ශිල්පියෙකු වෙන්නෙත් මේ පෙළඹවීම උඩද?
ඔව්, හෙන්රි ජයසේන හා ධර්මසිරි බණ්ඩාරනායක රඟපානවා දැකලා තමයි මට රඟපාන්න ආසා හිතෙන්නේ. නාට්‍යයක් කරන්න ආසා හිතෙන්නෙත් මේ අයගේ නාට්‍ය බැලීමේ ප්‍රතිඵලයක් විදියටයි. මේ අත්දැකීම් අපි කරන නිර්මාණ ඔස්සේ එළියට එනවා.
ඔබට දැඩි බලපෑමක් කළ කලා කෘතියක් ගැන කථා කළොත්?
‘විකෘති’ බැලුවට පස්සේ ඒකට සම්බන්ධ වෙන්න දැඩි ආශාවකුත් ඇති වෙනවා. මුල්ම රාජ්‍ය නාට්‍ය පාසලට මම ඇතුළු වෙන්නෙත් මේ ආශාව නිසාමයි. සුගතපාල ද සිල්වා, සරච්චන්ද්‍ර, හෙන්රි ජයසේන වගේ අපට හිටිය හොඳම නාට්‍යකරුවන් තමයි එතෙන්දි අපට නාට්‍ය ඉගැන්නුවේ.
වේදිකාව ගැන ඔබට තියෙන්නේ මොන වගේ අදහසක්ද?
සජීවී සහ තමන්ගේ ආත්ම ප්‍රකාශනයේදී වඩා ප්‍රබල මාධ්‍යයක්. වේදිකාවේ තියෙන විශේෂිතම ලක්ෂණයක් තමයි යම් වේදිකා නිර්මාණයක් සඳහා සම්බන්ධ වන ශිල්පීන් අතර ගොඩ නැගෙන අන්තර් සම්බන්ධය හා අප නිරූපණය කරන චරිතය සමඟ ජීවත්වීම කියන කාරනා කාලාන්තරයක් පැවැතීම.
වේදිකා නාට්‍යයකට සම්බන්ධ වුණාම අපි ඒකත් එක්ක, ඒක තුළ හා එකට සම්බන්ධ සෙසු අයත් සමඟ කාලයක් එකට ජීවත්වෙනවා. මේ විදිහට එකට ජීවත් වෙන එක හරියට පවුලක් ඇතුළේ සාමාජිකයන් එකට ජීවත් වෙනවා වගේ එකක්. එකඟතා, නොඑකඟතා, රණ්ඩු සරුවල් මේ හැම දෙයක්ම මේ එකට ජීවත්වීම තුළ සිද්ධ වෙනවා. අනෙක් දේ තමයි චිත්‍රපටයක, ටෙලි නාට්‍යයක රඟපාල ඉවර වුණාට පස්සේ ඒ චරිතය නැවත කරන්න, ඒක පෝෂණය කරන්න අවස්ථාවක් ශිල්පියාට හෝ අධ්‍යක්ෂවරයාට ලැබෙන්නේ නෑ. වේදිකා නාට්‍ය කියන්නේ අපට දැනුමයි, වින්දනයයි චක්‍රයක් වගේ එකතු කරන තැනක්.
ඒ අතින් වේදිකා නළුවෙකුට තියෙන ලොකුම ආශ්චර්ය තමයි තමන්ගේ චරිතත් සමඟම තමන්ව ජීවත් කරවීම කියන අත්දැකීම. වයසට යමින්, පවුල් පන්සල් වෙමින්, දරුවො හදමින් අර තමන්ගේ චරිතයටත් මේ ජීවන අත්දැකීම් හා හැඩතල එකතු කරමින් ජීවත්වීම කියන වින්දනීය අත්දැකීම ලැබෙන්නේ වේදිකා රංගන ශිල්පියකුට විතරයි. හරියට තාත්තා කෙනෙක් ළමයින්ව ලොකු මහත් කරනවා වගේ වේදිකා නළුවෙකුට තමන්ගේ චරිතය හදා වඩා ගන්න ලැබෙනවා.
රංගන ශිල්පියෙක් නිර්මාණය වීම කියන දේ ඔබ දකින්නේ කොහොමද?
