ගාමිණී, ජෝ වෙන්න හිතන තාක් අපට ඒක බැහැ
රොජර් සෙනෙවිරත්න
ලාංකේය සිනමාවේ මහා
සම්ප්‍රදායක ඇරැඹුම සනිටුහන්
වන්නේ ‘අබා’ චිත්‍රපටය ඔස්සේය.
ඉන් පසු අපේ ඉතිහාසයේ,
සුවිශේෂ චරිත හා සිදුවීම් ඇසුරු
කර ගනිමින් චිත්‍රපට තැනීමේ ප්‍රවනතාවක්
දක්නට ලැබිණ. ‘මහින්දාගමනය’ හා
‘කුස - පබා’ එබඳු චිත්‍රපට ද්විත්වයකි. සුගත් සමරකෝන් ‘විජය - කුවේණි’ චිත්‍රපටය ඔස්සේ එකී සිනමා සම්ප්‍රදාය වඩාත් ප්‍රශස්ත මට්ටමකට ඔසවා තබා ඇති බව මේ වන විට බොහෝ දෙනකු පිළිගෙන හමාරය.
රොජර් සෙනෙවිරත්න තම රංගන දිවියේ වඩාත් විශිෂ්ටත්වයට හා පරිපාකයට පත්වෙමින් එහි විජය රජුගේ භූමිකාව නිරූපණය කර තිබේ. මට හැඟුණේ සිනමාවට නැගුණු අපේ රජවරුන් හට වඩාත් සාධරණය ඉටු කළ රංගන ශිල්පියා ඔහු බවය.
මේ ක්‍රිස්තු පූර්ව 543 න් නික්මී රජ ඇඳුම් උනා දැමූ මොහොතක රොජර් සිය නවතම රංග භූමිකාව හා ජීවිතයේ විවිධ පැතිකඩ පිළිබඳ අප සමඟින් සංලාපයේ යෙදුණු අයුරුය.
විජය, ඔබේ සිනමා රංගන දිවියේ සුවිශේෂී කඩඉමක්. ඒ ගැන කතා කළොත්?
ඇත්තටම අසංක, මේ මගේ රංගන ජීවිතයේ මාව ‘මරපු’ චිත්‍රපටයක්. මාව ඝාතනය කිරීමේ වගකීම බාර ගන්න ඕනෑ සුගත් සමරකෝන්. රොජර් සෙනෙවිරත්න ඝාතනය කරලා, නැවත විජය රජ්ජුරුවන් උපද්දවීමේ වගකීම. හැබැයි, ඔහු ඒකට හිරේ යන්නේ නෑ.
ඒ වෙනුවට ඔහුට ලැබෙන්නේ කීර්තිය, ප්‍රශංසාව. මගේ ඒකායන පරමාර්ථය වුණේ ‘අපේකම’ රැකගෙන මේ චරිතය නිරූපණය කිරීම. අපේ අනන්‍යතාවක් තිබුණා. ඒක ස්ථාපිත කිරීමයි මගේ බලාපොරොත්තුව වුණේ.
ඒ බලාපොරොත්තුව ඉෂ්ට වුණාද?
ඒක කියන්න ඕනෑ ප්‍රේක්ෂකයෝ. මේ රටේ හෙට දවසේ යහපත් සිනමාවක් වෙනුවෙන් සිහින දකින ආදරණිය මිනිස්සු. ඉතාමත් දැඩි කැපවීමකින් මම ඒ චරිතය කළා. විශේෂයෙන්ම කියන්න ඕනෑ එහි සාර්ථකත්වය, අපේ රටේ විචාරකයන්ගෙන්, ප්‍රේක්ෂකයන්ගෙන් වගේම අපේ බුද්ධිමතුන්ගෙන් ලැබෙන ප්‍රතිචාරවලින් පැහැදිලි වෙනවා. අපේ ;ප්‍ර්ක්ෂක ජනතාවට සිනමා නිර්මාණයක ගුණ - දොස් දනවන්න පුළුවන් හොඳම මාධ්‍ය තමයි විචාර කලාව.
