කතාව කොතැනින් පටන් ගන්න ද කියලා මට හිතාගන්නවත් බෑ. අපේ කතා නායකයා ගැන මීට කලින් අපි ඕන තරම් දේ ලියලා තිබෙනවා. ඒත් අද ඔහුගේ කතාවේ ඊට වෙනස්, බොහෝ දුක්බර සංවේදී දේ මෙන් ම වෙලාවකට ඔහු ගැන තරහක් ඇතිවන දේත් තිබෙනවා. ඒත් ඔහුට ඕන වුණේ සිය හෘද සාක්ෂියට එකඟව සත්‍ය අප හමුවේ තබන්නට. සමහර විට එය ඔහුට, ඔහුගේ සිතට සැනසිල්ලක් රැගෙන එන කරුණක් වන්නට ඇති.
පුරා දසක ගණනාවක් වේදිකාව, ටෙලිනාට්‍ය මෙන් ම සිනමාව ද සමඟ ජීවත් වූ ඔහු ජයසේකර අපෝන්සු. ඔහු ගැන ඕනෑ තරම් දේ මීට කලින් ලියා තිබුණත් මේ සටහන ඊට බොහෝ වෙනස් එකක්.
පුරා වසර 30කට පසු ඔහු ඔහුගේ පළමු බිරිඳ සහ එකම පුතු වෙත නැවත පැමිණි ගමන පිළිබඳ කළ කතා බහකි මේ.
මට ඉස් ඉස්සරලම ජයන්ති මුණ ගැසුණේ එක්දාස් නමසිය හැත්තෑ ගණන්වල. මම ගල්කිස්සේ නාට්‍ය පාඨමාලාවක දේශන පවත්වන්න ආපු ගමනකදී. ඒ නාට්‍ය පාඨමාලාවට ඇවිත් හිටපු ශිෂ්‍යාවන් අතරින් සුන්දරම කෙල්ල වුණේ ජයන්ති. මට මතකයි මේ ශිෂ්‍යයන් අතරේ උදයකාන්ත වර්ණසූරිය, ක්ලීටස් මෙන්ඩිස් වගේ අයත් හිටියා. ජයන්තිත් මමත් අතරේ ආදරයක් ඇති වුණේ ඔය කාලෙදි. ඊට පස්සේ 1978 දි අපි විවාහ වුණා.
ඒ කාලේ ඇත්තටම කිවුවොත් මට හරියට ආර්ථික ප්‍රශ්න තිබුණා. ස්ථිර රැකියාවක් තිබුණෙත් නෑ. කලා කටයුතු වලිනුත් හරි හමන් ආදායමක් තිබුණෙත් නෑ. අනික් පැත්තෙන් මට මගේ පවුලේ වගකීමුත් රැසක් පැවරිලා තිබුණ. මගේ නංගිල මල්ලිලා. අම්මල තාත්තලත් ඒ කාලේ මම නුවරඑළියේ ඉඳලා කොළඹට ගෙන්න ගත්තා. ඒ අතරතුර දී තමයි පුතත් ඉපදුණේ. එවැනි ප්‍රශ්න රාශියක් මැද්දෙ ඉන්න අතරතුර කොහොම හරි ජයන්තිගෙයි මගෙයි විවාහය දෙදරලා ගියා.
අපෝන්සු මේ හැම දෙයක් ම කියන්නේ පුරා තිස් වසරක් තමන් දුරස්ව සිටි තමන්ට පිය පදවිය උරුම කර දුන් එකම බිරිඳ වූ ජයන්තිත්, සිය ලෙයින් මසින් මෙලොවට බිහි කළ එකම පුතුත් සිය ඉදිරිපසින් තබාගෙන. දැන් ඔහු සිය ජීවිතයේ අලුත් පිටුවක් මේ දෙදෙනාත් එක්ව ආරම්භ කර සිටියි.
