----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

ජනකරළියෙන් සහජීවනාත්මක නාට්‍ය සංස්‌කෘතියක අත්දැකීම් ලැබුවා

Tuesday, June 26, 2012

පරාක්‍රම නිරිඇල්ල


70 දශකයේ නාට්‍ය වේදිකාවට පිවිසෙන පරාක්‍රම නිරිඇල්ල සම්මානනීය වේදිකා නාට්‍ය ශිල්පියෙකි. සිනමා අධ්‍යක්‍ෂවරයෙකි. රූපවාහිනී ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂවරයෙකි. විකල්ප රංග භූමි අවකාශයක්‌ නිර්මාණය කරගැනීමේ ව්‍යායාමයක වර්තමානයේ ඔහු නියෑලී සිටි ඒ ජනකරළිය නාට්‍ය පර්ෂදය සමගිනි. වසර අටක පමණ දීර්ඝ වූ ඒ ගවේෂණ චාරිකාව පිළිබඳත් ඒ ඔස්‌සේ ජනකරළිය නාට්‍ය පර්ෂදය එක්‌රැස්‌ කරගත් අත්දැකීම් සම්භාරයත් වටමඬල හා බෙදා හදා ගැනීමටත් නිරිඇල්ලයෝ මෙසේ එක්‌වුහ.
"ජනකරළිය" නාට්‍ය සංකල්පයට ආභාසය ලැබෙන්නේ කෙසේද?

