මම බසයක හිඳ සිටියෙමි.
මට පිටුපස අසුනෙහි තරුණ මවක්, ඇගේ මව යැයි පෙනෙන වියපත් මවක් සහ ඇගේ පුතු යැයි සිතිය හැකි දරු පැටියෙක් හිඳ සිටියහ.
ඉදිරි නැවතුමකදී අන්ධ ගායකයෙක් සහ දැරියක් බසයට නැඟුණහ.
සිය ගමන් මල්ලෙන් රබානක් සහ ගෙජ්ජි වැලක් පිටතට ගත් අන්ධ ගායකයා රබාන තුමූම තබාගෙන ගෙජ්ජිවැල දැරියට දුන්නේ ය.
ඉක්බිති, බසයේ හඬ පරයා රබන් හඬ ද, ගෙජ්ජි හඬ ද නැඟෙන්නට විය. අන්ධ ගායකයා ගීයකට මුල පිරුවේය.
බසයේ ගමන වේගවත් විය. අන්ධ ගායකයා ගයන ගමන්ම අසුන් කොනකට බර දී සිරුර සමබර කර ගත්තේ ය.
ගීය අවසන් විය. දෙවැන්න ඇරඹිණ. එය ද අවසන් වී තෙවැන්න පටන් ගැනිණ.
දැරිය ද ගෙජ්ජිවැලෙන් තාලය අල්ලමින් විටින් විට ගායනයෙන් සහාය වූවාය.
මඟීන් බොහොමයක ගේ හිත් උණු වූවා සේ විය. ඔවුන් ගේ අත් මුදල් පසුම්බි හා සාක්කු වෙත ගියේ එහෙයිනි.
මේ අතර මට පිටුපස අසුනේ හුන් වියපත් මව මුනුබුරා අමතන හඬ මට ඇසිණ.
”පුතේ, අර අංකල් ළඟට ආවම මේ සල්ලි දෙන්ඩ!’
ඊළඟට ඇසුණේ දරුවාගේ කටහඬ ය.
’අම්මත් සල්ලි දෙන්ඩකො! කෝ මට දෙන්ඩකෝ! මං දෙන්නං’
ඒ සමඟම මවගේ හඬ ද ඇසිණ.
”ආච්චි සල්ලි දුන්නනෙ පුතාගෙ අතට. ඒ ඇති!”
දරුවා එබසට එකඟ නොවීය.
”බෑ. බෑ. අම්මත් දෙන්ඩ ඕනෑ!’
මඳ නිහැඩියාවක් පැවතිණ. දරුවා යළිත් මවගෙන් සල්ලි ඉල්ලුවේය.
අම්මා ද දරුවාගේ කරදරයෙන් බේරෙන්නට කීයක් හෝ දෙන්නට ඇත.
දරුවා එය රිස්සුවේ නැත.
’මේක කාසියක්නෙ! සල්ලි කොළයක් නෙමේනෙ! ආච්චි වගේ සල්ලි කොළයක් දෙන්ඩකෝ!’
එහෙත් මව ද යටත් වීමට කැමැති නොවූවාය.
’කමක් නෑ පුතේ. ඔය කොළෙයි, කාසියයි දෙකම දෙන්ඩ! ඒ ඇති!’
එවර දරුවා ආච්චි අම්මාට නඩුව කීවේය.
’ආච්චියෙ, අම්ම ලෝබයිනේ! ආච්චි වගේ සල්ලි කොළයක් දුන්නෙ නෑ. පොඩි කාසියක්නෙ දුන්නෙ’
එබස මා මුවගට සිනා පොදක් ගෙනාවේය. තරුණ මවට ලජ්ජා හිතෙන්නට ඇත. ඇය ද සල්ලි කොළයක් දුන්නා ය.
”හොඳ අම්ම! දැං එක වගේ සල්ලි කොළ දෙකයි! එකක් අර අක්කට! අනික එයාගෙ තාත්තට!’
කැලණියේ ධර්මාලෝක මාවතේ, නයනා දීප්ති ගුණරත්න මෙනෙවිය විසින් යොමුකරන ලද ලිපියක් ඇසුරිනි.
Copy Rights - Silumina - Nelum Wila
0 comments:
Post a Comment