පුංචි නඟේ අප හැරදා
යන්න ගියේ ඇයි...?
දෙනෙතේ මගේ
කඳුළැල් උතුරා ගියේ ඇයි...?
ඒ අවුරුදු පහේදී සිදුවුණ මතකය දිනේෂ්ගේ හිතේ තාමත් අද ඊයේ වගෙයි. ඒ නිසා ම සිය හිතේ නළියන සිතුවිලි ඔහු පද වැලකට ගොනු කළේ ආදරණීය නංගිට ඇති සෙනෙහස නිසාමයි. දිනේෂ්ගේ පුංචි නංගි ඔහු හැරදා දිනේෂ්ව තනිකර යාවි යැයි කවමදාකවත් ඔහු හිතන්න නැතුව ඇති.
ඒ වගේ ම එලෙස හිතන්න තරම් වයසක් දිනේෂ්ට එදා තිබුණෙත් නැහැ. එහෙත් අද ඔහු සිය එකම නංගි වෙනුවෙන් ලියූ මේ පදවැල් ඔහුගේ හඬින් ම ගීතවත් කරන්නේ සිය තනිකමත් සහෝදර සෙනෙහසක ඇති අපූර්ව බවත් අපට කියමින්.
අද ‘හදවතක වේදනාවේ’ හෙළිදරව්ව මෙතෙක් අපි ඔබට ලියූ කතාවලට වඩා හාත්පසින් ම වෙනස් කියලා ඔබට හිතේවි.
එහෙත් මෙලොව එළිය දකිනකොට ම ලෝකය දකින්නට ඔබට වාසනාව ලැබුණත් එය කෙටිකලකින් ම ඔබෙන් ඈතට පලාගියොත් මොනවා නම් ඔබට හිතෙයි ද? එහෙත් දිනේෂ් තරංග ද සොයිසා ආදරණීය තරුණයාට ඊට පිළිතුරු ලබාදෙන්නට පුළුවන් බව අපි විශ්වාස කරනවා. ඒ ඇයි කියන දේ ඔහුගේ සිතුවිලි වචනවලට පෙරළෙන විට ඔබට තේරුම් ගන්නට පහසු වේවි.
“දැන් මගේ වයස අවුරුදු 26 ක්. මම ඉපදුණේ 1983 අගෝස්තු මාසේ 18 දා. මම ඉපදිලා මාස දෙකකට විතර පස්සේ මගේ ඇස්වල සුද ඇවිල්ලා තියෙනවා. ඒකට සැත්කමකුත් කරලා. එතනින් පස්සේ මට කණ්ණාඩි පාවිච්චි කරගෙන ස්කෝලේ යන්නත් පුළුවන් වුණා. මම පාසල් ගියේ පාණදුර රාජකීය විද්‍යාලයට. සාමාන්‍ය පෙළ විභාගය දක්වා මම ගියේ මේ විද්‍යාලයට. ඇත්තම කිව්වොත් මට විභාගයටත් පෙනී ඉන්න පුළුවන් වුණා.
එහෙත් මෙතුවක් කලක් තමන්ට හැකි පමණින් ඉගෙනීම් කටයුතු කරගෙන ගිය තම ජීවිතයට අඳුරු සෙවණැල්ලක් සෙමෙන් සෙමෙන් පතිත වෙමින් තිබෙන බවත් දිනේෂ් දැන හිටියේ නැහැ.
“විභාගයට පාඩම් කරන දවස්වල මගේ ඇස්දෙක හොඳටම රිදෙන්න ගත්තා. ඊට පස්සේ ජයවර්ධනපුර රෝහලේ ‘වාරියපොල’ කියන දොස්තර මහත්තයාට පෙන්නුවා. එතනදී තමයි දැනගත්තේ මට අයි ප්‍රෙෂර් තත්ත්වයක් තිබෙන බව. 98 අවුරුද්දේ ආයෙත් මගේ ඇස් සැත්කමකට භාජනය කළා.
යහමින් සමාජය දකිමින් වටාපිටාවේ ඇති සුන්දර බව දකින්නත් කලක් දිනේෂ් අපි ඔබ වගේ ම වාසනාවන්ත වුණා. නමුත් එය ඔහු මෙලොව එළිය දැක වසර 16 ක් වැනි කෙටිකලකට පමණක් සීමා වුණේ ඇයි ද කියන කාරණය ඔබ අප කවුරුත් නොදන්නා දෙයක්.
