ශක්‌තික සත්කුමාර
කැලණි විහාරය දෙසින්
සැඳෑ අඳුර ගාටන විට සරසවියට
ගල් බංකුවේ වාඩි කරවාගෙන නුඹ
කාටත් නොපෙනෙන්න කෙනිත්තු
තිසර තන නැත අද
දුකක් දැනී මා කඳුළු සලන විට
පෙම්බස් දොඩා නිරතුරු
මවක ලෙස මා ළයේ හොවා
දාහක් ගින්දර නිවූ
පිනැති උස් ළය නැත අද
අපේ මංගල රාත්‍රියේදී
රමණ සුවයෙන් ඔකඳව
තුරුලට ගත් විට නුඹව
ඉගිළෙන්න තැත් දැරූ
හංස ජෝඩුව නැත අද
කිරි ඉල්ලා පුතු හඬන විට
දිවියම පසෙක දා දුවවිත්
උකුළේ හොවාගෙන පුතුව
බඩගිනි නිවා ඔහු සැනසූ
කිරි දුන් පියයුරු නැත අද
රෝහලට යන විට
මහත් වේදනාවක් නුඹට දී
මස් වැදලි දෙකක් ලෙස වෙන් ව ගිය
ඒ පිළිකා පියයුරු නැතත්
සදා කල් නුඹ මගේ හංස ධේනුව
ශක්‌තික සත්කුමාර නව සාහිත්‍ය නිර්මාණ පරපුර නියෝජනය කරන අංකුර නිර්මාණකරුවෙකි. කවියකු, කෙටිකතාකරුවකු ලෙස මෙන්ම විචාරකයකු ලෙසද ඔහු සාහිත්‍ය ක්‍ෂේත්‍රය තුළ සරනු දක්‌නට හැකිය. වෙඩි වැදුණ පන්හිඳ, අඳුර යන කාව්‍ය සංග්‍රහ හා කළු මකරා නමින් පළකරන ලද කෙටිකතා සංග්‍රහය තුළින්, නිර්මාණකරණයේ ඔහු සතු හැකියාවන් හඳුනාගැනීමට අවස්‌ථාව ලැබේ. ශක්‌තික සත්කුමාර විසින්, බෞද්ධ කෘති කිහිපයක්‌ද විචාර කෘතියක් ද පළකොට තිබෙන බව, ඔහුගේ ග්‍රන්ථ නාමාවලියෙහි සඳහන් වේ. නිර්මාණකරණයේදී ඔහු විසින් දැනටමත් කාව්‍ය සංග්‍රහ දෙකක් පළකොට තිබීමෙන්ද, නිරන්තරව ඔහුගේ කාව්‍ය නිර්මාණ පුවත්පත් කවි පිටු අතර දක්‌නට ලැබීමෙන්ද ඔහු තම ප්‍රධාන ප්‍රකාශන මාධ්‍යය ලෙස කවිය තෝරාගෙන ඇතැයි අපට අනුමාන කරන්නට හැකිය. මෙවර කවි මිහිර සඳහා මා විසින් තෝරා ගන්නා ලද මාගේ හංසධේනුව නම් නිර්මාණය උපුටා ගන්නා ලද්දේ 2011 ජනවාරියේදී ඔහු විසින් නිර්මාණය කොට, සදීප ප්‍රකාශනයක් ලෙස කාව්‍ය ක්‍ෂේත්‍රයට එක්‌ව ඇති අඳුර නම් කාව්‍ය එකතුවෙනි. හංසධේනුව නම් වූ නිර්මාණය ඔස්‌සේ කාන්තාවකගේ පියයුරු යුවළක් පිළිබඳ සාමාන්‍යයෙන් පාඨකයනට කියවීමට නොලැබෙන අපූරු අත්දැකීමක් කරා අප සිත් යොමු කරවීමට කවියා උත්සාහ ගෙන ඇති බව පෙනේ.
