අද නිරෝගී ප්‍රබන්ධ කලාවක්
ඕනෑකර තිබේ
20 සියවසේ ආරම්භයත් සමඟ අපගේ නවකතා කෙටිකතා ප්‍රබන්ධ කලාව වැඩුණේ එම රචකයන් බටහිර නව සාහිත්‍යාංගයන්ගෙන් ලද සුහද ආභාසයෙන්ය. ඩබ්ලිව්. ඒ. සිල්වා, හේමපාල මුනිදාස, පියදාස සිරිසේන, සයිමන් ද සිල්වා, මාර්ටින් වික්‍රමසිංහ, ටී.ජී.ඩබ්ලිව් ද සිල්වා ආදී එම පුරෝගාමී ප්‍රබන්ධකරුවන්ගේ මුල් නිර්මාණයන් විමසන කල්හි පෙනී යන මූලික ලක්‍ෂණය වන්නේ ඔවුන් බටහිර සාහිත්‍යයේ දුර්වල අනුකාරකයන් නොව කිසියම් ස්‌වාධීන ප්‍රකෘතියක් සියක් ලකුණක් ඇත්තවුන් පිරිසක් බවය.
ඓතිහාසික චරිත, වැඩවසම් සමාජ චරිත හා නැගී ආ වෙළෙඳ සමාජයේ චරිත සිතුවම් කරමින් දේශීය ආඛ්‍යාන රටාවකින් පළල් පාඨක සමාජයක් දිනා ගන්නට ඔවුහු සමත් වූහ. එඩ්ගා ඇලන් පෝ මෝපසාන් වැනි යුරෝපීය නවීන කතාකාරයන්ගේ චරිතාවේක්‍ෂණයන්ගෙන් නුවණක් ලැබූ ඔවුන් තමා අවටැති සමාජයේ සුහද චරිතයන් නිරූපණය කිරීම පාඨක සම්භාවනාවට හේතුවිය. මිතුරන් දෙදෙනකු ධනාශාවෙන් මැණික් ගලකට ලොබ බැඳීමෙන් එකිනෙකා, විනාශයට පත්වන සැටි ඩබ්ලිව්. ඒ. සිල්වාගේ "වෛරෝඩිය" කෙටි කතාවෙන් නිරූපණය විය. හේමපාල මුනිදාස "ගනුදෙනුව" කෙටි කතාවෙන් සිතුවම් කරන්නේද ඉඩමකට හා ගෙයකට සම්බන්ධ ගනුදෙනුවකින් උපරිම වාසිය ලැබීමට වයස්‌ගත මුදලාලියකු හා ප්‍රභූ කාන්තාවක ඔවුනොවුන්ගේ මරණය පතන සැටිය. ටී, ජී. ඩබ්ලිව්. සිල්වා "නම්බු පිස්‌සුව" කෙටි කතාවෙන් පින්තූරගත කරන්නේ ව්‍යාජ බුද්ධියෙන් හිස උදුම්මාගත් ඇමතියකු හා පුතෙකුගේ චරිතයන්ය. ජනහිතකාමී ගැමි වෙදරාළ කෙනෙකුගේ අපූරු චරිතයක් සිල්වාගේ "පුරුද්ද" කතාවෙන් හමුවෙයි. මෙසේ අප පය ගැසූ සමාජයේ විවිධාකාර ජන චරිතයන් අපූර්වත්වයෙන් නිරූපණය කිරීමට ඔවුන් සමත්වූයේ නිරෝගී කතා කලාවකට පදනම් දමමින්ය. කියවන සාහිත්‍ය සමාජයක් බිහිවූයේ එසේය.
