----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

බල්ලොත් එක්ක බෑ - රවීන්ද්‍ර ආරියරත්න

Sunday, July 4, 2010

බල්ලොත් එක්ක බෑ වේදිකාවට ගෙන එන රවීන්ද්‍ර ආරියරත්න

ඔබේ අතින් නාට්‍යයක් නිර්මාණය වෙන්නේ මොන විදිහටද?

සාමාන්‍ය සමාජයේ ජීවත් වෙන පෘථග්ජන පුද්ගලයෙක් හැටියටත්, නිර්මාණකරුවෙකු හැටියටත් මට අහන්න දකින්න ලැබෙන, අත් විඳින දේවල් ඔළුවේ තැන්පත් වෙලා තියෙනවා. යම් මොහොතක නාට්‍යයක් රචනා කරන්න ඉඳගත්තම අපේ ඔළුවේ තියෙන මේ මතකයන් ගලාගෙන එන්න පටන් ගන්නවා.

ඒ අදහස් මගේ අදහස් එක්ක කැලතිලා, ගැටිලා ප්‍රතිනිර්මාණය වීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි අලුත් නිර්මාණයක් බිහි වෙන්නේ. පිටපත මා අතින් ලියැවෙද්දිම වේදිකාවේ රූපත් ඉබේටම හිතේ මැ වෙනවා. ඒ විදිහට හිතේ මැවුණු දේ තමයි ශිල්පීන්, සංගීතය, ආලෝකය, වේශ නිරූපණය හා වස්ත්‍රාභරණත් එක්ක වේදිකාවේ නාට්‍යයක් බවට පත් වෙන්නේ.

නාට්‍යයක් කරන්න කලින් පෙරමඟ බලන්න ඕනද?

ඔව්, මුල්ම කාලේ මගේ අතින් නිර්මාණය වුණේ කෙටි නාට්‍ය. පස්සේ මම ඒකත් නැවැත්තුවා. ඒකට ප්‍රධාන හේතුව නාට්‍යයක් කරලා ඒ නාට්‍ය රංගගත කර ගන්න අපට බැරි නම්, ඒ නාට්‍යය කෙරිල්ලෙන් වැඩක් නෑ.

මංගල දර්ශනයෙන් නාට්‍යයක් නවත්වන්න වෙනව නම් ඒකට වැය වුණු අති විශාල මිනිස් ශ්‍රමය අපතේ යනවා. අනිත් අතට ඒක මගේ නිර්මාණයට දායක වන ශිල්පීන්ට මම කරන ලොකු අසාධාරණයක්. ඒ නිසා නිර්මාණය කරන නාට්‍යයක් දිගටම ප්‍රදර්ශනය කර ගන්න අවශ්‍ය වටපිටාව අවබෝධ කරගෙන ඒකට අවශ්‍ය ක්‍රමවේදය හදා ගන්නකම් මම නාට්‍යයක් කළේ නෑ.

මොන විදිහටද ඒ වටපිටාව හදා ගන්නේ?

විශේෂයෙන් පහුගිය කාලය තුළ මම විවිධ නාට්‍යකරුවන්ගේ නාට්‍යවලට සම්බන්ධ වෙලා වැඩ කළා. වේදිකා පරිපාලකයෙක්. රංග ශිල්පියෙක්, නාට්‍ය සංවිධායකයකු වශයෙන් විවිධ තලවල නාට්‍යයත් එක්ක වැඩ කළා. ඒත් එක්කම ජන විඤ්ඥානය වැඩ කරන්නේ කොහොමද, නාට්‍යයක් ජනගත කළ යුත්තේ කොහොමද, ප්‍රේක්ෂකයාගේ රිද්මය මොකක්ද කියන එක වැඩ කිරීමෙන් මා අත්දැකීමෙන් දැනගෙනයි මම නාට්‍ය කරන්න ගත්තේ. කාලයක් නාට්‍යයත් එක්ක ජීවත්වීමත් එක්කම ජනතාවට දැනෙන්න නාට්‍යයක් කරන්නේ කොහොමද කියන කාරණය මම අවබෝධ කර ගත්තා. ඒ සෑම දෙයක්ම සම්පූර්ණ වුණායින් පස්සේ තමයි නාට්‍ය කළේ.

ප්‍රේක්ෂකාගාරය තේරුම් ගත්තාය කියන එකෙන් ඔබ අදහස් කරන්නේ?

මේ වෙන කොටත් මේ නාට්‍ය දර්ශන වාර පනහ ඉක්මවලා ප්‍රදර්ශනය වීමෙන් පේනවා මේක ජනතාවට, ප්‍රේක්ෂකාගාරයට දැනෙන නාට්‍යයක් විත්තිය. මම මේ නාට්‍යයට යොදා ගත්තේ අපේ වර්තමාන සමාජයේ සාමාන්‍ය කට වහරේ බසක්.

