----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

Lanka Art Chat Room - එන්න අපි කතා කරමු

ටවර්හෝල් නූර්ති ගී ග්‍රන්ථය...

Tuesday, February 5, 2013


සුජාතා අත්තනායක මහත්මිය විසින්
සම්පාදිත ටවර්හෝල් නූර්ති ගී ග්‍රන්ථය.....
ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද සුජාතා අත්තනායක මහත්මිය විසින් සම්පාදිත ටවර්හෝල් නූර්ති ගී ග්‍රන්ථය හා සංයුක්‌ත තැටිය සංස්‌කෘතික හා කලා කටයුතු ඇමැති ටී. බී. ඒකනායක මහතාට කොළඹ 07, සව්සිරිපායේ පිහිටි ටවර් හෝල් රඟහල පදනමේ දී පිළිගැන්වූ අයුරු ඡායාරූපයේ දැක්‌වේ. මෙම උත්සව අවස්‌ථාවට ප්‍රවීණ ගායන ශිල්පී ආචාර්ය දයාරත්න රණතුංග, ප්‍රවීණ ගායන ශිල්පිනී අමරා රණතුංග, ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්‌ෂ ජනරාල් ඩග්ලස්‌ සිරිවර්ධන මහත්ම, මහත්මීන් ඇතුළු විශාල පිරිසක්‌ සහභාගි වූහ.

Divayina
READ MORE - ටවර්හෝල් නූර්ති ගී ග්‍රන්ථය...

'නිහාල්සිංහ : පුරෝගාමී තෙවැනි ඇස්'


'නිහාල්සිංහ : පුරෝගාමී තෙවැනි ඇස්'
2013 පෙබරවාරි 12 වැනිදා ජනගත වේ


කලා විචාරක නුවන් නයනජිත් කුමාර විසින් විරචිත අභිනව ග්‍රන්ථය 'නිහාල්සිංහ පුරෝගාමී තෙවැනි ඇස්' 2013 පෙබරවාරි 12 වැනිදා පස්‌වරු 3.00 ට ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ අනුග්‍රහයෙන් කොළඹ, බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඒ කමිටු ශාලාවේ දී ජනගත වේ.

මෙය ආචාර්ය ඩී. බී. නිහාල්සිංහගේ අපදානය සේම, ඔහුගේ කලා මෙහෙවර පර්යේෂණාත්මක හා විචාරාත්මක ප්‍රවේශයකින් අධ්‍යයනයට ලක්‌ කිරීමකි. ලාංකේය සිනමාවේ බිහි වූ ප්‍රශස්‌ත සිනමාකරුවන් අල්පයෙන් එක්‌ අයකු ලෙස ද මෙරට බිහි වූ අග්‍රගණ්‍ය සිනමා කැමරා ශිල්පියා ලෙස ද, අග්‍රගණ්‍ය සිනමා පරිපාලකවරයා ලෙස ද, ලාංකේය ටෙලි නළු කලාවේත්, සිනමා, රූපවාහිනිය හා සබැඳුණු නව්‍ය තාක්‍ෂණය හඳුන්වා දුන් පුරෝගාමියා ලෙස ද, සිනමාව හා රූපවාහිනිය අරභයා දෙස්‌ විදෙස්‌ හි නව විද්‍යාර්ථින් පරපුරක්‌ බිහි කළ ඇදුරුතුමකු ලෙස ද හමුවන, නිහාල් සිංහයන්ගේ පංචවිධ භූමිකා මෙහිදී නුවන් නයනජිත් කුමාරගේ විචාරාක්‍ෂියට හා පර්යේෂණාක්‍ෂියට හසුවේ.

එපමණකුදු නොව සිනමාස්‌කෝප් ක්‍රමවේදය ආසියාවට හඳුන්වා දුන් පුරෝගාමියා ලෙස ද හස්‌තගත කැමරා ශෛලිය ආසියානු කලාපයේ භාවිත කළ දෙවැන්නා ලෙසද, දකුණු ආසියාවේ හා ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට වර්ණ රූපවාහිනි නිෂ්පාදන ප්‍රාසාංගික වර්ණ ටෙලි නාට්‍ය බිහි කළ නිර්මාණකරුවා ලෙස ද, නිහාල්සිංහ හා සබැඳුණු සියලු පුරෝගාමී කර්තව්‍යයන් මේ ග්‍රන්ථයෙන් පර්යේෂණාත්මකව තහවුරු කෙරේ.

නිහාල්සිංහගේ දෙමව්පියන් වූ මෙරට අග්‍රගණ්‍ය, අදීන පත්‍රකලාවේදියාණන්, මහා ගුරුවරයාණන් වූ ඩී. බී. ධනපාලයන්ගේ ද, සුප්‍රකට චිත්‍ර හා මූර්ති ශිල්පිනියක වූ රතී ධනපාලයන්ගේ ද, නිහාල්සිංහගේ සොහොයුරා නිසල රූ කලාවේ නව මං සෙවූ ඩී. බී. සුරනිමලයන්ගේ ද, අපදාන හා විචාරාත්මක අධ්‍යයන මේ ග්‍රන්ථයට ඇතුළත් වේ. මහාචාර්ය ෙ-. බී. දිසානායක, මහාචාර්ය සුනිල් ආරියරත්න, ප්‍රවීණ කැමරා ශිල්පී එච්. ඩී. මහින්දපාල, ප්‍රවීණ නළු ජැක්‌සන් ඇන්තනී මෙහිදී ග්‍රන්ථයට අදාළ කෙටි දෙසුම් පවත්වති. මේ හැරුණු විට ප්‍රවීණ කලාකරුවන් හා විද්වතුන් රාශියක්‌ ද මෙහි දී සන්දර්ශිත ලකුණු තැබීමට එක්‌වෙති. පූරක දායකත්වය වජිර ජයවර්ධන, සඳමාලි හේවානායක හා දිලිනි සංදීපිකා ගෙනි. උළෙලේ පිටපත උපුල් ගුරුගේ ගෙනි. Fast පබ්ලිෂින් (සුරස) ප්‍රකාශනයක්‌ වන මෙහි A 4 ප්‍රමාණයේ පිටු 630 කි. දුර්ලභ ගණයේ ඡායාරූප 1000 කට අධිකය.
- සචිත්‍ර ඇල්වලගේ
 

READ MORE - 'නිහාල්සිංහ : පුරෝගාමී තෙවැනි ඇස්'

නිහඬව නික්‌ම ගිය සුන්දර මිනිසා ඊබට්‌ විඡේසිංහ


නිහඬව නික්‌ම ගිය සුන්දර මිනිසා ඊබට්‌ විඡේසිංහ

සංජීව මතඟවීර - නෝනාගම


සුවහසක්‌ සහෘද කලාකරුවන්ගේ, සිනමා ලෝලීන්ගේ හා ඥති හිතවතුන්ගේ සෝ සුසුම් මැද ප්‍රවීණ හා සම්මානනීය වේෂ නිරූපණ ශිල්පී ඊබට්‌ විඡේසිංහයන් ඊයේ දැයෙන් සමුගත්තේය.

සැත්තෑ එක්‌ වසක තම ජීවන ගමනේ පනස්‌ එක්‌ වසක්‌ම ඊබට්‌ විඡේසිංහ සිනමාව හැඩ කිරීමට තම දායකත්වය ලබා දුන්නේය.


මහනුවර පාතදුම්බර කොස්‌ගම සුන්දර ගම් පියසෙහි විසූ අරුනෝලිස්‌ විඡේසිංහ හා ඇලන් ජයවර්ධන යුවළගේ දරුවන් නම දෙනා අතරින් සිව්වැන්නා ලෙස උපත ලැබූ ඊබට්‌ විඡේසිංහ, පාසල් දිවිය තුළම සිය කලා හැකියාවන් පෙන්නුම් කළේය. පාසල් වේදිකාවේ සිය රංගන හැකියාව විදහා දැක්‌වූ ඔහුගේ ඊළඟ අභිප්‍රාය වූයේ ලංකාවේ ප්‍රකට රංගන ශිල්පියකු වීමටය. ඒ සිහින සඵල කර ගන්නට ඔහු සිය සොහොයුරු වන රංගන ශිල්පී එඩ්මන් විඡේසිංහයන් සමඟින් කොළඹට ආවේය. නමුත් ඔහුගේ දෛවය වෙනස්‌ කරන්නට ඒ කොළඹ ගමන සමත් වූයේය.

ආතර් සී. ක්‌ලාක්‌, තිස්‌ස ලියනසූරිය, ශේෂා පලිහක්‌කාර වැනි ප්‍රවීණයන් අතර වන් ඊබට්‌ සෙරන්ඩිබ් සිනමා ආයතනයෙහි සහාය කලා අධ්‍යක්‍ෂවරයකු කාර්මික ශිල්පියකු, සහාය වේෂ නිරූපණ ශිල්පියකු ලෙස තම සිනමා ගමන ආරම්භ කළේය. එහෙත් විඡේසිංහයන්ගේ රංගන සිහිනය යටපත් කරන්නට ඔහුට නොහැකි විය.

"පුතා.... රංගනය නොව දැතේ රැකියාවක්‌ ඉගෙන ගැනීම ඔයාගේ අනාගතයට සුදුසුයි..." වේශ නිරූපණ ශිල්පී ශේෂා පලිහක්‌කාර මහතා දුන් ඔවදන පිළිගත් විඡේසිංහ ඔහු යටතේ සහාය වේෂ නිරූපණ ශිල්පියකු ලෙස චිත්‍රපට ගණනාවකම කටයුතු කළේය. තිස්‌ස ලියනසූරිය විසින් අධ්‍යක්‍ෂණය කරන ලද "සාරවිට" සිනමා කෘතියේ ප්‍රධාන වේෂ නිරූපණ ශිල්පියා ලෙස කටයුතු කිරීමට ලද වරම ප්‍රයෝජනයට ගත් ඊබට්‌ තම රංගන සිහිනය යටපත්කර ගනිමින් වේෂ නිරූපණ ශිල්පියකු ලෙස තම සිනමා ගමනට ප්‍රවිශ්ඨ විය.

ජෝ අබේවික්‍රමයන් වෙස්‌ ගන්වමින් ඇරැඹුණු එම ගමන හුලවාලි, දැස නිසා, සිරිබෝ අයියා, බඹරු ඇවිත්, අපේක්‍ෂා, අහසින් පොළවට, සිකුරුලියා, ගඟ අද්දර, බද්දේගම, සරුංගලේ, නොමියන මිනිසුන්, සිසිල ගිනිගනී, පවුරු වළලු, පුරහද කළුවර, කෙළිමඬල, ආදී එදා සිට අද දක්‌වා තිරගතවූ චිත්‍රපට විශාල සංඛ්‍යාවකට දායක වූ නළු නිළියන් රැසක්‌ වෙස්‌ ගන්වන්නට ඔහුට හැකිවිය. ඔහු අතින් වෙස්‌ ගැන්වුණු රංගන ශිල්පියකු නොමැත්තේනම් ඒ අතළොස්‌සක්‌ පමණකි. මේ අතරතුර ඇතැම් සිනමා හා ටෙලි නාට්‍ය හරහා තම සිහිනය වූ රංගනය සැබෑ කර ගන්නටද ඊබට්‌ ට හැකියාව ලැබිණි.

සාරවිටින් ඇරැඹුණු ඊබට්‌ගේ ගමන මෑතකදී නිර්මාණය කෙරුණු සුමිත්‍රා පීරිස්‌ අධ්‍යක්‍ෂණය කළ "වෛශ්‍යාමනී" චිත්‍රපටය දක්‌වා විහිදිනි.

තම අත්හදා බැලීම්, නව සොයා ගැනීම්, පොතපත හා සිය දක්‍ෂතාවය ඔස්‌සේ ශ්‍රී ලංකාවේ වේෂ නිරූපණ කලාව දිනෙන් දින නවමු මාවතකට ගෙන එන්නට ඊබට්‌ විඡේසිංහයන්ට හැකියාව ලැබුණේය.

වේෂ නිරූපණ වෘතAතීය ගරුත්වයෙන් යුතු වෘත්තියක්‌ බවට පත්කරන්නට ඔහු ඕනෑම අවස්‌ථාවක ඉදිරිපත් වූයේය. අසාධාරණය ඉදිරියේ හිස නොනැමූ ඊබට්‌ තම වෘත්තීය ගරුත්වය හා එහි අනාගතය රැකගන්නට නොපැකිලිව ඉදිරිපත් විය. විදේශ සිනමා නිෂ්පාදනයන් කිහිපයකට ප්‍රධාන වේෂ නිරූපණ ශිල්පියා ලෙස කටයුතු කළ ඔහු ඒ ඔස්‌සේ විදේශ සිනමාවේ වේෂ නිරූපණ ශිල්ප ක්‍රමද ලංකාවට හඳුන්වා දුන්නේය.

විඡේසිංහයන්ගේ නිබඳ අධිෂ්ඨානය වූයේ වේෂ නිරූපණය ඉගැන්වීමට ජාතික මට්‌ටමේ වැඩපිළිවෙළකට දායක වීමටයි. ඒ සඳහා ඔහු කීපවරක්‌ උත්සාහ දැරුවද බලධාරීන්ගේ උදාසීනත්වය හමුවේ එය සාර්ථක වූයේ නැත. එහෙත් ඔහුගේ ගුරු හරුකම් ලැබූ කිහිප දෙනකු අද ලංකාවේ දක්‍ෂ වේෂ නිරූපණ ශිල්පීන් බවට පත්ව ඇත. පසුගිය 26 වැනිදා ඊබට්‌ විඡේසිංහයන්ගේ ප්‍රිය බිරිඳ වන සරෝජනී විඡේසිංහගේ හැටවන උපන් දිනය යෙදී තිබුණේය. විඡේසිංහයන්ටත්, සරෝජනීටත් හොරා ප්‍රවීණ වේෂ නිරූපණ ශිල්පී රංජිත් මතඟවීරගේ නිවසේ ඒ වෙනුවෙන් උපන්දින සාදයක්‌ නිර්මාණය විය. සන්ධ්‍යාවෙහි සරෝජනීටත්, ඊබට්‌ටත් ඊට ආරාධනා ලැබිණි. සාදය සංවිධානය කර තිබුණේ සරෝජනීගේ සහෝදර සහෝදරියන් ඇතුළු ඥතීන් විසිනි. ඊට පනස්‌ දෙනෙකු පමණ එක්‌ව සිටියේය. එහිදී වඩාත් ප්‍රීති වූයේ විඡේසිංහයන්ය. කවදත් සොඳුරු මිනිසකු වූ ඔහුට සිය ඥතීන් ඉදිරියේ ගී ගැයීමට සිදුවිය. ඔහු එක දිගට ගීත 21 ක්‌ ගායනා කළේය. අවසන් වරට ඔහු ගැයුවේ "බුද්ධං සරණං ගච්ඡාමි" ගීතයයි. විදේශයන්හි සිටින ඥතීන්ද අන්තර් ජාලය ඔස්‌සේ සාදයට සම්බන්ධ විය. ඔවුන්ගේ ඉල්ලීම්වලට ගී ගයන්නටද ඊබට්‌ ට සිදුවිය. සාදය 27 වැනිදා අලුයම 3.30 දක්‌වා පැවැත්විණි. සාදය අවසානයේ ඊබට්‌ සැමට ස්‌තුති කර කතාවක්‌ද පවත්වා සිය නිවසට ගියේ සිය බිරිඳද සමගය. මඳ වේලාවක්‌ නින්දේ පසුවූ විඡේසිංහ ජලය පානය කිරීම සඳහා මුළුතැන්ගෙයට ගොස්‌ සිටියේය. එහෙත් ඒ වන විට ලතෙක්‌ ඇති මෙම සුන්දර මිනිසාගේ හදවත නතරවී තිබිණි. සුවහසක්‌ සිනමා ලෝලීන්ගේ ගෞරවය දිනාගත් සහෘද කලා ශිල්පීන්ගේ ආදරය දිනාගත් ඥති හිත මිතුරන්ගේ හදවත පැහැරගත් සුහද මිනිසා අද අවසන් ගමන් යන්නට සූදානමින් සිටී. එහෙත් ඔහුගේ අතින් හැඩ ගැන්වුණු සිනමා නිර්මාණ ඉදිරියේදී රසිකයන්ට රස විඳින්නට හැකියාව ලැබෙනු ඇත. ඔහුගේ නම සිනමා ඉතිහාසයේ රන් අකුරින් ලියෑවෙනු ඇත.

ප්‍රවීණ රංගන ශිල්පියකු වන ටෝනි රණසිංහයන් ඊබට්‌ගේ සේයාරුවක ලියා තිබූ වැකියක්‌ මා හට සිහිවෙයි.

"නන් වෙස්‌ මැවීම් කළ හැක්‌කේ දෙවියන්ට පමණි. නමුදු ඊබට්‌ගේ වෙස්‌ මැවීම් ඉදිරියේ දෙවියෝද මවිත වෙති."

සොඳුරු සහෘදයාණෙනි... අපි ඔබට නිවන්සුව පතමු.·

Divayina
READ MORE - නිහඬව නික්‌ම ගිය සුන්දර මිනිසා ඊබට්‌ විඡේසිංහ

සමනල සංධවනිය


ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයට පසු
සමනල සංධවනිය
ඊ.ඒ.පී. මණ්‌ඩලයේ සිනමා ශාලාවලදි


වෙදහාමිනේ, දඬුබස්‌නාමානය, අකාල සන්ධ්‍යා වැනි අතිශය වින්දනීය සහ සම්මානිත ජනප්‍රිය ටෙලිනාට්‍ය ද අග්නිදාහය, ගරිල්ලා මාර්කටිං වැනි සම්මානිත සහ වින්දනීය චිත්‍රපට ද නිර්මාණය කළ ප්‍රවීණ සිනමාකරු ජයන්ත චන්ද්‍රසිරි ගේ නවතම චිත්‍රපටය "සමනල සංධවනිය"ය. (Buterfly Sympony) රූ සිනමා ක්‍රියේෂන් හවුස්‌ වෙනුවෙන් රුවන් ජයසිංහ සමග පාලිත ගුණවර්ධන නිෂ්පාදනය කළ "සමනල සංධවනිය" දැන් තිරගත වන ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයට පසු ඊ.ඒ.පී. මණ්‌ඩලයේ සිනමා ශාලා 35 ක තිරගත වීමට නියමිතය.

මධුර ගීතාවලියක්‌ ද රැගත් සංගීතමය චිත්‍රපටයක්‌ වන "සමනල සංධවනිය" හි ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබන්නේ උද්දික ප්‍රේමරත්න, යශෝදා විමලධර්ම, පුබුදු චතුරංග, දමිතා අබේරත්න, චතුරිකා පීරිස්‌, රොජර් සෙනෙවිරත්න, විල්සන් ගුණරත්න, බුද්ධදාස විතානආරච්චි, රෙබෙකා නිර්මලී, දිමුතු චින්තක, රොෂාන් පිලපිටිය, උදිත ගුණරත්න, චංචලා වර්ණසූරිය, සඳුන් බණ්‌ඩාර, ජයතිස්‌ස අතුලසිරි, ජයරත්න ගලගෙදර, ශිරාණි දිසානායක, උපුල් මහානාම, රාජා ගනේෂන් ඇතුළු පිරිසක්‌ සමග රිදී තිරයට හඳුන්වාදෙනු ලබන සූරියා දයාරුවන් සහ බුද්ධිනී පූර්ණිමාය.

රුවන් කොස්‌තා කැමරා අධ්‍යක්‍ෂණයෙන් ද දර්ශන රුවන් දිසානායක සංගීත අධ්‍යක්‍ෂණයෙන්ද "සමනල සංවනිය" ට දායක වී ඇති අතර රවීන්ද්‍ර ගුරුගේ විසින් සංස්‌කරණය කරනු ලැබ ඇත. සහාය සංස්‌කරණය අජිත් රාමනායකය. වේශ නිරූපණය වසන්ත විට්‌ටච්චි ගෙනි. කේශාලංකරණය ලලිත් ධර්මවර්ධනය. කලා අධ්‍යක්‍ෂණය රොහාන් සමරදිවාකරගෙන් වන අතර ශබ්ද පරිපාලනය අරුණ කළුආරච්චිය. නිමල් ප්‍රැන්සිස්‌ සහ සරත් සේනාරත්න සහාය අධ්‍යක්‍ෂණයෙන් දායකවී ඇති "සමනල සංවනිය" හි නිෂ්පාදන කළමනාකරණය ප්‍රසන්න ඉත්තෑපානය. විධායක නිෂ්පාදනය නිමල් විඡේසිරි සේනාධීරය. පසුබිම් ගායනය අමරසිරි පීරිස්‌, ඉන්දික රුවන් (රූනි) සහ ෂම්මිකා අමානිය. ගීත රචනය අමිල තේනුවර සහ ජයන්ත චන්ද්‍රසිරිය. ඉන්දියාවේ මුම්බායි නුවර ප්‍රසාද් චිත්‍රාගාරයේ පසු නිෂ්පාදන කටයුතු සිදුකර ඇති "සමනල සංධවනිය" සිනමාස්‌කෝප් ප්‍රමාණයෙන් සහ DTS ශබ්ද තාක්‍ෂණයෙන් යුක්‌තය.
Divayina

සංස්‌කරණය : නාරද නිශ්ශංක
READ MORE - සමනල සංධවනිය

ආයුබෝවා - සුබ නිදහසක් - ලඞකා ආrt

Monday, February 4, 2013

Sri Lanka Independence Day 2013
READ MORE - ආයුබෝවා - සුබ නිදහසක් - ලඞකා ආrt

නමක් නැති මිනිසාගේ පුරාවෘත්තය 05 දා ජනගත වේ


නමක් නැති මිනිසාගේ පුරාවෘත්තය 05 දා ජනගත වේ

ප්‍රවීණ පරිවර්තක එස්. චන්ද්‍රසිරි දසනායක ගේ පරිවර්තන කෘතිය ‘නමක් නැති මිනිසාගේ පුරාවෘත්තය’ (THE LEGEND OF THE MAN WITH NI NAME – GRANK CHANDLER/JOE MILLARD) මේ මස 5 වැනි අඟහරුවාදා උදේ 10.00ට කොළඹ මරදානේ දයාවංශ ජයකොඩි සහ සමාගමයේ නව පොත් ප්‍රදර්ශනාගාරයේ දී දොරට වඩී.
’නමක් නැති මිනිසාගේ පුරාවෘත්තය’ නමින් ඔබ අත පත්වන මෙම ග්‍රන්ථයට පාදක වී ඇත්තේ කතුවරයන් දෙදෙනකු විසින් ලියන ලද බටහිර ගොපලු චිත්‍රපට තුනකට පාදක වූ නවකතා තුනකි.

