----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

ආනන්දයෙන් බිහි වුණ 'ස' ගීත රචකයෝ

Monday, March 28, 2011

ඩෝල්ටන් – දයානන්ද ගුණවර්ධන

ප්‍රේමකීර්ති – බණ්ඩාර පිළිබඳ

කුලරත්න ආරියවංශ ගේ ආදරණීය මතක සටහන

* හදේ සුසුමක් පතිත වීමෙන් – ඩෝල්ටන් අල්විස්

* සොඳුරිය ඔබගේ වුවන මලක් – දයානන්ද ගුණවර්ධන

* සඟවා ගනු මැන – බණ්ඩාර කේ. විජේතුංග

* ආදරයේ උල්පත වූ අම්මා - - ප්‍රේමකීර්ති ද අල්විස්

* සිනා දොලක් වන් – කුලරත්න ආරියවංශ

මීට දශක කිහිපයකට පෙරතුව වික්ටර් රත්නායක ගැයූ මේ මියුරු ගී එදා මෙන්ම අදත් ජනප්‍රියත්වයේ ඉහලම තලයක රැඳී තිබේ.

වෙසෙසින්ම වික්ටර් - ප්‍රේමකීර්ති සුසංයෝගය හෙළ ගී කෙතට එක් කල අපූර්වතම නිර්මාණ රැසකි. වික්ටර් වෙනුවෙන් වැඩිපුරම ගී ලියා ඇත්තේ ද ප්‍රේම්ය. මතු කී සෙසු ගීත රචකයන් ද අඩු වැඩි වශයෙන් වික්ටර් ගේ ගී මගෙහි පහන් සිළු දල්වන්නට සිය නිර්මාණශීලී දායකත්වය පුද කළෝ වෙති. මේ ගීත රචකයන් සියල්ලෝම ආදී ආනන්දියන් වීම ද සුවිශේෂත්වයකි. අද ඔවුන් අතරෙන් ජීවත්ව සිටින්නේ කුලරත්න ආරියවංශ පමණකි.

වික්ටර් හා කුලේ අතර තිබෙන්නේ අපූරු මිතුදමකි. විටෙක ඉන් ඔබ්බට ගිය සොයුරු පෙමකි. වික්ටර් වෙතින් සිය නිර්මාණ දිවියට ලත් අනුබලය හා ‘ස’ ප්‍රසංගය ඇසුරේ ලත් සොඳුරු අත්දැකීම් කුලේ මා හා පවසන්නේ ගෞරවනීය හැඟීමකින් යුතුවය.

ආනන්දයේ උසස් පෙළ පන්තියේ ඉගෙනුම ලබන කාලයේ මම ඒ. ඩී. රංජිත් කුමාර ඇතුළු මිතුරු පිරිසක් සමඟ එක් වී කලා උළෙලක් සංවිධානය කළා. ඒ 1968 වසරේදී. කොළඹ වෙනත් ප්‍රධාන පෙළේ පාසල්වල ශිෂ්‍ය, ශිෂ්‍යාවනුත් මේ කලා උළෙලට සම්බන්ධ වුණා.

ඒ කාලේ වෙන කොට අපි වික්ටර් අයියා ගේ හඬට වසඟ වෙලා හිටියේ. ‘පාවේ වලා’, ‘සෝක සැනසුම් වේදනා’ ගීත වික්ටර් අයියා ගායනා කරපු අලුත. ඒ වෙනස්, ප්‍රේමණීය හඬට අපි ගොඩක් ආසා කළා. කොහොම හරි අපිට ඕනෑ වුණා වික්ටර් අයියා අපේ කලා උළෙලට ගෙන්වා ගන්න.

ඔහු එතකොට නක්කාවත්ත විදුහලේ සංගීත ආචාර්යවරයා විදිහට තමයි සේවය කළේ. සති අන්තයේ වික්ටර් අයියා සේන ජයන්ත වීරසේකරලගේ ගෙදර එනවා.

දවසක් අපි හැන්දෑවක සංගීත මංජරිය එහෙම පහු කරගෙන සේන වීරසේකරලගේ ගෙදර ගියා වික්ටර් අයියා හමු වෙන්න. අපි කාරණය කිව්වම ‘හරි මල්ලි මම එන්නම්’ කියලා බොහොම නිහතමානීව අපේ ඇරැයුම බාර ගත්තා.

මේ ජනප්‍රිය ගායකයා අපේ වැඩේට එයි ද කියලා පුංචි දෙගිඩියාවක් අපේ හිත්වල නොතිබුණාමත් නෙවෙයි. හැබැයි පොරොන්දු වුණ විදිහටම වික්ටර් අයියා අපේ කලා උත්සවයට ආවා තවත් ජනප්‍රිය වාද්‍ය ශිල්පීන් හතර දෙනෙක් එක්ක.

