----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

Lanka Art Chat Room - එන්න අපි කතා කරමු

දැන්ද ඇහැරුණේ ?...

Sunday, April 28, 2013


දැන්ද ඇහැරුණේ ?...

‘දෙරණ’ T.V සභාපති ලක්සිරි වික්‍රමගේ
* දෙරණ මියුසික් වීඩියෝ සම්මාන උළෙල පිළිබඳ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂ සෝමරත්න දිසානායක කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය පිළිබඳ මුලින්ම ඔබේ අදහස දැන ගන්න කැමතියි...?
ඒ ප්‍රකාශය එතරම් පැහැදිලි නෑ. අනෙක එතන හිටපු අය ඒ අදහසට විරුද්ධවනේ තමන්ගේ මතය ප්‍රකාශ කළේ. විශේෂයෙන්ම චන්න පෙරේරා වැනි තරුණ පෙළ නියෝජනය කරන කලාකරුවෙක්. එතන තිබ්බේ මියුසික් වීඩියෝ සම්මාන උළෙලක්නේ. ඒ කියන්නේ වීඩියෝවලට තමයි සම්මාන දුන්නේ. ඳයුසික්වලට නෙවෙයි. හරි. මට පැහැදිලි වුණ දේ තමයි සෝමරත්න දිසානායක මහතා කතා කළේ ඒවායේ මියුසික් නැතිනම් ගී පදමාලා ගැන. හරිද? එතුමා ඇහුව ප්‍රශ්නය තමයි ‘මේකද ලංකාවේ මියුසික් කියන්නේ’ කියලා.
* අපටත් ඒකම අහන්න වෙනවා?
උත්තර භාරතීය සංගීතයත් ලංකාවේ මියුසික් නෙවෙයිනේ. ඒක ඉන්දියාවේ. එතකොට ලංකාවේ මියුසික් එහෙමනම් ජන සංගීතය විතරයි. අපි සුනිල් ශාන්තයන් ගම්මුකෝ. සුනිල් ශාන්තයන් පවා ඔය කියන ක්‍රමයට විරුද්ධ වෙලානේ ගුවන් විදුලි සංස්ථාවෙන් එළියට බැස්සේ. එතුමා ඕකට කිව්වේ ‘ලංකස්ථානී’ කියලා. මෙතනදි අපි කළේ නොයෙක් සංගීත ශෛලීන්ගෙන් නිර්මාණය වූ මියුසික් වීඩියෝස්වලට සම්මාන පිරිනැමීම. අපි එය එක් භාෂාවකට සීමා කළේ නැහැ. උදාහරණයකට ගන්න ඉරාජ් ගේ ගීතය. ඒ ගීතය ඇතුළේ නේපාල භාෂාවයි, ඉංගී‍්‍රසි භාෂාවයි, සිංහල භාෂාවයි තුනම තියෙනවා. එතකොට ගිය අවුරුද්දේ මාල දිවයිනේ ජනපි‍්‍රයම ගීතය නිර්මාණය කරලා තියෙන්නේ ඉරාජ්.
* ඔබ ඒ ජනපි‍්‍රයත්වය මනින නිර්ණායකය කුමක්ද?
දැන් ඔය චාට් ෂෝ කියලා තියෙනවානේ. ඒවායේ උඩටම ආපු ගීතයක් මේ. මේක මාලදිවයින් භාෂාවෙන් ඉරාජ් කරපු ගීතයක්. අපිට දර්ශනයක් තියෙනවනේ ‘ක්ෂිතජයෙන් එහා ලෝකය දකින තරුණයෝ’ කියලා. හරි. එතකොට දැන් බලන්න අපේ සම්මාන උළෙලට ජය ශ්‍රී ලා අවේ ඉතාලියේ ඉඳලා. ඒ වගේම චිත්‍රාල් සෝමපාල අවේ ජර්මනියේ ඉඳලා ඔවුන් තමයි ලෝකය ජය ගත්ත ශ්‍රී ලාංකික සංගීතඥයෝ වෙන්නේ. එතකොට ආර්. එම්. දිනේෂ් කියන්නේ ලංකාවෙ කොල්ලෙක්. මේ දවස්වල එයා පිටරට ඉන්නේ. ‘කඩෙල්’ කියන මනිරත්නම් ගේ චිත්‍රපටයේ ඒ. ආර්. රහුමන් ගේ සංගීතයට ‘වගුඩි කියන ගීතය ගායනා කරන්නේ එයා. අපේ සංගීත උළෙලෙත් එයාගේ ගීතයක් නොමිනේට් වුණා. ඒ තමයි ජාත්‍යන්තරය ජයගත්ත අපේ තරුණයෝ.
* නමුත් ඔබ කියන ඔය නිර්මාණවල ‘දේශීය අනන්‍යතාවක්’ තියෙනවද? සෝමරත්න දිසානායක මහත්මයාගේ චෝදනාවත් ඕකමනේ..?
මුලින්ම කියන්න ඕනෑ සෝමරත්න දිසානායක කියන්නේ අපේ හොඳ හිතවතෙක්. එතුමන් එක්ක අපේ කිසිදු පෞද්ගලික අමනාපයක් නෑ. මේක මතවාදී ගැටුමක් විතරයි. එතුමා එදා කළ ප්‍රකාශය අපි හෙළා දකින්නේ නෑ. ඒ වේදිකාව තිබුණේ ඒකට තමයි. නමුත් එතුමාගේ අදහසට ගරු කරනා ගමන් අපි අපේ මතයත් මෙසේ ගෙන හැර දක්වන්න ඕනෑ. දැන් ඔබේ ප්‍රශ්නයට යමු. සංගීතය විශ්ව භාෂාවක් කියන එක තමයි අපි පිළිගන්නේ. මොකද එහෙම නොවුනොත් අපට ජාත්‍යන්තරයට යන්න බෑනේ.
* නමුත් අපි ජාත්‍යන්තරයට යායුත්තේ “අපේකම” රැකගෙන නේද?
ඔව් ඒ නිර්මාණවල බොහෝවිට අපේකම තියෙනවා. සෙන්ටිග්‍රේඩ්ලාගේ සමහර ගීතවල තියෙන්නේ අපේ ජන සංගීතයේ මූලාශ්‍ර. එතකොට භාතිය සන්තුෂ්ලගේ “රන් කුරහන් මල” ගීතය ගන්න. එතැන අපේකම නැද්ද? ඒ වගේ තව උදාහරන ඕනෑතරම් තියෙනවා. නමුත් අපි ඔවුන්ට මේ සම්මාන උලෙළේ විශේෂ සම්මානයක් පිරිනැමුවේ ඒ නිර්මාණ පක්‍ෂය සලකා බලලා නෙවෙයි. භාතිය සන්තුෂ් කියන්නේ මේ වීඩියෝ පරම්පරාවේ ආරම්භකයෝ නිසා. මේක වෙනම පරම්පරාවක් මේ මියුසික් වීඩියෝ පරම්පරාව.
* ඒ පරම්පරාව ඉහළට ඔසවා තැබීමයි මේ. සම්මාන උළෙලේ අරමුණ වුණේ...?
ඇයි එතකොට අමරදේවයන්ට, වික්ටර් රත්නායක, ටී.එම්. ජයරත්න, සුනිල් එදිරිසිංහ වැනි ප්‍රවීණයන්ට සම්මාන නැත්තේ කියලානේ ඔබ ඔය අහන්නේ. හරි පැහැදිලි උත්තරයක් එතැන තියෙනවා. ගිය අවුරුද්දේ නිර්මාණය වුණ ඒගොල්ලන්ගේ මියුසික් වීඩියෝස් නැහැ. ගීතය දෘෂ්‍ය මාධ්‍යයට එනකොට වීඩියෝ නැතුව බැහැනේ. ඔය රාගධාරි සම්ප්‍රදායේ ගීතවලට තමා මමත් වැඩිපුර කැමැති. මම අමරදේවයන්ට කැමතියි. ඒ වගේම ජෝතිපාලටත් කැමැතියි.
* කොහොම වුණත් මේ සම්මාන පිරිනැමුණේ ගීතයේ ගුණාත්මක පාර්ශවය සලකා බලා නෙවෙයි. එහි රූප රචනයට. එතකොට මේවා නිර්මාණාත්මක අතිනුත් ඉහළ මට්ටමේ තියෙනවා කියලද ඔබ කියන්නේ...?
නැහැ, සමහර ගීත පිළිබඳ අපටත් ගැටලු තියෙනවා. ඇතැම් ගී පදමාලා හොඳ මට්ටමක නෑ. ඉතින් එහෙම දේවල් හොඳයි කියලා අපට නිර්දේශ කරන්න බෑනේ. අපි ඒ ඒ අංශයන්ට සම්මාන නොදුන්නේත් ඒ නිසයි. හැබැයි සංගීතය විශ්ව භාෂාවක්ය කියනතැන ඉඳන් බැලුවොත් අපට භාෂාව ප්‍රශ්නයක් නෙවෙයි. එතනදි ප්‍රමුඛතාව හිමිවන්නේ සංගීත පාර්ශවයට. දැන් බලන්න ඒ. ආර්. රහුමන් ඉන්දියාවේ සම්ප්‍රදායික සංගීත ක්‍රමවන ක්වාලී එතකොට ගඛසල් බටහිර සංගීත ශෛලිය එක්ක මුසුකරලා ඒක ලෝකෙට අරන් ගිහින් තියෙනවා. ඇකඩමි සම්මාන ගන්න තත්ත්වයට පවා ගිහින් තියෙනවා. ඒ නිසා මෙතනදි පැහැදිලිව කියන්න ඕනෑ අපි රූප රචනයට නෙවෙයි ගීත රචනයටයි සම්මාන දුන්නේ.
* එතකොට හොඳ ‘මෙලඩි පවර්’ එකක් නැති දුර්වල පදමාලාවක් සහිත ගීතයකට වුණත් හොඳම මියුසික් වීඩියෝව විදිහට සම්මාන ලැබෙන්න පුළුවන්...?
ඔව්... ඔව්... අනිවාර්යයෙන්ම. ඒත් අපිටත් ප්‍රශ්න තියෙනවා. ඕවයේ පදමාලා ගැන. ඒ වුණාට මම මුලිනුත් කිව්වා වගේ පදමාලාව බලන්නේ නැහැනේ. රූප රචනයට නේ සම්මාන දෙන්නේ.
* ගීතයේ ප්‍රමිතිය රැකගන්නවා වෙනුවට ඇයි එහෙම ක්‍රමවේදයකට ඔබ ගියේ...?
නෑ, එහෙමනම් අපි සංගීත සම්මාන උළෙලක් තියන්න ඕනෑ. මම එදාමත් කිව්වා. ඒක බොහොම බරපතළ කාර්යයක්. අපි තවම එතැනට ඇවිත් නෑ. ඒ නිසයි මේක මියුසික් වීඩියෝ සම්මාන උළෙලක් විදිහට අපි පැවැත්තුවේ. මෙතනදි සම්මාන දෙන්නේ රූප රචනයට, සංස්කරණයට, වගේ ඒවටනේ. බෙස්ට් පර්ෆෝමන්ස් කියලා අපි සම්මානයක් දීලා තියෙනවා. ඒ ගායකයා හෝ ගායිකාව කළ හොඳම රඟපෑමට. කිසිම වෙලාවක හොඳම ගායනයට, හොඳම ගීත රචනයට, හොඳම තනුවට අපි සම්මාන දුන්නේ නෑනේ.
* එතකොට මොකක්ද ඔබේ අරමුණ මේ රූප රචනයට එහෙම නැතිනම් විෂුවල් එකට සම්මාන පිරිනැමීමේ....?
ඒක ඉතාම පැහැදිලියි. සංගීත ක්‍ෂේත්‍රය අදවිශාල කර්මාන්තයක්. මේ ඉන්ඩස්ට්‍රි එක ඇතුළේ රුපියල් බිලියනයක විතර පිරිවැටුමක් තියෙනවා. මම ඒක හරියටම ගණන් බලා නෑ. මේකේ නියැළිලා ඉන්නවා විශාල තරුණයෝ සංඛ්‍යාවක්. එතකොට අපේ ටෙලිවිෂන් කර්මාන්තයත් ඒකෙන් පෝෂණය වෙලා තියෙනවා. ඕනෑම ටෙලිවිෂන් චැනල් එකක නිකං තියෙන වෙලාවක් බැලුවොත් ඒකෙ ගහන්නේ මියුසික් වීඩියෝ. එතකොට මේකෙ නියැළිලා ඉන්න තරුණයෝ අලුත්, අලුත් දේවල් කරනවා. ඔවුන් දිරිමත් කිරීම තමයි අපේ අරමුණ වුණේ.
* ඔය මොනවා කළත් ශ්‍රී ලාංකික අනන්‍යතාවය සුරැකීම කාගේත් යුතුකමක් සහ වගකීමක් නේ..?
මට කියන්න මොකක්ද ලාංකික අනන්‍යතාවය කියන්නේ. හින්දුස්ථානී රාගධාරී සම්ප්‍රදායට ද?
* අපි මහා සම්ප්‍රදාය හැටියට පිළිගන්නේ එයනේ. දැන් අපි සුභාවිත ගීතය කියා හඳුන්වන්නේ ඔය කියන සම්ප්‍රදායේ මුලාශ්‍රවලින් බිහි වූ නිර්මාණවලටනේ.?
ඒක වෙනම සබ්ජෙක්ට් එකක්නේ. සුනිල් ශාන්තයන් ගුවන් විදුලියෙන් එළියට බැස්සේ ඔය පටු ආකල්ප නිසානේ. ඊළඟට ඔය සම්ප්‍රදායෙන් මිදුණ කොච්චර අය අපට හිටියද? සී. ටී. ප්‍රනාන්දු, ක්ලැරන්ස්, රූකාන්ත වගේ අය දැන් ගිය අවුරුද්දේ ලෝකයේ ජනපි‍්‍රයම ගීතය මොකක් ද කියලා ඔබතුමා මට කියන්න.
* ඔබතුමාම කියන්නකෝ?
Gangnam Style කියන කොරියන් ගීතය. හැබැයි ඒකේ භාෂාව විතරයි කොරියන්. ඒකේ ශෛලිය ‘හවුස්’ කියන සංගීත සම්ප්‍රදායය. අපි රෙගේ සම්ප්‍රදායට බිහිවුණ ගීතවලට සම්මාන දුන්නා. එතකොට ‘රෙගේ’ කියන්නේ මොකක් ද? ජැමෙයිකන්. ඒකනේ සංගීතය විශ්ව භාෂාවක් කියන්නේ. දැන් ඔය කියන හින්දුස්ථානි රාගධාරි සංගීතයෙන් බිහිවන ගීතවලට ඒ අය බේස් ගිටාරය ගහන්නේ නැතිද? ඩ්‍රම්සෙට් එක ගහන්නේ නැතිද? ඔය ඇවිල්ලා බොහොම පටු දෘෂ්ටියක්. ආචාර්ය ප්‍රේමසිරි කේමදාස වගේ අයත් බටහිර සංගීතයෙන් නොමඳ අභාසයක් ලැබුවා. එතකොට සිම්ෆනි, ඔපෙරා, කැන්ටාටා කියන්නෙත් අපේ අනන්‍යතාවයද?
* සම්මාන උළෙලකට වඩා රාත්‍රී සමාජ ශාලාවක මුහුණුවර තමයි එහි තිබුණේ කියා සෝමරත්න දිසානායක මහතා චෝදනාවක් එල්ල කළා. විශේෂයෙන්ම තරුණියන්ගේ ඇඳුම් ආයිත්තම් ගැන..?
එතකොට ෆිල්ම් ෆෙයාර් වගේ සම්මාන උළෙලකට ඒ වගේ පිරිස් යන්නේ කුර්තා ඇඳගෙනද? ඔයා නිකං 60, 70 ගණන්වල ‘සරසවිය’ සම්මාන උළේලේ පින්තූර ටිකක් බලන්න. ගාමිණී ෆොන්සේකලා ජාතික ඇඳුම ඇඳගෙන ආවේ නෑනේ. ටයිපටි නෙවෙයි බෝ එක දාගෙනයි ඉන්නේ. එතකොට සම්මාන උළෙලවලට කොටට අඳගෙන ආපු අය නැතිද? ඒ ග්ලැමර් එක ආයිත් කළාම ජනතා ආකර්ෂණය නැතිවෙලා යනවනේ. එතකොට දේශීය අනන්‍යතාවයක් තිබුණේ නෑ කියන්න පුළුවන්නේ ඒ ‘සරසවිය’ සම්මාන උළෙලවලත්. ඔය වගේ කතා කියලා තමයි දේශීය සිනමාව කඩා වැට්ටුවේ. ඒවට ඇහුම්කන් දුන්නොත් මේවත් කඩා වැටෙයි.
* ඔය සම්මාන උළෙලට පැමිණි අපේ ප්‍රවීණ ශිල්පීන් කිසියම් තාවකාලික උගුලකට හසුවී ඇති බවටත් දිසානායක මහතා චෝදනා නඟනවා..?
එකක් කියන්න ඕනෑ. අපි ‘දෙරණ’ මියුසික් වීඩියෝ සම්මාන උළෙල මේ පවත්වන හතරවැනි වතාව. මේ ගොල්ලන්ගේ අවබෝධය බලන්න. දැන්ද ඇහැරුණේ. වටපිට ගැන, රටේ තොටේ වෙන්නේ මොනවද කියලාවත් දැනගෙන හිටියේ නැද්ද මෙච්චරකල්. එක්තරා සම්මාන උළෙලක දී අපි ගාව රෙකෝඩිස් තියෙනවා, තිස්ස අබේසේකරයන් ඉතාම ඉහළින් භාතිය, සංතුෂ්ලාව අගය කළා. ඔය කට්ටිය ඔක්කෝම පළවෙනි සම්මාන උළෙලෙදී එය අගය කළා. දැන් මේ අවුරුදු හතරකට පස්සෙයි වැරැදි කියන්නේ. ජනපි‍්‍රය වේගෙන එන දේට පහර ගහනවා. ඒක තමයි අපේ රටේ හැටි. මේ ගොල්ල බලාපොරොත්තු වෙන්නේ රාජ්‍ය මැදිහත්වීම් තුළින් යම් යම් නීති රීති පනවලා මේවට තියෙන ජනතා ආකර්ෂණය නැති කරන්න. ඒක තමා සිනමාවටත් වුණේ. එහෙම වුණාම ඒ අයට සනීපයි. එතකොට ඒ අයගේ දේවල් කරගෙන ගියෑකිනේ.
* ඔබ කියන්නේ සෝමරත්න දිසානායක මහතා උත්සාහ කරන්නෙත් ඔය කියන කාරනාව ඉෂ්ට, සිද්ධ කර ගන්නද..?
ඒක මම දන්නේ නැහැ. මට ඒක තේරෙන්නේ නැහැ. හැබැයි එවැනි අතපෙවීම් තුළින් වෙන්නේ ඒක තමයි. දැන් යන්නේ වෙනම ගීත රැල්ලක්නේ. අපි සම්මාන දුන්නේ ඒ මියුසික් වීඩියෝස්වලට. මේවායේ ජනපි‍්‍රය ලක්‍ෂණ ඉවත් කළාම ඒ කර්මාන්තය කඩා වැටෙනවා. අද ඩවුන්ලෝඩ්ස්වලින් මිලියන දහය, දොළහ මුදල් උපයන ගායකයෝ, ගායිකාවෝ ඉන්නවා. B.M.W කාර්වල ඔවුන් යන්නේ. ඉතින් ඒක හොඳයිනේ. එහෙමනේ වෙන්න ඕනෑ. නැතිව ඒකටත් කොක්ක ගහලා වැඩක් නෑනේ.
READ MORE - දැන්ද ඇහැරුණේ ?...