READ MORE - නමක් නැති මිනිසාගේ පුරාවෘත්තය 05 දා ජනගත වේ

දිනක දිවිය


දිනක දිවිය

දිනක් ආයු වලඳා
දිනම සුවඳ කරලා
එදිනම මිලින වන
සුවඳැ’ති කුසුම...

ලොවම හැඩ කර
ලොවම මුකුලිත කර
ලොවම ආදරය කරන
සියුමැලි කුසුම...

සමනල බිඟු කැන් වටකර
ඉඟි පා රස රහස් කියන
මල් මුවරද තුටින් ම දෙන
පිවිතුරු කුසුමකි මිහි මත...

සුරඟන රස කතා මවන
පිනි බිඳු තුරුලට අරගෙන
රිවි කුමරුට ආලපාන
ඔහු හා පිබිදී මියැදෙන
අපූරුමැයි දිනක දිවිය...
නිල්පනාගොඩ ගයාත්‍රි සුලක්ඛනා සතරසිංහ
READ MORE - දිනක දිවිය

කොළඹ කවියට පෙර ගමට ගිය කවි පොත්


රජරට පාරම්පරික කොටු ගම්මානවල ජනතාව බණ පොත් හා පන්සල සමඟ දැඩි බැඳියාවක් පැවතිණි. වාර්ෂික බණ පින්කම් මාලාවල් මෙන්ම දොරකඩ අස්න - ආලවක දමනය - සච්චක දමනය ආදී දෙබස් සහිත රංගමය ආකාරයේ ධර්ම දේශනා ද ඒ අතර විය. මේ කුමන ආකාරයේ බණ පින්කම් තිබුණ ද කවි බණවලට ඔවුන් විශේෂ ළැදියාවක් දැක්වූහ. ඒ හැර ගුත්තිලය – බුදුගුණාලංකාරය – යසෝදරාවත - වෙස්සන්තර ජාතකය ආදී කවි පොත් ද භාවිතයේ පැවතිණි.
ඉන් අනතුරුව කොළඹ යුගයේ කවීන්ගේ නිර්මාණකරණයට පෙර පැවතියේ කවි කොළ හා පිටු 4 සිට 10 දක්වා වන පුංචි කවි පොත්ය. රජරට නියං සාගත වැඩපළවල්වල මේ සත දෙකේ සත තුනේ කවිපොත් ශීඝ්‍ර ලෙස අලෙවි වුණි. කොළඹ යුගයේ කවියෙක් වූ බී.එච්.අමරසේනයන් යශෝධරා - සැවැත්සුන්දරි – ආදී කවිපොත් ලිවීමට පෙර ජනතාව අතරට ගිය කුඩා කවි පොත් රාශියක් විය.
කීර්තිලතා නෝනා මහත්මිය යන නමින් විශාල කවි පොත් ප්‍රමාණයක් ලියවී ඇති අතර තවත් එවැනි කවීන් කීප දෙනකු කවි පොත් ලියා ඇත. ඒ අතර ජාතක කතා කීපයක් ද විය. ඒ අතුරින් සද්ධන්ත ජාතකය එදා අතිශයින් ජනප්‍රිය වී තිබුණි.
ඒ සමඟ ම වෙස්සන්තර සිරිත නම් වූ කවි පොතක් ද නිරන්තර ව භාවිතයට ගැනිණි. මේ කවි පොත ඒකාකාරී සමුදුර ගොස විරිත කවි ආරෙන් මිදී රසබර විරිත් රැසකින් ලියැවී තිබීම එහි විශේෂත්වයකි. වෙස්සන්තර සිරිත, කාබේරිකතාව (කාපිරි කුමාරයගෙ කතාව) අන්ධමව් තුන්දෙනාගෙ කතාව, මුවන්තිස්ස කුමාරයගෙ කතාව - ලියනෝරා කුමාරිගෙ කතාව ආදී දීර්ඝ කතාන්දර අතිශයින් ජනප්‍රිය වී තිබුණි. වැඩිහිටියන් පැල්වලට යද්දී ගමේ ඉතිරිවන වැඩිහිටි අත්තම්මලා අත්තප්පලා මෙබඳු කවිපොත් දරුවන් ලවා ශබ්ද නඟා කියවනු ලැබීය. ඒ අනුව මෙබඳු කතා කවියෙන් අසා සිට කතාවක් වශයෙන් තවත් කෙනකුට පැවසීම ද සිරිතක් ව පැවතිණි.
 
වනේ කැක්කුමට ගවයා
තැවෙන වර
මසට ලොබින් කපුටෙකු පැන
කොටන යුර
සැමියා මළ දුකින් දුක්වන
මට මෙ වර
කුමන සැප පතා කරනෙම් ද
කරදර
කීර්තිලතා නමැති කිවිඳියක විසින් ලියවී ඇති එබඳු කවි පොතකින් මේ කවිය පාඩම් කළ බව අප සමඟ තොරතුරු පැවසු මවක් පැවසුවා ය. එවකට කවි ලියූ කවියන් අතර බුදුබණ ජාතක කතා ආදී බෞද්ධ සාහිත්‍යයේ එන සිද්ධි ගැන ලියූ කවි වලට අමතරව මුතු කුමාරී කතාව හා ලියනෝරා කුමාරිගෙ කතාව යන කතාවල චරිත බටහිර නම්වලින් යුක්ත ය.
මුතුකුමාරී කතාවේ කතානායකයා අස්නේසන් කුමාරයා ය. ලියනෝරා කුමරි කතාවේ ප්‍රධාන චරිතය ලියනෝරා නමැති කුමරියක් ය. මේ කතාව අප සමඟ පැවසූ වැඩිහිටියා ලියනෝරා යන්න වැහැරුවේ ලියන හොරා යනුවෙනි.
ඒ අනුව ඒ යුගයේ ජනපි‍්‍රය වූ කවි පොත්වලට බෞද්ධ සාහිත්‍යයේ කතාවලට අමතරව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය ඔස්සේ පැමිණි යුරෝපීය ජනකතා ද කවියට නැඟී ඇති බව පෙනේ. මේ හැර බී.එච්.අමරසේනයෝ බෞද්ධ සාහිත්‍යයේ සුවිශේෂ චරිත කවියට නැඟීමට පෙර ද ඒ ආසන්න කාලයකදී කවි පොත් ලියූ කවිකාරයන් රැසක් සිටි බව පෙනේ.
මේ හැර නුවරකලාවියෙන්ම බිහිවූ කවි පොත් කීපයක් ගැන ද සඳහන් වෙයි. ඒ අතර “අශ්ඨනාරි සන්දේශය” විශේෂ කවි පොතකි. කුරුණෑගල නාතගනෙන් පිටත්වන කාන්තාවන් අට දෙනෙක් නුවරකලාවිය හරහා ගිය ගමනක් ගැන ඒ සන්දේශ කාව්‍යයෙන් කියැවේ.
ඊට අමතරව තිස්පනේ සාගත කාලයේ ලියවුණ “සාගත කවි”, “රට සාය හීපද ආදී කවි පොත් ද අද දක්වාම ජනප්‍රියව පවතී. දෙමළිට බැඳි කවි – තලගොයි මැරීම පිළිබඳ ලියවුණු කවි ආදිය නුවර කලාවියෙන්ම බිහිවූ කවි වශයෙන් හඳුන්වා දිය හැකිය.
මේ අනුව බලනවිට අපේ බෞද්ධ සාහිත්‍යය ඇසුරෙන් පෙර රජ දවස ලියවුණු කවි හා කොළඹ යුගයේ බිහිවුණු කවිවලට අතර මැදි යුගයේ ග්‍රාමීය පද්‍ය සාහිත්‍යයක් පැවති බව පෙනේ.
කඩදාසි හා මුද්‍රණ ක්‍රියාවලිය ව්‍යාප්ත වූ මුල් යුගයේ මේ කවි පොත් සාහිත්‍ය ඇරඹී ඇති බව පෙනී යයි. එදා පැල්කවි හා වෙනත් ජනකවි ගායනා කරමින් වෙලේ හේනේ පැල් රැකි ගැමියා ශීඝ්‍රයෙන් මේ කවිපොත්වලට යොමු වූ බව පෙනේ.
ලන්තෑරුම දල්වා පැලේ එල්ලා එහි එළියෙන් මේ කවිපොත්වල කවි තාලයට ගායනා කිරීම එකල බහුලව පැවතිණි. මේ ලේඛකයා ළමා අවධියේ එබඳු කවිපොත් හේනේ පැල්වල නිරන්තරයෙන් පැවතිණි. එම යුගයේ කඩදාසි කොළයේ අච්චු ගැසූ එබඳු කවි කොළ ගමට ව්‍යාප්ත වීමත් සමඟ පැල් කවිය අභිබවමින් මේ කවිපොත් අතිශයින් ජනාදරයට පත්වී ඇත.
මෑත අතීතයේ ජනසාහිත්‍යයට පිවිසි මෙබඳු පොත් අද වන විට ශීඝ්‍රයෙන් ජනතාව වෙතින් බැහැරව පවතින අතර එම කවි පොත් යුගයේ මතක සටහන් නම් ලේසියෙන් බැහැර කළ නොහැකිය.

READ MORE - කොළඹ කවියට පෙර ගමට ගිය කවි පොත්

සොයාගෙන කියවන්න - ගෙදර ගැන හිත හිතා නැටුවා....


සොයාගෙන කියවන්න - ගෙදර ගැන හිත හිතා නැටුවා....
කවියක යොදන වචනයක් යනු අර්ථයක් සහ රිද්මයක් මතු කරන්නක්. වචන යනු අපගේ මනස තුළ විවිධ සංඥාවක් ඇති කරන දෙයක්. වචන තුළින් අප තුළ හැඟීම් සාධනය කරනවා. කවියක සාර්ථකත්වයක් රැඳී තියෙන්නේ කවියා විසින් කවිය තුළ යොදන භාෂාව අනුවමයි. කවියාට තම නිර්මාණය ගොඩ නඟන්නට තිබෙන අමුද්‍රව්‍ය වනුයේ භාෂාවයි.

2010 වසරේ රාජ්‍ය සම්මාන දිනූ මහින්ද ප්‍රසාද් මස්ඉඹුල කවියාගේ ‘හිරුත් හිම පියල්ලක’ කාව්‍ය ග්‍රන්ථයේ පළමු කවිය වෙත අපේ අවධානය යොමු කරමු. ඒ කවිය නම් කර ඇත්තේ ‘ලියමන’ යනුවෙන්. එහි භාෂාව භාවිත කර තිබෙන ආකාරය එනම් වචන පෙළින් පෙළට තබා කවිය ගොඩනඟන ආකාරය බලන්න.
නෙළුම් කවි ලී කෙළි ඔලිඳ කෙළි
මෙතෙක් නැතුව නොවෙයි අම්මේ
ඒත් ඒවා වෙනස් කර කර
අලුත් අයිටම්ස් හදනවා
උත්සවත් දැන් වැඩි නිසා
ෂෝස් දිගටම තියනවා
නින්ද නෑ රෑ පුරා නටනවා
උදේ ප්‍රැක්ටිස් කරනවා

දුරබැහැරකින් පැමිණ අග නගරයේ නැවතී නර්තනය රැකියාව බවට පත් කර ගත් තරුණ දියණියක් තමන්ගේ මවට ලියන ලියුමක් විදිහටයි මේ කවිය ගොඩනැඟෙන්නේ. ඇය තම මවට තවදුරටත් ලියන්නේ මොනවාදැයි බලමු.

ඇඟේ හැඩ නැතිවෙයි කියා
කන්න දෙන්නෑ රෑට බත්
කෙල්ලො දහයක් ඉන්නවා
හොරෙන් අපි තේ හදනවා

සිංදු විෂුවල්වලට ගියොතින්
දාහ ගාණේ ලැබෙනවා
ඒක අමතර ඒ වුණත්
විළුඹ තුනටිය රිදෙනවා

කවියා යොදන්නේ මේ තේමාවට උචිත බස් වහරක් නොවේද. දියණියක් තම මවට ලිපියක් ලියන විටදී විදග්ධ බස් වහරක් යොදා ගන්නේ නැහැ. ලියමනකට යොදන්නේ සරල හැඟීම්බර වචන. කවියා මෙම කවිය සඳහා යොදාගන්නේ ඊටම උචිත බස්වහරක්. ඉහතින් සඳහන් කළ සුභාෂිතයේ එන කවියේ බස හැසිරවීම වැනි සම්භාව්‍ය බසක් මේ කවියට උචිත වන්නේ නැහැ. අපට මේ කවියේ වචනවල රිද්මය දැනෙනවා. ඒ වචන යොදා තිබෙන පිළිවෙළ එනම් එහි ආකෘතිය අපට අපේ පැරැණි කාව්‍යයක් සිහිපත් කරනවා.

කෝට්ටේ යුගයේ අවසාන භාගයේදී රණස්ගල්ලේ ස්ථවිරපාදයන් අතින් පිටපත් කර ඊට තවත් අතිරේක කවි කීපයක් එකතු කර ඇතැයි විද්වතුන් විසින් මත පළ කර ඇති ‘ලෝකෝපකාරය’ කාව්‍ය ග්‍රන්ථයේ එන කවිවල රිද්මය ද අපට මෙහිදී මතකයට එනවා.

සා ව අප බෝසත් - සා බමුණාට දෙනු ව ඇඟ මස්
පීනූ සඳ ගින්නට - සුරිඳු ගෙන සඳ මැදෙහි ඇන්දේ (13 වන කවිය)

ඉසුරින් පිරිහුණත් - සුදන තම ගුණය අඩු නොකෙරෙත්
බිඳුණත් රන් බඳුන - ඇණ බර අගය අඩු නොවන මෙනි (15 වන කවිය)

ඒ කවිවලින් මතු කෙරෙන රිද්මයත් ‘ලියමන’ කවියේ භාෂා භාවිතයෙන් මතු කෙරෙන රිද්මයත් සස¼දා බලන්න.

ඇඟේ හැඩ නැතිවෙයි කියා
කන්න දෙන්නෑ රෑට බත්

මේ කවියේ උපයුක්ත භාෂාවේ රිද්මය වෙතයි අපගේ අවධානය තවමත් යොමුව ඇත්තේ. කවියක් පළමුවරට අපව ඇද බැඳ ගන්නේ, අපිව ආකර්ෂණය කරන්නේ එහි බස්වහර විසින්මයි. එමෙන්ම එහි අර්ථයක්ද භාෂාව තුළම රැඳී පවතිනවා.
මේ කවිය නර්තන වෘත්තියේ යෙදී සිටින ශිල්පිනියකගේ ආත්ම කථනයක් නිසා මෙහි ආකෘතියේ නර්තනමය රිද්මයක්, චලනයක් පවතී යැයි අපට හැඟෙනවා. තවදුරටත් ඒ ආකෘතිය ඔස්සේ යමු.

අලුත් නැටුමක දුහුල් ඇඳුමට
වශීවුණු පොහොසත් කෙනෙක්
තෑගි දෙන්නට අහනවා
මම එපාමයි කියනවා

උත්සවේ දවසේ මගේ මට
අම්ම කී දේ මතක් වෙනවා
ඇත්තමයි සමහර දෙනෙත්වල
හරි අමුත්තක් තියෙනවා

දැන් මේ කවියේ අර්ථ රසය මතු කරන ආකාරය වෙත යොමු වෙමු. මෙහි අර්ථය කුමක්ද. එනම් කවියේ මතුපිටින් දක්නට නොලැබෙන එහි පතුලේ පවතින අර්ථය කුමක්ද විමසා බලමු. මෙම පද්‍යයේ ආකෘතිය තුළ දී අපට දැනෙන්නේ ශෝකීභාවයක්. එයින් උත්පාදනය වන්නේ කරුණා රසයක්. අපට මේ නර්තන දියණිය පිළිබඳ කරුණාවක්, දයාවක් ඇති වෙනවා නොවේද?

අර්ථපූර්ණ කාව්‍ය නිර්මාණයකදී හැඟීම් සූචනය කරවනවා. ඒ මතු කෙරෙන හැඟීම්, හැඟීම් ලෙසම රඳවා නොගෙන එය අපගේ් චින්තනයට බලපෑම් කරන දෙයක් බවට පත් කරනවා. කාව්‍ය සේවනය සහෘදයකුගේ චින්තනය ගැඹුරු කරවන්නට, පුබුදු කරවන්නට ඒ අනුව හේතු සාධක වෙනවා.

කවියේ චිත්‍රණය කෙරෙන මෙම තරුණ නර්තන ශිල්පිනිය නිරතව සිටින්නේ උසස්, සම්භාව්‍ය නර්තන කලාවක නොවේ. නර්තනය යනු සෞන්දර්ය අධ්‍යාපනික උසස් කලා මාධ්‍යයක්. එහෙත් ඇයට නිරතවීමට සිදුවී ඇත්තේ කෙබඳු නර්තන කලාවකද, ඒ පිළිබඳ කවියේදී අපට හඟවන්නේ කෙසේද?
අලුත් අයිටම්ස්, ෂෝස්, සිංදු විෂුවල් මේ වචනවලින් අපට හැඟෙන්නේ ඒ ගරු ගාම්භීර නර්තන කලාව නොවේ. කලාව වෙළෙ¼දාමක් බවට පත්ව රූපවාහිනී නාළිකාවල සහ වේදිකා සන්දර්ශනවල වාණිජ කර්මාන්තයක් වූ රංගනයයි. එහිදී ඇය තවදුරටත් රංගන ශිල්පිනියක් නොවේ.

ශ්‍රමිකයෙකි. එම වාණිජ කර්මාන්තයේදී ඇයට ඇයගේ සිරුර අලෙවි භාණ්ඩයක් ලෙස හසුරුවන්නට සිදුවේ. ඇගේ ජීවිතය පිළිබඳ වටහා ගන්නට තවදුරටත් ඇගේ ලියමන වෙත යොමු වෙමු.

දවස් නවයක් ෂෝස් දිගටම
ඊයෙ මට අර ලෙඩේ හැදුණා
ඒත් අම්මේ ගණන් නොගෙනම
ගෙදර ගැන හිත හිතා නැටුවා

අම්මගේ විටමින් ටිකයි
තාත්තගෙ දානෙට බඩුයි
ගන්න සල්ලිත් ඔන්න අම්මේ
මේත් එක්කම එවනවා

මෙම කවියේදී එහි මතුපිටින් නොකියැවෙන එහෙත් කවියේ පදපෙළට යටින් සැඟව තිබෙන අර්ථ මොනවාද?   අපේ පැරැණි ජන සමාජවලදී ශාන්තිකර්ම ලෙස, යාතුකර්ම ලෙස පැවතව, පසුව අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුළට කලාවක් ලෙස පැමිණි නර්තනය සමකාලීන සමාජ තුළ වාණිජ කර්මාන්තයක් බවට පත්ව ඇති අයුරු මේ කවියෙන් ධ්වනිත කෙරෙනවා.

මහින්ද ප්‍රසාද් තරුණ කවියාගේ පරිකල්පනයයි මෙහිදී වැදගත් වූයේ. මෙම කවියේදී ඔහු නර්තන ශිල්පිනියක් බවට පරිකල්පනය කරගනු ලබනවා. කවිය ගොඩනැඟෙනුයේ එම පරිකල්පනීය චරිතයේ ආත්මකථනයක් ලෙසයි. ඇය සිය මවට ලියන ලියමන අවසන් කරනුයේ මෙම පද පෙළිනි.
නිසරු අත්පුඩි විසිල් ඝෝෂා
අතර පසුපස තැනක කෙළවර
නොලා ඇසිපිය බලා මා දෙස
අම්ම ඉන්නව පේනවා

සිසිර කුමාර මහගම
READ MORE - සොයාගෙන කියවන්න - ගෙදර ගැන හිත හිතා නැටුවා....

අඥාන සූරසේනලා ඉසිවර නුවණින් දැකි දේශපාලන ටෙලි නාට්‍යකරුවා

අඥාන සූරසේනලා ඉසිවර නුවණින් දැකි දේශපාලන ටෙලි නාට්‍යකරුවා
13623_bjhuigui.jpg1941 ජනවාරි මස 28 වැනි දින දකුණු පළාතේ හික්කඩුව නම් ග්‍රාමයේ උපත ලබා ගාල්ල මහින්ද විදුහලෙන් සිප්සතර හැදෑරීමෙන් පසුව මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ රැකියාලාභියකු වී කොළඹ පැමිණෙන ධම්ම ජාගොඩ තරුණයා වසර 30කට පසුව, පරිණත වී කලා ක්‍ෂේත්‍රයේ දැවැන්තයකු ලෙසටත් සවිඥානික දේශපාලන සත්ත්වයකු ලෙසටත් නාට්‍ය අංශයේ ප්‍රධානියා වශයෙන් ආසනාරූඪවීම සඳහා ජාතික රූපවාහිනියට පියවර තබන්නේ රූපවාහිනී මාධ්‍යයේ ආගමනයත් සමඟය.


ධම්ම ජාගොඩයන් මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සේවය කරන සමයේදීම වේදිකා නාට්‍ය කිහිපයක් නිර්මාණය කළද ඔහු ප්‍රසිද්ධ වේදිකාවට අවතීර්ණ වන්නේ 1963 වර්ෂයේදී අමෙරිකන් ජාතික ටෙනිස් විලියම්ග්ගේ නාට්‍යයක් අනුවර්තනය කර අධ්‍යක්‍ෂණය කරමිනි. වෙස් මුහුණු නමින් නාට්‍ය ඉතිහාසයේ ලියැවී ඇති මෙම නාට්‍යය එවකට සිටි දැවැන්ත නිර්මාණකරුවන්ගේ නිර්මාණ අභිභවා සම්මානයට පාත්‍ර විය. ධම්ම ජාගොඩ සිංහල සහ ඉංගී්‍රසි භාෂාවන් ද්විත්වයෙන්ම එක හා සමානව මා වැඩ කිරීමේ සූරයෙක් විය. මෙය ඔහුගේ පසුකාලීන නිර්මාණයන් සඳහා මහෝපකාරී විය.