එහෙත් අපගේ නවකතා - කෙටිකතා ප්‍රබන්ධ කලාවේ දෙවැනි භාගය වන විට සාහිත්‍යකරුවන් බටහිර නව සාහිත්‍ය ප්‍රවණතාවල වහලුන් වී සියක් බව නසා ගත් සැටි අද අපට පරීක්‍ෂා කළ හැකිය. මෙයින් සිදුවූයේ පාඨකයා නව සාහිත්‍ය භූමියෙන් එපිටට පළවා හරිනු ලැබීමයි. විශිෂ්ට බටහිර නවකතාකරුවකු චින්තකයකු ජීන් පෝල් සාත්‍රේ මේ නිර්මාණ ප්‍රවේශය හඳුන්වා ඇත්තේ "නිෂ්ක්‍රීය පාඨක භාවිතය යන සංකල්පයෙන්ය. එහිදී තවදුරටත් පාඨකයා හෝ ඔහුගේ ආස්‌වාදය වැදගත් නොවේ. ලේඛකයා පුද්ගලවාදීව තමා උදෙසා ම ලියයි. සමාජ සත්තාවෙන් දුරස්‌ථ වූ මේ රෝගාතුර ලිවීමෙන් කල්පනා ලෝක සාහිත්‍යයක් බිහිවූ සැටි අපි දනිමු. ආරම්භයේදී ප්‍රකට සාහිත්‍යකරුවෝ පවා මේ රෝගී ලිවීමට ගොදුරු වූහ.
සමාජයෙන් විශාලත වූ අන්තර්ගතික තරුණයකු කුහුඹුවන් නිරීක්‍ෂණයට යොමුවන සැටිත්, කුහුඹුවන් විනාශ කළ පසු ඔහු කුහුඹුවන්ගේ ප්‍රහාරයක් මායා දර්ශනයකින් අත්විඳින සැටිත් මඩවල රත්නායකගේ "කුහුඹුවෝ" කෙටි කතාවෙන් දැක්‌වේ. විවාහ වී දැවුරුද්දක් ගෙවෙනු පෙර විවාහක ස්‌ත්‍රිය උඩුමහලෙන් පැන දිවි තොර කරගත්තේ කිසිදු නිශ්චිත හේතුවක් නැතිව බව කේ. ජයතිලක "අතීරණ" කතාවෙන් දක්‌වයි. නැටුම් ඉගෙනීමට යන බිරිඳ කෙරේ පුරුෂයා ඇතුලු සිතින් මවා ගන්නා දරුණු සැක සංකා අවසානයේදී පදනම් විරහිත බව ඔහුට ම පසක් වන ආකාරයයි සරච්චන්ද්‍ර මුද්‍රd නාටකය" කෙටි කතාවට නගා ඇත්තේ, මොවුන් සියලු දෙනා ප්‍රොයිඩ්ගේ මනෝ විග්‍රහයේ අඳුරු සෙවණැලි තුළ ලගිමින් පුද්ගල විඥානයේ මනෝභ්‍රම - මනෝaභ්‍රාන්ති මවා පාමින් පාඨකයා කෙප්ප ලෝකයකට තල්ලු කළහ. අද බොහෝ නවීන රචකයින් වෑයම් කරනුයේද නූතනයාගේ මානසික තත්ත්වයන් - ආවේශයන් වඩාත් සියුම් ව කියා පාමින් "මනෝ විද්‍යාත්මක" සාහිත්‍යකරණයක් නිපදවීමටය. මෙවැනි ව්‍යාජ ප්‍රවණතාවකින් ආධ්‍යාත්මික රීතියෙන් ලියෑවෙන මානව හිතවාදය පතුරුවන සාහිත්‍ය කලාවක් ගොඩනැගිය නොහැකි බව අද බිහිවන අංගවිකල නිර්මාණයන්ගෙන් වටහා ගැනීම උගහට නොවේ.
