හැදිච්ච චිත්‍රපට හා නැහැදිච්ච චිත්‍රපට ගැන ටයි මහත්තයා කියූ කතා
එය ටයිටස් තොටවත්ත ‘හඳයා’ චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතුවල නිරතව සිටි අවදිය බව මට මතකය.
පසුකලෙක ප්‍රවීණ චිත්‍රපට හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයකු බවට පත් ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දුත් මාත් ටයි මහත්තයා හමුවන්ට බොරැල්ල කොටා පාරේ පිහිටි ඔහුගේ පාරම්පරික නිවෙසට ගියේ අප දෙදෙනා පළකිරීමට සැලසුම් කරගෙන සිටි සිනමා සඟරාවට ළමා සිනමාව අළලා ටයි මහතාගෙන් සම්මුඛ සාකච්ඡාවක් ලබාගන්ටය.
එය මා ටයිටස් තොටවත්තයන් සමඟ කළ මුල්ම සම්මුඛ සාකච්ඡාව වූවා පමණක් නොව චිත්‍රපට අධ්‍යක්ෂවරයකු සමඟ කළ ප්‍රථම පුවත්පත් සම්මුඛ සාකච්ඡාව ලෙස ද මට වැදගත්ය.
(ඒ වනවිට මම වෘත්තිමය වශයෙන් පුවත්පත් කලාවට සම්බන්ධව නොසිටියෙමි.)
එහෙත් නටපු තොවිලයකුත් නැත, ගහපු බෙරයකුත් නැතැයි කීවාක් සේ ක්‍රිස්ටිත් මාත් ළමා සිනමාව ගැන ලියපු ලිපියකුත් නැත. ගහපු සඟරාවකුත් නැත. සඟරාව පළ නොවුණේ ආරථික ප්‍රශ්න නිසාවෙනි.
පසුකලෙක මා සිනමා පුවත්පත් කලාවට අවතීර්ණ වීමෙන් ඉනික්බිතිව අවස්ථා කීපයකදීම මට ටයි මහත්තයා සමඟ සම්මුඛ සාකච්ඡා කොට ලිපි සකස් කිරීමේ භාග්‍යය ලැබිණි.
ප්‍රේම් දිසානායක සංස්කරණය කළ ‘කලා’ සිනමා පුවත්පත වෙනුවෙන් මා ටයි මහත්තයා මුණගැසී කතාබහක යෙදුණු අවස්ථාවේ ඒ වන විට ප්‍රදර්ශනය වෙමින් පැවති චිත්‍රපට ගැන මම ඔහුගේ ආකල්පය කෙබඳුදැයි විමසීමි. ඔහු ඊට පිළිතුරු දුන්නේ මෙපරිදිය.
”දැන් තියෙන්නේ හැදිච්ච චිත්‍රපට හා නැහැදිච්ච චිත්‍රපට යන දෙක විතරයි. හැදිච්ච මිනිහා හැදිච්ච චිත්‍රපට හදනවා. නැහැදිච්ච මිනිහා නැහැදිච්ච චිත්‍රපට හදනවා... ඒ ගොල්ලෝ බෑන්ඩ් ගහනවා. බලන අය චූන් වෙනවා. නියම බෑන්චූන්.”
එකල ‘නැව ගිලුනත් බෑන්චූන්’ නමින් සිංහල චිත්‍රපටයක් තිරගත වූ අයුරු මට මතකය.
1993 දී ටයිටස් තොටවත්තයන්ගේ කලා ජීවිතයට 50 වසරක් පිරුණි. ඒ නිමිත්තෙන් මම ඔහු සමඟ ‘ලක්දිව’ පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් කළෙමි. එහිදී මා ඇසූ මුල්ම ප්‍රශ්නය වූයේ මෙවැන්නකි.
”ඔබේ පනස් වසරක කලා ජීවිතය දිහා ආපහු හැරී බලන විට පෙනෙන්නේ කුමක්ද?
ටයි මහත්තයා සෝපාහාස සිනාවක් නඟා මෙසේ පිළිතුරු දුන්නේය.
”හැරිලා බැලුවොත් පේන්නෙ බං හොල්මන්නේ. මගේ ඔය ආපහු හැරිලා බැලිල්ලක් නෑනේ කොල්ලෝ. මම කවදත් බලන්නෙ ඉස්සරහ.”
මම ටයි මහත්තයාගෙන් තවත් ප්‍රශ්නයක් ඇසීමි.
”ඔබේ කලා ජීවිතයට පනස් වසරක් පිරී තිබුණත් අපේ විචාරකයන් තවමත් ඔබේ නිර්මාණ කෙරෙහි පෘථුල අවධානයක් යොමුකර නැහැ. ඒ ඇයි?
ඊට ටයි මහත්තයා පිළිතුරු දුන්නේ පැරණි ගීතයක් සිහියට නඟමිනි.