ඔවුන් තමන්ගේ කාර්යභාරය ඉතාමත් අපක්ෂපාතීව, ප්‍රශස්තව මේ චිත්‍රපටය වෙනුවෙන් ඉටු කරන බව කියන්නට ඕනෑ. ඒ සියල්ලන්ටම මම ස්තුතිවන්ත වෙනවා. අපේ රටේ මිනිස්සුන්ට අපේකම ගැන නැවත, නැවත මතක් කර දෙන්නට ඔවුන් කරනා මේ මෙහෙවර ඇත්තෙන්ම ඉතාමත් ප්‍රශංසනීයයි. කාලෝචිතයි.
අපට හරි හමන් විචාර කලාවක් නෑ. අපේ විචාර කලාව පිරිහිලා කියා එක් පසෙකින් චෝදනා එල්ල වෙනවා. නමුත් ඔබේ කතාවෙන් අපට හැඟෙන්නේ මේ රටේ තවමත් හොඳ විචාර කලාවක් තිබෙන බවයි?
විශිෂ්ට විචාර කලාවක් මේ රටේ තියෙනවා. විචාරයක් කරන්නට, විචාරකයාට මෙවලම් තියෙන්නට ඕනෑ. එහෙම විචාරයකට මඟ පාදන චිත්‍රපට නොකෙරෙන කොට විචාරකයා මොකද කරන්නේ? ඔහුට තිබෙන්නේ බලාගෙන ඉන්න එක විතරයි.
විචාරකයා කියන්නේ අහුමුළු අස්සේ රිංගලා තමන්ට ඕනෑ කරන තෝතැන්න හදා ගත්තු මිනිස්සු. ඒ මිනිස්සුන්ට කවුරු හරි ඇඟිල්ල දිගු කරනවා නම් ඉස්සර වෙලා මතක තියාගන්න ඕනෑ ඇඟිලි හතරක් තමන්ට දිගු වෙලා තිබෙන බව. ඒ නිසා මේ රටේ කලාකරුවන්ගේ වගකීම තමයි විචාරකයන්ට විචාරයක් කරන්න පුළුවන් නිර්මාණ බිහි කිරීම. එහෙම නැතිව හොඳ විචාර කලාවක් ගැන අපට බලාපාරොත්තු තියා ගන්නට බැහැ.
අප ඉතිහාස පොත්වල කියවපු, ජනප්‍රවාදයෙහි එන විජය රජු, ඔබ ඉතාමත් තියුණු ලෙස රිදී තිරය මත ප්‍රති නිර්මාණය කර තිබෙනවා. කොහොමද ඒ හඳුනා ගැනීම ඔබ කරන්නේ?
රංගන ශිල්පියකු හැටියට මම ග්‍රහණය කර ගන්නට හැදුවේ ලාටා රටෙන් මෙහාට පැමිණි සිංහබාහුගේ පුත්‍රයා විජය රජු වුණේ කොහොමද කියන එක විතරයි. එහෙම නැතිනම් විජය කුමාරයා ලංකාවේ පළමුවැනි රජු හැටියට අභිෂේක ලැබුවේ කොහොමද කියන තැන සෙවීමේ වගකීම පමණයි බාර අරගෙන තිබුණේ. ඒ වගකීම තමයි විජය – කුවේණි චිත්‍රපටය හරහා අපේ ආදරණීය ප්‍රේක්ෂකයෝ අද භුක්ති විඳින්නේ.
මෙවැනි ඓතිහාසික චරිතයක් ගොඩ නගා ගැනීමට මම හිතන්නේ රංගන ශිල්පියකුට තිර පිටපතෙන් ඔබ්බට ගොස් සුවිශේෂ අධ්‍යයනයක නිරත වෙන්නට සිදු වෙනවා?
