රාත්‍රී අහසෙ පායා දිලෙන තරු රැස හාත්පස අහස අලංකාර කරන්නේ අපේ දෙනෙතත් සිතත් නැවත නැවතත් එදෙසට යොමු කරවමින්. අහස් කුස සිසාරා තැන තැන දිලෙන තාරකා හැම විටෙම එකිනෙකට වෙනස් හැඩතල හා වර්ණ දක්වමින් අපට විවිධත්වය රැගෙන එනවා.
අප ‘තරු වියන’ නමින් හඳුන් වන්නේ මෙවැනි තාරකා රැසක් අපූරුවට පැතිරී ගිය සුන්දර අහසකටයි. එවැනි තරු වියනක ලාලිත්‍යයත් සුන්දරත්වයත් නිමා නොවන ප්‍රීතියකින් අපේ සිත් පුරවාලන්නට සමත් වනවා.
එවැනි සුන්දර තරු වියනක් යට අප සනහාලූ තරු රෑනක් ගැනයි මේ කතාව. එහෙත් ඔබ නිතර අහන දකින සිනමා තරු, ටෙලි තරු එසේ නැතහොත් දේශපාලන තරු නම් මේ කතාවට අයත් වෙන්නේ නැහැ.
මේ සුන්දර රාත්‍රිය වර්ණවත් කළේ ජන සංගීතයේ ජන නැටුමේ අපූරු තාරකා රැසක් වීමයි මේ සිද්ධියේ අපූර්වත්වය.
ලාංකික අපේ මෙන්ම විදේශීය ජන සංගීත හා නර්තන කණ්ඩායම් කීපයක් එකට එක්ව එකම වේදිකාවක තරු සේ දිදුලමින් ශිල්ප දැක් වූ සුන්දර රාත්‍රීන් තුනක් පසුගියදා අපට දක්නට ලැබුණ.
ඒ ‘2011 යාපනය සංගීත උළෙල’ය. සංස්කෘතීන් ගණනාවක විවිධත්වය එකම අවස්ථාවකට ගෙන ආ ජන සංගීතයේ හා නර්තනයේ මිහිර එකට විඳ ගත හැකි වූ සංගීතමය රංගන අවස්ථාවක් මාර්තු 25 සිට 27 දක්වා යාපනයේ නගර සභා භූමියේදී මේ දැවැන්ත සංගීත උළෙල පැවැත් වුණේ අති විශාල ජන සහභාගිත්වයක් ඇතුවයි.
දින තුනක් පුරා පැවති ‘යාපනය සංගීත උළෙලට’ට දේශීය හා විදේශීය ජන සංගීත හා නර්තන කණ්ඩායම විසි පහක් පමණ සහභාගී වූහ.
ඉතාම උද්යෝගයෙන් හා කැපවීමෙන් යුතුව මේ සඳහා එක්වුණු මේ කණ්ඩායම්වල ශිල්පීය කුසලතාවය, සංස්කෘතික හා රිද්ම විවිධත්වය මෙන්ම ඔවුන් දැක් වූ ආකර්ශණීය තරු ගුණයත් මේ උළෙලේ දී බෙහෙවින් කැපී පෙනුණා.
ප්‍රවීණ සංගීතඥ හා ගායක රෝහණ බැද්දගේ සහ කණ්ඩායම මෙන්ම කථිකාචාර්ය සමන් පනාපිටිය ප්‍රමුක ‘මාත්‍රා’ ජන ගී කණ්ඩායමත්, අපේ ජන ගී ගායනා සහ රිද්ම ලක්ෂණ මනාව ප්‍රදර්ශනය කළේ ප්‍රබල ප්‍රසාංගික ගුණයකින් ප්‍රේක්ෂකාගාරය ග්‍රණය කර ගන්නා අයුරින්.
එසේම රංගනාථ කලායතනය හා මහනුවර නිශාන් රම්පිටිය කලායතනය සම්ප්‍රදායික උඩරට නර්තනයේ උදාර රංගන රටාවන් හා ගායනා විලාස ඉදිරිපත් කළේ ප්‍රෙක්ෂක සිත් ඇද ගන්නා ගුණයකින් යුතුවයි.
රවි නේත්‍රා කලායතනය, සබරගමු සම්ප්‍රදායේ බලි, ශාන්ති කර්ම අංගයක් ඉදිරිපත් කළේ ඉතා කලාතුරකින් දැකිය හැකි සංස්කෘතික අංගයක් ප්‍රේක්ෂකයාට සමීප කරවමින්.
දහ අට සන්නියේ අංග කීපයක් ප්‍රබල නාට්‍යමය හා ප්‍රසංගික ගුණයකින් ඉදිරිපත් කරන්නට දෙනිපිටිය නර්තන කණ්ඩායම සමත් වුණේ ප්‍රේක්ෂක ආකර්ශණය ලබා ගනිමිනි.
තවත් අතෙකින් යාපනය, වවුනියාව, මුලතිව්, මඩකලපුව ආදී ප්‍රදේශවල සංස්කෘතික, ගායනා හා රිද්ම විවිධත්වයන් පළ කරමින් විවිධ දෙමළ ජන සංගීත කණ්ඩායම් මේ සඳහා විශිෂ්ට සංස්කෘතික අංග ඉදිරිපත් කළා.
