----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

Lanka Art Chat Room - එන්න අපි කතා කරමු

"රහස්‌ උදවිය"++++++++++++++++පියල් කාරියවසම්

Sunday, June 10, 2012

මර්දනය ඇතිවෙද්දී නිර්මාණකරුවා තුළ උපක්‍රම ගොඩනැඟෙනවා
නාට්‍යවේදී පියල් කාරියවසම්

නාට්‍යවේදී පියල් කාරියවසම්ගේ නවතම නාට්‍ය නිර්මාණය "රහස්‌ උදවිය" ලබන 12 වැනිදා සහ 13 වැනිදා සවස 7.00 ට ලයනල් වෙන්ඩ්ට්‌ රඟහලේදී වේදිකාගත වෙයි. රාජ්‍ය සම්මානලාභී නළු නිළියන් වන කෞශල්‍යා ප්‍රනාන්දු, චමිලා පීරිස්‌, අනසුයා සුබසිංහ සහ ගිහාන් ප්‍රනාන්දු රංගන දායකත්වය සපයන මෙහි සංගීතය නදීක ගුරුගේ විසිනි. වේදිකා පසුතල නිර්මාණයෙන් රුවන් බණ්‌ඩාර රණසිංහ, ආලෝකකරණයෙන් බන්දුල හේවගේ, වෙස්‌ ගැන්වීමෙන් ප්‍රියන්ත සිරිකුමාර, වේදිකා පරිපාලනයෙන් සංජය හෙට්‌ටිආරච්චි රංග වස්‌ත්‍ර නිර්මාණයෙන් සහ නිෂ්පාදන කළමනාකරණයෙන් ගයා නාගහවත්ත ඇතුළු පිරිසක්‌ එක්‌වෙති. සම අනුග්‍රහය සුනේත්‍රා බණ්‌ඩාරනායක පදනම විසිනි. වේදිකාව මෙන්ම ලේඛනය ද සිය ප්‍රකාශන මාධ්‍ය කොටගත් පියල් "ආචාරී සීයා දුටු දිදුලන අන්ධකාරය" කෙටිකතා සංග්‍රහය (රාජ්‍ය සම්මාන) සහ "වීදුරු කුඩු කැවුණු කලෙක" නමින්a නවකතාවක්‌ ද රචනා කළේය. "කොන්තරාත්තුව" (1994) "මට එරෙහිව මම" (2000 - රාජ්‍ය සම්මාන) "මාස්‌ටර් බිල්ඩර්" (2006) පියල්ගේ වේදිකා ප්‍රකාශනයි. මේ සංවාදය "රහස්‌ උදවිය" නාට්‍ය ප්‍රථම වේදිකාගත කිරීම නිමිත්තෙනි.



අපි රහස්‌ උදවිය" තේමාත්මකව විග්‍රහ කරගමු

මේ නාට්‍යයේ අවස්‌ථා තුනක්‌ තියෙනවා. නූතන, මධ්‍යම පාංතික සහ නාගරික ජීවිත හතරක්‌ පසුබිම් කරගෙනයි මෙහි චරිත විකාශය වෙන්නේ. තේමාත්මකව ගත්තොත් මං හිතනවා තිස්‌ අවුරුදු යුද්දෙකට පස්‌සේ මේ මොහොතේ ලංකාවේ තියෙන්නේ ග්ලෝරියස්‌ ඇබ්සර්ඩිටි (glorious absurdity) එකක්‌. එහෙමත් නැත්නම් ආශ්චර්යාත්මක විකාරරූපී භාවයක්‌. දේශපාලනික සහ සමාජීය යන හැම පැත්තකින්ම මේ තත්ත්වය දකින්න පුළුවන්. නපුර නැති කරන්න කියලා මිනිස්‌සු තවත් නපුරටම යන තත්ත්වයකුයි අද පවතින්නේ. මේක යම් ආකාරයකට මතු කළ හැකි ආඛ්‍යානයකුයි මම ගොඩනඟන්න උත්සාහ ගන්නේ. කතන්දරයකට වඩා නාට්‍යයේදී අවස්‌ථා තුනක්‌ රූපණය වෙනවා. නාට්‍යමය අවස්‌ථා එකකට වැඩි ගණනාවක්‌ දකින්න පුළුවන්. එක වස්‌තු විෂයක්‌ වටා ගොඩනැගෙන නාට්‍යයක්‌ නොවෙයි මේක. ලංකාවේ මේ මොහොතෙ අපි ජීවත් වෙන්නේ කොයි වගේ ප්‍රතිවිරෝධතාවන් එක්‌කද, මේවා අතර තියෙන සහසම්බන්ධය මොකක්‌ද.... ඔය වගේ කාරණා ටිකක්‌ ගැන කතා කරන්නයි මම උත්සාහ කරන්නේ.