රංගන ශිල්පියෙක් ඉබේ බිහිවෙන්නේ නෑ. ඒ නිසා රංගන ශිල්පියා බිහි කිරීමයි කරන්න වෙන්නේ. ඔහු සහ ඔහු ජීවත් වන සමාජය විසින් තමයි රංගන ශිල්පියකුව බිහිකරන්නේ. රංගන පාසලක් ඇසුරෙන් නළුවෙක් නිළියක් බිහි කරන්න පුළුවන් නම් හොඳයි. නමුත් අපට එහෙම සම්ප්‍රදායක් නෑ. අනෙක් අතට එහෙම බිහි කළ පමණින්ම සහතික ලත් පමණින්ම ඔහුට හෝ ඇයට නළුවකු හෝ නිළියක වෙන්න බැහැ. මොකද රංගන ශිල්පියකු බිහි වෙන්නේ ඔහුගේ පෝෂණයට සංවිධිත හා අසංවිධිත යන අධ්‍යාපන කුම දෙකම හේතු වෙනවා. ඒ අයට රංගනය සඳහා අවශ්‍ය පෝෂණය ලැබෙන්නේ ඒ ජීවිතය නැමැති තක්ෂලාවෙන්. මෙන්න මේ නිසා තමයි මම කියන්නේ බිහි කරන නළුවන්ට වැඩි කල් පවතින්න බැහැ කියලා.
සහතික ලත් සෙසු අය ඒ ක්ෂේත්‍රයේම වෘත්තිකයන් වෙද්දී ‘සහතික ලත්’ හැමෝම ‘නළු නිළියන් නොවීම’ කියන කාරණය ඔබ බලන්නේ කොහොමද?
මගේ අවබෝධයේ හැටියට නම් විශ්ව විද්‍යාලයක අපි නාට්‍ය හා රංගග කලාව උගන් වන්නේ ඒ පාඨමාලාව හදාරණ හැමෝම නළු නිළියන් කරන්න නම් නෙවෙයි. එහෙම හිතාගෙන මේ වැඩේ කරනව කියන්නේම අවුලක්. රඟපෑම උගන් විය යුතු සහ එය විද්‍යාත්මක ඉගෙන ගත යුතු විෂයක්. අනෙක් අතට එහෙම විෂය කරුණු ඉගැන්නුවත් රඟපෑම කියන්නේ උගන්නවන්න පුළුවන් විෂයක් නෙවෙයි. තමාම ඉගෙන ගත යුතු විෂයක්. නාට්‍ය හා රංග කලාව ඉගෙන ගන්න හැමෝම නළු නිළියන් නොවුණට ඔවුන් අතරින් අවුරුද්දකට දෙහෙකට සැරයක් වගේ හොඳ නළුවෙක් නිළියක් බිහි වුණාම ඒ හොඳටම ඇති.
නමුත් නාට්‍ය හා රංග කලාව ඉගැන්වීමෙන් සමාජයකට සිද්ධ වෙන ප්‍රධානම යහපත තමයි ‘වින්දනය’ මේ සමාජයේ ව්‍යාප්ත වීම. වෙන්න ඕනත් ඒකම තමයි. ඒ නිසා නාට්‍ය හා රංග කලාව ඉගෙන ගත් මිනිසුන්ගෙන් සමාජය විඳින්න පුළුවන්, ජීවිතය දිහා නිර්මාණශීලීව බලන්න පුළුවන්කම ඇති එකක් බවට පත් කිරීම තමයි ප්‍රධානම අපේත්ෂාව හා අරමුණ විය යුත්තේ. මේ නිසා නාට්‍ය හා රංග කලා විෂය ගුරුවරයකු හැටියට මම විශ්වාසා කරන්නේ අද අපි උගන්වන මේ විෂයේ ප්‍රතිඵල සමාජයෙන් මතු වෙන්නේ අද නෙවෙයි තව අවුරුදු දහයකින් විතරය කියලයි. මොකද කලාව කියන්නේ් මිනිසුන් හදන විෂයක් නිසා.
‘රඟපෑම’ ඔබ පැහැදිලි කරන්නේ මොන විදිහටද?
එක්තරා විදිහකට පුද්ගලයකු විසින් තමන් තුළ නැති පෞරුෂයක් තමන් තුළම නිර්මාණය කිරීම තමයි රංගනය කියලා කියන්නේ. මම ‘හැම්ලට්’ කරනවය කියන්නේ මා තුළ නැති හැම්ලට්ගේ පෞරුෂය මා තුළ නිර්මාණය කරනවය කියන එකයි. එතැන්දී මා තුළ මමත් ඉන්න අතරෙම තමයි මා තුළ නැති හැම්ලට්වත් මම මතු කරන්නේ. වෘත්තීය නළුකම කියන්නේ නම් උපතින් උරුම වන දෙයක් නෙවෙයි. එය වගා දිගා කර ගත යුතු හැකියාවන්ගේ එකතුවක්. රංගනය පිළිබඳ නොවෙනස් න්‍යායන් නැත්තේ ඒකයි.
