----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

ඒ ගොල්ලො ප්‍රබුද්ධ නම් ජෝතිපාල සුප්‍රබුද්ධයි

Sunday, July 4, 2010


ජෝතිපාල ගැන දැන් හුඟක් කතා වෙනවා. ජීවත් ව සිටි ජෝතිපාලට වඩා මියගිය ජෝතිපාල හුඟක් ජනප්‍රිය යි.

අවුරුදු ගණනාවකට ඉස්සර ජෝතිපාල හමුවෙලා විශේෂාංගයක් කරන්න මම මාලිගාවත්ත නිවාස සංකීර්ණයේ ඔහුගේ නිවාසයට ගිය දවස මට අද වගේ මතක යි.

ඒ දවස්වල මම දිවයින ඉරිදා සංග්‍රහයේ ශාස්ත්‍රීය පිටුවක ‘කාලීන සංවාද’ නමින් විශේෂාංග පෙළක් සම්පාදනය කරමින් සිටියෙ. විවිධ කලාකරුවන්... විද්වතුන්... තම තමන්ගේ ක්ෂේත්‍ර ගැන අදහස් දැක්වූවා.

ප්‍රබුද්ධ යැයි කියා ගන්නා වූ ගායක ගායිකාවන් කිහිප දෙනකු සමඟ ම සාකච්ඡා කළාට පසු ජෝතිපාලත් එක්ක කතා කරන්න මට සිතුණේ ඇයි ද කියන එක මට අදටත් හිතාගන්ඩ බැහැ. ඒ වෙනකොට පුවත්පත්වල ජෝතිපාලට හිමිවෙලා තිබුණේ සිනමා පිටු විතරයි. එහෙමත් නැත්නම් සිනමා පුවත්පත් විතරයි. ඉරිදා පත්තරේක ශාස්ත්‍රීය පිටුවක ජෝතිපාලට තැනක් ලැබේවි කියල හිතන්ඩත් බැරි කාලයක්.

විශ්ව විද්‍යාලයක් පැත්තකින් වත් යන්ඩ බෑ හූ කියනවා. සංගීත සංදර්ශනවල දී හූ කියනවා. ප්‍රබුද්ධ යැයි කියාගන්නා උදවිය ජෝතිපාලව තුට්ටු දෙකට දානවා. බොළඳ හරසුන් හින්දි කොපි ගායකයෙක් කියලා.

ඒත් මගෙ හිතේ ජෝතිපාල ගැන ඒ කාලෙත් මොකක්දෝ ආසාවක් තිබුණා. ඒ නිසා තමයි මම ඔහු හොයාගෙන ගියේ.

ඡායාරූප ශිල්පී ගාමිණී මෙන්ඩිස් මිත්‍රයාත් මා සමඟ ගියා. ඒ වෙනකොට මම ජෝතිපාල එක්ක එක වචනයක්වත් කතා කරලා තිබුණේ නැහැ. කොටින් ම ළඟට දැකලාවත් නැහැ.

අපි යන කොට ජෝතිපාල නිදි... ඔහුට ආවතේව කරපු සහෘදයා ගිහින් ජෝතිපාලට අපි ගැන කියන්ඩ ඇති.

ඇස් පොඩි කර කර හොඳ ලොකු ඈනුමකුත් අරිමින් ජෝති අපි ඉදිරියට ආවා.

ගාමිණී මෙන්ඩිස්, ජෝතිපාල ඊට පෙර දන්නවා. ඔහු කලාකරුවන් පිළිබඳ විශේෂාංග සඳහා ඡායාරූප ගන්නවා.

“දිවයින ඉරිදා පත්තරේට ජෝති අයිය එක්ක සාකච්ඡා කරල ලිපියක් හදන්නයි ආවෙ...”

ගාමිණී එහෙම කියන කොට ජෝති ගෙ මුහුණ එකපාරට බැරෑරුම් එකක් වුණා.

“මල්ලි අද පාන්දර හයයි ගෙදර එනකොට... ඊයෙ රෑ පුරාම මියුසිකල් ෂෝ... කතා කරගන්ඩ බෑ... පේන් නැද්ද මූණ එම්බාම් කරල වගේ. පිංතූරයක් ගන්ඩත් බැරි සයිස්. අනිත් එක අඳින්ඩ කියල හරි හමන් ෂර්ට් එකකුත් නෑ.... එහෙම නෙමේ මල්ලිල එන සඳුදට එන්ඩ. මම මල්ලිල වෙනුවෙන් උදේ නමයෙ ඉඳල ඉන්නවා...”

ගාමිණිත් මමත් හිස වනා ඒක පිළිගත්තා.

“දැනට පොඩි අඩියක් ගහමු...”

“තාම උදේ අට හමාරයිනෙ ජෝති අයියෙ... කන්තෝරුවෙ වැඩ වගයකුත් තියෙනවා.”

එදා අපි එහෙම කියාගෙන ආපහු ආවා. ඊළඟ සඳුදා හරියටම අට හමාරට විතර ගියා. ඒත් ජෝති හිටියෙ නැහැ.

ඒත් නමය හමාර විතර වෙන කොට කඩාගෙන බිඳගෙන ඇවිත් එක දිගට සමාව ඉල්ලන්ඩ පටන් ගත්තා පමාව ගැන...

අපි සාකච්ඡාව පටන් ගත්තා... ජෝති එක තැනකදී මගෙන් අපූරු ප්‍රශ්නයක් ඇහුවා.