“ඇත්තටම ජයන්ති කියන්නේ ඉතාම හොඳ කෙනෙක්. එයා හරිම අහිංසකයි. අපි දෙන්න වෙන් වුණාට කවදාවත් රණ්ඩු කර ගත්තෙ නෑ. අවුරුදු 30 ට ආසන්න කාලයක් මගේ ජීවිතෙන් ජයන්ති සහ දරුවා පිළිබඳ පැත්ත වැහිල ම තිබුණා. අඩු තරමින් මගේ දරුවා පිළිබඳ හැඟීමක්වත් මට ආවේ නෑ.
එක පැත්තකින් පුදුමත් හිතෙනවා. කලාවට සංවේදී හදවතක් ඇති කෙනෙකුට මේ තරම් දරදඬු තීරණයක් ගන්න පුළුවන් ද කියලා. අපෝන්සු ජයන්ති ගේ නිවෙසින් යනවිට පුංචි පුතු හරිම කුඩායි. තමන්ගේ ම ලෙයින් මසින් උපන් දරුවෙකු තනිකර ඔහු දෙස ඇසක් ඇරවත් නොබලන්නට තරම් ඔහු කළ වරද කුමක්ද? කියලවත් ඔහුට නොසිතුණ හැටි.
“අපෝන්සු ගියාට පස්සෙ මම මගේ පුතත් එක්ක තනිවුණ ගැහැනියක් වුණා. ඒ තනිකම මට දරාගන්න පුළුවන් වුණේ මගේ පවුලේ උදවිය මාව තනි නොකරපු නිසා. මගේ පවුලේ අම්මා, තාත්තා, සහෝදර, සහෝදරියින් හැමෝ ම මාවත් පුතාවත් හොඳින් බලාගත්තා. විශේෂයෙන් මගේ ලොකු අයියා තමයි පුතාට තාත්තා කෙනෙක් වගේ. මේ තත්වෙට එනකම් බැලුවේ. ඒ හැම දෙනාගේ ම ආදරය කැපකිරීම මැද්දෙ තමයි මමයි පුතයි ජීවත් වුණේ.
දරුවා පුංචි ම කාලේ අපොන්සු මගෙන් ඈත් වුණාම මට දරාගන්න බැරි දුකක් ආවා. ඒ වුණත් දරුවා වෙනුවෙන් මම ඒ හැම දෙයක් ම ඉවසා ගත්තා. මම කලාවට හරිම ආදරේ කෙනෙක්. පසුගිය අවුරුදු 28 පුරා මම අඩුම තරමින් කලාවට සම්බන්ධ පුවත්පතක් වත් බැලුවේ නෑ. අපෝන්සු ගැන කිසිම තොරතුරක් දැකගන්න මම කැමැති වුණේ නෑ.
අද වැඩිහිටියෙක් බවට පත්ව විවාහ දිවියට ද එළඹ සිටින අපෝන්සු - ජයන්ති යුවළගේ එකම පුතු තමීර අපොන්සු ද අපේ කතා බහට එකතු වුණා.
“මට ඉස්කෝලෙ යන කාලේ තාත්තා නැති එක ලොකු ප්‍රශ්නයක් වුණා. ඒ පැත්තෙන් හරියට මම මානසිකව පීඩා වින්දා. ඊට පස්සෙ රැකියාවට ගියාට පස්සෙ තාත්ත නිසා මට බොහෝ පීඩා විඳින්න සිද්ධ වුණා. මම දැනුම් තේරුම් ඇති වැඩිහිටියෙක් වුණාට පස්සෙ මම විඳින පීඩා ගැන අම්මට කියන්න ගියේ නෑ. එයා ඒ නිසා සිතින් ගොඩාක් දුක් වින්ද කෙනෙක් තවදුරටත් අම්මා දුක් වෙනවට මම කැමැති වුණේ නෑ.