මයිනර් ටැක්සියකින් ඔහු ආවේ. කාගේත් උණුසුම් ප්‍රතිචාර මැද වික්ටර් අයියා ඉතාමත්ම මිහිරිව ගීත කීපයක් ගායනා කළ ආකාරය මට තවම මතකයි. ඔහු අපෙන් කිසිම මුදලක් ගත්තේ නැහැ. අර ටැක්සියට පවා මුදල් ගෙව්වේ ඔහුගේ අතින්.

එදා එලෙස ඇරැඹි වික්ටර් හා කුලේ ගේ හිතවත්කම දිනෙන් දින දළුලා වැඩෙන්නට විය. ඒ කුලේ සිය කුලුඳුල් ගීතය වූ ‘ආදරයෙන් මා හදවත’ අබේවර්ධන බාලසූරිය වෙනුවෙන් රචනා කල අවධියයි.

වික්ටර් අයියා ගායකයෙක් විදිහට දවසින් දවස ඉදිරියටම ආවා. 1973 ජූලි 20 ‘ස’ ප්‍රසංගය ආරම්භ කළාට පස්සේ ඔහුගේ ජනප්‍රියත්වය තව තවත් ඉහළ ගියා.

අබේ ගොඩක් කිට්ටුවෙන් වික්ටර් අයියා ඇසුරු කළා. නුගේගොඩ තිබුණ වික්ටර් අයියාගේ ‘දුලකර’ සංගිත පන්තියට අබේත්, මමත් නිතරම වගේ යනවා. තවත් ගොඩක් කලාකාරයෝ එතනට ආවා, ගියා. මේ යාළුවො පිරිස එකතු වෙලා පිට පළාත්වල තියෙන ‘ස’ ප්‍රසංගවලට සහභාගි වෙනවා. ඒක ඔවුන්ට ලොකු ආශ්වාදයක් වුණා.

කුලේ ඒ සොඳුරු අතීකය සිහි ගන්වන්නේ මහත් සොම්නස් හැඟීමකිනි. ඒ අතර වාරයේ ඔහු ‘ස’ ප්‍රසංගයේ නිවේදකයකු හා අත්වැල් ගායකයකු වූ අයුරුද අපට පවසන්නේ සිනහමුසු මුවෙන් යුතුවය.

1974 විතර කාලේ මමත් අර නඩේ එක්ක නිතර, නිතර රට වටේ යනවා. ‘ස’ ප්‍රසංගයේ නිවේදන කටයුතු කළේ ප්‍රේමකීර්ති ද අල්විස්, බණ්ඩාර කේ. විජේතුංග සහ කේ. ඩී. කේ. ධර්මවර්ධන. ගොඩක් වෙලාවට ඈත පළාත්වල තියෙන ප්‍රසංගවලට මේ අය එන්නේ නැහැ. සෙනසුරාදා, ඉරිදා දවස් දෙකක වෙන්නප්පුව, හලාවත ප්‍රසංග දෙකක් තිබුණා. ඒ ‘ස’ ප්‍රසංගය ඉතාම ජනප්‍රිය කාලේ. මේ ප්‍රසංග දෙකට අර නිවේදකයෝ තුන් දෙනාම නැහැ. මොකද ප්‍රේම්, බණ්ඩාර වගේම කේ. ඩී. කේත් ගොඩක් කාර්යබහුලයි ඒ වෙනකොට.

වික්ටර් අයියා මට කිව්වා ‘ඇයි මල්ලියේ උඹට කරන්න පුළුවන්නේ මේ වැඩේ’ කියලා. ෂෝ එක බලලම මටත් වැඩේ ඇඟට වැදිලා තිබුණේ. මම කළා. එදා ඉඳන් කොළඹින් පිට පළාත්වල ‘ස’ ප්‍රසංගවලට වැඩිපුරම ගියේ මම.

එසේ නිවේදන කටයුතු කරනා අතරතුරේ ‘ස’ ප්‍රසංගයේ අත්වැල් ගායනා සඳහා ද දායක වීමට කුලේට වාසනාව ලැබිණ. එයද පුරප්පාඩුවක් පුරවන්නට ගොසිනි.

ලක්ෂ්මන් විජේසේකර, රෝහණ වීරසිංහ, ආනන්ද වීරසිරි, නිරංජලා සරෝජිනී, නිර්මලා රණතුංග තමයි ‘ස’ ප්‍රසංගයේ අත්වැල් ගායනා කළේ. ආනන්ද වීරසිරි ගුරු වෘත්තියේ නියැළී සිටි නිසා ඔහුට සමහරදාට ප්‍රසංගවලට එන්නට හැකියාව ලැබුණේ නැහැ. ආනන්ද Show එකකට ආපු නැති දවසක මම කෝරස් කිව්වා. එදා ඉඳන් ප්‍රසංග සිය ගාණක මම කෝරස් කළා. අපි හැමෝම පුදුම සහෝදරත්වයකින් බැඳිලා හිටියේ. ඒක රස ගුලාවක්.

