----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

Lanka Art Chat Room - එන්න අපි කතා කරමු

‘නූපුරා රඟ’ අභිඥාන මංගල්‍යය

Wednesday, June 6, 2012

වේදිකාවෙන් උපන් බොහෝ නළු නිළියන් පසු කලෙක සිනමාවට හෝ පුංචි තිරයට වඩාත් ආසක්ත වූ බවක් පෙනේ. ඇතැමෙකු වේදිකාව සහ මුලින්ම හැර පියා මතු කී ජනප්‍රිය මාධ්‍යයන් ඔස්සේ තම ප්‍රතිරූප ගොඩ නගා ගන්නට උත්සුක වූ බව ද නොරහසකි.
නමුදු වේදිකාවෙන් රංගන වරම් ලද ඔහු එකී ප්‍රවණතාව අභිමුව උඩු ගං බලා යමින් අඩ සිය වසක් පුරා එකසේ වේදිකාවේ රැඳී සිටියි. ඔහු නිශ්ශංක දිද්දෙණිය නම් වේ.
සරච්චන්ද්‍රයන්ගේ ‘සිංහබාහු’ වේදිකා නාට්‍යයේ ‘සිංහබාහු’ ලෙස පුරා විසි හය වසරක් කරළිය මත විස්කම් පෑ ඔහු මෙරට ශෛලිගත නාට්‍යය සම්ප්‍රදායේ උරුමය මතු පරපුර අතරට ගෙන යන ප්‍රමුඛතම කලාකරුවෙකි.
හෙට එළඹෙන්නේ ඔහුගේ කලා දිවියේ සුවිශේෂ දිනයකි. නිශ්ශංක දිද්දෙණිය අඩ සිය වසක රංගන චාරිකාව පසුබිම් කර ගනිමින් පේරාදෙණිය ආදී විද්‍යාර්ථීන්ගේ සංගමය ඉදිරිපත් කරන ‘නූපුරා රඟ’ අභිඥාන මංගල්‍යය කොළඹ බිෂොප් විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී හෙට (25) සවස 6.15 ට පැවැත්වේ.
මේ එකී සුවිශේෂී කාර්යය පාදක කොට ගනිමින් දිගා හා කළ සංවාද සටහනකි.
හෙට ඔබේ කලා දිවියේ අමරණීය දිනයක්?
ඔව්. ඇත්තෙන්ම මේ වෙන කොට මගේ රංගන දිවියට අවුරුදු පනහක්. මෙවන් පසුබිමක තමයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය මගින් ‘නූපුරා රඟ’ අභිඥාන මංගල්‍යය ඉදිරිපත් කරන්නේ. නෝර්විජියානු තානාපති කාර්යාලයත් මේ කාර්යයට අනුග්‍රහය දක්වනවා. මෙහිදී මවිසින් ගැයූ නූර්ති, නාඩගම් ගී ඇතුළත් ‘’සුරඟ ග‘ී සංයුක්ත තැටි යුගළත් එළි දකිනවා. ඊට ගීත තිස් දෙකක් ඇතුළත්. ඒ වාගේම මා විසින් රචිත ‘පුරාතන නාඩගමේ අද්‍යතන ස්වරූපය’ කෘතියත්, ප්‍රේමතිලක පේරුකන්ද ලියූ ‘දිගාලංකාරය’ කෘතියත් එළි දකිනවා.
එපමණද?
නැහැ. මගේ වෙබ් අඩවිය දියත් කිරිමත් එදින සිදු කෙරෙනවා. එයත් කලක පටන් මගේ සිතේ තිබුණ බලාපොරොත්තුවක්. දැනට අප අතර සිටිනා ප්‍රවීණතම නර්තනවේදියකු වන වසන්ත කුමාර සූරීන්ට උපහාර පිදීමකුත් එදින සිදු කිරීමට නියමිතයි. අවසානයේ ‘සුරඟ පුවත’ වාර්තා රංගය වේදිකා ගත කිරීමට සියලු කටයුතු සූදානම්. විජේරත්න වරකාගොඩ, ජයලත් මනෝරත්න, අනුලා බුලත්සිංහල, රොඩ්නි වර්ණකුල, ෆර්නි රෝෂිනී ඇතුළු නළු නිළි පිරිසක් ඊට රංගනයෙන් දායක වෙනවා. මෙහි සංගීතය මෙහෙය වන්නේ මහානාම වික්‍රමසිංහ. නර්තන වින්‍යාසය රවිබන්ධු විද්‍යාපති, රංග භාණ්ඩ නිෂ්පාදනය චාමර සුදත් රත්නායක විසින් සිදු කරනු ලබනවා. විනීතා දිද්දෙනිය නිෂ්පාදන කලමණාකරනයෙන් සහ සුගත් වටගෙදර පිටපත් රචනයෙන් දායක වෙනවා.
