----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

Lanka Art Chat Room - එන්න අපි කතා කරමු

ගහපු පාරට ඇත්තටම සිහිය නැතිව ඇද වැටුණා.

Tuesday, June 19, 2012

පියවි ගැන චාමර පීරිස් කියන කතාව

අයාල් ටෙලි වෘත්තාන්තයෙන් වෙනස් ගමනක් ඇරැඹි චාමර ජනරාජ් පීරිස්ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවන පියවි වෙනත් ඉසව්වක් සොයනා ප්‍රේක්ෂකයා නැවත ටෙලිවිෂනය ඉදිරියේ හිඳුවීමට සමත් වූ වෙනම මාවතක දිවෙන ටෙලි වෘත්තාන්තයකි.
පළමු ටෙලි වෘත්තාන්තයෙන් සම්මානනීය වූ චාමර පියවි හරහා කතාබහට ලක් කරන්නේ ජීවිතය හා ජීවත් වීම යන එකින් එකට බද්ධ මාතෘකා ද්විත්වයකි.
ගෘහ නිර්මාණ ශිල්පියකු, පරිපාලන නිලධාරියකු හා කැමරා ශිල්පියකු, සංස්කරණ ශිල්පියකු ලෙස බහු චරිත දරන චාමර සමඟ පියවි ගැනත් සිය නිර්මාණ ජීවිතය ගැනත් කළ කතාවකි මේ.
චාමර පළමුවෙන්ම පියවි ගැන කතා කරමු?
තමන්ට ලැබුණු ජීවිතය හොඳින් ගෙවන්න කියල තමයි කියන්න ඕනේ. ඉදිරියට වෙන්නෙ මොනවද? අපි නැවත ඉපදෙන්නෙ කොහොමද, ඉපදිලා හිටියෙ කොහෙද මේ වගේ දේවල් හොයන්න යෑමෙන් අපේ ජීවිතය ජීවත් කරවන්න අපහසු වෙන්න පුළුවන්. ඒ නිසා ඔබට ලැබුණු ජීවිතය අර්ථවත් ලෙස ජීවත් කරවන්න කියන දේ තමයි මේ කතාවෙන් කියන්න උත්සාහ ගත්තේ. ගෘහ නිිර්මාණය පිළිබඳ උගන්වන ආයතනයක දෙවන වසරේ ඉගෙනුම ලබනා ශිෂ්‍යයකු වටා ගෙතුනු කතාවක්.
මොහු බොක්සිං ක්‍රීඬාවට බොහෝ ඇලුම් කරන්නෙක්. මොහුගේ මනසේ ඇතිවන වෙනස්කමක් නිසා ඔහුගේ ජීවිතය පිළිබඳ ගවේෂණයක යෙදෙනවා. එතැනදි ඔහුට සිදු වන දේ පිළිබඳව තමයි පියවි ඔස්සේ ඔබ දකින්නේ. වෙන්නෙ මොනවද කියල පියවි නාට්‍යය නරඹලාම බලා ගන්නකෝ. මේ කතාව කොටස් 32 කින් යුක්තයි. සෑම ඉරු දිනකම රාත්‍රී 9.00 ට ස්වර්ණවාහිනී නාලිකාව ඔස්සේ නැරැඹීමට පුලුවන්.
ඔබ නිරතුරුවම තෝරා ගන්නේ වෙනස්ම මාතෘකා?
ඔව්. මම එහෙම හිතල කරන්නේ නැහැ. සමාජයේ තියෙන දේ විකෘති නොකර වෙනත් ආකාරයට දැකීමට සැලැස්සීම පමණයි මම කරන්නේ. හැබැයි ප්‍රේක්ෂකයින් කියනවා මම වෙනස් මගක යන කෙනෙක් කියලා.
ඔබේ වෙනස් ගමන සාර්ථකද?