හේතුව මේ වෙන කොට ප්‍රේක්ෂකාගාරය ගැඹුරු දෙයක් කතා කරන්න බැරි මට්ටමට ප්‍රේක්ෂක රසඥතාවය පහත වැටිලා විත්තිය අපට අත්දැකීමෙන් පේනවා. රූපවාහිනි මාධ්‍ය වගේ දේවල් එක්ක මේ ජනතා රසිකත්වය පිරිහිලයි තියෙන්නේ. ඒ වගේ ප්‍රේක්ෂකාගාරයක ගැඹුරු දේවල් කතා කරන්න බැහැ.

එකෙන් වෙන්නේ ඉල්ලන දේ දීම කියන තැනට නිර්මාණකරුවා පත්වීමද?

නැහැ. ඉල්ලන දේ දීම කියන එකට නිර්මාණකරුවෙකු හැටියට මම තදින්ම විරුද්ධයි. මම නම් මෙතැනදි කරන්නේ් සරල දේවල් එක්ක යන අතරේ, යටි පෙළින් මට අවශ්‍ය කරන තැනට නාට්‍ය මෙහෙයවන එකයි.

අද වෙන කොට අපේ ප්‍රේක්ෂකාගාරයේ රස විඳීම් තල දෙකක් තියෙන විත්තිය මට පේනවා සහ දැනෙනවා. බොහෝ පිරිසක් මේ නාට්‍යයේ උඩු පෙළ විතරයි අත ගාගෙන යන්නේ. තවත් ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා යටි පෙළට බහින. මේ නිසා හැමෝටම විඳින්න පුළුවන් ආකාරයට සෞන්දර්යාත්මක නිර්මාණයක් බිහි කිරීම තමයි නිර්මාණකරුවාගේ කාර්යභාරය විය යුත්තේ.

ඔබේ නාට්‍ය මහප්‍රාණ නාට්‍යයක් නෙවෙයි, මේක හිතාමතාම කෙරුණු දෙයක්ද?

මේ නාට්‍ය දර්ශන වාර පණහ ඉක්මවලා ප්‍රදර්ශනය වෙන්නත් තව ඉදිරියට දර්ශන වාර සීයකට ආසන්න ප්‍රමාණයක් සඳහා දින වෙන් වන්නත් ඒක ප්‍රධාන හේතුවක් තමයි ‘බල්ලොත් එක්ක බෑ’ සෑම රසික මට්ටමකටම ගෝචර වන සරල නාට්‍යයක් වීම. නිර්මාණකරුවෙක් හැටියට මම ඉන්නේ රසිකයාට හරි දේ දෙන්න ඕනය කියන තැන.

මොන වගේ ප්‍රතිචාරයක්ද දැනට ලැබෙමින් තියෙන්නේ?

සතුටුදායකයි කියලා කියන්න පුළුවන්. එහෙම කියන්න එක හේතුවක් තමයි ප්‍රේක්ෂකයා ප්‍රේක්ෂකාගාර හැර ගිය තත්ත්වයක් යටතේ, නාට්‍යකරුවකුට තමන්ගේ නාට්‍ය පෙන්න ගන්න විදිහක් නැහැයි කියලා මැසිවිලි නගද්දී මගේ් නාට්‍ය රට වටා සාර්ථකව ප්‍රදර්ශනය වීම.

අනිත් අතට නාට්‍ය බලන්න දෙතුන් වතාව එන රසිකයන්වත් මට හමු වෙනවා.

ඒ වගේම වරක් මේ නාට්‍ය බලපු කෙනා සමහර විට එයා බලපු පළමු නාට්‍ය මේක නම්, මේකෙන් ලබන උත්තේජනය නිසා තව තවත් වේදිකා නාට්‍ය බලන්න පෙළඹෙන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා නැවත ප්‍රේක්ෂකයා වේදිකාවට එකතු කර ගැනීමේ අරමුණ යම්තාක් දුරකට සාර්ථක වෙලා තියෙනවා.

රාජ්‍ය සේවකයෙක් වන ඔබ ඔබේ නිර්මාණයේදීත් චරිතයක් හැටියට රාජ්‍ය සේවකයෙක් ගොඩ නගනවා. රාජ්‍ය සේවකයා ගැන ඔබ හිතන්නේ කොහොමද?