එච්.ඒ. පුණ්‍යදාස සොයිසා වගේ ම චිත්‍රා සොයිසා ආදරණීය මව්පියන් දෙපළ තමන්ට ඇති එකම දරුවාගේ දෑස් පාදමින් යහමින් සමාජයට දායාද කරන්න කළ හැකි හැම දිරියක් ම ගත්තේ දාරක සෙනෙහසින්. එහෙත් ඒ බලාපොරොත්තු ක්‍රමයෙන් බොඳව යන්නට ගන්නේ හිටි ගමන් දිනේෂ් ගේ දෑස් නොපෙනී යන්නටම ගිය නිසයි.
“අපේ දුව කුඩා කාලේදීම අපිට අහිමි වුණා. දැන් අපි දෙන්නටම ඉන්න එකම පුතා දිනේෂ් පුතායි. ඒත් පුතාගේ දෑස් මේ විදිහට අන්ධවෙලා යනවා කියලා දැනගත්තම අපිට උහුලන්නේ නැතුව ගියා.
කරන්ට පුළුවන් හැමදේම මේ දරුවා වෙනුවෙන් අපි කළා. මේක අපේ කරුමේ මහත්තයෝ. කරන්නට දෙයක් නැතුව මේ දරුවගේ අනාගතය කොහොම හරි ගොඩනගන්න ඕන නිසයි එතනින් පස්සේ පුතා රත්මලාන අන්ධ විද්‍යාලයට ඇතුළත් කළේ.
දිගු කලක් යහමින් ලෝකය දකිමින් හිටපු දිනේෂ්ට මේ ගමන පූර්ව අත්දැකීමක් වුණා. තමන්ට හිමි දෑස්වලින් යහමින් ලෝකය දැකපු දිනේෂ්ට හිටපු ගමන් අඳුරු ලොවක සිට හැම දේම බෙදා හදාගන්නට සිදුවුණා.
“මට ඒක නුහුරු අත්දැකීමක්. ඒත් මොනවා කරන්නද එතන හිටපු හැමෝම මං වගේ අය. ඒක මම ඉක්මනින් ම තේරුම් ගත්තා. ලැබුණේ මේ දේ නම් ඒක භාරගන්න වෙනවනේ. මාසයක් විතර යද්දී මට මේ අලුත් යාළුවන් එක්ක ඉන්න, බ්‍රේල් වලින් ලියන්න සියලු දේ පුරුදු වුණා. ඒ 2005 අවුරුද්දේ. මුලදී ලොකු දුකක් දැනුණත් පස්සේ ඒකට මම හුරුවුණා.
කෙනෙකුට මෙහෙම දෙයක් වෙනකොට සමහර විටක ජීවිතය හැරදා යන්නත් ඒ අය පෙලඹෙන අවස්ථා මේ සමාජයේ අප දැක තිබෙනවා. ඒත් ලැබුණු දේ ජීවිතයට වාසනාවක් කරගන්න උත්සාහ කරන අපේ කාලයේ තරුණයෙක් විදිහට දිනේෂ් පාඩම් රැසක් සමාජයට කියාදෙන බව අමතක කරන්න එපා.
“කුඩා කාලයේ ඉඳලම සංගීතයට ලොකු ඇල්මක් මගේ තිබුණා. මම ඒක අත්හරින්න උත්සාහ කළේ නැහැ. මම හිතුවා මගේ ඇස් දෙකට පෙනීම නැති වුණත් මගේ හැකියාව නැති කරගන්න බැහැ කියලා. ඒ නිසා අමිල ඉන්ද්‍රජිත් ගුරුතුමා යටතේ අද වෙනකොටත් මම සංගීතය හදාරනවා.”
මේ වෙනකොට දිනේෂ්ගේ එකම බලාපොරොත්තුව තම සංගීත දිවිය ආලෝකවත් කරගනිමින් ජීවිත අභියෝගයට මුහුණ දෙන එක.