“දැන් මල්ලි ඉන්නවනෙ ප්‍රබුද්ධ ගායකයො කියල කොටසක්. එතකොට අපි කවුද?”

ඒ ප්‍රශ්නයෙන් මම අන්දමන්ද වෙලා ගියා.

“ජෝති ජනප්‍රිය ගායකයෙක්...”

“නැහැ... ඒ ගොල්ලොත් ජනප්‍රියයිනෙ...”

මම නිරුත්තර වෙලා බලාගෙන හිටියා... එතකොට ජෝතිම උත්තර දුන්නා.

“මල්ලි ඒ ගොල්ලො ප්‍රබුද්ධ ගායකයො... අපි පීචං ගායකයො.”

ඔය ප්‍රකාශය ඊළඟ ‘දිවයින ඉරිදා සංග්‍රහයෙ’් කාලීන සංවාද ශාස්ත්‍රීය සංග්‍රහයේ ලොකු සිරස්තලයක් වශයෙන් පළවුණා.

ප්‍රබුද්ධ - පීචං සංවාදය පටන් ගත්තෙ ඔය විදියට. හැබැයි ඔය ලිපිය පළවෙලා දවස් දෙකකින් මට නිහාල් නෙල්සන් කතා කළා.

“මොකක්ද කසුරි... ජෝතිපාලට පිස්සුද? එයා කොහොමද පීචං ගායකයෙක් වෙන්නෙ...”

ජෝතිපාල වගේ ම නිහාල් නෙල්සන් කියන්ඩ යන්නෙත් මොන වගේ දෙයක් ද කියලා හිතාගන්ඩ බැරුව මම නිහඬවෙලා හිටියා.

“කසුරි... ඒ ගොල්ලො ප්‍රබුද්ධ නම් ජෝතිපාල ලා සුප්‍රබුද්ධයි.”

පස්සෙ දවසක නිහාල් නෙල්සන් එක්කත් සංවාදයක යෙදුණා. ඒ ලිපියේ සිරස් තලය වුණේ “ඒ ගොල්ලො ප්‍රබුද්ධ නම් ජෝතිපාල සුප්‍රබුද්ධයි” කියන එක.

ඔවුන්ගේ ජීවිතයේ පළමු වතාවට ඉරිදා පුවත්පතක ශාස්ත්‍රීය පිටු ජෝතිපාලලා, නිහාල් නෙල්සන්ලා වෙනුවෙන් වෙන්වුණේ ඔය විදිහට.

පස්සෙ දවසක නන්දා මාලිනී සමඟත් සුනිල් එදිරිසිංහ සමඟත් කාලීන සංවාද දෙකක් පැවැත්වූවා. ඒ දෙන්නාම ජෝතිපාල ගැන කතා කෙරුවෙ මහ ඉහළින්.

“දවසක් මරදාන හරියේදී මගෙ කාරෙක හැප්පුණා... තවත් වෑන් එකක... වෑන් එකේ මිනිස්සු බැහැලා මට දොස් කියන්ඩ පටන්ගත්තා.

එතකොට මිනිස්සු පිරුණා... එතකොට කොහෙන් ආවද මන්දා ජෝතිපාල ආවා...

“නන්දක්කා මොකද මේ?”

“කාරෙක වෑන් එකේ හැප්පුණා...”

“සුළු දෙයක්නෙ මල්ලී...”

ජෝතිපාල එහෙම කිව්වා විතරයි වෑන් කාරයෝ යන්ඩ ගියා.

සුනිල් එදිරිසිංහ කිව්වේ අමුතුම කතාවක්.

“එංගලන්තෙට ගියාම අපේ කලාකාරයො නවතින්නෙ දන්න අඳුනන ශ්‍රී ලාංකිකයන්ගෙ ගෙවල්වල. හැබැයි ඔය ගෙවල්වල නවතින සමහර දෙනා ඒ ගෙවල්වලින් එක දිගට ටෙලිෆෝන් කෝල් ගන්නවා. එහෙම ගන්නේ නැති එක්කෙනෙක් හැටියට ජෝතිපාල හරි ප්‍රසිද්ධයි. ඔහු ඒ ශ්‍රී ලාංකිකයන්ට කිසිම කරදරයක් නොවූ කලාකරුවෙක්...”

ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් ජෝතිපාල ගැන කතා කෙළේ බොහොම ගෞරවයෙන්.

“ජෝතිපාල සංගීතය හදාරලා නැහැ... ඔහු ගී ගැයුවේ ‘ඉයර් එකට’ (ඇසීම අනුව) ජෝතිපාල තරම් ඉයර් එකට සන්දු කියන්ඩ පුළුවන් කිසි කෙනෙක් තව නැහැ...”

ජෝතිපාල ගැන මේ අදහස් පළවුණේ ඔහු ජීවත්ව සිටියදී.

ඒත් එදා ඔහුට සමහරු හූ කිව්වා. ඒත් අද සුපර් ස්ටාර්ස්ලා ගයන්නේත් ජෝතිපාල ගේ සිංදු.

මොනව වුණත් ඉරිදා ජාතික පුවත්පතක ශාස්ත්‍රීය පිටුවක ජෝතිපාලට ඡායාරූප සහිතව ඉඩක් ලබාදෙන්නට හැකිවීම ගැන මගේ හිතේ පුංචි ආඩම්බරයක් තියෙනවා. එහෙම සංවාදයක් එහෙම පිටුවක ගිය පළමු අවස්ථාව කියලයි මම හිතන්නෙ.

0 comments:

Post a Comment