මරණයට සිනහ වී වෙන්ව ගිය ජනේෂ්
කඳුළ, සුසුම පිරි මිනිස් පුරේ ඔහු වඩාත් හාදකම් පැවැත් වූයේ සිනහව සමගිනි.
රැගුමෙන් මෙන්ම ගැයුමෙන් ද ඔහු ඒ සිනහව අපට බෙදා දුන්නේය.
සිය ආදරණීය පියාණන් වූ ෆේරඩී සිල්වා නාමය තවත් පරපුරකට ජීවමාන කළ ජනේෂ් සිල්වා කලාකරුවා ස්වකීය මෙහෙවර නිමා කොට හීන් සීරුවේ ජීවන රග මඬලින් නික්ම ගියේය.
ජනේෂ් ගේ මරණය අහම්බයකින් වූවක් නොවේ.
තමා ඉක්මණින්ම මෙලොව හැර යන බව ඔහුගේ යටි සිතේ පැළපැදියම් වී තිබිණ.
එහෙත් ඔහු කිසිවකු ඉදිරියේ ජීවිතය ඉල්ලා හඬා වැටුණේ නැත.
මරාන්තික පිළිකා රෝගය තම සිරුර වසා පැතිර ඇති බව දැන දැනත් ඔහු ජීවිතයට දිරියෙන් මුහුණ දුන්නේය.
ජීවිතය බදා ගත යුතු දෙයක් නොව බෙදා ගත යුතු දෙයකැයි ඔහු විශ්වාස කළේය.
‘ඉන්න ටිකේ කාල, බීලා ජොලියේ ඉදිමු මචං’ කියා ඔහු තම මිතුරන් හමුවේ නොයෙක් වර ප්‍රකාශ කළේ එහෙයින් විය යුතුය. ජනේෂ් හොඳට කෑවේය. බිව්වේය. ජොලි කළේය. එහෙත් ඔහු ජීවන ගමන් මග වරද්දාගෙන ඉබාගාතේ ගියේ නැත. සුඛෝපභෝගී දෙමහල් නිවසක සිය ආදරණීය ප්‍රියම්බිකාව වූ ලක්ෂ්මී සමඟින් සාර්ථක කුටුම්භ දිවියක් ගත කළේය. හොඳ සැමියකු මෙන්ම එකම පුතු ජනිත්ට ඔහු දයාබර පියකු වූයේය.
ජනේෂ් ගේ බිරිය මෙන්ම මව ද අවසන් මොහොත තෙක්ම ඔහු ළඟ රැඳී සිටියහ. පුතු සහ ලේලිය ද ජනේෂ්ගේ සෑම ඕනෑ එපාකමක්ම ඉටු කර දෙන්නට නිබඳවම වෙහෙස වූහ.
ඥාතීන්, හිත මිතුරක් බෝධි පූජා පවත්වමින් ජනේෂ්ගේ ජීවිතයට සෙත, ශාන්තිය පැතූවත් ඒ සියලු බලාපොරොත්තු, ප්‍රාර්ථනාවන් උඩු සුළෙඟ් විසර ගියේ ‘මරණය’ කාටත් පොදු නියත දහමක්ය යන්න යළිත් වරක් අපට සනාථ කරමිනි.
ජනේෂ්, මිය යන විට දිවි මගේ අඩ සිය වසරක් සපුරා තිබිණ. ඔහු මෙලොව එළිය දුටුවේ 1962 වසරේ ජනවාරි 26 වැනිදාවකය.
කොළඹ කේරි විදුහලේ සිප් සතර හැදෑරූ ජනේෂ් පාසල් වියේ සිටම කලා කටයුතුවලට යොමු වූයේ පිය ආභාෂයත් සමඟිනි.
1997 වසරේ තිරගත වූ ‘ඇගේ වෛරය 02’ චිත්‍රටයෙන් සිනමාව පිවිසි ජනේෂ් රැජන මමයි’, ‘ජය පිට ජය’, ‘බහු බූතයෝ’, ‘වැඩ බැරි ටාසන්’, ‘වන්ෂොට්’, ‘ලීඩර්’, ‘සීත රෑ’, ‘කවුද බොලේ ඇලිස්’, ‘හායි බේබි හායි’, ‘දිය යට ගින්දර’, ‘පිස්සූ පුසෝ’, ‘පාර්ලිමන්ට් ජෝක්ස්’ වැනි චිත්‍රපට හරහා ප්‍රේක්ෂකයා සිනහා සයුරේ ගිල්වීය.
මේ දිනවල තිරගත වන ‘සුපර් සික්ස්’ හා ඉදිරියේදී තිරගත වීමට නියමිත ඔහු අවසන් වරට රඟපෑ ‘ඔළුව ජපන් කඳ ජර්මන්’ චිත්‍රපට තුළින් ද ජනේෂ් ගේ රඟපෑම් ප්‍රේක්ෂකයාට දැක බලා ගත හැකිය.
‘සරසවිය’ අද ජනේෂ් වෙනුවෙන් මේ කෙටි සටහන තබන්නේ ජීවත්ව සිටි කාලයේද ඔහු වෙනුවෙන් යුතුකම් ඉටු කළ පුවත්පතක් වශයෙනි.
මීට මසකට පමණ පෙර මමත්, ටෙනිසන් එදිරිසිංහ සොයුරාත් ජනේෂ් බැහැ දැකීමට පිළියන්දල සිද්ධමුල්ලේ ඔහුගේ නිවහනට ගොඩ වැදුනෙමු.
අපේ හමුව සූදානම් කළේ ජනප්‍රිය සිනමා නළු හා ජනේෂ්ගේ සමීපතම මිතුරකු වූ මොහාන් හෙට්ටිආරච්චිය. එදින අපි බොහෝ දෑ කතා කළෙමු. ඔහු අප සමඟ හොඳ හැටි හිනැහුණි. ඔහු ඒ හෝරා කිහිපය අප හා ගත කළේ සියලු දුක්, දොම්නස් පුළුන් රොදක් සේ සැහැල්ලුවෙන් පා කර හරිමිනි.
‘මගේ බර දැන් කිලෝ අටකින් අඩු වෙලා. ප්‍රෙෂර්, කොලෙස්ටරොල් මේ සේරම තියෙනවා දෙයියන්ගේ පිහිටෙන්. මම ෆුල් ඔප්ෂන් පොරක්’.
ජනේෂ් වරෙක පැවසුවේ අප සිනා සයුරේ ගිල්වමිනි. ඔහු ද අප හා හරි හරියට හිනැහුණේ පුංචි එකකු මෙනි.
ඒ ජනේෂ්ගේ හැටිය. මරණය පෙනි පෙනීත් ඔහු සිනහව අත්හැර නොගියේය. සිනහව ද ජනේෂ් අතහැර ගියේ නැත.
අනුනට සිනහ වෙන ලොවක අනුන් සිනහා ගැන් වූ ආදරණීය සහෘදයාණෙනි,
ඔබට මොක්සුව.
0 comments:
Post a Comment