‘වේදිකාවක් මත පළමුවරට නාට්‍යයක් රඟ දැක්වෙනු දැකීමෙන් මගේ සිත් සතන් බොහෝ සේ සසල වී යයි කීම නොකියමනකි. ඒ නිසා මගේ සිත සම්පූර්ණ උඩු කරණමක් ගැසුවා සේ වී යැයි කීම වඩාත් උචිතය’.
සත පනහේ ගැලරියේ ටිකට් එකකින්, පොල් අතු රඟහලකදී ‘සැඟවුණු පිළිතුර’ නම් තම මුල්ම නාට්‍ය අත්දැකීම විඳ ගත් ආකාරය පිළිබඳ හෙන්රි ජයසේනයන් පසුකාලීනව සටහන් කර තැබුවේ එසේය. එකී නාට්‍ය බැලීමෙන් තමන් ද නළුවකු විය යුතු යැයි සිතූ ඔහු ඊළඟට කළේ ලිපියක් ලිවීමය.
‘ගම්පහදී ඔබ සැම රඟ දැක් වූ නාට්‍ය බලා මම බොහෝ සේ සතුටු වුණෙමි. මම ද කවි කීම, සින්දු කීම ආදියෙහි දක්ෂකම් ඇති ළමයෙක්ය. මට අවුරුදු දහයක් විතර වේ.
ඔබේ කණ්ඩායමට බැඳී අර වාගේ වේදිකාවේ රඟපෑමට මම ද කැමැතිය. මම තවම රඟපා නැත. ඒත් හොඳට රඟපෑමට පුළුවන් කියා සිතමි. ඔබ කැමැති නම් බස් එකක නැඟී මට මීගමුවට එන්න පුළුවන්’.
එහෙත් මේ ලියමන තැපැල් කර යවන්නට අවැසි සත හයක් සොයා ගැනීමටත්, පරණ ලියුම් කවරයක් කණ පිට හරවා ගැනීමටත් කාලය අවශ්‍ය වූයෙන් එතෙක් එකී ලියුම හෙතෙම ඇඳුම් අල්මාරියේ සඟවා තැබීය.
අක්කාට හසු වූ ඒ ලියමන ගියේ මීගමුවට නොව තාත්තාගේ අතටය. අලි අමාරුවක වැටෙන්නට ගිය හෙන්රි එදා බේරුණේ ලොකු අයියාගේ පිහිටෙනි. ටික දොහක් ගෙවී යද්දී මලනුවන්ගේ ‘කලා’ වුවමනාව වටහාගෙන සිටි ලොකු අයියාගෙන් හෙන්රිට අදහා ගන්නවත් අමාරු ආරාධනාවක් ලැබිණි.
‘චන්ද්‍රසෝම හෙට ලැහැස්ති වෙයන් මාත් එක්ක කොළඹ යන්ඩ’.
‘මොනවටද ලොකු අයියේ?’
‘ඔයාට හොඳ චාන්ස් එකක් අරං දෙන්ඩ මං යන්නෙ, ඔයාට රේඩියෝ එකේ සිංදු කියන්ඩ පුළුවන්. ඔය අනිත් විගඩං ඕනෑ නෑ’.
‘සිරි අයියේ මේ තමයි අර මම කියාපු මගේ මල්ලි’.
‘කෝ බලමු, ඔයාට පුළුවන් නේද චන්ද්‍රසෝම අපට ඇහෙන්ඩ කවියක් කියන්න?’
‘පුළුවන්, ඒත් අපි පුරුදු වුණේ සීපද’.
හෙන්රිගේ ගායනය සාවධානව අසා සිටි සිරි අයියා ‘හොඳයි, බොහොම හොඳට කිව්වා. ඒත් ඔච්චර හයියෙන් උස් හඬින් කියන්ඩ ඕනෑ නෑ’.
එතැන් සිට ළමා තීරයට සහභාගී වෙන්නටත්, ගායනය රංගනය ඉගෙන ගන්නටත්, කීයක් හරි හොයා ගන්නටත් හෙන්රිට අවස්ථාව ලැබිණ. එලෙස ගුවන් විදුලියේ ළමා තීරයෙන් තම අනාගත ගමන් මඟ සැකසුණු වග හෙන්රි ජයසේනයන් පසු කළක සටහන් කර තැබුවේය.