”පුතා දන්නෙ නැහැ පුතා. හඳ ඇති කාලෙට වනන්තරේ හරි වැඩ තමයි කෙරෙන්නේ”
ඒ ගීතය කුමක්දැයි මතකයට නංවා ගැන්මට මම උත්සාහ දැරීමි. එය කිංස්ලි ජයසේකර හා ප්‍රසිලා ඕපාත ගැයූ ‘මොනවද අම්මේ අකුරු ජාතියක්’ නම් වූ ගීතය බව මට සිහිපත් විය. එකී ගීතය ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ ප්‍රබන්ධයකි.
මඳ වෙලාවකින් ටයි මහත්තයා මගෙන්ද ප්‍රශ්නයක් ඇසුවේය.
”උඹ දන්නවද පුතා අපේ රටේ සිනමාව වෙනුවෙන් අන්තර්ජාතික සම්මානයක් ලබපු මුල්ම චිත්‍රපටය මොකක්ද කියලා. කියපන් බලන්න”
මට දෙසැරයක් කල්පනා කරන්ට වුවමනාවක් නොවීය. මම ‘ගම්පෙරළිය’ යැයි කීමි.
’දවල් ද?”
සැමුවෙල් රුද්‍රිගු ‘විනෝද සමය’ වැඩසටහනක අසන්නාක් සේ ටයි මහත්තයා සමච්චල් සිනාවක් පාමින් මගෙන් අසයි.
ඔහුම මට පිළිතුරක් දෙයි.
”මගේ ‘හඳයා’. ඒක තමයි අපිට ලැබුණු මුල්ම අන්තර්ජාතික සිනමා සම්මානය.”
1963 නවදිල්ලි අන්තර්ජාතික චිත්‍රපට උළෙලේදී ‘ගම්පෙරළිය’ චිත්‍රපටයට රන මයුර (Golden Peacock) සම්මානය ලැබුණත් ඒ වන විට එම චිත්‍රපට උළෙල අන්තර්ජාතික මට්ටමට පත්ව නොතිබිණි. මා ඒ දිනවල මේ කරුණ තහවුරු කරගත්තේ තවත් ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වූ අමරනාත් ජයතිලක වෙතිනි.
1980 ඉතාලියේ සලානෝ (SALANO) ළමා හා යොවුන් චිත්‍රපට උළෙලේ දී ‘හඳයා’ චිත්‍රපටය හොඳම චිත්‍රපටය ලෙස සම්මාන හිමිකර ගත්තේය.
අර්නස්ට් වඩුගේ සංස්කරණය කළ ‘රස’ සිනමා පුවත්පතට මා ටයිටස් තොටවත්තයන් සමඟ සම්මුඛ සාකච්ඡාවක් කළ අවස්ථාවේ මෙසේ ඇසූ බවක් මතකයේ ඇත.
”ඔබේ චිත්‍රපටවල හා රූපවාහිනී වැඩසටහන්වල නිතරම දකින්න ලැබෙන්නේ අදියුරු, ඉසිඹුව, උපසිරැසි, හඬ දෙකැවීම් වගෙ වචන. ඒ මොකද?”
ඉන්පසු ටයි මහත්තයා ගත් කටටම:
”ඔන්න ඇහැව්වා ගොන් ප්‍රශ්නයක්. මේක තමයි නියම හෙළ බස. ඒක කොයි තරම් ලස්සන ද? හුඟ දෙනෙක් අද භාෂාව පාවිච්චි කරන්නේ වැරදියට. මං මේ ළඟදි දැක්කා එක වාක්‍යයක්.
”කුඩා කොණ්ඩය බැඳි මේසය මත නිදා සිටි මගේ මාමා”
”ඒක මාර වාක්‍යයක්. මට ඒකේ තේරුම හිතාගන්නටත් බැහැ. එතකොට කොණ්ඩෙ බැඳන් ඉඳලා තියෙන්නේ කවුද? මාමා ද? මේසේ ද? ඔන්න අපේ සිංහල”
අපේ අවාසනාවට ටයිටස් තොටවත්ත ලෙඩ ඇඳට වැටුණේය. අද ඔහු සමඟ සම්මුඛ සාකච්ඡාවක් කිරීම අසීරු ක්‍රියාවකි. ඔහු නීරෝගීව සිටියා නම් ඉහත සම්මුඛ සාකච්ඡාවලදී මෙන් ඉතාම වටිනා අදහස් රැසක් පාඨක ඔබ වෙනුවෙන් ගොනු කළ හැකිව තිබුණා නොවේද?
පසුගියදා (අප්‍රේල් 17) 82 වැනි වියට පා තැබූ ටයිටස් තොටවත්ත මහා කලාකරුවාණෙනි: ඔබට දීර්ඝායු.
0 comments:
Post a Comment