අද සිනමාවේ තියෙන්නේ ‘ගෝනි එලුවා’ සංකල්පය
මාලක දේවපි‍්‍රය නව පරපුරේ තරුණ සිනමාකරුවෙකි. ‘බහුචිතවාදියා’ ඔහුගේ කුලුඳුල් වෘත්තාන්ත චිත්‍රපටය වෙයි. මාලක මීට ඉහත කෙටි චිත්‍රපට 9 ක් නිර්මාණය කර ඇත. ‘ට්‍රාන්ස්ෆරන්ස්’, ‘ලයිෆ් සර්කල්’, ‘එක්ස්චේන්ජ්’ ඉන් කීපයකි. ඉන් බොහෝමයක්ම අන්තර්ජාතික සම්මානයන්ට පවා පාත්‍රව තිබීම සුවිශේෂත්වයකි.ඔබ වෘත්තාන්ත සිනමාකරණයට ප්‍රවිෂ්ට වන්නේ කෙටි චිත්‍රපට ඔස්සෙ?
මම කෙටි චිත්‍රපට හැදුවේ අතේ සතයක්වත් නැතුව. ඒවා ‘ලෝ’ බජට් මේ. ඇත්තටම ‘නෝ’ බජට්. පින්සල්, කැන්වස් හා වර්ණ නැතුව අඟුරු කෑල්ලකින් හරි ‘ආට්’ එකක් කරන්න පුළුවන් නම් සල්ලි නැතුව කෙටි චිත්‍රපටයක් කළ හැකි ය කියන තිර අධිෂ්ඨානයේ මං හිටියා.
ඒ අනුව මේ වන විට මං කෙටි චිත්‍රපට 9 ක් නිර්මාණය කරලා තියෙනවා. ඒවා අන්තර්ජාතික චිත්‍රපට උත්සවවලට යොමු වුණේ ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ මැදිහත් වීමෙන්. මගේ කෙටි චිත්‍රපටවලට ජාත්‍යන්තර සම්මාන ලැබීමේ ප්‍රතිඵලයක් විදියට මට ශිෂ්‍යත්වයක් ලැබෙනවා ජර්මනියට ගොස් සිනමාකරණය ඉගෙනගන්න.
කෙටි චිත්‍රපට කියන්නේ වෙනමම ශානරයක්. ඔබ ඒක දකින්නේ කොහොම ද?
ඔව්. ඒක වෙනමම ශානරයක්. අපේ රටේ කෙටි චිත්‍රපට සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. ඒ; කෙටි චිත්‍රපටයක් නම් එහි ධාවන කාලය අතිශයින්ම කෙටි විය යුතු ය යන්න. ඇත්තෙන්ම කෙටි විය යුත්තේ කාලය නෙමෙයි. එයින් අදහස් කරන්නේ සංක්ෂිප්ත බවයි. ක්‍රිස්ටොෆ් ක්‍රිසලොව්ස්කිගේ ‘ෂෝට් ෆිල්ම් එබවුට් ලව්’ කියන චිත්‍රපටය කෙටි චිත්‍රපට ශානරයට අයිතියි. එහෙත් එහි ධාවන කාලය පැයකට ආසන්න වෙනවා.
ඔබේ කෙටි චිත්‍රපට කොහෙන්ද බලන්න පුළුවන්?
මගේ හැම කෙටි චිත්‍රපටයක්ම අන්තර්ජාලයේ තියෙනවා. ඒ නැතුව අපට මේවා පෙන්වන්න වෙන තැන් නැහැ. ජර්මනිය වගෙ රටවල කෙටි චිත්‍රපට සඳහා විකල්ප ප්‍රදර්ශන මං තියෙනවා. උමං දුම්රියවල, බස් නැවතුම් පොළවල කෙටි චිත්‍රපට පෙන්වනවා.
ඔබ කෙටි චිත්‍රපට හැදුවේ විශ්ව විද්‍යාලයයේ ඉද්දි. අද විශ්ව විද්‍යාලවල එවැනි නිර්මාණාත්මක ක්‍රියාකාරකම් දකින්න ලැබෙනව ද?
අද විශ්ව විද්‍යාලවල දකින්න තියෙන්නේ බක්මහ සැණකෙළි, අක්ෂි සායන, වෙසක් තොරණ, ඩෙංගු මර්දන වැඩසටහන් වගේ දේවල්. ඉන් එහාට දෙයක් නැහැ. ඒක බරපතළ සමාජ අර්බුදයක්. අද මනුෂ්‍ය සම්බන්ධකම් කියලා දෙයක් නැහැ. එකිනෙකා ‘පාවිච්චි’ වෙනවා. එච්චරයි.
ඔබේ ‘බහුචිතවාදියා’ චිත්‍රපටය කොහොමද නිෂ්පාදනය වුණේ?
මම ජර්මනියේ ඉද්දියි මෙහි තිර පිටපත ලිව්වේ. ආචාර්ය තිස්ස අබේසේකරගේ පුත් දිමිත්‍ර අමිතෝදන මට දුන් ඉඟියකට අනුව මං ඩිජිටල් ඒෂියා එන්ටර්ටේන්මන්ට්ස් සමාගම හිමි මනෝහන් නානායක්කාර සමඟ ඊමේල් ලිපි හුවමාරුවක යෙදුණා. සංජීව පුෂ්ප කුමාරගේ ‘ඉගිල්ලෙන මාළුවෝ’, ඩෙනිස් පෙරේරාගේ ‘ත්‍රී වීලර්ස් ඩයරි’ යන චිත්‍රපට ඔහු මීට ඉහත නිෂ්පාදනය කර තිබුණා. මනෝහන් මගේ තිර රචනය කියෙව්වා. අන්තර්ජාලය ඔස්සේ මගේ කෙටි චිත්‍රපට දැකලා තිබුණා. ඔහුට මා ගැන කිසියම් විශ්වාසයක් තියෙන්න ඇති.
