----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

මම ඉතිහාසය හොයා ගෙන ගියේ ඔය රැළි සුළි එන්න කලින්

Wednesday, April 6, 2011

ජයන්ත චන්ද්‍රසිරි

සම්මානනීය කලාකරුවකු ලෙස ජයන්ත චන්ද්‍රසිරි හඳුන්වා දෙන්න අටුවා ටීකා අවශ්‍ය නැහැ. අදටත් ඔහු කළ නිර්මාණවලින් මිදී ටෙලිනාට්‍ය හෝ සිනමාවක් පිළිබඳ කතා කළ නොහැකි තරම්. ඔබේ අපේ මතකයේ රැඳුණු ප්‍රතිභාපූර්ණ නිර්මාණ කිහිපයක් කළ ජයන්ත පසුගිය කාලයේ ‘දුටුගැමුණු’ ඉතිහාස කතා පුවත සිනමාවට නගන්න උත්සාහ කළා. ඒත් එය අතරමඟ ඇන හිටියා. නමුත් ජයන්ත දුටුගැමුණු කතා පුවතෙන් මිදෙන්න සූදානම් නැතිවග හැඟුණේ ‘මහ රජ ගැමුණු’ නමින් ඔහු ලියූ නවකතාව නිසයි. මේ සංලාපය ජයන්ත චන්ද්‍රසිරි වටා ගෙතුණේ ඒ සියල්ලට විසඳුමක් ලෙසින්.

කතාබහට ප්‍රවිෂ්ටයක් ලෙස මා කැමැතියි ‘මහ රජ ගැමුණු’ යනු කුමක්දැයි පැහැදිලි කරගන්න.

ඔබේ ප්‍රශ්නයට පිළිතුරු දෙකක් දෙන්න මා කැමැතියි. එකක් මා තිර රචනය කළ චිත්‍රපට කතාවක් ඇසුරින් මා විසින්ම ගොඩනඟන ලද නවකතාවක් විදිහට.

අනෙක ‘මහ රජ ගැමුණු’ යනු කුමක්දැයි ඔබ අසනවිට මා තුළ දැල්වෙන අතීත, වර්තමාන, අනාගත යන කාලත්‍රයටම අයත් චිත්ත වේගයකට අදාළ මහාර්ඝ වස්තුවක් විදිහට.

ඇත්තටම ‘මහ රජ ගැමුණු’ කියන්නේ මේ රටේ මෙතෙක් වාසය කළ සහ වාසය කිරීමට නියමිත සියලුම මනුෂ්‍යයන්ගේ හදවතේ ස්වරූපය බව මගේ විශ්වාසයයි.

ක්‍රි.පූ. දෙවන සියවසේ පටන් අද දක්වාත් අපගේ සමාජ දේශපාලන හා භාවමය ජීවිත පෝෂණය කරන මේ උදාර මනුෂ්‍ය චරිතය මනුෂ්‍ය චරිතයක් වශයෙන්ම නව කලා සංවාදයකට ගෙන එන්නයි මට අවශ්‍ය වුණේ.

නමුත් ඔබ ඒ සඳහා කරන්න හිටියේ සිනමාපටයක්.

ඔව් මම දැනුත් හිතනවා ඒ සඳහා මගේ ප්‍රබලම මාධ්‍යය සිනමාව බව. චිත්‍රපටය නිර්මාණය කිරීම වෙනුවෙන් මා මගේ සියලුම සන්නිවේදන මෙවලම් මුවහත් කරමිනුයි හිටියේ.

ඉතින් එය නොකෙරුණේ ඇයි?

ඒකටත් මට පිළිතුරු දෙකක් දෙන්න පුළුවන්. එකක් නම් මා තවමත් නොදන්නා හේතු මත මෙය නිෂ්පාදනය කිරීමට පැමිණි කීප දෙනෙක්ම වැඩේ අතහැරීම. අනෙක් සහ සැබෑම හේතුව විදිහට මා දකින්නෙ මේ කෘතියේ සාරාර්ථය වටහාගත නොහැකි කෙනෙකුට මෙම කෘතිය නිෂ්පාදනය කිරීමේ භාග්‍යය උදානොවන බවයි.