ජන කරළිය නාට්‍ය සංකල්පය අද ඊයෙ ඇතිවෙච්ච එකක්‌ නොවෙයි. හැත්තෑව දශකයේදී පමණ මෙහි මුල් බීජය ඇතිවෙන්නෙ. ඒ ආචාර්ය ගාමිණී හත්තොටුවේගමයන්ගේ වීදි නාට්‍ය කණ්‌ඩායමේ කටයුතු කරද්දී, හත්තොටුවේගමයන් මුල්වරට වීදි නාට්‍ය තුනක්‌ නිෂ්පාදනය කළා. මිනිහෙකුට එල්ලිලා මැරෙන්න බැරිද, බෝසත් කැපිල්ල, රජ දැක්‌ම මුල් වීදි නාට්‍ය තුන විවිධ අවකාශවල වේදිකාගත කළා. ශාලා වේදිකාවල, ප්‍රොසීනියම් වේදිකාවේ, කර්මාන්ත ශාලාවල එළිමහනෙ ගම්වල, කමත්වල, පන්සල්වල ආදී විවිධ තැන්වල වේදිකාගත කළා. මෙහිදී මා දුටු දෙයක්‌ එකම නාට්‍ය සමුච්චයක්‌ වේදිකාගත කිරීමට විවිධ තැන්වල රංග භූමියක්‌ සකසා ගැනීම. එහිදී මට නිරන්තරයෙන් ඇතිවුණු තර්කයක්‌ තිබුණා. ඒ රංග භූමිය තැනකට සීමා කළ හැකි එකක්‌ද? එය නම්‍යශීලීව වෙනස්‌ කරගත හැකි එකක්‌ නොවේද? යන්න. මා මේ අදහස හත්තොටුවේගමයන් සමගත් සාකච්ඡා කළා. අපි නාට්‍ය වැඩමුළු සඳහා පාසලකට ගිය අවස්‌ථාවලදී සිසුන්ගෙන් විමසා සිටි විට, නාට්‍ය පෙන්නන්නේ කෙසේද කියලා ඔවුන්ගෙන් ලැබෙන පිළිතුරු තමයි. "වේදිකාවේ" යන්න. එහෙත් සත්‍ය වශයෙන්ම නාට්‍ය පෙන්වන්නේ වේදිකාවේ නොවෙයි. රංග භූමියේයි. වේදිකාව රංග භූමියක්‌ බවට පත්කර ගැනීමයි, සිදුවෙන්නෙ. හත්තොටුවේගමයන් වීදි නාට්‍ය කණ්‌ඩායමක්‌ ගොඩනඟන්නෙම නාට්‍ය නරඹන්න අවස්‌ථාව නැති බොහෝ පිරිසක්‌ වෙත නාට්‍යය ගෙන යැම සඳහායි. ඒ සඳහායි විකල්ප රංග භූමි නිර්මාණය කර ගැනීම සිදු වුණේ. එහෙත් මට ඇතිවූ ගැටලුව විකල්ප රංග භූමි මත නාට්‍ය රඟදැක්‌වීමේදී එහි ගුණාත්මක බව කෙතෙක්‌ දුරට රැකෙනවාද යන්න. හැටේ - හැත්තෑවෙ දශකයේ සම්මත වේදිකාවේ වේදිකාගත වූ නාට්‍ය කලාත්මක අතින් ඉහළ ගුණයක්‌ රඳවා ගත් නාට්‍ය. ඒවායේ ලලිතකලාමය ගුණය, සෞන්දර්යාත්මක ගුණය, නාට්‍යමය ගුණය ඉහළ මට්‌ටමක පැවතුණා. එහෙත් අප රංගගත කළ වීදි නාට්‍ය තුළ ඒ ගුණය කෙතරම් දුරට පැවතුණාද? අප නාට්‍ය ප්‍රේක්‌ෂකයාට ගෙන යන්නේ කිසියම් දේශපාලන අත්දැකීමක්‌ පමණයි යන්නයි මගේ තර්කය වුණේ. මගේ "සෙක්‌කුව" නාට්‍ය කළේ මේ අභියෝගය ජය ගැනීමේ පර්යේෂණ වෑයමක්‌ ලෙස "සෙක්‌කුව" වීදි නාට්‍යයක්‌ ලෙස. රංගගත කරන්න ලැබුණෙ අවස්‌ථා පහයි. ප්‍රධානම ගැටලුව වුණේ රංග ශිල්පීන්ට, සංගීත ශිල්පීන්ට ගෙවීමක්‌ කිරීමට නොහැකි වීම, ඒ නිසා "සෙක්‌කුව" නාට්‍ය වීදි නාට්‍යයක්‌ ලෙස රංගගත කිරීම නවතා දමන්න සිදු වුණා. එහෙත් විකල්ප අවකාශ රංග භූමියක්‌ බවට පත්කර ගැනීම සාර්ථකයි කියන අදහස මට ඇතිවුණා. 1978 මගේ "සෙක්‌කුව" නාට්‍යය දැකලා ඉන්දියාවේ නාට්‍යකරුවකු වන හබීබ් තන්වීර් සංවිධානය කළ නාට්‍ය වැඩමුළුවකට සහභාගි වන්න මට අවස්‌ථාව ලැබුණා. ඉන්දියාවෙ රායිපූර්වල එය පැවැත්වුණේ. Asස්‌බ Cමකඑමර්ක Fදරමප දබ Deඩැකදචපැබඑ ආයතනය එය සංවිධානය කළේ. සෝමලතා සුබසිංහ, සිරිල් වික්‍රමගේ, කේ. එස්‌. ප්‍රනාන්දු වගේ ශිල්පීන් කිහිප දෙනෙක්‌ ලංකාවෙන් මාත් සමඟ සහභාගි වුණා. එහිදී මා දුටු දෙයක්‌ තමයි හබීබ් තන්වීර්¨ මා සොයන නාට්‍ය ආර පිළිබඳ විශාල අවබෝධයක්‌ සහිත පුද්ගලයෙක්‌ බව. ඔහු ජනනාට්‍යකරුවන් එකතුකරගෙන ඔවුන්ට වැඩමුළු පවත්වල ඔවුන් සම්බන්ධ කරගෙන නාට්‍ය නිර්මාණය කරනවා. ඔහුගේ ක්‍රමවේදය වූයේ ස්‌ථාවර පිටපතත් නොමැතිව අවස්‌ථාවෙන් අවස්‌ථාව පැහැදිලි කරමින් රංග ශිල්පීන් ලවා රංගනය ගොඩනැංවීම. පසුව එය පිරිපහදු කිරීම ඔහු අතින් සිදුකෙරුණා. ඔහු හැම විටම කියූ දෙයක්‌ තිබුණා. ඒá මට අවශ්‍ය නැහැ තවත් ජන නාට්‍යයක්‌ නිර්මාණය කරන්න. ජන නාට්‍ය සම්ප්‍රදායේ ශිල්පීන් යොදාගෙන සුසාධික නාට්‍ය නිර්මාණය කිරීමයි මට අවශ්‍ය. එවිට නිරායාසයෙන්ම ජන නාට්‍ය සම්ප්‍රදායේ ලක්‌ෂණ සහිත කලාත්මක නාට්‍ය නිෂ්පාදනය වේවි යන අදහසේa පිහිටායි ඔහු නාට්‍ය නිර්මාණය කළේ. එසේ නිර්මාණය කළ නාට්‍යයක්‌, "චරන්දාස්‌" එය එළිමහනේ බොහෝ විට රංගගත කළේ. ඒ ආකාරයට ජන නාට්‍ය ශිල්පීන් යොදා ගනිමින් ජන නාට්‍ය සම්ප්‍රදායේ ආභාසය ලබා ගනිමින් නිර්මාණය කළ "චරන්දාස්‌" නාට්‍යය 1983 එංගලන්තයේ "එඩින්බරෝ" නාට්‍ය උළෙලේ ඉහළම සම්මානය දිනා ගන්නවා. ඉන්දියාවේ එළිමහනෙ සකසාගත් රංග භූමි මත රංගගත කළ "චරන්දාස්‌" නාට්‍යය එඩින්බරෝ උළෙලේදී ප්‍රොසීනියම් වේදිකාවෙ රංග ගත කරලා ඉහළම සම්මානය දිනා ගන්නවා. එඩින්බරෝ වේදිකාවේදීත් චරන්දාස්‌ නාට්‍ය සඳහා විශේෂ රංග ආලෝක ප්‍රයෝග, වේදිකා සැලසුම් භාවිත නොකළ බව සඳහන් වෙනවා. මෙය මා සොයමින් සිටි "විකල්ප රංග භූමි" පර්යේෂණයට විශාල උත්තේජනයක්‌ සැපයුවා.