සංස්කෘතික අපරාධයක්...


සංස්කෘතික අපරාධයක්...

ප්‍රවීණ සිනමාවේදී ආචාර්ය සෝමරත්න දිසානායක
* විශේෂ ආරාධිතයකු ලෙස සහභාගි වී ‘දෙරණ’ මියුසික් වීඩියෝ සම්මාන උළෙල විවේචනය කරමින් ඔබ කළ ප්‍රකාශය සාධාරණයි කියා සිතනවාද?
මම හිතනවා ඒ කළ දේ හරියි කියා. මා කළ ප්‍රකාශය පිළිබඳ මම පසුතැවෙන්නේ නැහැ. සම්මාන උළෙල පිළිබඳ කිසියම් අදහසක් ප්‍රකාශ කිරීමට අපට වේදිකාවට ආරාධනා කරනවනේ. එතනදි තමයි මම ඒ ප්‍රකාශය කළේ. එදා මම මේ සම්මාන උළෙල හොඳයි, සාර්ථකයි කියලා වර්ණනා කරලා ආවනම් මම හිතනවා ඒක වැරැද්දක්. මොකද මගේ හෘද සාක්‍ෂියටත් ඒක විරුද්දයි. මම ගරු කරන අපේ රටේ දේශීය, සංගීත සම්ප්‍රදායටත් විරුද්ධයි. එතනදි මම අදහස් කළේ දෙරණ ආයතනයට පහරක් ගැසීමට හෝ ඔවුන් හෙළා දැකීමට නොවෙයි. ඔවුන්ට සිදු වූ මේ වැරැද්ද නිවැරැදි කිරීමේ සත් පරමාර්ථයෙන්.
* එතකොට ‘දෙරණ’ නාළිකාව එක්ක ඔබේ අවුලක් නැහැ?
ඇත්තෙන්ම ‘දෙරණ’ හොඳ නාළිකාවක්. එය සමහර අංගයන්ගෙන් සෙසු නාළිකාවලට වඩා ඉදිරියෙන් ඉන්නවා. කාලීන සිදුවීම් හා සංස්කෘතික අංගයන් සහිත හොඳ වැඩසටහන් ඔවුන් ඉදිරිපත් කරනවා. ඒ බවත් සිහියේ තබාගෙන මෙතැනදි ඔවුන් නිවැරදි විය යුතු නිසායි මම එවැනි ප්‍රකාශයක් කළේ.
* මෙය නම්කර තිබෙන්නේ ම ‘දෙරණ’ මියුසික් වීඩියෝ සම්මාන උළෙල කියා. එතකොට එහි ආකෘතිය හා කාර්යභාරය ගැන ඔබට අවබෝධයක් තිබුණේ නැද්ද?
නැහැ, එහෙම පෙර අවබෝධයක් තිබුණේ නැහැ. මේ ගොල්ල පවත්වන්නේ මොනවගේ සම්මාන උළෙලක් ද, එහි තිබෙන්නේ මොන වගේ රටාවක් ද කියන එක ගැන මට කිසි අවබෝධයක් තිබුණේ නැහැ. මීට පෙර තිබුණු සම්මාන උළෙලවලට මම සහභාගි වෙලත් නැහැ. අඩුම තරමෙන් රූපවාහිනියෙන්වත් දැකලා තිබුණේ නැහැ. ඇත්තෙන්ම එහෙම දැකලා තිබුණානම් මම එහි යන්නට පෙර ඒ ගොල්ලන්ට පොඩි අවවාදයක් දෙන්නත් තිබුණා. නැතිනම් ප්‍රතික්ෂේප කරන්නත් තිබුණා. ඒ සභාවේ මම වාඩිවෙලා ඉන්නකොට මට ඇහුන, සහ දැනුන දේවල් නිසා මම කම්පනයට පත් වුණා. ඒ මම අනුමත නොකරන දේවල්. මම අපේ රටේ සංස්කෘතිය, දේශීය සංගීතය සහ අපේ බාල පරම්පරාව ගැන වගකීමක් තියෙන පුරවැසියෙක් කියලා හිතනවා. ඒ පසුබිම තුළ හිඳගෙනයි මම අර වගේ ප්‍රකාශයක් කළේ.
* එදා ඔබ කළ ප්‍රකාශය අපේ පාඨකයන් වෙනුවෙන් මේ මොහොතේ සිහිපත් කරමුද?
‘මා මේ සභාවට ආවේ ප්‍රමාදවෙලා වුණත් මා පැමිණි මොහොතේ සිට මෙතෙක් මා ඇසූ, දුටූ දේවල් අනුව ප්‍රමාද වී පැමිණීම ගැන මම කනගාටු වෙන්නේ නෑ. මියුසික් වීඩියෝ අවෝඩ්ස් කියන්නේ සංගීත රූප සම්මාන කියන එක නම් අපේ රටේ සංගීතය මෙතැනදි නියෝජනය වෙනවාද කියන එක මට ප්‍රශ්නයක්.’ ඒ තමයි මම කළ ප්‍රකාශය. එතනදි කිිසිවක් ප්‍රකාශකර නොසිටීමට සිතා සිටියත් අනර්කලී මට යම් අදහසක් පැවසීමට ආරාධනා කළ පසු මගේ වැට බැඳ නැති කටෙන් ඒ වදන් පිටවුණා.
* තව දුරටත් ඔබ යමක් කිව්වා?
ඔව්.. මම අධික රුධිර පීඩනයට ප්‍රතිකාර ගන්නා නිසා, කේන්ති ගැනීම මට අහිතකරයි. ඉතින් ලබන වසරේත් මේ සම්මාන උළෙල මේ ආකාරයෙන්ම පවත්වනවානම් ඊට ආරාධනා කරන්න එපා කියලා මම කිව්වා.
* සංගීතයේ විවිධ ශෛලීන් තියෙනවා. අනෙක කෙනකුගේ රුචිය තව කෙනෙකුට වහ කදුරු නොවෙන්නත් පුළුවන්...?
ඔව්, ලෝකයේ විවිධ සංගීත ශෛලීන්, සම්ප්‍රදායන් තියෙනවා. නමුත් ඕනෑම රටකට තමන්ගේ දේශයට ආවේනික අනන්‍යතාවක් තිබෙනවා. නිදහස තිබුණ පලියට විදේශීය අභාසයකින් දේශීය අනන්‍යතාවය විනාශ වෙනවානම් ඒක ජාතික අපරාධයක්. දේශීය සංගීතයට වසංගතයක් වූ අප්‍රිකානු, ලතින් අමෙරිකානු රැප්, රෙගේ හා තවත් මොනවදෝ කන්දොස්කිරියාවන් විනා එදා අපේ රටට ආවේනික වූ සංගීතයේ නියෝජනයක් සිදුවුණේ නැහැ.
* නමුත් අද තාරුණ්‍යය නැඹුරු වී සිටින්නේ සහ ඔවුන් නිර්මාණකරනයේ යෙදෙන්නේ එවැනි සංගීත ශෛලීන් ආභාස කොට ගනිමින් නේද?
කාගේ වරදකින් හෝ අද තාරුණ්‍යයේ සිතුම් පැතුම් එතැනට තල්ලු වී \;බනවා. ඉතින් ඒකට කරන්න දෙයක් නැහැ. ඒ අයට කැමැති ගීතයක් අහන්න, කැමැති ඇඳුමක් අඳින්න, කැමැති නැටුමක් නටන්න නිදහස තියෙන්න ඕනෑ. නමුත් මම කියන්නේ ‘දෙරණ’ වැනි ජාතික නාළිකාවකින් දිවයින පුරා සජීවීව විසුරවා හරිනවා මේ මියුසික් වීඩියෝ සම්මාන උළෙල. අන්න එතනයි මම දකින වරද. මේක මේගොල්ල පුද්ගලික මට්ටමෙන් කර ගත්තට කමක් නැහැ. නමුත් මෙන්න මේවා තමයි අපේ රටේ සංගීතය කියලා පොදුවේ මුළු රටටම පෙන්නලා මේක තමයි අපේ සංස්කෘතිය සහ අපි සම්මාන දිය යුත්තේ මේවටයි කියලා කියනවානම් ඒක මම හිතන්නේ ජාතික අපරාධයක්.
* සංස්කෘතික ඝාතනයක් ලෙසත් ඔබ මෙය හඳුන්වා දී තිබුණා..?
ඔව්, එක අතකින් සංස්කෘතික ඝාතනයක්.
* ඔබ සුභාවිත ගීයට පි‍්‍රය කරන, ඒවා අගයන කෙනෙකු විදිහටයි මේ විරුද්ධ මතය ගෙනහැර පාන්නේ?
මම සුභාවිත ගීයට ආදරය කරන කෙනෙක් තමයි. ඒත් පැහැදිලිවම කිව යුතුයි මම අනෙක් සංගීත රටාවන් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. මම කියන්නේ නෑ අපේ රටේ සංගීතය මේ ජන සංගීතය පමණක් විය යුතුයි, රාගධාරී සංගීතය පමණක් විය යුතුයි කියලා. ඒ මතයේ මම නැහැ. අපේ සංගීතයේ ජන සංගීතය, උත්තර භාරතීය රාගධාරී සම්ප්‍රදාය, එතකොට බටහිර ශෛලිය මේවා ඔක්කොම සංකලනය වී තිබෙනවා. නමුත් මේ සම්මාන උළෙලේ සිදු වුණේ අපේ ජන ගායනා හෝ උත්තර භාරතීය සංගීතය හෝ අපි කියන ඔය සුභාවිත ගීතය අවප්‍රමාණයට ලක් කිරීමයි. එහෙම කිසිම සංගීත රටාවකට අවස්ථාවක් ලබා දුන්නේ නැහැ. එහි තිබුණේ අර නව පරපුරේ පොප් සංගීතය පමණයි. එවැනි නිර්මාණ කිහිපයක් උලුප්පා දක්වමින් මේක තමා අපේ සංගීතය කියා ජාතික නාළිකාවකින් සජීවීව මුළු රටටම පෙන්වපු එක වැරදියි කියලා තමයි මම කියන්නේ.
* ඉස්සර අපි ග්‍රැමෆෝනයෙන්, ගුවන් විදුලියෙන් අහපු ගීත අද රූපවාහිනියෙන්, වීඩියෝ මාධ්‍යයෙන් දකිනවා. රූප රචනය එහෙම නැතිනම් මේ විෂුවල් කියන මාධ්‍යය අද ගීතයක ජනප්‍රියත්වයට හේතුවන ප්‍රබල සාධකයක් වී හමාරයි. ඔබ කියන්නේ එවැනි අංගයක් ගීතයට අවශ්‍ය නැහැ කියලද?
අනේ නැහැ, මම කවදාවත් එවැනි කතාවක් කියන්නේ නෑ. රූප රචනය කියන්නේ අත්‍යවශ්‍ය දෙයක්. මොකද රූප රචනය කියන්නේ සංගීතයට එකතුවෙන හතරවැනි මානයක්. මෙතෙක් කල් අපට ගීතය සම්බන්ධව තිබුණේ පද රචනය, තනුව හා ගායනය කියන අංශ තුනනේ. දැන් මේ අලුතින් එකතු වූ ප්‍රවණතාව අපට බැහැර කරන්නට බැහැ. මම කියන්නේ ඒ තාක්‍ෂණය මඟින් අපේ සංස්කෘතිය, බාල පරපුරට අරුත් ගන්වන්නේ කොහොමද කියන එකයි. එහෙම නැතිනම් ඒ සංස්කෘතික අංගයන් ආරක්‍ෂාකර ගැනීමට අවබෝධයක් තියෙන්න ඕනෑ. මියුසික් වීඩියෝ කියන්නේ රූපනම් ඇයි අපට බැරි සුභාවිත ගීතයට ;හාඳ හරවත්, සංවේදී සාහිත්‍යමය රූපරචනයක් කරන්න. අපි එහෙම කරලත් තියෙනවා.
* නමුත් ඔබ කියන ආකාරයේ සුභාවිත ගීත අද තරුණ පරපුර වෙතින් බිහි වෙන්නේ නැහැනේ?
ඇයි නැත්තේ. ඉඳහිට හෝ එවැනි දේවල් වෙනවා. එහෙම නොවෙනවානම් අපි ඒවට උනන්දු කරවන්න ඕනෑ. එහෙම අතරින් පතර හෝ බිහිවුණ නිර්මාණ මේ සම්මාන උළෙලේ දී අවධානයට ලක් වී නැහැ. ඒ අය කියනවානම් සුභාවිත, නැතිනම් සම්භාව්‍ය ගීතයට එහෙම රූප රචනාවන් වෙලා නෑ කියලා මට උදාහරණ පෙන්වන්න පුළුවන්. මට පුළුවන් ලයිස්තුවක් දෙන්න. රූප රචනා කියන ඒවා එන්නේ රූපවාහිනියේ විතරක් නෙවේ. සමහරවිට චිත්‍රපටවල පවා එවැනි හොඳ රූප රචනා තියෙනවා. අද මේ තියෙන තාක්‍ෂණය එක්ක අපට විවිධ දේ මවා පාන්නට පුළුවන්. ඒ මවාපෑම හොඳයි. නමුත් ඒ මවාපෑම සහ තාක්‍ෂණික මෙවලම් පාවිච්චි කළ යුත්තේ කිසියම් හැඟීමක් උද්දීපනය වෙන ආකාරයෙන්.
* එතැනදි එහෙම දෙයක් වුණේ නැතිද?
එතන තිබුණේ ඝෝෂාකාරී සංගීතයයි, ගෑනු ළමයින්ගේ අඩ නිරුවතයි, නටන්න රිද්මයකුයි පමණයි. සංගීතය කියන්නේ ඕකට නෙවේනේ. ගීතයක් අහලා එහි තිබෙන නාද රටාවන්ට සහ පදමාලාවට අපි දැහැන්ගත වෙනවානම් ඒ රූප රචනයේ පවා සංයමයක් තිබිය යුතුයි. මේ අලුත් තාක්‍ෂණය පාවිච්චි කරලා උඩයට මාරු කරලා, ළමයි ඔළුවෙන් හිටවලා කැරකෙව්වට වැඩක් නෑ. ඒ තාක්‍ෂණය භාවිත කළ යුත්තේ ගීතයේ තිබෙන භාවයන් ප්‍රකාශවෙන එහෙම නැතිනම් කුළු ගැන්වෙන අයුරින්.
* ඔබේ හිතමිත්‍ර ජැක්සන් ඇන්තනි පවා මෙහි විනිශ්චය මණ්ඩලය නියෝජනය කළා?
මට විනිශ්චය මණ්ඩලය විවේචනය කරන්න බැහැ. මම දන්නේ නැහැ විනිශ්චය මණ්ඩලය ඇතුළේ මොන විදිහේ ප්‍රශ්න තිබුණාද, එකඟතා තිබුණාද කියලා. නමුත් විනිශ්චය මණ්ඩලයේ දෙදෙනෙක් අදහස් ප්‍රකාශ කළා. එතැනදි ඔවුන්ගෙන් කිසියම් පශ්චත්තාපයක් ප්‍රකාශ වුණා. ජැක්සන් ඇන්තනි මහත්මයා කිව්වා සම්මාන උළෙලකදී විනිශ්චය මණ්ඩලය මුහුණ දෙන ගැටලු දෙකක් ගැන. එකක් තමයි තරගයට ඉදිරිපත් කෙරෙන සියලුම නිර්මාණ හොඳම මට්ටමේ තිබුණොත් කාටද සම්මාන දිය යුත්තේ කියන ගැටලුව. අනෙක් ගැටලුව තමා ඒ ඉදිරිපත් කරන නිර්මාණ සියල්ලම අන්තිම දුර්වල වුණාම කාටද සම්මාන දෙන්නේ කියන එක. ‘මම මේ නිර්මාණ ඒ දෙකෙන් කොයි එකටද අයත් වන්නේ කියා කියන්නේ නැහැ’ කියා ජැක්සන් පැවසුවා. මම හිතන්නේ ඔහු යම් ඉඟියක් දුන්නා. නමුත් ඒක සාමාන්‍ය ප්‍රේක්‍ෂකයාට තේරෙන්නේ නැහැ. දිලීප අබේසේකරත් යම් ඉඟියක් දුන්නා. නමුත් ඒවා මේ සාමාන්‍ය ජනතාවට ප්‍රහේලිකා විතරයිනේ. මට ඕනෑ වුණේ ඒ ප්‍රහේලිකාවක් නොවී සාමාන්‍ය ජනතාවට මගේ හැඟීම පුකාශ කරන්න. තමන්ට අප්‍රසාදයක් තියෙනවානම් ඒ අය දැනගන්න ඕනෑ තේරෙන භාෂාවෙන් ඒ දේවල් කියන්න.
* ටී. එම්. ජයරත්න, ආචාර්ය රෝහණ වීරසිංහ වැනි ප්‍රවීණ සංගීත ශිල්පීන් වගේම අශෝක හඳගම, විමුක්ති ජයසුන්දර, රවීන්ද්‍ර රන්දෙණිය, ප්‍රසන්න විතානගේ, ප්‍රසන්න ජයකොඩි, බූඩි කීර්තිසේන වැනි ප්‍රවීණ සිනමාවේදීන් මෙම උළෙල නියෝජනය කළා. ඔවුන් අතින් තෑගි ප්‍රදානය වුණා?
ඔව්
* එතකොට ඔබ කියන්නේ මේ ප්‍රවීණයන් ‘දෙරණ’රූපවාහිනිය මගින් ගොනාට ඇන්දුවා කියල ද?
ටී. එම්. ජයරත්න, රෝහණ වීරසිංහ කියන්නේ අපට අමරදේව පරපුරේ සිටින විශිෂ්ට සංගීතකරුවන් දෙදෙනෙක්. ඉතින් ඔවුන් අතින් කවුද සම්මාන ලබන්නේ. ඒ අගැයීමට ලක් කරන්නේ මොන විදිහේ සංගීතයක් ද කියන එක මට තියෙන ප්‍රශ්නයක් ඇත්තටම. මම දන්නේ නෑ ටී. එම්. ජයරත්න හෝ රෝහණ වීරසිංහ මහත්වරුන් ඒ අවස්ථාවේ මොන විදිහේ හැඟීමකින් හිටියද කියලා. නමුත් කිසියම් පසුතැවීමකින් යුතුව ඔවුන් පසුව මට කතා කරලා කිව්වා. ඒ අයට කියා ගන්න බැරිව සිටි දේ මම කළා කියලා. හැබැයි මම එකක් කියන්න කැමතියි. ඔබ ඔය සඳහන් කළ කලාකරුවන් කිසියම් විදිහක තාවකාලික උගුලකට හසුවී සිටියාදෝ කියන හැඟීම මට තියෙනවා. ඔවුන් විශේෂිත ආරාධිතයන් නිසා කිසියම් අන්දමක සදාචාරාත්මක දෘෂ්ටියකින් මේවා ඉවසා දරා සිටියාද මම දන්නෙත් නෑ.
* ඔබේ සදාචාරාත්මක නොවීම ගැන...?
නෑ එතනදි සදාචාරත්මක නොවුණයි කියලා මම කනගාටු වෙන්නේ නැහැ. ජාතික වගකීමක් හැටියට යම් අදහසක් ප්‍රකාශ කළා කියන එක තමයි මගේ අදහස. අවසන් වශයෙන් මම ‘දෙරණ’ නාළිකාවෙන් ඉල්ලා සිටින්නේ ඉදිරියේදී මෙම සම්මාන උළෙල ඔවුන්ගේ වෙනත් යහපත් වැඩ සටහන් ගොන්නට එකතුකර ගන්න කියලයි. මගේ හෘදයාංගම ප්‍රාර්ථනයත් එයයි.
READ MORE - සංස්කෘතික අපරාධයක්...