කාන්තාවකගේ ළැම, පියයුරු, දෙතන පිළිබඳ රචනාකරන ලද බොහෝ නිර්මාණ අපට හමුවේ. කවි සමයේදී බොහෝ අවස්‌ථාවල කාන්තාවකගේ පියයුරු හංසයන්ට උපමා කිරීම සිදුවී ඇති බව සංදේශ කාව්‍ය විමසන කල පෙනේ. සිරිරහල් හිමියන්ට අනුව, කාන්තාවක් සතුවන්නේ තිසර තනයි. (නිසි පුළුලුකුල රියසක වැනි තිසර තන... යනුවෙන් සැලළිහිණි සංදේශයේදී කියෑවේ.) ජනකවියාද ස්‌ත්‍රියකගේ පියයුරු පිළිබඳ අභිරුචියකින් වර්ණනා කළ බවට බොහෝ නිදසුන් හමුවේ. එක් නෙළුම් කවියකදී කවියා කාන්තා පියයුරු දකින්නේ ඝනරන් කුඹුදෙකක් ලෙසයි. "නුහුරු ලියේ නුඹෙ ඝනරන් කුඹුදෙක - ළමැද පුරා නටතෙයි තාලා.... යනුවෙනි. තවත් නෙළුම් කවියකදී, ජනකවියා කාන්තා පියයුරු තිසර උපමාව හා සම්බන්ධ කොටගනී. "කැකුළු තිසරු ඔසරියෙන් වසාගෙන, රුකුළු වළලු දැතේ නද දීගෙන" යනුවෙන් ජනකවියා සෘජුවම පියයුරු තිසරුන්ට උපමා කරයි. සංදේශ කවීන්, ජනකවීන් මෙන්ම චිරන්තන සම්භාව්‍ය කවීන්ද කාන්තා පියයුරු වර්ණනා කොට ඇති අන්දම පිළිබඳ කව්සිළුමිණෙහි සැඳෑ නිසා වැණුම් සමඟ ප්‍රිය ප්‍රියාවන්ගේ මධුපාන උත්සවය පැවැති අයුරු නිරූපිත හයවන සර්ගයේ ඇතැම් කවියක් සාක්‌ෂි දරයි. "කෙනකන ගී නඟමිනි පෙද නඟමිනි නැමෙත් - පියවුරු ළඟාය වුවන් සමඟාය තෙපියුම් වන්..." සමහර කතුන් ගීත ගායනා කරමින්, පන්දු ගසමින් නැමෙනවිට ඔවුන්ගේ පියයුරු යුවළට ළං වූ මුහුණද සමඟ පියුම් තුනක් මෙන් දිස්‌විණැයි කව්සිළුමිණි කවියා පවසයි. එහෙත් ශක්‌තික සත්කුමාර කවියාට මේ පියයුරු පෙනෙන්නේ කෙසේද?
මගේ හංසධේනුවකවියාගේ පෙම්වතියයි. බිරිඳයි. ඔහුගේ දරුවන්ට කිරි පෙවූ මවයි. මේ හංස ධේනුවට අද සිදුවී ඇත්තේ කුමක්‌ද? කවියාට ඈ හංසෙධේනුවක් සේ පෙනෙන්නේ ඈ තම ළමැදෙහි හංසයින් දරාසිටි බැවින් බව පාඨක අපට වැටහේ. කවියා ඉතා අපූරුවට තම අත්දැකීම අවස්‌ථා කිහිපයකින් නිරූපණය කිරීමට ගත් උත්සාහය සැබැවින්ම, ප්‍රස්‌තුත විෂය සමඟ මනාව බද්ධ වේ. පෙම්වතිය සමයේ දී ඔහුට ඇගේ පියයුරු තිසර තනය. සරසවි පෙම්වතියක්‌ව සිටි අවධියේදී කවියා ඇගේ ළමැද කොනිත්තන්නේ රහසිනි. කැලණි විහාරය දෙසින් සරසවියට අඳුර ගාටන විට යයි ඔහු පවසයි. එම තිසර තනම ඔහු දුකට පත්වූ මොහොතක, එහුගේ හිස රඳවා දුක් ගින්දර නිවයි. කවියා එහිදී ඇගේ තිසර තන දකින්නේ පිනැති උස් ළය ලෙසයි. ඔවුන්ගේ ප්‍රේමයේ කූටප්‍රාප්ත අවස්‌ථාව වන විවාහ රාත්‍රියේදී ඔහු විසින් ඈ තුරුලට ගත් කල, හංසයින් බඳු දෙපියයුරු ඉගිලෙන්න තැත් දැරූ බව පවයි. පෙම්වතිය මවක් වූ පසු, කිරිඉල්ලා හඬන පුතුගේ පවස නිවන්නට, ඔහු උකුළේ හොවා ගෙන ඈ කිරි දී ඇත්තේ කිරි පිරි පියයුරිනි. එහෙත් අද ඈ සතු වූ මේ දෙපියයුරම ඇයට අහිමි වී තිබේ. එහෙත් පියයුරු නොවූ පමණින්, තම ප්‍රේම පුරාවෘත්තාන්තයේ කතා නායිකාව වූ ඇය වෙත ඔහු තුලා වූ ආදරය ඔහු වෙතින් පළා ගොසින්ද? ආදරය බැඳී රදා පවත්නේ මසැසට හසුවන සිරුරක කිසියම් වූ අංගයක් සමඟද නැත්නම් මසැසට මෙන්ම මනසටද හසුවන උත්තරීතර ආදර සංකේතයක් සමඟද යන්නට කවියා අපූරු පිළිතුරක් දෙයි.