අපි දිගුª කලක් තිස්සේ මේ රටේ වේදිකාවත් එක්ක ජීවත්වුණ මිනිස්සු. 1976 වසරේ ඉඳලා වේදිකාවේ අහුමුළු අස්සට රිංගලා ඒ හරහා සමාජගත වුණ මිනිස්සු අපි. එතකොට අර ඇරිස්ටෝටල් පඬිවරයා කියනවා වගේ අපි අතින් නිර්මාණය වෙන සියලුම කලා කෘතීන්වලට අපේ පරිකල්පන ශක්තිය එකතු වෙන්න ඕනැයි කියන සිතිවිල්ල හිතේ දරාගෙන මේ නිර්මාණයට දායක වුණ කෙනෙක් මම. අනාදිමත් කාලයක පටන් අපි, අපේ රංගන ජීවිතයට අවශ්‍ය කරන සියලුම ගෙදර වැඩ ටික කරපු මිනිස්සු. ඒකෙ ඇතුළේ විශේෂයෙන් තියෙන්නේ කියවීම. ඒක ඇතුළේ විශේෂයෙන්ම තියෙන්නේ රංග කාර්යයට අවශ්‍යය පසුබිම සකස් කර ගැනීම.
ඒ වගේම නළුවාගේ සිරුර සමබරව පවත්වාගෙන යන්නේ කොහොමද කියන කරුණ. අපේ පරිකල්පන ශක්තිය තුළ ප්‍රේක්ෂකයාට යමක් දනවන්නේ කොහොමද කියලා හොයන එක. මේ ගෙදර වැඩ ටික ඇතුළේ විජය කුමාරයත් ඉන්නවා. කුවේණියත් ඉන්නවා. මහාවංශය ඇතුළේ ලිය වෙච්ච විජය විතරක් නෙවෙයි, බොහෝ ග්‍රන්ථයන් තුළ ලිය වුණ විජයත් අපි පරිශීලනය කරනවා. පිටපත අප අතට එන්නේ දර්ශන තලයට යන්න කලින් විතරයි. විජය රජ්ජුරුවන්ගේ චරිතය මට බාර කරන්න සුගත් පොරොන්දු වූ දවසේ ඉඳන් මම මගේ ගෙදර වැඩ ටික නැවත, නැවත කර ගත්තා.
ඔබ ප්‍රමුඛ වේදිකා නළුවෙක්. වේදිකාවේ ඔබ රජ වෙලා තියෙනවා. නමුත් ඔබ සිනමාවට එන්නේ ඒ වේදිකාවේ රජු වේදිකාවේම තියලා. මේ සිනමාවේ රජා ඔබ මෙතරම් සාර්ථකව තනා ගත්තේ කොහොමද?
වේදිකා ශිල්පීන්ද, සිනමා ශිල්පින්ද කියන එක නෙවේ වැදගත්. තමන්ගේ භූමිකාව කුමක්දැයි හඳුනා ගැනීමයි අවශ්‍ය වන්නේ. ඒ භූමිකාව තමන් එලන්නේ කොයි පරාසයකද කියන එකයි වැදගත්. දැන් විජය චරිතය මම දිග හරින්නේ සෙලෝලයිඩ් පටයක් ඇතුළේ. එතකොට සෙලෝලයිඩ් පටය ඉල්ලන පරාසයක් තියනවා. මේක ඇතුළේ තියන ව්‍යාකරණය පිළිබඳ අවබෝධයක් සිනමා ශිල්පීන්ට තිබිය යුතුයි. මේක එදා ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම,
ටෝනි රණසිංහ වැනි මහා නළුවන්ට තිබුණා. අපි අපේ තරමේ හැටියට, වපසරියේ හැටියට මේ ව්‍යාකරණය ගැන හිතන මිනිස්සු. ඉතිං වේදිකාවට වගේම සිනමාවටත් ව්‍යාකරණයක් තියෙනවා. එය බෙදා වෙන් කර ගැනීමේ අවබෝධයක්, ඥාණයක් අපට තිබිය යුතුයි. මම කළේ මේ වෙනස හඳුනාගෙන ඒ අවශ්‍යය කරන පරාසය මේ කෘතියට එලපු එක විතරයි.
අද බොහෝ දෙනෙකුට නැත්තේ ඔය ඥාණයම තමයි නේද?