ඇත්තටම ඒ කාලේ කරු ගැන මට තිබුණේ පිස්සුවක්!


ඇත්තටම ඒ කාලේ කරු ගැන මට තිබුණේ පිස්සුවක්!

ඉරාණි අබේසේකර
ආදරයේ සුන්දරත්වය මෙන්ම විරහ සංතාපය ද වඩාත් සංවේදීම සමීප කළේ ඔහුය. චිත්‍රපට ගී කලාවට එදා ඔහුගේ දායකත්වයක් නොලැබුණේ නම් ඒ ඉතා කලාතුරකිනි. ජනප්‍රිය සිනමාවට මෙන්ම කලාත්මක සිනමාවට ද ඔහු සිය නිසඟ හැකියාවෙන් අපූර්ව වදන් සිතුවම් බිහි කර දුන්හ. ගුවන් විදුලි සරල ගී, ළමා ගී වැඩිම සංඛ්‍යාවක් නිමැ වී ඇත්තේ ඔහුගේ සුරතිනි.
ගුවන් විදුලි ක්ෂේත්‍රයේ අද සිටින බොහෝ ප්‍රවීණයන්ගේ ගුරුවරයා වූයේ ද ඔහුයි. ඔහු ප්‍රවීණ ගුවන් විදුලි නිවේදකයකු, ජනප්‍රිය ගීත රචකයකුª ව සිටි කරුණාරත්න අබේසේකරයන්ය. හෙතෙම අප අතරින් වියෝ වී ලබන අප්‍රේල් 20 වැනිදාට 30 වසරක් සපිරේ. මේ මොහොතේ ඒ සොඳුරු කලාකරුවාගේ ප්‍රිය බිරිය ඉරාණි අබේසේකර සිය මතකය අවදි කළේ මේ අයුරිනි.
‘කරුගේ හඬ ගුවන් විදුලිියෙන් ඇහෙන කොට මගේ හිත ඒ දෙසට ඇදිල ගියා. පුළුවන් හැම වෙලාවටම ඔහුගේ හැම වැඩසටහනක්ම ඇහුවා. ඒ කාලේ සිංහල නිවැරදි උච්චාරණය ඉගෙන ගන්න අනිවාර්යයෙන් සිංහල ප්‍රවෘත්ති ඇහුවා. ඒ නිසා ඔහු නිවේදනය කළ ප්‍රවෘත්ති විකාශයන් නම් මග හැරුණේ නැහැ. කරු පුවත්පත් සඟරාවලට ලියූ හැම කවියක්ම බලන්නත් මම අමතක කළේ නැහැ. ඔහු අතින් ලියවුණු ගීත මම රස වින්දේ හරිම ආදරයෙන්. ඇත්තටම මට ඔහු ගැන තිබුණේ පිස්සුවක්.
ඔහුගේ හඬ විතරක් ඇසූ ඔබට ඔහු මුණ ගැසෙන්නේ?
ඒ 1952 වසරේදී. එතකොටත් මම පාසල් ශිෂ්‍යාවක්. මගේ යෙහෙළියෝ මේ පිස්සුව ගැන හොඳටම දැනගෙන හිටියා. අපේ කට්ටිය ලකී සෙවන්. ඉතිං මෙයාලට ඕනෑ වුණා මාවයි කරුවයි මුණ ගස්වන්න. ඒකට අපි හොඳ වැඩක් කළා. මගේ කැමැත්ත දැනගත්ත මගේ යෙහෙළියෝ හය දෙනා මාවත් එක්කර ගෙන ගියා පී. එල්. ඒ. සෝමපාල හා චිත්‍රාගේ විවාහ මංගල උත්සවයට. ඇත්තටම අපි එහි ගියේ කිසිම ආරාධනාවක් නැතුවයි. අපි හිතුවා කරුත් අනිවාර්යයෙන් එතැනට එයි කියලා. අපි හිතුවා වගේම ඔහුත් පැමිණියා. මගේ යෙහෙළියන් ඔහුට මා හඳුන්වා දුන්නා. එදා අපි හැමෝම කතාබහ කරමින් විහිළු තහළු කරමින් කාලය ගත කළා. මගේ යෙහෙළියන් ඔහුගෙයි මගෙයි අයිස් ක්‍රීම් කප් දෙකත් මාරු කළා. ඊට පස්සේ දවසෙත් මගේ යෙහෙළියක් වූ අයිරාංගනී අපට දුරකථනයෙන් කතා කරන්න අවස්ථාව හදලා දුන්නා. මේ විදියට දිගටම මට කරු සමඟ කතා කරන්න අවස්ථාව ලැබුණා.
ඒ වෙනකොට ඔබ දෙපොළ පෙම්වතුන්. ඔබ වෙනුවෙන් ඔහු ගීත එහෙමත් රචනා කරන්න ඇති?
ඔව්. අපි ගෙවල්වලට හොරෙන් තමයි කතා කළේ. අපේ සම්බන්ධය දැනගත්තම ගෙවල් දෙකෙන්ම අපට විරුද්ධ වුණා. අපේ ගෙදරින් දැනගත්ත වෙලාවේ තමයි මම ගෙදර හිරකාරියක් වුණේ. කරුට කතා කරන්න කිසිම ඉඩක් ලැබුණේ නැහැ. ටෙලිෆෝන් එක අල්ලන්න තියා මට මගේ යෙහෙළියන් ඇසුරු කරන්නත් තහනම් වුණා. එහෙම ඉන්න කොට දවසක් මට ගුවන් විදුලියෙන් ගීතයක් අහන්න ලැබුණා.
‘එන්න මදනලේ . . .
ගොස් පවසන්න දුක මගේ
යන්නට හැකි ඔබට පමණි
සිරගෙයට ඇගේ . . .
දිවා රැයේ වැලපිලා - දෑස ඈගේ රතු වෙලා
කියන්නකෝ මගෙ දුක ඇගෙ කනට ළං වෙලා . .
සංදේශයකින් යවන්න මේ දුක උන් අතේ
හංස ගිරා ලිහිණි කොවුල් කුරුල්ලන් නැතේ
සුළඟේ මා අසරණයි – මට ඇති වස්තුව ඇයයි
කීවොත් මගෙ දුක සදහට ඔබට මා ණයයි
ශෝක පණිවිඩය යවන්න ආදරිය බලා
කාලිදාස කිවිඳු මේඝ දූතයක් කළා
මට කොයින්ද එම වලා ආමි සුළඟෙ ඔබ සොයා
කියන්නකෝ මගෙ දුක ඇගෙ කනට ළං වෙලා . .
තිලකසිරි ප්‍රනාන්දු තමයි එය ගායනා කළේ. මං හිතුවා මේ ගීතයේ මොකක් හරි සුවිශේෂත්වයක් ඇති කියලා. ඒක හරියටම හරි. අවසානයේදී නිවේදකයා කිව්වා ඒ ගීය කරුණාරත්න අබේසේකර විසින් රචනා කළා කියලා. කරු එදා ඔහුගේ දුක මට කිව්වේ ඒ ගීතයෙන්. ඇත්තටම ඔහු කාරුණික උණු වෙන හදවතක් තියෙන මහත්මයෙක්. ඒ වගේමයි ඔහුගේ පවුලේ අයත් මට තමන්ගෙම පවුලේ කෙනෙකුට වගේම සෙනෙහසක් දැක්වූවා. අපේ ගෙදරින් විරුද්ධ වුණත් 1959 නොවැම්බර් 30 වැනිදා කොළඹ ගාලුමුවදොර හෝටලයේදී අපි විවාහ දිවියට එළැඹුණ.
නිවේදකයෙක්, ගීත රචකයෙක් යන චරිතවලින් බැහැරව ආදරණීය සැමියෙක්, පියෙක් ලෙස ඔබ ඔහු දකින්නේ?
අපි විවාහ වෙලා ගොඩක් කල් ගත වෙන තෙක් අපට දරු සුරතල් බලන්න බැරි වුණා. අපි දෙන්නම ඒ ගැන හරිම දුකෙන් හිටියේ. අවුරුදු 10 කට පස්සේ තමයි දිලීප පුතා අප අතරට ආවේ. ඒක හරිම සුවිශේෂ වෙන්නේ ඔහු ඉපදුණෙත් කරු ඉපදුන ජූනි 03 වැනිදාම තමයි. ඒ සතුටට තමයි ‘දිලීප පොඩි පුතු සමීපයට . . .’ කියන ගීතය ඔහුගෙන් ලියැවුණේ. ඇත්තටම කරු කියන්නේ හරිම සංවේදී නිතරම සතුටින් කාලය ගත කරන්න කැමැති කෙනෙක්.
පොඩි ළමයින්ට හරිම ආදරෙයි. එයා වැඩ ඇරිල එනකොට අහල පහළ ඉන්න පොඩි ළමයින්ට රස කැවිලි ගෙනත් දෙනවා. මට මතකයි ඒ දවස්වල කරු ඇවිත් වාහනේ නවත්වන කොට පොඩි ළමයි ඇවිත් කාර් එක වටකර ගන්නවා. වැඩ කරන තැනදි නම් අඩුපාඩු වුණොත් හරියට කේන්ති යනවලු. ගෙදරදි නම් අපි ඔහුට කේන්ති යන වැඩ කරන්නේ නැහැ. ගෙදර ඉන්න වෙලාවට පුතා දිලීප එක්කම තමයි කාලය ගත කළේ. ඔහුගේ පාසල් වැඩ සියල්ල හොයල බලන්නේ කරු විසින්මයි. කරු කෘත්‍රිම මල්වලට කැමතිම නැහැ. ගෙදර ලස්සනට තියන්න ස්වභාවික මල් නිතරම අරගෙන එනවා. ඇත්තටම ඔහු පොඩි ළමයෙක් වගේ. පැණිරස කෑම කන්න පුදුම ආසාවක් තිබුණේ. හැමදාම තේ වෙලාවට මම මොනවා හරි පැණිරස කෑමක් හදනවා.
එතකොට කරුණාරත්න අබේසේකර නමැති ගී පද රචකයා?
ඔහු ගීත රචනා කරන්න කාලයක් වෙන් කරලා තිබුණේ නැහැ. ගෙදරදි නම් බොහෝ වේලාවට හිතට එන අදහස් කිව්වම ලියන්නේ මම. මම නැති තැන්වලදී ඔහුම එය ලියනවා. සමහර දවසට පාන්දරම නැගිටල සිංදු ලියනවා. රෙකෝඩරයක් තියාගෙන සිංදු අහල ඒවට ගැළපෙන විදියට සිංහල පද ගළපලා මට කියනවා ලියන්න. චිත්‍රපට ගීත නම් බොහොමයක් ලිය වුණේ ගෙදරදි. එච්. ආර්. ජෝතිපාල, මිල්ටන් පෙරේරා, මොහිදින් බෙග්, මිල්ටන් මල්ලවාරච්චි ගීත ලියවා ගන්න නිතරම කරු හමු වෙන්න ආවා.
කරුණාරත්න අබේසේකර අතින් රචනා වූ බොහෝ ගීත අපට රිගින් ටෝන් හරහා අසන්නට ලැබෙනවා. දැන් කොපමණ ගීත සංඛ්‍යාවක් ඔහුගේ අතින් ලියැවෙන්න ඇති ද?
සංඛ්‍යාත්මකව නම් කියන්න අමාරුයි. පසුගිය කාලයේදී නම් විවිධ පුද්ගලයන් රිගින් ටෝන්වලට කියලා අපෙන් අවසර අරගෙන ගිහින් තියෙනවා. නමුත් එහි ගිවිසුම්වල සඳහන් වුණත් අදටත් අපට ගෙවීම් නම් කරලා නැහැ. අපිට සල්ලි වුවමනා නැහැ. නමුත් වංචා කරන්න හොඳ නැහැ. සමහරු ගීතවල අයිතිය පවා ඉල්ලාගෙන එන අවස්ථාත් තියෙනවා. කොපමණ සල්ලි දුන්නත් කරුගෙ ගීතවල අයිතිය නම් කවදාවත් විකුණන්නේ නැහැ.
අද වන විට ඔබ කාලය ගත කරන්නේ?
පින්දහම් කරමින් කාලය ගත කරනවා. කරු අපෙන් වෙන් වෙලා අවුරුදු තිහක් ගත වුණා කියලා හිතා ගන්නවත් බැහැ. ඔහු අකමැති දේ කිසිවක් අදටත් මම කරන්නේ නැහැ. අපේ පුතා දිලීප මේ වනවිට දැන්වීම් ප්‍රචාරණ ක්ෂේත්‍රයේ හරිම කාර්යබහුලයි. ඔහුත් තාත්තා වගේමයි. ගොඩක්ම නොවුණත් වෙලාව ලැබෙන ආකාරයට ගීත ලියනවා. ඒ වගේම කරුණාරත්න අබේසේකර පදනම හරහා අපි නොයෙකුත් පුණ්‍ය ක්‍රියා සිදු කරනවා. මේ සියලු දේ සමඟින් විවේකීව කාලය ගත කරනවා.
කරුණාරත්න අබේසේකර සූරින් අප අතරින් වියෝ වී 20 වැනිදාට තිස් වසරක් සපිරෙනවා. මේ නිමිත්තෙන් විශේෂ වූ පුණ්‍ය වැඩසටහන් එහෙම සංවිධානය කරලා ඇති?
කරු සිහිපත් කරලා අපි පින්කම මීට දින කිහිපයකට කලින් පැවැත්වූවා. ඔහු අපෙන් සමුගත් 20 වැනිදාට ඔහුට දෙවැනි සෙවණක් බඳු වූ ගුවන් විදුලියෙන් ධර්ම දේශනාවක් විකාශය කරන්නට සූදානම් කර තිබෙනවා. ඒ සියලුම පින් ඔහුට අත්වේවා කියා ප්‍රාර්ථනා කරනවා
READ MORE - ඇත්තටම ඒ කාලේ කරු ගැන මට තිබුණේ පිස්සුවක්!

