----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

Lanka Art Chat Room - එන්න අපි කතා කරමු

අවංකකමේ හා අව්‍යාජත්වයේ නාට්‍යයක්‌ (ජනේලයෙන් පනින්නද?)

Thursday, April 21, 2011

අවංකකමේ හා අව්‍යාජත්වයේ නාට්‍යයක්‌
ජනේලයෙන් පනින්නද?


අව්‍යාජත්වය හා අවංකකම තරම් සාහිත්‍ය නිර්මාණයක සාර්ථකත්වයට හේතු වන අන් දෙයක්‌ නැත. තමා හොඳින් දන්නා විෂයයක්‌ හෝ ලෝකයක්‌ පිළිබඳ කරන අවංක ගවේෂණය යම් සාහිත්‍ය නිර්මාණයක්‌ විශිෂ්ටත්වයට පත් කරන්නට හේතු වෙයි. මෙවර යෞවන සම්මාන ලත් නාට්‍යයක්‌ වන ජනේලයෙන් පනින්නද? නාට්‍යය පේරාදෙණිය සරච්චන්ද්‍ර එළිමහන් රංගපීඨයේ ඉමහත් ප්‍රේක්‌ෂක ප්‍රසාදය විඳිමින් රඟ දැක්‌විණ. බොහෝ සෙයින්ම විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගෙන් සැදි ප්‍රේක්‌ෂාගාරය මෙම නාට්‍යය සමග බැඳෙන්නට හේතුව එහි අව්‍යාජත්වයයි. කැලණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවක වන ධනුෂිකා නයන කුමාරි විසින් අධ්‍යක්‌ෂණය කරන ලද තුමිඳු දොඩන්තැන්නගේ රචනයක්‌ වන මෙම නාට්‍යය මගින් ගවේෂණය කෙරෙන්නේ වර්තමාන සරසවි ශිෂ්‍ය ශිෂ්‍යයාවන්ගේ ජීවිතයයි. එය රචකයා සහ අධ්‍යක්‌ෂිකාව හොඳින්ම දන්නා ජීවිතයයි. කලාකරුවාගේ අව්‍යාජත්වය යනු තමා හොඳින් දන්නා ලෝකය පිළිබඳ අවංක ගවේෂණය මගින් එම ලෝකය සෘජුව නොදන්නා අයටත් විඳගත හැකි අනුභූතිමය ලෝකයක්‌ බවට පෙරලීමය. හැකි නම් එම ලෝකය ඒ ලෝකයෙන් එහා ගිය අර්ථ විහිදවන රූපකමය අවකාශයක්‌ බවට පෙරලීමය.

මේ නාට්‍යය ඒ ප්‍රථම කාර්ය ඉතා හොඳින් කරයි. දෙවැනි කාර්ය, එනම් වස්‌තු විෂයෙහි ලෝකයෙන් එපිටට අරුත් විහිදුවන රූපකමය අවකාශයක්‌ බවට වස්‌තු විෂය පෙරලීමේ හැකියාව මේ නාට්‍යය කණ්‌ඩායමට ලැබෙනු ඇතැයි අපේක්‌ෂා කළ හැකිය. ඔවුන් ප්‍රතිභාසම්පන්න පිරිසක්‌ බැවිනි. වස්‌තු විෂය පිළිබඳ නිර්මාණකරුවාගේ භාවමය-බුද්ධිමය අරගලය සංදර්භයෙන් සංදර්භයට ගමන් කළ හැකි තේමාත්මක අර්ථ මතු කරන දෙයක්‌ බවට වස්‌තු විෂය පරිවර්තනය කරයි. නිදර්ශනයක්‌ ලෙස සුභ සහ යස ගනිමු. එය හුදෙක්‌ යසලාලක තිස්‌සගේ චරිත කතාව නොවේ. සයිමන් නවගත්තේගමගේ විශිෂ්ට රචනය මගින් කෙරෙන්නේ යසලාලක කතාව දේශපාලන බල ව්‍යුහ ස්‌වභාවය පිළිබඳ අදටත් අදාළ තේමාත්මක අර්ථ මතුකරන පරිවර්තයක්‌ බවට පෙරලීමයි. රාජ්‍යත්වය නව ව්‍යුහය සකස්‌ කර ඇති ව්‍යුහමය ස්‌වභාවය නිසාම එක්‌ හිත හොඳ මිනිසකු එම ව්‍යුහය වෙත අලුතින් පැමිණීමෙන් ව්‍යුහය වෙනස්‌ නොවේ. ව්‍යුහය විසින් මිනිසා අවසාන වශයෙන් ගිලගනු ලබයි. ජනේලයෙන් පනින්නද නාට්‍යය එහි වස්‌තු විෂය එහි නෛසර්ගික සංදර්භයෙන් එපිටට විහිදුවන තේමාත්මක අරුත් විහිදුවීම අලුතින් එතරම් ප්‍රබල නොවුවද තමා තෝරාගත් ක්‌ෂේත්‍රය පිළිබඳ අවංක ගවේෂණය හා නිරූපණය නිසා හෘදයංගම ස්‌වභාවයක්‌ අත් කර ගනියි. ඒ නිසා මේ තරුණ පිරිස පණගන්වනු ලැබිය යුතුය.