ඒක අසංක, නිකං ලැබෙන එකන් නෙවෙයි. ඇරිස්ටෝටල් කියනවා මේ පවතින සමාජය ප්‍රති නිර්මාණය කිරීම තමයි කලාව කියලා. ඔහු ඒ එක්කම කියනවා, නමුත් මෙය ප්‍රති නිිර්මාණය කරන පුද්ගලයා අතින් ඊට යමක් එකතුª විය යුතුයි කියලා. මේකට අපි එකතු කරන්න ඕනෑ දේ තමයි ‘ඉන්වෙන්ෂන් ක්‍රියේෂන්’ නැතිනම් පරිකල්පන ශක්තිය. මේක ඉබේ පහල වෙන්නේ නැහැ අසංක. මේක මහා කලාවක්. මේක අපි හදාරන්න ඕනෑ. ඒ හරහා තමයි යමෙකු නිර්මාණය කළ භූමිකාවක සාර්ථක, අසාර්ථකභාවය රඳා පවතින්නේ.
සුගත් සමරකෝන් දිගු නිහැඬියාවකින් පසුවයි යළිත් සිනමාවට එකතු වෙන්නේ. ඔහුගේ පුනරාගමනය ඔබ දකින්නේ?
වසර හතක් පමණ සුගත් මෙම තිර නාටකය ලියා තිබෙනවා. ඔහු විජය – කුවේණි ගැන මහා ගවේෂණයක යෙදිච්ච කෙනෙක්. ඒ පිළිබඳ අප ඔහුට ස්තුතිවන්ත විය යුතුයි. මොකද මහාවංශය අපට කියන කතාවට ඔබ්බෙන් ඔහු කල්පනා කරනවා. ඔහුගේ පරිකල්පනය හරහා මොන තරම් දෙයක් මේකට එකතු කරලා තියෙනවාද? අපට ඒක මේ චිත්‍රපටය පුරාම පේන්න තියෙනවා. ඒ සාර්ථකත්වය කිසිම කෙනෙකුට නවත්වන්න බෑ. මේ චිත්‍රපටය හරහා විශාල වපසරියක් නිර්මාණය වෙනවා.
ඉතිං ඒ වපසරිය තමයි මිනිස්සු ගන්නේ සහ දකින්නේ. වේදිකාව පරිශීලනය කළ, වේදිකාව ජය ගත්ත සුගත් සමරකෝන් මේ සිනමාපටය හරහා මම දකින්නේ වීරයෙක් හැටියට. ඔහුගේ වීරත්වය ආරක්ෂා කර ගැනීමට අපේ රටේ මිනිස්සු උනන්දු විය යුතුයි. එතකොට තමයි මෙයින් එහාට ගිය දැවැන්ත සිනමා නිර්මාණයක් ඔහු වෙතින් බිහි වෙන්නේ. ඒකයි අපි කලාකරුවෙකුට දෙන්න ඕනෑ දායාදය.
අධ්‍යක්ෂවරයා මේ චිත්‍රපටය හරහා කුවේණියගේ චරිතයට යම් මානුෂීය මුහුණුවරක් දී තිබෙනවා. මෙතනදි විජය රජුට යම් අසාධාරණයක් සිදු වූ බවයි මට හැඟෙන්නේ?
දැන් මහා වංශයේ කුවේණි හඳුන්වා දෙන්නේ මිනීමස් කන යකින්නක් හැටියට. එතකොට විජය ඇතුළු පිරිස ලක්බිමට පා තබන මොහාතේ ඔවුන් ඉදිරියට ආ බැල්ල කුවේණි මැවූ මායාවක් විදිහට මහාවංශය හඳුන්වන්නේ. සුගත් සමරකෝන් කොයි තරම් තීක්ෂණ විදිහට ඒවා උඩු යටි කුරු කරනවාද ? උපතිස්ස බ්‍රාහ්මණයා දියත් කරන කුමන්ත්‍රණය නිසා තමයි විජය – කවේණියගේ බැඳීම දෙදරා යන්නේ.
ඉන් පසු විජය කුවේණියව මාළිගාවෙන් පන්නා දමනවා. එත් ඇත්තටම මට පේන්නේ විජය හරිම අහිංසක රජෙක්. ලාටා රටෙන් පිටුවහල් කළාට පස්සේ ඔහු මේ රටට ගොඩ බහිනවා. මනරම් දිවයිනක් කියා තමයි ඔහු මේ රටට ගොඩ බට වෙලේ මුලින්ම කියන්නේ. කුවේණිවත් නොදැකයි ඔහු මේ බිමට පෙම් බඳින්නේ. ද්වන්ධ සටනකින් කුවේණිය පරාජය කළාට පස්සේ ඔහු කුවේණිය හා පෙමින් බැඳෙනවා. ඔහු කුවේණියට දැඩි ලෙස ආලය කරනවා. ‘නුඹ මගේ භාර්යාව, මගේ වගකීම තමයි නුඹ ආරක්ෂා කර ගැනීම’ කියලා ඔහු එක තැනක කුවේණියට ප්‍රතිඥාවක් දෙන්නේ ඒ නිසයි.
