මහරජ ගැමුණු නවකතාව තුළ මා භවිෂ්‍යත් විදර්ශනාවක් දකිනවා
ආචාර්ය ගුණදාස අමරසේකර
ඓතිහාසික නවකතාව අපට හුරු පුරුදු සාහිත්‍යාංගයක්. ගිය සියවසේ සිව්වන සහ පස්‌වන දශක තුළ එය ඉතා ජනප්‍රිය සාහිත්‍යාංගයක්‌ව පැවැති බව අපි දන්නවා. ඩබ්ලිව්. ඒ සිල්වා මහතා අතින් විජයබා කොල්ලය, අවිචාර සමය ආදී වූ කෘති නිර්මාණය වූයේ මේ යුගයේදී. මාර්ටින් වික්‍රමසිංහ අතින් අතිශයින් ජනප්‍රිය වූ "රෝහිණී" නවකතාව ලියෑවුණේ මේ යුගයේදී. හේමපාල මුණිදාස අතිනුත් මේ අවධියේ ඓතිහාසික නවකතා ලියෑවුණු බවයි මගේ වැටහීම. මේ යුගයේදී මේ දශක දෙක තුළ මෙවැනි ඓතිහාසික නවකතා ලියෑවුණේ කුමන හේතුවක් නිසාද යන්න අප විසින් සොයා බැලිය යුතුයි. එයට නියත හේතුවක් තිබෙනවා. ඒ අවධියේදී තමයි නිදහසට පෙර පැවැති අපගේ ජාතික සටන කිසියම් උච්ච අවස්‌ථාවකට පත්ව තිබුණේ. අනගාරික ධර්මපාලතුමා විසින් ගිය සියවසේ මුල් දශකයේ ඒ ආරම්භ කළ ජාතික සටන තාවකාලිකව යටපත් වී ගොස් යළි මතු වුණේ මේ සිව්වන හා පස්‌වන දශකයේදීයි. එසේ මතුවුණු ජාතික සටනේ ප්‍රතිඵලයක් වශයෙනුයි 56 දේශපාලන විපල්වය සිදුවුණේ. ඒ ජාතික සටනේදී ජනතාවගේ ජාතික විඥනය පුබුදු කිරීමට ඉහතින් සඳහන් කළ නවකතාකරුවන් විශාල සේවයක් කළ බව අප විසින් පිළිගත යුතුයි.
ජයන්ත චන්ද්‍රසිරි
මේ නයින් බලනවිට ඒ ජාතික සටනේ තෙවන අවස්‌ථාව සනිටුහන් කරන වත්මන තුළ ජයන්ත චන්ද්‍රසිරිගේ "මහරජ ගැමුණු" යන මේ නවකතාව බිහිවීම අපට අවබෝධ කරගත හැකියි. ඒ අතින් බැලුවම මේ නවකතාව යුගයේ ඉල්ලීම උඩ බිහිවූ නිර්මාණයක් ලෙස සලකන්නට පුළුවන්.
මේ නවකතාව ගැන කතා කිරීමට පළමු නවකතාවත්, ඉතිහාසයත් ඒ දෙක අතර ඇති සමානත්වයත් එමෙන්ම වෙනසත් ගැන කරුණු කීපයක් සඳහන් කළොත් ප්‍රයෝජනවත් වෙතියි සිතනවා. විශේෂයෙන්ම නවකතා නමින් බාලයන්ගේ මනසේ බිහිවන කල්පිතය, "කෙප්ප", සම්මානයෙන් පිදෙනු ලබන මේ යුගයේදී එවැනි අදහස් දැක්‌වීමක් ප්‍රයෝජනවත් වෙන්නට පුළුවන්.
හැම නවකතාවක්‌ම මූලික වශයෙන් ඓතිහාසික වාර්තාවක්‌ය කියන්න පුළුවන්. සමාජ ඓතිහාසික ලේඛනයක්‌ය කියන්න පුළුවන්. ජයන්ත චන්ද්‍රසිරිගේ මේ නවකතාව ක්‍රිස්‌තු පූර්ව පළමු වෙනි සියවසේ අනුරාධපුරය ආශ්‍රිත ඓතිහාසික වාර්තාවක් වන්නා සේම මාර්ටින් වික්‍රමසිංහගේ ගම්පෙරළිය දහනව වන සියවසේ ලංකාවේ දකුණු පළාත පිළිබඳ ඓතිහාසික වාර්තාවක් වෙනවා. මේ නිර්මාණ දෙකටම නියත දේශයක්, නියත කාල වකවානුවක්, නියත ඓතිහාසික පසුබිමක් ඇති බව අපට පෙනෙනවා.