මෙම නාට්‍ය වැඩමුළුවට සම්බන්ධ වූ ජපන් නාට්‍ය ශිල්පීන් දෙදෙනෙක්‌ සිටියා. ඔවුන් ජපානයේ බ්ලැක්‌ ටෙන්ට්‌ (ඊක්‌ජන ඔeබඑ) නාට්‍ය කණ්‌ඩායමට අයත් ශිල්පීන්. ඔවුන්ගෙ ක්‍රමවේදය වුණේ කළු කූඩාරමක්‌ ආකාරයේ ජංගම ප්‍රොසීනියම් වේදිකාවත් උපයෝගි කරගෙන තැනින් තැනට සංචාරය කරමින් නාට්‍ය රංගගත කිරීම. මේ අත්දැකීම මම පුංචි කාලෙ අත්විඳපු "ටීටර් නාට්‍ය" සමඟ සම්බන්ධයි. මේ අත්දැකීම් දෙකත් සමඟ මට අවබෝධ වුණා මේ ආකෘතිය තමයි මා සොයමින් සිටින "විකල්ප රංග භූමි" ක්‍රමවේදය සමඟ කිට්‌ටුවෙන් සම්බන්ධ කරලා. පෙරළා ලංකාවට පැමිණි මම මේ පිළිබඳව වැඩිදුරටත් ගවේෂණය කරන්නට පටන් ගත්තා. ඒ ඔස්‌සේ මා තුළ වැඩෙමින් තිබූ "විකල්ප රංග භූමි" වැඩසටහනක්‌ 1999 ජාතික තරුණ සේවා සභාවට භාර දුන්නා. මම බලධාරීන්ට පැහැදිලිs කළා තරුණ සේවා සභාව යටතේ වෙනම තරුණ කණ්‌ඩායමක්‌ ලෙස කූඩාරම් වේදිකාවක්‌ භාරදී ඔවුන්ට එය පවත්වාගෙන යා හැකි බව. ආදායමක්‌ද උපයා ගනිමින් එය සංවර්ධනය කරගත හැකි ආකාරය. එහෙත් ඒ අවධියේ තරුණ සේවා සභාවේ අගහිඟකම් මත එය ක්‍රියාත්මක වූයේ නෑ. පසුව සංස්‌කෘතික අමාත්‍යංශයට ඉදිරිපත් කළා. යෝජනාවලියක්‌ ලෙස එවකට ඇමැතිව සිටි ලක්‍ෂ්මන් ජයකොඩි මහතා එය ඉතා ආශාවෙන් භාර ගත්තා. ඒ වගේම මෙම යෝජනාවලිය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන පවා වෙන්වුණා. අවසාන මොහොතෙදි ඇමැතිවරයා වෙනස්‌ වීමෙන් එම ව්‍යාපෘතිය අහෝසි වුණා. පසුව ආරංචි වුණා ඊට වෙන්කරපු මුදල්වලින් අමාත්‍යංශයට බස්‌ රථයක්‌ සහ තවත් වාහන මිලදී ගත් බව.