නමුත් විජය, අවසානයේ කුවණ්නාට පහර දී ඈ මාළිගාවෙන් පන්නා දමන ප්‍රචණ්කාරී චරිතයක් බවට පත් වෙනවා?
ඔව්, නමුත් විජය ඒ තත්ත්වයට ඇද දාන්නේ උපතිස්ස බ්‍රාහ්මණයා ඇතුළු පිරිස දියත් කළ කුමන්ත්‍රණයෙන්. කුවේණිය මායාකාරියක්, මිනීමස් කන යක්ෂණියක් කියා ඔවුන් විජයගේ මනස අවුල් කරනවා. මේ නිසා ඔහු මානසික ලෙඩෙක් බවට පත් වෙනවා. මේ භයානක කුමන්ත්‍රණයේ ප්‍රතිඵලයක් විදිහට තමයි විජය කුවේණියව මාළිගාවෙන් පිටමං කරන්නේ. ඒත් කුවේණිය මැරිලා සත්‍යය වැටහුණාට පස්සේ විජය තමන් කළ වරද පිළිබඳ දැඩි ලෙස කම්පා වෙනවා. කුවේණියගෙන් පසු ලාටා රටෙන් කැඳවා ආ බිසව මිය යන්නේ කන්‍යාවියක් හැටියට.
ඒ කියන්නේ විජය ඇය හා සංවාසයේ පවා යෙදුණේ නැහැ. කිසිම ස්ත්‍රියක් සමඟ සබඳකම් පැවැත්තුවේ නෑ. දරු මල්ලො හැදුවේ නැහැ. මේක තමයි උපතිස්ස බ්‍රාහ්මණයාට විජය රජ්ජුරුවෝ දෙන දඬුවම. විජය, හිතුවට වඩා මොන තරම් මානුෂීය ගුණ දම්වලින් පිරි පුද්ගලයකු ද කියන එක මේ පුංචි සිද්ධිය ඇතුලේ තියෙනවා. ඔහු කුවේණියට කළ නපුරුකම්වලට විඳවමින්, තමන්ගෙන්ම පළිගන්න චරිතයක් බවට පත් වෙනවා. ඔහු මිය යන්නේ අවුරුදු අනූ දෙකක් ආයු වළඳලා.
ඔහු මිය යන මොහොතේ, ඒ තත්පරයේ ඔහු තමන්ගේ දරුවන්ගේ සෙල්ලම් බඩු තුරුළු කර ගන්නවා. කුවේණිය නිර්මාණය කළ ආයිත්තම් සමඟ තමයි ඒ අවසන් මොහොතේ ඔහුගේ ගනුදෙනුව තියෙන්නේ. මට ගන්න තිබුණේ විජය ඇතුළේ තිබුණ ඒ මනුස්සකම විතරයි. මම තාමත් කල්පනා කරනවා ඒ මනුස්සකම ඔහුට ආවේ කොහෙන්ද කියලා.
වේදිකාව, සිනමාව හරහා ඔබේ රංග ප්‍රතිභාව කෙතරම් ප්‍රකට කළත් මා හිතන්නේ රොජර් සෙනෙවිරත්න තාමත් මේ රටේ වඩාත්ම ජනප්‍රිය ටෙලි නාට්‍යය නළුවෙක් හැටියට?
