ඩෝප් ෂීට් නැතහොත් ඩෝප් ලැයිස්තුව යනු කවරෙක්දැයි මා ඔබෙන් ඇසූ විට එය නොඅනුමානවම බේබද්දන් රැලක් පිළිබඳ සම්බන්ධ වචනයක්යැයි ඔබට සිතෙනු ඇත. මෙරට සිනමාවට සම්බන්ධ කාර්මික ශිල්පියෙක්ගෙන් මේ පිළිබඳ විමසද්දී ඔහු මට කැට තියා පැවසුවේ එකත් එකටම බේබදු කම නිසා ඇති වන රෝග ලක්ෂණයක් බවය.
එහෙත් අබා චිත්‍රපටය නිපද වා මෙරට සිනමාවේ අලුත් රැල්ලක් තැනූ නිෂ්පාදක ජස්ටින් බෙලගමගේ පැවසුවේ වෙනස්ම උත්තරයකි.ඒ උත්තරයට අනුව ඩෝප් ෂීට් නැතහොත් ඩෝප් ලැයිස්තුව යනු රූප ගත කොට අවසන් දර්ශන ලැයිස්තුව හෝ නිරාවරණය කරන ලද සේයා පට රීලයක ඇතුළත් දේ පිළිබඳ ලැයිස්තුව යන්නයි.නිවැරදි ඩෝප් ලැයිස්තුවක් තබා ගැනීමේ වගකීම දරන්නේ සහාය කැමරා ශිල්පියාය යනුවෙන් ඔහු වැඩි දුරටත් පවසන්නේය.
ජස්ටින් බෙලගමගේ මේ බව දන්වනුයේ මෙරට සිනමා විද්‍යාර්ථින් අරබයා ඔහු අතින් ලැබුණ අනගි තෑග්ගක් බඳු සංක්ෂිප්ත සිනමා විශ්වකෝෂය හා ඉංග්‍රීසි -සිංහල සිනමා ශබ්දකෝෂය ග්‍රන්ථයේය. ජස්ටින් බෙලගමගේ පොත පිළිබඳ හඳුන්වා දෙන්න කලින් ඔහු පිළිබඳ වග විභාග කිරීම යුතුකමක්යැයි කල්පනා කළෙමි.
මේ රටේ චිත්‍රපට නිෂ්පාදනයට බහින බහුතරය කතරගම වන්දනාවේ යන ගමන් සංඛපාල පැත්තෙන් කොට්ට අරන් එන ජාතියේ පිරිසකැයි මා හිතන්නේ බොහෝ කලක සිටය. එයට හේතුව කතරගම වන්දනාවේ යන පිරිසගේ මුල් අරමුණ කතරගම වන්දනාව විනා ආපසු එන විට කොට්ට අරන් ඒම නොවන බැවිණි.
කොට්ට අරන් එන්නේ මග එන විට ඒවා විකුනන්නට දමා තිබෙන බැවිණි.නිදන්නට ගිය විට සේ කොට්ටය හොඳ එකක්දැයි නැතහොත් එය පැත්තකට දමන්නට එකක්දැයි වටහා ගත් හැක්කේය. හොඳ කොට්ටයක් ලැබුණහොත් ඊළඟ වතාවේ ද එබඳු කොට්ටයක් ගෙන එන්නට වග බලා ගන්නා අතර දන්නා හඳුනන අයට ද හොඳ තොට්ටයක් පිළිබඳ කියා දෙන්නට ද වග බලා ගනිති.
එහෙත් වැරදුනහොත් කොට්ට වෙළෙන්දාගේ සිට එතැන රථය නතර කළ වාහනයේ බ්‍රේක් පද්ධතිය හැදූ එකා දක්වා වැරදිය.චිත්‍රපට නිපදවන බොහොමයක් ද චිත්‍රපට නිපදවන්නේ ඒ පිළිබඳ අරමුණෙන් නොවන බැවිනි.හරිගියොත් නැවත චිත්‍රපට කරනවා පමනක් නොව අනිත් අයට ද උපදෙස් දෙන්නට ද සමත්ය. වැරදුනොත් චිත්‍රපට ලෝකයට දායාද කළ ලුමියෙර්ලා ගේ සිටම වැරදිය.එහෙත් ජස්ටින් බෙලගමගේ මේ ගොන්නේ ලා සැලකිය නොහැක.ඔහුත් ඔහුගේ බිරින්දෑ රජින්ද්‍රා ත් අනතුරුව කුස පබා චිත්‍රපටය නිපදවීමෙහි ලා ද දායක විය.