කෝලම් හා නාඩගම් නාට්‍ය සම්ප්‍රදාය, තාත්විකවාදී හා අධිතාත්විකවාදී රීතින් මෙන්ම යුරෝපයේ නව රැල්ලක් ලෙස හඹා ගිය කෘෘර නාට්‍ය සම්ප්‍රදාය මනා ලෙස අධ්‍යයනය කරමින් එම නාට්‍ය සම්ප්‍රදායන් අනුසාරයෙන් වේදිකා නාට්‍ය කිහිපයක් නිර්මාණය කිරීමට ධම්ම පෙලැඹුණේය. 1971 කැරැල්ලේ නැඟිටීම පිළිබඳ ඇතිවූ සංවේදී බව හේතුකොට ගෙන මළවුන් නැඟිටියි යනුවෙන් නාට්‍යයක් ඔහු විසින් නිර්මාණය කළද එය මහජන ප්‍රදර්ශනය සඳහා තහනම් කරන ලදී.

ධර්මසේන පතිරාජයන්ගේ පිටපතකට අනුව නිර්මාණය කරන ලද කොරා සහ අන්ධයා නාට්‍යයද, හොටබරි යුද්ධය, පරස්තාව, පෝරිසාදයා, සකලජන සහ මුහුදු පුත්තු නව නිර්මාණය යන වේදිකා නාට්‍යයන් ධම්ම ජාගොඩයන් අතින් නිර්මාණය වූ වේදිකා නාට්‍යයන් ලෙස නාට්‍ය ඉතිහාසයේ ලියැවී ඇත. ධම්ම ජාගොඩයන්ගේ පාංශු දේහධාරී ශරීරය සහ ඔහුගේ මුවපුරා රැඳුණු ලස්සන සිනහව මෙන්ම මනා ලෙස හඬ පාලනය කරගනිමින් ගායනා කිරීමේ හැකියාව ඔහුව ප්‍රාණජීව නළුවකු බවටද පත් කෙළේය.

වෙසෙසින්ම මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍යයෙහි වැදි රජු ලෙස ඔහු කරන ලද වේදිකා රංගනය සදානුස්මරණීය වේ. රංගන ශිල්පියකු වශයෙන් ඔහු සිනමා රංගනයට ද පසුකලකදී පිවිසුණේය. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්‍ෂණය කරන ලද මඩොල් දූව, ආචාර්ය තිස්ස අබේසේකර විසින් නිර්මාණය කරන ලද මහගෙදර සහ මංමුළාවැල් යන සිනමා පටයන් ධම්ම ජාගොඩයන් රංගනයෙන් දායක වූ සිනමා නිර්මාණ වේ. (මංමුළාවැල් සිනමා නිර්මාණය ප්‍රේක්‍ෂකයන් අතට පැමිණීමට පෙර 1983 ජාතිවාදී කලබල සමයේදී විනාශයට පත්වීම අවාසනාවන්ත සිද්ධියකි.


එමෙන්ම නාට්‍ය විෂය පිළිබඳ ධම්ම ජාගොඩයන්ගේ පරිචය අනාගතයේදී එම විෂය හදාරණ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තිරසර මාවතක් විවර කළේය. 70 සමගි පෙරමුණ රජය යටතේ අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා වූ ආචාර්ය ප්‍රේමදාස උඩගම මහතා සමඟ ධම්ම එක්වී දිවා රෑ වෙහෙස නොබලා කෙටුම්පත් කරන ලද නාට්‍ය හා රංග කලා විෂය අදටත් විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ටත් උසස් පෙළ හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත් එම විෂය අරබයා පරිපූර්ණව තිබෙන එකම විෂය නිර්දේශය වේ. එමෙන්ම නාට්‍ය හා රංග කලාවට අදාළ පාරිභාෂික ශබ්ද කෝෂයක් සම්පාදනය කිරීම නාට්‍ය කලාව වෙනුවෙන් ඔහු කරන ලද තවත් මෙහෙවරක් විය. එම අත්පොත අදත් විද්‍යාර්ථීන් අතරේ පරිහරණය වීම අති සුවිශේෂ වේ.


ධම්ම ජාගොඩ සතු වූ නිවැරැදි සමාජ දැක්මට අත්වැල සපයන්නේ ඔහුගේ මාක්ස්වාදී දේශපාලන දෘෂ්ටියයි. මහාචාර්ය සුචරිත ගම්ලත්, ආචාර්ය පියසීලී විජේගුණසිංහ, විජය ඩයස් සහ ආනන්ද වක්කුඹුර වැනි සමකාලීනයන් සමඟ විප්ලවවාදී කොමියුස්ට් පක්‍ෂයේ සක්‍රිය සාමාජිකයකු වශයෙන් කටයුතු කිරීම ධම්ම සතු වූ දේශපාලන දෘෂ්ටිය පදම් කළේය. මෙම දේශපාලන අස්ථානය මඟින් සෑම විෂයක්ම විච්ඡේදනය කරමින් අධ්‍යයනය කිරීමට ඔහු සතු නිසඟ හැකියාව ඔපමට්ටම් කරන ලදී. 70 දශකයේ දී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යාපන සේවය යටතේ තිලක් ජයරත්නයන් විසින් නිෂ්පාදනය කරන ලද රූපණ මණ්ඩපයෙහි වැඩසටහන් මෙහෙවන්නා වූයේ ධම්ම ජාගොඩයන්ය. තත්කාලීනව නිර්මාණය වූ කලා නිර්මාණයන් පිළිබඳ මූලික වශයෙන් විමසා බැලීමක් මෙම වැඩසටහන් මාලාවට ප්‍රස්තුත වූ විෂය ක්‍ෂේත්‍රය වේ.


මැදිවියට පත්, පරිණත ධම්ම ජාගොඩගේ ජීවිතයෙහි ඊළඟ කඩඉම වන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ඉදිරියෙන් දිවෙන පාර මාරුවී ජාතික රූපවාහිනියට ගොඩවීම වේ. කලාවේ සියලු න්‍යායන් හා අත්දැකීම් පොදි බැඳගෙන එය ඔහුගේ දේශපාලන විඥානයෙන් ගැටගසාගෙන රූපවාහිනී මාධ්‍යයට සම්ප්‍රාප්ත වූ ධම්ම ජාගොඩයන් නව මාධ්‍යය ජාතියට හිතෛෂී ආකාරයෙන් මෙහෙයවීමේ යුග කාර්යභාරය ආරම්භ කෙළේය. මෙයට සමගාමීව ටෙලි නාට්‍යය යන නම රූපවාහිනී මාධ්‍යට හඳුන්වා දෙමින් ධම්ම ජාගොඩයෝ ටෙලි නාට්‍යකරණය ආරම්භ කළහ. ධම්ම ජාගොඩගේ පළමු ප්‍රාසාංගික ටෙලි නාට්‍යය පළිඟු මැණිකේ ටෙලි නාට්‍යය වේ.

තත්කාලීන සමාජ ගර්භය දේශපාලනිකව ප්‍රශ්න කිරීමට ආචාර්ය ධර්මසේන පතිරාජයන් තම කලා භාවිතය සිනමා මාධ්‍යයට යොදා ගත්තේ යම්සේද ඔහු හා එකම දේශපාලන අස්ථානයක හිඳිමින් කලා ක්‍ෂේත්‍රයේ අහුමුලුවල සැරීසැරූ ධම්ම ජාගොඩ ටෙලා නාට්‍ය මාධ්‍යය භාවිත කරමින් දේශපාලනිකව සමාජය ප්‍රශ්න කිරීමට සක්‍රිය විය. 1977 ජේ.ආර්. ජයවර්ධන රජය විසින් හඳුන්වා දුන් විවෘත ආර්ථිකයට යම්තම් වසර 10ක් සපිරෙන විට මෙම අර්ථ ක්‍රමයෙන් විනාශ වූ ජනතාවගේ ආධ්‍යාත්මික ගැඹුරෙන් ප්‍රශ්න කිරීමට ධම්ම ඉදිරිපත් වීම ටෙලි නාට්‍ය ක්‍ෂේත්‍රයේ නියැළී සිටින අප සැමට ඓතිහාසිකව පූර්වාදර්ශයක් ශේෂ කර ඇත. දශක 30 කට වඩා අප අත්විඳින වෙළෙඳපොළ ආර්ථික ක්‍රමය හේතුවෙන් වඩා වඩාත් තීවු ආකාරයෙන් ශුද්ධ වූ කලාව විනාශ කරමින් දිනෙන් දින එය බිළී බා ගන්නා අයුරු දෘශ්‍යමාන සත්‍යයක් වී ඇත.

වෙළෙඳපොළ ආර්ථිකයෙන් පෝෂණය වූ තැරැව්කාරයන්ගේ ප්‍රාග්ධනයට ග්‍රාමීය මෙන්ම නාගරික අහිංසක කලාකරුවන්ගේ ජීවිත බිලිවෙමින් පවතී. ඔවුන්ගේ නිර්මාණ කුණු කොල්ලයට විකිණෙන ප්‍රවණතාවක් සමාජ ගතවී ඇත. පට් පට් ගා සල්ලි හොයන සූරසේනලා විවෘත ආර්ථිකයේ බල මහිමයෙන් දසත බිහි වූහ. ඔවුහු වෙළෙඳපොළ ආර්ථිකයේ නිර්මිත වූ සංස්කෘති අංගෝපාංගවලින් ආඪ්‍ය වී ගමට ගියහ.

ගැමි කලාකරුකරුගේ කලා නිර්මාණවලට අඩු මුදලක් ලබා දෙමින් නගරයේදී වැඩි මුදලක් තම සාක්කුවට දමා ගැනීම පිණිස ඔවුහු සැමවිට පෙළගැසී සිටිති. අඥාන සූරසේන පන්තිය කලා ක්‍ෂේත්‍රයේ පමණක් නොව සියලු ක්‍ෂේත්‍රයන්හි තීන්දු තීරණ ගන්නා තීරක බලවේගය වශයෙන් ස්ථිතික වී ඇත. කාන්තාවන්ගේ රූසපුව වෙළෙඳ භාණ්ඩයක් ලෙසද ඔජවඩවමින් අහිංසක පවුල් කුටුම්බය දෙදරවීමට පවා සූරසේන ප්‍රාග්ධනය පොහොසත් වී ඇත.


එහෙයින් ධම්ම ජාගොඩ යනු රූපවාහිනි මාධ්‍ය ඉතිහාසයේ බිහිවුණු එකම දේශපාලන නාට්‍යකරුවා ලෙස සඳහන් කිරීමට මම දෙවරක් නොසිතමි. සෝමවීර සේනානායක නමැති සූර පිටපත් රචකයා මඟින් පළිඟු මැණිකේ ටෙලි නාට්‍යය ලියා ගනිමින්, එයට ඔහු සතු වූ දේශපාලන දෘෂ්ටිය මුසු කරමින් ධම්ම ජාගොඩයන් විසින් කරන ලද මෙම ඓතිහාසික කාර්යභාර්යය අමරණීය වේ.

එහෙත් එවකට පැවැති විජය රූපවාහිනී සම්මාන උළෙලේදී කලා සක්විත්තන්ගේ බලපුළුවන්කාරකමට ධම්ම ජාගොඩයන්ගේ නිසඟ කලා හැකියාව පරාජය විය. එදින ඔහුගේ දෑස කඳුළෙන් තෙත් විය. ඔහු මා හා ‍ෙදාඩමලු වූ සැන්දෑවන්හිදී අනාගතයේදී කලාවට සිදුවෙන්නා වූ ව්‍යසනකාරී තත්ත්වයන් පිළිබඳ පැහැදිලි කළ අවස්ථාවන් බොහෝ විය. කලාකරුවන්ගේ අනාගත ඛේදවාචකය තේමා කරගනිමින් මිහිකතගේ දරුවෝ ප්‍රාසාංගික ටෙලි නාට්‍යය ඔහු විසින් නිර්මාණය කරන ලදී. 1987 කළු ජූලිය හේතුවෙන් සිඳීබිඳී ගිය සිංහල - දෙමළ අනේ‍යාන්‍ය සහෝදරත්වය යළි ගොඩනැංවීමේ පරම අභිලාෂයෙන් හෙන්රි ජයසේනයන්ගේ තිර නාටකයක් පාදක කර ගනිමින් සඳක කතාවක් මැදිරි ටෙලි නාට්‍යය නිර්මාණය කරමින් ධම්ම ජාගොඩයන් විසින් තමන්ගේ දේශපාලන දැක්ම නැවත වතාවක් ජනතාව ඉදිරියට රැගෙන එන ලදී.


ටෙලි නාට්‍යකරණයෙන් පරිබාහිරව සිංහල ගැමි කලාව රූපවාහිනී මාධ්‍යයට ගෙන ඒමේ පරමාර්ථය පෙරදැරිව ගැමි රඟමඩල විචිත්‍රාංග වැඩසටහන් පෙළ ධම්ම ජාගොඩයන් විසින් නිර්මාණය කරන ලදී. මේ සඳහා ගැමි නාටකයන් සොයාගෙන එළිමහන් රූගත කිරීමේ බස්රථය නියරවල් දිගේ අෑත ගම්දනව් ඔස්සේ පිටත් කිරීමට කටයුතු කිරීම ඔහු විසින් ජන කලාව වෙනුවෙන් කරන ලද මහඟු වියමනක් ලෙසට ඓතිහාසිකව සනිටුහන් වී ඇත.

එමෙන්ම කැලණි පාලම, හුනුවටයේ කතාව, වෙස්සන්තර, දික්තල කාලගෝල, පරාස්ස, අහසින් වැටුණු මිනිස්සු වැනි නාට්‍ය ක්‍ෂේත්‍රයේ මතක සටහන් තබා ඇති නාට්‍ය නිර්මාණ රූපවාහිනි මාධ්‍යයට ගෙන ඒමෙන් ධම්ම ජාගොඩයන් නැවත වතාවක් වේදිකා ක්‍ෂේත්‍රයට කරන ලද සේවාව සදානුස්මරණීය වශයෙන් ලියැවී ඇත. ජාතික රූපවාහිනිය ස්ථාපිත වූ අවධියේම ධම්ම ජාගොඩ වැනි නිර්මාණකරුවන් රූපවාහිනී මාධ්‍යය හැසිරවීම නොරිස්සූ පිරිස් බෝවීමේ ප්‍රවණතාවක් ඇති විය. ධම්ම ජාගොඩයන්ගේ දේශපාලනය පිළිබඳ හේතුවෙන් රූපවාහිනිය අතහැර ගොස් නැවත වතාවක් රංග ශාලිකා පාසල ප්‍රතිෂ්ඨාපනය කිරීමට ධම්ම ජාගොඩයන්ට සිත් වූ අවස්ථාවන් බොහෝ විය.


මෙයට වසර 25කට පෙර වියෝ වූ ධම්ම ජාගොඩයන් විසින් නාට්‍ය ක්‍ෂේත්‍රයටත් වෙසසින්ම රූපවාහිනී මාධ්‍යයටත් කරන ලද මහඟු මෙහෙවරෙහි අල්පමය කරුණු කිහිපයක් මෙසේ ලියා තබන විට මතකයට නැඟෙන්නේ පළිඟු මැණිකේ ටෙලි නාට්‍යයෙහි ඔහුගේ රූපමය භාෂාවයි. සමීප රූප, මාධ්‍ය රූප, දුර රූප යන මේ රූප වර්ගීකරණයෙන් ඔහු කරන ලද වියමන රූපවාහිනී මාධ්‍යය හදාරන්නට පෙළපොතක් වී අවසානය.

සූරසේනලාගේ පට් පට් ගා උපද්දන ප්‍රාග්ධනය විසින් එය ගිලගන්නා වූ ධනේශ්වර පාලනය, සනාතන දහමක් ලෙස අප ජීවිත වටා භ්‍රමණය වන ආකාරය රූපවාහිනී මාධ්‍යයෙන් විචක්ෂණ අයුරින් අපට කියා දුන් ධම්ම ජාගොඩ කලාකරුවාණනි, ඔබ අමරණීයයි.

http://www.mawbima.lk 
READ MORE - අඥාන සූරසේනලා ඉසිවර නුවණින් දැකි දේශපාලන ටෙලි නාට්‍යකරුවා

ත්‍රස්‌ත වූවෝ භ්‍රාන්ත වීම

ත්‍රස්‌ත වූවෝ භ්‍රාන්ත වීම 
හඳගමගේ විකල්ප සිනමා ප්‍රකාශනය
"ඉනියවන්" තුළින් ඉච්ඡාභංගයට හසුවීද?


අජිත් ගලප්පත්ති

අශෝක හඳගම සිය සිනමා චර්යාව අවුල් කරගෙනද? ඔහුගේ ගමන් මග අක්‍රමවත්ද? "ඉනිඅවන්" මෙතරම් ඉක්‌මනින් සිනමා ශාලාවලින් ගැලවුණේ ඇයි? සිනමා කෘතිය යටපත් කොට සිනමාකරුවා මතු වූයේ ඇයි? සිය "ඉනියවන්" කෘතිය නොවිමසා මේ දිනවල අප විමසන ගැටලු එයාකාරයි.

චර්යාව අවුල් නොකරගෙන, එනම් අක්‍රමවත් නොකරගෙන යම් ඉච්ඡාභංග අවස්‌ථාවක්‌ පිළිගැනීමේ හැකියාවක්‌ යමකු තුළ තිබිය යුතුයෑයි මතයක්‌ ඇත. frustrstration tolerance යනුවෙන් විග්‍රහ කෙරෙන්නේ එම චිත්ත ස්‌වභාවයයි. විශේෂයෙන්ම හඳගම වැනි දේශපාලන සිනමාකරුවකු තුළ එම චිත්ත ශක්‌තිය තිබීම අත්‍යාවශ්‍ය වනු ඇත. සංස්‌කෘතිය පමණටම දේශපාලන සංස්‌කෘතිය ද වරින් වර, කලින් කල මුහුදු රැල්ලක්‌ මෙන් උස්‌පහත්වීම නිරායාස ස්‌වභාවික තත්ත්වයකි. අනපේක්‌ෂිත ලෙස උදම් රළ ප්‍රහාරයක්‌ වනුයේ වුවද මෙම සැඩ සොඳුරු රළ පෙරළීම ය. දේශපාලන සංස්‌කෘතිය ඉහල පහල යමින් අඩුවැඩි වන නියාමයකි. දේශපාලන සංස්‌කෘතිය උඩුයටිකුරු වන ස්‌වභාවයට කීකරුව දේශපාලන සිනමාකරුවකු එසේ උච්ඡාවචනය (fluctuation) විය යුතුද. ඒ කෙසේද යන අවධාරණය අප හමුවෙහි නැගෙයි. සිනමාකරුවකුගේ එබඳු උච්චාවචනයක්‌ තුළින් අන් ආකාරව විද්‍යාමාන විය හැක්‌කේ සිය දෘෂ්ටිමය ඒකග්‍රතාවය පිළිබඳ අර්බුදයක්‌ ද විය හැකිය. එවිට පොදු සමාජය එම නිර්මාණකරුවාව සැමදා එකසේ වැළඳ නොගැනීමට ද ඉඩ තිබේ. "ඉනියවන්" තුළින් අප දකින අද්‍යතන අශෝක හඳගමානුකූල ඉරණම පිළිබඳ ව තීරණ ගැනීමට අප ඉක්‌මන් විය යුතු නැත.

ව්‍යර්ථනය නොහොත් frustration යනු කුමක්‌ද? එය සිනමා ප්‍රකාශකයකු සතු දෘෂ්ටිමය ඒකග්‍රතාව සමග බඳවා විග්‍රහයට ගතයුතු තරම් බරපතල අර්ථයක්‌ ගනී. මෑත කාලයේ අප අත්වින්ඳා වූ ජනප්‍රිය දේශපාලනමය හැලහැප්පීම්වල බරපතලභාවයට සාපේක්‌ෂව සිනමා ප්‍රකාශකයකුගේ දෘෂ්ටිමය ඒකග්‍රතාව දුබල කරන්නට තරම් ප්‍රබල වූවක්‌ ලෙස ව්‍යර්ථනය යන්න විමසිය හැකිය. "ඉනියවන්" ට වස්‌තු විෂය වනුයේ ප්‍රභාකරන් මරා දැමුවාට පසු එම මුදාගත් භූමියෙහිම හිස ඔසවන අන් ප්‍රභාකරන්ලාගේ ත්‍රස්‌තවාදයයි.

ප්‍රභාකරන්ට එසේ වෙතැයි අප විශ්වාස නොකළ කාලයක්‌ ද විය. අප බහුලව ගෙවා දමා ඇත්තේ එවන් කාලයක්‌ නොවේද? ජනප්‍රිය යුද ස්‌මරණ දේශපාලනයේ සක්‍රීය ක්‍රියාකාරිකයින් මෙතරමින් වෙනස්‌ වෙතැයි අප එදා සිතුවාද? මේ බලගතු ජනප්‍රිය දේශපාලකයින් යුද සමයේ කොහි වීද? සිය ගරිල්ලා වස්‌ත්‍රාභරණ උනා දමා රාජ්‍යාරක්‌ෂාව මැද එම ගරිල්ලා ත්‍රස්‌තවාදින් මෙබඳු ෆුල් සූට්‌ දේශපාලනයකට පිවිසෙතැයි සිහිනෙන්වත් අප සිතුවේද? විරුද්ධ පාක්‌ෂිකයාගේ වේදිකාවෙන් දේශපාලන ගමන් අරඹා බලගතු වූ තොරම්බල් තාරකාවන් පාලකයින්ගේ දෑත් ශක්‌තිමත් කරන විසිතුරු ජවනිකා මෙගා ටෙලි සංස්‌කෘතියේවත් තිබේද? මෙයාකාරව සංස්‌කෘතියටත් වඩා අධිවේගයෙන් දේශපාලන සංස්‌කෘතිය වෙනස්‌ වන විට සමාජයීය ක්‍රියාකාරී ත්‍රස්‌තවාදීහු බියගුල්ලන් බවට පත්වෙති. එසේම සමාජීය බියගුල්ලෝ ත්‍රස්‌ත වෙති. -අක්‌ෂරය, තනිතටුව" වැනි ප්‍රබල දේශපාලනමය මිසයිල තැනූ අශෝක හඳගම "විදූ" වැනි චිත්‍රපටයක්‌ (ළමා චිත්‍රපටයක්‌) තනාවි යෑයි කිසිසේත්ම නොසිතූ අය වික්‌ෂිප්ත වූහ. "ඉනියවන්" උභතෝකෝටික වන්නේ මෙවන් වික්‌ෂිප්ත වූවන්ට ය. හඳගම මෙම තත්ත්වය විස්‌තර කරන්නේ 'කරකවා අතහැරි' ස්‌වභාවයක්‌ ලෙසය.

මෙම සිනමා විප්ලවකරුවාට එසේ පැවසීමට සිදුවන්නේ ඇයි? සිය සිනමා චර්යාව වෙනස්‌ කරගන්නේ නම් ඒ ඇයි දැයි සොයමු.