ඔබේ කලා දිවියේ ආරම්භය දෙසට හැරුණොත්?
මම ගමේ, ‘ගැමි රඟ මඬලේ’ නළුවෙක්. තරුණ ගැටවරයකුව ඉන්දැද්දී ඔය ගමේ නාට්‍යයවල, තරුණ ගොවි සමාජයේ නාට්‍යයවල රඟපෑවා. භක්ති ගී කණ්ඩායම්වල ගී ගැයුවා. අපි ගොවි පවුලක්. ඒ පවුලෙත් තිබුණේ ඒ වගේ පසුබිමක්. මගේ අයියලා දෙදෙනෙක්ම ගමේ ටීටර්වල රඟපෑවා. පෙරහැරවල නොයෙක් අංගයන් ඉදිරිපත් කළා. මේ වගේ දේවලින් තමයි මම කලාවට යොමු වුණේ.
ඒ වගේම මගේ පාසල් වේදිකාව. මම ‘අ’ යන්න ‘ආ’ යන්න අකුරු කළේ පනාවැන්න ධර්මාරාම විද්‍යාලයෙන්. ද්විතීයය අධ්‍යාපනය ලැබුවේ පැල්මඩුල්ල, ගන්කන්ද මධ්‍ය විද්‍යාලයෙන්. එහිදී සරත් ලාල් පනාවල ගුරුතුමා යටතේ මම උඩරට නැටුම් ඉගෙන ගත්තා. භාෂා, සාහිත්‍ය ප්‍රගුණ කළේ කරුණාරත්න බණ්ඩාර ගුරුතුමාගෙන්. මුද්‍රා නාට්‍යයවල සමූහ ගායනා, ඒකල ගායනාවලට ඉදිරිපත් වුණා. 1963 වසරේ සබරගමු පළාතේ ඒකල ගායනා අංශයෙන් ප්‍රථම ස්ථානය දිනා ගත්තේ මම.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුලත් වුණාට පසුව තමයි ඔබේ රංගන කෞෂල්‍යය වඩාත් උද්දීප්තියට පත් වෙන්නේ?
ඔව්. මම ප්‍රසිද්ධ වේදිකාවට අත්පොත් තැබුවේ විශ්ව විද්‍යාලයෙන් තමයි. 1967 ඔක්තෝබර් 04 වැනිදා තමයි මම විශ්ව විද්‍යාලයට ඇතුළත් වුණේ. මට සරච්චන්ද්‍රයන් මුණ ගැහෙන්නේ 1968 වසරේදී. එතුමා ඇමරිකාවට ගිහින් හිටියා සප්ත වාර්ෂික නිවාඩුවකට. ඒ නිවාඩුවෙන් පසු පෙරළා මව් රටට පැමිණි අවස්ථාවේදී තමයි එතුමා මට මුණ ගැසුණේ. ඒ වෙන කොට එතුමා අතින් මනමේ, සිංහබාහු, කදා වලලු, රත්තරං, එලොව ගිහින් මෙලොව ආවා වැනි වේදිකා නාට්‍යය නිර්මාණය වෙලා තිබුණා.
එතකොට ඔබ සරච්චන්ද්‍රයන් හා සම්බන්ධ වුණේ?
‘පේමතෝ ජායතී සෝකෝ’ වේදිකා නාට්‍යයට තමයි සරච්චන්ද්‍රයන් මුලින්ම මා තෝරා ගත්තේ. ඊට පස්සේ ‘සිංහබාහු’ නාට්‍යයට. 1970 වසරේදී ‘සිංහබාහු’ නව නිෂ්පාදනයක් කිරීමේ අවශ්‍යතාවය පැන නැඟුණා. සිංහබාහු ගේ චරිතය පුරප්පාඩු වෙලා තිබුණේ ඒ වෙනකොට. මොකද ඒ චරිතය රඟපෑ චාලි ජයවර්ධනට පරිපාලන විභාගයෙන් පාස් වෙලා අම්පාරට යන්න වුණා දිස්ත්‍රික් ඉඩම් නිලධාරියකු විදිහට. ඉතිං සරච්චන්ද්‍ර මහත්තය මට කිව්වා ‘දිද්දෙණිය අන්න සිංහයා (මාර්ක් ඇන්ටනි ප්‍රනාන්දු) ගෙදර ඉන්නවා මේ දවස්වල, සිංහබාහුගේ සිංදු ටික ඉගෙන ගන්නකෝ’ කියලා. ඉතිං මම එයාගෙන් සිංදු ටික ඉගෙන ගත්තා. දෙවැනි සිංහබාහු වුණේ මම. 1970 ජූනිවල ඉඳලා 1996 දක්වා එක දිගට වසර විසි හයක් මම සිංහබාහු චරිතය රඟපෑවා. දර්ශන වාර පන් දහසකට වැඩියි මම හිතන්නේ.
