----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

මිනිසුන්ට පමණයි

Thursday, April 21, 2011

ඔමර් ඛයියාම්ගේ - රුබායියාට්‌ කවි පොත ඇසුරින්


ඉංග්‍රීසි පරිවර්තනය- එඩ්වරිඩ් පිට්‌ස්‌ජෙරල්ඩ්ගේ
සිංහල පරිවර්තනය- ජී. බී. සේනානායක / විනී විතාරණ

ඛයියාම්ගේ ජීවන දර්ශනය

ජීවිතය එකත් පසකින් කුරුටු ගානා විට මිනිසාට තවත් පසකින් තර්කය සහ ඥනය ඒකාබද්ධ වන බව ලියොටාඩ්ගේ තර්කය විය. එකී ජීවිතයේ මිනිසා විසින් අවශෝෂණය කරගනු ලබන තම රුචි අරුචිකම් මත පරිකල්පනය තුළින් නිර්මාණය වන බව රහසක්‌ නොවේ. ඛයියාම්ගේ (ඔමර් ඛයියාම්ගේ) රුබායියාට්‌ කවි පොතද එසේම ය. එනම් ඔහු වටා පරිකල්පනය වූ සමාජ වස්‌තූන්ද, සිතිවිලි ද ඔහුගේ පන්හිඳෙන් ප්‍රතීයමාන විය. එනම් ගී පොත, මීවිත, රෝසමල් සහ ස්‌ත්‍රිය යි. ඛයියාම්ගේ රුබයියාටය වැදගත් වන්නේ ඕනෑම සමාජ ස්‌ථරයක ජීවත් වන ඕනෑම කෙනෙක්‌ට කියවා රස විඳිය හැකි සමාජය අනාවරණය (discovery/finding) ඒ තුළින් ගම්‍ය වන බැවිනි. සරලව කියන්නේ නම් "කාලක්‌ ගහන මිනිසුන්ටද කාලක්‌ නොගහන මිනිසුන්ටද" ඛයියාම් සමීප විය.

ඛයියාම්ගේ ජීවිත දර්ශනයේ මූලාංකුර වැපිරෙන්නේ තර්කය, ඥනය ප්‍රතිබද්ධ පරිසරයක නොව ඒ වටා ගෙතී ඇමුණුන පුද්ගල යථාර්ථයෙන් බව බොහෝ විචාරකයන්ගේ ප්‍රධාන තර්කයක්‌ විය. එනම් විඥනවාදී තර්කනයෙන් බැහැර වූ පරිකල්පීය ජීවිතය යි. එය ආගණනය (computation) වූ කතාන්දරයකි. (story) හුදෙක්‌ එය සුඛපරමවාදී යෑයි අපට තර්ක කළ නොහැක. ඔහුගේ ගී පොත ඒ අතරින් සමාජමය පරිකල්පනය විවර කරවාලයි. ඔහු මරණය දකිනුයේ වැළඳ ගත යුතු සදාතනික මිහිරියාව ලෙස වුවද ඒ සඳහා කැප කළ යුතු සුඛපරමවාදී බවක්‌ නොමැති වූ විලසයි. ඔහු තම ගී පොත තුළින් මතුපිටින් තවරනුයේ මෙකී යථාර්ථයයි.

ගසක සෙවණෙහි පූපයක්‌ ගෙන

සුරා බඳුනක්‌ හා කවි පොතක්‌ ගෙන

ළංව හිඳී මට

ඔබ වනයෙහි,

ගී ගයන කල්හි,

වනය දෙව් ලොවකි.

(සේනානායක, XI- P 28)

ඛයියාම් අමතනුයේ ඔහු වටා ඇති සමාජයටය. එය පූපයක්‌, සුරා බඳුනත්, කවි පොතක්‌ රැගෙන ආ ඔහු දුටු ඇය යි. ඛයියාම් කතා කරයි ඔහු නිහඬව විඳියි. ඉපදුණේ කැපවී මිථ්‍යාවටද... ඔහු අසයි. එනිසාම ඔහුගේ කවි පොතේ ඇති අලංකාරෝක්‌තිය (rhetoric) ගසක සෙවණක්‌ සේ වැතිරෙයි. මේ ඛයියාම්ගේ නිහඬ දැක්‌ම වේ. ඔහු මෙසේ ලියයි.

මෙන්න

මා නුවණ බිජුවට ගෙන

මිනිසුන් හා එක්‌වූ ගෙන

වපුරා ගෙන

කය වෙහෙසා

වසාගෙන

ලබාගත් අස්‌වැන්නක සැටි

දිය මෙන් අවුත් සුළඟ මෙන් යමි.