රාජ්‍ය අනුග්‍රහය යටතේ මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරගත නොහැකි බව මේ සිදුවීම හරහා මට අවබෝධ වුණා. ඒත් මගේ උත්සාහය අත්හරින්න මගේ සිත කැමැති වුණේ නෑ. එහි වගකීම මා මතට පවරා ගනිමින් උදුල බණ්‌ඩාර අවුසදහාමි මහතා ලවා ජංගම රංග භූමියේ සැලැස්‌මක්‌ අන්දවා ගත්තා. මගේ අරමුණු පැහැදිලි කිරීමෙන් පසු ඔහු ඒ කාර්ය මැනවින් කර දුන්නා. පසුව ඹීAෂD ආයතනයට ව්‍යාපෘති යෝජනාවක්‌ ලෙස එය ඉදිරිපත් කළා. ඔවුන් මේ වේදිකාවත් ආලෝක උපකරණත්, ශබ්ද පරිපාලන උපකරණත් අපට ලබා දුන්නා. එය ද්‍රව්‍යමය ආධාරයක්‌ ලෙසයි ලබාදුන්නෙ. පසුව නෙදර්ලන්තෙ හීබෝස්‌ ආයතනයට ඉදිරිපත් කළ යෝජනාවක්‌ පිළිගනිමින් බහු වාර්ගික නාට්‍ය කණ්‌ඩායමක්‌ නිර්මාණය කිරීම සහ ඔවුන්ගේ මූලික අවශ්‍යතා සපුරාදීමට අවශ්‍ය ආධාර ලබා දුන්නා. ඒ මූලික පහසුකම් යටතේ අපි "ජන කරළිය" නිර්මාණය කර ගත්තා. ඒ ඔස්‌සේ අපි මේ අටවෙනි අවුරුද්ද පහුකරමින් ඉන්නෙ. පසුගිය වසරේ දෙසැම්බර් වනවිට නාට්‍ය කණ්‌ඩායම පවත්වාගෙන යැම සඳහා ලැබුණු ආධාර නැවතුණා. අපිට ලැබුණු ආධාර මුදල් සියල්ලම වියදම් කළේ නැහැ. අපි දැනගෙන හිටියා කවදා හෝ ආධාර නවතින බව. ඒ නිසා ස්‌වයං පැවැත්මක්‌ ගොඩනගා ගැනීමට අවශ්‍ය ආදායම් උපයන මාර්ග ගණනාවක්‌ "ජන කරළිය" නාට්‍ය කණ්‌ඩායම ලෙස අප ආරම්භ කර තිබෙනවා. ප්‍රකාශන අංශය, වීඩියෝ නිෂ්පාදන අංශය ඒ අතරින් ප්‍රමුඛයි. ඒ නිසා තවත් කාලයක්‌ "ජන කරළිය" පවත්වාගෙන යන්න පුළුවන්.

වසර අටක පමණ කාලයක්‌ පුරා ප්‍රදේශ රැසක ජනකරළිය සමඟ ගතකළ දීර්ඝ නාට්‍ය චාරිකාවේදී ලාංකික නාට්‍ය ප්‍රේක්‍ෂක සංස්‌කෘතිය පිළිබඳ වෙනත් නාට්‍ය කරුවන්ට නොලැබුණු අද්දැකීම් සම්භාරයක්‌ ලැබෙන්න ඇති?

කෙටියෙන් කිව නොහැකි තරම් අද්දැකීම් සම්භාරයක්‌ ලැබුණා. එය කොතනින් පටන්ගෙන කොතනින් කියා නිමා කරන්නද සිතා ගත නොහැකි තරම්. මම කෙටියෙන් කියන්නම්. මූලිකව නාට්‍ය ශිල්පියා, ප්‍රේක්‍ෂකයා සහ සහජීවනාත්මක නාට්‍ය සංස්‌කෘතියක්‌ සම්බන්ධව අද්දැකීම් රැසක්‌ ලැබුණා. යුද්දෙන් පස්‌සෙ අපේ රට මුහුණදී සිටින ප්‍රධාන අභියෝගය වාර්ගික සහජීවනාත්මක සංස්‌කෘතියක්‌ ගොඩනගා ගන්නේ කෙසේද යන්න. එවන් සහජීවනාත්මක සංස්‌කෘතියක්‌ අත්‍යවශ්‍යයි. භෞතික දියුණුවක්‌ ලබාගන්න. එයට රුධිරය සපයන්නේ එවන් සංස්‌කෘතියක්‌ විසින්. එවන් සංස්‌කෘතියක්‌ නිර්මාණය කළ හැකිය යන්නට හොඳ උදාහරණයක්‌ ජන කරළිය.

