----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

Lanka Art Chat Room - එන්න අපි කතා කරමු

නාට්‍යකරුවන් කියන තරම් සුන්දර නැහැ

Saturday, June 16, 2012

නාට්‍යකරුවන් කියන තරම් සුන්දර නැහැ


සිසිල් සමඟ උණුසුම් කතාබහක්




සිසිල් ගුණසේකර වරින් වර අපට හමු වන්නේ වේදිකාවේ පෙළහර පෑ අධ්‍යක්ෂවරයකු ලෙසිනි. විදෙස් රටක ජීවිතය ගෙවුවද ඔහු අපේ වේදිකාව අත් නොහළ බව සහතික වන්නේ මේ දිනවල ඔටුණු සමඟ නැවත සිසිල් වේදිකාවට ආදරය කිරීම හේතුවෙනි. හෙට ටවර් රඟහලෙන් ගමන් අරඹන ඔටුණු ගැනත් අපේ රටේ වේදිකා නාට්‍ය කලාව ගැනත් සිසිල් සමඟ කළ උණුසුම කතාබහකි මේ.
* කලකට පස්සේ ඔබ නැවත වේදිකාව සමඟ. එතැනින් මේ කතාබහ අරඹමු.
ඔව් . . . මම මෙවර ලංකාවට ආවේ ටෙලි නාට්‍යයක් කරනවා කියන අරමුණින්.
නමුත් අද ටෙලි නාට්‍ය පත් වෙලා තිබෙන තත්ත්වය දිහා බැලුවම එතනට වැටෙන්න මට හිත ඉඩ දුන්නේම නැහැ. ඒ නිසා නැවතත් සුපුරුදු පූජනීය වේදිකාවට ගොඩ වෙන්නට සැලසුම් කළා.
මම පිළිගන්නේ තවමත් මිනිස්සු කැමති සජීවී කියන දෙයට. සජීවී කියන කලාවේ තියෙන දේ වෙන කිසිම දෙයකින් සන්සිඳුවන්නට බැහැ.
මම ඩිජිටල් කියන තාක්ෂණය පිළිගන්නේ නැහැ. හැම දේම ඩිජිටල් වුණත් අපි ජීවත්වෙන්නේ සජීවි ලෝකයක. ඒ නිසාම නැවත වේදිකාවට ගොඩ වෙන්නට හිතුණා. ඒ අරමුණ ඇතුවයි ඔටුණු හැදුවෙ.
* ඔටුණු මොන වගේ තේමාවක් ගත් කතාවක්ද?
මේක අනුවර්තනයක්. නිවුන් සහෝදරයන් දෙදෙනකු සහ කාන්තාවක් අතර හට ගන්නා අවුලක් තමයි ඔටුණු තේමාව. පැය දෙකක් තිස්සේ වේදිකාවේ මේ අවුල නිරාකරණය කිරීම තමයි සිදු වන්නේ.
* අද වන විට එදාට සාපේක්ෂව ප්‍රේක්ෂකයා කාර්යය බහුලයි. ඔබ සිතනවද එදා වගේ අදත් ප්‍රේක්ෂකාගාරයට ඔබේ නිර්මාණය බලන්න සෙනඟ පිරේවි කියලා?
අද පමණක් නොවෙයි, එදත් ප්‍රේක්ෂකයා කාර්යය බහුල වෙලා හිටියා. නමුත් අපේ නිර්මාණ බලන්න රසිකයො පෝලිමේ ඇඳුණා.
හොඳ නිර්මාණවලට අදටත් අපේ රටේ හොඳ තැනක්, ඉල්ලුමක් තියෙනවා කියලා මං නොබියව කියනවා. මගේ නිර්මාණය ජනතාව අනිවාර්යයෙන්ම වැළඳ ගන්නවා කියලා විශ්වාසය අද වගේම හෙටත් මට තියෙනවා.