ඔබ කියූ කාරණය ඇත්ත වෙන්න පුළුවන්. ඒත් මේ මාධ්‍ය තුනේම මට රසිකයෝ ඉන්නවා. මගේ නිර්මාණ ගැන හීන දකින කෙල්ලෝ, කොල්ලෝ, ගෑනු මිනිස්සු ඕනෑ තරම් ඉන්නවා. ඒ මිනිස්සුන්ගේ හයිය තමයි මට තියෙන්නේ. ඔවුන් දිනෙන් දින මගේ වපසරිය පුළුල් කරනවා. මගේ කුඹුර කොටන්න උදවු කරලා හැමදාම මට අස්වැන්න නෙලා දෙන්නේ ඔවුන්. මම ඒ මිනිස්සුන්ට ඉතාමත් ගෞරව කරනවා සහ ආදරය කරනවා. ඔවුන් තමයි මගේ ශක්තිය.
අපේ ජනප්‍රිය සිනමා කෘතියක් වූ ‘එක්ටැම් ගේ’ දැන් ටෙලි නාට්‍යයකට නැගී තිබෙනවා. එහි එදා ජෝ අබේවික්‍රමයන් රඟපෑ චරිතය නිරූපණය කරන්නේ ඔබ. මෙය එක්තරා අභියෝගයක්?
ජෝ අබේවික්‍රම වෙන්න අපි කාටවත් බැහැ. අපි අපිමනේ. ජෝ, ගාමිණී කියන්නේමේ රටේ විශිෂ්ට නිරූපණ ශිල්පීන්.
දක්ෂ නළුවකුට සමාජයේ ඕනෑම පුද්ගල චරිතයක් අනුකරණය කරන්නට පුළුවන් විය යුතුයි නේද?
ඒත හරි වැදගත් ප්‍රශ්නයක්. හොඳ දාර්ශනික ප්‍රශ්නයක්නේ ඕක. ජෝ අබේවික්‍රම, ගාමිණී ෆොන්සේකා වෙන්න හිතනතාක් කල් අපට ඒක කරන්න බෑ. මාව මේ චරිතය රඟපාන්න තෝරා ගනිද්දී එක්තරා පුද්ගලයෙක් කීවලු ‘අරූට පුළුවන්ද ජෝ ගේ මයිල් ගහක් වෙන්නවත්’ කියලා.
තව කෙනෙක් ඇවිත් මට ඒ බව කිව්වම මම ඔහුට කිව්වේ ‘අනේ ඔව් මට කාගෙවත් මයිල් ගහක් වෙන්න බෑ’ කියලයි. මොකද මටත් මවිල් ගස් තියෙනවානේ. ඉතින් මගේ හැම මවිල් ගහක්ම ආරක්ෂා කර ගැනීමේ වගකීම තියෙන්නේ මට. ජෝ අබේවික්‍රම රූපණ සාහිත්‍යය හරහා මේ රට කනපිට හරවපු කෙනෙක්. ඒක අපේ කිසි කෙනෙකුට ගන්නත් බෑ. කරන්නත් බෑ.
අඩුම තරමේ ළං වෙන්නවත් බෑ?
එහෙම ළං වෙන්න හිතන්නවත් ඕනෑ නෑ. අපි හොයන්න ඕනෑ ජෝ අබේවික්‍රම, ජෝ අබේවික්‍රම වුණේ කොහොමද කියලා. ගාමිණී ෆොන්සේකා, ගාමිණී ෆොන්සේකා වුණේ කොහොමද කියලා. එහෙම නැතිව ‘එක්ටැම්ගේ’ ජෝ රඟපෑවේ කොහොමද, ‘නිල්ල සොයා’ චිත්‍රපටයේ ගාමිණී රඟපෑවේ කොහොමද කියලා හොයලා වැඩක් නෑ.
අවසන් වශයෙන් ඔබේ දේශපාලන භූමිකාව ගැනත් බිඳක් කතා කරමු. කලා ක්ෂේත්‍රයේ වගේම ඔබ දේශපාලන ලොවේත් යම් පමණකට ජනප්‍රිය චරිතයක්. එය නළුවෙක් හැටියට ජනප්‍රිය වෙනවාට වඩා අසීරුයි?
දේශපාලනයේත්, කලාවේ වගේම මම බොහෝ කාලයක් පසුබිමේ වැඩ කරපු මිනිහෙක් අසංක. 1978 ධවල පත්‍රිකාවට විරුද්ධව අස්සන් කරපු දා ඉඳන් දේශපාලන ලෝකයේ නොයෙක් අහුමුළුවල මම රිංගුවා. කරක් ගැහුවා.