ගුවන් විදුලි වැඩ සටහන්වලට සහභාගීවීමෙන් ද, වේදිකාව මත ගීත රඟ දැක්වීමෙන් ද ලද පුහුණුව නිසා පසු කලෙක නාට්‍යවල රඟපෑමේදී මට කිසිදු සබකෝලයක් හෝ වේදිකා භීතියක් නොදැනිණ. හෙන්රි වේදිකාවට ඇලුම් කළේ හුදු නළු ආශාව නිසා පමණක් නොව එය ඔහුගේ ආත්මය වූ නිසාවෙනි. ඒ වග අපට පසක් කර දෙන්නේ ඔහුගේ මේ වචන පෙළය.
‘මගේ පුද්ගලික ලෝකයේ එක් පැත්තක වේදිකාවක් පැවැතියේය. අනෙක් පැත්තෙන් මා සමඟ පමණක් කතාබහ කරන, අඬන දොඩන සිනාසෙන චරිත රාශියක්ම විය. මගේ් වේදිකාවේ සිට මම ඔවුනට නිරතුරුවම කතා කළෙමි. උන්ගේ දුක්ඛ දෝමනස්සයන් ගැන විචාළෙමි. කරුණු මෙසේ තිබියදී ශාලාවක නියත වේදිකාව මට අරුමයක් නොවීය’.
හෙන්රි ජයසේනයන් කුඩා කල සිටම තම පාලුව, කාන්සිය අකා මකා ගන්නා අටියෙන් ගස් වැල් සමඟ ද, මේස පුටු සමඟ ද සංවාදවල පැටලී සිටි වග වරක් මා සමඟ ද කීවේය.
එකී පුරුද්දත් රංගනයට ඇති ලැදියාවත් ඇතිව නාලන්දයට ඇතුළු වූ හෙන්රිට, සිරි අයියා යටතේ ‘හරිශ්චන්ද්‍ර’ නාට්‍යයේ රඟන්නට වරම් ලැබිණ.
එහිදී පුංචි රෝහිත ගේ චරිතයට පණ පෙවූ හෙන්රිගේ රඟපෑම දුටු ගුණපාල මලලසේකරයන්, බොහොම හොඳයි, බොහොම හොඳයි කියමින් පුංචි හෙන්රිගේ හිස අත ගා අනාවැකියක් ද කීවේය.
‘මේ ළමයට නළුවෙක් හැටියට හොඳ අනාගතයක් තියෙනවා’. ප්‍රථම වරට ප්‍රසිද්ධ වේදිකාවක රඟපෑ දවසේම මෙරට පහළ වූ විශිෂ්ට බුද්ධිමතකු වූ මලලසේකරයන්ගෙන් පැසසුම් ලද හෙන්රි, ගම්පහ පොල් අතු ශාලාවේ රුක්මණී දේවිය වේදිකාවේ රඟනු දැක සිත් සතන් හී ඇති වූ චමත්කාරය ද එකී මංගල රංගනයෙන් අත් වින්ඳේය.
ඒ අනුව ජේ. එස්. සී පන්තියේ ශිෂ්‍යකුව සිටියදීම තම නළු සිහිනය සැබෑ කර ගත් හෙන්රි පාසල් හිත මිතුරන් අතර ‘රෝහිත පුතා’ නම් ආදරණීය ආමන්ත්‍රණයේ හිමිකරුවා වීමට තරම් වාසනාවන්ත විය.
එහෙත් ගෙදර දී වාසනාව අකරතැබ්බයකට පෙරළින. ඒ හරිශ්චන්ද්‍ර නාට්‍යයේ රෝහිත පුතා ගයන පද පේළියක් දෙකක් තාත්තාගේ සාප්පුවේ කවුන්ටරයේ කුරුටු ගාන්නට යාමෙනි.
‘කෑම නැතිව සිටින මගේ
වෙහෙස නිසා දෙපය ගැහේ’
එය දුටු තාත්තා වහා හෙන්රිව තමා වෙත කැඳ වීය.
‘උඹ අද දවල්ට කෑම කෑවද?’
‘ඔව්, මම කෑවා’.
‘එහෙනම් මොනවද උඹ මේ ලියල තියෙන වල් බූත?’
අන්දුන් කුන්දුන් වී ගිය හෙන්රි මඳකින් සිහි එළවාගෙන පිළිතුරු දුනි.
‘මේක මං නිතර කියන සිංදුවක පේලි දෙකක්’.
‘සිංදුවක්? මොන රුදාවකටද උඹ මෙහෙම සිංදු කියන්නෙ? කාගෙද මේ ජරා සින්දුව’.