මා මේ ප්‍රවේශය ගත්තේ, ගියනුගියාවෙන් මිදී තමාගේම නිදහස් රීතියකින් ලියන නව කෙටි කතාකරුවකුගේ ලිවීම විමැසුමකට හසුකරන අදහසින්ය. දූලාගේ තාත්තා" නමින් සිය පළමු කෙටිකතා සංග්‍රහය රචනා කළ සුනිල් ගුණවර්ධන දැන් "රේස් ආච්චි" නමින් අලුත් කතා පොතක් ලියා ඇත. මේ කතා අභ්‍යන්තරයෙහි සංකීර්ණ දිවි ගැටුම් නොවේ. සූක්‍ෂම මානසික අවස්‌ථා නොවේ. එබඳු කතා අභ්‍යන්තරයක් ද නැත. ඇති වැදගත් දේ කුමක්‌ද? ඒ අන් කිසිත් නොව අප හා ජීවත් වන එහෙත් අප හොඳින් හඳුනාගෙන නැති ස්‌ත්‍රී පුරුෂයන්ගේ අපූර්ව ජීවන චරිතයන්ය. මෙහිදී කතාකාරයා අද සාහිත්‍ය මේසයට නොවරදවා ම එන යන කථාංගයන් - රීතීන් - රචනොපක්‍රමයන් සිතාමතා වැඩට නොගනී. ඔහුගේ කතා තාක්‍ෂණයෙහි, කතුරු මුවාත්කාරයකු ගේ තාක්‍ෂණයට වැඩි ගැඹුරක් නැත්තකැයි මට වරෙක සිතේ. එය මිහිරි පානයක් නොව වැලි පිස හැර අමුවෙන් කෑ හැකි ධාන්‍යයක් මෙන්ය. නූතන ආසාදනයන්ට ගොදුරු නොවීමට ඔහුගේ වටිනාකමක් සේ ගත යුතුය.
..... ඇගේ නම ශෝබාය. එය අතිශයින්ම ඇයට ගැලපෙන නාමයකි.
...... රේස් සීයා හා රේස් ආච්චි අපේ ලෝකයේ වීරයෝ වූහ.
.......... පෙරේරා නෝනා නුගේගොඩ ජම්බුගස්‌මුල්ල ග්‍රාමයෙහි උපන් තැනැත්තියකි.
......... මේ සියල්ලෝ එකම තැනක ගෙවල් තුනක වෙසෙන දරුදැරියෝය.
රචකයා මෙසේ ලියන්නේ නූතනවාදී ආඛ්‍යාත රටා ගණන් නොගන්නා සැටියකින්ය. ඔහු ලියන්නේ තමාගේම වචනවලින්ය. අද බොහෝ දෙනා ලියන්නේ අනුන්ගේ වචනවලින්ය. ඔහු මේ කතා ලියා ඇත්තේ සමාජ පදිකයෙහි යන එන මිනිසුන් ගැහැනුන් අතරෙහි වෙනස් මුහුණුවර වෙනස් ගති පැහැ ඇත්තවුන්ගේ චරිත වර්ගයක් ගැනය. ඔවුන්ගේ ප්‍රකෘති චරිත ලක්‍ෂණයන් පාඨකයන්ගේ කුහුල් සිතට හසුවන්නේමය.
පාසල් චාරිකාවකට සහභාගී වන්නට වරම් නොලද සිසුවා පාඨකයාගේ චරිත තුළට නැද්ද?
මිසිලින් නම් සරාගී වින්නඹුව තරුණ ගැටවුන්ගේ "රියෑදුරු පාසල" ලෙස හැඳින්වුවද ගමේ එවුන්ගේ තුවාලවලට ගෙදරදීත් බේත් දමන්නේ ඇයමය.
පෙරේරා නෝනා ඇගේ නුගේගොඩ මායිම්වත්තේ ගෙවල් පේළිය කුලියට දෙන්නේ මුලදී එක බඩවැල කඩාගත්තවුන් සේ ඇසුරු කරමින්ය. අවශ්‍ය වූ විට නිවැසියන් ඉක්‌මනින් යවා ගෙවල් නිදහස් කර ගන්නා කලාව ද ඇය දනී.