(සේනානායක, XXVIII- P 37)

ඛයියාම් ප්‍රකාශ කරන ජීවිත හරය ගී පොත තුළ අතීයමාන වෙයි. ඔහු තම දර්ශනයෙන් හුවා දක්‌වන්නේ ඥනය තර්කය අභියස දියාරු වී යන පුද්ගල අභිරුචීන්ය. එය නූතන මනෝ විද්‍යා පරිකල්පනය හා ප්‍රතිබද්ධ කරන විට ඉඩ් (Id) පිනවීම හා සුපර් ඊගෝ (Supper Ego) අතර ඇති අවිඥනික බලරෝධනය මවාපායි. ඛයියාම් දක්‌වන ජීවිත යථාර්ථය මෙයයි. එනම් "සුළඟ මෙන් අවුත් දිය මෙන් යාමේ" ක්‍රියාවලිය (Process) යි.

ඛයියාම් දක්‌වන ප්‍රධානම ආලිප්තය මීවිතයි. මිනිසකු උපත ලැබුවේ සුඛපරම ලෝකය තුළය. ඔහු උරුම කර ගන්නේ තමා රැගෙන ආ ජීවිතයද? නොඑසේ නම් තමාට හිමිවූ ජීවිතයද? ඛයියාම් විසන් තර්ක කරයි. චිත්තරූපය (mental image) සොලවයි. ඔහු මධුවිත අමුර්තය ලෙස දක්‌වන්නේ මෙනිසාය. එය හුදෙක්‌ "සුරා සොඬකු" ප්‍රතීයමාන නොකරයි. ඔහු විසින් මවාදෙන පරිදර්ශනය ඉතා වැදගත් වෙයි.

ජීවන උල්පත දැනගන්න

මැටි බඳුන වෙත ගිය මට

මගෙ තොල මත තොලට

ළං කළ විට ඒ මැටි බඳුන කී

"මැරී නොඑන නිසා යළි

දිවි තිබෙන තුරු බොන්න සුරා..."

(සේනානායකල xxxiv-p 40)

ඉහත පද්‍ය ආකෘතිය මඳක්‌ විමසන විට අපට ගම්‍ය වන ප්‍රධානම ඛයියාම්ගේ සුරාවිත තර්කනය ඉතා පැහැදිලිව ප්‍රතීයමාන වේ. එනම් ඛයියාම් ජීවිතයේ ආරම්භය දැන ගැනීමට සොයා යා යුතු එකම හරය සුඛ විහරණය බව ප්‍රකාශ කරයි. එය හුදෙක්‌ මැටි බඳුන්ක පමණක්‌ නොව ප්‍රාණ වායුවෙන් සැදුම්ලත් මිනිසා සමඟ ආත්මීයව ප්‍රතිබද්ධ වූ සුරා බ\qනක්‌ බව ඛයියාම් විසින් ප්‍රකාශ කරයි. "මැරී නොඑන නිසා යළි දිවි තිබෙන තුරු බොන්න සුරා..." යෑයි මැටි බඳුන ප්‍රකාශ කරන තර්කය ඛයියාම්ගේ ජීවිතය යි. පුද්ගලයා උපත ලැබුවේ මියයැමට නම් මියගිය පසු යළිත් මෙම ආත්මය ලබාගත හැකිද? ඉන් නැවත ලබාගත නොහැකි තෘප්තිකර ආශාවත්, සුරා බඳුන් මිනිසාට හිමි නොවේ. ඛයියාම් අසන්නේ කියන්නේ තාවකාලිකව හෝ ඔහුගේ සිතුවිලි අවරෝධනය කරදෙන බවය. එනිසා ඔහු පණ්‌ඩිතයන්ගෙන් අසයි. සුරාව නොබොන පණ්‌ඩිතයාද සුරාබී මියගිය පුද්ගලයා ද වළලනු ලබන්නේ එකම හිස්‌ පස්‌ බිමක බවයි.

ඛයියාම් කාලානුක්‍රමය (Chronology) මිට මොළවයි. මධු විතින් සොලවන ඔබේ බුද්ධිය සදාචාරය තුළ කැටි කරන්නේ රෝස මලිනි. ඔහු සුරා සොඬකු නොවන්නේ මෙනිසාය. ඔහු සුරාවෙන් මත් නොවීමටත් ලෝකය දැකිය යුතු බවත්, ඒ තුළින් විනිවිද දකින සෞන්දර්යත් ප්‍රතිබද්ධ කරයි. ඛයියාම්ගේ මීවිත තර්කය පූර්ණය වන්නේ රෝස මලිනි.