වාර්ගික බෙදීම්වලට මුල්වූ භාෂා බාධකය ජය ගනිමින් සිංහල සහ දෙමළ භාෂා දෙකෙන්ම නාට්‍ය නිර්මාණය කරමින් ඒ ඔස්‌සේ භාෂා අවබෝධය හුවමාරු කරගත හැක්‌කේ කෙසේද යන්න ජන කරළිය යන්න අපිට අවබෝධ වුණා.

ජන කරළිය නාට්‍ය කණ්‌ඩායම තුළ විවිධ ප්‍රදේශවල ශිල්පීන් ඇතුළත් වෙනවා ඒ වගේම විවිධ ජන වර්ග ආගම් අදහන අය සිටිනවා. සමහර දෙමළ ශිල්පීන්ට ජන කරළියට සහභාගි වනවිට සිංහල වචන දෙක තුනකට වඩා වහරන්න පුළුවන් කමක්‌ තිබුණෙ නෑ. ඒවගේම සිංහල ශිල්පීන් බහුතරයක්‌ දෙමළ වචන කිහිපයකට වඩා දැන සිටියේ නැහැ. එහෙත් අද මේ දෙපිරිස භාෂා දෙකෙන්ම නාට්‍ය රංග ගත කරනවා. ඒ සඳහා අපි අනුගමනය කළේ සෘජුව භාෂාව ඉගැන්වීමේ ක්‍රමවේදයක්‌ නොවෙයි. නිර්මාණාත්මක ක්‍රියාකාරකම්, රංග ක්‍රීඩා ආදිය ඔස්‌සේ භාෂා ඥනය හුවමාරු වීමයි සිදුවුණේ.

එකට ජීවත් වෙමින් එකම ක්‍රියාකාරකමක නිරත වෙමින් සිටින බව භාෂාව අෙන්‍යාන්‍ය වශයෙන් හුවමාරු කර ගැනීමට සිදුවෙනවා. එය නිරායාසයෙන් සිදුවෙනවා.

අපි මුලින්ම නිර්මාණය කළේ "අන්දර මල්" නාට්‍ය එය දෙමළ බසින් රංග ගත කිරීම අභියෝගාත්මක කාර්යයක්‌ වුණා. එහෙත් සිංහල නාට්‍යයේ දෙමළ අයත් දෙමළ නාට්‍යයේ සිංහල අයත් රංග ශිල්පීන් ලෙස සහභාගිකර ගත්තා. එය සාර්ථක වුණා. පසුව චරන්දාස්‌ නාට්‍ය දෙමළ බසින් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව ඔවුන් තුළින්ම පැනනැගුණා. එහෙත් චරන්දාස්‌ දිගුනාට්‍ය නිසා එය අභියෝගාත්මක ක්‍රියාවක්‌ වුණා.