ව්‍යර්ථනය (රෙමිඑර්එසදබ) යනු බලාපොරොත්තු සුන්වීම නිසා ඇතිවන චිත්ත තත්ත්වයකි. තමා අපේක්‌ෂා කළා වූ ආධාර, අනුබල නොලැබීම හා අධෛර්යය කරනු ලැබීම, අසහනය, අතෘප්තිය නිසා ඇතිවන සිත් ස්‌වභාවය වනුයේ ව්‍යර්ථනය නොහොත් ඉච්ඡාභංගයයි. න්‍යෂ්ටාපේක්‌ෂාව යනුවෙන් දැක්‌වෙන්නේද එයයි. ව්‍යර්ථනයට පත් තැනැත්තා ආක්‍රමණකාරී විය හැක. එසේම කලකිරීමෙන් යුතු අක්‍රීයව, අකර්මන්‍ය වීමටද ඉඩ ඇත. ඉච්ඡාභංගයට පත් තැනැත්තා ආක්‍රමණකාරී හෝ පසුගාමී වන්නේ පරාජිතයකු වූ විටය. ත්‍රස්‌තවාදියකු හෝ බියගුල්ලකු වන්නේ තම අභිප්‍රායයන් කඩවීමෙන් ලද සිත් තැවුල නිසාය. තවෙකකු ඝාතනය කිරීම සඳහා අධි බලැති කාල බෝම්බ සවිකළ ඇඳුම් කට්‌ටලයක්‌ ඇඟලා ගන්නට තරම් ආත්ම ශක්‌තියක්‌ ලැබෙන්නේ එවන් පරාජිතයකුට පමණි. ඔවුහු මේ වෙද්දී අතුරුදහන් ව ඇත. එවන් බෝම්බකරුවන්ට අද පැවැත්මක්‌ නැත. එහි අදහස යුද වාතාවරණයක්‌ නැති බව නොවේ. යුද්ධයේ ස්‌වරූපය වෙනස්‌ වී ඇත. හඳගම "ඉනියවන්" තුළින් පවසන්නේ එයයි. ත්‍රස්‌තවාදියකු නිර්මාණය කරන්නේද බියගුල්ලකු නිර්මාණය කරන්නේද මෙම නෂ්ටාපේක්‌ෂිත සමාජ දේශපාලන ස්‌වරූපයයි. ත්‍රස්‌තවාදියා බියගුල්ලන් භ්‍රාන්තකොට ස්‌ව පැවැත්ම සා¹ ගන්නේත්, ආත්මාශයෙන් (ego instinct) යුක්‌තව බියගුල්ලන් වහා ත්‍රස්‌ත වී තමා පාගාගෙන සිටින අධි බලැති බෝම්බකරුවන්ව නිෂ්ක්‍රිය කොට දමන්නේද මෙම සමාජ ස්‌වරූපය මයි."ඉනියවන්" බිහි වන සමාජය මෙපරිදිය.

"භ්‍රාන්ත" යනු භ්‍රමයට පත් හා වැරදි අවබෝධය ඇති යන අර්ථ ගනී. වේගයෙන් කැරකෙන හෝ සැලෙන යන අර්ථයෙන් (whirled) අවුල් ජාලය ලෙස ද මෙය විග්‍රහ කෙරෙයි. භ්‍රමනය, සිතෙහි හටගත් කරකැවිල්ල, හැරීම වෙස්‌ වීම ඇඹරිල්ල (revolved or turned) යන අර්ථද මෙයට අදාළ වෙයි. වැරැද්ද, දෝෂය, ප්‍රමාද දෝෂය, වරදවා වටහා ගැනීම, වරද්දා ගැනීම (mistaken) යනුවෙන් හැඳින්වෙන්නේද මෙයයි. මුළාවීම, රැවටීම, (deluded) මංමුළාවී, අයාලේ යන, අපැහැදිලිව දොඩවන, අවුල්ව සිතන, අවධානයෙන් තොරව හිත තැන්තැන්වල යැම මාර්ගයෙන් පිට පැනීම හා නිදැල්ලේ යන වැනි අර්ථ ගන්නා wandering යන විග්‍රහයද "භ්‍රාන්ත" යන්නට ගැනේ. "ඉනියවන්" තුළ අප දකින්නේ "භ්‍රාන්ත" වූවන් ය. පුනරුත්තාපනය කෙරෙන ත්‍රස්‌තවාදීයා යනු මෙහි "භ්‍රාන්ත" වූවෙකි. සමාජයීය ත්‍රස්‌තවාදියාගේ හදිසි භ්‍රාන්තවීම කෙබඳු අර්ථ ගන්නේදැයි මෙම විවිධ අර්ථ මතින් අපට නිර්ණය කළ හැකිය. ව්‍යර්ජිකෘත (frastrated) සමාජ දේශපාලන රාමුවක්‌ තුළ චිත්‍රපටයක හා සිනමාකරුවකුගේ වලංගුභාවය පිළිබඳ තත්ත්වය වටහා ගැනීම සඳහා ද එය ඉවහල් කොට ගත හැකිය.

සමාජය සමග යම් විරෝධයකින් පසුවන පීඩිතයකු එනම්, බියගුල්ලකු එවන් විරෝධයකට හේතු වූ කාරණාවන්ට එරෙහිව ත්‍රස්‌ත වන කවර නම් හෝ ක්‍රියාකාරියකු තම එකම ගැලවුම්කාර වීරයා ලෙස තකයි. පීඩිතයාද වීරයාද වසනුයේ එකම බල රාමුවකය. මෙවිට පීඩිතයාත්, වීරයාත් අනොන්‍ය ව එකිනෙක මත යෑපෙයි. යම් මොහොතක වීරයාද පීඩිතයෙක්‌. තම විරෝධය ප්‍රකාශ කරන්නට හෝ තමා අපේක්‌ෂා කරන සමාජය නිර්මාණය කරගැනීමට හෝ නොහැකි වීම මෙම පීඩිතයා හුදෙකලා කොට අසරණ කරයි. සමස්‌ත බහුතරය ම තමා හැර තමා විරෝධය පාන්නා වූ සමාජය අනුමත කරන විට ඔහු අසරණව නිහඬ වෙයි. මෙකී අසරණකම නිහඬකම බියගුළු ස්‌වභාවයක්‌ දක්‌වා වර්ධනය වන්නේ බහුතරයකගේ පිළිගැනීම අඛණ්‌ඩව පෙරට වර්ධනය වන අතරවාරයේය. මෙම බියගුල්ලා එකවරම ත්‍රස්‌තවාදියකු බවට පත් වීමට ඉඩ තිබේ. එසේම ත්‍රස්‌ත වීම යනු බියගුළු වීමේ පෙරමග සළකුණක්‌ ද විය හැකිය.

දේශපාලනික සිනමාකරුවකුගේ ප්‍රබල දේශපාලනමය ප්‍රකාශනයක්‌ හමුවෙහි වහා ත්‍රස්‌ත වන බියගුල්ලකුගේa මානසික තත්ත්වය කෙබඳුද? තමා හමුවෙහි සැණෙකින් මතු වූ මෙම ක්‌ෂණික ත්‍රස්‌තවාදියා පිළිබඳව ත්‍රස්‌ත වන බියගුල්ලා විසින් යම් අහංකාරමය හැඟීම් ඇතිකර ගනී. මෙකී තත්ත්වය සහ අහංකාරය තුළ ඔහුගේ සමාජ සම්බන්ධතා පාලනය වෙයි. පීඩිතයාට වීරයා ආක්‍රමණිකයෙකි. එකී ආක්‍රමණශීලීභාවය පීඩිතයාගේ බියගුළු බවත්, පීඩාකාරී බවත්, මුලුගැන්වුණු බවත් මොහොතකට පලවා හැර පීඩිත බවම ක්‌ෂණික ත්‍රස්‌ත බවකට පෙරළෙයි. මෙතැන් සිට ස්‌වල්ප කාලයක්‌ පුරා පීඩිතයා ත්‍රස්‌තවාදියෙකි. නන් විධ ආක්‍රමණිකයෝ සමාජය ද, එහි වසන්නන්ද තැති ගන්වති. ආක්‍රමණිකයකුගේ ස්‌වභාවය ඔහු බලහත්කාරයෙන් කඩා වදින්නෙකි. ඔහු අනෙකාව යටත් කර ගැනීම සඳහා සටන් කරන්නෙකි.

ඔහු භීතිය උපදවන්නෙකි. ඔහු බියගුල්ලන් තැති ගන්වන්නෙකි. ''අනුන් තැතිගන්වා කටයුතු කරවාගත යුතුය" යන ඇදහීම ත්‍රස්‌තවාදයයි. ත්‍රස්‌තවාදියා රාජ්‍යවිරෝධී කැරලිකරුවෙකි. එනම් ජනතාව විසින් පිළිගත් සංවිධිත දේශපාලන ඒකකයට එරෙහි වූවෙකි. නිරායුධ අබල දුබල පීඩිත ජනතාව සන්නද්ධ ත්‍රස්‌තවාදියකු ව නිර්මාණය කරන පසුබිම මෙබඳුය. බියගුල්ලන් ත්‍රස්‌ත කොට සිය ආක්‍රමණශීලී විප්ලවය සම්මත සංවිධිත ව්‍යqහයන්ට එරෙහිව අඛණ්‌ඩව පවත්වා ගැනීම අද "ඉනියවන්" තුළින් සිය සිනමා චර්යාව පෙන්වන හඳගමගේ සිනමා ව්‍යායාමය විය. ඔහුගේ චිත්‍රපටය විරෝධාකල්පයකි.

අශෝක හඳගමගේ සිනමා ප්‍රකාශන විධිය හා ඉන් සමාජය තුළ සිදු කෙරෙන බලපෑම විග්‍රහ කරන්නෝ ඒකමතික ව ගන්නා පොදු විනිශ්චය වනුයේ ඔහු විප්ලවකරුවෙක්‌ ය යන්නයි. එනම් ඔහුගේ සිනමා කාර්යය විප්ලවීය කර්තව්‍යයක්‌ වන බවය.

විප්ලවීය ආක්‍රමණිකයා බියගුල්ලන් ත්‍රස්‌ත කරනුයේ පවතින ක්‍රමය කනපිට හැරවීම අභිප්‍රායෙනි. සිනමා ප්‍රක්‌ෂේපන යන්ත්‍රය යනු රූපවලින් වෙඩි තැබිය හැකි තුවක්‌කුවකැයි අදහන සිනමාකරුවන් අතර අතීතයේ හඳගමද සිටියේය. ඔහු තමා ඉදිරියෙහි දෑස්‌ අයා සිටින මෙරට පොදු ජනතාව හමුවෙහි තබන රූපාවලිය මෙම ජනතාව තුළ විරෝධයක්‌ ඇති කළේය. බියගුල්ලා තුළ ඇතිවන විරෝධය හා තැති ගැන්ම ආක්‍රමණික සිනමා-කරුවකුගේ අභිලාශයයි. මෙකී විරෝධය සමාජ බලවේගයක්‌ ලෙස ප්‍රබලව ඉස්‌මතු විය යුතුය. ජීවිතය වෙනස්‌ කළ හැකි බලයක්‌ චිත්‍රපටය තුළ තිබිය යුතුය. ජනතාවගෙන් ඈත්වූ කලාවක්‌ තිබිය හැකි නොවේය යන්න ජනතාව සඳහා කලාව හසුරුවන්නන්ගේ ඇදහිල්ලයි. නිර්ධන පන්තිය තුළ විවිධ පීඩන හට ගනී. හඳගම මෙම පීඩනය නිමිත්ත ලෙස නිතර තම ප්‍රකාශනයට උපයෝගී කර ගත්තේය. පීඩිතයා හෙවත් නිර්ධන පන්තිකයා මුදා ගැනීම ජනතා කලාකරුවාගේ ආක්‍රමණිකත්වයට පසුබිම් අභිලාශය සකස්‌ කරයි. විප්ලවීය ප්‍රකාශකයකුගේ විප්ලවීය ප්‍රකාශනයක්‌ යනු බියගුල්ලන් අභිමුව නැගෙන අභියෝගයකි. මෙම අභියෝගයට බියගුල්ලන් දක්‌වන ප්‍රතිචාරයේ ස්‌වභාවය මත එම විප්ලවීය ප්‍රකාශනයේ පැවැත්ම තීරණය වෙයි. බියගුල්ලකුට ත්‍රස්‌තවාදියා වීරයකු වන්නේ සිය බියගුළුකම යටපත් කොට ත්‍රස්‌ත වීම සඳහාය. "ඉනියවන්" තුළින් අපට මෙම බියගුල්ලා මෙන්ම ත්‍රස්‌තවාදියාද මුණගැසෙයි. මෙවේලෙහි එම බියගුල්ලා හෝ ත්‍රස්‌තවාදියා සැකකරුවකු ලෙස පමණක්‌ ගැනීම සෑහෙයි.

මුල්ම චලන චිත්‍රාවලිය දුටු ආදි කාලීන පොදු ජනයා ත්‍රස්‌ත වී එදෙස බලා සිටි වග අප අසා ඇත. ත්‍රස්‌ත කිරීම යනු "ත්‍රස්‌තවාදියා" යන ප්‍රචලිත ප්‍රතිරූප සීමාවෙන් ඔබ්බෙහි තිබෙන පුළුල් අරුත් සහිතය. මෙම පුළුල් සිත්හි කොනක තබාගත් විට අපට හඳගම හෝ පතිරාජ හෝ විමුක්‌ති හෝ ලෙස්‌ටර් හෝ අන් කවරාකාර විප්ලවීය සිනමාකරුවකු වුවද ත්‍රස්‌ත වීම හා අනෙකාව ත්‍රස්‌ත කිරීම නිර්භයව පුළුල් විග්‍රහයකට ගත හැකිය.

"ත්‍රස්‌ත" යනු මහත්සේ පුදුමයට පත්වීමකි. මවිතයෙන් විස්‌මිතව ගල් ගැසුනාක්‌ මෙන් වීමයි. චිත්‍රපට වෙසින් සපැමිණි දැවැන්ත අභියෝග වලට මුහුණ දී තම බියගුළු ස්‌වභාවයට එරෙහි වී සක්‍රිය වන්නට හා ත්‍රස්‌ත වන්නට අප කැමතිය. මෙවිට එම චිත්‍රපටය යනු අපට නිර්දය ආක්‍රමණයකි. බියගුල්ලන් ත්‍රස්‌තවාදීන් බවට පෙරළුE සිනමාකරුවා වීරයකු බවට අගැයීම නිරායාසයව සිදුවන්නකි. "ඉනියවන්" නරඹද්දී හඳගම කොතැන සිටින්නේදැයි සොයා බලන්නට අප යොමු වන්නේ එම නිසා නොවේද?

ඇතැම් විටෙක යම් විප්ලවීය චිත්‍රපටයක්‌ යම් බියගුල්ලකුට තම බියගුළුකමින් අත් මිදිය නොහැකි තරම් වූ බලවත් අභියෝගයක්‌ විය හැකිය. මෙවිට ත්‍රස්‌ත වූ වීරයාගේ අනුගාමිකයින් වී සක්‍රීය වූ බියගුල්ලන් එනම්, ත්‍රස්‌තවාදීන් වූ බියගුල්ලන් නොවෙනස්‌ වූ බියගුල්ලාව දකින්නේ කොදෙව් චිත්තධාරියකු, දුබලයකු හෝ යථාර්ථය සාවද්‍ය ලෙස අර්ථකථනය කොටගෙන එහිම මුලාවූවකු ලෙසය. මෙබඳු වූ බියගුල්ලන් හමුවෙහි ඇතැම්විට වීරයා පරාත්ම විකාරයෙන් පසුවන්නෙකි. ඔහු තම හැඟීම් සහ ආවේගයන් අන්‍යයන්ට ප්‍රක්‌ෂේපනය කරයි. "විදූ" ට පෙර හඳගමගේ චිත්‍රපට විලාසය තුළින් අප ඔහුව හඳුනා ගත්තේ ආක්‍රමණශීලීව හැසිරෙන්නෙකු (aggressive behavior) වශයෙනි. බෙබඳු ආක්‍රමණිකයකුගේ අසංඥතාවට එකම හේතුව විය හැක්‌කේ සමාජ විෂමතාවයම නොවිය හැක. සමාජ විෂමතාවය "තනිතටුව" හා අක්‌ෂරය බිහිවූ යුගයේ මෙන්ම "ඉනි අවන්" බිහිවෙන යුගයේද පෙරටත් වඩා ප්‍රබලව මතුව ඇති බව ත්‍රස්‌තවූවන්ද බියගුළුව මුළුගැන්වූවන්ද දනී. 





READ MORE - ත්‍රස්‌ත වූවෝ භ්‍රාන්ත වීම

සම්ප්‍රදාය නොහදාරා නූතන වෙන්න බැහැ

සම්ප්‍රදාය නොහදාරා නූතන වෙන්න බැහැ
රත්න ශ්‍රී විඡේසිංහ


සංවාදය
සඳුන් ප්‍රියංකර විතානගේ

රත්න ශ්‍රී විඡේසිංහ වත්මන් ලාංකික සාහිත්‍ය ක්‍ෂේත්‍රයේ, විශේෂයෙන් ම කවිය සහ ගීතය යන කලා මාධ්‍ය දෙකේ, ප්‍රමුඛයෙකි. කලාවේ වත්මන් තත්ත්වය, එය මුහුණ දෙන අභියෝග හා කලාකරුවන් ඒ අභියෝග ජය ගැනීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ආදී මාතෘකා ඔස්‌සේ ඔහු හා යෙදුණු සංවාදයක සංක්‍ෂිප්ත සටහන පහතින දිගහැරේ.

කාව්‍යකරණයේදී ඔබ ලබා ඇති සාර්ථකත්වයට බලපෑ ප්‍රධාන හේතු මොනවාද?

මම කෙතරම් සාර්ථක දැයි කියන්න මම දන්නේ නෑ. නමුත් කලාකරුවෙක්‌ විදියට මම කුමක්‌ හරි සාර්ථකත්වයක්‌ අත්කරගෙන තිබෙනව නම්, එයට ප්‍රධාන හේතුව සාහිත්‍යය, විශේෂයෙන් ම සම්භාව්‍ය සාහිත්‍යය, සමඟ පවතින මගේ ළඟ ඇසුර. සම්භාව්‍ය සාහිත්‍යය ඇසුරෙන් මා ලැබූ ආභාසය මේ වගේ සාකච්ඡාවකට ගැළපෙන විදියට කෙටියෙන් කියන්න බැරි තරම් අති විශාලයි. මේ ඇසුර මම පටන් ගත්තේ පාසලේ හයේ හතේ පන්තියෙන්. එදා සිට අපේ ගෙදර 'ධර්මප්‍රදීපිකාව', 'පූජාවලිය,, 'බුත්සරණ', 'අමාවතුර' වගේ පොත් තිබුණා. මම ඒවා කියවනවා. ස්‌නායු පද්ධතියේ කොහේa දොa සිට සාහිත්‍ය නිර්මාණයේ දී මේවා ගලනවා මගේ නිර්මාණවලට, වෙනස්‌ වෙනස්‌ රූපවලින්, මගේ දැනුමකින් තොරව. ඒක නිරුත්සාහික ක්‍රියාවලියක්‌. පසුව සංස්‌කෘත සාහිත්‍යය ඇසුරු කිරීමේදී මට හමුවෙනවා, කාලිදාස ලිව්වා යෑයි සැලකෙන "ශෘංගාරතිලකය" කෘතිය. එහි තිබෙනවා, "ඉන්දීවරෙන් නයනං මුඛ මම්බුඡේන කුන්දේන දන්ත මධරං නව පල්ලවේන" ආදි වශයෙන් වූ ශ්ලෝකයක්‌. ඉන් අදහස්‌ වන්නේ "නයන ඉඳුවර වගේ, මුව පියුමක්‌ වගේ, දත් කොඳ වගේ, තොල් ලා දලු වගේ" කියන එක. අද අපි ස්‌ත්‍රී රුව වනන්න භාවිත කරන උපමා රූපක ටික තිබෙන්නේ මේ ශ්ලෝකයේ. අපි විතරක්‌ නොවෙයි, ගුරුලුගෝමිත් මේක ආශ්‍රය කරගෙන තමයි සුළුකළිඟුදාව ලිව්වේ. සියලු දෙනා ම කලින් තිබ්බ සම්භාව්‍ය සාහිත්‍යයේ ආභාසය ලබනවා. ගුරුලුගෝමිට බොහෝ පසු කාලෙක ප්‍රේමකීර්ති ලියනවා "නා දල්ලට පාට දෙන්න ඔබෙ තොල් පෙති දෙන්න" කියල. ඒක ගුරුලුගෝමි කිව්ව එකේ විලෝමය. ගුරුලුගෝමි ස්‌වභාවධර්මය ගන්නවා කාන්තාව මවන්න. ප්‍රේමකීර්ති ඒක එපා කියනවා. ඔහු කාන්තාවට කියනවා ස්‌වභාවධර්මය නිර්මාණය කරන්න කියල. හරිම සෞන්දර්යාත්මකයි, මේ ගනුදෙනුව. මේක අලුත් එකක්‌ නේ. එහෙත් අලුත් එක නිර්මාණය කරන්න පරණ එක දැනගෙන ඉන්න ඕනෑ. ඒ කියන්නේ සම්භාව්‍ය සාහිත්‍ය ඇසුරු කර තිබෙන්න ඕනෑ.