තවත් පැත්තකින් ගත්තොත් කාලය අවකාශය ඉක්‌මවා යන ගති ලක්‍ෂණ ගොඩක්‌ පළ කරනවා. මම පසුගිය කාලේ කළ සාහිත්‍යමය අධ්‍යයනයත් සමග බටහිර ලතින් ඇමරිකානු සහ ඉන්දියානු කතා කලාවේ ආභාෂයන් මේකට එකතුවෙලා තියෙනවා කියා මා විශ්වාස කරනවා. මේ නාට්‍යයේදී මම එක්‌තරා ආකාරයකට මායාව පාවිච්චි කරනවා. සියලුම කලාවන් අතරින් මායාව තියෙන හොඳම තැන වේදිකාවයි. කාලය අවකාශය අතර එහෙ මෙහෙ පැන යථාර්ථය විනිවිද දකින්න උපක්‍රමයක්‌ හැටියටයි මම මායාව පාවිච්චි කරන්නේ.

චරිත ගැන කතා කළොත් මෙහි චරිත පාවිච්චි කරන්නේ සංකේත හැටියට. උදාහරණයක්‌ හැටියට එකම ගැහැණියගේ යුග දෙකක්‌ නිරූපණය කෙරෙනවා. අතීතය සහ අනාගතය හැටියට එයින් කියෑවෙන්නේ අපේ දෙමව්පියෝ ගත්ත ඓතිහාසික තීරණ නිසා අපි අද පීඩා විඳිනවා. ඒ වගේම අපි අද ගන්න නරක තීරණ නිසා අනාගත ලෝකයට නපුරක්‌ එක්‌ක වාසය කරන්න සිද්ධ වෙන්න පුළුවන්. මේ මිනිස්‌ ජීවිතයට මේ මොහොතේ දේශපාලනයෙන් මිදෙන්න බැහැ. ගී්‍රක නාට්‍යකරුවා ඉරණම කියන එක තේරුම් ගත්තේ යම් බලවේගයක්‌ විසින් පාලනය කරන තත්ත්වයක්‌ හැටියට. නමුත් අපි දන්නවා අපේ ඉරණම පාලනය කරන්නේ අප විසින්ම තීරණය කොට උත්කර්ෂයට නංවන සංකල්පවලින්. අප විසින්ම ස්‌ථානගත කරන ආයතන සහ සමාජ පද්ධති විසින් තමයි මේ ඉරණම තීරණය කරන්නේ. ඒ දේශපාලන පක්‍ෂවෙන්න පුළුවන්. ව්‍යවස්‌ථාදායක, විධායක හෝ අධිකරණය වෙන්න පුළුවන්, පවුල වෙන්න පුළුවන්, ආගමික නිකාය ආශ්‍රිත ආයතන වෙන්න පුළුවන්. මේ සියල්ල විසින් අපේ ඉරණම අද තීරණය කරනවා. මේ කාරණා සංවාදයකට ලක්‌ කිරීමකුත් රහස්‌ උදවිය ඔස්‌සේ සිදු කෙරෙනවා.



පියල් වසර හයකට පසුවයි වේදිකා නාට්‍යයකට ප්‍රවේශ වෙන්නේ. මීට ඉහතදී කෙටි කතා සංග්‍රහයකින් සහ නවකතාවකින් ඔබේ ප්‍රකාශනය සමාජගත කළා. මේ පවතින සමාජ, දේශපාලනික ගතිකයන් යළි නාට්‍යයකින් පළ කළ යුතුයි කියන තීරණයකට එළැඹුණේ ඇයි?