බලන්න

හිර නැඟුණ විට

එක දහසක්‌ මල් පිපී,

තව දහසක්‌ මල් වැටී

ගිය සැටි.

ගිම් කල මේ මුල් මසෙහි

රෝස මල් පිපෙන්ට වෙයි.

එහෙත් මේ මසෙහි ජම්සිද් සමග තයිකොබොද් මෙලොවින් පැහැර ගැනෙයි.

සේනානායක ( VIII-P-27)

ඛයියාම් මීවිත පුරවන්නන්ගේ පාර්ශ්වයට එක මොහොතක පැමිණෙයි. ඔහු ඔවුන්ගේ වීරයා වෙයි. දැන් ඔහු ඔවුන්ව සොලවයි. ඔවුන්ට කතා කරයි. මීවිත පුරවන්නන් ඔහුට ඇහුම්කන් දෙන්නේ ඔහු ඔවුන්ගේ යථාර්ථය දුටු නිසාය. දැන් ඔහු කියන මේ යථාර්ථයද භාග්‍යයක්‌ බව මීවිත පුරවන්නන්ට පැහැදිලි වෙයි. ඔහු තම පරිකල්පන මධ්‍ය යොදාගනු ලබන්නේ හුදෙක්‌ සියුමැලි වර්ණවත් රෝස පෙති අතරින් දිග හරින ජීවිතයේ ශෘංගාරාත්මක ඉසව්වකට නොව ඒ තුළින් ගම්‍ය කරනුයේ පුද්ගලයාත්, මරණයත්, තර්කයත් අතර ඒකාබද්ධ වූ සනාථන සත්‍යයි. "ගිම් කල මේ මුල් මසේ - රෝස මල් පිපෙන්නට වෙයි..." යෑයි ඔහු ප්‍රකාශ කරන්නේ මෙනිසාය. එය හුදෙක්‌ රෝස මලට පමණක්‌ සිදු කිරීමට හැකි වූ ඒකපාර්ශ්වීය ක්‍රියාවක්‌ නොව "බලන්න හිර නැඟෙන විට එක්‌ දහසක්‌ මල් පිපී..." යෑයි ඔහු තර්කනයට හසුකර පෙන්වන ජීවන දෘෂ්ටිය ඉතා වැදගත් වේ. ඔහු පෙන්වයි. ජම්ඩිද් ද තයිකොබාද් ද අද නැත. ඔහුගේ පදාර්ථය (matter) ද පරමාදර්ශය (ideal) දැන් අවදි වේ. මධුවිත පිරූ මධුවිත ලෝලීන් ඇස්‌ ඇර බලයි. මෙනිසාම ඛයියාම් සුරා සොඬුන් නිර්මාණය කළා නොව ඔවුන්ට කතා කළා පමණි.

ඛයියාම් මෙකී ජීවන දර්ශනය ප්‍රධාන හර පද්ධතීන් ගලපා දක්‌වන වැදගත් පද්‍ය ආකෘතියක්‌ ලෙස පහත පද්‍ය නිදසුන් දේ.

මා දොරකඩ පැමිණියද

යතුර සොයාගත නොහැකි විය

මා නිරයට පැමිණියද

එය පලා දක්‌නට නොහැකි විය

අප කතා කළාක්‌ මෙන් දැණුනි

කථාවක්‌ එහි නොවීය



ඉක්‌බිති අප දෙදෙන

තොපිත් මමත්

දෙදෙන නැතිවිය.

(සේනානායකල XXXII-P-39)

ඛයියාම්ගේ ජීවන හරය ප්‍රධාන සංකල්ප රූප තුළ හුවා දක්‌වමින් ඔහු ඉදිරිපත් කළ හරය ඉහත පද්‍ය පාඨයෙන් මනා ලෙස ප්‍රතීයමාන වෙයි. ඔහු දක්‌වන පරිදි පුද්ගලයාගේ ඉපදීමේ මුල සොයාගත නොහැකි විය. මරණය ඇති බව පෙන්වන නමුත් එය පළා යා නොහැක. එය නියතාර්ථය (precision) වේ. රෝස මල මීවිත, ස්‌ත්‍රිය මෙන්ම කවිපොත එක්‌ පාර්ශ්වයකින් සුඛවිවරණය ගෙන ඔහුට මිදී යා ගත හැකිදැයි සහෘදයාගේ ඥනය තර්කනයට ලක්‌ කරයි. නමුත් ඛයියාම් දක්‌වන්නේ සුඛපරමවාදී දෘෂ්ටියේම අතකොළුව ජීවිතය නොවන බවයි. කාලය විහඟෙකි. ජීවිතය මකුළු හුයකි. ගමන සුන්‍යතාව කරා ඇදී යන තවලමයි. ලෝ වැස්‌සන් පෙණ පිඬකි, තර්කය වඳ මැහැලියයි, දෛවය ජීවන ගමන ලියා ලූ ඇඟිල්ලකි. රෑ දහවල ටැම් ය. මේ ඔහුගේ පරිදර්ශනයයි. එනිසා ඔහුගේ මීවිත, රෝසමල්, ස්‌ත්‍රිය මෙන්ම කවි පොතද පණ්‌ඩිතයන්ද අමතයි. මෙනිසා ඔහුගේ දැක්‌ම හා පද්‍ය කුමන අංශය නියෝජනය කරන්නේ දැයි සහෘදයාට තර්කයක්‌ ලැබෙයි.