එයාගෙ ඔක්‌කොම කෙරුවාවල් එළිවුනාට පස්‌සෙ මං එයාව නීතියට කොටු කරල දුන්නෙ. පොලිසියට ගෙනහිල්ල හිරේ විලංගුවෙ වැටිච්චාවේ මං මේ සේරම කළේ කොහොමද? මනමාලයකුට හසු වූ පද්මිනී නම් ස්‌ත්‍රියකටය ඔබ මේ සවන් දෙන්නේෘ
පුතෙකු තාත්තාව දකින්නේ පුදුමාකාර සුකුමාර චරිතයක් ලෙසටය. මේ තාත්තාට ඕනෑ වූ විට ඇඳුම් පැළදුම් අරන් දෙන්නේ මවය. කමිසය සාප්පුවේදී තෝරා දී ඇඳුම් මසන්නා ළඟට එක්‌ක යයි. ඇඳුම් මසන්නා ඔහුට කලිසම මසන්නේ අවුරුදු ගණනක සිට පොතේ ලියා ඇති මිමිවලටය. අලුත් ඇඳුම් ඇන්ද දවසකට මේ තාත්තා නුගේගොඩ ගිහින් එන්නේ සිතේ සතුටටය.
මසකට වරක් නඩු තීන්දුව ප්‍රකාර විහාරස්‌ථානයට යන ස්‌ත්‍රිය නීතියෙන් වෙන් වූ පුරුෂයාට පැය කීපයකට පොඩි පුතාට බාරදී බලා සිටින සැටි කියන කතාවක් පාඨකයාගේ සිත අවුලන්නේ නැද්ද?
මේ කෙටිකතාවල ජීවත්වෙන මේ මිනිස්‌සු ගැහැණු බොහෝ කල් ජීවත්වෙති. ඔවුන් ඒ අර්බුදවලින්ම මිය යන්නේ නැත. කතුවරයා ද කෘතිය තුළ මිය යන්නේ නැත. හේතුව ඔහු චරිතයන්ට අප්‍රමාණ මානව දයාවක් හිමිකරදෙන නිසාය. තමා මවන ඒ චරිතයන්ට වග කියන නිසාය. ඔහු තුළ මිනිස් චරිතවලට සත්කාරක අරමුණක් ඇති නිසාය. සුනිල් ගුණවර්ධනගේ කෙටිකතා මිනිස් චරිතයන් දැකිය හැකි නැරඹුම් සඳැල්ලකැයි මා කියන්නේ ව්‍යාජෝක්‌තියක් ලෙස නොවේ.
කොළඹ වීථි දිගේ ඇවිද යන මහල්ලෙකි. සිහි විකල් ඔහු එකම වචන කිය කියා අයාලේ ඇවිදී. අයියෝ මනුස්‌ස ජීවිත... මරදානෙදි මිනිස්‌සු මැරුව. බෝධිය ළඟදි මිනිස්‌සු මැරුව. අයියෝ මනුස්‌ස ජීවිත. මේ ත්‍රස්‌තයෙන් කම්පිත පුරවැසි මනසය.
.... සිරිතුංග විවාහ වූයේ අම්මාගේ බලේටය. විවාහයෙන් පසුවද ඔහු වැඩිපුර නිදා ගත්තේ අම්මාට ලංවය. මේ වගෙ මනුස්‌සයෙක් මේ ලෝකෙ කාටවත්ම ලැබෙන්නේ නැහැ. මට සැමියා වුනේ මගෙ පෙර පිනකට... සිරිතුංගගේ බිරිඳ කියයි. අම්මා මියගියදා ම ඔහුද කෑගසාගෙන බිම පතිත විය.. අනේ මගෙ අම්මේ මාත් එනවා.
..... ධර්මසේන බිරිඳට වද හිංසා දෙන නිසා දෙමුපියෝ කරුණාවතීව නිවසේ රඳවා ගිනිති. උඹට දෙන්න මෙහෙ ගෑණු නැහැ. කාලකන්නි ජඩය බිරිඳ එක්‌ක යැමට ආ ඔහුට මවුපියෝ බැණ වදිති. එහෙත් කරුණාවතී ඔහු සමඟම යයි... දැන් තාත්තලට මාව අයිති නැහැ. ගැහැව්වත් බැන්නත් මං එයා එක්‌ක යනවා.