නවකතා සහ කෙටිකතා වගේ සාහිත්‍යාංගයකින් සමාජයට කළ හැකි බලපෑම ඓතිහාසිකවම වෙනස්‌වෙලා තියෙනවා. උදාහරණයකට අපේ ලංකාව වගේ සමාජයක්‌ ඇතුළේ අපි පොත් දාහයි මුද්‍රණය කරන්නේ. ඒකත් විකිණෙන්න සෑහෙන කාලයක්‌ යනවා. සංස්‌කෘතිකමය වශයෙන් නවකතාව අපේ ජීවිතේ කොටසක්‌ බවට පත්වෙලා නෑ. කෙටිකතාවත් එහෙමයි. නමුත් ලෝකයේ එහෙම නෑ. ඉන්දියාව වගේ රටක වුවත් අන්‍ය භාෂාවලින් තරුණ පිරිස ලියන, එනම් මලයාලම්, උර්දු, කොංකනි, ඩොග්රි වගේ භාෂාවලින් ලියන නවකතා කෙටිකතා පවා ඉතා ඉක්‌මනින් ඉංගී්‍රසි භාෂාවට පරිවර්තනය වෙලා ජාත්‍යන්තරයට යනවා. නමුත් නවකතාවක්‌ නොකියවන එක අඩුවක්‌ විදිහට දකින තරුණ පිරිසක්‌ අපේ රටේ නෑ. තවත් පැත්තකින් ලෝකයම විෂුවල් මීඩියා කියන එකට ඇදී යමින් පවතිනවා. අපි උසස්‌ පෙළ පංතිවලට එනකොට රුසියානු පරිවර්තන සම්පූර්ණයෙන්ම කියවලා අවසන්. ඒත් අද ඒක වෙනස්‌වෙලා. හුඟක්‌ අය උත්සාහ කරන්නේ "ෂෝට්‌ µsල්ම්ස්‌" කරන්න. අසූ ගණන්වලින් පස්‌සේ විෂුවල් මීඩියා එකෙන් උපන් දරුවා ඉන්නේa. නමුත් කොහොම වුණත් මේ පාඨක ප්‍රේක්‌ෂක සමාජයට කිසියම් ආකාරයකින් අපි සමීප විය යුතුයි. ඊට මාධ්‍යයක්‌ විදිහට තමයි මම නාට්‍ය තෝරා ගන්නේ. නවකතාවකට වඩා ඉතා ඉක්‌මනින් ප්‍රතිචාර ලබන්න නාට්‍යයකින් පුළුවන්. සිනමාවෙන් ඊටත් වැඩියි. සාහිත්‍යයේ දී නාට්‍ය කියන මාධ්‍ය අමතක කරන්න බැහැ. ලෝකයේ පැරණිම සාහිත්‍ය බවට පත් වන්නේත් නාට්‍ය. නාට්‍යවල තවත් විශේෂත්වයක්‌ තමයි ප්‍රේක්‌ෂකයා සහ නිෂ්පාදකයා කියන දෙදෙනාම එකට හැදෙන්නේ. හරියට පොතක්‌ සංස්‌කරණය කරනවා වගේ දර්ශන වාරයක්‌ වාරයක්‌ පාසා ප්‍රේක්‌ෂකයා වගේම නිෂ්පාදකයාත් ප්‍රතිපෝෂණය වෙනවා, අලුත් වෙනවා.



මේ නාට්‍යයේ පාත්‍රවර්ගයා ලෙස තෝරා ගැනෙන්නේ චරිත හතරක්‌, ඉනුත් කාන්තා චරිත තුනක්‌ හා එක්‌ පුරුෂ චරිතයක්‌ ලෙසයි ඉදිරිපත් කෙරෙන්නේ. මේ තෝරා ගැනීම ඔබේ ප්‍රකාශනය වනිත කරන්න කොයි තරම් උදව්වක්‌ වෙනවාද?