ඇත්තෙන්ම ‘ස’ ප්‍රසංගය තරම් සංගීත ප්‍රාතිහාර්යක් මම දැකලා නැහැ. අද තියෙන්නේ මාධ්‍ය ප්‍රචාර හරහා ගොඩ නැගෙන ප්‍රතිරූප. එදා තිබුණේ ගුවන් විදුලිය විතරයි. යම් ගායන ශිල්පියකු, ශිල්පිනියක රසිකයෝ වැළැඳ ගත්තේ ගුණාත්මක වටිනාකමෙන් විතරමයි. වික්ටර් අයියාට රසිකයන්ගෙන් ලැබුණ ආදරය වෙනත් කිසිම ශිල්පියකුට ලැබෙනවා මම දැකලා නැහැ.

කුලේ ගේ නිර්මාණ දායකත්වය වික්ටර් වෙත වඩාත් ප්‍රශස්තව ලැබුණේ ගීත රචනා කලාව පැත්තෙනි. වික්ටර් වැනි ප්‍රතිභාසම්පන්න ගායකයකු හට ගී ලිවීමේ භාග්‍ය කුලේට හිමි වූයේ මෙලෙසිනි.

වික්ටර් අයියා විශිෂ්ට ශ්‍රේණියේ ගුවන් විදුලි ගායන ශිල්පියෙක්. සුපර් ග්‍රේඩ් ආර්ටිස්ට් කෙනෙකුට මාස හයකට විතර සැරයක් පැය බාගයක සරළ ගී වැඩ සටහනක් ලැබෙනවා. මේ ගීත නිර්මාණය වුණ විදිහත් හරිම රසවත් අත්දැකීමක්. ගීත ලියන පිරිස හැන්දෑවට වික්ටර් අයියලගෙ ගෙදරට එකතු වෙනවා. වික්ටර් අයියා සරමකුත් ඇඳගෙන තුවායක් කරේ දාගෙන ඇවිත් සර්පිනාව ඉදිරිපිට ඉඳ ගන්නවා.

මොනවද ඉතින් විනාඩි තුන හතරකින් උල්පතකින් වගේ ගීතනු ගලාගෙන එනවා. මටත් වික්ටර් අයියට සිංදුවක් ලියන්න පුදුම ආසාවක් තිබුණේ. ඒත් මම කවදාවත් ඔහුට ඒ බව කිව්වේ නෑ. දවසක් වික්ටර් අයියා ම මට කිව්වා ‘මල්ලියේ මට සිංදුවක් ලියලා දීපන්’ කියලා. ඒ අනුව තමයි ඔහුගේ සරල ගී වැඩ සටහනකට මම ‘පිනිබර මලක් වගේ’ කියන ගීතය රචනා කළේ.

එකී ආරම්භයත් සමඟින් කුලේ වරින් වර වික්ටර් වෙනුවෙන් ගීත කිහිපයක්ම රචනා කළේය. ‘සිනා දොලක් වන්’, ‘ගුරු පාර දිගේ’, ‘උදා ලාහිරු එන පැයේ’, ‘මුවා වුණා සඳක්’, ‘වේදනා නදී තෙරේ’ වැනි ගීත ඒ අතරින් වඩාත් ජනප්‍රියත්වයට පත් විය.

ඒ අතරින් ‘සිනා දෙළක් වන්’ ගීතය දශක කිහිපයක් පුරා ‘ස’ ප්‍රසංග දහස් ගණනක වික්ටර්ගේ මියුරු හඬින් ගායනා වීම සුවිශේෂත්වයකි. කුලේ අප පිළිසඳර නිමා කරන්නට මත්තෙන් ආනන්දයෙන් බිහි වූ සහෝදර ගීත රචකයන් පිළිබඳ සිහිපත් කරන්නටද අමතක කළේ නැත.

ඩෝල්ටන් අල්විස්, දයානන්ද ගුණවර්ධන, බණ්ඩාර කේ. විජේතුංග, ප්‍රේමකීර්ති ද අල්විස් ආනන්දයෙන් බිහි වූ මට වඩා ජ්‍යෙෂ්ඨ, ප්‍රවීණ ගීත රචකයන්. ඔවුන් හෙළි පෙහෙළි කළ මාවත ඔස්සේ තමයි මමත් ගීත රචකයකු විදිහට මේ ගමන ආවේ. අපි සියලු දෙනාම වික්ටර් රත්නායක කියන මහා ගාන්ධර්වයාට ගීත රචනා කර තිබීම විශේෂත්වයක්.

මේ 27 වැනිදා පැවැත්වෙන ‘ස’ ප්‍රසංගයේ අප සියලු දෙනාම ඇගයුමට, උපහාරයට ලක් වෙනවා. ඔවුන් අප අතර නැති වුණත් ඒ නිර්මාණ කුසලතාව වෙනුවෙන් පිදෙන මේ උත්තමාචාරය අමරණීයයි. ජීවත්ව සිටින මට ඒ මොහොත ඉතාමත් හැඟීම්බර හා සංවේදී එකක් වේවි.

1 comments:

Dayal Bathee said...

කලාවට කලාවෙන් කරන සේවයට තුති

Post a Comment