සුබ මොහොතින් නිබ්බිදාව වැඩ ඇරැඹේ


සුබ මොහොතින් නිබ්බිදාව වැඩ ඇරැඹේ

රංජන් ප්‍රසන්න විසින් අධ්‍යක්ෂණය කරනු ලබන නවතම ටෙලි සිතුවම නිබ්බිදාව හි මුහුරත් උළෙල අද ඇඹුල්දෙණිය මැක්වින් හෝටලයේදී පැවැත්වුණා.
වෙනස්ම කතා තේමාවක් ගත් නිබ්බිදාව ජගත් විජේවීරගේ තිර රචනයක්. නිමල් අබේවර්ධන නිෂ්පාදනයෙන් දායක වන මෙම ටෙලි නිර්මාණය සඳහා ශ්‍රීමාල් වෙඩිසිංහ, දුලීකා මාරපන, බුද්ධික ජයරත්න, වසන්ත ජයසිංහආරච්චි, නිශාන්ත ජයවික්‍රමආරච්චි, තුෂාරි වේහැල්ල, අංජුලා රාජපක්ෂ, රංජිත් රූබසිංහ, සරත් කරුණාතිලක, චංචලා වර්ණකුලසූරිය, රෙක්ස් හැමිල්ටන්, තාරුකා ජයතිලක රංගනයෙන් දායක වීමට නියමිතයි.
මේ ඒ සුබ මොහොත අපේ ඡයාරූප ශිල්පී ටෙනිසන් එදිරිසිංහගේ උප නෙතෙහි ඇදුණු අපූරුවයි.
READ MORE - සුබ මොහොතින් නිබ්බිදාව වැඩ ඇරැඹේ

සෝමරත්න තරුණ රසඥතාව දන්නෙ නෑ


ළමයින්ට චිත්‍රපට හදන සෝමරත්න තරුණ රසඥතාව දන්නෙ නෑ

සෝමරත්න දිසානායක මහතා සිනමාකරුවෙකු වශයෙන් අප විසින් ද අගය කරනු ලබන මෙරට ප්‍රවීණ කලාකරුවෙකි. ඔහුගේ සිනමා නිර්මාණ හෝ කලා භාවිතය පිළිබඳ අපට ගැටලුවක් නැත. ගැටලුව ඇත්තේ ඔහුගේ මතවාදය සම්බන්ධයෙන් පමණි.
ඔහු විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති අභූත චෝදනා පිළිබඳ අපගේ දැඩි කනගාටුව පළ කරමු.
සෝමරත්න මහතාගේ ලිපියේ ඇතුළත් බරපතළම ප්‍රකාශය වන්නේ, “දෙරණ මියුසික් වීඩියෝ සම්මාන උලෙළ සංස්කෘතික ඝාතනයක් ය” යන්නයි. ඔහු එය එසේ නිර්වචනය කරන්නේ කුමන අරමුණකින්දැයි නොතේරේ. එහෙත් ඒ සඳහා ඔහු යොදා ගන්නා පටු නිර්ණායක දෙස බැලූ විට, ඒවා හුදෙක් අනවබෝධය මත ඇති කර ගත් වැරැදි ආකල්ප බව පැහැදිලිව පෙනේ.
සෝමරත්න මහතාගේ ලිපියේ පුන පුනා දක්වන කරුණක් වන්නේ, “දෙරණ මියුසික් වීඩියෝ සම්මාන උලෙළ” මඟින් දේශීය සංස්කෘතියට විශාල හානියක් සිදු වන බවයි. මෙමඟින් මෙරට සම්භාව්‍ය සංගීතය හෝ ශාස්ත්‍රීය සංගීතය පිළිබඳ කිසිදු ඇගැයීමක් සිදු නොකරන බව ද ඔහු විශේෂයෙන් පවසයි. සෝමරත්න දිසානායක මහතාට දැඩි ලෙස වැරැදී ඇත්තේ එතැන ය.
මෙම සම්මාන උලෙළේ නාමය දෙස විමසිල්ලෙන් බලන ඕනෑම අයෙකුට එකී කාරණා හොඳින් වටහා ගත හැකිය. මෙය “දෙරණ මියුසික් වීඩියෝ අවොර්ඩ්ස්” මිස, දෙරණ මියුසික් අවෝර්ඩ්ස් නොවේ. “මියුසික් වීඩියෝ” යනු, ගීත සඳහා සිදු කරනු ලබන රූප රචනාමය දෘශ්‍ය නිර්මාණ ය. “දෙරණ” යනු ටෙලිවිෂන් නාළිකාවකි. දෘශ්‍ය නිර්මාණ යනු අපගේ විෂය පථයේම කොටසකි.
එබැවින් අපගේ අරමුණ වන්නේ, මෙරට ගීත සඳහා බිහිවන දෘශ්‍ය නිර්මාණ සහ ඒවායේ නිර්මාණකරුවන් දිරි ගැන්වීමය. ඒ හුදෙක් ක්ෂේත්‍රයේ පැවැත්ම උදෙසා ය. ගුවන් විදුලියට “ශ්‍රව්‍ය නිර්මාණ” අදාළ වන්නේ යම් සේද, රූපවාහිනියට “දෘශ්‍ය නිර්මාණ” (ශ්‍රව්‍ය දෘශ්‍ය) එපරිද්දෙන්ම වැදගත් වේ.
ටෙලිවිෂන් නාළිකාවක ගුවන් කාලයෙන් සැලකිය යුතු ඉඩක් “මියුසික් වීඩියෝ” මඟින් ආවරණය වේ. ටෙලිවිෂන් නාළිකාවක පැවැත්ම උදෙසා මියුසික් වීඩියෝ මඟින් සුවිසල් මෙහෙවරක් ඉටු කරනු ලබයි. එකී මෙහෙවර අගයා කෘතගුණ දැක්වීමක් ලෙස මියුසික් වීඩියෝ ක්ෂේත්‍රය වෙනුවෙන් සම්මාන උලෙළක් පවත්වන එකම නාළිකාව ද ටී. වී. දෙරණ යි. එසේ තිබියදී, කරුණු නිසි ලෙස නොදැන මෙසේ නිර්දය විවේචන නැඟීම කොතරම් අසාධාරණ ද?
මෙම සම්මාන උලෙළ තුළ “සංගීතය” පිළිබඳ කිසිදු ඇගැයීමක් කරන්නට අපට අයිතියක් නොමැත. “සංගීත සම්මාන” යනු වෙනමම විෂයයකි. හොඳම ගීතය, හොඳම පද රචකයා, හොඳම ගායකයා සහ ගායිකාව, හොඳම සංගීතඥයා යනා දී සංගීතයට සම්බන්ධ කිසිඳු සම්මානයක් මෙහිදී පිරි නොනැමේ. මෙය හුදෙක් “මියුසික් වීඩියෝ” සඳහාම වෙන් වූවකි.
සෝමරත්න මහතා සඳහන් කරන ආකාරයට, මෙරට දේශීය සම්භාව්‍ය සංගීතය, ශාස්ත්‍රීය සංගීතය හෝ සරල සංගීතය ඇගැයීම අපගේ විෂය ක්ෂේත්‍රයට අයත් නොවන අතර, අපට හැකියාව ඇත්තේ විවිධ සංගීත ශෛලී ආශ්‍රයෙන් බිහි වී ඇති “සංගීත වීඩියෝ නිර්මාණ” ඇගැයීමටය.
ඔහු පවසන පරිදි, දේශීය සම්භාව්‍ය සංගීතය හෝ සරල සංගීතය සම්බන්ධයෙන් අපේ අවධානය යොමු කළ හැක්කේ, ඒ ආශ්‍රයෙන් බිහි වූ සංගීත වීඩියෝ ඇත්නම් පමණි. නමුත් කනගාටුදායක කරුණ නම් ඔහු සඳහන් කරන ආකාරයේ සම්භාව්‍ය සංගීතය නියෝජනය කරන කිසිඳු සංගීත වීඩියෝවක් තරගය තුළදී අපට මුණ නොගැසීමයි. එසේ තිබුණා නම් නිසැකවම එයට ඉහළ ඇගැයීමක් හිමි වන්නට ඉඩ තිබිණ.
අනෙක් වැදගත් කරුණ නම්, මෙය අයදුම්පත් කැඳවා ඒ අනුව ලැබෙන නිර්මාණ අගයනු ලැබීමක් මිස, අප සොයා ගොස් කිසිවකුට සම්මාන පිරිනැමීමක් නොවේ. මෙරට ශ්‍රව්‍ය දෘශ්‍ය නිර්මාණ ක්ෂේත්‍රයේ නිරත ප්‍රවීණයන් පස් දෙනෙකු ගෙන් සමන්විත විශේෂ ජූරියක් මඟින් ලබා දෙනු ලබන විනිශ්චය අනුව සම්මාන ප්‍රදානය සිදු කෙරෙන අතර ඊට අපගෙන් කිසිදු ආකාරයක බලපෑමක් ඇති නොවේ.
අප විසින් දක්වනු ලබන වසරක කාල සීමාව තුළ නිර්මාණය වූ සංගීත වීඩියෝ පමණක් තරගය සඳහා භාර ගැනෙන අතර, ඊට කිසිදු භේදයකින් තොරව අදාළ සුදුසුකම් සපුරා ඇති ඕනෑම නිර්මාණකරුවෙකුට ඉදිරිපත් වීමේ හැකියාව ද පවතී. එසේ තිබියදී “සම්භාව්‍ය ගණයේ සංගීත වීඩියෝ නිර්මාණ බිහි නොවන්නේ හෝ එවැනි නිර්මාණ තරගය සඳහා ඉදිරිපත් නොවන්නේ අපගේ වරදින් ද? යන වග අපි සෝමරත්න මහතාගෙන් අසමු.
සෝමරත්න මහතාගේ අදහසට අනුව ඔහුට ඇත්තේ මෙරට භාවිත නූතන සංගීතය පිළිබඳ ගැටලුවකි. ඔහුට ඇත්තේ ජාත්‍යන්තරයේ ඉතා ප්‍රචලිත රෙගේ, රොක්, පොප් වැනි ජනප්‍රිය සංගීත ශෛලීන් මෙරට ව්‍යාප්ත වීම පිළිබඳ හිතේ අමාරුවකි. එහි තේරුම් බේරුම් කර ගත යුතු කරුණු දෙකක් ඇත.
එකක් නම් ආර්ථිකයේ සියලු දොරගුළු ලෝක වෙළෙඳපොළ සඳහා විවෘත කර ඇති රටක, සමාජයීය වශයෙන් මහා පරිමාණ වෙනස්කම් සිදුවෙමින් පැවැතියදී, සංගීතය පමණක් එකී ගෝලීය ප්‍රවාහයන් ගෙන් මුදවා ගත හැකි ද යන්නයි. සෝමරත්න දිසානායක මහතා මුළා වී ඇත්තේ එතැනය. ඔහු පදනම් විරහිත අස්ථාන චෝදනා නඟමින් “දෙරණ” හෙළා දකින්නට වැර දරන්නේ ඒ නිසාය.
පසුගියදා පැවැති “ස්ලිම් ජනතා සම්මාන උලෙළ” ගැන ද ඔහු යමක් සඳහන් කරයි. මෙම සම්මාන උලෙළේ දී ජනතා ගායකයා ලෙස පණ්ඩිත් අමරදේවයන් සම්මානයට පාත්‍ර වූ බවත්, ජනතා ගායිකාව ලෙස විශාරද නන්දා මාලනිය සම්මානයෙන් පිදුම් ලැබූ බවත් සඳහන් කරන සෝමරත්න මහතා, සිතාමතාම එක් කරුණක් අමතක කරයි.
එනම්, මෙවර ජනතා ගීතය ලෙස සම්මාන ලැබුවේ, මේ දිනවල ඉතා ජනප්‍රිය (දෙරණ මියුසික් වීඩියෝ සම්මාන උලෙළේ ජනප්‍රියම මියුසික් වීඩියෝවට හිමි රිදී සම්මානය හිමි කරගත්) රොෂාන් ප්‍රනාන්දුගේ “ඔයා නිසා හඬලා” යන ගීතය යන්නයි. එසේ කරන්නට ඇත්තේ, එම ගීතය ද ඔහුගේ ගර්හාවට ලක්වන ජනප්‍රිය රැල්ලේ ගීතයක් වන නිසා විය යුතුය.
ළමයින් වෙනුවෙන් චිත්‍රපට තනන සෝමරත්න දිසානායක මහතාට නූතන තරුණ රසඥතාව පිළිබඳ නිසි වැටහීමක් නොමැති වීම ගැන අපි කනගාටු වෙමු. ඉහතින් සඳහන් කළ ආකාරයට, මෙරට නූතන තාරුණ්‍යයේ රස වින්දන පරාසය සාම්ප්‍රදායික සීමාවන් ගෙන් ඔබ්බට විහිදී ඇත.
වර්තමානයේ කලා ක්ෂේත්‍රයේ සහ මාධ්‍ය ක්ෂේත්‍රයේ පෙරට වඩා ජාත්‍යන්තර සම්බන්ධතා හා ජාත්‍යන්තර වෙළෙඳපොළ අනුව මෙහෙයවන තත්ත්වයකට පත්ව ඇත. එසේ නොවුවහොත් ඒවායේ පැවැත්ම පිළිබඳ විවිධාකාර අර්බුද මතු වනු ඇත. සෝමරත්න මහතා චෝදනා නඟන රෙගේ, රොක්, රැප්, පොප් යනාදී බටහිර සංගීත ශෛලී යොදා ගනිමින් ජාත්‍යන්තරය ජය ගත් මෙරට නූතන පරපුරේ අති දක්ෂ තරුණ සංගීතඥයන් ද හමුවේ.
“භාතිය සන්තුෂ් සහ ඉරාජ්” යනු එවැනි තිදෙනෙකි. නිදසුනක් ලෙස, පසුගිය කාලයේ බංග්ලාදේශය තුළ රිංගින් ටෝන් මඟින් වැඩිම ආදායමක් උපයන ලද “මුන් ජානි” නමැති ගීතය පෙන්වා දිය හැකිය. රට ජනප්‍රියතම ගායිකාවක් වන “කෝනා” ගායනා කරන එම ගීතය, ඉරාජ් විසින් නිර්මාණය කරන ලද්දකි. එමෙන්ම, ඉන්දියාවේ මේ දිනවල අතිශයින් ජනපි‍්‍රය “කඩල්” චිත්‍රපටයේ තේමා ගීතය, මෙරට නූතන පරපුරේ දක්ෂ ගායකයෙකු වන “දිනේශ් කනගරත්නම්” ගායනා කරන්නකි. එහි අධ්‍යක්ෂවරයා පෙරළිකාර සිනමාවේදී මනිරත්නම්ය.
සංගීතය ඔස්කාර් සම්මානලාභී ඒ. ආර්. රහමන්ගේ ය. ඉන්දියාවේ මෑතකදී ජනපි‍්‍රය වූ “වේට්ටෙයිකාරන්” චිත්‍රපටයේ ඉතාමත් ජනප්‍රිය වූ “චින්නතාමරෙයි” ගීතය ඉරාජ්ගේ නිර්මාණයකි. එය 2011 වර්ෂයේ දී එරට විජේ ටී වී සම්මාන උලෙළේ ජනප්‍රියම ගීතය බවට පත්විය. ශ්‍රී ලංකාවේ නූතන සංගීත ක්ෂේත්‍රයේ දිසාව කොයිබට ද යන්න පෙන්වා දෙන සරල නිදසුන් කිහිපයකි ඒ. අවශ්‍ය නම් මෙවැනි අවස්ථා රැසක් පෙන්වා දිය හැකිය.
සෝමරත්න මහතා පෙන්වා දෙන තවත් බොළඳ කරුණක් නම්, මියුසික් වීඩියෝ සම්මාන උලෙළ සඳහා සහභාගි වූ ඇතැම් “ලලනාවන් කොට ගවුම් ඇඳීම” නිසා. ඔවුන් ගෙන් වෙනදා දුටු නාරි ලාලිත්‍යය මෙදින දක්නට නොලැබුණු බවයි. සිනමාකරුවෙකු ලෙස ඔහු එවැන්නක් පැවසීම විහිළුවට කරුණකි. 60 දශකයේ සිට මෙරට සිනමාව තුළ පවා ජනපි‍්‍රය කොට ගවුම (මිනී ගවුම) සෝමරත්න මහතා ඇත්තෙන්ම මීට පෙර දැක නැති ද යන්න මහත් ප්‍රහේලිකාවකි. අනෙක් අතට මෙරට කාන්තාවන්ට තමා කැමැති ඇඳුමක් ඇඳීමේ නිදහස ඇත. ඊට තහංචි පැනවීමට අපට නොහැකිය.
“ටී. වී. දෙරණ” තේමා පාඨය වන්නේ අපේ දේ රැකගෙන අලුත් දේ අරගෙන යන්න ය. අප සැම විටම මෙරට සංස්කෘතික වටිනාකම් රැක ගැනීමට කටයුතු කරනු මිස, එය වැනසීමට කටයුතු නොකරන බව ද මෙහි දී අවධාරණයෙන් සඳහන් කිරීමට කැමැත්තෙමු.
“දෙරණ මියුසික් වීඩියෝ සම්මාන උලෙළ” සංවිධාන කරනු ලැබුවේ, දේශීය සංගීත වීඩියෝ ක්ෂේත්‍රයේ නිර්මාණකරණයේ යෙදී සිටින තරුණ නිර්මාණකරුවන්ට අත දීමක් වශයෙනි. ඒ හැර දේශීය සංගීත ක්ෂේත්‍රයේ ගමන් මඟ වෙනස් කිරීමට අපට හැකියාවක් නොමැත.
READ MORE - සෝමරත්න තරුණ රසඥතාව දන්නෙ නෑ