ඔබේ ප්‍රබලම ප්‍රකාශන මාධ්‍යයෙන් ‘මහ රජ ගැමුණු’ නිර්මාණය කිරීමට නොහැකි වූවාට ඔබ තුළ යම් කලකිරීමක් කනගාටුවක් තියෙනවාද?

මෙහෙමයි මුලින්ම මම ඒ ගැන අතිශයින්ම කනගාටු වුණා. හැබැයි ඒ මෙය නවකතාවක් වශයෙන් සතිපතා පුවත්පතක පළවනතුරු පමණයි. මා බලාපොරොත්තු නොවූ අතිවිශාල පාඨක ප්‍රජාවක් ‘මහ රජ ගැමුණු’ කියවුවා. සිනමාවෙන් මට කළ නොහැකි වූ භාවමය සන්නිවේදනය සාහිත්‍ය හරහා කරන්න ඒ නිසා මට පුළුවන් වුණා. මේ අතිවිශාල පාඨක ප්‍රජාවේ ඉල්ලීම වුණේ එය ග්‍රන්ථයක් වශයෙන් එළිදක්වන්න කියලයි.

බොහෝ විද්වතුන් මට ඒ බව කිව්වා. නමුත් නවකතාව පුවත්පතේ පළවුණාට පස්සේ මට හිතුණේ අර මුලින්ම කියපු උතුම් කාර්යයෙහිලා මගේ භූමිකාවේ කොටස අවසන් කියලයි.

ඒත් එය ග්‍රන්ථයක් වශයෙන් එළිදක්වන්න ගෙවිඳු කුමාරතුංග ගන්න උත්සාහය දැක්කහමයි මට දැන් හිතෙන්නේ තවම මගේ රාජකාරිය අවසන් නැහැ කියලා.

මෑත කාලීන අපගේ සිනමාව දිහා බැලුවහම ඓතිහාසික කතා පුවත් වටා සිනමා කෘති නිපදවීම ඉතා සුලබ බව පෙනෙනවා. මෙය නිකම් රැල්ලක් වගෙයි. ඔබ උත්සාහ කළෙත් ඒ රැල්ලට එකතු වෙන්නද?

නැහැ මම ඓතිහාසික පුවත් ඇසුරින් ටෙලිනාට්‍ය නිර්මාණය කළේ ඉතිහාසය පිළිබඳ රැලි තබා සුළිවත් නැති කාලයකයි. මගේ මුල්ම චිත්‍රපටය ‘අග්නිදාහය’ පවා ඓතිහාසික පසුබිමක නිර්මාණය වූවක්. මට ඔය ප්‍රශ්නයට නම් කියන්න තියෙන්නේ පොඩ්ඩක් ආපහු හැරිලා මම ආව ගමන්මඟ දෙස බලන්න කියලා විතරයි.

හැබැයි ඔය එකක්වත් මම කළේ ඓතිහාසික නිර්මාණකාරයකුය කියන ලේබලය යටතේ ඉන්නට නෙමෙයි. ඒවා හැමවිටම මට තවත් දරාගෙන සිටිය නොහැකි කලා ප්‍රකාශන වූ නිසා. මම අහන්නම් කලාකරුවකුගේ කලා ප්‍රකාශනය කියන්නේ මොකක්ද? ඔහු තමා ජීවත්වන සමාජයේ සෙස්සන් වෙනුවෙන් කළ යුතු ඔහුගේ යුතුකම හා වගකීමයි. මගේ හැම නිර්මාණයකදීම මම ඒ සමාජීය යුතුකම අවංකවම ඉටුකළා කියන විශ්වාසය මට තියෙනවා. අදත් පාරට බැස්සහම ‘වෙදහාමිනේ’ ගැන ‘දඬුබස්නාමානය’ ගැන කතා කරන මිනිස්සු මට තාමත් හමුවන්නේ ඒකයි.

සැබවින්ම ගැමුණු රජතුමා පිළිබඳ ඔබගේ දර්ශනය මොකක්ද? එතුමා ජාතිවාදියෙක් ද නැතිනම් වීරයෙක් ද?