මෙය නවකතාව පිළිබඳ මූලික ලක්‍ෂණයක්. නවකතාව යනු නියත ඓතිහාසික සමාජ ගර්භාෂයක් තුළ බිහිවන්නක්. එසේ නැතිව අවකාශයක් තුළ එසේ නැත්නම් කිසිවකුගේ මනෝ ලෝකයක් තුළ බිහි වන්නක් නොවෙයි. ඕපපාතික මනස් පුතෙකු නොවෙයි.
මේ කාරණය මා අවධාරණය කළේ අද මේ රටේ නවකතා නමින් බිහිවන ඊනියා සම්මානවලට පාත්‍රවන නවකතා සලකා බලායි. මේවා ඇත්ත වශයෙන් හැඳින්විය යුත්තේ නවකතා නමින් නොව කල්පිත කතා නැත්නම් "කෙප්ප" ලෙසයි. මෙය මගේ හිතේ, අප පේරාදෙණි නවකතාවෙන් ලබාගත් දායාදයක්. එයට මුල් වූයේ සරච්චන්ද්‍රයන් ගේ චින්තනය ය කියා මා හිතනවා. මොකද සරච්චන්ද්‍රයන් නවකතාව දුටුවේ ඓතිහාසිකය සමාජ සත්තාව නමැති ගර්භාෂය තුළින් බිහිවන්නක් ලෙස නොවෙයි. නවකතාවක ඇති සමාජ ඓතිහාසික තොරතුරු ඔහු දුටුවේ පාඨක විශ්වාසනීයත්වය දිනා ගැනීම සඳහා යොදාගනු ලබන බාහිර ආලේපයක් ලෙසයි. ඔහු පියදාස සිරිසේන නොවැදගත් නවකතාකරුවකු ලෙස බැහැර කළේ මේ විශ්වාසනීයත්වය නමැති කෝදුවෙන් මැන බලායි. මේ හානිකර පේරාදෙණි උරුමයෙන් ගැලවීමට අපේ නවකතාකරුවනුත්, විචාරකයනුත් තවම සමත් වී ඇති බවක් පෙනෙන්නට නැත. මේ තත්ත්වය ස්‌ථාපිත වීමට තවත් හේතුවක් තමයි පසුගිය ලෝක යුද්ධ දෙක අතර කාලය තුළ මෙන්ම දැනුත් බටහිර ලෝකය තුළ බිහිවන නවකතා, බටහිර තුළ බිහිවූ මේ නවකතාව මේ යුගය තුළ බටහිර වසා පැතිරුණු ධනවාදයේ ප්‍රතිඵලයක් ලෙස සලකන්න පුළුවන්. ඒ ධනවාදයේ පැවැත්මට අවශ්‍ය වූයේ "පුද්ගලවාදය" (ෂබාසඩසාමකසිප) ඒ ධනවාදය තුළ වැසුණු සාහිත්‍යකරුවන් අතින් සිදුවූයේ මේ "පුද්ගලවාදයට" ආවැඩීමයි. මේ ධනවාදී සමාජය තුළ වැඩුණු පුද්ගලයා ධනවාදයේ ප්‍රතිඵලයක් ලෙස නොව සමාජයෙන් විනිර්මුක්‌ත වූ සමාජය ඉක්‌මවා සිටීමේ ශක්‌තිය ඇති පුද්ගලයකු ලෙස නිරූපණය කිරීමටයි මේ සාහිත්‍යකරුවන් තැත් කළේ. මේ යුගයේ බිහිවූ කාµaකා, ලොරන්ස්, කැමූ, ජීඩ් ආදී නවකතාකරුවන් අතින් සිදුවූයේ මෙයයි. ඒ නවකතාකරුවන් ධනවාදී සමාජය විසින් ශේ්‍රෂ්ඨ සාහිත්‍යකරුවන්, දාර්ශනිකයන්, චින්තනකයන් ලෙස හුවා දැක්‌වීම අපට අවබෝධ කරගන්නට පුළුවන්. අද වන විට මේ තත්ත්වය පෙරටත් වඩා දරුණු වී ඇති බවයි මගේ වැටහීම. අද පශ්චාත් නූතනවාදය හමුවේ නවකතා පුද්ගලවාදය කේන්ද්‍ර කොටගත් සමාජය ඉතිහාසය නොතකා හරින නිර්මාණයක් වී ඇතුවා පමණක් නොව නවකතාවේ ස්‌වභාවය ද අභියෝගයට ලක් කරන තත්ත්වයක් උදාවී තිබෙනවා. එයට ඇති හොඳම උදාහරණය තමයි මිලාන් කුන්දීරා විසින් ලියා ඇති මේ රටේ ඉන්නා දීන අනුකාරකයන් විසින් ද පුදනු ලබන .