ගෙවුණු අවුරුදු ගණනාවට ම මේ අම්මටයි පුතාටයි තිබුණේ ඔවුන්ට ම වෙන්වුණු පුංචි ලෝකයක්. උපන් දා සිට ම අහිමි වුණු පිය සෙනෙහසට ලොබ බඳිමින් පුතු ‘තමීර’ ද පුරා වසර 28 ක් මව් සෙනෙහස පමණක් ලබමින් ජීවත් වුණා. ජයන්ති අපෝන්සු හා විවාහ වනවිට ඇයට වයස අවුරුදු 18 ක්. එතරම් ලාබාල වයසකින් විවාහ දිවියකට එළඹ දරුවෙකු හා තනිවෙන සුරූපිනියකට දෙවැනි විවාහයකට ආරාධනා නොලැබෙන්නට විදියක් නොමැත.
ඇත්තටම කිවුවොත් මගේ ගෙදර අයගෙන් සහ අනෙක් බාහිර වටපිටාවෙන් මට හරියට යෝජනා ආවා දෙවැනි විවාහයට එකඟ වෙන්න කියලා. නමුත් ඒ හැම යෝජනාවක් ම මම ප්‍රතික්ෂේප කළා.
මට ඕන වුණේ අපෝන්සු වෙනුවෙන් මගේ දරුවා හොඳින් හදාගෙන යහපත් විදියට ජීවත් වෙන්න විතරයි. මගේ සහෝදර සහෝදරියන් ගේ උදව්වෙන් හරි අද මම මගේ දරුවා කුඩුකාරයෙක්, මංකොල්ල කාරයෙක් නොකර යහපත් විදිහට හදලා තිබෙනවා. ඒ ගැන මට සතුටුයි. එයා හොඳ ගුණ ධර්ම ඇති දරුවෙක් වුණ නිසා තමයි අද එයාගේ තාත්තව පුරා අවුරුදු ගණනාවකට පස්සෙ ආවමත් ආදරෙන් පිළිගත්තේ.
ඇත්තටම මේ ගෙවුණු කාලය පුරාම අපෝන්සුට දාරක සෙනෙහස නොදැනුණේ ඇයි ද? කියන එක කාටත් ප්‍රශ්නයක්. අපෝන්සු නම් කිව්වේ එයාගේ හදවතේ දාරක සෙනෙහස අඳුරු වලාවකින් පසු ගිය කාලය පුරා ම වැසී ගොස් තිබුණ බවයි.
“ඒ කාලේ කොයි තරම් දැඩි තීරණවල මම හිටිය ද කියනව නම් මගේ දරුවා ගැන කිසිම හැඟීමක් මට ආවේ නැහැ. මගේ ලෝකේ ගොඩ නැඟුණේ කලාව. රඟපෑම, නාට්‍යය සෑදීම, චිත්‍රපට සෑදීම වැනි අංශ ඔස්සේයි. ඒ භෞතික ලෝකේ ඇතුළෙ තමයි පසුගිය කාලයම මම හිටියේ. එක දවසක් මට මතකයි මම සිරස රූපවාහිනියේ වැඩකට ගිහින් ඉදිරිපෙළ අසුනක ඉඳගෙන ඉන්නවා.
ප්‍රියන්ත විජේසිංහ මගේ ළඟට ඇවිත් කිව්වා පුටුව පිටුපස්සට හැරිලා බලපන්. පස්සෙ සීට් එකේ ඉන්නේ උඹේ ම පුතා කියලා. දැනුයි මට තේරෙන්නේ එදා මට කොයි තරම් දැඩි හදක් තිබුණ ද කියලා. මම හැරිලා බැලුවෙ නෑ. මම ප්‍රියන්තට කිව්වා එයාට කියන්න එයාගේ අම්මා අත හැරල මා ළඟට එන්න පුළුවන් නම් මම හැරිලා බලන්නම් කියලා.
ජීවිතේ හොයාගෙන අපෝන්සු දිගු ගමනක නිරත වුණා. මේ ගමන තුළ තවත් බොහෝ නවාතැන් පොළවල් තිබුණ. එහෙත් පසුගිය යුගයේ එක්තරා දිනයක අපෝන්සුට ජීවිතේ දුවල හති වැටුණ වගේ මහා ලොකු තනිකමක් පාළුවක් දැනුණා.