නළුවෙකුගේ රංගන ශිල්පියෙකුගේ පැවැත්ම තීරණය වෙන්නේ මොකක් මත ද?
රංගන ශිල්පියෙකුගේ පැවැත්ම ඔහු ඒ පිළිබඳව ලබන අධ්‍යාපනය, පුහුණුව හා විනය කියන කාරණා මත තීරණය වෙනවා. නළු කාර්ය වර්ධනය කර ගැනීමේ විනයකුයි අවශ්‍ය වෙන්නේ. නළුවෙකුට කවදාවත් පරමාදර්ශී චරිතයක් වෙන්න බැහැ. නළුවෙක් කියන්නේ හරියට කටුස්සෙක් වගේය කියලා කියන්නේ එකයි. එයාට සිද්ධ වෙනවා තැනේ හැටියට තමන්ගේ පාට වෙනස් කරගන්න. ඒක හැබැයි කපටිකම නොවිය යුතුයි.
රංගන ශිල්පියකු හැටියට හා නිර්මාණකරුවෙකු හැටියට විෂය මුලිකව ඔබ ඔබව පෝෂණය කර ගන්නේ මොන විදිහටද?
ජීවිතයෙන් ලබන හැම දැනුමක්ම මාව පෝෂණය කරනවා. කලාව ඇසුරු කිරීම, පොත පත කියවීම, නිර්මාණ කියවීම වගේම පොළවෙ පය ගහලා කරන හැම කටයුත්තකින්ම ලබන අත්දැකීම මාව පෝෂණය කරනවා. උදාහරණයකට මේ ක්ෂේත්‍රයේ ඉන්න යාළු මිත්‍රයන් සමඟ මී විතක් තොල ගාමින් කරන කථා බහකින් පවා මාව පෝෂණය වෙනවය කියලයි මට දැනෙන්නේ. සමාජ සංවාද කියන දේ මෙහිදී ප්‍රධානයි.
ඒ නිසා මේ පෝෂණයේදී ප්‍රවෘත්තිවලින් පටන් අරගෙන රස්තියාදු ගැසීම දක්වා වූ සියල්ලක් මගින්ම විශාල කාර්යභාරයක් ඉටු කරනව. හැබැයි රඟපාන චරිතය රඟපාන අවස්ථාවේ අපි ඇඳ ගත්තට, සාමාන්‍ය ජීවිතයේදීත් අපි නළුකමට අඳින්න ගත්තොත්, සාමාන්‍ය ජීවිතයෙන් ඈත් වුණොත් නම් අපි අවුලකට යන එක වළක්වන්න බැහැ.
ප්‍රෙක්ෂකාගාරයේ ප්‍රතිචාරය ඔබ කියව ගන්නේ මොන විදිහටද?
නාට්‍යයක හොඳම දර්ශනය දකින්න ලැබෙන්නේ වල්ගා තරුවක් දකින්න ලැබෙනවා වගේය කියල කියනවනෙ. අපට එදා ඉඳලම හොඳ නාට්‍ය ප්‍රේක්ෂකාගාරයක් තිබුණා. නමුත් සමාජයත් නිර්මාණකරුවත් පාලකයනුත් එය පවත්වාගෙන යන්න සමාජයක් හැටියට අපිත් සමත් නොවීමේ අවුලක් නම් තියෙනවා. හැත්තෑව දශකයෙන් පස්සේ ක්‍රමයෙන් කුඩා වෙමින් යන ප්‍රේක්ෂකාගාරය රැක ගන්න නිර්මාණකරුවාගේ පැත්තෙන් නිසි දායකත්වය ලැබුණේ නෑ කියලයි මට හිතෙන්නෙ.
ඒකාකාර නාට්‍ය නිර්මාණවීමේ හේතුව ඔබට පේන්නේ කොහොමද?
නිර්මාණාත්මක බංකොලොත්භාවය නිසා මේක සිද්ධ වෙනවය කියන එකයි මගේ පිළිගැනීම.
ස්වතන්ත්‍ර හොඳය පරිවර්තන හෝ අනුවර්තන හොඳ නැතැය කියන අදහසක් මේ ක්ෂේත්‍රයේ ඇතැම් අය දරනවා. නාට්‍ය හා රංග කලා ගුරුවරයකු හැටියට ඔබ මේක දකින්නේ මොන විදිහටද?
