උමාලි චරිතයට ජපානයේ ඉහළ ප්‍රතිචාර
සිනමාපටය ශාලා 201 ක ප්‍රදර්ශනයට
දැවැන්ත චිත්‍රපටයක ප්‍රධාන චරිතය
ජපානයේ තෝකියෝ නුවර නිනොන් සරසවියේ සිනමා අධ්‍යයනාංශයේ ආරාධිත මහාචාර්යවරයකු ලෙස සේවය කළ මා හට එහි අංශාධිපති මහාචාර්ය සයිතෝ මහතා අපූරු පණිවුඩයක් ගෙනාවේය.
මෙවර අපේ අධ්‍යයනාංශයට අයදුම් කළ තරුණ පිරිසේ අපූරුවට කැපී පෙණෙන ශ්‍රී ලාංකේය කියා කියන ලස්සන කළු කෙල්ලක් සිටිනවා. ඇය ගැන ඔබ දන්නවාද?
මොකක්ද නම . . .
උමාරී තිරොකරතොන සන්.
ඒ කියන්නේ සිංහල භාෂාවෙන් උමාලි තිලකරත්න. ඔව්, මට ඇය සිහිපත් විය ඒ අරුංගල් ටෙලි නිර්මාණයේ විශිෂ්ට රංගනයක යෙදුණු උමාලි තිලකරත්න විය යුතුය.
චීන, ජපන්, කොරියානු කහ පාට කෙල්ලො කොල්ලො අතරේ සුරූපී උමාලි නිල් මැණිකක් සේ කැපී පෙනෙන බව ඇය විශ්ව විද්‍යාලයට තෝරා ගත් මහාචාර්ය මන්සුෂිමා මහතා පැවසීය.
මෙතෙක් මෙම විශ්ව විද්‍යාලයේ සිනමා අධ්‍යයනාංශයේ අධ්‍යයන කටයුතු කළ එකම ශ්‍රී ලාංකිකයා මා වුණු බැවින් ඊළඟට සරසවියට පැමිණෙන උමාලි ගැන සතුටක් ඇති විය. ඇය ගැන නිර්දේශයක් ලියා දෙන්නැයි මහාචාර්ය සයිතෝ කළ ඉල්ලීම මම ඉතා ඉහළින් ඉටු කළෙමි.
ලෝකයේ විශ්ව විද්‍යාල අතර සිනමා කලාව හැදෑරීමට ඇති විශිෂ්ටතම අධ්‍යයන අංශයක ඇය සිනමා රංගනය පිළිබඳ දෙවන වසර සිසුවියක ලෙස කටයුතු ආරම්භ කළාය.
ඇයගේ තනියට එම සරසවියේම අධ්‍යයන කටයුතු කළ ‘සුසුරන්’ ටෙලි නිර්මාණයේ ‘මෝයි’ ගේ චරිතය රඟපෑ හීරගි නම් නිළිය මම ඇයට හඳුන්වා දුන්නෙමි.
උමාලි ආරම්භයේදීම නළු නිළියන් සිනමාවට හඳුන්වා දෙන අයි. එම්. ඕ. සමාගමට බැඳුණාය. වැඩි කලක් යන්නට පෙර මඑජිමා නළුවරණ කටයුතු කරන ජපන් මහතකු ඇය සොයා පැමිණියේය. උමාලිට ජපානයේ සිනමා පටයක ප්‍රධාන චරිත නිරූපණයට අවස්ථාව උදා වුණාය.
ඒ 2012 ජූනි 02 දින ජපානයේ විශාලතම සිනමා ශාලාව වන මිලනොෂා ඇතුළු සිනමා ශාලා 201 ක ප්‍රදර්ශන කටයුතු ආරම්භ කළ ‘ෆයිනල් ජජ්මන්ට්’ ට්ත්‍රපටයේය. මසකි හමාමොතො අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයේ ‘ ලීන්’ නමැති චරිතය පණ පෙවීම උමාලිගේ වගකීම විය. මියුරා කොතා රංගන ශිල්පියා සමඟ ඇයට රඟපෑමට ලැබුණු මෙම චිත්‍රපටය විශාල පිරිවැයක් දරා නිපදවන ලදී.
තෝකියෝවේ යෞවන යෞවනියන්ගේ පාරාදීසිය වන ෂිබුයා නගරය චිත්‍රපටයට කේන්ද්‍ර පසුබිම වෙයි. ඇතැම් දර්ශන ෆුකුෂිමා ප්‍රදේශයේ විශාල නිල් තිර මධ්‍යයේ ඉදිවුණු නිර්මිත පසුබිමක රූපගත කෙරුණේ කම්පියුටර් ග්‍රැෆික් තාක්ෂණය උපයෝගී කොටගෙන චිත්‍රපටය නිමැ වී ඇති බැවිනි.
සරසවිය පුවත්පතේ කර්තෘ අරුණ ගුණරත්න සහෘදයාණන් උමාලිගේ විස්තර ලියා දෙන්නැයි කළ ඉල්ලීමට අනුව මම උමාලිට දුරකථනයෙන් ජපානයට කතා කළෙමි.