සම්භාව්‍ය සාහිත්‍යයේ තිබෙන්නේ අවුරුදු දස දහස්‌ ගාණක්‌ තිස්‌සේ එක්‌ රැස්‌ වෙච්ච කලාවේ සාරය. කවුරුන් හෝ සම්භාව්‍ය සාහිත්‍යය ප්‍රතික්‍ෂේප කරනවා නම් ඔහු හෝ ඇය කරන්නේ ඒ සමස්‌තය ප්‍රතික්‍ෂේප කිරීමක්‌. කෙනෙකු ගේ කෙටි ජීවිත කාලය තුළ දී මහා සාගරය වගේ තිබෙන කලාව තනිවම මුල සිටම ග්‍රහණය කර ගන්න බැහැ. Art is long but life is short යනුවෙන් ට්‍රොට්‌ස්‌කි කියන්නේ මේක යි. එනම් "කලාව දීර්ඝ යි, ජීවිතය කෙටි යි" යන්නයි. තමන් ගේ කෙටි ජීවිත කාලය තුළ දී මුළු ජීවිත කාලය ම උත්සාහ කෙරුවත් කෙනෙකුට මේ දැවැන්ත කලාවෙන් බින්දු මාත්‍රයක්‌ පමණයි ගන්න පුළුවන්. තනි මිනිහෙකුට තමන් ගේ ජීවිත කාලය තුළ දී මුල සිටම කලාව තනිවම සොයා ගන්න බැහැ. සම්භාව්‍ය සාහිත්‍යය ඕන වෙන්නේ ඒක යි. එහි තිබෙනවා මේ තාක්‌ හොඳ ම සාරය, එය දැන සිටියාම එතන සිට ඉදිරියට යා හැකියි. අලුත් දේවල් නිර්මාණය කරන්න පුළුවන්. එහෙම සම්භාව්‍ය සාහිත්‍යය නොදන්නා කෙනෙක්‌ කරන්නේ අලුත් යෑයි සිතා පරණ දේවල් ම නිර්මාණය කිරීමයි. ඉදිරියට යනවා යෑයි සිතුවාට යන්නේ පස්‌සටයි. දැනට ම තිබෙන දේවල්මයි කරන්නේ. නූතන යෑයි හිතුවට කරන්නෙ පරණ වැඩ. අලුත් දේවල් කරන්න නම්, සම්භාව්‍ය සාහිත්‍යය ඇසුරු කරන්න ඕනෑ. කලාව කියන්නෙ අපූර්ව දේවල් නිර්මාණය කිරීමක්‌. අපූර්ව කියන්නේ පෙර නොවූ විරූ කියන එක. පෙර නොවූ විරූ ඒවා නිර්මාණය කිරීමට නම්, පෙර විරූ ඒවා දැන සිටිය යුතුයි. ඒවා තිබෙන්නේ සම්භාව්‍ය සාහිත්‍යයයේ. ඒ නිසා සම්භාව්‍ය සාහිත්‍යයයේ ඇසුර නොමැතිව කලා නිර්මාණකරණය ගැන හිතන්නවත් බෑ. එහෙම පුළුවන් කියල කවුරු හරි හිතනවා නම් ඒක බරපතළ මුලාවක්‌.

ඔබේ නිර්මාණවල සම්භාව්‍ය සාහිත්‍යයේ එන යෙදුම් නූතන වාග් ව්‍යවහාරය සමඟ ගළපා කරන ලද සාර්ථක අත්හදා බැලීම් දකින්නට පුළුවන්. නමුත් අද බොහෝ නිර්මාණවල මේ ලක්‍ෂණය දකින්නට ලැබෙන්නෙ අඩුවෙන්?

මෙය පෙර ප්‍රශ්නයටම සම්බන්ධ යි. මේ දේ හොඳින් තේරුම් ගත යුතුයි. සම්භාව්‍ය සාහිත්‍යය හදාරන්නය කීමෙන් අදහස්‌ කරන්නේ ආචීර්ණ කල්පිත පැරැණි ලෝකයට යා යුතු බව නොවේ.

කවුරුවත් ඒක කරන්න යන්නේ නැහැ. මේ කියන්නේ නූතන විද්‍යාවේ හා තාක්‍ෂණයේ ජයග්‍රහණයන් පිළිගන්නවාත් සමගම සම්ප්‍රදායේ තිබෙන ගතානුගතික දේවල් බැහැර කළ යුතුයි කියන එක යි. සම්ප්‍රදායයේ ගතානුගතික දේ බැහැර කර එය අතික්‍රමණය කළ යුතුයි කියන එක යි. කලාවේ දී ඒ සඳහා සම්ප්‍රදාය පිරිසිඳ දැන ගත යුතු යි. පරතෙරට ම දන්නෙ නැති දෙයක්‌ අතික්‍රමණය කරන්න බැහැ. මුළු ලෝකය පුරාමත් මේ රටේත් ශ්‍රේෂ්ඨ කලාකරුවන් සියලු දෙනා ම කළේ ඒක. මුලින් සම්ප්‍රදාය පිරිසිඳ දැනගන්නවා. ඊට පස්‌සේ ඒකෙ ගතානුගතික දේවල් බිඳිනවා. අතික්‍රමණය කරනවා කියන්නේ ඒකයි. සාහිත්‍යයේදී මෙය කිරීමට නම් සම්භාව්‍ය සාහිත්‍ය හැදැරිය යුතුයි. එහෙම අවශ්‍ය නැති බව කවුරුන් හෝ පවසනවා නම් එය මහන්සි නොවී මුදල් සෙවීම සාධාරණීකරණයට කියන කතාවක්‌. සම්ප්‍රදාය හදාරපු අයට තමයි ඒක බිඳින්න පුළුවන්. බිඳින එක නේ නූතන වෙන්නේ. ඉතින් සම්ප්‍රදාය පරතෙරට හදාරපු නැති අයට කවදාවත් ඒක බිඳින්න බෑ. ඒ නිසා කවදාවත් ඒ අයට නූතන වෙන්නත් බැහැ.

සාහිත්‍ය නිර්මාණයේ දී අපි නව විද්‍යාත්මක වාග් ව්‍යවහාරයේ එන දේ සම්භාව්‍ය සාහිත්‍යයේ එන දේ සමඟ යොදනවා. නමුත් ඒක ගැළපෙන ලෙස කළ යුතුයි. වචන එක එකක්‌ අනිත් ඒවත් එක්‌ක ගැළපෙන්න ඕනෑ. මෙය හඳුන්වන්නේ "ප්‍රකරණය" ලෙසින්. මේක අද ඊයේ සොයා ගත් දෙයක්‌ නොවේ. භර්තෲහරී කියන්නේ ක්‍රිස්‌තු වර්ෂ 6 වැනි සියවසේ ඉන්දියාවේ හිටපු වාග් විද්‍යාඥයෙක්‌. නූතන වාග් විද්‍යාවේ පීතෘවරයෙක්‌ ලෙස සැලකෙන 19 වැනි සියවසේ හිටපු ඩී සෝසියර්ටත් බොහොම ඉස්‌සර. භර්තෲහරි ඔහුගේ 'වාක්‍යපදිය' කියන පොතේ සඳහන් කරනවා, භාෂාවේ වචනවලට කේවල තේරුම් නැති බව. ඉන් අදහස්‌ වන්නේ වචනයක තේරුම් එන්නේ "යෙන්" කියන ප්‍රකරණයෙන්. තේරුම ලැබෙන්නේ වචනයක්‌ වෙනත් වචන එක්‌ක වාක්‍යයක යොදන ආකාරය අනුව. වචන එහෙම එකිනෙකට ගැළපෙන ලෙස යොදනවා නම් එයයි ප්‍රකරණය. ඒ නිසා හරියට ගළපන්න දන්නවා නම්, අලුත් වචන විද්‍යාවට තාක්‍ෂණයට සම්බන්ධ වචන වුණත්, යොදා ගන්න පුළුවන්. එහෙම යෙදිය හැකි වෙන්නේ අවශ්‍ය සංදර්භය, එනම් ඒ වචනවලට අදාළ පරිසරය, නිර්මාණය කිරීමෙනුයි.

පසුගිය සති අන්ත පුවත්පතක ගුණදාස අමරසේකරයන් ප්‍රශ්න කර තිබුණා, 'සිමෙන්ති' කියන වචනය කවියේ දී පාවිච්චි කිරීම ගැන. 'ආදරයේ සිමෙන්ති' යන්න කොහොමටවත් යෙදීමට නොහැකි බව එතුමා පවසා තිබුණා. ඉන් පැහැදිලිවන්නේ එතුමා සඳහන් කළ අවස්‌ථාවේ දී ප්‍රකරණය හරියට යෙදී නැති බවයි. නමුත් සිමෙන්ති යන වචනය කවියට යොදා ගැනීමට නොහැකි කමක්‌ නැහැ. ආගන්තුක නොවන ආකාරයට සුදුසු පරිසරයක එය පාවිච්චි කළොත්, ඒක සාර්ථක කරගන්න පුළුවන්.

සාහිත්‍යය හරහා දරුවන්ට සම්ප්‍රදාය කුමක්‌ දැයි අවබෝධ කර දිය යුතු යි. නමුත් ඒක සිදුවන්නේ නැහැ. සමාජයේ බොහෝ දෙනකු සම්ප්‍රදාය හා ගතානුගතිකත්වය යන සංකල්ප දෙක පටලවා ගෙන ඒ දෙකම එකක්‌ බවයි හිතන්නේ. යහපත් ආකල්ප වර්ධනයට මේ පැටලැවිලි බරපතල ලෙස බලපානවා. මෙවැනි බොහෝ ප්‍රශ්න විස¹ ගන්න පුළුවන්, සාහිත්‍යයට නැඹුරු වුණු නිර්මාණශීලී පරපුරක්‌ බිහි කර ගන්නට පුළුවන් නම්. එහි දී වැදගත් ම වැඩ කොටසක්‌ පැවරෙන්නෙ ගුරුවරුන්ට. ඔබත් ගුරුවරයෙක්‌, මේ කතිකාවේ දී ගුරුවරයා සිටින්නේ මොන වගේ ස්‌ථානයකද?

අතීතයේ පාසල්වල අතිශයින් ක්‍රියාකාරී වැඩ කළ ගුරුවරු සිටියා. ඔවුන් බොහෝ විට, සිංහල භාෂාව සහ සාහිත්‍යය උගන්වපු ගුරුවරු වුණා. ඔහුට පුළුවන්කම තිබුණා, අනෙක්‌ බොහෝ විෂයන් උගන්වන්න. ඔහු සාහිත්‍ය පාඩම උගන්වන්න ආවම චිත්‍රයක්‌ අඳිනවා, කවි ගායනා කරනවා, රඟ දක්‌වා පෙන්වනවා. ඒ හැම එකක්‌ ම ඔහුට පුළුවන්. රූපණ හැකියාව, ගායන හැකියාව, ඇඳීමේ හැකියාව ආදි ක්‍ෂේත්‍ර විශාල ප්‍රමාණයක්‌ ආවරණය කරන්න ඔහුට හැකියාව තිබුණා. එවැනි ගුරුවරු අද නැහැ. අද දවසේ ඒ වගේ ගුරුවරුන් නිර්මාණය කර ගැනීම අත්‍යවශ්‍ය කාරණයක්‌ වී තිබෙනවා. ඒ කාලෙ ගුරු විද්‍යාලවල සිංහල පුහුණු පාඨමාලාවක්‌ තිබුණා. වර්තමානයේදීත් විද්‍යාපීඨ එකක හෝ දෙකක ඒක තිබෙනවා. නමුත්, එය කෙතරම් හොඳින් ක්‍රියාත්මකයි ද කියන්න මම දන්නේ නැහැ. පාඩමක සටහන් ලියද්දී ව්‍යාකරණ නිවැරැදි ව යෙදීම සිංහල ගුරුවරයාට පමණක්‌ අදාළ දෙයක්‌ නොවෙයි. ඒක විද්‍යාව සහ අනෙක්‌ විෂයන් උගන්වන ගුරුවරුන්ටත් අදාළ යි. මම කලක්‌ විද්‍යා ගුරුවරයෙක්‌ ලෙස කටයුතු කළා. මම සැමවිටම ව්‍යාකරණානුකූලව සටහන් ලිවීමට දරුවන් උනන්දු කළා. භාෂා දැනුම දුර්වල නම් දරුවන්ට කොපමණ දැනුම තිබුණත් වැඩක්‌ නැහැ. දැනුම කොහොම ද ඔවුන් ප්‍රකාශ කරන්නෙ, නිවැරැදිව, නිරවුල් ව, භාෂාව නො දැන. භාෂාව මාධ්‍ය කරගෙනයි අපි හැම දෙයක්‌ ම කරන්නෙ. මාධ්‍ය වන භාෂාව දුර්වල නම් සියල්ල දුර්වලයි. අපි හිතන්නෙත් භාෂාවෙන් බව බොහෝ දෙනකුට අමතකයි. භාෂාව නිවැරැදි නැත්නම් හරියට හිතන්නත් බෑ. ඒ වගේ ම හිතන දේ කියන්නත් කියන දේ ලියන්නත් හැකිවෙන්න භාෂාව අවශ්‍යයි. ඒ හැම එකක්‌ ම අද ඉතාමත් දුර්වල අඩියක තිබෙන්නේ. අද ගුරුවරු පරිහරණය කරන කලා කෘති දෙස අවධානය යොමු කළාම කම්පාවක්‌ දැනෙනවා. ඒවා බොහොම පහත් අවර ගණයේ ඒවා. එය වහා නිවැරැදි කර ගත යුතු තත්ත්වයක්‌. සිංහල භාෂාව සහ සාහිත්‍යය උගන්වන ගුරුවරු විශේෂයෙනුත්, පොදුවේ අනෙක්‌ ගුරුවරුත් සිංහල භාෂාව සහ සාහිත්‍යය ඉගෙනගැනීමත්, රසාස්‌වාදන හැකියාව ලබා ගැනීමත් අත්‍යවශ්‍ය යි.

අනෙක්‌ වැදගත් ම ප්‍රශ්නය තමයි, දැන් තිබෙන විද්‍යා විෂයන් සහ කලා විෂයන් අතර පරතරය. අද දරුවන් ගෙන් ඇහුවොත් විද්‍යාව කියන එකේ විරුද්ධ වචනය මොකක්‌ ද කියලා, උත්තරය දෙන්නේ කලාව කියලා. විද්‍යාවේ විරුද්ධ වචනය අවිද්‍යාව මිස කලාව නොවෙයි. විද්‍යාව සහ කලාව අතර පරතරය මේ මෑත කාලයේ නිර්මාණය කළ එකක්‌. විද්‍යාව සහ කලාව දෙක ම එකට ගමන් කළ යුතු විෂයන් දෙකක්‌. ඒ නිසා මේ පරතරය වහා ම නැති කළ යුතු ම දෙයක්‌ ව තිබෙනවා.

ඒ අධ්‍යාපනයේ තත්ත්වය. බාහිර සමාජයේ තිබෙන ශාස්‌ත්‍රීය හා සාහිත්‍ය සම්ප්‍රදායන් ගැන ඔබට පෙනෙන්නේ මොන වගේ දෙයක්‌ ද?

කනගාටුයි කියන්න, සාහිත්‍යය සහ ශාස්‌ත්‍රීය කියන අංශ දෙක වෙත ම අවධානය යොමු කළා ම පෙනෙන්නේ ශාස්‌ත්‍රීය කටයුතු සිල්ලර මට්‌ටමට වැටිලා. සාහිත්‍ය කටයුතු ඊටත් වඩා සිල්ලර මට්‌ටමට වැටිලා. විශ්වවිද්‍යාලවලින් කෙරෙන ශාස්‌ත්‍රීය කටයුතු ඉහළ මට්‌ටමක නැහැ. විධිමත් ව ගැඹුරක්‌ ඇති ව හදාරා මේ කටයුතු කළ යුතු බව නො සලකා හැරලා. තවමත් පරිහරණය වෙන්නේ, සරච්චන්ද්‍රයන් ගේ, වික්‍රමසිංහයන් ගේ, අසරසේකරයන් ගේ පොත්. මෑත කාලයේ දී ගම්ලතුන් ගේ පොත්. අලුතෙන් ගැඹුරු විෂය කරුණු හැදැරීමක්‌ සිද්ධ වෙලා නැහැ.

ඔබ සෑම විට ම අලුත් පරම්පරාව සමඟ කටයුතු කරන, ඔවුන් ගේ නිර්මාණ කාර්යයන්වලදී අතහිත දෙන කෙනෙක්‌. ඔවුන් මේ භාෂා සාහිත්‍ය හැදැරීම ගැන තිබෙන උනන්දුව සහ ඒ පිළිබඳ ඔවුන් ගේ ආකල්ප කෙබඳු ද?

මම රාවය සඟරාව පටන් ගත්ත කාලේ සිටම එනම් නවසිය අසූහයේ සිට එහි කවිපිටුව සංස්‌කරණය කරනවා. දැනටත් විශාල පිරිසක්‌ එක්‌ක ගනුදෙනු කර තිබෙනවා සහ කරමින් සිටිනවා. ගුරුවරයෙක්‌ ලෙස දිගු කාලයක්‌ වැඩ කළා. දේශන, වැඩමුළු ආදියට සම්බන්ධ වෙනවා. අධ්‍යාපන, මාධ්‍ය හා කලා ක්‍ෂේත්‍රවල බොහෝ දෙනෙක්‌ සමඟ සම්බන්ධ වෙනවා. ඒ මුණගැහුණු අය අතරේ හැදැරීමට උනන්දුවක්‌ තිබෙන අය ටිකෙන් ටික අඩු වුණා. ඒකට එක්‌ හේතුවක්‌ තමයි ශාස්‌ත්‍රාලීය මට්‌ටමෙන් ඒවා උගන්වන්න කාගෙවත් උනන්දුවක්‌ නැතිවීම. ගුරුවරුන් ගේ වුණත් ඒ අවබෝධය බොහෝ දුරට අඩු වෙලා තිබෙන්නෙ. ප්‍රධානම කාරණය මේ විභාග මූලික අධ්‍යාපන ක්‍රමය.

අධ්‍යාපන ක්‍රමය එහෙම වුණාට නිර්මාණකරණයේ යෙදෙන අයට උනන්දුවක්‌ තිබෙන්න ඕන මේක හදාරන්න. ඔවුන්ට එවැනි උනන්දුවක්‌ ඇත්තේ නැහැ. එහෙම හදාරන්න තැනකුත් නැහැ. එකම මාර්ගය ස්‌වයං අධ්‍යයන ක්‍රමයයි. ඒක බරපතළ ලෙස කියන්න ඕන. නමුත් ඒක කරන්නෙත් නැහැ. බොහොම ලෙහෙසි කෙටි පාරවල් හොයන බහුතරයකුයි ඉන්නෙ. අලුත් පරම්පරාව ගැන සතුටි විය නොහැකියි. ඔවුන් නිර්මාණ ශක්‌තිය නැති අය නොවෙයි. නිර්මාණකරණයට දක්‍ෂ, විභවයක්‌ තිබෙන අය බොහොමයක්‌ ඉන්නවා.

ඔබ අලුතෙන් දියත් කරන්නට යන භාෂා සාහිත්‍ය කලා සරසවිය පිළිබඳව පැහැදිලි කළොත්?

මට වුවමනායි, තව ඉගෙනගන්න. මට වුවමනායි, භාෂා සාහිත්‍ය කලා ශාස්‌ත්‍රවල ගැඹුරට ම කිමිදෙන්න. ඒ වගේ ම, මගේ දැනුම යාවත්කාලීන කරගන්න. හැදැරීම මම කවදාවත් නවත්වන්නේ නෑ. දැන් ඒක කරගන්න අගනා අවස්‌ථාවක්‌ ලැබී තිබෙනවා නව සරසවිය මගින්. වඩාත්ම සතුටට කරුණ වන්නේ අපට අද ඉන්න ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් මේකේ උගන්වන එක. මේක අගනා අවස්‌ථාවක්‌. අපි හැමෝම දන්නවා අපේ ගුරුවරුන් දැන් වයස්‌ගත බව. අපට මෙතැන් සිට ඉදිරියට යන්න වුවමනා නම්, වැඩ කරන තරුණ පරපුර යෂ්ටිය අතට ගන්න ඕනෑ. ඒක කරන්න නම් භාෂා සාහිත්‍ය කලාවන් ගැඹුරින් හැදැරිය යුතුයි. නිසැක වශයෙන් ම මට කිව හැක්‌කේ මේ ඔවුන්ට ලැබෙන අවසාන අවස්‌ථාව බවයි.

ඒක නිසා විශ්වවිද්‍යාලවලට දොස්‌ කියමින් ඉන්නෙ නැතිව මේ ලැබුණ අවස්‌ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනිමු. මම ආරාධනා කරනවා, කලාකරුවන් හැම දෙනාටමත්, නිර්මාණ සාහිත්‍යයට උනන්දුවක්‌ දක්‌වන සියලු දෙනාටත්, මාධ්‍ය කටයුතුවල යෙදෙන සන්නිවේදකයන්ටත්, ගුරවරුන්ටත්, විශේෂයෙන් ම භාෂා සාහිත්‍යය උගන්වන ගුරුවරුන්ටත්, ඒ වගේ ම කලා රස වින්දනය ගැන උනන්දු සියල්ලන්ටත් මෙයට සහභාගි වන ලෙස.