‘මේක අපේ හරිශ්චන්ද්‍ර නාට්‍යයේ සිංදුවක්. මම ඒක නිතර කියනවා. කවුන්ටරේ ඉන්න අතරේ මා අතින් මේ කොල කෑල්ලෙ ලියවෙන්ඩ ඇති’ හෙන්රි උත්තරයක් ගැට ගහ ගත්තේය.
‘කවුද උඹට නාට්‍ය නටන්ඩ අවසර දුන්නෙ? මං උඹව ඉස්කෝලෙ යවන්නෙ ඉගෙන ගන්ඩ. නඩලං නටන්ඩ නෙවෙයි. උඹ ලියුමක් ගේන්ඩ ඕනෑ, උඹලෑ සිරි අයියගෙන්, මේක ඔය කියන මොකක්ද නාට්‍යයේ සිංදුවක කෑල්ලක් ය කියලා.
මේ සාප්පුවත් දැන් පිස්සු මඩුවක් වෙලා. කුරුටු ගාන්නෙ නැතිව අත් දෙක නිකන් තියන් ඉන්න බැරි නම් උඹ මීට පස්සෙ කවුන්ටරේ වැඩට යන්ඩ එපා’.
හෙන්රිගේ නාට්‍ය වුවමනාව යළිත් වතාවක් මතුව ආයේ ශිෂ්‍ය අවධිය නිමවා පිටිසරබද පාසලක ඉංග්‍රීසි උප ගුරුවරයකු වූ පසුය. ඒ අසරණ ළමයින්ට පිහිට වෙන්නටය. ඔහු ගුරු සගයන්ට තම අදහස හෙළි කළේය.
‘අපි නාට්‍යයක් කරමු’.
‘ඒ මොකටද ඉංගිරිසි මහත්තයෝ’
‘ළමයින්ට පොත් පත්, ගල්ලෑලි, ගල්කූරු, එක්සයිස් පොත් එහෙම අරං දෙන්ඩ’
‘නාට්‍යයක් නටලා?’
‘ඔව්, අපි නාට්‍ය පෙන්නන්නේ ටිකට් ගහලා. සල්ලි අය කරලා. එකතු වෙන සල්ලිවලින් අපි ළමයින්ට අඩුපාඩු අරං දෙමු’.
‘අනේ මහත්තයෝ, එදා වේල අමාරුවෙන් ගැට ගහ ගන්න මේ මිනිස්සුන්ට මොන නාට්‍යයද? ටිකට් ගන්ඩ ඒ ගොල්ලන්ට කොහෙන්ද සල්ලි?’
‘කවුද රඟපාන්නේ?’
‘රඟපාන්නෙ ළමයිනුයි අපියි, වෙන කවුද?’
‘කෝ ඉස්ටේජ් එකක්?’
‘ඒක සුළු දෙයක්. අපට පුළුවන් දිග බංකු එකට බැඳලා ස්ටේජ් එකක් හදා ගන්ඩ’.
එකී කඩුළු එකින් එක පැන්න හෙන්රි ජයසේන ඉංගිරිසි මහත්තයා අතින් අවසන නාට්‍යයක් ලියැවිණ. ඒ ‘ජානකී’ය. එකී නාට්‍යයේ ප්‍රචාරය සඳහා හෙන්රි අතින් පත්‍රිකාවක් ද ලියැවිණි.
‘අමතක නොවන රාත්‍රියක්!’
‘රාමායනයේ උද්වේගතර ජවනිකා!’
‘ඔබේ ළමා ළපටියන්ගේ
දස්කම් දැක ගන්න!’
“ජානකී”
ඓතිහාසික නාට්‍ය
දෙහිපේ විද්‍යාල ශාලාවේදී
අගෝස්තු 26 දා
ප. ව. 6.30 ට සහ 9.30 ට
අය කිරීම ශත 50 සහ රු: 1.00
සිය ගණනින් රොක් වෙත්වා!’
ප්‍රචාරයේ ප්‍රතිඵල කාට කාටත් දැක ගන්නට ලැබිණ. ගම්මු පාසල කරා ඇදෙද්දී ඒ සුබාරංචිය ඉස්කෝල මහත්තයාගේ කනේ තිබ්බේ හයේ පන්තියේ කොලු පැටියෙකි.
‘ටිකට් ඉවරයි!’
‘එහෙම නම් පටන් ගමු!’ සතුට සඟවා ගත් ඉංගිරිසි මහත්තයා කීවේය. ප්‍රතිඵලය සතුටුදායකය. කවුරුත් හොඳ කියන්නට වූහ.