යථාර්ථයෙන් ජීවය කැවුණු මේ කතා අධිකරණ සාලාවක ඇසෙන ජීවන සංසිද්ධීන් හා සාමානයෑයි මට සිතේ. සුනිල් ගුණවර්ධන ගේ මේ ලිවීමේ යටි පෙළ චර්යා ධර්ම පද්ධතියක් හා තරව පිහිටියකි. මහා ධාරානිපාතයකදී අගුපිලක් නොලැබ පැටවුන් වැදූ බළල් අම්මා වතුරේ ගසාගෙන යන ඇස් නෑරිය පැටවුන් කටින්වත් ඩැහැගෙන යා නොහැකිව කම්පාවෙන් බලා සිටී. කෙටිකතාකරු ඇය දකින්නේ නූතන පටාචාරාවක ලෙසටය. නව සාහිත්‍යයෙහි ඇතුළත් විය යුත්තේ චර්යා ධාර්මික අගයකැයි අයින්ස්‌ටයින් පවසයි. බටහිර සාහිත්‍යකලා ආධ්‍යාත්මයෙන් පිරිහුණේ ඒවා මානවීය සාර දහමින් වියෝ වූ නිසාය. ෂේක්‌ස්‌පියර් ගේ හා ඩොස්‌ටවුස්‌කිගේ උත්තම සාහිත්‍යයට මූලික වූයේ එම නාටක - නවකතාවල සිටින මිනිස් චරිතයන් සාර දහම්වල සළු පැළඳ සිටින නිසායෑයි ඔවුන් උදාර මානවීයත්වයක් පිළිබිඹු කරන නිසායෑයි සාත්‍රේ ප්‍රකාශ කළේය.
සුනිල් ගුණවර්ධනගේ "හැන්ඩලීන් මහත්තයා" කෙටි කතාවේ විෂය චරිතය වන්නේ නුගේගොඩ දෙල්ගහවත්තේ කුලී නිවැසියකු වූ බර්ගර් ජාතිකයාය. කොම්පැනියක ලිපිකරුවකු වූ ඔහුගේ ජීවිතයේ විනෝදකාමී ජීවන රටාව හා පවුලේ ගැටුම් වැටුම්ද හෙළිකොට ඇත්තේ ව්‍යාජ රචනා විලාසයකින් නොව ජන චරිත පොතක් පෙරළා දක්‌වන සමාජ විත්ති ගවේශකයකු ලෙසටය. ජනගහනයෙන් බිංදුවකැයි මෙරට බහුජනයා විසින් නොසලකා හරිනු ලබන මෙරට විශේෂ ප්‍රජා කොටසක් වූ බර්ගර් සමාජය නියෝජනය කරන කාල්මලර් නම් ශ්‍රී ලාංකීය ඉංග්‍රීසි ලේඛකයා පිළිබඳ දීප්තිමත් හෙළිදරව්වක් අඩංගුව ඇත්තේ අපේ විශිෂ්ටතම තීරු ලේඛකයා වූ නීල් විෙ-රත්නයන් ළඟදී පළකළ "දෙබසේ දෙබස" නම් ලිපි සංග්‍රහයේය. කන්ද උඩරට මුල්ගම්පොළ ගෙදර නිහඬ ලිවීමක යෙදෙන කාල් මලර් ඔහුගේ තුන් ඈඳුතු නවකතාවෙන් ශ්‍රී ලාංකික බර්ගර් ජන ශ්‍රේණිය ප්‍රතිරූපණය කොට ඇත්තේ අව්‍යාජ දේශීය කතා රටාවකින් යෑයි නීල් විඡේරත්න පවසයි. ආයතනික ලේඛකත්ව පුහුණුවක් නැති කාල්මලර්ගේ ලිවීමද අව්‍යාජත්වයෙන් පිරිපුන් බව පවසයි. බර්ගර් ජනයා ජීවිතයේ උපරිම