තමා හොඳින් දන්නා ලෝකය ගවේෂණය

නාට්‍යය ආරම්භ වන්නේ දැවැන්ත දේශපාලන සටන් පාඨ, දැවැන්ත දේශපාලන ගැටුම් ආදී මහා මාතෘකාවකින්ම නොවේ. ආරම්භක දර්ශනය සමන්විත වන්නේ සරසවි ශිෂ්‍යාවන් තිදෙනකුගේ බෝඩිං කාමරයකිනි. දක්‌ෂ තරුණ නිළියන් විසින් ළගන්නා ලෙස ඉදිරිපත් කරනු ලබන්නේ මෙම අතිශය සාමාන්‍යය සරසවි සිසු බෝඩිං ජීවිතයයි. එහෙත් අපි එහි වන අව්‍යජත්වය හා වහා බැඳෙමු. මෙහි ලොමු දැහැගැන්වෙන රංගන උපක්‍රම කිසිවක්‌ නැත. විස්‌ම ගන්වන ශබ්ද ප්‍රයෝග කිසිවක්‌ නැත. මහා රැඩිකල් දෙබස්‌ මුකුත් නැත. අව්‍යාජත්වය හා සියුම් රංගනය අප ආකර්ෂණය කරන ප්‍රධානම හේතුවයි. රාජිත සේනානායකගේ නාට්‍යවල යොදා ගැනෙන සියුම් රංග විධි ක්‍රමය හා ප්‍රියංකර රත්නායකගේ ඇන්áගනී නාට්‍යයෙහි විශ්වජිත් ගුණසේකර වැනි අය භාවිත කරන සියුම් රංගනය මේ තරුණ පිරිස විසින් භාරිත කෙරෙනු පෙනේ. හුදෙකලා කාමරයක්‌ වුව ඔවුන්ගේ චරිත හුදෙකලා නැත. ජනේලයෙන් හා සෙලියුලර් දුරකථනයෙන් ඔවුන්ගේ කාමරය වෙත බාහිර ලෝකය ගලා එයි. ජනේලයෙන් හා සෙලියුලරයෙන් ඔවුන්ගේ කාමරයට එන්නේ බෝඩිමේ ඇන්ටි විසින් අවසර නොදෙන දේවල්ය. දේශපාලනය, ආදරය, ලිංගිකත්වය ඒවාය. ඩෙනිම් කලිසම් හැඳ සෙලියුලර් අතින් ගත් මේ කෙල්ලන්ගේ චරිතය ඒ ඇඳුමෙන් පැළඳුමෙන් ඇඟවෙන අන්දමේ නිදහසක්‌ තාමත් ලබා නැති බව පෙනේ. තාමත් ඔවුන්ගේ ජීවිතය හන්තානේ කතාවෙන් නිරූපිත විශ්ව විද්‍යාල චරිතයෙන් තීරණාත්මකව වෙනස්‌ නැත. ඔවුහු තවමත් අපේ කෙල්ලෝ වෙති. වර්තමාන තරුණ ජීවිතය වෙත ආදරය ඇති කිර්ම මේ නාට්‍යයට ඇති හැකියාව අපූරුය. ඒ නාට්‍යය එය කරන්නේ අපට ආදරය කරන්නැයි කෑ ගසා කීමෙන් නොවේ. ඔවුන් ජීවත් වන සැටි හා එහි අහිංසකත්වය සුහද ලෙස නිරූපණයෙනි.