මෙය බෘහස්‌පති භාෂා සාහිත්‍ය කලා සරසවිය යි. පාඨමාලාව විෂයන් 10 කින් සමන්විත යි. ඒ සම්භාව්‍ය සිංහල සාහිත්‍යය, සිංහල සාහිත්‍යයේ ඉතිහාසය, සිංහල භාෂාව, සිංහල භාෂාවේ ඉතිහාසය, නූතන සිංහල සාහිත්‍යය, නිර්මාණශීලි සිංහල ලේඛනය හා කථනය, ලෝක සාහිත්‍යය (ඉන්දියානු, අප්‍රිකානු, රුසියානු, ඉංග්‍රීසි, ප්‍රංශ), භාෂාවේ ඉතිහාසය, කලාවේ ඉතිහාසය, කලා විචාරය. දේශන සති අන්තයේ දිනක කොළඹ දී පැවැත්වෙන්නේ. එකම දේශනය සෙනසුරාදා හා ඉරිදා දින දෙකේ ම පැවැත්වෙන නිසා ඕනෑම කාර්යබහුල කෙනෙකුට දින දෙකෙන් ඕනෑ ම එකක්‌ තෝරා ගෙන මෙයට සහභාගී විය හැකි යි. ගුරුවරුන්ටත්, කලාකරුවන්ටත්, මාධ්‍යවේදීන්ටත්, භාෂාවෙන් වැඩ කරන වෘත්තිකයන්ටත් භාෂාව, සාහිත්‍යය හා කලා විචාරය මෙහි දී ගැඹුරෙන් ම ඉගෙන ගත හැකි යි. බෘහස්‌පති භාෂා සාහිත්‍ය කලා සරසවිය, 4/65, සර් චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවත, කොළඹ 02. ඊ-මේල් මගින් මේ ලිපිනයට එවන්නත් පුළුවන් bruhaspathi.lk@gmail/com






READ MORE - සම්ප්‍රදාය නොහදාරා නූතන වෙන්න බැහැ

හෙට නැවත එයි

සුලභ අත්දැකීම් ඇසුරෙන් පුලුල් ජීවනාර්ථයක්‌ මතු කරන හෙට නැවත එයි

ගාමිණී වේරගම

කර්තෘ ( බුද්ධදාස ගලප්පත්ති

සරසවි ප්‍රකාශකයෝ - නුගේගොඩ

"හෙට නැවත එයි" බුද්ධදාස ගලප්පත්තිගේ සිව්වන කෙටිකතා සංග්‍රහයයි. මේ නිසා බුද්ධි කෙටිකතාවට ආධුනිකයකු ලෙස සැලකිය නොහැකියි. ඔහුගේ මෑතකාලීන කෙටි කතා විමසුමේ දී ඉස්‌මතු වන ප්‍රධාන ලක්‍ෂණ කිහිපයක්‌ තිබේ. ඔහුගේ තේමා බොහෝවිට සුලභ ස්‌වභාවයක්‌ හිමි කර ගනී. මේ සුලභ බව ඇසුරින් මනුෂ්‍ය ස්‌වභාවය පමණක්‌ නොව සමාජමය අනුභූතීන් ද මතු කොට ගැන්මට රචකයා නිරන්තරයෙන් ප්‍රයත්න දරයි. මේ ප්‍රයත්න විටෙක සාර්ථක වෙතත් විටෙක ගැඹුරු ජීවන අත්දැකීමක සීමාවේ නවතියි. එයට හේතුකාරක වන සාධක කිහිපයකි. සමහර අවස්‌ථාවල රචකයාගේ අත්දැකීම් දැයි සිතෙන පමණට පුද්ගල ස්‌වභාවය ඉස්‌මතු වේ. කෙටිකතා නිර්මාණයේදී මේ දුර්වලතාවක්‌ නොවෙයි. එහෙත් මේ පුද්ගල ස්‌වභාවය යටපත් කරමින් පොදු අනුභූතියක හැඩතලවලට පිවිසීම රචකයාගේ කාර්යය වෙයි. දෙවනුව රචකයා බොහෝ විට තම තේමාවන් විකාශනයේ දී චරිත කිහිපයකටම ප්‍රමුඛතාව දෙයි. රචකයාට මේ සෑම චරිතයක්‌ම එක්‌ ලෙසින් වැදගත් වේ. සෑම චරිතයක්‌ම එක්‌ ලෙසින් විකාශනයට අවධානය යොමු කිරීම නිසා කේන්ද්‍රීය අත්දැකීමට විසුරුණු ස්‌වභාවයක්‌ අත්වෙයි. සමහර විටෙක කේන්ද්‍රීය චරිතය යටපත්ව වෙනත් චරිතයක්‌ මූලික වීමෙන් කෙටිකතාව අවසන් වන අවස්‌ථා ද දැකිය හැකිය. එමෙන්ම අත්දැකීම යටපත්ව රචකයා ඉස්‌මතු වන අවස්‌ථා ද දැකිය හැකිවෙයි. එබඳු අවස්‌ථාවල එක්‌වන අනුචිත වර්ණනා නිසා කතාවේ හරය යටපත් වේ.

මේ ලක්‍ෂණ සමහර විටෙක රචකයකුගේ නිර්මාණාවේශය සීමා කරන්නට හේතුවන්නකි. එහෙත් බුද්ධිගේ කෙටි කතා විමසුමේ දී මේ ලක්‍ෂණ කිසියම් මට්‌ටමකට පාලනය කරන්නට හේතුකාරක වන හැඩතලද පවත්නා බව පෙනී යයි. එහි දී මූලික වන්නේ සුලභ අත්දැකීමක්‌ ඇසුරින් වුව කිසියම් පුළුල් ජීවනාර්ථයක්‌ මතුකොට ගැනීමට දැරෙන ප්‍රයත්නයයි. මනුෂ්‍ය ස්‌වභාවය ද විටෙක සමාජමය ගුණයද එවන් අවස්‌ථාවල කෙටි කතාවේ මූලික ගුණය බවට පත්වෙයි. දෙවනුව රචකයා විසින් උපයුක්‌ත බස්‌වහරයි. ඔහුගේ බස නිරවුල් ය. රසවත් ය. අර්ථ පූර්ණ ය. එහෙයින් කේන්ද්‍රීය අත්දැකීමට අපූරු කතා රසයක්‌ හිමිවෙයි. එපමණක්‌ නොවේ. ඔහු සියුම් යටිපෙළක්‌ පවත්වා ගන්නේද මේ බස්‌වහර ඇසුරේය. සමහර විටෙක අත්දැකීමේ නොමැති යටි අරුත් ද මේ බස්‌වහරෙන් නිරායාසයෙන් මතු වේ. බුද්ධි මා දකින අයුරින් අති සාර්ථක කවියේදීය. ඔහු සියල්ලටම ප්‍රථමයෙන් කවියකු ලෙස දැක්‌විම අයුක්‌තිසහගත නොවෙතැයි සිතමි. කවියා ඉතා සංයමයෙන් බස හසුරුවන්නෙකි. එක්‌ වදනකින් අරුත් සියයක්‌ මතුකොට ගැන්මට ඔහු සමත් ය. එක්‌ අනුචිත වදනක්‌ සාර්ථක කවියක තිබිය නොහැකියි. බුද්ධි කවියෙන් කෙටිකතාවට මේ බස ගෙන එන්නට විශාල උත්සාහයක යෙදෙන බව පෙනේ. ඔහුගේ සමහර කෙටිකතා අනුචිත වර්ණනාවලින් චරිත විස්‌තර කිරීම්වලින් යුක්‌තය. එවැනි අවස්‌ථාවල බස අත්දැකීමේ බිඳ වැටීමට හේතුවක්‌ වේ. එහෙත් ඔහුගේ සාර්ථක කෙටි කතාවල ප්‍රධාන ගුණය වන්නේ ද අවස්‌ථාවෝචිතව නිර්මාණාත්මකව හසුරුවන බස්‌ වහරයි. එබඳු අවස්‌ථාවල කෙටි කතාව අප තුළ සියුම් භාවමය කම්පනයක්‌ ඇති කරන්නට ජීවිතාවබෝධයක්‌ ජනිත කරන්නට හේතු වේ.

''හෙට නැවත එයි'' කෙටිකතා සංග්‍රහයේ නිර්මාණ විමසුමට මා එළඹෙන්නේ බුද්ධිගේ කෙටි කතාවල පොදුවේ ගැබ්වන සාධනීය ලක්‍ෂණ ද නිෂේධනීය ලක්‌ෂණ ද සන්දර්භය ලෙස ගනිමිනි.

'දවසක්‌ නිමාවෙයි' අත්දැකීමේ අපූර්ව බවක්‌ නැත. එහෙත් උපයුක්‌ත බස්‌ වහර නිසා එය ආසාවෙන් කියවිය හැකි නිර්මාණයක්‌ බවට පත්වේ. (බුද්ධිගේ සියලු කෙටිකතා මේ ගුණයෙන් නම් අනූන බව කිව යුතුය) තම රෝගී බව නිසා දියණියගේ ආසාව ඉටුකළ නොහැකිව තැවෙන පියකු මෙහිදී අපට හමුවේ. අසනීප බව නිසා සේවයට නොයාමෙන් ඔහුගේ ගැනුම්කරුවන් ද අහිමි වී ගොසිනි. එහෙත් කුඩා දැරියක නිසා ඔහුගේ අභිමතාර්ථය ඉටු කර ගැනීමට හැකිවෙයි. මෙය කාබුලිවාලා වැනි නිර්මාණයක්‌ සිහියට නගන්නකි. වෙළෙන්දා හා දැරිය අතර සම්බන්ධතාව මෙයට වඩා සියුම්ව ගොඩනැගුවේ නම් ගැඹුරු ජීවන දර්ශනයන් මතු කර ගැනීමට අවකාශ තිබූ බවක්‌ දැනේ. වෙනත් අවස්‌ථා විග්‍රහය නිසා මේ මානය රචකයාගෙන් ගිලිහේ. ඒ සීමාව තුළ වුවද පියකුගේ හදගැස්‌ම පිළිබඳ කිසියම් ශෝක ජනක හැඟêමක්‌ අප තුළ දනවන්නට රචකයා සමත්වෙයි. ඒ ඔහු සෝමදාසගේ චරිතය ද අධ්‍යාත්මය ද විග්‍රහයට භාවිත කරන සංවේදී බස නිසාය.

'අවමගුල් චාරිකාව' මේ සංග්‍රහයේ එන සාර්ථක කෙටිකතාවකි. එය තියුණු සමාජ දැක්‌මකින් යුක්‌තය. එමෙන්ම මනුෂ්‍ය ස්‌වභාවයන් පිළිබඳ සියුම් උපහාසයකින්ද හෙබියේයි. අත්දැකීම බැලූ බැල්මට අපූර්ව නොවේ. එහෙත් රචකයා එය ඉදිරිපත් කරන ස්‌වභාවය තුළ ඒ සුලභ බව යටපත්ව යයි. තම සගයකුගේ පියාගේ අවමඟුල් උත්සවයට සහභාගී වීමට යන මිතුරු සේවකයන් එහි ප්‍රධාන චරිත කොටගැනේ. රැකියාවෙන් හෙම්බත්ව සිටින පුද්ගලයන්ට දුර ගමනක්‌ යැමට ලැබෙන අවස්‌ථාව ඒකාකාරී ජීවිතයෙන් පලායැමට ලැබෙන මහඟු ප්‍රස්‌තාවකි. එය මංගල්‍යයක්‌ ද අවමංගල්‍යක්‌ද යන්න වැදගත් වන්නේ නැත. අවමංගල්‍ය උත්සවයකට යන මේ පිරිස ද අවස්‌ථාව පැහැර හරින්නේ නැත. මධුවිතෙන් ද රසවත් ආහාර පානයෙන් ද සන්තර්පණය වීමට, මුහුදේ ස්‌නානය කරමින් ගිම් නිවා ගැනීමට ඔවුන් පසුබට වන්නේ නැත. ගමනේ මුල් අරමුණ ඔවුන්ගේ මනසින් ගිලිහේ. මළ ගෙදරට යන විට එහි සියලු කටයුතු අවසන් ය. එයද එතරම් භාරදූර ලෙස ගැනීමට ඔවුන් පෙළඹෙන්නේ නැත. මෙහි උත්ප්‍රාසය වනුයේ මෙබඳු අවස්‌ථාවක්‌ ලැබුණේ නම් මළගෙදර ගෙහිමියා ද මේ කාර්යය සමග මෙලෙස ම හැසිරෙන බව අප දන්නා නිසා ය. මේ කෙටිකතාව සමාජ ජීවිතයෙන් හෙම්බත්ව සිටින මිනිසුන් දෙස සදය අනුකම්පාවෙන් බැලීමක්‌ වැන්න. මේ අප කවුරුත් සිරව සිටින පාශයයි. එයින් ස්‌වල්ප වේලාවකට හෝ අත්මිදෙන්නට අසතුටු වන්නේ කවුරුන් ද? පුද්ගල අත්දැකීමක්‌ පොදු අත්දැකීමක්‌ බවට පරිවර්තනය වන්නේ ඒ ආකාරයටයි. සියුම් උපහාසාත්මක දැක්‌මකින් ද යුක්‌තව වර්තමානය විවරණය කළ ද මෙහි එක්‌ දුබලතාවක්‌ වන්නේ බාහිර විග්‍රහ නිසා කේන්ද්‍රීය අත්දැකීම මදක්‌ යටපත්ව යාමයි. නිදසුනක්‌ දක්‌වතොත් මෙහි ප්‍රධාන චරිතය සුමින්ද ය. එහෙත් මේ කතාව අවසන් වන්නේ විල්සන් කේන්ද්‍රීය චරිතය බවට පත් කරමිනි. මේ විසුරුණු බව නොවන්නට අවමගුල් චාරිකාව කෙටි කතාවේ ගුණය තවත් වැඩිවනු නිසැකය.

'දෙදෙනාම දියණියෝ' කෙටිකතාවටද විෂය වනුයේ ජීවිතය පිළිබඳ අනුවේදනීය අත්දැකීමකි. දරුවන් නැති සොවින් පෙළෙන යුවළක්‌ දරුවකු හදා ගැනීමට ගත් විට ඔවුන්ට ද දරුවකු ලැබේ. එහෙත් ඔවුන්ගේ දරුවා රෝගීව මියයාමත් සමග හදාගත් දරුවාද අහිමි වීමේ බිය ඔවුන්ට ඇතිවේ. මේ තේමාව අපූරුය. ජීවිතය පිළිබඳ අනුවේදනීය අනුභූතීන් උත්පාදනයට සමත් ය. එහෙත් රචකයා අපේක්‍ෂා කළ කම්පනය අප තුළ ඇති නොවේ. එයට එක්‌ හේතුවක්‌ වන්නේ උචිතානුචිත බව නොසලකා සියලුම චරිත එක්‌ ලෙසින් විග්‍රහයට යොමු වීමයි. දෙවනුව තිලක්‌ගේ හා පූර්ණිමාගේ ප්‍රේම ජීවිතය පිළිබඳ තොරතුරු වර්ණනා කේන්ද්‍රීය අත්දැකීමට අදාළ නොවීමයි. රචකයා කතා රසය පවත්වා ගනී. එහෙත් අත්දැකීමේ සියුම් බව සිඳ ගනී.

මේ කෙටිකතා සංග්‍රහයේ හොඳම නිර්මාණය ලෙස මා අගයන්නේ පුංචි කුසුමලතා කතාවයි. එය රචකයා 1975 ලියුවක්‌ බව සඳහන් වේ. මේ නිර්මාණය හයිකු කවියක්‌ වැන්න. අත්දැකීම හා ඉන් නිපන් සංවේදී කම්පනය, උපයුක්‌ත බස්‌වහර හා ඉන් කේන්ද්‍රීය අත්දැකීමට හිමිවන අර්ථ ප්‍රකාශනය ඉහළ තලයක පවතී. එක්‌ අනුචිත වර්ණාවක්‌ නොව අනුචිත වදනකුදු දැකිය නොහේ. ජීවිතය ගැට ගසා ගැනීමේ ප්‍රයත්නය නිසාම ජීවිතය අහිමි කර ගන්නා සෝමදාස, කටුක දුක්‌ අනුභව කරන සෝමාවතී, රෝගී දැරිය අපගේම ළබැඳියන් බවට පත්වෙයි. අනපේක්‌ෂිත අයුරින් සිදුවන සෝමදාසගේ මරණය අපගේ ආශ්වාසය මොහොතකට නතර කරවයි. ඉන්පසු කුමක්‌ සිදුවේද? මෙය අපට දැරිය නොහැකියි. රචකයා මේ හාස්‌කම කරන්නේ කෙටිකතාවේ ආකෘතික හැඩය බුහුටි ආකාරයෙන් භාවිත කිරීම මගිනි. චරිත හසුරු වන ආකාරය, බස භාවිතය මගින් මතු කෙරෙන සංඥාර්ථ විසින් මේ ඉහළ තලයකට පිවිසේ. බුද්ධි විසින් වගා කර ගත යුතුව තිබූ ගුණ මේවායි. වර්තමානය වන විට ඔහු වෙනස්‌ ආකෘතියකට පිවිසීමෙන් කෙටිකතාකරුවකු ලෙස අත්කර ගත හැකිව තිබූ කීර්තිය යටපත් වූයේ යෑයි කීම අසාධාරණ නොවෙතැයි සිතමි.

'එය එසේ සිදුවිය කෙටිකතාව' ප්‍රේමලාල් මූලික කරගත්ත ද එය ද උත්තම පුරුෂ දෘෂ්ටිකෝණය ප්‍රධාන කොටගත් නිර්මාණයක්‌ නොවේ. මෙය බුද්ධිගේ කෙටිකතාවල නිරන්තරයෙන් දැකිය හැකි ලක්‍ෂණයකි. එහෙත් සමහර කෙටි කතා ඉල්ලා සිටින්නේ උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයයි. 'එය එසේ සිදුවිය' එබඳු කෙටි කතාවකි. එසේ වූයේ නම් අත්දැකීම වඩා සංවේදීවීමට අවකාශ තිබිණි. මේ කෙටිකතාව අතිශයින් පුද්ගල ස්‌වභාවයක්‌ හිමිකර ගනී. මෙහිදී එය දෝෂයක්‌ නොවනුයේ අත්දැකීමට හානිකර නොවන නිසයි. මීයන්ට තැබූ විෂ බෙහෙත් කා දැමූ සුරතල් බල්ලා මියයාම මෙහි වස්‌තු බීජයයි. අත්දැකීම සියුම් කම්පනයක්‌ ඇති වන ආකාරයෙන් විකාශය නොවූවද උපයුක්‌ත බස්‌ වහර රසවත්ය. එහෙයින් කතා රසය මෙහි දි මූලික ගුණය බවට පත්වේ. සුරතල් බල්ලා අහිමි වීම පිළිබඳ දැරියගේ ශෝකයට මූලිaකත්වය ලැබුණේ නම් වඩා සංවේදී අත්දැකීමක්‌ බවට පත්වීමට අවකාශ තිබිණි.

'ටෙලි නිළිය' වර්තමාන කලා ලෝකය පිළිබඳ රචකයාගේ අත්දැකීම් මෙන්ම ගවේෂණශීලී දැක්‌ම ද ප්‍රකට කරයි. එහි ප්‍රථම භාගය ඉතා සාරවත්ය. චරිත හඳුන්වා දෙන ස්‌වභාවය අගනේය. චාරු නිසංසලා, µSලීෂියා ආන්ටි, පුෂ්පමාලා, හරේන්ද්‍ර ප්‍රධාන චරිතවල හැසිරීම් රටාවන්, චෛතසිකයන් මැනවින් ඉස්‌මතු වේ. වර්තමානයේ රූප මාධ්‍යයට පිවිසෙන තරුණ තරුණියන් මුහුණ දෙන ව්‍යසනය පිළිබඳ සියුම් කම්පනයක්‌ද ඉන් ගම්‍ය වේ. කෙටි කතාව මේ මුලික හැඩතලවලින් පිටතට පනින්නේ අවසන් අදියරේය. චාරු හරේන්ද්‍රට නතුවීම, සහාය අධ්‍යක්‍ෂකට නතුවීම ක්‌ෂණික වූවද අභව්‍ය නොවේ. එය කෙටි කතාවේ ස්‌වභාවය විසින්ම ඉල්ලා සිටින සිදුවීම් ය. එහෙත් හරේන්ද්‍ර ලියුකේමියා රෝගියකු බවට පත්වීම, චාරු විවාහ කරගැනීමට සතුටු වීම ආකස්‌මිකව, බලයෙන් එබ්බවූ සිදුවීම් බවට පත්වේ. මෙහෙයින් චාරු මුහුණ දෙන ගැටලුවේ මානුෂික හා සමාජමය ස්‌වභාවය යටපත් වේ. ඉන් ගම්‍ය වනුයේ නවකතාවකට උචිත චරිත හා සිදුවීම් කෙටිකතාවකට බලයෙන් එබ්බවූ ආකාරයකි. එසේ නොවන්නට ටෙලි නිළිය මේ සංග්‍රහයේ වඩාත් සාර්ථකම නිර්මාණයක්‌ වනු නිසැකය.

'ජීවිතේ සුන්දරයි' පෞද්ගලික අත්දැකීමක්‌ මොහොතින් පොදු අනුභූතියක්‌ බවට පත්වන විරල අවස්‌ථාවකි. මෙය චරිතය මරා දමමින් රචකයා ඉස්‌මතු වන අවස්‌ථා ද තිබෙන නිර්මාණයකි. එහෙත් ඉන් කෙටිකතාවකට අවැඩක්‌ සිදු වී නැත්තේ ය. වියපත් යුවළකගේ ප්‍රේමය පිළිබඳ තේමාව තුළ කිසියම් සමාජමය දැක්‌මක්‌ ද ගැබ්වෙයි. සමාජය මෙවැනි සම්බන්ධතාවන් අවලෝකනය කරන්නේ කෙසේද? විවාහ වන වයසේ දියණියක සිටින පියෙක්‌, යෞවනය ඉක්‌ම වූ අවිවාහක ස්‌ත්‍රියක්‌ වෙත සමාජ ඇස යහපත් වන්නේ නැත. මේ සමාජ ආකල්පයන්ට ඉඳුරා නතුවන පුද්ගලයන්ට ජීවිතයේ සතුට, සැනසුම දුරස්‌ය. එහෙත් ඒ සීමාවන් අතික්‍රමණය කළ හැක්‌කේ කීදෙනෙකුට ද? එබඳු චිත්ත ධෛර්යක්‌ වඩවාගත හැක්‌කේද? එහෙත් රචකයා අපට කියනුයේ මේ ද මිනිසුන් බවය. මිනිස්‌ හැසිරීම්වලට වයස බාධකයක්‌ නොවේ. ඔවුන්ටද සෙනෙහස, මිත්‍රත්වය අවශ්‍යයි. මේ චරිතවල හැසිරීම් රටාවන් කෙටිකතාව විසින් ඉල්ලනු ලබන සීමාවන් ඉක්‌මවන අවස්‌ථාවන් තිබුණ ද එයින් කෙටි කතාවේ මුඛය අරමුණට හා හැඩයට එතරම් හානියක්‌ වී නැත. ජීවිතය පිළිබඳ සියුම් කාංසාජනක හැඟêම් ජනනය කරන නිර්මාණයකි. උපයුක්‌ත බස ද අත්දැකීම හා අවියෝජනීයව බැඳී පවතී.

බුද්ධිගේ කෙටි කතා ජීවිතය දෙස විවිධ මානවලින් නිරීක්‌ෂණය කරන්නට දරන ප්‍රයත්න සේ හඳුනාගැනුම අසීරු නොවේ. ඉඳහිට නිෂේධනීය ලක්‍ෂණ නිසා කේන්ද්‍රීය අත්දැකීම ලුහුවූවද සමස්‌තයක්‌ ලෙස බුද්ධි කෙටිකතාව විෂය යෙහිලා දක්‌වන කුසලතා අගනේය. ජීවිතය හා සමාජ හැඩතල කෙරේ ඔහුගේ තියුණු දැක්‌ම පමණක්‌ නොව මනුෂ්‍ය ස්‌වභාවය අරභයා ඔහුගේ දයාබර බවද මේ කෙටි කතාවල ප්‍රමුඛ ලක්‍ෂණ සේ හඳුනාගැනුම අසීරු නොවේ. කෙටිකතාවේ ආකෘතික පක්‍ෂය පිළිබඳ ද ඔහුගේ දැනුම, අවබෝධය ප්‍රමාණවත්ය. 'පුංචි කුසුමලතා' මනා නිදසුනකි. මෙහෙයින් ඉදිරියේ දී මෙයට වඩා ප්‍රබල ආදර්ශී කෙටි කතා ආස්‌වාදනයට අපට අවස්‌ථාව ලැබෙනු ඇත.