මා තරමක්‌ අවිශ්වාසයකින් සිටියේ. එහෙත් ජන කරළියේ ශිල්පීන් තුළින්ම චරන්දාස්‌ නාට්‍යය දෙමළ බසින් කරවූ කියන අදහස ඉදිරිපත් වුණේ. ඒ අභියෝගය ඔවුන් භාර ගත්තා. පසු දිනක මා උදේ පුහුණුවීම් කරන ස්‌ථානයට යනවිට දෙන්නා දෙන්නා එකතු වෙලා. (සිංහල ශිල්පීන් සහ දෙමළ ශිල්පීන්) අනෙක්‌ කෙනාට දෙබස්‌ උගන්වනවා. ඒ දර්ශනය මගෙ ජීවිතේ කිසිම දිනක අමතක නොවන දෙයක්‌. මගේ දැසට කඳුළු පිරුණා. වෙන දෙයක්‌ නිසා නොවෙයි මේ රටේ සිටින වාසනාවන්තම නාට්‍යකරුවා මමය කියන අදහස මට ඇතිවුණු නිසා. එය ඉතා ප්‍රියජනක උත්තේජනයක්‌ වුණා. එහි ප්‍රතිඵලය සිංහල චරන්දාස්‌ කෙනෙක්‌ වෙනුවට දෙමළ චරන්දාස්‌ කෙනෙක්‌ බිහිවීම, දෙමළ නළුවන් බිහිවුණා සිංහල නාට්‍යවල සිංහල නළුවන් බිහිවුණා දෙමළ නාට්‍යවල. එපමණක්‌ නොවෙයි පසුගිය වසරේ නාට්‍ය උළෙලේ මැටිකරත්තය නාට්‍ය සඳහා හොඳම සහාය නළුවා ලෙස සම්මාන දිනනවා දෙමළ නළුවෙක්‌. දෙමළ නාට්‍යයක හොඳම සහය නළුවා ලෙස සම්මාන දිනනවා සිංහල නළුවෙක්‌. ජන කරළියෙ අංග රචන ශිල්පියා දෙමළ සහ සිංහල නාට්‍ය අංශ දෙකේම හොඳම අංග රචනා ශිල්පියා ලෙස සම්මාන දිනා ගන්නවා. මේ ලංකාවෙ නාට්‍ය ඉතිහාසයේ පළමු වතාවට.

නාට්‍ය ප්‍රේක්‍ෂක සංස්‌කෘතිය පිළිබඳ අපට ලැබුණු අවබෝධයත් සුවිශේෂයි. උදාහරණයක්‌ විදියට යාපනේ අප ගතකළ කාලය තුළ ලැබුණු අද්දැකීම් හරිම සුවිශේෂයි. අපි යාපනේදී ජනකරළිය දර්ශන වාර දෙකක්‌ පවත්වන්න සැලසුම් කරගෙන හිටියෙ. පාසල් දර්ශනය උදේ 9.30 ටත් මහජන දර්ශනය සවස 6.30 ට. එහෙත් ඒ ප්‍රදේශයේ නිලධාරීන් අපට පැවසුවේ අවුරුදු තිස්‌ ගණනක්‌ තිස්‌සේ යාපනේ වැසියන් සියලු කලා සංස්‌කෘතික කටයුතුවලට සම්බන්ධ වුණේ දවල් කාලයේ බව. ඒ යුද්ධය හේතුවෙන් රාත්‍රියේ, ආරක්‍ෂක තත්ත්වය මත. මට ලොකු විශ්වාසයක්‌ තිබුණා යුද්ධය අවසන් වී ඇති බැවින් සවස්‌ කාලයේ ඔවුන් සම්බන්ධ වේවි යන්න. අනෙක්‌ අතින් උදේ පාසල් දර්ශනයට සිසුන් පැමිණීමත් සමග ඔවුන් සවස්‌ කාලයේ වැඩිහිටියන්ට නාට්‍ය බැලීම සඳහා පෙළැඹුමක්‌ ඇති කරන බව. කෙසේ නමුත් අපි මහජන දර්ශනය සවස 6.30 ට පැවැත්වූවා. පළමු දිනයේ සෑහීමකට පත්විය හැකි ප්‍රේක්‌ෂක පිරිසක්‌ පැමිණියා. තුන්වැනි දවස වනවිට මහජන දර්ශන දෙකක්‌ පැවැත්වීමට අපට සිදුවුණා. හැන්දැවේ ජනකරළිය තිබුණු ක්‍රීඩා පිටියට පිවිසෙන ඔවුන් 6.30 දර්ශනය සඳහා සහභාගි වන්නට නොහැකි වූවිට අසළ වාඩිලාගෙන වඩේ කමින් ඊළඟ දර්ශනය ආරම්භ වනතුරු සිටියා. මා හිතන්නෙ වසර තිස්‌ ගණනකට පසු ඔවුන් රාත්‍රි කාලයේ අත්විඳි සංස්‌කෘතික කලා කටයුත්ත එය වන්න ඇති. ඒ බව ඔවුන් අප සමඟ පවසා සිටියා.