මට දැනෙන විදිහට නම් මේ වෙන කොට රාජ්‍ය සේවකයා කුසීත වෙලා හෝ කුසීත කරලා තියෙනවා. ඒ වගේම ඔහු එක තැන පල්වෙන පුද්ගලයෙක් වෙලා තියනවා. නමුත් රාජ්‍ය සේවකයකුට කළ හැකි සහ කළ යුතු වැඩ ප්‍රමාණය අති විශාලයි.

ඒත් ඔවුන්ගෙන් වැඩ ගන්නෙත් නැති ඔවුන් වැඩ කරන්නෙත් නැති සම්ප්‍රදායික රාමුවක යන්නේ. වැඩ කරන්න වුවමනාව තිබ්බත් ඉන්න තැනින් මිදිලා එළියට ගිහින් වැඩ කරන්න තියෙන අවස්ථාවත් හරි අඩුයි. එහෙම කරන කෙනකුට වුණත් බොහොම අමාරුවෙන් පැන පැන තමයි වැඩ කර ගන්න වෙන්නේ’.

එතකොට ඔබේ රාජ්‍ය සේවකයා බේබද්දෙක් වෙන්නේ ඇයි?

රාජ්‍ය සේවකයා කියන්නෙත් සමාජයේ තවත් එක චරිතයක්. එ චරිතය මෙහෙමය කියලා මට දැනෙන විදිහටයි ගොඩ නැගුණේ. සමස්ත නිර්මාණයේ තවත් එක චරිතයක්. සමාජයේ මම අහන, දකින චරිත ආශ්‍රයෙන් ප්‍රති නිර්මාණය කිරීමකුයි මෙතන තියෙන්නේ. එයා බෝතල්කාරයකු වීම ඒ චරිතයේ ස්වභාවය මිසක් ඒක සමස්ත රාජ්‍ය සේවකයා නියෝජනය කිරීමක් නෙවෙයි. ඒක නාට්‍යමය තත්ත්වයක් විතරයි.

ඊළඟට ඔබේ නිර්මාණයේ මුල සිට අග දක්වාම නගර සෝබනියක් අපට හමුවෙනවා?

මෙහෙමයි, අපේ අතින් නාට්‍යයක් ලියැවෙන්නේ ඔළුවේ තැන්පත් වුණු දේවල් එක්කය කියලා මම මුලිනුත් කිව්වා වගේ මේ නාට්‍ය පෙළ ලියැවෙද්දී ඉබේම මතුවුණු චරිතයක් තමයි නගර සෝබනිය. ඒක මතු වුණේ නාට්‍යයට ඒක අදාළ නිසා.

එහෙම පිටපත විසින් ඉල්ලා සිටින දේ මිස වෙනත් දෙයක් ඔබන්න ගියොත් තමයි එතන කෘත්‍රීම ගතියක් ඇති වෙන්නේ. මට අනුව නම් මුලින් නිරායාසයෙන් ගලාගෙන එන පිටපත ලියල පස්සේ බලද්දිත් ඒක හරි නම් තමයි මම ඒවා නිර්මාණයට යොදා ගන්නේ. එහෙම නැතිව මේ නාට්‍යයට නගර සෝබනියක් ගේන්නම ඕනය කියලා ගෙනාවා නෙවෙයි. මහා රෑ දිග හැරෙන කතාවක නගර සෝබනියක් මිසක් වෙනත් කාන්තා චරිතයක් ඉන්නත් බැහැනෙ.

නිර්මාණකරුවෙක් හැටියට ‘නගර සෝබනිය’ ගැන ඔබ හිතන්නේ කොහොමද?

ඇයත් මේ සමාජයේ ජීවත්වන අපි වගේම තවත් චරිතයක් විතරයි. ඒ චරිතය දිහා අපි ද්වේෂයෙන් බැලිය යුතු නැහැ. හේතුව සමාජයේම විවිධ හේතූ®න් මත ඒ තත්ත්වයට පත්වුණු කෙනෙක් තමයි නගර සෝබනිය. එම නිසා ඒ නගර සෝබනිය දෙස අපි සානුකම්පිතව බලන්න ඕනය කියලයි මට හිතෙන්නේ.

සැබෑ සමාජයේදී භික්ෂුව කියන්නේ ගරු කටයුතු කෙනෙක්. නමුත් බල්ලොත් එක්ක බෑ නාට්‍යයේදී අපට ඔබ මුණ ගස්වන චීවරධාරීන් තමන්ගේ ගැළවීම සඳහා චීවරයට මුවා වන බවයි ඔබ අපට පෙන් වන්නේ. මෙහෙම වෙන්නේ ඇයි?