ඇයි ඔබ ඔබේ තිර රචනය ජාතික චිත්‍රපට සංස්ථාව වෙත යොමු කළේ නැද්ද?
නැහැ. මොකද, චිත්‍රපට සංස්ථාව ගැන මගේ එතරම් විශ්වාසයක් නැහැ. එතැන තියෙන්නේ වැඩවසම් චින්තනයක්. ඔවුන් වැඩ කරන්නේ වෙන වෙන ඇජෙන්ඩාස්වලට අනුවයි.
‘බහුචිතවාදියා’ කවර තේමාවකින් යුතු චිත්‍රපටයක් ද?
මෙහි තේමාව සමකාලීන තාරුණ්‍යය. අද තරුණයන්ගේ බලාපොරොත්තු, සිහිනවල තියෙන්නේ අර්බුදකාරී විසිරුණු ස්වභාවයක්. නිශ්චිත වූ අදහසකට ගොනු නොවන බහුවිධ චින්තනයකින් දෝලනය වන ස්වරූපයක් තමයි මෙහි හඳුනාගන්න පුළුවන්. තාක්ෂණික ගෝලියකරණය තුළ සංස්කෘතිය ධනවාදය විසින් අත්පත් කර දෙනු ලැබ ඇති අන්තර්ජාලයේ විවිධ මාදිලි (ෆේස් බුක්, ස්කයිප් වැනි) භාවිතයට ගනිමින් ඔවුන් තම අපේක්ෂා, සිහින ඉටුකර ගැනීමට කරන්නා වූ වෑයමක් මෙහිදී දැකිය හැකියි.
ඔබ ‘බහුචිතවාදියා’ තනා ඇත්තේ ඩිජිටල් තාක්ෂණයෙන්. ඩිජිටල්වලින් හදන චිත්‍රපට, සිනමාව නෙමෙයි කියලා සමහරු කියනවා මට ඇහිලා තියෙනවා.
ඒක වැරදි අදහසක්. තමන් වැඩ කරන්නේ සෙලියුලොයිඩ්වල විතරයි, ඩිජිටල්වලින් වැඩ කරන්නේ නැහැ කියලා කියන අය මටත් මුණගැහිලා තියෙනවා. ඇයි එහෙම කියන්නේ කියලා අහනකොට ඔවුන් කියන්නේ සෙලියුලොයිඩ්වල තරම් හොඳ රෙසොලූෂන් එකක් ඩිජිටල්වලින් ගන්න බැහැලු. අන්තර් ජාතික චිත්‍රපට උත්සවවලදි ඒ අය බලන්නේ චිත්‍රපටයක ‘කන්සෙප්ට්’ එක මිසක් රෙසොලූෂන් එක නෙමෙයි. සිනමාවේ තියෙන්නේ සමීප රූප, මධ්‍යම රූප හා දුර රූප. වෙන ඉන්ද්‍රජාලයක් නැහැ. ‘කන්සෙප්ට්’ එකයි වැදගත්.
අද එළිදකින චිත්‍රපට දිහා බලද්දි ඔබට මොනවද හිතෙන්නෙ?
අපේ රටේ තියෙන එක් ප්‍රශ්නයක් තමයි ‘ආර්ට්’ කියන එකයි, ‘ක්‍රාෆ්ට්මන්ට්’ කියන එකයි වෙන්කර හඳුනා නොගැනීම. දැන් වඩුවෙක් ගත්තොත් එයා කලාකාරයෙක් නෙමෙයි; ක්‍රාෆ්ට්මන්ට් කෙනෙක්. එයා පුටු හදනවා; මේස හදනවා, කැබිනට් හදනවා. එයාට අයිඩිලොජි එකක් නැහැ. කලාකාරයෙක් වුණාම ඔහුට අයිඩියොලොජි එකක්, කිසියම් මතවාදයක්, දර්ශනයක් තිබෙන්න ඕනැ. අපේ රටේ වැඩිපුර ඉන්නේ ‘ක්‍රාෆ්ට්මන්ලා’ මිසක් කලාකාරයෝ නෙමෙයි. ඒ අය කරන්නේ ‘ආර්ට්’ නෙමෙයි.
මොකක් හරි කරලා ගාණක් කපාගන්නයි බලන්නේ. අද අපේ සිනමාවේ තියෙන්නේ ‘ගෝනි එලුවා’ සංකල්පය. එතැන එළුවෙක් නැහැ. නිකං ගෝනි ටිකක් එලලා තියෙනවා. අශෝක හඳගම වගේ සිනමාකරුවකුගේ පවා අද මම දකින්නේ අපගමනයක්. ඔහුගේ ‘ඉනිඅවන්’ කියන දෙමළ චිත්‍රපටය මම බැලුවා. ඔහු පවා මේකට අහුවෙලා. අද නව සංකල්පවල දරිද්‍රතාවයක් තියෙනවා. උදේට කෑවයි හවසට අරක්කු බීවයි කියලා අදහස් පහළ වෙන්නේ නැහැ.
1 comments:
පට්ටයි මචං අපේ පැත්තෙත් ඇවිල්ල යන්න
Post a Comment