ඕනෑම නිර්මාණකරුවෙක්‌ උත්සාහ කරනවා. තමන්ගේ ප්‍රකාශනය හැකිතාක්‌ සියුම්ව සහ සරලව සමාජගත කරන්න සහ ගොඩනඟන්න. මේ නාට්‍යයේ කේන්ද්‍රය වෙන්නේ ගැහැනිය. මොකද මා දුටුවා පසුගිය අවුරුදු තිස්‌ ගණන තිස්‌සේම ගැහැනු භූමිකාව සමාජ ප්‍රගතශීලී ස්‌ථාවරයකට ඇවිත් තිබෙනවා. උදාහරණයකට ස්‌වාධීනත්වයට කාන්තාව හුඟක්‌ නැඹුරු වෙලා තියෙනවා. සටන්කාමීත්වයට නැඹුරු වෙලා තියෙනවා. ඒ නිසාම තමයි මිනීමැරුම් හුඟක්‌ වැඩිවෙලා තියෙන්නේ. පිරිමි ආත්මයට මේක දරා ගැනීමේ අපහසුවක්‌ තියෙනවා. මට අවශ්‍ය දේශපාලනික හා සංස්‌කෘතික කාරණා ටික මෙන්න මේ චරිතවලින් කියනවා. මේවා චරිතවලටත් වඩා කිසියම් සංකේත පද්ධතීන් ලෙස හඳුන්වන්න පුළුවන්. තව පැත්තකින් වේදිකා සාහිත්‍යයේ පාවිච්චි කරන ලොකුම වචනයක්‌ තමයි අයිරනි (Irony) නැත්නම් උත්ප්‍රාසය. මේ "ඩ්‍රැමටික්‌ අයිරනි" (dramatic
irony) එක වේදිකාවේදී ඉතා වැදගත්.

මගේ ප්‍රකාශනය උද්දීපනය කිරීම සඳහා මම ජනශ්‍රැතිය පාවිච්චි කරනවා. ගායනා, සිද්ධි, අවස්‌ථා පාවිච්චි කරනවා. ඒ කරන්නේ ඒ ගායනා උත්කර්ෂයට නංවන්න නොවේ. ඒවා ඇතුළේ තියෙන වනිතාර්ථ මතුකරගන්න. උදාහරණයක්‌ විදිහට අපි දන්නවා. දොර නාරින් අමල් බිසෝ.... කිව්වාම ඒ ගෙදර දොර නොවේ කියලා. එයින් ඔබ්බට ගිය සංකේතාර්ථ දනවන මානව විද්‍යාත්මක සාධක තියෙන කාරණා ගණනාවක්‌ අපේ කතා කලාවේ වගේම ඕනැම රටක දකින්න තියෙනවා. අද කතාකාරයෝ කරන්නේ එබඳු දේ අරගෙන ඒවා ඇතුළේ තියෙන උත්aප්‍රාසය මතු කරන්න උත්සාහ කරන එක. මමත් ඒ දේ කරනවා සමහර නාද ගායනා සහ සංගීතය ආශ්‍රය කරගෙන.



මේ නාට්‍යයේදී ඇතැම් කාරණා ඉදිරිපත් කිරීම සඳහා උපක්‍රමයක්‌ ලෙස ඔබ ඉන්ද්‍රජාලික තත්වයන් භාවිතයට ගන්නවා කියා කියනවා. එබඳු උපක්‍රමයන්ට යැමට ඔබට සිද්ධ වෙන්නේ සෘජුව කියාපෑමේ නිදහස යම් ආකාරයකට සීමා වී ඇති නිසා. අද මේ තත්ත්වය අනාගතයේ අපට කෙබඳුÊප්‍රතිඵලයක්‌ උදා කරයි කියලාද ඔබ කල්පනා කරන්නේ...?