පුත්තලමේදී ජනකරළිය ගත කළ අවධියේ අපට ලැබුණු අත්දැකීම් හරිම සුවිශේෂයි. එම ප්‍රදේශයේ බහුතරයක්‌ මුස්‌ලිම් ජනයා ජීවත් වෙන්නෙ. ඔවුන් විනෝද කටයුතුවල නොයෙදෙන, නාට්‍ය නොබලන පිරිසක්‌ ලෙසයි පොදු සම්මතය. එහෙත් පුත්තලමේදී ජන කරළියේ වැඩිම ප්‍රේක්‌ෂක පිරිස වුණේ මුස්‌ලිම් ජනයා. ඔවුන් අතුරින් බොහෝ දෙනෙක්‌ ජීවිතේ කවදාවත් නාට්‍ය නොබලපු අය. අපට ඔවුන්ට නාට්‍ය බලන ආකාරය කියා දෙන්නත් සිද්ධ වුණා. ඔවුන් නාට්‍යයේ සිනා උපදවන අවස්‌ථාවක්‌ පසුවූ විට ඒ පිළිබඳව ඔවුනොවුන් සාකච්ඡා කරන්න පටන්ගන්නවා. එහිදී ප්‍රේක්‌ෂකාගාරය නොසන්සුන් වෙනවා. නාට්‍ය ශිල්පීන් අපහසුවට පත් වෙනවා. ඒ නිසා අපට ඔවුන්ව දැනුවත් කරන්න සිද්ධ වුණා. මුලින් නාට්‍ය නරඹන්න පසුව අපත් එකතුවී නාට්‍ය පිළිබඳව සාකච්ඡා කරමු කියා ඔවුන් නාට්‍ය අවසන් වී ඒ ගැන කතා කරමින් රැඳී සිටියා. මම හිතන්නෙ ජීවිතේ කවදාවත් නාට්‍ය නොබලපු පිරිසක්‌ එක්‌ අත්දැකීමකින් එතරම් උනන්දු ජනක සහෘදයින් පිරිසක්‌ බවට පත්වීම පුදුම උපදවන අත්දැකීමක්‌.

ඒ විතරක්‌ නොවෙයි වර්තමානයේa ජනකරළිය ස්‌ථානගතවූ හෝමාගම ප්‍රදේශයේදී අප ලද අත්දැකීම් විශේෂයි. ඒ මුල් දින එක දෙකේදි අඩු ප්‍රේක්‌ෂක සහභාගිත්වයක්‌ තිබුණද පසුව දර්ශනවාරයකට ඇතුළත් කළ නොහැකි පිරිසක්‌ පැමිණියා. මේ අය වෙනදා රූපවාහිනිය ඉදිරියේ හරසුන් මෙගා නාට්‍ය නරඹපු පිරිස නොවිය හැකිද? වෙනත් සංස්‌කෘතික සෞන්දර්යයාත්මක අත්දැකීමක්‌ විඳීමේ අකැමැත්තෙන් මෙගා නාට්‍යවලට ඇබ්බැහිවූ පිරිසක්‌ ලෙස ඔවුන් තේරුම් ගැනීම වැරදි බව අවබෝධ වුණා. විකල්ප හරවත් අවස්‌ථා නොදී ඔවුන් රූපවාහිනිය දෙසට තල්ලු කිරීමයි අද වෙන්නෙ. හෝමාගමට හොඳ තියටර් එකක්‌ නෑ. නාට්‍ය එන්නෙ නෑ. ඉතින් හෝමාගම ජනයා අතර නාට්‍ය සංස්‌කෘතියක්‌ නොමැතිවීම අසාධාරණද? ලංකාවෙ අනෙක්‌ ප්‍රදේශවල තත්ත්වයත් මීට නොදෙවෙනියි.

ලංකාවෙ වේදිකා නාට්‍ය සංස්‌කෘතිය පිළිබඳ ලැබුණු මේ අවබෝධයත් සමඟ "ජනකරළිය" නාට්‍ය පර්ෂදය ඉදිරියට තබන්නට අපේක්‌ෂා කරන පියවර කුමක්‌ද?