සාර්ථකයි. එයට අයාල් ටෙලි නාට්‍යයට මට ලැබුණු ප්‍රශස්ත විශේෂ ඇගයීමේ සම්මානය, වසරේ හොඳම කැමරාකරණයට ප්‍රදීප් බුලත්සිංහලට සම්මානය ලැබීම, වසරේ හොඳම ටෙලි නාට්‍යය සංස්කරණයට ලක් රුවන් ද සේරම්ට සම්මානය හිමි වීම, රයිගම් සම්මාන උළෙලේදී හොඳම සංගීත අධ්‍යක්ෂණයට රවී හාන්ස් වැටකේපොතට සම්මාන හිමි වුණා. අනෙක තමයි මේ සම්මාන උළෙල දෙකේදීම අංග රචනය, කලා අධ්‍යක්ෂණය, නැගී එන නළුවා, ගීත රචකයා වගේ කුසලතා සම්මාන 17 ක් සඳහා නිර්දේශ වුණා. ඒ තුළින් පේනව නේද සාර්ථකත්වයක් තියේ ද නැද්ද කියලා.
ඔබ නිර්මාණ ශිල්පියෙක්. ඒ අතර ගෘහ නිර්මාණ ශිල්පියකු ලෙස ඔබ හොඳ මවන්නෙක්. ගෘහ නිර්මාණ කලාව ඔබේ ටෙලි නිර්මාණ ජීවිතයට බලපෑමක් ඇති කළා ද?
ඔව්. ගෘහ නිර්මාණ ශිල්පියකු ලෙස මා ලැබූ පුහුණුව නිසා ගොඩනැගිල්ලක් හා එහි වට පිටාවේ අලංකරණය අවසන් කිරීමට පෙර එහි නිම වූවාට පසු එහි ආකෘතිය ත්‍රිමානව හිතෙන් මවා ගැනීමේ ශක්තිය මට තිබෙනවා. ඒ ඔස්සේ ඒ ගොඩනැගිල්ල තුළ ඇවිද යන්නට මට පුලුවන්. මෙන්න මේ නිර්මාණ ශක්තිය ටෙලි නාට්‍යයක් කරන විට ද මට බොහෝ උපයෝගි වුණා. කැමරාව හැසිර විය යුත්තේ මොන ආකාරයට ද, වෙනස් කළ යුත්තේ මොනවාද කියා දෙයක් කරන්න ප්‍රථමයෙන් සිතන්න පුලුවන්. මම කියන්නේ අනෙක් අධ්‍යක්ෂකවරුන්ට මේ ශක්තිය නැහැ කියල නොවෙයි. මට මේ ශක්තිය ලැබුණේ ගෘහ නිර්මාණ ශිල්පය නිසා කියලයි මම කියන්නේ.
චාමර ඔබ සංස්කරණය පිළිබඳ හැදෑරීමක් කළ අයෙක් ද?
ඔව්. ලේක්හවුස් ආයතනයට ස්තුති කළ යුතුයි ප්‍රථමයෙන්ම. මොකද මාව සංස්කරණ පාඨමාලාවකට යොමු කළේ ලේක්හවුස් ආයතනය නිසා. ලංකාවේ ප්‍රථම රේඛීය නොවන සංස්කරණ පාඨමාලාව හදාරන්න රාජ්‍ය මුද්‍රණාලයට මාවයි තව ලේක්හවුස් ආයතනනයේ කෙනෙකුටයි සහභාගි වෙන්න අවස්ථාව ලබා දුන්නා. අපට මෙහිදී සුදත් මහදිවුල්වැව, රවීන්ද්‍ර ගුරුගේ වගේ ප්‍රවීණයන්ගෙන් ඉගෙන ගන්න ලැබුණා. මේ ලැබූ මාස 6 ක පුුහුණුව මගේ නිර්මාණවලට බෙහෙවින් උපයෝගි වුණා.
පියවි නාට්‍යයේ බොහෝ චරිත මවන්නන් අතර වෙනත් වෘත්තීන්වල යෙදෙන බොහෝ අය සිටිනවා නේද?