ද්‍රව්‍ය වාදයද? (materialist)

දෛවවාදයද? (fatalist)

ශුන්‍ය වාදයද? (nihilist)

අදේවවාදීද? (athiest)

සුඛ පරමවාදීද? (hedonist)

මේ නිසාම ඛයියාම්ගේ පද්‍ය ආකෘතිය කවිපොත, ස්‌ත්‍රිය, මීවිත, රෝසමල් ලෙස ලොව බැලීම අනුචිත වේ. ඒවා එකිනෙකට ස්‌වාධීනව කථිකාවට ලක්‌වේ. ආවේදක (affective) අක්‍රීය කරයි. විටක උපකල්පනය (assumption) මවයි. ඥනය වඳ මැහැලියක්‌ ලෙස දකින්නේ මෙනිසාය.

පෙන්ලෙවි වහරට සමීපව µsට්‌ස්‌ගෙරල්ඩ් මෙය පරිවර්තනය කරන්නේ දෛවවාදී මෙන්ම සුඛපරමවාදී ප්‍රපන්චයක්‌ ඛයියාම්ගේ සංකේත තුළ ඒකාබද්ධ වන බැවිණි. ජීවන දෘෂ්ටියට මෙන්ම සමාජ දෘෂ්ටියටද ඔහු කතා කරයි.



රූපක (metaphors)

දෘෂ්ථාන්ත (all egories)

සංස්‌පර්ශ (impact)



මෙනිසා ඉහත අංශ තුනම ඛයියාම්ගේ පද්‍ය තුළ ප්‍රතීයමාන වේ. ව්‍යාජ ආගමික දෘෂ්ඨාන්තයෙන් මිදී මාක්‌ සේ පරාරෝපණය මධුවිතින් පිරිමැද්දා යෑයි සහෘදයාට සිතෙන්නේ මෙනිසාය.

විනී විතාරණයන් සිය පරිවර්තනයේ තැනක මෙසේ සනිටුහන් කරයි.

"කම්කටොලින් බර සංකීර්ණ නිර්මාණයන් වන ලෞකික යථාර්ථය දෙස ඔමර් ඛයියාම් නෙත් යොමු කරයි. විටින් විට වෙනස්‌ වන මනෝභාව සමූහයක්‌ ඉන් ගම්‍ය වේ. වරක මෙය විසඳිය නොහැකි ගැටලුවක වෙලී සිටින්නන් ගැන ඔහු දුක්‌ වෙයි. වරක සිනාසෙයි. වරක, මොහොතක තැවෙයි. ඒත් ඒ සියල්ල සිසාරාම ඔහු විද්‍යමාන දෘෂ්ටිය වන්නේ අපරිමිත අනුකම්පාවයි..." (රුබෙයියාට්‌ - විනී විතාරණ පරිවර්තනය)

මෙනිසාවෙන් ඛයියාම්ගේ රුබෙයියාටය "කාලක්‌ ගහන මිනිසුන්ටත්, කාල නොගහන මිනිසුන්ටත්" නැවත තම සිතුවිලි ප්‍රති නිර්මාණය (recostruction) කරදෙයි. කවි ලියන මිනිසුන්ද, කවි නොලියන මිනිසුන්ද රුබෙයියාටය කියවන්නේ ඒ නිසාමය.


ආශ්‍රිත ග්‍රන්ථ

සේනානායක ජී.බී., රුඛයියාට්‌ පරිවර්තනය, (1993), එස්‌. ගොඩගේ සහ සහෝදරයෝ, මරදාන පාර, කොළඹ.

වෙනුර සනත් කුමාර
සමාජ විද්‍යා අධ්‍යයන අංශය,
රුහුණ සරසවිය


© Copy Rights - Divayina "Watamadala"

0 comments:

Post a Comment