"ඩෙනිම ගහනZ" අපේ කෙල්ලන් ජාතිෙද්‍රdaහි සංස්‌කෘතික විනාශකයන් නොවන බව පෙන්නා ඔවුන් වෙත සානුකම්පාව ඇති කිරීම මේ නාට්‍යයෙන් කෙරෙන අමතර සංඥාර්ථවේදීමය කාර්යකි. ඇතැම් සරසවි නරුමයෝ දිග කලිසමට වඩා අඟල් කීපයක්‌ කොට ත්‍රී ක්‌වාටර් අඳින කෙල්ලන්ට පහර දෙති. ඒ නිසා නාට්‍යයේ කෙල්ලන් ත්‍රී ක්‌වාටර් ඇන්දා නම් අර කී සංඥාර්ථවේදීමය මානය තවත් තීව්‍ර වන්නට තිබිණ පේරාදෙණි ---වලේZ නාට්‍ය බැලූ කොල්ලෝ කෙල්ලන්ට හූ නොකියා ඩෙනිමෙන් ටීෂටයෙන් මතුවී පෙනුණ නාරි රූද රූමත් නිළියන්ගේ නිතඹ ලෙළවිලිද ආසාවෙන් උරුවම් බාමින් බැලූහ. ඒ නිසා ඒ අය යළිත් දවසක කලිසම් අඳින කෙල්ලන්ට මානසික, කායික හිංසා කරන්නට කලින් මේ නාට්‍යය ගැන සිහි කරනු ඇත.

සෙලියුලර් තාරුණ්‍යය

සෙලියුලර් දුරකථනය අපේ චරිතය ආක්‍රමණය කර ඇති ආකාරයද සෙලියුලරය විසින් ඉටු කරනුලබන විවිධ කාර්යන් මේ නාට්‍යය තුළ ඉතා නිර්මාණශීලීව භාවිත වෙයි. සෙලියුලරය නාට්‍යයේ කතා වින්‍යාසයේම කොටසකි. සෙලියුලර් දුරකතනයක්‌ කතා වින්‍යාසමය අංගයක්‌ ලෙස භාවිත වනූ බටහිර සිනමා කෘතිවල නිතර දකින්නට පුළුවන. ඩේවිඩ් ආර්. එලිස්‌ අධ්‍යක්‌ෂණය කළ ද සෙලියුලර් නම් ත්‍රාසජනක චිත්‍රපටය එක්‌ ප්‍රධාන නිදසුනකි. මේ නාට්‍යයේ සෙලියුලරය කතා වින්‍යාසමය අංගයක්‌ ලෙස අපූරුවට භාවිත වුවද සෙලියුලරය විසින් සරසවි කෙල්ලන් යටත් කරනු ලැබ තිබෙන සැටි තවදුරටත් ගවේෂණය කරන්නට තිබිණ. නාට්‍යයේ එන හැටියට සෙලියුලරය යනු ස්‌ත්‍රීන් රැවටීමේ හා වඩා හොඳින් යටත් කර තබා ගැනීමේ උපරකණයක්‌ද? සාමාන්‍ය ටෙලිෆොaනයට වඩා පෞද්ගලිකත්වයට හා රහසිගත බවට ඉඩ සලසයි. මේ ස්‌වභාවය පිරිමින් විසින් භාවිත කෙරෙන්නේ ස්‌ත්‍රීන් රැවටීමටය. වැඩිහිටි මහාචාර්යවරයෙකු මේ එක ශිෂ්‍යාවක සමග අනියම් ඇසුරක්‌ පවත්වන්නේ සෙලියුලරයෙනි. තවත් ශිෂ්‍යයාවක තම පෙම්වතාට හොරෙන් අනියම් හා තාවකාලික ප්‍රේම ගනුදෙනු හා ලිංගික ගනුදෙනු සඳහා භාවිත කරන්නේ සෙලියුලරයයි.

සෙලියුලර් යුගයට පෙර සරසවි චරිත ගත කළ, සෙලියුලරයට පෙර පෙම්වතියන් ඇසුරු කළ අපගේ පරම්පරාවට තේරුම් ගත නොහැකි තරම් අලුත් පරම්පරාවේ සෙලියුලර්කරණය අධික බව පෙනේ. එහෙත් ශිෂ්‍ය නායකයකුට පෙම් කරන කෙල්ලක විසින් ඉතා ලෙහෙසියෙන් විවාහක පිරිමියෙකු විසින් රවටනු ලබන්නේ කෙසේද? එසේ රවටනු ලබන කෙල්ල ඉතා ඉක්‌මනින් පෙම්වතුන් මාරු කරන්නේ ඇයි? ඒ මානසික චංචලතාවේ සමාජමය හෝ මනෝමය හේතු මොනවාද යන ප්‍රශ්න මේ නාට්‍ය නරඹද්දී අප තුළ ඇති වෙයි. එහෙත් පාර දිගේ සිනමා කෘතිය නැරඹූ විට එහි නිරූපිත තරුණ චරිතය ගැන ඇති වන්නාක්‌ වැනි ආදරයක්‌ මේ තරුණ චරිත ගැන අපට ඇති වෙයි. එයම ජයග්‍රහණයකි. ඊට ඉඩ ලැබී ඇත්තේ මා මුලින් කී අවංකකම හා අව්‍යාජත්වය නිසාය. මේ නූතන ස්‌ත්‍රියගේ චරිතය සුහද ලෙස නිරූපණය කරන නිසාම නාට්‍යය අපට දැනෙන්නේ උණුසුම් ස්‌ත්‍රීවාදී සටන් පාඨ නැති එහෙත් අව්‍යාජ ස්‌ත්‍රිවාදයක්‌ ලෙසයි.