මේ විසි හය වසර පුරා ‘සිංහබාහු’ නාට්‍යය ඇසුරේ ඔබ ලත් අත්දැකීම් පවා මම හිතන්නේ ඔබේ කෘතියේ ඇතුළත් වෙනවා?
‘පුරාතන නාඩගමේ අද්‍යතන ස්වරූපය’ කෘතියේ දිගු පරිච්ඡේදයක් මම ‘සවිසි වසරක සිංහබාහු රංගනාභූතිය හා බැඳුණු මගේ කතාව’ නමින් වෙනම ලියා තිබෙනවා ඒ අත්දැකීම් ඇසුරෙන්. 1956 දී ‘මනමේ’ 1961 දී ‘සිංහබාහු’ සහ ඉන් වසර 24 කට පසු 1985 දී ‘ලෝමහංස’ තුළින් නාඩගම් සම්ප්‍රදාය ඇසුරෙන් සරච්චන්ද්‍රයන් විදග්ධ නාට්‍යය කලාවක් බිහි කරන්නට පුරෝගාමී වුණා. මේ තුනේම මම රඟපෑවා. පසු කලෙක ‘මනමේ’ කුමාරයා ලෙස රඟපෑවා. ‘ලෝමහංස’ නාට්‍යයේ බ්‍රහ්මදත්ත රජුගේ චරිතය. ඒක බොහොම නැවුම් චරිතයක්. එය මගේ ස්වීය රඟපෑමක්. ඉතිං ඔය විදිහට ලැබූ අත්දැකිම් මම මේ ග්‍රන්ථයේ ලියා තිබෙනවා. මෙහි පරිච්ඡේද තුනක් තිබෙනවා. ඒවා එකකට එකක් සම්බන්ධයි.
විශේෂයෙන්ම ඔබේ වේදිකා නාට්‍යය රංගන වින්‍යාසය ගීතය හා ඓන්ද්‍රී‍්‍රයව බද්ධ වී තිබෙන සෙයක් අප නිබඳවම දකිනවා. එහිදී ඔබ බොහෝ ගීතාත්මක නළුවෙක්?
ඔබ හරි.මොකද එය සරච්චන්ද්‍ර නමැති නාට්‍යකරුවා තුළ පිළිසිඳ ගත් විශ්වාසයක්. ඔහු නිතරම විශ්වාස කළ දෙයක් තමයි ගීත ගායනය කළ හැකි නම් යමෙකුට අනෙකුත් දේවල් හදා ගන්න පහසුයි කියන එක. සමහර වෙලාවට ඉතින් ගායන හැකියාව තිබුණත් ඒ රංගන ශෛලිය හා නර්තන ලාලිත්‍ය අල්ලා ගන්න බැරි අය සිටියා. එහෙම අය විශේෂයෙන්ම වේදිකාවේ ශෛලිගත නාට්‍යය සම්ප්‍රදායේ සාර්ථක නළුවන් වුණේ නැහැ.
ඔබ කියන්නේ සරච්චන්ද්‍රයන් යමෙකුගේ ගායන හැකියාව පිළිබඳ විශේෂ අවධානය යොමු කළා කියලාද?
ඔව්, ඇත්තෙන්ම. එය එතුමාගේ පැත්තෙන් සාර්ථක ක්‍රියාදාමයක් වෙලා තියෙනවා. මම වුණත් ගීතයක් ගායනා කරලා තමයි එතුමා මුලින්ම තෝරා ගත්තේ. ‘පේමතෝ ජායතී සෝකෝ’ නාට්‍යය නිෂ්පාදනය කරන්නට යද්දී එතුමා විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය පොදු කාමරයේ දැන්වීම් පුවරුවේ නෝටිස් එකක් දාලා තිබුණා ගායන හැකියාවන් ඇති අය මේ සඳහා ඉදිරිපත් වෙන්න කියලා. ඉතිං මම බොහොම කැමැත්තෙන් එයට සහභාගි වී ගීතයක් ගායනා කළා.
මොකක්ද ඒ ගීතය?
අමරදේවයන්ගේ ‘සන්නාලියනේ’ කියන ගීතය. මම ලොකු ආත්ම විශ්වාසයකින් තමයි එතුමා ඉදිරියේ ඒ ගීතය එදා ගායනා කළේ. මට තේරුණා එතුමා මගේ ගායනය ගැන හොඳ අවධානයකින් සහ කැමැත්තකින් පසුවන බව. අවසානයේදී එතන හිටපු කෙනෙකුට මගේ නම ලියා ගන්න කියලා, පුහුණුවීම් පටන් ගත්තම ඊට සහභාගි වෙන්න කියා දැනුම් දුන්නා. ඒ විදිහට තමයි ඉතින් සරච්චන්ද්‍රගේ නාට්‍යය ලෝකයට මං ඇතුළු වුණේ.
