----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

Lanka Art Chat Room - එන්න අපි කතා කරමු

අපේ නාට්‍යකරුවන් බ්‍රෙෂ්ට් ඝාතනය කළා

Saturday, April 16, 2011

ධර්මජිත් පුනර්ජීව

ධර්මජිත් පුනර්ජීව නාට්‍ය රචකයකු, නිෂ්පාදකවරයකු මෙන්ම නාට්‍ය ලේඛකයකු ලෙස ද ප්‍රකටය. ’බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් නාට්‍ය සංකල්ප - සමාජ විද්‍යාත්මක ජගත් දෘෂ්ටි’ ඔහුගේ අලුත්ම නාට්‍ය පර්යේෂණ ග්‍රන්ථය වෙයි.

නාට්‍යකරුවකු වශයෙන් බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් අදටත් වැදගත්ය කියලා ඔබ විශ්වාස කරනවද?

බ්‍රෙෂ්ට් නිපදවපු නාට්‍ය විධික්‍රමය ඉදිරියට ගෙන ගිය තවත් නාට්‍යකරුවන් ලෝකයේ ඉන්නවා. ඉතාලි ජාතික දාරියෝ ෆෝ එවන් නාට්‍යකරුවෙක්. ඔහු පාප් වහන්සේ ඉන්න රටේ ඉඳන් පාප් වහන්සේ විවේචනය කරන මට්ටමේ නාට්‍යකරුවෙක්. ඔහු භාවිතා කරන්නේ බ්‍රෙෂ්ට් නිපද වූ නාට්‍ය ක්‍රමවේද. ඒ අනුව අපිට පේනවා, බ්‍රෙෂ්ට් අදටත්, මේ මොහොතේත් වැදගත් නාට්‍යකරුවෙක්ය කියලා.

මොකද්ද බ්‍රෙෂ්ට්ගේ මේ නාට්‍ය ක්‍රමවේදය?

ඉතාම කෙටියෙන් කිවහොත් ’අපෝහක නාට්‍ය’ යැයි කියන්න පුළුවන්. නව විද්‍යාත්මක ලෝකයට වඩාත්ම ගැළපෙන නාට්‍ය ක්‍රමය මෙය බව බ්‍රෙෂ්ට් පෙන්වා දී තිබෙනවා. බ්‍රෙෂ්ට් 1938 දි තමයි මේක අත්හදා බලන්නේ. 1954 දි ඔහු මිය යන්ට පෙර ඔහු තීන්දු කරනවා, තමාගේ නාට්‍ය ක්‍රමවේදය මේකයි කියලා.

මීට කලින් තදාත්ම්‍ය විඝටනය, දුරස්ථිකරණය, පරාරෝපණය වැනි වචන මේ සඳහා භාවිතා වුණා.

ඔව්. ඒ වචනවලින් බ්‍රෙෂ්ට් අදහස් කරපු දේ කියැවෙනවා කියලා මම හිතන්නේ නැහැ.

බ්‍රෙෂ්ට් ගේ මේ නාට්‍යක්‍රමවේදය මුළුමනින්ම දේශපාලනික එකක්?

ඔව්. මේක කෙළින්ම මාක්ස්වාදයත් එක්ක සම්බන්ධයි. අපේ රටේ මාක්ස්වාදය වටහා ගැනීමේත් ලොකු අවුලක් තියෙනවනේ.

සිංහල වේදිකාවට බ්‍රෙෂ්ට් හඳුන්වා දෙනු ලැබුවේ හෙන්රි ජයසේන විසින්. තමා බ්‍රෙෂ්ට් ගේ රංග සිද්ධාන්ත කුරුසියක් කරගත්තෙ නැති බව හෙන්රි පැහැදිලිවම කියලා තියෙනවා.

අපේ නාට්‍යකරුවන් බ්‍රෙෂ්ට් ඝාතනය කළ බවයි මගේ හැඟීම. බ්‍රෙෂ්ට්ට දේශපාලනික වශයෙන් කිසියම් දැක්මක්, දර්ශනයක් තිබ්බා. ඒක තමයි බ්‍රෙෂ්ට් ;ග් වැදගත්ම දේ. ඒත් අපේ නාට්‍යකරුවන් ඒක පැත්තකින් තියලා තමයි ඔහුගේ නාට්‍ය පරිවර්තනය කර රඟ දක්වන්නේ. දේශපාලනයට අත තියන්න, හෙන්රි දක්වපු අකැමැත්ත, බය ඔහුගේ ‘හුණුවටයේ කතාව‘ නාට්‍ය නිෂ්පාදනයෙන් අපිට පෙනෙනවා. බ්‍රෙෂ්ට්ගේ දේශපාලනය තමන්ගේ නිෂ්පාදනයට ඇතුළු කරලා නැති ප්‍රශ්න හදා ගන්න ඔහු සූදානම් වුණේ නැහැ.