මර්දනය හෝ බාධා ඇතිවන්න, ඇතිවන්නයි විවිධ වර්ණවත් උපක්‍රම නිර්මාණකරුවා තුළ ගොඩනැගෙන්නේ. ඒ අභියෝග එන තරමට නිර්මාණ කරුවා සූක්‌ෂම වෙනවා. මම කැමැති නැහැ. 'කලාකරුවා' කියන වචනෙට සමාජය ඇතුළෙ ඉන්නේ ක්‍රියාධරයන්. ඒ ක්‍රියාකාරීත්වයන් ඉදිරියේදී විවිධාකාරයෙන් වෙනස්‌ වේවි. සමාජය ගරා වැටෙනකොට ඝාතනය උත්කර්ෂයට නැංවෙන සමාජයක්‌ ඇතුළෙ ජීවිතය තවතවත් දිදුලන එකයි වෙන්නේ. එසේ දිදුලන බව පෙන්වන්න නිර්මාණකරුවෝ තවත් විවිධාකාර උපක්‍රමයන් සොයා ගනීවි. උදාහරණයක්‌ විදිහට අති මර්දනයක්‌ තිබෙන ඉරානය වගේ රටක බලන්න සිනමාව කොයි තරම් ඉදිරියට ගිහින් තියෙනවාද කියලා. ඉරාන සිනමාකරුවෝ කතන්දර කියන්නෙ නෑ. ඔවුන්ගේ චිත්‍රපට හරියට හයිකු කවි වගේ. දර්ශන තුන හතරක්‌ පෙන්වලා මතු කරන උත්ප්‍රාසය ඉතා ප්‍රබලයි. එබඳුÊතියුණු දැක්‌මක්‌ අපේ නාට්‍යකරුවෝ ඇති කර නොගත්තොත් තමන්ගේ කාර්ය සාර්ථකව ඉටු කරන්න බැරි වෙනවා. මේ ක්‍රියාදාමයේදී අපි මර්දනයට ලක්‌ වෙන්න පුළුවන්. එය මගහැර යන උපක්‍රම අප සොයාගත යුතුයි.

උදාහරණයක්‌ විදිහට මේ දිනවල මම කියවනවා මාරියෝ වර්ගාස්‌ගේ "ඩෙත් ඉන් අන්දීස්‌" කියන නවකතාව ඊට අනුව අන්දීස්‌ කඳුවැටිය හරහා ආණ්‌ඩුව අධිවේගී මාර්ගයක්‌ කපාගෙන යනවා. ඇත්තටම කරන්නේ මාර්ගය කපන ගමන් සැන්ඩිවිස්‌කා ගරිල්ලා ව්‍යාපාරය ගැන තොරතුරු හොයන එකයි ඒක මර්දනය කරන එකයි. මේ කතාව කියන්න වර්ගාස්‌ පාවිච්චි කරන්නේ බ්ලැක්‌ කොමඩි (ඊක්‌ජන ඤපැdහ) එකයි. නවකතාව කියවද්දී පේනවා අපි ගතකරන මොහොත කොයි තරම් හාස්‍යජනකයිද කියලා. අපිට හිනා යන්නේ අපේ තියෙන දුර්වලතාවලට. මා හිතනවා ඉදිරි ලෝකය කියවන්න මේ උත්ප්‍රාසාත්මක ක්‍රමය වඩාත් හොඳයි කියා.



ඔබ කොයිතරම් උත්සාහයක්‌ දරනවාද ඔබේ ප්‍රකාශනය සෞන්දර්යාත්මක අන්තයකින් ඉදිරිපත් කරන්නට?