සතුට විඳින ජීවන ශෛලියක් ඇති ජන කොටසක් බව කාල්මලර් ලියන විට, මට සෝමරත්න බාලසූරියගේ "සිහිනෙන් අවදිවීම" නම් කෙටි කතාවද සිහිවේ. පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨයකු වූ ගුණරත්න මහතා, බිරිඳ හා දරුවන් පෝදා පන්සල් ගිය සන්ධ්‍යාවක නිවසේ කොන්ක්‍රීට් වහල් තලයට වී දෙවන මහල සාදාගන්නට බැරිවීම ගැන කෙඳිරිලි සිතකින් පසු වෙද්දී ඔහු සොයා එන අසල්වැසි බර්ගර් ජාතිකයා එක මධුවිතක් ඔහුගෙන් ඉල්ලා සිටී..... සර් මට සමාවෙන්න මම සර්ගෙ නේබර්. තියෙනව නම් එක පොඩි අඩියක් දෙන්න. මම ගත්ත යන්න ගියා. සර්ට කරදරයක් කරන්නෙ නැහැ.....
සුනිල් ගුණවර්ධනගේ "හැන්ඩලින්" මහත්තයා මෙම බර්ගර් ජන වර්ගයා වෙත දයාර්ලූ බැල්මකි. බර්ගර් ජාතිකයෝ සිංහල දෙමළ දෙජාතීන් සමඟ මිත්‍රශීලිව වෙසෙති. කිසි කලෙක සමාජ ගැටුම්වලට නොගියහ. ඔවුන් කිතු දහමින් ලද මානව භක්‌තිය ඊට හේතු වන්නට ඇත. වැඩිපුර නූගත් ඔවුහු වැඩිදෙනා සමාගම්වල සේවයෙහි නියුක්‌තයෝය. පුද්ගලික පාසල්වලදී සිංහල දරුවන් ඉංග්‍රීසි කතාව උගත්තේ ලන්සි දරුවන්ගෙන්ය. බටහිර සංස්‌කෘතියේ විනෝදකාමීත්වය ඔවුන්ගේ ජීවන ස්‌වරූපයකි. කෙටිකතාකරු මේ දිවි තතු සංවේදීව චිත්‍රනය කරන්නේ නාටකීය ලෙසිනි.
.......... හැන්ඩලීන් මහත්තයා කලබලයකින් තොරව වාසය කරයි. ඊට හේතුව ගෙවල් හිමියා ද ඔහුට ආදරය කිරීමයි. "අපි ජීවත් වෙන්නෙ බොහොම ටික කාලයයි. නිතර පවසන ඔහු මධුqවිතක් ගෙන දරු මල්ලන් හා කා බී නටා විනෝද වෙයි. වියෝලේ මා සනසන වියෝලේ...... හැන්ඩලින් මහතාව දමා ගිය බිරිඳ ඔහුගේ පඩි දවසට ගෙදර එයි. රස මසවුළු සාදා දෙයි. මුදල් ඉල්ලයි. ගෙදර කෝලාහල ද ඇතිවේ.... අයියෝ ඩැඩා මමීට ගහන්න එපා. ඇය පිටව ගොස් ඊළඟ පඩි දවසට නැවත එයි.... සියල්ල අවසන් වූ පසු කිසිවක් සිදුනොවූ සේ හැන්ඩලින් මහත්තයා සුපුරුදු පරිදි උදැසන සේවයට පිටව යයි කියා කතාව අවසන් කොට ඇත. මේ අපේ ජීවිතවලට කතා කරන කෙටිකතා නොවේද? ඒවා පශ්චාත් නූතන බහුබූත නොවේ.