"රෝහලට යන විට
මහත් වේදනාවක් නුඹට දී
මස් වැදලි දෙකක් ලෙස වෙන්ව ගිය
ඒ පිළිකා පියයුරු නැතත්
සදා කල් නුඹ මගේ හංස ධේනුව..."
පෙම්වතුන් ලෙස ජීවිතය ගෙවූ අවධියේදී හොරෙන් රහසින් පහස සොයන්නට උත්සාහ ගත් ළමැදම, දුක් තැවුල් නිවන්නට, මුහුණ හොවා ගන්නට ඉඩ සැලසූ ළමැදම, ප්‍රථම රාත්‍රියේදී තුරුලට ගෙන සිප සනහන්නට සිතූ කල, ඉගිලෙන්නට තැත් කළ හංස යුවළම, පසු කලෙක තම පුතුගේ පවස නිවන්නට, උත්තරීතර මාතෘත්වයෙන් කිරි දුන් දෙපියයුරුම, ඔහුට දැන් අහිමි විය. එපමණකින්, ඔහුගේ ආදරය නිමාවට පත්වීද? සුබා තෙරණියගේ දැසට ලොබ බැඳි පුරුෂයාට ඈ තම දැස උදුරා දුන් පසු ඔහුට ඒ දැසෙහි වටිනාකමක් වීද? ගැහැනියකගේ ළමැදට පියයුරු ආභරණයක් සේ ආලෝකයක් ගෙන දුන්නද, පුරුෂ ආකර්ෂණයට ලක්‌වුවද පියයුරු පමණක් වෙන්කොට ගත් කල එහි කිනම් සුන්දරත්වයක් අගයක් වේද? රෝගී තත්ත්වයට පත්වී දෙපියයුරු ඉවත්කරන ලද්දේ මුත් කවියාගේ ආදරය ඉන් අවසාන නොවන බව පැවසීමෙන්, ඔවුනගේ ආදරයේ සැබෑ උත්තරීතර ගති සොබාව මතුවී පෙනේ. පෙම්වතියක ,බිරිඳක, මවක ලෙස ඔහු ඈ වෙත බැඳ සිටියේ, ඈ සතු වූ පියයුරු යුවළ නිසා පමණක් විය නොහැකිය. ඈ ඔහුගේ ජීවිතයේ පංගුකාරියයි. කොටස්‌කාරියයි. ඔහු පුතුගේ මවයි. පියයුරු යුවළ ඈ සතු එක් බාහිර කායික වස්‌තුවක් පමණි. එහෙත් ඊට යටින් ඇති ඇගේ හදවත දෙපියයුරු සමඟ ඉවත් වී ගොස් නොමැත. හදවත මසැසට හසු නොවනාමුත් මනසට හසුවේ. සැබෑ ආදරය එයයි. ඔහුට ඈ තවමත් පෙර පුරුදු හංස ධේනුවමයි. සාම්ප්‍රදායික කාව්‍ය නිර්මාණ අතර බොහෝ කල හමුවන වස්‌තුවක් මුඛ්‍ය කොට ගෙන ජීවිතයේ අනිත්‍ය ස්‌වභාවය මෙන්ම ආදරයේ උත්තරීතර බවද නිර්මාණය කිරීමට ශක්‌තික සත්කුමාර කවියා විසින් ගන්නා ලද සාර්ථක උත්සාහයක් ලෙස මෙම නිර්මාණය දකිමි.
බුද්ධදාස ගලප්පත්ති
© Copy Rights - Divayina "Watamadala"
0 comments:
Post a Comment