‘රඟපෑම් ඉවරයි’ 03 දා ලයනල් වෙන්ඩ්ට්හිදී


‘රඟපෑම් ඉවරයි’ 03 දා ලයනල් වෙන්ඩ්ට්හිදී

‘රඟපෑම් ඉවරයි’ නාට්‍යයේ විශේෂ දැක්මක් මැයි මස 03 වන සිකුරාදා සවස 7.00 ට කොළඹ ලයනල් වෙන්ඩ් රඟහලේදී වේදිකාගත වෙයි.
වසර 15 කට පසු කමල් අද්දරආරච්චි සහ ශ්‍රියන්ත මෙන්ඩිස් යළිත් එකම වේදිකාවකින් ප්‍රේක්ෂක ජනතාව හමුවට ඒම ‘රඟපෑම් ඉවරයි’ නාට්‍යයේ විශේෂත්වයකි. අධ්‍යක්ෂණය උදයසිරි වික්‍රමරත්න ගෙනි.

READ MORE - ‘රඟපෑම් ඉවරයි’ 03 දා ලයනල් වෙන්ඩ්ට්හිදී

නිශාන්‍යා ගුණරත්න ගේ මංගල චිත්‍ර දැක්ම - ‘පියවර’


චිත්‍ර දැක්මක්

යොවුන් චිත්‍ර ශිල්පිනි නිශාන්‍යා ගුණරත්න ගේ මංගල චිත්‍ර දැක්ම ‘පියවර’ නමින් අද (28) හෙට (29) දිනවල කොළඹ ජාතික කලා භවනේ දී පැවැත්වේ.
ලංකා කලා සංගමයේ චිත්‍ර කලා පාසලේ සිසුවියක් වන නිශාන්‍යාගේ චිත්‍ර ප්‍රදර්ශනයේ සංවිධානය හා අනුග්‍රහය ලංකා කලා සංගමය විසින් දරනු ලබයි.
 
READ MORE - නිශාන්‍යා ගුණරත්න ගේ මංගල චිත්‍ර දැක්ම - ‘පියවර’

නිසි වෙලාවට ඒක සිද්ධවේවි


නිසි වෙලාවට ඒක සිද්ධවේවි

තෙසාරා ජයවර්ධන
“තරුවක් සමඟ වරුවක්” විශේෂාංගයට අද එක්වන්නේ තෙසාරා ජයවර්ධන. ඇය ටෙලිනාට්‍යය චිත්‍රපට රංගන ශිල්පිනියකි. එසේ ම ඇය කළමනාකරණය පිළිබඳ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියකි. මේ වනවිට චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රැසකටම රංගනයෙන් දායක වී ඇති තෙසාරා දක්ෂතම ටෙලිනාට්‍ය නිළියට හිමි සම්මානය ද වරක් හිමිකර ගැනීමට සමත් වී ඇත.
මොන වගේ වැඩ කටයුතුත් එක්ක ද ඔබ මේ දවස්වල ඉන්නේ?
මේ දිනවල ‘සකි සඳ සුවාරිස්’ ටෙලිනාට්‍යය රූපගත කිරීම්වලට සහභාගි වෙනවා. මේ ටෙලිනාට්‍ය මේ දිනවල හිරු රූපවාහිනී නාළිකාවෙන් විකාශය වෙනවා. මම එහි නිරූපණය කරන්නේ සිමෝනා චරිතය.
මීට කලකට පෙර ඔබේ රංගනය සම්මානයට පාත්‍ර වුණා නේද?
ඔව් ඒ 2008 අවුරුද්දේදි. ඔව් ඒ; අශෝක හඳගම නිර්මාණය කළ “නැඟෙනහිර වෙරළෙන් ඇසෙන” ටෙලිනාට්‍යයේ රංගනය වෙනුවෙන්. මෙහිදී මට සම්මාන 2 ක් හිමි වුණා. ඒ, ඕ සී අයි සී සම්මාන උලෙළේ හොඳම නිළියට හිමි සම්මානයත්, රාජ්‍ය ටෙලිනාට්‍ය උලෙළේ හොඳම සහාය නිළියට හිමි සම්මානයත්.
ඔබ මෙතෙක් දායක වී ඇති නිර්මාණ...?
මම මුලින් ම රංගනයෙන් දායක වුණේ ‘සිහින දෙව්දුව’ චිත්‍රපටයට. ඉන්පසුව ලෙස්ටර් ජේම්ස් පීරිස් ශූරීන්ගේ “අම්මාවරුනේ” චිත්‍රපටයටත් සුමිත්‍රා පීරිස් මහත්මියගේ ‘යහළුවෝ’ සහ ‘වෛශ්නාවි’ චිත්‍රපට වලටත් එම රංගනයෙන් දායක වුණා. වෛශ්නාවි ළඟදීම තිරගත වේවි.
ඊට අමතරව ප්‍රියංකර විතානච්චිගේ ‘සැමීගේ කතාව’ චිත්‍රපටයේත් මගේ රංගනයක් ඇතුළත්. ඒ මම රංගනයෙන් දායක වී ඇති චිත්‍රපට. ඒ වගේ ම ‘සඳලි සහ තාරකා’, ‘රංගන විජිතය’, ‘සමනළියක් ඉකි බින්දා’, ‘හිම කඳුළු’ ටෙලිනාට්‍යවලටත් තවත් ටෙලිනාට්‍ය කීපයකටත් මම රංගනයෙන් දායක වෙලා තියෙනවා.
ඔබ හිතන විදියට ප්‍රේක්ෂකයින් ඔබට වඩාත් සමීප වුණේ කුමන චරිතයෙන් ද?
‘සඳලි සහ තාරකා’ ටෙලිනාට්‍යයේ රාධිකා ගේ චරිතයෙන් තමයි ප්‍රේක්ෂකයින් මාව හොඳින් හඳුනා ගත්තේ.
ඔබ කලාවට සම්බන්ධ වුණේ ඔබට කලාවට සම්බන්ධ පවුල් පසුබිමක් තිබෙන නිසා ද?
මම කලාවට සම්බන්ධ වුණේ කලාවට තිබුණු ආශාව නිසයි. නමුත් කලාවට සම්බන්ධ වෙන්න දෙමව්පියන්ගේ සහ කලාවට සම්බන්ධ මගේ පවුලට සමීප උදවියගෙන් මට විශාල සහයෝගයක් රුකුලක් ලැබුණා.
මගේ තාත්තා ආචාර්ය අමර ජයවර්ධන, මව ආචාර්ය ජයන්ති ජයවර්ධන. මගේ තාත්තා චිත්‍රපට කීපයක් ම නිෂ්පාදනය කළා. ඒ චිත්‍රපටවල රඟපෑමේ අවස්ථාව මට හිමිවුණා.
රංගනයට අමතරව ඔබ ලේඛනයෙත් යෙදෙනවද?
ඔව් මම ලියන්න කියවන්න හරි කැමැතියි. මගේ අම්ම ලේඛිකාවක්. ඇය සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් ග්‍රන්ථ කීපයක් ම රචනා කරල තියෙනවා. මම ලේඛනයට යොමු වුණේ අම්ම නිසා. මගේ පළමු නවකතාව ‘සඳ නොදුටු තාරකා’ එය සරසවි ප්‍රකාශනයක්. ඒක පුනරුත්පත්තිය ගැන කියවන කුතුහලයෙන් පිරුණු කතාවක්. මගේ දෙවැනි කෘතිය ‘හිරු නොදුටු දේදුනු’ එයත් කුතුහලය දනවන කතාවක්.
ලේඛනයේදී ඇයි ඔබ පුනරුත්පත්තිය වැනි තේමාවක් තෝරාගත්තේ?
පුද්ගලිකව මම කැමැතියි, කුතුහලය දනවන අභිරහස් නිර්මාණවලට. රඟපෑමේදී වුණත් මම කැමැති එවැනි නිර්මාණවලට දායක වෙන්නයි.
රංගනයට ලේඛනයට අමතරව ඔබ නිරත වී සිටින වෙනස් ක්ෂේත්‍ර මොනවාද?
මම නිවේදන කටයුතු වලටත් ගොඩක් කැමැතියි. මම පළමුවෙන් ම කළේ ජාතික රූපවාහිනියේ ‘ලංකා ව්‍යාපාරික පුවත්’ වැඩසටහන. ඉන්පසුව මම ස්වර්ණවාහිනි ආයතනයේ ස්ටොක් මාකට් වැඩසටහන ඉදිරිපත් කළා. මේ දිනවල සියත නාළිකාවේ යාන වාහන වැඩසටහන ඉදිරිපත් කරනවා. ඒ වගේ ම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අලෙවිකරණය විෂය පිළිබඳව කතිකාචාර්යවරියක් ලෙසින් සේවය කරනවා.
පසුගියදා ඔබට අධ්‍යාපනික ක්ෂේත්‍රයෙන් ජාත්‍යන්තර ජයග්‍රහණයකුත් හිමි වුණා නේද?
ඔව්, මහා බ්‍රිතාන්‍යයේ සී අයි එම් ආයතනය මගින් පැවැත්වූ වරලත් අලෙවිකරණය පිළිබඳ පශ්චාත් ඩිප්ලෝමා පාඨමාලාවේ ලොව විශිෂ්ටතම ශිෂ්‍යාවට හිමි සම්මානය මට හිමි වුණා.
කවුද ඔබේ පවුලේ ඉන්නේ?
මගේ පවුලේ අය ඉන්නේ නවසීලන්තයේ. අම්මයි තාත්තයි මල්ලි තමයි මට ඉන්නේ. පොඩි කාලේ ඉඳලම මම හැදුණේ වැඩුණේ නවසීලන්තයේ.
ඔබ දැන් විවාහ වන වයසේ පසුවන යුවතියක් නේද?
ඔව්. නිසි කාලයට නිසි වෙලාවට ඒ දේවල් සිදුවේවි.
මොනවගේ බලාපොරොත්තු ද අරමුණු ද ඔබට තියෙන්නේ?
හොඳ නිර්මාණවලට දායක වෙමින් දිගටම කලාව තුළ ඉන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේ ම මම ඉගෙන ගන්න දේවල් මේ රටේ දරුවන්ට කියා දීමෙන් මේ රටට සේවයක් කරන්නත් මගේ විශාල ආශාවක් තියෙනවා.
READ MORE - නිසි වෙලාවට ඒක සිද්ධවේවි