ඔහු වෘත්තියෙන් වරලත් ගණකාධිකාරිවරයෙකි.එමෙන්ම කොළඹ විශ්ව විද්‍යාලයයේ උපාධිධරයෙකි.දෙස් විදෙස් බැංකු රැසක සෙවය කළ හෙතෙම කළමණාකරණ ක්ෂේත්‍රයේ උපදේශකවරයෙකු ද විය.මෙර බොහෝ පුවත්පත් වලට ඉංග්‍රීසියෙන් කළමණාකරණ විෂය පිළිබඳ ලියූ හෙතෙම ව්‍යාපාරිකයකු ද විය.ඔහු අබා චිත්‍රපටය නිපද වනුයේ එයින් පසුවය.
ජැක්සන් ඇන්තනි නම් විශිෂ්ට නිර්මාණකරුවා දුටු සිනමා සිහිනය මල් පළ ගැන්වුනේ ජස්ටින් සහ රජින්ද්‍රා ගේ ආයෝජනය නිසාය.එය මෙරට සිනමාවේ අලුත්ම රැල්ලකට හේතු වූයේය.කෙසේ වෙතත් ජස්ටින් බෙලගමගේ මේ නිෂ්පාදනයෙන් බැහැරව අත ගැසූ අලුත් කාර්යය මෙරට සිනමාවේ දැනුම සම්බන්ධව කළ මහත් මෙහෙයක් බැව් නොකියාම බැරිය.
අප රටේ විෂයන් සිංහලෙන් ඉගැන්විය යුතුයැයි ඇදහූ එදවස බොහෝ විෂයන් හා සම්බන්ධව බොහෝ පොත පත ලියැවුනද සිනමාව හා කලා විෂයන් සම්බන්ධව එබඳු පොත පත නොලියූ තරම්ය.නැතහොත් කලා විෂයන් යනු එලෙස හදාරන්නට තරම් වැදගත් කමක් ඇති එකක්යැයි එකල සිටි ඇතැම්හු කල්පනා කළා වන්නට ඇත.
එහෙත් වර්තමාන තරුණ පිරිසේ බහුතරය රූපයෙන් කළ හැකි මහත් විස්කම් පිළිබඳ ස්වයං අධ්‍යයනයක යෙදී ඇතැයි සිතිය හැක්කේය.එහෙත් මෙරට සිනමාව සම්බන්ධව ඇති බරපතල අඩුවක් ව පවතින සිනමා විශ්වකොෂයක් යනු එක් රැයකින් කළ හැක්කක් නොවේ.මෙරට සිනමාව අරබයා ලියැවුණ නුවන් නයනජිත් කුමාර ලියූ ශ්‍රී ලාංකික සිනමා වංශය නම් විශ්වකෝෂය වසර ගණනාවක මහන්සියක ප්‍රතිඵලයකි.
ජස්ටින් බෙලගමගේ සිය සිනමා විශ්ව කෝෂය හරහා අවධානය යොමු කරනුයේ මුළු මහත් සිනමාවේ ඇති ඉතිහාසය,කාර්මික අංශය සිනමාව විධි ක්‍රම ,රංග වින්‍යාසයන් ආදි බොහෝ කරුණු කෙරෙහිය.ඔහු එයට අමතරව එහි එන පාරිභාෂික වදන් මාලාවක් ද සිංහලට පරිවර්තනය කරනු ලබයි.
මේ කටයුත්ත සිනමාව පිළිබඳ අදහස් දැක්වීමක දී අප බොහෝ දෙනා අමාරුවේ වැටීමකින් ගලවා ගැනීමක් මෙහිදී ජස්ටින් බෙලගමගේ සිය විශ්වකෝෂය හරහා අදාල කරුණු සාක්ෂාත් කිරීම සඳහා උදාහරණ සපයන්නේ එම චිත්‍රපට සොයා ගෙන නැවත නැරඹිය යුතුය යන අලුත් මානයකට අප යොමු කරවමිනි.ඔහු රංගනයේ සත්ව චර්යා ග්‍රහණය සඳහා උදාහරණ කොට ගන්නේ මාලන් බ්‍රැන්ඩෝ ගෝඩ් ෆාදර් චිත්‍රපටයේ රංගනයේ ඇතැම් අවස්ථා උදාහරණ කොට ගනිමිනි.