මා තුළ තියෙන්නේ දීර්ඝ පිළිතුරක්. මා ව්‍යාජයන් පිළිබඳ විශ්වාසයන්ගෙන් මුසපත් වන්නෙක් නොවෙයි. එසේම සත්‍යය විනිවිද දුටු කළ ලෝකයේ මොන කලා මතවාදයකින්වත් තිරිංග දමා නතර කළ හැකි අයෙක් ද නෙමෙයි.

ගැමුණු රජතුමා ජාතිවාදියෙකුයි යන්න සහ දුෂ්ටයෙකුයි යන්න සැක නොකරන ලද අගතිගාමිත්වයක (unsuspected Bias) ප්‍රචාරයක්. එසේම එය සමහර බටහිර අනුකාරක විද්වතුන්ගේ දුර් නිරීක්‍ෂණයක්. මේ සැක නොකරන ලද අගතිගාමිත්වය වංශ කතා රචනා කරන්නට පෙර කාලයේ පටන්මත් පැවතියා. ඒ වගේම ඒ අගතිගාමි ප්‍රචාර යම් යම් ආකාරයෙන් වංශකතා තුළටත් පැමිණියා.

ඒ අමූලික පච ප්‍රචාරවලින් ගැමුණු රජතුමාගේ චරිතය සියුම් ලෙස ඝාතනය කොට ඇතිවා පමණක් නොවෙයි එතුමන්ගේ ප්‍රතිමල්ලවයා වූ එළාර රජතුමා මහා ධාර්මික වීරයකු බවටත් පත්කොට තිබෙනවා. හංසයා දියෙන් කිරි වෙන් කරගන්නා සේ මේ යථාර්ථයට එබී බලන්නෙකුට පෙනෙනවා ගැමුණු රජතුමා විස්මය ජනක මානව හිතවාදියෙක් බව, ජාතිවාදියෙක් නොව ජාතිකත්වය ආරක්‍ෂා කළ අයෙක් බව. අන්‍ය ජාතීන්ට, සංස්තෘතීන්ට ගරු කළ අයෙක් බව.

යුද්ධය පිළිබඳව එතුමා දරූ අදහස් ලෝකයේ කිසිදු පාලකයකු සතුව නැහැ. ශ්‍රමය පිළිබඳ එතුමා තුළ තිබුණේ අපූරු ආකල්පයක්.

රජකම අතහැර ගොවිකමට ගිහින් ශූර ගොවියෙකුව සිට අන්තිමට මඩ සෝදාගෙන යළිත් රජකමට ආව විශ්මය ජනක නර වීරයෙක් ගැමුණු කියන්නේ.

අප දැන්වත් එතුමාට ‘දුටු - ගැමුණු’ කීම නතර කළ යුතුයි.

මහ රජ ගැමුණු’ තුළින් ඔබ මේ වීරයාව සදා පාදා ගන්න උත්සාහ කරනවා කියලයි මට හිතෙන්නේ.

ඒ විතරක් නෙමෙයි මේ ඉතිහාසය නැවත පිරික්සන්නට මා ඔබව පොලඹවනවා. මක්නිසාද ඔබට ඔබව හොයාගන්න හැකිවෙන්න. අප හැමෝටම අපව හොයාගන්න හැකිවෙන්න.

අවසන් වශයෙන් මම මෙහෙම අහන්නම්. මේ සියල්ල ඔබ සිදුකරන්නේ ඔබේම පරිකල්පනයක් වශයෙන්ද? නැතිනම් ඓතිහාසික තොරතුරු ඔස්සේද?

මා සතු ඓතිහාසික තොරතුරු අසීමිතයි. එහෙත් ඒ සියලු තොරතුරු එකට ඇමිණිය නොහැකිවා වගේම එසේ නොකළ යුතුත් වෙනවා. අනෙක සාහිත්‍ය කෘතියක් අන් සියල්ලටම ප්‍රථමව සාහිත්‍ය කෘතියක් විය යුතුය යන්නත් මා විශ්වාස කරනවා. ඒත් ඒ සියල්ලමත් මිනිසා සහ ලෝකය පිළිබඳ මගේ දෘෂ්ටියට යටත්.

0 comments:

Post a Comment