විවධාකාර පංති, සම්මන්ත්‍රණ, වැඩමුළු, ආදිය සහභාගි වෙමින් විවිධාකාර දේශපාලන න්‍යාය ධර්ම, අනුදකිමින් වසර තිහක් පුරා මම දේශපාලනයත් එක්ක ගනුදෙනු කරපු මිනිහෙක්. ගරු විමල් වීරවංශ මැතිතුමන්ගේ ආරාධනාවට තමයි මම පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වුණේ. ඔහු නිර්මාණය කරන ජාතික නිදහස් පෙරමුණ පක්ෂයේ පළමුවැනිම සම්මානනීය සාමාජිකයා මම. මා ඇතුලු කලාකරුවෝ හතර දෙනෙකුට එම සම්මානනීය සාමාජිකත්වය හිමි වුණා.
සිරිල් වික්‍රමගේ, බුද්ධදාස විතානාරච්චි, ලාල් කුලරත්න අපේ පක්ෂයේ සම්මානනීය සාමාජිකයෝ. පක්ෂයේ උන්නතිය සඳහා අත්‍යවශ්‍ය මිනිස්සු හැටියට තමයි පක්ෂය අප තෝරා ගෙන තියෙන්නේ. මොන කෙනෙහිලිකම්, මොන තාඩන පීඩන තිබුණත් මම පක්ෂය වෙනුවෙන්, මට ඡන්දය දුන් 52,390 ක් වූ ජනතාව වෙනුවෙන් කැප වී ඉදිරියටත් ක්‍රියා කරනවා. මේ පක්ෂය බස්නාහිර පළාත් සභාව හරහා මිනිස්සුන් කාන්දු වෙන්නේ මගෙන්.
අපේ කලාකරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් ඔබ සුවිශේෂ ක්‍රියාදාමයකට මුල පුරා තිබෙන බව දැනගන්නට ලැබුණා?
අපේ ගරු නායකතුමන්ට මම කළ යෝජනාවකට අනුව සියලුම කලාකරුවන්ට නිවාස ණයක් ලබාදීමට අප මේ වන විට ක්‍රියා කරගෙන යනවා. ඒ වගේම අපේ වයෝවෘද්ධ කලාකරුවන් ඉදි කරන්නට බලාපොරොත්තු වන හෝ බාගෙට ඉදි කළ නිවාස සම්පූර්ණ කර දීමේ යෝජනාවකුත් මම ඉදිරිපත් කළා. එයටත් අනුමැතිය ලැබී තිබෙනවා.
අපි දන්නවා සමහර කලාකරුවන්, කලාකාරිනියන් අගුපිල්වල ජීවත් වෙනවා. එවැනි ආදරණීය කලාකරුවන් වෙනුවෙන් නිවසක්, දෙකක් තනා දෙන්නත් අපේ නායකතුමාගෙන් ගෞරවාන්විත ඉල්ලීමක් කළා. ඒ ඉල්ලීමත් ඔහු ඉත හිතින් බාර අරගෙන ඒ අවශ්‍ය කරන අය සොයා බලා දැනුම් දෙන ලෙස ඉල්ලා සිටියා.
සියලුම කලාකරුවන් මේ කටයුත්ත වෙනුවෙන් අපත් එක්ක අත්වැල් බැඳ ගනීවි කියා මා විශ්වාස කරනවා. මේ ප්‍රවෘත්තිය මුලින්ම මම දැනුම් දෙන්නේ කලාකරුවන් වෙනුවෙන්ම කැප වූ ‘සරසවිය’ පුවත්පතට. අප මේ සියලුම දේවල් කරන්නේ කලාකරුවන්ගේ ඡන්ද ගන්නවත්, දේශපාලනය වෙනුවෙන් ඔවුන්ගේ මැදිහත්වීම ලබා ගන්නවත් නෙවෙයි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අතිගරු ජනාධිපතිතුමන්ගේ ‘මහින්ද චින්තනය’ අනුව රටේ සියලුම කලාකරුවන්ට සේවයක් කිරීමේ පරම චේතනාව පෙරදැරිවයි.
0 comments:
Post a Comment