හැම නාට්‍යකරුවකුම තමන් කියන්න හදනදේ කීම සඳහා සෞන්දර්ය වේදයක්‌ සොයාගන්න ඕනේ. අප මෙතෙක්‌ භාවිත කළ සාම්ප්‍රදායික සෞන්දර්ය මාධ්‍යයන්ගෙන් ඒ සඳහා සහාය ලැබිය නොහැකි නම් වෙනත් සෞන්දර්ය විෂයන් භාවිතයට ගන්න සිදු වෙනවා. විශේෂයෙන් නාට්‍ය කියන්නේ සෞන්දර්ය විෂයන් ගණනාවක්‌ එක්‌තැන් කරන තැනක්‌. ඒ සෞන්දර්යවේදය හොයා ගන්න නම් මූලිකව කළ යුතු කාර්යයක්‌ තමයි අපි මේ කරන්නේ වේදිකාව තුළ නුතන ශාන්තිකර්මයක්‌ කරන එකයි කියා ප්‍රේක්‌ෂකයාට අරුත්ගැන්වීම. එහිදී ලෝකයේ අනිත් රටවල මේ සෞන්දර්ය භාවිතයන් සිද්ධ වෙන්නේ කොහොමද ඒවා අපේ රටට ගැලපෙන ආකාරයට ගොඩනඟන්න ඕනෑ කොහොමද කියන එක සොයා ගත යුතුයි. උදාහරණයක්‌ විදිහට ළමයින්ගේ ලෝකය ඇතුළේ සම්ප්‍රදායික "ලොජික්‌" එකක්‌ නැහැ. අපි කරන්නේ ඔවුන් ලොජික්‌ එකකට හරවන එකයි. නමුත් එයින් ඔබ්බට ගිය පරිකල්පනීය ලෝකය ඇතුළේ ඔවුන් වෙනත් සත්තාවන් ගණනාවක්‌ අවබෝධ කර ගන්නවා. මේ තියෙන නපුර තේරුම් ගන්න නම් සෞන්දර්යවේදියාට පුළුවන් වෙන්න ඕනේ එබඳු මටසිලිටි තත්ත්වයකට පත්වෙන්න.



කලාකරුවෙක්‌, එසේත් නැතිනම් ඔබ අදහස්‌ කරන ආකාරයේ ක්‍රියාධරයෙක්‌ට සමාජයේ සිදුවන දේ සම්බන්ධයෙන් සහෘදයා අවදි කිරීමේ වගකීමක්‌ තිබෙනවා. ඒ වගකීම නිසි අයුරින් ඉටුවීම සමාජය වෙනස්‌ කිරීමට ප්‍රබල දායකත්වයක්‌ දෙනවායෑයි කීවොත් නිවැරදිද?

කලා ක්‍රියාධරයන්ට සමාජයට යම් බලපෑමක්‌ කළ හැක්‌කේ ඉතා සුළු මට්‌ටමින් ලෝක මට්‌ටමින් ගත්තත් එහෙමයි. අනෙක්‌ වාස්‌තවික තත්ත්වයන් ලෝකය තුළ නිර්මාණය වෙන්න ඕනෑ. කලා කෘතිවලින් සහ කලාවේ නියෑලීම තුළ ජන සමාජයට යම් උත්තේජනයක්‌ ඇති නොකරනවාය කියා කියන්න බැහැ. දියුණු යුග තුනක්‌ ගැන ඉතිහාසයේ සඳහන් වෙනවා. ගී්‍රක, ඉලෙසබෙතානු සහ රුසියානු කියන මේ යුගවල විශාල වෙනස්‌කම්වලට මිනිස්‌ සමාජය පාත්‍ර වෙනවා. උදාහරණයක්‌ විදිහට ඩිකන්ස්‌ගේ නවකතා නිසා එංගලන්ත පාර්ලිමේන්තුවේ ප්‍රතිසංස්‌කරණ ඇති වෙනවා. අපෙත් එබඳු චරිත, සිද්ධි තිබෙනවා. අද දේශපාලන විග්‍රහයේදී ඕනෑම රාජ්‍ය තන්ත්‍රයක පැවැත්මේ මූලික සාධකයක්‌ ජනමාධ්‍ය විසින් ඉෂ්ට කරනු ලබනවා. මේ නිසා නිර්මාණාත්මක ක්‍රියාධරයන්ට කළ හැකි දේ ඇත්තේ එක්‌තරා ප්‍රතිශතයක්‌ පමණයි. සමාජීය වෙනස්‌කම් වෙන්න නම් විශාල දේශපාලන බලවේග වශයෙන් සමාජ අවශතාවන් ඇතුව ගොඩනැගෙන්න ඕනෑ.


සංවාදය - නිරෝෂන් හැඳලගේ
ඡායාරූප - සුජාතා ජයරත්න

Irida Divayina 

0 comments:

Post a Comment