මේ කලා මංගල්‍යය නම් කර තිබෙන්නේ ‘නූපුරා රඟ’ නමින්. එහි අරුත පැහැදිලි කරනවා නම්?
’නූපුරා රඟ’ කියා මේක නම් කළේ සියලු කාරණා ආවරණය වෙන පරිදි. කේ. බී. හේරත් කියන ප්‍රවීණ නාට්‍යය ශිල්පියා තමයි මේ නම යෙදුවේ. ඔහු බොහොම දක්ෂයි මේ වගේ ඒවාට නම් යොදන්න. ‘පුරා’ කිව්වම ‘පුරාතන’ යන අදහසත් එනවා. ‘නූපුරා’ කිව්වම ‘පුරාතන නොවූ’ කියාත් කියන්න පුළුවන්. දැන් සාම්ප්‍රදායික ගීත පුරාතන තමයි. නමුත් මම ඒවා ඉදිරිපත් කරන්නේ නවීන, නිර්මාණාත්මක සංගීත සංයෝජනයන් සමඟයි. එහි මූලික තනුව, නාද රටා වෙනස් වෙලා නැහැ. නමුත් ආමුඛ සහ අන්තර් සංගීත ඛණ්ඩ නිර්මාණාත්මකව වෙනස්කම්වලට බඳුන් කර තිබෙනවා. රෝහණ වීරසිංහ, තිස්සසිරි පෙරේරා, රංජිත් බාලසූරිය, ඉන්ද්‍රජිත් මිරිහාන වැනි නිර්මාණශීලී සංගීතවේදීන් අතින් තමයි ඒ කාර්ය සිදු කෙරුනේ.
එතකොට ‘සුරඟ පුවත’ කෙලෙසද වේදිකාව මත දිග හැරෙන්නේ?
‘සුරඟ’ කියන්නේ යහපත්, මනෝඥ වූ රංගනය කියන එකයි. වී. ක්‍රිස්ටියන් පෙරේරාගේ ‘ඉව්ජින්’ නාඩගමේ ගීත මම එදාට ඉදිරිපත් කරනවා. එතකොට පැරැණි මිලන් කුමාරයා එනවා. බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ එනවා. ’දහම්සොඬ’ නාඩගමේ රූපා දේවි බිසව වේදිකාවට එනවා. ‘ස්ටාකි’ නාඩගමේ ‘ස්ටාකි’ කුමාරයා එනවා. මේ ‘සුරඟ පුවත’ ගීී දෙකක් ටීටර් ගීත. ගම්පහ රොබට් පීරිස් මාස්ටර් තමයි ඒ ගීත ගායනා කරලා තියෙන්නේ. එදාට මම ඔහුවත් වේදිකාවට ගෙන එනවා. ඒ චරිතය රඟ දක්වන්නේ රොඩ්නි වර්ණකුල කියන අපේ දක්ෂ රුපණවේදියා.
අද බොහෝ දෙනෙකු නැඹුරු වී සිටින්නේ සිනමාවට, නැතහොත් පුංචි තිරයට. නමුත් එදා වගේම තවමත් ඔබ වේදිකාවට ආදරෙයි?
අද බොහෝ කලාවන් සහ කලාකරුවන් ජනප්‍රිය සංස්කෘතිය දෙසට නැඹුරු වී සිටිනවා. මුදල් හම්බ කිරීම ඇතැමුන්ගේ අභිලාෂයයි. මේ ජනප්‍රියත්වය හා මුදල් පසුපස හඹා යාම නිසා කලාත්මක පක්ෂය බිඳ වැටිලාද කියලත් මට හිතෙනවා. අද විචාර කලාවත් මට හිතෙන හැටියට පක්ෂපාතියි. සිනමා විචාර ගත්තත්, නාට්‍යය විචාර ගත්තත් පෞද්ගලික හිතවත්කම් මත ඒවා සිදු කෙරෙන බවක් පේනවා. විචාර මූල ධර්මවලට පටහැනිවයි ඒවා කෙරෙන්නේ. මෙවැනි කටුක පරිසරයක ඉඳගෙන තමයි අප තවමත් වේදිකාවේ රැඳී සිටින්නේ. ඇත්තටම ජනප්‍රිය සංස්කෘතියට වඩා තවමත් වේදිකාවට මම ආදරෙයි.

0 comments:

Post a Comment