READ MORE - හෙට නැවත එයි

මහ සමයම මහා සම්ප්‍රදාය සොයා යන ගමනක ආරම්භයයි

මහ සමයම මහා සම්ප්‍රදාය සොයා යන ගමනක ආරම්භයයි
මහාචාර්ය ආරියරත්න ඇතුගල


දේශීය "යාතුකර්මයන්" තුළ විශ්වීය නාට්‍ය ධර්මතා පවතින බව නොරහසකි. ගී්‍රක නාට්‍යයන්ට රංග භූමියක්‌ තිබූ නමුදු යාතුකර්මයට රංග භූමියක්‌ නොතිබිණි ඒ හේතුවෙන්ම මෙරට යාතුකර්මය සිදු කරන භුමි ප්‍රදේශයම රංග භූමියක්‌ ලෙස සැලකිණි. එම රංගභූමිය විශ්ව ආකෘතියට පසු නොවුණු හෙයින්ම ගැමි යාතුකර්ම ලෙසින්ම පැවැතිණි.

"මහ සමයම" මේ ගැමි යාතුකර්ම, තුළින් ජනනය වූ ජන නාට්‍ය සාම්ප්‍රදායන්ට රංග භූමියක්‌ සදන්නට නිර්මාණය වූ ඔපෙරාවකි.

මහසොහොන් සමයමෙහි සමයම් යාම තුනකි. ඒ හැන්දෑ සමයම, මහ සමයම හා අලුයම් සමයම යනුවෙනි. "මහ සමයම" නටන්නේ මධ්‍යම රාත්‍රියේය .

පුරාණොක්‌තිය හා යාතුකර්ම ගැන වෙසෙස්‌ හැදැරීමකින් පසු "මහ සමයම ඔපෙරාව" නිමැවෙන්නේ මහාචාර්ය ආරියරත්න ඇතුගල අතිනි. පෙබරවාරි 01, 02, 03 දිනවල, මහසමයම නෙලුම් පොකුණ රංග පීඨයේදී වේදිකාගත කිරීමට නියමිතය.

ශ්‍රී ලාංකීය වේදිකාවේ නවතම ඔපෙරා අත්දැකීම පිළිබඳ මේ සංවාදගත වන්නේ එහි නිර්මාණකරු මහාචාර්ය ආරියරත්න ඇතුගලය.

සංවාදය - උදේශ සංජීව ගමගේ

මහ සමයම ශ්‍රී ලාංකීය වේදිකාවට අලුත් කියෑවීමක්‌ වන්නේ කොහොමද?

මෙහි අන්තර්ගතය අපේම ඉතිහාසයෙ තිබුණු පුරාවෘත්තයක්‌. ඒ වගේම මේ වනවිට වේදිකාවට භාවිත නොකළ සහ වේදිකාව ප්‍රතික්‍ෂේප කරන ලද යාතුකර්මවල එකතුවෙන් තමයි මහ සමයම ගොඩනැඟෙන්නේ. සරලව කිව්වොත් පුරාණෝක්‌තිය හා යාතුකර්මවල එකතුවක්‌. අපේ පැරැණි කතාවක්‌ තිබෙනවා. ඊශ්වර සහ අසුර අතර සටනේදී අසුරගේ මියගිය සිරුරේ අලුගොඩින් තමයි "මහසෝනා" උපදින්නේ කියලා. මෙතැනින් තමයි මේ නාට්‍යයට වස්‌තු බීජය ඉපැදෙන්නේ.

අපි අපේ කලාවන් නිරීක්‍ෂණය කරද්දී පැහැදිලිව දකින්න තිබෙන දෙයක්‌ තමයි මහ සාම්ප්‍රදායයන් අමතක කර දැමීම. මූලිකවම ටෙලිනාට්‍යකරුවකු ලෙස මම ඒ තුළත් දැක්‌කේ යම් නොදියුණුකමක්‌. මහ සමයම බිහිවෙන්නේ එවැනි පසුබිමකයි.

පැරැණි යාතුකර්ම, නූතන නාට්‍ය කලාවට වැදගත් වන බව "වික්‌ටර් ටර්නර්" නමැති මානව විද්‍යාඥයා පවසනවා. මෙය මහ සමයම හරහා යථාර්ථයක්‌ බවට ගන්නා වෑයමක්‌ ද මේ...?

අපි මේක ඊටත් වඩා පුළුල් අර්ථයකින් ගන්න ඕන. පූජාකර්ම තුළ රංගනය හා ප්‍රසාංගිකත්වය කොහොමත් ගැබ්වෙලා තිබෙනවා. වික්‌ටර් ටර්නර් ඇතුළු බටහිර මානව විද්‍යාඥයන් පූජාකර්ම නූතන නාට්‍ය කලාවට වැදගත් බව කියන්නේ ඒ නිසයි. මේ පූජාකර්මවල තිබෙන පරා රෝපණ මූලාශ්‍ර නාට්‍ය රස විඳීම සඳහා වැදගත් බවත් ඔවුන් පෙන්වා දෙනවා. ඔබ කිව්වා වගේ "වික්‌ටර් ටර්නර්" සංස්‌කෘතික නාට්‍ය (cultural
tweature) හා පූජාකර්ම නාට්‍ය (Rituals Drama) ගැන අධ්‍යයනයකින් පසුවයි මේ අදහස්‌ පළ කරන්නේ.

මහසමයම සමගම ඔබ "එටික්‌" (etic) නාට්‍යවේදය ගැන සංකල්පය ගැන හඳුන්වා දෙනවා. මෙය මහසමයම සමග ගලපා ගත යුත්තේ කොහොමද?

අපි පුරාණෝක්‌තියට, මිත්‍යාවට, පුරාණ ඉතිහාසයට පිටස්‌තරයෝ හැටියටයි සැළකිය යුත්තේ. මේ සියල්ල අපි අපේ දේ හැටියට සැලකුවත්, ඇත්තටම අපි ඉන්නේ මේ සියල්ලටම පිටින්. නමුත් අපි පුරුදු පුහුණුවෙලා ඉන්නේ, අපිව පුරුදු කර තිබෙන්නේ දේශීය උරුමකම් සමග බැඳුණු තණ්‌හාවකින් මේවා දිහා විශාල සංස්‌කෘතිමය බැඳීමකින් බලන්නත්, රකින්නත් පමණයි. ඒ නිසාම අපි ඒවා කෙරෙහි බාහිර නිරීක්‍ෂකයන් වන්නේ නෑ. එහෙම නොවෙන තාක්‌ අපිට මේවා වටහාගන්නත් බෑ. එහෙම නැත්නම් ඒවායෙහි ඇති බොහෝ දේවල්වලට අපි වහල් වෙනවා. ඒ අර්ථයෙන් ගත්තම පොදු මානයන්a ඔස්‌සේ සංසන්දනාත්මක අධ්‍යයනවලට ප්‍රවේශය ගන්න "එටික්‌වේදය" අපට උදව් වෙනවා.

වාග් විද්‍යාඥ "කෙනෙත් පික්‌" භාෂාවත් සංස්‌කෘතියත් ගැන අධ්‍යයනයක යෙදෙමින් එමික්‌ (Emic) සහ එටික්‌ (Etic) කියන සංකල්ප හඳුන්වලා දෙනවා. එමික්‌ කියන වචනය බිඳිලා එන්නේ Phonemic (ශබ්දාණුමය) කියන වචනයෙන්, "එටික්‌" කියන වචනය බිඳිලා එන්නේ Phonetic ශාබ්දික එහෙමත් නැත්නම් ශබ්දය පිළිබඳව වන වචනයෙන්. කිසියම් සංස්‌කෘතික හැසිරීම් හෝ විශ්වාස පිටතින් සිට පර්යාවලෝකනය කිරීම etic යන වචනයේ සරල අර්ථයයි. මෙය අද භාෂාව, සංස්‌කෘතිය ආදිය පර්යේෂණය කරන්න යොදා ගන්නා නව ක්‍රමවේදයක්‌.

නමුත් ඔබ කියනවා බර්ටෝල් බ්‍රෙෂ්ට්‌ගේ දුරස්‌ථිකරණ ස්‌වභාවයක්‌ මහසමයමේ තිබෙන බවක්‌.

ඔව්, එවැන්නක්‌ මේ නාට්‍යය තුළ තිබෙනවා. එයින් මතු කරන්නේ බ්‍රෙෂ්ට්‌ සඳහන් කරන දුරස්‌ථිකරණය (alienation) යන්නෙහි නියම අර්ථයෙනුයි. ඒ කියන්නේ එහි නියම අර්ථය "සුවිශේෂීකරණය" කියන එකයි. ජර්මන් භාෂාවේ .Verfremdungseffekt. කියන නාට්‍යවේදය ඉංගී්‍රසි භාෂාවට පරිවර්තනය වන්නේ alienation - දුරස්‌ථිකරණය නමිනුයි. ඒක නිවැරැදි පරිවර්තනයක්‌ නෙවෙයි. එවිට ජර්මන් භාෂාවෙන් අර්ථගන්වන දේ සිංහල භාෂාවට එන්නේ සුලබ වූත්, පොදු වූත් දේ ප්‍රේක්‍ෂකයා හමුවේ නුහුරු, අපූර්ව බවට පත් කිරීමේ නාට්‍ය තාක්‍ෂණය ලෙසිනුයි. මේ මූලධර්මය මහ සමයමටත් අදාළයි.

ඒ අර්ථයෙන් ගත්තොත් එහි තිබෙන්නේ ආගන්තුක බවක්‌...?

ඔව්, ඒ නිසාම මම මෙය දුරස්‌ථිකරණය කියන වචනයට වඩා "ආගන්තුකකරණය" ලෙස හඳුන්වන්න කැමැතියි. බ්‍රෙෂ්ට්‌ කරන්නේ අප දන්නා දේට විශාල ආගන්තුක බවක්‌ දීමයි. මේ වචනය ගැන සංවාදයක්‌ ලෝකයේ තිබෙනවා. මම යමක්‌ දන්නව නම් මට ඒක තේරෙන්නේ නෑ. නමුත් සියුම්ව හැදෑරුවොත් එය අවබෝධ කරගන්න පුළුවන්. කිසියම් කලා කෘතියක තිබෙන පඨිතයන් ඉතා සියුම් කැබැලිවලට කඩා හඳුනාගන්නා වූ දේ තමයි වැදගත්. ඒ කියන්නේ සමස්‌තය නෙවෙයි. අපි කලා කෘතියක කුඩා කොටස්‌ තමයි රස විඳින්නේ. මේ කුඩා කොටස්‌වලට යම්කිසි ආගන්තුක බවක්‌ ලබාදීමයි කරන්නේ. "හුණුවටයේ කතාව" කවුරුත් නොදන්න කතාවක්‌ නොවෙයි. ඒත් බ්‍රෙෂ්ට්‌ ඒකට අලංකරණයක්‌ දෙනවා. ආගන්තුකකරණය මගින්.

"මහසමයම" ඔපෙරාවක්‌, ඔබ ඔය සඳහන් කරන පූජාකර්ම ආදිය ඔපෙරාවක්‌ සමඟ බද්ධ කිරීම සංකීර්ණ කටයුත්තක්‌. මේක අභියෝගයක්‌ නොවෙයිද?

ඔව් අභියෝගයක්‌. නමුත් මම විශ්වාස කරනවා අපි ඒ අභියෝගය ජයගත යුතු කාලයක්‌ ඇවිත් තිබෙන්නේ කියලා. අපි ගත්තොත් ලෝකයේ නාට්‍ය කලාව ඉතා වේගයෙන් දියුණු වේගෙන යනවා. ඒතA අපි තවමත් දිළිඳු තත්ත්වයකයි ඉන්නෙ. ඉන් පැහැදිලිවන්නේ අපි නිර්මාණකරණය අතින් කොයිතරම් පොහොසත් වුණත් අපි ගමන් කරන්නේ බොහොම පටු සීමාවක බවයි. ලෝකය පුරාම තාක්‍ෂණික වශයෙන් දියුණුවූ වේදිකා නිර්මාණයවී තිබෙනවා. මේවා සමග අපි ගනුදෙනු කරන්නේම නැති තරම්. ලෝකයේ නාට්‍ය කලාව ගත්තොත් ඔපෙරා හා බැලේ තමයි ප්‍රධානම භූමිකාව කරන්නේ. සම්භාව්‍ය කියන ලක්‍ෂණ දකින්න ලැබෙන්නේ ඒවායේ. අපිට ඒවා ඒ හැටියෙන්ම ගන්න ඕන නෑ. අපිට බැරිද මහා සම්ප්‍රදායක්‌ හොයාගෙන යන්න. "මහ සමයම" ඔපෙරාවක්‌ විදියට ගොඩනැගෙන්නේ එහෙමයි. මම පූජාකර්ම, ශාන්තිකර්ම මේ හැම එකකම භාවිත වන වෙස්‌ මුහුණ, ගොක්‌කොළ මේ ආදී දේවල් නව අර්ථයකින් හා නව මානයකින් "මහ සමයම" ඔපෙරාවේදී භාවිත කරනවා. මෙහෙමයි මම මහා සම්ප්‍රදාය හොයාගෙන යන්නේ.

ඔබ හොයා ගෙන යන මහා සම්ප්‍රදාය එදිරිවීර සරත්චන්ද්‍රයන් ශෛලීගත නාට්‍යයෙන් හඳුන්වා දුන් මහා සම්ප්‍රදායට වෙනස්‌ වෙන්නේ කොහොමද?

එදිරිවීර සරත්චන්ද්‍රයන් ඒ සම්ප්‍රදාය ගෙනාවා. ඒත් ඔහුට ඒ සඳහා වේදිකාවක්‌ තිබුණේ නෑ. ගී්‍රසිය ගත්තොත් ආරම්භයේ සිටම රංග භූමිය අතිශය විශාලයි. ඒවා තුළ තමයි මහා නිර්මාණ බිහිවෙන්නේ. මම සොයාගෙන ගියේ සහ මට තිබුණු අභියෝගය තමයි මේ මහා සම්ප්‍රදාය හොයාගෙන යන එක සහ නූතන වේදිකාව ජයගන්නේ කොහොමද කියන එක.

ඔබ එදිරිවීර සරත්චන්ද්‍රයන්ට ස්‌පර්ශ කළ නොහැකි තැනක්‌ සොයාගෙන යන්නේ නූතන තාක්‍ෂණය හා සම්ප්‍රදාය ගලපාගන්නට උත්සාහ දරණ අතරවාරයේමයි. මේ අභියෝගය ජයගන්නේ කොහොමද?

මම මේ අද්දැකීම ගන්නේත් එදිරිවීර සරත්චන්ද්‍රයන්ගෙන්මයි. ලයනල් වෙන්ඩ්ට්‌ රඟහල එක්‌තරා සමාජ පැලැන්තියක්‌ හා ඉංගී්‍රසි පංතිය නියෝජනය කළ වකවානුවක ඔහු ඒ වේදිකාවට ගේන්නේ ගැමි නාඩගමක්‌ වගේම අනිත් පැත්තෙන් ඔපෙරාවක්‌. ඔහු අත්හදා බලා තිබෙනවා අපේ සම්ප්‍රදාය ලෝකයට ගෙන යන ආකාරය. මූලිකවම අපේ වේදිකා නාට්‍ය කලාව යාතුකර්ම ආදිය පිළිගන්නේ නෑ. බලි තොවිල්වල සංවාද වේදිකාවට ආවේ නෑ. ඒ ආවේ නැත්තේ ඇයි? ඒවායේ කාව්‍යමය ගුණය නෑ කියලා අපිට බටහිරින් උගන්වා තිබුණා. නමුත් අපේ බලියක, සොකරියක, නාඩගමක තිබෙන නාට්‍යමය ගුණය විශ්වීයයි. ඒ නිසයි මා කල්පනා කළේ මෙය නූතන වේදිකාව සමග ගලපාගන්න ඕන කියලා. මා උත්සාහ කළේ අපේම මානයකින් මේක වේදිකාවට ගෙන එන්නයි. ඒ නිසාම මට සරත්චන්ද්‍රයන්ගේ අතීතයත් නූතන වේදිකාවත් අතර ගනුදෙනුව සක්‍රීය එකක්‌ කරන්නයි ඕන වුණේ. ඒ නිසා මම හිතන්නේ සරත්චන්ද්‍රයන්ට ස්‌පර්ශ කරන්නට නොහැකි වූ තැනකට ගියා කියනවට වඩා ඔහු ඉදිරියට ගෙන යන්න හිටිය තැනකට අපි යා යුතුයි කියන එකයි ඉස්‌මතු විය යුතු කියලා.

අපේ රටේ ඉතාම සුළුතරයක්‌ පමණයි ඔපෙරාවක්‌ කැන්ටාටාවක්‌, මුද්‍ර නාට්‍යයක්‌ නැරැඹීමට යොමුව සිටින්නේ. මහසමයම අපේ ප්‍රේක්‍ෂකාගාරය මඟහැර යන බවක්‌ හිතෙන්නේ නැද්ද?

රටකට සම්භාව්‍ය ගුණය තිබෙන කලාවන් පෝෂණය කිරීම කියන එක ඉතාම අවශ්‍ය දෙයක්‌. බටහිර රටක ඔපෙරාවක්‌ බලන්න ඕනෑම සමාජ ස්‌ථරයකට මැදිහත් වෙන්නට පුළුවන්. අපේ රටේ ඇති නැති පරතරය වැඩියි. බටහිර රටවල ඕනෑම කෙනකුට රසවිඳීමේ ඕනෑකම තිබෙනවා. අපි රසවිඳීමේ වුවමනාව මිනිසුන් තුළ ඇති කළ යුතුයි. එය පංති භේදයෙන් මැනිය යුත්තක්‌ නොවේ. මහාචාර්ය සරත්චන්ද්‍රයන්ගේ නාට්‍ය ඔපෙරාවක්‌ හැටියට පිළිනොගන්තේ ඇයි කියන එකයි මගේ තර්කය. ඒවා නාට්‍යයන් නොවෙයි. ලෝකයේ තිබෙන ඔපෙරා සම්ප්‍රදායෙන් තමයි ගෙනාවේ. සිංහයා, සිංහබා කියන්නේ ඔපෙරාවේ හඬ. සිංහයා නටන්නේ අපේ නැටුම් සම්ප්‍රදායක්‌ නෙවෙයි. එයා නටන්නේ ජපානයේ නෝ කබුකි. නමුත් ඒවා අපේ නාඩගම් සාම්ප්‍රදාය සමග ගලපලයි ගෙනාවේ. සරත්චන්ද්‍රයන් ඒක කිව්වේ නෑ. ලංකාවේ මහා සම්ප්‍රදායේ ඔපෙරාවක්‌ ඇතිවුණු මුල්ම අවස්‌ථාව තමයි මනමේ, සිංහබාහු, කියන්නේ. ඔහු එය පේරාදෙණියේ "වලට" සීමා නොකර ලයනල් වෙන්ඩ්ට්‌ රඟහලට ගේනවා. එතැනදී තමයි මේ සංවාදය මතුවන්නේ. සමහර අය තර්ක කරනවා අපේකම මේ නිසා නැතිවෙනවා කියලා. නමුත් ඇත්තටම සිද්ධ වෙන්නේ අපේ දේවල්වලට වැඩි ආරක්‍ෂාවක්‌ ලැබීමයි.

ගී්‍රක නාට්‍ය මූලධර්මයන් අභිබවන්නට හැකි නාට්‍යමය දෘෂ්ටිවාදයක්‌ අපේ පූජාකර්මවල තිබෙනවා. මහසමයම ඔපෙරාව මෙය යථාර්ථයක්‌ බවට පත් කරන්න කොයිතරම් දුරට හේතු වේවිද?

අපේම කියන දේවල් අපේ කියන පදනමට වඩා විශ්වීය පදනමින් නාට්‍යවල භාවිත කරන්න ඕන. අපට ජාත්‍යන්තරය සමග මීටත් වඩා පුළුල් විදිහට ගනුදෙනු කිරීමේ හැකියාව තිබිය යුතුයි. අද ශ්‍රී ලාංකීය වේදිකාවටත් අවශ්‍ය වන්නේ එවැන්නක්‌. අපේ නාට්‍ය කලාව විවෘත ආර්ථිකයට බිහිවීමේ සිට අද දක්‌වාම රැඳෙන්නේ චූල සම්ප්‍රදායකයි. නිර්මාණකරුවන්ට මහා නිර්මාණයකට එන්න තිබෙන බාධා වැඩියි. දේශීය වේදිකාවට නව මං පෙත් හොයාගෙන යන්න මෙය හැරවුම් ලක්‍ෂයක්‌ වේවි කියන විශ්වාසය මා තුළ තිබෙනවා. අප මේ හරහා සංවාදයක්‌ ගොඩනඟා ගත යුතුයි. වඩා හොඳ නිර්මාණයක්‌ කිරීමේ අභිලාශයයි මා සතුව තිබුණේ. විශාල පිරිවැයක්‌ ගියා. රාජ්‍යය මෙන්ම පෞද්ගලික ව්‍යවසායකයන් ගණනාවක්‌ මීට මැදිහත් වුණා. මෙහි පිටපත සමග අවුරුද්දක්‌ විතර පර්යේෂණ කරන්න මට සිද්ධ වුණා.

මෙය නූතන වේදිකාවට ගැලපෙන නාට්‍යයක්‌. නෙලුම් පොකුණ වැනි දැවැන්ත වේදිකාවක්‌ සමඟ කරන ගනුදෙනුව අපේ දුප්පත් වේදිකාව සමඟ කරන්න බෑ. අපේ ප්‍රේක්‍ෂකයන්ට මේක අසාධාරණයක්‌ නෙවෙයිද?