හෙන්රි වේදිකාවේ මවපු අසඩක්ගේ චරිතය ගැනත් ඔබේ විවේචන තියෙනවා.

’හුණුවටයේ කතාව‘ නාට්‍යයේ අසඩක් කියන්නේ බ්‍රෙෂ්ට්ම අදහස් කළ පරිදි පාදඩයකු බවට පත්වු කලකිරුණු විප්ලවවාදියෙක්. එහෙත් හෙන්රි මවපු අසඩක් තුළ එහෙම විප්ලවවාදියෙක් නැහැ. මුල් පිටපතේ අසඩක්ගේ මුවට නැංවූ සමහර දෙබස් හෙන්රි තම පරිවර්තනයේදී දීර්ඝ වශයෙන් ඉවත් කරලා තියෙනවා. එයින් ම පෙනෙනවා, ඔහු ඒ චරිතය අවබෝධයකින් තොරව ඉදිරිපත් කළ බව.

ආචාර්ය මයිකල් ප්‍රනාන්දු වගෙ අය බ්‍රෙෂ්ට් විශේෂඥයන්. ඇයි ඔවුන් මේ ගැන කතා නොකර තියෙන්නේ?

න්‍යාය හා භාවිතාව යන දෙකෙන් ම පිරිපුන් බුද්ධිමතුන් අපේ රටේ අඩුයි. ආචාර්ය මයිකල් ප්‍රනාන්දුට හොඳ න්‍යායාත්මක දැනුමක් තිබෙනවා. ඒක මම පිළිගන්නවා.

ඔබ වුණත් මේ වගෙ පොත් ලිව්වට තවමත් බ්‍රෙෂ්ට්ගෙ නාට්‍යයක් නිෂ්පාදනය කරලා මේ ‘අපෝහක’ නාට්‍ය ක්‍රමවේදය මොකක්ද කියලා අපිට හරියට පෙන්වලා දීලා නැහැ.

මම 1984 දි හෙලේනා ලෙහ්තිමකි නිෂ්පාදනය කළ ‘පුන්තිලා’ නාට්‍යයට සම්බන්ධ වුණා. මම දැන් අදහස් කරනවා, බ්‍රෙෂ්ට් ගේ ‘ලූකුලස් ගේ නඩු විභාගය’ කියන නාට්‍යය නිෂ්පාදනය කරන්න. එහි සිංහල පරිවර්තනය ආචාර්ය මයිකල් ප්‍රනාන්දු විසින් කරනු ලැබ තිබෙනවා.

බ්‍රෙෂ්ට් ගේ පෞද්ගලික ජීවිතය අනාවරණය කෙරෙන පොත් කීපයක් පළවී තිබෙනවා. ඒවා නිවැරදි නම් බ්‍රෙෂ්ට් තුළ විශාල පරස්පරතා දකින්න පුළුවන්.

අපි කාගෙත් රහසිගත ජීවිත තියෙනවා. ඒත් කලාකරුවා සමාජය තුළ කැපී පෙනෙන නිසා ඒවා වඩාත් ඉස්මතුව පේනවා. ඔවුන්ගේ පෞද්ගලික ජීවිත හොයන එකෙන් සමහරු වෙනම රසයක් ලබන බව මම දන්නවා. හැබැයි මේක ලංකාවේ විතරයි වෙන්නේ. මොකද ලෝකයේ වෙන රටවල් සංස්කෘතික වශයෙන් දියුණු නිසා. බ්‍රෙෂ්ට් සම්බන්ධයෙන් අපිට වැදගත් වන්නේ ඔහු නාට්‍ය කලාව තුළ මොනවද කරපු දේවල්? ඔහු ඒ ඔස්සේ කොච්චර දුර ගියාද කියන එකයි.

සු.මි.


© Copy Rights - Silumina

0 comments:

Post a Comment