----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

Lanka Art Chat Room - එන්න අපි කතා කරමු

එය සරසවියයි.

Saturday, April 16, 2011












වසර 48 ක් මිනිසුන්ගේ විශ්වාසය දිනා ගැනීම පහසු කටයුත්තක් යැයි මම නොසලකමි. එහෙත් එය පුරා වසර 48 ක් ගෙවා දමා අවසානය. මට දැනෙන්නේ එය මගේ ජීවිතයේ කොටසක් බවය.

ගීතය ගැයූ පණ්ඩිත් අමරදේව

මා එහි කොටස්කරුවකු වන්නේ 1989 වසරේ සිටය. එයට පෙර පහළොස් වසරකට එපිට සිට මම එහි රසිකයකු වීමි. මට පෙර ද,, මට පසු ද, මතු ද ඒ වටා රොක් වන රසිකයන් එමටය. එය සරසවියයි.

සරසවිය බිහි වූයේ 1963 අප්‍රේල් 10 වැනිදාය. සිනමා කර්මාන්තය අඩ්ඩඩ්ඩාරේ යන රටක සිනමා පුවත්පතක් දීර්ඝ කාලයක් තබා ගැනීම මහත් විශ්ව කර්මයකි.

ඇතැම් රටවල අතිශය ජනප්‍රිය වූ සිනමා ප්‍රකාශන මේ වන විට අසන්නටවත් නැත. අපේ රටේ බිහි වූ නම් දැරූ සිනමා ප්‍රකාශන ද එපරිදිය. සරසවිය 49 වන වසරට පා තබන්නේ එවන් අවදියකය.

ආරම්භක කර්තෘ
මීමන ප්‍රේමතිලක

සරසවිය බිහි වන විට මෙරට සිනමාව අලුත් යුගයකට නැතහොත් සැබෑ දේශීය සිනමාවක අරුණලු දකිමින් සිටි අවදිය විය. එහි වඩා ස්වර්ණමය යුගයන්ගේද, එහි අඳුරු යුගයන්ගේද අත් නොහැර ගිය එකම ගමන් සගයා බඳු විය.

එය එසේ කළ හැකි වූයේ කරුණු රැසක් නිසාවෙනි. එකක් එහි මුල හොඳ වූ බැවිනි. අනෙක සරසවිය සෙසු සිනමා පුවත්පත්වලට වඩා එයටම අනන්‍ය වූ ලක්ෂණ ගොඩ නඟා ගත් බැවිනි.

බොහෝ ඉක්මන් ජනප්‍රිය සිනමා පුවත්පත්වලට තේමා වූ හුදු ඕපාදූප මෙන්ම සිනමා ශිල්පීන් එකිනෙකා අතර ඇති කරන වෛරයෙන් සරසවිය දුරස් විය. සරසවිය කාගේත් පත්තරයක් වූයේය.

සරසවිය සිනමා පුවත්පතක් ලෙස බොහෝ සිනමා ශිල්පීහු ස්වකීය ප්‍රාණ භූ®ක්තිය ලෙස සලකා සිටිති. එහි කිසිදු වරදක් මා දකින්නේ නැත. එහෙත් සරසවිය නැතහොත් සරස්වතිය වැඩ සිටින්නා වූ පින්බිම සියලු කලාකරුවනට මෙන්ම කලාවට ද අයිතිය.

සරස්වතිය කලාකරුවන්ගේය. කලාවේය. එබැවින් එකී දෙවඟන වැඩ සිටිනා දෙවොළ මේ සියල්ලන්ටම පොදුය. එය ආරම්භ වූයේ ද එලෙසයි.

සරසවිය ආරම්භ වූයේ සියළු කලාවනට පොදු වෙමිනි. 1964 වසරේ ඇරැඹුණු සරසවිය සම්මාන උළෙල මෙරට සිනමා උළෙලයන්ගේ ජාතික අනන්‍යතාවයට උර දුන්නේය.