ජනකරළියේ මීළඟ අභිප්‍රාය "නාට්‍ය පර්යේෂණ ආයතනයක්‌" නිර්මාණය කර ගැනීම. ඒ සඳහා මූලික අඩිතාලම සකස්‌ කරගනිමිනුයි අපි ඉන්නෙ. ජනකරළිය සමඟ ගෙවපු අවුරුදු අටක කාලය තුළ මම පෞද්ගලිකවත් කණ්‌ඩායමක්‌ ලෙසත් ලත් අත්දැකීම් ප්‍රකාශයට පත් කිරීමේ අපේක්‌ෂාවක්‌ තිබෙනවා. එය අලුත් නාට්‍ය කරුවන් සඳහා ප්‍රයෝජනවත් වේවි කියා මා සිතනවා. ඒ නාට්‍ය ශාලිකාවක්‌ ගොඩනගා ගැනීමේ කටයුත්තටත් "ජනකරළිය" අතගසා තිබෙනවා. අනුරාධපුර නගර සභාවෙන් බද්දට ගත් ස්‌ථානයක ඒ කටයුත්ත සිදුකරන්න සැලසුම් කර තිබෙනවා. රංග භූමිය පමණක්‌ ස්‌ථාවර වූ එහි ප්‍රේක්‌ෂකාගාරය නාට්‍යයෙන් නාට්‍යයට අවශ්‍ය ආකාරයට වෙනස්‌ කරගත හැකි ආකාරයේ නම්‍යශීලී රංග ශාලිකාවක්‌.

60 දශකයේ පමණ නාට්‍ය වේදිකාවට පා තබමින්, ජනකරළියත් සමඟ දීර්ඝ නාට්‍ය චාරිකාවක නිමග්නවූ ඔබට ලංකාව තුළ සුසාදිත වේදිකා නාට්‍ය සංස්‌කෘතියක්‌ ගොඩනැංවීම සඳහා කළ හැකි යෝජනා මොනවාද?

නාලන්ද මෙන්ඩිස්‌ගෙ "නාට්‍ය උත්සව" කෘතිය පෙරළා බැලුවිට එහි 1959 සිට නාට්‍ය උත්සව පිළිබඳ විස්‌තර ඇතුළත් වෙනවා. ඒ හැම උත්සවයකදීම නාට්‍යකරුවො කළ යෝජනා ඇතුළත් වෙනවා. කිසිම දවසක කිසිම රජයකින් ඒ කිසිවක්‌ ලැබී නෑ. නාට්‍යකරුවෝ හෝ ප්‍රේක්‌ෂකයෝ විශ්වාස කරනවා නම් කවුරුන් හෝ අපට නාට්‍ය සංස්‌කෘතියක්‌ බිහිකර දෙයි කියා එය ලොකුම මුලාවක්‌. නාට්‍යකරුවන් සහ ප්‍රේක්‌ෂකයන් විසින් නාට්‍ය සංස්‌කෘතියක්‌ ගොඩ නගාගැනීම සිදු කළ යුතුයි. පළමුව නාට්‍යකරුවන්ට ඒ සඳහා උවමනාවක්‌, කැක්‌කුමක්‌ තිබිය යුතුයි. වේදිකාවෙන් ඉපදිලා තම ආත්මය විකුණන් කන අවස්‌ථාවාදීන් පිරිසක්‌ නාට්‍යකරුවන් වන තාක්‌ කල් නාට්‍ය කලාවට සෙතක්‌ වෙන්නෙ නෑ. මේ සඳහා අපට ඉන්දියාවෙන් ගත හැකි ආදර්ශ බොහෝමයි. 1962 ඉන්දියාවෙ සියලුම නාට්‍ය ශිල්පීන් ඒකරාශී වෙලා නවදිල්ලි නගරයේ "ජාතික නාට්‍ය පාසල" ආරම්භ වෙන්නෙ, එය විශ්වවිද්‍යාලයක්‌. එහි ඉගනගන්න පිරිස සියලුම ප්‍රාන්තවලට විසිරිලා ගිහිල්ලා ඒ ප්‍රාන්ත තුළ නාට්‍ය පාසල් බිහිකරනවා. ඒ ඔස්‌සේ තවත් සිය ගණනක්‌ නාට්‍ය ශිල්පීන් බිහිවෙනවා. ඔවුන් අතින් නාට්‍ය දහස්‌ ගණනක්‌ නිර්මාණය වෙනවා. ඔවුන් සියලු දෙනාම සෑම අවුරුද්දකම ජනවාරි මාසෙ නවදිල්ලි නුවර පවත්වන ජාත්‍යන්තර නාට්‍ය උළෙලේදී මුණගැසෙනවා. නාට්‍ය ශිල්පීන් ඒකරාශීවීමෙන් පිහිටුවාගත් සංවිධානයකට ඒ තරම් දුරක්‌ යා හැකිය.


සංවාදය විචිත්‍ර වනිගනෙත්ති
Divayina

0 comments:

Post a Comment