එතනදි බුද්ධාගමට අගෞරවයක් කරන්න එහෙම යොදා ගත්තා නෙවෙයි. මමත් හොඳ බෞද්ධයෙක්. මෙතන මම විවේචනයට ලක් කරන්නේ දේශපාලඥයන්. දේශපාලනඥයා ඔහුගේ අරමුණ කරා යෑම සඳහා එක එක වෙස් ගන්නවා. ඒ වෙස් මාරු කරන්නේ කොතැනදී ද කියලා අපි දන්නේ නෑ.

මෙතැන මේ නාට්‍යයේදී දේශපාලනඥයන් චීවරය ප්‍රයෝජනයට ගන්න විදිහට නාට්‍ය ගොඩ නැගුණෙ ඒක වඩාත් නාට්‍යයට උචිත වුණු නිසයි. නාට්‍යයට අනුව ඔවුන් සිවුරු පොරව ගත්තට යට ඉන්නේ කවුද කියන එකත්, ඒ අයගේ ස්වභාවයත් තමයි නාට්‍යයෙන් මතු කරන්නේ.

මේ කාරණා ගැන ඔබට යම් විවේචනාත්මක ප්‍රතිචාරයක් එහෙම ලැබිලා තියෙනවද?

හැබැයි මේ වෙනකම් මට කවුරුත් මේ සමස්ත නාට්‍ය ගැනම දොසක් හෝ විවේචනයක් කරලා නෑ.

මේ නාට්‍යයේදී මුල් පිටපතෙන් පිට එකතු කිරම් සිද්ධ වෙනවා නේද?

පිටපතෙන් පිට යනවට මම හරිම විරුද්ධයි. නමුත් මේ නාට්‍යයේදී අපි කට්ටිය කතාබහ කරගෙන කාලීන අවශ්‍යතා අනුව යම් යම් එකතු කිරීම් කරන්න ඉඩක් දීලා තියනවා. ඒ අරුණාම කිසිම විදිහේ වෙනසකට ඉඩක් නෑ. පොඩි වචනයක දෙකක එහා මෙහාවීමකට විතරක් ඉඩක් තියාගෙන ඉන්නවා. ඒක අපි දැනුවත්ව කරන දෙයක්.

ඔබ ‘බල්ලොත් එක්ක බෑ’ රට වටා ගෙනයද්දී තවත් සමහර නාට්‍යය දර්ශන වාර කිහිපයක් හෝ පෙන්න ගන්න බැරි තත්ත්වයකුත් තියනවා. ඇයි මෙහෙම වෙන්නේ?

මේ නාට්‍ය ඇදගෙන යාමේදී ජූඩ් ගෙන් විශාල සේවයක් වෙනවා. එහෙම නැතිනම් නාට්‍යයක් දුවා ගන්න එක හිතා ගන්නවත් බැහැ. අනිත් අතට අපේ නාට්‍ය කරන බොහෝ දෙනා නාට්‍ය කලාව හැදෑරුවට ඒ අය හදාරන්නේ නැති වැදගත් දෙයක් තියෙනවා. ඒක මටත් ඉගෙන ගන්න ලැබුණේ අහම්බෙන්.

ඒ තමයි නාට්‍ය සංවිධානය.

අනිත් හැම දේම ඉගෙන ගත්තට නාට්‍යයක මංගල දර්ශනයත් පෙන්නල ඉවර වෙනකම් ඊළඟට මේ නාට්‍ය පෙන්වන්නේ කොහොමද කියන එක ගැන හිතන්නේ නෑ. නමුත් හොඳම දේ තමයි නාට්‍ය ලියන වෙලාවේ ඉඳලම මම කොහොද මේ නාට්‍ය කරගෙන යන්නේ කියන එක ගැනත් හිතන්න ඕන. ඒ වගේම නාට්‍ය අධ්‍යක්ෂවරයා මම දැන් නාට්‍ය කළා කියලා නිකං ඉඳලා හරි යන්නේ නෑ. මේක සාමුහික වැඩක් නිසා හැමෝගෙම සහයෝගය මේකට ලැබෙන්න ඕන. එතකොට තමයි නාට්‍යයක් රට වටා ගෙනි යන්න පුළුවන් වෙන්නේ.

ඔබ ඉගෙන ගත්තු නිසා නාට්‍ය කරන කෙනෙක්ද?

මම නාට්‍ය ගැන ඉගෙන ගෙනත් තියනවා. ඒ වගේම සෙට් ගහන්න උදව් කරන තැන ඉඳලා නළුකම දක්වා හැම අංශයකටම සම්බන්ධ වෙලා ප්‍රායෝගික දැනුම හා පුහුණුව ලබාගෙනත් තියෙනවා.

0 comments:

Post a Comment