එහි ජනප්‍රිය ලක්ෂණ මෙන්ම සම්භාව්‍ය සිනමා ගුණයෙන් ද අනූන ලෝකයේම එකම එක වර්ගයේ සිනමා උළෙල ලෙස මා සනිටුහන් කරනුයේ නොබියවමය. පාඨකයන්ගේ මනාපයත්, විද්වත් විචාරක ජූරි සභාවේ තේරීමත් එකිනෙකට සංකලනය වූ වෙනත් සිනමා උළෙලක් සොයා ගත හැකිද?

සරසවිය ගොඩ නැඟු විමලසිරි පෙරේරා


සරසවිය ආරම්භ වූයේ සියලු කලාවන් වෙනුවෙනි. සියලුදෙනා වෙනුවෙනි යැයි මුලින්ම සටහන් කළෙමි. පසු කලක පත්තර මහ ගෙදරින්ම පැන නැඟුණ තරුණී, මිහිර, සුබසෙත පුවත්පත් ත්‍රිත්වයම සරසවිය හරහා පැණ නැගුණ ඒවා වෙයි.

සරසවිය ආරම්භයේ ඒ සියල්ලටම පොදු පුවත්පත විය. එය සිනමාව කේන්ද්‍ර කොට ගෙන සෙසු කලා මාධ්‍යයන් සඳහා වඩාත් කැප වී ඉදිරියට යන්නට පටන් ගත්තේ ආරම්භයෙන් හය, හත් වසරක් ගෙවුණු තැනය.

අද බොහෝ කලා උත්සවයන්හි මුලින්ම වැයෙන සරස්වතී අභිනන්දන ගීතය නම් පණ්ඩිත් අමරදේවයන් ගයන ජගන් මෝහිණී – මධුර භාෂිණී ගීතයයි. එහෙත් මේ ගීය සරස්වතී අභිනන්දනය උදෙසා ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් අතින් ලියැවුණේ සරසවිය වෙනුවෙන් යැයි අද බොහෝ දෙනා නොදනිති.

සරසවිය එදා සිටම සියලු කලාකරුවන්ට පොදු වූ පුවත්පත යැයි හඟින්නට මේ ගීතයම සෑහේ. සරසවිය පත්තර මහ ගෙදර ලේක්හවුස් ප්‍රකාශනයකි.

ගීතය රචනා කළ මානවසිංහයන් සේවය කළේ තරගකාරී ආයතනයක්ව පැවැති ටයිම්ස් ආයතනයේ ලංකාදීප පුවත්පතේය. එහෙත් මානවසිංහයන් අතින් මෙබඳු යුග යුග පවතින්නා වූ ගීයක් රචනා කරන්නට සීමා මායිම් නොවීය. මානවසිංහයන් ද එවන් වූ අග්‍ර නිර්මාණයක් සරසවිය හරහා දැයට තිළිණ කළේය.

සරසවිය සම්මාන උළෙල ආරම්භයම සමකාලීනව සම්මතයට වඩා යමක් එහි වූ වග අපට පසක් කර දෙයි. නොඑසේ නම් එකල සම්මත සිනමා රස වින්දනයෙන් ඔබ්බෙහි වූ ගම්පෙරළිය වැනි අග්‍රගණ්‍ය නිර්මාණයක් හොඳම චිත්‍රපටය ලෙස අබිසෙස් කරවන්නට එයට හැකි වන්නේ නැත.

මේ හිතුවක්කාර ගතිය සරසවියේ අගනා ලක්ෂණයක් ලෙස හඳුන්වන්නට මම කැමැත්තෙමි. මෙරට බොහෝ කලාකරුවන් නිර්මාණශීලී ජීවිතය මුල් වරට රටට හඳුන්වා දුන්නේ සරසවියයි. නිර්මාණ රස විඳීම උදෙසා පරම්පරා කිහිපයක්ම උගත්තේ සරසවිය හරහාය.