ඒ නිසා ම ඔහු මේ වෙනකොටත් තමන් ම බ්‍රේල් ක්‍රමයෙන් පද රචනය කළ ගී හතරක් සංගීතවත් කරමින් ඔහුම ගයන්නට තරම් සමතෙක් බවට පත්වෙලා. ඒ විතරක් නෙමෙයි ඒ ගීත මේ වෙනකොටත් අන්තර්ජාලය ඔස්සේ ලෝකයාට ඇහෙමින් පවතින බවත් ඔබට කිව යුතුයි.
“මම දන්නවා මා තුළ හැකියාවන් ගොඩක් තියෙන බව. දැන් මට ඇස් පෙනේනේ නැහැ. මේවා කරන්න බැහැ කියලා ඒ හැකියාවන් අහක දමන්න මට බැහැ.
අම්මයි තාත්තයි මට දෙන ආදරය, සෙනෙහස මාව හැමදාම ශක්තිමත් කරනවා. මගේ ලොකුම හීනය ඉක්මනින් ම ගීත ඇල්බමයක් නිකුත් කරන එක. මට ඒකට ආර්ථික ශක්තියක් නැහැ. අපේ අම්මටයි තාත්තටයි ඒ දේ කරන්න පුළුවන් ශක්තියක් නැහැ. ඒත් මට ඒ ආශාව ඉටු කරගන්න කවුරුහරි පිහිට වෙනවා නම් ලොකු පිනක්.”
දිනේෂ් නිකම්ම නිකම් අන්ධ තරුණයෙක් නොවන බව ඔහුට ලැබී ඇති සම්මාන ඵලක මෙන් ම සහතික පත් රැසක් සාක්ෂි දරනවා. ඒ විතරක් ම නොව පාණදුර
පදනම සංවිධානය කළ වේදිකා නාට්‍ය තරගයේ දිවයිනේ ජනප්‍රියම නළුවා ලෙස ද ඔහු ‘ජීවිත පාරුව‘ නාට්‍යයෙන් සම්මානයට පාත්‍ර වන්නේ විනිසුරුවන් ද මවිතයට පත් කරමින්. ඒ ඔහු ගේ දෑස් නොපෙනෙන බව කිසිවකු දැන නොසිටි නිසයි.
“මට හොඳට ඇස් පෙනීම ලැබිලා මේ සමාජය හොඳින් දැකපු කෙනෙක්. ඒත් ඒ වාසනාව නැතිවුණා කියලා මම දැන් දුක් වෙන්නේ නැහැ. මගේ ශක්තියෙන් මම නැඟිටිනවා. මම ඉල්ලන්නේ එකම එක දෙයයි.
ඒ පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මගේ ඇස් පෙනීම දෙන්න පුළුවන් ද කියලා බලන්න. ඒ වගේ ම මගේ හීනය ගීත ඇල්බමය කරන්න මට අත්උදව්වක් දෙන්න කියන දේ විතරයි.
දිනේෂ් ගේ කතාව මෙවන් කෙටි සටහනකට අපි ගොනු කළේ ඔහු දිරියෙන් මේ සමාජයේ පයගහන්න උත්සාහ කරන තරුණයෙක් නිසයි. ඒ වගේ ම ජීවිතයට ලැබුණු සියලු දේ අභියෝගයක් ලෙස ඔහු භාරගෙන ඇති නිසයි.
අපි හැමෝම වගේ ම යහමින් ලෝකය දකින්න ඔහු වාසනාව ලැබුවත් හිටි ගමන් ඒ වාසනාව ඔහුගෙන් ඈතට පලා ගියේ ඇයි ද කියන දේ තවමත් කවුරුත් නොදන්නා දෙයක්. අද අපි මේ සටහන ඔහුගේ හදවතට නැගුණු සිතුවිල්ලකින් සමාප්තිය තබන්නේ මෙවන් දිරිය තරුණයන්ට හදවතින් ම ආචාරය කරමින්.
නෙත් පුරා ආදරෙයි
දැල් වුණ සිහිනයේ
පිබිදුණා ජීවිතේ
මා ඔබගේ ලෝකයේ ... මා ඔබේ...
වසන්ත ජයසිංහ ආරච්චිගේ
ඡායාරූප - විමල් කරුණාතිලක
Copy Rights - silumina
1 comments:
මේ වගේ හිත හයිය කොල්ලො ඉන්න ජාතිය වාසනාවන්!. කරන කියන දේවල් වැඩිදියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
Post a Comment