----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

Lanka Art Chat Room - එන්න අපි කතා කරමු

ඔයත් මං වගේ පූස් පැටියන්ට ආසයි නේද?

Thursday, April 28, 2011

මම තැපැල්හලට යමින් සිටියෙමි.

දැරියක් බළල් පැටවකු අත දරා පාර අයිනේ සිටියා ය.

’අනේ මේ පැටිය අරං යන්ඩ!’ ඇය මඟ යන එන්නන්ගෙන් ඉල්ලා සිටියා ය.

කවුරුත් ඇය දෙස බලා, ඇගේ බස ගණන් නොගෙන ම තම ගමන යන්නට වූහ.

’අනේ මේ පැටිය අරං යන්ඩ!’

ඇය මගෙන් ද ඉල්ලීම කළා ය.

මම නැවති ඇගෙන් තොරතුරු විමසිමි.

’අනේ නැන්දෙ, මම පූස් පැටියන්ට හරිම ආදරෙයි. ඒ හින්දයි මං මේ පැටියව දුර ඉඳල ගෙදර අරං ආවෙ. ඒත් අම්ම කියනව, “එපා. උගෙ නැට්ට කැතයි” කියල. අනේ නැන්දෙ මේ සතාව ඔයා අරං යන්ඩ’

ඇය බළල් පැටවා මට දිගු කළා ය.

මම බළල් පැටවාගේ වල්ගය දෙස විමසිල්ලෙන් බැලීමි. කතාව ඇත්තකි. උගේ වල්ගය අගින් දෙකට බෙදී තිබේ. හරියට පියරු මලක් මෙනි.

අහිංසක දැරියගේ ඉල්ලීමට පිටු නොපෑ හැකිය. ඒ ඇරත්, බළල් පැටවාට මගේ හිත ගියේ ය.

එතැන් පටන් ඒ බළල් පැටවා අපේ ගෙදර සුරතලා බවට පත්වූයේ ය. කෙමෙන් ඌ ලොකු මහත් වූයේ සිත් අලවනසුලු සුන්දරත්වයක් උරුම කර ගනිමිනි.

තරුණ වියට එළඹි මේ හුරතලා දිනක් හිටිහැටියේ ම අතුරුදහන් වූයේ ය. සොයා බැලුව ද හමු නොවීය. මට දැනුණේ පාළුවකි. උගේ කෝප්පය හා පිඟාන නෙත ගැටෙන විට හිතට ශෝකයක් එන බැවින් මම ඒවා නොපෙනෙන තැනක සැඟවූයෙමි.

සති කිහිපයක් ගෙවී ගියේය.

රැයක බළල් හුරතලාගේ හඬ ඇසිණ. මම දොර හැරියෙමි. ඌ මා දෙපයේ ඇතිල්ලෙන්නට වූයේය. ඌ කියන කතාව මට නොතේරිණ.

කෝප්පය හා පිඟාන යළි එළියට ගන්නට කාලය ආවේය.

බළල් හුරතලා යාබද ගෙදරක බළල් හුරතලියක හා පෙමින් වෙළී ඇති බව මට වැටහිණ.

විටෙක ඌ වත්ත පහළට ගොස් යාබද නිවසෙහි වෙසෙන බළල් හුරතලිය අමතයි. එවිට ඇය ඔහු වෙත දිව එන්නීය. දෙදෙනා මුහුණට මුහුණ ළං කරගෙන මොන මොනවාදෝ කියා ගනිති.

බළල් හුරතලිය මවක වන ලකුණු පහළ වී ඇති බව පසුදිනෙකදී මට වැටහිණ.

දවසක් රෑ වැස්සේ ය. මම කුටියෙහි පියන් පතක් පමණක් විවර කොට පොතක් කියවමින් සිටියෙමි.

කළු පැහැති සතෙක් කටින් යමක් ඩැහැගෙන කවුළුවෙන් කුටියට වැදී යහන යට සැඟවෙනු මට පෙනිණ. මම විදුලි පන්දම ගෙන එල්ල කළෙමි. කාරණය මට පසක් විය. බළල් හුරතලිය මවක වී සිටී. ඇය පැටවා ද රැගෙන පියා ගේ නිවසට ම පැමිණ ඇත.

මම පරණ තුවායක් ගෙන තෙමී සිටි පැටවා ද මව ද පිසදැමීමි. අනතුරු ව කාඩ්බෝඩ් පෙට්ටියක් සොයාගෙනැ’විත් දෙදෙනාට සුව පහසුව සැලසීමි.

මම මවට කෑම ටිකක් දුනිමි. ඇය වගේ වගක් නැතිව අඩවන් දෑසින් බලා සිටියා ය. පැටවා ඇගේ කුසට පයින් අනිමින් කිරි උරා බොමින් සිටියේ ය. ඇය ඔහු තුරුලු කොටගෙන මවු සෙනෙහස විඳින්නීය. ඉතින් ඇයට මොන කෑමක් ද?

කෙටි කලක් ගතවිය.

බළල් පියා, මව සහ දියණිය සතුටින් විසූහ.

බළල් පියා දැන් ඉස්සර මෙන් පිඟානේ කෑම සියල්ල ගිල නොදමයි. ඌ කන්නේ බාගයකි. ඉන්පසු ඌ අමුතු හඬක් නංවයි.එවිට බළල් බිරිය පැමිණ සැමියා ඉතිරි කළ කොටස මහත් කැමැත්තකින් කා දමා තම මුහුණ සැමියාගේ මුහුණට ළං කරගෙන සිටින්නී ය.

විටෙක මට එදා බළල් පැටවා දුන් දැරිය සිහිපත් වෙයි. ඇය කොතැනක සිටිනවා දැයි නොදනිමි. ඇතැම් විට තැපැල් කන්තෝරු පාරේ දී ඇය අහම්බෙන් මුණගැසෙනු ඇති. එවිට මම ආරංචිය දෙමි.

’අනේ නැන්දෙ මටත් ආසයි බලන්ඩ! ඔයත් මං වගේ පූස් පැටියන්ට ආසයි නේද?’ ඇය එසේ කියනු ඇත.

ඇගේ මුහුණේ පිපෙන සතුට මට විඳගත හැකි ය.

සොබාදහම අපට කෙතරම් සුන්දර දේ දී තිබේ ද? විමසුම් ඇසත්, මැදිහත් සිතත්, අවබෝධයත් ඇත්නම් අපට ඒවායේ මිහිර විඳගත හැකිය.

Copy Rights - Silumina

2 comments:

අනේ!!!!!!..මට වෙන කියන්න දෙයක් නැ!!

මලිති said...

මමත් ආසයි... මගේ පූස් පැටියත් අසනීප වෙලා නැති උනා මට :(

Post a Comment