ගීතය රචනා කළ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ

සරසවිය නිසාවෙන් කලා ලොවට පිවිසි බොහොමයක් අද වැජඹෙති.

නම තැබූ
පී. කේ. ඩී. සෙනෙවිරත්න

සිනමාවේ අති දුෂ්කරම මොහොතේද සරසවිය ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී නැඟී සිටියේ එබැවිනි.

සරසවිය පුවත්පතට නම යොදන ලද්දේ ප්‍රවීණ කවියකු, ලේඛකයකු වූ පීි. කේ. ඩී. සෙනෙවිරත්නයන්ය. නම් කිහිපයකින්ම පසුව සරස්වතිය වැඩ වසනා ස්ථානය අරුතැති සරසවිය තෝරා ගත් බව පැවසේ.

ඉතිහාසය පුරා එය, එයට හිමි ස්ථානය රැක ගත්තේය. මේ කාලය ඇතුළත මෙරට රසික පරම්පරාව වෙනස් වූයේය

. අදහස් උදහස් සමාජීය සිතුවිලි ආකල්ප කලින් කලට වෙනස්ව ගියේය. බොහෝ සතුටුදායක සිදුවීම් මෙන්ම කණගාටුදායක සිදුවීම් ද වූයේය. එක්වීම්ද, බිඳීම්ද තිබිණ. මේ සියල්ල නිරන්තරයෙන් සරසවිය සහ ජීවමාන වස්තුවකැයි අදහන්නට මා පොළඹාවාලූ කාරණාවන්ය.

මෙරට කලාකරුවන්ගේ පමණක් නොව ජනතා සිතුම් පැතුම් ද සමඟ ජීවත් වීමට ද සරසවිය වග බලා ගත්තේය. ගංවතුර උවදුරුවලදී ද, සුනාමියේදී ද කලාකරුවන් සමඟ පෙරට එන්නට එබැවින් දෙවරක් සිතන්නට සරසවියට වුවමනා නොවීය.

බොහෝ දැවැන්තයන් ඉතිහාසයට එක් වී ඇද වැටෙන්නේ කාලානුරූපව වෙනස් නොවීම මතය.

විපර්යාසයන් හඳුනා නොගෙන වැනසී යා යුතුය. නැත්නම් අලුත් සම්ප්‍රදාය රැල්ලට හසු විය යුතුය. එහෙත් වර්තමානයේ සරසවිය අනු දත් මානය වනුයේ රැල්ලට හසු වී යාම නොව හැම විටම අලුත් රැල්ලක් ගොඩ නැඟිය යුතු බවය.

තවත් අනුකාරකයක් වීමට වඩා තරගකාරී මාවතේ අලුත් සම්ප්‍රදායක් බිහි කිරීම එහි ලකුණ වෙයි. එබැවින් ලෝකය පුරා සියලු කලා තොරතුරු ගෙන එනුයේ අපේ අභිමානය හැම විටම සිහිපත් කරමිනි.

අතීත වකවානුව පුරා සරසවිය ගොඩ නැඟුඑය එතෙක් මෙතෙක් පාඨක සිත්සතන් මත රැන්ද වූ සියලු කතුවරුනට මෙරට සියලු කලාකරුවනට ද මේසා කාලයක් මුළුල්ලේ ඒ හා බැඳුනු අති මහත් වූ පාඨක ඔබටද සරසවිය කෘතවේදීත්වය පළ කරයි. සරසවිය ගොඩ නැගුණේ ද, වැජඹුණේද මේ ඔබ හැමගේම දායකත්වයෙනි, ආදරයෙනි.

ඉඳීන් හැම විටම නොව පැරණි වන රමණී සරසවිය මතු මතු ද මෙරට සෞන්දර්ය හිතකාමී ඔබ වෙනුවෙන් ඔබට ඉදිරියෙන් මඟ පෙන්වනු ඇත.

අරුණ ගුණරත්න



සිරි සරසවිය ඔබට දිගාසිරි - Admin - Lanka Art Diary

0 comments:

Post a Comment