‘ඉංගිරිසි මහත්තයා හොඳ එකා, ඒකා අපේ ඉස්කීලෙට ආඩම්බරයක්’.
ඒ නාට්‍යයෙන් රුපියල් දෙසිය හැට දෙකයි ශත පණහක ලාභයක් ලැබිණ. එය පාසලේ අරමුදලක් වී අඩුපාඩු ඇති ළමුන්ගේ පිහිටට එන අරමුදලක් විය.
එහෙත් ගමේ ගොඩේ මිනිසුන් අතරත් ගෙදර උදවිය අතරත් ‘චන්ද්‍රසෝම’ ලෙසින් සිටි මේ ඉංගිරිසි ගුරුවරයා, ගුරු වෘත්තියෙන් මිදී කොළඹ ආයේය. ඒ හෙන්රි ජයසේන නමිනි. ඒ නැවතත් නාට්‍යත් සමඟ වේදිකාවට ගොඩවීමේ අදහස ඇතුවය.
ඒ ආ ගමනෙන් පසු ගත් උත්සාහයත් හිත්‍ර මිත්‍ර උපකාරයත් නිසාවෙන් ටී. බී. ඉලංගරත්නගේ ‘හඳහන’ වේදිකා නාට්‍යයේ රඟපෑමේ අවස්ථාව හෙන්රි ජයසේනට හිමි විය.
ඊළඟට හෙන්රි ජයසේනයන් අත ගැසුවේ ‘මනමාලයෝ’ නාට්‍යයටය. 1954 නොවැම්බර් මස බොරැල්ලේ වයි. එම්. බී. ඒ හිදී එකී නාට්‍ය වේදිකා ගත කරන්නට ඔහුට හැකි විය. ඉන් පසුව ‘වැදගත්කම’ වේදිකාවට එක් විය. අනතුරු මහ ඇදුරු සරච්චන්ද්‍රයන්ගේ මනමේ කුමරු වෙන්නට ද හෙන්රි ජයසේනයන්ට හැකි විය.
පසු කලෙක ලාංකේය වේදිකාව අර්ථයෙන් ද, රසයෙන් ද පෝෂණය කළ ‘හුනුවටයේ කථාව’, ‘දිරිය මව’, ‘කුවේණි’, ‘ජනේලය’, ‘මකරා’ ඇතුළු සුවිශේෂ වේදිකා නාට්‍ය රැසක් සමඟ රංග පෞරුෂයක් ද දේශිය වේදිකාවට එක් කළ හෙන්රි ජයසේනයන්ට ඒ හපන්කම් කරන්නටත්, වේදිකාවේ ස්වකීය අණසක දශක ගණනාවක් පතුරවන්නටත් හැකි වූයේ ඔහු ලද අනන්ත අප්‍රමාණ අත්දැකීම් සම්භාරය නිසාය.
එසේම ඔහු අවසන් හුස්ම හෙළන තුරුම දැනුම සොයා ගිය, කයින් මිස සිතින් කිසිදා වයසට නොගිය තරුණයකු විය. එදා ඔහු වැර වෑයමෙන් උපයා ගත් දැනුම අත්දැකීම එක් කොට තැනූ නාට්‍ය අදත් රඟ දැක්වෙයි.
‘වේදිකාවේ අසඩක්’
‘සිනමාවේ පියල්’
ටෙලි නළුවේ සුදු සීයා ලෙසින් සිය රංග මුද්‍රාව තබා ගිය, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කලාකරුවකු වූ හෙන්රි ජයසේන නම් සහෘදයා වෙනුවෙන් සරසවියේ තබන මේ සටහන ඔහුගේම උපුටනයකින් අවසන් කරනු කැමැත්තෙමි. ඒ මෙසේය,
වේදිකාවට ප්‍රවිෂ්ට වෙම්ද, නොවෙම්දැයි එහි අන්ධකාර මායිමේ සිට ඇඟිල්ලක් නිකට මත රඳවාගෙන කල්පනා කරන තරුණයෙකු තරුණියක මගේ මේ කථනය මත තීරණයකට එළඹෙන්නට බැරි නැත. එම නිසා සිත ගොළුවීමට පෙර, අත අකීකරුවීමට පෙර මා මෙය ලියා තැබිය යුතුය.
ප. ලි.
මේ සමරු සටහනට පාදක වූයේ ද හෙන්රි ජයසේනයන් එසේ ලියා තියා ගිය සටහන් ය.
0 comments:
Post a Comment