ඔයෑ aරඑ දෙ එයෑ භදඩැක. නමැති කෙප්පය. ඒ කෙප්පය නිරුවත්කර එළි දැක්‌වීමේ සමත් විචාරකයන් අද බටහිර ලොව තුළ නැත. අද බටහිර විචාරකයන් වශයෙන් ඉන්නේ මහාචාර්ය ග්‍රැහම් හµa (ඨර්ය්ප Hදමටය) දක්‌වා ඇති පරිදි පොත් වෙළෙන්දන් විසින් පෝෂණය කරනු ලබන µqල් බ්‍රයිට් මහාචාර්යවරුනුයි. මේ µqල් බ්‍රයිට් මහාචාර්යවරුන් පිරිසක් ලොවට මුදා හැරියොත් ඕනෑම තුට්‌ටු දෙකේ නවකතාකරුවකු ටොල්ස්‌ටෝයි කෙනකු ඩෙස්‌ටර්වස්‌කි කෙනකු කළ හැකි යෑයි ග්‍රැහැම් හµa පැවැසුවේ මෙයට විසි වසකට පෙරයි. අද සිදුවෙමින් පවතින්නේ මෙයයි.
මේ දීර්ඝ විස්‌තරයෙන් මා හෙළි කිරීමට තැත් කළේ නවකතාව නමැති සාහිත්‍යාංගය ඓතිහාසික සමාජ සත්තාව පදනම් කරගත් ඒ ගර්භාසය තුළින් බිහිවන නිර්මාණයක් බවයි. වෙන වචනයෙන් කියනව නම් නවකතාව නිවැරදි ඓතිහාසික ලේඛනයක් විය යුතුයි. එය ඓතිහාසික සමාජ සත්තාව බොරු නොකරන නිර්මාණයක් විය යුතුයි.
මෙහිදී ඔබ තුළ ප්‍රශ්නයක් මතුවන්න පුළුවන්. නවකතාව නිවැරදි ඓතිහාසික ලේඛනයක් නම් කුමකට ද අපි නවකතා කියවන්නේ? ඉතිහාස ග්‍රන්ථ කියෙව්වාම ප්‍රමාණවත් නොවේද? ඉතිහාසඥයන් ගෙන් විනා නවකතාකරුවන්ගෙන් වැඩක් ඇද්ද?
මෙයට පිළිතුරු සැපයීමට නම් අපි ඉතිහාසයත් නවකතාවත් අතර ඇති සමානත්වය දකින අතරම ඒ දෙක අතර ඇති වෙනසක් දැකගත යුතුයි. නවකතාකරුවා ඉතිහාසඥයා ගෙන් වෙනස් වන්නේ කෙසේද කියා දැකගත යුතුයි.
නවකතාකරුවා දෙයාකාරයකින් ඉතිහාසඥයා ගෙන් වෙනස් වෙනවා. මේ දෙදෙනා ඉතිහාසය දෙස බලන ආකාරය සහ ඉතිහාසයට දෙන අර්ථ කථනය උඩයි මේ වෙනස ර¹ පවතින්නේ.
ඉතිහාසඥයා ඉතිහාසය දෙස බලන්නේ එදා පැවැති තත්ත්වය ඒ සමාජය ඒ යුගය තුළ සිටගෙනයි. ඒ යුගයෙන් ඒ තත්ත්වයෙන් බැහැරව සිටගෙන නොවේ, වර්තමානයේ සිටගෙන නොවෙයි. නවකතාකරුවා ඉතිහාසය දෙස බලන්නේ එයට හාත්පසින් වෙනස් ස්‌ථාවරයක තැනක ඉඳගෙනයි. නවකතාකරවා ඉතිහාසය දෙස බලන්නේ වර්තමානයේ සිටගෙනයි. ජයන්ත චන්ද්‍රසිරිගේ මේ නවකතාව එයට කදිම උදාහරණයක්.