* අපේ රටේ රංග ශාලා ගැන සෑහීමට පත්වෙනවාද?
මට තිබෙන්නේ ඒ ගැන කණගාටුවක්. තවමත් අපේ රටේ රඟහල තිබෙන්නේ ඉතාමත් ඛේදනිය තත්ත්වයක. මේ පිළිබඳ වගකීම රටේ පාලන තන්ත්‍රයට දමන්න මං කැමැති නැහැ.
පාලන තන්ත්‍රයේ වගකිව යුතු නිලධාරීන් දැනුවත් කිරීම තුළින් අපට මේ ප්‍රශ්නයට සරල විසඳුමක් ලබා ගන්නට හැකි වේවි.
* මීට පෙර ග්‍රාමීය මට්ටමින් පාසල් ශාලා තුළ නාට්‍ය ප්‍රදර්ශනය කළ කාලයක් තිබුණා. අද නාට්‍යකරුවන් එවැනි දේ ගැන සිතන්නේ නැති බවක් පෙනෙනවා.
ඔව් . . . ඉස්සර අපි වහල තිබුණු ශාලා නැවත විවෘත කරලා පිරිසුදු කරලා නාට්‍ය පෙන්නුවා.
නමුත් අද ඒ කැපවීම නැහැ. ඔටුණු ඕනෑ තැනක පෙන්වන්න මං සූදානම්. මගේ අරමුණ ජනතාවට හොඳ සජීවි රසාස්වාදයක් ලබාදීමයි.
* අද නාට්‍ය පිළිබඳ බොහෝ ජනතාව දැනුවත් නැහැ?
ඒක හරි. එදා අපි ජනතාවට නාට්‍ය ගැන කිව්වේ බොක්කුවේ, කඩ පිල්, වත්තේ ගහපු පෝස්ටරෙන්. ඒත් අද ඒ දේ කරන්න බැහැ. මං උදාහරණයක් කියන්නම්.
මම ඔටුණු පෝස්ටර් කොළඹ දැන්වීම් පුවරුවල ඇලෙව්වා. ඉන් පස්සේ මං ටවුන්හෝල් එක ළඟට වෙලා පෝස්ටර් දිහා බලාගෙන හිටියේ මගේ මිතුරෙක් එනකල්. ඒ මොහොතේ ඇලවූ පොස්ටරය විනාඩි තුනෙන් මං ඉස්සරහම වැහුවා. සේල් එකකින් වෙළෙඳ භාණ්ඩයමක් ගැන තියෙන පෝස්ටරයකින් මගේ පෝස්ටරේ වැහුවනං දුක නැහැ. මගේ පෝස්ටරේ උඩින් ඇල වුණේ තවත් නාට්‍යයක පෝස්ටරයක්. මං ඒ උදවියට මං ගැන කිව්වා. ඒ වගේම ඒ පෝස්ටරයේ දැක්වෙන අධ්‍යක්ෂවරයාටත් කතා කරලා මේ වගේ අය පෝස්ටර් ගහන්න දාන්න එපා කියලත් කිව්වා.
මේකයි අද තත්ත්වය. ඉතිං කොහොමද ජනතාව දැනුවත් වෙන්නේ. අද නාට්‍යකරුවෝ සුන්දරයි කිව්වට සුන්දර නෑ.
* මේ රටාව වෙනස් කරන්න ඔබට බෑ.
ඔව්. මම ඒක දන්නවා. මම කියන්නේ පෝස්ටර් මාධ්‍යයට ප්‍රායෝගික ගැටලු තිබෙන නිසා නාට්‍යකරුවන්ට තමාගේ පණිවිඩය ගෙන යන්නට රූපවාහිනී නාලිකාවල සහනදායී මුදලට දැන්වීම් ප්‍රචාරයක් ලබා දිය යුතුයි කියලා.