ජාත්‍යන්තරයේ තිබෙනවා, කොතරම් දුර වුණත් රඟහලේ තිබෙන පහසුකම් බලා නාට්‍ය නරඹන්නට එන පුරුද්දක්‌. වසර පුරාම ඒ රඟහල්වල එකම නාට්‍යයක්‌ රඟ දැක්‌වෙනවා. එවිට ඒ සඳහා සූදානම් වුණු රසික කණ්‌ඩායම් ගොඩනැගෙනවා. රසවින්දනය වෙනුවෙන් ඒක හොඳ ශික්‍ෂණයක්‌. රසවිඳීම වෙනුවෙන් ඒක වැරැදි දෙයක්‌ නෙවෙයි. අපිට තැනින් තැනට යන්න ලංකාවේ දියුණු වේදිකා නෑ. නමුත් මම කියන්නේ තැනින් තැනට යන නාට්‍ය විතරක්‌ම තිබිලා මදි. නෙලුම් පොකුණ වැදගත් වෙන්නේ මේ අර්ථයෙන් මිස පටු තැනක ඉඳලා බලනකොට නෙවෙයි. අපි මේ පවතින තත්ත්වය අතික්‍රමණය කරන්න ඕන. නෙලුම් පොකුණේ තිබෙන සංගීත ප්‍රසංග නරඹන්නට ප්‍රේක්‍ෂකයන් එන්නේ බොහෝ දුර ඉඳලා විශාල මුදලක්‌ ගෙවා ගෙන. අපිට වේදිකා නාට්‍ය සඳහා ඒ වගේ තත්ත්වයක්‌ ගොඩනගන්න බැරි ඇයි? මම හිතන්නේ මගෙන් පස්‌සේ එහෙම ප්‍රවණතාවක්‌ ගොඩනැගෙයි.


Divayina
READ MORE - මහ සමයම මහා සම්ප්‍රදාය සොයා යන ගමනක ආරම්භයයි

සමාජය තුළ "මහ සමයම" සාකච්ඡා වුණොත් ඇති

සමාජය තුළ "මහ සමයම" සාකච්ඡා වුණොත් ඇති
13624_fgtch.jpg "මහ සමයම" නාට්‍යයේ තේමාව මොකක්ද?
"මහ සමයම" නාට්‍ය හරහා මම සමාජගත කරන්නේ මහසෝනාගේ උත්පත්ති කතාව. ඊශ්වර ළඟ බැලමෙහෙවර කම් කරපු අසුර නමැති පුද්ගලයා ඊශ්වර දැහැනෙන් මිය යනවා. ඊශ්වරගේ අග්නි ජාලාවකින් තමයි ඔහු මිය යන්නේ. ඒ ඔහු දැවී ගිය අළුවලින් මහසොහොන් සමයම උත්පත්තිය ලබනවා. මගේ "මහ සමයම" නාට්‍ය තුළ ගැබ්වෙලා තියෙන්නේ එම ප්‍රස්තුතයයි.


"මහ සමයම" තුළ වත්මන් දේශපාලන චරිත ඉන්නවාද?
විවිධ ආකාරයට දකින්න පුළුවන් කෘතියක් මේක. සමාජමය දෘෂ්ටියකින් වගේම දේශපාලන දෘෂ්ටියකිනුත් මෙම නාට්‍ය දකින්න පුළුවන්. මතුපිටින් නොපෙනෙන ගැඹුරු ප්‍රවේශයක් මෙහි අන්තර්ගතයි.


දේශපාලනමය දෘෂ්ටියෙන් බැලුවොත් "මහ සමයම" කවුද?
දේශපාලනමය පැත්තටම මෙය සීමා කරන්නට බැහැ. අපි හැමෝ තුළම මහසෝනා කියන චරිතය ඉන්නවා. විටින් විට එම චරිතයන් මතු වෙන අවස්ථා තියෙනවා. දේශපාලන නෙතින් බැලුවත් විවිධ දේශපාලනඥයන් තුළින් මෙම චරිතය ඉස්මතු වන අවස්ථා තියෙනවා.


අදෘශ්‍යමාන පැතිකඩක් නාට්‍යකරණයට යොදාගන්න හිතුවෙ ඇයි?
අද සමාජෙ වෙසෙන බොහෝ දෙනෙක් අපේ ගැමි කලාව සහ යාතුකර්මවල අන්තර්ගත දේවල් හාස්‍යයට ලක්කරමින් වලංගු නැති ගණේට දාලා තිබෙනවා. බටහිර ක්‍රමයට නතුවෙලා අපේම දේ ප්‍රතික්ෂේප කරන තත්ත්වයට පත්වෙලා. අපේ වෙස් මුහුණු අපි අගය නොකොට සුද්දන්ට විකුණනවා. නමුත් ඒ වෙස්මූණු තුළ ගැබ්වෙලා තියෙන මනෝවිද්‍යාත්මක සහ කලාත්මක ගුණයන් බොහෝ දෙනෙක් දකින්නේ නෑ. නිර්මාණකරුවන් හැටියට අපිට වගකීමක් තිබෙනවා වියැකී යන ඒ ගැමි කලාවට නැවතත් පුනර්ජීවනයක් දෙන්න. මගේ මේ වෑයමත් ඒකයි.


වර්තමානය වන විට විවිධාකාරයෙන් යුතු නාට්‍ය කරළියට එනවා. ඒවා තුළ සහ මෙ නාට්‍යය අතර තිබෙන වෙනස මොකක්ද?

වේදිකා නාට්‍ය ගොඩක් එනවා. නමුත් ප්‍රබල කතිකාවතක් ගොඩනඟන්න තරම් නිර්මාණ බිහිවෙන්නෙ නෑ. සීමිත පිරිසක් ඉන්නවා හොඳ නිර්මාණකරණයට යොමු වුණ මම ජනසන්නිවේදන විෂය උගන්වන ගුරුවරයකු හැටියට අපේ සම්ප්‍රදායික දේවල ඇති ගුණ අගුණ විශ්ලේෂණය කරනවා. එසේ විශ්ලේෂණය කරන කොට තමයි මට මෙම ප්‍රස්තුතය හමු වුණේ. අපි නාට්‍යකරණයේ නියැළෙන්න ඕනේ ජාත්‍යන්තර නාට්‍ය කලාව සහ ශ්‍රී ලාංකේය මුල්නාට්‍ය කලාව හරි හැටි හැඳිනගෙනයි. සමාජය තුළ කතිකාවතක් ගොඩනැඟෙන තරමෙ නාට්‍යයක් කරනවා නම් එහි සාර්ථකත්වයක් තිබෙනවා. මම මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍ය කලාව දුටුවෙක් හැටියට මෙවන් වෙනසක් කළ යුතුයි කියලා හිතුවා.


"මහ සමයම" නාට්‍යයේ නළුවරණය කොහොමද කළේ?
"මහ සමයම" නාට්‍ය තුළ පරම්පරා 9ක් නළු නිළියො රඟපානවා. ප්‍රවීණයන්, නවකයන් දෙපිරිසම මේ තුළ සිටිනවා.
ඊශ්වර චරිතය චන්න විජේවර්ධනත් උමාගේ චරිතය ඉන්දිකා උපමාලිත් රඟ දක්වනවා. ජැක්සන් ඇන්තනී, ශි්‍රයන්ත මෙන්ඩිස්. නිස්සංක දිද්දෙණිය, සඳුන් විජේසිරි, චතුරිකා පීරිස්, මාධනී මල්වත්ත ආදී ප්‍රමුඛ පෙළේ රංගන ශිල්පීන් ශිල්පිනියන් රැසක් "මහ සමයම" නාට්‍ය තුළ රංගනයෙහි නියැළෙනවා.


"මහ සමයම" නාටය සඳහා නෙලුම් පොකුණ රඟහලම තෝරා ගත්තේ ඇයි?
මෑත කාලයක් වෙනකල්ම ලංකාවේ වේදිකාව පිළිබඳ ගැටලු තිබුණා. නමුත් නෙලුම් පොකුණ රඟහල තුළ ඇති නූතන තාක්ෂණය උපයෝගි කොට ගනිමින් දැවැන්ත නිර්මාණ කරන්න පුළුවන්. ඔපෙරාව වගේ ලොව සම්භාව්‍යය කෘති මෙරට තුළත් නිර්මාණය කරන්න ඕනේ. නෙලුම් පොකුණ රඟහල ඒ සෑම නිර්මාණයක් සඳහාම විශාල තෝතැන්නක්.


මෙම නාට්‍ය තුළින් ඔබ අවසානයේ බලපොරොත්තු වෙන්නේ මොකක්ද?
මෙය සමාජය තුළ සාකච්ඡාවට බඳුන්වන කෘතියක් වුණොත් එය නූතන නාට්‍ය ක්‍ෂේත්‍රයේ වර්ධනයට ඵලදායී වේවි. මම බලාපොරොත්තු වෙන්නේ එයයි.

Mawbima
READ MORE - සමාජය තුළ "මහ සමයම" සාකච්ඡා වුණොත් ඇති

‘මහ සමයම’ කලාවත් ප්‍රේක්ෂකයනුත් බේරා ගැනීමේ උත්සාහයක්


‘මහ සමයම’ කලාවත් ප්‍රේක්ෂකයනුත් බේරා ගැනීමේ උත්සාහයක්

මහාචාර්ය ආරියරත්න ඇතුගල
මහාචාර්ය ආරියරත්න ඇතුගලයන් මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයේත්, කලා ක්ෂේත්‍රයේත් විවිධ භූමිකා රාශියකින් අපට හමුවන ප්‍රතිභාපූර්ණ කලාකරුවෙක්. ප්‍රවීණයෙක්.
විශ්ව විද්‍යාල මහාචාර්යවරයකු, ටෙලිනාට්‍ය පිටපත් රචකයකු, ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයකු මෙන්ම මෙරට ජාතික රූපවාහිනී සභාපතිවරයා ලෙස කටයුතු කර, වත්මන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් වරයා ලෙසින් කටයුතු කරයි.
ශ්‍රී ලාංකේය යාතුකර්ම වල එන මහසෝන් සමයම ඇසුරෙන් ඔහු ‘මහ සමයම’ නම් අති දැවැන්ත නිර්මාණය හරහා වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයකු ලෙසින් දොරට වඩින්නට සූදානමින් සිටී. ලබන ..... වැනිදා කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී කලඑළි දක්වන ‘මහ සමයම’ පිළිබඳ එතුමන් සමඟ කළ සංවාදයයි මේ.
මෙය ඔබගේ පළමු වේදිකා නාට්‍ය ප්‍රයත්නය නේද?
සැබැවින්ම. අපේ බොහෝ ප්‍රවීණ කලාකරුවන්, නිර්මාණ කරුවන් වේදිකාවෙන් ආරම්භ කරල අනෙකුත් අංශවලට යොමු වීමක් තමයි කරල තියෙන්නෙ. මගෙ පැත්තෙන් ගත්තම මම ඊට ප්‍රතිවිරුද්ධ පැත්තට ගමන් කරනවා.
නමුත් මගේ කලාවේ ආරම්භය ගත්තම පාසල් වේදිකාව මගෙත් ආරම්භය කියන්න පුළුවන්. ඒ වගේම විශ්ව විද්‍යාලයේ වේදිකා නාට්‍ය සම්බන්ධ යම් යම් දේවල්, ලංකාවේ ප්‍රවීණයන්ගේ වැඩ කටයුතුවලට, සාකච්ඡාවලට මම සම්බන්ධ වෙලා තියෙනවා.
වෙනස තියෙන්නේ මම නාට්‍යයක් නොකරපු එකයි.
ඇයි මෙවැනි දෙයකින්ම ආරම්භ කරන්නට හිතුවේ.
ශක්තිමත්ම කලා මාධ්‍යය වන්නේ වේදිකාව. මේ මොහොතේ මේ රටේ වේදිකාවේ නව ප්‍රබෝධයක් තිබිය යුතුයි කියන අදහසින් මම ඉන්නෙ.
ඒ වගේම මගේ ප්‍රස්තුතය වඩාත් වේදිකාවට ගැළපෙනවා. ඒ කියන්නෙ අභිචාර, යාතු කර්ම වේදිකාවට සම්බන්ධ කාරණාවක් නිසා ප්‍රස්තුතය වේදිකාවට ගැළපීම, දියුණු වේදිකාවක් අපට හිමිවීම යන කාරණා මේ තුළ තිබෙනවා. අනෙත් කරුණ අපේ පැරැණි යාතුකර්මවල විශ්වීය ලක්ෂණ තිබෙනවා. මේවා අවතක්සේරු කරන එක ප්‍රතික්ෂේප කිරීමක් තමයි මම කරන්නෙ.
මෙය වර්තමාන කාලයට ගැළපෙන්නේ කොහොම ද?
මහසෝන් සමයමට පාවිච්චි කරන පසුතල, නිර්මාණ, රංග විලාසය වෙස් මුහුණු ආදිය ඉතාම නවීනයි. පශ්චාත් නූතන ගැමි කලාවේ කිසියම් අවදියක තමයි මහසෝනා වැනි චරිත, වෙස් මුහුණු වැනි නිෂ්පාදන ඇතිවන්නෙ.
ඒවා නවීනයි කියන එකේ තේරුම තමයි මහසෝනා යකෙක් වුණත් තියෙන්නෙ වලස් ඔළුවක්. ඒකත් තියෙන්නෙ කෙළින් නෙමෙයි කැරකිලා. අද අප අතරත් තියෙන්නෙ ඔහොමම තමයි. අනෙක් පැත්තට යන අසම්මත දේවල්. මහසෝනා ඉන්නෙ ඌරෙක්ගෙ පිටේ නැගල අලියෙක් අතේ තියාගෙන. මෙය කොයි තරම් නවීන ද? අපි මේවා ගැමි දේවල් කියල ප්‍රතික්ෂේප කිරීම එතරම් හොඳ දෙයක් නෙමෙයි.
මෙය නිර්මාණය වන්නේ නෙළුම් පොකුණ වේදිකාවට ගැළපෙන්නට ද?
මේ ලෝකයේ මහා සම්ප්‍රදාය හැදිලා තියෙන්නෙ දියුණු වේදිකා අංගත් එක්ක. රංග කාර්යයේ දී වේදිකාව වෙන් කරන්න බෑ. ඒ කියන්නෙ අන්තර්ගතයෙන් ආකෘතිය වෙන් කරන්න බෑ. මේ සමස්තයම එකක්. අනිත් කාරණය තමයි අපි පුරුදු වෙලා තිබෙන නාට්‍යවල ප්‍රමිතීන් නිවැරැදියි කියන්නත් බැහැ. ‘මහ සමයම’ දැවැන්ත නිෂ්පාදනයක් වන නිසාත්, බැලේ, ඔපෙරා වල අභාසය සමඟ ලාංකේය රංග සම්ප්‍රදායන්ගේ අභාසය ලබන නිසා නෙළුම් පොකුණ වේදිකාව වැදගත් වනවා.
ලොකු නිර්මාණාත්මක කැන්වස් එකක් හදන්න ඊට ප්‍රමාණවත් වේදිකාවක් තිබිය යුතුයි.
මෙවැනි නිර්මාණයකින් ඔබ බලාපොරොත්තු වන්නේ කුමන අරමුණක් ද?
අරමුණු කීපයක්ම තිබෙනවා. අපේ ජන සංස්කෘතියේ ඇති මෙවැනි දුර්ලභ දෑ මතු පරපුර වෙනුවෙන් සංරක්ෂණය කිරීම ඉන් එකක්. මේ නිර්මාණය මට දිගින් දිගටම කරගෙන යන්න බැරි වේවි. ඒත් මම ගත්ත මේ පියවර ඊට හොඳ ආරම්භයක් වේවි. උදාහරණයකට ගත්තොත් සරච්චන්ද්‍රයන්ගෙ ‘මනමෙ’ නාට්‍යයේ පවා මුල් කෘතිය නෙමෙයි අද දකින්න තියෙන්නෙ. එය කාලීනව වෙනස් වෙලා. ‘මහ සමයම’ නිර්මාණයත් එහෙමයි. නෙළුම් පොකුණ වගේ තැනක සංවිධාන ව්‍යුහයක් හැදුණොත් පවත්වාගෙන යන්න පුළුවන් වේවි. මේ කාර්යය මට පෞද්ගලිකවම නැතිනම් තනිවම කරන්න බෑ. ඊට විවිධ අයගේ සහාය අවශ්‍යයි. වෙනත් නිර්මාණ පාර්ශවයන්ගේ මැදහත් වීම අවශ්‍යයි.
‘මහ සමයම’ නිර්මාණයේ ඇති දැවැන්ත බව ගැන සඳහන් කළොත්.
එදා අපේ ගම් ප්‍රදේශවල එළිවෙනතුරු මහසෝන් සමයම නැටුවේ ගමම එකතු වෙලා. එය හරි විශාල පිරිසක් දායකත්වය දුන්නු රැයක් පහන් වෙන තුරා කළ දෙයක්. දැන් සමාජයේ මේ දැවැන්ත බව නෑ.
මම කළේ අපේ සංස්කෘතියේ තිබුණු මේ දේවල් උකහා ගෙන ජාත්‍යන්තර ප්‍රමිතිය හඳුනාගෙන, පවතින නාට්‍ය කලාව හඳුනාගෙන ඉදිරි ගමනක් පිළිබඳව හිතීමයි. කෙනෙක් මෙය වැරැදි විදිහට හිතන්නත් පුළුවන්. ඒත් මම කරල තියෙන්නෙ කලාව සහ පේ‍්‍රක්ෂාගාරය බේරා ගන්න උත්සාහයක්.
මෙහි ප්‍රවීණ නළු නිළියන් විශාල ගණනක් ඉන්නවා. පසුතල අති විශාලයි. රංගන පිරිස 150 ක් පමණ වනවා. මාස 6 ක පමණ පුහුණු කාලයක් සහ විශාල වියදමක් දරලා කරන නිසා නිර්මාණය දැවැන්තයි.
ඒ වගේම මෙය විශාල අභියෝගයක් ද වනවා. රටකට මෙවැනි නිර්මාණ කාර්යයන් තිබිය යුතුයි. මොකද ලෝකය ගමන් කරන්නේ වේදිකාවේ දැවැන්ත නිෂ්පාදන සමඟ නිසා.
මීට දායක වන නිර්මාණ ශිල්පීන් ගැනත් සඳහන් කළොත්.
ඇත්තෙන්ම මීට දායක වෙලා ඉන්නෙ නිර්මාණ පිපාසාවෙන් ඉන්න පිරිසක්. සෑම දෙනෙක්ම පාහේ ඉතාමත් කැමැත්තෙන් මීට දායක වෙනවා අපේ දේවල් තාක්ෂණය සමඟ මුසු කරල ලෝකයේ ඉදිරියට යා යුතුයි කියන මතය සමඟ.
ජැක්සන් ඇන්තනී, ශි‍්‍රයන්ත මෙන්ඩිස් නිශ්ශංක දිද්දෙණිය වැන්නන් නිර්මාණ පිපාසාවෙන් ඉන්න ප්‍රවීණයන්. ඔවුන් ඔවුන්ගේ අත්දැකීම් තුළින් මීට මැදිහත් වෙනවා. චන්න විජේවර්ධන සහ ඔහුගේ නර්තන කණ්ඩායම නර්තන අංශයෙන් දායකත්වය දෙනවා. රවිබන්දු විද්‍යාපති කියන්නෙ පරම්පරා ගත දැනුම තිබෙන ශිල්පියෙක්. ඔහුත් මීට දායකත්වය දෙනවා. ඒ වගේම ත්‍රිවිධ හමුදාවේ සංස්කෘතික අංශ, සංස්කෘතික අමාත්‍යාංශය, තරුණ සේවා සභාව වැනි ආයතනත් මීට සහාය දෙනවා.
මේ සෑම කලාකරුවකුගේම අදහස තමයි ඔවුන්ට අතපසු වුණු නිර්මාණ කාර්යයක් මා කරනවා කියන එක. එය මට විශාල ධෛර්යයක්.
එහිත් රංගවේදය ගැනත් සඳහන් කරමු.
එහි තේරුම අපි ප්‍රතික්ෂේප කරන දේට වටිනාකමක් දෙනවා කියන එකයි. මෙරට දේ කෙරෙහි විශ්වීය මානයකින් බැලීම ලෙසත් හඳුන්වන්න පුළුවන්. අපේ රටේ තිබෙන බොහෝ වටිනා, බොහෝ දේ මේ වන විට හුදෙකලා කරල විනාශ කරල තිබෙනවා. තවමත් විනාශ වෙමින් පවතිනවා. උඩරට, සබරගමු, පහතරට නර්තන අංග, චිත්‍ර ඇඳීම, ඇඹීම මේ හැම කලාවක්ම පාහේ එලෙස විනාශ වෙමින් යනවා.
මම මෙයින් කරන්නේ මේවා විශ්වීය ගුණයක් එකතු කරල විශ්වීය තලයකට ගෙන ඒම. මේ නිර්මාණ ප්‍රතිභාවන්ට ලොල් වන්නේ නැතුව, තදින් බැඳිල අපේ දෙයක් පමණයි කියල බැදෙන්නෙ නැතුව විශ්වීය ගනුදෙනුවක් කිරීම. විශේෂයෙන් නාට්‍ය ව්‍යවහාරයේ තිබෙන අන්තර් සංස්කෘතික වශයෙන් වැදගත් සංකල්පයක්.
ඔබ මුලින්ම නිර්මාණයක් කරන්නෙ පුංචි තිරයට. ඒත් මේ වන විට ඔබ ඒ පැත්තෙන් නිහඬයි.
මේ වන විට ටෙලි නාට්‍ය නිර්මාණ ක්ෂේත්‍රය දූෂිත වෙලා. එය නිශ්චල හොඳ නිර්මාණ නොවන කර්මාන්තයක් බවට පත් වෙලා. මේවා සමඟ පොර බදන්න මට වුවමනාවක් නෑ. මම දන්නා තරමින් මෙය ප්‍රධාන පෙළේ නිර්මාණ බිහිකළ සියලුම දෙනාට පාහේ ඇතිවෙලා තියෙන තත්ත්වයක්.
එහෙම කලකිරෙන ඔබ නාට්‍ය ක්ෂේත්‍රයේ අලුත් ගමනක් අරඹනවා.
මම රාජකාරිමය වශයෙන් මාධ්‍යයට සම්බන්ධ නිලධාරියෙක්. ඒ තුළ මට මෙය අදාළ නොවන්න පුළුවන්. ඒත් පුරවැසියෙක් ලෙස විශාල මානසික ව්‍යාකූලත්වයක් මට තිබෙනවා. නූතන මාධ්‍ය කලාවේත්, සමස්ත කලාවේත් ගමන්මඟ පිළිබඳව. ඒ සමඟම මේ සමාජය ලොකු සංස්කෘතික සහනයක් ලොකු පරිවර්තනයක් ඉල්ලා සිටින බව මට පෙනුණා. ඒ නිසා බලා ඉන්නෙ නැතුව කාටවත් ඇඟිල්ල දිගු කරන්නෙ නැතුව මමම පටන් ගන්න ඕනෙ කියල මම හිතුවා. එහි ප්‍රතිඵලය තමයි මේ.
READ MORE - ‘මහ සමයම’ කලාවත් ප්‍රේක්ෂකයනුත් බේරා ගැනීමේ උත්සාහයක්