ජයන්ත චන්ද්‍රසිරි ඒ ගැමුණු යුගය දෙස බලන්නේ අද අප මුහුණ දෙන වර්තමානයේ සිටගෙනයි. වර්තමානය නමැති කණ්‌ණාඩිය තුළිනුයි ඔහු ඒ දෙස බලන්නේ. කොටින් කියතොත් පසුගිය කාලය තුළ අප ගොදුරු කරගත් ප්‍රභාකරන් ගේ මිලේච්ඡ ත්‍රස්‌තවාදය මේ රට තුළ නොතිබෙන්නට චන්ද්‍රසිරි අතින් මෙය නොලියවෙන්නට ඉඩ තිබුණාය කියා මට හිතෙනවා. ජයන්ත චන්ද්‍රසිරි ඓතිහාසික සමාජ සත්තාව බොරු නොකර ආරක්‍ෂා කරන අතරම අපගේ වර්තමානය ඒ මතට ආරූඪ කර ඇතැයි කිසිවකුට පෙනී ගියහොත් එය සාධාරණයි.
නවකතාකරුවා ඉතිහාසඥයා ගෙන් වෙනස් වන දෙවන කරුණ නම් ඔහු ඓතිහාසික සමාජ සත්තාව මුල් කරගෙන ඉදිරිපත් කරන අර්ථ කථනයයි. ඉතිහාසඥයා එහෙම අර්ථ කථනයක් දීමට තැත්කරන පුද්ගලයෙක් නොවෙයි. ඔහු කිසියම් අර්ථ කථනයක් දීමට තැත් කළත් එය බාහිරින් ගන්නා ලද අර්ථ කථනයක් නොවෙයි. ඒ ඉතිහාසය තුළින්ම සකසා ගන්නාලද අර්ථ කථනයක්. ඒ අතින් ඔහු නිරාපේක්‍ෂ නිරීක්‍ෂකයකු වෙනවා. නවකතාකරුවා එසේ නොවෙයි. නිරාපේක්‍ෂ නිරීක්‍ෂකයකු නොවෙයි. ඔහු තම අදහන දර්ශනය චින්තනය අනුව ඒ තමා අබියස ඇති ඉතිහාසය නව අර්ථ කථනයකට භාජන කරනවා. නව අයුරකින් බැලීමට අපට සලස්‌වනවා. මෙයින් නවකතාකරුවා දරන දර්ශනය චින්තනය ආගමික දර්ශනයක් වෙන්න පුළුවන්. ටෝල්ස්‌ටෝයි සිය නවකතා නිර්මාණය කළේ එවැනි දර්ශනයක පිහිටායි. වෙනත් නවකතාකරුවකුගේ දර්ශනය සමාජවාදය මාක්‌ස්‌වාදය මුල් කරගත් දර්ශනයක් වෙන්න පුළුවන්. අපගේ ශේ්‍රෂ්ඨ නවකතාකරුවා වන මාර්ටින් වික්‍රමසිංහ සිය දර්ශනයට පදනම් කරගන්නේ සිංහල බෞද්ධ සංස්‌කෘතියයි. ඒ සභ්‍යත්ව විඥනයයි.
මෙහිදී ජයන්ත චන්ද්‍රසිරි සිය දර්ශනය, චින්තනය ගොඩනඟාගෙන ඇත්තේ සිංහල බෞද්ධ සභ්‍යත්ව විඥානය උඩ බව මට පෙනෙනවා. ඔහු ගැමුණු මහරජුගේ සිතුම් පැතුම්, ආකල්ප, ක්‍රියාකාරකම් ආදී වූ සියල්ල අර්ථ කථනය කරන්නේ සිංහල බෞද්ධ සභ්‍යත්ව විඥනයේ පිහිටායි. ඒ නිසා මේ නිර්මාණය අන්තය ඉක්‌මවා සිටින වත්මන් අපට අතිශයින් අදාළ නිර්මාණයක් ලෙස මා දකිනවා.
ඒ ගැන කතා කිරීමට පළමු මේ නවකතාවේ සන්දර්භය ගැනත් කෙටියෙන් සඳහන් කිරීමට මා කැමතියි. මෙහිදී චන්ද්‍රසිරි යොදාගෙන ඇත්තේ අපට හුරු පුරුදු ගතානුගතික සන්දර්භයට වඩා වෙනස්, චිත්‍රපට-සිනමා සන්දර්භය බව පෙනෙනවා. ඒ නිසා ඇතැමකු මෙය නවකතාවක් නොව තිර නාටක රචනයක් ලෙස බැහැර කරන්නට පුළුවන්. එය අසාධාරණයි. වත්මන් නවකතාකරුවා වත්මන් ජන විඥනයේ ඇති සන්නිවේදන මාර්ග යොදා ගැනීම වරදක් ලෙස මා දකින්නේ නැහැ. එය වරදක් නොවෙයි. අපගේ නවකතාවේ පරිනාමයට ඉවහල් වන්නක්. අවසානයේදී ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ ඒ නව සන්දර්භය සාර්ථක ද නැද්ද යන්නයි. මේ සන්දර්භය අනුකාරකයන් යොදා ගන්නා "ඉන්ද්‍රජාල තාත්විකත්වය" වැනි බහුබූතයක් නොවේ.