වෘත්තීය මට්ටමින් ඉතා ඉහළින් ඉන්න බොහෝ අය රඟපානවා. ඒ තමයි කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ චිත්‍ර කලා අංශයේ අංශාධිපති මහාචාර්ය චන්ද්‍ර ගුප්ත තේනුවර, කොළඹ විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය අංශයේ අංශාධිපති මහාචාර්ය අජන්තා හපුආරච්චි, සබරගමුව පළාත් සභා මන්ත්‍රී ජගත් පල්ලියගුරු, ජාතික මට්ටමේ බොක්සිං ක්‍රීඩක ලහිරු, ජමල්ඩීන් වැනි ක්‍රීඩකයින්, කතරගම ප්‍රදේශයේ පාසල් ගුරුවරු, ව්‍යාපාරිකයන් මේ නාට්‍යය සාර්ථක කර ගැනීමට බොහෝ දායක වුණා. මේ අයට විශේෂයෙන් ස්තුති කළ යුතුයි.
‘පියවි’ ටෙලි නාට්‍යය රූ ගැන්වීමේදී අමතක නොවන අවස්ථා ඇති.ඒ ගැන මතක් කළොත්?
1988, 89 වකවානුවේ මෙරට භීෂණ කාලය පිළිබඳ රූගත කළේ කතරගම ප්‍රදේශයේ. හමුදා ඇඳුම් ඇඳ ගත් පිිරිස් ගමක තරුණයන් අල්ලා ගෙන යන දර්ශනයක් රූගත කළා. හමුදාව තරුණයෙක්ව අල්ලා ගෙන යනවා. ඊට පසුපස ගම්මු දුවගෙන යන දර්ශනය රූගත කරද්දී නාට්‍යයේ ප්‍රධාන නළුවා වන එරංග ජීවන්තගේ සරම කඩා වැටුණා. එතන සිටි ගම්මු හූ තිබ්බා. මමත් හූ තිබ්බා. දර්ශනය කරනවා කියල අමතක වුණා. එයින් සිදු වුණේ නැවත ඒ දර්ශනය රූගත කරන්න වුණ එකයි.
අනෙක් අවස්ථාව තමයි එරංග සහ ජමල්ඩීන් අතර බොක්සිං තරගය. එහිදී ජමල්ඩීන් එරංගට ගහපු පාරට ඇත්තටම සිහිය නැතිව ඇද වැටුණා. නාට්‍යයේදී ඔබ දකින්නේ ඒ සැබෑ දර්ශනයයි.
ස්තුති කළ යුතු අය ගැනත් යමක් කියමු නේද?
විනිල් මැණික් කහවත්ත අධිපති ඩබ්ලිව්. විනිල් මහතා, පුෂ්පකුමාර රාජගුරු, චන්ද දේශපි‍්‍රය, ශාන් කුමාර රත්නායක, ජනදාස පීරිස්, ජය ශ්‍රී සංගීත කණ්ඩායමේ රෝහිතට, තුෂානි බුළුමුල්ල, ලක් රුවන් ද සේරම්, ප්‍රවීණ රංගන ශිල්පීන් හා ආධුනික ශිල්පින්, පික්ස් ඇන්ඩ් වර්ඩ් සංස්කරණ මැදිරියේ සියලු තාක්ෂණ ශිල්පීන්ට මගේ නාට්‍යය සාර්ථක කර ගැනීමට දායක වූ සැමට ස්තුති කරන්න කැමැතියි.
ඉදිරි ගමන ගැන කතා බහ කරමු?
ප්‍රේ්ක්ෂකයෝ කියන විදිහට නම් මේ නාට්‍යය දෙකටම වැඩිය අමුතුම තාලේ කතාවක් ළඟදීම කරන්න බලාපොරොත්තු වෙනවා. රටවල් දෙකක් අතර චිත්‍රපටයක් කරන්න කටයුතු කරමින් ඉන්නේ. මෙයට හොඳ නිෂ්පාදකවරයකු සිටියොත් වැඩේ පහසු වෙනවා.

0 comments:

Post a Comment