සුනිල් ගුණවර්ධනගේ "රේස් ආච්චි" කෙටි කතාවෙන් අපට හමු වන්නේද එදා දේශීය වෙළෙඳ පන්තියේ නැගීමත් සමඟ පොහොසත් වූ කඩයක් හෝටලයක් හා ගෙවල් පේළියක් හිමි වයස්‌ගත යුවලකි. දරු මල්ලන් නැති ඔවුහු දුප්පත් නෑ. මිතුරන්ට උදව් කරති. මේ දෙදෙනා එදා ජනප්‍රියව පැවැති රේස් ඔට්‌ටු ඇල්ලීමෙන්ද ධනය ලැබීමට වාසනාවන්ත වෙති. ධනය ඉපැයීමෙන් මෙන්ම ධන දානයෙන්ද එකවර සතුට ලබන මේ දෙපළගේ චරිත කතාකරු විදහා පාන්නේ ඒ ආධ්‍යාත්ම සංකීර්ණය ඒ ධර්මතාව වටහා ගත් අන්තර්ඥානයකින්ය. මහලු වයසේදී මේ දෙදෙනා කුලීකරුවන් වූ නිවැසියන්ටම සහන මිලකට ගෙවල් අයිතිකර ගන්නට ඉඩ ලබා දෙති. හෝටලය ව්‍යාපාරය ගොඩනැගු ඥාති පුතුන්ටම දෙති. ගෙය හිතවත්ම නෑයාට දෙති. දෙන්නා මහලු නිවාසයකට ගොස් ජීවිත සන්ධ්‍යාව තුටින් ගත කරති. කථකයා පසු කලෙකදී මේ මිනිසුන් වාසය කළ ගෙවල් දොරවල් බැලීමට යයි. එවැන්නක් සොයා ගත නොහැකිය. කාලය හා මුදල් ලෝකය කෙතරම් වෙනස් කර ඇද්ද යන අවසන් වැකිය කතාකරුගේ හදින් නැගි සෝ සුසුමක් වැන්න.
ධනේශ්වර මඩ ගොහොරුවේ ගිලුණු බටහිර සමාජ භූමියෙන් මතුවූ පශ්චාත් නූතනවාදී සාහිත්‍ය ප්‍රවණතා මිනිසා පා රඳවා ගෙන සිටින මානව දහම් - සාර දහම් පදනම්වලින් ගැලවී විසිවූ බවත්, එම අධියථාර්ථවාදය වැනි මතවාදයන් භාෂාවට හා සාහිත්‍යයට මහත් විනාශයක් කළ බවත් ජීන් පෝල් සාත්‍රේගේ තියුණු විචාරයට හසුවිය. එම විචාර පත පොත මෙහි ව්‍යාප්ත වී නම් ඉකුත් සමයෙහි බොරු ගොස නැගූ අනුකාරකයින්ට අල්පායුෂයක්‌වත් නොලැබෙනු ඇත. විදග්ධ සළු පිළිවලින් තොර, සුනිල් ලියා ඇති මේ චාම් සරල චරිත කතා අපේ සමාජ සත්තාව ඇත්ත කරන දේශීය ලකුණින් යුත් ප්‍රබන්ධ සාහිත්‍යයක් බව අද දවසේ රසිකයාට හොඳින් අවබෝධ වනු ඇත. නිර්මාණකරුට අරමුණක් නැත. අරමුණ කෘතියමය. සාරධර්ම, පණිවුඩ,මතවාද නැත. ශ්‍රී ලංකාවේ ආර්ට් නැත..." ආදී ව්‍යාජ නූතනත්වයට ගොදුරුවීමෙන් සාහිත්‍ය කලාව නොසෙවුනා කැඩපතක් වී යෑයි අමරසේකර නැගූ හඬ තේරුම් ගැනීමට දැනටමත් ප්‍රමාද වැඩිය. අද නිරෝගී ප්‍රබන්ධ කලාවක් ඕනෑ කර තිබේ.
පරාක්‍රම කොඩිතුවක්‌කු
© Copy Rights - Divayina "Watamadala"
0 comments:
Post a Comment