‘මිනිස්සුන්ට තමන්ගේ ජීවිතයේ කරන කියන දේවල් ගැන නැවත නැවත සිතා බලන්නට මේ චිත්‍රපටය හේතු වෙනවා. මේ චිත්‍රපටය ඕනෑම මිනිසකුගේ යහපත් මානසික ආකල්ප වර්ධනයටත් ගුණාත්මක වශයෙන් හොඳ මිනිසකු බිහි කිරීමට හේතු වේවා.
ජපන් සමාජයේ නැති වී යන අන්‍යෝන්‍ය විශ්වාසය, ආදරය ගැන මෙහි කතා කෙරෙනවා. කොටින්ම කීවොත් මුළු ලෝකයම අවනත වන්නේ ආදරයට මිස බලයට නොවන දේශපාලනමය පැත්තකුත් මෙහි තිබෙනවා.
මිනිසා සකස් කිරීමට හේතු වූ ආගම පවා අද්‍යතන සමාජය භේද කිරීමට හේතු වී තිබෙනවා. නමුත් අනාගතයේදී සැමට පිහිට වන්නේ යුද්ධය නොව සාමයික ආදරය බව මෙහි පණිවිඩයයි.’
ලින් නමැති ඔත්තුකාරියගේ චරිතයට පණ පොවන උමාලි ඇයට ලැබුණු මේ අවස්ථාව ඉතා ගෞරවයෙන් සඳහන් කරන්නීය.
මෙම චිත්‍රපටය එහි නාමය වන ‘ෆයිනල් ජජ්මන්ට්’ නිසා කිතුණු සංකල්පයක් ලෙස හැගුණ ද බුදුන් වහන්සේ දේශනා කළ ධම්ම පදයේ එන ‘වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බවත් වෛරය සංසිඳීය හැක්කේ මෛත්‍රියෙන්’ යන බුදු වදන මෙම චිත්‍රපටයට පාදක වී ඇති බව මගේ අදහසයි.
ආදරය දෙදරා යාම නිසා දෙමාපිය දූ දරු, ගුරු සිසු, බාල මහලු සබඳතාවල මානුෂීය පදනම මුළුමනින්ම බිඳ වැටේ. සමාජයේ එකිනෙකා අතර ආදරය ගිලිහී යාමෙන් සමාජයේ අන්‍යෝන්‍ය විශ්වාසවන්තභාවය බිඳී යෑමෙන් මුළු සමාජයම බිඳ වැටීම මහත් ඛේදවාචකයකි.
රටවල් අතර හොඳ හිත පලුදු වීම නිසා යුදමය වාතාවරණයක් ඇති වීම නොවැලැක් විය හැක්කකි. නමුත් අනාගතය සඳහා එසේ නොවීමට මේ පශ්චාත් නුතන සමාජයට ඇති වගකීම වටහා දීමට ආදරය පිළිබඳ ගැඹුරු විග්‍රහයක් චිත්‍රපටයේ ඉදිරිපත් කෙරේ.
ආදරය මුළු මහත් විශ්වයටම පොදු උතුම් ගුණයක් ලෙස මෙහි ඉදිරිපත් වෙයි. ‘කින් මිරයි යොගෙන්’ හෙවත් ‘නුදුරු අනාගතයට අනාවැකියක්’ යන්න ‘ෆයිනල් ජජ්මන්ට්’ චිත්‍රපටයට තේමා වෙයි.
වෙනත් විදේශ බලවේගයකින් මුළු මහත් ජපානයම ආක්‍රමණය කරන බිහිසුණු සිදුවීමක් උපකල්පනය කරමින් චිත්‍රපටයේ ගොඩ නැඟීම සිදු වෙයි. 1912 ආරම්භ කළ ජපානයේ පැරැණිතම චිත්‍රපට බෙදා හැරීමේ සමාගමක් වන නික්කත්සූ සමාගම ඔවුන්ගේ වසර 100 ක සැමරුම ද මෙම චිත්‍රපටය බෙදා හැරීමත් සමඟ සිදු කිරීම ද විශේෂත්වයකි.
සීත සෘතුවක පුරා රූපගත කළ මෙම චිත්‍රපටයේදී ඉතා උසස් ගෞරවයට උමාලි පත් වූ බව ඇය ආඩම්බරයෙන් පැවසුවාය. මා හිතන්නේ ශ්‍රී ලංකාවේ නිළියක් විදේශ චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් රඟපෑ ප්‍රථම අවස්ථාව මෙය බවයි. එකම ආසියාවේ ඈත කෙළවරක ඇති ජපානය වැනි සුන්දර රටකදී රිදී තිරයෙන් ලෝකය දකින්නට හැකි වූ උමාලි නම් සුරූපිනියට අප සැමගේ ශුභාශිංසන පළ කරමු.
0 comments:
Post a Comment