අවසානයේ ස්වතන්ත්‍ර කියලා දෙයක් නෑ. ‘සිංහබාහු’ හෝ ‘මනමෙ’ පවා ස්වතන්ත්‍ර නාට්‍ය නෙවෙයි. මම එහෙම කියන්නේ ලෝකේ කිසිම කලාවක් ස්වතන්ත්‍රව ගොඩ නැගෙන්නේ නැති නිසා. නිර්මාණකරුවෙකුගේ නිර්මාණයක් බිහි වෙන්නෙම විවිධාකාර ආභාෂයන්ගෙන් පෝෂණයවීමේ ප්‍රතිඵලයක් හැටියටයි. ස්වතන්ත්‍ර නාට්‍ය වගේම පරිවර්තන නාට්‍යයත් සමාජයට බද්ධ වුණොත් විතරයි පවතින්නේ. මගේ පිළිගැනීම නම් හොඳ ස්වතන්ත්‍ර නාට්‍ය කලාවක් මේ රටේ බිහිවෙන්න නම් හොඳ පරිවර්තන නාට්‍ය කලාවක් අපට තිබිය යුතුමයි.
හොඳ ස්වතන්ත්‍ර නාට්‍යකරුවෝ පඳුරකට පයිං ගහපුවම විසික් වෙන ගාණට බිහි වෙන්නේ නෑ. සුගතපාල ද සිල්වා අපේ රටේ හිටපු විශිෂ්ට නාට්‍යකරුවෙක්. නමුත් ඔහු කවදාවත් විශිෂ්ට ගණයේ ස්වතන්ත්‍ර නාට්‍යයක් ලියලා නෑ. නමුත් ඒ නිසාම ඔහු බිහි කළ නිර්මාණවලින් මේ රටේ නාට්‍ය කලාවට සිදු වුණු අති විශාල සේවය හෝ නාට්‍යකරුවකු ලෙස ඔහු අව තක්සේරු වෙලා තියෙනවාද? මේ නිසා හොඳ ස්වතන්ත්‍ර නාට්‍යකරුවන් අපේ රටේ බිහි වෙන්න නම් අපේ අයට අති විශිෂ්ට විදෙස් නිර්මාණ රැසක් ඇසුරු කරන්න අවස්ථාව ලැබෙන්න ඕනෑ. අපේ රටේ හොඳම ස්වතන්ත්‍ර නාට්‍යයක් නිර්මාණය කරන්නේ නැතුව පරිවර්ථනවලට බැන බැන හිටියට වැඩක් නෑ මගේ නම් අදහස, වඩාත් හොඳ උසස් පරිවර්තන නාට්‍ය වැඩි වැඩියෙන් අපේ රටේ නිෂ්පාදනය වෙන්න ඕනය කියන එකයි.
ඔබ මේ දවස්වල යෙදිලා ඉන්න නාට්‍යමය කටයුත්ත ගැනත් කියමු?
ග්‍රීක නාට්‍යයක් වන ‘ඇන්ටිගනි’ කියන නාට්‍ය නැවත වේදිකාවට ගේන්නයි මම මේ දවස්වල සූදානම් වෙන්නේ. මම මුලින් නිර්මාණය කළ ‘ඊඩිපස්’ නාට්‍යයේ ඊළඟ කොටස කියලත් මේකට කියන්න පුළුවන්. නමුත් මේක වෙනම ස්වාධින නාට්‍යයක්. පශ්චාත් යුද සමයක දේව නීතිය හා යුගයේ නීතිය අතර ගැටුම ගැන සාකච්ඡා කෙරෙන නාට්‍යයක්.
මේ නාට්‍ය තෝරා ගන්න විශේෂ හේතුවක් තිබුණද?
මම විශ්වාස කරන විදිහට අපි ඉන්නෙත් පශ්චාත් යුද සමයක. සිංහල දෙමළ ජනතාව අතර නැති වී ගිය පළුදු වී ගිය විශ්වාසය නැවත ගොඩ නැගීම අපේ යුතුකමක් හා වගකීමක්. එතෙන්දි දෙමළ ජනයා ඉදිරියට ගිහින් අපිව විශ්වාස කරන්නය කියලා කියනවට වඩා මුලින්ම අපි කරන්න ඕන සිංහල ජනතාව තුළ කිසියම් සිතිවිලිමය වෙනසක් ඇති කරන එකයි. අප එක්වරක් මුහුණ දිපු අවාසනාවන්ත තත්ත්වයට නැවත මුහුණ නොදීමට නම් සමාජයක් සතු අපේ වගකීම මොකක්ද කියන එක තේරුම් ගන්නයි මේ නාට්‍යයෙන් මම උත්සාහ කරන්නේ.
0 comments:
Post a Comment