නාට්‍යයේ තාක්‌ෂණික ඇමුණුමZ කිරීමෙහි දක්‌ෂතා පෙන්වන රචකයා හා අධ්‍යයක්‌ෂවරියට මේ පිරිසගේ චරිතයෙහි තවත් පැතිමාන ගවේෂණය කරන්නට තිබිණ. දුරකථන ජාලය යනු අප පැටලෙන දැලක්‌ද? ඒ දැල සමාජයක දේශපාලන ආධිපත්‍ය දරණ අයගේ පාලනයට නතු දැලක්‌ද? මේ දුරකථන ජාලය යනු අවසාන වශයෙන් දේශපාලන බලවතුන් දෘෂ්ටිවාදාත්මක බලවතුන් පිටින් ආවේ ස්‌ත්‍රීන්ට සාපේක්‌ෂව බලවත් අය විසින් උපක්‍රමකව භාවිත වන ජාලයක්‌ද? මෙම නාට්‍යයේ එන දේශපාලනිකව සවිඥානක ශිෂ්‍යයන් යෙදී සිටින්නේ පශ්චාත්-යුද්ධ ලංකාව තුළ දකුණේ ශිෂ්‍යයන් උතුරු-නැගෙනහිර ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් අරගලයක යෙදීමයි. ඒ අරගලය අවුරා සිටින ජාලයෙන් එකක්‌ නම් යුද්ධයෙන් පසු උතුරු-නැගෙනහිරටද වැඩිවැඩියෙන් පැතිරෙන දුරකථන ජාලයම වීම උත්ප්‍රාසාත්මකය. මෙය නවකතාවක්‌ වැනි සරිස්‌තර පඨිතයකි නම් තවදුරටත් ගවේෂණය කළ හැකි මානයකි.

සිංහල සාහිත්‍ය ක්‌ෂේත්‍රයේ සේම නාට්‍යය ක්‌ෂේත්‍රයේද ඇති උවදුරක්‌ නම් එක නාට්‍ය කණ්‌ඩායම හොඳ නිර්මාණ උණුසුම් හදවතින් අගය කරන්නට තවත් කණ්‌ඩායමකට ඇති නොහැකියාවයි. විවිධ නාට්‍ය කල්ලි විසින් බයිට්‌ එකට ගැනෙන්නේ අනික්‌ නාට්‍ය කල්ලි බව මම අත්දැකීමෙන් දනිමි. තම විෂය පිළිබඳ විවිධ එළැඹුම් ගැනීමේ නිර්මාණශීලී රෝගයක්‌Z පැවතීම හොඳය. එහෙත් අනෙකාගේ නිර්මාණ ඒවායේ ස්‌වභාවයට නිසි ගෞරවය දෙමින් අගය නොකිරීම අනිකකි. අප නිර්මාණකරුවන් යනු එකිනෙකා සමග ගැටුමක යෙදී සිටින අය නොව අප කාටත් පොදු මනුෂ්‍ය කොන්දේසිය සමග ගැටෙන පිරිසකි. මේ උවදුරට හසු වූ අයට ප්‍රසිද්ධිය ලැබුණද ශේ්‍රෂ්ඨත්වය නම් අත්කර ගත නොහැකිය. සිංහල වේදිකා නාට්‍යයෙහි කාලයක සිට පැවති ගැටලුවක්‌ වන අධිරංගනය අත්හැර දමන තරුණ නළුනිළි පිරිසක්‌ මතු වෙමින් සිටීම සතුටට කරුණකි. සිංහල නාට්‍යය ඉතිහාසයෙහි විශිෂ්ට කෘතියක්‌ වන සුභ සහ යස නරඹද්දී පවා යස චරිත නිරූපණයට දයාදේව එදිරිසිංහගේ හෝ විශ්වනාත් ගුණසේකරගේ සියුම් රංගනය එක්‌ වුණි නම් කෙතරම් අපූරුදැයි අපට සිතිණ. ජනේලයෙන් පනින්නද නාට්‍යයේ තුමිඳු දොඩන්තැන්න හා සමාධි ලක්‌මාලි ප්‍රමුඛ තරුණ නළුනිළියන් කරන රඟපෑම ප්‍රියංකර රත්නායක කැලණියෙහි පැල කරන බීජවල පලදාව යෑයි මම සිතමි.


ලියනගේ අමරකීර්ති


© Copy Rights - Divayina "Watamadala"

0 comments:

Post a Comment