සෑම උසස් සාහිත්‍ය නිර්මාණයක් තුළම නොකියා කියන පණිවිඩයක්, අනාගත දැක්‌මක්, මාර්ටින් වික්‍රමසිංහයන් ගේ වචනයෙන් කීවොත් භවිෂ්‍යත් විදර්ශනාවක් ගැබ්වී තිබෙනවා. ජයන්ත චන්ද්‍රසිරිගේ මේ නිර්මාණය තුළත් මම එවැනි භවිෂ්‍යත් විදර්ශනාවක් දකිනවා. චන්ද්‍රසිරි මෙහිදී ඉඟියෙන් දක්‌වන්නේ අපගේ අනාගත ගමන් මග කෙබඳු එකක් විය යුත්තක්‌ද යන්නය කියා මා සිතනවා. යම් සේ අප ප්‍රභාකරන් නමැති ආක්‍රමණිකයාගේ ත්‍රස්‌තවාදයෙන් ගැලවුණේ, ගැමුණු මඟ, සිංහල බෞද්ධ සභ්‍යත්ව විඥන මත ගොඩනැඟුණු ගැමුණු මග අනුගමනය කිරීමෙන් නම් අපි අපගේ අනාගතය ගොඩනඟාගත යුත්තේ ඒ ගමන්මග අනුව යමින් බවයි මේ නවකතාව මගින් පෙන්නුම් කරනු ලබන්නේ. ඒ භවිෂ්‍යත් විදර්ශනාවයි මේ නවකතාව තුළ ඇත්තේ.
මෙය අප විසින් මේ අවස්‌ථාවේ ඉතා ගැඹුරින් වටහා ගත යුත්තක් බවයි මා හිතන්නේ. ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදයට මුල් වූයේ දෙමළ ජාතිවාදය පමණක් නොවේ. අප දිගින් දිගටම නිදහස ලැබීමෙන් පසුවත් අනුගමනය කළ දීන අනුකරණයි. ඒ දීන අනුකරණයේ ගැළුණු අප කළේ ස්‌වාධීන දීර්ඝ ඉතිහාසයක් ඇති ජාතියක් විසින් ගත යුතු සිය අතීත උරුමය සොයා යැම නොව විජාතිකයා අප විනාශ කිරීම පිණිස තනා දුන් ඊනියා පක්‍ෂ ක්‍රමය, පාර්ලිමේන්තුව ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය පසු පස්‌සේ යැමයි. ඒ පක්‍ෂ ක්‍රමය බහුතර ජනතාව වන සිංහලයා බෙදා වෙන් කර නිෂ්ක්‍රීය කිරීමට මුල්වූ බව, ඒ පාර්ලිමේන්තුව දූෂිතයන්ට, අධමයන්ට නිවහනක් සාදා දී ඇති බව ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය අප තලා පෙළා යටත් කිරීමට විදේශිකයන්ට කෙවිටක් වී ඇති බව දැන්වත් අපට පෙනී යා යුතුයි. එබැවින් මේ දීන අනුකරණය නවත්වා අප අපගේ උරුමය වෙත වහ වහා ගමන් නොකළොත් අප ආසියාවේ ආශ්චර්යය වීම කෙසේ වුව අපට අනාගත පැවැත්මක් තිබිය හැකිද යන්න මට නම් ප්‍රහේළිකාවක්. ජයන්ත චන්ද්‍රසිරි ගේ මේ කෘතියෙන් කරනු ලබන්නේ අපට මෙය මතක් කර දීමය කියා මා හිතනවා.
ජයන්ත චන්ද්‍රසිරි විසින් විරචිත "මහරජ ගැමුණු" ඓතිහාසික නවකතාව දොරට වැඩීමේ සහෘද සම්භාෂණයේදී ආචාර්ය ගුණදාස අමරසේකරයන් විසින් පවත්වන ලද මුඛ්‍ය දේශනය ය.
ඡායාරූපය- සුරංග කුරුප්පුආරච්චි
Copy Rights - Divayina
0 comments:
Post a Comment