පතිරාජ: අපේ සිනමාවේ සොලනාස්

Monday, April 1, 2013

පතිරාජ: අපේ සිනමාවේ සොලනාස්

ධර්මසේන පතිරාජ සිනමාවට සම්බන්ධ වන්නේ චිත්‍රපට විචාරකයකු ලෙසිනි. ‘සිංහල සිනමාවේ නව යුගයක් බිහිවී ඇද්ද’ යනුවෙන් ඔහු ලියු ලිපිය ඔහුගේ මුල්ම සිනමා ලිපිය නොවන්නේ නම් මුල්ම සිනමා ලිපිවලින් එකක් විය යුතු යැයි මම සිතමි.
එය ‘රන්මුතු දූව, සිකුරු තරුව සහ ගම්පෙරළිය’ යන චිත්‍රපට තුන අළලා කෙරුණු සමෝධානික විචාරයකි. පතිරාජ ඉහත ලිපිය ලියන අවදියේ පේරාදෙණි විශ්ව විද්‍යාලයයේ සිසුවකුව සිටියේය. එම ලිපිය පළවූ ‘පියවර’ සඟරාව එකී විශ්ව විද්‍යාලයයේ ප්‍රකාශනයකි.
ඊට පසු පතිරාජ ‘තේමාව, දෘශ්‍ය රූප හා මිනිසා සහ කපුටා’ (සමකාලීන සිනමාව 1970) ‘තුංමංහංදිය’ (සරසවිය 1970 නොවැම්බර් 12) ‘මෙහෙයවීම’ (‘කෙටි චිත්‍රපට’ සඟරාව) යනාදි වශයෙන් සිනමාව අළලා ලිපි කීපයක්ම ලියා ඇත. ඉන් ලිපි දෙකක් ‘මිනිසා සහ කපුටා’ කෙටි චිත්‍රපටයත් ‘තුංමංහංදිය’ චිත්‍රපටයත් පිළිබඳ විචාර වන අතර අනිත් ලිපිය කෙටි චිත්‍රපට කලාව ගැන ලියැවුණකි.
පතිරාජ සිනමාකරණයට ප්‍රවිෂ්ට වන්නේ ‘සතුරෝ’ (1970) නම් වූ කෙටි චිත්‍රපටය නිර්මාණය කිරීමෙනි. ඒ වන විට ලෝක සිනමාවේ නොයෙක් ප්‍රවණතා සිදුව තිබිණි. 1958 - 59 කාලයේ ඇරැඹුණු ප්‍රංශ නවරැල්ල (NEW WAVE) ඒ වන විට නිම වී තිබුණු අතර බ්‍රෙසීලයේ ‘සිනමා නෝවෝ’ (CINEMA NOVO) නම් වූ සිනමා ව්‍යාපාරය ආරම්භව එහි වර්ධිත අවස්ථාවක පැවතුණේය.
ඉන්දියාවේ සමාන්තර සිනමාවක් (PARALLEL CINEMA)  බිහිවෙමින් තිබිණි. මේ සිනමා ව්‍යාපාරවලට අයත් ඇතැම් චිත්‍රපට පතිරාජට දක්නට ලැබුණු අතර අවම වශයෙන් එකී චිත්‍රපට ගැන පළවූ විචාරාත්මක ලිපි ඔහුට කියවන්ට ලැබුණේය.
ප්‍රංශ නවරැල්ල පතිරාජගේ සිනමා භාවිතය කෙරෙහි නොමඳ බලපෑමක් ඇතිකළ සිනමා ප්‍රවේගයකි. ‘ශ්‍රී ලංකන් සිනමා’ යන නමින් ජෙෆ් බර්ටන් ඕස්ට්‍රේලියාවේ පළවන ‘සිනමා පේපර්ස්’ නම්වූ සඟරාවට ලියු ලිපියේදී පතිරාජ තමන්ට දකින්නට ලැබුණු ප්‍රංශ නවරැල්ලට අයත් ඇලන් රෙනේ ගේ ‘ලාස්ට් ඉයර් ඉන් මාරියන්බාද්’ නමැති චිත්‍රපටය තම සිතේ සන්ත්‍රාසයක් ඇතිකළ බව කියා ඇත. (ඉහත ලිපිය 1978 පළවූ ‘සිනමානුරූප’ නම් වූ සඟරාවේ පරිවර්තනය කොට පළකර ඇත)
ශොන් ලූක් ගොඩාඩ්ගේ ‘බ්‍රෙත්ලස්’ වැනි චිත්‍රපටයකත් පතිරාජගේ ‘අහස් ගව්ව‘ වැනි චිත්‍රපටයකත් කිසියම් සමානකමක් දැක්ක හැකිය. ‘බ්‍රෙත්ලස්’ චිත්‍රපටයට වස්තු විෂයය වූයේ ප්‍රංශ සමාජයේ නන්නත්තාර තාරුණ්‍යයයි. මෙහි ශොන් පෝල් බෙල්මොන්ඩෝ රඟපාන මිෂෙල්ගේ චරිතයත් ‘අහස් ගව්වේ’ අමරසිරි කලංසූරිය රඟපාන විජේගේ චරිතයත් අපට සංසන්දනය කළ හැකිය.
කලංසූරියගේ රංගනයත් ඔහුගේ බාහිර හැඩරුවත් බොහෝ දුරට බෙල්මොන්ඩෝ ගේ රංගනයට හා බාහිර හැඩරුවට සමරූපී වූයේය. එහෙත් වරක් කලංසූරිය මා සමඟ ඉතාම අවංකව කියා සිටියේ තමා බෙල්මොන්ඩෝගේ රඟපෑම් කිසිවක් දැක නැති බවයි.
ආසියා, අප්‍රිකා හා ලතින් අමෙරිකානු වැනි තුන්වැනි ලෝකයේ රටවල විශේෂයෙන් ලතින් ඇමෙරිකානු රටවල දේශපාලන සිනමා ව්‍යාපාරය ආරම්භ වූයේ හැටේ දශකයේදීය. එහි පුරෝගාමි අවස්ථාවක් බ්‍රෙසීලයේ ‘සිනමා නෝවෝ’ නම් වූ ව්‍යාපාරය සනිටුහන් කරයි. නෙල්සන් පෙරෙයිරා ඩොස් සන්ටොස්ගේ ’VIDAS SECAS’ (1962) රුයි ගුඒරාගේ ‘OS FUZIS’  (1963) ග්ලෝබර් රෝෂාගේ ‘BLACK GOD, WHITE DEVIL’ (1964) යන චිත්‍රපට මෙම සිනමා ව්‍යාපාරයේ පැහැදිලි නියෝජනයන්ය.
ඉහත සඳහන් චිත්‍රපට පතිරාජට අපේ රටේ දී දක්නට නොලැබුණා යැයි සිතිය හැකි වුවත් ඔහු සතු ඉංගිරිසි දැනුම මත එක් සිනමාකරුවන් හා ඔවුන්ගේ චිත්‍රපට ගැන රචිත ලිපි කියවීමට අවස්ථාවක් ලැබුණේ යැයි උපකල්පනය කළ හැකිය. 1970 පමණ වන විට බ්‍රෙසීල සිනමාව ගැන විශේෂයෙන් ග්ලෝබර් රෝෂා ගැන සිංහලෙන් පවා ලිපි පළ වූයේය.
පියසිරි නාගහවත්ත ලියු ‘සිනමා සටහන්’ නම් වූ ග්‍රන්ථයේ බ්‍රෙසීල සිනමාව ගැනත් රෝෂා ගැනත් සඳහන් වෙයි. එසේම 1971 දී පළවූ ‘සමකාලීන සිනමාව‘ නම් වූ සඟරාවේ ‘ග්ලෝබ් රෝකාගේ ‘ඔළු හතේ සිංහයා කල්ලන්ගේ විප්ලවයේ ප්‍රතිමූර්තියකි’ නමින් පරිවර්තන ලිපියක් පළවී තිබේ.
ආර්ජෙන්ටිනාවේ ෆර්නැන්ඩු සොලනාස්, ඔක්ටාවියෝ ගෙටීනෝ, බොලිවියාවේ ජෝර්ජ් සන්ජින්ස්, චිලියේ මැනුවෙල් ලීටින්, කියුබාවේ ජුලියා ගාර්ෂියා එස්පිනෝසා, මැනුවෙල් ඔක්ටාවියෝ ගෝමස්, තෝමස් ගුතිරෙස් අලියා, හම්බර්ටෝ සොලාස්, සන්තියාගෝ අල්වා රේස්, ඇල්ෆ‍්‍රඩ් ගුඒරා වැනි සිනමාකරුවන් ගැන ද පතිරාජ නොදැනුවත්ව සිටියා යැයි සිතිය හැකි ද?
විශේෂයෙන් සොලනාස්ගේ සුප්‍රකට උද්ධෘතයක් වූ “ප්‍රක්ෂේපණ යන්ත්‍රය වූ කලී තත්පරයකට රූප රාමු 24 කින් වෙඩි තැබිය හැකි තුවක්කුව කි” යන්න පතිරාජ දැන සිටි අයුරු සාක්ෂාත් වන්නේ හැත්තෑව දශකයේ දී පමණ පළවූ ‘සිනමාව විප්ලවීය කලා මාධ්‍යයකි’ යන පොත් පිංචෙනි. එය පතිරාජ සමඟ කෙරුණු සම්මුඛ සාකච්ඡාවක් අනුව සකස් කරන ලද්දකි.
එකී සාකච්ඡාවේදී පතිරාජ සොලනාස්ගේ ඉහත උද්ධෘතය ගෙනහැර පායි. ස්පාඤ්ඤයේ ලුවිස් බුනුයෙල්ගේ සිනමාව ද හැත්තෑව දශකයේ දී මෙරට සිනමා ලේඛකයන්ගේ අවධානය දිනාගත්තකි. ඔහුගේ ‘ලොස් ඔල්විදාදෝස්’ (LOS OLVIDADOS) වැනි චිත්‍රපටයක් අපට සිහිපත් කරවන්නේ පතිරාජගේ ‘අහස් ගව්වයි.’ ඊටත් වඩා ඔහුගේ ‘මතුයම් දවස’ චිත්‍රපටයයි. රැකියා විරහිත නන්නත්තාර ගැටවරයන් ප්‍රචණ්ඩත්ව ගොදුරු වන ආකාරය ‘ලොස් ඔලිවිදාදෝස්’ චිත්‍රපටයෙන් මනාව නිරූපණය වෙයි.
තුන්වැනි ලෝකයේ රටවලින් අප්‍රිකාව ගැන කතා කරද්දි අපට විශේෂයෙන් සිහිපත් වන්නේ සෙම්බෙනේ උස්මාන්ගේ සිනමාවය. සෙම්බේනේ අප්‍රිකානු සිනමාවේ (විශේෂයෙන් සෙනගාල් සිනමාවේ) පියා ලෙස සැලකෙන්නෙකි. ඔහු සිනමාකරණයට එළැඹෙන්නේ හැටේ දශකය මැද භාගයේදී පමණය. එසේ වුවත් සෙම්බේනේ ගේ චිත්‍රපට පතිරාජ කෙරෙහි බලපෑ බවක් පෙනී නොයයි.
ඉන්දීය සමාන්තර සිනමාවක ආරම්භය සිදුවන්නේ 1969 දීය. විශේෂයෙන් ඉන්දීය චිත්‍රපට මූල්‍ය සංස්ථාවේ ආයෝජනයෙන් එම වසරේ බිහිවූ චිත්‍රපට තුනක් සමඟය. ඒ චිත්‍රපට තුන නම් ම්‍රිනාල් සෙන්ගේ ‘BHUVAN SHOME’  (බූවාන් ශෝමේ), මනි කවුල්ගේ ‘USKI ROTI’  (උස්කි රොටී) හා බාසු චැටර්ජිගේ ‘SARA AKASH’ (සාරා ආකාශ්) ය. මෙයින් ම්‍රිනාල් සෙන් ඉන්දිය මහා සිනමාකරු වූ සත්‍යජිත් රායිට විකල්ප වූ සිනමා මඟක් අනුගමනය කළ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් විය.
ඔහුගේ කල්කටා ත්‍රිත්වය INTERVIEW, (ඉන්ටවීව්) CULCATTA 71’ (කල්කටා 71’) සහ PADATIK (පදතික්) සමඟ පතිරාජගේ චිත්‍රපට සැසඳීම වැදගත්ය. එයිනුත් ‘ඉන්ටර්වීව්’ චිත්‍රපටයේත් පතිරාජගේ ‘සතුරෝ’ නම් වූ කෙටි චිත්‍රපටයේත් අත්දැකීම එක හා සමානය. (‘ඉන්ටර්වීව්’ චිත්‍රපටය හැත්තෑව දශකය මුලදී පමණ මෙරට චිත්‍රපට විචාරක සංගමය සංවිධානය කළ අන්තර්ජාතික චිත්‍රපට උළෙලකදී තිරගත විය.)
රිත්වික් ඝටක් ගේ චිත්‍රපට පතිරාජ සිනමාකරණයට ප්‍රවිෂ්ට වූ මුල් අවදියේ දැක තිබුණා ද යන්න සැක සහිතය. එහෙත් ඝටක්ගේ ‘නාගරික්’(NAGARIK) වැනි චිත්‍රපටයක වස්තු විෂයයත් පතිරාජගේ ‘අහස් ගව්ව‘ චිත්‍රපටයේ වස්තු විෂයයත් අතර යම් යම් සම ලක්ෂණ දක්නා ලැබේ. ‘නාගරික් චිත්‍රපටයේ කතා නායකයා ද රැකියා විරහිත තරුණයෙකි. සිනමාව හා දේශපාලනය’ හා සම්බන්ධයෙන් රිත්වික් ඝටක් සතු චින්තනයත් පතිරාජ සතු චින්තනයත් අතර ඇත්තේ ද දෘඪ සමීපත්වයකි. ඝටක් මෙසේ කියා ඇත.
“සටන් පාඨ කීම හෝ විසඳුම් ඉදිරිපත් කිරීම මගේ කාර්ය නොවේ. ප්‍රශ්නයේ යථා තත්ත්වය ඉදිරිපත් කිරීමත් ඒ ගැන සිතීමට සැලැස්වීමත් මම සිතන්නේ වැදගත්.” පහත එන්නේ ඊට ම සමාන වූ පතිරාජගේ කියුමකි. “මිනිසුන්ගේ සිත්සතන් වෙනස් කිරීමට මගේ අභිලාෂයක් නැහැ. මට මිනිසුන්ට දෙන්න පණිවුඩයක් නැහැ. දැනට පවතින නොයෙක් නොයෙක් ප්‍රශ්න, තත්ත්ව ගැන සාකච්ඡා පමණයි මට අවශ්‍ය.” (‘සිනමා පේපර්ස්’ සඟරාව)
පතිරාජ පසු කලෙක ඉන්දීය සිනමාව කෙරෙහි කෙතරම් විෂයාශක්ත වී ද කිවහොත් ඔහු තම ආචාර්ය උපාධි නිබන්ධය සඳහා මාතෘකා කොට ගත්තේ බෙංගාලි සිනමාවය. විශේෂයෙන් එම සිනමාව නියෝජනය කරන සත්‍යජිත් රායි, රිත්වික් ඝටක් හා ම්‍රිනාල් සෙන්ගේ සිනමාවය. පතිරාජ මෑතදී මහාචාර්ය ආරිය රාජකරුණා අභිනන්දන ග්‍රන්ථයට ලියු දීර්ඝ ලිපිය ද ඉන්දීය සිනමාව පාදක කර ගත්තකි. එම ලිපියේ මාතෘකාව මෙපරිදිය. ‘INDIANITY AND MODES OF REALISM AND MELO DRAMA IN INDIAN FILMS’.
හැත්තෑව දශකය වන විට තවත් ආසියාතික රටක් වන පිලිපීනයේ ද නව සිනමාවක් මතුවී ආවේය. ලිෆෝ බ්‍රෝකා හා ඉස්මයිල් බර්නාල් යන දෙදෙනා නියෝජනය කළේ එකී නව සිනමාවයි. එහෙත් ඔවුන්ගේ චිත්‍රපට මෙරටදී දක්නට අවස්ථා නොලැබිණි. හොලිවුඩ් සිනමාවේ ස්වාධීන මඟක් ගත් චිත්‍රපට අධ්‍යක්ෂවරුන් කීප දෙනාගෙන් කෙනකු වන ජෝන් ෂෙල්සිංගර් නිර්මාණය කළ ‘මිඩ් නයිට් කව්බෝයි’ (MID NIGHT COWBOY) නමැති චිත්‍රපටයේත් පතිරාජගේ ‘අහස් ගව්වෙත්’ යම් යම් සමානතා කිසියම් විචාරකයකුට දැක්ක හැකිය.
එහි ඩස්ටින් හොෆ්මාන් හා ජෝන් වොයිට් රඟපාන චරිත දෙකත් ‘අහස් ගව්වේ’ අමරසිරි කලංසූරිය හා විමල් කුමාර ද කොස්තා රඟපාන චරිත දෙකත් අතර කිසියම් සාම්‍යයක් පවතී.  එම චරිත දෙකම විරක්ෂාභාවයට පත් චරිතය. ඔවුන් මුහුණ දෙන්නේ ද එකබඳු අත්දැකීම් වලියකටය. ඉහත සාධක ඔස්සේ මා පෙන්වා දීමට උත්සාහ දැරුවේ ධර්මසේන පතිරාජ එකී විදේශීය චිත්‍රපට අනුකරණය කළ බව නොව ඇතැම් විට නිර්මාණ ආභාසයක් ලත් බවය. ඔහු එබඳු චිත්‍රපට දැක නොතිබුණත් එම චිත්‍රපට ගැන පළවු විචාර ලිපි ඔස්සේ ඒවායින් පෝෂණයක් ලද බවය.
තමා නරඹන හෝ කියවන හැම චිත්‍රපටයක්ම අධ්‍යක්ෂවරයකුගේ විඥානයේ රැඳී පවතී. ඔහු නිර්මාණයක් කරන විට දැනුවත්ව හෝ නොදැනුවත්ව එම චිත්‍රපට ඔහු කෙරෙහි සෘජුව හෝ වක්‍රව බලපායි. මතැන සිදුව ඇත්තේද එවැන්නකි.
READ MORE - පතිරාජ: අපේ සිනමාවේ සොලනාස්