ඒ අතර සහභාගි වූ ප්‍රේක්ෂකයන් වින්දනයට පත් කළ ‘කෝවලන් කූ®ත්තු, වසන්තන් කූත්තු, විල්ලු පාට්ටු, පරායි මේලම්ි, කාමන් කූත්තු, උලවර් නඩනම් වැනි ගායනා හා නර්තන අංග වැදගත්.
විශේෂයෙන් පරයි මේලා බෙර වාදන නර්ථන අංගය මනා තාණ්ඩව ගුණයකින් යුතුව ප්‍රේක්ෂකයින් පිනවන්නට සමත්වූ අතර වවුනියාවෙන් ඉදිරිපත් කළ උලවාර් නඩනම් කාන්තා නර්තන අංගය අපූරු ලාලිත්‍යයකුත්, විනෝදකාමී සරල නර්තන රටාවකුත් මුසු කරමින් ප්‍රේක්ෂකයා මුසපත් කළා.
මේ සියලු ජන සංගීත හා නර්තන අංගවලින් පසක් වුයේ ශ්‍රී ලාංකික අපට කෙතරම් සංස්කෘතික හා රිද්ම විවිධත්වයක් හිමි ද යන කරුණයි.
‘2011 යාපනය සංගීත උළෙලට’ සහභාගී වූ විදේශීය ජන සංගීත කණ්ඩායම් අපට විශිෂ්ට සංගීතමය අත්දැකීම් ලබා දුන්නා යයි කීම අතිශයෝක්තියක් නෙවෙයි.
මනා විවිධත්වයකින් යුතු ස්වර හා රිද්ම රටා පරාසයක් ලබා දුන් ඔවුන්ගේ සංගීත රටා පැමිණ සිටි ප්‍රේක්ෂකයින් ආනන්දයට පත් කළා.
‘රාජස්ථානයේ මැංගනියර්, මෝර්වේ හි ට්‍රින්ඩා, නේපාලයේ භාර්තා දුර්ගා හා ඩැන්ගෝල්, පලස්තීනයේ සන්බ්‍රීන් සංගමය, දකුණු අප්‍රිකාවේ සබික්වා’ යන කණ්ඩායම් මේ උළෙලට සහභාගී වෙමින් මෙරට සංගීත රසිකයින් නැවුම් අත්දැකීම්වලින් පුරවා ලන්නට සමත් වුණා.
විශේෂයෙන් මැංගනියර් කණ්ඩායම, සබ්රීන් සංගමය,ටින්ඩ්‍රා කණ්ඩායම ප්‍රේක්ෂකයන්ට ලබා දුන් වෘත්තීය මට්ටමෙන් හා ශිල්පීය විශිෂ්ටත්වයෙන් යුතු ජන සංගීත අංග කලාතුරකින් දැකිය හැකි නෙත සිත පිනවන ප්‍රාසාංගික ගුණයක් පළ කළා.
මේ ජන සංගීත කණ්ඩායම්වල සාමාජිකයින් මේ සංගීත උළෙල පිළිබඳ කථා කළේ ඉතාම ප්‍රසාදයකින්. නේපාල කණ්ඩයමෙ දුර්ගා ප්‍රසාද් ඛටිවාඩා මෙසේ කියා සිටියා.
‘මේ උළෙල නිසා අපට අපේ සංස්කෘතික හා සංගීත ලක්ෂණ පෙන්වන්නට හැකි වූවා වගේම ශ්‍රී ලංකාවේ ජන සංගීතයේ විශිෂ්ඨත්වයත් දකින්නට හැකි වුණා.’
රාජස්ථානයේ මැංගනියර් කණ්ඩායමේ ප්‍රධාන ගායන ශිල්පි නේරු ඛාන් ‘ශ්‍රී ලාංකික සංගීත රසිකයින් අපේ සංගීත ශෛලිය අපූරුවට වටහා ගත්තා. අපට විශේෂ ප්‍රතිචාර ලබා දුන්නේ හදවතින්ම බව අපට දැනෙනවා’ යයි පවසා සිටියා.
අතීතයේ සිට පොදු ජනයා අතර පැවත එන ජන ගීත රටා හා රිද්ම රටාවන් සියලු දෙනා ඒකීය රිද්මයකින් යුතුව අත්වැල් බැඳ ගන්නට සලස්වන බව මේ සංගීත උළෙල නැවතත් අපට පසක් කර දුන්නා.
වසර තිහක යුද්ධයෙන් බැට කෑ සංස්කෘතික වියෝවකින් සිටි ජන කණ්ඩායමක් තුළ තැන්පත්ව පැවති රස වින්දන ශක්තියත් සහෝදරත්වයත් නැවත දළුලා වැඩී එන අයුරු 2011 යාපනය සංගීත උළෙල අපට මනාව පෙන්නුම් කළා.
මේ සුන්දර දින තුන මෙරට කලා ක්ෂේත්‍රයට මනා දායකත්වයක් ලබා දුන් තෙදිනක් නොවේද?
Copy Rights - Sarasaviya
0 comments:
Post a Comment