එමෙන්ම රූප රචනයේ ලා උදාහරණ කොට ගන්නේ ටැක්සි ඩ්‍රැයිවර් චිත්‍රපටයේ දී රොබට් ඩි නීරෝ රූපය මත ස්ථාන ගත කළ අන්දම හරහා මනාව පහදමිනි. සිනමාව යනු දිනෙන් දින යාවත් කාලින වන විෂයකි.සිනමාව ආරම්භයේ දී එහි නිර්මාතෘවරුන් විසින් දුටු සිනමාව කාර්මික මෙන්ම වෘතාන්ත ශෛලීන්ගේ හැඩ තල අතින් ද වෙනස් ව ඇත්තේය.
කලකට ඉහත මම ළමා වියේ දී සිනමාහලේ අඳුරු ගැබ දෙබෑ කරන ආලෝක කදම්බයත් එහි නලියන දූවිලි විසින් කෙලවර මවන රූප සටහන් දෙසත් විමතියෙන් බලා සිටියෙමි. එහෙත් අද මුල් වරට සිනමාහලට ගොඩ වදින දරුවෙක් එ දෙස බලනුයේ ගෙදර ඇති ටෙලිවිෂනයට වඩා ලොකු ටෙලිවිෂනයක් සහිත ශාලාවක් හැටියටය. මෙම තත්කාලීන වෙනස පිළිබඳ අවබෝදයෙන් තොරවීම බරපතල හානිදායකය.
එහෙත් ජස්ට්න් බෙලගමගේ සිනමාව විෂය යාවත්කාලින වන අයුරුත් ඒ අනුව එහි වාග් කෝෂය ඒ අනුව පුළුල් වන අයුරුත් වහා වටහා ගත් වග මේ ග්‍රන්ථය පරිශීලනය කරන්නකුට පෙනී යයි. එමෙන්ම ඔහු මෙහිදී බොහෝ නම් ගම් විමසීමේදී ඒවායේ ඇති සැබෑ ස්වරූපය ඉස්මතු කරන්නට උත්සාහ කළ වගක් පෙනී යයි. මෙතුවක් අප විසින් සඳහන් කළ මහා සිනමාකරුවන් වූ ඉංග්මාර් බර්ග්මාන් යන්න නිවැරදි ස්වීඩන් උච්චාරණයේ පරිදි ඉංමා බෙයර්මන් වන අතර ශාන් රෙනෝවා ප්‍රංශ වහර අනුව ෂෝ එන්වාර් වන්නේය.
සංක්ෂ්පිත සිනමා විශ්ව කෝෂය මෙරට සිනමාවේ අභිවෘද්ධිය පතන්නන් අත මෙන්ම සිනමාව හදාරන්නන්ගේ ද අත් පොතක් යැයි මගේ අදහසයි.එය ලියන්නට ජස්ටින් බෙලගමගේ සිය කාලය බෙහෙවින් වැය කළ වගක් පෙනී යයි. එමෙන්ම ඔහු ඒ සඳහා භාවිතා කරන බස සරලය. නිරවුල්ය.
එබැවින්ම එය විෂය හැදෑරිමෙන් බාහිරව කිය විය හැක්කේය.සිනමාකරණය පිළිබඳ ඔහු සතු සාමාන්‍ය දැනුම පුළුල් එක්කව ඇත්තේ නිරන්තරයෙන් චිත්‍රපට නැරඹීමටත් ඒපිළිබඳ කියවන්නටත් ඔහු කාලය වැය කරණ බැව් පෙනී යන හෙයිනි. එම දැනුම රටට වැඩක් වන්නට නම් එලෙස ග්‍රන්ථාරූඩ කිරීමේ කැපවීම වඩා වැදගත්ය.
හේතුව එබඳු පොතකට මෙරට ඇති වෙළඳ පොල සීමාසහිත එකක් බැව් පෙනෙද්දීය. ඒ පොත ගෙන කියවද්දීම ඒ පිළිබඳ ලියවිය යුතුයැයි මට හැඟුනේ මගේ නිරන්තර සිනමාලෝලිත්වය මේ කෘතිය හරහා වැඩි වූ හෙයිනි.
0 comments:
Post a Comment