රෝයි පීරිස්ට ‘මා දෑසේ වේදනා’ ගයන්න තහනමක් නැහැ

රෝයි පීරිස්ට ‘මා දෑසේ වේදනා’ ගයන්න තහනමක් නැහැ

- නිහාල් ගම්හේවා
පසුගිය 24 වැනිදා - ‘රසඳුන’ කලාපයේ පළවූ ‘මා දෑසේ වේදනා’ ශිහාන් මිහිරංගට විකුණලා ලිපිය මඟින් රෝයි පීරිස් ඉදිරිපත් කළ චෝදනා සහ අභියෝගය සම්බන්ධයෙන් තමන් පිළිතුරු දීමෙන් වැළකී සිටින බව ප්‍රවීණ සංගීතඥ හා ගී පද රචක නිහාල් ගම්හේවා අප සමඟ පවසා සිටියි.
තමා වැඩිහිටි කලාකරුවෙකු වශයෙන් අනවශ්‍ය වාද විවාද සඳහා පැටලීමට අදහස් නොකරන බව සඳහන් කළ ගම්හේවා තවදුරටත් මෙසේ ද සඳහන් කළේ ය.
“ඔය ළමයා (රෝයි) ගායනා කළ ‘මා දෑසේ වේදනා’ - ‘රත්තරං ප්‍රාර්ථනා’ ගීත දෙක වගේ ම ප්‍රින්ස් උදය ප්‍රියන්ත ගායනා කළ ‘පෙම්වතුන් සිනාසේ’ ගීතයත් මම රිංගින්ටෝන්ස් සඳහා දීලා තිබෙනවා. මම ඔය හැමදේම කර තියෙන්නේ බුද්ධිමය දේපළ නීතියෙන් ලැබී තිබෙන හිමිකම් යටතේ නීත්‍යානුකූ®ලවයි.
ශිහාන් මිහිරංග (“මා දෑසේ වේදනා”) සහ තීක්ෂණ අනුරාධ (“රත්තරං ප්‍රාර්ථනා”) ගීත දෙක ගැයුවේ රිංගින්ටෝන්ස් සඳහා පමණයි. මේ ගීත දෙක ගායනා කරන්න තුන් වැනි පාර්ශ්වය හැටියට ඔය ළමයා (රෝයි) ට තියෙන අයිතිය අපි තවම තහනම් කරලා නැහැ. ඊට වඩා ඕවා ගැන අපි කතා කරන්න ඕනෑ නැහැ.”
“මම ජාතික තරුණ සේවා සභාවට පැමිණියේ උපදේශකවරයෙකු ලෙසයි. ඔය ළමයා (රෝයි පීරිස්) එවිට උන්නේ අභ්‍යාසලාභියෙකු ලෙසයි. මා දැන් වැඩිහිටියෙක්. ගුරු ගෝලයෝ වශයෙන් මෙන් ම කලාකරුවන් වශයෙන් ද අදහස් වලින් මෙලෙස බැණ දොඩා ඇණ කොටා ගන්න.
අපහාස කරගන්න ඕනේ නැහැ අපි. ගුරුවරයෙකු ලෙස මා සිතන්නේ එහෙමයි. දිගින් දිගටම අපහාස වන අයුරින් ඒ ළමයා කටයුතු කළොත් පමණක් මං හිතාගෙන ඉන්නවා නීතිමය පියවරක් ගන්න. දැනට නීතිඥ උපදෙස් අනුව මම කටයුතු කරමින් සිටිනවා.”
READ MORE - රෝයි පීරිස්ට ‘මා දෑසේ වේදනා’ ගයන්න තහනමක් නැහැ

චිත්‍රපට සංස්ථා සභාපතිකමට අසෝක සේරසිංහ සුදුසු නැහැ

චිත්‍රපට සංස්ථා සභාපතිකමට අසෝක සේරසිංහ සුදුසු නැහැ

ආචාර්ය සෝමරත්න දිසානායක
* සංස්ථාව තීරණය කළ පිටපත් 35 නිකුත් කිරීමේ ක්‍රමවේදයට ඔබ විරුද්ධ වුණේ ඇයි?
දැන් මගේ චිත්‍රපට ගත්තොත් ‘සරෝජා’ සිට ‘කුසපබා’ දක්වා ගත්තොත් හැම චිත්‍රපටයකටම විශාල ප්‍රේක්ෂක ඉල්ලීමක් තිබුණා. ඒ කාලේ පිටපත්වල සීමාසහිත බවක් තිබුණේ නෑ. අපි සිනමාවේ සම්ප්‍රදායක් හැටියට පුරුදුවෙලා හිටියා පිටපත් 15, 20, 25 ක් ගහන්න. නිෂ්පාදකයා වැය කරන ප්‍රමාණය අනුව.
නමුත් අපි හිතුවා අපේ චිත්‍රපටවලට තිබෙන ඉල්ලුම නිසා අපි එකවර ලංකාව පුරාම ආවරණය වන විදියට, ලංකාවේ දුර බැහැර සිටින ප්‍රේක්ෂකයාටත් සාධාරණයක් වන විදියට අපේ පිටපත් දුර බැහැර ප්‍රදේශවලටත් මුදා හැරිය යුතුයි කියලා.
ඒක අපි ගන්න අවදානමක්. අපි වැඩිපුර පිටපත් ගහනවා කියන්නේ වැඩිපුර වියදම් කිරීමක්. එක පිටපතකට ලක්ෂ දෙකහමාරක් විතර අපි වැඩිපුර වියදම් කරනවා. එහෙම ගහල පිටපත් වැඩිපුර දුන්නම ලංකාව පුරාම ප්‍රේක්ෂකයෝ ඒක බලනවා.
ඒ වගේම තමයි සිනමාව අර්බුදයකට මුහුණ දීලා තිබුණා 90 දශකයේ සහ 2000 මුල හරියෙදි. සිනමා ශාලා වැහෙන්න ගත්තා. සිනමා ශාලාවලට මිනිස්සු ආවේ නෑ. සිනමාව ප්‍රතික්ෂේප වෙමින් පැවතුණා.
ඔවුන්ට රසවිඳින්න පුළුවන් චිත්‍රපට ප්‍රමාණවත් ලෙසින් නිෂ්පාදනය නොවුණු නිසයි එහෙම වුණේ. නමුත් මගේ චිත්‍රපට රැල්ල ආවට පස්සේ මම තනිකරලා කතා කරනවා නෙමෙයි.
මගේ චිත්‍රපට සමඟ තවත් ආකර්ෂණීය චිත්‍රපට හදපු නිර්මාණ කරුවෝ පිරිසක් හිටියා. අන්න ඔවුන්ගේ චිත්‍රපට බලන්න ප්‍රේකෂකයෝ ආපසු සිනමා ශාලාවලට එන්න පටන් ගත්තා. එතකොට අර වහල තිබුණ චිත්‍රපට ශාලා ඇරියා. අලුතින් සිනමා ශාලා පටන් ගත්තා.
සිනමාවේ ප්‍රබෝධයක් ඇතිවුණා. අපේ චිත්‍රපටවලට සෙනඟ ආකර්ෂණය වෙනකොට, බෙදා හැරීමේ සිනමා මණ්ඩල අපේ චිත්‍රපට ඉල්ලනකොට ආකර්ෂණයක් නොමැති චිත්‍රපට හදන අයට පොඩි මදි පාඩුවක් වෙනවා.
ඒකට අපිට කරන්න දෙයක් නෑ. ඔවුන්ගේ ඊර්ෂ්‍යාවට අපි ලක්වෙනවා. ඒ නිසා ඔවුන් තමයි එකතුවෙලා නීතියක් ගේන්නේ ජනපි‍්‍රය චිත්‍රපටවල පිටපත් ගාණ සීමා කළ යුතුයි කියලා.
ඔවුන් චිත්‍රපට සංස්ථාවේ සභාපති සහ අනෙකුත් බලධාරින් කැමැති කරවාගෙන තීරණයකට ආවා. මුලින් සභාපති අපෙන් විමසා සිටියා මේ ගැන. අපි ඒකට කොහෙත්ම කැමැති වුණේ නෑ. නමුත් සභාපති ඒකපාර්ශ්වීයව කන්දීමෙන් ඒ තීන්දුව ගත්තා. දැන් අපි කියා සිටින්නේ මේ පිටපත් 35 සීමාව කියන්නේ අර ප්‍රබෝධයෙන් නැඟී සිටි සිනමාව යළි පරිහානිය කරා යොමු කිරීමක් කියලයි. මම කියනව විතරක් නොවෙයි මට ඒක සනාථ කරන්නත් පුළුවන් ඒක එහෙම වෙනවයි කියලා.
* නමුත් ඔබට ප්‍රතිවිරුද්ධ අදහස් දරන බහුතරයක් කියා සිටින්නේ පිටපත් 50 සීමාවට ගියොත් මෙය කිහිපදෙනෙකුට පමණක් සීමාවෙනවා. චිත්‍රපට ප්‍රදර්ශන පෝලිම දික්වෙනවා. එවැනි විශාල පිටපත් ප්‍රමාණයක් නිකුත් කරන්නට ප්‍රමාණවත් සිනමා ශාලා අපට නැති නිසා බහුතරයක් සිනමා නිර්මාණකරුවන්ට ඉන් අසාධාරණයක් සිදුවන බවයි.
පෝලිම දික්වෙනවා කියන්නේ දැනට අවුරුදු ගණනාවකට පෙර හදපු චිත්‍රපට තවමත් ප්‍රදර්ශනය නොවීම නිසානේ. අපි පොඩ්ඩක් විමසලා බලන්න ඕන ඇයි එහෙම වෙන්නේ කියලා. මම චිත්‍රපටයක් හදලා සිනමා ශාලාවකට හෝ මණ්ඩලයට දෙන්නත් ඔවුන් ඒක ගන්නත්, අර අනෙක් කෙනාගේ චිත්‍රපටය නොගන්නත් හේතුව මොකක් ද? ඒ චිත්‍රපටයේ අන්තර්ගතයේ තිබෙන කුමක් හෝ අඩුපාඩුවක් වෙන්න පුළුවන්.
දුර්වල, අවර ගණයේ, මහජන ඉල්ලුමක් නැති නිර්මාණ හදපුවම කාගේද වැරැද්ද? ඒක විකිණෙන්නේ නැතිකොට අර විකිණෙන බඩුහදපු නිර්මාණකරුවද වැරදි? අපි කියලා නෑනේ කාටවත් හොඳ චිත්‍රපට හදන්න එපා. ජනපි‍්‍රය චිත්‍රපට හදන්න එපා කියලා. ඕන කෙනෙකුට විවෘතයි. මේක තරගයක්.
මෙතන තියෙන්නේ ඊර්ෂ්‍යාවක්. අපි කියන්නේ නෑ අහවල් අයගේ චිත්‍රපටවලට වැඩි සැලකිලි දෙන්න කියලා. අපි කියන්නේ සමස්තයක් හැටියට විවෘතව තියන්න. කැමැති කෙනෙක් ආකර්ෂණීය චිත්‍රපට හදන්න. තමන්ගේ චිත්‍රපටයට ආකර්ෂණයක් තිබෙනවා නම් ඒක යනවා. දුවන්නේ නැතිනම් ඒකට වෙන කරන්න දෙයක්නෑ. ඒක ඒ අයගේ අසාර්ථකත්වය.
* එතකොට මේ ප්‍රශ්නය නිසා වසරකට ප්‍රදර්ශනය වන චිත්‍රපට ප්‍රමාණය සීමා සහිත වීම සහ පෝලිම දිග්ගැසීම ගැන ඔබ මොනවද කියන්නේ?
පෝලිම දිග්ගැස්සවීමේ ප්‍රශ්නයක් තාම වෙලා නෑ. අපි 2000 දශකය ගත්තොත් මේ ටිකට ජනපි‍්‍රයයි කියන බැඳගෙන දුවන, දින සියය ඉක්මවන, පිටපත් 35 ට වැඩිය මුද්‍රණය කරන මෙවැනි චිත්‍රපට අවුරුද්දට එකක් නැතිනම් දෙකක් හැදෙන්නේ. දවස් 365 ක් අවුරුද්දට තිබෙනවා. අපිට සිනමා ශාලා එකසිය පනස් ගණනක් තිබෙනවා. එකසිය පනස් ගණනේම දවස් තුන්සිය හැටපහේම ඔය කියන ජනපි‍්‍රය චිත්‍රපට දුවන්නේ නෑ. ඒ අතරතුර ඉඩ තිබෙනවා. ඒ ඉඩතියෙන තැන්වලට ඔවුන්ට යන්න පුළුවන්.
* ඔය කියන අර්බුදයට තමයි චිත්‍රපට සංස්ථාව සහ ඔබ අතර ප්‍රතිවිරුද්ධ අදහස් ඇති වුණේ?
ඔව්. ඔය චක්‍රලේඛය පිට කරන්නේ සභාපතිගේ අස්සනින්. අපි දන්නේ නෑ ඒක කාගේ යෝජනාවක් ද කොහෙන් පටන් ගත්තද කියලා. සභාපතිගේ අස්සනින් චක්‍රලේඛයක් යවනකොට අපි ඇඟිල්ල දික් කරන්නේ සභාපතිට. අපි ඔහුට එහි ආදීනව පැහැදිලි කරලා මේක කරන්න එපා කියලා කිවුවා.
ඊට කලින් පහුගිය අගෝස්තු මාසේ එයා දැන්වීමක් දාලා පුවත්පත්වල තිබුණ මෙහෙම කරන්න අදහසක් තිබෙනවා. අදහස් දක්වන්න කියලා. අපි ඒකටත් අදහස් දැක්වූවා. මම සිනමා නිර්මාණ සංසදයේ සභාපති හැටියට අදහස් දැක්වුවා. සිනමා මණ්ඩල පහෙන් හතරක් ම අදහස් දක්වලා තිබුණා. මේක කරන්න එපා කියලා.
ඒ කිසි කෙනෙකුට කන්දීමක් කරලා නෑ. එයා කන්දීලා තියෙන්නේ ආකර්ෂණීය නොවන චිත්‍රපට හදන පිරිසකට පමණයි. මම කියන්නේ වර්තමාන සභාපතිතුමාගේ මේ චක්‍රලේඛය නිසා සිනමාවට සිදුවන්නේ අයහපතක් බවයි. අපේ රටේ ඈත දුෂ්කර ප්‍රදේශවල සිටින සිනමා ප්‍රේක්ෂකයින්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරනවා මේ නිසා.
* චිත්‍රපට සංස්ථා සභාපතිවරයා සහ ඔබ දැන් ඉන්නේ ප්‍රතිවිරුද්ධ මතවල. නමුත් ඔය සභාපතිවරයා පත්කරන්නටත් ඔබලාම නේද මහන්සි වුණේ?
අපේ දේශපාලන ජයග්‍රහණය පසුව එක එක්කෙනා තනතුරු ඉල්ලා සිටියා. නමුත් මගේ එහෙම ඉල්ලීමක් තිබුණේ නෑ. මම වැඩ කලේ රටේ පොදු යහපත තකා. මට දුන්න තනතුරුත් මම ප්‍රතික්ෂේප කළා. නමුත් සමහරු තනතුරු බලාපොරොත්තු වුණා. එහෙම බලාපොරොත්තු වන විට ඒවාට සුදුසුයැයි කියලා හිතෙන අය අපි නිර්දේශ කළා. අසෝක සේරසිංහ මහතාත් එවැනි නිර්දේශයක්.
ඔහු වෘත්තියෙන් නීතිඥයෙක්. සිනමාවට කෙසේ වෙතත් වේදිකා නාට්‍යවලට හා ටෙලිනාට්‍යවලට සම්බන්ධ වෙලා හිටියා. අපිට හිතුණා ඔහු නිර්දේශ කළ යුතුයි කියලා. ඒ නිසා අපි දුන්න ලැයිස්තුවේ චිත්‍රපට සංස්ථා සභාපති ධුරයට ඔහුගේ නම අපි නිර්දේශ කළා. නමුත් අද අපිට පේනවා ඔහු සිනමා ක්ෂේත්‍රයේ පරිහානියට වැඩ කරනවා. ඔහු ඒ තනතුරට, නායකත්වයට සුදුසු කෙනෙක් නොවෙයි කියලා.
* ඉදිරියට චිත්‍රපට ප්‍රදර්ශනය වෙන්නේ රැඟුම් පාලක මණ්ඩලයේ අනුමැතිය ලැබූ පිළිවෙළට නේද?
රැඟුම් පාලක මණ්ඩලයේ සහතිකයේ පිළිවෙළට පෙන්වන්න කියලා චිත්‍රපට සංස්ථාව නියෝගයක් කළාට සභාපතිවරයා දන්නම දෙයක් තමයි චිත්‍රපට බෙදාහැරීම පුද්ගලීකරණය වී තිබීම. ඒ නිසා රජයට බලපෑම් කරන්න බෑ පෞද්ගලික බෙදාහැරීම් මණ්ඩලවලට ඔබලා මේ ක්‍රමය අනුගමනය කළ යුතුයි කියලා.
* ඔබ පෝලිමෙන් පනිනවා කියලා තමයි බොහෝ දෙනෙක් චෝදනා කරන්නේ?
පෝලිමෙන් පනින්න පෝලිමක් තියෙන්න එපායැ. පෝලිමක් කියලා එකක් නෑ මේ ක්‍රමයට. චිත්‍රපට බෙදාහැරීම පෞද්ගලීකරණය කරලා නිසා අපි පෞද්ගලික මණ්ඩලයට ගිහින් අපි කතා කරලා අපේ චිත්‍රපටය ගැන කියලා මේ වකවානුවේ අපිට ප්‍රදර්ශනය කරන්න ඕන ඔබට පුළුවන්ද? කියලා අහලා බලලා තමයි අපි නිර්මාණය කරන්නේ.
ඒ අංශයේ අයිතියක් තමයි පුළුවන්ද බැරිද කියලා කියන්න. ඒක මට විතරක් සීමා වුණ දෙයක් නොවෙයි. ඕනම නිර්මාණකරුවකුට එසේ පෞද්ගලික මණ්ඩලයට ගිහින් කතා කරලා තමන්ගේ චිත්‍රපටය දාගන්න පුළුවන්. එතකොට ඒ ගොල්ල ඇවිත් චිත්‍රපටය බලනවා. බලලා තීරණය කරනවා ගන්නවද නැත්ද කියලා. සමහර ඒවා ප්‍රතික්ෂේප වුණාම කාගෙද වැරැද්ද?
* ඔවුන් කියන්නේ සියලු දෙනාටම පොදු ප්‍රතිපත්තියක් තිබිය යුතුයි කියලයි.
ඔව්. එහෙම තිබිය යුතුයි තමයි. එහෙම තියෙන්න නම් පළමුවෙන්ම කරන්න ඕන පෞද්ගලීකරණය අයින් කළ යුතුයි. එහෙම කරල සියලුම සිනමා ශාලා රජයේ පාලනයට ගත යුතුයි. දැන් එතකොට ආණ්ඩුවේ නීතිය මේකයි කියලා කිව හැකියි. එහෙම කමක් නෑ. රජයේ එවැනි නීතියක් තිබෙනවා නම් අපි ඒකට බැඳී සිටිය යුතුයි.
* මේ ප්‍රශ්නෙදි ඔබ වතාවක් පුවත්පත්වලට කියලා තිබුණ පිටපත් 35 ට සීමා කළොත් ඔබ සිනමාවෙන් අයින් වෙනවා කියලා. දැන් චිත්‍රපට සංස්ථාව එය ක්‍රියාත්මක කරනවා. කියූ පරිදිම ඔබ සිනමාවෙන් ඉවත් වෙනවද?
ඒක මගේ මේ චණ්ඩිකමකටවත් කාටවත් පාඩමක් උගන්වන්නවත් කරපු එකක් නෙමෙයි. මම අයින්වෙන්නේ මට මේ පිටපත් 35 සීමාව යටතේ මගේ රටාවේ චිත්‍රපට මට කරන්න බෑ. මම වියදම් කරන මුදල් මට උපයාගන්න බෑ. දැනට තිබෙන වියදම් බලපුවම පළමුවැනි වටයේ පිටපත් 35 මුදාහැරලා ආදායම් ලබාගන්න බෑ.
මේක මට විතරක් නෙවෙයි මෙවැනි ආකර්ෂණීය දැවැන්ත චිත්‍රපට කරන සියලු දෙනාටම කරන්න ලැබෙන්නේ නෑ. ඒ නිසා අකැමැත්තෙන් හරි ඔවුන්ට අයින් වෙන්න වෙනවා. මට හැමදාම පාඩු විඳ විඳ චිත්‍රපට කරන්න බෑනේ. මේක මහජන සේවයක් නොවෙයිනේ. ඒ නිසා මට අයින්වෙන්න වෙනවා.
* චිත්‍රපට සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ඔබේ බිරියත් ඉන්නවා නේද?
මගේ බිරිය ඉන්නවා. අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මොනවා වෙනවද කියලා මට වග කියන්න බෑ. ඒ ගැන තොරතුරු මම දන්නෙත් නෑ. මම එක දෙයක් දන්නවා අධ්‍යක්‍ෂ මණ්ඩලය වැරදි තීරණයක් අරන් ඒක ජන සම්මත කළොත් ඒක අපට දැනෙනවා. නමුත් මේ පිටපත් 35 සීමාව කවදාවත් අධ්‍යක්ෂ මණ්ඩලයේ කතා කරපු දෙයක් නොවෙයි. එහෙම එකක් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කතා කරලා නෑ. කොහෙවත් වාර්තාවෙලා නෑ. අපි නම් දකින්නේ මේ තීරණය අදූරදර්ශී, සාකච්ඡාවලින් තොරව එක්තරා පිරිසක් සතුටු කරන්න ගත්ත තීරණයක් විදියට.
* ඔබේ ‘සිරි පැරකුම්’ චිත්‍රපටයට මොකද වෙන්නේ. ඒක ඔබ සිතා සිටි නියමිත කාලයට තිරගත වෙනවද?
’සිරි පැරකුම්’ චිත්‍රපටයට මම හිතන්නේ නෑ සභාපතිගේ චක්‍රලේඛයට අදාළයි කියලා.
* එහි පිටපත් 50 ක් මුද්‍රණය කරනවද?
මම දන්නේ නෑ. මම හිතාගෙන ඉන්නේ මුද්‍රණය කරනවා කියලා. මට හිතෙනවා සභාපති ඒකට විරෝධය පායි කියලා. නමුත් මම කියා සිටිනවා මම තිරගත කරනවා. මට ඒකට අයිතියක් තියනවා කියලා. මොකද මම චිත්‍රපටය හදන්න ගන්නේ අවුරුදු දෙකකට කලින්.
ඒ කාලේ සැලසුම් කරනකොට මෙහෙම නියෝගයක් රටේ තිබුණේ නෑ. ඒ නිසා මම තිරගත කරන කාලය, මුදාහරින පිටපත් ගණන සහ මණ්ඩලය තීරණය කරලා තමයි මුදල් වැය කළේ. සභාපතිතුමා විරුද්ධ වුණොත් ඉන් එහාට ගොස් අධිකරණ බලයකින් හරි ඒ පිටපත් 50 මුදාහැරීමේ අයිතිය මට තියනවා කියලා මම හිතනවා.
READ MORE - චිත්‍රපට සංස්ථා සභාපතිකමට අසෝක සේරසිංහ සුදුසු නැහැ