අද ඇතැම් වේදිකා නාට්‍ය බිහි වන්නේ සම්මාන අරමුණු කොට ගෙන?
මොන සම්මානය ලැබුණත් ජනතාවගේ ප්‍රසාදය කියන සම්මානය නැතිනම් වැඩක් නැහැ. අනෙක මේ සම්මානවලට ලකුණු දෙන අය නාට්‍ය ගැන දන්නේ නැහැ. මං සම්මාන බලාපොරොත්තු වෙන්නෙත් නෑ. ගන්නෙත් නෑ.
* ඔබ ඔස්ටේ‍්‍රලියාවේත් කලා කටයුතුවලට සම්බන්ධ වෙනවාද?
ඔව්. පසුගිය කාලයේ මගේ මැන්ඩෙලා නාට්‍ය ඕස්ට්‍රේලියාවේ ප්‍රදර්ශනය වුණා.
ඔස්ට්‍රේලියාවේ කලා කටයුතුවලට සෘජුව දායකත්වය දක්වන Sydwest Multicultural Services කියන ආයතනයේ ඉල්ලීම පරිදි මම මැන්ඩෙලා යළි නිෂ්පාදනය කළා.
ඔස්ට්‍රේලියාවේ වෙසෙන විදෙස් නළු නිළියන් තමයි ඊට මම යොදා ගත්තේ. මේ නාට්‍ය බලල පැහැදුණු එම ආයතනය නගර මධ්‍යයේ මෙම නාට්‍ය ප්‍රදර්ශනය කිරීමට මට ආරාධනා කළා. නාට්‍ය පෙන්නුවේ ඉංග්‍රීසි භාෂාවෙන්. මැන්ඩෙලා හි කරන්නේ සුද්දන්ට බනින එක. මේක බලපු සුද්දෝ ඔවුන්ට බනිද්දි විසිල් ගහල හිනා වුණා. ඔවුන් මගේ නාට්‍යයේ විවේචන ඉතාමත් සුහදශීලීව බෙදා ගත්තා.
* බොහෝ විදේශගත වූ කලාකරුවන් අපේ නිර්මාණ හා ඒ ආශ්‍රිත පරිසරය සසඳන්නේ ඔවුන් ජීවත් වන දියුණු රටවල් සමඟයි.
මම තවම ජීවත් වන්නේ ලාංකිකයකු විදියට. ඒ නිසා ඒ බොරු මවාගත් චරිත මං ළඟ නැහැ.
ඔටුණු දායකත්වය ගැන කතා කරමු.
රොඩ්නි වර්ණකුල, මනීෂා නාමල්ගම, ප්‍රියන්ත සෙනවිරත්න, පියුමි බොතේජු, විශ්ව ලංකා, රෝහිත පෙරේරා සහ ෆර්නි රෝෂණී රංගනයෙන් දායක වෙනවා. ප්‍රේම් ජයන්ත කපුගේ අංග රචනයෙන්ද, ගීත සහ ඇඳුම් නිර්මාණයෙන් මගේ දුව ඩිල්කා සමන්මලීත්, නිෂ්පාදනයෙන් මගේ බිරිය විමලීන්ද්‍රී කුමාරිත්, නිෂ්පාදන කළමනාකරණයෙන් චන්දන කුමාරත්, නිෂ්පාදන සහායෙන් බොනී ද ලියනගේත් මේ සඳහා මට ශක්තිය සපයනවා.
* ඔබ නැවත යා යුතුයි. නාට්‍ය අතරමඟ කඩා වැටෙයිද?
නෑ . . . මං වැඩ කරන්නේ වගකීමෙන්. ඒ නිසා මේ නාට්‍ය මඟදී කඩා වැටෙන්නේ නැති බව සහතිකයි.
* මෙතැනින් පස්සේ මොකද වෙන්නේ?
මං ප්‍රාර්ථනා කරනවා මට ටෙලි නාට්‍යයක් කරන්න නොලැබේවායි කියලා. ඊළඟට හිත සිනමාවට.

0 comments:

Post a Comment