“ඇත්තටම පසුගිය කාලයේ මට ජීවිතේ තනිකම පාළුව තදින් ම දැනෙන්න පටන් ගත්තා. ටෙලිනාට්‍යයක් කරල ඒක විකාශය කරගන්න බැරුව ආර්ථික වශයෙනුත් මම හිර වුණා. අන්තිමට මට ඉතිරි වුණේ මගේ ගෝල බාලයින් පිරිස විතරයි. ඔවුන් හැමදෙනාමත් ගමේ ගිය මොහොතක මම මධු විතක් තොල ගාලා ඉන්න වෙලාවක ජයන්ති මට දුරකතනයෙන් කතා කළා.
ඒ කතා කළේ පුතාගේ ප්‍රශ්නයකට. ඊට පස්සෙ මම දිගින් දිගටම ජයන්තිට කතා කළා. අවසානේ ආපහු සැරයක් මම ජයන්ති ළඟම නතර වුණා. දැන් මට දැනෙනවා මම ඉස්සර හිටපු අපෝන්සු නොවෙයි කියලා. පුතා දැක්කට පස්සේ මගෙ හදවත පුපුරලා ගියා.
දැන් ජයන්තිත් මමත් පුතාත් පුතාගේ බිරිඳත් රාගම ජයන්තිගේ නිවෙසේ සතුටින් ඉන්නවා. මට හිතෙනවා දැන් මම ජයන්තිට ඉස්සරටත් වඩා ආදරෙයි කියලා. ජයන්ති තමයි මේ ලෝකේ වැඩියෙන් ම මා වෙනුවෙන් පරිත්‍යාගයක් කළ එකම ගැහැනිය. ජීවිතේ අවසාන බාගේ හරි මට ඇය ගාවට එන්න ලැබීමත් ලොකු සැනසීමක් විදියට මම දකිනවා.
මේ එකතු වීමට අපේ පවුලෙ හැම දෙනෙකුගේ ම සුබ පැතීම් එකතු වුණා. අවුරුදු ගණනාවක් මගේ නාට්‍යයකවත් රඟපෑව නැති අවන්ති නංගි ආයෙත් මගේ නාට්‍යවල රඟපාන්න ගත්තා.
මගේ සම්බන්ධය අත හැරුණත් මගේ නංගිලා මල්ලිලා ජයන්තිත් එක්ක සම්බන්ධකම් පවත්වලා තිබෙනවා. අද මටත් වඩා මේ එකතුවීම ගැන සතුටු වන්නේ ඒ අය. ඉදිරියේ දී එළඹෙන සුබ මොහොතක ජයන්තිත් මමත් නැවත විවාහ වෙනවා. ඒ සඳහා අස්සන් කරන්න සුදුසුම කෙනෙක් ඉන්නවා. ඒ මොහොත එළඹෙන තුරු තමයි බලාගෙන ඉන්නේ.
දැන් ජයන්තිත් පුතාත් මමත් එකතු වෙලා ‘තටු’ නාට්‍යය නැවත නිෂ්පාදනය කළා. පුතාත් මගේ නාට්‍යවලට සම්බන්ධ වෙලා ඉන්නවා. සංගීත අංශයෙන් සහ රංගනයෙන්. එයාටත් හොඳ රංගන හැකියාවක් තිබෙනවා. මීට ඉස්සර ඔහු මහරාජා ආයතනයේ වැඩ කළා. දැන් නාට්‍ය වැඩ කටයුතු සඳහා යන්න ඕන නිසා රැකියාවෙන් ඉවත් වුණා. ඉදිරියේදී ‘පාතාලයේ සොල්දාදුවෝ’ නාට්‍යය නැවත නිෂ්පාදනය කරන්න බලාපොරොත්තුවක් තිබෙනවා. ඒත් එක්කම මේ දිනවල මගේ ජීවිත කතාව ලියමින් ඉන්නවා.
0 comments:
Post a Comment