මට ආදරේ කරන කෙනෙක් ජීවිතයට සමීප වේවි

මට ආදරේ කරන කෙනෙක් ජීවිතයට සමීප වේවි

භාග්‍යා හෙට්ටිආරච්චි
’ඉඳුවරී’ ටෙලිනාට්‍යයේ “සුංගි” ඔබට මතක ද? “සුංගි” ගේ චරිතය නිරූපණය කළ ඒ රුවැත්තිය භාග්‍යා හෙට්ටිආරච්චි. භාග්‍යා රංගනයට පිවිස ගතවූයේ කෙටි කලක් වුවද ඉතා හොඳ චරිත කීපයක්ම නිරූපණය කිරීමට තරම් ඇය වාසනාවන්ත වී ඇත.
භාග්‍යා රංගනයට පමණක් නොව ගායනයට ද දක්වන්නේ අපූරු දක්ෂතාවයකි. “තරුවක් සමඟ වරුවක්” විශේෂාංගයට අද අප භාග්‍යා එක් කර ගන්නේ ඇයගේ නවතම තතු විමසන්නටය.
ඔබ රංගනයට පිවිසි ආකාරය සිහිපත් කරමු
මගේ මුල්ගම ගම්පහ; දැන් පදිංචිය මහරගම. පාසල් ගියේ කොළඹ ආනන්ද බාලිකාවට. පාසල් යන කාලේ පටන් මම ආශා කළේ සංගීතයට. පාසලේදි මම නාට්‍ය හා රංග කලාව ඉගෙන ගත්තා.
සංගීතයට තිබුණු ඇල්ම නිසාම ප්‍රේමසිරි කේමදාස මාස්ටර්ගෙන් සංගීතය ඉගෙන ගත්තා වසර 6 ක් පමණ. ඒ අතරතුරේදි තමයි මට රූපවාහිනී වෙළෙඳ දැන්වීමකට පෙනී සිටින්න අවස්ථාව ලැබුණේ. ඒ මගේ යාළුවෙකුගේ මාර්ගයෙන්. ඉන්පසුව මට ටෙලිනාට්‍යවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා.
රංගන ශිල්පිනියක් වීමේ ආශාව හිතේ කොනක හෝ තිබුණ ද?
මම ආශා කළේ ගායිකාවක් වෙන්න. නමුත් යොමුවුණේ රංගනයට.
එතකොට ඔබේ පළමු ටෙලිනාට්‍යය?
සිරස නාලිකාවෙන් විකාශය වුණු “සඳ සාක්කි.” එය දීර්ඝ ටෙලි නාට්‍යයක්. එහි මම නිරූපණය කළේ පාද දෙකම අහිමි තරුණියකගේ චරිතයක්.
එතකොට ඔබ මෙතෙක් දායක වී ඇති නිර්මාණ...?
“සඳසාක්කි”, “ඉඳුවරී”, “බාලොලි මල්” “හිම පියලි” “රන්තරු” “සොයුරී” සහ තවත් ටෙලි නාට්‍ය කීපයකටම මම දායක වෙලා තියෙනවා.
සිනමාවට ඔබේ දායකත්වය...?
මේ වන විට මම එක් සිනමා නිර්මාණයකට රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඒ රොෂාන් කුරුප්පුගේ “මල් විල ෆාම්” චිත්‍රපටය. එහි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ මම. ඒ චිත්‍රපටය ළඟදීම තිරගත වේවි.
ඔබ හිතන විදියට ඔබගේ රංගනය ප්‍රේක්ෂකයින් හඳුනාගන්නේ කුමන චරිතයෙන් ද?
‘ඉඳුවරී’ ටෙලි නාට්‍යයේ ‘සුංගි’ කියන චරිතයෙන්. ඒ චරිතය තුළ මට ගොඩක් දේවල් කරන්න තිබුණා. ඒ රංගනය දැකපු අධ්‍යක්ෂවරු කීපදෙනෙක්ම මාව ඔවුන්ගේ නිර්මාණවලට දායක කරගත්තා.
එතකොට ඔබ මේ දවස්වල මොනව ද කරන්නෙ...?
“සසර සක්මන” ‘හිම පියලි’ ‘රන්තරු’ සහ තවත් ටෙලි නාට්‍ය කීපයකම රූපගත කිරීම්වලට මේ දිනවල දායක වෙනවා.
ඔබ මෙතෙක් රඟපා ඇති චරිතවල ස්වභාවය...?
මම රංගන ක්ෂේත්‍රයට ඇවිත් ගතවෙලා තියෙන්නේ කෙටි කාලයක් වුණත් හොඳ ටෙලිනාට්‍ය කීපයකම විවිධාකාරයේ චරිත නිරූපණය කිරීමට තරම් මම වාසනාවන්ත වුණා. ඒ චරිත අතර පෙම්වතිය, දියණිය වැනි චරිත වගේ ම ඉතාම සංකීර්ණ චරිතත් තිබුණා. එලෙස විවිධාකාරයේ චරිත නිරූපණය කරන්න ලැබීම ගැන මට හරිම සතුටුයි.
ඔබ ප්‍රවීණයින් එක්ක සාර්ථකව එකට වැඩ කරනවා ද?
පසුගිය කාලෙ මම ප්‍රවීණයින් රැසක් සමඟම වැඩ කළා. මම ප්‍රවීණයින්ට ගොඩක් ගරු කරනවා. ඔවුන්ගෙන් අපේ රංගන ජීවිතයට වගේම පෞද්ගලික ජීවිතයටත් ලබාගත හැකි දේ බොහොමයි. විශේෂයෙන්ම ජයනි අක්කා (ජයනි සේනානායක) කුමාර තිරිමාදුර අයියා මට ගොඩක් උදව් කරනවා.
දැන් ඔබ සංගීතය අමතක කරල ද?
නැහැ. මට එහෙම කරන්න හැකියාවක් නෑ. කේමදාස මාස්ටර් ඉන්න කාලේ මම මාස්ටර්ගේ ප්‍රසංගවලට ගොඩක් දායක වුණා. නමුත් වැඩියෙන් රංගනයට යොමු වුණු නිසා සංගීත කටයුතු තරමක් මඟ හැරුණා. මේ දිනවල මගේ නවතම ගීතයක වැඩ කරගෙන යනවා. මැයි මාසයේ දී පමණ ඒ ගීතය රූප රචනාවක් සමඟින් රසිකයින්ට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.
රංගනය සරල ද?
නැහැ. කොහෙත්ම නෑ. ඒකට උපතින්ම ලැබුණු වාසනාවනක් වගේම අභ්‍යාස කිරීමෙන් ලබාගත් දැනුමත් තියෙන්න ඕන. රංගනය ප්‍රගුණ කළ යුතු විෂයයක්. ඒ සඳහා විශේෂ අභ්‍යාස ක්‍රම තිබෙනවා. මම හිතනවා මට රංගනය ගැන ඉගෙනගන්න ලැබුණේ එය ඉගෙන ගන්න ඉන්න හොඳම කෙනාගෙන් කියලයි.
ඒ ප්‍රේමසිරි කේමදාස මාස්ටර්ගෙන්. කේමදාස මාස්ටර් ඉගැන්නුවේ සංගීතය පමණක් නෙමෙයි. රංගනය පිළිබඳ මනා දැනුමක් අපට ලබා දුන්නා. ඒ ඔපෙරාවලට අපට සම්බන්ධ කර ගැනීමේදී. ඉදිරියටත් මට රංගනය ගැන මේ රටේ ප්‍රවීණයින්ගෙන් මෙන්ම තවත් ක්‍රම වලින් හදාරන්න බලාපොරොත්තු වෙනවා.
එතකොට ඔබ රැකියාවක් ලෙස මොනව ද කරන්නෙ?
දැන් මගේ රැකියාව රඟපෑම.
දිගටම රංගනයේ ඉන්නව ද?
ඔව් මට හැකිතාක් කල් මම රංගනයේ යෙදෙනවා. ඒ වගේම කවදා හෝ දක්ෂතම රංගන ශිල්පිනියට හිමි සම්මානය හිමි කරගන්නත් මම බලාපොරොත්තු වෙනවා.
ඔබේ පවුලේ තොරතුරු...?
අම්මයි තාත්තයි මල්ලියි මමයි තමයි අපේ පවුලේ ඉන්නෙ.
පවුලේ අය හැර ජීවිතයට සමීප තවත් කෙනෙකුන් ඔබට ඇති නේද?
දැනට නම් නෑ. මගේ ක්ෂේත්‍රය හොඳින් තේරුම් ගත්ත, මට ගොඩක් ආදරය කරන කෙනෙක් මගේ ජීවිතයට සමීප වේවි කියල මම හිතනව.


Silumina
READ MORE - මට ආදරේ කරන කෙනෙක් ජීවිතයට සමීප වේවි

අනේ මෙහෙම ලව්

අනේ මෙහෙම ලව්

 

කරල් හතර 540 යි
දැයට කිරුළ ප්‍රසංගයට ගිය අපේ මාධ්‍ය සගයකුට, තමන්ගේ අනාගත බිරින්දෑ එහි රාජකාරියක නිතරව සිටීමේදී හමුවීම ආනන්ද ජනක කාරණාවක් වුණා. ගිය රාජකාරිය පැත්තකට දමා ඈත් සමඟ ඇවිදිද්දී ඈ තම පෙම්වතාට අපූරු තෑග්ගක් අරන් දුන්නා. ඒ අලුතින්ම නෙලා ගත් බඩ ඉරිඟුයි.
කොළඹ උපන් පත්තර සගයාට බඩ ඉරිඟු තම්බන හැටිත්, එහි රසත්, ගුණත් විස්තර කර දුන් ඇය තම රාජකාරි සඳහා එහි නතර වූවා. මාධ්‍ය සගයා ආපසු කොළඹ ආවා. ඒ බඩ ඉරිගු තම්බා කෑමේ සිහිනයත් එක්කයි.
ගමන පුරාම දැඩි නින්දේ පසු වූ ඔහු නිවෙස අසලදී රථයෙන් බැස ගියා. ගෙදරට ගොඩවන විටම සිහිපත් වූයේ බඩ ඉරිගු බස් රථයේ අමතක වූ බවයි.
සෙසු හිතවතෙකු දැන ගත්තොත් ඒ බඩ ඉරිගු ආපසු නෙලැබේ යැයි සිතූ ඔහු ආයතනය වෙනුවෙන් මාධ්‍යවේදීන් ගමන් ගත් බස් රථයේ සහායකයාට එස්. එම්. එස්. පණිවුඩයක් යැව්වේ බඩ ඉරිඟු කරල් ඔවුන්ගේ සමාගමේ තබා ගන්නා ලෙසයි.
ඊළඟට අපේ මාධ්‍ය සගයා කළේ කිරිබත්ගොඩ සිට ත්‍රීවිලරයක නැගී නුගේගොඩ පැත්තේ ප්‍රවාහන සමාගමට පැමිණීමයි. ඒ රිය සහායකයා වෙනත් රාජකාරියට යාවි යැයි ඇති වූ බිය නිසයි.
කෙසේ වුවත් අපේ මිත්‍රයාට රුපියල් පන්සියයක ගාස්තුවක් ත්‍රීවිලරයට ගෙවන්නත් සිදු වුණා. ඒ වන විට, පෙම්වතිය ලබා දුන් බඩ ඉරිගු කරල් හතරේ වටිනාකම රුපියල් පන්සිය හතළිහක් වූ නමුත් බඩ ඉරිඟු කරල්වල රසය නම් වැඩි වෙනසක් වී තිබුණේ නැහැ.
READ MORE - අනේ මෙහෙම ලව්